මහා නිදාන සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

දික්සඟිය

(ද්විතීය භාගය)

මහාවර්‍ගය

______

ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.

_____

2.

මහානිදාන සුත්‍රය.

1.මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හිභාග්‍යවතුන් වහන්සේ කුරු රටැ කුරු දනවු වැස්සන්ගේ කල්මාෂදම්‍ය නම් යම් නියම් ගමෙක් වී ද, එහි වැඩ වසන සේක. එ කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හිඳ ගත්හ. එක්පසෙක හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ  “වහන්ස, මේ ප්‍රතීත්‍යසමුපත්පාදය කොතරම් ගැඹුරු ද, කොතරම් ගැඹුරු පෙනුම් ඇත්තේ ද යනු ආශ්චර්‍ය්‍ය ය, අද්භූත ය. එතෙකුදු වුවත් මට එය ප්‍රකට වූවක් මෙන්, ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ යැ’’ යි කීහ.

2. “අනන්දය, එසේ නො කිය. ආනන්දය එසේ නො කිය. ආනන්දය, මේ ප්‍රතීත්‍යසමුත්පාදය ගැඹුරු ද වේ, ගැඹුරු පෙනුම් ඇත්තේ ද වේ. ආනන්දය, මේ ධර්මය අනුබෝධ නො කිරීමෙන්, ප්‍රතිවේධ නො කිරීමෙන්, මෙසේ මේ සත්ත්වප්‍රජාව (පෙහෙර) හූකැටියක් මෙන් අවුල් වූවා, කැඳ ලූ පෙහෙර හූ මෙන් ගැට ගැසුණී නොහොත් කිරිලි කසල්ලක් බඳු වූවා, මුදුතණ බබුස් තණ සේ අවුල් වූවා සැපයෙන් පහ වු නපුරු ගති ඇති, විවශ ව පතිත වීම් ඇති අපාය ද සසර ද ඉක්ම නො යෙයි.

3. ආනන්දය, මේ යම් ප්‍රත්‍යයයෙකින් ජරාමරණ වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.

ආනන්දය, මේ යම් ප්‍රත්‍යයයෙකින් ජාතිය (ඉපැත් ම)වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් ජාතිය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.

ආනන්දය, මේ යම් ප්‍රත්‍යයයෙකින් භවය වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් භවය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.

ආනන්දය, මේ යම් ප්‍රත්‍යයයෙකින් උපාදනය  වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් උපාදානය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.

ආනන්දය, මේ යම් ප්‍රත්‍යයයෙකින් තෘෂ්ණාව වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව  වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.

ආනන්දය, මේ යම් ප්‍රත්‍යයයෙකින් වේදනාව  වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් වේදනාව වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘ස්පර්ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.

ආනන්දය, මේ යම් ප්‍රත්‍යයයෙකින් ස්පර්ශය වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් ස්පර්ශ්‍ය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘නාමරූපප්‍රත්‍යයයෙන් සපර්ෂය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.

 

ආනන්දය, මේ යම් ප්‍රත්‍යයයෙකින් නාමරූප වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් නාමරූප වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘විඥානප්‍රත්‍යයයෙන් නාමරූප  වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.

ආනන්දය, මේ යම් ප්‍රත්‍යයයෙකින් විඥානය  වේ නම්, එසේ වූ ප්‍රත්‍යයයෙක් ඇත් දැ?’ යි විචාරන ලද්දාහු විසින් ‘ඇතැ’ යි ඔහුට කිය යුතු. ‘කිමෙක ප්‍රත්‍යයයෙන් විඥානය වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් ‘නාමරූපප්‍රත්‍යයයෙන් විඥානය වේ යැ’ යි මෙසේ ඔහුට කිය යුතු.

ආනන්දය, මෙසේ නාමරූපප්‍රත්‍යයයෙන් විඥාණය වේ. විඥාණප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූප ප්‍රත්‍යයයෙන් ස්පර්ශය වේ. සපර්ශ ප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ, ශෝක පරිදේව දුක් දොම්නස් උපායාස යන මොහු පහළ වෙත්. මෙසේ මේ සියලු දුක්රැසේ ඉපැත් ම වේ.’’

4. ‘‘ආනන්දය, ‘ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ’ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්දය, යම්සේ ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේද, මෙය මේ කරුණිනුත් දත යුතු: ආනන්දය, හැම අයුරින් ම හැම ලෙසින් ම ජාතිය කිසිවකුට කිසිදු තැනෙක නොවී නම්, විභාග විසින් - දෙවියන්ගේ දෙව්බව පිණිස හෝ ගඳෙව්වන්ගේ ගඳෙව්බව පිණිස හෝ යකුන්ගේ යක්බව පිණිස හෝ උපන් කවර හෝ සතුන් ගේ ඒ ලත් අත්බව පිණිස හෝ මිනිසුන්ගේ මිනිස්බව පිණිස හෝ සිවුපාවුන් ගේ සිවුපාබව පිණිස හෝ පක්ෂීන්ගේ පක්ෂී බව පිණිස හෝ සරීසෘපයන්ගේ (බඩ ගා යන සතුන්ගේ)සරීසෘප බව පිණිස හෝ ඒ ඒ සතුන් ගේ එසේ වීම පිණිස ජාතිය නො වී නම්, සර්වප්‍රකාරයෙන් ම ජාතිය නැති කල්හි ජාතියගේ නිරෝධයෙන් (අභාවයෙන්) ජරාමරණය පැනෙන්නේ ද?’’

‘‘වහන්ස, මෙය නො ම වන්නේ යැ’’ යි අනඳ තෙරණුවෝ වදාළහ.

‘‘එහෙයින් ආනන්දය, යම් මේ ජාතියෙක් වේ ද, ජරාමරණයට මෙය ම හේතු ය, මෙය ම නිදාන ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.’’

5. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්දය, යම්සේ භව ප්‍රත්‍යයයෙන් ජාතිය වේ ද, එය මේ කරුණින් ද දත යුතු: ආනන්දය, කිසිවෙකුට කිසිදු තැනෙක හැම අයුරින් ම හැම ලෙසින් ම කාමභව, රූපභව, අරූපභව යන භවයෙක් නො වී නම්, හැම අයුරින් ම භව නැති කල්හි භවනිරෝධයෙන් ජාතියෙක් පැනෙන්නේ ද? ’’

‘‘වහන්ස, මෙය නො ම වන්නේ යැ’’ යි අනඳ තෙරණුවෝ වදාළහ.

‘‘ආනන්දය, එහෙයින් යම් මේ භවයෙක් වේ ද, මෙය ම ජාතියට හේතු ය, මෙය ම ජාතියට නිදාන ය, මෙය ම ජාතියගේ සමුදය ය, මෙය ම ජාතියට ප්‍රත්‍යය ය.’’

6. ‘‘උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වේ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්දය, උපාදානප්‍රත්‍යයයෙන් යම්සේ භවය වේ ද, එය මේ කරුණින් ද දත යුතු: ආනන්දය, කාමොපාදානය ද දෘෂ්ට්‍යුපාදාන ද ශීලව්‍රතෝපාදාන ද ආත්මවාදෝපදාන ද යන මේ උපාදානයෙක් හැම අයුරින් ම හැම ලෙසින් ම කිසිවක්හට කිසිදු තැනෙක නො වී නම්, හැම අයුරින් ම උපාදානයක් නැති කල්හි උපාදානනිරෝධයෙන් භවයෙක් පැනෙන්නේ ද’’?

‘‘වහන්ස, මෙය නො වේ ම ය.’’

‘‘ආනන්දය, එහෙයින් යම් මේ උපාදානයෙක් වේද, මෙය ම භවයට හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.’’

