මහා සුදස්සන සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

දික්සඟිය

(ද්විතීය භාගය)

මහාවර්‍ගය

______

ඒ භාග්‍යවත් අර්‍හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.

_____

 

4

මහාසුදර්‍ශන සුත්‍රය

 

    1.මා විසින් මෙසේ අසන ලදී: 

 

එක් කලෙක පිරිනිවන් සමයෙහි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර සමීපයෙහි වූ මල්ල රජුන් ගේ උපවර්තන නම් සල් වෙනෙහි යමා සල්රුක් අතරැ වැඩ වසන සේක.

 

         එ කල්හි අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුණහ. එළඹැ ඔබ සාදර වැ වැඳ එක් පසෙක උන්හ. එක් පසෙක හුන්නාවූ ම අනඳ තෙරණුවෝ, “වහන්ස,භාග්‍යවතුන් වහන්සේ ගල් සෙල් ඈයෙන් විසම වූ ශාඛා නගරයක් වූ මේ කුඩා නුවර දී නො පිරිනිවෙන සේක් වා. වහන්ස, චම්පා රාජගෘහ ශ්‍රාවස්ති සාකේත කෞශාම්බි වාරාණසී යන අන් මහ නුවරවල් ඇත. මේ නුව‍රෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක් වා. මේ නුවරවල තථාගතයන් වහන්සේ කෙරෙහි වෙසෙසින්පැහැදුණු බොහෝ කැත් මහසල්හු, බමුණු මහසල්හු ගැහැවි මහසල්හු ඇත. ඔහු තථාගතයන් වහන්සේ ගේ සිරුරට පුජා කරන්නාහ”යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළාහ.

 

    2. අනඳයෙනි, කුඩා නුවරෙකැ යි ගල් සෙල් ඈයින් විසම නුවරෙකැ යි අතු නුවරෙකැ යි මෙසේ නොකිය වු ”(යැ යි වදාරා මතු දැක්වෙන ඉකුත් වත් වදාළ සේක:)

 

කුශාවතී රාජධානිය

 

        "පෙරැ වූවක් කියමි. අනඳයෙනි, (පෙරැ) හිසැ අබිසෙස් ලද, සයුර හිම් කොට සතර මහදිවයිනට අදිපති වූ, පසමිතුරන් දිනු, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමන්වාගත වූ මහසුදසුන් නම් කැත් රජෙක් විය. අනඳයෙනි, මේ කුසිනාරාව මහසුදසුන්රජු ගේ කුශාවතී නම් රජදහන විය. අනඳයෙනි, ඒ කුශාවතී රජදහන පෙරැ දෙසින් ද පැසිම් දෙසින් ද දිගිනි දොළොස් යොදුන් විය, උතුරු දෙසින් ද දකුණු දෙසින් ද පුලුලින් සත් යොදුන් විය. අනඳයෙනි, කුශාවතී රජදහන සමෘද්ධ ද හැම සැපතින් පිරුණේ ද, බොහෝ ජනයන් ඇත්තේ, මිනිසුන්ගෙන් ගැවැසුණේ ද, සුභික්ෂ ද විය.

 

    අනඳයෙනි, දෙවියන්ගේ ආලකමන්දා නම් රාජධානිය යම්සේ සමෘද්ධත් හැම සැපතින් පිරුණේත් බොහෝ ජනයන් ඇත්තේත් යකුන් ගෙන් ගැවැසුණේත් සුභික්ෂත් වේ ද, එසේ ම අනඳයෙනි, කුශාවතී රාජධානිය සමෘද්ධ ද, සියලු සැපතින් පිරුණේ ද, බොහෝ ජනයන් ඇත්තේ ද, මිනිසුන් ගෙන් ගැවැසුණේ ද, සුභික්ෂ ද විය. අනඳයෙනි, කුශාවතී රාජධානිය රෑ ද දහවල් ද ඇත්හඬින් ද අස් හඬින් ද රියහඬින් ද ‍බෙරහඬින් ද මිහිඟුබෙර හඬින් ද වෙණ හඬින් ද ගී හඬින් ද (යහළුව යහළු වැ යි කැඳවන) පිය බස් හඬින් ද කස්තලු ආදියේ හඬින් ද ‘වළඳවු, කවු, බොවු, යන දස වැනි හඬින් දැ යි දස හඬින් නොසිස් විය.

 

    3. අනඳයෙනි, කුශාවතී රාජධානිය සත් පවුරෙකින් පිරිකෙවුණේ විය. ඔවුන් අතුරෙන් එක් පවුරෙක් රන්මුවා විය. එකෙක් රිදීමුවා විය, එකෙක් වෙරළුමිණිමුවා විය, එකෙක් පළිඟුමුවා විය, එකෙක් රත්මිණිමුවා විය, එකෙක් මැසිරිගල්මුවා විය, එකෙක් සියල්රුවන්මුවා විය. අනඳයෙනි, කුශාවතී රාජධානියෙහි සතර වර්ණයන් සම්බන්ධ දොරවල් වූහ. එක් දොරෙක් රන්මුවා විය, එකෙක් රිදීමුවා විය, එකෙක් වෙරළුමිණිමුවා විය, එකෙක් පළිඟුමුවා විය. එක් එක් දොරෙහි පුරුෂප්‍රමාණ තුනක් (පසොළොස් රියනක්) වට වූ, පුරුෂ ප්‍රමාණ තුනක් (පසළොස් රියනක්) යට සිටුවන ලද, උසින් දොළොස් පුරුෂ ප්‍රමාණ (සැට රියන්) වූ සතෙක් සතෙක් ඉන්ද්‍රඛීලයෝ බිම කැන සිටුවන ලද්දාහු වූහ.

 

        අනඳයෙනි, කුශාවතී රාජධානිය තල්රුක් සත් පෙලෙකින් පරික්ෂිප්ත විය. එක් තල්රුක් පෙලෙක් රන්මුවා විය, එකෙ‍ක් රිදීමුවා විය, එකෙක් වෙරළුමිණිමුවා විය, එකෙක් පළිඟුමුවා විය. එකෙක් රත්මිණිමුවා විය, එකෙක් මැසිරිගල්මුවා විය, එකෙක් සව්රුවන්මුවා විය. රන්මුවා තල්රුකැ කඳ රන්මුවා විය, කොළ ද පල ද රිදීමුවා වූහ, රිදීමුවා තල්රුකැ කඳ රිදීමුවා විය, කොළ ද පල ද රන්මුවා වූහ. වෙරළුමිණිමුවා තල්රුකැ කඳ වෙරළුමිණිමුවා විය, කොළ ද පල ද පළිඟුමුවා වූහ. පළිඟු මුවා තල්රුකැ කඳ පළිඟුමුවා විය. කොළ ද පල ද වෙරළුමිණිමුවා වූහ. රන්මිණිමුවා තල් රුකැ කඳ රත්මිණිමුවා විය, කොළ ද පල ද මැසිරිගල්මුවා වූහ. මැසිරිගල්මුවා තල්රුකැ කඳ මැසිරිගල්මුවා විය, කොළ ද පල ද මැසිරිගල්මුවා වූහ. සව්රුවන්මුවා තල්රුකැ කඳ සව්රුවන් මුවා විය. කොළ ද පල ද සව්රුවන්මුවා වූහ. අනඳයෙනි, සුළඟින් සැලුණු ඒ තාලවෘක්ෂ පංක්තීන් ගේ මිහිරි වූ ද සිත් අලවන්නාවූ ද කමනීය වූ ද සිත මත් කරන්නා වූ ද හඬෙක් විය. අනඳයෙනි, (ඇදීම් ලිහිල් කිරීම් ඈ විසින්) සුමුස්නා ලද මැදුම් පමණ ගන්වනු පිණිස මොනොවට පුන පුනා තළන ලද ඉතා සමත් වයුවන් විසින් වයන ලද පංචාඬ්ගික තූර්‍ය්‍යයාගේ යම්සේ මිහිරි වූ ද සිත් අලවන්නා වූ ද කමනීය වූ ද සිත මත් කරන්නා වූ ද හඬෙක් වේ  ද, එසේ ම සුළඟින් සැලුණු ඒ තාලවෘක්ෂ පඬ්ක්තීන්ගේ ද මිහිරි වූ සිත් අදනා කමනීය වූ සිත් මත් කරන හඬෙක් විය. අනඳයෙනි, එ සමයෙහි කුශාවතී රාජධානියෙහි සුරා සොඬ වූ, පුන පුනා සුරා ‍බොනු රිසි යම් ධූර්ත කෙනෙක් වූහු ද, ඔහු සුළඟින් සැලුණු ඒ තල්රුක් පෙලවල හඬින් අත් පා සොලොවා නටමින් ක්‍රීඩා කළහ.

 

සත්රුවන

 

    4. අනඳයෙනි, මහසුදසුන් රජ සත් රුවනින් ද සතර ඉදුහයෙන් ද යුත් විය. කවර සත් රුවනෙකින් ද? යත්: අනඳයෙනි, ඒ පසොළොස්වක් පොහෝ දා (සුවඳදියෙන්) හිස් සෝදා නා සමාදන් වූ පෙහෙවස් ඇති ව මහඟු පහයැ මතු මහල්තලයට පැමිණි මහසුදසුන් රජුට දහසක් අර ඇති නිම්වලලු සහිත, නැබ මඬුලු සහිත, මෙසේ සියලු අයුරින් පිරිපුන් දෙව් සක් රුවන පහළ විය. එය දැක්මෙන් මහසුදසුන් රජහට මේ සිත විය, “පුණු පසළොස්වක් පොහො දිනැ ඉස් සෝ දා නා පෙහෙවස් සමාදන් කොට ගෙන පහයැ මතු මහල් තලයට පැමිණැ උන් මුදුනැ අබිසෙස් ලත් යම් කැත් රජක්හට දහසක් අර ඇති නිම්වළලු සහිත නැබ මඬුලු සහිත මෙසේ සියලු අයුරින් පිරිපුන් දෙව් සක්රුවන පහළ වන්නේ නම් ඔහු සක්විති රජු වෙති යි මෙය මා විසින් අසන ලද්දේ ම ය. මම් සක්විති වන්නෙම් දෝ?” යනු යි.

