මහා පරිනිබ්බාන සූත්‍රය

සුත්‍රාන්තපිටකයෙහි

දික් සඟිය

(ද්වීතීය භාගය)

 

මහාවර්‍ගය

_________________

ඒ භාග්‍යවත් අර්හත් සම්‍යග්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.

_______

3

මහා පරිනිර්‍වාණ සූත්‍රය.

 

  1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එසමයෙහි වෛදේහීපුත්‍ර වූ මගධදේශාධිපති අජාසත් රජ වැදෑ රජුන් මැඩැ ලනු පිණිස යනු කැමැත්තේ වෙයි. හෙ තෙම ‘මම් වූ කලී මේසා මහත් රාජර්ධියෙන් සමන්විත මේසා මහත් ආනුභාව ඇති වැදෑ රජුන් මුලින් සිඳලන්නෙමි, වජ්ජීන් වනසන්නෙමි, වජ්ජීන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි’ යි මෙසේ කියයි.

 

  1. ඉක්බිත්තෙන් වෛදේහීපුත්‍ර මගධදේශාධිපති අජාසත් රජ මගධ මහාමත්‍ර වූ වස්සකාර බමුණහු බැණවීය:

‘‘බමුණාණනි, මෙහි එන්න, භාග්‍යවතුන් වහන්සේ වෙත යවු. ගොස් මගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් (පාමුල හිස තබා) වඳිවු. ‘වහන්ස, වෛදේහීපුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ භාග්‍යවතුන් වහන්සේගේ පා මුල හිස තබා වඳියි. භාග්‍යවතුන් වහන්සේගේ නිරාබාධ බව, නීරොග බව, හෑල්ලු පැවැත් ම, කායබලය, සැප විහරණ විචාරා’ යැ යි නිරාබාධ බව, නීරෝග බව, හැල්ලු පැවැත්ම, කාය බලය, සැප විහරණය විචාරන්න.

‘වහන්ස, වෛදේහීපුත්‍ර වූ මගධේශ්වර අජාසත් රජ වැදෑරජුන් මඩිනුවට යනු කැමැත්තේ වෙයි. හෙතෙම ‘මේසා මහත්ඉදුමත් මේසා මහතෙදැති වැදෑ රජුන් මුල්සුන් කරන්නෙමි, වැදෑ රජුන් වනසන්නෙමි, වැදෑ රජුන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි’ යි මෙපරිද්දෙන් කියා’ යැ යි මෙසේත් කියන්න.  භාග්‍යවතුන් වහන්සේ ඔබට යමක් වදාරණ සේක් ද, එය මොනවට ඉගෙන මට සැළ කරන්න. තථාගතවරු නො සැබෑ බසක් නො බෙණෙත්’’ යැයි කීය.

  1. ‘එසේ ය, පින්වතාණෙනි’ යි කියා මගධමහාමාත්‍ර වූ වස්සකාර බමුණු වෛදේහීපුත්‍ර මගධේශ්වර වූ අජාසත් රජුට පිළිවදන් දී, මනාප මනාප යානයන් යොදවා, මනාප යානයක නැඟ, මනාප මනාප යානයන් ගෙන් උපලක්ෂිත ව රජගහපුරයෙන් නික්මියේ ය. ගිජුකුළු පව්ව වෙත එළැඹියේ ය. යානයෙන් යෑමට සුදුසු බිම යම්තාක් ද, ඒ තාක් ගොස් යානයෙන් බැස පා ගමන් ඇත්තේ ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටට කරුණු වූ, සිතැ රැඳැවිය යුතු වූ කථාව අවසන් කොට එක් පසෙක හිඳගත. එක් පසෙක හුන්නා වූ මගද මහමැති වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:

‘‘භවද් ගෞතමයිනි, වෛදේහීපුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ හිස නමා භවද් ගෞතමයන්ගේ පා වඳී. ඔබ නිරාබාධ නියා, නීරෝග නියා, හෑල්ලු පැවැතුම් නියා, කාබල ඇති නියා, සුව විහරණ ඇති නියා, විචාරයි. භවද් ගෞතමයිනි, වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාසත් රජ වැදෑ රජුන් මඩින්නට යනු කැමැත්තේ ය. ‘මෙසේ වූ මහත් රාජර්ද්ධි ඇති මෙසේ වූ මහත් අනුභාව ඇති මේ වැදෑ රජුන් මුල්සුන් කරන්නෙමි යි, මේ වැදෑ රජුන් වනසන්නෙමි යි, මේ වැදෑ රජුන් අනයව්‍යසනයට පමුණුවන්නෙමි’ යි මෙසේ කියා’’ යි භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.

වජ්ජීන් පිළිබඳ අපරිහානිය දහම් සත

  1. එ වේලෙහි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් පිටුපසින් සිටියාහු වෙති. එ කලැ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූ සේක:

‘‘ආනඳයෙනි, වැදෑ රජුහු නිරතුරු (දවස තෙවරක්) රැස් වන්නාහු ය, රැස් වනු බහු කොට ඇත්තාහ යි මෙය තොප විසින් අසන ලද දැ? ’’ යි අසා වදාළ සේක.

‘‘වහන්ස, වැදෑ රජුහු නිරතුරු රැස්වන්නාහ, රැස් වනු බහුල කොට ඇත්තාහ’යි මෙය මා විසින් අසන ලද’’යි අනඳ තෙරණුවෝ පිළිතුරු දුන්හ.

‘‘අනඳයෙනි, වැදෑ රජහු යම්තාක් එක්වන් රැස්වීම් ඇත්තාහු ද, රැස් වනු බහුල කොට ඇත්තෝ වන්නාහු ද, ඒතාක් අනඳයෙනි, වැදෑ රජුන්ගේ වැඩීම ම ඇවෙක්සිය (කැමැතිවිය) යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු’’(1)

‘‘අනඳයෙනි, වැදෑ රජුහු සමග වැ රැස් වෙත් ය, සමග වැ නැගී සිටිත් ය, සමග වැ වැදෑකරණී කෙරෙත් යැ යි මෙය තොප විසින් අසන ලද ද? ’’

‘‘වහන්ස, වැදෑ රජහු, සමගැ ව රැස් වෙත්, සමග වැ නැගී සිටිත්, සමග වැ වැදෑකරණී කෙරෙත් යැ යි මෙය මා විසින් අසන ලදි. ’’

‘‘අනඳයෙනි, යම්තාක් වැදෑ රජහු සමගි වැ රැස් වන්නාහු ද, සමගවැ නැගී සිටින්නාහු ද, සමග වැ වැදෑකරණී කරන්නාහු ද, අනඳයෙනි, ඒ තාක් ම වැදෑ රජුන්ගේ වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු’’    (2)

‘‘අනඳයෙනි, වැදෑ රජහු (පෙර තම පරපුරෙහි රජුන්) නො පනවන ලද්දක් නො පනවත්, පනවන ලද්දක් නො සිඳිත්, පනවන ලද පොරණ වැදෑ දහම්හි පිහිටා පවතිත් යැ යි මෙය තොප විසින් අසන ලද ද?’’

‘‘වහන්ස, වැදෑ රජුහු පෙර තම පරපුරෙහි රජුන් නො පැනවූවක්  නොපනවත්, පැනැවූවක් නො සිඳිත්, පනවන ලද පොරණ වැදෑ දහම්හි පිහිටා සිටිත් යැ යි මෙය මා විසින් අසන ලදි’’

‘‘අනඳයෙනි, යම්තාක් වැදෑ රජහු පෙර වැදෑරජුන් නො පැනවූවක් නොපනවන්නාහු ද, පැනවූවක් නොසිඳින්නාහු ද, පනවන ලද පොරණ වැදෑ දහම්හි පිහිටා සිටින්නාහු ද, ඒ තාක් ම අනඳයෙනි, වැදෑ රජුන්ගේ වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවැක්සිය යුතු’’(3)

‘‘අනඳයෙනි, වැදෑ රජුන් අතුරෙහි යම් මහළු වැදෑ කෙනෙක් වෙත් නම්, වැදෑ රජුහු ඔවුනට සත්කාර කෙරෙත්, ගරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පුජා කෙරෙත් ඔවුන් බස් ඇසිය යුතු කොට සිතත් යැයි මෙය තොප විසින් අසන ලදද?’’

‘‘වහන්ස, වැදෑ රජුන් අතුරෙහි යම් මහළු වැදෑ කෙනෙක් වෙත් නම්, වැදෑ රජුහු ඔවුනට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පුජා කෙරෙත්, ඔවුන් බස් ඇසිය යුතු කොට සිතත් යැයි මෙය මා විසින් අසන ලදි. ’’

‘‘අනඳයෙනි, යම්තාක් වැදෑ රජහු සිය මහළු වැදෑවනට සත්කාර ගුරුකාර මානන පූජන කරන්නාහු නම්, ඔවුන් බස් ඇසිය යුතු කොට සිතන්නාහු නම්, ඒ තාක් අනඳයෙනි, වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු ’’(4)

‘‘අනඳයෙනි, යම් කුලවමියෝ කුලදැරියෝ වෙත් ද, වැදෑ රජුහු ඔවුන් ඇදගෙනගොස් බලාත්කාරයෙන් තමන් කෙරෙහි නො වස්වත් යැ යි මෙය තොප විසින් අසන ලද ද?’’

‘‘වහන්ස, යම් කුලවමියෝ කුලදැරියෝ වෙත් නම්, වැදෑ රජුහු ඔවුන් ඇදගෙන ගොස් බලාත්කාරයෙන් තමන් කෙරෙහි නො වස්වත් යැ යි මෙය මා විසින් අසන ලදි.’’

‘‘අනඳයෙනි, යම්තාක් වැදෑ රජුහු කුලවමියෝ කුලදැරියෝ ඇදැ ගෙන ගොස් බලාත්කාරයෙන් තමන් වෙතැ නො වස්වන්නාහු ද, ඒ තාක් ම අනඳයෙනි, වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවැක්සිය යුතු ’’(5)

‘‘අනඳයෙනි, නුවර ඇතුළත ද පිටත ද වැදෑ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, වැදෑහු එයට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පුජා කෙරෙත්, එයට දුන් විරූ, කළ විරූ දැහැමි බිලියම් නො පිරිහෙළත් යැයි මෙය තොප විසින් අසන ලදද ?’’

‘‘වහන්ස, නුවර ඇතුළත ද පිටත ද, වැදෑ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, වැදෑහු එයට සත්කාර කෙරෙත්, ගුරුකාර කෙරෙත්, බුහුමන් කෙරෙත්, පූජා කෙරෙත්, එයට දුන් විරූ, කළ විරූ, දැහැමි බිලියම් නොපිරිහෙළත් යැ යි මෙය මා විසින් අසන ලදි.’’

‘‘අනඳයෙනි, නුවර ඇතුළතත් බැහැරත් වැදෑ රජුන්ගේ යම් වැදෑ දෙවොල් කෙනෙක් වෙත් නම්, එයට වැදෑ රජුහු යම්තාක් සත්කාර බහුමාන පූජා කරන්නාහු නම්, එයට දුන් විරූ දැහැමි බලි නො පිරිහෙලන්නාහු නම්, ඒ තාක් ම වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු . පිරිහීම නො ඇවෙක්සිය යුතු’’(6)

‘‘අනඳයෙනි, කෙසේ නම් සිය රටට නොආ රහත්හු එන්නාහු ද, ආ රහත්හුත් සිය රටෙහි පහසුවෙන් වසන්නාහු දැ’ යි වැදෑ රජුන් විසින් රහතුන් කෙරෙහි (මහණබමුණන් කෙරෙහි) දැහැමි රැකවළ මොනවට පිහිටුවන ලද යැයි තොප විසින් අසන ලද ද? ’’

‘‘වහන්ස, ‘කෙසේ නම් සිය රටට නොආ රහත්හු එන්නාහු ද, ආ රහත්හුගේ සිය රටෙහි පහසු සේ වසන්නාහු දැ’ යි වැදෑ රජුන් විසින් රහතුන් කෙරෙහි (මහණබමුණන් කෙරෙහි) දැහැමි රැකවළ මොනවට පිහිටුවන ලදුයේ යැයි මෙය මා විසින් අසන ලදි’’

‘‘අනඳයෙනි, යම්තාක් සිය රටට නොආ රහත්හු  ‘කෙසේ නම් එන්නාහු දැයි, ආ රහත්හු කෙසේ නම් පහසු සේ වසන්නාහු දැ’ යි වැදෑ රජුන් විසින් රහතුන් කෙරෙහි දැහැමි රැකවළ මොනවට පිහිටුවන ලද්දේ වන්නේ ද, අනඳයෙනි, ඒ තාක් ම වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවැක්සිය යුතු.’’(7)

  1. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මගද මහමැති වස්සකාර බමුණා අමතා, ‘‘බමුණ එක් සමයෙක මම් විසල්පුරැ සාරන්දද චේත්‍ය විහාරයෙහි විසීමි. එහිදී මම් වැදෑ රජුනට මේ අපරිහානිය දහම් සත දෙසීමි. බමුණ, යම්තාක් කල් මේ සත් අපරිහානිය දහම්හු වැදෑවන් කෙරෙහි සිටින්නාහු ද, වැදෑවෝ මේ සත් අපරිහානිය දහම්හි (සිටියාහු) දක්නා ලැබෙත් ද, බමුණ, ඒ තාක්ම වැදෑවනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු’ යැ යි (මෙයින් වජ්ජීන්ගේ විනාශය කල් යන බව දැන) වදාළ සේක.

 

මේ වජ්ජීන් පිළිබඳ අපරිහානිය දහම් සතය.

 

  1. ‘‘මෙසේ (වජ්ජීන් කෙරෙහි අනුකම්පාවෙන්) වදාළ කලැ (මෙයින් වජ්ජිනාසයට ක්‍රමයක් සිතාගත්) මගද මහමැති වස්සකාර බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට ‘‘භවද්, ගෞතමයිනි, මේ එක් එක් අපරිහානිය දහමෙකිනුදු යුත් වූ වැදෑවනට වැඩීම  ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවැක්සිය යුතු. අපරිහානිය දහම් සතෙකින් යුත් වු කලැ කියනුම කවර යැ. භවද් ගෞතමයිනි, වෛදේහීපුත්‍ර මගධාධිපති අජාසත් රජුහු විසින් වැදෑරජුහු සිත්ගැන්මෙන් හෝ උනුන් බිඳුවාලීමෙන් හෝ විනා යුද්ධයෙකින් වූ කලී ගත නො හැක්කාහු ම ය.

භවද් ගෞතමයෙනි, දැන් අපි යම්හ. අපි බොහෝ කෘත්‍ය ඇත්තම්හ’ යි කී ය.

‘‘බමුණ, යම් ගමනකට සිතහි නම්, මේ එයට කලැ’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

ඉක්බිත්තෙන් මගද මහමැති වස්සකාර බමුණු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන (සිතින් නොව වචනයෙන්) අනුමෝදන් ව හුනස්නෙන් නැගී නික් මැ ගියේ ය.

  1. මහද මහමැති වස්සකාර බමුණා නික්මැ ගිය නොබෝ වේලායෙහි භාග්‍යවතුන් වහන්සේ අනඳතෙරුන් බණවා. ‘‘ අනඳයෙනි, තෙපි යවු. යම් පමණ මහණහු රජගහ නුවර නිසා වෙසෙත් නම්, ඒ හැම උවටන්හලට එක් රැස් කරවු’’ යැයි වදාළ සේක.

‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී රජගහ නුවර නිසා වසන තාක් සියලු මහණුන් උවටන්හලැ රැස් කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ වැඳ පසෙක සිටියහ. පසෙක සිටියා වූ අනඳ තෙරණුවෝ ‘‘වහන්ස, යමකට භාග්‍යවතුන් වහන්සේ දැන් කලැයි සිතන සේක් නම්, දැන් ඒ භික්ෂුසඞ්ඝන්නිපාතය කරන ලදැ’’ යි සැල කළහ.

  1. එ කල්හී, භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී උවටන්හල කරා එළැඹි සේක. එළැඹ පණවන ලද අස්නැ වැඩ හුන් සේක. වැඩහිඳ භික්ෂුන් අමතා ‘මහණෙනි, තොපට සත් අපරිහානි දහම් දෙසන්නෙමි. එය අසවු, මොනවට සිත්හි දරවු, කියන්නෙමි’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, යම්තාක් මහණහු එක්වන් රැස් වන්නාහු, රැස්වීම් බහුල කොටැත්තෝ වන්නාහු ද,  මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සියැ යුතු පිරිහීම නොම ඇවෙක්සිය යුතු(1)

මහණෙනි, යම්තාක් මහණහු සමග වැ රැස් වන්නාහු ද, සමග වැ නැගී සිටින්නාහු ද, සමග ව සංඝකර්ම කරන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සියැ යුතු පිරිහීම නොම ඇවෙක්සිය යුතු.(2)

මහණෙනි, යම්තාක් මහණහු නොපැනැවුණක් නො පනවන්නාහු ද, පැනවුණු දෑ නොසිඳින්නාහු ද, පැනවූ තාක් සිකපද සමාදන් ව ගෙන පවත්නාහු ද, ඒතාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු(3)

මහණෙනි, චිරරාත්‍රඥ වූ, පැවිදි වූ බොහෝ කල් ඇති, සංඝපීතෘ වූ, සංඝපරිනායක වු යම් තෙරහු වෙත් ද, ඔවුනට මහණහු යම්තාක් සත්කාර කරන්නාහු ද, ගරුකාර කරන්නාහු ද, බුහුමන් කරන්නාහු ද, ඔවුන් පුදන්නාහු ද, ඔවුන් බස ඇසිය යුතු කොට සිතන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුනට වැඩීම පිණිස ම ඇවෙක්සිය යුතු , පිරිහීම පිණිස නොම ඇවෙක්සිය යුතු.(4)

මහණෙනි, යම්තාක් කල් මහණහු පුනර්භවය පිණිස පවත්නා, තමන් කෙරෙහි උපන් තෘෂ්ණා වශයට නොයෙත් ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.(5)

මහණෙනි, මහණහු යම්තාක් වන සෙනසුන්හි අපේක්ෂාසහිත වන්නාහු ද, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.(6)

මහණෙනි, යම්තාක් මහණහු ‘කෙසේ නම් (තමන් සෙනස්නට) නොආ ප්‍රියශීල සබ්රම්සරුහු එන්නාහු ද, ආ ප්‍රියශීල සබ්රම්සරුහු සැපසේ වසන්නාහු දැ’ යි තමන් කෙරෙහි ම සිහිය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු (7)

මහණෙනි, යම්තාක් මේ සත් අපරිහානිය ධර්මයෝ මහණුන් කෙරෙහි සිටින්නාහු ද, මහණහු මේ අපරිහාණිය ධර්ම සතෙහි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.

2.අනෙකුදු අපරිහානිය දහම් සතක්.

  1. මහණෙනි, තොපට අන් අපරිහානිය දහම් සතක් දෙසන්නෙමි. එය අසවු, මොනවට මෙනෙහි කරවු,  කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

 

මහණෙනි, මහණහු යම්තාක් කර්මාරාම (උද්දේසාදිය හැර සිවුරු කිරීම ආදී කටයුත්තෙහි පමණක් ම යෙදුණෝ) නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීමක් ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු.(1)

 

මහණෙනි, යම්තාක් මහණහු භස්සාරාම (ස්ත්‍රීපුරුෂවර්ණනාදීකථායෙහි, කෙළිකවට බස්හි යෙදුණෝ) නොවන්නාහු ද, භස්සරත නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.(2)

 

මහණෙනි, යම්තාක් මහණහු නිද්‍රාරාම (නින්දෙහි බෙහෙවින් යෙදුණෝ) නො වන්නාහු ද, නිද්‍රාරත නො වන්නාහු ද, නිද්‍රාරාමතායෙහි යෙදුණෝ නොවන්නාහුද, මහණෙනි, ඒතාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.(3)

 

මහණෙනි, යම් තාක් මහණහු ගණසඞ්ගණිකාරාම (බොහෝ දෙනා හා එක් වැ විසීමේ යෙදුණෝ) නො වෙත් ද, ගණසඞ්ගණිකායෙහි ඇලුණෝ නො වෙත් ද, ගණසඞ්ගණිකාරාම බව්හි යෙදුණෝ නො වෙත් ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නොම ඇවෙක්සිය යුතු.(4)

 

මහණෙනි, යම්තාක් මහණහු පාපිච්ඡා (ලාමක ඊප්සා ඇත්තෝ) නො වන්නාහු ද, ලාමක ඊප්සාවනට වසඟ නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහනුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.(5)

 

මහණෙනි, යම්තාක් මහණහු පාපමිත්‍රයන් ඇත්තෝ නො වන්නාහු ද, පාප සහායයන් ඇත්තෝ නො වන්නාහු ද, පාපායනට නැමුණෝ නො වන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (6)

 

මහණෙනි, මහණහු යම්තාක් අල්පමාත්‍ර වූ විශේෂාධිගමයෙන් (රහත්බවට නො පැමිණ) අතරැ නිමියා වු කෘත්‍ය ඇති බවට (ධ්‍යානාදි අල්පමාත්‍රලාභයෙන් තෘප්තියට) නො පැමිණෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.(7)

 

මහණෙනි, යම්තාක් මේ සත් අපරිහානිය ධර්මයෝ මහණහු කෙරෙහි සිටුනාහු ද, මේ සත් අපරිහානිය ධර්මයන්හි මහණහු දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නොම ඇවෙක්සිය යුතු.

 

3.අනෙකුදු අපරිහානිය ධර්ම සතක්

 

  1. මහණෙනි, තොපට අන් අපරිහානිය ධර්ම සතක් ද දෙසන්නෙමි. එය අසවු. මොනවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

මහණෙනි, යම්තාක් මහණහු සැදැහැ ඇත්තෝ වන්නාහු ද, මහණෙනි, ඒතාක් ම මහණුනට වැඩීම ම ඇවැක්සිය යුතු ය, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.(1)

මහණෙනි, පවට පිළිකුල් සිතැතියෝ වන්නාහු ද, මහණෙනි, ඒතාක් ම මහණුනට වැඩීම ම ඇවැක්සිය යුතු ය, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.(2)

මහණෙනි, යම්තාක් මහණහු පවට බිය ඇත්තෝ  වන්නාහු ද, මහණෙනි, ඒතාක් ම මහණුනට වැඩීම ම ඇවැක්සිය යුතු ය, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.(3)

මහණෙනි, යම්තාක් මහණහු බොහෝ ඇසූ පිරූ තැන් ඇතියෝ  වන්නාහු ද, මහණෙනි, ඒතාක් ම මහණුනට වැඩීම ම ඇවැක්සිය යුතු ය, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.(4)

මහණෙනි, යම්තාක් මහණහු ඇරඹු වැර ඇතියෝ  වන්නාහු ද, මහණෙනි, ඒතාක් ම මහණුනට වැඩීම ම ඇවැක්සිය යුතු ය, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.(5)

මහණෙනි, යම්තාක් මහණහු එළැඹ සිටි සිහි ඇතියෝ  වන්නාහු ද, මහණෙනි, ඒතාක් ම මහණුනට වැඩීම ම ඇවැක්සිය යුතු ය, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.(6)

මහණෙනි, යම්තාක් මහණහු ප්‍රඥා ඇතියෝ  වන්නාහු ද, මහණෙනි, ඒතාක් ම මහණුනට වැඩීම ම ඇවැක්සිය යුතු ය, පිරිහීම නො ම ඇවෙක්සිය යුතු.(7)

මහණෙනි, යම්තාක් මෙ කී අපරිහානිය ධර්මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ සත් අපරිහානිය ධර්ම කෙරෙහි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ම ඇවැක්සිය යුතු.

4.අනෙකුදු අපරිහානිය ධර්ම සතක්

  1. මහණෙනි, තොපට අන් අපරිහානිය දහම් සතක් ද දෙසන්නෙමි. එය අසවු, මොනවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

මහණෙනි, යම්තාක් මහණහු සතිසම්බොජ්ඣංගය වඩන්නාහු ද, , මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ම ඇවැක්සිය යුතු.(1)

මහණෙනි, යම්තාක් මහණහු ධම්මවිචය සම්බොජ්ඣංගය වඩන්නාහු ද,  මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ම ඇවැක්සිය යුතු.(2)

මහණෙනි, යම්තාක් මහණහු විරිය සම්බොජ්ඣංගය වඩන්නාහු ද, , මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ම ඇවැක්සිය යුතු.(3)

මහණෙනි, යම්තාක් මහණහු පීති සම්බොජ්ඣංගය වඩන්නාහු ද, , මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ම ඇවැක්සිය යුතු.(4)

මහණෙනි, යම්තාක් මහණහු පස්සද්ධි සම්බොජ්ඣංගය වඩන්නාහු ද, , මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ම ඇවැක්සිය යුතු.(5)

මහණෙනි, යම්තාක් මහණහු සමාධි සම්බොජ්ඣංගය වඩන්නාහු ද, , මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ම ඇවැක්සිය යුතු.(6)

මහණෙනි, යම්තාක් මහණහු උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩන්නාහු ද, , මහණෙනි, ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නො ම ඇවැක්සිය යුතු.(7)

මහණෙනි, යම්තාක් මේ සත් අපරිහානිය ධර්මයෝ මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ සත් අපරිහානිය ධර්මයන්හි දක්නා ලැබෙන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීමක් නො ම ඇවෙක්සිය යුතු.

5.අනෙකුදු අපරිහානිය දහම් සතක්

  1. මහණෙනි, තොපට අන් අපරිහානිය දහම් සතක් ද දෙසන්නෙමි. එය අසවු මොනවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

 

මහණෙනි, මහණහු යම්තාක් අනිත්‍යසංඥාව වඩන්නාහු ද ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (1)

 

මහණෙනි, මහණහු යම්තාක් අනාත්මසංඥාව වඩන්නාහු ද ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (2)

 

මහණෙනි, මහණහු යම්තාක් අශුභසංඥාව වඩන්නාහු ද ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (3)

 

මහණෙනි, මහණහු යම්තාක් ආදීනවසංඥාව වඩන්නාහු ද ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (4)

 

මහණෙනි, මහණහු යම්තාක් ප්‍රහාණසංඥාව වඩන්නාහු ද ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (5)

 

මහණෙනි, මහණහු යම්තාක් විරාගසංඥාව වඩන්නාහු ද ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (6)

 

මහණෙනි, මහණහු යම්තාක් නිරෝධසංඥාව වඩන්නාහු ද ඒ තාක් මහණුනට වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (7)

 

6.අනෙක් අපරිහානිය දහම් සයක්.

 

  1.  මහණෙනි, අන් අපරිහානිය දහම් සයක් දෙසන්නෙමි. එය අසවු. මොනවට මෙනෙහි කරවු, කියන්නෙමි යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.  ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

 

මහණෙනි, මහණහු යම්තාක් සබ්රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත්, මෛත්‍රීමය කාය කර්මය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.(1)

 

මහණෙනි, මහණහු යම්තාක් සබ්රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත්, මෛත්‍රීමය වාක් කර්මය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.(2)

 

මහණෙනි, මහණහු යම්තාක් සබ්රම්සරුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත්, මෛත්‍රීමය මනක්කර්මය එළවා තබන්නාහු ද, මහණෙනි, ඒ තාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු.(3)

 

මහණෙනි, යම්තාක් යටත්පිරිසෙයින් පාත්‍රයෙහි ඇතුළත් ආහාර මාත්‍රා වූ දෑ යැ යි දැහැමෙන් ලත් යම් ලාභ කෙනෙක් වෙත් නම්, එබඳු ලාභයන් බෙදා නොදී නො වළඳන්නෝ සිල්වත් සබ්රම්සරුන් හා සාධාරණභොගී වන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණුන් විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නො ඇවෙක්සිය යුතු. (4)

 

මහණෙනි, නොකඩ වූ නොසිදුරු වූ, සබල නොවූ, නොකැලැල් වූ, තෘෂ්ණාදාසත්වයෙන් මිදුණාවු, පැණවතුන් විසින් පසස්නා ලද, තෘෂ්ණා දෘෂ්ටීන් අපරාමෘෂ්ට වූ සමාධි පිණිස පවත්නා වූ යම් සිල් කෙනෙක් වෙත් ද, එබඳු ශීලයන්හි සබ්රම්සරුන් හා හමුයෙහිත් නො හමුයෙහිත්, යම්තාක් ශීලසම්පන්‍යගත වැ (ශීලයෙන් සමාන බවට පැමිණ) වාස කරන්නාහු ද. මහනෙනි, ඒ තාක් මහණහු විසින් වැඩිම ම ඇවෙක්සිය යුතු, පිරිහීම නොම ඇවෙක්සිය යුතු. (5)

 

මහණෙනි, ආර්‍ය වූ (නිදොස් වූ) නෛර්යාණික වූ යම් සම්‍යග්දෘෂ්ටිකයෙක් වේද , යමෙක් තථාකාරී වුවහුගේ සියලු දුක් නැසීමට යේ ද, මහණහු යම්තාක් එසේ වූ දෘෂ්ටියෙන් සබ්රම්සරුන් හා හමුයේත් නො හමුයේත්, දෘෂ්ටිසාමාන්‍යගත වැ (සම්දිටුයෙන් සමාන බවට පැමිණ) වසන්නාහු ද, මහණෙනි, ඒතාක් මහණහු විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු පිරිහීම නොම ඇවෙක්සිය යුතු(6)

 

මහණෙනි, යම්තාක් මේ අපරිහානිය ධර්ම සදෙන මහණුන් කෙරෙහි සිටුනාහු ද, මහණහු මේ අපරිහානිය ධර්ම සයෙහි දක්නා ලැබෙන්නාහු ද, ඒ තාක් මහණහු විසින් වැඩීම ම ඇවෙක්සිය යුතු. පිරිහීම නොම ඇවෙක්සිය යුතු.

 

භික්ෂූනට දෙසූ දැහැමි කථා:

 

  1. භාග්‍යවතුන් වහන්සේ එහි රජගහ නුවරැ ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක් ‘‘සිල් මෙබඳු ය, සමාධිය මෙබඳු ය, ප්‍රඥාව මෙබඳුය, ශීලයෙන් වඩන ලද සමාධිය, මහත්පල ඇත්තේ ය, මහත් අනුසස් ඇත්තේ වේ. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත් පල ඇති වේ. මහත් අනුසස් ඇති වේ. ප්‍රඥාවෙන් වඩන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මොනවට මිඳේ’’ යැ යි ශීල සමාධි ආදී වූ මේ දැහැමි කතාව බහුල කොට වදාරණ සේක.

 

  1. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කැමැතිතාක් කල් රජගහ නුවර වැස, අනඳ තෙරුන් අමතා ‘‘අනඳයෙනි, යම්හ, අඹයැටිඋයන කරා එළැඹෙන්නම්හ.’’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් මහණමුළුවක් හා අඹයැටිඋයන වෙත එළැඹි සේක. එ කල්හී භාග්‍යවතුන් වහන්සේ අඹයැටි වෙනෙහි රාජාගාරයෙහි වැඩ වසන සේක් _ ‘‘ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය, ශීලයෙන් වඩන ලද සමාධිය මහත්පල ඇත්තේ මහත් අනුසස් ඇත්තේ වෙයි. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත්පල ඇත්තේ මහත් අනුසස් ඇත්තේ වේ. ප්‍රඥාවෙන් වඩන ලද චිත්තය කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මොනවට මිඳේ’’ යැ යි මහණුනට දැහැමි කතාව ම බහුල කොට කරන සේක.

 

  1. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්නේ අඹයැටියෙහි කැමැති තාක් කල් වැස අනඳතෙරුන් අමතා, ‘අනඳයෙනි, එවු නාලන්දාව කරා යම්හ’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුව නාලන්ද්‍ර නුවරට වැඩිසේක. ඒ කල්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්ද්‍ර නුවරැ පාවාරික අඹ වෙනෙහි වැඩ වසන සේක.

 

ශාරිපුත්‍ර සිංහනාදය

 

  1. එ කල්හි සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන්නාවු සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට ‘‘වහන්ස, සම්බෝධි(රහත්මග නුවණ)  නම් වූ යමෙක් ඇද්ද, එයින් භාග්‍යවතුන් වහන්සේට වඩා අභිඥාතර වූ (උත්තරීතර ඥනයෙන් යුක්ත වූ) අන් මහනෙක් හෝ බමුණෙක් හෝ ඉකුත් කල්හි නො වී ය. මතුත් නො වන්නේ ය. දැනුදු නැතැ යි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම් මෙසේ ප්‍රසන්නයෙමි’’ යි සැළ කළහ. එවිට ‘‘ශාරිපුත්‍රයෙනි, සම්බෝධිඥානයෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා අභිඥාතර වූ අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඉකුත් කල්හි නො වී ය. මතුත් නො වන්නේ ය, දැනුදු නැතැ යි මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම ප්‍රසන්නයෙමි’’යි තොප විසින් කියන ලද මේ ශ්‍රේෂ්ඨ වචනය මහත් එකෙක. මෙහි ලා තොප විසින් ඒකාන්තය ගන්නා ලද්දේ ය.  (ප්‍රත්‍යවේක්ෂඥානයෙන් දැන කීවාක් සේ ඒකාන්ත නිශ්චය කථාවෙක් ම කියන ලද්දේ ය.) සිංහනාදය පවත්වන ලද්දේ ය.

 

ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, ඉකුත් කලැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වුසු නම්, ඒ භගවත්හු මෙබඳු සිල් ඇත්තෝ වූහයි කියා ද, ඒ භගවත්හු මෙබඳු දහම් ඇත්තෝ, මෙබඳු ප්‍රඥා ඇත්තෝ මෙබඳු විහරණ ඇත්තෝ, මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ යි කියාත් ඔබ සිත් තමන් සිතින් පිරිසිඳ ඒ සියලු භගවත්හු තොප විසින් දන්නා ලද්දාහු ද? යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

 

‘‘වහන්ස, මෙය එසේ නො දන්නා ලද්දේ ම යැ’’ යි සැරියුත් තෙරණුවෝ වදාළහ. කිමෙක් ද ශාරිපුත්‍රයෙනි, ඒ භගවත්හු මෙබඳු සිල් ඇත්තෝ වන්නාහ, මෙබඳු දහම් ඇත්තෝ වන්නාහ, මෙබඳු ප්‍රඥා ඇත්තෝ වන්නාහ, මෙබඳු විහරණ ඇත්තෝ වන්නාහ, මෙබඳු විමුක්ති ඇත්තෝ වන්නාහ යි ඔබ සිත් සිය සිතින් පිරිසිඳ ඒ සියලු භාගවත්හු තොප විසින් දන්නා ලදහු දැ? යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

‘‘වහන්ස, මෙය එසේ නො දන්නා ලදැ’’යි සැරියුත් තෙරණුවෝ වදාළහ.

ශාරිපුත්‍රයෙනි, කිමෙක් ද, භගවත් තෙමේ මෙබඳු සිල් ඇත්තේ යැ යි ද, භගවත් තෙමේ මෙබඳු දහම් ඇත්තේ යැ යි ද, මෙබඳු ප්‍රඥා ඇත්තේ යැ යි , මෙබඳු විහරණ ඇත්තේ යැ යි , මෙබඳු විමුක්ති ඇත්තේ යැයි ද කියා මා සිත තොප සිතින් පිරිසිඳ , මෙ කලැ අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ මම් තොප විසින් දන්නා ලදුයෙම් දැ? යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

‘‘වහන්ස, මෙය එසේ නොම දන්නා ලදැ’’යි සැරියුත් තෙරණුවෝ වාදාළහ.

ශාරිපුත්‍රයෙනි, මේ කරුණෙහි ලා තොපට අයුඅනාවත්මන් යන තෙකලට අයත් වු රහත් සම්මාසම්බුදුවරුන් විෂයෙහි චේතස්පර්යායඥානයෙක් නැත. ශාරිපුත්‍රයෙනි, එසේ කලැ තොප විසින් ‘‘වහන්ස, සම්බෝධියෙන් භාග්‍යවතුන් වහන්සේට වඩා අභිඥාතර වූ අන් මහණෙක් හෝ බමුණෙක් හෝ ඉකුත් කල්හි නො වී ය, මතු කල්හිත් නො වන්නේ ය, දැනුදු නැතැයි  භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ මම ප්‍රසන්නයෙමි’’යි මේ මහත් අභීත වචනය කවර කරුණෙකින් කියන ලද ද?’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

  1. ‘‘වහන්ස, අයුඅනාවත්මන් යන තෙකලට අයත් රහත් සම්මාසම්බුදුවරුන් විෂයෙහි චේතස්පර්යාය ඥාණයක් මට නැත. එතෙකුදු වුවත් ධර්මාන්වයය(සර්වඥතාඥානාදිධර්ම පිළිබඳ අනුබෝධ ඥානය) මා විසින් ලබන ලද්දේ ය.

වහන්ස, යම්සේ තර වූ පවුරුපා ඇති, දැඩි වූ පවුරු හා තොරණ ඇති, එක් ම දොරක් ඇති පසල් නුවරෙක් වේද, පණ්ඩිත වූ කීමෙහි බිණීමෙහි හුරුබුහුටි වු, තැනට නිසි නුවණ ඇති, තමා නො දන්නවුන් නුවරට එනු නොදී වළක්වාලන, දන්නවුන් නුවරට පිවිස්වන දොරොටුපල්ලෙක් වන්නේ ද, හෙ තෙම නුවර පවුරුමගැ හැවිදුනේ , යටත් පිරිසෙයින් බළලකුට නික්මිය හැකි තරම් වූ ප්‍රකාරසන්ධියක් (ගඩොල් බැම්ම ඇද හැලුණු තැනක්) හෝ පවුරැ සිදුරු වූ තැනක් හෝ නො දක්නේ ද, ඔහුට ‘යම් මහත් සිරුරක් ඇති සත්ත්ව කෙනෙක් මේ නුවර වදිත් හෝ මෙයින් නික්මෙත් හෝ ඒ සියල්ලෝ ම මේ මහ වහසල්දොරින් ම පිවිසෙන්නාහු හෝ නික්මෙන්නාහු හෝ වෙති’ යි මෙසේ සිතෙක් වන්නේ ද, වහන්ස, ඒ පරිද්දෙන් ම ‘ඉකුත් කල්හි යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වුහු ද, ඒ සියලු භාගවත්හු සිත කෙලෙසන, ප්‍රඥාව දුබල කරන පස් නීවරණයන් පහ කොට, සතර සීවටන්හි මොනවට පිහිටි සිත් ඇති ව, සත් සම්බොජ්ඣංගයන් තත් වු පරිදි වඩා නිරුත්තර සම්‍යග්සම්බෝධිය සමධිගත කළහ, වහන්ස, මතු කල්හි යම් රහත් සම්බුදු කෙනෙක් වන්නාහු නම්, ඒ සියලු භගවත්හු සිත කෙලසන, ප්‍රඥාව දුබල කරන පංච නීරවණයන් පහ කොට සතර සීවටන්හි මොනවට පිහිටි සිත් ඇති ව, සත් බොජ්ඣංගයන් තත් වු පරිදි වඩා නිරුත්තර සම්‍යග්සම්බෝධිය සමධිගත කරන්නාහ. වහන්ස, මෙ සමයෙහි රහත් සම්මාසම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ ද, සිත කෙලෙසන, ප්‍රඥාව දුබල කරන පංචනීවරණයන් පහකොට, සතර සීවටන්හී මොනවට පිහිටි සිතැති සේක්, තත් වු පරිදි සත් සම්බොදඟ වඩා නිරුත්තර සම්‍යක්සම්බෝධිය සමධිගතකළ සේකැ යි මා විසින් ධර්මානුබෝධය ලබන ලද්දේ යැ’යි සැරියුත් තෙරණුවෝ කීහ.