7. ‘‘තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්දය, යම්සේ තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදානය වේ ද, එය මේ කරුණිනුදු දත යුතු: ආනන්දය, රූපතෘෂ්ණා ශබ්දතෘෂ්ණා ගන්ධතෘෂ්ණා රසතෘෂ්ණා සප්‍රෂ්ටව්‍යතෘෂ්ණා යන මේ යම් තෘෂ්ණාවෙක් කිසිවක්හු පිළිබඳ ව කිසිදු තැනෙක හැම අයුරින් ම හැම ලෙසින් ම නො වී නම්, සර්වප්‍රකාරයෙන් ම තෘෂ්ණාව නැති කල්හි තෘෂ්ණාවගේ නිරෝධයෙන් උපාදානයෙක් පැනෙන්නේ ද?’’

‘‘වහන්ස, මෙය නො වන්නේ ම ය.’’

‘‘ආනන්දය, එහෙයින් තෘෂ්ණාසංඛ්‍යාත මෙය ම උපාදානයාගේ හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම තෘෂ්ණාවගේ ප්‍රත්‍යය ය.’’

8. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්දය, යම්සේ වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ද, එය මේ කරුණිනුත් දය යුතු: ආනන්දය, චක්ඛුසම්ඵස්සජ වේදනා ය, සෝතසම්ඵස්සජ වේදනා ය, ඝාණසම්ඵස්සජ වේදනා ය, ජිව්හාසම්ඵස්සජ වේදනා ය, කායසම්ඵස්සජ වේදනා ය, මනෝසම්ඵස්සජ වේදනා ය, යන මේ යම් වේදනාවෙක් කිසිවක්හට කිසිදු තැනෙක සියළු අයුරින් ම සියලු ලෙසින් ම නො වී නම්, හැම අයුරින් ම වේදනා නැති කල්හි වේදනා නිරෝධයෙන් තෘෂ්ණාව පැනෙන්නේ ද? ’’

‘‘වහන්ස, මෙය නො වන්නේ ම ය.’’

‘‘ආනන්දය, එහෙයින් වේදනා යන මෙය ම තෘෂ්ණාවට හේතු වේ, මෙය නිදානය වේ මෙය ම ප්‍රත්‍යයය වේ. ’’

9. ‘‘ආනන්දය, මෙසේ මේ වේදනාව නිසා තෘෂ්ණාව වේ තෘෂ්ණාව නිසා පර්යේෂණය (අරමුණු සෙවීම) වේ. පර්යේෂණය නිසා ලාභය (අරමුණු ලැබීම) වේ. ලාභය නිසා විතර්කවිනිශ්චය (අරමුණෙහි ඉටු අනිටු බව විතර්කයෙන් නිශ්චය කොට ගැන් ම) වේ. විනිශ්චය නිසා ඡන්දරාගය (විර්කිත වස්තුව කෙරෙහි ඇල්ම) වේ. ඡන්දරාගය නිසා අධ්‍යවසානය (මම ය, මගේ යැ යි බලවත් සනිටුහන) වේ. අධ්‍යවසානය නිසා පරිග්‍රහය (තෘෂ්ණා දෘෂ්ඨි විසින් මගේ යැ යි අයත් කරැ ගැන්ම) වේ. පරිග්‍රහය නිසා මසුරුබව වේ. මසුරුබව නිසා රැක්ම වේ. රැක්ම කරණකොට ගෙන දඬුමුගුරු දැරුම්, අවි දැරුම්, විග්‍රහ (විරෝධපෑම්) විවාද, තුවංතුව වාද (ඇනුම් බැණුම්), මුසාබිණුම්, නෙයෙක් ලාමක අකුසල්දහම්හු පහළ වෙත්.

10. ‘‘රකවළ කරන කරුණෙන් දඬුමුගුරු දැරුම් අවි දැරුම් කලහ විග්‍රහ විවාද තුවන්තුවංවාද කේලාම් මුසාබස්, නොයෙක් අකුසල් දහම්හු පහළ වෙති යි මෙය මෙසේ ම කියන ලද්දේ ය. ආනන්දය, රකවළ කරන කරුණින් දඬුමුගුරු දැරුම් අවිදැරුම් කලහ විග්‍රහ විවාද තුවන්තුවංවාද කේලාම් මුසාමිණුම්, නොයෙක් අකුසල් දහම්හු යම්සේ පහළ වෙත් ද, එය මේ කරුණෙන් ද දත යුතු: ආනන්දය, කිසිවක්හුගෙත් කිසි තැනෙක්හිත් හැම අයුරින් ම හැම ලෙසින් ම රකවළෙක් නො වී නම්, හැම අයුරින් රකවළක් නැති කල්හි, රකවළ නැති බැවින් දඬුමුගුරු දැරුම් අවිදැරුම් කලහ විග්‍රහ විවාද තුවන්තුවංවාද කේලාම් මුසාබිණුම්, නොයෙක් අකුසල් දහම්හු පහළ වන්නාහු ද?’’

‘‘වහන්ස, මෙය නො වන්නේ ම ය.’’

‘‘ආනන්දය, එහෙයින් දඬුමුගුරු දැරුම් අවිදැරුම් කලහ විග්‍රහ විවාද තුවන්තුවංවාද කේලාම් මුසා බිණුම් යන මොවුන්ගේ, නොයෙක් අකුසල් දහමුන්ගේ හට ගැන්මට වස්තුව රැක ගැන්ම යන මෙය ම හේතු ය. මෙය ම නිදානය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.’’

11. ‘‘මසුරුබව නිසා රැක ගැන්ම වේ යැ යි මෙසේ මෙය කියන ලද්දේ ම ය. ආනන්දය, මසුරුබව නිසා රැක ගැන්ම යම්සේ වේ ද, එය මේ කරුණිනුදු දත යුතු: ආනන්දය, කිසිවක්හුගේ කිසි තැනෙක හැම අයුරින්  හැම ලෙසින්  මසුරු බවෙක් නො වී නම්, හැම අයුරින් ම මසුරු බව නැති කල්හි, මසුරු බව නැති වීමෙන් වස්තු රැක ගැන්මෙක් පැණෙන්නේ ද?’’

‘‘වහන්ස, මෙය නො වන්නේ ම ය.’’

‘‘ආනන්දය, එහෙයින් මසුරුබවය යන මෙය ම වස්තුව රැක ගැන්මට හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය’’

12. ‘‘පරිග්‍රහය (අයත් කොට ගැනීම) නිසා මසුරුබව වේ යැ යි මෙසේ මෙය කියන ලද්දේ ම ය. ආනන්දය, පරිග්‍රහය නිසා මසුරුබව යම්සේ වේ ද, එය මේ අයුරින් ද දත යුතු: ආනන්දය කිසිවක්හුගේ කිසි තැනෙකත් හැම අයුරින් ම හැම ලෙසින් ම පරිග්‍රහයෙක් නො වී නම්, හැම අයුරින් ම පරිග්‍රහයෙක් නැති කල්හි, පරිග්‍රහනිරෝධයෙන් මසුරුබවෙක් පැණෙන්නේ ද?’’

‘‘වහන්ස, මෙය නො වන්නේ ම ය’’

‘‘ආනන්දය, එහෙයින් මසුරුබවට පරිග්‍රහය යන මෙය නිදානය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.’’

13. ‘‘අධ්‍යවසානය (මම ය, මාගේ ය යි බලවත් සේ සනිටුහන් කිරීම) නිසා වස්තුපරිග්‍රහය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්දය අධ්‍යවසානය නිසා වස්තුපරිග්‍රහය යම්සේ වේ ද , එය මෙ කරුණෙන් ද දත යුතු:  ආනන්දය, කිසිවක්හුගේ කිසි ද තැනෙක අධ්‍යවසානයෙක් හැම අයුරින් හැම ලෙසින් නො වී නම්, හැම අයුරින් අධ්‍යවසානය නැති කල්හි, අධ්‍යවසානනිරෝධයෙන් වස්තුපරිග්‍රහයෙක් පැනෙන්නේ ද?’’

‘‘වහන්ස, මෙය නො වන්නේ ම ය.’’

‘‘ආනන්දය එහෙයින් අධ්‍යවසානය යන යමෙක් ඇද්ද, පරිග්‍රහහයට මෙය ම හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.’’