   

    5. අනඳයෙනි, ඉක්බිත්තෙන් මහසුදසුන් රජ හුනස්නෙන් නැඟීසිට උතුරුසඟ එකස් කොට වමතින් කෙංඩිය ගෙන, ‘භවත් සක්රුවන, පෙරැළේවා, භවත් සක්රුවන, සතර මහ දිවයින දිනා දේ වා’යි කියා දකුණතින් සක් රුවනට දිය ඉස්සේ ය. අනඳයෙනි, එ කල්හි එ සත්රුවන පෙර දිගට පෙරැළිණ. මහ සුදසුන් රජ සිවුරඟ සෙන් හා එය අනුව ම නික්මුණේ ය. අනඳයෙනි, යම් පෙදෙසෙක සක්රුවන පිහිටියේ ද (රැඳී සිටියේ ද) මහසුදසුන් රජ සිවුරඟ සෙන් හා එහි නවාතැනට එළැඹියේ ය. අනඳයෙනි, පෙර දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු මහසුදසුන් රජු කරා එළැඔ “මහරජාණනි, වඩින්නැ! මහාරජාණනි, ඔබ වැඩි සේ යහපත! මෙය ඔබගේ ය. අපට අනුශාසන කළ මැනැවැ”යි කී හ. මහසුදසුන් රජ තෙමේ ඔවුනට “පණිවා නො කළ යුතු, අයිනාදන් නො කළ යුතු, කාමයන්හි වැරැදැ නො හැසිරි යැ යුතු මුසවා නො බිණි යැ යුතු මත් පැන් නො පියැ යුතු. තොප වැලැඳූ පරිදි ම මත්තෙහි ද  රට වැලැ දියැ යුතු යැ”යි මෙසේ කී ය. අනඳයෙනි, පෙර දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු මහසුදසුන් රජු අනුව යන්නෝ වූහ. අනඳයෙනි, ඉක්බිති සක්රුවන පෙරදිග මුහුදට බැස යළි ගොඩ නැඟ දකුණු දිගට පෙරැළිණ. මහ සුදසුන් රජ සිවුරඟ සෙන් හා එය අනුව ම නික්මුණේ ය. අනඳයෙනි, යම් පෙදෙසෙක සක්රුවන පිහිටියේ ද (රැඳී සිටියේ ද) මහසුදසුන් රජ සිවුරඟ සෙන් හා එහි නවාතැනට එළැඹියේ ය. අනඳයෙනි, පෙර දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු මහසුදසුන් රජු කරා එළැඔ “මහරජාණනි, වඩින්නැ! මහාරජාණනි, ඔබ වැඩි සේ යහපත! මෙය ඔබගේ ය. අපට අනුශාසන කළ මැනැවැ”යි කී හ. මහසුදසුන් රජ තෙමේ ඔවුනට “පණිවා නො කළ යුතු, අයිනාදන් නො කළ යුතු, කාමයන්හි වැරැදැ නො හැසිරි යැ යුතු මුසවා නො බිණි යැ යුතු මත් පැන් නො පියැ යුතු. තොප වැලැඳූ පරිදි ම මත්තෙහි ද  රට වැලැ දියැ යුතු යැ”යි මෙසේ කී ය. අනඳයෙනි, දකුණු දිග යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු මහසුදසුන් රජු අනුව යන්නෝ වූහ. අනඳයෙනි, ඉක්බිති සක්රුවන දකුණුදිග මුහුදට බැස පෙරළා ගොඩ නැඟ පැසිම් දිගට පෙරැළිණමහ සුදසුන් රජ සිවුරඟ සෙන් හා එය අනුව ම නික්මුණේ ය. අනඳයෙනි, යම් පෙදෙසෙක සක්රුවන පිහිටියේ ද (රැඳී සිටියේ ද) මහසුදසුන් රජ සිවුරඟ සෙන් හා එහි නවාතැනට එළැඹියේ ය. අනඳයෙනි, පෙර දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු මහසුදසුන් රජු කරා එළැඔ “මහරජාණනි, වඩින්නැ! මහාරජාණනි, ඔබ වැඩි සේ යහපත! මෙය ඔබගේ ය. අපට අනුශාසන කළ මැනැවැ”යි කී හ. මහසුදසුන් රජ තෙමේ ඔවුනට “පණිවා නො කළ යුතු, අයිනාදන් නො කළ යුතු, කාමයන්හි වැරැදැ නො හැසිරි යැ යුතු මුසවා නො බිණි යැ යුතු මත් පැන් නො පියැ යුතු. තොප වැලැඳූ පරිදි ම මත්තෙහි ද  රට වැලැ දියැ යුතු යැ”යි මෙසේ කී ය. අනඳයෙනි, පැසිම් දිග යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු මහසුදසුන් රජු අනුව යන්නෝ වූහ. අනඳයෙනි, ඉක්බිති සක්රුවනපැසීම් මුහුදට බැස ගොඩ නැඟ උතුරු දිගට පෙරැළිණ. මහසුදසුනු රජ ද සිවුරඟ සෙන් හා එය අනුව ම ගියේ ය. අනඳයෙනි, යම් පෙදෙසෙක සක්රුවන පිහිටියේ ද (රැඳී සිටියේ ද) මහසුදසුන් රජ සිවුරඟ සෙන් හා එහි නවාතැනට එළැඹියේ ය. අනඳයෙනි, උතුරු දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු මහසුදසුන් රජු කරා එළැඹ “මහ රජාණනි, වඩින්නැ. මහරජාණනි, ඔබ වැඩි සේ යහපත මෙය ඔබ සතු ය. අපට අනුශාසනා කළ මැනැවැ”යි කීහ. මහසුදසුන් රජ තෙමේ ඔවුනට “පණිවා නො කළ යුතු, අයිනාදන් නො කළ යුතු, කාමයන්හි වැරැදැ නො හැසිරියැ යුතු, මුසවා නො බිණියැ යුතු, මත් පැන් නො පියැ යුතු. තොප වැළැඳු පරිදි ම මත්තෙහි ද රට වැළැඳියැ යුතු යැ”යි මෙසේ කී ය. අනඳයෙනි, උතුරු දිගැ යම් පිළිමල් රජ කෙනෙක් වූහු ද, ඔහු මහසුදසුන් රජු අනුවැ යන්නෝ වූහ.

 

    6. අනඳයෙනි, ඉක්බිති ඒ සක්රුවන මුහුද හිම් කොට පොළොව දිනා, කුශාවතී රාජධානියට පෙ‍රළා අවුත් මහසුදසුන් රජුගේ ඇතොවුර දොරැ විනිසමඬල ඉදිරියෙහි ඇතොවුර හොබවනුයේ අකුරැ ගැසූ කලෙක සෙයින් සි‍ටියේ ය. අනඳයෙනි, මහසුදසුන් රජුට මෙ බඳු සක්රුවනෙක් පහළ විය.

 

                                                                         ඇත්රුවන

 

    7. තවද අනෙකක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජුට සිරුර මුළුල්ල සුදු වූ, කය සත් තැනෙකින් පොළොව පහස්නා, ඉදුමත්, අහසින් යන, උපෝසථ කුලයට අයත් ඇත් රජෙක් වූ ඇත්රුවනෙක් පහළ විය. එය දැක්මෙන්, ‘ඉදින් හීලෑ බවට පැමිණියේ වී නම් ඒකාන්තයෙන් යහපත් වූ ඇත් යානයෙකැ’යි මහසුදසුන් රජුගේ සිත පැහැදිණ. අනඳයෙනි, ඉක්බිත්තෙන් ඒ ඇත්රුවන බොහෝ කලක් මොනොවට හික්මුණු සොඳුරු අජානී ඇතෙක් යම් සේ ද එසේ ම හික්මුණු බවට පැමිණියේය. අනඳයෙනි, පෙරැ වූ දැයක් කියම්. මහසුදසුන් රජ එ ම ඇත් රුවන විමසනුයේ පෙරවරු වේලෙහි උහු අරා ගොස් මුහුද හිම් කොට ඇති මුළු පොළොව වටා හැවිද කුශාවතී රාජධානියට පෙරළා අවුත් උදේ බොජුන් වැළැදීම කෙළේ ය. අනඳයෙනි, මහසුදසුන් රජහට මෙබඳු ඇත්රුවනෙක් පහළ විය.

 

                                                                           අස්රුවන

 

    8. තව ද අනෙකක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජුට අස්රුවනෙක් පහළ විය. ඒ කය මුළුල්ල සුදු වූ, කළු හිසක් ඇති, මුදු තෘණ බඳු කෙහෙ ඇති, ඉදුමත්, අහසින් යන, වලාහක නම් අස් රජය. උහු දැක්මෙන් ‘ඉදින් හික්මුණු බවට පැමිණියේ වී නම්, සොඳුරු අස් යානයෙකැ’යි මහසුදසුන් රජුගේ සිත පැහැදුණේ ය. අනඳයෙනි, එ කල්හි ඒ අස්රුවන බොහෝ කලක් මනා ව දැමුණු සොඳුරු අජානී අසක්හු මෙන් ම දැමුණු බවට පැමිණියේ ය. ඒ පෙරැ වූ දැයක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජ එම අස්රුවන විමසනුයේ පෙරවරු සෙමෙහි උහු අරා මුහුද හිම් කොටැති පොළොව වටා ගොස් කුශාවතී රාජධානියට පෙරළා අවුත් උදේ බොජුන් වැළඳී ය. අනඳයෙනි, මහ සුදසුන් රජුට මෙබඳු අස්රුවනෙක් පහළ විය.

                                                                           මිණිරුවන

    9. තව ද අනෙකක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජුට මිණිරුවනෙක් පහළ විය. එය සොඳුරු වූ පිරිසිදු ආකරයෙහි උපන, අටැස්, මොනොවට පිරියම් කරන ලද, පැහැදිලි වූ, වෙසෙසින් පහන් වූ, සියලු අයුරින් සම්පුර්ණ වූ වෙරළුමිණෙක. අනඳයෙනි, ඒ මිණිරුවනේ එළිය හාත්පස යොත්නක් තැන් පැතිරැ පැවැත්තේ විය. අනඳයෙනි, ඒ පෙරැ දැයක් කියම්. මහසුදසුන් රජ එම මිණිරුවන විමසනුයේ, සිවුරඟ සෙන් සන්නාහ සන්නද්ධ කොට, මිණි රුවන දද මුදුනට නංවා, රෑ ගනඳුරෙහි  නික්මුණේ ය. අනඳයෙනි, හාත්පසැ යම් ගම් කෙනෙක් වූහු ද, ඔහු ‘දහවලැ’යි හඟනාහු, ඒ එළියෙන් වැඩ ඇරැඹූහු. අනඳයෙනි, මහසුදසුන් රජුට මෙ බඳු වූ මිණිරුවනෙක් පහළ විය.

 

ඉතිරි රුවන

    10. තව ද අනෙකක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජු‍ට වෙසෙසි රූ ඇති, දැකුම්කලු, සිත පහදවන, උතුම් පැහැසපුයෙන් යුත්, ඉතා නො උස්, ඉතා නොමිටි, ඉතා කෙට්ටු නොවූ, ඉතා නො තර, ඉතා නො කලු, ඉතා නොසුදු, මිනිස් පැහැසපුව ඉක්මැවූ, දෙව් පැහැසපුවට නො පැමිණි ස්ත්‍රියක් වූ ඉතිරි රුවන පහළ විය. අනඳයෙනි, ඉඹුල් පුලුනෙහි හෝ කපු පුලුනෙහි සෙයින් ඒ ඉතිරිරුවනගේ මොළොක් පහස වෙයි. අනඳයෙනි, ශීත සමයෙහි ඒ ඉතිරි රුවන ගේ ගාත්‍රයෝ උණුසුම් වෙත්, උෂ්ණ සමයෙහි සිසිල් වෙත්. අනඳයෙනි, ඒ ස්ත්‍රීරත්නයා ගේ කයින් සඳුන් සුවඳ හමයි, මුවින් මහනෙල් මල් සුවඳ හමයි. අනඳයෙනි, ඒ ස්ත්‍රීරත්නය මහසුදසුන් රජුට කලින් ම නැඟී සිටිනුයේ ද, වතාවත් නිමවා පසු වැ හිඳුනෙ ද, කුමක් කරම් දැ’යි විමසා ම කරනුයේ ද, රජුට මන වඩනා දෑ ම කරනුයේ ද, පිය බස් ම තෙප්ලනුයේද වෙයි. අනඳයෙනි, ඒ ඉතිරි රුවන සිතිනුදු මහ සුදසුන් රජු ඉක්මැ නො හැසිරෙන්නේ විය (සිතිනුදු අනෙකකු නො පැතීය). කයින් එසේ හැසිරීමෙක් කොයින් ලැබේ ද? අනඳයෙනි, මහසුදසුන් රජුට මෙබඳු ඉතිරි රුවනෙක් පහළ විය.

