අම්බට්ඨ සුත්‍රය

  1. මා විසින් මෙසේ අසන ලදි: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වහන්සේ භික්ෂුන් පන්සියයක් පමණ වූ මහත් බික්සඟන හා කොසොල් රටැ සැරි සරණ සේක්, කොසොල් රැටියන්ගේ ඉච්ඡානඞ්ගල නම් බමුණු ගමට වැඩි සේක. එහි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගල ගමට නොදුරෙ හි වූ ඉච්ඡානඞ්ගල වනළැහැබෙහි වැඩ වසන සේක.
  2. එ සමයෙහි වනාහි පොක්ඛරසාති නම් බමුණු තෙමේ බහුජනාකිර්ණ වූ, තණ දඬු දිය යන මෙයින් යුක්ත වූ, බොහෝ ධාන්‍ය ඇති, රජහු කෙරෙන් ලත් තමාගේ පරිභෝග වස්තුව වූ, රජහුගේ දායාද්‍යය(දානය) වූ බ්‍රහ්මදේයය වූ, (රාජස්වරූපයෙන් පරිභෝග කටයුතු වූ), පසේනදී කොසොල් රජුහු දුන් ශ්‍රේෂ්ඨ ත්‍යාගය වූ උක්කට්ඨා නුවරැ වෙසෙයි. හෙ තෙමේ (රටෙහි පැතිරැ ගිය) මතු දැක්වෙන කථාව ඇසී ය:

    “භවත්නි, ශාක්‍යපුත්‍ර වූ, ශාක්‍යකුලයෙන් නික්මැ පැවැදි වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වනාහි භික්ෂුන් පන්සියයක් පමණ වූ මහබික්සඟන හා කොසොල් රටැ සැරි සරන සේක්, කොසොල්රැටියන්ගේ ඉච්ඡානඞ්ගල නම් ගමට වැඩි සේක්, එයට නොදුරෙහි වූ ඉච්ඡානඞ්ගල වන ළෑහැබෙහි වසන සේක. ඒ භාගවතුන් වහන්සේ මේ මේ කරුණින් අරිහත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගත නම්හ, ලෝකවිත් (ලොව දන්නා)හ, නිරුත්තර පුරුෂදම්‍යසාරථීහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ. උන්වහන්සේ දෙවියන් මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකය, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත මේ සත්ත්වවර්ගයා, තමන් ම සිය විශිෂ්ට නුවණීන් දැන පසක් කොට, දන්වන සේක. ‘උන් වහන්සේ ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්යවසානකල්‍යාණ වූ, (සතිපට්ඨානාදි) මනා අර්ථ ඇති, මනා (සම්පූර්ණ) ව්‍යංජන ඇති, සර්වාකාර පරිපූර්ණ, පිරිසිදු ධර්මය දෙසන සේක.  එසේ දෙසන්නෝ ද (අධිශීල අධිචිත්ත අධිපඥා යන ත්‍රිශික්ෂායෙන් සංගෘහිත වූ)සකල ශාසන බ්‍රහ්මචර්‍යය පවසන සේක. එබඳු රහතුන් දැක් මූ කලී හිත වැඩ ගෙන දෙන්නෙකැ’යි ඒ භගවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙසේ වූ භද්‍ර වූ කිර්තිශබ්දයෙක් උස් වැ නංගේ වේ” යනුයි.
  3. එසමයෙහි වූ කලි පොක්ඛරසාති බමුණාට වේද හදාරන, වේදයන් මුඛපාඨයෙන් දරන, නිඝණ්ටු කෙටුභශාස්ත්‍ර සහිත අක්ෂර ප්‍රභේද (ශික්ෂා හා නිරුක්ති) සහිත, ඉතිහාසය පස්වනු කොටැති ත්‍රිවේදයන්ගේ පරතෙර පත්, පදපාඨ දන්නා, තදන්‍ය සියලු ව්‍යාකරණ ද දන්නා, ලෝකායතශාස්ත්‍රෙයහිත් මහා පුරුෂලක්ෂණශාස්ත්‍රයෙහිත් නිපුණ වූ, ඇදුරන් විසින් උගන්වන ලද තිවිද්‍යා සංඛ්‍යාත ශ්‍රේෂ්ඔවචනයෙහි, ‘මා දන්නා සියල්ල තෝ දනිහි’යැ යි ගුරුහු විසින් අනුදන්නා ලද, ‘ඔබ දන්නා සියල්ල මම් දනිමැ’යි තමා විසින් කරන ලද ප්‍රතිඥා ඇති අම්බට්ඨ නම් මාණවකයෙක් අතැවැසි වෙයි.
  4. ඉක්බිති පොක්ඛරසාති බමුණු තෙම අම්බට්ඨ මාණවකයා බණවා මෙ සේ කී ය: “දරුව අම්බට්ඨය, ශාක්‍යපුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්මැ පැවිදි වූ මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ භික්ෂූන් පන්සියයක් පමණ වූ මහ බික්සඟන හා කොසොල් රටැ සැරි සරන සේක්, ඉච්ඡානඞ්ගලයට පැමිණියෝ එයට නොදුරැ වූ ඉච්ඡානඞ්ගල වන ළැහැබෙහි වසන සේක.

    “මෙසේ මෙසේ ඒ භාගයවතුන් වහන්සේ අරිහත්හ, අරිහත්හ, සම්‍යක්සම්බුද්ධයහ, විද්‍යාචරණසම්පන්නයහ, සුගත නම්හ, ලෝකවිත් (ලොව දන්නා)හ, නිරුත්තර පුරුෂදම්‍යසාරථීහ, දෙවිමිනිස්නට ශාස්තෘහ, බුද්ධයහ, භගවත්හ. උන්වහන්සේ දෙවියන් මරුන් සහිත බඹුන් සහි මේ ලෝකය, මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත මේ සත්ත්වවර්ගයා, තමන් ම සිය විශිෂ්ට නුවණීන් දැන පසක් කොට, දන්වන සේක. ‘උන් වහන්සේ ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්යවසානකල්‍යාණ වූ, (සතිපට්ඨානාදි) මනා අර්ථ ඇති, මනා (සම්පූර්ණ) ව්‍යංජන ඇති, සර්වාකාර පරිපූර්ණ, පිරිසිදු ධර්මය දෙසන සේක.  එසේ දෙසන්නෝ ද (අධිශීල අධිචිත්ත අධිපඥා යන ත්‍රිශික්ෂායෙන් සංගෘහිත වූ)සකල ශාසන බ්‍රහ්මචර්‍යය පවසන සේක. එබඳු රහතුන් දැක් මූ කලී හිත වැඩ ගෙන දෙන්නෙකැ’යි ඒ භගවත් ගෞතමයන් වහන්සේ පිළිබඳ මෙසේ වූ භද්‍ර වූ කිර්තිශබ්දයෙක් උස් වැ නංගේ වේ”

    දරුව අම්බට්ඨය, එන්නැ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කරා එළැඹෙන්නැ. එළැඹැ, “ඒ භාග්‍යවතුන් වහන්සේගේ එසේ විද්‍යාමාන වූ ම ගුණ පිළිබඳ කීර්තිශබ්දයෙක් නැංගේ වේ ද?. නැතහොත් එසේ විද්‍යාමාන නොවූ ගුණ පිළිබඳ හඬෙක් නැංගේ වේ ද? ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳු ම ද ? නැතහොත් එබඳු නො වෙත් දැ?” යි ඒ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දැක ගන්නැ. එසේ අපි ඒ භවත් ගෞතමයන් වහන්සේ දැන ගන්නම” යනුයි.
  5. “භවත, ඒ භවත් ගෞතමයන් වහන්සේගේ එසේ විද්‍යාමාන වූ ගුණ පිළිබඳ කීර්තිශබ්දයෙක් නැංගේ වේ ද ? නැත හොත් එසේ විද්‍යාමාන නොවූ ගුණ පිළිබඳ හඬෙක් නැංගේ වේ ද? ඒ භවත් ගෞතමයන් වහන්සේ එබඳු  ම ද ? නැත හොත් එබඳු නො වෙත් දැ‘යි මම් කෙසේ නම් දැන ගත හෙන්නෙම් ද ?”යි (අම්බට්ඨ මාණවකයා කීය.)
  6. “දරුව අම්බට්ඨය, යමෙකින් සමන්විත මහාපුරුෂයක්හට නිෂ්ඨා දෙකක් විනා එයින් අනෙකක් නැත් ද, - ඉදින් ගිහි ගෙහි වසන්නේ නම් දැහැමි වූ, දැහැමෙන් ම රජය ලත්, සිවු මුහුදු හිම් කොට ඇති සතර මහද්වීපයෙන් සැදුණු මුළු පොළවට අධිපති, පසමිතුරන් දිනූ, දනවුහි තහවුරු බවට පැමිණි, සත්රුවනින් සමන්විත සක්විති රඩෙක් වන්නේ ද, සක් රුවන ය, ඇත්රුවන ය, අස් රුවනය, මිණිරුවන ය, ඉතිරි රුවන ය, ගැහැවි රුවන ය, සත්වන පිරිනාරුවන ය, යන මේ සත් රුවන් කෙනෙක් යම් ඒ රජක් හට ඇත් ද, දහසකටත් වැඩි ශූර වූ (නොබාන සුලු), දෙව් කුමරුන් වැනි සිරුරු ඇති, සතුරු සෙන් මඬනට සමත් වූ, පුත්හු ඇත් ද, යම් ඒ මහාපුරිස්ලකුණින් යුත් හේ සයුර හිම් කොටැති මේ පොළොව දංඩෙන් සැතින් වෙන් වැ (පන්සිල්) දහමෙන් වෙසෙසින් දිනා එයට අධිපති වැ වෙසේ ද ; -

    ඉදින් යම් මහපුරිෂ්ලකුණු කෙනකුන්ගෙන් සමන්විත හේ ගිහිගෙන් නික්මැ පැවිදි වදනේ නම් නැසූ පව්  සෙවෙණි ඇති. (නොහොත් තිවර්ගයෙන් හා තුන් සෙවෙණියෙන් මිදුණු) අර්හත් සම්‍යක්සම්බුද්ධෝත්තමයෙක් වන්නේ ද, දරුව අම්බට්ඨ ය, එසේ වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෝ අපගේ වේදයෙහි ආවහු ම ය. දරුව අම්බට්ඨ ය, මම වනාහි මන්ත්‍ර (වේද) දෙන (=උගන්වන) තැනැත්තෙම් වෙමි. තෝ මන්ත්‍ර පිළිගන්නා තැනැත්තෙහි”(යයි පොක්ඛරසාති තෙම කී ය.)

    “පින්වත්නි, (යම්සේ තෙපි කියවු නම්) එසේ කරන්නෙමි” යි අම්බට්ඨ මාණවකායා පොක්ඛරසාති බමුණාට පිළිවදන් දී, හුනස්නෙන් නැගී සිටැ, ඔහු සකසා වැඳ පැදකුණු කොට වෙළඹුන් යෙදූ රියක් නැඟ බොහෝ මාණවකයන් හා ඉච්ඡානඞ්ගල වනළැහැබ බලා නික්මුණේ ය. යානයට බිම් යම් පමණෙක් ද එතෙක් (යානයෙන් යෑ හැකි තාක් ) යානයෙන් ගොස් එයින් බැස පාගමන් ඇතියේ ම (පයින් ම) ආරාමයට පිවිසියේ ය.

  7. එසමයෙහි බොහෝ භික්ෂුහු එළිමහනෙහි සක්මන් කෙරෙත්. ඉක්බිති අම්බට්ඨ මාණවක තෙමේ ඒ භික්ෂුන් කරා එළෑඹියේ ය. එළැඹ ඒ භික්ෂූන් ගෙන් ‘භවත්නි, ඒ භවත් ගෞතමයෝ දැන් කොහි වසනන්නෝ ද ? ’ අපි වූ කලි ඒ භවද් ගෞතමයන් දක්නා පිණිස මෙහි එළැඹියම්හ” යි මෙය කී ය.
  8. එකල්හී ඒ භික්ෂුන් හට “මේ අම්බට්ඨ මාණවකයා වූ කලි ප්‍රකට කුලයෙක උපන්නෙක් ද ප්‍රසිද්ධ පොක්ඛරසාති බමුණාගේ අතැවැස්සෙක් ද වේ. මේබඳු කුලපුතුන් හා කතාබස් කිරීම භාග්‍යවතුන් වහන්සේට බරෙක් නම් නො වේ ම යැ”යි මේ සිත විය. ඔහු අම්ට්ඨ මාණවකයාට “අම්බට්ඨය, මේ වැසූ දොර ඇතියේ විහාරය යි. නිශ්ශබ්ද වැ එතැනට ගොස්, සෙමෙන් පිලට පිවිස කාරා අගුල ළඟට නිය පිටින් ගසව.(එවිට) භාග්‍යවතුන් වහන්සේ දොර හරනා සේකැ”යි කීහ.
  9. එවිට අම්බට්ඨ මාණවක තෙම වැසූ දොර ඇති ඒ වෙහෙරට නිහඬ වැ එළැඹ සෙමෙන් ගඳකිළි පිලට වැද උගුරපාදා(මද ශබ්ද කොට) අගුල සමීපයට නිය පිටින් ගැසී ය. (එවිට) භාග්‍යවතුන් වහන්සේ දොර හළ සේක. අම්බට්ඨය මාණවක තෙමේ (විහාරයට) පිවිසියේ ය. මාණවකයෝ ද පිවිසැ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටට කරුණු වූ සිහි කරනුවට (සිතැරදවනුවට) නිසා වූ කතා බස් අවසන් කොට, එක් පසෙක හිඳැ ගත්හ. අම්බට්ඨමාණවකයා වූ කලි තෙමේ සක්මන් කෙරෙමිනුත් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ කරා හා යම් යම් කිසි සාරණීය කථා කෙරෙයි, සිටැ ගෙනත් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ හා යම් යම් සාරණීය කථා කෙරෙයි.
  10. එකලැ භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා බණවා, “අම්බට්ඨය, යම්සේ යමිනුත් සිටිමිනුත් තෝ හුන් මා හා කිසි යම් සාරාණීය කථා කෙරෙහි නම් තගේ ආචාර්‍ය ප්‍රාචාර්‍ය වූ, වයසින් වැඩී සිටි, මහලු බමුණන් හාත් එපරිද්දෙන් ම තගේ කතා බස් කිරීම වේ දැ ?” යි ඇසූ සේක.

    (එවිටැ අම්බට්ඨ මාණවක තෙම) “භවද් ගෞතමය, එසේ නොවේ ම ය. යන බමුණහු යන බමුණක්හු හා ම කතා කරනු හෝ වටී. සිටි බමුණක් හු සිටි බමුණක්හු හා ම කතා කිරීම හෝ වටී. හුන් බමුණා හුන් බමුණකු හා ම කතා කිරීම හෝ වටී. හෝනා බමුණහු හෝනා බමුණකු හා ම කතා කරනු හෝ වටී. එහෙත් භවත් ගෞතමය, ගැහැවි වූ, කළු වන් වූ බඹහු පතුලෙන් උපන් යම් මුඬු මහණ කෙනෙක් වෙත් නම්, ඔවුන් හාත් මගේ කථාසංලාපය භවත් ගෞතමයා හා කතා කරන පරිද්දෙන් ම වේ” (යැ යි කී ය.)

  11. (එවිටැ භාග්‍යවතුන් වහන්සේ,) “අම්බට්ඨය, පැමිණ කළ යුතු වැඩක් සඳහා ම තගේ මෙහි පැමිණීම විය. යම් කරුණක් සඳහා ආයෙහි නම් ඒ කරුණ ම මැනවින් මෙනෙහි කරව. භවත්නී මේ අම්බට්ඨ මාණවක තෙමේ ඇදුරු කුලෙහි නො හික්මුණේ අල්පශ්‍රැත වූයේ ‘හික්මුණෙමි’යි බහුශ්‍රැතයෙමි’ යි යන මාන ඇත්තේ වෙයි. මොහු මේ පරොස් බස් දොඩනුයේ ඇදුරු කුලයෙහි නොහික්මුණු අල්පශ්‍රැතබැවින් විනා අන් කරුණෙකින් නො වේ” (යැ යි වාදාළ සේක.)
  12. එකල්හි අම්බට්ඨ මාණවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් අවුසිතවාදයෙන්(නොහික්මුණෙක, නොඋගතෙක යන කථායෙන්) කියනු ලබනුයේ, කිපුණේ, නොසතුටු සිතැත්තේ භාග්‍යවතුන් වහන්සේට ම ආක්‍රෝශ කරනුයේ, භාග්‍යවතුන් වහන්සේට ම ගර්හා කරනුයේ, භාග්‍යවතුන් වහන්සේට ම දොස් නගනුයේ, ශ්‍රමණ ගෞතම තෙමේත් චණ්ඩවාදී දෝෂයට මා විසින් පමුණුවන ලද්දේ වන්නේ යැ යි සිතා, “භවද් ගෞතමය, ශාක්‍යජාතිය චණ්ඩ ය, භවද් ගෞතමය, ශාක්‍යජාතිය පරුෂ ය, භවද්ගෞතමය, ශාක්‍යජාතිය හෑල්ලූ ය (වහා පෙරැළෙන සුලු ය) ශාක්‍යජාතිය දොඩමලු ය, තුමූ (බමුණනට මෙහෙකරු විය යුතු) ගෘහපතීයෝ ම වන්නෝ නුමුදු බමුණනට සත්කාර නො කෙරෙත්, බමුණනට ගෞරව නො කෙරෙත්, බමුණනට බුහුමන් නො කෙරෙත්, බමුණන් නො පුදත්, බමුණනට යටත් පැවැතුම් නොදක්වත්, භවද් ගෞතමය, මේ ශාක්‍යෙයා් බමුණනට (මෙහෙකරු විය යුතු ) ගැහැවියෝ වන්නෝ ම බමුණනට සත්කාර නො කෙරෙත් ය, බමුණන් නො පුදත් ය, බමුණනට යටත් පැවැතුම් නොදක්වත් ය යන යමක් ඇද්ද, ඒ මේ කරුණ නො සුදුසු ය, ඒ මේ කරුණ නො නිසි යැ”යි භාග්‍යවතුන් වහන්සේට මෙබස් කී ය.

    මෙසේ අම්බට්ඨ මාණවක තෙමේ ශාක්‍යයන් කෙරෙහි මේ පලමු ඉබ්භවාදය(බමුණන් ගේ දාසයෝ ය යන නිග්‍රහ කථාව) හෙළී ය.

  13.  එවිට භාග්‍යවතුන් වහන්සේ, ‘කිමේ ක අම්බට්ඨය, ශාක්‍යෙයා් තට කිසි වරදක් කළෝ දැ? ’යි වදාළ සේක.