14. ‘‘ඡන්දරාගය නිසා අධ්‍යවසානය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්දය ඡන්දරාගය නිසා අධ්‍යවසානය යම්සේ වේ ද, එය මේ කරුණින් ද දත යුතු: ආනන්දය, කිසිවක්හුගේ කිසිතැනෙක හැම අයුරින් ම හැම ලෙසින් ම ඡන්දරාගයෙක් නො වී නම්, හැම අයුරින්  ඡන්දරාගය නැති කල්හි, ඡන්දරාගනිරෝධයෙන් අධ්‍යවසානයෙක් පැනේනේ ද?’’

‘‘වහන්ස, මෙය නො වන්නේ ම ය.’’

‘‘ආනන්දය, එහෙයින් ඡන්දරාගය යන මෙය ම අධ්‍යවසානයට හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.’’

15. ‘‘විනිශ්චය ය නිසා ඡන්දරාගය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්දය, යම්සේ විනිශ්චය නිසා ඡන්දරාගය වේ ද, එය මේ කාරණයෙනුදු දත යුතු: ආනන්දය කිසිවක්හුගේ කිසිතැනෙක හැම අයුරින්  හැම ලෙසින් ම විනිශ්චයයෙක් නො වී නම්, හැම අයුරින්  විනිශ්චයයක් නැති කල්හි, විනිශ්චයයාගේ අභාවයෙන් ඡන්දරාගයෙක් පැනෙන්නේ ද?’’

‘‘වහන්ස, මෙය නො වන්නේ ම ය.’’

‘‘ආනන්දය, එහෙයින් විනිශ්චය යන යමෙක් වේ නම්, මෙය ම ඡන්දරාගයට හේතුය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍ය ය.’’

16. ‘‘ලාභය නිසා විනිශ්චයය වේයැ යි  මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්දය, යම්සේ ලාභය නිසා විනිශ්චය යම්සේ වේ  ද, එය මේ කාරුණිනුත් දත යුතු: ආනන්දය කිසිවක්හුගේ කිසිතැනෙක හැම අයුරින්  හැම ලෙසින් ම ලාභයෙක් නො වී නම්, හැම අයුරින්  ලාභයෙක්  නැති කල්හි, ලාභයාගේ අභාවයෙන්  විනිශ්චයයෙක් පැනෙන්නේ ද?’’

‘‘වහන්ස, මෙය නො වන්නේ ම ය.’’

‘‘ආනන්දය, එහෙයින් යම් ලාභය යන යමෙක් ඇත් නම්, මෙය ම විනිශ්චයට  හේතුය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය..’’

17. ‘‘පර්යේෂණය නිසා ලාභය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්දය, යම්සේ පර්යේෂණය නිසා ලාභය වේ ද, එය මේ කරුණිනුත් දත යුතු: ආනන්දය කිසිවක්හුගේ කිසිතැනෙක හැම අයුරින්  හැම ලෙසින් ම පර්යේෂණය නොවී නම්, හැම අයුරින්  පර්යේෂණය නැති කල්හි, පර්යේෂණයාගේ  අභාවයෙන් ලාභයෙක්  පැනෙන්නේ ද?’’

‘‘වහන්ස, මෙය නො වන්නේ ම ය.’’

‘‘ආනන්දය, එහෙයින් පර්යේෂණ නම් වූ යමෙක් ඇද්ද, ලාභයට මෙය ම හේතුය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍ය ය.’’

18. ‘‘තෘෂ්ණාව නිසා පර්යේෂණය වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්දය, යම්සේ තෘෂ්ණාව නිසා පර්යේෂණය වේ ද, එය මේ කරුණිනුත් දත යුතු: ආනන්දය කිසිවක්හුගේ කිසිතැනෙක හැම අයුරින්  හැම ලෙසින් ම තෘෂ්ණාව නො වී නම්, හැම අයුරින්  තෘෂ්ණාව නැති කල්හි, තෘෂ්ණාවගේ  අභාවයෙන් පර්යේෂණයෙක් පැනෙන්නේ ද?’’

‘‘වහන්ස, මෙය නො වන්නේ ම ය.’’

‘‘ආනන්දය, එහෙයින් තෘෂ්ණාව නම් වූ යමෙක් ඇද්ද,  පර්යේෂණයට  මෙය ම හේතුය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍ය ය.’’

 

ආන්නදය, මෙසේ වට්ටමූලක තෘෂ්ණාව සමුදාචාරතණ්හාව යන මේ දෙ දහම්හු වට්ඨමූලක -සමුදාචාර වශයෙන් කොටස් දෙකෙකින් වෙදනා සඞ්ඛ්‍යාත ප්‍රත්‍යයයෙන් එක ම ප්‍රත්‍යය ඇත්තාහු වෙති.  (එක ම වේදනායෙන් උපදනාහු වෙති.)

19. ‘‘සපර්ශයප්‍රත්‍යයයෙන් වේදනාව වේ’ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්දය, යම්සේ සපර්ශයප්‍රත්‍යයයෙන් වේදනාව වේ ද, මෙ කරුණින් ද එය දත යුතු: ආනන්දය, කිසිවක්හුගේ කිසි තැනෙකත් චක්ඛුසම්ඵස්ස සෝතසම්ඵස්ස ඝාණසම්ඵස්ස ජිව්හාසම්ඵස්ස කායසම්ඵස්ස මනොසම්ඵස්ස යන මේ ස්පර්ශයෙක් හැම අයුරින් හැම ලෙසින් ම නො වී නම්, හැම අයුරින් ම ස්පර්ශයෙක් නැති කල්හි, සපර්ශයාගේ අභාවයෙන් වේදනාවෙක් පැනෙන්නේ ද? ’’

 ‘‘වහන්ස මෙය නො වන්නේ ම ය.’’

‘‘ආනන්දය, එහෙයින් යම් ස්පර්ශයෙක් වේ ද, වේදනාවට මෙය ම හේතු ය, මෙය ම නිදානය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.’’

20. ‘‘නාමරූප ප්‍රත්‍යයයෙන්  සපර්ශය වේ’ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්දය, යම්සේ නාමරූපප්‍රත්‍යයයෙන්  ස්ර්ශය වේ ද, එය මේ කරුණෙනුත්  දත යුතු:  ආනන්දය, යම් ආකාරයන්ගෙන් සංඥාදී ප්‍රඥප්තිය යම් නිමිත්තයන්ගෙන් යම් උද්දේසයන්ගෙන් නාමධර්මසමූහයට වේදනා (පැනවීම) වේ ද, ඒ ආකාරයන් ඒ ලිංගයන් ඒ නිමිත්තයන් ඒ උද්දේසයන් නැති කල්හි රූපකයෙහි අධිවචනසංස්පර්ශය (නාමස්කන්ධ වස්තු කොට ගෙන මනෝද්වාරයේ ශබ්දඥානානුගත ව උපදනා මනඃසංස්පර්ශය) පැනෙන්නේ ද?

‘‘වහන්ස මෙය නො වන්නේ ම ය.’’

‘‘ආනන්දය, යම් ආකාරයන්ගෙන් යම් ලිඞ්ග-නිමිත්ත-උද්දේසයන් ගෙන් රූපකායයා ගේ පැණවීම වේ නම්, ඒ ආකාර -ලිංග-නිමිත්ත-උද්දේසයන් නැති කල්හි නාමකායයෙහි ප්‍රතිඝසංස්පර්ශය (රූපස්කන්ධය වාස්තු කොට පස්දොරෙහි උපදනා ස්පර්ශය) පැනෙන්නේ ද?.’’

‘‘වහන්ස මෙය  නො වන්නේ ම ය.’’

‘‘ආනන්දය, යම් ආකාර-ලිංග-නිමිත්ත-උද්දේසයන්ගෙන් නාමකායයාගේ හා රූපකායයාගේ හා පැනවීම වේ ද, ඒ ආකාර-ලිංග-නිමිත්ත-උද්දේසයන් නැතිකල්හි ස්පර්ශයෙක් පැනෙන්නේ ද?’’

‘‘වහන්ස, මෙය නො වන්නේ ම ය.’’