 

                                                                            ගැහැවිරුවන

 

    11. තව ද අනෙකක් කියම්. අනඳයෙනි, ඒ මහසුදසුන් රජුට ගැහැවි රුවනෙක් පහළ විය. යමෙකින් හිමියන් ඇත්තාවූ ද හිමියන් නැත්තා වූ ද නිධාන දක්නේ ද එසේ වූ කර්මවිපාකජ දිවැසෙක් ඒ ගැහැවි රුවනට පහළ විය. හේ මහසුදසුන් රජු කරා එළැඹ ‘දෙවියනි, ඔබ මන්දොත්සාහ වන්න, ඔබට ධනයෙන් කටයුතු දෑ මම්  ධනයෙන් කැරැදෙන්නෙමි”යි මෙසේ සැළ කෙළේ ය. ඒ පෙරැ වූවක් කියම්. අනඳයෙනි, මහසුදසුන් රජ එ ම ගැහැවි රුවන විමසනුයේ, නැවක නැඟ ගංගා නදිය මැදැ දිය පහරට බැස, ගැහැවිරුවන බණවා, ‘ගැහැවිය, මට අමු රනින් හා ශුද්ධ කළ රනින් ප්‍රයෝජන ඇතැ’යි කී ය. ‘මහරජුනි, එසේ වී නම් එක් තෙරකට නැව එළැඹේව’යි හේ කී ය. ගැහැවිය, මෙහි දී ම මට හිරණ්‍ය ස්වර්ණයෙන් වැඩෙක් ඇතැ’යි රජ කීය. අනඳයෙනි, එ කල්හි ඒ ගැහැවිරුවන දෝතින් දිය ස්පර්ශ කොට හිරණ්‍ය ස්වර්ණයෙන් පිරුණු සැළියක් ඔසොවා ගෙන මහසුදසුන් රජුට “මහරජුනි, මෙතෙකින් සෑහේ ද? මෙතෙකින් කටයුත්ත කරන  ලද්දේ වේද? මහරජුනි, මෙතෙකින් ඔබ වචනය පිදුණේ දැ?” යි කී ය. මහසුදසුන් රජ “ගැහැවිය මෙතෙකින් සෑහෙයි, ගැහැවිය මෙතෙකින් කටයුත්ත කරන ලද ය, ගැහැවිය, මෙතෙකින් මා වචන පිදිණැ”යි කී ය. අනඳයෙනි, මහසුදසුන් රජුට මෙබඳු වූ ගැහැවිරුවනෙක් පහළ විය.

 

පිරිනා රුවන

 

    12. තව ද අනඳයෙනි, පණ්ඩිත වූ, ව්‍යක්ත වූ, ප්‍රකෘති ප්‍රඥා ඇති, මහසුදසුන් රජුහු කරා එළැඹැවියැ යුත්තහු එළඹවනනට ද, බැහැර කළ යුත්තහු බැහැර කරවන්නට සමර්ථ වූ පරිනායක රත්නය ද (පුත්‍ර රත්නය ද) පහළ විය. හෙ තෙම මහසුදසුන් රජු කරා එළැඹ ‘දෙවයිනි, ඔබ මන්දොත්සාහ වන්න, මම රට අනුසස්නෙමි’යි මෙසේ කී ය. අනඳයෙනි, මහසුදසුන් රජුට මෙබඳු පරිනායක රත්නයෙක් පහළ විය. අනඳයෙනි, මහසුදසුන් රජ මේ සත් රුවනින්  සමන්විත විය.

සෘද්ධිසමන්වාගමය

 

    13. තව ද, අනඳයෙනි, මහසුදසුන් රජ සතර සෘද්ධීන්ගෙන් සමන්විත විය. කවර සතර සෘද්ධීන්ගෙන් ද? යත්: අනඳයෙනි, මෙහි මහ සුදසුන් රජ වෙසෙස් රූ ඇත්තේ,(අතෘප්තිකර දසුන් ඇතියෙන්) දක්නට සුදුසු වූයේ, දුටුවන් පහදවනුයේ, සෙසු මිනිස්නට වඩා අතිසයින් උතුම් පැහැ සටහනින් සමන්විත වූයේ වී ය. අනඳයෙනි, මහසුදසුන් රජ මේ පළමු වන සෘද්ධියෙන් සමන්විත වී ය.

 

    තව ද අනඳයෙනි, මහසුදසුන් රජ සෙසු මිනිස්නට වඩා දීර්ඝ ආයුෂ ඇත්තේ බොහෝ කල් සිටුනේ වී ය. අනඳයෙනි, මහ සුදසුන් රජ මේ දෙවෙනි සෘද්ධියෙන් සමන්විත  වී ය.

 

   තව ද අනඳයෙනි, මහ සුදසුන් රජ ආබාධ නැත්තේ, රෝග නැත්තේ, ඉතා ශීත ද නොවූ, ඉතා උෂ්ණ ද නොවූ, සෙසු මිනිස්නට වැඩි තරම් වූ සම ලෙස අහර පැසවන උදරාග්නියෙන් සමන්විත වී ය. අනඳයෙනි, මහසුදසුන් රජ මේ තෙවෙනි සෘද්ධියෙන් සමන්විත වී ය.

 

   තව ද අනඳයෙනි, මහ සුදසුන් රජ බමුණනට ද ගැහැවියනට ද ප්‍රිය ද මනාප ද වී ය. අනඳයෙනි, පියා පුතුනට යම්සේ ප්‍රියත් මනාපත් වේ ද, එසේ ම මහසුදසුන් රජ බමුණනටත් ගැහැවියනටත් ප්‍රිය ද මනාප ද වී ය. අනඳයෙනි, මහසුදසුන් රජුට ද බමුණෝත් ගැහැවියෝත් ප්‍රිය ද මනාප ද වූහ. අනඳයෙනි, යම්සේ පියාට පුත්‍රයෝ ප්‍රියත් මනාපත් වෙත් ද, එසේ ම මහසුදසුන් රජුට ද බමුණෝත් ගැහැවියෝත් ප්‍රිය ද මනාප ද වූහ.

 

    අනඳයෙනි, පෙරැ දවසැ මහ සුදසුන් රජ සිවුරඟ සෙනඟින් උපලක්ෂිතවැ උයන් බිම බලා නික්මුණේ ය. අනඳයෙනි, එ කල්හි බමුණෝත් ගැහැවියෝත් මහසුදසුන් රජු කරා එළැඹ, දෙවයිනි, යම්සේ අපි බොහෝ වේලාවක් ඔබ දැක්කැ හැකි වන්නමෝ ද , එසේ නො යුහු වැ වඩින්නැ’යි මෙසේ කීය. අනඳයෙනි, මහසුදසුන් රජ ද රියදුරා අමතා, ‘සැරිය, යම් සේ මම් බමුණු ගැහැවියන් විසින් බොහෝ වේලා දක්නා ලබනු හැකි වන්නෙම් ද, එසේ සෙමෙන් රිය යවව’යි මෙසේ කී ය. අනඳයෙනි, මහ සුදසුන් රජ මේ සතර වන සෘද්ධියෙන් සමන්විත වී ය.

 

    අනඳයෙනි, මහසුදසුන් රජ මේ සතර සෘද්ධීන් ගෙන් සමන්විත වී ය.

 

    14. අනඳයෙනි, එ කල්හි මහසුදසුන් රජහට, ‘මේ තල්රුක් අතරැ දුනු සියක් තන්හි පොකුණු කැරැවීම් නම් යෙහෙකැ’යි මේ සිත විය. අනඳයෙනි, මහසුදසුන් රජ තෙම ඒ තල්රුක් අතරැ දුනු සියයක් දුනු සියයක් තැනැ පොකුණු කැරැවී ය. අනඳයෙනි, ඒ පොකුණු සිවුවණක් ගඩොළුයෙන් බඳනා ලද්දාහු වූහ. එක් ගඩොළු කෙනෙක් රන්මුවා වූහ. එක් ගඩොළු කෙනෙක් රිදීමුවා වූහ, එක් ගඩොළු කෙනෙක් වෙරළුමිණිමුවා වූහ. එක් ගඩොළු කෙනෙක් පළිඟුමුවා වූහ. අනඳයෙනි, ඒ පොකුණුවලැ සිවු පැහැයෙන් නිමි සිවු සිවු හිණිමං කෙනෙක් වූහ. (එහි) එක් හිණෙක් රන්මුවා විය. එකෙක් රිදීමුවා විය, එකෙක් වෙරළුමිණිමුවා විය, එකෙක් පළිඟුමුවා විය. රන්මුවා හිණෙහි රන්මුවා ටැම්හු ද රිදීමුවා පියගැට ද හිණිහිස ද වූහ. රිදීමුවා හිණෙහි රිදීමුවා ටැම්හු ද රන්මුවා පියගැටද හිණිහිස ද වූහ. වෙරළුමිණිමුවා හිණෙහි වෙරළුමිණිමුවා ටැම්හු ද පළිඟුමුවා පියගැට ද හිණිහිස ද වූහ. පළිඟුමුවා හිණෙහි පළිඟුමුවා ටැම්හු ද වෙරළුමිණිමුවා පියගැට ද හිණිහිස ද වූහ.

 

    අනඳයෙනි, ඒ පොකුණුහු වූ කලි පිල්කඩ දෙකෙකින් පිරිකෙවුණෝ වූහ. එක් පිල්කඩෙක් රන්මුවා ද එක් පිල්කඩෙක් රිදීමුවා ද විය. රන්මුවා පිල්කඩෙහි රන්මුවා ටැම්හු ද රිදීමුවා පියගැට ද මුදුන ද වූහ. අනඳයෙනි, එ කල්හි මහසුදසුන් රජහට ‘මේ පොකුණුවලැ හැම සෘතුයෙහි ම පිපෙන සේ වූ උපුල් පියුම් කුමුදු පඬෙර (හෙළ පියුම්) යන මෙ බඳු මල් ගස් හැම දෙනාට ඇවුරුම් නැතිසේ සාධාරණ කොට රොපණ කැරැවීම් නම් යෙහෙකැ’යි මේ සිත විය.  අනඳයෙනි, මහසුදසුන් රජ ඒ පොකුණුවලැ ඇවුරුම් නැතිසේ හැම දෙනාට සාධාරණ කොට හැම සෘතුයෙහි ම පිපෙන සේ වූ උපුල් පියුම් කුමුදු පඬෙර යන මෙ බඳු මල් ගස් රොපණ කැරැවී ය.

 

    15. අනඳයෙනි, එ කල්හි මහසුදසුන් රජුට මේ පොකුණුතෙරැ ආ ආ ජනයා නාවන ස්නාපයකයන් තැබීම් නම් යෙහෙකැ’යි මේ සිත විය. අනඳයෙනි, මහසුදසුන් රජ පොකුණුතෙරැ ආ ආ ජනයා නාවන ස්නාපකයන් තැබී ය.