    “එසේ ය, භවද් ගෞතමය, මම් එක් කලෙක මා ඇදුරු පොක්ඛරසාති බමුණානන්ගේ කිසි කටයුත්තෙකින් කිඹුල්වත් නුවරට ගියෙමි. එහි ශාක්‍යයන්ගේ සන්ථාගාරය කරා එළැඹුණෙමි. එසමයෙහි වූ කලි බොහෝ ශාක්‍යෙයෝ ශාක්‍යකුමාරයොත් උනුනට අඟිලිවලින් කෙවිටි කරමින් මහත් සිනහ සෙමින්, ඇඟිලි එකට ගැටීම් ආදින් කෙළි කවට කම් පාමින්, ඒකාන්තයෙන් මට ම සිනා සෙන්නාක් මෙන් කෙරෙමින් සන්ථාගාරයෙහි උස් අසුන්හි හුන්නෝ වෙත්. කිසිවෙක් මට අස්නෙකින් නිමැතුම් පමණකුත් නො කෙළේ ය. භවත් ගෞතමය, මේ ශාක්‍යෙයෝ තුමූ ඉබ්භ (බමුණනට දාස වූ ගැහැවියෝ) වන්නෝ ම, බමුණනට සත්කාර ගරුකාර බහුමාන පුජා අපචායන (යටත් පැවැතුම්) නො කරන්නාහ යන මෙය නොසුදුසු ය, නො නිසි යැ” යි අම්බට්ඨ තෙමේ පැවැසී ය.

    මෙසේ අම්බට්ඨ මාණවක තෙමේ ශාක්‍යයන් කෙරෙහි මේ දෙවෙනි උපවාද ය හෙළී ය.

  14. එ විට භාගයවතුන් වහන්සේ වාදරණ සේක්, “අම්බට්ඨය, කැටකිරිල්ල පවා තමා ගේ කැදැල්ලෙහි දී කැමැති සේ හඬනසුලු වේ. අම්බට්ඨය, කිඹුල්වත් පුරය යන යමක් ඇද්ද, මෙය ශාක්‍යයන් සතු ස්වනගරය යි. එබැවින් ආයුෂ්මත් අම්බට්ඨ තෙමේ මේ ස්වල්ප මාත්‍රයෙහි වෙර බඳින්නට නො වටී” යැ යි වදාළ සේක.
  15. එකලැ අම්බට්ඨ තෙමේ යලි දු ශාක්‍යයනට දොස් නගනුයේ, “භවද් ගෞතමය, ක්ෂත්‍රිය බ්‍රහාමණ වෛශ්‍ය ශුද්‍ර යැ යි මේ වර්ණ (කුල) සතරෙකි. භවද් ගෞතමය, මේ සතර වර්ණයන් අතුරෙන් ක්ෂත්‍රිය ද වෛශය ද ශුද්‍ර ද යන තුන් කුලයෝ ඒකාන්තයෙන් බ්‍රාහ්මණයාගේ ම මෙහෙකරු වෙත්. (එබැවින්) භවත් ගෞතමය, මේ ශාක්‍යෙයෝ බමුණනට මෙහෙකරු වූ ගැහැවියෝ වන්නෝ ම, බමුණනට සත්කාර ගරුකාර බහුමාන පූජන අපචායන (=යටත් පැවැත්ම්) නො කෙරෙත් යන මෙය නොසුදුසු ම ය, නොනිසි ම යැ” යි කී ය.

    මෙසේ අම්බට්ඨ මාණවක තෙමේ ශාක්‍යයන් කෙරෙහි මේ තෙවෙනි ඉබ්භවාදය (බමුණන්ගේ මෙහෙකරු ගැහැවියෝ ය යන ගැරැහීම) හෙළී ය.

  16. එවිට ‘මේ අම්බට්ඨ මාණවක තෙමේ ඉතා දැඩි ලෙස ශාක්‍යයන් කෙරෙහි ඉබ්භවාදයෙන් පිරිහෙළා කථා කෙරෙයි. මා ඔහු අතින් ගෝත්‍රය විචාළොත් යෙහෙකැ”යි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය.

    ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා අමතා “අම්බට්ඨය, තෝ කරව ගොත් ඇත්තෙහි දැ ?” යි විචාළ සේක.

    “භවද්ගෞතමය, මම් කෘෂ්ණායනයෙක් (-කෘෂ්ණ නම් සෘෂිහුගේ පෙළපතට අයත්තෙක්) වෙමි” යි අම්බට්ඨ තෙමේ (තෙ වරක් උස් හඩින්) කී ය.

  17. (එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක): “අම්බට්ඨය, ඉකුත් කාලයට අයත් සිය මා පියන් අයත් නම්ගොත් සිහි කරන තාගේ ස්වාමිපුත්‍රයෝ ශාක්‍යයෝ වෙති. තෝ ශාක්‍යයන්ගේ දාසියක ගේ පුත්‍ර (පරම්පරාවට අයත්) වෙහි ය. (එබැවින් දාස වූ තා ස්වකීය ස්වමී වූ ශාක්‍යයන් කරා නොඑළැඹෙන්නහු දැක ශාක්‍යයෝ එදා සිනාසුනහ) අම්බට්ඨය, ශාක්‍යයෝ වනාහි ඔක්කාර (=ඉක්ෂවාකු)රජහු තමන් මීමුත්තනුවන් (=පූර්වපුරුෂයාණන්) කොට තබත් (=පූර්වපුරුෂයා කියත්).

    “අම්බට්ඨය, තට පෙරැ වූවක් කියමි, (අතීතයෙහි) ඔක්කාක රජ තෙමේ තමහට ප්‍රිය වූ මනාප වූ යම් මෙහෙසියක් වූ නම් ඇයගේ පුතුට රජය පිරිනමනු කැමැත්තේ උක්කාමුඛ කරකණ්ඩ හත්ථනික නිපුර යන දෙටු කුමරුන් රටින් පිටත් කළේ ය. රටින් පිටත් කරනු ලැබූ ඔහු - හිමවත් පෙදෙසැ පොකුණක් අද්දර මහ ශාක ගස් ඇති වනයෙක් විය. - එහි වාසය කළහ. ඔහු ජාතිසම්භේදයට(අන්‍යකුල හා මිශ්‍ර වැ කිලිටි වීමට බියෙන්) සිය බිහිනියන් හා එක් වැ වුසූහ.

    “අම්බට්ඨය, ඉක්බිති ඔක්කාක රජ තෙම මැතිමඬුල්ලට අයත් ඇමැතියන් අමතා “භවත්නි, කුමරුවෝ දැන් කොහි වෙසෙත් දැ?” යි විචාළේ ය.

    “දේවයිනි, හිමවත පැත්තෙහි පොකුණු තෙරෙක මහා ශාක වනයෙක් ඇත. එහි කුමරුවෝ වෙසෙති. ඔහු ජාතිසම්මිශ්‍රණයෙන් වූ බියෙන් සිය බිහිනියන් හා එක් වැ වෙසෙත් යැ” යි ඇමතියෝ කීහ. 

    අම්බට්ඨය, එවට ඔක්කාක රජ ‘භවත්නි, පුදුම යි. කුමරුවෝ ශක්‍යයෝ ය(සමත්තු ය)! කුමරුවෝ පරම ශාක්‍ය යෝයැ (මහත් ම සමත්තු යැ)! ” යි උදන් ඇනී ය. අම්බට්ඨය, එතැන් පටන් ඔහු ‘ශාක්‍යයෝ’ යි (ශාක්‍යයෝ යි) පැනෙත්. ඒ ඔක්කාර රජ ම ඔවුන්ගේ පුර්ව පුරුෂ විය.

    “අම්බට්ඨය, මේ කලැ මිනිස්සු පිශාචයන් දැක ‘පිශාචයෝ’යි යම්සේ හඳුනත් ද, අම්බට්ඨය, එසේ ම එසමයෙහි, මිනිස්සු පිශාචයන් කළු පැහැත්තෝ යැ යි හඳුනත්. ඔහු  ‘මේ තෙමේ උපන්නේ (=උපන් කෙණෙහි) කථා කෙළේ ය. කෘෂ්ණයෙක් (=කළුවෙක්) උපන, පිශාචයෙක් උපනැ’ යි මෙසේ කීහ.

    “අම්බට්ඨය,  එතැන් පටන් කෘෂ්ණ්‍යයනයෝ (=කෘෂ්ණ පරම්පරාවට අයත් වූවෝ යැ යි ඔහු පරපුරෙහි වුවෝ) පැනෙත්. හේ කෘෂ්ණායනයන්ගේ පූර්ව පුරුෂයා ය. අම්බට්ඨය, මෙසේ ම ශාක්‍යයෝ මාපිය පරපුරට අයත් අතීත නම් ගොත් සිහි කරන තාගේ ස්වාමිපුත්‍රයෝ ය, තෝ ශාක්‍යයන්ගේ දාසිපුත්‍රෙයකැ”යි යනුයි.

  18. මෙසේ වදාළ කල්හී ඒ මාණවකයෝ කියන්නෝ “භවත් ගෞතම තෙමේ ඉතා දැඩි ලෙස දාසිපුත්‍රවාදයෙන් අම්බට්ඨ මාණවකයා නො පිරිහෙළා වා. භවද් ගෞතමයිනි, අම්බට්ඨ මාණවක තෙමේ සුජාත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ කුලපුත්‍ර (මානා කුලයෙහි උපන්නෙක් ) ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ බහුශ්‍රැත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ මිහිරි වචන ඇත්තේ ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ පණ්ඩිත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ මේ වචනයෙහි (=මේ වේදත්‍රය පිළිබඳ කථායෙහි හෝ මේ දාසිපුත්‍ර කථායෙහි) භවද් ගෞතමයන් හා ප්‍රතිමන්ත්‍රණය කරන්නට (=මෙහිලා උත්තර දෙන්නට) පොහොසත් ද වේ” යැ යි භාග්‍යවතුන් වහන්සේට කීහ.
  19. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයන් අමතා, “මාණවකයෙනි, අම්බට්ඨ මාණවකයා දුර්ජාත ද වේ. අම්බට්ඨ මාණවකයා අකුලපුත්‍ර ද වේ. අම්බට්ඨ මාණවකයා අල්පශ්‍රැත ද වේ. අම්බට්ඨ මාණවකයා නොමිහිරි වචන ඇත්තේ ද වේ. අම්බට්ඨ මාණවකයා අපණ්ඩිත ද වේ. ශ්‍රමණ ගෞතමයා හා මේ වචනයෙහි සාකච්ඡා කරන්නට පොහොසත් ද නො වේ යැ යි ඉදින් තොර මෙසේ සිතෙක් වේ නම්, අම්බට්ඨ මාණවකයා සිටී වා.  තෙපි මා හා මේ වචනයෙහි සාකච්ඡා කරවු. ඉදින් මාණවකයිනි, අම්බට්ඨ මාණවකයා පුජාත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ කුලපුත්‍ර (මානා කුලයෙහි උපන්නෙක් ) ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ බහුශ්‍රැත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ මිහිරි වචන ඇත්තේ ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ පණ්ඩිත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ මේ වචනයෙහි (=මේ වේදත්‍රය පිළිබඳ කථායෙහි හෝ මේ දාසිපුත්‍ර කථායෙහි) භවද් ගෞතමයන් හා ප්‍රතිමන්ත්‍රණය කරන්නට (=මෙහිලා උත්තර දෙන්නට) පොහොසත් ද වේ” යැ යි තොපට මෙසේ සිතෙක් වේ නම්, තෙපි සිටිවු. අම්බට්ඨ මාණවක තෙමේ මා හා සාකච්ඡා කෙරේ වා” යි වදාළ සේක.
  20. “භවද් ගෞතමය, අම්බට්ඨ මාණවක තෙමේ පුජාත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ කුලපුත්‍ර (මානා කුලයෙහි උපන්නෙක් ) ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ බහුශ්‍රැත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ මිහිරි වචන ඇත්තේ ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ පණ්ඩිත ද වේ. අම්බට්ඨ මාණවක තෙමේ මේ වචනයෙහි (=මේ වේදත්‍රය පිළිබඳ කථායෙහි හෝ මේ දාසිපුත්‍ර කථායෙහි) භවද් ගෞතමයන් හා ප්‍රතිමන්ත්‍රණය කරන්නට (=මෙහිලා උත්තර දෙන්නට) පොහොසත් ද වේ. අපි නිහඬ වන්නමු. අම්බට්ඨ මාණවක තෙමේ භවද් ගෞතමයන් හා මේ වචනයෙහි සාකච්ඡා කෙරේ වා(උත්තර පුත්‍යුත්තර කථා කෙරේ වා)”යි මාණවකයෝ කීහ.
  21. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා අමතා  “අම්බට්ඨය, නොකැමැත්තෙන් වුව ද විසැඳිය යුතු මේ කරුණු සහිත පැණයෙක් තා කරා පැමිණෙයි. ඉඳින් තෝ නො විසඳන්නෙහි නම්, එක් වචනයෙකින් අන් වචනයක් වසා ලන්නෙහි නම්, තුෂ්ණීම්භූත හෝ වන්නෙහි නම්, උත්තර හෝ නොදී නැගී පලායන්නෙහි නම්, මෙහි ම තගේ හිස සත් කඩක් වැ පැළෙන්නේ ය, අම්බට්ඨ ය, එය කිමැ යි සිතහි ද? වයසින් වැඩි සිටි, මහලු වූ, (මෙහිලා) කරුණු කියන ආචාර්‍ය ප්‍රාචාර්‍ය වූ බමුණන්ගේ කථාව තා විසින් කෙසේ අසන ලද ද? (කියව,) කෘෂ්ණායනයෝ කවරක්හු මූලස්ථාන කොට ඇත්තෝ ද? (කවරුන්ගෙන් ඇති වූවෝ ද?) කෘෂ්ණායනයන්ගේ පුර්වපුරුෂයා කවරෙක් වී දැ?’ යි පුළුවුත් සේක.
    මෙසේ ඇසු කල්හී අම්බට්ඨ මාණවක තෙමේ තුෂ්ණීම්භූත විය. දෙවෙනි වරද භාග්‍යවතුන් වහන්සේ. අම්බට්ඨ මාණවකයා අමතා “අම්බට්ඨය, කිමැ යි සිතහි ද? වයසින් වැඩි සිටි, මහලු වූ, (මෙහිලා) කරුණු කියන ආචාර්‍ය ප්‍රාචාර්‍ය වූ බමුණන්ගේ කථාව තා විසින් කෙසේ අසන ලද ද? (කියව,) කෘෂ්ණායනයෝ කවරක්හු මූලස්ථාන කොට ඇත්තෝ ද? (කවරුන්ගෙන් ඇති වූවෝ ද?) කෘෂ්ණායනයන්ගේ පුර්වපුරුෂයා කවරෙක් වී දැ?’ යි අසා වාදළ සේක. දෙවෙනි වරද අම්බට්ඨ මාණවක තෙමේ තුෂ්ණීම්භූත විය.

    එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයාට වදාරන සේක්, “අම්බට්ඨය, දැන් විසඳව. දැන් තට නිහඬ වීමට කල් නො වේ. අම්බට්ඨය, යමෙක් වනාහි තථාගතයන් විසින් තෙවෙනි වර තෙක් කරුණු සහිත පැණයක් පිළිවිස්නා ලද්දේ උත්තර නො දේ නම්, මෙහි ම ඔහුගේ හිස සත් කඩෙක් වැ පැළෙන්නේ යැ”යි වදාළ සේක.

  22. එ වේලෙහි වනාහි වජ්‍රාණි යක්ෂ තෙමේ ගිනි ගත් දිලියෙන ගිනි දැල් සහිත මහ යකුළක් අතින් ගෙන, ‘ඉදින් මේ අම්බට්ඨ මාණවකයා භාග්‍යවතුන් වහන්සේ විසින් තෙවෙනි වර තෙක් කරුණු සහිත පැනය පුළුවුස්නා ලද්දේ උත්තර නොදෙන්නේ නම්, මෙහි ම මොහුගේ හිස සත් කඩකට පළන්නෙමි’ යි කියා අම්බට්ඨ මාණවකයාට උඩින් අහසෙහි සිටියේ වෙයි. ඒ වජ්‍රපාණි යක්ෂයා වනාහි භාග්‍යවතුන් වහන්සේත් දක්නා සේක. අම්බට්ඨ මාණවකයාත් දක්නේ ය.
  23. ඉක්බිති අම්බට්ඨ මාණවක තෙමේ තැති ගත්තේ, බිය පත් වූයේ, හටගත් ලොමුදහ ගැනුම් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ ම ආරක්ෂා ස්ථානය කොට සොයනුයේ, භාග්‍යවතුන් වහන්සේ ම තමාට සැඟවෙන තැන කොට සොයනුයේ, භාග්‍යවතුන් වහන්සේ ම පිහිට කොට සොයනුයේ, සමිපයෙහි හිඳ ගෙන  ‘භවත් ගෞතම් තෙමේ මට ඒ කුමක් කීයේ ද? යලිත් භවද් ගෞතම තෙමේ කියාවා”යි කී ය.

    එවිට භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨය, එය කිමැ යි සිත හිද ? (මෙහිලා) කරුණු කියන වයසින් වැඩි සිටි, මහලු ආචාර්‍ය ප්‍රාචාර්‍යයන් ගේ කථාව තා විසින් කෙසේ අසන ලද ද? කෘෂ්ණායනයෝ කවරක්හු මූලස්ථාන කොට ඇත්තෝ ද ? කෘෂ්ණායනයන් ගේ පූර්වපුරුෂයා කවරෙක් වී දැ?” යි වදාළ සේක.

    “භවද් ගෞතම තෙමේ යම්සේ ම කියේ ද, එසේ ම මා විසින් අසන ලදි. කෘෂ්ණායනයනයෝ ඒ කෘෂ්ණයා මූලස්ථාන කොට ඇත්තෝ ය. හේ ම කෘෂ්ණායනයන්ගේ ප්‍රථම පුරුෂයා වී යැ” යි අම්බට්ඨයා කී ය.

  24. මෙසේ කී කලැ ඒ මාණවකයෝ  “භවත්නි, අම්බට්ඨ මාණවකයා පහත් ජාතියෙක උපන්නෙක් ල! භවත්නී අම්බට්ඨ මාණවකයා කුලපුත්‍රයෙක් නොවේ ල! භවත්නි, අම්බට්ඨ මාණවකයා ශාක්‍යයන්ගේ දාසිපුත්‍රයෙක් ල! භවත්නි ශාක්‍යයෝ අම්බට්ඨ මාණවකයාගේ ස්වාමීපුත්‍රයෝ වෙත් ල!  අපි ධර්මවාදි වූ ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගැරැහියැ යුත්තන් කොට සිතුවමු!” යි හඬ ගා කියන්නෝ උස්හඬ ඇත්තෝ මහ හඬ ඇත්තෝ වූහ.
  25. එවිට  “මේ මාණවකයෝ අම්බට්ඨමාණවකයාට ඉතා දැඩි ලෙස දාසිපුත්‍ර වාදයෙන් පිරිහෙළා කියත්. මම් ඔහු එයින් මුදා ලන්නෙම් නම් යෙහෙකැ”යි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මාණවකයනට මෙසේ වදාළ සේක:

    “මාණවකයෙනි, තෙපි ඉතා දැඩි කොට අම්බට්ඨ මාණවකයාට දාසීපුත්‍රවාදයෙන් නො ගරහවු. ඒ (ඔහු ගේ ආදී පුරුෂ වූ) කෘෂ්ණර්ෂී තෙමේ මහානුභාව ඇත්තෙක් වී ය. හේ දක්ෂීණාපථයට ගොස් බ්‍රහ්මමන්ත්‍රයන් ඉගෙන ඔක්කාක රජු කරා එළැඹ, මට්ඨරූපී නම් දියණියන් ඉල්ලී ය. ඔක්කාක රජ තෙමේ ‘එම්බල, මගේ දාසිපුත්‍ර වැ හිඳත් මූ කවරෙක් නම් (=මූ තමා තරම නොදැන) මට්ඨරූපි දුව ඉල්ලනුයේ දැ!’යි කිපුණේ නොසතුටු සිතැත්තේ (ඔහු විද මරණ පිණිස) ඊය දුන්නෙහි හිඳුවී ය. හේ ඒ ඊය දුන්නෙන් මුදන්නට ද (විඳින්නට) ඇද ගන්නට ද නොහැකි විය.