  1. එ සමයෙහි ද භාග්‍යවතුන් වහන්සේ නාලන්ද්‍ර නුවරැ පාවාරික අඹවෙනෙහි වැඩ වසන සේක්. ‘‘ශිලය මෙසේය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය, ශීලයෙන් වඩන ලද සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ වේ. සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ වේ. ප්‍රඥාවෙන් වඩන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන සියලු ආස්‍රවයන් කෙරෙන් මොනවට මිඳේ.’’යැ යි භික්ෂුනට බෙහෙවින් දැහැමි කතාව ම කරන සේක.

 

  1. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ නාලන්ද්‍ර නුවරෙහි කැමැති තෙක් කල් වැස අනඳ තෙරුන් අමතා ‘‘අනඳයෙනි, එවු, පළොල්ගමට (පාටලිග්‍රාමයට) යම්හ’’ යි වදාළ සේක. ‘එසේය වහන්සැ’යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා පළොල්ගමට වැඩි සේක. පළොල්ගම් වැසි උවසුවෝ ‘භාග්‍යවතුන් වහන්සේ පළොල්ගම් වැඩි සේක් ල’යි ඇසූහ. ඉක්බිති පළොල්ගම් වැඩි උවසුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක උන්හ. එක් පසෙක උන්නාවු පළොල්ගැමි උවසුවෝ ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපගේ ආවාස ගෙය ඉවසා වදාරණ සේක්වා’යි භාග්‍යවතුන් වහන්සේට මෙබස් කීහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක.

 

  1. ඉක්බිති පළොල්ගැමි උවසුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ඉවැසීම දැන හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදැකුණු කොට නික්මැ ගියහ. ගොස් ආවාස ගෙය හැම බුමුතුරුණු අතුරා, අසුන් පණවා, දියසැළක් තබා, තෙල් පහනක් නංවා, භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියාහ. එක් පසෙක සිටියා වූ පළොල්ගැමි උවසුවෝ ‘‘වහන්ස, ආවාසගෙය හැම බුමුතුරුණින් වසන ලද්දේ ය. අසුන් පණවන ලද්දේ ය. දියසැළක් තබන ලද්දේ ය. තෙල් පහනෙක් නැංවිණ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් ගමනකට බලාපොරොත්තු සේක් ද , දැන් එයට කල් වේ’’යැ යි මෙ බස් කීහ.

 

  1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි හැඳ පෙරෙවැ පා සිවුරු ගෙන බික්සඟුන් හා ආවාස ගෙය කරා වැඩිසේක.  වැඩ, පා දෙවැ ආවාස ගෙට පිවිසැ මැදුම් ටැඹ නිසා පෙරදිගට මුහුණ ලා වැඩ හුන් සේක. බික්සඟහු ද පා දෙවැ ආවාස ගෙට වැද පැසිම් බිත නිසා පෙරදිගට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳගත්හ. පළොල්ගැමි උවසුවෝ ද පා දෙවැ ආවාස ගෙට වැද පෙර දිගැ බිත නිසා පැසිම් දිගට මුහුණ ලා භාග්‍යවතුන් වහන්සේ ම පෙරටු කොට හිඳගත්හ.

 

පළොල්ගම උවසුන්ට අවවාද:

 

  1.  එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පළොල්ගැමි උවසුන් අමතා මෙසේ වදාළ සේක: ගැහැවියනි, දුසිල්හුගේ සිල්විපත්හි මේ දොස් පසෙක. කවර පසෙක් ද ?

ගැහැවියනි, මෙහි සිල්විපන් දුසිල් තෙමේ පමා කරුණෙන් මහත් භෝගහානියට (භෝගයෙන් පිරිහීමට) යෙයි. මේ දුසිල්හු සිල්විපතැ පලමු දොස වේ. (1)

තවද ගැහැවියනි, සිල්විපන් දුසිල් හට ලාමක කිත් හඬෙක් (අපවාද කථාවෙක්) උස් වැ නැඟෙයි. මේ දුසිල්හු සිල්විපතැ දෙවෙනි දොස වෙයි. (2)

තවද ගැහැවියනි, සිල්විපන් දුසිල් තෙම කැත්පිරිස කරා හෝ බමුණු පිරිස කරා හෝ ගැහැවිපිරිස කරා හෝ මහණපිරිස කරා හෝ යම් යම් පිරිසක් කරා එළැඹේ නම්, බිය සැක ඇත්තේ, තෙද නැත්තේ එළැඹෙයි. මේ දුසිල්හු සිල් විපත්හි තෙවැනි දොසය. (3)

තවද ගැහැවියනි, සිල්විපන් දුසිල් තෙම සිහිමුළා වූයේ කළුරිය කෙරෙයි. මේ දුසිල්හු සිල්විපත්හි සිව්වන දොසය. (4)

තවද ගැහැවියනි, සිල්විපන් දුසිල් තෙම කා බුන් මරණින් මතු සුවයෙන් පහ වු, දුකට කරුණු වු, විවසව පතිත වන තැන වූ, නිරයට උත්පත්ති විසින් පැමිණෙයි. මේ දුසිල්හු සිල්විපතැ පස්වන දොස වෙයි (5)

ගැහැවියනි, දුසිල්හු සිල්විපත්හි මේ දොස් පස වෙයි.

  1. ගැහිවියනි, සිල්වත්හුගේ සිල්සම්පත්හි මේ අනුසස් පසෙකි. කවර පසෙක් ද?

ගැහැවියනි, මෙහි සිල්සපන් සිල්වත් තෙම නොපමා කරුණින් භෝග රැසක් ලබයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි පලමු අනුහස ය.(1)

තවද ගැහැවියනි, සිල්සපන් සිල්වත්හු පිළිබඳ කළණ කිත්හඬෙක් උස් වැ නැඟෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුවෙහි දෙවෙනි අනුහස ය. (2)

තවද ගැහැවියනි, සිල්සපුව ඇති සිල්වත් තෙමේ කැත්පිරිසක් හෝ බමුණු පිරිසක් හෝ ගැහැවි පිරිසක් හෝ යම් යම් පිරිසක් කරා එළැඹේ ද, නොබිය වැ තෙදැති වැ එළැඹෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි තෙවෙනි අනහස ය. (3)

තව ද ගැහැවියනි, සිල්සපුව ඇති සිල්වත් තෙමේ සිහි මුළා නොවී කලුරිය කෙරෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි සිව්වන අනුහස ය. (4)

තවද ගැහැවියනි, සිල්සපුව ඇති සිල්වත් තෙමේ කාබුන් මරණින් මතු ශෝභන ගති ඇති සග ලොවට යෙයි. මේ සිල්වත්හුගේ සිල්සපුයෙහි පස්වැනි අනුහස ය. (5)

ගැහැවියනි, සිල්වත්හුගේ සිල්සපුයෙහි මේ අනුසස් පස ය.

  1. එ කල්හි, භාග්‍යවතුන් වහන්සේ පළොල්ගැමි උවසවනට රෑ බොහෝ වේලාවක් දෙලෝ වැඩ දක්වා, දැක්වූ වැඩෙහි සිත් ගන්වා, එහි සිත් තියුණු කොට, එහි (යහපතැ යි) සිත සතුටු කොට, ‘‘ගැහැවියෙනි, රැය බොහෝ ඉක්මිණ. යම් ගමනක් යෑ යුතු නම් එයට කල් දනිවු’’ යි නික්ම යෑමට උද්යෝගවත් කළසේක.  ‘එසේ ය වහන්සැ’යි කියා ඒ පළොල්ගැමි උවසුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැඟී ඔබ වැඳ පැදකුණු කොට නික්මැ ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පළොල්ගැමි උවසුවන් නික්මුණු කල්හි ශුන්‍යාගාරයට පිවිසි සේක.

පාටලීනගරය වැවීම.

  1.  එ සමයෙහි මගද මහමැති සූනීධ වස්සකාර යන දෙබමුණෝ වැදෑ රජුන් පිළිබහනු පිණිස (වැදෑ රජුන්ගේ අයමුඛ(අය ලැබෙන දොරටු පසිඳින පිණිස) පළොල්ගමැ නුවරක් කෙරෙති. එ කලැ දහස දහස (වර්ග වශයෙන්) දේවතාවෝ පළල්ගමැ ගෙවතු තම තමනට වෙන් කොට ගනිත්. යම් පෙදෙසක මහ තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් කරන්නට මහ තෙදැති රජුන් ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසක මැදුම් තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් නංවන්නට මැදුම් රජුන් ගේ රජමහමැතියන් ගේ සිත් නැමේ. යම් පෙදෙසක හීන තෙදැති දෙවියෝ ගෙවතු රක් ගනිත් ද, එහි නිවෙස් නංවන්නට හීන තෙදැති රජුන් ගේ රජ මහ මැතියන්ගේ සිත් නැමේ.

 

  1. භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්මි පිරිසිදු දිවැසින් පළොල්ගමැ ගෙවතු පිරිසිඳ ගන්නා දහස් දහස් ගණන් දේවතාවන් දුටු සේක. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ  රෑ අලුයමැ නැගී සිට අනඳ තෙරුන් අමතා. ‘‘අනඳයෙනි, කවරහු පළොල්ගම නුවරක් කෙරෙද්දැ’’යි අසා වදාළ සේක. ‘‘වහන්ස, මගද මහමැති සූනීධ-වස්සකාර යන දෙබමුණෝ වැදෑ රජුන් පිලිබහනුවට පළොල්ගමැ නුවරක් මවති’’යි අනඳ තෙරණුවෝ සැළ කළහ.

 

  1. ‘‘අනඳයෙනි, තව්තිසාවැසි දෙවියන් හා මන්ත්‍රණය කොට මවන්නාක් මෙන් මගදමහමැති සුනීධ-වස්සකාර දෙ බමුණෝ වැදෑවන් පිළිබහනුවට (වැදෑරජුන්ගේ අයමුඛ වසනු සඳහා) පළොල්ගමැ නුවරක් මවත්. අනඳයෙනි, මෙහි මම් මිනිසැස් ඉක්මී පිරිසිදු දිවැසින් පළොල්ගමැ ගෙවතු පිරිසිඳ ගන්නා බොහෝ දහස් දහස් ගණන් දේවතාවන් දිටිමි. යම් පෙදෙසක මහ තෙදැති දේවතාවෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් මවන්නට මහ තෙදැති රජුන් ගේ රජමහමැතියන්ගේ සිත් නැමේ. යම් පෙදෙසක මැදුම් තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනී ද, එහි නිවෙස් මවන්නට මැදුම් තෙදැති රජුන් ගේ මහමැතියන් ගේ සිත් නැමේ. යම් පෙදෙසක හීන තෙදැති දෙවියෝ ගෙවතු අරක් ගනිත් ද, එහි නිවෙස් මවන්නට හීන තෙදැති රජුන් ගේ රජමහමැතියන් ගේ සිත් නැමේ. ආර්‍ය්‍යයන්ගේ ආයතනය (රැස්වෙන තැන) යම්තාක් ද, වණික්පථය(ගනුදෙනු කරණ වෙළෙඳුන් වසන තැන) යම්තාක් ද, ඔවුනතුරෙන් මේ පැළලුප් නුවර (නොයෙක් රටින් ගෙනෙන වෙළෙඳ) බඩුපොදි ලිහා තබන අග්‍ර නගරය වන්නේ ය. අනඳයෙනි, මේ පැළලුප්නුවරට ගින්නෙන් හෝ දියෙන් හෝ අන්යෝන්‍යය භේදයෙන් හෝ (තුන් පරිද්දෙකින්) අන්තරාය තුනෙක් වනනේ යැ’’යි වදාළ සේක.

 

  1. එ කලැ මගදමහමැති සුනීධ-වස්සකාර දෙබමුණෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටු විය යුතු සිතැ රැඳවිය යුතු කථා අවසසන් කොට එක් පසෙක සිටියහ. එක් පසෙක සිටියාවු මගද මහමැති සුනීධ-වස්සකාර දෙදෙන ‘‘භවද්ගෞතමයෝ බික්සඟුන් හා අපගේ බත අදට ඉවසත්වා’’යි මෙබස් කීහ. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවසා වදාළ සේක.

 

  1. ඉක්බිත්තෙන් මගද මහමැති සුනීධ-වස්සකාර දෙදෙනා භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැන සිය ආවාස ගෙය කරා ගියහ. ගොස් සිය ආවාසයෙහි ප්‍රණීත ඛාද්‍ය භොජ්‍ය පිළියෙල කරවා ‘භවද්ගෞතමයිනි, දැන් කල් වෙයි. බත පිළියෙළ කොට නිමියේ යැ’යි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා යැවූහ.

 

  1. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන බික්සඟුන් කැටුව මගද මහමැති සුනීධ - වස්සකාර දෙදෙනා ගේ ආවාස ගෙය කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. ඉක්බිති මගද මහමැති සුනීධ-වස්සකාර දෙදෙන සියතින් ම ප්‍රණීත ඛාද්‍යභොජ්‍යයෙන් බුදුපාමොක් බික්සඟුන් සැතැප්වූහ, පෙරැත්ත කොට වැළැඳැවූහ.

 

  1. ඉකිබිති මගද මහමැති සුනීධ-වස්සකාර දෙදෙන වැළැඳු, පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේට එක් පසෙක එක්තරා මිටි අස්නක් ගෙනැ හුන්හ. එක් පසෙක හුන්නාවූ මගද මහමැති සුනීධ-වස්සකාර දෙදෙනාට භාග්‍යවතුන් වහන්සේ මේ ගාථායෙන් අනුමෝදනා වශයෙන් දහම් දෙසූ සේක:

 

පණ්ඩිත ස්වභාව ඇති තැනැත්තේ යම් පෙදෙසක වාසය කෙරේ ද, ඒ තන්හිදී සංයත වූ බඹසර රක්නා සිල්වතුන් වළඳවා, එහි යම් දේවතා කෙනෙක් වූවාහු නම්, ඔවුනට ඒ දානමය පින පමුණුවන්නේ ය. මෙසේ පින්දීමෙන් පුදන ලද ඒ දේවතාවෝ ඒ පින් දුන්නාහු (ආරක්ෂා කිරීම් වශයෙන්) පුදත්. කලින් කලැ බිලියම් කිරීම් වශයෙන් මානිත වූ ඒ දේවතාවෝ (ඔහුගේ උවදුරු දුරු කිරීම් වශයෙන්) ඔහුට බුහුමන් කෙරෙත්. ඒ පින් අනුමෝදන් වීමෙන්, වමක් තම කුසින් උපන් දරුවකුට සෙයින් ඔහුට අනුකම්පා කෙරෙත්. මෙසේ දේවතාවන් විසින් අනුකම්පා කරන ලද පුරුෂ තෙම හැම කල්හි යහපත ම දකී.

ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මගද මහමැති සුනීධ-වස්සකාර දෙදෙනාට මේ ගාථායෙන් අනුමෝදනා බණ වදාරා හුනස්නෙන් නැගී වැඩි සේක.

  1. එ කල්හි මගද මහමැති සුනීධ-වස්සකාර දෙදෙනා ‘ශ්‍රමණ ගෞතමයෝ යම් දොරෙකින් අද නික්මෙන්නාහු නම්, එය ගෞතමද්වාරය නම් වන්නේ ය. යම් තොටෙකින් ගංගානදිය තරණය කරන්නාහු නම්, එය ගෞතමතීර්ථ නම් ව්නේ යැ’ යි කියා භාග්‍යවතුන් වහන්සේ පසු පස්සෙහි ගියාහු වෙති.

ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ යම් දොරෙකින් නික්මුණු සේක් ද, ඒ ගෞතමද්වාරය නම් වීය. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ගංගානදිය වෙත වැඩිසේක. ඒ සමයෙහි ගංගානදිය දෙගොඩ තළා ගළනුයේ, කවුඩන් විසින් සුවසේ පිය හැකි සේ පිරුණේ විය. මෙතෙරින් එතෙර යනු රිසි ඇතැම් මිනිස්සු නැව් සොයත්. ඇතැම් කෙනෙක් පසුරු සොයත්. ඇතැම් කෙනෙක් පසුරු බඳිත්.  ඒ කල්හි භාග්‍යවතුන් වහන්සේ කාබලැතියක්හු යම්සේ වක් කළ අත දික් කරන්නේ ද, දික් කළ අත හෝ වක් කරන්නේ ද, එසේ ම ගංගානදියේ මේ තෙරැදි බික්සඟන හා අතුරුදහන් වූ සේක් එතෙරැ වැඩ සිටි සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙතෙරින් එතෙර යනු කැමැති වූ ඇතැම් මිනිසුන් නැව් සොයන්නවුන් ද ඇතැම් මිනිසුන් පසුරු සොයන්නවුන් ද, ඇතැම් මිනිසුන් පසුරු බඳනාවුන් ද දුටු සේක් ම ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලෙහි මේ උදන් ඇනූ සේක.

‘‘යම් කෙනෙක් ගැඹුරු වූ පුළුල් වූ තෘෂ්ණානදිය තරිත් ද, ඔහු ආර්‍ය්‍ය මාර්ග නැමැති හෙය කොට දිය කඩිති නො ඇක් ම එ තෙරෙ (නිවන කරා) යෙත්. එහෙත් මේ කුඩා නදියක් තරනුවට මේ ජන තෙමෙ පසුරක් බඳී. ඒසා තෘෂ්ණා මහා නදිය තිණු ප්‍රඥා ඇති ජනයෝ මේ සුළු නදිය සැණින් තැරූහ.’’

පළමු බණවර නිමියේ ය.

ආර්‍ය්‍යසත්‍ය ප්‍රතිවේධ කථා

  1. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා ‘‘අනඳයෙනි, එවු කොටිග්‍රාමයට යම්හ’’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිත් භාග්‍යවතුන් වහන්සේ මහත් මහණමුළුවක් හා කෝටිග්‍රාමය කරා වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි කෝටිග්‍රාමයෙහි වැඩ වසන සේක. එහිදී භික්ෂුන් අමතා වදාළ සේක.

මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන් අනුබෝධ නොකළ හෙයින්, ප්‍රතිවේධ නො කළ හෙයින් මාගේ ද තොපගේ ද, මෙසේ මේ දික් කලක් සසරැ දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. කවර සතර සත්‍යයන් ද ? යත්:

‘‘මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නොකළ හෙයින් මාගේ ද, තොපගේ ද, මෙසේ මේ දික් කලක් සසර දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. මහණෙනි, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නොකළ හෙයින් මාගේ ද, තොපගේ ද, මෙසේ මේ දික් කලක් සසර දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. මහණෙනි, දුක්ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නොකළ හෙයින් මාගේ ද, තොපගේ ද, මෙසේ මේ දික් කලක් සසර දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය. මහණෙනි, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපද්‍රර්‍ය්‍ය සත්‍යය අනුබෝධ ප්‍රතිවේධ නොකළ හෙයින් මාගේ ද, තොපගේ ද, මෙසේ මේ දික් කලක් සසර දිවැ හැවිදීම, සසරැ හැසිරීම විය.

මහණෙනි, ඒ දුක්ඛාර්‍ය්‍ය සත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. දුක්ඛසමුදයාර්‍ය්‍ය සත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. දුක්ඛනිරෝධාර්‍ය්‍ය සත්‍යය අනුබෝධ ප්‍රතිවේධ කරන ලදි. දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍යසත්‍යය අනුබෝධ ප්‍රතිවෙද කරන ලදි. භවතෘෂ්ණාව මුල් සිඳින ලදි. භවනෙත්‍රිය (සතුන් භවයට පමුණුවන තෘෂ්ණාව රැහැන) ක්ෂීණ විය. දැන් යලි භවොත්පත්තියෙක් නැත’’.

 භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ශෝභන ගති ඇති ශාස්තෘන් වහන්සේ මෙය වදාරා එයින් මත්තෙහි (ගාථාබන්ධන වශයෙනුදු ) මෙය වදාළ සේක:

‘‘සතර සත්‍යයන් තත් වු පරිදි නොදැක්මෙන් ඒ ඒ ජාතීන්හි දික් කලක් ම හැසිරීම වීය. දැන් සතර සත්‍යයෝ දක්නා ලදුහ. භවනියන්ත්‍රිය(තෘෂ්ණාව) වැනසිණ. දුක්මුල සිඳින. දැන් මෙයින් මතු භවයෙක් නැත. ’’

  1. භාග්‍යවතුන් වහන්සේ එහි ද කෝටිග්‍රමයෙහි වැඩ වසන සේක්,  ‘‘ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය, සීලයෙන් පුරුදු කරන ලද සමාධිය මහත්පල මහත් අනුසස් ඇත්තේ වෙයි. සමාධියෙන් පුරුදු කරන ලද ප්‍රඥාව මහත්පල මහත් අනුසස් ඇත්තේ වෙයි. ප්‍රඥාවෙන් පුරුදු කරන ලද සිත මොනවට කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රව කෙරෙන් මිදේ’’ යැ යි බොහෝ සේ මේ දැහැමි කතාව ම වදාරන සේක.

 

ධර්මාදර්ශ ධර්මපර්‍යාය ය.

 

  1. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කෝටිග්‍රාමයෙහි කැමැතිතාක් කල් වැස, අනඳ තෙරුන් බණවා, ‘‘අනඳයෙනි, එවු, නාදිකා ගමට යම්හ’’යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා නාදිකා ගමට වැඩි සේක. වැඩ එහි නාදිකා ගමැ ගඩොළුයෙන් කළ ආවාසයෙහි වසන සේක. එකලැ අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ ඔබ වැඳ පසෙක හුන්හ. පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙ බස් පැවසූහ:

වහන්ස, නාදිකායෙහි සාළ්හ නම් භික්ෂු කලුරිය කෙළේ ය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ ? වහන්ස, නන්දා නම් මෙහෙණ නාදිකා ගමැ කලුරිය කළා ය. ඇයගේ මෙයින් මතු ගතිය කවර යැ?  පරලොව පැවැත්ම කවර යැ? වහන්ස, සුදත්ත නම් උවසු  නාදිකායෙහි කලුරිය  කළේය. ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොව පැවැත්ම කවර යැ? වහන්ස, සුජාතා නම් උවැසි නාදීකායෙහි කළුරිය කළේ ය, ඇයගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ ? වහන්ස, කකුධ නම් උවසු නාදිකායෙහි කළුරිය කළේ ය, ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ ? වහන්ස, කාලිංග නම් උවසු නාදිකායෙහි කලුරිය කළේ ය, ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ ?  වහන්ස, නිකට නම් උවසු නාදිකායෙහි කලුරිය කළේ ය, ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ ?  වහන්ස, කටිස්සභ නම් උවසු නාදිකායෙහි කලුරිය කළේ ය, ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ ? වහන්ස, තුට්ඨ නම් උවසු නාදිකායෙහි කලුරිය කළේ ය,  ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ ?  වහන්ස, සන්තුට්ඨ උවසු නාදිකායෙහි කලුරිය කළේ ය, ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ ?  වහන්ස, සුභද්‍ර නම් උවසු නාදිකායෙහි කලුරිය කළේ ය, ඔහුගේ මෙයින් මතු ගතිය කවර යැ? පරලොවැ පැවැත්ම කවර යැ ? ‘‘’’

  1. ‘‘අනඳයෙනි, සාළ්හ මහණ ආස්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලප්‍රඥාව ද මේ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණින් දැන පසක් කොට සපයා විසී ය. අනඳයෙනි, නන්දා මෙහෙණ ඕරම්භාගිය සඤ්ඤෝජන පස ක්ෂය කිරීමෙන් (ශුද්ධාවාසයෙහි) උප්පාදුක වූවා එහි පිරිනිවෙන්නී , ඒ බඹලොවින් පෙරළා මෙහි නො එන ස්වභාවය ඇත්තීය.  අනඳයෙනි, සුදත්ත උවසු තුන් සංයෝජන ක්ෂය කිරීමෙන්, රාග ද්වේෂ මෝහ තුනී වූ බැවින් සකෘදාගාමී වූයේ, එක් වරක් ම මේ ලොවට අවුත් දුක් කෙළෙවර කරන්නේ ය. අනඳයෙනි, සුජාතා උවැසි තුන් සංයෝජන ක්ෂය කිරීමෙන් සෝවාන් වූවා, අවාදුකට නො වැටෙන සුලු වූවා, ධර්ම නියාමයෙන් රහත්බව ලබනුවට නියත වූවා, සම්බෝධිපරායණ (ඉහළ තුන් මඟට අවශ්‍යයෙන් ම පැමිණිය යුතු) වූවා ය. අනඳයෙනි, කකුධ නම් උවසු තෙම ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපපාදුක වූයේ, එහිදී පිරිනිවෙන සුලු වූයේ, ඒ ලොවින් මෙහි පෙරළා නො එන ස්වභාවය ඇත්තේ ය. අනඳයෙනි, කාලිංක උවසු තෙම....  නිකට උවසු තෙම.... කටිස්සභ උවසු තෙම..... තුට්ඨ උවසු තෙම.... සන්තුට්ඨ උවසු තෙම භද්‍ර උවසු තෙම.... සුභද්‍ර උවසු තෙම ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපපාදුක වූයේ, එහි පිරිනිවෙන සුලු වූයේ, ඒ ලොවින් මෙහි පෙරළා නො එන සුලු වෙයි. ’’

අනඳයෙනි, නාදිකායෙහි පනසකට වැඩි දෙනෙක් උවසුවෝ කලුරිය කළාහු, ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් ශුද්ධාවාසයෙහි උපපාදුක වූවාහු, එහි පිරිනිවෙන සුලු වූවාහු, එලොවින් මෙහි පෙරළා නො එන සුලු වෙත්.

 

අනඳයෙනි, වැඩියක් සහිත අනූ දෙනෙක් නාදිකායෙහි කලුරිය කළාහු තුන් සංයෝජන ක්ෂය කිරීමෙන්, රාගාද්වේෂමෝහයන් තුනී බැවින් සකෘදාගාමි වූවාහු, එක් වරක් ම උප්පත්ති වශයෙන් මේ ලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ.

 

අනඳයෙනි, වැඩියක් සහිත පන්සියයක් නාදිකායෙහි උවසුවෝ කලුරිය කළාහු, තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන් සෝවාන් වූවාහු, අවාහි නොවැටෙන සුලු වූවාහු, රහත්බවට නියත වූවාහු, සම්බෝධිපරායණ (ඉහළ තුන් මඟට අවශ්‍යෙයෙන් පැමිණිය යුතු) වූහ.

 

  1. අනඳයෙනි, විස්මය ජනකය! යම් හෙයකින් මිනිස් වූයෙක් කලුරිය කරන්නේ නම්, ඉදින් ඒ ඒ මිනිසා කලුරිය කළ කල්හි තථාගතයන් කරා එළැඹ මේ කරුණ විචාරන්නාහු නම්, ඒ (හැම එකක්හුගේම පරලොව් ගතිය කීම) තථාගතයන් වහන්සේට වෙහෙසක් ම ය. අනඳයෙනි, එහෙයින් යමෙකින් සමන්විත ආර්‍යශ්‍රාවකයා කැමැත්තේ ‘ක්ෂය කළ නිරය ඇත්තෙමි’ යි,  ‘ක්ෂය කළ තිරිසන් යොන් ඇත්තෙමි’ යි ‘ක්ෂය කළ පේත්‍රවිෂය ය ඇත්තෙමි’ යි ‘ක්ෂය කළ අපාය දුර්ගති විනාපාතයන් ඇත්තෙමි’ යි ‘මම් අවාහි නොවැටෙන සුලු, නියත වූ සම්බෝධිපරායණ වූ සෝවාන් පුඟුලෙකිම් වෙමි’ යි තෙමේ ම තමා ප්‍රකාශ කළ හැකි වන්නේ ද, එසේ වූ ධර්මාදර්ශ නම් ධර්මක්‍රමය දෙසන්නෙමි.

 

අනඳයෙනි, යමෙකින් සමන්විත අරි සවු තෙම කැමැත්තේ ‘මම් ක්ෂීණ නිරය ඇත්තෙමි, ක්ෂීණ තිරශ්චීනයොනි ඇත්තෙමි, ක්ෂීණ ප්‍රේතවිෂය ඇත්තෙමි, ක්ෂිණ අපාය දුර්ගති විනිපාත ඇත්තෙමි, අවිනිපාත ස්වභාවය ඇති, නියත වූ සම්බෝධිපරායණ වූ සෝවාන පුඟුලෙකිම් වෙමි’ යි තෙමේ ම තමා පැවැසි යැ හැකි වන්නේ නම්, ඒ ධර්මාදර්ශ ධර්මපර්‍ය්‍යාය කවරේ ද:

අනඳයෙනි, මෙහි අරි සවු තෙම ‘‘ඒ භාග්‍යවත් තෙම මේ මේ කරුණින් අර්හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණසම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථී ය, දෙව්මිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ, ’’ යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් සමන්විත වෙයි.

‘‘භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට කියන ලද. තමන් විසින්ම දැක්ක යුතු ය. ඵල දෙනුවට කාලාන්තරයක් ඇතිනොවේ. ‘එව බලව’ යි කීමට නිසි ය. භාවනා වසයෙන් තමසිත්හි එළවනුවට සුදුසු ය. විඥයන් විසින් තමතමා කෙරෙහි දැක්ක යුතු යැ’’ යි  ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් සමන්විත වෙයි.

‘‘භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසංඝ තෙම සුපිළිපන් ය. භාග්‍යවවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම සෘජු ව පිළිපන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකසංඝ තෙම න්‍යායප්‍රතිපන්න ය. (නිවන පිණිස පිළිපන්නේ ය.) භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම සාමිචිප්‍රතිපන්න ය. යම් යම් ප්‍රථම මාර්ගස්ථ ප්‍රථම ඵලස්ථ ආදී විසින් පුරුෂ යුග සතර දෙනෙක් ඇද්ද,  මේ නියායෙන් පුරුෂ පුද්ගලයෝ අට දෙනෙකි. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවකසංඝ තෙම දුරැ සිට ද ගෙනවුත් සිල්වත්නට පිරිනැමිය යුතු සිවුපස පිළිගනුවට සුදුසු ය. අමුත්තන්ට පිළියෙළ දානය පිළිගන්නට සුදුසුය. පරලොව සුව පතා දෙන දන් පිළිගන්නට සුදුසු ය. දෝත් මුදුන් තබා වැන්ද යුත්තේ ය. ලොව නිරුත්තර වූ පින් කෙත යැ’’ යි සංඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් සමන්විත වෙයි.

කඩ නොවූ, සිදුරු නො වූ (තැනින් තැන සිකපද බිඳීමෙන්) සබල නොවූ, කැලල් රහිත වූ, නිදහස් වූ, (තෘෂ්ණාදාසත්වයෙන් මිදුණු), ණුවනැතියන් විසින් පසස්නා ලද, තෘෂ්ණාදෘෂ්ටි දෙකින් අපරාමෘෂ්ට වූ, උපචාර අර්පණා මාර්ගඵල සමාපත්ති පිණිස පවත්නා වූ ආර්‍යයයනට ප්‍රිය මනාප වූ ශීලයන්ගෙන් සමන්විත වෙයි.

අනඳයෙනි, යමෙකින් සමන්විත අරි සවු තෙම කැමැත්තේ, මම් ක්ෂීණ නිරය ඇත්තෙමි, ක්ෂීණ තිරශ්චීන යෝනි ඇත්තෙමි, ක්ෂීණ ප්‍රේතවිෂය ඇත්තෙමි, ක්ෂීණ අපාය දුර්ගති විනිපාත ඇත්තෙමි, අවිනිපාත ස්වභාවය ඇති, නියත වූ, සම්බෝධිපරායණ වූ සෝවාන් පුඟුලෙකිමි’ යි තෙමේ ම තමා පවසනු හැක්කේ නම්, මේ ඒ ධර්මාදර්ශ ධර්මපර්යාය වේ.

  1. භාග්‍යවතුන් වහන්සේ එහි දී නාදිකා ගමෙහි ගඩොළුයෙන් කළ ආවාසයෙහි වසන සේක්, ‘‘ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය. ශීලයෙන් පුරුදු කරන ලද සමාධිය මහත් ඵල මහත් අනුසස් ඇත්තේ ය. සමාධියෙන් පුරුදු කරන  ලද ප්‍රඥාව මහත් ඵල මහත් අනුසස් ඇත්තේ ය. ප්‍රඥාවෙන් පුරුදු කරන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රවයන් කෙරෙන් මිඳේ යැ’’ යි භික්ෂූනට බෙහෙවින් මේ දැහැමි කතාව ම කරන සේක.

 

(අම්බපාලිවනයෙහි සීවටන් දෙසීම)

 

  1. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ඥාතිකා ගමෙහි කැමැති තාක් වැස, අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, එවු, විසල්පුර කරා එළැඹෙන්නෙමු’ යි වදාළ සේක. ‘එසේ යැ, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟුන් හා විසල්පුරට වැඩි සේක. එහි විස් පුරැ අම්බපාලි වනයෙහි වැඩ වසන සේක. එහි දී භික්ෂූන් අමතා මෙසේ වදාළ සේක.

 

‘‘මහණෙනි, මහණහු සිහි ඇති වැ සම්‍යක් ප්‍රඥා ඇති වැ විසිය යුතු. මේ තොපට අපගේ අනුශාසනය වේ.

 

මහණෙනි, මහණ තෙම කෙසේ නම් සිහි ඇත්තේ වේද: මහණෙනි, මෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ සිහි ඇත්තේ. ලොවැ (මේ කයෙහි) කාමච්ඡන්දය හා දොම්නස හා සන්හිඳුවා, කයෙහි විදසුන් නුවණින් කය අනුව බලනුයේ වාස කෙරෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, වේදනා ලොවැ කාමච්ඡන්දය හා දොම්නස හා සන්හිඳුවා, වේදනාවන්හි විදසුන් නුවණින් වේදනාව අනුව බලනුයේ වාස කෙරෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ කාමච්ඡන්දය හා දොම්නස හා සන්හිඳුවා. සිත්හි විදසුන් නුවණින් සිත අනුව බලනුයේ වාස කෙරෙයි. කෙලෙස් තවන වැර ඇත්තේ, මනා නුවණින් දන්නේ, සිහි ඇත්තේ, ලොවැ කාමච්ඡන්දය හා දොම්නස හා සන්හිඳුවා, නීවරණාදී ධර්මයන් විදසුන් නුවණින් නීවරණාදිය අනුව බලනුයේ වාස කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ තෙම සිහි ඇත්තේ වේ.

 

මහණෙනි, මහණතෙම කෙසේ නම් සම්‍යග්ප්‍රඥා ඇත්තේ වේද: මහණෙනි, මෙහි මහණ තෙම ඉදිරි ගමනෙහි පෙරළා ඊමෙහි (කය නම් ලත් ඇටසැකිල්ලෙක් යෑම් ආදිය කරන්නේ යැයි) නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. ඉදිරි බැලීමෙහි දෙපස බැලීමෙහි නුවණින් සලකා දැන ම එය කරන්නේ වෙයි. අත්පා හැකිලීමෙහි දිගු කිරීමෙහි නුවණීන් දැන ම එය කරන්නේ වෙයි. බොජුන් වැළැඳීමෙහි ද පැන් පීමෙහි ද විකා කෑ යුතු දැය කෑමෙහි ද මී සකුරු ආදීන් රස විඳීමෙහි ද නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. යෑමෙහි ද  සිටීමෙහි ද හිඳීමෙහි ද නිදි ගැන්මෙහි ද නිදිවැරීමෙහි ද කීමෙහි ද නිහඩ වීමෙහි ද නුවණින් සලකා ම එය කරන්නේ වෙයි. මහණෙනි, මහණ තෙම මෙසේ සම්‍යක් ප්‍රඥා ඇත්තේ වෙයි.

 

මහණෙනි, මහණ සිහි ඇති වැ නුවණ ඇති ව විසිය යුතු. මේ තොපට අප ගේ අනුහාසනය යි.

 

(අම්බපාලි ආරාමය පිළිගැණීම)

 

 

  1. අම්බපාලී ගණිකා තොමෝ ‘භාග්‍යවතුන් වහන්සේ විසල් පුර වැඩ විසල් පුරට නොදුරැ වූ මාගේ අඹවෙනෙහි වසන සේකැ’ යි ඇසුවා ය. ඉක්බිති ඕ තොම සොඳුරු සොඳුරු යානයන් යොදවා, සොඳුරු සොඳුරු යානයකට නැඟ, සොඳුරු සොඳුරු යානයන්ගෙන් උපලක්ෂිත වැ විසල් පුරෙන් නික්මුණා ය. සිය අරම කරා එළැඹියා ය. යානයට බිම යම් තාක් ද ඒ තාක් යානයෙන් ගොස් එයින් බැස පාගමන් ඇත්තී ම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියා ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේගේ වැඳ එක් පසෙක හුන්නා ය. එක් පසෙක හුන් අම්බපාලිගණිකාවට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දෙලෝවැඩ දක්වා වදාළ සේක. එය සිතට ගැන්වූ සේක. එහි සිත් තියුණු  කළ සේක. එහි සිත සතුටු කරැවූ සේක. මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වන ලද එය සිතට ගන්වන ලද, එහි සිත තියුණු කරන ලද, එහි සතුටු කරන ලද අම්බපාලි ගණිකා තොමෝ  ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන සමග ව සෙට දිනට මගේ බත ඉවසන සේක් වා’ යි අයැ ද සිටියා ය. භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණීම්භාවයෙන් ඉවසා වදාළ සේක. ඉක්බිති අම්බපාලි ගණිකා තොම භාග්‍යවතුන් වහන්සේ තම අයැදුම ඉවසූ නියා දැන හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නික්මියා ය.

