කූටදන්ත සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

දික් සඟිය

සීලස්කන්ධවර්ගය

____________________

ඒ භාග්‍යවත් අර්හත් සම්‍යග්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.

______

5

කූටදන්ත සුත්‍රය.

1.         මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් භික්ෂුන් පමණ වු මහත් පැවැදිමුළුවක් හා මගධ රටැ සැරිසරන සේක්, මගධ රටැ ඛාණුත නම් බමුණු ගමට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ වහන්සේ ඒ ඛාණුමත ගමැ අඹයැටිඋයනේහි වැඩ වසන සේක.

එසමයෙහි වනාහි කුළුදත්(කූටදන්ත) බමුණු තෙමේ මගධාධිපති  සේනිය බිම්බිසාර රජුහු විසින් දුන් රාජදායාද්‍යය වු, ශ්‍රෙෂ්ඨ ත්‍යාගය වූ, බහු ජනාකිර්ණ වූ, තණ දඬු දිය සුලභ වූ, බොහෝ ධන ධාන්‍ය ඇති, රාජස්වරූපයෙන් පරිභෝග කටයුතු වූ ඛාණුමත ගමැ වෙසෙයි.

එ සමයෙහි කුළුදත් බමුණුහුගේ මහායාගයෙක් පිළියෙල කැරුණේ වෙයි. සත්සියයක් ගොන් ද, සත්සියයක් නාඹුවස්සෝ ද, සත්සියයක් නාඹුවැස්සියෝ ද, සත්සියයක් එළුවෝ ද, සත්සියයක් තරුණ බැටළුවෝ ද,(පොරගසන එළුවෝ ද, තවත් සත්සියයක් බැගින් බොහෝ මෘගපක්ෂීහු ද) යාග පිණිස යාග ටැඹ වෙතට පමුණුවන ලදහ.

2.         ඛාණුමත ගමැ වැසි බමණෝ ද ගැහැවියෝ ද රටෙහි පැතිරැ පැවැති භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ මතු දැක්වෙන යස ගී ඇසූහ: “භවත්නි, ශාක්‍යපුත්‍ර වූ, ශාක්‍යකුලයෙන් නික්මැ පැවිදි වූ, මහණ ගොයුම්හු භික්ෂුන් පන්සියයක් පමණ වූ මහත් පැවිදිමුළුවක් හා මගධ රටැ සැරි සරනුවෝ ඛාණුමතයට පැමිණියෝ ඛාණුමතයට සමීපයෙහි වූ අඹයැටිවෙනෙහි වෙසෙති.”

ඒ භාග්‍යවත් තෙමේ මේ මේ කරුණින් අර්හත් ය, සම්‍යග්සම්බුද්ධය, විද්‍යාචරණසම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුසදම්‍යසාරථී ය, දෙවිමිනිස්නට ශාස්තෘ ය, බුද්ධය, භගවත් ය, හේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලොව, අවශේෂ මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත මේ සත්ත්වවර්ගයා තෙමේ ම සිය විශිෂ්ට ණුවනින් දැන පසක් කොට ලොවට දන්වයි. ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පරියවසානකල්‍යාණ වූ, (සතිපට්ඨානාදි) මනා අරුත් ඇති, සම්පූර්ණ ව්‍යඤ්ජන ඇති, හැම අයුරින්  පිරිපුන්, පිරිසිදු දහම් දෙසයි. එසේ දෙසනුයේ සියලු සසුන් බඹසර පවසයි. එබඳු රහතුන් දැක්ම වූ කලී හිත වැඩ සලසන්නෙකැ යි ඒ භවද්ගෞතමයන් පිළිබඳ මෙසේ වූ උතුම් යසගීයෙක් උස් වැ නැංගේ ය” යනුයි.

“ඉක්බිති ඛාණුමත ගමැ වැසි බමුණෝ ද, ගැහැවියෝ ද, ඛාණුමතයෙන් නික්මැ, බොහෝ බොහෝ වැ මුළු මුළුු වූවෝ, එකි එකී පැත්තෙහි මුළු දුන්නෝ, ගමින් පිටතැ දී  මහ මුළුකේ වැ එකතු වූවෝ අඹයැටි උයන අතට යෙති.

