සහාය දුන් පිරිස

ධම්මසංඝායනා නාමයෙන් අප වෙබ් අඩවියක් පටන්ගත්තේ 2007 මාර්තු මාසයේ ය. එය අතර මැද නතර විය. නමුත් සිතේ වූ අදහස සිතූ සේ ඉටු කර ගැනීමට අවකාශ නොවූවත් එයට මියැදෙන්නට නොදී සිටීමට අපට හැකිවිය. දිනෙන් දින දියුණු වෙන තාක්ෂණික ලෝකයත් සමඟ බුදු රජාණන් වහන්සේගේ ධර්මයත් රැගෙන යාමේ බලවත් අවශ්‍යතාවය විටින් විට මා මුවින් නිකුත් වූ වාර අනන්තය.  ඒ එක් අවස්ථාවක එය තදින් සිතට ගත් රජිතා විදුරන්සි පිංවත් දියණිය, ඇයගේ “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවිය නිර්මාණය කළ සොහොයුරාගෙන් ඒ ගැන අසා අපගේ සිතුම් පැතුම්  ද මුසු කරගනිමින් සිත පහන් කරන අයුරින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර දීමට ඉදිරිපත් වීම මෙම වෙබ් අඩවිය මෙතරම් අලංකාර අයුරින් හා සිත් පහදවනා ප්‍රසාද ජනක අයුරින් නිර්මාණය වීමට හේතු වූ බව කිව යුතුම ය. 

මේ කටයුත්තේ දී අප විටින් විට එකින් එකට වෙනස් අදහස් කියද්දී පවා ඒ සියල්ල ඔහේ යන්නට හැර අවශ්‍ය චිත්‍රය සිතට නගා ගනිමින් අප සියළු දෙනාගේ  සිත් පහන් කළ හැකි අයුරින් හා චාම් සරල සද්ධර්ම ගෞවරය වඩවන අයුරින් කියවන අයට හා පරිශීලනය කරන හැමට පහසු වන අයුරින් මෙය නිර්මාණය කර දෙන්නට සුරංග රූපසිංහ පිංවත් තරුණ මහත්මා සමත් වී ඇති බව ‍වෙබ් අඩවිය දකිනා අයට අමුතුවෙන් කිව නොයුතු කරුණකි.

මේ සත්කාර්‍ය සදහා අපට වෙබ් අවකාශය හා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරදීමත්, සියළු තාක්ෂණීක පහසුකම් සපයා දීමත් යන කරුණු සියල්ල ම නිසා රජිතා හා සුරංග රූපසිංහ යන පිංවතුන්ට මට මහත් ධෛර්‍යයක් වූ බව කිව යුතුය.

එසේ ම මෙම සූත්‍ර ධර්මයන් යුනිකේත කරණයෙන් අපට දායක වෙමින් අප සමඟ සිටිනා සැදැහැවත් උවසු උවැසි, දරු දැරියන් හැමට ද මෙයින් අපගේ කෘතවේදීත්වය පිරිනමමින් මේ කටයුත්ත අවසානය දක්වා සාර්ථක කරගැනීමට සියළු මහා සඟරුවගේ ආසිර්වාදයත්, ශාසනාරක්ෂක ලෝකපාලක දෙවිවරුන්ගේ ද සහායයත්  අප වෙත ලැබේවා යි ප්‍රාර්ථනාවෙන් මේ “ධම්මසංඝායනා“ නමැති සද්ධර්මවාහිනිය අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේට උතුම් පුජෝපහාරයක් ම වේවා!!!

“ධම්මසංඝායනා“ වෙබ් අඩවිය ඔබ අතට පත් කරන්නට උපකාර කරන මේ සෑම සියලු දෙනාටමත් ඒ අයගේ පවුලේ සැමටත් ඒ සෑම සියලු දෙනාටම අනන්ත සසරේ පටන් සහ සම්බන්ධ වූ සතර වරිගයක ඥාති හිතමිත්‍රාදීන් වේ නම් ඒ සැමටත් මේ ධර්ම දානමය කටයුත්ත මෙත් සිතින් දායකවීමේ පුණ්‍ය කුසල ආශිර්වාදයන් ගලාගොස් පිහිටාවා!!! ඒ පිරිස අතින් අනන්ත සසරේ පටන් යම් සත්වයෙකුට හෝ යම් සත්ව පිරිසකට හෝ අවැඩක් අසාධාරණයක් සිදුවී නම් මේ පුණ්‍ය කුසල ආශිර්වාදයන් ගලා ගොස් දුගතිගාමී වී සිටින යම් සත්වයෙක් හෝ යම් පිරිසක් සුගතිගාමී වීමටත්, සුගතිගාමී වී සිටින යම් සත්වයෙක් හෝ යම් පිරිසක් වේ නම් ශාන්ත වූ ප්‍රණීත වූ නිවන් සම්පත්තිය ලබන්නටත් මේ කරගත්තාවූ කරගන්නාවූ පුණ්‍ය කුසලයන්ගේ ආශිර්වාද බල ශක්තිය විහිදී පැතිරී ගොස් යහපතක්ම වෙත්වා!!! අභිවෘද්ධියක්ම වෙත්වා!!!  අමා මහ නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!!!