 

  1. විසලපුර වැසි ලිච්ඡවී රජදරුවෝ බාග්‍යවතුන් වහන්සේ විසල් පුර වැඩිසේක් විසල් පුර අම්බපාලිවනයෙහි වසන සේක් ලැ යි ඇසූහ. ඉක්බිති තෙල ලිච්ඡවීහු උතුම් උතුම් යාන යොදවා, උතුම් උතුම් යානනැඟ, උතුම් උතුම් යානයන්ගෙන් උපලක්ෂිත වැ විසල් පුරයෙන් නික්මුණාහ. ඔවුන් අතුරෙහි ඇතැම් ලිච්ඡවිහූ නිල් අඟරා ඇත්තාහු නිල් වත් දරන්නාහු නිල්මිණෙන් හා නිල්මලින් සැරහුණා හූ නිල්වන් වෙති. ඇතැම් ලිච්ඡවීහු රන්වන් අඟරා ඇත්තාහු රන්වන් වත් දරන්නාහු රන්වන් මිණෙන් හා රන්වන් මලින් සැරහුණාහු රන්වන් වෙති. ඇතැම් ලිච්ඡවීහූ රත් අඟරා ඇත්තාහු රත්වත් දරන්නාහු රත් මිණෙන් හා රත්මලින් සැරහුණාහු රත්වන් වෙති. ඇතැම් ලිච්ඡවීහූ සුදු අඟරා ඇත්තාහු සුදු වත් දරන්නාහු සුදු මිණෙන් හා සුදු මලින් සැරසුණාහු සුදුවන් වෙත්.

 

  1. ඉකිබිති අම්බපාලි ගණිකා තොම තමාට ඉදිරියෙන් රිය නැඟ යන තරුණ තරුණ ලිච්ඡවීන් ගේ යාන තම රියහිසින් ඔවුන් රියහිස් ද, තම රිය සකින් ඔවුන් රිය සක්ද, තම රිය වියගසින් ඔවුන් රිය වියගස් ද, හැන ඉවත් කෙරෙමින් ගියා ය. එ කලැ ලිච්ඡවීහු අම්බපාලි ගණිකාවට ‘හෙම්බා අම්බපාලිය, තරුණ තරුණ ලිච්ඡවීන්ගේ රිය හිසින් රියහිස ද, රිය සකින් රියසක ද, රිය වියෙන් රියවිය ද, ගටා ඉවත් කෙරෙමින් යුහු යුහු ව කුමට යෙයි දැ? යි විචාළහ. ‘‘ආර්‍ය්‍යපුත්‍රයිනි, එසේ ම ය සෙට බතට මා විසින් බික්සඟන හා භාග්‍යවතුන් වහන්සේ නිමතන ලද සේකැ’යි ඕ කිවු ය. ‘හෙම්බා අම්බපාලි ය, මේ බත (මේ බතට කල නිමන්ත්‍රණය) කහවණු ලක්ෂයක් ගෙන අපට දෙව’ යි ලිච්ඡවීහූ කීහ. ‘ආර්‍ය්‍යපුත්‍රයිනි, මම දනවු සහිත විසල්පුර දෙන්නහු නුමුදු මෙසේ මහත් අනුසස් ඇති මේ බත (බතට කළ නිමන්ත්‍රණය) ඔබට පවරා නො දෙමි’ යි ඕ කිවු ය. එ කලැ ඒ ලිච්ඡවීහු ‘පින්වත්නි, ඒ කාන්තයෙන් ම අපි ස්ත්‍රියකට විසින් දිනන ලදුම්හ. පින්වත්නි, ඒකාන්තයෙන්  අපි ස්ත්‍රියක විසින් දිනන ලදුම්හ’ යි ඇඟිලි පෙළුහ. (අසුර ගැසූහ.)

 

  1. ඉක්බිති ඒ ලිච්ඡවීහු අම්බපාලිවනය කරා ගියහ. භාග්‍යවතුන් වහනසේ දුරින් ම එන ලිච්ඡවීන් දුටු සේක් ම ය. දැක භික්ෂූන් අමතා ‘මහණෙනි, යම් භික්ෂු කෙනෙකුන් විසින් තවුතිසාවැසි දෙවියෝ නො දක්නා ලදහු ද, මහණෙනි, ඒ තෙපි තෙල එන ලිච්ඡවී පිරිස බලවු. තෙල ලිච්ඡවී පිරිස පුනපුනා බලවු. තෙල ලිච්ඡවී පිරිස තව්තිසා වැසි දෙවි පිරිසට ළං කොට (සමකොට) සලකවු’ යැ යි වදාළ සේක.

 

  1. ඉක්බිති ඒ ලිච්ඡවීහු යානයට යෝග්‍ය බිම යම්තාක් ද, ඒ තාක් යානයෙන් ගොස්, යානයෙන් බැස, පාගමන් ඇත්තාහු ම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ පසෙක හුන්හ. පසෙක හුන් ඒ ලිච්ඡවීනට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දෙලෝ වැඩ දැක්වූ සේක. එහි සමාදන් කරවු සේක. එහි සිත් තියුණු කරවූ සේක. එහි සතුටු කරවූ සේක. භාග්‍යවතුන් වහනසේ විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වන ලද, එහි සමාදන් කරවන ලද, එහි සිත් තියුණු කරවන ලද, එහි සතුටු කරවන ලද, ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන හා සෙට දවසට අපගේ බත ඉවසන සේක්වා’’ යි කීහ. ‘ලිච්ඡවීනි, මා විසින් සෙට දවසට අම්බපාලි ගණිකාවගේ බත ඉවසන ලදැ’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එකල්හි ඒ ලිච්ඡවීහු ‘භවත්නි, ඒකාන්තයෙන් ස්ත්‍රියක විසින් දිනන ලද්දම්හ’යි ඇඟිලි පෙළූහ. ඉක්බිති ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන, අනුමෝදන් ව, හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදැකුණු කොට නික්මැ ගියහ.

 

  1. ඉක්බිති අම්බපාලි ගණිකා බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍යයෙන් භොජ්‍යයෙන් සියතින් සැතැප්පූවා ය. පෙරැත්ත කොට වැළැඳවූවා ය. ඉක්බිත්තෙන් අම්බපාලී ගණිකා තොම බොජුන් වැළැඳු, පාත්‍රයෙන් ඉවතට ගන්නා ලද අත් ඇති භාග්‍යවතුන් වහන්සේට එකත්පස් වැ එක්තරා මිටි අස්නක් ගෙන උන්නාය. එසේ එකත්පස්වැ හුන් අම්බපාලි ගණිකා තොම භාග්‍යවතුන් වහන්සේට  ‘‘වහන්ස, මේ අරම බුදුපාමොක් බික්සඟනට දෙමි’’ යි කීවාය. භාග්‍යවතුන් වහන්සේ අරම පිළිගත් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බපාලි ගණිකාවට දැහැමි කතායෙන් දෙලො වැඩ දක්වා, එහි ඇයි සමාදන් කරවා, එහි උත්සාහවත් කරවා සිත සතුටු කරවා හුනස්නෙන් නැඟී වැඩි සේක.

 

  1. භාග්‍යවතුන් වහන්සේ ඒ අම්බපාලිවනයෙහිදු වසමින් ‘‘ශීලය මෙසේ ය, සමාධිය මෙසේ ය, ප්‍රඥාව මෙසේ ය, ශීලයෙන් පුරුදු කරන ලද සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ ය. සමාධියෙන් පුරුදු කරන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ ය. ප්‍රඥාවෙන් පුරුදු කරන ලද සිත කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව කෙරෙන් මිදේ’’ යැ යි වාදාළ සේක.

 

[බේලුවගම්හි ජීවිතසංස්කාර - අධිෂ්ඨානය]

 

  1. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අම්බපාලිවනයෙහි කැමැතිතාක් වැස, අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, එවු බේලුවගම කරා යන්නෙමු’ යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’ යි අනඳ තෙරණුවෝ පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන හා බේලුව ගමට වැඩි සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ එහි බේලුව ගමෙහි වැඩ වසන සේක. එහිදී භාගයවතුන් වහන්සේ භික්ෂුන් අමතා ‘‘මහණෙනි, තෙපි මෙහි එවු. විසල්පුර හාත්පසැ ඒ ඒ මිතුරු පැවිද්දන් ද, දැක හඳුනන පැවිද්දන් ද, දැඩිමිතුරු පැවිද්දන් ද වසන තන්හි වස් එළැඹෙවු. මම මේ බේලුව ගමෙහි ම වස් එළැඹෙමි’’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි භාගයවතුන් වහන්සේට පිළිවදන් දී ඒ මහණහු විසල්පුර හාත්පසැ ඒ ඒ මිතුරන් දැක හඳුනන්නන් දැඩි මිතුරන් වසන තන්හි වස් එළැඹියහ. භාග්‍යවතුන් වහන්සේ ඒ බේලුව ගමෙහි වස් එළැඹි සේක.

 

  1. එකල්හි වස් එළැඹි භාග්‍යවතුන් වහන්සේට දරුණු ආබාධයෙක් උපන. මරණය වෙතට පැමිණැවීමෙහි සමත් වූ දැඩි වේදනා පැවැත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ සිහි ඇතිව නුවණින් සලකමින් එයින් නො පෙළෙමින් ඒ වේදනාව ඉවැසූ සේක. ඒ කල්හි භාග්‍යවතුන් වහන්සේට ‘යම්බඳු වූ මම් උවටුවන් නො අමතා බික්සඟන නො දන්වා පිරිනිවෙන්නෙම් නම් එය මට නො සුදුසු ය. මම මේ ආබාධය වීර්‍යයයෙන් මැඩලා ජීවිතසංස්කාරය (දිවි පවත්වනුවට සමත් පලසමවත) ඉටා වසන්නෙම් නම් මැනැවැ’ යි මේ සිත විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අබාධය වීර්‍ය්‍යයෙන් මැඩ ජීවිතසංස්කාරය ඉටා වුසූ සේක. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ගිලන් බැවින් නැගී සිටි සේක්, ගිලන් බැවින් නැගී නොබෝ කල් ඇති සේක්, වෙහෙරෙන් නික්මැ වෙහෙර ඉදිරිපසැ සෙවණෙහි පනවන ලද අස්නෙහි වැඩ හුන්සේක.

 

  1. එකල්හි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියෝ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්හ. එක් පසෙක හුන් අනඳ තෙරණුවෝ වහන්ස, ‘‘භාග්‍යවතුන් වහන්සේගේ පහසුව දක්නා ලදි. භාග්‍යවතුන් වහන්සේගේ සහනය දක්නා ලදි. එහෙත් මගේ සිරුර හටගත් තදබව ඇත්තක්හු මෙන් විය. භාග්‍යවතුන් වහන්සේගේ ගිලන්බව හේතු කොට ගෙන දිශාවෝ  ද මට නො පෙනෙත්, සතිපට්ඨාන ධර්මයෝ ද මට නො වැටහෙත්. වහන්ස, එතෙකුදු වුවත් යම්තාක් භාග්‍යවතුන් වහන්සේ බික්සඟන ඇරැබ කිසි පශ්චිමාවවාදයක් වදාරන සේක් ද, ඒ තාක්ම නො පිරිනිවෙන සේකැ යි කිසි ආස්වාදමාත්‍රා යෙක් මට වීයැ’’ යි සැළ කළහ.

 

  1. අනඳයෙනි, භික්ෂුසංඝ තෙම මා කෙරෙහි කුමක් නම් අපෙක්ෂා කෙරෙයි ද? අනඳයෙනි, මා විසින් අභ්‍යන්තර බාහිර යැ යි (ධර්ම වශයෙන් හෝ පුද්ගල වශයෙන් දෙ කොටසක් නො කොට) දහම් දෙසන ලදි. අනඳයෙනි, ධර්මවිෂයෙහි තථාගතයන්ගේ ආචාර්‍ය්‍ය මූෂ්ටියෙක් නැත. අනඳයෙනි, යමකුට ‘මම් බික්සඟන පරිහරණය කරන්නෙමි’යි කියා හෝ ‘බික්සඟන මා උදෙසා වසන්නේ වේව’ යි කියා හෝ මේ සිත වන්නේ ද, අනඳයෙනි, හෙ තෙම බික්සඟන ඇරැබ කිසිවක් ම කියන්නේ ය. අනඳයෙනි, තථාගතයනට ‘‘මම් බික්සඟන පරිහරණය කරන්නෙමි’’  කියා හෝ ‘‘බික්සඟන මා උදෙසා ම (මා බලා ම) සිටුනේ වේ ව ’’ යි කියා හෝ මෙසේ සිතෙක් නො ම වෙයි. අනඳයෙනි, කවර හෙයින් ඒ තථාගතයෝ බික්සඟන ඇරැබ කිසිවක් නම් කියන්නෝ ද?

 

  1. අනඳයෙනි, මම් දැන් ජීර්ණයෙමි, වෘද්ධයෙමි, මහලුයෙමි, දික් කලක් ඉක්මියෙමි, පැසිම් වියට පැමිණියෙමි, මා වයස දැන් අසූවෙක් වෙයි. අනඳයෙනි, දිරූ ගැලක් චක්‍රබන්ධනාදි පිළිසකරින් යැපෙන්නේ ද, එසේ ම තථාගතයන්ගේ කය රහත්පලසමවත් නැමැති පිළිසකරින් යැපෙන්නේ ය. අනඳයෙනි, තථාගතයෝ රූප නිමිත්තාදි සියලු නිමිති නො මෙනෙහි කිරීමෙන් ඇතැම් වේදනාවන්ගේ නිරෝධයෙන් නිමිති රහිත විමුක්තියට පැමිණ වෙසෙත් ද, අනඳයෙනි, එසමයෙහි තථාගතයන්ගේ කය අතිසයින් පහසු ඇතියෙක් වෙයි. අනඳයෙනි, එහෙයින් තෙපි (ඒ පලාසමවත් පිණිස) තමන් ම ද්වීප (පිහිට) කොට ගෙන, තමන් ම ශරණ කොට ඇති ව, අනන්‍යශරණ ව (බාහිර සරණක් නැත්තෝ ව) වසවු ධර්මය ම ද්වීප කොට ඇති ව, ධර්මය ම සරණ කොට ඇතිව, අනන්‍යශරණ ව (අන් සරණක් අපෙක්ෂා නොකරන්නෝ ව) වසවු.

 

  1. අනඳයෙනි, මහන තෙම කෙසේ නම් තමා ම ද්වීප කොට ඇත්තේ, තමාම සරණ කොට ඇත්තේ, අනන්‍යශරණ ව, ධර්මය ද්වීප කොට ඇත්තේ, ධර්මශරණ ව අනන්‍යරණ ව වෙසේ ද යත්: අනඳයෙනි, මෙහි මහණ තෙම කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණින් දන්නේ සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යා ව්‍යාපාද දුරැ ලා කයෙහි කායානුපස්සී ව වෙසයි. කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණින් දන්නේ සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යා ව්‍යාපාද දුරැ ලා වේදනාවන්හි වේදනානුපස්සීව වෙයි. කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණින් දන්නේ සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යා ව්‍යාපාද දුරැ ලා සිත්හි චිත්තානුපස්සීව වෙසෙයි, කෙලෙස් තවන වැර ඇති ව, මනා නුවණින් දන්නේ සිහි ඇත්තේ, ලොව කෙරෙහි අභිධ්‍යා ව්‍යාපාද දුරැ ලා (නීවරණාදි) ධර්මයන්හි ධම්මානුපස්සී ව වෙසයි.

 

  1. අනඳයෙනි, මෙසේ මහණ තෙම තමා ද්වීප කොට ඇති ව, තමා ශරණ කොට ඇති ව අන් සරණක් නැති ව, ධර්මය ද්වීප කොට ඇති ව, ධර්මය ශරණ කොට ඇතිව අන්සරණක් නැති ව වෙසෙයි. අනඳයෙනි, යම් භික්ෂූ කෙනෙක් දැන් හෝ මා ඇවෑමෙන් හෝ තමන් ද්වීප කොට ඇත්තාහු තමන් සරණ කොට ඇත්තාහු අන් සරණක් නැත්තාහු, ධර්මය ද්වීප කොට ඇත්තාහු ධර්මය සරණ කොට ඇත්තාහු අන්සරණක් නැත්තාහු වසන්නෝ නම්, අනඳයෙනි, ශික්ෂාකාමී වූ සියලු භික්ෂූන් අතුරෙන් සතර සීවටන් වඩන ඒ මාගේ භික්ෂුහු තමොයෝග සිඳ අග්‍රතම (අත්‍යග්‍ර) වන්නාහ.

දෙවෙනි බණවර නිමියේ ය.

චාපාල චේතියෙහිදී ආයුසංස්කාර හැරලීම

 

  1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පා සිව්රු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසි සේක. විසල්පුර පිඬු පිණිස හැසිරැ පසුබත්හි පිණ්ඩපාතයෙන් පෙරළා වැඩි සේක්, අනඳ තෙරුන් බණවා ‘‘අනඳයෙනි, නිසීදනය ගනුව, දිවාවිහරණය පිණිස චාපාල චෛත්‍යය කරා එළැඹෙන්නමු’’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳතෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ අනුව පසුපසින් ගියහ.  ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යය කරා එළැඹි සේක. එළැඹ පනවන ලද අස්නැ වැඩ හුන් සේක. අනඳ තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් අනඳ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

 

  1. ‘‘අනඳයෙනි, විසල්පුර රම්‍ය ය, උදේන චෛත්‍යය (සමවත් සුවයට) රම්‍ය ය, ගෞතමක චෛත්‍යය රම්‍ය ය, සත්තම්බ චෛත්‍යය රම්‍ය ය, බහුපුත්‍ර චෛත්‍යය රම්‍ය ය. සාරන්දද චෛත්‍යය රම්‍ය ය, චාපාල චෛත්‍යය රම්‍ය ය. අනඳයෙනි, යමකු විසින් සතර ඉදුපාහු වඩන ලදහු ද, පුනපුනා වඩන ලදහු ද, යුක්ත යානක් සේ කරන ලදහු ද, තහවුරු කොට පිහිටුවන ලදහු ද, අනුෂ්ඨිත ද, පුරුදු කරන ලදහු ද, මොනොවට සම්පූර්ණ කරණ ලදහු ද, හේ කැමැත්තේ ආයුෂ්කල්පයක් හෝ ආයුෂ්කල්පයට මඳක් වැඩි වූ කලක් හෝ සිටුනේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඉදුපාහු භාවිතය හ, බහුලීකෘතය හ, යානීකෘතය හ, වාස්තුකෘතය හ, අනුෂ්ඨිතය හ, පරිචිතය හ, සුසමාරද්ධය හ. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැත්තහු නම්, කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනාහ’’ යනු යි.

 

  1. භාග්‍යවතුන් වහන්සේ විසින් (පිරිනිවන්පානා බවට) මෙසේ ඖදාරික නිමිති ඖදාරික අවභාස කරනු ලබන කල්හි දු, මරහු විසින් මඩනා ලද සිතැතියක්හු සේ, අනඳ තෙරණුවෝ එය දැන ගන්නට නොහැකි වූහ. ‘වහන්ස, බොහෝ දෙනාට සිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස සුව පිණිස, භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා’ යි, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා’ යි භාග්‍යවතුන් වහන්සේ නො යැදූහ.

 

  1. භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වරද, ‘‘අනඳයෙනි, විසල්පුර රම්‍ය ය, උදේන චෛත්‍යය (සමවත් සුවයට) රම්‍ය ය, ගෞතමක චෛත්‍යය රම්‍ය ය, සත්තම්බ චෛත්‍යය රම්‍ය ය, බහුපුත්‍ර චෛත්‍යය රම්‍ය ය. සාරන්දද චෛත්‍යය රම්‍ය ය, චාපාල චෛත්‍යය රම්‍ය ය. අනඳයෙනි, යමකු විසින් සතර ඉදුපාහු වඩන ලදහු ද, පුනපුනා වඩන ලදහු ද, යුක්ත යානක් සේ කරන ලදහු ද, තහවුරු කොට පිහිටුවන ලදහු ද, අනුෂ්ඨිත ද, පුරුදු කරන ලදහු ද, මොනොවට සම්පූර්ණ කරණ ලදහු ද, හේ කැමැත්තේ ආයුෂ්කල්පයක් හෝ ආයුෂ්කල්පයට මඳක් වැඩි වූ කලක් හෝ සිටුනේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඉදුපාහු භාවිතය හ, බහුලීකෘතය හ, යානීකෘතය හ, වාස්තුකෘතය හ, අනුෂ්ඨිතය හ, පරිචිතය හ, සුසමාරද්ධය හ. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැත්තහු නම්, කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනාහ’’ යනු යි.

 

භාග්‍යවතුන් වහන්සේ විසින් දෙවෙනි වරද  (පිරිනිවන්පානා බවට) මෙසේ ඖදාරික නිමිති ඖදාරික අවභාස කරනු ලබන කල්හි දු, මරහු විසින් මඩනා ලද සිතැතියක්හු සේ, අනඳ තෙරණුවෝ එය දැන ගන්නට නොහැකි වූහ. ‘වහන්ස, බොහෝ දෙනාට සිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස සුව පිණිස, භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා’ යි, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා’ යි භාග්‍යවතුන් වහන්සේ නො යැදූහ.

 

  1. භාග්‍යවතුන් වහන්සේ තෙවෙනි වරද  ‘‘අනඳයෙනි, විසල්පුර රම්‍ය ය, උදේන චෛත්‍යය (සමවත් සුවයට) රම්‍ය ය, ගෞතමක චෛත්‍යය රම්‍ය ය, සත්තම්බ චෛත්‍යය රම්‍ය ය, බහුපුත්‍ර චෛත්‍යය රම්‍ය ය. සාරන්දද චෛත්‍යය රම්‍ය ය, චාපාල චෛත්‍යය රම්‍ය ය. අනඳයෙනි, යමකු විසින් සතර ඉදුපාහු වඩන ලදහු ද, පුනපුනා වඩන ලදහු ද, යුක්ත යානක් සේ කරන ලදහු ද, තහවුරු කොට පිහිටුවන ලදහු ද, අනුෂ්ඨිත ද, පුරුදු කරන ලදහු ද, මොනොවට සම්පූර්ණ කරණ ලදහු ද, හේ කැමැත්තේ ආයුෂ්කල්පයක් හෝ ආයුෂ්කල්පයට මඳක් වැඩි වූ කලක් හෝ සිටුනේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් සතර ඉදුපාහු භාවිතය හ, බහුලීකෘතය හ, යානීකෘතය හ, වාස්තුකෘතය හ, අනුෂ්ඨිතය හ, පරිචිතය හ, සුසමාරද්ධය හ. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැත්තහු නම්, කල්පයක් හෝ කල්පාවශේෂයක් හෝ සිටුනාහ’’ යනු යි.

 

භාග්‍යවතුන් වහන්සේ විසින් තෙවෙනි වරද  (පිරිනිවන්පානා බවට) මෙසේ ඖදාරික නිමිති ඖදාරික අවභාස කරනු ලබන කල්හි දු, මරහු විසින් මඩනා ලද සිතැතියක්හු සේ, අනඳ තෙරණුවෝ එය දැන ගන්නට නොහැකි වූහ. ‘වහන්ස, බොහෝ දෙනාට සිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට වැඩ පිණිස, හිත පිණිස සුව පිණිස, භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා’ යි, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා’ යි භාග්‍යවතුන් වහන්සේ නො යැදූහ.

 

  1. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා, ‘‘අනඳයෙනි, දැන් යම් විවේකයකට කල් සලකවු නම්, ඒ සඳහා යවු’’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැඟී, භාග්‍යවතුන් වහන්සේ වැඳ, පැදකුණු කොට, නොදුරෙහි එක්තරා රුක් මුලෙක හුන්හ. එ කල්හි අනඳ තෙරුන් ගිය නොබෝ කල්හි පවිටු වූ වසවත් මර තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ පසෙක සිටියේ ය. පසෙක සිටියා වූ මර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කී:

 

  1. ‘‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක් වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කල් ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව, යම්තාක් මාගේ භික්ෂූහු ව්‍යක්ත වූ, විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මානුධර්මප්‍රතිපන්න වූ සාමිචීපටිපන්න වූ අනුදර්මචාරී වූ ශ්‍රාවකයෝ නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දක්වන්නාහු ද, බෙදා නොදක්වන්නාහු ද, ප්‍රකට කොට නො දක්වන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුනු සහිත ව මැඩලා ප්‍රාතිහාර්‍ය සහිත (නෛර්‍ය්‍යානික කොට) දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.’’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූහු ව්‍යක්තහ, විනීත හ, විශාරද හ,  බහුශ්‍රැත හ.  ධර්මානුධර්මප්‍රතිපන්න හ,  සාමිචීපටිපන්න හ,  අනුදර්මචාරී  හ, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පනවත්, පිහිටුවත්, විවෘත කෙරෙත්, විභාග කොට දක්වත්, හෙළි කෙරෙත්, උපන් පරප්‍රවාදය කරුණු සහිතව මොනවට මැඩ නෛය්‍යාණික කොට දහම් දෙසත්, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේකවා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේකවා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ පිරිණිවෙන සේක. වහන්ස, දැන් භාක්‍යවතුන් වහන්සේට පිරිනිවනට කල් ය’’

 

  1. ‘‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව, යම්තාක් මාගේ භික්ෂුණීහු ව්‍යක්ත වූ, විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මානුධර්මප්‍රතිපන්න වූ සාමිචීපටිපන්න වූ අනුදර්මචාරී වූ ශ්‍රාවකයෝ නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දක්වන්නාහු ද, බෙදා නොදක්වන්නාහු ද, ප්‍රකට කොට නො දක්වන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුනු සහිත ව මැඩලා ප්‍රාතිහාර්‍ය සහිත (නෛර්‍ය්‍යානික කොට) දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.’’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා මෙහෙණියෝ ව්‍යක්තහ, විනීත හ, විශාරද හ,  බහුශ්‍රැත හ.  ධර්මානුධර්මප්‍රතිපන්න හ,  සාමිචීපටිපන්න හ,  අනුදර්මචාරී  හ, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පනවත්, පිහිටුවත්, විවෘත කෙරෙත්, විභාග කොට දක්වත්, හෙළි කෙරෙත්, උපන් පරප්‍රවාදය කරුණු සහිතව මොනවට මැඩ නෛය්‍යාණික කොට දහම් දෙසත්, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේකවා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේකවා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ පිරිණිවෙන සේක. වහන්ස, දැන් භාක්‍යවතුන් වහන්සේට පිරිනිවනට කල් ය’’

 

  1. ‘‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව, යම්තාක් මාගේ උපාසකයෝ ව්‍යක්ත වූ, විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මානුධර්මප්‍රතිපන්න වූ සාමිචීපටිපන්න වූ අනුදර්මචාරී වූ ශ්‍රාවකයෝ නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දක්වන්නාහු ද, බෙදා නොදක්වන්නාහු ද, ප්‍රකට කොට නො දක්වන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුනු සහිත ව මැඩලා ප්‍රාතිහාර්‍ය සහිත (නෛර්‍ය්‍යානික කොට) දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.’’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක උපාසකයෝ ව්‍යක්තහ, විනීත හ, විශාරද හ,  බහුශ්‍රැත හ.  ධර්මානුධර්මප්‍රතිපන්න හ,  සාමිචීපටිපන්න හ,  අනුදර්මචාරී  හ, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පනවත්, පිහිටුවත්, විවෘත කෙරෙත්, විභාග කොට දක්වත්, හෙළි කෙරෙත්, උපන් පරප්‍රවාදය කරුණු සහිතව මොනවට මැඩ නෛය්‍යාණික කොට දහම් දෙසත්, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේකවා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේකවා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ පිරිණිවෙන සේක. වහන්ස, දැන් භාක්‍යවතුන් වහන්සේට පිරිනිවනට කල් ය’’

 

  1. ‘‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටු මරුව, යම්තාක් මාගේ උවැසියෝ ව්‍යක්ත වූ, විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මානුධර්මප්‍රතිපන්න වූ සාමිචීපටිපන්න වූ අනුදර්මචාරී වූ ශ්‍රාවකයෝ නො වන්නාහු ද, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවෘත කොට නො දක්වන්නාහු ද, බෙදා නොදක්වන්නාහු ද, ප්‍රකට කොට නො දක්වන්නාහු ද, පහළ වූ පරප්‍රවාදය කරුනු සහිත ව මැඩලා ප්‍රාතිහාර්‍ය සහිත (නෛර්‍ය්‍යානික කොට) දහම් නො දෙසන්නාහු ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.’’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදි. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා උවැසියෝ ව්‍යක්තහ, විනීත හ, විශාරද හ,  බහුශ්‍රැත හ.  ධර්මානුධර්මප්‍රතිපන්න හ,  සාමිචීපටිපන්න හ,  අනුදර්මචාරී  හ, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන කියත්, දෙසත්, පනවත්, පිහිටුවත්, විවෘත කෙරෙත්, විභාග කොට දක්වත්, හෙළි කෙරෙත්, උපන් පරප්‍රවාදය කරුණු සහිතව මොනවට මැඩ නෛය්‍යාණික කොට දහම් දෙසත්, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේකවා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේකවා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. සුගතයන් වහන්සේ පිරිණිවෙන සේක. වහන්ස, දැන් භාක්‍යවතුන් වහන්සේට පිරිනිවනට කල් ය’’

 

  1. ‘‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘පවිටුව, යම්තාක් මාගේ මේ ශාසනමාර්ගබ්‍රහ්මචර්‍ය්‍යය සමෘද්ධ නො වන්නේ ද, වෘද්ධිප්‍රාප්ත නො වන්නේ ද, විස්තීරණ නො වන්නේ ද, බොහෝ දෙනා විසින් දැන ගන්නා ලද්දක් නොවන්නේ ද, පෘථුල නො වන්නේ ද, ඇති තාක් නුවණැති හැම දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිත නො වන්නේ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි’’ යි මේ වචනය වදාරණ ලද්දේ ම ය. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනමාර්ගබ්‍රහ්මචර්‍ය්‍යය සමෘද්ධ ද වෘද්ධිප්‍රාප්ත ද, විස්තෘත ද, බාහුජන්‍ය ද පෘථුල ද, ඇති තාක් නුවණැති දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිත ද වේ. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා. සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක් වා. දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන්නට කල් යැ’’යි කී ය.

 

  1. මෙසේ කී කලැ භාග්‍යවතුන් වහන්සේ පවිටු මරදෙව්පුතුට ‘‘පවිට තෝ මන්දෝත්සාහිවව. නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තෙමසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ’’ යි වදාළ සේක.

 

  1. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යයෙහි දී සිහි ඇති සේක් මනානුවණින් දන්නා සේක් ම ආයුසංස්කාරය හළ සේක. (මෙතැන් පටන් කොට තෙමසක් ම සමවත් සමවදිමින් දිවි පවත්වමි. එයින් මත්තෙහි සමවතට නොම වදිමි’යි සිත ඉපිදැ වූසේක.) භාග්‍යවතුන් වහන්සේ ආයුසංස්කාරය හළ කෙණෙහි ම බිහිසුණු වූ ලොමුදහ ගන්වන මහත් භූමිකම්පනයෙක් විය. දෙව්බෙර පැළිණ (නොකල්හිවැසි වට) ඒ කලැ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කළ සේක.

 

‘‘බුද්ධමුනි තෙම නිවන ද භවය ද තුලනා කරණුයේ (තීරණය කරනුයේ) භවසංස්කාරකර්මය (බෝමැඩදීම) හළේ ය. විදර්ශනා විසින් නිජකාධ්‍යාත්මයෙහි ඇලුණේ ශමථ වශයෙන් සමාහිත වූයේ, (මෙසේ සමථ විදර්ශනා බලයෙන්) කවචයක් (යුදසැට්ටයක්) මෙන් තම අත්බව වැළඳ සිටි සියලු කෙළෙස් බිඳ හළේ ය. (එහෙයින් අභීත ව ආයුසංස්කාරය හළේ ය.)

(භූමිචලනයෙහි හේතු අට.)

  1. එකල්හී අනඳ තෙරුණනට ‘භවත්නි, ආශ්චර්‍ය්‍ය ය, භවත්නී අද්භූත ය, මේ භූමිචලනය මහත් ය, මේ භූමිකම්පනය ඉතා මහත් ය, බිහිසුණු ය, ලොමුදහ ගන්වන සුලුය. දෙව්බෙර ද පැළිණ, (නො කල් වැසි වට). මහත් භූමිචලනය ඇති වන්නට හේතු කවර ය, ප්‍රත්‍ය කවරය,’ යි මේ සිත වීය. ඉක්බිති අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ වැඳ පසෙක හුන්හ. පසෙක හිඳ, ‘‘වහන්ස, ආශ්චර්‍ය්‍ය ය, වහන්ස අත්භූතය, වහන්සේ මේ භූමිචලනය මහත් ය, මේ භූමිචලනය ඉතාමහත් ය, බිහිසුණු ය, ලොමුදහගන්වන සුලුය, දෙව් බෙර ද පැළිණ. වහන්ස, මහත් භූමිකම්පනයට හේතු කවර ය? ප්‍රත්‍යය කවර ය? ’’ යි මෙය විචාළහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

 

  1. අනඳයෙනි, මහද්භූමිකම්පනය ඇති වන්නට මේ හේතු අටෙක, ප්‍රත්‍යය අටෙක. කවර අටෙක් ද යත්:

 

අනඳයෙනි, මේ මහ පොළොව දිය ආධාර කොට පිහිටියේ වෙයි. දිය වාතය ආධාර කොට පිහිටියේ වෙයි. වාතය අහසෙහි පිහිටියේ වෙයි. අනඳයෙනි, යම් විටෙක මහා වාතයෝ හමත් ද, මහා වාතයෝ හමන්නාහු දිය සොළොවත් ද, දිය සෙලැවුණේ පොළාව සොලොවා ද, එසේ වූ කාලයෙක් වෙයි. මහත් භූමි කම්පනය ඇති වනුවට මේ පලමු හේතුව, පලමු ප්‍රත්‍ය ය වෙයි(1)

තවද අනෙකක් කියමි. අනඳයෙනි, සෘද්ධිමත් චිත්තවශිතා ලත් මහණෙක් හෝ බමුණෙක් වෙයි ද, මහත් සෘද්ධි ඇති මහානුභාව ඇති දෙවියෙක් හෝ වෙයි ද, ඔහු විසින් පෘථිවිසංඥාව මඳ ලෙස වඩන ලද්දේ වේ ද, අප්සංඥාව අප්‍රමාණ කොට වඩන ලද්දේ වේ ද, හෙතෙම මේ පොළොව සොළවයි. උඩු දෙසට සොළවා යවයි. උඩු යට දෙදෙසට යවමින් හාත්පසින් සොලොවයි. වඩාත් වෙවුල්වයි. මහත් බූමි කම්පනයට මේ දෙවෙනි හේතුව, දෙවෙනි ප්‍රත්‍යය වෙයි (2)

තවද අනෙකක් කියමි. අනඳයෙනි, යම් කලෙක්හි බෝසත් තෙම තූසී දෙව්නිකායෙන් සැව සිහි ඇත්තේ නුවණ ඇත්තේ මවු කුසට බසී ද, එකල්හී මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, හාත්පස වඩාත් සැලෙයි, වෙවුලයි. මහද්බූමිකම්පනය ඇති වන්නට මේ තෙවෙනි හේතුව, තෙවෙනි ප්‍රත්‍යය වෙයි (3)

තවද අනෙකක් කියමි. අනඳයෙනි, යම් කලෙක බෝසත් තෙම සිහි ඇත්තේ නුවණ ඇත්තේ මවු කුසින් බිහි වේද, එකල්හි මේ පොළොව සැලෙයි. හාත්පසින් සැලෙයි. හාත්පසින් වඩාත් සැලෙයි වෙවුලයි මහද්භූමිකම්පනය පහළ වන්නට මේ සිවුවන හේතුව, සිවුවන ප්‍රත්‍යය වෙයි. (4)

 

තවද අනෙකක් කියමි. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම නිරුත්තර සම්‍යක්සම්බෝධිසමධිගමය කෙරේ ද, එකල්හි මේ පොළොව සැලෙයි. හාත්පසින් සැලෙයි, වඩාත් සැලෙයි, වෙවුලයි, මහත් බූමි කම්පනය ඇති වන්නට සවන හේතුව සවන ප්‍රත්‍යය වෙයි.  (5)

 

තවද අනෙකක් කියමි. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම නිරුත්තර දම්සක් පවත්වා ද, එකල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, වඩාත් සැලෙයි, වෙවුලයි, මේ මහද්භූමිකම්පනය ඇති වන්නට සවන හේතුව සවන ප්‍රත්‍යය වෙයි. (6)

 

තවද අනෙකක් කියමි. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම සිහි ඇත්තේ මහා නුවණ ඇත්තේ ආයුසංස්කාරය හරී ද, එ කල්හි මේ පොළොව සැලෙයි, හාත්පසින් සැළෙයි, වඩාත් සැළෙයි, වෙවුලයි, මේ මහද්භූමිචම්පනයට ඇති වන්නට සවන හේතුව සවන ප්‍රත්‍යය වෙයි. (7)

 

තවද අනෙකක් කියමි. අනඳයෙනි, යම් කලෙක තථාගත තෙම අනුපදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවෙයි ද, එකලැ මේ පොළොව සැලෙයි, හාත්පසින් සැලෙයි, වඩාත් සැලෙයි, වෙවුලයි. මේ මහද්භූමිකම්පනය ඇති වන්නට අටවැනි හේතුව, අටවැනි ප්‍රත්‍යය වෙයි.

 

අනඳයෙනි, මේ මහද්භූමිකම්පනය ඇති වන්නට හේතු වූ ප්‍රත්‍යය වූ කරුණු අට ය.

පිරිස් අට.

 

  1. අනඳයෙනි, මේ පිරිස් අටෙක. කවර අටෙක් ද යත්:  කැත් පිරිස බමුණු පිරිස ගැහැවිපිරිස මහණපිරිස සියුමහරැජිපිරිස තව්තිසාපිරිස මරපිරිස බඹපිරිස යන මොහු ය.

 

අනඳයෙනි, මා නොයෙක් සිය ගණන් කැත්පිරිස් කරා එළැඹුනා දනිමි.(සිහි කෙරෙමි.) එහි ද මා විසින් හුන් විරූ ද, කතාබස් කළ විරූ ද, සාකච්ඡා කළ විරූ ද වෙයි. එහි ඔවුන්ගේ පැහැයම් බඳු වේද මගේ පැහැ ද එබඳු වෙයි. ඔවුන්ගේ කඩහඬ යම් බඳු වේද මගේ කටහඬ ද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් ද කරුණු දක්වමි, එය ඔවුනට ගන්වමි. තියුණු කෙරෙමි, එහි ඔවුන් තුටුපහටු කෙරෙමි. එසේ කියන මා ඔහු ‘මේ කවරෙක් කතා කෙරේ ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි නොදනිත්. දැහැමි කතායෙන් කරුණු දක්වා, කරුණු ගන්වා, එහි ඔවුන් තියුනු කොට, තුටු පහටු කොට අතුරුදහස් වෙමි. අතුරුදහන් වූ ද මා ‘කවරෙක් නම් මේ අතුරුදහස් වී ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි ඔහු නො දනිත්.