‘‘ආනන්දය, එහෙයින් මේ නාමරූප නම් වූ යමක් ඇද්ද, ස්පර්ශයට මෙය ම හේතු ය. මෙය ම නිදානය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍ය ය. ’’

21. ‘‘විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ යැ යි මෙසේ ම මෙය කියන ලද්දේ ය. ආනන්දය, යම්සේ විඥානප්‍රත්‍යයයෙන් නාමරූපය වේ ද, එය මේ කරුණෙන් ද දත යුතු: ආනන්දය, විඥානය මව්කුසට නො බස්නේ නම් (මව්කුසැ ප්‍රතිසන්ධි වශයෙන් නො පහළ වන්නේ නම්) හුදු නාමරූපය (කලලාදිවශයෙන්මිශ්‍ර ව) මව්කුසැ පහළ වන්නේ ද? ’’

‘‘වහන්ස, මෙය නොවන්නේ ම ය.’’

‘‘ආනන්දය විඥානය මවුකුසකට බැස (ප්‍රතිසන්ධිවශයෙන් පහළ වැ) පහ වන්නේ නම් (නිරුද්ධ වන්නේ නම්) නාමරූපය මෙබඳු (පරිපූර්ණ ස්කන්ධ) බව පිණිස වන්නේ ද?’’

‘‘වහන්ස, මෙය නො වන්නේ ම ය.’’

‘‘ආනන්දය, ළදරු වූ ම කුමරක්හුගේ හෝ කුමරියකගේ හෝ විඥානය සිඳෙන්නේ නම්, නාමරූපය වැඩීමට නැඟීමට විපුලබවට පැමිණෙන්නේ ද?’’

‘‘වහන්ස, මෙය නො වන්නේ ම ය.’’

ආනන්දය, එහෙයින් විඥානය, යන මෙය ම නාමරූපයට හේතු වේ. මෙය ම නිදානය වේ. මෙය ම සමුදය වේ, මෙයම ප්‍රත්‍යය වේ.

22. ‘‘නාමරූපප්‍රත්‍යයයෙන් විඥානය වේ යැ යි මෙසේ ම මෙය කියන ලදි. ආනන්දය, යම්සේ නාමරූපප්‍රත්‍යයයෙන් විඥානය වේ ද, මේ කරුණෙනුත් එය දත යුතු: ආනන්දය, විඥානය ද නාමරූපයෙහි පිහිට නො ලබන්නේ නම්, මතු ජාතිජරාමරණ දුක්රැසේ හටගැන්ම  පැනෙන්නේ ද?’’

‘‘වහන්ස, මෙය නො වන්නේ ම ය.’’

‘‘ආනන්දය, එහෙයින් මේ නාමරූප යැ යි යමෙක් ඇද්ද, විඥානයට මෙය ම හේතු ය, මෙය ම නිදාන ය ය, මෙය ම සමුදය ය, මෙය ම ප්‍රත්‍යය ය.’’

‘‘ආනන්දය, යම් නාමරූපයෙක් විඥානය හා උනුනට ප්‍රත්‍යයභාවයෙන් පවත්නේ ද, මෙතෙකින් ම උපදනේ යැ යි හෝ දිරන්නේ යැ යි හෝ මැරෙන්නේ යැ යි හෝ ච්‍යුත වන්නේ යැ යි හෝ ච්‍යුත ව උපදනේ යැ යි හෝ පැනෙන්නේ ය, මෙතෙකින් (සිරිවඩ්ඩකාදී) ආරූඩ නාම ව්‍යවහාරයට මාර්ග (විෂය) වේ. මෙතෙකින් නිරුක්තියට (අර්ථානුගත වශයෙන් පැවැති ව්‍යවහාරයට) මාර්ග වේ. මෙතෙකින් ප්‍රඥප්තියට (පණ්ඩිතයා ය, ව්‍යක්තයා ය, යන ආදීන් ගුණ හඟවනු විසින් පැවැති ව්‍යවහාරයට) මාර්ගය වේ. මෙතෙකින් ප්‍රඥායෙන් දතයුතු ස්කන්ධ සඤ්චකය වේ. මෙතෙකින් (කර්ම ක්ලේශ විපාක යන) සසරවට වැටෙයි. මෙතෙකින් (වේදනාසංඥාදි) නාමප්‍රඥප්තිය පිණිස ඉත්ථම්භාවය හෙවත් පඤ්චස්කන්ධය වේ.

23. ‘‘ආනන්දය, ආත්මය පනවන තැනැත්තේ කොතෙකින් එය පනවා ද යත්: ආනන්දය, රූපවත් වූ හෝ සූක්ෂම ආත්මයක් පනවන්නේ (නො වැඩූ පරිත්ත කසිණ රූපය සුක්ෂම ආත්ම යැ යි ගන්නේ) ‘මගේ ආත්මය රූපවත් ය.’ සූක්ෂම යැ’ යි පනවයි. ආන්නදය, රූපවත් වූ හෝ අනන්ත ආත්මයක් පනවන්නේ (වැඩූ කසිණ රූපය අනන්තාත්ම යැ යි ගන්නේ) ‘මගේ ආත්මය රූපවත් ය, අනන්ත යැ යි පනවයි. ආන්නදය, අරූපී වූ හෝ සූක්ෂම ආත්මයක් පනවන්නේ (නො වැඩු කසිණ නිමිත්ත ඉඟුළු අහස් හි පැවැති අරූපස්කන්ධ ආත්මය යි ගෙන) ‘මගේ ආත්මය අරූපී ය සූක්ෂම යැ’ යි පනවයි. ආනන්දය, ආනන්දය, අරූපී වූ හෝ අනන්ත ආත්මයක් පනවන්නේ (වැඩූ කසිණ නිමිත්ත ඉඟුළු අහස්හි පැවැති අරූපස්කන්ධය ආත්මය යි ගෙන) ‘මගේ ආත්මය අරූපී ය, අනන්ත යැ’ යි පනවයි.

24. ‘‘ආනන්දය, ඔවුන් අතුරෙන් යමෙක් රූපී වූ සූක්ෂම ආත්මයක් පනවන්නේ පනවා ද, හෙතෙම මේ අත්බව්හි පමණක් පවත්නා වූ (මරණින් සිඳී යන) හෝ සියුම් ආත්මයක් පනවයි. එහි (ශාස්වත විසින් පරලොවෙහිත්) වන්නාවූ හෝ සියුම් වූ ආත්මයක් පනවනුයේ පණවයි. අතථ වූ(පරවාදියා කියන ශාස්වත නො වූ ම) ආත්මය තථත්වය පිණිස (එහි යථාස්භාවය ඔහුට පිළිගැනෙන පිණිස) සමර්ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ ඔහුට සිතෙක් වෙයි. ආනන්දය, මෙසේ වූ  ම රූපකසිණලාභියා කෙරෙහි සූක්ෂමාත්මානුදෘෂ්ටිය වැදහේ යැ යි (සන්තානානුගත වැ හෝනේ යැ යි) මෙසේ කියන්නට සුදුසු ය.

25. ‘‘ආනන්දය, ඔවුන් අතුරෙන් යමෙක් රූපී වූ අනන්ත ආත්මයක් පනවනුයේ පනවා ද, හෙතෙම මේ අත්බව්හි පමණක් පවත්නා හෝ අනන්ත ආතමයක් පනවනුයේ පනවයි. පරලොව්හිත් වන්නාවූ හෝ අනන්ත ආත්මයක් පණවනුයේ පනවයි. අතථ වූ ම (පරවාදියා කියනා අවිද්‍යාමාන වූ ම) ආත්මය තථත්වය පිණිස (ඇති සැටිය ඔහුට පිළිගැනෙනු පිණිස) සමර්ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ සිතෙක් ඔහුට වෙයි. ආනන්දය, මෙසේ වූ ම රූපකසිණලාභියා කෙරෙහි අනන්තාත්මානුදෘෂ්ටිය වැදැ හෝනේ යැ යි (සන්තානානුගත ව පවත්නේ යැ යි) මෙසේ කියන්නට සුදුසු ය.