    මාණවකයිනි, එ විටැ මැති මුඩුල්ලට අයත් ඇමැතියෝ කෘෂ්ණඊර්ෂීහු වෙත එළෑඹ  ‘පින්වතුන් වහන්ස. රජුට සෙත් වේවා, පින්වතුන් වහන්ස, රජුට සෙත් වේවා’යි කීහ.

    (එවිට කෘෂ්ණ තෙමේ) “රජුට සෙත් වන්නේ ය, එතෙකුදු වුවත්, ඉඳින් රජ ඊය යට දෙසට මුදන්නේ නම්, රජුගේ රට යම් තාක් ද ඒ තාක් පොළොව බිඳී විසිරෙන්නේ යැ”යි කී ය.

    ‘පින්වතුන් වහන්ස, රජුට සෙත් වේවා රටට සෙත් වේ වා,’යි ඇමැතියෝ කීහ.

    ‘රජුට සෙත් වන්නේ ය, රටට සෙත් වන්නේ ය, එතෙකුදු වුවත් ඉඳින් රජ ඊය උඩ දෙසට මුදා හළොත් රජුගේ රට යම්තාක් ද එතෙක් පෙදෙසට සත් හවුරුද්දක් වැසි නො වස්නේ යැ’ යි කෘෂ්ණයා කී ය.

    (එ විට ඇමැතියෝ ) ‘පින්වතුන් වහන්ස, රජුට සෙත් වේවා, රටට ද සෙත් වේවා, වැසි ද වසීවා’යි කීහ.

    (කෘෂ්ණ තෙමේ) ‘රජුට සෙත් වන්නේ ය, රටට ද සෙත් වන්නේ ය, වැසි ද වස්නේ ය, එතෙකුදු වුවත් රජ තෙමේ දෙටු කුමරා කෙරෙහි ඊය පිහිටුවා වා (=දෙටු කුමරුට ඊයෙන් විදී වා), කුමර තෙමේ නිරුපද්‍රිත වන්නේ ය, ලොමුදහ ගැණුම් පමණකුදු නොමැතියේ වන්නේ යැ’ යි කී ය.

    මණවකයිනි, ඉක්බිති ඇමැතියෝ  “රජ තෙමේ දෙටු කුමරා කෙරෙහි ඊය පිහිටුවා වා, කුමර තෙමේ නිරුපද්‍රිත වන්නේ ය, ලොමුදහ ගැණුම් පමණකුදු නැත්තෙක් වන්නේ යැ” යි ඔක්කාක රජුට කීහ. එවිටැ ඔක්කාක රජු දෙටු කුමාරයා කෙරෙහි ඊය පිහිටුවීය.(දෙටු කුමරු දෙසට ඊය මුදා හැරියේ ය.) කුමර තෙමේ නිරුපද්‍රිතව විය. ලොමුදහ ගැනුම් පමණකුදු ඇත්තේ නො වී ය.

    ඉක්බිති ඔක්කාක රජු තැතිගත්තේ, බිය ගත්තේ, හටගත් ලොමුදහ ගැනුඹ් ඇත්තේ, බ්‍රහ්මදණ්ඩයෙන් තරවටු කරනු ලැබුයේ, ඔහුට මට්ඨරූපී නම් දියැණියන් දුන්නේ ය. මාණවකයිනි, තෙපි අම්බට්ඨ මාණවකයාට ඉතා දැඩි කොට දාසිපුත්‍රවාදයෙන් නො ගරහවු. ඒ කෘෂ්ණඊෂී තෙමේ මහානුභාව ඇත්තෙක් වී ය” යනුයි.

  26. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා අමතා  “අම්බට්ඨය, මෙය කිමැයි සිතහි ද ? මෙහි කැත් කුමරෙක් බමුණුදැරියක හා එක් වැ වසන්නේ නම්, ඔවුන්ගේ එක් වැ විසීමෙන් පුතෙක් උපදනේ නම් ඒ කැත් කුමරා නිසා බමුණු දැරියට උපන් පුතා බමුණන් අතුරෙහි අග්‍රාසනය හෝ අග්‍රෝදකය ලබන්නේ දැ ?” යි ඇසූ සේක.

    [අම්බට්ඨ:]“ගෞතමයෙනි, ලබන්නේ ය”

    [භාග්‍යවතුන් වහන්සේ:]“බමුණෝ මලවුන් උදෙසා දෙන බතෙහි හෝ මඟුල් බතෙහි හෝ යාග බතෙහි හෝ ආගන්තුක දානයෙහි හෝ ඔහු වළදවන්නෝ ද?”

    [අම්බට්ඨ:] “භවත් ගෞතමයෙනි, ඔහු වළදවන්නෝ ය.”

    [භාග්‍යවතුන් වහන්සේ:] “බමුණෝ ඔහුට වේදයන් කියවන්නෝ ද, නො කියවන්නෝ ද?”

    [අම්බට්ඨ:] “භවද් ගෞතමයෙනි, කියවන්නෝ ය.”

    [භාග්‍යවතුන් වහන්සේ:] “ඒ කැත් කුමරුට බමුණු දැරියන් කෙරෙහි ආවරණයෙක් වන්නේ ද, නො වන්නේ ද, ? (බමුණු දැරියන් ලබත හැකි වන්නේ ද නොවන්නේ ද?)”

    [අම්බට්ඨ:] “භවද් ගෞතමයිනි, ඔහුට බමුණු දැරියන් කෙරෙහි ආවරණයක් නැත”

    [භාග්‍යවතුන් වහන්සේ:] “ක්ෂත්‍රියයෝ ඔහු ක්ෂත්‍රියාභිෂේකයෙන් අභිසේක කරන්නෝ ද?”

    [අම්බට්ඨ:] “අභිෂේක නොකරන්නෝ ය, භවත් ගෞතමයෙනි,”

    [භාග්‍යවතුන් වහන්සේ:] “ඒ කවර හෙයින් ද?”

    [අම්බට්ඨ:] “භවත් ගෞතමයෙනි, හේ මවු පසින් අසම්පුර්ණ ය (අපිරිසිදු ය) එහෙයිනි.”

  27. [භාග්‍යවතුන් වහන්සේ:] “අම්බට්ඨය, එය කිමැයි  සිතහි ද? මෙහි බමුණු කුමරෙක් කැත් දැරියක හා එක් වැ වසන්නේ නම්, ඔවුන්ගේ එක් වැ විසීමෙන් පුතෙක් උපදනේ නම්, ඒ බමුණු කුමරහු නිසා කැත් දැරියට උපන් යම් පුතෙක් වේ නම්, හේ බමුණන් අතුරෙහි අග්‍රාසන හෝ අග්‍රෝදක ලබන්නේ ද?”

    [අම්බට්ඨ:] “ලබන්නේ ය, භවත් ගෞතමයෙනි,”

    [භාග්‍යවතුන් වහන්සේ:] “බමුණෝ මලවුන් උදෙසා දෙන බතෙහි හෝ මඟුල් බතෙහි හෝ යාග බතෙහි හෝ අමුතු බතෙහි හෝ ඔහු වළදවන්නෝ ද?”

    [අම්බට්ඨ:] “වළඳ වන්නෝ ය, භවද් ගෞතමයෙනි,”

    [භාග්‍යවතුන් වහන්සේ:] “බමුණෝ ඔහුට වේද කියවන්නෝ ද නො කියවන්නෝ ද?”

    [අම්බට්ඨ:] “කියවන්නෝ ය, භවද් ගෞතමයෙනි.”

    [භාග්‍යවතුන් වහන්සේ:] “ඔහුට බමුණු දැරියන් කෙරෙහි ආවරණයෙක් වන්නේ ද, නො වන්නේ ද?”

    [අම්බට්ඨ:] “භවත් ගෞතමයෙනි ආවරණයක් නොවන්නේ ය”

    [භාග්‍යවතුන් වහන්සේ:] “ක්ෂත්‍රියයෝ ක්ෂත්‍රියාභිෂේකයෙන් ඔහු අභිෂේක කරන්නෝ ද?”

    [අම්බට්ඨ:] “භවද් ගෞතමයෙනි, මෙය ඔහු නොකරන්නෝ ය.”

    [භාග්‍යවතුන් වහන්සේ:] “ඒ කවර හෙයින් ද?”

    [අම්බට්ඨ:] “භවද් ගෞතමයෙනි හේ පිය පසින් අසම්පූර්ණ ය(අශුද්ධ ය)”

  28.  [භාග්‍යවතුන් වහන්සේ:] “අම්බට්ඨය, මෙසේ වනාහි (කැත් බමුණු දෙකුලෙන් එක් කුලෙක) ස්ත්‍රියක හා (අන් කුලෙහි) ස්ත්‍රියක හා සැසැඳු කල්හි ද, කැත්හුම උසස් වෙත්, බමුනෝ පහත් වෙත්, අම්බට්ඨය, එය කිමැ යි සිතහි ද? මෙහි බමුණෝ බමුණකු කිසි නොකටයුත්තෙක්හි කරයෙන් හිස මුඩු කොට, අස්මපුටයෙන් වෙහෙසවා (=හෙවත් හිසැ අළු වගුරුවා) රටින් හෝ නුවරින් නෙරපන්නෝ නම්, හේ බමුණන් අතුරෙහි අග්‍රාසනය හෝ අග්‍රෝදකය ලබන්නේ ද?”

    [අම්බට්ඨ:] “භවද් ගෞතමයෙනි මෙය නො වන්නේ යැ”

    [භාග්‍යවතුන් වහන්සේ:] “බමුනෝ ශ්‍රාද්ධයෙහි(මතක බතෙහි) හෝ මඟුල් බතෙහි හෝ යාග බතෙහි හෝ අමුතු බතෙහි ඔහු වළඳවන්නෝ ද?”

    [අම්බට්ඨ:] “නො වළඳවන්නෝ ය, භවද් ගෞතමයෙනි,”

    [භාග්‍යවතුන් වහන්සේ:] “බමුනෝ ඔහුට වේදයන් කියවන්නෝ ද?”

    [අම්බට්ඨ:] “නො කියවන්නෝ ය, භවද් ගෞතමයෙනි,”

    [භාග්‍යවතුන් වහන්සේ:] “ඔහුට ස්ත්‍රීන් අතුරෙහි ආවරණයෙක් හෝ අනාවරණයෙක් වන්නේ ද?”

    [අම්බට්ඨ:] “භවත් ගෞතමයෙනි, ආවරණයෙක් ම වන්නේ ය.”

  29. [භාග්‍යවතුන් වහන්සේ:] “අම්බට්ඨය, ඒ කිමැයි සිතහි ද?  මෙහි ක්ෂත්‍රියයෝ ක්ෂිත්‍රියයෙකු කිසි කරුණෙක්හි කරයෙන් හිස මුඬුකොට හිසැ අළු වගුරුවා රටින් හෝ නුවරින් නෙරපන්නෝ නම්, හේ බමුණන් මැඳැ අග්‍රාසනය හෝ අග්‍රෝදකය හෝ ලබන්නේ ද, ”

    [අම්බට්ඨ:] “ලබන්නේ ය භවත් ගෞතමයෙනි,”

    [භාග්‍යවතුන් වහන්සේ:] “බමුණෝ ශ්‍රද්ධායෙහි හෝ මඟුල් බතෙහි හෝ යාග බතෙහි හෝ අමුතු බතෙහි හෝ ඔහු වළඳවන්නෝ ද?”

    [අම්බට්ඨ:] “වළඳවන්නෝ ය, භවද් ගෞතමයෙනි,”

    [භාග්‍යවතුන් වහන්සේ:] “ඔහුට බමුණු දැරියන් විෂයෙහි ආවරණයෙක් වන්නේ ද? නැත හොත් නො වන්නේ ද?”

    [අම්බට්ඨ:] “ආවරණයෙක් නො වන්නේ ය, භවද් ගෞතමයෙනි.”

    [භාග්‍යවතුන් වහන්සේ:] “අම්බට්ඨය, යම් කලෙක ක්ෂත්‍රියයෝ ක්ෂත්‍රියයකු කරමුඬු කොට (හිසකෙස් බා දමා) අළු පොදියෙන් ගසා (=හිස අළු වගුරුවා) රටින් හෝ නුවරින් හෝ නෙරපන්නෝ නම්, මෙතෙකින් ම ක්ෂත්‍රිය තෙම්(ක්ෂත්‍රියයන් අතුරෙහි ) පහත් ම බවට පැමිණියේ වෙයි. (එහෙත් එසේ වූ ක්ෂත්‍රියයා බමුණෝ උසස් කොට පිළිගනිත්) අම්බට්ඨය,මෙසේ යම් විටෙක ක්ෂත්‍රියයා පහත් ම බවට පැමිණියේ නම්, එ කල්හිත් බමුණන් අතුරෙහි කැත්හු උසස් හ බමුණෝ හීනය හ.

  30. අම්බට්ඨය, සනත්කුමාර බඹුහු විසිනුත් මෙහි ලා මේ ගය ගැයිණ(ගයෙ අදහස:)

     “සිය පරපුර අනු ව පෙරළා අතීතයට ගොස් විමසන ජනයා අතුරෙහි ක්ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ ය, විද්‍යා චරණ දෙකින් යුත් යමෙක් වේ නම් හේ දෙවිමිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ ය.”

     “අම්බට්ඨය, සනත්කුමාර බඹුහු විසින් ඒ ගය මැනවින් ගයන ලද්දේ වේ. නොමනා වැ ගයන ලද්දේ නොවේ. මැනිවින් කියන ලද්දේ වේ. නොමනා වැ කියන ලද්දේ නොවේ. ඒ අර්ථ නිශ්‍රිතය, අනර්ථ නිශ්‍රිත නොවේ, මා විසින් අනුදන්නා ලද්දේ ය. අම්බට්ඨය, මම් ද මෙසේ කියමි:”

     “ගෝත්‍රය ඔස්සේ පෙරළා ගොස් විමසන ජනයා අතුරෙහි ක්ෂත්‍රියයා ශේෂ්ඨ ය. විද්‍යා චරණ දෙකින් යුතු යමෙක් වේ නම්, හේ දෙව් මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ ය ” යනුයි. 

    පළමු බණවර යි.

  31. [අම්බට්ඨ:] “භවද් ගෞතමයෙනි, ඒ චරණය කවර ද? ඒ විද්‍යාව කර ද?”

    [භාග්‍යවතුන් වහන්සේ:] “අම්බට්ඨය, නිරුත්තර විද්‍යාචරණසම්පත්හි ‘තෝ මට සුදු වෙහි යැ’ යි කියා හෝ ‘තෝ මට නුසුදුසු වෙහි යැ’ යි කියා හෝ ජාතිවාදයෙක් කියනු නොලැබේ. ගෝත්‍රවාදයෙක් හෝ කියනු නො ලැබේ. මානවාදයෙක් හෝ කියනු නොලැබේ. අම්බට්ඨය, යම් තැනෙක වූ කලි ආවාහයෙක් හෝ වේද, විවාහයෙක් හෝ වේ ද, ආවාහවිවාහයෙක් හෝ වේද, මෙහි තෝ මට තරම් යැ‘තෝ මට තරම් යැ’යි.(සුදුස්සෙහි යැයි) කියා හෝ ‘තෝ මට නොතරම් යැ’ යි (නොසුදුස්සෙහි යැ යි) කියා හෝ යම් වචනයෙක් ලබ්ධියෙක් වේ ද, මෙය ජාතිවාදය යැ යි ද, ග්‍රෝත්‍රවාද යැ යි ද, මානවාද යැ යි ද කියන ලැබේ. අම්බට්ඨය, යම් කෙනෙක් තුමූ ජාතිවාදයෙහි බැඳුණෝ හෝ ග්‍රෝත්‍රවාදයෙහි බැඳණෝ හෝ මානවාදයෙහි බැඳුණෝ හෝ ආවාහවිවාහයෙහි බැඳුණෝ හෝ වෙත් ද, ඔහු නිරුත්තර විද්‍යාචරණ සම්පත්තියෙන් ඈත්හි වූවෝ ය. අම්බට්ඨය, ජාතිවාදයෙන් බැඳීම් ද ග්‍රෝත්‍ර වාදයෙන් බැඳීම ද මාන වාදයෙන් බැඳීම ද හැරැ දැමීමෙන් ම නිරුත්තර විද්‍යාචරණ සම්පත්තියගේ පසක් කිරීම වේ.”

  32. [අම්බට්ඨ:] “භවද් ගෞතමයෙනි, ඒ චරණය කවර ද? ඒ විද්‍යාව කවර ද?”

    [භාග්‍යවතුන් වහන්සේ:] “අම්බට්ඨය, අරිහත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණ දෙකින් සම්පූර්ණ වූ මනා ගමන් හා මනා වචන ඇති ලෝකය දන්නා නිරුත්තර පුරුෂ දම්‍යසාරථී වූ දෙවිමිනිස්නට ශාස්තෘ වූ සිවු සස් දත්, භගවත් වූ තථාගත තෙමේ මේ ලොව පහළ වෙයි. හේ ආදී කල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ, පර්යවසාන කල්‍යාණ වු, මනා අරුත් ඇති, ව්‍යංජනයෙන් මනා ව සම්පුර්ණ, හැම ලෙසින් ම පිරිපුන් දහම් දෙසයි. පිරිසිදු වූ මාර්ග බ්‍රහ්මචර්‍යය ප්‍රකාශ කෙරෙයි.

  33. කිසි යම් කුලයෙක උපන් ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ එක්තරා කුලයෙක උපන්නෙක් හෝ ඒ දහම් අසයි. හේ ඒ දහම් අසා, තථාගතයන් කෙරෙහි සැදැහැ ලබයි. (පහළ කෙරෙයි.) හේ ඒ සැදැහැ ලැබීමෙන් යුක්ත වූයේ ‘’ගිහිගෙහි විසීම අවහිර ඇති එකෙක, රජස් පථයෙක පැවිද්ද එළිමනෙක. ගිහිගෙහි වසන්නහු විසින් එකැතින් පිරිපුන් කොට, එකැතින් පිරිසිදු කොට, ශංඛලිඛිතයක් සේ කොට මේ බඹසර කරන්නට පහසු නො වේ. මා කෙහෙ රැවුලු බා දමා කසාවත් හැඳ ගිහිගෙන් පැවිද්දට වදිතොත් ඒ යෙහෙකැ” යි මෙසේ සලකයි.