 

අනඳයෙනි, මා නොයෙක් සිය ගණන් බමුණුපිරිස් කරා එළැඹුනා දනිමි.(සිහි කෙරෙමි.) එහි ද මා විසින් හුන් විරූ ද, කතාබස් කළ විරූ ද, සාකච්ඡා කළ විරූ ද වෙයි. එහි ඔවුන්ගේ පැහැයම් බඳු වේද මගේ පැහැ ද එබඳු වෙයි. ඔවුන්ගේ කඩහඬ යම් බඳු වේද මගේ කටහඬ ද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් ද කරුණු දක්වමි, එය ඔවුනට ගන්වමි. තියුණු කෙරෙමි, එහි ඔවුන් තුටුපහටු කෙරෙමි. එසේ කියන මා ඔහු ‘මේ කවරෙක් කතා කෙරේ ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි නොදනිත්. දැහැමි කතායෙන් කරුණු දක්වා, කරුණු ගන්වා, එහි ඔවුන් තියුනු කොට, තුටු පහටු කොට අතුරුදහස් වෙමි. අතුරුදහන් වූ ද මා ‘කවරෙක් නම් මේ අතුරුදහස් වී ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි ඔහු නො දනිත්.

 

අනඳයෙනි, මා නොයෙක් සියගණන් ගැහැවිපිරිස් කරා එළැඹුනා දනිමි.(සිහි කෙරෙමි.) එහි ද මා විසින් හුන් විරූ ද, කතාබස් කළ විරූ ද, සාකච්ඡා කළ විරූ ද වෙයි. එහි ඔවුන්ගේ පැහැයම් බඳු වේද මගේ පැහැ ද එබඳු වෙයි. ඔවුන්ගේ කඩහඬ යම් බඳු වේද මගේ කටහඬ ද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් ද කරුණු දක්වමි, එය ඔවුනට ගන්වමි. තියුණු කෙරෙමි, එහි ඔවුන් තුටුපහටු කෙරෙමි. එසේ කියන මා ඔහු ‘මේ කවරෙක් කතා කෙරේ ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි නොදනිත්. දැහැමි කතායෙන් කරුණු දක්වා, කරුණු ගන්වා, එහි ඔවුන් තියුනු කොට, තුටු පහටු කොට අතුරුදහස් වෙමි. අතුරුදහන් වූ ද මා ‘කවරෙක් නම් මේ අතුරුදහස් වී ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි ඔහු නො දනිත්.

 

අනඳයෙනි, මා නොයෙක් සිය ගණන් මහණපිරිස් කරා එළැඹුනා දනිමි.(සිහි කෙරෙමි.) එහි ද මා විසින් හුන් විරූ ද, කතාබස් කළ විරූ ද, සාකච්ඡා කළ විරූ ද වෙයි. එහි ඔවුන්ගේ පැහැයම් බඳු වේද මගේ පැහැ ද එබඳු වෙයි. ඔවුන්ගේ කඩහඬ යම් බඳු වේද මගේ කටහඬ ද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් ද කරුණු දක්වමි, එය ඔවුනට ගන්වමි. තියුණු කෙරෙමි, එහි ඔවුන් තුටුපහටු කෙරෙමි. එසේ කියන මා ඔහු ‘මේ කවරෙක් කතා කෙරේ ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි නොදනිත්. දැහැමි කතායෙන් කරුණු දක්වා, කරුණු ගන්වා, එහි ඔවුන් තියුනු කොට, තුටු පහටු කොට අතුරුදහස් වෙමි. අතුරුදහන් වූ ද මා ‘කවරෙක් නම් මේ අතුරුදහස් වී ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි ඔහු නො දනිත්.

 

අනඳයෙනි, මා නොයෙක් සියගණන් සිවුමහරැජි පිරිස් කරා එළැඹුනා දනිමි.(සිහි කෙරෙමි.) එහි ද මා විසින් හුන් විරූ ද, කතාබස් කළ විරූ ද, සාකච්ඡා කළ විරූ ද වෙයි. එහි ඔවුන්ගේ පැහැයම් බඳු වේද මගේ පැහැ ද එබඳු වෙයි. ඔවුන්ගේ කඩහඬ යම් බඳු වේද මගේ කටහඬ ද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් ද කරුණු දක්වමි, එය ඔවුනට ගන්වමි. තියුණු කෙරෙමි, එහි ඔවුන් තුටුපහටු කෙරෙමි. එසේ කියන මා ඔහු ‘මේ කවරෙක් කතා කෙරේ ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි නොදනිත්. දැහැමි කතායෙන් කරුණු දක්වා, කරුණු ගන්වා, එහි ඔවුන් තියුනු කොට, තුටු පහටු කොට අතුරුදහස් වෙමි. අතුරුදහන් වූ ද මා ‘කවරෙක් නම් මේ අතුරුදහස් වී ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි ඔහු නො දනිත්.

 

අනඳයෙනි, මා නොයෙක් සිය ගණන් තව්තිසාපිරිස් කරා එළැඹුනා දනිමි.(සිහි කෙරෙමි.) එහි ද මා විසින් හුන් විරූ ද, කතාබස් කළ විරූ ද, සාකච්ඡා කළ විරූ ද වෙයි. එහි ඔවුන්ගේ පැහැයම් බඳු වේද මගේ පැහැ ද එබඳු වෙයි. ඔවුන්ගේ කඩහඬ යම් බඳු වේද මගේ කටහඬ ද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් ද කරුණු දක්වමි, එය ඔවුනට ගන්වමි. තියුණු කෙරෙමි, එහි ඔවුන් තුටුපහටු කෙරෙමි. එසේ කියන මා ඔහු ‘මේ කවරෙක් කතා කෙරේ ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි නොදනිත්. දැහැමි කතායෙන් කරුණු දක්වා, කරුණු ගන්වා, එහි ඔවුන් තියුනු කොට, තුටු පහටු කොට අතුරුදහස් වෙමි. අතුරුදහන් වූ ද මා ‘කවරෙක් නම් මේ අතුරුදහස් වී ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි ඔහු නො දනිත්.

 

අනඳයෙනි, මා නොයෙක් සිය ගණන් මර පිරිස් කරා එළැඹුනා දනිමි.(සිහි කෙරෙමි.) එහි ද මා විසින් හුන් විරූ ද, කතාබස් කළ විරූ ද, සාකච්ඡා කළ විරූ ද වෙයි. එහි ඔවුන්ගේ පැහැයම් බඳු වේද මගේ පැහැ ද එබඳු වෙයි. ඔවුන්ගේ කඩහඬ යම් බඳු වේද මගේ කටහඬ ද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් ද කරුණු දක්වමි, එය ඔවුනට ගන්වමි. තියුණු කෙරෙමි, එහි ඔවුන් තුටුපහටු කෙරෙමි. එසේ කියන මා ඔහු ‘මේ කවරෙක් කතා කෙරේ ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි නොදනිත්. දැහැමි කතායෙන් කරුණු දක්වා, කරුණු ගන්වා, එහි ඔවුන් තියුනු කොට, තුටු පහටු කොට අතුරුදහස් වෙමි. අතුරුදහන් වූ ද මා ‘කවරෙක් නම් මේ අතුරුදහස් වී ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි ඔහු නො දනිත්.

 

අනඳයෙනි, මා නොයෙක් සිය ගණන් බඹපිරිස් කරා එළැඹුණා දනිමි. එහි ද මා විසින් හුන් විරූ ද කතාබස් කළ විරූ ද, සාකච්ඡා කළ විරූ ද, වෙයි. එහි ඔවුන්ගේ පැහැයම්බඳු වේ ද, මගේ කටහඬ ද එබඳු වෙයි. එහි ඔවුනට දැහැමි කතායෙන් ද කරුනු දක්වමි, එය ඔවුනට ගන්වමි. එහි ඔවුන් තියුණු කෙරෙමි. තුටුපහටු කෙරෙමි. එසේ කියන මා ඔහු ‘මේ කවරෙක් කියා ද, දෙවියෙක් ද නොහොත් මිනිසෙක් ද’ යි නො දනිත්. දැහැමි කතායෙන් කරුණු ගන්වා එහි ඔවුන් තියුණු කොට තුටුපහටු කොට අතුරුදහන් වෙමි. අතුරුදහස් වූ ද මා ‘කවරෙක් නම් මේ අතුරුදහස් වී ද දෙවියෙක් ද නොහොත් මිනිසෙක් දැ’ යි නො දනිත්. අනඳයෙනි මේ අට පිරිස් ය.

[අට්ඨඅභිභායතනානි]

 

  1. අනඳයෙනි, මේ අභිභායතන අටෙකි. කවර අටෙක් ද ? යත්:

එකෙක් ආධ්‍යාත්ම රූපයෙහි පරිකර්ම වශයෙන් රූපසංඥා ඇත්තේ පිටත්හි සුවර්ණ හෝ දුර්වර්ණ හෝ පරිත්තාරම්මණ ප්‍රතිභාග නිමිති දකී. ඒ නිමිති මැඩ ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ පළමු අභිභායතනය යි. (1)

එකෙක් ආධ්‍යාත්මයේ රූපසංඥා ඇත්තේ පිටත්හි අප්‍රමාණ වූ සුවර්ණ දුර්වර්ණ වූ පරිත්ත වූ පරිකර්ම නිමිති ද ප්‍රතිභාග නිමිති ද දකී. ඒ අරමුණු මැඩ ‘දනිමි යි  දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ දෙවෙනි අභිභායතනය යි. (2)

එකෙක් ආධ්‍යාත්ම අරමුණෙහි රූපසංඥා නැත්තේ පිටත්හි වූ අප්‍රමාණ වූ සුවර්ණ දුර්වර්ණ රූපයන් දකී. ඒ රූප අභිභවා ‘දනිමි යි දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි මේ තෙවෙනි අභිභායතනය යි. (3)

එකෙක් ආධ්‍යාත්ම අරමුණෙහි රූපසංඥා නැත්තේ පිටත්හි වූ අප්‍රමාණ වූ සුවර්ණ දුර්වර්ණ  රූපයන් දකී. ඒ රූප අභිභවා ‘දනිමි යි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි.මේ සතවන අභිභායතනය යි.(4)

එකෙක් අධ්‍යාත්ම රූපයෙහි පරිකර්මසංඥා නැත්තේ, නිල් වූ නිල්වන් නිල් දැකුම් ඇති නිල් පැහැ ඇති පිටත්හි රූප දකී. නිල්, නිල්වන්, නිල්දැකුම් ඇති, නිල්පැහැ ඇති දියමෙරලිය මලක් යම් සේ වේ ද, දෙපිට ම මොළොක් කසීවතෙක් යම්සේ නිල් වේ ද, නිල්වන් වේ ද, නිල්දැකුම් ඇත්තේ වේ ද, නිල් පැහැ ඇත්තේ වේ ද, එසේ ම එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්මසංඥා නැත්තේ නිල් වූ නිල්වන් වූ නිල්දැකුම් ඇති නිල් පැහැති බාහිර නීලකසිණාලම්භන රූප දකී. ඒ රූප අභිභවා  ‘දනිමි දකිමි’ යි මෙබඳු සංඥා ඇත්තේ වෙයි. මේ පස්වන අභිභායතනය යි. (5)

එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්මසංඥා නැත්තේ, රන්වන් වූ, රන්වන් දැකුම් ඇති, රන්පැහැති බාහිර පීත රූප දකී. රන්වන් වූ රන්වන් දැකුම් ඇති, රන්පැහැ ඇති පීත වූ කිණිහිරිම මලෙක් යම්සේ  වේ ද, දෙපස මට සිලිටි වූ රන්වන් වූ රන්වන් දැකුම් ඇති රන්පැහැති පීත වූ කසීවතෙක් හෝ යම්සේ ද, එසේ ම එකෙක් අධ්‍යාත්මරූපයෙහි රූපසංඥා නැත්තේ රන්වන්, රන්වන් දැකුම් ඇති, රන්පැහැති බාහිර පීත කසිණ රූපයන් දකී. ඔවුන් මැඩ ‘දනිමි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සවස අභිභායතනය යි. (6)

එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්මසංඥා නැත්තේ, රතු වූ, රත්වන් වූ, රත්වන් දැකුම් ඇති, රත්පැහැති බාහිර රූප දකී. රතු වූ රත්වන් දැකුම් ඇති, රත්පැහැ ඇති බඳුවද මලෙක් යම්සේ  වේ ද, දෙපස මට සිලිටි වූ රතු වූ රත්වන් වූ රත්වන්  දැකුම් ඇති රත්පැහැති වූ කසීවතෙක් හෝ යම්සේ ද, එසේ ම එකෙක් අධ්‍යාත්මරූපයෙහි රූපසංඥා නැත්තේ රතු වූ , රත්වන් වූ රත්වන් දැකුම් ඇති, රත්පැහැති බාහිර රූපයන් දකී. ඔවුන් මැඩ ‘දනිමි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ සත්වන අභිභායතනය යි.(7)

එකෙක් අධ්‍යාත්මරූපයෙහි පරිකර්මසංඥා නැත්තේ, සුදු වූ, සුදුවන් දැකුම් ඇති, සුදුපැහැති බාහිර රූප දකී. සුදු වූ සුදුවන් වූ, සුදුවන් දැකුම් ඇති, සුදුපැහැ ඇති ඕසධී තාරකාව යම්සේ  වේ ද, දෙපස මට සිලිටි වූ සුදු වූ සුදුවන් සුදුවන් වූ,  දැකුම් ඇති සුදුපැහැති වූ කසීවතෙක් හෝ යම්සේ ද, එසේ ම එකෙක් අධ්‍යාත්මරූපයෙහි රූපසංඥා නැත්තේ සුදු වූ, සුදුවන් වූ,  සුදුවන් දැකුම් ඇති, සුදුපැහැති බාහිර රූපයන් දකී. ඔවුන් මැඩ ‘දනිමි දකිමි’ යි මෙසේ සංඥා ඇත්තේ වෙයි. මේ අටවැනි අභිභායතනය යි.(8)

අනඳයෙනි, මෙහු අටදෙන අභිභායතනයෝ ය.

[මිමෝක්ෂ අට]

 

  1.  අනඳයෙනි, මේ විමෝක්ෂයෝ අට දෙනෙකි. කවර අට දෙනෙක් ද යත්:

රූපධ්‍යාන ඇත්තේ නීලකසිණාදී රූපයන් ධ්‍යාන ඇසින් දකී. මේ පළමුවන විමෝක්ෂය යි. (1)

අධ්‍යාත්මයෙහි රූපසංඥා නැත්තේ බාහිර රූප දකී. මේ දෙවෙනි විමෝක්ෂයයි. (2)

පිරිසිදු වූ කසිණ අරමුණු දහන් ඇසින් දක්නේ, ‘ශුභ ම යැ’ යි එහි ඇලුණේ වෙයි. මේ තෙවෙනි විමෝක්ෂය යි. (3)

සර්වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මීමෙන් ප්‍රතිඝසංඥාවන් පහ වැ යෑමෙන් නානාත්සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘අහස අනන්තය’ යි අකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි. මේ සිවුවන විමෝක්ෂයයි. (4)

සර්වප්‍රකාරයෙන් ආකානඤ්චායතන ඉක්ම ‘විඥානය අනන්ත යැ’ යි විඤ්ඤාණඤ්චායතන ධ්‍යාණයට පැමිණ වෙසෙයි. මේ පස්වන විමෝක්ෂය යි (5)

සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතන ඉක් ම ‘කිසිත් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සවන විමෝක්ෂයයි.

සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන ඉක්මැ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. මේ සත්වන විමෝක්ෂය යි. (7)

සර්වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මැ සංඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වෙසෙයි. මේ අටවන විමෝක්ෂයයි. (8)

අනඳයෙනි, මොහු අෂ්ට විමෝක්ෂයෝ ය.

[මාර ආයාචනය]

  1. අනඳයෙනි, එක් කලෙක මම් බුදු වැ පළමු කොට උරුවෙල්දනව්වෙහි නිල්දලා නී තෙරැ අජපල් නුගරුක් මුලැ වෙසෙමි. අනඳයෙනි, එ කලැ පවිටු මරු මා වෙත එළැඹියේ ය. එළැඹ එකත්පස් වැ සිටියේ ය. අනඳයෙනි, එක්පස් වැ සිටියාවූ ම මර තෙම වහන්ස ‘‘වහන්ස, භගවත්හු දැන් පිරිනිවෙත් වා, සුගත්හු පිරිනිවෙත් වා දැන් භගවත්නට පිරිනිවෙන්නට කල්ය’’ යි මෙ බස් කී ය.

 

අනඳයෙනි, මෙසේ කියන ලද මම් පවිටු මරහට මෙය කීමි. ‘‘පවිට, මා සවු මහණහු යම්තාක් කල් ව්‍යක්ත ද, විනීත ද විසාරද ද බහුස්ශ්‍රැත ද, ධර්මධර ද ධර්මානුධර්මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්මචාරී ද නොවන්නාහු නම්, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.

 

මා සවු මෙහෙණහු යම්තාක් ව්‍යක්ත ද, විනීත ද විසාරද ද බහුස්ශ්‍රැත ද, ධර්මධර ද ධර්මානුධර්මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්මචාරී ද නොවන්නාහු නම්, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.

මා සවු උපසූහු යම්තාක් ව්‍යක්ත ද, විනීත ද විසාරද ද බහුස්ශ්‍රැත ද, ධර්මධර ද ධර්මානුධර්මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්මචාරී ද නොවන්නාහු නම්, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.

මා සවු උවැසීහු යම්තාක් ව්‍යක්ත ද, විනීත ද විසාරද ද බහුස්ශ්‍රැත ද, ධර්මධර ද ධර්මානුධර්මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්මචාරී ද නොවන්නාහු නම්, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.

යම්තාක් මගේ මේ සසුන්බඹසර සමෘද්ධ නො වන්නේ ද, ස්ථිත නො වන්නේ ද, විස්තාරීත නො වන්නේ ද, බොහෝ දෙනා අතරැ පැතුරුණේත් පෘථුභූතත් නො වන්නේ ද, යම්තාක් දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිතත් නො වන්නේ ද, ඒ තාක් නො පිරිනිවෙන්නෙම’’ යි කීමි.

  1. අනඳයෙනි, දැනුදු අද චාපාල චෛත්‍යයෙහි මර තෙම මා කරා එළැඹියේ ය. එළැඹ එකත්පස් වැ සිටියේ ය. එකත්පස් ව සිටියේ ම ‘‘වහන්ස, භගවත්හු දැන් පිරිනිවෙත් වා, සුගතහු පිරිනිවෙත් වා. දැන් භගවත්නට පිරිනිවෙන්නට කල් ය. වහන්සේ භාගයවතුන් වහන්සේ විසින් ‘‘පටිට යම්තාක් මා සවු මහණහු යම්තාක් ව්‍යක්ත ද, විනීත ද විසාරද ද බහුස්ශ්‍රැත ද, ධර්මධර ද ධර්මානුධර්මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්මචාරී ද නොවන්නාහු නම්, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.

පවිට, යම්තාක් මා සව් මෙහෙණහු ව්‍යක්ත ද, විනීත ද විසාරද ද බහුස්ශ්‍රැත ද, ධර්මධර ද ධර්මානුධර්මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්මචාරී ද නොවන්නාහු නම්, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.

පවිට, යම්තාක් මා සව් උවසුහු ව්‍යක්ත ද, විනීත ද විසාරද ද බහුස්ශ්‍රැත ද, ධර්මධර ද ධර්මානුධර්මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්මචාරී ද නොවන්නාහු නම්, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.

පවිට යම්තාක් මා සව් උවැසිහු ව්‍යක්ත ද, විනීත ද විසාරද ද බහුස්ශ්‍රැත ද, ධර්මධර ද ධර්මානුධර්මප්‍රතිපන්න ද සම්‍යක්ප්‍රතිපන්න ද අනුධර්මචාරී ද නොවන්නාහු නම්, ස්වකීය ආචාර්‍ය්‍යවාදය ඉගෙන නො කියන්නාහු නම්, නො දෙසන්නාහු නම්, නො පිහිටුවන්නාහු නම්, විවෘත නො කරන්නාහු නම්, බෙදා නො දක්වන්නාහු නම්, ප්‍රකට නො කරන්නාහු නම්, පහළ වූ පරප්‍රවාදය කරුණු සහිත ව මොනොවට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු නම්, ඒ තාක් නො පිරිනිවෙන්නෙමි.

යම්තාක් මාගේ මේ සසුන්බඹසර සමෘද්ධ නො වන්නේ ද, ස්ථීත නො වන්නේ ද, විස්තාරීත නො වන්නේ ද, බොහෝ දෙනා අතර පැතැරුණෙත් පෘථුභූතත් නො වන්නේ ද, යම් තාක් දෙවිමිනිසුන් විසින් සුප්‍රකාශිතත් නො වන්නේ ද, ඒ තාක්  නො පිරිනිවෙන්නෙමි’’ යි මේ වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය.

වහන්ස, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සසුන් බඹසර සමෘද්ද ද ස්ථිත ද, විස්තාරීත ද බාහුජන්‍ය ද පෘථුභූත ද දෙව්මිනිසුන් විසින් සුප්‍රකාශිත ද වේ. වහන්ස, දැන් භගවත්හු පිරිනිවෙත් වා, සුගතහු පිරිනිවෙත්ව වා. වහන්ස, දැන් භගවත්නට පිරිනිවෙන්නට කල්වේ යැ’’ යි කීය.

අනඳයෙනි, මෙසේ කී කල්හි මම් ‘‘පවිට, තෝ මන්දෝත්සාහ වව. නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවෙන වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ යි කීමි. අනඳයෙනි, අද මේ දැන් චාපාල චෛත්‍යයෙහි දී තථාගතයන් සිහි ඇතියවුන් නුවණින් දන්නවුන් විසින් ආයුසංස්කාරය හරන ලද්දේ යැ යි වදාළහ.

(ආනන්ද-ආයාචනය)

  1. මෙසේ වදාළ කලැ අනඳ තෙරණුවෝ ‘වහන්ස. භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට අර්ථ පිණිස, හිත පිණිස, සුව පිණිස, කපක් වැඩ සිටුනා සේක් වා, සුගතයන් වහන්සේ කපක් වැඩ සිටුනා සේක් වා’’ යි කීහ.

‘‘අනඳයෙනි, කම් නැත, තථාගතයන් නො යදින්න, අනඳයෙනි, තථාගතයන් යදනට දැන් කල් නො වේ’’ යි වදාළහ.

දෙවනුව ද  අනඳ තෙරණුවෝ ‘වහන්ස. භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට අර්ථ පිණිස, හිත පිණිස, සුව පිණිස, කපක් වැඩ සිටුනා සේක් වා, සුගතයන් වහන්සේ කපක් වැඩ සිටුනා සේක් වා’’ යි කීහ.

තෙවනුව ද, අනඳ තෙරණුවෝ ‘වහන්ස. භාග්‍යවතුන් වහන්සේ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිස්නට අර්ථ පිණිස, හිත පිණිස, සුව පිණිස, කපක් වැඩ සිටුනා සේක් වා, සුගතයන් වහන්සේ කපක් වැඩ සිටුනා සේක් වා’’ යි කීහ.

එවිට භගවත්හු ‘‘අනඳයෙනි, තථාගතයන්ගේ බෝධිය හදහවු දැයි’’ අසා වදාළහ. ‘‘එසේ ය, වහන්සැ’’ යි අන ඳ තෙරණුවෝ කීහ. ‘‘එසේ නම් අනඳයෙනි, තෙපි කවර හෙයින් තෙවෙනි වර තෙක් තථාගතයන් පෙළවු දැ?’’ යි අසා වදාළ සේක.

වහන්ස, ‘‘අනඳයෙනි, යමක්හු විසින් සතර සෘද්ධිපාදයෝ වඩන ලද්දාහු, යානයක් බඳු කරන ලද්දාහු, වාස්තුවක් බඳු කරන ලද්දාහු, පිළිපදනා ලද්දාහු මොනවට පුරුදු කරන ලද්දාහු නම්, හේ කැමැත්තේ  කපක් හෝ කපකට වැඩිතරම් හෝ සිටිය ැකි වන්නේ ය. අනඳයෙනි, තථාගතයන් විසින් වනාහි සතර සෘද්ධිපාදයෝ භාවිතය හ, බහුලීකෘත හ, යානීකෘත හ, වාස්තුකෘත හ, අනුෂ්ඨිත හ, පරිචිත හ, සුසමාරබ්ධ හ. අනඳයෙනි, ඒ තථාගතයෝ කැමැත්තෝ කපක් හෝ කපකට වැඩිතරම් කලක් හෝ සිටිය හැකි වන්නාහ’’ යන මේ වචනය භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් මා විසින් අසන ලදි, භාගයවතුන් වහන්සේ හමුයෙහි මා විසින් පිළිගන්නා ලදි’’ යි අනඳ තෙරණුවෝ කීහ.

‘‘අනඳයෙනි, තෙපි මෙය හදහවු දැ? ’’ යි බුදුරජුහු අසා වදාළහ. ‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ පිළිවදන් දුන්හ.

‘‘අනඳයෙනි, එබැවින් මෙහෙ තෙපි තථාගතයන් විසින් මෙසේ ඖදාරික නිමති කරනු ලබන කල්හි, ඖදාරිකාවභාසය කරනු ලබන කල්හි, යම් හෙයෙකින් එය පිළිවිදිනුවට නො හැකි වූහු ද, ‘වහන්ස, භාග්‍යවත්හු බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස, කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත්වා’ යි තථාගතයන් නො යැදූහු ද, එය තොපගේ ම දුෂ්කෘතය, තොපගේ ම වරද ය, අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තථාගතයෝ තොපගේ වචනය දෙකක් පිළිකෙව්නාහ. වැලි තෙවැන්න ඉවසන්නාහ. එහෙයින් අනඳයෙනි, මෙහි මෙය තොපගේ ම දුෂ්කෘතය, තොපගේ ම වරද ය.

  1. අනඳයෙනි, එක් සමයෙක මම් රජගහ නුවරැ ගිජුකුළු පව්වෙහි වෙසෙමි. එහි දී ද මම් තොප බණවා ‘‘අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය, ගිජුකුළු පව්ව සිත්කළු ය, අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාර්බ්ධ නම් හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩි කල් සිටිය හැකි වන්නේ යැ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තතාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ඖදාරිකාවභාස කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට ‘‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තථාගතයෝ තොපගේ වචනය දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.

අනඳයෙනි, එක් සමයෙක් හි මම් ඒ රජගහ නුවරැ ම ගෞතම න්‍යග්‍රෝධය මුල වෙසෙමි.  එහි දී ද මම් තොප බණවා ‘‘අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය, ගිජුකුළු පව්ව සිත්කළු ය, අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාර්බ්ධ නම් හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩි කල් සිටිය හැකි වන්නේ යැ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තතාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ඖදාරිකාවභාස කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට ‘‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තථාගතයෝ තොපගේ වචනය දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.

අනඳයෙනි, එක් සමයෙක් හි මම් ඒ රජගහ නුවර ම චොරප්‍රපාතයෙහි වෙසෙමි එහි දී ද මම් තොප බණවා ‘‘අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය, ගිජුකුළු පව්ව සිත්කළු ය, අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාර්බ්ධ නම් හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩි කල් සිටිය හැකි වන්නේ යැ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තතාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ඖදාරිකාවභාස කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට ‘‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තථාගතයෝ තොපගේ වචනය දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.

අනඳයෙනි, එක් සමයෙක් හි මම් ඒ රජගහ නුවරැ ම වෛභාර පර්වතපාර්ශවයෙහි සප්තපර්ණිගුහායෙහි වෙසෙමි. එහි දී ද මම් තොප බණවා ‘‘අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය, ගිජුකුළු පව්ව සිත්කළු ය, අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාර්බ්ධ නම් හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩි කල් සිටිය හැකි වන්නේ යැ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තතාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ඖදාරිකාවභාස කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට ‘‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තථාගතයෝ තොපගේ වචනය දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.

අනඳයෙනි, එක් සමයෙක් හි මම් ඒ රජගහනුවරැ ම සෘෂිගිරිපාර්ශ්වයෙහි කාලශිලායෙහි වෙසෙමි. එහි දී ද මම් තොප බණවා ‘‘අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය, ගිජුකුළු පව්ව සිත්කළු ය, අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාර්බ්ධ නම් හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩි කල් සිටිය හැකි වන්නේ යැ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තතාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ඖදාරිකාවභාස කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට ‘‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තථාගතයෝ තොපගේ වචනය දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.

අනඳයෙනි, එක් සමයෙක් හි මම් ඒ රජගහනුවරැ ම ශීතවනයෙහි සප්පසොණ්ඩික පබ්භාරයෙහි වෙසෙමි. එහි දී ද මම් තොප බණවා ‘‘අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය, ගිජුකුළු පව්ව සිත්කළු ය, අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාර්බ්ධ නම් හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩි කල් සිටිය හැකි වන්නේ යැ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තතාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ඖදාරිකාවභාස කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට ‘‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තථාගතයෝ තොපගේ වචනය දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.

අනඳයෙනි, එක් සමයෙක් හි මම් ඒ රජගහනුවරැ ම තපොදාරාමයෙහි වෙසෙමි. එහි දී ද මම් තොප බණවා ‘‘අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය, ගිජුකුළු පව්ව සිත්කළු ය, අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාර්බ්ධ නම් හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩි කල් සිටිය හැකි වන්නේ යැ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තතාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ඖදාරිකාවභාස කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට ‘‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තථාගතයෝ තොපගේ වචනය දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.

අනඳයෙනි, එක් සමයෙක් හි මම් ඒ රජගහනුවරැ ම කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වෙසෙමි. එහි දී ද මම් තොප බණවා ‘‘අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය, ගිජුකුළු පව්ව සිත්කළු ය, අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාර්බ්ධ නම් හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩි කල් සිටිය හැකි වන්නේ යැ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තතාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ඖදාරිකාවභාස කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට ‘‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තථාගතයෝ තොපගේ වචනය දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.

අනඳයෙනි, එක් සමයෙක් හි මම් ඒ රජගහනුවරැ ම මද්දකුච්ඡි මුවලැව්හි  වෙසෙමි. එහි දී ද මම් තොප බණවා ‘‘අනඳයෙනි, රජගහ පුර සිත්කලු ය, ගිජුකුළු පව්ව සිත්කළු ය, අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාර්බ්ධ නම් හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩි කල් සිටිය හැකි වන්නේ යැ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තතාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ඖදාරිකාවභාස කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට ‘‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තථාගතයෝ තොපගේ වචනය දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.

  1. අනඳයෙනි, එක් සමයෙක්හි මේ විසල්පුරෙහි ම උදේන චෛත්‍යයෙහි වෙසෙමි. එහි දී ද මම් තොප බණවා ‘‘අනඳයෙනි, විසල්පුර සිත්කලු ය, උදේන චෛත්‍යය සිත්කලු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාර්බ්ධ නම් හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩි කල් සිටිය හැකි වන්නේ යැ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තතාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ඖදාරිකාවභාස කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට ‘‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තථාගතයෝ තොපගේ වචනය දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.

 

අනඳයෙනි, එක් සමයෙක්හි මේ විසල්පුරෙහි ම ගෞතමක චෛත්‍යයෙහි වෙසෙමි. එහි දී ද මම් තොප බණවා ‘‘අනඳයෙනි, විසල්පුර සිත්කලු ය, ගෞතම චෛත්‍යය සිත්කලු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාර්බ්ධ නම් හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩි කල් සිටිය හැකි වන්නේ යැ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තතාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ඖදාරිකාවභාස කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට ‘‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තථාගතයෝ තොපගේ වචනය දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.

අනඳයෙනි, එක් සමයෙක්හි මේ විසල්පුරෙහි ම සප්තාමුචෛත්‍යයෙහි වෙසෙමි. එහි දී ද මම් තොප බණවා ‘‘අනඳයෙනි, විසල්පුර සිත්කලු ය, සප්තාමුචෛත්‍යය සිත්කලු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාර්බ්ධ නම් හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩි කල් සිටිය හැකි වන්නේ යැ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තතාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ඖදාරිකාවභාස කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට ‘‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තථාගතයෝ තොපගේ වචනය දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.

අනඳයෙනි, එක් සමයෙක්හි මේ විසල්පුරෙහි ම බාහුපුත්‍රක චෛත්‍යයෙහි වෙසෙමි. එහි දී ද මම් තොප බණවා ‘‘අනඳයෙනි, විසල්පුර සිත්කලු ය, බාහුපුත්‍රක චෛත්‍යය සිත්කලු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාර්බ්ධ නම් හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩි කල් සිටිය හැකි වන්නේ යැ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තතාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ඖදාරිකාවභාස කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට ‘‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තථාගතයෝ තොපගේ වචනය දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.

 

අනඳයෙනි, එක් සමයෙක්හි මේ විසල්පුරෙහි ම සාරන්ද ද චෛත්‍යයෙහි වෙසෙමි. එහි දී ද මම් තොප බණවා ‘‘අනඳයෙනි, විසල්පුර සිත්කලු ය, සාරන්ද ද චෛත්‍යය සිත්කලු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාර්බ්ධ නම් හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩි කල් සිටිය හැකි වන්නේ යැ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තතාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ඖදාරිකාවභාස කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට ‘‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තථාගතයෝ තොපගේ වචනය දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.

අනඳයෙනි, අද දැන් ද මේ චාපාල චෛත්‍යයෙහි දී  තොප බණවා ‘‘අනඳයෙනි, විසල්පුර සිත්කලු ය, චාපාල චෛත්‍යය සිත්කලු ය. අනඳයෙනි, යම් කිසිවක්හු විසින් සතර සෘද්ධිපාද භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාර්බ්ධ නම් හේ කැමැත්තේ කපක් හෝ කපට වැඩි කල් සිටිය හැකි වන්නේ යැ’ යි කීමි. අනඳයෙනි, මෙසේත් තතාගතයන් විසින් ඖදාරික නිමිත්ත කරනු ලබන කල්හි ඖදාරිකාවභාස කරනු ලබන කල්හි එය දැනගන්නට නො හැකි වූහු. තථාගතයනට ‘‘වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුවපිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස හිත පිණිස සුව පිණිස භගවත්හු කපක් වැඩ සිටිත් වා, සුගත්හු කපක් වැඩ සිටිත් වා’ යි යාචන නො කළහු ය. අනඳයෙනි, ඉදින් තෙපි තථාගතයන් යැදූහු නම්, තථාගතයෝ තොපගේ වචනය දෙකක් ම පිළිකෙව්නාහ, වැලි තෙවැන්න ඉවසන්නාහ. අනඳයෙනි, එබැවින් මෙහි තොපගේ ම දුෂ්කෘත ය, තොපගේ ම වරද ය.

  1. අනඳයෙනි, ප්‍රිය වූ මන වඩන්නා වූ සියලු දැය කෙරෙන් වෙන්වීම, ඉවත් වීම, අන් සැටියෙකින් වීම යන මෙය මා විසින් කල් තබා ම තොපට කියන ලද්දේ නො වේ ද? අනඳයෙනි, යමක් උපන්නේ ද, වූයේ ද, සැකසුණේ ද, පලුදු වන සුලු ද,  එය ‘පලුදු නොවේ වා’ යි යන මෙය කොයින් ලැබෙන්නේ ද? මේ කරුණ විද්‍යාමාන නො වේ. අනඳයෙනි, යමක් තථාගතයන් විසින් හරන ලද ද, බැහැර කරන ලද ද, මුදන ලද ද, පහ කරන ලද ද දුරැ ලන ලද ද, යම් ආයුසංස්කාරයෙක් හරන ලද ද, නො බෝ කල්හි තථාගතයන්ගේ පිරීනිවීම වන්නේ යයි මෙයින් තෙමසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ’ යි යම් ඒකාන්ත වචනයෙක් තථාගතයන් වහන්සේ විසින් කියන ලද ද, ඒ වචනය තථාගතයෝ දිවි හෙයින් නුමුදු වළහන්නාහ යන මෙය නැත්තේ ය. මේ කාරණය අවිද්‍යාමාන ය.

 

  1. ‘අනඳයෙනි, යමු, මහාවනය යම් තැනෙක ද, කුළාරහල වෙහෙර යම් තැනෙක ද, ඒ තැනට එළැඹෙන්නම්හ’ යි බුදු රජුහු වදාළහ.‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. එකල්හී භාග්‍යවත්හු ආයුෂ්තමත් අනඳ තෙරුන් හා මහ වෙනෙහි කූළාරහල් වෙහෙර කරා වැඩියහ. වැඩ අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, යවු, යම් පමණ මහණහු විසල්පුර නිසා වෙසෙත් ද, ඔවුන් හැම උවටන්හලැ රැස්කරවු’ යි වදාළහ. ‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ බුදු රජුනට පිළිවදන් දී විසල්පුර වසනා තාක් හැම මහණුන් උවටන්හලැ රැස් කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ පසෙක සිටියාහ. පසෙකැ සිටියාවු අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, බික්සඟන රැස් කරන ලද්දේ ය. යමක් පිණිස භාග්‍යවතුන් වහන්සේ දැන් කල් සිතන සේක්  නම් මේ ඒ කලැ’’ යි සැළ කළහ.