26. ආනන්දය, ඔවුන් අතුරෙන් යමෙක් අරූපී වූ සියුම් ආත්මයක් පනවනුයේ පනවා ද, හේ දැන් පමණක් පවත්නා හෝ අරූපී වූ සියුම් ආත්මයක් පනවන්නේ පනවයි. පරලොව්හි පවත්නා වූ හෝ අරූපී වූ සියුම් ආත්මයක් පනවන්නේ පනවයි. ‘අතථ වූ ම ආත්මය තථත්වය පිණිස සමර්ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ සිතෙක් ඔහුට වෙයි. ආනන්දය, මෙසේ වූ ම අරූපකසිණලාභියා කෙරෙහි සූක්ෂමාත්මානුදෘෂ්ටිය වැදැ හෝනේ යැ යි මෙසේ කියනු සුදුසු ය.

27. ‘‘ආන්නදය, ඔවුන් අතුරෙන් යමෙක් අරූපී වූ අනන්ත ආත්මයක් පනවනුයේ පනවා ද, හේ දැන් පමණක් පවත්නා හෝ අරූපී වූ අනන්ත ආත්මයක් පනවන්නේ පනවයි. පරලොව්හි ද පවත්නා හෝ අරූපි වූ අනන්ත ආත්මයක් පනවන්නේ පනවයි. ‘අතථ වූ ම ආත්මයක් තථත්වය පිණිස සමර්ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ ඔහුට සිතෙක් වෙයි. ආනන්දය, මෙසේ වූ ම අරූපකසිණලාභියා කෙරෙහි අනන්තාත්මානුදෘෂ්ටිය වැදැ හෝනේ යැ යි මෙසේ කියනු සුදුසු ය. ආනන්දය, ආත්මය පණවන්නේ මෙතෙකින් ම පනවයි.

28. ‘‘ආනන්දය, ආත්මය, නො පනවන්නේ කොතෙකින් නො පනවා ද යත්:

 

ආන්නදය රූපී වූ සියුම් ආත්මයක් නො පනවන්නේ ‘මගේ ආත්මය, රූපවත් ය, සියුම් යැ ’ යි හෝ නො පනවයි. ආනන්දය රූපී වූ අනන්ත ආත්මයක්  නො පනවන්නේ ‘මගේ ආත්මය, රූපවත් ය, අනන්ත යැ’ යි කියා හෝ නො පනවයි. ආනන්දය, අරූපී වූ සියුම් ආත්මයක් නො පනවන්නේ ‘මගේ ආත්මය අරූපී ය, සියුම් යැ’ යි කියා හෝ නො පණවයි. ආන්නදය, අරූපී වූ අනන්ත ආත්මයක් නො පනවන්නේ ‘ මගේ ආත්මය අරූපී ය, අනන්ත යැ යි කි යා හෝ නො පනවයි.

29. ‘‘ආනන්දය, ඔවුන් අතුරෙන් යමෙක් රූපී වූ සියුම් ආත්මයක් නො පනවන්නේ නො පනවා ද, හෙ තෙම දැන් (වර්ථමාන භවයෙහි) හෝ රූපවත් වූ සියුම් ආත්මයක් නො පනවන්නේ නො පනවයි. මතු භවයෙහි වන්නා වූ හෝ රූපවත් සියුම් ආත්මයක් නො පනවන්නේ නො පනවයිදු ‘අවිද්‍යාමාන වූ හෝ ආත්මයක් විද්‍යාමානත්වය පිණිස සමර්ථනය කරන්නෙමි’ යි මෙසේ හෝ සිතෙක් ඔහුට නො වෙයි. ආනන්ද ය, මෙසේ වූ ම රූපකසිණලාභියා අනුව සූක්ෂමාත්මානුදෘෂ්ටිය නො හෝනේ යැ යි මෙසේ කියනු සුදුසු ය.

30. ආනන්දය, ඔවුන් අතුරෙන් යමෙක් රූපවත් වූ අනන්ත ආත්මයක් නො පනවන්නේ නො පනවා නම්, හෙතෙම දැන් (මේ භවයෙහි) හෝ රූපවත් වූ අනන්ත ආත්මයක් නො පනවන්නෙ නො පනවයි. මතු භවයෙහි වන්නාවූ හෝ අනන්ත ආත්මයක් නො පනවන්නේ නො පනවයි. ‘අවිද්‍යාමාන වූ හෝ ආත්මයක් විද්‍යාමානත්වය පිණිස සමර්ථනය කරන්නෙමි ’ යි මෙසේ සිතෙක් හෝ ඔහුට නො වෙයි. ආනන්දය, මෙසේ වූ ම අනන්තාත්මානුදෘෂ්ටිය රූපකසිණලාභියා කෙරෙහි නො ම හෝනේ යැ යි කියනු සුදුසු ය.

31. ‘‘ආනන්දය, ඔවුන් අතුරෙන් යමෙක් අරූපී වූ සූක්ෂම ආත්මයක් නො පනවන්නේ නො පනවා නම්, හෙතෙම දැන් (මේ භවයෙහි) හෝ අරූපී වූ සූක්ෂම ආත්මයක් නො පනවන්නේ නො පනවයි. මතු භවයෙහි වන්නාවු හෝ අරූපී සූක්ෂම ආත්මයක් නො පනවන්නේ නො පනවයි. ‘අවිද්‍යාමාන වූ හෝ ආත්මයක් විද්‍යාමානත්වය පිණිස සමර්ථනය කරන්නෙමි’ යි මෙසේ සිතෙක් හෝ ඔහුට නො වෙයි. ආනන්දය, මෙසේ වූ ම අරූපකසිණලාභියා කෙරෙහි සූක්ෂමාත්මානුදෘෂ්ටිය නො ම හෝනේ යැ යි කියනු සුදුසු ය.

32. ‘‘ආනන්දය, ඔවුන් අතුරෙන් යමෙක් අරූපී වූ අනන්ත ආත්මයක් නො පනවන්නේ නො පනවා නම්, හෙතෙම දැන් (මේ භවයෙහි) හෝ අරූපී අනන්ත ආත්මයක් නො පනවන්නේ නො පනවයි. මතු භවයෙහි වන්නාවු හෝ අරූපී අනන්තආත්මයක් නො පනවන්නේ නො පනවයි. ‘අවිද්‍යාමාන ආත්මයක් හෝ විද්‍යාමානත්වයෙන් සමර්ථනය කරන්නෙමි’ යි මෙසේ සිතෙක් හෝ ඔහුට නො වෙයි. ආනන්දය, මෙසේ වූ ම අරූපකසිණලාභියා  කෙරෙහි ආනන්තාත්මානුදෘෂ්ටිය නො හෝනේ යැ යි කියනු සුදුසු ය.

ආනන්දය, මෙතෙකින් ම ආත්මය නො පණවන්නේ නො පණවයි.

33. ‘‘ආනන්දය, කොතෙකින් (දිට්ඨිසමනුපස්සනායෙන්) ආත්මයක් දක්නේ දකී ද යත්:

ආනන්දය, වේදනාව ආත්ම යැ යි දක්නේ ‘වේදනාව මාගේ ආත්මය වේ’ යැ යි හෝ මෙසේ දකියි. ‘වේදනාව මගේ ආත්මය නො වේ’ මාගේ ආත්මය වේදනාරහිත යැ’ යි මෙසේ හෝ ආනන්දය, ආත්මයක් දක්නේ දකියි. ‘වේදනාව මගේ ආත්මය නො වේ ම ය, මගේ ආත්මය වේදනා රහිත ද නො වේ ම ය, ආත්මය විඳී, මගේ ආත්මය (වේදනාසම්ප්‍රයුක්ත බැවින්) විඳින ස්වභාව ඇත්තේ ම යැ’ යි මෙසේ හෝ ආනන්දය, ආත්මයක් දක්නේ දකී.