    හේ පසු කලෙක මඳ වු හෝ බොහෝ වූ හෝ වස්තු සම්පත් රාශිය හැරැ දමා, මඳ වූ හෝ බොහෝ වූ හෝ නෑ පිරිස හැර දමා, කෙහෙ රවුලු බා දමා, කසාවත් හැඳ ගිහිගෙන් පැවිද්දට වදී, මෙසේ පැවිදි වූ ම හේ පතිමොක්ඛසංවරයෙන් හැවුරුණේ, ආචාරයෙන් ගෝචරයෙන් සම්පුර්ණවැ, ස්වල්ප වූ ද වරදෙහි බිය දක්නා සුලු වැ වෙසෙයි. සිකපද සමාදන් වැ ගෙන, කුසල් වු කා  විසි කමින් යුත් වැ, පිරිසිදු දිවෙල ඇති වැ, සිල්වත් වැ, ඉඳුරන්හි වැසු දොරැති වැ, බොජුන්හි පමණ දන්නේ, සිහිණුවණින් යුතු වැ (සිවු පසයෙහි) ලද පමණින් සතුටු වැ වෙසේ.

  34. අම්බට්ඨය, මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේ ද ?

    අම්බට්ඨය, මෙහි මහණ තෙමේ පණිවා හැර පණිවායෙන් තොර වැ බහා තැබූ දඬු ඇත්තේ බහා තැබූ අවි ඇත්තේ, පවෙහි ලජ්ජා ඇතියේ, කුළුණෙන් යුත් වූයේ, හැම දිවි ඇති සත් වග කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ සිල් වේ.

    හේ අයිනාදන් හැර අයිනාදනින් තොර වූයේ වේ. දුන් දැය ම ගන්නා සුලු වූයේ දුන් දැය ම අවෙක්සනුයේ, නොසොර වු පිරිසිදු වු සිතින් වේසේ. මේ ද ඔහු ගේ සිල් වේ.

    අබ්රම්සර හැර ගැමි දහම් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙනුයේ, එයින් වැළැක්කේ, බඹසර රක්නේ වේ. මේ ද ඔහුගේ සිල් වේ.

    මුසවා හැර සබවස් ඇත්තේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියනුයේ තහවුරු බස් ඇත්තේ, හැඳහියැ යුතු බස් ඇත්තේ , ලොව නොරවටනුයේ, මුසවායෙන් වැළැක්කේ වේ. මේ ද ඔහුගේ සිල් වේ.

    පිසුණු බස් හැරැ පිසුණු බසින් වැළැක්කේ වේ. මේ තැනින් අසා ගෙන, මොවුන් ගේ බිඳීම පිණිස එතන්හි නො කියන්නේ වේ. එ තැනින් හෝ අසා ගෙන ඔවුන්ගේ බිඳීම පිණිස මොවුනට කියන්නේ නො වේ. මෙසේ බිඳුණවුන් එකට ගළපන, එකට ගැළැපුණවුන් ගේ සමඟියට අනුබල දෙන, සමඟියෙන් වසනවුන් හා වසනු රිසි, සමඟිය ඇතියනට ඇලුණු, සමඟිය ඇතියවුනට සතුටු, සමඟිය ඇත්තවුන් කරන බස් තෙපන්නේ වේ. මේ ද ඔහු ගේ සිල් වේ.

    පරොස් බස් හැරැ පරොස් බසින් වැළැක්කේ වෙයි. යම් බසෙක් නිවැරදි ද, කන්කලු ද, පෙම් කටයුතු ද, සිතැ කාවදනේ ද, නියැරියන් ගේ බස් සේ සිලුටු ද, බොහෝ දෙනාට පිය ද, බොහෝ දෙනා මන වඩනේ ද, එ බඳු වූ බස් තෙපලනුයේ වේ. මේ ද ඔහුගේ සිල් වේ.

    බොල් බස් හැරැ දමා සුදුසු කල් වේලා බලා ම කතා කරනුයේ, ඇත්ත ම කියනුයේ, වැඩක් ම කියනුයේ, දහමක් ම කියනුයේ, හික්මෙනුවට සුදුසු බසක් ම කියනුයේ බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වේ. සුදුසු කාලයෙහි කරුණු සිහත, ඉමක් කෙළවරක් ඇති, අරුත් සහිත, සිතැ තබා ගත යුතු බස් තෙපලනුයේ වෙයි. මේ ද ඔහුගේ සීල් වේ.

  35. හේ බීජසමූහ(=පැළ වන දෑ) ද, භූතසමූහ (පැළ වුණු දෑ) ද, සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන බත් ඇත්තේ, නොකල් බොජුනෙන් වැළැක්කේ වෙයි. නටනු ගනු වයනු විසුළුදසුන් යන මෙයින් වැළැක්කේ වෙයි. ඇඟැ සැරැසීමට කරුණු වන මල්ගඳවිලෙවුන් දැරීමෙන් වැළැක්කේ වෙයි. පමණ ඉක්මැවූ උසසුන් ද, නොකැප වූ මහසුන් ද යන දෙකින් ම වැළැක්කේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් බැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ  වෙයි. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහියනට දූතමෙහෙවර කිරීමෙහි ද ගෙන් ගෙට පණිවිඩ පණත් ගෙන යෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ වෙයි. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. හොර තරාදියෙන් කිරුමෙන්, බොරු රන් පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ වෙයි. අල්ලස් ගෙන හිමියන් නොහිමි කිරීමෙන්, නානා උපායෙන් අනුන් රැවැටුමෙන්, අගනා දැයට හුරු නො අගනා දැයක් පෙන්නා කරන මායායෙන්, මේ කී නොකී හැම කෛරාටිකකම්වලින් ම වැළැක්කේ වෙයි. අත් පා ආදිය සිඳීමෙන් ද, මැරීමෙන් ද, රැහැන් ආදියෙන් බැඳීමෙන් ද, සැහැසිකම්වලින් ද වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සීල් වේ.

    චූල්ලසීලය නිමියේ ය.

  36. යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලබීජ, (හිඟුරු ආදී පැළ වන මුල් ද), ස්කන්ධබීජ ද(නුග ආදී පැළ වන කඳ ද), පරුවීජ ද (උක් උණ බට ආදී පැළ වන පුරුක් ද), අග්‍රවීජ (ඉරිවේරිය හා පැළවන දළු ද), පස් වනු වීජ වීජ ද(වී ආදී පැළ වෙන ඇට ද) යන මේ කී වීජසමූහ ද (පැළ වන දෑ ද) භූතසමූහ ද (පැළැවුණ දෑ ද) පෙළීමෙහි (සිඳුම් බිඳුම් තැලුම් තැවුම් යැ යි)කියන ලද සමාරම්භයෙහි යෙදුණෝ වෙසෙත් ද, හෙ තෙමේ මේ බඳු වීජග්‍රාම භූතග්‍රාම සමාරම්භයෙන් වැළැක්කේ වෙයි.  මේ ද ඔහුගේ සිල් වේ.
  37. යම්සේ වනාහී ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කෑම රැස් කොට තබා ගැන්ම, බොන දෑ රැස් කර තබා ගැන්ම,  වස්ත්‍ර රැස්කොට තබා ගැන්ම, රිය ගැල් ආදිය ද පාවහන් ආදිය ද යන යාන රැස් කොට තබා ගැන්ම, ඉහතැ කී දෑ හැර තවත් තල සහල් ඈ වුවමනා පසය රැස් කොට තබා ගැන්ම යන මෙසේ වූ සන්නිධිකාරපරිභොගයෙහි (පසය රැස් කොට තබාගෙන වැළඳීමෙහි) යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
  38. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක්ව ජන සමූහයා ඉදිරියේ දක්වන නැටුම්), ආඛ්‍යාන (මහාභාරතාදිය කීම හෝ ඇසීම), පාණිස්වර (අතින් ලොහොබෙර ගැයුම් හෝ අත්තල ගැසීම), වේතාල (දඬුමුවා තාළම්පට ගැසීම හෝ මතුරු දපා මළසිරුරු නැගිටුවීම), කුම්භථූන (සිව්රස් බෙර වැයුම්), ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඩුල්ලෙහි දී දේවතාවනට ස්තෝත්‍ර වශයෙන් නාන්දීගීත ගායනය හෝ ප්‍රතිභානචිත්‍ර කිරීම), සනදොවුන් කෙළිය (හෝ ආයොගුඩක්‍රීඩාව), උණගස් ඔසොවා ගෙන කරන ක්‍රීඩාව, අස්ථිධොවනය (මලවුන්ගේ ඇට සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කිරීම), ඇත්පොර, අශ්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බළසෙන් ගණිනා තැන් දක්නට යෑම යන මෙබඳු විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
  39. යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙළිය, අහස්දූකෙළිය, මඩුලු පැනුම, සන්තිකාක්‍රිඩාව, දාදුකෙළිය, කල්ලි ගැසුම, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළ නළා පිඹුම, කෙළි නගුලින් හෑම, කරණම් ගැසුම, කන්නංගුරුවා කෙළිය, කොළ නැළියෙන් වැලි ඈ මැනුම, ක්‍රිඩාරථ පැදැවීම, කුඩා දුන්නෙන් විදීම, ඇකිරිකෙළිය, (පිටේ හෝ අහසේ අකුරු ඇඳ කියැවීම), සිතු දැය කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය (කනුන් කොරුන්  ආදීන් සේ ඉරියව් පැවැත්වීම.)  යන මෙබඳු වූ පමාවට කරුණු වූ දූ කෙළියෙහි යෙදී වෙසෙත් ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
  40. යම්සේ වනාහී ඇතැම් භවත් මහනබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟලා පුටුය, පලඟය, මහ කොඳුපලසය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම් ඇතිරිය, ගනමල් යෙදූ එළුලොම් ඇතිරිය. තිලිය(පුළුන් මෙත්තය), සිංහාදිරූපවලින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම් ඇතිරිය එක් පැත්තේ පමණක් ලොම් ඇති එළුලොම් මුවා ඇතිරිය, රන්කසුකම් කළ පසතුරුණ, අසු පිටැ එලන ඇතිරිය, රිය එලන ඇතිරිය, ඇඳට සරලන සේ අදුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොර පාමුල රතු කොට්ට තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන බෙමඳු වූ උස් යහන් මහ යහන් පරිහරණය කිරීමෙහි යෙදී වෙසෙද්ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ උස් යහන් මහ යහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ දඔහුගේ සිල් වේ.
  41. යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, සුවඳ සුණුයෙන් ඇඟ ඉලීම්, අත්පා ඇහි මනා සටහන් ගන්වනුවට තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිස්ඇහිමස් වැඩෙනුවට මුඟුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, අලංකාර වශයෙන් අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිළෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්බිය බැදීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත්නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නලල්පට බැඳීම, සිළුමිණ පැලැඳීම, විසිතුරු සෙමෙර විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැදීම යන ආදී ඇඟ අඩු තැන් පිරවීමටත් ඇග සැරසීමටත්, කරුණු වන දෑ පරිභෝගකිරීමෙහි යෙදී වෙසෙත් ද, හේ මහණ තෙමේ මේ හෝ මේ බඳු දෑ පරිභෝග කිරීමෙන් වැළැක්කේ  වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
  42. යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, රාජකථා, චෝරකථා, මහාමත්‍ය කථා, සේනා කථා, භය කථා, යුද්ධ කථා, ආහාර කථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලා කථා, ගන්ධකථා, ඥාති කථා, යාන කථා, ග්‍රාම කථා, නිගම කථා, නගර කථා, ජනපද කථා, ස්ත්‍රී කථා, පුරුෂ කථා, කුමාර කථා, කුමාරී කථා, ශූර කථා, වීථි කථා, කුම්භස්ථාන කථා, නානාත්ව කථා, ලෝකාඛ්‍යායිකා කථා, සමුද්‍රාඛ්‍යායිකා කථා, ඉතිභවාභව කථා යන මේ බඳු වූ තිරශ්චින කථාවල යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ මෙයින් අන්‍ය වූ හෝ මේ බඳු කථාවලින් වැළැකකේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
  43. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “තෝ මේ දහම් විනය නො දනිහි. මම ම මේ දහම් විනය දනිමි. ‘මේ දහම් විනය කිමැ‘යි  තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි. මම් මැනවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පලමුයෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් නිගන්නා ලද්දෙහි. මා නැගු දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව). හැකි නම් එය විසඳව” යන ආදීන් මේ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදෙත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ අන් මෙබඳු වූ හෝ බැණුම්දෙඩුම්වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
  44. යම්සේ සමහර භවත් මහණබමුණෝ “මෙහි යන්නැ, අසෝ තැනට එන්නැ, මෙය ගෙනැ යන්න, අසෝ තැනට මෙය ගෙනෙන්නැ”යි කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහඇමතියන්ගේ ක්ෂත්‍රියයන්ගේ පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ අන් මෙ වැනි වූ දූත මෙහෙවරින්, පණිවුඩ ගෙන යෑමෙන් වැළැක්කේ  වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
  45. යම්සේ සමහර පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභසත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේක්ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙබඳු වූ හෝ කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ. 

    මධ්‍යමශීලය නිමියේ ය.

  46. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්ෂණය, ස්වප්නශාස්ත්‍රය, ලක්ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්ෂය යන මෙකී හෝ මෙබඳු වූ හෝ තීරශ්චීනවිද්‍යායෙන්, මිත්‍යාජීවයෙන් දිවි පවත්වත්ද, ඒ මහණ තෙමේ එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
  47. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණුය, වත්ලකුණුය, දඬුලකුණුය, කඩුලකුණුය, ඊලකුණුය, දුනුලකුණුය, අවිලකුණුය, ඉතිරිලකුණුය, පුරිස්ලකුණුය, කුමරලකුණුය, කුමරිලකුණුය, දස් ලකුණු ය, දැසිලකුණුය, ඇත්ලකුණුය, අස් ලකුණුය, මියුලකුණුය, වහප්ලකුණුය, ගොන්ලකුණුය, එළුලකුණුය, බැටෙළුලකුණුය, කුකුළුලකුණුය, වටුලකුණුය, ගොය්ලකුණුය, කැණිලකුණුය, කසුබුලකුණුය, මුවලකුණුය, යන ආදී මෙබඳු තිරශ්චීන විද්‍යායෙන්,  මෙබඳු මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ එයින් වැළැක්කේ  වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
  48. යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “අසෝ දිනැ අසෝ නැකැතින් (යුද සඳහා) සිය නුවරින් අසෝ රජුන්ගේ නික්මීම වන්නේ ය, අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය, අසෝ නැකතින් පිටතැ සිටින සතුරු රජුන් හමුවන්නට රට තුල සිටින සතුරු රජුන්ගේ යෑම වන්නේ ය, අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය, අසෝ නැකතින් රට තුළැ සිටින රජුන් කරා පිටතැ සිටින සතුරු රජුන්ගේ පැමිණීම වන්නේ ය, අසෝ නැකතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් ව යෑම වන්නේ ය, රට ඇතුළතැ සිටන රජුනට ජය වන්නේ ය, පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය, රට තුළ සිටින රජුනට පරාජය වන්නේ යැ” යි මෙසේ ‘මොහුට ජය වන්නේ ය, මොහුට පරාජය වන්නේ යැ’යි කියමින් මේ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු වු මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මේ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
  49. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා “අසෝ දිනැ චන්ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරු දෙදෙනා නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත් තරුන් නිසිමඟින් යෑම වන්නේ ය. අසෝ දින ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දින උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳහිරුන්ගේ ද, නකත් තරුන්ගේ ද, උදාව බැසීම කෙලෙසීම පිරිසිදුබව වන්නේ ය.චන්ද්‍රග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සුර්‍යග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් නිසි මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ නොමඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උප්පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. දිග්දාහය මෙ බඳු ගෙනැ දෙන්නේ ය. භූමිකම්පනය මෙබදු පල ගෙන දෙන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල දෙන්නේ ය. සඳහිරුන්ගේ ද නකත් තරුවලද උදාවත් බැසීමත් කෙළෙසීමත් පිරිසිදු වීමත් මෙ බඳු මේ බඳු පල දෙන්නේ යැ ” යි කියනුවෝ මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහන තෙමේ මේ හෝ මෙ බඳු තිරශ්චින විද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
  50. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “මේ සමයෙහි වැසි වස්නේ ය. මේ සමයෙහි නියං වන්නේ ය. මේ සමයෙහි රට සුභික්ෂ වන්නේ ය. මේ සමයෙහි රට දුර්භික්ෂ වන්නේ ය. මේ සමයෙහි රටට උවදුරු වන්නේ ය. මේ සමයෙහි රටට බිය වන්නේ ය. මේ කලැ රෝග වන්නේ, මෙ කලැ රෝග නැති බව වන්නේ යැ” යි පලාපල කීම ද, මුද්‍රාව(ඇඟිලි පුරුක්හී සංඥා තබා ගිණීම )ද, ගණනාව (එක දෙක යන ආදීන් ගිණීම) ද, කාව්‍යශාස්ත්‍රය, ලෝකායත ශාස්ත්‍රය යන මේ හෝ මේබඳු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාආජිවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ අන් මෙ බඳු වු හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි.  මේ ද ඔහුගේ සිල් වේ.
  51. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹුසැමියන් එක් වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍ය ඇති වනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරු ගබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුලු බැඳිම, මන්ත්‍රාදියේ බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, හනු පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුලු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතෙහි දේවතාවේශය කොට ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියැවීම, ජිවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනිජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳවීම, යන මේ හෝ අන් මේ බඳු  වූ තිරශ්චීනවිද්‍යයෙන්, මිථ්‍යාජීවයෙන් දිවිපවත්වත් ද, ඒ මහණ තෙමේ මේ ද, අන් මෙබඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
  52. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්ම, ප්‍රණිධිකර්ම, භූරිකර්ම, පණ්ඩකයා පිරිමියෙකු කිරීම, පිරිමියා පණ්ඩකයෙකු කිරීම, වාස්තුකර්ම, වාස්තු පරිකිරණ, මතුරු දපා වුම දෙවුම්, මතුරු දපා අනුන් නෑවිම, සෙත් පතා ගිනිපිදීම, ගිහියනට වමන කරවීම, බඩ විරේක කරවීම, ළය විරේකයට බේත් දීම, වස්ති කිරීම, ශිර්ෂවිරේචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැදීම, ගිහියන් සඳහා ඇස පටලයට සිහිල ගන්වන නෙත් තෙල් පිසීම, ගිහියනට නස්‍ය දීම, කාරම් අඳුන් සාදා දීම,  ඇස සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම( කාය චිකිත්සාව) , කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගවා දැමීම යැ”යි මේ ආදී වූ හෝ මෙබඳු වූ තිර්ශචීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන්, දිවි පවත් වත් ද, ඒ මහණ තෙමේ ඒ සියල්ලෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සිල් වේ.
  53. අම්බට්ඨය, ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ ශීලසංවරහෙතුයෙන් කිසිම එක ද අසංවරතායෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. අම්බට්ඨය, කෂ්ත්‍රියාභිෂේකයෙන් අභිෂේක ලත්, වැනසූ සතුරන් ඇති ක්ෂ්ත්‍රියයෙක් කිසි ම එකද සතුරෙකුගෙන් වියැ හැකි කිසිදු බියකුත් යම්සේ නොදක්නේ ද, අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ මේ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ ශීලසංවරහේතුයෙන් කිසිම එක ද අසංවරයෙකින් ඉපැදිය හැකි බියක් නොදකී.  හේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් සමන්විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුවය විඳී. අම්බට්ඨය, මෙසේ වනාහී මහණ තෙමේ ශීලසම්පන්න වේ.