 

    ඉක්බිති ‘මේ පොකුණු තෙරැ අහර කැමැත්තහුට අහර ද, පැන් කැමැත්තහුට පැන් ද, වස්ත්‍ර කැමැත්තහුට වස්ත්‍ර ද, යාන කැමැත්තහුට යාන ද, යහන් කැමැත්තහුට යහන් ද, ස්ත්‍රියක කැමැත්තහුට ස්ත්‍රිය ද, අමුරන් කැමැත්තහුට අමුරන් ද, රත්රන් කැමැත්තහුට රත්රන් දැ යි මෙසේ වූ දානයක් පිහිටුවීම් නම් යෙහෙකැ යි මහසුදසුන් රජුට මේ සිත විය. අනඳයෙනි, මහසුදසුන් රජ ඒ පොකුණුතෙරැ අහර කැමැත්තහුට අහර ද, පැන් කැමැත්තහුට පැන් ද, වස්ත්‍ර කැමැත්තහුට වස්ත්‍ර ද, යාන කැමැත්තහුට යාන ද, යහන් කැමැත්තහුට යහන් ද, ස්ත්‍රියක කැමැත්තහුට ස්ත්‍රිය ද, අමුරන් කැමැත්තහුට අමුරන් ද, රත්රන් කැමැත්තහුට රත්රන් දැ යි මෙසේ වූ දානයක් පිහිටුවී ය.

 

    16. අනඳයෙනි, එ කල්හි බමුණෝ ද ගැහැවියෝ ද බොහෝ වස්තුව ගෙන මහ සුදසුන් රජු කරා එළැඹ, ‘දෙවයිනි, මේ බොහෝ වස්තුව දෙවයන් වහන්සේ ම උදෙසා ගෙනෙන ලද්දේ ය. එය දෙවයන් වහන්සේ පිළිගන්නා සේක් ව’යි මෙසේ කීහ. ‘භවත්නි, කම් නැත. මගේ ද මේ බොහෝ වස්තුව දැහැමි අය බද්දෙන් පිළියෙල කැරුණේ ය, එය තොපට වේ වා, මෙයින් වැඩි පුර ද ගෙන යවු’යැ යි රජ ඔවුන් දුන් වස්තුව පිළිකෙවී ය. රජු විසින් පිළිකෙවුණු ඔහු එක් පසකට ගොස්, ‘මේ වස්තූන් අපි නැවැත සිය ගෙවල‍ට පෙරළා ගෙන යන්නමු යන යමෙක් ඇද්ද, මෙය අපට නො සුදුසු ම ය, අපි (මෙයින්) මහසුදසුන් රජුට ගෙයක් කරන්නමෝ නම් යෙහෙකැ’යි මෙසේ සිතූහ. ඔහු මහසුදසුන් රජු වෙත එළැඔ, ‘දෙවයිනි, ඔබට ගෙයක් කරන්නමු’යි මෙසේ සැළ කළාහ. අනඳයෙනි, මහසුදසුන් රජ නිහඬ බැවින් එය ඉවැසී ය.

 

   අනඳයෙනි, එ කලැ සක්දෙවිඳු සිය සිතින් මහසුදසුන් රජුගේ සිතැ කල්පනාව දැන, විස්සම් දෙව්පුතු බණවා, ‘යහලු විස්සම්, තෝ මෙහි එව, මහසුදසුන් රජුට දහම් පා නම් ගෙයක් මවව’යි කී ය. අනඳයෙනි, ‘එසේ ය, වහන්සැ’යි කියා ම විස්සම් දෙව්පුත් සක් දෙවිඳුට පිළිවදන් දී ශක්තිමත් පුරුෂයකු වක් කළ අතක් දික් කරනු හෝ දික් කළ අතක් වක් කරනු සේ යුහු ව තව්තිසා දෙව්ලොවැ අතුරු දහන් වැ, මහසුදසුන් රජු ඉදිරියේ පහළ විය. අනඳයෙනි, ඉක්බිත්තෙන් විස්සම් දෙව්පුත් මහසුදසුන් රජුට, ‘දෙවයිනි, ඔබට නිවහනක්, දහම් නම් පහයක් මවන්නෙමි’යි මෙ වචන කී ය, අනඳයෙනි, මහසුදසුන් රජ නිහඬ බැවින් (එය) ඉවැසී ය.

 

    17. අනඳයෙනි, විස්සම් දෙව්පුත් මහසුදසුන් රජුට නිවහනක්, දහම් නම් පහයක් මැවී ය. අනඳයෙනි, දහම් පහය පෙර දෙසින් ද පැසිම් දෙසින් ද දිගින් යොදුනෙක් විය, උතුරු දෙසින් ද දකුණු දෙසින් ද පුලුලින් අඩ යොදුන් විය. අනඳයෙනි, දහම් පහයේ ගෙබිම එක්තරා ගඩොළුයෙක් රන්මුවා ද, එක්තරා ගඩොළුයෙක් රිදීමුවා ද, එක්තරා ගඩොළුයෙක් වෙරළුමිණිමුවා ද, එක්තරා ගඩොළුයෙක් පළිඟුමුවා දැ යි සිවුවණක් ගඩොළුයෙන් උසින් තුන් බඹයක් නංවන ලද්දේ විය.

 

    අනඳයෙනි, දහම් පහයේ සිවුවන් ගඩොළුයෙන් නැංවුණු අසූසාර දහසෙක් ටැම්හු වූහ. එක් ටැ‍ඹෙක් රන්මුවා විය, එක් ටැ‍ඹෙක් රිදීමුවා ද, එක් ටැ‍ඹෙක් වෙරළුමිණිමුවා ද, එක් ටැ‍ඹෙක් පළිඟුමුවා ද විය. අනඳයෙනි, දහම් පහය, එක්තරා පෝරු කෙනෙක් රන්මුවා ද, එක්තරා පෝරු කෙනෙක් රිදීමුවා ද, එක්තරා පෝරු කෙනෙක් වෙරළුමිණිමුවා ද, එක්තරා පෝරු කෙනෙක් පළිඟුමුවා දැ යි සිවුවණක් පෝරුයෙන් අතුරන ලද්දේ විය.

 

    අනඳයෙනි, දහම් පහයේ එක්තරා හිණෙක් රන්මුවා ද එක්තරා හිණෙක් රිදීමුවා ද එක්තරා හිණෙක් වෙරළුමිණිමුවා ද එක්තරා හිණෙක් පළිඟුමුවා දැ යි සතර වගයෙකින් නිමි සූවිසි හිණිමං කෙනෙක් වූහ. රන්මුවා හිණෙහි රන්මුවා ටැම්හු ද  රිදීමුවා හිණෙහි රිදීමුවා ටැම්හු ද, වෙරළුමිණිමුවා හිණෙහි වෙරළුමිණිමුවා ටැම්හු ද, පළිඟුමුවා හිණෙහි පළිඟුමුවා ටැම්හු ද වෙරළුමිණිමුවා පියගැට ද හිණිහිස් ද වූහ.

 

    අනඳයෙනි, දහම්පහයෙහි එක් කුළුගෙයෙක් රන්මුවා ද, එකෙක් රිදීමුවා ද එකෙක් වෙරළුමිණිමුවා ද එකෙක් පළිඟුමුවා දැ යි සිවුවගයෙක සුවාසූ දහසෙක් කුළුගෙවල් වූහ. රන්මුවා කුළුගෙහි රිදීමුවා පළඟෙක් පැනැවුණේ විය. රිදීමුවා කුළුගෙහි රන්මුවා පළඟෙක් පැනැවුණේ විය. වෙරළුමිණිමුවා කුළුගෙහි ඇත්දළමුවා පළඟෙක් පැනැවුණේ විය. පළිඟුමුවා කුළුගෙහි මැසිරිගල්මුවා පළඟෙක් පැනැවුණේ විය. රන්මුවා කුළුගෙහි දොරැ රිදීමුවා තල්රුකෙක් සිටියේ විය. එහි කඳ රිදීමුවා ද පත්‍ර හා ඵල හා රන්මුවා ද වූහ. රිදීමුවා කුළුගෙයැ දොරැ රන්මුවා තල් රුකෙක් සිටියේ විය. එහි කඳ රන්මුවා ද පත්‍ර හා එල හා රිදීමුවා ද වූහ. වෙරළුමිණිමුවා කුළුගෙයැ දොරැ පළිඟුමුවා තල්රුකෙක් සිටියේ විය. එහි කඳ පළිඟුමුවා ද පත්‍ර හා එල හා වෙරළුමිණිමුවා ද වූහ. පළිඟුමුවා කුළුගෙයැ දොරැ වෙරළුමිණිමුවා තල්රුකෙක් සිටියේ විය. එහි කඳ වෙරළුමිණිමුවා ද පත්‍ර හා ඵල හා පළිඟුමුවා ද වූහ.

 

    18. අනඳයෙනි, එ කල්හි මහසුදසුන් රජුට “යම් තැනෙක මම් දිවාවිහරණ පිණිස හිඳිනෙම් ද, එහි සියල්ල රන්මුවා තල් වනයක් කැරැවීම් නම් යෙහෙකැ”යි මේ සිත විය. අනඳයෙනි, ඉක්බිති, යම් තැනෙක මහසුදසුන් රජ දිවා විහරණය පිණිස හිඳුනේ ද, එහි මහාව්‍යුහ කුළුගෙයැ දොර තල්වනයක් කැරැවී ය. අනඳයෙනි, දහම් පහය වෙදිකා (පිල්) දෙකෙකින් පිරිකෙවුණේ විය. එක් වෙදිකායෙක් රන්මුවා විය. අනෙක රිදීමුවා විය. රන්මුවා වෙදිකායෙහි රන්මුවා ටැම්හු ද රිදීමුවා පියගැට හා කණු හිස් හා වූහ. රිදීමුවා වෙදිකායෙහි රිදීමුවා ටැම්හු ද රන්මුවා පියගැට හා කණු හිස් හා වූහ.

 

    19. අනඳයෙනි, දහම්පාය කිකිණි දැල් දෙකෙකින් පිරිකෙවුණේ විය. එක් දැලෙක් රන්මුවා ද එක් දැලෙක් රිදීමුවා ද විය. රන්මුවා දැලෙහි රිදීමුවා කිකිණි (රහුගෙඩි) විය. රිදීමුවා දැලෙහි රන්මුවා කිකිණි (රහුගෙඩි) විය.

 

    අනඳයෙනි, සුළඟින් සැලුණු ඒ කිකිණි දැල්හි මියුරු සිත්කලු මන වඩනා, (ප්‍රීතියෙන්) කුල්මත් කරන හඬෙක් විය. අනඳයෙනි, දක්ෂ වාදකයකු විසින් මොනොවට වැයූ මොනොවට ගැයූ පසැඟි තුරුවන් හඬ යම්සේ මියුරුත් සිත් අලවනුත් කන්කලුත් සිත කුල්මත් කරනුත් වේ ද, අනඳයෙනි, එසේ ම සුළඟින් සැලුණු ඒ කිකිණි දැලුන් හඬ මියුරු ද සිත් අලවනු ද මන වඩනු ද සිත් කුල්මත් කරනු ද විය. අනඳයෙනි, එ සමයෙහි කුසාවතී රජදහනැ සුරාසොඬ වූ මත්පැනෙහි ගිජු වූ ධූර්තයෝ වූහ. ඔහු ඒ සුළඟින් සැලුණු කිකිණි දැලුන් හඬින් ඉඳුරන් හැසිරැවූහ. (ඊ වටා කිකිණිදැලුන් හඬ අනුව නැටීම් ආදිය කළාහ.)