34. ‘‘අනන්දය, ඔවුන් අතුරෙන් යමෙක් ‘වේදනාව මගේ ආත්මය යැ’ යි මෙසේ කියා ද, ‘ඇවැත්නි, සුඛවේදනා දුක්ඛවේදනා, අදුක්ඛම සුඛ වේදනා යි මේ වේදනා තුනෙකි. මේ තුන් වේදනාවන්ගෙන් තෝ කවර වේදනාවක් ආත්ම වශයෙන් දක්නෙහි දැ’ යි හෙ තෙම මෙසේ කිය යුතු (ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කටයුතු). ආනන්දය, යම් විටෙක (සත්ව තෙමේ) සුඛවේදනාව විඳී ද, එ සමයෙහි හේ දුක්ඛවේදනාව නො  ම විඳියි, අදුක්ඛම සුඛ වේදනාව ද නොම විඳියි. එසමයෙහි හේ සුඛ වේදනාව ම විඳියි. ආනන්දය, යම් විටෙක දුක්ඛවේදනාව විඳී ද, එ විටැ සුඛවේදනාව නොම විඳියි, අදුක්ඛාසුඛ වේඳනාව ද නොම විඳියි. එසමයෙහි දුක්ඛවේදනාව විඳී. ආනන්දය, යම් විටෙක අදුක්ඛාසුඛවේදනාව විඳී ද, එවිට සුඛ වේදනාව නො ම විඳියි, දුක්ඛවේඳනාව ද නො ම විඳියි. අදුක්ඛාසුඛවේදනාව ම එවිට විඳී.

35. ‘‘ආනන්දය, සුඛවේදනාව ද අනිත්‍ය ය, සංස්කෘත ය (ප්‍රත්‍යයයන් විසින් සකස් වූයේ ය.) ප්‍රතීත්‍යසමුත්පන්න ය, ක්ෂයධර්මය (ක්ෂීණ වන සුලු ය.), ව්‍යධර්මය, (වැනසෙන සුලු ය.) විරාගධර්ම ය (පහ වන සුලු ය), නිරෝධධර්මය (නිරුද්ධවන සුලු ය). ආනන්දය, දුක්ඛවේදනාව ද අනිත්‍ය ය, සංස්කෘත ය. ප්‍රතීත්‍යසමුත්පන්න ය, ක්ෂයධර්මය, ව්‍යධර්මය, , විරාගධර්ම ය, නිරෝධධර්මය. ආනන්දය, අදුක්ඛාසුඛවේදනාව ද අනිත්‍යය සංස්කෘත ය ,ප්‍රතීත්‍යසමුත්පන්න ය, ක්ෂයධර්මය, ව්‍යධර්මය, විරාගධර්ම ය, නිරෝධධර්මය. සුඛ වේදනාව විඳුනා හට ‘මේ මගේ ආත්මය වේ’ යැ යි සිතෙක් වෙයි. ඒ සුඛ වේදනාව ගේ නිරෝධයෙන් ‘මේ මගේ ආත්මය ව්‍යග්‍ර වී (විසිර ගීයේ යැ යි, පහ ව ගියේ යැ)’ යි සිතෙක් වෙයි. දුක්ඛවේදනාව විඳුනාහට ‘මේ මගේ ආත්මය වේ ’ යැ යි සිතෙක් වෙයි. ඒ දුක්ඛවේදනාවගේ ම නිරෝධයෙන් ‘මගේ ආත්මය ව්‍යග්‍ර වී’ යැ යි සිතෙක් වෙයි. ඒ අදුක්ඛාසුඛවේදනා විදුනාහට ‘මේ මගේ ආත්මය යැ’ යි සිතෙක් වෙයි. ඒ අදුක්ඛාසුඛවේදනාව නිරුද්ධ වීමෙන් ‘මගේ ආත්මය ව්‍යග්‍ර වී යැ’ යි සිතෙක් වෙයි. මෙසේ හෙ තෙම මෙ අත්බව්හි ම ආත්මයක් දක්නේ අනිත්‍ය වූ සුඛ වූ දුක් වු අනිත්‍යාදී  ලක්ෂණයන්ගෙන් මිශ්‍ර වූ (අදුක්ඛාසුඛ වූ) උපදනසුලු නැසෙන සුලු රූපාදි ස්කන්ධයක් දකී. එහෙයින් ආනන්දය, ‘වේදනාව මගේ ආත්මයැ’ යි මෙය දක්නට මෙයිනුත් නො රිසියෙයි.

36.  ‘‘ආනන්දය, ඔවුන් අතුරෙන් යමෙක් ‘වේදනාව මගේ ආත්මය නොවේ ම ය, මගේ ආත්මය ප්‍රතිසංවේදනා රහිත යැ’ යි මෙසේ කියා නම්, ‘ඇවැත්නි, යම් තැනෙක හැම අයුරින් ම විඳීමෙක් නැත් නම්, එහි මේ මම් වෙමි’ යි කියැ යුතු කිසි ස්කන්ධධර්මයෙක් වන්නේ දැ?’ යි හෙ තෙම කිය යුතු. (ඔහුගෙන් ප්‍රශ්න කළ යුතු.)

‘‘වහන්ස, මෙය (මම වෙමි යි ගත යුතු කිසි ස්කන්ධයෙක් එහි) නොවේ ම යැ’’ යි (අනඳතෙරණුවෝ වාදාළහ.)

‘‘ආනන්දය, එහෙයින් ‘වේදනාව මගේ ආත්මය නොවේ ම ය, මගේ ආත්මය ප්‍රතිසංවේදනාරහිත යැ’යි මෙය දක්නට මෙයිනුත් නො රිසියෙ යි.’’

37. ‘‘ආනන්දය, ඔවුන් අතුරෙන් යමෙක් ‘වේදනාව මගේ ආත්මය නො වේ ම ය, මගේ ආත්මය වේදනාරහිතත් නො වේ ම ය, මගේ ආත්මය විඳියි, මගේ ආත්මය විඳින සුලු යැ’ යි යමෙක් මෙසේ කියා නම්, ‘ඇවැත්නි, වේදනාවෝත් හැම අයුරින් ම වේදනාව නැති කල්හි, වේදනාවගේ නිරෝධයෙන් එහි ‘මේ මම් වෙමි’ යි කිවයුතු කිසිත් වන්නේ ය යන) මෙය නො වේ ම ය,’’ ආනන්දය, එහෙයින් මෙයිනුත් වේදනාව මගේ ආත්මය නොවේ ම ය, වේදනා නො වනුයේත් මගේ ආත්මය නො වේ ම ය, (වේදනායෙන් අන්‍ය ධර්මයෙක් වූ) මගේ ආත්මය විඳියි, (එසේ වූ) මගේ ආත්මය විඳින සුලු යැ’ යි මෙසේ මෙය දක්නට නො රිසියෙයි.

38. ‘‘ආනන්දය, යම් කලෙක මහණ වේදනාව ආත්ම කොට නො දකී ද, ආත්මය වේදනා නොවූවක් කොට හෝ නො දකී ද, ‘මගේ ආත්මය විඳියි, මගේ ආත්මය විඳුනා සුලු යැ’යි හෝ නො ම දකී ද, එසේ නො දක්නා හෙ තෙම ලොවැ කිසිත් (ආත්ම ආත්මීය වශයෙන්) නො ගනුයේ තෘෂ්ණා දෘෂ්ටි මාන යන තුන් පරිතස්සනායෙන් පරිතස්සනා නො කෙරෙයි. පරිතස්සනා නො කරන්නේ තෙමේ ම කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙයි, ‘සසර ඉපැත්ම ක්ෂීන වීයැ යි, මග බඹසර වැස නිමැවිණැ යි, කළ යුතු දෑ කරන ලද්දේ යැ යි , මේ රහත් බව පිණිස කළයුතු අනෙකක් නැතැ’ යි දැනගනී.