3.         එ සමයෙහි කුළුදත් බමුණු තෙමේ තමා පහයැ උඩු මහලෙහි දවයහන් පැමිණියේ වේ. හේ (කවළියෙන් බලනුයේ) ඛාණුමතයෙන් නික්මැ බොහෝ බොහෝ රැස් වැ එක් එකී පසැ මුළු වැ, ගමින් පිටතැ දී මහ මුළුවෙක් වැ එකතු වැ එඹයැටිය කරා යන ඛාණුම ගමැ වැසි බමුණන් ද ගැහැවියන් දිටීය. දැක ඛත්තුහු (අසන තැන්බණුවා) බණවා “භවත් ඛත්තුව, කවර හෙයින් ඛානුමත ගමැ වැසි බමුණොත් ගැහැවියෝත්  ඛාණුමත යෙන් නික්මැ බොහෝ බොහෝ වැ රැස් වී තැනින් තැන මුළු මුළු වැ ගමින් පිටතැ දී මහ මුළුවක් වැ එකතු වැ අඹයැටිය දෙසට යෙත් දැ” යි විචාළේ ය.

“භවත, කරුණෙක් ඇත. සැහැපුත් වු, සැහැකුලයෙන් නික්මැ පැවිදි වු, මහණ ගොයුම්හු භික්ෂුන් පන්සියයක් පමණ වු මහ පැවිදි මුළුවක් හා මගද රටැ සැරි සරනුවෝ ඛාණුමත ගමට පැමිණියෝ එය අසලැ අඹයැටි උයන්හි වෙසෙති, ඒ පින්වත් ගොයුම් තෙමේ මේ මේ කරුණින් රහත් ය, සම්මා සම්බුදුය, විදුසරණ දෙකින් යුතු ය, සුගත ය, ලොව දන්නේ යැ, නොදැමුනන් දමනුයෙහි හැමට වැඩි සැරි දෑ ය, දෙවිමිනිස්නට සසු ය, බුදු ය, බගවත් යැ ’යි මෙසේ ඔබ පිළිබඳ උතුම් යසගීයෙක් උස් වැ නැංගේ ය. මොහු පින්වත් ගොයුමාණන් දක්නට එහි යෙත්”යැ යි ඛත්තු තෙමේ කීය.

4.         එ විටැ, කුළුදත් බමුණාට, “මහණ ගොයුම්හු තුන් යාගසම්පත් හා සොළොස් පිරිකර දනිතැ යි මා විසින් ඇසිණ. මම් වූ කලී තෙවැදෑරුම් යාගසම්පතත් සොළොස් පිරිකරත් නො දනිමි. වැලිදු මහා යාගයක් යදනට මම් රිසියෙමි. මහණ ගොයුමාණන් කරා එළැඹ තෙවැදෑරුම් යාගසම්පතත් සොළොස් පිරිකරත් විචාළෙම් නම් යෙහෙකැ” යි මේ සිත විය.

ඉක්බිති, කුළුදත් බමුණා ඛත්තුහු බණවා, “භවත් ඛත්තුව, එසේ වී නම් ඛාණුමත ගමැ වැසි ඒ බමුණු ගැහැවියන් වෙත එළැඹෙන්න. එළැඹ ‘භවත්නී, භවත්හු කුඩා තමක් බලා පොරොත්තු වෙත්වා. කුළුදත් බමුණා ද මහණ ගොයුමාණන් දක්නට එන්නේ යැ යි මෙසේ කීයේ යැ’යි මේ පරිදි සැළ කරන්නැ ” යි කී ය.

‘භවත, එසේ යැ’ යි කියා ඒ ඛත්තු තෙම කුළුදත් බමුණාට පිළිවදන් දී ඛාණුමතැ ගමැ වැසි බමුණන් ද ගැහැවියන් ද කරා එළැඹියේ ය. එළැඹ, ඔවුනට “භවත්නී, භවත්හු කුඩා තමක් බලාපොරොත්තු වෙත් වා, කුළුදත් බමුණා ද මහණ ගොයුමාණන් දක්නට එන්නේ යැ’යි කුළුදත් බමුණු මෙසේ කීහ”යි මේ පවත් සැළ කළේ ය.