 

    අනඳයෙනි, නිමියා වූ දහම් පහය බැලිය නො හැකි විය. එය (අධික දීප්තියෙන්) ඇස් අඳුරු කෙරෙයි. අනඳයෙනි, වැසි සාරමසින් පැසිම් මසෙහි සරත් සමයෙහි බැබලුණු, පහ වූ වලා ඇති අහසැ නැගෙන හිරු යම්සේ බැලිය නො හැකි ද, ඇස් අඳුරු කෙරෙයි ද, එසේ ම අනඳයෙනි, දහම් පහය බැලිය නොහැකි විය, ඇස් අඳුරු කරන්නේ විය.

 

    20. අනඳයෙනි, ඉක්බිති මහ සුදසුන් රජුට, “දහම් පහය ඉදිරියෙහි දහම් නම් පොකුණක් කරවන්නෙම් වීම් නම් යෙහෙකැ’යි මේ සිත විය. අනඳයෙනි, මහසුදසුන් රජ දහම් පාය ඉදිරියෙහි දහම් නම් පොකුණක් කැරැවීය. අනඳයෙනි, පෙර දෙසින් ද පැසිම් දෙසින් ද අයමින් යොදුනෙක් විය. උතුරු දිගින් ද දකුණු දිගින් ද පුලුලින් අඩයොදුන් විය. අනඳයෙනි, දහම් පොකුණ ඇතැම් උළු කෙනෙක් රන්මුවා ද ඇතැම් කෙනෙක් රිදීමුවා ද ඇතැම් කෙනෙක් වෙරළුමිණිමුවා ද ඇතැම් කෙනෙක් පළිඟුමුවා දැ යි සිවුවණක් ගඩොළුයෙන් නංවන ලද්දේ විය.

 

    අනඳයෙනි, දහම් පොකුණෙහි, ඇතැම් කෙනෙක් රන්මුවා ද ඇතැම් කෙනෙක් රිදීමුවා ද ඇතැම් කෙනෙක් වෙරෙළුමිණිමුවා ද ඇතැම් කෙනෙක් පළිඟුමුවා දැ යි සිවුවණක් රුවනින්  නිමියා වූ සූවිසි හිණි කෙනෙක් වූහ. රන්මුවා හිණෙහි රන්මුවා ටැම්හු ද රිදීමුවා පියගැට ද හිස් ද වූහ. රිදීමුවා හිණෙහි රිදීමුවා ටැම්හු ද රන්මුවා පියගැට ද හිස් ද වූහ. වෙරළුමිණිමුවා හිණෙහි වෙරළුමිණිමුවා ටැම්හු ද පළිඟුමුවා පියගැට ද හිස් ද වූහ. පළිඟුමුවා හිණෙහි පළිඟුමුවා ටැම්හු ද වෙරෙළුමිණිමුවා පියගැට ද හිස් ද වූහ.

 

    අනඳයෙනි, දහම් පොකුණ එකක් රුවන්මුවා ද එකක් රිදීමුවා දැ යි පිල් දෙකෙකින් පිරිකෙවුණේ විය. රන්මුවා පිලෙහි රන්මුවා ටැම්හු ද රිදීමුවා පියගැට ද හිස් ද වූහ. රිදීමුවා පිලෙහි රිදී මුවා ටැම්හු ද රන්මුවා පිය ගැට ද හිස් ද වූහ.

 

     අනඳයෙනි, දහම් පොකුණ එක් තල්පෙලක් රන්මුවා ද එක් තල්පෙලක් රිදීමුවා ද එක් තල්පෙලක් වෙරළුමිණිමුවා ද එක් තල්පෙලක් පළිඟුමුවා ද එක් තල්පෙලක් රතුමිණිමුවා ද එක් තල්පෙලක් මැසිරිගල්මුවා ද එක් තල්පෙලක් සියලු රුවන්මුවා දැ යි සත් තල්පෙලෙකින් පිරිකෙවුණේ විය. රන්මුවා තල්රුකැ රන්මුවා කඳ ද රිදීමුවා පත්‍ර ද ඵල ද වූහ. රිදීමුවා තල්රුකෙහි රිදීමුවා කඳ ද රන්මුවා පත්‍ර ද එල ද වූහ. වෙරෙළුමිණිමුවා තල්රුකැ වෙරළුමිණීමුවා කඳ ද පළිඟුමුවා පත්‍ර ද ඵල ද වූහ. පළිඟුමුවා තල්රුකැ පළිඟුමුවා කඳ ද වෙරෙළුමිණිමුවා පත්‍ර ද ඵල ද වූහ. රත්මිණිමුවා තල්රුකැ රත්මිණිමුවා කඳ ද මැසිරිගල්මුවා පත්‍ර ද ඵල ද වූහ. මැසිරිගල්මුවා තල්රුකැ මැසිරිගල්මුවා කඳ ද රත්මිණිමුවා පත්‍ර ද ඵල ද වූහ. සියලු රුවන් මුවා තල්රුකැ සව්රුවන්මුවා කඳ ද සව්රුවන්මුවා පත් ද ඵල ද වූහ. අනඳයෙනි, සුළඟින් සැලුණු ඒ තල්රුක් පෙලේ මිහිරි වූ සිත් අලවන, කන්කලු වූ, සිත් මත් කරන හඬෙක් විය. අනඳයෙනි, සමත් තුරුවායකු විසින් මොනොවට වැයූ මොනොවට ගැයූ පසඟතුරුවන් ගොස යම්සේ මියුරුත් සිත් අලවනුත් කන්කලුත් සිත කුල්මත් කරනුත් වේ ද, අනඳයෙනි, එසේ ම සුළඟින් සැලුණු ඒ තල්රුක් පෙලේ හඬ මියුරු ද සිත් අලවනු ද කන්කලු ද සිත් කුල්මත් කරනු ද විය. අනඳයෙනි, එසමයෙහි කුසාවතී රජදහනැ සුරාසොඬ වූ මත් පැනෙහි ගිජු වූ යම් ධූර්ත කෙනෙක් වූහු ද, ඔහු ඒ තල්රුක් පෙලැ හඬින් එහි රැස් වැ ඉඳුරන් හැසිරැවූහ. (නැටුම් ඈ කළාහ.)

 

    අනඳයෙනි, දහම් පහය ද දහම් පොකුණ ද කරවා නිමැවූ කලැ මහසුදසුන් රජ, එ සමයෙහි මහණුන් අතුරැ මහණ යැ යි සම්මත වූ ද බමුණන් අතුරැ බමුණු යැ යි සම්මත වූ ද යම් කෙනෙක් වූහු නම්, ඔවුන් රිසි රිසි හැම දැයින් සතපා, දහම් පහයට නැංගේ ය.

 

පළමු බණවර යැ.

 

 

දහන් සමවත් ලැබීම

 

    21. අනඳයෙනි, ඉක්බිති “යම් හෙයෙකින් මම් දැන් මෙසේ මහර්ධි ඇතියෙම් ද මහත් ආනුභාව ඇතියෙම් ද, මෙය මගේ කවර කර්මයෙක ඵලයෙක් ද? කවර කර්මයෙක විපාකයෙක් දැ?” යි මහසුදසුන් රජුට මේ සිත විය. ඉක්බිති අනඳයෙනි, මහසුදසුන් රජුට යම් හෙයෙකින් මම් දැන් මෙසේ මහත් සෘද්ධි ඇතියෙම්, මෙසේ මහත් ආනුභාව ඇතියෙම් වෙම් ද, මෙය දාන දම සංයම යන තුන් පින් කම්වල ඵල ය, මේ තුන් පින්කම් වල විපාකය යැ’යි මේ සිත විය. අනඳයෙනි, ඉක්බිති මහසුදසුන් රජ මහාව්‍යුහ කුළුගෙය කරා එළැඹියේ ය. එළැඹ, මහාව්‍යුහ කුළුගෙයැ දොරැ සිටියේය, “කාමවිතර්කය සිටු. ව්‍යාපාද විතර්කය, සිටු. විහිංසා විතර්කය, සිටු. කාමවිතර්කය, මෙතෙකින් නවතුව, ව්‍යාපාදවිතර්කය, මෙතෙකින් නවතුව, විහිංසාවිතර්කය, මෙතෙකින් නවතුව’යි උදන් ඇනී ය.

 

    22. අනඳයෙනි, එයට පසු මහසුදසුන් රජ මහාව්‍යූහ කුළුගෙයට වැද, රන්මුවා පළඟැ හුන්නේ, කාමයන්ගෙන් වෙන් වැ ම, අකුසල් දහමුන් ගෙන් වෙන් වැ ම, විතර්ක සහිත විචාර සහිත, විවේකයෙන් උපන්, ප්‍රීතියත් චිත්ත සුඛයත් ඇති, පළමු වන දහන ලැබ විසීය. විතර්ක විචාරයන් සංසිඳීමෙන්, තමා තුළැ පැහැදීම ඇති කරන, සිතැ එකඟ බව ඇති විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුඛයත් ඇති, දෙවෙනි දහන ලැබ විසී ය. ප්‍රීතිය ද පහ වීමෙන් උපෙක්ෂා ඇත්තේ ද විසී ය. සිහි ඇත්තේ නුවණින් දන්නේ සුවය නාම කයින් වින්දේ ය. ‘උපෙක්ෂක වූයේ සිහි ඇත්තේ සුව වුසුම් ඇත්තේ යැ’යි යමක්හු ඇරැබැ ආර්‍ය්‍යයෝ කියත් ද, ඒ තෙවෙනි දහන ලැබ විසීය. සුඛවේදනා ද පහ කිරීමෙන්, දුඃඛවේදනා ද පහ කිරීමෙන් කල් තබා ම සොම්නස් දොම්නසුන් බැහැරැ ලීමෙන් දුඃඛ වේදනා ද නැති සුඛ වේදනා ද නැති, උපේක්ෂාව ද සිහිය ද යන දෙදෙනා ගේ පිරිසිදු බව් ඇති සතර වැනි දහන ලැබ විසී ය.

 

    23. අනඳයෙනි, ඉක්බිති මහසුදසුන් රජ මහාව්‍යුහ කූටාගාරයෙන් නික්මැ රන්මුවා කුළුගෙට වැද රිදීමුවා පළඟෙහි හුන්නේ, මෙත් සහගිය සිතින් එක් දෙසක් පැතිරැ විසී ය. එසේ දෙවෙනි දෙස ද තෙවෙනි දෙස ද සිවුවැනි දෙස ද, මෙසේ උඩ ද යට ද සරස ද හැම දෙසැ හැම දෙනා ම ආත්මසමතායෙන් (මේ අන් එකෙකැ යි වෙනසක් නොසිතා තමා හා සමබවට පැමිණැවීමෙන්) වෛර නැති ව්‍යාපාද නැති, මහත් වූ මහද්ගත වූ අප්‍රමාණ වූ මෙත්සහගිය සිතින් පැතිර විසී ය. එසේ ම කරුණා සහගත සිතින්එක් දෙසක් පැතිරැ විසී ය. එසේ දෙවෙනි දෙස ද තෙවෙනි දෙස ද සිවුවැනි දෙස ද, මෙසේ උඩ ද යට ද සරස ද හැම දෙසැ හැම දෙනා ම ආත්මසමතායෙන් (මේ අන් එකෙකැ යි වෙනසක් නොසිතා තමා හා සමබවට පැමිණැවීමෙන්) වෛර නැති ව්‍යාපාද නැති, මහත් වූ මහද්ගත වූ අප්‍රමාණ වූ මෙත්සහගිය සිතින් පැතිර විසී ය. එසේ ම මුදිතා සහගත සිතින් එක් දෙසක් පැතිරැ විසී ය. එසේ දෙවෙනි දෙස ද තෙවෙනි දෙස ද සිවුවැනි දෙස ද, මෙසේ උඩ ද යට ද සරස ද හැම දෙසැ හැම දෙනා ම ආත්මසමතායෙන් (මේ අන් එකෙකැ යි වෙනසක් නොසිතා තමා හා සමබවට පැමිණැවීමෙන්) වෛර නැති ව්‍යාපාද නැති, මහත් වූ මහද්ගත වූ අප්‍රමාණ වූ මෙත්සහගිය සිතින් පැතිර විසී ය.  එසේ ම උපේක්ෂා සහගත සිතින් එක් දෙසක් පැතිරැ විසී ය. එසේ දෙවෙනි දෙස ද, එසේ තෙවෙනි දෙස ද, එසේ සිවුවැනි දෙස ද, මෙසේ උඩ ද යට ද සරස ද හැම දෙසෙහි ම හැම දෙනා ම ආත්මසමතායෙන් (මේ අන් එකෙකැ යි විභාග නො කොට තමා හා සමබවට පැමිණැවීමෙන්) වෛර නැති ව්‍යාපාද නැති මහත් වූ මහද්ගත වූ අප්‍රමාණ වූ උපේක්ෂා සහගත සිතින් පැතිර විසී ය.