 

[බ්‍රහ්මචර්‍ය්‍යාචිරස්ථායී ධර්‍මදේශනා]

 

  1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උවටන්හල කරා එළැඹියහ. එළැඹ , පණවා තුබුණු අස්නැ වැඩහුන්හ. වැඩහිඳ ම මහණුන් බණවා, ‘‘මහණෙනි, යම් සේ මේ සසුන්බඹසර බොහෝ කල් පැවැත්ත හෙන්නේ ද, චිරස්ථිතික වන්නේ ද, එසේ මෙහි මා විසින් යම් ධර්ම කෙනෙක් වෙසෙසි නුවණින් දැන දෙසන ලද ද, තොප විසින් ඒ මොනවට ඉගෙන ආසේවන කළයුතු, භාවනා විසින් වැඩිය යුතු, බහුල වශයෙන් කළයුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස, හිත පිණිස සුව පිණිස ද වන්නේ ය’ මහණෙනි, යම්සේ මේ සසුන් බඹසර බොහෝ කල් පැවැත්ත හෙන්නේ ද, චිරස්ථිතික වන්නේ ද, එසේ මෙහි මා විසින් යම් ධර්ම කෙනෙක් වෙසෙසි නුවණින් දැන දෙසන ලද ද, තොප විසින් ඒ මොනවට ඉගෙන ආසේවන කළයුතු, භාවනා විසින් වැඩිය යුතු, බහුල වශයෙන් කළයුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස, හිත පිණිස සුව පිණිස ද වන්නේ ද, එසේ ඒ යම් ධර්ම කෙනෙක් තොප විසින් මොනවට ඉගෙන ආසේවන කළ යුතු ද, වැඩිය යුතු ද, බහුල කළයුතු ද, මහණෙනි, මා විසින් වෙසෙසි නුවණින් දැන දෙසන ලද ඒ ධර්මයෝ කවුරු ද යත්: ඔහු නම් සතර සතිපට්ඨානයෝ ය, සතර සම්‍යග්ප්‍රධානයෝ ය, සතර සෘද්ධිපාද ධර්මයෝ ය, පංචඉන්ද්‍රියයෝ ය. පඤ්ච බල ය, සප්ත බොධ්‍යඞ්ග ය, ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගය ය යන මොහු ය.

මහණෙනි, මේ ධර්මයෝ වනාහි මා විසින් වෙසෙසි නුවණින් දැන දෙසන ලදහ. ඔහු තොප විසින් මේ සසුන්බඹසර බොහෝ කල්පවත්නා පිණිස, චිරස්ඨිතික වනු පිණිස, මොනවට ඉගෙන ආසේවන කළ යුතු, වැඩිය යුතු, බහුල කළ යුතු. එය බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිස්නට අර්ථ පිණිස, හිත පිණිස, සැප පිණිස, වන්නේ යැ’’ යි වදාළහ.

  1. ඉක්බිති භගවත්හු භික්ෂූන් බණවා ‘‘මහණෙනි, දැන් තොප අමතමි. සංස්කාරයෝ නැසෙන සුල්ලහ. නොපමායෙන් තුන්සික සපයවු. නොබෝ කල්හි තථාගතයන්ගේ පිරිනිවන වන්නේ ය. මෙයින් තුන් මස් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ.’’ යි වදාළහ. භගවත්හු මෙය වදාළහ. සුගත්හු මෙය වදාරා ඉක්බිති ඒ ශාස්තෘහු ගාථාබන්ධන වශයෙන් අනෙකක් වූ මේ වචන ද වදාළහ:

 

‘‘මගේ වයස මුහුකළේ ය. මගේ ජීවිතකාලය (තව) ස්වල්පයකි. තොප හැර යන්නෙමි. මා විසින් තමහට පිහිට කරන ලද්දේ ය.

 

මහණෙනි, නොපමා වවු, සිහි ඇත්තෝ වවු, සුසිල් වවු, මොනවට සිහිටුවූ සම්‍යක්කල්පනා ඇත්තෝ තමන් සිත රැකගනිවු.

 

යමෙක් මේ සස්නෙහි නොපමා ව වෙසෙන්නේ නම්, හෙතෙම ජාතිසංසාරය (ඉපැත්ම ද සසර ද නොහොත් ජාතිසංඛ්‍යාත සසර) හැරැ ලා දුක් කෙළෙවර කරන්නේ ය.’’

 

තෙවෙනි බණවර යි.

[ආර්‍යධර්ම සතර]

 

 

  1.  ඉක්බිත්තෙන් භගවත්හු පෙරවරු සමයෙහි හැඳ පෙරෙව පාසිවුරු ගෙන විසල්පුර පිඬු පිණිස පිවිසියහ. විසල්පුර පිඬු පිණිස හැසිර පසුබත්හි පිඬුවායෙන් පෙරළා වැඩියාහු, නාගාපලෝකනයෙන් විසල්පුර බලාවදාරා, අනඳ තෙරුන් බණවා, ‘‘අනඳයෙනි, මේ තථාගතයන්ගේ පශ්චිම වෛශාලිදර්ශනය වන්නේය. යමු අනඳයෙනි, භණඩගාමය වෙත එළැඹෙන්නමු’’ යි වදාළහ. ‘එසේ ය, වහන්සැ’ යි කියා අනඳ තෙරණුවෝ භගවත් බුදු රජුනට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භගවත්හු මහත් බික්සඟන කැටුව භණ්ඩ ගම වෙත වැඩියහ. භගවත්හු එහි භණ්ඩ ගමෙහි වැඩවෙසෙති.

 

එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් බණවා, ‘‘මහණෙනි, සතර ධර්මයන් අනුබෝධ නොකිරීමෙන් ප්‍රතිවේධ නොකිරීමෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොපගේ ද, සසරැ සැරුම වීය. කවර සතර ධර්මයන්ගේ(අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන්)  ද යත්:  මහණෙනි, ආර්‍ය්‍ය ශීලයාගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොප ගේ ද සසර දිවැ හැවිදීම, සසර සැරීම විය. මහණෙනි, ආර්‍ය්‍ය සමාධියහුගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොප ගේ ද, සසර දිවැ හැවිදීම, සසර සැරුම විය- මහණෙනි, ආර්‍ය්‍ය ප්‍රඥාවගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොප ගේ ද සසර දිවැ හැවිදීම, සසර සැරීම විය. මහණෙනි, ආර්‍ය්‍ය විමුක්තිය ගේ අනනුබෝධයෙන් අප්‍රතිවේධයෙන් මෙසේ මේ දික් කලක් මගේ ද තොප ගේ ද සසර දිවැ හැවිදීම, සසර සැරීම විය.

 

මහණෙනි, ඒ ආර්‍ය්‍ය ශීලය මා විසින් ද තොප විසින් ද අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ඒ ආර්‍ය්‍ය සමාධිය මා විසින් ද තොප විසින් ද අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ඒ ආර්‍ය්‍ය ප්‍රඥාව මා විසින් ද තොප විසින් ද අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. ඒ ආර්‍ය්‍ය විමුක්තිය මා විසින් ද තොප විසින් ද අනුබුද්ධ ය, ප්‍රතිවිද්ධ ය. භවතෘෂ්ණාව සිඳුනා ලදි, භවනෙත්තිය ක්ෂීණ විය. දැන් පුනර්භවයෙක් නැතැ’’ යි වදාළහ. භගවත්හු මෙය වදාළහ. සුගත්හු මෙය වදාරා, යලිදු ගාථා බන්ධන විසින් අනෙකක් වූ මේ වචන වදාළහ:

 

‘‘ලොවුතුරු ශීලය ද ලොවුතුරු සමාධිය ද, ලොවුතුරු ප්‍රඥාව ද ලොවුතුරු විමුක්තිය ද, යන මේ දහම්හූ කිර්තිමත් ගෞතමයන් විසින් අනුබෝධ කරන ලදුහ.

 

මෙසේ බුදුහූ වෙසෙසින් දැන මහණුනට දහම් දෙසූහ. පසැස් ඇති, දුක් නැසූ ඒ ශාස්තෘහු කෙලෙස් පිරිනිවනින් පිරිනිවියාහ.’’

 

භාග්‍යවතුන් වහන්සේ ඒ භණඩගාමයෙහි වසන සේක් ‘‘ශීලය මේ බඳුයැ, සමාධිය මේ බඳු යැ, ප්‍රඥාව මෙබඳු යැ, ශීලයෙන් පරිභාවිත සමාධිය මහත් පල ඇත්තේ ය, මහත් අනුසස් ඇත්තේ ය, සමාධියෙන් පරිභාවිත ප්‍රඥාව මහත් පල ඇත්තේ ය, මහත් අනුසස් ඇත්තේ ය. ප්‍රඥායෙන් පරිභාවිත සිත කාමාස්‍රවය කෙරෙන් ද, භවාස්‍රවය කෙරෙන් ද, අවිද්‍යාස්‍රවය කෙරෙන් දැ යි මෙසේ මෙ කී ආස්‍රවකෙරෙන් මොනවට ම මිදේ යැ’’යි භික්ෂූනට මෙය ම බහුල කොටැති ධර්මකථාවක් කරන සේක.

 

සතර මහා අපදේශ

ඉකිබිති භාග්‍යවතුන් වහන්සේ භණ්ඩගාමයෙහි කැමැති තාක් රැඳී, අනඳ තෙරුන් බණවා, ‘අනඳයෙනි, එවු යමු, හස්ත්‍රිග්‍රාමය යම් තැනෙක ද, එ තැනට එළැඹෙන්නමු’ යි වදාළ සේක. අම්බගාමය යම් තැනෙක ද ,ජම්බුගාමය යම් තැනෙක ද, භෝග නගරය යම් තැනෙක ද එහි යන්නෙමු’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භගවත් බුදු රජුනට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික්සඟන කැටුව භෝග නගරයෙහි ආනන්ද චෛත්‍යස්ථානයෙහි වැඩ වෙසෙන සේක.

 

  1. එහි  දී භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා ‘‘මහණෙනි, සතර මහා අපදේශයන් දෙසන්නෙමි, එය අසවු, මොනවට සිත්හි කරවු, කියන්නෙමි’’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි ඒ මහණහු භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ‘‘මහණෙනි,  මෙහි මහණෙක් ‘ඇවැත්නි, ධර්මය මේ යැ විනය මේ යැ, සාස්තෘශාසනය මේ යැ’ යි භාග්‍යවතුන් වහන්සේ හමුයෙහිදී පිළිගන්නා ලද්දේ යැ’ යි මෙසේ කියන්නේ නම්, මහණෙනි, (එපමණින්) ඒ මහණහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යංජන මොනවට ඉගෙන සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳිය යුතු. ඉදින් සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි  නො බස්නාහු ද, විනයෙහි නො සැසැඳෙන්නාහු ද, එ විටැ ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය නො වේ, මෙය මේ මහණු වරදවා ගත් දැයෙකැ’ යි මෙහි නිෂ්ඨාවට පැමිණිය යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඒ පද ව්‍යංජනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහිත් බැසගනිත් ද, විනයෙහිත් සැසැඳෙත් ද, එ විට ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචන යැ යි, මේ මහණහු විසින් මෙය මොනවට උගන්නා ලදැ’ යි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ පළමු මහා අපදේශය සිත්හි ලා දරවු. (1)

 

මහණෙනි, මෙහි මහණෙක්, ‘තෙරුන් සහිත ගණපාමොක් මහණක්හු සහිත භික්ෂුසංඝයා අසෝ නම් ආවාසයෙහි වෙසෙයි. ‘මේ දහමැ යි, මේ විනයැ යි, මේ ශාස්තෘසාසන යැ යි ඒ සඟන හමුයෙහි සිටි මා විසින් අසන ලදි, අසා ඒ සඟන හමුයෙහි මැ පිළිගන්නා ලදැ’ යි කියන්නේ වී නම් මහණෙනි, (එපමණින්) ඒ මහණහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යංජන මොනවට ඉගෙන සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳිය යුතු. ඉදින් සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි  නො බස්නාහු ද, විනයෙහි නො සැසැඳෙන්නාහු ද, එ විටැ ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය නො වේ, මෙය මේ මහණු වරදවා ගත් දැයෙකැ’ යි මෙහි නිෂ්ඨාවට පැමිණිය යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඒ පද ව්‍යංජනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහිත් බැසගනිත් ද, විනයෙහිත් සැසැඳෙත් ද, එ විට ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචන යැ යි, මේ මහණහු විසින් මෙය මොනවට උගන්නා ලදැ’ යි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ දෙවෙනි මහා අපදේශය සිත්හි ලා දරවු. (2)

 

මහණෙනි, මෙහි මහණෙක් ‘අසෝ නම් ආවාසයෙහි බොහෝ ඇසූ පිරූ තන් ඇති, වාචෝදගත කළ ආගමය ඇති, ධර්මධර විනයධර මාතෘක ධර බොහෝ ස්ථවීර භික්ෂූහූ වෙසෙත්. ‘මේ ධර්ම යැ’ යි ‘මේ විනය යැ’ යි මේ ශාස්තෘශාසනය යැ’ යි ඒ තෙරුන් හමුවෙහි සිටි මා විසින් අසන ලදි. මා විසින් පිළිගන්නා ලදැ’ යි කියන්නේ නම්, මහණෙනි,  ඒ මහණහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යංජන මොනවට ඉගෙන සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳිය යුතු. ඉදින් සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි  නො බස්නාහු ද, විනයෙහි නො සැසැඳෙන්නාහු ද, එ විටැ ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය නො වේ, මෙය මේ මහණු වරදවා ගත් දැයෙකැ’ යි මෙහි නිෂ්ඨාවට පැමිණිය යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඒ පද ව්‍යංජනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහිත් බැසගනිත් ද, විනයෙහිත් සැසැඳෙත් ද, එ විට ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචන යැ යි, මේ මහණහු විසින් මෙය මොනවට උගන්නා ලදැ’ යි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ තෙවෙනි මහා අපදේශය සිත්හි ලා දරවු. (3)

 

මහණෙනි, මෙහි මහණෙක් ‘අසෝ නම් ආවාසයෙහි බොහෝ ඇසූ පිරූ තන් ඇති, වාචෝදගත ආගමය ඇති, ධර්මධර විනය ධර මාතෘකාධර එක් ස්ථවීර භික්ෂු නමක් වෙසෙයි.‘මේ ධර්මය යැ, මේ විනය යැ, මේ ශාස්තෘශාසනය යැ’යි ඒ තෙරුන් හමුයෙහි සිටි මා විසින් අසන ලදි. ඒ තෙරුන් හමුයෙහි මා විසින් පිළිගන්නා ලදැ’ යි මෙසේ කියන්නේ නම්, මහණෙනි, ඒ මහණහුගේ වචනය නො ම පිළිගත යුතු, නො ද පිළිකෙවු කළ යුතු. නො ම පිළිගෙන, නො ද පිළිකෙවු කොට, ඒ පද ව්‍යංජන මොනවට ඉගෙන සූත්‍රයෙහි බහා ලියැ යුතු, විනයෙහි සැසැඳිය යුතු. ඉදින් සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු සූත්‍රයෙහි  නො බස්නාහු ද, විනයෙහි නො සැසැඳෙන්නාහු ද, එ විටැ ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචනය නො වේ, මෙය මේ මහණු වරදවා ගත් දැයෙකැ’ යි මෙහි නිෂ්ඨාවට පැමිණිය යුතු. මහණෙනි, මෙසේ මෙය බැහැරැ කරවු. ඉදින් ඒ පද ව්‍යංජනයෝ සූත්‍රයෙහි බහාලනු ලබන්නාහු, විනයෙහි සසඳනු ලබන්නාහු, සූත්‍රයෙහිත් බැසගනිත් ද, විනයෙහිත් සැසැඳෙත් ද, එ විට ‘ඒකාන්තයෙන් මෙය ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ වචන යැ යි, මේ මහණහු විසින් මෙය මොනවට උගන්නා ලදැ’ යි නිෂ්ඨාවට යෑ යුතු. මහණෙනි, මෙසේ මේ සිව්වෙනි මහා අපදේශය සිත්හි ලා දරවු. (4)

 

භාග්‍යවතුන් වහන්සේ ඒ භෝග නගරයෙහි අනඳ සෑයෙහි වසන සේක්, ‘‘සිල් නම් මෙසේ යැ, සමාධි නම් මෙසේ යැ, ප්‍රඥාව නම් මෙසේ යැ, ශීලයෙන් පිරිභාවිත සමාධිය මහත් පල මහත් අනුසස් ඇත්තේ වේ, සමාධියෙන් වඩන ලද ප්‍රඥාව මහත් පල මහත් අනුසස් ඇත්තේ වේ, ප්‍රඥාවෙන් වඩන ලද සිත, කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යන ආස්‍රවකෙරෙන් මොනවට මිදේ යැ’’ යි මහණුනට මේ ධර්මකාථාව ම බහුල කොට කරණ සේක.

 

චුන්ද කර්මාරපුත්‍ර කථාව.

  1.  එ කල්හි භාග්‍යවතුන් වහන්සේ භෝග නගරයෙහි කැමැතිතාක් කල් රැඳී සිට, අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, එවු, යමු, පාවා නුවර කරා යන්නම්හ’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි අනඳ තෙරනුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එහි පාවා නුවරැ චුන්ද නම් කර්මාර පුත්‍රයා ගේ අඹ වෙනෙහි වැඩ වෙසෙන සේක. චුන්ද කර්මාර පුත්‍ර තෙම ‘භගවත්හු පාවා නුවරට වැඩියාහු, පාවා නුවරැ මාගේ අඹ වෙනෙහි වෙසෙත් ලු’ යි ඇසී ය. එ කලැ චුන්ද කර්මාර පුත්‍ර තෙම භාගයවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් ඔබ වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන්නා වූ ම චුන්ද කර්මාර පූත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් දොලෝ වැඩ දැක්වූ සේක. දැක්වූ වැඩෙහි සිත ගැන්වූ සේක. එහි සිත තියුණු කළ සේක. එහි සිත සතුටු කළ සේක. එ කල්හි චුන්ද කර්මාරපුත්‍ර තෙම භගවත් බුදුරජුන් විසින් දැහැමි කතායෙන් දෙලෝ වැඩ දක්වන ලදුයේ, දෙලෝ වැඩෙහි සිත ගැන්වුණේ, එහි සිත තියුණු කරන ලදුයේ, එහි සිත සතුටු කරන ලදුයේ ‘‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට දවසට බික්සඟන  හා මා බත ඉවසන සේක් වා’ යි කී ය. භාග්‍යවතුන් වහන්සේ නිහඬ බැවින් එය ඉවැසූ සේක. ඉක්බිති චුන්ද කර්මාර පූත්‍ර තෙම භගවත් බුදු රදුන් ගේ ඉවැසීම දැන, හුනස්නෙන් නැගී ඔබ වැඳ, පැදැකුණු කොට නික්මීයේ ය.

 

ඉක්බිති චුන්ද කර්මාර පූත්‍ර තෙම එ රැය ඇවෑමෙන් සිය ගෙහි ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍ය ද බොහෝ සූකරමර්දව ද පිළියෙළ කරවා ‘වහන්ස. වඩනට කල් පැමිණියේ ය, බත පිළියෙළ කොට නිමැවිණැ’ යි කියා භගවත් බුදු රජුනට කාලය දන්වා යැවී ය. භාග්‍යවතුන් වහන්සේ ද පෙරවරු සෙමෙහි හැඳ පෙරවැ පා සිවුරු ගෙන බික්සඟන කැටුව චුන්ද කර්මාරපුත්‍රයාගේ ගෙට වැඩි සේක. වැඩ ප්‍රඥප්ත අසුන්හි හිඳගත් සේක. හිඳැගෙන (ඒ සූකරමාර්දවය ඒ කිසිදු බික්ෂු නමක් විසින් දිරවා ගත නො හෙනු දැක), චුන්ද කර්මාරපුත්‍රයා බණවා ‘‘චුන්දයෙනි, තොප විසින් යම් සූකරමද්දවයෙක් පිළියෙල කරන ලද ද, එයින් මා වළඳවව, යම් අන් ඛාද්‍යයෙක් භොජ්‍යයෙක් පිළියෙල කරන ලද ද, එයින් බික්සඟන වළඳව ව ’ යි වදාළ සේක. චුන්ද කර්මාරපුත්‍ර ද ‘එසේ ය, වහන්සැ’ යි  භගවත් බුදුරජුනට පිළිවදන් දී, පිළියෙළ කරන ලද යම් සූකරමාර්දවයෙක් වී ද එයින් භගවත් බුදුරදුන් වැළඳැවී ය. යම් අන් ඛාද්‍ය භෝජනයෙක්, පිළියෙල කරන ලද ද, එයින් බික්සඟන වැළැඳවී ය.

 

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චුන්ද කර්මාර පුත්‍රයා අමතා ‘‘චුන්දයෙනි, තොප පිළියෙල කළ යම් සූකරමාර්දවයක් ඉතිරි වැ ඇද්ද, එය වළෙකැ ලව. චුන්දයෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවැ මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්මුළුයෙහි, තථාගතයන් හැර අන් යමක්හු විසින් ඒ සූකරමාර්දවය වළඳන ලද්දේ ජඨරාග්නියෙන් මැනැවින් දිරීමට යන්නේ නම්, එ වැන්නක්හු මම නො දකිමි’ යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා ම චුන්ද කර්මාරපුත්‍ර භගවත් බුදුරජුනට පිළිවදන් දී, ඉතිරි වැ තුබුණු සූකරමාර්දවයෙක් වී ද, එය වළෙකැ ලා භගවත් බුදුරජුන් කරා එළැඹියේ ය. එළැඹ ඔබ වැඳ පසෙක හුන්නේ ය. පසෙක හුන් චුන්දකර්මාරපුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථායෙන් දැන් අනුසස් දක්වා එහි සිත් ගන්වා, එහි සිත තියුනු කොට, එහි සිත සතුටු කොට, හුනස්නෙන් නැගී වැඩි සේක.

 

ලෝහිත පක්ඛන්දිකා ආබාධය.

 

  1. චුන්ද කර්මාරපුත්‍රයා ගේ බොජුන් වැළැඳු භාග්‍යවතුන් වහන්සේට ක්‍රෑර වූ ලෝහිත පක්ඛන්දිකා රෝගයෙක් උපන. මරණය කෙළවර කොටැති දැඩි දුක් වේඳනාවෝ පවත්නාහ. භාග්‍යවතුන් වහන්සේ එළැඹ සිටි සිහි ඇති සේක්, නුවණින් දන්නා සේක්. ඒ රෝගයෙන් නො ම ගැහැටෙන සේක්, ඒ දුක් වේදනාවන් ඉවැසූ සේක.

 

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූ සේක. අමතා, ‘අනඳයෙනි, එමු, කුසිනාරාව කරා යන්නමු’යි වදාළ සේක. ‘එසේ යැ, වහන්සැ’ යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ.

 

චුන්ද කර්මාරපුත්‍රයාගේ බත වැළඳීමෙන් ධීර වූ බුදුරජහු මරණය කෙළවර කොටැති ඉතා දැඩි ආබාධයක් ස්පර්ශ කළහ’යි මා විසින් අසන ලදී.

සූකරමාර්දවය හා බොජුන් වැළැඳූ ශාස්තෲන් වහන්සේට ඉතා දරුණු වූ ව්‍යාධියෙක් උපන. භගවත්හු එක්වන් පැවැති ලෝහිත විරේචන ඇත්තාහු, මම් කුසිනාරා නුවර යමි’යි වදාළහ.”

අනඳතෙරුන්පැන්ගෙනැඊම

  1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මඟින් ඉවත්වැ, එක්තරා රුකක් මුලට වැඩිසේක. වැඩ අනඳ තෙරුන් බණවා අනඳයෙනි, මා සඟළ සිවුර සිවු ගුණ කොට පණවවු, ක්ලාන්තයෙමි, අනඳයෙනි, හිඳගන්නෙමි’යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’යි අනඳ තෙරණුවෝ බුදුරජුනට පිළිවදන් දී, සඟළ සිවුර සිවුගුණ කොට පැණැවූහ. එසේ පැණැවුණු අස්නෙහි භගවත්හු වැඩහුන්හ. භගවත්හු වැඩහිඳ ම ආයුෂුමත් අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙවු, පවස් ඇතියෙමි, පැන් බොන්නෙමි’යි වදාළ සේක. මෙසේ වදාළ කල්හි, අනඳ තෙරණුවෝ බුදුරජුනට “වහන්ස, පන්සියයක් පමණ ගැල්හු ඉකිමියාහ. ගැල් සකින් සිඳුණු මඳ වූ ජලය කැලැඹුණේ බොරවැ ගලා යයි. වහන්ස, මේ කකුත්ථා නදිය නොදුරෙහිය, පහන් දිය ඇත්තේ ය, මිහිරි දිය ඇත්තේ ය, සිසිල් දිය ඇත්තේ ය, මඩ නැත්තේ ය, මනා කොට ඇත්තේ ය, සිත්කලු ය. භාග්‍යවතුන් වහන්සේ ඒ මේ කකුත්ථා නදියෙහි දී පැන් වැළැඳිය හැකි වන සේක, ඇඟ සිසිල් කැරැග. හැකි වන සේකැ”යි කීහ. භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වර ද අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, මට පැන් ගෙනෙවු, පවස් ඇතියෙමි, පැන් බොන්නෙමි’යි වදාළ සේක. දෙවෙනි වර ද අනඳ තෙරණුවෝ බුදුරජුනට, ‘ වහන්ස, දැන් පන්සියයක් පමණ ගැල්හු ඉක්මියාහ. ගැල්සකින් සිදුණු මඳ වූ ජලය කැළැඹණේ බොර වැ ගලා යෙයි. වහන්ස, මේ කකුත්ථා නදිය නොදුරෙහි ය, පහන් දිය ඇත්තේ ‍ය, මිහිරි දිය ඇත්තේ ය, සිසිල් දිය ඇත්තේ ය, මඩ නැත්තේ ය, මනා කොට ඇත්තේ ය, සිත්කලු ය, භාග්‍යවතුන් වහන්සේ ඒ මේ කකුත්ථා නදියෙහි දී පැන් වැළැඳියැ හැකි වන සේක, ඇඟ සිසිල් කැරැ ගත හැකි වන සේකැ”යි කීහ.

 

තෙවෙනි වර ද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් අමතා, ‘අනඳයෙනි, තෙපි මට පැන් ගෙනෙවු. පවස් ඇතියෙමි, පැන් බොන්නෙමි’යි වදාළ සේක. ‘එසේ යැ, වහන්සැ’යි කියා ම අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දී, පාත්‍රය ගෙන ඒ කුඩා නදිය වෙතට වැඩියාහ.

එ කල්හි ගැල් සකින් සිඳුණු ස්වල්ප ජලය ඇති, කැළැඹුණු, බොර වූ ඒ කුඩා නදිය ගලනුයේ, අනඳ තෙරුන් එළඹෙන විටැ පහන් වැ, වෙසෙසින් පෑදුණු දියැති වැ කැලැඹුම් නැති වැ ගැලීය. එ විටැ අනඳ තෙරුනට භවත්නි, තථාගතයන් වහන්සේ ගේ මහර්ධි ඇති බව මහත් අනුභාව ඇති බව ආශ්චර්යය යැ, අද්භූත යැ, ස්වල්ප දිය ඇති, ගැල් සකින් සිඳුණු කැලැඹුණු, බොර වැ ගලන මේ නදිය මා එළඹෙන විට පහන් විය, වෙසෙසින් පෑදුණු දිය ඇති විය, කැලැඹුම් නැති වැ ගලා යැ”යි මේ සිත විය. ඉක්බිති තෙරණුවෝ පාත්‍රයෙන් පැන් ගෙන භගවත් බුදුරජුන් වෙත එළඹියාහ‍‍. එළැඹැ ඔබට, “වහන්ස, තථාගතයන් වහන්සේගේ මහර්ධි ඇති බව, මහත් අනුභාව ඇති බව ආශ්චර්යය යැ, අද්භූත යැ! වහන්ස, දැන් ගැල්සකින් සිඳී ගිය ජලය ඇති, ස්වල්ප ජලය ඇති, කැළැඹුණු බොර වැ ගලන ඒ කුඩා නදිය මා එළඹෙන කලැ පහන් වැ, වෙසෙසින් පෑදුණු දිය ඇති වැ කැළැඹුම් නැති වැ බොර නැති වැ ගැලී ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පැන් වළඳන සේක් වා, සුගතයන් වහන්සේ පැන් වළඳන සේක් වා”යි කීහ. එ විටැ භාග්‍යවතුන් වහන්සේ පැන් වැළඳූ සේක.

පුක්කුසමල්ලපුත්‍රකථාව

 

  1.  එකලැ වනාහි ආළාරකාලාම තවුසාණන් ගේ ශ්‍රාවක වූ පුක්කුස නම් මල්ල පුත්‍රයෙක් කුසිනාරායෙන් පාවා නුවරට යන දික් මඟට පිළිපන්නේ වෙයි. පුක්කුස මල්ලපුත්‍ර තෙමෙ එක්තරා රුකක් මුලැ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක ඔබ වෙතට ගියේ ය. ගොස් ඔබ වැඳ ප‍සෙක හිඳ ගත. එක් පසෙක හුන්නා වූ ම පුක්කුස මල්ල පුත්‍ර තෙමෙ භගවත් බුදුරජුනට මෙසේ කීය: වහන්ස, ආශ්චර්යය! වහන්ස, අද්භූත ය!! වහන්ස, පැවිද්දෝ ශාන්ත වූ විහරණයෙන් වෙසෙත්. වහන්ස, පෙරැ වූවක් කියම්. “පෙරැ ආළාර කාලාමයෝ දික් මඟකට පිළිපන්නාහු, මඟින් ඉවත් වැ නොදුරෙහි වූ එක්තරා රුකක් මුලැ දිවාවිහරණය පිණිස හුන්හ. වහන්ස, එ කල්හි එක්තරා පුරුෂයෙක් ඒ ගැල් සාත්තුව පසු පයින් එනුයේ, ආළාර කාලාමයන් කරා එළැඹියේ ය එළැඹ, ‘වහන්ස,(මෙ පෙදෙස) ගැටි ගැටී ඉක් මැ යන පන්සියයක් පමණ ගැල් දුටු සෙක් දෝ?’ යි විචාළේ ය. ‘ඇවැත්නි, මම් නො ම දිටිමි’යි ආළාරකාලාමයෝ වදාළාහ. ‘වහන්ස, කිම? ගැල්සක් හඬ ද නො ම ඇසීමි’යි ආළාරකාලාමයෝ වදාළාහ. ‘වහන්ස, කිමෙක් ද? නිද්‍රෝපගත වැ හොත් සේක් දෝ ?’ යි හේ පුළුවුත. ‘ඇවැත්නි, මම් නිද්‍රෝපගත ද නො වීමි’ යි ආළාරකාලාමයෝ වදාළහ. ‘කිමෙක් ද? වහන්ස, ඔබ සංඥා ඇති වැ හුන් සේක් දැ?” යි හේ පුළුවුත. ‘එසේ යැ, ඇවැත්නි’යි ආළාර කාලාමයෝ වදාළහ. ‘වහන්ස, ඔබ සංඥා ඇති වන්නාහු ම, පිබිදැ හුන්නාහු ම ගැටි ගැටී ඉක්මැ යන පන්සියයක් පමණ ගැල් නො දුටුවාහ., ගැල්සක් හඬ නො ම ඇසුවාහ. වහන්ස, එහෙත් ඔබ සඟළ සිවුරු ධූලියෙන් වැකුණේ යැ!’ යි හේ කීය. ‘එසේ යැ ඇවැත්නි’ යි ආළාර කාලාමයෝ වදාළහ. වහන්ස, එවිටැ ඒ පුරුෂයාට මේ සිත විය. ‘භවත්නි, ආශ්චර්යය යැ! භවත්නි, පුදුම යැ!! යමෙක් සංඥාවම පිබිද හුන්නේ ම ගැටි ගැටී ඉක්මෙන පන්සියයක් පමණ ගැල් නො ම දිටී ද, ගැල් හඬක් නො ම ඇසී ද, එ බඳු වූ ශාන්ත විහරණයෙකින් මේ පැවිද්දෝ වෙසෙති!!! යි මේ සිත විය. හේ මෙසේ ආළාරකාලාමයන් කෙරෙහි මහත් ප්‍රසාදය පළ කොට එතැනින් නික්මියේ ය” යනු යැ.

“ පුක්කුසයෙනි, එය තෙපි කිමැ යි සිත වූ ද? යමෙක් සංඥීවන්නේ ම පිබිදැ ඉන්නේ ම ව දිව දී යන පන්සියයක් පමණ ගැල් නොම දක්නේත් නොම අසන්නේ ත් වේ ද, යමෙක් හෝ සංඥී වැ ම, පිබි දැ ඉන්නේ ම, (වියැලි ගැජුම් කොට අතරින් පතර) වැසි වස්නා කල්හි, විදුලිය නික්මෙන කල්හි, හෙණ පුපුරන කල්හි, එය නො ම දක්නේ ද, එහි හඬ හෝ නො ම අසන්නේ ද, මේ දෙකින් කිමෙක් නම් වඩා දුෂ්කර ද, වඩා දුර්ලභ දැ ?” යි භාග්‍යවතුන් වහන්සේ  අසා වදාළ සේක.

“වහන්ස, පන් සියයෙක් හෝ හසියයෙක් හෝ හත් සියෙක් හෝ අට සියයෙක් හෝ නව සියයෙක් හෝ දහසෙක් හෝ සිය දහසෙක් හෝ ගැල්හු කුමක් කරන්නාහු ද? වැලි දු යමෙක් සංඥී ව ම, පිබිදැ හිඳ ම, වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි විදුලිය නික්මෙන කල්හි, හෙණ පුපුරන කල්හි එය නො දක්නේ නම්, එහි හඬත් නො අසන්නේ නම්, මෙය ම වඩා දුෂ්කර යැ, වඩා දුර්ලභ යැ’යි පුක්කුස කී ය.

එවිට, භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්, ‘පුක්කුසයෙනි, මම් එක් සමයෙක ආතුමා නම් නුවරැ පිදුරුකිළියෙකැ වෙසෙන්නෙම් වීමි. එ සමයෙහි වැසි වස්නා කලැ, මේ ගැජුම් පවත්නා කලැ, විදුලිය හැසිරෙන කලැ, සෙණ පුපුරන කලැ ඒ පිදුරු කිළියට නොදුරෙහි ගොවිදෙබෑ කෙනෙක් ද ගොන්නු සිවු දෙනෙක් ද නැසුණහ. පුක්කුසයෙනි, එකලැ ආතුමා නුවරින් මහජන මුළුවෙක් නික්මැ අවුත් ඒ මළා වූ ගොවි දෙබෑයන් ද සිවු ගවයන් ද හෝනා තැනට ආය. පුක්කුසයෙනි, එ වෙලෙහි මම්, පිදුරු කිළියෙන් නික්මැ, එහි දොර එළිමහනේ සක්මන් කෙරෙමි. පුක්කුසයෙනි, එ කලැ ඒ මහ ජන මුළුවෙන් එක්තරා මිනිසෙක් මා කරා ආ ය. අවුත් මා වැඳ පසෙක සිටියේ ය.පසෙක සිටි ඒ මිනිසා බණවා, “ඇවැත්නි, කවර හෙයින් මහජනමුළුවෙක් රැස් විණි දැ ?” යි ඇසීමි. “වහන්ස, දැන් වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි, විදුලිය නික්මෙන කල්හි, හෙණ වැටෙන කල්හි, දෙ බෑ ගොවි කෙනෙක් ද සිවු දෙනෙක් ගවයෝ ද නටහ. එහි තෙල මහජන මුළුව රැස් විය. වහන්ස, ඔබ කොහි වූ හු ද ?’ යි ඒ මිනිසා කීය. “ඇවැත්නි, මම් මෙහි ම වීමි” යි මම් කීමි. “වහන්ස කිම? එය ඔබ නො දුටු සේක් දෝ ?” යි හේ පුළුවුත. “මම් නොදිටිමි. ඇවැත්නි” යි මම් කීමි. “කිමෙක් ද? වහන්ස, ඔබ වහන්සේ ඒ හඬ ඇසූ සෙක් දැ?”යි හේ පුළුවුත. “ ඇවැත්නි, මම් ඒ හඬ නො ඇසිමී” යි කීමි. “කිමෙක් ද, වහන්ස , ඔබ සංඥී වූහු දැ?”යි හේ පුළුවුත. ‘එසේ ය ඇවැත්නි’ යි මම් කීමි. “වහන්ස, ඒ ඔබ වහන්සේ සංඥී වන සේක් ම පිබිදැ හුන් සේක් ම, වැසි වස්නා කලැ මේ ගැජුම් පවත්නා කලැ, විදුලිය හැසිරෙන කලැ, සෙණ පුපුරන කලැ එය නොම දුටු සේක් ද? හඬ හෝ නො ම ඇසූ සේක දැ?” යි හේ විචාළේ ය. “එසේ ය, ඇවැත්නි, යි මම් කීමි. පුක්කුසයෙනි, එ විටැ “භවත්නි, යමෙක් සංඥීව ම, පිබිදැ හුන්නේ ම, වැසි වස්නා කල්හි, මේ ගැජුම් පවත්නා කල්හි, විදුලිය හැසිරෙන කල්හි, සෙණ පුපුරන කල්හි, එය නො ම දුටුයේ ද, එහි හඬත් නො ම ඇසුයේ ද, එ බඳු වූ ශාන්ත විහරණයෙකින් පැවිද්දෝ වෙසෙත්” යැ යි ඒ පුරුෂයාට මේ සිත විය. ඉක්බිති හෙ තෙම මා කෙරෙහි මහත් ප්‍රසාදය පහළ කොට, මා වැඳ පැදකුණු කොට නික්මියේ යැ” යි වදාළ සේක.

මෙසේ වදාළ කල්හි, පුක්කුස මල්ලපුත්‍ර තෙම “වහන්ස, ආළාර කාලාමයන් කෙරෙහි මගේ යම් පැහැදීමෙක් වී ද, එය මහ සුළ‍ඟෙහි පොළා හරිමි. සැඩ දිය පාර ඇති නදියෙක හෝ පා කොට යවමි. වහන්ස, අභිකාන්ත යැ, වහන්ස, අභිකාන්ත යැ. වහන්ස, යම් සේ මුහුණින් නමා තබන ලද්දක් උඩුකුරු කොට තබන්නේ ද, පිළිසන් වූවක් හෝ විවෘත කරන්නේ ද, මං මුළා වූවකුට මඟ හෝ කියන්නේ ද, ‘ඇස් ඇතියන් රූප දකිති’ යි අඳුරෙහි ‍තෙල් පහනක් හෝ දරන්නේ ද, එසේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පැවැසිණ. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද බිකසඟන ද සරණයෙමි. අද පටන් කොට, දිව් හිමින් සරණ ගිය උවසුවකු කොට භාග්‍යවතුන් වහන්සේ මා සලකා වදාරන සේක් වා” යි කී ය.