5.         එ සමයෙහි වනාහි බොහෝ සිය ගණන් බමුණෝ ‘කුළුදත් බමුණාගේ මහා යාගය වළදන්නෙමු’යි ඛාණුමතයෙහි වෙසෙත්. ඒ බමුණෝ ‘කුළුදත් බමුණා මහණ ගොයුමාණන් දක්නාට ඔබ කරා යෙතැ’ යි ඇසූහ. ඉක්බිති ඔහු කුළුදත් බමුණු කරා එළැඹුණහ. එළැඹ ‘පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමාණන් දක්නට යන්නේල. ඒ සැබෑ දැ’ යි ඇසූහ.

“භවත්නි, මමත් මහණ ගොයුමාණන් දක්නට ඔබ වෙත යන්නෙමැ යි මට මෙසේ සිතෙක් වේ ම යැ”යි කුළුදත් පැවැසී ය.

6. [එබස් සා ඒ බමුණෝ කුළුදතුට මෙසේ කීහු:]              “පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමන් දක්නට නොයේ වා. පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමාණන් දක්නට යන්නට නො නිස්සේ ය. ඉදින් පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමාණන් දක්නට යන්නේ නම්, පින්වත් කුළුදතුගේ යශස් පිරිහෙන්නේ ය, මහණ ගොයුමාණන්ගේ යශස් වැඩෙන්නේ ය. ‘පින්වත් කුවදතුගේ යසස් පිරිහෙන්නේ ය, මහණ ගොයුමාණන්ගේ යශස් වැඩෙන්නේ ’ ය යන යමෙක් ඇද්ද මේ කරුණිනුත් පින්වත් කුළුදත් තෙමේ මහණ ගොයුමාණන් දක්නට යනුවට නො නිස්සේ ය. මහණ ගොයුම්හු ම පින්වත් කුළුදතු දක්නට එනුවට නිස්සෙ ය.

‘පින්වත් කුළුදත්  තෙමේ මවුපසින් ද පියපසින් ද යන දෙපසින් මැ අභිජාත ය.  සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්යේය. ජාතිවාදයෙන් ඉවත නො හෙළන ලද්දේය.   නො ගරහන ලද්දේ ය. පින්වත් කුවදත් තෙමේ මව් පිය දෙපසින් ම අභිජාත ය, ජාතිවාදයෙක් නොහෙළන ලද්දේ ය. නො ගරහන ලද්දේ ය යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.

තවද පින්වත් කුළුදත්  තෙමේ වු කලි ආඪ්‍ය ය,  මහත් ධන ඇත්තේ ය, මහද්භෝග ඇත්තේ ය. පින්වත් කුළුදත්  තෙමේ වූ කලි අඩ්‍ය ය, මහත් ධඇත්තේ ය, මහද්භෝග ඇත්තේ ය, යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.

පින්වත් කුළුදත්  තෙමේ වු කලි වේද හදාරන්නෙක. වෙදයන් සිතැ ලා දරන්නෙක. නිඝණ්ටු කෛටහශාස්ත‍්‍ර සහිත, අඏරප‍්‍රභෙද (ශික්ෂා හා නිරුක්ති) සහිත” ඉතිහාසය පස්වනු කොටැති ති‍්‍රවෙදයන් ගේ පරතෙර පැමිණියෙක,  පදපාඨ දන්නෙක,  එයින් අන්‍ය සියලු ව්‍යාකරණ විධි ද දන්නෙක.  ලොකායන ශාස්ත‍්‍රයෙහිත් මහාපුරුෂ ලක්ෂණශාස්ත‍්‍රයෙහිත් නිපුණයෙක. පින්වත් කුළුදත්  තෙමේ වු කලි වේද හදාරන්නෙක. වෙදයන් සිතැ ලා දරන්නෙක. නිඝණ්ටු කෛටහශාස්ත‍්‍ර සහිත, අඏරප‍්‍රභෙද (ශික්ෂා හා නිරුක්ති) සහිත” ඉතිහාසය පස්වනු කොටැති ති‍්‍රවෙදයන් ගේ පරතෙර පැමිණියෙක,  පදපාඨ දන්නෙක,  එයින් අන්‍ය සියලු ව්‍යාකරණ විධි ද දන්නෙක.  ලොකායන ශාස්ත‍්‍රයෙහිත් මහාපුරුෂ ලක්ෂණශාස්ත‍්‍රයෙහිත් නිපුණයෙක යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.