 

                                                                       නගරාදීහු

 

    24. අනඳයෙනි, මහසුදසුන් රජුට කුසාවතී රාජධානිය ප්‍රමුඛ කොටැති අසූසාර දහසෙක් නුවරවල් වූහ. දහම් පාය පාමොක් කොටැති සුවාසූ දහසෙක් ප්‍රාසාදයෝ වූහ. මහාව්‍යූහ කූටාගාරය ප්‍රමුඛ කොටැති සුවාසූ දහසෙක් කුළුගෙවල් වූහ.

 

    රන්මුවා වූ ද රිදීමුවා වූ ද ඇත්දත්මුවා වූ ද දැවමුවා වූ ද කොඳපලස් අතුළ, සුදු එළුලොම්මුවා ඇතිරි අතුළ, ගන පුප් එළුලොම් ඇතිරි අතුළ, කෙහෙල් මුවසමින් කළ උතුම් පසතුරුණු ඇති, උඩුවියන් සහිත, හිස් දොර පාමුල යන දෙපසැ රතු කන්වයින් ඇති සුවාසූදහසෙක් පළඟහු වූහ. රන් අබරණින් සැදුණු රන් දද සහිත, රන්දැලින් වසන ලද, උපොසථ ඇත් රජු පාමොක් කොටැති සුවාසූ දහසෙක් ඇත්තු වූහ. රන් අබරණින් සරසන ලද, රන් දද සහිත, රන් දැලින් පිළිසන් වලාහක අස්රජු පාමොක් කොටැති සුවාසූ දහසෙක් අස්සු වූහ. සිංහ සමින් වසන ලද, ව්‍යාඝ්‍ර සමින් වසන ලද, දිවි සමින් වසන ලද, පඬු පැහැ කම්බලයෙන් වසන ලද, රන් අබරණ ඇති, රන් දද ඇති, රන් දැලින් වසන ලද, විජයොත් රිය පාමොක් කොටැති රිය සුවාසූ දහසෙක් වූහ. මිණිරුවන පාමොක් කොටැති සුවාසූදහසෙක් මිණිහු වූහ. සුභද්‍රා දේවිය පාමොක් කොටැති සුවාසූදහසෙක් ස්ත්‍රීහු වූහ. ගැහැවිරුවන පාමොක් කොටැති සුවාසූ දහසෙක් ගැහැවියෝ වූහ. පරිනායක රත්නය පාමොක් කොටැති අනුව යන සුවාසූ දහසෙක් කැත්හු වූහ. හැම කල්හි කිරි දොවා ගත හැකි රන් සැට්ටයෙන් සරසන ලද සුවාසූ ‍දහසෙක් දෙන්නු වූහ. සියුම් කොමු පිළී ද සියුම් කපු පිළී ද සියුම් පට පිළී ද සියුම් කම්බල  දැ යි පිළී සුවාසූ කෙළ දහසෙක් විය. අනඳයෙනි, මහසුදසුන් රජුට උදේ සවස එළැවෙන බත්තලි සුවාසූ දහසෙක් විය.

 

    25. එ සමයෙහි මහ සුදසුන් රජුට සුවාසූ දහසෙක් ඇත්තු උදේ සවස උවටනට යෙත්. එ කලැ මහසුදසුන් රජුට “මේ සුවාසූ දහසෙක් ඇත්තු උදේ සවස මට උවටනට එත්. හවුරුදු සියයක් සියයක් ඇවෑමෙන් සතළිස් දෙදහසෙක් සතළිස් දෙදහසෙක් ඇත්තු එක් වරක් එක් වරක් මට උවටනට එන්නාහු නම් මැනැවැ”යි මේ සිත විය. ඉක්බිති අනඳයෙනි, මහසුදසුන් රජ පරිනායක රුවන බණවා, “සගය  පරිනායක රත්නය, මේ සුවාසූ දහසෙක් ඇත්තු උදේ සවස උවටනට එත්. සගය, පරිනායක රත්නය, එ බැවින් හවුරුදු සියයක් සියයක් ඇවෑමෙන් දෙසාළිස් දහසෙක් දෙසාළිස් දහසෙක් ඇත්තු එක් වරක් එක් වරක්  උවටනට එත් වා”යි කී ය. අනඳයෙනි, ‘එසේ ය, දෙවයිනි’යි කියා පරිනායක රත්නය මහසුදසුන් රජු‍ට පිළිවදන් ඇස්විය. අනඳයෙනි, එයට පසු කලැ හවුරුදු සියයක් සියයක් ඇවෑමෙන් ඇත්තු දෙසාළිස් දහසෙක් දෙසාළිස් දහසෙක් එක් වරක් එක් වරක් උවටනට ආහ.

 

                                                                       සුභද්‍රාව එළැඹීම

 

    26. අනඳයෙනි, එ කලැ බොහෝ හවුරුදු ගණනෙක බොහෝ හවුරුදු දහස් ගණනෙක ඇවෑමෙන් සුභද්‍රා දේවියට, “මහ සුදසුන් රජ මා විසින් දුටු බොහෝ කල් ඇත්තේ ය. මම මහසුදසුන් රජු දක්න‍ට ගියෙම් වීම් නම් යෙහෙකැ”යි මේ සිත විය. අනඳයෙනි, ඉත්බිති සුභද්‍රා දෙවී ඇතොවුර බණවා, “තොප එවු. හිස් සෝදා නාවු. රන්වන් පිළි හැඳ පොරොවවු. මහසුදසුන් රජ අප විසින් දක්නා ලද බොහෝ කල් ඇත්තේ ය. මහසුදසුන් රජ දක්නට එළ‍‍ඹෙන්නම්හ”යි කිවු ය. ‘එසේ යැ  ආර්‍ය්‍යාවෙනි’යි ම ඇතොවුර සුභද්‍රා දෙවියට පිළිවදන් දී, හිස් සෝදා නා, රන්වන් පිළි හැඳ පෙරෙවැ සුභද්‍රා දේවිය කරා එළඹියාහ. අනඳයෙනි, ඉක්බිති සුභද්‍රා දේවී පරිනායක රත්නය බණවා “සගය පරිනායක රත්නය සිවුරඟ සෙන් සදව. අප විසින් මහසුදසුන් රජ දක්නා ලද බොහෝ කල් ඇත්තේ ය. මහසුදසුන් රජු දක්නට එළැඹෙන්නම්හ”යි කිවු ය.  ‘එසේ යැ, දේවීනි’යි කියා ම පරිනායක රත්නය සුභද්‍රා දේවියට පිළිවදන් දී, සිවුරඟ සෙන් සදවා, 'දේවියනි, සිවුරඟ සෙන් සරසන ලදි. යම් ගමනකට සිතවු ද, එයට කල් වේ’යැ යි සැළ කෙළේ ය. අනඳයෙනි, ඉක්බිති සුභද්‍රා දේවී සිවුරඟ සෙන් ද ඇතොවුර ද කැටුව දහම්පාය කරා එළඹුණා ය. එළැඹ දහම්පහය නැඟ, මහාව්‍යුහ කුළුගෙය කරා එළැඹ, එහි දොරබාවැ එල්බැ සිටියා ය.

 

    අනඳයෙනි, එ කල්හි මහ සුදසුන් රජ ඔවුන් එන හඬ අසා, ‘කිමෙක් ද? මහ ජන මුළුවෙක හඬ නියා!’යි සිතා, මහාව්‍යුහ කුළුගෙයින් නික්මෙන්නේ, දොර බා වැ එල්බැ සිටි සුභද්‍රා දේවිය දුටුයේ ය. දැක, “දේවිය, ඔහි ම සිටු, ඇතුළට නො වදුව’යි කී ය. අනඳයෙනි, ඉක්බිති මහසුදසුන් රජ එක්තරා මිනිසකු බණවා, 'හෙම්බා මිනිස, තෝ මෙහි එව. මහාව්‍යුහ කුළුගෙන් රන්මුවා පළඟක් ගෙනවුත් සියල්ල රන්මුවා වූ තල් වෙනෙහි පණවව’යි කී ය. ‘දේවයිනි, එසේ යැ’යි කියා ම එ මිනිසා මහ සුදසුන් රජුට පිළිවදන් දී, මහාව්‍යුහ කුළුගෙයින් රන්මුවා පළඟක් ගෙනවුත් සියල්ල රන්මුවා තල්වෙනෙහි පැණැවී ය. අනඳයෙනි, ඉක්බිති මහසුදසුන් රජ දකුණු පයෙහි වම් පය මඳක් හයා තබා සිහි නුවණ ඇති වැ දකුණැලයෙන් සිංහශය්‍යායෙන් ශයනය කෙළේ ය.