    ____________________

  54. අම්බට්ඨය, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හී වැසූ දොර ඇත්තේ වේ ද? යත්: අම්බට්ඨය, මේ  සස්නෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශූභාදිවශයෙන් අත් පා ආදී අවයවයන්ගේ ආකාර සිතට නොගන්නේ වේ. යම් කරුණෙකින් චක්ෂුරින්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ චක්ෂුරින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ චක්ෂුරින්ද්‍රියය රකී. ඒ චක්ෂුරින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

    කනින් හඬ අසා ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශූභාදිවශයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් සෝතඉන්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ සෝතඉන්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ සෝතඉන්ද්‍රිය රකී. ඒ සෝතඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

    නාසායෙන් ගඳ ආඝ්‍රාණය කොට ශුභාදීවශයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවශයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් ඝාණඉන්ද්‍රිය වසා නොගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ ඝාණඉන්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ ඝාණඉන්ද්‍රියය රකී. ඒ ඝාණඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

    දිවෙන් රස ආස්වාද කොට ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවසයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් ජිව්හින්ද්‍රිය වසා  නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ ජිව්හින්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ ජිව්හින්ද්‍රියය රකී. ඒ ජිව්හින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

    කයින් ස්ප්‍රෂ්ටව්‍යය (ඇඟට හැපෙන දෑ)ස්පර්ශ කොට ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවසයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් කායින්ද්‍රිය වසා  නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ කායින්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ කායින්ද්‍රියය රකී. ඒ කායින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

    සිතින් ධර්මාලම්බන දැන, ශුභාදී වසයෙන් එහි ලකුණු ගන්නේ නො වේ. ශුභාදීවසයෙන් ආකාර ගන්නේ නො වේ. යම් ආකාරයෙන් මනින්ද්‍රිය සංවර කර නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ මනින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ මනින්ද්‍රියය රකී. ඒ මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

    හේ මේ ආර්‍ය වූ ඉන්ද්‍රියසංවරයෙන් සමන්විත වූයේ සිය සතන්හි අව්‍යාසේක සුඛය (කෙලෙසුන් ගෙන් තෙත් නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්ත සුඛය) විඳී. අම්බට්ඨය,  මෙසේ වනාහී මහණ තෙමේ ඉන්ද්‍රියයන්හී වැසූ දොර ඇත්තේ වේ.

    අම්බට්ඨය,  මෙසේ මහණ තෙම ඉඳුරන්හි වැසු දොරැත්තේ වෙයි.

  55. අම්බට්ඨය, මහණ තෙමේ කෙසේ නම් ස්මෘතිසම්ප්‍රජානනයෙන් (සිහිනුවණින්) සමන්විත වේ ද? යත්:

    අම්බට්ඨය, මේ සස්නෙහි මහණ තෙමේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි (ආපසු හැරීමෙහි) මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. ඉදිරි බැලීමෙහි, අනුදික් බැලීමෙහි, (වටපිට බැලීමෙහි) මනා නුවණින් දැනම (එය) කරනුයේ වෙයි. අත් පා ආදිය හැකිලීමෙහි, දිගු කිරීමෙහි නුවණීන් දැන ම (එය) කරනුයේ වෙයි.  සඟළසිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. ආහාර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටි කැවිලි ආදිය කෑමෙහි, මී පැණී ආදිය රස විඳීමෙහි, නුවණීන් දැන ම කරනුයේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණීන් දැන ම කරනුයේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි කථා කිරීමෙහි, නො බිණීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි. අම්බට්ඨය, මෙසේ වනාහී මහණ තෙමේ සිහි නුවණින් සමන්විත වෙයි.

  56. අම්බට්ඨය, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේද ? යත්:

    අම්බට්ඨය, මේ සස්නෙහි මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට නික් මැ යේ ද, අට පිරිකර පමණක් ගෙන ම නික්මෙයි. අම්බට්ඨය, (පියා හඹනුවට තරම්) අත්තටු ඇති කුරුලු තෙමේ යම් යම් තැනක පියා හඹා යේ නම්, පියාපත්බර සහිත ව ම යම් සේ පියාහඹා යේ ද, එසේ ම, අම්බට්ඨය, ඒ මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට යේ ද පා සිවුරු (ආදී අට පිරිකර පමණක්) රැගෙන ම යෙයි. අම්බට්ඨය, මෙසේ වනාහි තෙමේ ලද පසයෙහි සතුටු වේ.

  57. අම්බට්ඨය, ඒ මහණ තෙමේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය ඉන්ද්‍රියසංවරයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය ස්මෘතිසම්ප්‍රජන්නයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්විත වූයේ, අරණ්‍ය වෘක්ෂමූල පර්වත කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් (වනප්‍රස්ථ) අභ්‍යවකාශ (එළිමහන්) පිදුරුලෙන් යන මෙ කී ජනශූන්‍ය කිසි සෙනස්නක් භජනය කෙරෙයි. හේ පිඬු  සෙවීමෙන් පෙරළා ආයේ, පසුබත් සෙමෙහි, පලක් බැඳ උඩු කය කෙළින් පිහිටුවා, කමටහනට අභිමුඛ කොට සිහිය එළවා හිඳී.
  58. හේ ලොවැ (පඤ්ච උපාදානස්කන්ධය කෙරෙහි) ඇල් ම හැර, විෂ්කම්භණප්‍රහාණයෙන් (යට පත් කිරීමෙන්) පහ වූ අභිජඣායෙන් යුත් සිතින් වෙසෙයි.  අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂය (ක්‍රෝධය) හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ, සියලු පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය  හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ දිව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනනු හැකි පිරිසිදු සංඥාව ඇත්තේ, සිහියෙනුත් නුවණිනුත් යුක්ත වූයේ වෙසෙයි. ස්ත්‍යානමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් (සිතැ නොසංහුන් බවත්) කුකුසත්(කළ නො කළ දැයෙහි පසුතැවිල්ලත්) සිතින් දුරැ ලා, අනුද්ධත වැ (නොසංහුන් බැවින් තොර වැ) සංසිඳුනු ස්වකීය චිත්තසන්තානය ඇත්තේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක  නො කරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
  59. අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් (පොලියට)ණය මුදලක් ගෙනැ කර්මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්මාන්ත සමෘද්ධ වන්නේ නම්, හේ යම් පරණ ණය මුදල් වී නම්, ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇත් නම් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම් පලමුයෙන් ණයට මුදල් ගෙන කර්මාන්ත කළෙමි. ඒ මගේ කර්මාන්ත සමෘද්ධ විය. ඒ මම්, යම් පරණ ණය මුදල් වී නම් එය ගෙවා අවසන් කෙළෙමි. අඹුදරුවන් රක්නට වැඩිපුර ඉතිරි වූ මුදලෙක් ද මට ඇතැ” යි. මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ ණයනැතිබව කරණ කොට ගෙන සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
  60. අම්බට්ඨය, යම් සේ පුරුෂයෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ලෙස ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟපත ශක්ති පමණකුත් නො වන්නේ ද, හේ මෑත කාලයෙහි ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියේ නම්, ඔහු ඇඟපත ශක්තිය ද වන්නේ නම්, “මම් වූ කලී පෙරැ දුකට පත්, දැඩිව ගිලන් බව් ඇති ලෙඩෙක් වීමි. මට ආහාර ද රිසි නොවී ය. මා ඇඟපත ශක්තිය ද නො වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුනෙම් වෙමි. ඒ මට ආහර ද රිසියෙයි. මා ඇඟ පත ශක්තිය ද ඇතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ නම්, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
  61. අම්බට්ඨය, යම් සේ පුරුෂයෙක් හිර ගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදෙන්නේ ද, (ඒ හේතුයෙන්) ඔහුගේ කිසි භෝග විනාශයෙක් නො වන්නේ ද, “මම් වූ කලී පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි. ඒ මම් දැන් ධන වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදුණෙම් වෙමි. මගේ භෝගයනට කිසි විනාශයෙක් ද නැතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
  62. අම්බට්ඨය, යම්සේ තමා අයත් පැවැතුම් නැති, අනුන් අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති දාස පුරුෂයෙක් වන්නේ ද, හේ මෑත භාගයෙහි තමා අයත් පැවැතුම් ඇතියේ, පරා අයත් පැවැතුම් නැත්තේ, නිදහස් වූයේ , කැමැති අතෙක යා හැකි වූයේ ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙරැ තමා අයත් පැවැතුම් නැති, පරා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යා නොහැකි නොහැකි දාසයෙක් විමී. ඒ මම් දැන් ඒ දාසභාවයෙන් මිදුණෙම්, මා අයත්. පැවැතුම් ඇතියෙම්, පරා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම් කැමැති අතෙක යා හැකියෙම් වෙමි” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.
  63. අම්බට්ඨය, යම්සේ ධනවත් වූ භෝගසම්පත් ඇති පුරුෂයෙක් දුර්ලභ වූ ආහාර ඇති, උවදුරු ඇති, දිය නැති දික් කතරමඟකට බස්නේ ද, හේ පසු කෙලක සුවසේ ඒ නිරුදක පෙදෙස ඉක් මැ යන්නේ ද, උවදුරු නැති විපත් නැති ගම්මානයකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙර ධන ඇතියෙම්, භෝග සම්පත් ඇතියෙම්, දිය නැති, ආහාර දුර්ලභ, ප්‍රතිභය සහිත දික් මඟකට බටුයෙමි. ඒ මම් දැන් සුවසේ ඒ කාන්තාරය තරණය කෙළමි. නිරුපද්‍රැත භය රහිත ගමකට පැමිණෙයෙම් වෙමි” යි සිතෙක් වන්නේ ද, හේ ඒ කරුනින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.  අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ ණයක් මෙන් ලෙඩක් මෙන් හිරගෙයක් මෙන් වහල් බවක් මෙන් දිය නැති දික් මඟක් මෙන් (පිළිවෙලින්) මේ පහ නොවූ නීවරණ පස තමා කෙරෙහි දකී. අම්බට්ඨය, ණය නැති බව යම්සේද, ලෙඩ නැති බව යම්සේ ද, උවදුරු නැති බිම යම්සේ ද, එසේම (පිළිවෙලින්) මේ පහ වූ නිරවණ පස(හෙවත් නීවරණ පසේ දුරු වීම) තමා කෙරෙහි දකී.
  64. තමා කෙරෙහි පහවු මේ නීවරණ පස දක්නා ඔහුට සතුට උපදී.  සතුටු වූවහුට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාම කය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුවැතියහු සිත සමාධිගත වේ. (එකඟ වේ.)
  65. හේ කාමයන්ගෙන් වෙන් ව ම, සෙසු අකුසල දහමුන් ගෙන් ද වෙන් ව ම, විතර්කසහිත, විචාරසහිත, විවේකයෙන් (නීවරණ පහවීමෙන්) උපන් ප්‍රීතියත් සුවයත් ඇති පලමු ධ්‍යානය ලැබ වෙසේ,

    හේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීති සුඛයෙන් තෙමෙයි. මුළුල්ල ම තෙමෙයි. පුරා ලයි, මුළුල්ල ම ස්පර්ශ කෙරෙයි සියලු අඟ පසඟ ඇති ඔහුගේ මුළු කයෙහි ඒ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැද නොගත් (නොපහස්නා ලද) කිසි ද තැනෙක් නො වෙයි.

  66. අම්බට්ඨය, යම් සේ කපුවෙක් (කිලිඟෙක්) හෝ කපුවකුගේ (කිලිඟකුගේ) අතැවැස්සෙක් හෝ ලොහොතලියෙක නාන සුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නාන සුණු පිඬ කාවැදුණු දිය ඇත්තේ හැම තැන ම දියෙන් යුක්ත වූයේ, ඇතුලත පිටත මුළුල්ල ම දියෙන් පැතිරැ ගියේ දිය නො වගුරුවන්නේත් වේද,  අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි. මුළුල්ලම තෙමයි. පුරාලයි. මුළුල්ලම ස්පර්ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟ ඇති මුළු කයෙහි විවේකජ ප්‍රීති සුඛයෙන් පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.

  67. අම්බට්ඨය, තවද  මහණ තෙම විතර්ක විචාර සංහිඳීමෙන්, සිය සතන්හි උපන්, සිය සතන් පහදවන, (ශ්‍රද්ධාව හා එක් වැ යෙදුණු) සිතැ එකඟ බව ඇති, විතර්කය නැති විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසෙයි හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතියෙන් තෙමයි. මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම සපර්ශ කෙරෙයි. ඔහුගේ මුළුකයේ විවේකයෙන් උපන් ප්‍රීති සුවයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.

  68. අම්බට්ඨය, යම් සේ යටැ උල්පතින් මතු වන දිය ඇති ගැඹුරු විලෙක් වේද , එයට පෙර දිගින් දිය ඇතුළු වන මඟෙක් නො වන්නේ ද, දකුණු දෙසින් දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, පැසිම් දිගින් ද දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, උතුරු දෙසින් ද දිය වැද ගන්නා මඟෙක් නොවන්නේ ද, වැස්ස ද, කලින් කලැ සුදුසු පරිදි නො වසින්නේ ද, එතෙකුදු වුවත් ඒ විලෙන් සිහිල් දියදහර මතු වී  ඒ විලම සිහිල් දියෙන් තෙමන්නේ ද, හැම පරිදි තෙමන්නේ ද, පුරා ලන්නේ ද, හැම තැනම වැද ගෙන පැතිර සිටින්නේ ද, ඒ මුළු විලෙහි සිසිල් දිය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො මැත් ද, අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතියෙන් තෙමයි. මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, ප්‍රීතිසුවයෙන් හැම තැන ම සපර්ශ කෙරෙයි. ඔහුගේ මුළුකයේ සමාධියෙන්  උපන් ප්‍රීති සුවයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි මේ ද ඔහුගේ චරණ ධර්මයකි.

  69. අම්බට්ඨය, තවද මහණ තෙමේ ප්‍රීතියාගේ ද විරාගයෙන් (පහවීමෙන්, සංසිඳීමෙන්), උපෙක්ෂායෙන් ද යුක්ත වැ, සිහියෙන් හා නුවණින් හා යුක්ත වැ වෙසෙයි. සුවය ද කයින් විඳී. ආර්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ධ්‍යානලාභියා ඇරැබැ ‘උපෙක්ෂාව ඇත්තේ ය සිහි ඇත්තේ , සුඛ විහරණ ඇත්තේ යැ‘යි කියත් ද, හේ (එසේ වූ) ඒ තෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේ.

    හේ මේ කයම නිෂ්ප්‍රීතික සුවයෙන් තෙමයි, හැම පරිදි තෙත් කෙරෙයි, පුරාලයි, හැම තැන ම පැතිර වැද ගනී. ඔහුගේ කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිර නොගත් කිසි ද තැනෙක් නොවෙයි.

    අම්බට්ඨය, යම්සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ පඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි උපන්නේ දියෙහි වැඩුණේ, දියෙන් නොනැගුණේ, දිය තුළැම ගිලී වැඩුනුයේ ද, ඒ හැම අග දක්වාත් මුල් දක්වාත් සිහිල් දියෙන් තෙමුණේ, හැමපරිදි තෙත් වූයේ, පිරී ගියේ, හැම තැන් ම පැතිරැ වැද ගත්තේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වල හෝ පියුම්වලැ හෝ පඬෙරවලැ හෝ සිසිල් දිය පැතිරැ නොගත් තැනෙක් නො වන්නේ ද, අම්බට්ඨය, එසේ ම මහණ තෙමේ මේ කය ම නිශ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි. පුරා ලයි, හැමපරිදි පැතිරැ වැද ගනී. ඔහුගේ සියලු කයෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි. මේ ද ඔහුගේ චරණ ධර්මයකි.

  70.  තවද අම්බට්ඨය, මහණ තෙමේ සුඛ වේදනාව ද දුරැ ලීමෙන්, දුක්ඛ වේදනාව ද දුරැලීමෙන්, පලමු කොට ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ පහවීමෙන් දුක් ද නොවූ, සුව ද නොවූ, උපේක්ෂා ස්මෘති යන මොවුන්ගේ පිරිසිදු බව ඇති සිව් වන ධ්‍යානය ලැබ වෙසෙයි. හේ මේ කය ම පිරිසිදු පැහැසර සිතින් පැතිරැ වැද ගෙන හුන්නේ වෙයි.

    ඔහු මුළු කයෙහි පිරිසිදු පැහැසර සිතින් පැතිරැ වැද නො ගෙන සිටි කිසි ද තැනෙක් නොවෙයි.

    යම්සේ පුරුෂයෙක් සුදු වතින් හිස සහිත වැ වසා පෙරැව ගෙන හුන්නේ වේ නම් ඔහුගේ කයෙහි සුදු වතින් නො වැසුණු  කිසි ද තැනෙක් නොවන්නේ ද, අම්බට්ඨය, එසේම මහණ තෙම මේ කය ම පිරිසිදු වූ ප්‍රභාස්වර වූ සිතින් පැහැර වැද ගෙන නොසිටි කිසිද තැනෙක් නොවෙයි. මේ ද ඔහුගේ චරණධර්මයෙක් වේ.

  71. තව ද අම්බට්ඨය, ඒ මහණ තෙමේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හී දීප්තිමත් වූ කල්හී, කිලිටි නැති වූ කල්හී, පහ වූ චිත්තෝපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හී, විදර්ශණා භාවනාවට යෝග්‍යවූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි විදර්ශනාඥාණය පිණිස (පරිකර්ම) සිත එයට අඹිමුඛ කෙරෙයි, ඒ අතට නමා හරියි හේ  “මගේ මේ කය වූ කලී රූපවත් ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මව්පියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිස බව ද දුගඳ බවද, හරනුවට සුවඳ විලෙවුන් ඉළියැ යුත් බව ද, ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළ ද බිඳෙන බව ද, විසිරෙන බව ද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය, මෙහි බැඳුණේ යැ” යි මෙසේ දැනගනී.