39. ආනන්දය, මෙසේ (ආත්මදර්ශන නැති) මිදුණු සිතැති රහත් මහණහු ඇරැබ යමෙක් ‘තථාගත තෙම මරණින් මත්තෙහි වේ යැ ’ යි මොහුගේ (රහත් වූවහුගේ) දෘෂ්ඨිය මෙසේ යැ’ යි කියන්නේ නම්, ඒ කීම (රහත් තෙම කිසිවක් නො දනී යැ යි කීයූවක් වන බැවින්) නො යුතු ය. ‘තථාගත තෙම මරණින් මත්තෙහි නොවේ යැ යි යනු මොහුගේ දෘෂ්ටියැ’ යි කියන්නේ නම්, එය නොයුතු ය. තථාගත තෙම මරණින් මත් නො ම වෙයි නො ම නො වෙයි යනු මොහුගේ දෘෂ්ටියැ ’ යි කියන්නේ නම් එය නො යුතු ය. ඒ කවර හෙයින: ආනන්දය, ව්‍යවහාර යම් පමරණ ද, ව්‍යවහාරවිෂ්‍ය යම් පමණ ද, නිර්වචන යම් පමණ ද, නිර්වචනවිෂය යම් පමණ ද, පඥප්තිය (පැණවීම) යම් පමණ ද, ප්‍රඥප්තිවිෂය යම් පමණ ද, ප්‍රඥාව යම් පමණ ද, ප්‍රඥායෙන් බැස ගත යුතු පඤ්චස්කන්ධය යම් පමණ ද, යම්තාක් සසරවට පවතී ද, රහත් මහණ එය වෙසෙසින් දැන මිදුණේ වෙයි. ‘එය දැන මිදුණු  මහණ නො දනී, නො දකී. එබැවින් මොහුගේ දෘෂ්ඨිය මෙසේ යැ ’ යි යම් කීමේක් ඇද්ද, එය නො යුතු යැ.

40. ආන්නදය, මේ විඥානස්ථිති (විඥානය පිහිටි තැන්) සත් දෙනෙකි, මේ ආයතනයෝ දෙදෙනෙකි.

විඥානස්ථිති සත කවරහ යත්:

ආනන්දය, මනුෂ්‍යයෝ ද සමහර දෙවියෝ ද සමහර විනිපාතිකයෝ ද (වෙමානික ප්‍රේතයෝ) ද යන කායනානාත්වය හා සංඥානානාත්වය ඇති සත්ත්වයෝ ඇත. මේ ප්‍රථම විඥානස්ථිතිය යැ.

‘‘ආනන්දය, ප්‍රථමධ්‍යානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියෝ ය යන කායනානාත්වය ඇති (ප්‍රමාණ විසින් කයින් වෙනස් වූ), සංඥාඑකත්වය ඇති (ප්‍රථම ධ්‍යාන සංඥා විසින් සමාන වූ) සත්ත්වයෝ ඇත. මේ දෙවෙනි විඥානස්ථිතිය යි.

ආනන්දය, ආභස්වර (විහිදෙන ප්‍රභා ඇති) දෙවියෝ ය යන (ප්‍රභා විසින්) කායඑකත්වය ඇති (අවිතර්ක විචාර-අවිතර්ක අවිචාර ධ්‍යාන විසින්) සංඥානානාත්වය ඇති සත්ව කෙනෙක් ඇත. මේ තෙවෙනි විඥානස්ථිතියයි.

ආනන්දය, ශුභකෘත්ස්නක දෙවියෝ ය යන කායඑකත්වය ඇති (චතුර්ථ ධ්‍යාන විසින්) සංඥ එකත්වය ඇති සත්ව කෙනෙක් ඇත. මේ සතරවන විඥානස්ථිතියයි.

ආනන්දය, හැම අයුරින් ම රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහවීමෙන්, නානාත්වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘අහස අනන්ත යැ යි දහන් වඩා ආකානඤ්චායතන භූමියට පැමිණි සත්වයෝ ඇත.  මේ පස්වන විඥානස්ථිති ය යි.

ආනන්දය, සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතන ඉක්ම ‘විඥානය අනන්තයැ’යි නාස්තිභාවප්‍රඥප්තිය වඩා ආකිඤ්චඤ්ඤායතන භූමියට පැමිණි සත්වයෝ ඇත. මේ සවන විඥානස්ථීතියයි

ආනන්දය, සර්වප්‍රකාරයෙන් විඤ්ඤානඤ්චායතනය ඉක්ම ‘කිසිත් නැතැ’ යි නාස්තිභාවප්‍රඥප්තිය වඩා ආකිඤ්චඤ්ඤායතන භූමියට පැමිණි සත්වයෝ ඇත. මේ සත්වන විඥානස්ථිතිය යි.

අසංඥසත්වායතනය ආයතන විසින් පළමු වැන්නයි නේවසඥ්ඤානාසඤ්ඤායතනය ම දෙවැන්න යි.

41. “ආනන්දය, ඔවුන් අතුරෙන් මනුෂ්‍යයෝ ද ඇතැම් දෙවියෝ ද, ඇතැම් විනිපාතිකයෝ ද යන නානත්තාකය නානාත්තසඤ්ඤී වූ යම් මේ ප්‍රථම විඥානස්ථිතියෙක් වේ ද, යමෙක් එයත් දනී නම්
 එහි සමුදයත් (පහළ වන්නට කාරණයත්) දනී නම්, එහි නිරෝධයත් දනී නම් එහි ආශ්වාදයත් (රසයත්) දනී නම් එහි ආදීනවයත් දනී නම්, එහි නිඃසරණයත් (එයින් නික්මීමත්) දනී නම් ඔහු විසින් එය (මම ය යි, මාගේ ය’ යි) අභිනන්දනයට (පිළිගන්නට) සුදුසු ද?’’

“වහන්ස, මෙය නොසුදුසු යැ.’’

“ආනන්දය, ඔවුන් අතුරෙන් ප්‍රථමධ්‍යානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියෝ ය යන කායනානාත්වය ඇති (ප්‍රමාණ විසින් කයින් වෙනස් වූ), සංඥාඑකත්වය ඇති යම් මේ දෙවෙනි විඥානස්ථිතියෙක් ඇද්ද යමෙක් එයත් දනී නම් එහි සමුදයත් (පහළ වන්නට කාරණයත්) දනී නම්, එහි නිරෝධයත් දනී නම් එහි ආශ්වාදයත් (රසයත්) දනී නම් එහි ආදීනවයත් දනී නම්, එහි නිඃසරණයත් (එයින් නික්මීමත්) දනී නම් ඔහු විසින් එය (මම ය යි, මාගේ ය’ යි) අභිනන්දනයට (පිළිගන්නට) සුදුසු ද?’’

“වහන්ස, මෙය නොසුදුසු යැ.’’

“ආනන්දය, ඔවුන් අතුරෙන් ආභස්වර (විහිදෙන ප්‍රභා ඇති) දෙවියෝ ය යන (ප්‍රභා විසින්) කායඑකත්වය ඇති (අවිතර්ක විචාර-අවිතර්ක අවිචාර ධ්‍යාන විසින්) සංඥානානාත්වය ඇති යම් මේ තෙවෙනි විඥානස්ථිතියෙක් ඇද්ද යමෙක් එයත් දනී නම්  එහි සමුදයත් (පහළ වන්නට කාරණයත්) දනී නම්, එහි නිරෝධයත් දනී නම් එහි ආශ්වාදයත් (රසයත්) දනී නම් එහි ආදීනවයත් දනී නම්, එහි නිඃසරණයත් (එයින් නික්මීමත්) දනී නම් ඔහු විසින් එය (මම ය යි, මාගේ ය’ යි) අභිනන්දනයට (පිළිගන්නට) සුදුසු ද?’’

“වහන්ස, මෙය නොසුදුසු යැ. ’’

“ආනන්දය, ඔවුන් අතුරෙන් ශුභකෘත්ස්නක දෙවියෝ ය යන කායඑකත්වය ඇති (චතුර්ථ ධ්‍යාන විසින්) සංඥ එකත්වය ඇති යම් මේ සිවුවන විඥානස්ථිතියෙක් ඇද්ද යමෙක් එයත් දනී නම්
 එහි සමුදයත් (පහළ වන්නට කාරණයත්) දනී නම්, එහි නිරෝධයත් දනී නම් එහි ආශ්වාදයත් (රසයත්) දනී නම් එහි ආදීනවයත් දනී නම්, එහි නිඃසරණයත් (එයින් නික්මීමත්) දනී නම් ඔහු විසින් එය (මම ය යි, මාගේ ය’ යි) අභිනන්දනයට (පිළිගන්නට) සුදුසු ද?’’