 පින්වත් කුළුදත්  තෙමේ වු කලි විශිෂ්ඨ රූපශොභා ඇත්තෙක,  දකුම් කටයුතු ය, ප‍්‍රසාද එළවන සුලු ය, උතුම් වර්ණසෞණ්දර්ය්‍යයෙන් සමන්විත ය, උතුම් රන්වන් පැහැත්තෙක,  උතුම් ශරීරප‍්‍රභා ඇත්තෙක.  (ආරොහපරිණාහසම්පත්තියෙන් ද අවයවයන්ගේ පරිපුණත්වයෙන් ද)  සිරුරෙහි දැක්මට නොමඳ වු අවකාශ ඇත්තෙක.  පින්වත් කුළුදත්  තෙමේ වු කලි විශිෂ්ඨ රූපශොභා ඇත්තෙක,  දකුම් කටයුතු ය, ප‍්‍රසාද එළවන සුලු ය, උතුම් වර්ණසෞණ්දර්ය්‍යයෙන් සමන්විත ය, උතුම් රන්වන් පැහැත්තෙක,  උතුම් ශරීරප‍්‍රභා ඇත්තෙක.  (ආරොහපරිණාහසම්පත්තියෙන් ද අවයවයන්ගේ පරිපුණත්වයෙන් ද)  සිරුරෙහි දැක්මට නොමඳ වු අවකාශ ඇත්තෙක. යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.

 

පින්වත් කුළුදත්  තෙමේ සිල්වත් ය, වැඩුණු සිල් ඇත්තේ ය,  වැඩුණු ශීලයෙන් යුක්ත ය. පින්වත් කුළුදත්  තෙමේ සිල්වත් ය, වැඩුණු සිල් ඇත්තේ ය,  වැඩුණු ශීලයෙන් යුක්ත ය, යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.

පින්වත් කුළුදත්  තෙමේ කලණ තෙපුල් ඇත්තේ,  කලණ මිහිරි බස් කියන්නේ,  නිදොස් වු කෙලතොලු නොවු, කී අරුත අඟවනු සමත් සිලිටි බසින් සමන්විත ය.  පින්වත් කුළුදත්  තෙමේ කලණ තෙපුල් ඇත්තේ,  කලණ මිහිරි බස් කියන්නේ,  නිදොස් වු කෙලතොලු නොවු, කී අරුත අඟවනු සමත් සිලිටි බසින් සමන්විත ය.යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.

පින්වත් කුළුදත්  තෙමේ බොහෝ දෙනාට ආචාර්‍ය් ද, ප්‍රාචාර්‍ය ද වුයේ,  තුන්සියක් මාණවකයනට වෙදයන් කියවයි.  වෙදයන් ප‍්‍රයොජන කොටැති, වෙද හදාරනු කැමැති බොහෝ මාණවකයෝ නන් දෙසින් නන්රටින් පින්වත් කුළුදත්  වෙත එත්.  පින්වත් කුළුදත්  තෙමේ බොහෝ දෙනාට ආචාර්‍ය් ද, ප්‍රාචාර්‍ය ද වුයේ,  තුන්සියක් මාණවකයනට වෙදයන් කියවයි.  වෙදයන් ප‍්‍රයොජන කොටැති, වෙද හදාරනු කැමැති බොහෝ මාණවකයෝ නන් දෙසින් නන්රටින් පින්වත් කුළුදත්  වෙත එත්. යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.

