අපේ විත්ති

අප භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ ශ්‍රි සද්ධර්මය වනාහි, ලෝකයක් මවිත කල, කරන මේ විසිඑක් වෙනි ශතවර්ෂය තුල පවා අද්වීතීයව විරාජමාන වන උතුම් සද්ධර්මයයි. ඒ ධර්මය බුද්ධිමතුන්ට විවෘත වන තරමට බැබලෙන්නා වූ, ලෝකයට අමා  සැනසුම ගෙනෙනෙ අමාවේ උල්පත ය. තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව මහා කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති පලමු ධර්ම සංඝායානාවේදී සංඝායනාවට භාජනය කළා වූ තථාගතප්පවේදිත ධර්ම විනය උතුම් ත්‍රිපිටක ධර්මය නමින් ව්‍යවහාර විය.

එයින් පසුව  කාලයේ වැලිතාලාවෙන් වැසී යන්නට නොදී මේ උතුම් පාවචන නම් වූ උතුම් ත්‍රිපිටක දේශනා පාළිය දෙවෙනි තුන් වෙනි  සංඝායනාවන්ගෙන් ද මනා ලෙස සුරකින ලදි.  ලක්දිව ගිලගත් බැමිණිතියා සායෙන් පෙළුණු බුදුපුත් මහ සඟරුවන අතීතයේ සිට මුඛ පරම්පරාවෙන් රැගෙන ආ මේ සද්ධර්ම කොට්ඨාශයන් මතකයෙන් මැකී යන්නට නොදී වැලි ගොඩවල් ගසා ඒවාට පිට දී රැදෙමින් කුසගිනි දරාගෙන සා පවස දරාගෙන එකිනෙකාගේ මතකයන් යලි යලිත් අළුත් කරවමින් රැක ගෙන හුන්නාහු යලිත් ලක්දිව ශස්ශ්‍රීක වූ කල්හී මාතලේ අළු විහාර භූමියේ දී ග්‍රන්ථාරූඩ කරන ලදි. එදා මෙදා තුර කාලයට මේ උතුම් ත්‍රිපිටකය බුරුමයේ දී පැවැති සංඝායනාව දක්වා සංඝායනාවන් 6කට බදුන් වී ඇති අතර ඒ හැම මොහොතක ම ධර්මයේ නිර්මලත්වය සුරකින්නට ගත හැකි හා ගත යුතු සියළු ක්‍රියාමාර්ගයන් ගෙන ඇති අයුරු ප්‍රශස්තනීය ය. 

බුරුමයේ ඡට්ඨසංඝායානායෙන් පසුව බුරුම රටින් Chatta Sangayana නමින් සංයුත්ත තැටියක් නිශ්පාදනය කරන ලද අතර පසු කලෙක එහි Cst4 නමින් සෙවුම් මෘදුකාංගයක් හැටියට ද නිර්මාණය කරන ලදි. ඒ සියල්ල ම ඇත්තේ පාලි භාෂාවෙන් වීම නිසාත්. දැනට අප සතුව පවතින පූර්ණ පරිවර්ථනය වන බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඇසුරින් සිංහල භාෂාවෙන් ලියැවුණු ත්‍රිපිටකය මෙසේ යුනිකේතයට නංවා මහත් ශ්‍රද්ධාවෙන් යුතුව ගෞතම බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල් දිනයේ බුද්ධපුජාවක් ලෙස පුජා කරන්නට අප සිතු සිතිවිල්ල මෙසේ සාර්ථක කරගැනීමට හැකිවීම අප ලැබූ මහා පුණ්‍ය වාසනාවක් ලෙස සිතමි. 

මෙම කර්තව්‍ය සිද්ධ කිරීමට මූලික වන පිරිස ගැන සටහනක් තබනවා නම් ඒ මෙසේයි;

ප්‍රධාන කතෘ හා සම්පාදක

 "ධර්මසංඝායනා" ප්‍රධාන කතෘ / සම්පාදක

  • පුජනීය එප්පාවල සාගර සුමන ස්වාමීන් වහන්සේ.

තාක්ෂණික සහයා හා නිර්මාණකරණය

  • සුරංග රූපසිංහ මහත්මා , එංගලන්තය
  • රජිතා විදුරංසි මහත්මිය, කැළණීය

"ධර්මසංඝායනා" සහායක පිරිස

  • බන්දුල ගුණසේකර මහත්මා, මාතලේ
  • ගීති කරුණාරත්න මහත්මිය,තලවතුගොඩ
  • රුක්මන් ශ්‍රි නුවන්, බොරැල්ල
  • මොහාන් කරුණාතිලක, තලවතුගොඩ
  • ලක්ෂ්මි අබේගුණවර්ධන මහත්මිය, තලවතුගොඩ
  • මනීෂා ජයවීර මෙනෙවිය, මුල්ලේරියාව
  • වාසනා විජේසූරිය මහත්මිය, පානදුර
  • සචින්තා හර්ෂණී මෙනෙවිය, පන්නිපිටිය
  • දීපිකා පේමචන්ද්‍ර මෙනෙවිය, ගලපිටමඩ
  • දිනිති දීපිකා මෙනෙවිය, සයිප්‍රස්.
  • ඉසංකා මධුමාලි මෙනෙවිය, තිස්සමහාරාමය.

මේ කටයුත්ත අවසානය දක්වා සාර්ථක කරගැනීමට සියළු මහා සඟරුවගේ ආසිර්වාදයත්, ශාසනාරක්ෂක ලෝකපාලක දෙවිවරුන්ගේ ද සහායයත්  අප වෙත ලැබේවා යි ප්‍රාර්ථනා කරම්හ.

මේ ධම්මසංඝායනා නමැති සද්ධර්මවාහිනිය අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට උතුම් පුජෝපහාරයක් ම වේවා.!!!