     අම්බට්ඨය, යම්සේ සොඳුරු වූ, පිරිසිදු ආකරයෙක පහළ වූ ඇටැස් වූ මොනවට පිරයම් කළ, සියුම් වූ වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, ධෝවනාදී සියලු අකාරයෙන් යුත් වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අමුනන ලද්දේ වන්නේ ද, එය ඇස් ඇති පුරුෂයෙක් අතෙහි කොට “මේ වූ කලි සොඳුරු වූ, පිරිසිදු ආකරයෙහි උපන් ඇටැස් වූ මොනවට පිරියම් කැරුණු, සියුම් වූ, වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, සියලු ධෝවනාදී ආකාරයෙන් සම්පූර්ණ වූ වෙරළු මිණෙක. මෙහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් වූ හෝ සුදුවන් වූ හෝ යම් හුයෙක් අවුනන ලදුයේ වේ යැ”යි සලකා බලන්නේ ද, අම්බට්ඨය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ ක්ලහී දීප්තිමත් වූ කල්හී, කෙලෙස් යටපත් වූ ක්ල්හී, උපක්ලේශයන් පහ වූ කල්හී මෘදු වූ කල්හී, කර්මණ්‍ය වූ කල්හී සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය පිණිස සිත අභිමුඛ කෙරෙයි, එය අතට නමා හරියි. හෙ තෙම “මගේ මේ කය වූ කලී රූපී ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් නිපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිසි බව ද, දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉළියැ යුතු බව ද ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද ඒ කළත් බිඳෙන බව ද විසිරෙන බවද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග ගත්තේ ය, මෙහි බැඳුණේ යැ”යි මෙසේ දැන ගනී. මේ ද ඔහුගේ විද්‍යාවෙක් වෙයි.

  72. හේ මෙසේ සිත සමාහිත කල්හි පිරිසිදු වු කල්හී, දීප්තිමත් කල්හී, කෙලෙස් නොමැති වූ කල්හී, උපක්ලේශ පහ වූ කල්හී, මෘදු වූ කල්හී, කර්මණ්‍ය වූ (සෘද්ධි ඉපදීවීමට යෝග්‍ය වූ) කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හී මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි.  නැඹුරු කෙරෙයි. හේ මේ සිරුරෙන් රූපී වු, සියලු අඟපසඟින් යුත්, විකල නොවූ ඉඳුරන් ඇති මනෝමය ශරීරයක් මවා පායි.

    අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් මුදුතණ ගසෙකින් තණකූර(තණබඩය)ඇද මෑත් කරන්නේ ද, ඔහුට “මේ මුදුතණගස ය, මේ එහි තණ බඩ ය, තණ ගස එකෙකි, එහි බඩය අනෙකෙකි. මුදු තණ කෙරෙන් ම එහි කූර (බඩය) මෑත් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද, අම්බට්ඨය, යම්සේ වනාහී පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇද මෑත් කරන්නේ ද,  ඔහුට “ මේ කඩුවය, මේ කොපුව ය, කඩුව එකෙක, කොපුව අනෙකක, කොපුයෙන් ම කඩුව ඇද මෑත් කරන ලද්දේ යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද,  අම්බට්ඨය, යම්සේ වනාහී පුරුෂයෙක් නයකු සැවයෙන් ඇද වෙන කරන්නේ ද, ඔහුට “මේ නායා ය, මේ සැවය ය. නයා එකෙක, සැවය අනෙකක. සැවය කෙරෙන් ම නයා ඇද වෙන් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද, අම්බට්ඨය, එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හී, දීප්තිමත් වූ කල්හී කෙලෙස් රහිත වූ කල්හී, උපක්ලේශයන් පහ වැ ගිය කල්හී, කර්මණ්‍ය වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පත් කල්හී, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නුඹුරු කෙරෙයි. හේ මේ ශරීරයෙන් රූපී වූ මනෝමය වූ සියලු  අඟපසඟින් යුක්ත වූ අවිකල ඉඳුරන් ඇති අන් සිරුරක් මවා පායි. මේ ද ඔහුගේ විද්‍යාවෙක් වේ.

  73. හේ මෙසේ සිත සමාහිත කල්හී, පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණය වූ (=සෘද්ධියට යෝග්‍ය වු) කල්හී, සිටි කල්හී, නිශ්චලත්වයට පැමිණි කල්හී, සෘද්ධිවිධඥාණය පිණිස (අභිඥාපාදක) පරිකර්ම සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ සෘද්ධිවිධය (සෘද්ධි කොට්ටාසය) නැවත නැවත අනුභව කෙරෙයි. (හෙවත් නාම කයින් ස්පර්ශ කෙරෙයි, ප්‍රත්‍යක්ෂ කෙරෙයි ලබයි.) පියෙවියෙන් එකෙක් වැ සිටැ ද (සෘද්ධිබලයෙන්) බහු ප්‍රකාර ද වි යලිදු එකෙක් වෙයි. තමාගේ ප්‍රකට බව කෙරෙයි (පෙනීසිටී) අප්‍රකට බව කෙරෙයි. (=නොපෙනී සිටියි) බිත්තියේ පිටතට, පවුරෙන් පිටතට, පර්වතයෙන් පිටතට අහසෙහි මෙන් කිසිවෙක නොගැටෙනුයේ මැදින් විනිවිද ගෙන යෙයි. දියෙහි මෙන් පොළොවෙහි ද යටට බැසීම(=ගිලී) උඩට නැගීම (=මතුවීම) කෙරෙයි. නො බිඳෙන (යට නො බස්නා) දියෙහි පොළොවෙහි සේ යෙයි. පක්ෂ ඇති සකුණයෙකු මෙන් අහසෙහි ද පළඟින් (=ඌරුබද්ධාසනයෙන්)යෙයි. මේ සා මහර්ද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද, අතින් පරාමර්ශනය කෙරෙයි(=අල්ලයි) (ඔබමොබ අත යවා) පිරිමදියි. බඹලොව තෙක් ද (සියල්ල) කයින් වශයෙහි පවත්ව යි.

    අම්බට්ඨය, යම්සේ දක්ෂ කුඹලෙක් හෝ කුඹලක්හුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=සකස් කළ) මැට්ටෙන් යම් යම් භාජන විශේෂයක් කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, මොනවට නිපදවන්නේ ද,  අම්බට්ඨය, යම්සේ දක්ෂ දන්තකාරයෙක් (ඇත්දත් ආදීයෙන් විසිතුරු කම් කරන්නෙක්) හෝ දන්තකාරයකුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=දොස් ඉවත් කොට මොනවට සකස් කළ)දතෙක්හි යම් යම් දන්තවිකෘතියත් (දතෙහි කළ විසිතුරු රූපාදියක්) කැමැති වන්නේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, වෙසෙසින් නිපදවන්නේ ද, අම්බට්ඨය, යම්සේ හෝ දක්ෂ රන්කරුවෙක් හෝ රන්කරුවෙකුගේ අතැවැස්සෙක් හෝ මොනවට සකස් කළ රනෙහි යම් යම ස්වර්ණ විකෘත්තියක් (ආභරණ ආදියක්) කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද , නිපදවන්නේ ද,

    අම්බට්ඨය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හී කෙළෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, සෘද්ධිවිධඥාණය පිණිස සිත මෙහෙයවයි නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ සෘද්ධි කොට්ඨාසය නැවත නැවත විඳී. පියෙවියෙන් එකෙක් වැ සිට බොහෝ දෙනෙක් වෙයි. බොහෝ දෙනෙක් වැ සිට එකෙක් වෙයි. තෙමේ පෙනී සිටී, නො පෙනී ද සිටී. බිත්තියෙන් පිටතට, පව්වෙන් පිටතට, විනිවිදැ අහසෙහි මෙන් කිසිවකැ නො ලැගී යෙයි. දියෙහි මෙන් පොළොවෙහිත් ගිලීම් ද මතුවීම් ද කෙරෙයි. පොළව මතු පිටැ සේ නොබිඳෙන දියෙහි යෙයි. පක්ෂියෙකු සේ පළඟින් අහසෙහි යෙයි. මේ සා මහර්ද්ධිමත් මහත් අනුභාව ඇති සඳ හිරු දෙදෙනා පවා අල්ලයි, පිරිමදියි. බඹලොව තෙක් ද කයින් තමා වශයෙහි පවත්වයි. මේ ද ඔහුගේ විද්‍යාවෙක් වේ.

  74. හේ මෙසේ සිත සමාහිත කල්හී, පිරිසිදු කල්හි, දීප්තිමත් කල්හි, කෙලෙස් රහිත වූ කල්හී, උපක්ක්ලේශ පහ වැ ගිය කල්හි මෘදු වූ කල්හි, කර්මණ්‍ය වූ කල්හී සිටි කල්හි නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස (දිවකන් නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ශ්‍රාවණෝපචාරය ඉක්මවා සිටි දිව කනින් දිව්‍ය වූද මානුසික වූ ද, දුරැ වූ ද, ළං වූ ද, යන ද්විවිධ ශබ්ද ම අසයි.

    අම්බට්ඨය, යමසේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ ද, හේ බෙරහඬක් මිහිඟු බෙර හඬත් පණාබෙර හඬත්, ගැටබෙර හඬත් යම්සේ අසන්නේ ද, ඒ අසන ඔහුට ‘මේ බෙර හඬැයි කියාත්, මේ මිහිඟු බෙර හඬයි කියාත්, මේ සක්පණාබෙර ගැටබෙර හඬයි කියාත්, මෙසේ සිතෙක් වන්නේ ද, අම්බට්ඨය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හී කෙලෙස් රහිත වූ කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණය (කර්මක්ෂම) වූ කල්හී, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හී, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය, ඉක්ම වූ දිව කන් නුවණීන් දිව්‍ය වූත් මානුසික වූත් දුරැ වූත් ළඟැ වූත් ද්විවිධ ශබ්ද අසයි. මේ ද ඔහුගේ විද්‍යාවෙකි.

  75. හේ මෙසේ  එකඟ වූ සිත පිරිසිදු වූ කල්හී, දීප්තිමත් වූ කල්හී, කෙලෙස් රහිත වූ කල්හී, උපක්කිලේශ පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හී, කර්මක්ෂම වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි, චේතස්පර්‍යායඥානය පිණිස (අනුන්ගේ සිත් පිරිසිඳ දක්නා නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ අන් සත්ත්වයන්ගේ අන් පුද්ගලයන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සහිත සිතැ යි ද දනියි. රාග රහිත සිත රාග රහිත සිතැ යි ද දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතැ යි ද දනී. මෝහ සහිත සිත මෝහ සහිත සිතැයි ද දනී. මෝහ රහිත සිත මෝහ රහිත සිතැයි ද දනී. සංක්ෂිප්ත (=හැකුළුණු) සිත හැකුළුණු සිතැ යි ද දනී. වික්ෂිප්ත (=විසිරුණු) සිත විසුරුණු සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනී. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී.  සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත (=මිදුණු) සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත (=නොමිදුණු) සිත අවිමුක්ත සිතැ යි ද දනී.

     අම්බට්ඨය, යම්සේ සැරැසෙන සුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ළදරුවෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු දීප්තිමත් කැඩ පතෙක හෝ පහන් දිය බඳුනෙක හෝ සිය මුව සටහන පිරික්සා බලන්නේ තලකැලැල් ආදී දොස් ඇති තැන් සදෝස් තැනැයි දන්නේ ද, එ කී දොස් නැති තැන දොස් නැතැයි දන්නේ ද, අම්බට්ඨය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වු කල්හී, කෙලෙස් නැති කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හී, කර්මක්ෂම වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හී, පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි.

    එසේ වූ හේ අන් සතුන්ගේ, අන් පුඟුලන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනී.

    “ සරාග සිත සරාග සිතැයි ද දනී. වීතරාග සිත වීතරාග සිතැයි ද දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද දනී. වීත දෝෂ සිත වීත දෝෂ සිතැ යි ද දනී. සංක්ෂිප්ත සිත සංක්ෂිප්ත සිතැ යි ද දනී. අමහග්ගත සිත අමහග්ගත සිතැ යි ද දනී. මහග්ගත සිත මහග්ගත සිතැයි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී. සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත සිත අවිමුක්ත සිතැ” යි ද දනී. මේ ද ඔහුගේ විද්‍යාවෙකි.

  76. හේ තෙමේ මෙසේ සිත සමාහිත කල්හී, පිරිසිදු කල්හී, දීප්ත වූ කල්හී, කෙලෙස් නැති වූ කල්හී, උපක්කිලේශ පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හී, කර්මක්ෂම වු කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පත් කල්හී, පුර්වේනිවාසානුස්මෘති ඥාණය (=පෙර වුසු කඳ පිළිවෙළ දක්නා නුවණ) ලබනු පිණිස සිත යොමු කෙරෙයි. හේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පහක් ද ජාති දසයක් ද  ජාති විස්සක් ද ජාති තිහක් ද ජාති සතළිහක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද බොහෝ සංවර්ත කල්ප ද බොහෝ විවර්ත කල්ප ද බොහෝ සංවර්ත විවර්ත කල්ප ද “ අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිද මෙ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි” යි. මෙසේ අනේකවිධ වු පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ වර්ණාදි වශයෙන් ආකාර සහිත වූ නම් ගොත් විසින් උද්දේශ සහිත වු බහුවිධ වු පුර්වේනිවාසය සිහි කෙරෙයි. 

     අම්බට්ඨය, යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේ ද, (නැවත) හේ ඒ ගමින් සිය ගමට ම පෙරළා එන්නේ ද, එසේ වු ඔහුට “මම් වූ කලී සිය ගමින් අසෝ ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙමි, මෙසේ උනිමි, මෙසේ කීමි, මෙසේ නිහඩ විමි. ඒ ගමිනුත් අසෝ ගමට ගියෙමි. එහි ද මෙසේ සිටියෙමි, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඩව සිටියෙමි, ඒ මම ඒ ගමින් සිය ගමට පෙරළා ආයම් වෙමි” යි මේ බඳු සිතෙක් වන්නේ ද ,

    අම්බට්ඨය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හී, දීප්ත කල්හී, කෙලෙස් රහිත කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මක්ෂම වු කල්හී, සිටි කල්හී නිශ්චල බවට පැමිණි කල්හී, පෙර වුසු කඳ පිළිවෙළ සිහි කරණ නුවණ පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි, හේ “ අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිද මෙ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි” යි. මෙසේ  එක් ජාතියක් ද , ජාති දෙකක් ද , ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සුවහසක් ද, බොහෝ සංවර්ථ කල්ප ද, බොහෝ විවර්ත කල්ප ද, බොහෝ සංවර්ත විවර්ත කල්ප ද, මෙසේ අනේකවිධ වු පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මේ පරිද්දෙන් ආකාර සහිත වූ උද්දේස සහිත වූ පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි.   මේ ද ඔහුගේ විද්‍යාවෙකි

  77. හේ  මෙසේ සිත සමාහිත කල්හී,  පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වු, මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක් මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනෝදුෂ්චරිතයෙන් සමන්විතයහ, ආර්යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාවෘත ඇතියහ, ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්මයට තමන් පරවශ බැවින්) තමනට අවශඟ වැ වැටෙන තැන වු නිරයට වන්නාහ. මේ භවත් සත්ත්වයෝ වූ කලී කාය සුචරිතයෙන් සමන්විතයහ, වාක්සුචරිතයෙන් සමන්විතයහ, මනෝසුචරිතයෙන් සමන්විතයහ, ආර්‍යයනට උපවාද නො කළහ, සමදිටු ගත්තහ, සමදිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ, ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පිළිසිඳ ගත්තා වූද , හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වූ ද , සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්ණ දුර්වර්ණ, සුගත දුර්ගත, සත්ත්වයන් දකී. කර්මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්වයන් දකී.

       අම්බට්ඨය, යම්සේ සතර මං හන්දියෙක මහල් සහිත ගෙයෙක් වන්නේ ද, එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට පිවිසෙන්නවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යන එනවුනුත්, සිව්මං හන්දියෙ මැද හුන්නුවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙට පිවිසෙත්, මේ මිනිස්සු ගෙන් නික්මෙත්, මේ මිනිස්සු වීදියෙහි ඈත මෑත යෙත්, මොහු සිවුමංහන්දිය මැද උන්නෝ වෙත් යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද,

    එසේ ම අම්බට්ඨය, මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පරිසිදු වු, මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක් මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනෝදුෂ්චරිතයෙන් සමන්විතයහ, ආර්යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාවෘත ඇතියහ, ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්මයට තමන් පරවශ බැවින්) තමනට අවශඟ වැ වැටෙන තැන වු නිරයට වන්නාහ. මේ භවත් සත්ත්වයෝ වූ කලී කාය සුචරිතයෙන් සමන්විතයහ, වාක්සුචරිතයෙන් සමන්විතයහ, මනෝසුචරිතයෙන් සමන්විතයහ, ආර්‍යයනට උපවාද නො කළහ, සමදිටු ගත්තහ, සමදිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ, ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පිළිසිඳ, ගත්තා වූද , හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද , සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්ණ දුර්වර්ණ, සුගත දුර්ගත, සත්ත්වයන් දකී. කර්මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්වයන් දකී. අම්බට්ඨය, මේද ඔහුගේ විද්‍යාවෙකි.

  78. හේ  මෙසේ සිත සමාහිත කල්හී, පිරිසිදු වැ දීප්තිමත් වැ නිකෙලෙස් වැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, ආස්‍රවයන්ගේ ක්ෂයය(විනාශය) පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි. (එසේ වූ ) හෙ තෙමේ   ‘මේ දුකැ ’ යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් ඉපැත්මට කාරණයැ’යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් වැනැස්මැ’.(=දුක් නැස්මට අරමුනු වන නිවනැ) යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටි ලෙස දනී. ‘ මොහු ආස්‍රවයෝ යැ’ යි ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’ ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රව නිරෝධ යැ’යි(ආස්‍රවයන් වැනැස්මට ප්‍රත්‍ය වන නිවනැ)යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ ’යි ඇතිසැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන්ද මිදෙ. (ඔහු)සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. (එසේ සිත මිදුණු කල්හී ‘ මා සිත ආස්‍රව කෙරෙන )මිදුණේ යැ’යි (ප්‍රත්‍යෙවක්ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්ෂීන විය(හෙවත් නැවත භවයෙහි නොඋපදනා ස්භාවයට පැමිණියෙමි),  ‘ මඟ බඹසර වැස නිමැවිණි. මේ බව පිණිස (සිවු සස්හි සතර මඟින් කළයුතු සොළෝස් වැදෑරුම්)  කිස කොට නිමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්ෂය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’ යි හේ දනී.