පින්වත් කුළුදත්  තෙමේ වු කලි ජරාජීර්ණ ය,  වයොවෘද්ධ ය, මහලු ය,  බොහෝ කල් ඉක්මැවුයෙක, පැසිම් වයසට පැමිණියෙක, මහණ ගොවුම් තෙමේ තරුණ ද වේ.  තරුණ පැවිද්දෙක් ද වේ.  පින්වත් කුළුදත්  තෙමේ වු කලි ජරාජීර්ණ ය,  වයොවෘද්ධ ය, මහලු ය,  බොහෝ කල් ඉක්මැවුයෙක, පැසිම් වයසට පැමිණියෙක, මහණ ගොවුම් තෙමේ තරුණ ද වේ.  තරුණ පැවිද්දෙක් ද වේ.යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.

පින්වත් කුළුදත්  තෙමේ වු කලි මගධාධිපති සෙනිය බිම්බිසාර රජහු විසින් සත්කාර කරන ලද්දෙක, ගුරුකාර කරන ලද්දෙක, බුහුමන් කරන ලද්දෙක,  පුදන ලද්දෙක, යටත් පැවැතුම් දක්වන ලද්දෙක.  පින්වත් කුළුදත්  තෙමේ වු කලි මගධාධිපති සෙනිය බිම්බිසාර රජහු විසින් සත්කාර කරන ලද්දෙක, ගුරුකාර කරන ලද්දෙක, බුහුමන් කරන ලද්දෙක,  පුදන ලද්දෙක, යටත් පැවැතුම් දක්වන ලද්දෙක.යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.

පින්වත් කුළුදත්  තෙමේ වු කලි පොකුරුසැත් බමුණා විසින් සත්කෘත ද ගුරුකෘත ද මාතීත ද පුජිත ද අපචිත ද වේ.  පින්වත් කුළුදත්  තෙමේ වු කලි පොකුරුසැත් බමුණා විසින් සත්කෘත ද ගුරුකෘත ද මාතීත ද පුජිත ද අපචිත ද වේ. යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.

පින්වත් කුළුදත්  තෙමේ වු කලි බහුජනාකීර්ණ තණ දඬු දිය යන මෙයින් යුක්ත, බොහෝ ධාන්‍ය ඇති, රජුගෙන් ලත් ස්වකීය පරිභෝග වස්තු වු, රජුගේ දායාද්‍යය වු, සෙනිය බිම්බිසාර මහරජුහු දුන් ශ්‍රෙෂ්ඨ ත්‍යාගය වු චම්පානුවරට අධිපති වැ වෙසෙයි.  පින්වත් කුළුදත්  තෙමේ වු කලි බහුජනාකීර්ණ තණ දඬු දිය යන මෙයින් යුක්ත, බොහෝ ධාන්‍ය ඇති, රජුගෙන් ලත් ස්වකීය පරිභෝග වස්තු වු, රජුගේ දායාද්‍යය වු, සෙනිය බිම්බිසාර මහරජුහු දුන් ශ්‍රෙෂ්ඨ ත්‍යාගය වු චම්පානුවරට අධිපති වැ වෙසෙයි. යන යමෙක් අද්ද, මේ කරුණෙනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නය යනු නො වටී.  මහණ ගොයුමන් ම පින්වත් කුළුදත් යා දක්නට එනු වටී.

පින්වත් කුළුදත්  තෙමේ බහුජනාකීර්ණ චම්පානුවරට අධිපති වැ වෙසේ යි. පින්වත් කුළුදත්  තෙමේ බහුජනාකීර්ණ චම්පානුවරට අධිපති වැ වෙසේ ය යන යම් කරුණෙක් ඇද්ද, මේ කරුණිනුත් පින්වත් කුළුදත්  තෙමේ මහණ ගොයුම්හු දක්නට යනු නොනිසි ය.  මහණ ගොයුම් තෙමේ ම පින්වත් කුළුදත් යා දක්නට එනු සුදුසු යැ”යි කීහ.