ඉක්බිති පුක්කුස මල්ල පුත්‍ර තෙම එක්තරා පුරුෂයකු බණවා, “සගය යව, රන්වන් වූ මට සිලිටි වූ මඟුල් උළෙල ඈහි මා විසින් දැරිය යුතු වු වස්ත්‍ර යුගලය ගෙනෙව” යි කී ය. ‘එසේ යැ, ස්වාමිනි’යි කියා හේ පුරුෂ තෙම ඒ රන්වන් මට සිලිටි වත් යුවල ගෙනායේ ය. ඉක්බිති, පුක්කුස මල්ල පුත්‍ර තෙම රන්වන් මට සිලුටු (උත්සවාදීන්හි) දැරියැ යුතු ඒ වත් යුවල ගෙන, “වහන්ස, මේ රන්වන් වූ මට සිලුටු වූ, (උත්සවාදියෙහි මා විසින්) දැරියැ යුතු වූ වස්ත්‍ර යුග්මයෙක. වහන්ස, මා සතු වස්ත්‍ර යුග්මය මට අනුකම්පා සඳහා භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නා සේක් වා’යි එය භගවත් බුදුරජුනට එළැවී ය. “එසේ වී නම්, පුක්කුසයෙනි, එයින් එකෙකින් මා පුදව. අනෙකින් අනඳයන් පුදව” යි භගවත්හු වදාළහ. “එසේ යැ වහන්සැ” යි පුක්කුස මල්ල පුත්‍ර තෙම භගවත් බුදුරජුනට පිළිවදන් දී, එකෙකින් භගවත් බුදුරජුන් පිදී ය. (එකක් හඳනා පොරෝනා පිණිස භගවත් බුදුරජුනට දුන), එකෙකින් අනඳ තෙරුන් පිදීයි. (හඳනා පොරෝනා පිණිස එකක් අනඳ තෙරුනට දුන). ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පුක්කුස මල්ල පුත්‍රයාට වස්ත්‍රානුමෝදනා ධර්මකථායෙන් කරුණු දැක් වූ සේක. එහි සිත් ගැන් වූ සේක. එහි සිත් තියුණු කැරැවූ සේක, එහි සිත් සතුටු කැරැවූ සේක. මල්ල පුත්‍ර පුක්කුස තෙමේ ද භගවත් බුදුරජුන් විසින් දැහැමි කතායෙන් කරුණු දක්වන ලදුයේ, එහි සිත් ගැන්වුණේ, එහි සිත් තියුණු කරවන ලදුයේ, එහි සිත් සතුටු කරවන ලදුයේ, හුනස්නෙන් නැගී භගවත් බුදුරජුන් වැඳැ පැදැකුණු කොට නික්මැ ගියේ ය.

  1. ඉක්බිති අනඳ තෙරණුවෝ පුක්කුස මල්ල පුත්‍රයා නික්මගිය නොබෝ කල්හි, ඒ (ඔහු විසින් උළෙල ඈහි) දැරිය යුතු වැ තුබුණු මට සිලිටි රන්වන් වත් යුවල භගවත් බුදු රජුන්ගේ සිරි සිරුරට එළැවී ය. එය භගවත් බුදුරජුන්ගේ සිරි සිරුරට එළවන ලදුයේ, පහ වූ සිළු ඇති ගිනි අඟුරු රැසක් මෙන් පැණෙයි.

එකලැ අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට ‘වහන්ස, තථාගතයන් වහන්සේ ගේ ඡවිවර්ණය කොතරම් පිරිසිදු ද, කොතරම් ප්‍රභාස්වර ද යනු ආශ්චර්යය යැ, වහන්ස, මේ රන්වන් වූ, මට සිලිටි වූ ධාරණීය (උතුම් මංගල) වස්ත්‍ර යුගලය භාග්‍යවතුන් වහන්සේ ගේ කයට එළවන ලදුයේ, පහවූ සිළු ඇති, ගිනි අඟුරු රැසක් මෙන් පැනේ” යැ යි කීහ.

“අනඳයෙනි, අවස්ථා දෙකෙක්හි ම තථාගතයන් ගේ සිරුර පිරිසිදු වෙයි, ඡවිවර්ණය ප්‍රභාස්වර වෙයි. කවර අවස්ථා දෙකෙක් හි ද යත්: අනඳයෙනි, යම් රැයෙක තථාගතයෝ නිරුත්තර සම්‍යක් සම්බෝධිය අධිගම කෙරෙත් ද, යම් රැයෙක තථාගතයෝ අනුපාදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවෙත් ද, අනඳයෙනි, මේ අවස්ථා දෙක්හි ම තථාගතයන් ගේ සිරුර ඉතා ම පිරිසිදු වෙයි, ඡවිවර්ණය ප්‍රභාස්වර වෙයි. අනඳයෙනි, අද වනාහි රෑ පැසිම් යම්හි කුසිනාරාහි උපවර්තන නම් මල්ල රජුන් ගේ සල් වෙනෙහි යමා සල් රුක් අතරැ තථාගතයන් ගේ පිරිනිවීම වන්නේ ය. අනඳයෙනි, එවු, යමු. කකුත්ථා නදිය කරා එළැඹෙන්නමු” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “එසේ යැ, වහන්සැ”යි අනඳ තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ.

             එහෙයින් සංගීතිකාරකයෝ කීහ:

 “රන්වන් මට සිලිටි වත් යුවලක් පුක්කුස තෙමේ එළවී ය. එය හැඳැ පෙරැ වූ ශාස්තෘහු රන් පැහැ වූහු, හෙබියාහ.”

අඹවනයටඑළැඹීම

  1. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහ බික්සඟන කැටුව කකුත්ථා නදිය වෙතට වැඩි සේකත වැඩ, ඒ නදියට බැස, දිය සනහා, පැන් වළඳා, එයින් ගොඩ නැඟ, අඹ වනය කරා වැඩි සේක. වැඩැ (වෙතැ සිටි) චුන්දක තෙරුන් බණවා “චුන්දකයෙනි, මට සඟළ සිවුර සතර පට කොට පණවවු. චුන්දකයෙනි, ක්ලාන්තයෙමි, වැදැහෙන්නෙමි” යි වදාළ සේක. එසේ යැ වහන්සැ” යි ම චුන්දක තෙරණුවෝ භගවත්නට පිළිවදන් දී, සඟළ සිවුර සතර ගුණ කොට පැනැවූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දකුණු සිරිපා හි වම් සිරි පා මඳක් මෑත් කොට පිහිටුවා, එළැඹැ සිටි සිහි ඇති සේක්, නුවණින් දන්නා සේක්, නැඟී සිටුනා සංඥාව සිත්හි කොට දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක. චුන්දක තෙරණුවෝ ද එහි ම භගවත් බුදුරජුන් ඉදිරියෙහි හුන්හ.‍

(එහෙයින් කීහු සංගීතිකාරකයෝ:)

“මෙ ලොවැ අප්‍රතිම ශාස්තෘ වූ තථාගත බුදුරජහු කකුත්ථා නදිය කරා වැඩ, ඉතා ක්ලාන්ත ස්වභාවය ඇත්තාහු, එහි දියට බටහ.

ශාස්තෘහු දිය සනහා පැන් වළඳා, බික් සඟන මැද පෙරට වැ සිටියෝ, නදියෙන් ගොඩ නැංගාහ. මෙහි ධර්මයේ ප්‍රවක්තෘ වූ මහර්ෂි වූ භගවත් ශාස්තෘහු අඹවනයට වැඩියහ.

චුන්දක නම් මහණහු බණවා මා සඟළ සිවුර සිවු ගුණ කොට අතුරවා වැදැහෙන්නෙමි’ යි වදාළහ. භාවිතාත් ම වූ ඒ බුදුරජහු විසින් මෙහෙයන ලද ඒ චුන්දක තෙර වහා ම සඟළ සිවුර සිවු ගුණ කොට පැනැවීය. ඉතා ක්ලාන්ත ස්වභාවය ඇති ශාස්තෘහු එහි සැතැපුණාහ. චුන්ද තෙර ද ඔබ ඉදිරියෙහි හුන්නේ ය.”

    

සමවිපාකඇතිපිණ්ඩපාතදෙක

  1.  ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා මෙසේ වදාළ සේක: “අනඳයෙනි, චුන්ද කර්මාර පුත්‍ර හට ‘ඇවැත්නි චුන්දයිනි, තථාගතයෝ යමක්හු ගේ අන්තිම පිණ්ඩපාතය (භෝජනය) වළඳා පිරිනිවියෝ ද, ඒ ඔබට (එයින්) අලාභයෝ යැ, ඒ තොප විසින් මිනිසත් බව නපුරු කොට ලබන ලද සේ යැ’ යි කිසිවෙක් විපිළිසරක් උපදවන්නේ ය යන්න වියැ හැක්ක. අනඳයෙනි, චුන්ද කර්මාර පුත්‍රයා ගේ විපිළිසර මෙසේ දුරු කටයුතු ය:

“යම් බඳු ඔබ ගේ පශ්චිම පිණ්ඩපාතය වළඳා තථාගතයෝ පිරිනිවීයෝ ද, ඒ ඔබට ලාභයෙක, ඒ ඔබ විසින් මිනිසත් බව මොනොවට ලද සේ ය. අන් හැම පිණ්ඩපාතයනට වඩා ඉමහත් ඵල ඇති, වඩා ඉමහත් අනුසස් ඇති, හැම අයුරින් සම පල වූ සමවිපාක වූ මේ පිණ්ඩපාත දෙකෙක. කවර දෙකෙක් ද යත්: යම් පිණ්ඩපාතයක් වළඳා තථාගතයෝ අනුත්තර සම්‍යක් සම්බෝධියට පැමිණෙත් ද, යම් පිණ්ඩපාතයක් වළඳා තථාගතයෝ නිරුපාදි‍ශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවෙත් ද, මේ අන් හැම පිණ්ඩපාතයනට වඩා ඉතා මහත් පල ඇති ඉතා මහත් විපාක ඇති හැම ලෙසින් ම සම ඵල ඇති, සම අනුසස් ඇති පිණ්ඩපාත දෙක ය.

‘මෙයින් ආයුෂ්මත් චුන්ද කර්මාර පුත්‍රයන් විසින් දීර්ඝායුෂ පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්ද කර්මාර පුත්‍රයන් විසින් පැහැපත් බව පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්ද කර්මාර පුත්‍රයන් විසින් සුවය පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්ද කර්මාර පුත්‍රයන් විසින් ස්වර්ගය පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේ ය, ආයුෂ්මත් චුන්ද කර්මාපුත්‍රයන් විසින් අධිපති බව පිණිස පවත්නා කර්මයෙක් රැස් කරන ලද්දේයැ ඇවැත් චුන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ ගේ හමුයෙන් ම මා විසින් මෙය අසන ලද්දේ ය, භාග්‍යවතුන් වහන්සේ හමුයෙන් ම මා විසින් මෙය පිළිගන්නා ලද්දේ යැ යි කියා මෙසේ චුන්ද කර්මාර පුත්‍රයා ගේ විපිළිසර දුරු කටයුතු යැ” යනු යි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:

“දන් දෙන්නහුට පින් වැඩේ. සිල් රක්නාහු සිතැ වෙර නො පවතී. නුවණැත්තේ වෙර (පව්) දුරැ ලයි. හේ මෙසේ (පව්) දුරැ ලා රාග ද්වෙෂ මොහ මුල් ඉදිරීමෙන් කෙලෙස් පිරිනිවනින් ද එයට පසු කඳ පිරිනිවනින් ද පිරිනිවියේ වෙයි” යනු යි.

සතරවැනිබණවර‍යි.

 

යමා සල් රුක්

  1. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඇවැත් අනඳ තෙරුන් බණවා “අනදයෙනි, යම්හ. හිරණ්‍යවතී නදිය පර තෙරට (නදියෙන් එගොඩට) එහි කුසිනාරා නුවරට, එහි මල්ල රජුන්ගේ උපවර්තන නම් සල් උයනට එළැඹෙන්නෙමු” යි වදාළ සේක. ‘එසේ ය වහන්සැ’ යි කියා ම අනද තෙරණුවෝ පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහත් බික් සඟන කැටුව හිරණ්‍යවතී නදියෙන් එතෙරැ කුසිනාරා නුවරැ මල්ලයන්ගේ උපවර්තන නම් සල්උයන කරා වැඩියාහ. වැඩ අනදතෙරුන් අමතා “අනදයෙනි, යමා සල් රුක් අතරැ හිස උතුරු දෙසට සිටුනා සේ කොට මට ඇදක් පනවවු. අනදයෙනි, ක්ලාන්තයෙමි, වැදැහෙනු කැමැත්තෙමි” යි වදාළ සේක. ‘එසේ ය, වහන්සැ’ යි කියා ම අනද තෙරණුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දී, යමා සල් රුක් අතරැ උතුරු දෙසට හිස සිටුනා සේ කොට ඇදක් පැනවූහ. ඉක්බිති භගවත්හු දකුණු පයින් වම් පය මදක් ඉක්මැ පිහිටුවා සිහි නුවණින් යුතු වැ දකුණැලයෙන් සිංහශය්‍යාව කළා හ. (සිංහශය්‍යායෙන් සැතැපුණු සේක.) එ වේලෙහි වනාහි යමා සල් රුක් හු නොකල් මලින් මුළුල්ල ම ගැවැසුණාහු වෙත්. ඔහු තථාගතයනට පූජා විසින් ඔබ සිරුර මත්තෙහි වැටෙත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව මදාරා මලුදු අහසින් හෙයි. ඔහු තථාගතයනට පුද පිණිස ඔබ සිරුර මත වැටෙත්, විසිරෙත් වෙසෙසින් විසිරෙත්. දිව සඳුන් සුණුදු අහසින් හෙයි. ඔහු තථාගතයනට පුද පිණිස අහසැ වැයෙත්. දිව ගැයුම්හු ද තථාගතයනට පුද පිණිස අහසැ පැවැතෙත්.

 

  1.  එ කලැ භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා “අනඳයෙනි, යමාසල්රුක්හු නොකල් මලින් මුළුල්ල හැසුණාහු ගැවසුණාහු වෙත්. ඔහු තථාගතයනට පුද පිණිස ඔබ සිරුර මතැ හෙත්, විසිරෙත්, වෙසෙසින් විසිරෙත්. දිව මදාරා මලුදු අහසින් හෙයි.. දිව සඳුන් සුණු දු අහසින් හෙයි.. දිව තුරු ගොසු දු .. දිව ගැයුමුදු තථාගතයනට පුද පිණිස අහසැ වැටෙයි. අනඳයෙනි, මෙතෙකින් තථාගතයෝ සත්කෘත හෝ ගුරුකෘත හෝ මානිත හෝ පූජිත හෝ අපවිත හෝ නො වෙත්. අනඳයෙනි, යම් මහණෙක් හෝ මෙහෙණක් හෝ උවසුවෙක් හෝ උවැසියක් හෝ ධර්මානුධර්ම ප්‍රතිපන්න වැ සම්‍යක් ප්‍රතිපන්න වැ අනුධර්මචාරී වැ වෙසෙයි ද හේ මැ පරම පූජායෙන් තථාගතයනට සත්කාර කෙරෙයි, ගරු කෙරෙයි, බුහුමන් කෙරෙයි, පූජා කෙරෙයි, අපචායන කෙරෙයි. අනඳයෙනි, එ බැවින් මෙහි ලා ධර්මානුධර්ම ප්‍රතිපන්න වැ සම්‍යක් ප්‍රතිපන්න වැ අනුධර්මචාරෟ ව වසන්නමෝ’ යි, මෙසේ ම තොප විසින් හික්මියැ යුතු” යි වදාළ සේක.

 

උපවාන තෙරණුවෝ

  1. එ සමයෙහි වනාහි උපවාණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පවන් සලනුවෝ ඔබ ඉදිරියේ සිටියාහු වෙත්. එ කලැ භාග්‍යවතුන් වහන්සේ උපවාණ තෙරුන් බණවා, ‘මහණ, ඉවත් වන්න, මා ඉදිරියේ නො සිටින්නැ’යි උපවාණ තෙරුන් ඉවත් කළ සේක. එ විටැ ‘මේ උපවාණ තෙරණුවෝ වූ කලි බොහෝ කලක් වෙතැ ගැවැසෙන, ළඟ හැසිරෙන, භාග්‍යවතුන් වහන්සේගේ උවටුවෙකි. එහෙත් පැසිම් සෙමෙහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, ඉවත්වන්න, මා ඉදිරියේ නො සිටින්නැ’ යි උපවාණ තෙරුන් ඉවත් කළ සේක. භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, ඉවත් වන්න, මා ඉදිරියේ නො සිටින්න’යි උපවාණ තෙරුන් ඉවත් කළ සේක’ යන යමෙක් ඇද්ද, එයට හේතුව කවර යැ, එයට කාරණය කවර යැ’යි අනඳ තෙරුනට මේ සිත විය. ඉක්බිති අනඳ තෙරණුවෝ ‘වහන්ස, මේ උපවාණ තෙරණුවෝ බොහෝ කලක් වෙතැ ගැවැසෙන, ලඟ හැසිරෙන භාග්‍යවතුන් වහන්සේගේ උවටුවෙක. එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ පැසිම් සමයෙහි ‘මහණ. ඉවත් වන්න, මා ඉදිරියේ නො සිටින්නැ’යි උපවාණ තෙරුන් ඉවත් කරන සේක. වහන්ස, ... එයට හේතුව, එයට කාරණය කවර යැ?’ යි භගවත් බුදුරජුන් පුළුවුත්හ. “ අනඳයෙනි, ලෝදා දස දහයෙක දෙවියෝ තථගතයන් දක්නා පිණිස බොහෝ සෙයින් රැස්වූවාහු වෙත්. අනඳයෙනි, කුසිනාරා නුවර යම් පමණ ද, මල්ලවයන්ගේ උපවර්තන ශාලවනය යම් පමණ ද හාත්පස දොළොස් යොදුන් වූ ඒ සියලු පෙදෙස යම් පමණ ද, එහි මහායශක්ත දේවතා වන් වැද නොගත්, හිදි අගක් එළාලන පමණ වූ ද ඒ තැනෙක් නැත. අපි වූ කලි භාග්‍යවතුන් වහන්සේ දක්නට දුරැ සිට ද ආම්හ. රහත් සම්මා සම්බුදුවූ තථාගතවරු (බොහෝ කල් ඉක්මැ) කිසි කලෙක්හි ම ලොවැ පහළ වෙත්. අද රෑ ම පැසිම්යම්හි තථාගතයන් වහන්සේ ගේ ඉදිරියේ ඔබ මුවහ කරනුයේ සිටියේ වෙයි. (එහෙයින්) අපි (මේ) පැසිම් සමයෙහි තථාගතයන් වහන්සේ දක්නට නො ලබමෝ’යි දෙවියෝ (උපවාණ මහණහට) දොස් නඟත්” යැ යි භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුනට වදාළ සේක.

 

  1.  ‘වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙසේ වූ දේවතා කෙනකුන් මෙනෙහි කරන සේක් දැ?’ යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.

‘අනඳයෙනි, අහසෙහි පෘථිවි යැ’යි සංඥා ඇති දේවතා කෙනෙක් ඇත. ඔහු ‘ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක, ඉතා වහා සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක.

ඉතා වහා ලොවැ ඇස අතුරු දහන් වන්නේ යැ’යි හිස කෙස් මුදා හඬත්, දොහොත් නඟා හඬත්, මැදින් සිඳී වැටුණවුන් සේ වැටෙත්, පෙරැළෙන්නාහු වැටැණු තැනට ම එත්, වැටුණු තැනින් ඈතට ද පෙරැළී යෙත්.

යම් දේවතා කෙනෙක් පහ වූ රාගය ඇත්තාහු ද, ඔහු සිහි ඇත්තාහු නුවණින් දන්නාහු, ‘සංස්කාරයෝ අනිත්‍යය හ. එහෙයින් මෙහි ස්ථිරතාවෙක් කොයින් ලැබෙන්නේ දැ!” යි ඉවසත් යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

  1.  “වහන්ස, පෙරැ ඒ ඒ දෙසැ වස් වුසූ භික්ෂූහු තථාගතයන් වහන්සේ දක්නට එත්. අපි මෙත් බවුන් විසින් සිත් වඩනා (සමාධිය වඩනා) ඒ භික්ෂූන් දක්නට ලබම්හ, එළැඹැ  පිළිදග්නට ලබම්හ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ගේ ඇවෑමෙන් ඒ මෙත් බවුනෙන් සිත වඩනා භික්ෂූන් දක්නට නො ලබන්නමු. එළැඹැ පිළිදග්නට නො ලබන්නමු” යි අනඳ තෙරණුවෝ කීහ.

එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: “අනඳයෙනි, සැදැහැවත් කුලපුතක්හට දක්නට සුදුසු, සංවේග උපදවන මේ තැන් සතරෙකි. කවර සතරෙක් ද? යත්:‍

‘අනඳයෙනි, ‘තථාගතයන් වහන්සේ මෙහි උපන් ‍සේකැ’යි (ඒ උපන් තැන) සැදැහැවත් කුල පුත්හට දක්නට සුදුසු සංවේග උපදවන තැනෙකි.

‘තථාගතයන් වහන්සේ මෙහි නිරුත්තර සම්‍යක්සම්බොධිය අවබෝධ කළ සේකැ’යි, අනඳයෙනි, මෙය සැදැහැවත් කුලපුත්හට දක්නට සුදුසු සංවේගය උපදවන තැනෙකි.

‘මෙහි තථාගතයන් වහන්සේ නිරුත්තර ධර්මචක්‍රය පවත්වන ලදැ’ යි, අනඳයෙනි, මෙය සැදැහැවත් කුලපුතුට දක්නට සුදුසු සංවේග උපදවන තැනෙකි.

‘මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවන් පෑ සේකැ’යි, අනඳයෙනි, මෙය සැදැහැවත් කුලපුත් හට දක්නට සුදුසු සංවේග උපදවන තැනෙකි.

අනඳයෙනි, මොහු සැදැහැවත් කුලපුතක්හට දකනට සුදුසු සංවේග උපදවන තැන් සතර ය.

අනඳයෙනි, සැදැහැවත් මහණහු ද මෙහෙණහු ද උවසුහු ද උවැසියෝ ද ‘මෙහි තථාගතයන් වහන්සේ උපන් සේක්’ යි ද, මෙහි තථාගතයන් වහන්සේ නිරුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කළ සේකැ’ යි ද, මෙහි තථාගතයන් වහන්සේ විසින් නිරුත්තර ධර්මචක්‍රය පවත්වන ලදැ’යි ද, මෙහි තථාගතයන් වහන්සේ අනුපාදිශේෂ නිර්වාණධාතුයෙන් පිරිනිවී සේකැ යි ද සලකා මේ තැන් කරා එන්නාහු ම ය. අනඳයෙනි, යම් කෙනෙක් වනාහි චෛත්‍යචාරිකාව කරන්නාහු (සෑ වඳිමින් පුදමින් ඇවිදුනාහු) පහන් සිතැත්තෝ කලුරිය කරන්නාහු ද, ඒ සියල්ලෝ කාබුන් මරණින් මතු මනාප ගති ඇති සග ලොවට පැමිණෙන්නාහ.”

 

ආනන්ද පෘච්ඡා කථාව

  1.  ඉක්බිති, අනඳ තෙරණුවෝ “වහන්ස, අපි මාගම කෙරෙහි කෙසේ පිළිපදුමෝ දැ?” යි විචාළහ.

“අනඳයෙනි, මාගම නොදැක් ම යැ” යි භගවත්හු වදාළාහ.

“භාග්‍යවතුන් වහන්ස, දැක්මක් ඇති  කල්හි කෙසේ පිළිපැද්ද යුතු දැ?” යි අනඳ තෙරණුවෝ විචාළහ.

“අනඳයෙනි, ඇය හා කතා නො කිරීම යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

(“කතා කළ යුතු ම තැනක් වුව) වහන්ස, කතා කරන මහණහු විසින් කෙසේ පිළිපැද්ද යුතු දැ?” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.

“අනඳයෙනි, (ඇය ගේ) වයස අනුව මේ මව යැ යි හෝ සෙහොයුරී යැ යි හෝ දු යැ යි හෝ සලකා) සිහිය එළැඹැවියැ යුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“වහන්ස, අපි කෙසේ නම් තථාගතයන් වහන්සේ ගේ සිරුරෙහි පිළිපදුමෝ දැ?” යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.

“අනඳයෙනි, තෙපි තථාගතයන් ගේ සිරුර පුදනුයෙහි නිරුත්සාහ වවු. අනඳයෙනි, තෙපි වූ කලි තමහට වැඩෙහි (රහත් බව් ලබනුයෙහි) තැත් කරවු. තමහට වැඩෙහි පුනපුනා යෙදෙවු (රහත්බව පිණිස පිළිවෙත් කරවු, බවුන් බවවු), තමහට වැඩෙහි (රහත්බව් ලැබීමෙහි) නොපමා වූවාහු, කෙලෙස් තවන වැර ඇත්තාහු, නිවන් කරා මෙහෙයූ සිතැත්තාහු වසවු. අනඳයෙනි, තථාගතයන් කෙරෙහි වෙසෙසින් පහන් වූ නුවණැති කැත්හු ද, නුවණැති බමුණෝ ද, නුවණැති ගැහැවියෝ ද ඇත. ඔහු තථාගතයන් ගේ සිරුරට පූජා සත්කාර කරන්නාහ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

 

“වහන්ස, (ඔවුන් විසින්) තථාගතයන් වහන්සේගේ සිරුරෙහි කෙසේ පිළිපැද්ද යුතු දැ?” යි අනඳ ‍තෙරණුවෝ පුළුවුත්හ.

“අනඳයෙනි, සක්විති රජක්හු ගේ සිරුරෙහි යම්සේ පිළිපදිත් ද, තථාගතයන් ගේ සිරුරෙහි එසේ ම පිළිපැද්ද යුතු යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “වහන්ස, සක්විති රජක්හු ගේ සිරුර කෙසේ පිළිපදිත් දැ?’ යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ.

“අනඳයෙනි, සක්විති රජක්හු ගේ සිරුර අළුත් පිළියෙන් වෙළත්. අළුත් පිළි‍යෙන් වෙළා පොළාලු (මොනොවට නඟා පාදන ලද) කපු පුළුනෙන් වෙළත්. පොළා ලූ කපුපුළුනෙන් වෙළා අළුත් පිළියෙන් වෙළත්. මෙ නයින් යුගල පන්සියෙකින් සක්විති රජු ගේ සිරුර වෙළා, රන්මුවා දෙණෙක බහා අන් රන්මුවා දෙණෙකින් වසා, හැම වර්ගයේ සුවඳ දරින් චිතකයට කොට එ සිරුර දවත්. සක්විති රජහට (සක්විති රජු ගේ සිරුර දා ඉතිරි වූ ධාතු තැන්පත් කොට) සතර මං හන්දියෙක තුඹක් (ස්තූපයක්) කරත්. අනඳයෙනි, මෙසේ ම සක්විති රජුගේ සිරුරෙහි පිළිපදිත්. අනඳයෙනි, යමුසේ සක්විති රජුගේ සිරුරෙහි පිළිපදිත් ද, එසේම තථාගතයන් ගේ සිරුරෙහි පිළිපැද්ද යුතු. තථාගතයනට සිවු මං සන්දියෙක තුඹක් කැරැවියැ යුතු. යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුවඳ සුණු හෝ නඟන්නාහු (පුදන්නාහු) හෝ වෙත් ද, ආදරයෙන් වඳින්නාහු හෝ වෙත් ද, සිත හෝ පහදවන්නාහු වෙත් ද, එය ඔවුනට බොහෝ කල් වැඩ පිණිස සුව පිණිස වන්නේ යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

 

තුඹට සුදුසු පුඟුලෝ.

  1.  “අනඳයෙනි, තුඹ (ස්තූප) කොට පුදනු ලබන්නට සුදුසු වූ මේ පුඟුලෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක් ද යත්: අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගත තෙමේ තුඹින් (ස්තූපයෙන්) පුදනු ලබනුවට සුදුසු ය. පසේ බුදුරජ තෙමේ තුඹින් පුදනු ලබන්නට සුදුසු ය. පසේ බුදුරජ තෙමේ තුඹින් පුදනු ලබන්නට සුදුසු ය. තථාගත සම්මා සම්බුදුන්ගේ සවු තෙමේ තුඹින් පුදනු ලබන්නට සුදුසු ය, සක්විති රජ තෙමේ තුඹින් පුදනු ලබන්නට සුදුසු ය.

අනඳයෙනි, කවර කරුණක් නිසා අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගත තෙමේ තුඹින් පුදනු ලබනුවට සුදුසු වෙයි ද යත්: අනඳයෙනි, ‘මේ ඒ භගවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ ස්තූප යැ’ යි බොහෝ දෙනා සිත පහදත්, සිත පහදා කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙත්.

අනඳයෙනි, මේ කරුණ නිසා ම අර්හත් සම්‍යක්සම්බුද්ධ තථාගත තෙමේ තුඹින් පුදනු ලබනුවට සුදුසු ය. අනඳයෙනි, කවර කරුණක් නිසා පසේ සම්බුදුරජ තුඹින් පුදනු ලබනුවට සුදුසු ද යත්: අනඳයෙනි, මේ ඒ භගවත් පසේ බුදුරජු ගේ ස්තූප යැ’යි බොහෝ දෙනා සිත පහදත්. ඔහු එහි සිත පහදා කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙත්. අනඳයෙනි, මෙ කරණ නිසා ම පසේ බුදු රජ පුදනු ලබනුවට සුදුසු ය.

අනඳයෙනි, කවර කරුණක් නිසා තථාගතයන් ගේ සව්වා තුඹින් පුදනු ලබන්නට සුදුසු ද යත්: අනඳයෙනි, ‘මේ ඒ භගවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ගේ සව්වක් හු ගේ ස්තූපයෙකැ’යි බොහෝ දෙනා සිත පහදත්. ඔහු එහි සිත පහදා කා බුන් මරණින් මතු මනා ගති ඇති සගලොවට පැමිණෙත්. අනඳයෙනි, මෙ කරුණ නිසා ම තථාගතයන් ගේ සව්වා තුඹින් පුද ලබනුවට සුදුසු ය.

අනඳයෙනි, කවර කරුණක් නිසා සක්විති රජ තුඹින් පුදනු ලබනුවට සුදුසු වෙයි ද යත්: අනඳයෙනි, ‘මේ දැහැමි වූ දස රජ දහමින් ජනන් රැඳැවූ සක්විති රජුගේ ස්තූප යැ’යි බෙහෝදෙනා සිත පහදත්. ඔහු එහි සිත පහ දා කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙත්. අනඳයෙනි, මේ කරුණ නිසා සක්විති රජ තුඹින් පුද ලබනුවට සුදුසු ය.

අනඳයෙනි, මේ ස්තූපාර්හ පුද්ගල සතර දෙනා යැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

 

අනඳ තෙරුන් ගේ අසිරි දහම්

  1.  ඉක්බිති අනඳ තෙරණුවෝ වෙහෙර වැද දොරැ අගුළුකණුවැ එල්බැ ගෙන “අහෝ! මම් රහත්බව ලබනුවට කළ යුතු දෑ ඇති ශෛක්ෂයෙකිම් වෙමි. මට අනුකම්පා කරන මගේ ශාස්තෲන් වහන්සේ ගේ පිරිනිවන ද වන්නේ යැ” යි හඬමින් සිටියේ ය. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි, ආනන්දයෝ කොහි දැ?” යි භික්ෂූන් අමතා වදාළ සේක. “වහන්ස, තෙල අනඳ තෙරණුවෝ වෙහෙර වැද දොරැ අගුළු කණුවැ එල්බැගෙන ‘අහෝ! මම් කළ යුතු දෑ ඇති ශෛක්ෂයෙකිම් වෙමි, මට අනුකම්පා කරන මගේ ශාස්තෲන් වහන්සේ ගේ පිරිනිවන ද වන්නේ යැ’යි හඬමින් සිටියාහු” යැ යි භික්ෂූහු සැළ කළාහ. එ විටැ භාග්‍යවතුන් වහන්සේ එක්තරා මහණක්හු බණවා “මහණ, මෙහි එව, ‘ඇවැත්නි, ශාස්තෘහු ඔබ කැඳවති’යි කියා මගේ වචනයෙන් අනඳයන් කැඳවා ගෙනව” යි වදාළ සේක. ‘එසේ යැ වහන්සැ’ යි එ මහණ භගවත් බුදුරජුනට පිළිවදන් දී, අනඳ තෙරුන් කරා එළඹ, ‘ඇවැත්නි, අනඳයෙනි, ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවන සේකැ’යි සැළ කළේ ය. ‘එසේ යැ ඇවැත්නි’ යි අනඳ තෙරණුවෝ එ මහණ හට පිළිවදන් දී, භගවත් බුදුරජුන් වෙත එළැඹියහ. එළැඹ ඔබ ආදර සහිත වැ වැඳ පසෙක ඉඳගත්හ. පසෙක හුන් ම අනඳ තෙරුනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

“අනඳයෙනි, හැඬීමෙන් වැඩෙක් නැත. ශෝක නො කරවු, නො හඬවු. අනඳයෙනි, ප්‍රිය මනාප සියලු දැයෙන් ඉවත් වීම, වෙන් වීම, අන් සැටියකට පෙරැළීම කල් තබා ම මා කීවා නො වේද? අනඳයෙනි, යමෙක් උපන්නේ නම්, වූයේ නම්, සකස් වූයේ නම්, පලුදු වන සුලු වී නම්, ඒ ස්වභාවය ම ඇති තථාගත ශරීරය ද නො නැසේ ව යි පැතුව ද, එය කොයින් ලැබෙන්නේ ද? මෙ කරුණ අවිද්‍යමාන ය(මේ නො වන දැයෙකි) අනඳයෙනි, තොප විසින් හිතවත් වූ, සුව ගෙන දෙන්නා වූ, දෙසැටියක් නැති, (මුව දෝනා පැන් එළැවීම් ආදි) අප්‍රමාණ වූ මෛත්‍රී සහගත කාය කර්මයෙන් තථාගත තෙමේ ප්‍රත්‍යුපස්ථිත (නිතර උවටන් කරනු ලදුයේ) වෙයි. හිතවත් වූ, සුව ගෙන දෙන, දෙසැටියක් නැති, (මේ මුවදෝනා කලැ යි සැළ කිරීම් ආදි විසින් පැවැත්වුණු) අප්‍රමාණ වූ මෛත්‍රී සහගත වාක් කර්මයෙන් ද ... (මගේ ශාස්තෘන් වහන්සේ නිදුක් නීරෝග වන සේක්වා යන ආදි විසින් පැවැත්වුණු) අප්‍රමාණ වූ මෛත්‍රී සහගත මන:කර්මයෙන් ද තථාගත තෙමේ ප්‍රත්‍යුපස්ථිත වී ය. අනඳයෙනි, තෙපි කෘතපුණ්‍යයහ (බොහෝ පින් කළ කෙනෙක), ප්‍රධන් වඩනුයේ යෙදෙවු. වහා රහත් වන්නාහුය” (යනු යි.)

  1. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් අමතා මෙසේ වදාළ සේක. “ මහණෙනි, ගිය කලැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් වූහු ද, ඒ භගවත් බුදුවරුනට ද, මට අනඳයන් සේ, මෙවැන්නක්හු පරම කොටැති උවටුවෝ වූහ. මහණෙනි, මතු දවසැ යම් රහත් සම්මාසම්බුදු කෙනෙක් පහළ වන්නාහු ද, ඒ භගවත් බුදුවරුනට ද, මට අනඳයන් සේ, මෙබන්දක්හු පරම කොටැති උවටුවෝ වන්නාහ. මහණෙනි, අනඳයෝ පියෙවියෙන් ම නැණවත් හ. ‘තථාගතයන් දක්නා පිණිස එළැඹෙන්නට මහණුනට සුදුසු කල් මේ යැ, මෙහෙණයනට සුදුසු කල් මේ යැ, උවසුවනට සුදුසු කල මේ යැ, උවැසියනට සුදුසු කල මේ යැ, රජක්හට, රජමහ මැත්තනට තොටුවනට, තොටු සව්වනට සුදුසු කල මේ යැ’ යි දනිති.

 

  1. මහණෙනි, අනඳයන් කෙරෙහි මේ අසිරිමත් පුදුම සතර දහම් කෙනෙක් වෙත්. කවර සතර දෙනෙක් ද යත්: මහණෙනි, ඉදින් මහණ පිරිසෙක් අනඳයන් දක්නට එළැඹෙයි නම්, ඔබ දැක්මෙන් ම එ පිරිස ආරාධිත සිතැති වෙයි. ඉදින් එහි අනඳයෝ දහම් දෙසත් නම්, ඔබ වචනයෙන් ද එ පිරිස සතුටු වෙයි. මහණෙනි, ඒ මහණ පිරිස අපිරියත් ම (අතෘප්ත ම) වෙයි. එකල්හි අනඳයෝ නිහඬ වෙත්. මහණෙනි, ඉදින් මෙහෙණ පිරිසෙක්, උවසු පිරිසෙක්, උවැසි පිරිසෙක් අනඳයන් දක්නා වස් එළැඹෙයි ද, දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. ඉදින් එහි අනඳයෝ දහම් දෙසත් නම්, ඔබ දම් දෙස්මෙනුදු එ පිරිස සතුටු වෙයි. ඉදින් එහි අනඳයෝ දහම් දෙසත් නම්, ඔබ දම් දෙස්මෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, උවැසි පිරිස අතෘප්තම වෙයි. එ කලැ අනඳයෝ නිහඬ වෙත්. මහණෙනි, මේ අසිරිමත් පුදුම සතර දෙනෙක් අනඳයනි කෙරෙහි වෙත්.