    අම්බට්ඨය, යම්සේ කඳු මුදුනකැ වූ පහන් වු, වෙසෙසින් පහන් වූ, නොකැලැඹුණු (=බොර නොවූ) දිය විලෙක් වන්නේ ද, එහි ඉවුරෙහි ඇස් ඇති මිනිසෙක් සිටියේ, එහි තුල හැසිරෙන්නා වූත් සිටුනා වූත් ස්ප්පිබෙල්ලනුත්, සක්බෙල්ලනුත්, කැටකැබිලිතිත් මත්ස්‍යසමූහයාත් දක්නේ ද, (එසේ දක්නා) ඔහුට “මේ දියවිල පහන් ය, වෙසෙසින් පහන් ය, නොකැලැඹුණේ ය. මෙහි මේ සිප්පිහුත්, සක්බෙල්ලෝත්, කැට කැබිලිතිත් මත්ස්‍ය සමූහයෝත් හැසිරෙන්නොත් සිටින්නෝත් වෙති” යි මෙසේ සිතෙක් වන්නේ ද, අම්බට්ඨය, එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ, නිකෙලෙස් වැ, උපක්කිලේශ පහ වැ, මෘදු වැ, කර්මණ්‍ය වැ, ස්ථිත වැ, නිශ්චලතාවට පැමිණි කල්හි ආස්‍රවක්ෂයඥානය පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි.

    හේ ‘මේ දුකැ ’ යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් ඉපැත්මට කාරණයැ’යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් වැනැස්මැ’.(=දුක් නැස්මට අරමුනු වන නවනැ) යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටි ලෙස දනී. ‘ මොහු ආස්‍රවයෝ යැ’ යි ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’ ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රව නිරෝධ යැ’යි(ආස්‍රවයන් වැනැස්මට ප්‍රත්‍ය වන නිවනැ)යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ ’යි ඇතිසැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නවා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන්ද මිදෙ. (ඔහු)සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. (එසේ සිත මිදුණු කල්හී ‘ මා සිත ආස්‍රව කෙරෙන )මිදුණේ යැ’යි (ප්‍රත්‍යෙවක්ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්ෂීන විය(හෙවත් නැවත භවයෙහි නොඋපදනා ස්භාවයට පැමිණියෙමි),  ‘ මඟ බඹසර වැස නිමැවිණි. මේ බව පිණිස (සිවු සස්හි සතර මඟින් කළයුතු සොළෝස් වැදෑරුම්)  කිස කොට නැමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්ෂය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’ යි හේ දනී. අම්බට්ඨය, මේ වූ කලි ඒ විද්‍යාව ය

  79. අම්බට්ඨය,  මේ මහණ තෙමේ විද්‍යායෙන් යැ යි ද, චරණයෙන් යුක්ත යැ යි ද, විද්‍යාචරණයෙන් යුක්ත යැ යි ද කියනු ලැබේ. අම්බට්ඨය, තව ද මේ විද්‍යාසම්පතිනුත් අන්‍ය වූ මෙයට වඩා උසස් වූ හෝ මනෝඥ වූ හෝ අන් විද්‍යාසම්පතෙක් ද චරණසම්පතෙක් ද නැත.

  80. අම්බට්ඨය, මේ නිරුත්තර විද්‍යාචරණසම්පතට විනාශ මුඛ සතරෙක් වෙති. කවර සතරෙක් ද? යත්: අම්බට්ඨය, මෙහි එක්තරා මහණෙක් හෝ බමුණෙක් හෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතට නො පැමිණෙනුයේ, (හෝ වැර වඩා එය ලබන්නට නොසමත් වනුයේ), තවුස් පිරිකර කද ගෙන ‘පවත්තඵලභෝජී වත්තෙමි’ (=වැටුනු ගෙඩි වළඳා දිවි රකින්නෙක් වන්නෙමි) යි සිතා වන පෙදෙසකට බැස ගනී. හෙ තෙමේ ඒකාන්තයෙන් විද්‍යා චරණ දෙකින් යුක්තයක්හුගේ සේවකයෙක් වේ. අම්බට්ඨය, මෙ කී නිරුත්තර විද්‍යාචරණසම්පතට මේ පළමු වන විනාශමුඛය වේ.

  81. අම්බට්ඨය, තව ද මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතටත් නො පැමිණෙනුයේ, පවත්තඵලභොජී බවටත් නොපැමිණෙනුයේ, උදැල්ලකුත් පැසකුත් ගෙන ‘අල මුල් ගෙඩි වළඳන්නෙක් වන්නෙමි’ යි සිතා වනපෙදෙසකට බැස ගනී.

    හේ ඒකාන්තයෙන් විද්‍යා චරණ දෙකින් යුක්තයාගේ සේවකයෙක් ම වේ. අම්බට්ඨය, මෙ කී නිරුත්තර විද්‍යාචරණසම්පන්නහුගේ මේ දෙවෙනි විනාශමුඛය වේ.

  82. තව ද අම්බට්ඨය, මෙහි කිසි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පත්තියට ද නො පැමිණෙනුයේ, පවත්තඵලභෝජනයට ද නො පැමිණෙනුයේ, අල මුල් පල බොජුන් කොට ඇති බවට ද නොපැමිණෙනුයේ, ගමක් සමීපයේ හෝ නියම් ගමක් සමීපයේ හෝ ගිනි පුදනා ගෙයක් කොට , ගිනි පුදමින් හිඳී. හේ ඒකාන්තයෙන් විද්‍යාචරණ දෙකින් යුක්තයක්හුගේ සේවකයෙක් ම වේ. අම්බට්ඨය, මේ නිරුත්තර විද්‍යාචරණසම්පත්හුගේ තෙවෙනි විනාශ මුඛය වේ.
  83. තව ද අම්බට්ඨය, මෙහි ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතටත් නො පැමිණෙනුයේ, අල මුල් පල බොජුන් කොට ඇති බවට ද නො පැමිණෙනුයේ, ගිනි පිදීමට ද නොබස්නේ, ‘යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ සිවු දිසායෙන් එන්නේ ද, ඔහු මම් හැකි සේ පිළිවන් සේ පුදන්නෙමි’යි සිවුමංහන්දියෙක දොර සතරක් ඇති (සිව්දිගට දොර ඇති.) දන්හලක් කොට හිඳී. හේ ඒකාන්තයෙන් විද්‍යාචරණ දෙකින් යුක්තයක්හුගේ සේවකයෙක් ම වේ. අම්බට්ඨය, මේ විද්‍යාචරණසම්පත්හුගේ සතර වන විනශමුඛය වේ.

    අම්බට්ඨය, මොහු මේ විද්‍යාචරණසම්පත්හුගේ සතර විනාශමුඛයෝ වෙත්.

  84. ඒ කිමැයි සිතයි ද අම්බට්ඨය, මේ නිරුත්තරවිද්‍යාචරණසම්පත්හි තෝ සිය ඇදුරා සහිත වැ දක්නා ලැබෙහි

    (පෙනෙහි) ද?

    “භවත්  ගෞතමයිනි, මෙය නො වේ මය, භවද් ගෞතමයිනි, ඇදුරා සහිත මම් කවරෙකිම් වෙම් ද? නිරුත්තර විද්‍යාචරණසම්පත් කවරේ ද? භවද් ගෞතමයිනි, ඇදුරා සහිත මම විද්‍යාචරණ සම්පත කෙරෙන් දුරින් ම සිටියෙම් වෙමි” යි (අම්බට්ඨයා කීය.)

    [භාග්‍යවතුන් වහන්සේ:]“ අම්බට්ඨය, එය කැමැ යි සිතයි ද? තෝ මේ විද්‍යාචරණ සම්පතට නො පැමිණියෙක් වනුයෙහි, තවුස්පිරිකර _කඳ ගෙන, පවත්තඵලභෝජි වන්නෙමි” යි සිය ඇදුරා සහිත වැ වන පෙදෙසකට බට තැනැත්තෙහි වත් වෙහි ද?

    [අම්බට්ඨ:]“භවත් ගෞතමයිනි, මේත් නො වේ ම ය.”

    [භාග්‍යවතුන් වහන්සේ:]“අම්බට්ඨය, එය කැමැ යි සිතයි ද? ඇදුරා සහිත තෝ මේ විද්‍යාචරණ සම්පතට නො පැමිණියෙක් වනුයෙහි, තවුස්පිරිකර _කඳ ගෙන, පවත්තඵලභෝජි බවට ද නොපැමිණෙන්නෙහි, ‘අල් මුල් පල බොජුන් කොටැත්තෙම්  වන්නෙමි” යි  උදැල්ලකුත් පැසකුත් ගෙන වන පදෙසකට බටුයෙහි හෝ වෙහි ද?

    [අම්බට්ඨ:]“භවත් ගෞතමයිනි, මේත් නො වේ ම ය.”

    [භාග්‍යවතුන් වහන්සේ:]“අම්බට්ඨය, එය කැමැ යි සිතයි ද? ඇදුරා සහිත තෝ මේ විද්‍යාචරණ සම්පතට නො පැමිණියෙක් වනුයෙහි, තවුස්පිරිකර _කඳ ගෙන, පවත්තඵලභෝජි බවට ද නොපැමිණෙන්නෙහි, ‘අල් මුල් පල බොජුන් කොටැති බවට ද නොපැමිණෙනුයෙහි, ගමක් අසල හෝ නියම් ගමක් අසල හෝ ගිනි පුදනා ගෙයක් කොට ගිනි පුදමින් හෝ ඉඳිනෙහි ද?

    [අම්බට්ඨ:]“භවත් ගෞතමයිනි, මේත් නො වේ ම ය.”

    [භාග්‍යවතුන් වහන්සේ:]“ අම්බට්ඨය, එය කිමැ යි සිතහි ද? මේ නිරුත්තර විද්‍යාචරණසම්පතටත් නො පැමිණෙන්නෙහි, පවත්ඵලභෝජිත් නො වන්නෙහි, අල මුල් පල බොජුන් කොටැති බවට ද නො පැමිණෙන්නෙහි, ගිනි පිදීම ද නොකරන්නෙහි, සිවුමංහන්දියෙක දොර සතරක් ඇති දන්හලක් කොට මේ සිවු දෙසින් එන තාක් මහණබමුණන් හැකි පරිදි සිළිවන් පරිදි පුදන්නෙමි යි සිතා තෝ ඇදුරා සහිත වැ ඉඳිනෙහි ද?

    [අම්බට්ඨ:]“භවත් ගෞතමයිනි, මේත් නො වේ ම ය.”

  85. [භාග්‍යවතුන් වහන්සේ:]“අම්බට්ඨය, ඇදුරා සහිත තෝ මේ නිරුත්තර විද්‍යාචරණසම්පතිනුත් පිරිහුණෙහි ය, මේ නිරුත්තර විද්‍යාචරණසම්පතට විනාශ මුඛ වූ යම් තපශ්චර්‍යා කෙනෙක් වෙත්  නම් එයිනුත් පිරිහුණෙහි ය. එහෙත් අම්බට්ඨය, තගේ ඇදුරු වූ පොක්ඛරසාදී බමුණා විසින් තමා විද්‍යාචරණසම්පතට විනාශමුඛ වූ දහම් පමණකුත් නොපුරන්නකු වැ හිඳ, “බමුණනට මෙහෙකරු වූ, කළු වූ, බඹුහුගේ පයින් උපන්, ගර්හිත මුඬු මහණහු කවුරු ද? එවැන්නන් හා ත්‍රෛවිද්‍යාක බමුණන්ගේ කවර සාකච්ඡා දැ? ” යි මේ වචනය කියන ලද්දේ ම ය. බලව, අම්බට්ඨය, තගේ ආචාර්‍ය වූ පොක්ඛරසාදී බමුණුහු විසින් කොතරම් මහත් වරදෙක් කරන ලද්දේ ද?
  86. අම්බට්ඨය, පොක්ඛරසාදී බමුණු තෙමේ වූ කලි පසේනදී කොසොල් රජුහු විසින් දුන් දෑ බුක්ති විඳී. කොසොල් රජ ඔහුට මුහුණ පෑම ද නො කෙරෙයි. යම් විටෙක ඔහු හා සාකච්ඡා කෙරේ නම් කඩතුරාවෙකින් මුවහ වී හිඳ කථා කෙරෙයි. අම්බට්ඨය, යමකු විසින් තමහට එළැවු දැහැමි බොජුන් (පොක්ඛරසාදි තෙමේ) පිළිගන්නේ නම්, ඒ පසේනදී කොසොල් රජ ඔහුට තමා මුහුණ පවා කෙසේ නම් නො කරන්නේ ද? අම්බට්ඨය, බලව, මේ තගේ ඇදුරු වූ පොක්ඛරසාදී බමුණා විසින් කොතරම් මහත් වරදෙක් කරන ලද ද?

    අම්බට්ඨය. එය කිමැ යි සිතන්නෙහි ද? මෙහි පසේනදී කොසොල් රජ තෙමේ ඇතු ගෙල මතුයෙහි හෝ හුන්නේ, අසු පිටැ හෝ හුන්නේ, රිය තුළ ඇතිරිය මතැ හෝ සිටියේ, උසස් මහ ඇමැතියන් හෝ අභිසේක නොලත් රජ දරුවන් හෝ සමඟ කිසි යම් මන්ත්‍රණයක් කරන්නේ නම්, හේ ඒ රජු සිටි තැනින් ඉවත් වැ එක් පසෙක සිටින්නේ ය. එකල්හී ශුද්‍රයෙක් හෝ ශුද්‍රයෙකුගේ දාසයෙක් හෝ එන්නේ නම්, හේ ඒ පෙදෙසෙහි සිටියේ.  ‘පසේනදී කොසොල් රජ මෙසේත් කීයේ ය, පසේනදී කොසොල් රජ මෙසේත් කීයේ යැ’ යි ඒ මන්ත්‍රණය ම කියන්නේ නම්, හේ රජවචනය කියන්නේ ද? රාජමන්ත්‍රණය කරන්නේ ? මෙතෙකින් හේ රජ හෝ රජමහඇමැතියෙක් හෝ වන්නේ ද?

    [අම්බට්ඨ:] “භවද්ගෞතමයිනි මෙය නොවේ ම ය”

  87. [භාග්‍යවතුන් වහන්සේ:] “අම්බට්ඨය. එපරිද්දෙන් ම, වෙදකතෘ වූ වේද පැවැත්වූ, බ්‍රාහ්මණයන්ගේ පූර්වපුරුෂ වූ අට්ඨක (ආත්‍රෙය), වාමක, වාමදේව, වෙස්සාමිත්ත (විශ්වමිත්‍ර), යමතග්ගි(ජමදග්නි), අංගිරස, භාරද්වාජ, වාසෙට්ඨ (වාසිට්ඨ), කස්සප(කාශ්‍යප), භඟු(බෘගු) යන සෘෂි කෙනෙක් වුහු ද, යම් කෙනෙකුන් විසින් ගයන ලද (-සජ්ඣායනා කරන ලද), කියවන ලද, රැස් කොට තබන ලද, මේ මන්ත්‍රපද (වේදයයි) මෙ කළ බමුණෝ ඔවුන් අනුවැ ගයත් ද, කියැවු දැය අනුවැ කියවත් ද, ‘ඇදුරාණන් සහිත මම් ඒ වේද හදාරමි’යි යන මෙපමණෙකින් තෝ සෘෂිවරයෙක් හෝ සෘෂි බවට පිළිපන්නෙක් හෝ වන්නෙහි ය යන මේ කාරණය විද්‍යාමාන නොවේ.
  88. අම්බට්ඨය ඒ කැමැයි සිතහි ද? ඒ සෘෂීන් ගැන කියන වෘද්ධ වූ මහලු වූ තගේ ආචාර්‍ය ප්‍රාචාර්‍ය වූ බමුණන්ගේ වචනය තා විසින් කෙසේ නම් අසන ලද ද? වේත කතෘ වූ, වේද පැවැත්වූ, බමුණන්ගේ පූර්වපූරුෂ වූ, අට්ඨක වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගි අංගිරස භාරද්වාජ වාසෙට්ඨ කස්සප භගු යන යම් සෘෂි කෙනෙකුන් විසින් ගයන ලද, රැස් කොට තබන ලද, මේ මන්ත්‍රපද දැන් සිටිනා බමුණෝ ඔවුන් අනුව ගයත් නම්, ඔවුන් අනුව කියත් නම්, ඔවුන් කී වචනය අනුවැ කියත් නම්, කියැවූ වචන ය අනුවැ කියවත් නම් මෙ කල්හී වු ඇදුරු සහිත තා සේ ඒ සෘෂිවරුන් මොනවට නා ගත්තෝ වැ, මොනවට සුවඳ විලෙවුන් පැලැඳ ගත් මිණිකොඩොල් අබරණ ඇත්තෝ වැ, සුදු වස්ත්‍ර හඳින්නෝ වැ පස් කම් සුවෙන් ඇලී යෙදී එහි ඉඳුරන් මෙහෙයවන්නෝ වූහු ද?”

    [අම්බට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නොවූයෙකි”

  89.  [භාග්‍යවතුන් වහන්සේ:] “දැන් ඇදුරා සහිත තා කරන්නා සේ, ඒ සෘෂිහු අවුලා ඉවත් කළ කළු සහල් ඇති, බොහෝ සූප ඇති, බොහෝ ව්‍යංජන ඇති මසවුළු ඇති, පිරිසිදු හැල් බත් වළඳන්නෝ වූහු ද?

    [අම්බට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නො වී ය.”

    [භාග්‍යවතුන් වහන්සේ:] “දැන් ඇදුරා සහිත තා කරන පරිදි ඔහු ‍වෙළුම් පිටින් බැඳ සිහින් කළ ඉඳ ඇති ස්ත්‍රීන් ලවා මෙහෙ කරවා ගන්නෝ වූහු ද?

    [අම්බට්ඨ:] “මේ නො වී ය භවද් ගෞතමයිනි”

    [භාග්‍යවතුන් වහන්සේ:] “ දැන් ඇදුරා සහිත තා කරන්නා සේ ඔහු සැරැසු වලග ඇති වෙළෙඹුන් යෙදූ රියවලින්, දික් කැවිටි ලී වලින් එය අදනා සත්නට අනින්නාහු, ඔබ මොබ ගියෝ ද?

    [අම්බට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නො වී ය.”

    [භාග්‍යවතුන් වහන්සේ:] “දැන් ඇදුරා සහිත තා කරන සේ, ඒ සෘෂිහු කැණු අගල් ඇති, තැබූ කණයම් ඇති, උපකාරීකාවන්ගෙන් යුත් නුවරවලැ දික් කඩු ගත් පුරුෂයන් ලවා රකවල් කැරැවූහු ද?”

    [අම්බට්ඨ:] “භවද් ගෞතමයිනි, මෙය නො වී ය.”