“වහන්ස, මෙය නොසුදුසු යැ.’’

“ආනන්දය, ඔවුන් අතුරෙන් හැම අයුරින් ම රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහවීමෙන්, නානාත්වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘අහස අනන්ත යැ යි දහන් වඩා ආකානඤ්චායතන භූමියට පැමිණි සත්වයෝ ඇති. යම් මේ පස්වන විඥානස්ථිතියෙක් ඇද්ද යමෙක් එයත් දනී නම් එහි සමුදයත් (පහළ වන්නට කාරණයත්) දනී නම්, එහි නිරෝධයත් දනී නම් එහි ආශ්වාදයත් (රසයත්) දනී නම් එහි ආදීනවයත් දනී නම්, එහි නිඃසරණයත් (එයින් නික්මීමත්) දනී නම් ඔහු විසින් එය (මම ය යි, මාගේ ය’ යි) අභිනන්දනයට (පිළිගන්නට) සුදුසු ද?’’

“වහන්ස, මෙය නොසුදුසු යැ.’’

“ආනන්දය, ඔවුන් අතුරෙන් සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතන ඉක්ම ‘විඥානය අනන්තයැ’යි නාස්තිභාවප්‍රඥප්තිය වඩා ආකිඤ්චඤ්ඤායතන භූමියට පැමිණි සත්වයෝ ඇති යම් මේ සවැනි විඥානස්ථිතියෙක් ඇද්ද යමෙක් එයත් දනී නම් එහි සමුදයත් (පහළ වන්නට කාරණයත්) දනී නම්, එහි නිරෝධයත් දනී නම් එහි ආශ්වාදයත් (රසයත්) දනී නම් එහි ආදීනවයත් දනී නම්, එහි නිඃසරණයත් (එයින් නික්මීමත්) දනී නම් ඔහු විසින් එය (මම ය යි, මාගේ ය’ යි) අභිනන්දනයට (පිළිගන්නට) සුදුසු ද?’’

“වහන්ස, මෙය නොසුදුසු යැ.’’

ආනන්දය, ඔවුන් අතුරෙන් සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතන භූමියට පැමිණි සත්ත්ව කෙනෙක් ඇත් නම් ඔවුන් පිළිබඳ වූ යම් මේ සත්වන විඥානස්ථිතියෙක් වේ ද, ආනන්දය යමෙක් ඒ විඥානස්ථිතියත් දනී ද, එයට කාරණයත් දනී ද, එහි නිරෝධයත් දනී ද, එහි රසයත් දනී ද, එහි ආදීනවයත් දනී ද, එහි නිඃසරණයත් දනී ද, එසේ දන්නාවූ ඔහු විසින් එය අභිනන්දනයට සුදුසු ද ? ’’

 “වහන්ස, මෙය සුදුසු නො වේ ම යැ.’’

‘‘ආනන්දය, ඔවුන් අතුරෙන් යම් මේ අසංඥසත්ත්වායතනයෙක් වේද, ආනන්දය, යමෙක් එයත් දනී ද, එහි සමුදයත් දනී ද, එහි නිරෝධයත් දනී ද, එහි රසයත් දනී ද, එහි දෝෂයත් දනී ද, එහි නික්මීමත් දනී ද, ඔහු විසින් එය අභිනන්දනයට පිළිගන්නට සුදුසු ද?’’

‘‘වහන්ස, මෙය සුදුසු නො වේ ම යැ.’’

‘‘ආනන්දය, ඔවුන් අතුරෙන් යම් මේ නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙක් වේ ද, ආනන්දය, යමෙක් එයත් දනී ද, එයට කාරණයත් දනී ද, එහි නිරෝධයත් දනී ද, එහි රසයත් දනී ද, එහි නිෂ්සරණයත් දනී ද, ඔහු විසින් එය පිළිගන්නට සුදුසු ද?’’

‘‘වහනස්, මෙය සුදුසු නො වේ ම යැ.’’

‘‘ආනන්දය, යම් කලෙක මහණ මේ විඥානස්ථිති සතේ ද මේ ආයතන දෙක්හි ද සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිෂ්සරණයත් තතු වූ පරිදි උපාදාන රහිත ව මිදුණේ වේ ද, ආනන්දය, මේ මහණ ප්‍රඥාවිමුක්ත (ප්‍රඥාබලයෙන් නාම රූප කයින් මිදුණේ)’’ යැ යි කියනු ලැබේ.

42. ‘‘ආනන්දය, මේ විමෝක්ෂයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක් ද යත්:

රූපී වූයේ (තමාගේ කේසාදියෙහි නීලකසිණාදී වශයෙන් ඉපිදැවූ රූපධ්‍යාන සතරෙන් එකක් ඇත්තේ තමා කෙරෙහි වූ නීලකසිණාදී) රූපයන් ධ්‍යාන ඇසින් දකී. මේ පලමු විමෝක්ෂය යි.

අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ (තමාගේ කේසාදින්හී ඉපැදැ වූ රූපසංඥා නැත්තේ, බාහිර අරමුණෙහි පිරියම් වඩා බාහිර අරමුණෙහි ම ඉපිදැ වූ රූපධ්‍යාන ඇත්තේ)බාහිර නීලකසිණාදී රූපයන් දකි. මේ දෙවෙනි විමෝක්ෂයයි.

(පිරිසිදු වූ නීලාදී වර්ණකසිණ අරමුණක් ගෙන) ‘ඒ අරමුණ ශුභ යැ’ යි එහි වැදගත්තේ වෙයි. මේ තෙවෙනි විමෝක්ෂයයි.

හැම අයුරින් ම රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහ  ව යෑමෙන් නානත්වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ‘අහස අනන්ත’ යැ යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ සිවුවන විමොක්ෂයයි.

හැම අයුරින් ම ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්ත යැ’ යි විඥානඤ්චායතනයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමෝක්ෂයයි.

හැම අයුරින් ම විඥානඤ්චායතන ධ්‍යානය ඉක්ම ආකිඤ්චඤ්ඤායතන යට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්ෂයයි.

හැම අයුරින් ම ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනට පැමිණ වෙසෙයි. මේ සත්වන විමෝක්ෂයයි.

හැම අයුරින් ම නේවසඤ්ඤානාසඤ්ඤා ඉක්ම සඤ්ඤා නිරෝධයට පැමිණ වෙසෙයි. මේ අට වන විමෝක්ෂයයි.

ආනන්දය, මේ විමෝක්ෂ අට යි.

‘‘ආනන්ද ය, යම් කලෙක මහණ තෙම මේ අෂ්ට විමෝක්ෂයන් අනුලොම්විසිනුත් (මුල පටන් අවසන දක්වාත්) සමවදී ද, පිළිලොම්විසිනුත් (අග සිට මුල දක්වාත්) සමවදී ද, අනුලොම්පිළිලොම් විසිනුත් සමවදී ද කැමැති තැනෙක කැමැති සමවතකට කැමැති සමවතකට, කැමැති තාක් කල් සමවැදීමෙත් එයින් නැගී සිටීමත් කෙරේ ද,  ආස්‍රවයන් ද ක්ෂය කිරිමේන් ආනාසුව වූ චිත්තවිමුක්තිය (ඵලසමාධිය) ද ප්‍රඥාවිමුක්තිය (ඵළඥානය) ද මේ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට සපයා වෙසේ ද, ආනන්ද යමේ මහණ උභතෝභාගවිමුක්ත (අරූපසමාපත්තියෙන් රූපකාය කෙරෙන් ද මාර්ගයෙන් නාමකාය කෙරෙන් දැයි දෙපසින් ම මිදුණේ) යැ යි කියනු ලැබේ. ආනන්දය, මේ උභතෝබාගවිමුක්තියෙන් උත්තරීතර (මෙයට වැඩි තරම්) වූ ප්‍රණීතතර (මෙයට වඩා උතුම් ) වූ උභතෝභාග විමුක්තියෙක් නැත.’’

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ආරාධිත සිත් ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගත්හ.

දෙවෙනි මහානිදාදාන සූත්‍රය නිමියේ ය.