 

    අනඳයෙනි, එ කලැ සුභද්‍රා දේවියට “මහසුදසුන් රජුගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. සිවිපැහැය පිරිසිදු ය, පබසර ය. මහ සුදසුන් රජු කලුරිය නො කෙරේ වා” යි මේ සිත විය. ඕ මහසුදසුන් රජුට මෙසේ කිවු ය: “දේවයිනි, කුශාවතී රජදහන පාමොක් කොටැති මේ ඔබ සතු නුවර සුවාසූ දහසෙකි. දේවයිනි, මෙහි ඇල්ම උපදවන්න, දිවියෙහි අපේක්ෂාව කරන්න. දේවයිනි, දහම් පාය පාමොක් කොටැති ඔබ සතු මේ ප්‍රාසාද සුවාසූ දහයෙකි. දේවයිනි, මෙහි ඇල්ම උපදවන්න, ජීවිතය කෙරෙහි අපේක්ෂාව කරන්න. දේවයිනි, මහාව්‍යූහ කුළුගෙය පාමොක් කොටැති ඔබ සතු මේ කළුගෙ සුවාසූ දහසෙක් වෙයි. මෙහි ඇල්ම උපදවන්න, ජීවිතයෙහි අපේක්ෂාව කරන්න. දේවයිනි, රන්මුවා ද රිදීමුවා ද ඇත්දත්මුවා ද දැවමුවා ද වූ කොඳුපලස් අතුළ, සුදු එළුලොම්මුවා ඇතිරි අතුළ, කෙහෙල්මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති උඩුවියන් සහිත, හිස්දොර පාමුල යන දෙ පසැ රතු කන්වයින් ඇති, සුවාසූ දහසෙක් ඔබ සතු පළඟහු ඇත. දේවයිනි, මෙහි ඡන්දය උපදවන්න, ජීවිතයෙහි අපේක්ෂාව කරන්න. දේවයිනි, රන් අබරණ ඇති, රන් දද ඇති, රන් දැලින් පිළිසන් උපොසථ ඇත්රජු පාමොක් කොටැති මේ ඔබගේ සුවාසූ දහසෙක් ඇත්තු වෙති. දේවයිනි, මොවුන් කෙරෙහි ඇල්ම දනවන්න, ජීවිතයෙහි අපේක්ෂාව කරන්න. දේවයිනි, රන් අබරණ පලන්, රන් දද ඇති, රන් දැලින් පිළිසන්, වලාහක අස්රජු පාමොක් කොටැති, ඔබගේ මේ සුවාසූ දහසෙක් අස්සු වෙති. දේවයිනි, මොවුන් කෙරෙහි ඇල්ම දනවන්න, ජීවිතය කෙරෙහි අපේක්ෂාව කරන්න. දේවයිනි, සිංහ සමින් වසන ලද, ව්‍යාඝ්‍ර සමින් වසන ලද, දිවි සමින් වසන ලද, පඬු පැහැ කම්බලයෙන් වසන ලද, රන් අබරන සහිත, රන් දද සහිත, රන් දැලිනි පිළිසන්, විජයොත් රිය පාමොක් කොටැති, ඔබ සතු මේ රිය සුවාසූ දහස්  කෙනෙක් වෙති. දේවයිනි, මෙහි ඡන්දය උපදවන්න, ජීවිතයෙහි අපේක්ෂාව කරන්න. දේවයිනි, මිණිරුවන පාමොක් කොටැති මේ ඔබ සතු සුවාසු දහසෙක් මිණිහු වෙති. දේවයිනි, මෙහි ඇල්ම දනවන්න, ජීවිතයෙහි අපේක්ෂාව කරන්න. දේවයිනි, ස්ත්‍රීරත්න ප්‍රමුඛ මේ ඔබගේ සුවාසූ දහසෙක් ස්ත්‍රීහු වෙති. දේවයිනි, මෙහි ඡන්දය දනවන්න, ජීවිතයෙහි අපේක්ෂාව කරන්න. දේවයිනි, ගැහැවිරුවන පාමොක් කොටැති මේ ඔබගේ ගැහැවියෝ සුවාසූදහසෙක් වෙත්. දේවයිනි, මොවුන් කෙරෙහි ඡන්දය උපදවන්න., ජීවිතයෙහි අපේක්ෂාව කරන්න. දේවයිනි, පිරිනාරුවන් පාමොක් මේ ඔබගේ අනුගාමි වූ සුවාසූ දහසෙක් කැත්හු වෙති. දේවයිනි, මොවුන් කෙරෙහි ඡන්දය දනවන්න, ජීවිතයෙහි අපේක්ෂාව කරන්න. දේවයිනි, හැම කල්හි කිරි දොවාගත හැකි, රන් සැට්ටයෙන් සරසන ලද, ඔබ සතු මේ සුවාසූ දහසෙක් දෙන්නු වෙති. දේවයිනි, මෙහි ඡන්දය දනවන්න, ජීවිතයෙහි අපේක්ෂාව කරන්න. දේවයිනි, සියුම් කොමු පිළී ද සියුම් කපුපිළී ද සියුම් පටපිළී ද සියුම් කම්බල දැ යි සුවාසූ කෙළ දහසෙක් මේ ඔබ සතු පිළී ඇත. දේවයිනි, මෙහි ඡන්දය උපදවන්න, ජීවිතයෙහි අපේක්ෂාව කරන්න. දේවයිනි, මේ බත්සැළි සුවාසූ දහසක් වූ බතෙක් උදේ සවස දෙක්හි ම ඔබට එළැවෙයි. දේවයිනි, මෙහි ඡන්දය දනවන්න,  ජීවිතයෙහි අපේක්ෂාව කරන්නැ” යි (සුභද්‍රා දේවී කිවු ය).

 

     27. අනඳයෙනි, ඇය මෙසේ කී කල්හි මහසුදසුන් රජ සුභද්‍රා දේවියට මෙ බස් පැවසී ය: “දේවීනි, තෙපිපි මට දික් කලක් ම ඉෂ්ට ප්‍රිය මනාප වචනයෙන් කතා කළහු ය. එහෙත් තෙපි මට මෙ පැසීම් සමයෙහි අනිෂ්ට අකාන්ත අප්‍රිය අමනාප වචනයෙන් කතා කරහු. “දේවයිනි, කෙසේ ඔබට කතා කරම් දැ?” යි සුභද්‍රා දේවී විචාළා ය. “දේවීනි, මෙසේ මට කතා කරන්න: ‘දේවයිනි, ප්‍රිය මනාප සියලු දැයෙන් වෙන් වීම, බැහැරැ වීම, අන් පරිද්දෙකින් වීම ස්වභාවයෙක. දේවයිනි, ඔබ අපේක්ෂා ඇතිව නහමක් කලුරිය කෙරේ වා. අපේක්ෂා ඇත්තහුගේ කාලක්‍රියාව දුක් ගෙන දෙයි, සාපේක්ෂවුවහුගේ කාලක්‍රියාව ගර්හිත ය. දේවයිනි, කුශාවතී නගරය ප්‍රමුඛ කොටැති මේ ඔබගේ නුවර සුවාසූදහසෙක් ඇත. දේවයිනි, මෙහි ඇල්ම පියන්න. ජීවිතයෙහි අපේක්ෂාව නොකරන්න. දේවයිනි, දහම් පහා පාමොක් මේ පහා සුවාසූදහසෙක් ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න. ජීවිතයෙහි අපේක්ෂාව නො කරන්න. දේවයිනි, මහාව්‍යූහ කූටාගාර ප්‍රමුඛ මේ ඔබ සතු කූටාගාර සුවාසූ දහසෙක. මෙහි ඇල්ම පියන්න. ජීවිතයෙහි අපේක්ෂාව නහමක් කරන්න. දේවයිනි, රන්මුවා ද රිදීමුවා ද ඇත්දත්මුවා ද දැවමුවා ද, කොඳුපලස් අතුළ, සුදුඑළුලොම්මුවා ඇතිරි අතුළ, ගනපුප් එළුලොම් ඇතිරි අතුළ,  කෙහෙල්මුව සම්මුවා උතුම් පසතුරුණු අතුළ, උඩුවියන් සහිත, හිස්දොර පාමුල යන දෙපසැ රතු කොට්ට ඇති සුවාසූදහසෙක් පළඟහු ඇත. දේවයිනි, මෙහි ඇල්ම පියන්න,  ජීවිතයෙහි අපේක්ෂාව නහමක් කරන්න. දේවයිනි, රන් අබරණින් සැදුණු රන් දද ඇති රන් දැලින් පිළිසන් උපොසථ ඇත්රජු පාමොක් කොටැති ඔබගේ මේ සුවාසූදහසෙක් ඇත්තු ඇත. දේවයිනි,  මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නහමක් කරන්න. දේවයිනි, රන් අබරණ පලන්, රන් දද සහිත, රන් දැලින් පිළිසන්, වලාහක අස්රජු පාමොක් කොටැති ඔබගේ මේ සුවාසූදහසෙක් අස්සු වෙති. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නහමක් කරන්න. දේවයිනි, සිංහසමින් වසන ලද, ව්‍යාඝ්‍රසමින් වසන ලද, දිවිසමින් වසන ලද, පාණ්ඬුකම්බලයෙන් වසන ලද, රන් අබරණින් සදන ලද, රන් දද සහිත රන් දැලින් පිළිසන් විජයොත්රිය පාමොක් සුවාසූදහසෙක් රිය ඔබට ඇත. දේවයිනි,  මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂා නො කරන්න. දේවයිනි, මිණිරුවන් පාමොක් මේ සුවාසූදහසෙක් මිණිහු ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නො කරන්න. දේවයිනි, සුභද්‍රා දේවිය ප්‍රමුඛ සුවාසූදහසෙක් ස්ත්‍රීහු ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න ජීවිතයෙහි අපේක්ෂාව නො කරන්න. දේවයිනි, ගැහැවිරුවන්පාමොක් සුවාසූ දහසෙක් ගැහැවිහු ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නො කරන්න. දේවයිනි, පිරිනාරුවන් පාමොක් මේ අනුගාමී කැත්හු සුවාසූදහසෙක් ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නහමක් කරන්න. දේවයිනි, හැම කල්හි දෙවියැ හැකි කිරි ඇති රන්සැට්ට ඇඟැ ලැවුණු මේ සුවාසූදහසෙක් දෙන්නු ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නො කරන්න. දේවයිනි, සියුම් කොමුපිළි ද සියුම් කපුපිළි ද සියුම් පටපිළි ද සම්බන්ධ මේ සුවහස්කෙළක් පිළී ඔබට ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නො කරන්නැ යි කියන්නැ”යි මහසුදසුන් රජ කී ය.

 

    28. අනඳයෙනි, රජු මෙසේ කී කල්හි සුභද්‍රා දේවි හැඬුවා ය, කඳුළු හෙළුවා ය. අනඳයෙනි, ඉක්බිති සුභද්‍රා දේවී කදුළු පිසැදමා මහසුදසුන් රජුට මෙසේ කිවු ය:

 