    [භාග්‍යවතුන් වහන්සේ:] “අම්බට්ඨය, මෙසේ ඇදුරා සහිත තෝ සෘෂියෙකුත් නො ම වෙහි ය. සෘෂි බව සඳහා පිළිපන්නෙකුත් නො ම වෙහි ය. අම්බට්ඨය, යමකුට මා කෙරෙහි සැකයෙක් විමතියෙක් වේ නම්, හේ ප්‍රශ්නයෙන් මා විචාරා වා. මම ඔහුගේ ප්‍රශ්න විසැඳීමෙන් ඔහු සැක දුරැ ලන්නෙමි”

  90. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ වෙහෙරින් නික්මැ, සක්මන් මලුවට නැංග සේක. අම්බට්ඨ මාණවක ද වෙහෙරින් නික් මැ සක්මන් මලුවට නැංගේ ය. ඉන් පසු අම්බට්ඨ මාණවක තෙමේ සක්මන් කරන භාග්‍යවතුන් වහන්සේ අනුවැ සක්මන් කරනුයේ, භාග්‍යවතුන් වහන්සේ ගේ කයෙහි දෙතිස් මහපුරිෂ්ලකුණු සෙවී ය. අම්බට්ඨ මාණවක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි බෙහෙවින් දෙකක් හැර දෙතිස් මහ පුරිෂ් ලකුණු දිටී ය. හේ කෞශාවහිත අංගජාතයෙහි ද පුළුල් දිව ඇතිබව් ද යන මහා පුරිෂලක්ෂණ දෙක්හි සැක කෙරෙයි. එයින් සනිටුහනකට නො බසී. ‘මේ තෙමේ පිරිපුන් මහපුරිස්ලකුනු ඇත්තෙකැ’ යි පැහැදීමට නො පැමිණේ.

  91. එකල්හි “මේ අම්බට්ඨ මානවක තෙමේ මා සිරුරෙහි බෙහෙවින් දෙකක් හැර දෙතිස් මහ පුරුස් ලකුණු දැකී ම ය, කොශාවහිත අංගජාතයත් පුළුල් දිවත් යන මහපුරිස් ලකුණු දෙක්හි සැක කෙරෙයි, සනිටුහනට නො බසී. නො පැහැදෙයි. (එබැවින් මොහුට ඒ මහපුරිස් ලකුනු දෙක පෙන්වීම් නම් යෙහෙකැ)” යි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය.

    ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ කොශාවහිත අංගජාතය යම්සේ අම්බට්ඨ මාණවකයා දක්නේ ද, එසේ වූ සෘද්ධ්‍යාභිසංස්කාරයක් කළ සේක. එයින් පසුව දිව නිකුත් කොට දෙකන් සිදුරු ස්පර්ශ කල සේක දෙනාස්පුඩු පිරිමැද්ද සේක. සියලු නලල් මඩල දිවෙන් වැසූ සේක.

    එවිට ‘ශ්‍රමණ ගෞතම තෙමේ නො අඩු පිරිපුන් දෙතිස් මහ පුරිස්ලකුණින් සමන්විත යැ’යි අම්බට්ඨ මාණවකයාට මේ සිත විය.

    ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට “භවද් ගෞතමයෙනි, දැන් අපි යම්හ, අපි බොහෝ කෘත්‍ය ඇත්තමෝ, බොහෝ කටයුතු ඇත්තමෝ වම්හ” යි කී ය.

     “අම්බට්ඨය, යම් ගමනකට තෝ කාලය සිතහි නම්, ඒ ගමන කරන්නැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

    ඉක්බිති අම්බට්ඨ මාණවක තෙමෙ වෙළෙඹුන් යෙදූ රියෙක නැඟ නික්මුණේ ය.

  92. ඒ සමයෙහි වූ කලි පොක්ඛරසාදී බමුණු තෙමේ උක්කට්ඨා නුවරින් නික්මැ, අම්බට්ඨ මාණවකයා(ගේ ඊම) බලාපොරොත්තු වනුයේ, මහත් බමුණුමුළුවක් හා සිය අරමෙහි හුන්නේ වෙයි. එ කල්හී අම්බට්ඨ මාණවක තෙමේ සිය අර ම කරා එළැඹියේ ය. රියෙන් යෑ හැකි තාක් රියෙන් ගොස් එයින් බැස, පා ගමන් ඇත්තේ ම පොක්ඛරසාදි බමුණා වෙත එළැඹියේ ය. එළැඹ ඔහු වැඳ පසෙක හිඳ ගත්තේ ය.
  93. පසෙක හුන් අම්බට්ඨ මාණවකයාගෙන් පොක්ඛරසාදි බමුණු තෙමේ “කිමෙක් ද? දරුව අම්බට්ඨය, ඒ භවද්ගෞතමයන් දුටු දෑ?” යි විචාළේ ය.

     “භවතාණනි, ඒ භවද්ගෞතමයන් අපි දුටුම්හ” යි අම්බට්ඨ කී ය.

    [පොක්ඛරසාදි:] “කිමෙක් ද ? දරුව අම්බට්ඨය, ඒ භවත් ගෞතමයන්ගේ එසේ ඇත්තාවූ ම ගුණ පිළිබඳ වූ කීර්තිශබ්දයෙක් නැගුණේ ද? අන් පරිද්දෙකින් නොවේ ද? (නැති ගුණ පිළිබඳ හඬෙක් නො නැඟුණේ ද?) භවත ඒ භවද්ගෞතම තෙමේ එබඳුම ද ? අන් සැටි නො වේ ද?”

    [අම්බට්ඨ:] “භවතාණනි, ඒ භවද්ගෞතමයන්ගේ එසේ ඇත්තාවූූ ම ගුණ පිළිබඳ වූ කීර්තිඝෝෂයෙක් නැඟිණ. අන් පරිදි වූ (නැති ගුණ පිළිබඳ වූ ඝෝෂ)යෙක් නො වේ. භවතාණෙනි, ඒ භවත්ගෞතම තෙමේ එබඳු ම ය අන් සැටි නො වේ. භවතාණෙනි, ඒ භවද්ගෞතම තෙමේ අඬු නො වූ පිරිපුන් දෙතිස් මහපුරිස්ලකුණින් යුතු වේ.”

    [පොක්ඛරසාදි:] “දරුව අම්බට්ඨය. ශ්‍රමණ ගෞතමයන් හා තගේ කිසියම් කතාබහෙක් වී ද?”

    [අම්බට්ඨ:] “භවතාණෙනි, ශ්‍රමණ ගෞතමයන් හා මගේ කිසි යම් කතාබහෙක් වී ය”

    [පොක්ඛරසාදි:] “අම්බට්ඨය, ශ්‍රමණ ගෞතමයන් හා තගේ ඒ ස්වල්ප කථාසංලාපය කෙසේ වූ එකෙක් ද?”

    ඉක්බිති අම්බට්ඨ මාණවකයා භාග්‍යවතුන් වහන්සේ හා යම් පමණ තමාගේ කථාසංලාපයෙක් වී ද ඒ සියල්ල පොක්ඛරසාදී බමුණාට සැළ කළේ ය.

  94. එසේ සැළ කළ කල්හි, පොක්ඛරසාදී තෙමේ අම්බට්ඨ මාණවකයා අමතා, “යහහා, කොළ අප ඊනියා පණ්ඩිතය! යහහා , කොළ අප ඊණිය මහ උගත! යහහා, කොළ අප ඊණියා ත්‍රිවිද්‍යා දතුව! එම්බල, මෙබඳු තා වැනි ඊණියා වැඩ සලසන්නකු කරණ කොට ගෙන(තා වැන්නකු ඇති කල්හි ඇසුරු කරන) මිනාස කාබුන් මරණින් මතු සැප නැති දුර්ගති වූ තමාට අවශග වැ වැටෙන තැන වූ නිරයට පැමිණෙන්නේ ම ය. යම් හෙයකින් ම, අම්බට්ඨය, තෝ මෙසේ ඒ භවද් ගෞතමයනට ගට ගටා කීයෙහි ද, එ හෙයින් ම භවද් ගෞතමයෝ මෙසේ අපටත් සැඟවුණු දෑ මතු කොට ශුද්‍රාදී බව නඟ නඟා මෙසේ කීහ. යහහා, කොළ, අප ඊණීය පණ්ඩිතය! යහහා, කොළ අප ඊණීයා උගත! යහහා, කොළ අප තෙවිදු දතුව! භවත්නි මේ වැනි වැඩ සලසන්නකු කරණ කොට ගෙන මිනිසා කාබුන් මරණින් මතු සැප නැති, දුර්ගති වූ, විනිපාතයක් වූ නිරයට පැමිණෙන්නේ ම යැ!”යි. මේ බස් කී ය. මෙසේ කියා, කිපුණේ, නොසතුටු සිතැත්තේ පයින් පැහැරැ ඔහු බිම පෙරැළී ය. එ කෙණෙහි ම භාග්‍යවතුන් වහන්සේ දක්නට යනු කැමැති ද විය.
  95. එවිටැ ඒ බමුණෝ පොක්ඛරසාදී බමුණට “භවත, අද (දැන්)ශ්‍රමණ ගෞතමයන් දක්නට යන්නට ඉතා නොකල් වෙයි. භවත් පොක්ඛරසාදි තෙමේ හෙට දිනැ ශ්‍රමණ ගෞතමයන් දක්නට එළැඹියැ හැකි වන්නේ යැ” යි කීහ.

    ඉක්බිති පොක්ඛරසාදී බමුණු තෙම සිය නිවසෙහි මිහිරි වූ කෑ යුතු බුදිය යුතු දෑ පිළියෙළ කරවා, යනයන්හි නංවා දඬුවැට පහන් දරනු ලබන කල්හී උක්කට්ඨා නුවරින් නික්මුණේ ය. ඉච්ඡානඞ්ගල වන ලැහැබ කරා එළැඹියේ ය. යානයෙන් යා හැකි තාක් දුර යානයෙන් ගොස්, එයින් බැස පයින් ම භාග්‍යවතුන් වහන්සේ කරා එළෑඹීයේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටට කරුණු වූ සිතැ රැඳවිය යුතු වූ (සිහි කටයුතු වූ) කථාව නිමවා පසෙක හිඳ ගත්තේ ය, පසෙක හුන්නේ ම පොක්ඛරසාදී බමුණු තෙමෙ, “භවද්ගෞතමයිනි, අප අතැවැසි අම්බට්ඨ මාණවකයා මෙහි ආයේ දැ?”යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසී ය.

    [භාග්‍යවතුන් වහන්සේ:] “ බමුණ, තා අතැවැසි අම්බට්ඨ මාණවකයා මෙහි ආයේ ම ය.”

    [පොක්ඛරසාදි:] “භවද්ගෞතමයිනි, අම්බට්ඨ මාණවකයා හා ඔබේ කිසි කථාසංලාපයක් වූයේ ද?”

    [භාග්‍යවතුන් වහන්සේ:] “ බමුණ අම්බට්ඨ මාණවකයා හා මගේ කිසි කථාසංලාපයක් වූයේ ම ය.”

    [පොක්ඛරසාදි:] “ භවද්ගෞතමයිනි, අම්බටඨ මාණවකයා හා ඔබගේ කෙබඳු වු කිසි කථාසංලාපයක් වූයේ ද?”

    ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බට්ඨ මාණවකයා හා යම් පමණ කථා සංලාපය වී ද, ඒ සියල්ල පොක්ඛරසාදි බමුණාට වදාළ සේක.

    මෙසේ වදාළ කල්හී පොක්ඛරසාදි බමුණු තෙමේ. “භවද්ගෞතමින්, අම්බට්ඨ මාණවකයා ලාමක ය. භවද්ගෞතමයෝ අම්බට්ඨ මාණවකයාට ක්ෂමා කරෙත්වා” යි කී ය.

     “බමුණ, අම්බට්ඨ මාණවක තෙමේ සුවපත් වේ වා යි” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

  96. ඉක්බිති පොක්ඛරසාදි බමුනු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහ පුරිස්ලකුණු පිරික්සී ය, පොක්ඛරසාදී බමුණු වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සිරුරෙහි දෙතිස් මහපුරිස් ලකුණු අතුරෙන් දෙකක් හැර සෙස්ස බෙහෙවින් දීටී ය. හේ කොශාවහිත අංගජාත ලක්ෂණයෙහිත් ප්‍රහූතජිව්හලක්ෂයෙහිත් දැ යි මේ මහපුරිස්ලකුණු දෙක්හි සැක කෙරෙයි, තීරණයකට නො බසී. එ හෙයින් ම නො පැහැදෙයි.
  97. එවිට භාග්‍යවතුන් වහන්සේ. “මේ පොක්ඛරසාදි බමුණු තෙමේ දෙතිස් මහා පුරිස්ලකුණු වලින් දෙකක් හැර සෙස්ස බෙහෙවින් දකී ම ය. කොශාවහිත අංගජාතලක්ෂණයෙහිත්, ප්‍රහූතජිව්හ ලක්ෂණයෙහිත් යන මහා පුරිස් ලකුණු දෙක්හි සැක කෙරෙයි, තීරණයකට නො බසී, නො පැහැදෙයි. (ඒ දෙ ලකුනු මොහුට දක්වන්නෙම් නම් යෙහෙකැ)” යි මේ සිත විය.

    ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ කොශාවහිත අංගජාතය  පොක්ඛරසාදී බමුණාට පැනෙන සේ වු සෘද්ධ්‍යාභිසංකාරයක් කළ සේක. ඉන් පසු දිව නික්මවා දෙකන් සිදුරු ස්පර්ෂ කරල සේක. පිරිමැද්ද සේක. දෙනාස් පුඬු ස්පර්ශ කල සේක. පිරිමැද්ද සේක. මුළු නලල් තලය ම දිවෙන් වැසූ සේක.

  98. එවිටැ පොක්ඛරසාදී බමුණාට “ශ්‍රමණ ගෞතම තෙමේ අඩු නොවූ පිරිපුන් දෙතිස් මහපුරිස්ලකුණින් සමන්විත යැ”යි මේ සිත විය. හේ  “භවත් ගෞතම තෙමේ බික් සඟන හා අදට මගේ බත ඉවසා වා”යි කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවසු සේක.
  99. ඉක්බිති පොක්ඛරසාදී බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවැසීම(සිතින් පැළිගැන්ම) දැන, භාග්‍යවතුන් වහන්සේට “භවද් ගෞතමයිනි, දැන් කල් පැමිණියේ ය, බත පිළියෙල කොට නිමැවිණැ”යි කල් දැන්වීය.
  100. එවිට භාග්‍යවතුන් වහන්සේ (ඒ) පෙරවරුයෙහි සිවුරු හැඳ පෙරෙවැ පාසිව්රු ගෙන බික්සඟන සමඟ පොක්ඛරසාදි බමුණාගේ පිරිවෙස්න(බොජුන් වළදනා තැන) කරා වැඩි සේක. වැඩ, පැණැවුනු අස්නෙහි හුන් සේක. ඉක්බිති පොක්ඛරසාදි බමුනු තෙම මිහිරි වූ කෑයුතු බුදිය යුතු දැයින් සියතින් භාග්‍යවතුන් වහන්සේ සැතප්වීය, මැනවින් පැවරැවී ය. මාණවකයෝ ද බික්සඟන සතැප්වූහ, මැනවින් පැවැරැවූහ.
  101. එයින් පසු පොක්ඛරසාදී බමුණහුට භාග්‍යවතුන් වහන්සේ දානකථා, ශීලකථා, සවර්ගකථා, කාමාදීනව, කාමයන්ගේ ලාමක බව, කාමයන්ගේ කෙලෙසීම, නෙක්ඛම්මයෙහි(කාමයන්ගෙන් නික්මුනුබව්හි)අනුසස් පැවැසූ සේක. භාග්‍යවතුන් වහන්සේ යම් විටෙක පොක්ඛරසාදි බමුණුහු(ඒ බණ ඇසීමෙන්)නිරෝග සිතැති වූවහු, මොළොක් සිතැති වූවහු, නීවරණ කෙරෙන් පහ වූ සිතැත්තහු ඔද වැඩී ගිය සිතැත්තහු, පහන් සිතැත්තහු, දත් සේක් ද, එ කල්හී, දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන බුදුවරුන්ගේ යම් සාමුත්කර්ෂක ධර්මදේශනාවෙක් වේ නම් එය පැවැසූ සේක.

    යම්සේ පහ වූ කළුබව ඇති , පිරිසිදු වතෙක් මොනවට රජන්(පඬු) උරා ගන්නේ ද, එසේ ම පොක්ඛරසාදී බමුණාට එ අස්නෙහි ම ‘යමෙක් උපදනා සුලු නම් ඒ සියල්ල  නැසෙන සුලු ය’ යි කෙලෙස් රජස් නැති. පහ වූ කෙලෙස් මල ඇති. දහ් ඇස පහළ විය.

    ඉක්බිති පොක්ඛරසාදි බමුණු තෙමේ දුටු ආර්‍යසත්‍යය ධර්ම ඇත්තේ, ලැබූ අර්‍යසත්‍යාවබෝධය ඇත්තේ, දැන ගත් ආර්‍යසත්‍ය ධර්ම ඇත්තේ, බැසගත් ආර්‍යසත්‍ය ධර්ම ඇත්තේ, ඉක්මැවූ සැකක ඇත්තේ, පහ වු සැක ඇත්තේ, බුදු සස්නැ විසාරද බවට පැමිණීයේ, තමාම පසක් කළ බැවින් හැදෑහිය යුතු අනෙකක්හු නැත්තේ, භාග්‍යවතුන් වහන්සේට මෙය කීය:

     “භවද්ගෞතමයිනි, අභිකාන්ත ය,(විසෙසින් සිත්කලුය) භවද් ගෞතමයිනි, අභිකාන්තය, භවද්ගෞතමයිනි, මුනින් නමා තුබු දැයක් උඩුකුරු කරන්නේ යම්සේ ද, වැසුණු දෙයක් විවෘත කරනුයේ යම්සේ ද, මං මූළා වූවකුට මඟ කියන්නේ යම්සේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහ යි සිතා තෙල් පහනක් දල්වන්නේ යම් සේද, එසේ ම භවද් ගෞතමයන් විසින්, නොයෙක් කරුණින් ධර්මය පැවැසිණි, භවද් ගෞතමයිනි, ඒ මම භාර්‍යාව සහිත වැ, පිරිස් සහිතැ ව, මෙහෙකරුවන් සහිත වැ, භවද්ගෞතමයන් ද ධර්මය ද, බික්ෂුසංඝයා ද සරණ යෙමි. අද පටන් දිවි හිමි කොට සරණ ගිය උවසකු කොට භවද් ගෞතම තෙමේ මා සලකා වා. යම්සේ භවද් ගෞතම තෙමේ උක්කට්ඨා නුවරෙහි අන් උපාසක කුලයන් කරා එළැඹේ ද, එසේ ම පොක්ඛරසාදී කුලයට ද එළැඹේවා, එහි යම් මාණවක කෙනෙක් හෝ මාණවිකා කෙනෙක් හෝ භවද් ගෞතමයන් ආදරයෙන් වඳින්නෝ ද, දැක හුනස්නෙන් නැගී සිටින්නෝ ද, අසුන් හෝ දිය හෝ දෙන්නෝ ද, සිත හෝ පහදවන්නෝ ද, එය ඔවුනට දික් කලක් වැඩ පිණිස, සුව පිණිස වන්නේ ය.”

    මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ, “බ්‍රාහ්මණය, මනා දැයෙක් තොප කී සේ මැනැවැ” යි වදාළ සේක.

    අම්බට්ඨ සුත්‍රය නිමියේ ය.