“මහණෙනි, මේ අසිරිමත් පුදුම දහම් සතර දෙනෙක් සක්විති රජක්හු කෙරෙහි වෙත්. කවර සතර දෙනෙක් ද යත්: මහණෙනි, ඉදින් කැත් පිරිසෙක් සක්විති රජහු දක්නට එළැඹෙයි ද, එපිරිස ඔහු දැක්මෙන් ම සතුටු වෙයි. එහි ඉදින් සක්විති රජ කතා කෙරෙයි නම්, ඔහු කතායෙනුදු එ පිරිස සතුටු වෙයි. මහණෙනි, කැත් පිරිස එයින් අතෘප්ත ම වෙයි. එ කල්හි සක්විති රජ නිහඬ වෙයි. මහණෙනි, ඉදින් බමුණු පිරිසෙක් , ගැහැවි පිරිසෙක් මහණ පිරිසෙක් සක්විති රජු දක්නට එළඹෙයි ද, එ පිරිස ඔහු දැක්මෙන් ම සතුටු වෙයි. එහි ඉදින් සක්විති රජ ඔවුනට කතා කෙරෙයිද, ඔහු ගේ කතා යෙනුදු එපිරිස සතුටු වෙයි. මහණෙනි, එසේ ම අනඳයන් කෙරෙහි මේ අසිරිමත් පුදුම දහම් සතර දෙනෙක් වෙත්: මහණෙනි, ඉදින් මහණ පිරිසෙක් අනඳයන් දක්නට එළැඹෙයි නම් ඔබ දැක්මෙන් ම එ පිරිස සතුටු වෙයි. මහණ පිරිස (ඔබ දැක්මෙහි) අතෘප්ත ම වෙයි. එහි ඉදින් අනඳයෝ දහම් දෙසත් නම්, දහම් කතායෙනුදු එ පිරිස සතුටු වෙයි. එ මහණ පිරිස අතෘප්ල ම වෙයි. එ කලැ අනඳයෝ නිහඬ වෙත්. ඉදින් මෙහෙණ පිරිසෙක්, උවසු පිරිසෙක්, උවැසි පිරිසෙක් අනඳයන් දක්නට එළැඹෙයි නම්, දැක්මෙන් ම එ පිරිස සතුටු  වෙයි. එහි ඉදින් අනඳයෝ දහම් කියත් නම්. ඔබ දහම් කතායෙනුදු එ පිරිස සතුටු වෙයි, උවැසි පිරිස එහි ලා අතෘප්ත ම වෙයි. එ කල්හි යැ අනඳයන් නිහඬ වනුයේ. මහණෙනි, මේ අසිරිමත් පුදුම සතර දහම් හු අනඳයන් කෙරෙහි වෙත්” යනු යි.

 

මහ සුදසුන් දෙසුම

  1. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කලැ අනඳ තෙරණුවෝ

“වහන්ස, (ගල් සෙල් ආදියෙන් විසම බැවින්) රළු නුවරක් වූ (මහරුක්හි ශාඛාවක් බඳු) අතුනුවරක් වූ මේ කුඩා නුවරෙහි නො පිරිනිවෙන සේක්වා. වහන්ස, චම්පා, රජගහ, සැවැත්, සාකේත, කෙ‍සොඹෑ, බරණැස් යන ආදී අන් මහ නුවරහු ඇත. ඒ එකෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. මේ නුවරන්හි තථාගතයන් වහන්සේ කෙරෙහි වෙසෙසින් පහන් වූ බොහෝ කැත් මහසල්හු ද බමුණු මහසල්හු ද ගැහැවි මහසල්හු ද ඇත. ඔහු තථාගතයන් වහන්සේ ගේ සිරුරට පූජාසත්කාර කරන්නාහ” යි සැළ කළහ.

“අනඳයෙනි, කුඩා නුවරෙකැ යි, රළු නුවරෙකැ යි අතු නුවරෙකැ’යි මෙසේ නහමක් කියවු. අනඳයෙනි, බෙහෝ පෙර දවසැ මෙහි මුදුනැ අබිසෙස් ලත්, සයුරහිම් සිවු මහ දිවයිනට හිමි, පස මිතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමනා වූ මහ සුදසුන් නම් කැත්රජෙක් විය.

අනඳයෙනි, මේ කුසිනාරා නුවර මහසුදසුන් රජුහු ගේ කුශාවතී නම් රජ දහන විය. අනඳයෙනි, කුශාවතී රජදහන පෙර දිගින් ද පැසිම් දිගින් ද අයමින්  දොළොස් යොදුන් විය. උතුරු දිගින් ද දකුණු දිගින් ද විතරින් සත් යොදුන් විය. අනඳයෙනි, කුශාවතී රජදහන සමෘද්ධ ද සැපතින් පිරු‍ණේ ද බොහෝ ජනයා ඇත්තේ ද මිනිසුන්ගෙන් ගැවසුනේ ද සුලභ ආහාර පාන ඇත්තේ ද විය. අනඳයෙනි, දෙවියන්ගේ ආලකමන්දා රාජධානිය යම් සේ සමෘද්ධ ද, ස්ථිත ද, බහුජනවත් ද, යක්ෂාකීර්ණ ද, සුභික්ෂ ද, අනඳයෙනි, එසේ ම කුසාවතී රජදහනත් සමෘද්ධ ද, ස්ථිත ද, බහුජනවත් ද, මනුෂ්‍යාකීරණ ද, සුභික්ෂ ද විය. අනඳයෙනි, කුශාවතී රජදහන ඇත්හඬින්, අස් හඬින්, රිය හඬින්, බෙර හඬින්, මිහිඟු බෙර හඬින්
 වෙණ හඬින්, ගී හඬින්,සක්හඬින්, කස්තල් හඬින්, අත්තාලම් ඈ හඬින් "බුදිවු , බොවු, කවු" යි දසවැනි හඬින් දැ යි දස හඬින් නිරතුරු විය. අනඳයෙනි, තෙපි යවු. කුසිනාරාවට පිවිස, කුසිනාරාවාසී මල්ලයනට "වාසිෂ්ටයෙනි, අද රෑ පැසින් යම්හි තථාගතයන්ගේ පිරිනිවන වන්නේ ය, වාසිෂ්ටයෙනි, පිටත්වැ එවු. වාසිෂ්ටයෙනි, පියත්වැ එවු.  "අප ගම් කෙතෙහි තථාගතයන්ගේ පිරිනිවන වීය. පැසිම් සෙමෙහි අපි ඔබ දක්නට නොලදුම්හ යි පසු වැ විපිලිසැරි නො වවු’ යි සැළ කරවු" යැ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

අනඳ තෙරණුවෝ 'වහන්ස, එසේ යැ’ යි  ම භගවත් බුදු රජුනට පිළිවදන් අස්වා, හැඳ පෙරවැ පා සිවුරු ගෙන තමා දෙවැනි කොටැති ව කුසිනාරාවට වන්හ.

මල්ලයන්ගේ වැඳීම

  1. එ සමයෙහි කුසිනාරාවාසී මල්ලයෝ කිසි කරුණෙකින් සන්තාගාරයෙහි (කාරණාකාරණ විචාරන පිණිස රැස්වන හලෙහි) කැටි වූවාහු වෙත්. එකළැ අනඳ තෙරණුවෝ කුසිනාරා වැසි මල්ලයන්ගේ සන්ථානාගාරය වෙත වැඩියාහ. වැඩ, "වාසිෂ්ටයෙනි, අද රෑ පැසිම් යම්හි තථාගතයන් වහන්සේ ගේ පිරිනිවන වන්නේය. වාසිෂ්ටයෙනි, නික්මැ යවු, වාසිෂ්ටයෙනි, නික්ම යැවු. 'අප ගම්කෙතැ තථාගතයන් වහන්සේ ගේ පිරිනිවන වීය. අපි පැසිම්  සමයෙහි තථාගතයන් වහන්සේ දක්නට නො ලදුම්හ' යි පසු විපිළිසර ඇතියෝ නො වවු" යි කුසිනාරා වැසි මල්ලයනට සැළ කළහ.

අනඳ තෙරුන් ගේ මේ වචන අසා, මල්ලයෝ ද මල්ල ලෙහෙලියෝ ද (විවා නො පත් මල්ල තරුණියෝ ද) මල්ල බිරියෝ ද දුක් ඇත්තාහු, දොම්නස් ඇත්තාහු, සිතැ උපන් ශෝක ඇත්තාහු, 'ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරි නිවෙන සේක, ඉතා වහා සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක, ඉතා වහා ලොවැ ඇස අතුරුදහන් වන්නේ යැ' යි කෙහෙ උවා (කෙස් මුදා) හඬත්, දොහොත් හුවා (දෙ අත් හිසැ තබා) හඬත්, මැදින් බිඳුණවුන් සේ ඇද වැටෙත්, පෙරැළෙන්නාහු වැටී හොත් තෙනටම පෙරැළී එත්, වැටී හොත් තැනින් ඉවතට ද පෙරැළී යෙත්.

ඉක්බිති මල්ලයෝ ද, මල්ල පුත්හු ද, මල්ල ලෙහෙලියෝ ද, මල්ල බිරියෝ ද දුක් ඇත්තා හු, දොම්නස් ඇත්තා හු, සිතැ උපන් ශෝකයෙන් යුක්ත වූවාහු, මල්ලයන්ගේ උපවර්තන නම් සල් වනයට, අනඳ තෙරණුන් වෙතට එළඹුනාහ. එ කල්හි, "ඉදින් මම් කුසිනාරා වැසි එකක් එකක් හු ලවා භාග්‍යවතුන් වහන්සේ වැන්දැවීම් නම් , කුසිනාරා පුරැ මල්ලයන් විසින් නො වඳනා ලද සේක්ම වන්නා හ. එ කල්හි මේ රෑ පාන් වන්නේ ය. මම් කුසිනාරා වැසි මල්ලයන් කුල පරම්පරා විසින් වෙන වෙනම සිටුවා 'වහන්ස, මෙ නම් මල්ල තෙම අඹු දරු සහිත වැ, පිරිස සහිත වැ, ඇමැත්තන් සහිත වැ භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා හිස බිමැ තබා වඳී ' යැ යි සැළ කෙරෙමින් භාග්‍යවතුන් වහන්සේ වැන්දැවීම් නම් යෙහෙකැ" යි අනඳ තෙරුනට මේ සිත විය.

ඉක්බිති අනඳ තෙරණුවෝ කුසිනාරා වැසි මල්ලයන් කුල පරපුර විසින් වෙන වෙනම සිටුවා 'වහන්ස, මෙ නම් මල්ල තෙම දරුවන් සහිත වැ බිරිය සහිත වැ, පිරිස සහිත වැ, ඇමැත්තන් සහිත වැ භාග්‍යවතුන් වහන්සේ ගේ සිරිපා හිස බිමැ තබා වඳී' යැ යි කියා භගවත් (බුදු රජුන්) වැන්ඳැවූහ. එ කල්හි අනඳ තෙරණුවෝ මෙ නයින් පළමු යම්හි ම කුසිනාරා නුවරැ මල්ලයන් ලවා භගවත් බුදු රජුන් වැන්ඳැවූ හ.

සුභද්‍ර පරිව්‍රාජක වස්තුව

  1. එ සමයෙහි සුභද්‍ර නම් පිරිවැජියෙක් කුසිනාරායෙහි වෙසෙයි. "අද රෑ පැසිම් යම් හි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ පිරිනිවන වෙතැ" යි සුභද්‍ර පිරිවැජි ඇසුයේ ම ය. ඉක්බිති ඔහුට "කිසි කලෙක ම (කලාතුරෙකින් ම) තථාගත අර්හත් සම්මා සම්බුදුවරයෝ ලොවැ උපදනාහ" යි වයසින් වැඩී සිටි මහළු වූ ආචාර්ය ප්‍රාචාර්ය පිරිවැජියන් කියන වචනයෙක් මා විසින් අසන ලද්දේ ම ය. අද රෑ ම පැසිම් යම්හි මහණ ගොයුමාණන් වහන්සේගේ පිරිනිවන වන්නේ ය. මට උපන් සැකයෙක් ද ඇත. යම්සේ මේ සැකය දුරැලියැ හෙම් ද එසේ මට දහම් දෙසන්නට මහණ ගොයුමන් වහන්සේ හැකි සේකැ' යි “මෙසේ මහණ ගොයුම් වහන්සේ කෙරෙහි මම් පැහැදුණෙම් වෙමි” යි මේ සිත විය. ඉක්බිත්තෙන් සුභද්‍ර පිරිවැජි තෙම මල්ල රජුන් ගේ උපවර්තන සල්වනය යම් තැනෙක ද, අනඳ තෙරණුවෝ යම්  තැනෙක ද, එ තැනට එතෙරුන්ළැඹියේ ය. එතෙරුන්ළැඹ අනඳ  තෙරුන් අමතා “පින්වත් අනඳයෙනි, කිසි ක‍ලෙක්හි ම තථාගත අර්හත් සම්මාසම්බුදුවරයෝ ලොවැ උපදනාහ" යි වයසින් වැඩී සිටි මහළු වූ ආචාර්ය ප්‍රාචාර්ය පිරිවැජියන් කියන මේ වචනය මා ඇසුවා ඇත. අද රෑ ම පැසිම් යම්හි මහණ ගොයුමන් වහන්සේ ගේ පිරිනිවන වන්නේ ය. මට උපන් සැකයෙක් ද ඇත. මේ සැකය මගෙන් දුරු වී යන පරිදි දහම් දෙසන්නට මහණ ගොයුමන් වහන්සේ හැකි සේකැ' යි මෙසේ මහණ ගොයුමන් වහන්සේ කෙරෙහි මම් පැහැදුණෙකිම් වෙමි. “තපින්වත් අනඳයෙනි, මහණ ගොයුමන් වහන්සේ දක්නට ලබන්නෙම් නම් මැනැවැ' යි මේ වචන කී ය.

මෙසේ කී කල්හි අනඳ තෙරණුවෝ 'ඇවැත් සුභද්‍රයෙනි, කම් නැත. තථාගතයන් වහන්සේ නො වෙහෙසන්න. භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්ත වැ හෝනා සේකැ' යි වදාළහ. දෙවෙනි වර ද සුභද්‍ර පිරිවැජි "පින්වත් අනඳයෙනි, කිසි කලෙක්හි ම තථාගත අර්හත් සම්මා සම්බුදු වරු ලොවැ උපදනාහ' යි වයෝවෘද්ධ වූ මහළු වූ ආචාර්ය ප්‍රාචාර්ය පිරිවැජියන් කියන මෙ බස් මා ඇසුවා ඇත. අද රෑ ම පැසිම් යම්හි මහණ ගොයුමන් වහන්සේ ගේ පිරිනිවන වන්නේ ය. මට උපන් සැකයෙක් ද ඇත. මේ සැකය මගෙන් දුරු වන පරිදි දහම් දෙසන්නට මහණ ගොයුමන් වහන්සේ සමත් සේකැ' යි මෙසේ ඔබ කෙරෙහි මම් පැහැදුණෙම් වෙමි. පින්වත් අනඳයෙනි, මහණ ගොයුමන් වහන්සේ දක්නට ලබන්නෙම් නම් මැනැවැ'යි මෙ බස් පැවසීය. තෙවෙනි වර ද සුභද්‍ර පිරවැජි අනඳ තෙරුනට "පින්වත් අනඳයෙනි, කිසි කලෙක්හි ම තථාගත අර්හත් සම්මා සම්බුදු වරු ලොවැ උපදනාහ' යි වයෝවෘද්ධ වූ මහළු වූ ආචාර්ය ප්‍රාචාර්ය පිරිවැජියන් කියන මෙ බස් මා ඇසුවා ඇත. අද රෑ ම පැසිම් යම්හි මහණ ගොයුමන් වහන්සේ ගේ පිරිනිවන වන්නේ ය. මට උපන් සැකයෙක් ද ඇත. මේ සැකය මගෙන් දුරු වන පරිදි දහම් දෙසන්නට මහණ ගොයුමන් වහන්සේ සමත් සේකැ' යි මෙසේ ඔබ කෙරෙහි මම් පැහැදුණෙම් වෙමි. පින්වත් අනඳයෙනි, මහණ ගොයුමන් වහන්සේ දක්නට ලබන්නෙම් නම් මැනැවැ'යි මෙ බස් පැවසීය. තෙවෙනි වර ද අනඳ තෙරණුවෝ සුභද්‍ර පිරිවැජියාට' ඇවැත් සුභද්‍රෙයනි, කම් නැත. තථාගතයන් වහන්සේ නො වෙහෙසන්න. භාග්‍යවතුන් වහන්සේ ක්ලාන්ත වැ හෝනා සේකැ' යි වදාළහ.

  1. සුභද්‍ර පිරිවැජියා හා පැවැති අනඳ තෙරුන්ගේ මේ කථා සංවාදය භගවත් බුදුරජුහු ඇසූහු මය. ඉක්බිති භගවත්හු අනඳ තෙරුන් බණවා, "අනඳයෙනි, කම් නැත. සුභද්‍රයා නහමක් වළක්වවු. සුභද්‍ර තෙමේ තථාගතයන් දක්නට ලබා වා. සුභද්‍රයා යම් කිසිවක් මා විචාරන්නේ ද , ඒ සියල්ල දැන ගනුයෙහි අපේක්ෂා ඇත්තේ ම, වෙහෙසන අදහසක් නැත්තේම විචාරයි. විචාරනු ලැබූ මම් යමක් ඔහුට හෙළි කරන්නෙම් ද, යුහුවම හේ එය දැනගන්නේ යැ"යි වදාළ සේක.

එ කල්හි අනඳ තෙරණුවෝ සුභද්‍ර පිරිවැජියාට, "ඇවැත්නි, සුභද්‍රයෙනි, යන්නැ. ඔබට භාග්‍යවතුන් වහන්සේ අවසර දෙන සේකැ" යි කීහ. එවිටැ සුභද්‍ර පිරිවැජියා තෙම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ ඔබ හා සතුටු වන්නට නිසි, සිතැ රැඳෙන්නට නිසි කථා නිම කොට එක් පසෙක ඉඳ ගත්තේය. එක් පසෙක හිඳ ම සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදුරජුනට කථා කොට "භවත් ගෞතමයිනි, ශ්‍රාවක සංඝයා ඇති , සවු ගණ ඇති, ගණැදුරු වූ, ප්‍රකට වූ යශස් ඇති බොහෝ දෙනා විසින් සාදු යැ යි සම්මත වූ , කාශ්‍යපගෝත්‍රික පූරණ, ගෝශාලමස්කරී, කේශාල කම්භල දැරූ අජිත, කාත්‍යායන ගෝත්‍රික පකුධ, වෛරාටීපුත්‍ර සංයත, ඥාත පුත්‍ර නිර්ග්‍රන්ථ යන යම් මේ තීර්ථංකර කෙනෙක් වූ හු ද, ඔහු හැම දෙනා තමන් පිළිණ කළ සේ සත්‍ය දැන ගත්තාහු ද? ඔහු හැම දෙනා ම එසේ නො ම දැන ගත්තාහු ද? නොහොත් (ඔවුන් අතුරෙන්) එක්තරා කෙනෙක් දැන ගත්තාහු එක්තරා කෙනෙක් නො ම දැන ගත්තාහු ද?" යි මේ පැණය විචාළේය.

"සුභද්‍රයෙනි, එයින් වැඩෙක් නැත. 'ඒ සියලු දෙනා තමන් තිළිණ කරන පරිදි සත්‍ය දැන ගත්තාහු ද? සියල්ලෝම නො දැන ගත්තාහු ද? නොහොත් එක්තරා කෙනෙක් දැන ගත්තාහු, එක්තරා කෙනෙක් නො දැනගත්තාහු ද? යන මේ කරුණ සිටීවා (පසෙකැ තැබේවා). සුභද්‍රයෙනි, තොපට දහමක් දෙසන්නෙමි. එය අසවු මෙනෙහි කරවු. කියන්නෙමි" යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේ ක. "එසේ ය, වහන් සැ" යි ම සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදුරජුනට පිළිවදන් ඇස්වීය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

  1. "සුභද්‍රයෙනි, යම් ධර්ම විනයයෙක (යම් සස්නෙක) අරී අටැඟි මඟ නො ලැබෙයි ද, එහි (පළමු වන) සෝවාන් මහණ ද නො ලැබේ (නො මැත), දෙවෙනි සෙදැගැමී මහණ ද එහි නැත, තෙවෙනි අනැගැමි මහණ ද එහි නැත, සතර වන රහත් මහණ ද එහි නැත. වැලි දූ සුභද්‍රයෙනි, යම් සස්නෙක අරී අටැඟි මඟ ඇද්ද, එහි (පළමු) සෝවාන් මහණ ද ඇත. දෙවෙනි සෙදැගැමි මහණ ද ඇත, තෙවැනි අනගැමි මහණ ද ඇත, සතරවන රහත් මහණ ද ඇත. සුභද්‍රයෙනි, මෙ ( දහම් විනය ඇති) සස්නෙහි අරී අටැඟි මඟ ඇත. සුභද්‍රයෙනි, මෙහි ම  (පළමු) සෝවාන් මහණ ද ඇත. දෙවෙනි සෙදැගැමි මහණ ද ඇත, තෙවැනි අනගැමි මහණ ද ඇත. මෙහි ම සිවු වැනි රහත් මහණ ද ඇත. මේ සතර මහණුන්ගෙන් අන්‍ය වූ පරප්‍රවාදයෝ (පර තන්ත්‍රයෝ ) සත්‍යයෙන් ශුන්‍ය හ. සුභද්‍රයෙනි, මේ මහණුහු  ද නිසි පරිදි වසන්නාහු නම් ලොව රහතුන් ගෙන් හිස් නො වන්නේ ය."

"සුභද්‍රයෙනි,කුසල් නම් (නිවන් මඟ නම්) කිම් දැ යි සොයනුයෙම් මම් පැවිදි වීමි යන යමක් ඇද්ද, එය වයසින් එකුන්තිසක් ඇත්තෙම් කෙළෙමි. සුභද්‍රයෙනි, යම් කලෙක මම් පැවිදි වීම් ද, එදා සිට මෙ දෑතුරෙහි මදක් වැඩි පස් පනස් වසෙක් ඉකුත් විය. අරීමඟ දහමැ විවසුන් වැඩීම් වශයෙන් එක් දේශයෙක්හි දු (එක් කොටසෙක නමුදු) පවත්නා මහණෙක් මේ සස්නෙන් බැහැරැ නැත. පළමු මහණ ද නැත. සිවු වන මහණ ද නැත. මේ සතර මහණුන් ගෙන් අන්‍ය වූ පරප්‍රවාදයෝ හිස් හ. සුභද්‍රයෙනි, මේ මහණහු නිසි පරිදි (සම්‍යක්ප්‍රතිපන්න වැ) වසන්නාහු නම්, ලොව රහතුන් ගෙන් නොසිස් වන්නේ ය."

  1. මෙසේ වදාළ කල්හි සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදුරජුනට, "වහන්ස, දම් දෙසුම ඉතා මනාය, වහන්ස, දම් දෙසුම ඉතා මනා ය. යම් සේ මුණින් නමා තුබූ බඳුනක් උඩුකුරු කොට තබන්නේ ද, වැසුණු දැයක් විවෘත කරන්නේ ද, මං මුළාවූවක් හට මඟ කියන්නේ ද, ඇස් ඇත්තන් රූප දකිතියි අඳුරෙහි තෙල් පහනක් හෝ දල්වන්නේ ද, එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් මට දහම්  පැවැසිණ. වහන්ස එයැසූ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද භික්ෂු සංඝයා ද සරණ යෙමි. වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිද්ද ලබම් වා, උපසපුව ලබම්වා" යි කීය.

"සුභද්‍රයෙනි, පෙරැ අන් තොටු වූයෙක් මෙ සස් නැ පැවිද්ද කැමැත්තේ නම්, උපසපුව කැමැත්තේ නම්, හේ සිවු මසක් පිරිවෙස් වෙසෙයි. සිවු මස ඇවෑමෙන් සතුටු වූ මහණුහු ඔහු භික්ෂුත්වය පිණිස පැවැදි කෙරෙත්, උපසපන් කෙරෙත්. වැළිදු මෙහි ලා මා විසින් පුඟුල්  වෙසෙස දන්නා ලද්දේ යැ" යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක, "ඉදින් වහන්ස, පෙරැ අන් තොටු වූවාහු මෙ සස්නැ පැවිද්ද පතන්නාහු, උපසපුව පතන්නාහු, සිවු මසක් පිරිවෙස් වසන්නාහු නම්, සිවු මස ඇවෑමෙන් සතුටු සිතැති මහණහු භික්ෂුත්වය පිණිස පැවිදි කරන්නාහු, උපසපන් කරන්නාහු නම්, මම් (සිවු මසක් නොව) සිවු වසක්ම පිරිවෙස් වසන්නෙමි. සිවු වස ඇවෑමෙන් සතුටු වූ සිතැති මහණ වූ භික්ෂුභාවය පිණිස මා පැවිදි කෙරෙත්වා, උපසපන් කෙරෙත්වා" යි පිරිවැජි කීය.

ඉක්බිති භගවත්හු අනඳ තෙරුන් බණවා, "අනඳයෙනි, එසේ වී නම් සුභද්‍රයා පැවිදි කරන්නැ" යි වදාළහ. "එසේ ය වහන්සැ" යි කියාම අනඳ තෙරනුවෝ භගවත් බුදුරජුනට පිළිවදන් දුන්හ. එකල්හි සුභද්‍ර පිරිවැජි තෙම අනඳ තෙරුණට "ඇවැත් අනඳයෙනි, යම් කෙනෙක් මෙහි ශාස්තෘන් හමුයෙහි අන්තේවාසිකාහිසෙකයෙන් අභිෂික්ත ද, ඒ ඔබට මහත් ලාභ කෙනෙක, ඒ ඔබ විසින් ලද සේ මනවැ" යි කීය.

සුභද්‍ර පිරිවැජි තෙම භගවත් බුදු රජුන් වෙතැ පැවිද්ද ලැබීය, උපසපුව ලැබීය. ආයුෂ්මත් සුභද්‍ර තෙම උපසපන් වූ නොබෝ කල් ඇත්තේම හුදෙකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වැ නොපමාවැ කෙලෙස් තවන වැර ඇති වැ කමටහන කරා මෙහෙයූ සිතැති වැ වසනුයේ, යමක් පිණිස කුල දරුවෝ මනාවම ගිහිගෙන් නික්ම සසුන් වදනාහු ද, ඒ මඟ බඹ සැරූ කෙළවරවූ ලොවුතුරා රහත් බව මේ අත් බවුහිම නොබෝ කල්හිම තෙමේ ම නුවණින් දැන පසක් කොට ලැබ විසීය. ‘හේ ඉපැත්ම නැවතිණ, මහ බඹ සර වැස නිමැවිණ. කළ යතු දෑ කොට නිමැවිණ. මේ රහත් බව පිණිස තව කළ යුතු දැයෙක් නැතැ”යි වෙසෙසින් දත්තේ ය. ආයුෂ්මත් සුභද්‍රයෝ රහතුන්ගෙන් එක්තරා කෙනෙක් වූ හ. ඔබ භගවත් බුදුරජුන්ගේ අන්තිම ප්‍රත්‍යක්ෂ ශ්‍රාවක (ඔබ ධරමාණ කල්හිම රහත් වූ අන්තිම ශ්‍රාවක) වූහ.

පස් වන බණවර යි.

 

තථාගතයන් වහන්සේගේ අන්තිම වචනය.

  1. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරුන් බණවා මෙසේ වදාළ සේක:

"අනඳයෙනි, ප්‍රවචනය (පෙළ දහම) ඉකුත් වූ ශාස්තෘහු ඇති එකෙකැයි 'අපගේ ශාස්තෘ හු නැතැ' යි තොපට මෙබදු සිතක් ඇතිවිය හැක්කේ මය. අනඳයෙනි, එය එසේ දැක්ක යුතු නොවෙයි. අනඳයෙනි, මා විසින් යම් දහමෙකුත් විනයකුත් දෙසිණි ද, පැනිවිණි ද එය මා ඇවෑමෙන්  තොපට ශාස්තෘ වෙයි. අනෙකක් කියම්. අනඳයෙනි, දැන් මහණහු උනුනට ආවුසසෝවාදයෙන් (ඇවැත්තිනි යි යන වචනයෙන්) කතා කෙරෙත් ද, මා ඇවෑමෙන් එසේ කතා නොකළ යුතු. අනඳයෙනි, (උපසපුයෙන්) වඩා මහළු වූ මහණහු විසින් (උපසපුයෙන්) වඩා බාල වූ මහණ තෙම 'වහන්සැ' යි හෝ 'ආයුෂ්මත්නි' යි හෝ කියා ඇමැතියැ යුතු.

අනඳයෙනි, ඉදින් සංඝ තෙමේ කැමැති වන්නේ නම්, මා ඇවෑමෙන් කුඩා අනු කුඩා සික පද සමූහනනය කෙරේ වා (උදුරා ඉවත් කෙරේ වා)

අනඳයෙනි, මා ඇවෑමෙන් ජන්න මහණහට බ්‍රහ්ම දණ්ඩනය දියැ යුතු. 'වහන්ස, බ්‍රහ්ම දණ්ඩනය නම් කවරේ දැ'යි අනඳ තෙරණුවෝ පුළුවුත් හ. 'අනඳයෙනි: ජන්න මහණ යමක් කැමැත්තේ ද එය කියා වා. මහණුන් විසින් හෙතෙම කිසිවක් නොකියැ යුතු (ඔහු හා කතා නොකළ යුතු), නොම ඔවා දියැ යුතු, අනුශාසන නොම කටයුතු (බ්‍රහ්ම දණ්ඩන නම් මේ යැ).'

  1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ 'මහණුන් බණවා වදාරන සේක්, 'මහණෙනි, එක් මහණකුට නමුදු බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඝන කෙරෙහි හෝ මාර්ගය කෙරෙහි හෝ පිළිවෙත කෙරෙහි හෝ සැකයෙක් හෝ විමතියෙක් ඇත්නම්, මහණෙනි එය විචාර වු. 'ශාස්තෘහු අපට හමුවූ හ. අපි ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතින් විචාරන්නට නොහැකි වූ මු' යි පසු වැ විපිළිසැරි නොව වු' යි වදාළ සේක. මෙසේ වදාළ කල්හි ඒ මහණහු නිහඩ වූහ. භගවත්හු දෙවෙනි වර ද: තෙවෙනි වර ද 'මහණෙනි, එක් මහණකුට නමුදු බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මාර්ගය කෙරෙහි පිළිවෙත කෙරෙහි සැකයෙක් හෝ විමතියෙක් හෝ ඇත්නම් එය විචාරවු. 'ශාස්තෘහු අපට හමු වූහ, අපි ඒ භාග්‍යවතුන් වහන්සේ වෙතින් විචාරන්නට නොහැකි වූ මු' යි පසු වැ විපිළිසැරි නො වවු' යි වදාළහ. තෙවැනි වර ද ඒ මහණහු නිහඩ වූ හු. එවිට භාග්‍යවතුන් වහන්සේ මහණුන් බණවා, මහණෙනි, ශාස්තෘහු කෙරෙහි ගෞරවයෙනුදු තොප නො විචාරනු විය හැක්ක. (එසේ කළැ) යහළු මහණ තෙමේ යහළු මහණකුට හෝ සැළ කෙරේවා' යි වදාළහ. මෙසේ වදාළ කල්හි ද ඒ මහණහු නිහඩ වූහ.

 

  1. එ කල්හි අනඳ තෙරණුවෝ ‘වහන්ස, ආශ්චර්‍ය්‍යය ! වහන්ස, අද්භූත ය ! වහන්ස, බුදුරජුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මඟ කෙරහි හෝ පිළිවෙත කෙරෙහි හෝ එක් මහණක්හට දු සැකයක් හෝ විමතියෙක් හෝ නැතැ’ යි මෙසේ මේ භික්ෂු සංඝයා කෙරෙහි මම් පැහැදුණෙමි’ යි භගවත් බුදුරජුනට සැළ කළහ.

 

අනඳයෙනි,  තෙපි පැහැදීමෙන් (ප්‍රසාදය හේතු කොට ගෙන) මෙසේ කියවු. අනඳයෙනි, තථාගතයන්ගේ වූකලි මේ කරුණෙහි ලා ‘මේ මහණ මුළුයෙහි එක් මහණකුට ද බුදුන් කෙරෙහි හෝ දහම් කෙරෙහි හෝ සඟන කෙරෙහි හෝ මඟෙහි හෝ පිළිවෙතෙහි හෝ සැකයෙක් හෝ විමතියෙක් හෝ නැත. අනඳයෙනි, මේ පන්සියයක් මහණහු අතුරැ යම් පැසිම් සවු මහණෙක් වේ ද, හේ සිවු අවායෙහි නොවැටෙන සුලු සම්‍යක්ත්වනයමයෙන් නියත වූ, සම්බෝධිය (ඉතිරි මාර්ගත්‍රයය) ප්‍රතිෂ්ඨා කොට ඇත්තෙමැ යි දැනීම ඇත්තෙකු යි වදාළ සේක.

 

ඉකිබිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමැතූ සේක: ‘‘මහණෙනි, දැන් තොප අමතමි (තොපට උපදෙස් දෙමි). සංස්කාරයෝ නැසෙන සුලු හ. (එ බැවින්) නො පමායෙන් (එළැඹැ වූ සිහියෙන්) රහත් බව පිණිස කළ යුතු දෑ සපය වු (සපුරවු)’’

 

මේ භාග්‍යවතුන් වහන්සේගේ අන්තිම වචනය විය.

 

භාග්‍යවතුන් වහන්සේ පිරිනීවීම.

  1. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පලමු දහන් සම වැදුණු සේක. පළමු දැහැනෙන් නැඟී දෙවෙනි දහස් සම වැදුණු සේක. දෙවෙනි දැහැනෙන් නැඟී තෙවෙනි දහන් සමවැදුනු සේක. තෙවෙනි දැහැනෙන් නැඟී සිවුවැනි දහන් සමවන් සේක. සිවුවැනි දැහැනෙන් නැඟී ආකාසනඤ්චායතන දහන් සමවන් සේක. ආකානඤ්චායතන සමවතින් නැඟී විඤ්ඤානඤ්චායනට සමවන් සේක. විඤ්ඤානඤ්චායතන සමවතින් නැඟී ආකිඤ්චඤ්ඤායතනට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතන සමවතින් නැඟී නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවතින් නැඟී සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන් සේක.

 

එකල්හී අනඳ තෙරණුවෝ ‘අනුරුද්ධයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සේක් දැ’ යි අනුරුත් තෙරුන් විචාළහ. ‘ඇවැත් අනඳයිනි, භාග්‍යවතුන් වහන්සේ නො පිරිනිවි සේක. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන් සේකැ’ යි අනුරුත් තෙරණුවෝ වදාළහ.

 

ඉකිබිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තියෙන් නැඟී සිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවතින් නැඟී ආකිඤ්චඤ්ඤායතන සමවතට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතන සමවතින් නැඟී විඤ්ඤානඤ්චායතන සමවතට සමවන් සේක. විඤ්ඤානඤ්චායතන සමවතින් නැඟී ආකාසානඤ්චායතනයට සමවන් සේක. ආකාසානඤ්චායතන සමවතින් නැඟී සිවුවැනි දැහැනට සමවන් සේක. සිවුවෙනි දැහැනින් නැඟී තෙවෙනි දහනට සමවන් සේක. තෙවෙනි දැහැනින් නැඟී දෙවෙනි දහනට සමවන් සේක. දෙවෙනි දැහැනින් නැඟී පලමු දහනට සමවන් සේක. පලමු දැහැනින් නැඟී දෙවෙනි දහනට සමවන් සේක. දෙවෙනි දහනින් නැඟි තෙවෙනි දහනට සමවන් සේක. තෙවෙනි දහනින් නැඟී සිවුවෙනි දහනට සමවන් සේක. සිවුවෙනි දැහැනින් නැඟී එයට අනතුරු වැ පිරිනිවි සේක.

 

  1. භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, පිරිනිවෙනු හා මැ බිහිසුණු වූ ලොමුදහ ගැනුම් ඇති කරන මහද් භූමිචලනයෙක් විය. දෙව්බෙර පැළිණ. භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි පිරිනිවන හා මැ සහම්පති මහ බඹ ‘‘සබ්බේව නික්ඛිපිස්සන්ති ....සම්බුද්ධො පරිනිබ්බුතො’’ යි මේ ගය ගැයී ය.

 

එහි අදහස: ‘‘ලොවැ හැම සත්හු ම යම් සේ (ජිවිතින්ද්‍රිය පරිහාණියෙන්) සිරුර හැර දමත් ද, එසේ ම දශවැදෑරුම් ඥානබලයට පැමිණි, ලොවැ ඔබට සමපුඟුලක්හු නැති, තථාගත වූ සම්බුද්ධ වූ මේ බඳු වූ ශාස්තෘන් වහන්සේ පිරිනිවී සේක. ’’

 

භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, පිරිනිවෙනු හා මැ සක්දෙවිඳු ‘‘අනිච්චාවත සංඛාරා ...තේසං වූප සමොසුඛො’’යි මේ ගය කීය.

 

එහි අදහස: ‘‘පසයෙන් හටගත් සියලු දෑ ඒකාන්තයෙන් ඉපැදෙන වැනසුලු සුලු ය. ඔහු ඉපැද නැසෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ගෙන දෙයි.’’

භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි පිරිනිවෙනු හා මැ අනුරුත් තෙරණුවෝ ‘‘නාහු අස්සාස පස්සාසො ....විමොක්ඛෝ චේතසෝ අහූ’’ යී මේ ගාථා වදාළහ:

එහි අදහස: ‘‘තහවුරු සිතැති අටලෝ දහමින් නොසැලෙන බුදු රජුන්ගේ ආශ්වාස ප්‍රාශ්වාසයෝ නැවතුණාහ (නො පැවැත්මට පැමිණියාහ). ඒ මුනිහු තෘෂ්ණා නැතියාහු, නිවන් අරමුණු කොට කලුරිය කළාහ ඔබ (නො හැකුලුණු සිතින් මරණාන්තික) වේදනාව ඉවැසූහ. පහනක් නිවෙනු සෙයින් ඔබ සිතැ මිදීම විය.’’

භගවත් බුදු රජුන් පිරිනිවි කල්හි ඔබ පිරිනිවෙන්නා හා මැ අනඳ තෙරණුවෝ මේ ‘‘තදාසි යං භිංසනකං....සම්බුද්ධෝ පරිනිබ්බුතේ’’ යි මේ ගය වදාළහ:

එහි අදහස: ‘‘(සිල් ආදි) සියළු උතුම් කරුණින් යුතු සම්මාසම්බුදු රජුන් පිරිනිවි කල්හි, එකෙණෙහි මහත් බිහිසුණු පොළෝ සැලීමක් විය. ඒ කෙණෙහි මහත් ලොමුදහ ගැන්මෙක් විය.’’

  1. එහි නොපහ වූ රාගය ඇති යම් මහණ කෙනෙක් වූහු ද, ඔහු භගවත් බුදුරජුන් පිරිනිවි කල්හි, ‘‘භාග්‍යවතුන් වහන්සේ ඉතා යුහු වැ පිරිනිවී සේක.! සුගතයන් වහන්සේ ඉතා යුහු වැ පිරිනිවි සේක!!  ලොවේ ඇස ඉතා යුහුව අතුරුදහන් වී යැ!!!’’ යි ඇතැම් කෙනෙක් දොහොත් හුවා හඬත්, මැදින් බිඳී වැටුණවුන් සේ වැටෙත්. (පෙරැළෙන්නාහු) වැටුණ තැනට ම පෙරැළී එත්. වැටුණු තැනින් ඔබ්බට ද පෙරැළී යත්. යම් මහණ කෙනෙක් පහ වූ රාග ඇත්තාහු ද, ඔහු එළැඹ වූ සිහි ඇත්තාහු නුවණින් සලකන්නාහු ‘සංස්කාරයෝ අනිත්‍යහ. ඔවුන් නොනැසෙන බවෙක් කොයින් ලැබෙන්නේ දැ’ යි සලකන්නෝ ඉවසත්.