    “දේවයිනි, ප්‍රිය මනාප හැම දෑ කෙරෙන් නානාභාවය විනාභාවය අන්‍යථාභාවය වේ. දේවයිනි, ඔබ අපේක්ෂා ඇති ව නහමක් කලුරිය කරන්න. සාපෙක්ෂයාගේ කාලක්‍රියාව දුක් එළවයි. සාපෙක්ෂයාගේ කාලක්‍රියාව ගර්හිත ද වේ. දේවයිනි, කුශාවතී රාජධානි ප්‍රමුඛ මේ ඔබේ නුවර සුවාසූදහසෙක් ඇත. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නො කරන්න. දේවයිනි, ධර්මප්‍රාසාදප්‍රමුඛ ඔබ සතු මේ ප්‍රාසාද සුවාසූදහසෙක. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නො කරන්න. දේවයිනි, මහාව්‍යූහ කූටාගාර ප්‍රමුඛ ඔබේ මේ කූටාගාර සුවාසූදහසෙක. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නහමක් කරන්න. දේවයිනි, ස්වර්ණමය ද රජතමය ද දන්තමය ද සාරමය ද වූ, කොඳුපලස් අතුළ, සුදු එළුලොම්මුවා ඇතිරි අතුළා කෙහෙල් මුව සමින් කළ උතුම් පසතුරුණු ඇති, උඩුවියන් සහිත, හිස් දොර පාමුල යන දෙපසැ රතු කන්වයින් තබන ලද ඔබගේ මේ පළඟ සුවාසූදහසෙකි. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නො කරන්න. දේවයිනි, පලන් රන් අබරණ ඇති රන් දද සහිත රන් දැලින් පිළිසන්, උපොසථ ඇත් රජ ප්‍රමුඛ ඔබ සතු මේ සුවාසූදහසෙක් ඇත්තු ඇත. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නහමක් කරන්න. දේවයිනි, රන්අබරණ පලන් රන්දද සහිත, රන්දැලින් පිළිසන් වලාහක අස්රජ පාමොක් කොටැති, මේ ඔබ සතු සුවාසූ දහසෙක් අස්සු ඇත.  මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නහමක් කරන්න.  දේවයිනි, සිහසමින් වැසූ,  වගසමින් වැසූ, දිවිසමින් වැසූ, පාණ්ඬුකම්බලයෙන් වැසූ, රන්අබරණින් සැදුණු, රන්දද සහිත, රන්දැලින් පිළිසන් විජයොත්රිය පාමොක් ඔබ සතු මේ රිය  සුවාසූදහසෙක. දේවයිනි,  මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නො කරන්න. දේවයිනි, මිණිරුවන් පාමොක් ඔබ සතු මේ සුවාසූදහසෙක් මිණිරුවන්හු ඇත. මෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නො කරන්න. දේවයිනි, ස්ත්‍රීරත්නප්‍රමුඛ ඔබ සතු මේ සුවාසූ දහසෙක් ස්ත්‍රීහු ය. දේවයිනි, මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නො කරන්න. දේවයිනි, ගැහැවිරුවන් පාමොක් ඔබ සතු මේ ගැහැවිහු සුවාසූදහසෙක. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නො කරන්න, දේවයිනි, පිරිනාරුවන් පාමොක් ඔබගේ මේ අනුගාමි සුවාසූදහසෙක් කැත්හු ය. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතයෙහි අපේක්ෂාව නො කරන්න. දේවයිනි, හැම දා ම දෙවියැ හැකි කිරි ඇති, රන් සැට්ට ඇඟැ ලැවුණු, මේ ඔබගේ සුවාසූදහසෙක් දෙන්නු ඇත. මොවුන් කෙරෙහි ඇල්ම පියන්න, ජීවිතය කෙරෙහි අපේක්ෂාව නො කරන්න. දේවයිනි, සියුම් කොමුපිළි ද සියුම් කපු පිළි ද සියුම් පටපිළි ද සියුම් කම්බල ද සම්බන්ධ ඔබ සතු  සුවාසූ කෙළ දහසෙක් පිළී ඇත. දේවයිනි, මෙහි ඇල්ම පියන්න, ජීවිතය කෙරෙහි අපේක්ෂාව නො  කරන්නැ” යනු යැ.

 

                                                                         බඹලොව් යෑම

 

    29. අනඳයෙනි, ඉක්බිති නොබෝ කලෙකින් මහ සුදසුන් රජ කලුරිය කළේ ය. අනඳයෙනි, මනහර බොජුනක් වැළැඳු ගැහැවියකුට හෝ ගැහැවි පුතක්හට යම්සේ බත්මතය වේ ද මහසුදසුන් රජුට ද එබඳු ම වූ මරණය අවසන් කොට ඇති වේදනාවෙක් විය. අනඳයෙනි, කලුරිය කළාවූ ද මහසුදසුන් රජ බඹලොවැ උපනි. අනඳයෙනි, මහසුදසුන් රජ සුවාසූදහසක් හවුරුදු කුමරකෙළි කෙළීය. සුවාසූදහසක් හවුරුදු යුවරජය කැරැවිය. සුවාසූදහසක් හවුරුදු රජය කැරැවිය. ගිහි ව මැ සුවාසූදහසක් හවුරුදු දහම් පායෙහි බඹසර හසළේ ය. හේ සතර බඹවෙහෙර බවා කාබුන් මරණින් මතු බඹලෝ ගියේ විය.

 

    30. අනඳයෙනි, ‘එ සමයෙහි අනෙකෙක් මහසුදසුන් රජ වී’ යැ යි (තොපට මෙබඳු සිතක්) වියැ හැක්ක. අනඳයෙනි, එය එසේ නො දත යුතු. එ සමයෙහි මම මහසුදසුන් රජ වීමි. කුශාවතීරාජධානිප්‍රමුඛ ඒ සුවාසූදහසෙක් නගරයෝ මගේ ය. ධර්මප්‍රාසාදප්‍රමුඛ සුවාසූදහසෙක්  ප්‍රාසාදයෝ  මගේ ය. මහාව්‍යුහකූටාගාරප්‍රමුඛ සුවාසූදහසෙක් කුළුගෙවල් මගේ ය. ස්වර්ණමය ද රජතමය ද දන්තමය ද සාරමය ද වූ කොඳුපලස් අතුළ සුදුඑළුලොමින් කළ ඇතිරි අතුළ, ගනපුප් එළුලොම් ඇතිරි අතුළ, උතුම් කෙසෙල්මුව සමින් කළ  පසතුරුණු ඇති, උඩුවියන් සහිත, ඉස්දොර පාමුල යන දෙපසැ රතුකොට්ට තැබූ ඒ සුවාසූදහසෙක් පළඟහු  මගේ ය. රන් අබරණින් සැදි, රන්දද සහිත, රන්දැලින් පිළිසන් උපොසථ ඇත් රජ ප්‍රමුඛ ඒ සුවාසූදහසෙක් ඇත්තු මගේ ය. රන් අබරණින් සැදි, රන්දද සහිත, රන්දැලින් පිළිසන් වලාහක අස්රජ ප්‍රමුඛ ඒ සුවාසූදහසෙක් අස්සු මගේ ය. සීසමින් සන්, වගසමින් සන්, දිවිසමින් සන්, පඬුඇඹුලින් සන්,රන්බරණින් සැදි රන්දදැති, හෙම්දැලින් පිළිසන් විජයොත්රියපාමොක් ඒ  සුවාසූදහසෙක් රියහු මගේ ය. මිණිරුවන්පාමොක් ඒ සුවාසූදහසෙක් මිණිහු මගේ ය. සුභද්‍රාදේවීප්‍රමුඛ සුවාසූදහසෙක් ඒ ස්ත්‍රීහු මා අයත් වූහ. ගැහැවිරුවන් පාමොක් ඒ සුවාසූ දහසෙක් ගැහැවියෝ මා සතු වූහ. පිරිණායකරත්න ප්‍රමුඛ අනුයන්තෘ වූ ඒ සුවාසූදහසෙක් කැත්හු  මගේ ය. හැම දා දෙවියැකි කිරි ඇති රන්සැට්ට ඇඟ ලැවුණු ඒ සුවාසූදහසෙක් දෙන්නු මා සතු වූහ. සියුම් කොමුපිළි ද සියුම් කපුපිළි ද සියුම් පටපිළි ද සියුම් කම්බල ද වූ සුවාසූ  පිළි කෙළ දහස මා සතු විය. මට උදේ සවස ඒ තලි සුවාසූ දහසක් වූ බතෙක් එළැවිණ. 

 

     31. අනඳයෙනි, එ සමයෙහි කුශාවතී රාජධානිය වූ යම් නගරයෙක විසීම් ද, ඒ නුවර සුවාසූ දහසින් මේ එක් නගරයේ ම මම් විසීමි. (සෙසු නුවරවලැ දූපුත් ආදිහු වුසූහ.)

 

    අනඳයෙනි, ඒ සුවාසූදහසක් ප්‍රාසාද අතුරෙන් යම් ධර්මනම් ප්‍රාසාදයෙක් වී ද මම් එහි ම විසීමි (සෙසු පහයන්හි අඹුදරු ආදිහු වුසූහ).

 

    අනඳයෙනි, ඒ සුවාසූදහසක් කුළුගෙවලින් යම් මහාව්‍යූහ නම් කුළුගෙයෙක් වී ද, මම් එහි විසීමි.

 

    අනඳයෙනි, ඒ පළඟ සුවාසූදහසින්, රන්මුවා හෝ රිදීමුවා හෝ ඇත්දත්මුවා හෝ දැවමුවා හෝ යම් පළඟෙක් වී ද, ඒ එකක් මම් පරිභෝග කෙළෙමි.

 

    අනඳයෙනි, ඒ ඇතුන් සුවාසූදහසින්, උපොසථ නම් යම් ඇත් රජෙක් වී ද, උහු ම මම් නැංගෙමි.

 

    අනඳයෙනි, ඒ අසුන් සුවාසූදහසින්, යම් වලාහක නම් අස්රජෙක් වී ද, උහු ම මම් නැංගෙමි.

 

    අනඳයෙනි, ඒ රිය සුවාසූදහසින් යම් විජයොත් නම් රියෙක් වී ද, එය ම මම නැංගෙමි.

 

    අනඳයෙනි, ඒ සුවාසූදහසක් ස්ත්‍රීන් අතුරෙන්, කැත්කුලැ වූ හෝ වෙළෙඳ කුලැ වූ හෝ යම් එකියක් මට උවටන් කළා ද, ඒ එක් ස්ත්‍රියක් ම විය.

 

    අනඳයෙනි, ඒ සුවාසූ පිළි කෙළ දහසින් සියුම් කොමුපිළියක් හෝ සියුම් කපුපිළියක් හෝ සියුම් පටපිළියක් හෝ සියුම් කම්බලයක් හෝ ඒ එක් පිළියුවලක් ම මම් හැන්දෙමි,පෙරැවීමි.

 

    අනඳයෙනි, ඒ සුවාසූ බත්සැළි දහසින් යමෙකින් නැලියක් පරම කොටැති (නැලියකට නොවැඩි) බතකුත් එයට පමණ වූ සූපත් වැළැදීම් නම් ඒ එක් බත් තලියෙක් ම විය.

 

    32. බලවු අනඳයෙනි, ඒ සියලු සඛරහු ඉකුත් වුහ, නිරුද්ධ වුහ, පෙරැළුණහ. අනඳයෙනි, මෙසේ සඛරහු අනිත්‍ය ම ය, අනඳයෙනි, සඛරහු මෙසේ අධ්‍රැව ම ය. අනඳයෙනි, මෙසේ සඛරහු ආශ්වාස විරහිත ම ය. අනඳයෙනි, සියලු සඛර දහමුන් කෙරෙහි කලකිරෙන්නට ඉතා ම සුදුසු ය, නො ඇලෙන්නට ඉතා ම සුදුස ය, එයින් මිදෙන්නට ඉතා ම සුදුස ය, අනඳයෙනි, සවරක් ම මෙ පෙදෙසෙහි සිරුර බහා ලූයෙමි යි දනිමි. ඒ ද ධාර්මික වූ ධර්මරාජ වූ සයුරුහිම් සිවුමහදිවයිනට අධිපති වූ, පසමිතුරන් දිනු, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමන්විත සක්විති රජෙක් වැ ම කෙළෙමි. මේ සත්වැනි ශරීරනිඃක්ෂෙපය යැ. අනඳයෙනි, තථාගතයෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොවෙහි, මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්වප්‍රජායෙහි යම් තැනෙක අටවැනිවරෙක සිරුර බහාලන්නෝ ද, එසේ වූ තැනක් මම් නො ම දකිමි.”

 

    භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාරා, සුගතයන් වහන්සේ නැවැත ගාථාබන්ධන විසින් අනෙකක් වූ මෙය වදාළ සේක:

 

"ඒකාන්තයෙන් සංස්කාරයෝ අනිත්‍යහ.

ඉපැත්ම වැනැස්ම සබා කොටැත්තාහ.

ඉපිදැ නැසෙත්.

ඒ සංස්කාරයන් ගේ සංහිඳීම සුව එළවන්නේ යි."

 

සතර වැනි මහසුදසුන් සුතුර නිමියේ ය.