 

  1. ඉක්බිති අනුරුත් තෙරණුවෝ භික්ෂුන් අමතා, ‘‘අවැත්නි, හැඬුමෙන් වැඩෙක් නැත. නො ම සොවිවු. නොම වැලැපෙවු. ප්‍රිය මනාප හැම දැයෙන් ඉවත් වීම, වෙන් වීම, අන් සැටියෙකින් වීම යන මෙය කල් තබා ම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදුයේ නො වේ ද? ඇවැත්නි, යමෙක් උපන්නේ ද, වූයේ ද පසයෙන් සකස් වූයේ ද, නැසෙන සුලු ද, එය නො නැසේ ව’ යි යන්න කොයින් ලැබෙන්නේ ද? මේ කරුණ අවිද්‍යාමාන ය. ඇවැත්නි, දේවතාවෝ ද, තොප හැඬුමට දොස් කියත්’’ යී වදාළහ.

 

‘‘වහන්ස, අනුරුත් තෙරුනි, ඔබ කෙසේ වූ දේවතා කෙනෙකු මෙනෙහි කරත් දැ? යි අනඳ තෙරණුවෝ පුළුවුත්හ. ‘‘ඇවැත්, අනඳයිනි, අහ සැ පොළොවැ යි සංඥා ඇති දේවතා කෙනෙක් ඇත. ඔහු ‘භාග්‍යවතුන් වහන්සේ ඉතා වහා පිරිනිවි සේකැ යි, සුගතයන් වහන්සේ ඉතා වහා පිරිනිවි සේකයි, ලොව ඇස ඉතා වහා අතුරුදහන් වී යැ’ යි කෙහෙ මුදා වැලැපෙත්. හිසැ අත් හුවා වැලැපෙත්. මැදින් බිඳුනවුන් සේ ඇද වැටෙත්. බිමැ පෙරැළෙන්නාහු වැටී හොත් තැනට ම පෙරැළී එත්, වැටී හොත් තැනින් ඔබ්බට ද පෙරැළී යෙත්. අනඳයෙනි, පොළොවෙහි පොළවැ යි සංඥා ඇති දේවතා කෙනෙක් ඇත. ඔහු ‘භාග්‍යවතුන් වහන්සේ ඉතා වහා පිරිනිවි සේකැ යි, සුගතයන් වහන්සේ ඉතා වහා පිරිනිවි සේකයි, ලොව ඇස ඉතා වහා අතුරුදහන් වී යැ’ යි කෙහෙ මුදා වැලැපෙත්. හිසැ අත් හුවා වැලැපෙත්. මැදින් බිඳුනවුන් සේ ඇද වැටෙත්. බිමැ පෙරැළෙන්නාහු වැටී හොත් තැනට ම පෙරැළී එත්, වැටී හොත් තැනින් ඔබ්බට ද පෙරැළී යෙත්. යම් දේවතා කෙනෙක් පහ වූ රාග ඇත්තෝ ද, (අනාගාමි හෝ රහත් වූ වෝ ද) ඔහු ‘‘සංස්කාරයෝ අනිත්‍යහ, (ඔමු නො නැසෙත් යන) එය මෙහි කොයින් ලැබේ ද?’’ යි එළැඹැවූ සිහි ඇත්තාහු, නුවණින් දන්නාහු ඉවසත්.

 

  1. එ කල්හි අනුරුත් තෙරණුවෝ ද, අනඳ තෙරණුවෝ ද ඒ රැය ඉතිරි කොටස දැහැමි කතායෙන් ගෙවූහ. ඉක්බිති අනුරුත් තෙරණුවෝ අනඳ තෙරුන් අමතා, ‘‘ඇවැත්නි අනඳයෙනි, කුසිනාරාවට යන්න. කුසිනාරාවට වැද, ‘‘වාසිෂ්ඨයිනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සේක. එහි යම් ගමනකට අදහස් කරවු ද එයට (දැන් කාලය වේ යැ යි) කාලය දනිවු’’ යැ යි කුසිනාරාවාසී මල්ල රජුනට සැළ කරවු’’ යැ යි වදාළහ. ‘එසේ ය වහන්සැ’ යි ම අනඳ තෙරණුවෝ අනුරුත් තෙරුන්ට පිළිවදන් දී පෙරවරුයෙහි හැඳ පෙරෙ වැ පා සිවුරු ගෙන තමා දෙවැනි කොටැති වැ කුසිනාරාවට පිවිසියාහ.  එසමයෙහි කුසිනාරා වැසි මල්ලයෝ ඒ කටයුත්තෙන් ම සන්ථාගාරයෙහි රැස්වූවාහු වෙත්. එ කලැ අනඳ තෙරණුවෝ කුසිනාරා වැසි මල්ලයන් ගේ සන්ථාගාරය කරා එළැඹියාහ. එළැඹ ඔවුනට ‘‘වාසෙට්ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සේක. එහි යම් ගමනකට අදහස් කරවු නම් එයට කල් දනිවු ’’ යැ යි සැළ කළාහ. අනඳ තෙරුන්ගේ මේ වචන අසා, මල්ල රජුන් බිරියෝ ද, දුක් ඇත්තාහු දොම්නස් ඇත්තාහු, සිත්හි උපන් දුකින් යුක්ත වූවාහු  ‘‘ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සේක!. ඉතා වහා සුගතයන් වහන්සේ පිරිනිවි සේක.!!  ඉතා වහා ලොව ඇස අතුරුදහන් වී යැ !!!’ යි ඇතැම් කෙනෙක් කෙහෙ මුදා හඬත්, ඇතැම් කෙනෙක් දොහොත් හුවා හඬත්, ඇතැම් කෙනෙක් මැදින් බිඳණවුන් සේ ඇද වැටෙත්, වැටී හොත් තැනට පෙරැළී එත්, වැටී හොත් තැනින් ඔබ්බට පෙරැළී යෙත්.

 

  1. එයට පසු කුසිනාරා වාසී මල්ලයෝ පුරුෂයන් බණවා ‘‘සගයෙනි, එසේ වී නම් තෙපි කුසිනාරායෙහි සුවඳ දෑ හා මල් ද සියළු තූර්‍ය්‍ය භාණ්ඩ ද රැස්කරවු යැ’’ යි අණැවූහ. ඉක්බිති කුසිනාරා පුරැවැසි මල්ලයෝ සුවඳ ද මල් ද සියළු තූර්‍ය්‍ය භාණඩ ද කාසික වස්ත්‍ර යුගල පන්සියයක් ද ගෙන මල්ලයන් ගේ උපවර්තන සල් උයන යම් තැනෙක ද, භගවත් බුදුරජුන්ගේ ශ්‍රි දේහය යම් තැනෙක ද, එතැනට එළැඹියාහ. එළැඹැ භගවත් බුදු රජුන්ගේ සිරුරට නැටුමින් ගීයෙන් වැයුමෙන් මලින් සුවඳින්, සත්කාර කරන්නාහු, ගෞරව කරන්නාහු , බුහුමන් කරන්නාහු, පූජා කරන්නාහු මහඟු වතින් වියන් බඳනාහු, මඬුලුමල් පිළියෙල කරන්නාහු, එක් දවසක් ගෙවූහ. ඉක්බිති කුසිනාරා වැසි මල්ලයනට ‘අද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි දේහය ආදාහන කරන්නට ඉතා නො කල් ය, සෙට දවසැ අපි භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රි දේහය ආදාහනය කරන්නෙමු’ යි මේ සිත විය. එයට පසු කුසිනාරා වැසි මල්ලයෝ භගවත් බුදුරජුන්  සිරි සිරුරට නැටුම් ගැයුම් මල් සුවඳ යන මෙයින් සත්කාර ගරුකාර කරන්නාහු, බුහුමන් කරන්නාහු, පුජා කරන්නාහු, මහඟු වතින් වියන් බඳනාහු, මඬුලුමල් පිළියෙල කරන්නාහු, දෙවෙනි දවසද ගෙවූ හ. තෙවෙනි දවස ද ගෙවූහ, සතරවැනි දවස ද ගෙවූහ, පස්වෙනි දවසද ගෙවූහ, හයවෙනි දවස ද ගෙවූහ, ඉක්බිති සත්වෙනි දවසෙහි කුසිනාරා වැසි මල්ලයනට ‘‘අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරි සිරුර නැටුම් ගී වැයුම් මල් සුවඳ යන මෙයින් සත්කාර ගරුකාර මානන පුජන කරන්නමෝ, නුවර දකුණු දෙසින් දකුණු දිගට වැඩම කරවා, (ඇතුළු නුවරට නො පිවිස්වා) නුවර බැහැරින් ම බැහැරට පමුණුවා, නුවරට දකුණු දිග්හි දී ආදාහනය කරන්නෙමු’’ යි මේ සිත විය.

 

  1. එ සමයෙහි, පාමොක් මල්ල රජුහු අට දෙනෙක් ඉස් සෝදා නා අළුත් වස්ත්‍ර හැඳගත්තාහු: ‘‘අපි භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රි දේහය ඔසොවා ගෙන යන්නම්හ’ යි තැත් කරන්නාහු දු එය ඔසොවන්නට නොහැකි වෙත්. එවිට කුසිනාරා වැසි මල්ලයෝ ‘වහන්ස, අනුරුද්ධයෙනි, මේ පාමොක් මල්ලයො අට දෙන හිස් සෝදා නා අළුත් වත් හැඳ ‘‘අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රි දේහය ඔසොවන්නෙමු’ යි තැත් කරන්නාහු එය ඔසොවන්නට යම් හෙයෙකින් නො හැකි වෙත් ද, එයට හේතුව කවර යැ? එයට ප්‍රත්‍යය කවර යැ?’’ යි අනුරුත් තෙරුන් විචාළහ. ‘‘වාසිෂ්ඨයෙනි, තොප අදහස අන් සැටියෙක. දෙවියන් අදහස අන් සැටියෙකැ’’ යි අනුරුත් තෙරණුවෝ වදාළහ. ‘‘වහන්ස, දෙවියන් අදහස කෙසේ දැ’’ යි මල්ලයෝ විචාළහ. වාසිෂ්ඨයෙනි, ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරි සිරුර නැටුම් ගී වැයුම් මල් සුවඳ යන මෙයින් සත්කාර ගුරුකාර බහුමාන පුජා කෙරෙමින් නුවරැ දකුණු දෙසින් දකුණු දිගට වැඩම කරවා නුවර බැහැරින් ම බැහැරට පමුණුවා නුවරට දකුණු දිග්හි දී ආදාහනය කරන්නමු’ යි තොප අදහස ය. ‘‘අපි භාග්‍යවතුන් වහන්සේගේ සිරි සිරුර දෙව් නැටුමින් දෙව් ගැයුමින්, දෙව් මලින් දෙව් සුවඳින් සත්කාර ගුරුකාර බහුමාන පූජනා කෙරෙමින් නුවර උතුරින් උතුරු දිගට වැඩම කරවා, උතුරු දොරින් නුවරට පිවිස්වා, නුවරට මැදින් නුවර මැදට පමුණුවා, නැගෙන හිර දිගැ දොරින් පිටතට වැඩම කරවා නුවරට පෙර දිගැ මල්ලයන් ගේ මුකුට බන්ධන නම් යම් සෑයෙක් ඇද්ද එහි ආදාහනය කරන්නම්හ’ යනු දේවතාවන්ගේ අදහස යැ’’ යි අනුරුත් තෙරණුවෝ වදාළාහ. ‘‘වහන්ස, දේවතාවන්ගේ අදහස යම්සේ ද එසේ වේ වා’’ යි මල්ලයෝ කීය.

 

  1. එ සමයෙහි, වනාහි කුසිනාරා නුවර ගෘහසන්ධි ද වැසිකිලි කාණු ද කැලි කසල දමන තැන්  ද දක්වා ම දනක් පමණ බහල කොට මදාරා මලින් අතුරන ලද්දේ විය. ඉක්බිති දෙවියෝ ද කුසිනාරා පුරැ මල්ල රජදරුවෝ ද භගවත් බුදු රජුන්ගේ ශ්‍රි දේහය දිව්‍ය වූ ද මානුෂක වූ ද නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් මලින් සුවඳින් සත්කාර කරන්නාහු, ගෞරව කරන්නාහු, බුහුමන් කරන්නාහු, පුදන්නාහු, නුවරැ උතුරින් උතුරු දිගට වැඩම කරවා, උතුරු වහසල් දොරින් පිටතට වැඩම කරවා, නුවරට පෙර දිගැ වූ මල්ල රජුන්ගේ මුකුට බන්ධන නම් යම් සෑයෙක් (මංගල ශාලාවෙක්) වී ද එහි තැන්පත් කළාහ.

 

  1. ඉක්බිති කුසිනාරා පුරැ මල්ල රජුහු ‘‘අනඳ තෙරුන් වහන්ස, කෙසේ අපි තථාගතයන් වහන්සේගේ සිරි සිරුරෙහි පිළිපදිමු දැ?’’යි අනඳ තෙරුන් විචාළහ. ‘‘වාසිෂ්ඨයෙනි, සක්විති රජුගේ සිරුරෙහි යම්සේ පිළිපදිත් ද, තථාගතයන් වහන්සේගේ සිරි සිරුරෙහි ද එසේ ම පිළිපැදිය යුතු ’’ යැ යි අනඳ තෙරණුවෝ වදාළාහ. ‘අනඳ තෙරුන් වහන්ස, සත්විති රජුගේ සිරුරෙහි කෙසේ පිළිපදිත් දැ?’ යි මල්ල රජුහු විචාළාහ. ‘‘වාසිෂ්ඨයෙනි, සක්විත්තහු ගේ සිරුර අළුත් වතින් වෙළත්, අළුත් වතින් වෙළා, මොනවට පෑදූ කපුපුළුනින් වෙළත්, නඟා පෑදූ කපුපුළුනින් වෙළා (යළි) අළුත් වතින් වෙළත්, මේ නයින් යුගල පන් සියෙකින් සක්විති රජුගේ සිරුර වෙළා, රන්මුවා තෙල් දෙනෙක බහා අන් රන්මුවා දෙණෙකින් වසා, සියලු වගයේ සුවඳ දරින් දර සෑයක් තනා, සක්විති රජුගේ සිරුර දවත්. සිවුමං හන්දියෙක සක්විති රජුට (ඔහු සිරුරැ ඉතිරි වූ අලු ඈ නිදන් කොට) ස්ථූපයක් නංවත්. වාසිෂ්ඨයෙනි, සක්විති රජුගේ සිරුරෙහි මෙසේ පිළිපදිත්. වාසිෂ්ඨයෙනි, සක්විති රජුගේ සිරුරෙහි කෙසේ පිළිපදිත් ද, එසේ ම තථාගතයන් වහන්සේගේ ශ්‍රි දේහයෙහි ද පිළිපැද්ද යුතු. සිවුමං හන්දියෙක තථාගතයන් වහන්සේට (ඔබ ශාරීරික ධාතුන් නිදන් කොට ස්තූපයක් කළ මනා ය.  එහි යම් කෙනෙක් මල් හෝ සුව ඳ හෝ .............නඟන්නාහු (පුදන්නාහු ) හෝ වෙත් ද, ආදරයෙන් වඳින්නාහු හෝ වෙත් ද, සිත පහදවන්නාහු හෝ වෙත් ද, එය ඔවුනට බොහෝ කල් වැඩ පිණිස වන්නේ යැ’’ යි අනඳ තෙරණුවෝ වදාළහ.

 

ඉක්බිති කුසිනාරා පුර වැසි මල්ල රජුහු පුරුෂයන් බණවා ‘එසේ නම් සගයිනි, මල්ල රටැ ඇති නඟා පාදන ලද කපුපුළුන් එක් තැන් කරවු’ යි ඇණවූහ. එයට පසු කුසිනාරා පුරැ වැසි මල්ල රජුහු භගවත් බුදු රජුන්ගේ සිරි සිරුර අළුත් වතින් වෙළූහ. අළුත් වතින් වෙලා නඟා පාදන ලද කපු පුළුවෙන් වෙළූහ. මේ නයින් යුගල පන්සියෙකින් භගවත් බුදුරජුන් සිරි සිරුර වෙළා, රන්මුවා තෙල් දෙනකැ බහා අන් රන් මුවා දෙණෙකින් වසා සියලු වගයේ සුවඳ දරින් චිතකයක් කොට, භගවත් බුදුරජුන්ගේ ශ්‍රි දේහය එයට නැඟූහ.

 

මහකසුප් තෙරුන් වැඩම කිරීම.

  1. එ සමයෙහි, වූ කලි  මහසුප් තෙරණුවෝ පාවා නුවරින් කුසිනාරාව බලා පන්සියයක් පමණ වූ මහ බික් සඟන කැටුවැ දික් මඟට පිළිපන්නාහු වෙත්. එ කලැ මහසුප් තෙරණුවෝ මහ මඟින් ඉවත් වැ, එක්තරා රුකක් මුලැ වැඩ හුන්හ. එ සමයෙහි එක්තරා ආජීවකයෙක් කුසිනාරා නුවරින් මදාරා මලක් ගෙන පාවා නුවර බලා අදන් මඟට පිළිපන්නේ වෙයි. මහසුප් මහතෙරණුවෝ දුරැ ම එන ඒ ආජීවකයා දුටුහ. දැක ‘ඇවැත්නි, අප ශාස්තෘන් වහන්සේ දනිවු දැ’’ යි විචාළහ. ‘‘එසේ ය, ඇවැත්නි, දනිමි. අදට මහණ ගොයුමාණෝ පිරිනිවි සත් දවසක් ඇත්තෝ යැ. මා විසින් ඒ තැනින් මේ මදාරා මල ගන්නා ලද යැ’’ යි ආජිකවක කී ය. එහි යම් අවීතරාග මහණෙ කෙනෙක් වූහු ද, ඔහු ‘‘ඉතා වහා භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි සේක. ඉතා වහා සුගතයන් වහන්සේ පිරිනිවි සේක. ඉතා වහා ලොව ඇස අතුරුදහස් වී’’යැ යි ඇතැම් කෙනෙක් දොහොත් හුවා හඬත්, ඇතැම් කෙනෙක් මැදින් බුන් රුකක් සෙයින් ඇද වැටෙත්, හොත් තැනට පෙරැළි එත් හොත් තැනින් ඔබ්බට පෙරැළී යෙත්. යම් වීතරාග මහණ කෙනෙක් වූහු ද, ඔහු ‘සංස්කාරයෝ අනිත්‍යහ. ඔහු නො නැසෙත් යන යමෙක් ඇද්ද, එය මෙහි කොයින් ලැබේ ද!’’ යි එළැඹැවූ සිහි ඇත්තාහු, නුවණින් දන්නාහු ඉවසා සිටිත්.

 

  1. එ සමයෙහි සුභද්‍ර නම් වූ මහළු කලැ පැවිදි වූයෙක් ඒ පිරිසැ හුන්නේ වෙයි. ඒ විටැ සුභද්‍ර මහළු පැවිදි තැන ඒ භික්ෂුනට ‘‘ඇවැත්නි, කම් නැත. නහමක් සොවිවු. නහමක් වැලපෙව්, අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මොනවට මිදුණම්හ. ‘මෙය තොපට කැප වෙයි, මෙය තොපට නො කැප වේ’ යැ යි අපි ඔහුගෙන් උපද්‍රතයෝ වමු. දැන් වනාහි යමක් අපි කැමැති වන්නමෝ ද, එය කරන්නමු. යමක් නොකැමැති වන්නමෝ ද, එය නොකරන්නමු. ’’ යි කීය. එ කලැ මහසුප් තෙරණුවෝ භික්සුන් අමතා ‘‘ඇවැත්නි, කම් නැත නහමක් සොවිවු, නහමක් වැලපෙවු, ඇවැත්නි, ප්‍රිය මනාප හැම දැයින් ම ඉවත්වීම, වෙන් වීම, අන් සැටියෙකින් වීම යන යමක් ඇද්ද, මෙය කල්තබා ම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ නො වේ ද? යමෙක් උපදනේ ද, වූයේ ද, සැකැසුණේ ද, පලුදු වන සුලු ද, එසේ වූ තථාගතයන් වහන්සේගේ සිරුර ද පලුදු නො වේව’ යි යන ඒ කරුණ කොයින් මෙහි ලැබෙන්නේ ද? මේ කරුණු විද්‍යාමාන නො වේ යැ’’ යි වදාළහ.

 

  1. එසමයෙහි, පාමොක් මල්ල රජුහු සිවු දෙනෙක් හිස් සෝදා නා නවමු වත් හැඳ ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි අවුලු වන්නම්හ’ යි (යත්න කරන්නාහු දු) ගිනි අවුලුවන්නට නොහැකි වෙත්. එ විට කුසිනාරාවාසී මල්ල රජුහු ‘වහන්ස, අනුරුත් තෙරුනි, මේ පාමොක් මල්ල රජුහු සතර දෙනා හිස් සෝදා නා නවමු වත් හැඳ ‘අපි භාග්‍යවතුන් වහන්සේගේ චිතකයට ගිනි අවුලුම්හ’ යත්න කරන්නාහු දු, යම් හෙයෙකින් ගිනි අවුලුවන්නට නොහැකි වෙත් ද, ඒ හේතු කවරේ යැ? ඒ ප්‍රත්‍ය කවරේ යැ? ’’ යි අනුරුත් තෙරුන් විචාළහ. වාසිෂ්ඨයෙනි, දේවතාවන්ගේ අදහස අන් පරිද්දෙකිනැ’’ යි අනුරුත් තෙරණුවෝ වදාළහ. ‘‘වහන්ස, දේවතාවන්ගේ අදහස කෙසේ වේ දැ ?’’ යි මල්ල රජුහු පුළුවුත්හ.  ‘‘වාසිෂ්ඨයෙනි, මේ මහසුප් තෙරණුවෝ පාවා නුවරින් නික්මැ කුසිනාරාව බලා පන්සියයක් පමණ වූ භික්සඟන සමග අදන් මඟ පිළිපන්හ. ‘මහසුප් මහ තෙරුණුවන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා නො වඳනා තාක් භාග්‍යවතුන් වහන්සේගේ චිතකය ගිනි නො ගනීවා’ යි යනු දේවතාවන්ගේ අදහස වේ යැ’’ යි අනුරුත් තෙරණුවෝ වදාළාහ. ‘‘වහන්ස, දේවතාවන්ගේ අදහස යම්සේ ද, එසේ වේ වා’’ යි මල්ල රජුහු කීහ.

 

  1. ඉක්බිත්තෙන් මහසුප් තෙරණුවෝ කුසිනාරා නුවරැ මුකුට බන්ධන නම් මල්ලයන්ගේ චෛත්‍ය ය් තැනෙක ද, භාග්‍යවතුන් වහන්සේගේ චිතකය යම් තැනෙක ද එතැනට එළැඹියාහ. එළැඹ සිවුර එකස් කොට දොහොත් නඟා තුන් වටක් චිතකය පැදකුණු කොට හිස් නමා භගවත් බුදු රජුන්ගේ සිරි පා වැන්දාහ. ඒ පන්සියයක් භික්ෂූහු ද සිව්රු එකස් කොට දොහොත් නඟා තුන් වටක් චිතකය පැදකුනු කොට හිස් නමා භගවත් බුදු රජුන් ගේ සිරිපා වැන්දාහ.මහසුප් තෙරුන් විසින් ද ඒ පන්සියයක් භික්ෂුන් විසින් ද භාග්‍යවතුන් වහන්සේගේ සිරි පා වඳනා ලද කල්හී, භගවත් බුදුරජුන්ගේ ගේ චිතකය තෙමේ ම ගිනි ගත.

 

  1. දැවෙන්නා වු, භගවත් බුදුරජුන් සිරි සරුර සිවියැ යි හෝ සමැ යි හෝ මසැ යි හෝ නහරැ යි හෝ සඳමිදුලුයැ යි යමෙක් වීද එහි අළු නො ම පැණින, දැලි ද නො ම පැණින. ශාරීරික ධාතූහු ම ඉතිරි වූහ. යම් සේ දැවෙන ගිතෙලැ හෝ තල තෙලැ අළුයෙක් නො ම පැනේ ද, දැලියෙක් නො ම පැනේ ද, එසේ ම දැවෙන, භගවත් බුදුරජුන් සිරි සිරුර සිවි යැ යි හෝ සමැ යි මසැ යි නහරැ යි හෝ සඳමිදුලු යැ යමෙක් වී ද, එහි අළු ද නො පැණින, ශාරීරික ධාතුහුම ඉතිරි වූහ. ඒ පන්සියයක් වස්ත්‍ර යුගලයන් අතුරෙන් ද, යම් වස්ත්‍රයෙක්හැමට යැටින් වී ද, යම් වස්ත්‍රයෙක් හැමට පිටින් වී ද, ඒ වස්ත්‍ර දෙක ම නො දැවිණ. භගවත් බුදු රජුන් සිරි සිරුර දැවුණු කල්හි අහසින් දිය දහර පහළ වැ චිතකය නිවී ය. වටා සිටි සල් රුක් හි අතු පතරින් ද ජලය මතු වී චිතකය නිවී ය. කුසිනාරවාසි මල්ල රජුහු ද හැම වර්ගයේ සුවඳ කැවූ සුඳ දියෙන් භගවත් බුදු රජුන්ගේ චිතකය නිවූහ.

 

ඉක්බිති කුසිනාරා වැසි මල්ල රජදරුවෝ සන්ථාගාරයේ අඩයැටි මැදිරියක් කොට දුනු පවුරක් වටා ලවා භගවත් බුදු රජුන්ගේ ශාරීරික ධාතුන් එහි තුළට වැඩම කරවා නැටුමෙන් ගීයෙන් වැයුමෙන් මලින් සුවඳින් පුරා සත් දිනක් ගරු කළහ, බුහුමන් කළහ, පිදූහ.

 

ශාරීරික ධාතුන් බෙදීම.

 

  1. වේදේහි පුත්‍ර මගධාධිපති අජාසත් රජ ‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවී සේක් ලැ’ යි ඇසී ය. එ කලැ වේදේහි පුත්‍ර මගධාධිපති අජාසත් රජු කුසිනාරා වැසි මල්ල රජදරුවනට ‘‘භාග්‍යවතුන් වහන්සේ ද ක්ෂත්‍රිය වූ සේක. මම ද ක්ෂ්ත්‍රියයෙකිමි. මම් ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් ගෙන් කොටසක් ලබන්නට සුදුස්සෙමි. මම් භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් පිණිස ස්තූපයක් ද පුද උළෙලක් ද කරන්නෙමි’’ යි කියා දූතයෙකි යැවී ය.

 

විසල් පුර වැසි ලිච්ඡවී රජදරුවෝ ‘‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහිදී පිරිනිවි සේක් ලැ’ යි ඇසූහ. එ කලැ විසල් පුරැ වැසි ලිච්ඡවී රජුහු කුසිනාරා වැසි මල්ලයනට ‘‘භාග්‍යවතුන් වහන්සේ ද ක්ෂත්‍රිය යෝ ය. අපි දු  ක්ෂ්ත්‍රියයම්හ. අපිදු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් ගෙන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි  භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් පිණිස ස්තූපයක් ද කරන්නෙමු.  පුද උළෙලක් ද කරන්නෙමු’’ යි කියා දූතයෙකි යැවී ය.

 

කිඹුල්වත් පුරැ වැසි ශාක්‍ය රජදරුවෝ ‘‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහිදී පිරිනිවි සේක් ලැ’ යි ඇසූහ. එ කලැ ඉක්බිති කිමුල්වත් වැසි ශාක්‍යයයෝ කුසිනාරා හි  මල්ලයනට ‘‘භාග්‍යවතුන් වහන්සේ අපේ ශ්‍රේෂ්ඨ නෑයෝ ය. අපිදු ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් ගෙන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරි ධාතුන් පිණිස ස්තූපයක් ද කරන්නෙමු.  පුද උළෙලක් ද කරන්නෙමු’’ යි කියා දූතයෙකි යැවී ය.

 

අල්ලක්ප්ප රට වැසි බුලි රජුහු ‘‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහිදී පිරිනිවි සේක් ලැ’ යි ඇසූහ. ඉක්බිති අල්ප කප්ප රට වැසි බුලි රජදරුවෝ කුසිනාරා වැසි මල්ලයනට ‘‘භාග්‍යවතුන් වහන්සේ ද ක්ෂත්‍රියයෝ ය. අපිදු ක්ෂත්‍රියම්හ.  අපිදු ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් ගෙන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරි ධාතුන් පිණිස ස්තූපයක් ද කරන්නෙමු.  පුද උළෙලක් ද කරන්නෙමු’’ යි කියා දූතයෙකි යැවී ය.

 

රඹගම් නුවරැ වැසි කෝලිය රජුහු ‘‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහිදී පිරිනිවි සේක් ලැ’ යි ඇසූහ. ඉක්බිති රඹගම් වැසි කෝලිය රජදරුවෝ ‘‘භාග්‍යවතුන් වහන්සේ ද ක්ෂත්‍රිය වූ සේක. අපිදු ක්ෂත්‍රියම්හ.  අපිදු ද භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් ගෙන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරි ධාතුන් පිණිස ස්තූපයක් ද කරන්නෙමු.  පුද උළෙලක් ද කරන්නෙමු’’ යි කියා දූතයෙකි යැවී ය.

 

වේඨදීප නගරාධිපති බ්‍රාහ්මණ තෙමේ ‘‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහිදී පිරිනිවි සේක් ලැ’ යි ඇසී ය. ඉක්බිති වේඨදීපක බමුණු තෙමේ ‘‘භාග්‍යවතුන් වහන්සේ වූ කලි ක්ෂ්ත්‍රියයෙක. මම් බමුණෙක්මි. මම් දු භාග්‍යවතුන් වහන්සේ ගේ ශාරීර ධාතූන් කොටසක් ලබන්නට සුදුස්සෙමි. මම් දු භාග්‍යවතුන් වහන්සේ ගේ ධාතුනට ස්තූපයක් කරන්නෙමි, පුද උළෙල ද කරන්නෙමි ’’ කියා කුසිනාරා පුරුවැසි මල්ලයනට දූතයකු යැවී ය.

 

පාවා නුවරැ වැසි මල්ලරජහු ‘‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහිදී පිරිනිවි සේක් ලැ’ යි ඇසී ය. ඉක්බිති පාවා නුවර වැසි මල්ලයෝ ‘‘භාග්‍යවතුන් වහන්සේ ද ක්ෂ්ත්‍රිය වූ සේක. අපිදු ක්ෂ්ත්‍රියයම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේ ගේ ශාරීර ධාතූන් කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේ ගේ ධාතුනට ස්තූපයක් කරන්නෙමු, පුද උළෙල ද කරන්නෙමු ’’ කියා කුසිනාරා පුරුවැසි මල්ලයනට දූතයකු යැවී ය.

 

  1. මෙසේ කී කල්හි කුසිනාරා වැසි මල්ල රජුහු ඒ රාජ සමූහයනට, ඒ රාජගණයනට ‘‘භාග්‍යවතුන් වහන්සේ අප ගම්කෙතෙහි පිරිනිවි සේක. අපි භාග්‍යවතුන් වහන්සේ ගේ ශාරීර ධාතු කොටස් නො දෙන්නමු’’ යි කීහ.

 

මෙසේ කී කල්හි ද්‍රොණ බ්‍රාහ්මණ තෙමේ ඒ රාජසමූහයන් ඒ රාජගණයන් බණවා මේ වදන් පැවසී ය:

 

‘‘පින්වත්නි, මගේ මේ එක් වචනය අසත් වා.  අප බුදුරජුහු ක්ෂාන්තිවාද වූහ. උතුම් පුඟුලක්හුගේ සිරුර කොටස් නිමිති කොට අවියෙන් ඇන කොටා ගැන්මෙක් වන්නේ නම්, මෙය නො මැනවි. භවත්නි, අපි හැම දෙනා ම එක්සිත් වැ එකමුතු වැ, සතුටු වෙමින් ධාතූන් අට කොටසක් කරමු. ඒ ඒ දෙසැ ස්තූපයෝ පැතිර පවත්නෝ වෙත් වා. (ඒ හැම දෙසැ) පසැසියාණන් වහන්සේට පැහැදුණු බොහෝ ජනයෝ වෙත් ’’ යනු යි.

 

  1. (බමුණු මෙසේ කී කල්හි)  ‘‘බමුණාණනි, එසේ වී නම් ඔබ ම භාග්‍යවතුන් වහන්සේ ගේ ශාරීර ධාතූන් අට කොටසකට සම සේ මනා කොට බෙදන්නැ’’ යි ඒ රජදරුවෝ කීහු. ‘‘එසේ ය, පින්වත්නි’ යි කියා ම ද්‍රොණ බ්‍රාහ්මණ තෙම ඒ රජමුළුවනට ඒ ගණයනට පිළිවදන් දී, භගවත් බුදුරජුන් ගේ ශාරීරික ධාතූන් සම සේ අට කොටසකට මොනොවට බෙදා ඒ රාජ සමූහයන් ගණයන් බණවා, ‘‘භවත්නි, මට මේ (ධාතු බෙදූ) නැළිය දෙත්වා. මම් ද මේ නැළියට ස්තූපයක් කරන්නෙමි, පුද උළෙලක් ද කරන්නෙමි’’ යි මේ බස් පැවසී ය. ඔහු ද්‍රොණ බ්‍රාහ්මණයාට නැළිය දුන්නාහු ම ය.

 

පිප්ලී වන නගර වාසී මෝරීය රජ දරුවෝ ‘‘භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාහි දී පිරිනිවි සේක් ලැ’’ යි ඇසූහ. ඉක්බිති පිප්පලිවන නුවරැ වැසි මෝරිය රජුහු කුසිනාරා වැසි මල්ල රජුනට ‘‘භාග්‍යවතුන් වහන්සේ ද ක්ෂ්ත්‍රිය වූ සේක. අපිදු ක්ෂ්ත්‍රියයම් හ. අපිදු භාග්‍යවතුන් වහන්සේ ගේ ශාරීරික ධාතු කොටසක් ලබන්නට සුදුස්සම්හ. අපි දු භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතූනට ස්තූපයක් කරන්නමු, පුද උළෙලක් ද කරන්නෙමු ’’ යි කියා දූතයෙකු යැවූහ. ‘‘භාග්‍යවතුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටසක් (ඉතිරි වැ) නැත. භාග්‍යවතුන් වහන්සේ ගේ සියලු ශාරීර ධාතූහු බෙදා දෙන ලදහ. මෙයින් අඟුරු ගෙනයවු’’ යැ යි මල්ල රජුහු කියා යැවූහ. ඒ පිප්පලීවනික රජුහු ද (ආදාහනස්ථානයෙන්) අඟුරු ගෙන ගියහ.

 

  1. ඉක්බිත්තෙන් වෛදේහී පුත්‍ර වූ මගධාධිපති අජාසත් රජ රජගහ පුරයෙහි භගවත් බුදුරජුන් ගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළේ ය. විසල් පුරැ වැසි ලිච්ඡවීහු ද භගවත් බුදුරජුන්ගේ ශාරීරික ධාතූනට විසල් පුරැ ස්තූපයක් ද පුද උළෙලක් ද කළේ ය. කිඹුල්වත් වැසි ශාක්‍යෙයා් ද භගවත් බුදු රජුන්ගේ  ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කිඹුල්වත් පුරැ කළාහ. අල්ලකප්ප රටැ බුලි රජුහු ද අල්ලකප්ප නුවරැ භගවත් බුදු රජුන්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. රඹගම් වැසි කෝලිය රජුහු ද රඹගම් නුවරැ භගවත් බුදු රජුන් ගේ ධාතූනට ස්තූපයක් ද, පුද උළෙලක් ද කළාහ. වේඨදීප නුවරැ වැසි බමුණු වේඨදීපයෙහි භගවත් බුදු රජුන් ගේ ශාරීරික ධාතුනට ස්තූපයක් ද, පුද උළෙලක් ද කළාහ. පාවා නුවරැ වැසි මල්ලයෝ ද පාවා නුවරැ භගවත් බුදු රජුන් ගේ ධාතූනට ස්තූපයක් ද, පුද උළෙලක් ද කළාහ. කුසිනාරා පුර වැසි මල්ල රජුහු ද භගවත් බුදු රජුන්ගේ ශාරීරික ධාතූනට ස්තූපයක් ද, පුද උළෙලක් ද කළාහ. ද්‍රොණ බමුණු ද (ධාතූන් මිනූ) නැළියට ස්තූපයක් ද පුද උළෙලක් ද කළාහ. මෙසේ ශාරීරික ධාතූන් තැන්පත් කළ ස්තූප අටෙක නැළිය තැන්පත් කළ නව වැනි ස්තූපය දස වැනි අංගාර ස්තූපයැ යි සියලු ස්තූප දශයෙක. මෙසේ මේ දස ස්තූප පළමුවෙන් වී ය.

 

  1. පසැස් ඇති බුදුරජුන්ගේ සිරුරැ ධාතූහු ද්‍රොණ අටෙකි. එයින් ද්‍රොණ් සතක් ධාතූන් දඹදිවැ පුදත්, පුරුෂ ශේෂ්ඨයන් වහන්සේගේ එක් ද්‍රෝණයක් ධාතූන් රඹග මැ නා රජුහු පුදති. එක් දළදායෙක් වූ කලි දෙවියන් විසින් පුදනු ලැබේ. එක් දළදායෙක් ගන්ධාර පුරයෙහි යලි තව ද දළදායෙක් කලිඟු රජුගේ රටෙහි පුදනු ලැබේ. තව එක් දළදාවක් (නා ලොවැ) නා රජහු පුදති. ඒ සතර දළදා වහන්සේ ගේ තෙදින් මේ මුළු පොළො ව ශේෂ්ඨ පුජොත්සවයෙන්, සැරසුණේ ය. මෙසේ පසැසියාණන්ගේ සිරුරුදා සෙසු ජනයා විසින මොනවට සත්කාර කරනු ලැබේ. දෙවියන් විසින් ද මනා ව සක්තෘත  විය, දෙවිඳු විසින් ද නියඳුන් විසින් ද නිරිඳුන් විසින් ද එසේ ම උතුම් මිනිසුන් විසින් පුදන ලද ඒ බුදු රජ තෙම ඒකාන්තයෙන් කල්ප සිය ගණනෙකුදු දුර්ලභ ය. දොහොත් මුදුනැ තබාගත්තෝ වැ ඔබ නමදිවු.

 

සම සාළිස් දන්තධාතූන් ද කේශ ධාතුන් ද ලෝමධාතුන් ද එක් ඒ පාසා සක්වළ පිළිවෙලින් දෙවියෝ ගෙන ගියාහ.

 

තෙවෙනි මහ පිරිනිවන් සුත නිමියේ යි.