7.         මෙසේ කී කල්හි කුළුදත්  බමුණු තෙමේ ඒ බමුණනට කියනුයේ, භවත්නි,  එසේ වී නම් ඒ භවද්ගෞතමයන් අප දක්නට ඊම නොවැ අප ම ඔබ දක්නට යනු සුදුසු බවට මා කියන බස් ද අසවු: ‘භවත්නි, මහණ ගොයුම්හු වු කලි මවුපසින් ද පියපසින් ද යන දෙපසින් මැ අභිජාතයහ, සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තෝ ය.  ජාතිවාදයෙන් නො හෙළන ලද්දෝ ය, නො ගරහන ලද්දේය.

‘මහණ ගොයුම්හු මවුපසින් ද පියපසින් ද යන දෙපසින් මැ අභිජාත ය.  සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්යේය. ජාතිවාදයෙන් ඉවත නො හෙළන ලද්දේය.   නො ගරහන ලද්දේ ය.’ යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි, මහණ ගොයුම්හු වු කලි මහත් නෑමුළුව පියා පැවිදි වුවෝ ය. භවත්නි, මහණ ගොයුම්හු වු කලි පොළොව යට ද පොළොව මත්තෙහි ද වු මහත් හිරණ්‍යස්වර්ණ, හැරැ පියා පැවිදි වුවෝ ය යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.භවත්නි,  මහණ ගොයුම්හු වු කලි සොඳුරු යොවුනෙන්, (තුන් වයසින්) පළමු වයසින් යුත් වුවෝ ම,  තරුණ වුවෝ ම,  මනා කළු කෙහෙ ඇති වැ යොවුන් වියෙහි සිටියෝ ම ගිහි ගෙන් නික්මැ පැවිදි බිමට වන්නෝ ය. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි, මහණ ගොයුම්හු වු කලි මවුපියන් ඔබ පැවිදි වනුවට නොකැමැති වැ කඳුළු පිරුණු මුහුනු ඇති වැ හඩද්දී එය නොතකා කෙහෙ රවළු බා දමා කසා වත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිද්දට වන්නෝ ය.  භවත්නි, මහණ ගොයුම්හු වු කලි මවුපියන් ඔබ පැවිදි වනුවට නොකැමැති වැ කඳුළු පිරුණු මුහුනු ඇති වැ හඩද්දී එය නොතකා කෙහෙ රවළු බා දමා කසා වත් හැඳ ගිහි ගෙන් නික්මැ පැවිද්දට වන්නෝ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි,  මහණ ගොයුම්හු වු කලි විශිෂ්ථ රූප සම්පත් ඇත්තෝ ය, දැකුම් කටයුතු ය,  ප‍්‍රසාදජනක හ,  උතුම් වර්ණසෞන්දර්ය්‍යයෙන් සමන්විත හ, බඹහු සේ උතුම් රන් පැහැ ඇත්තෝ ය, උත්තම ශරීරප‍්‍රභා ඇත්තෝ ය, සිය සිරුරෙහි දැක්මට නොමද’ වු අවකාශ ඇත්තෝ ය. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි විශිෂ්ථ රූප සම්පත් ඇත්තෝ ය, දැකුම් කටයුතු ය,  ප‍්‍රසාදජනක හ,  උතුම් වර්ණසෞන්දර්ය්‍යයෙන් සමන්විත හ, බඹහු සේ උතුම් රන් පැහැ ඇත්තෝ ය, උත්තම ශරීරප‍්‍රභා ඇත්තෝ ය, සිය සිරුරෙහි දැක්මට නොමද’ වු අවකාශ ඇත්තෝ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි, මහණ ගොයුම්හු වු කලි සිල්වත් හ, පිරිසිදු  සිල් ඇත්තෝ ය, නිදොස් සිල් ඇත්තෝ ය, නිදොස් ශිලයෙන් සමන්විත හ. භවත්නි, මහණ ගොයුම්හු වු කලි සිල්වත් හ, පිරිසිදු  සිල් ඇත්තෝ ය, නිදොස් සිල් ඇත්තෝ ය, නිදොස් ශිලයෙන් සමන්විත හ.  යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

මහණ ගොයුම්හු වු කලි කලණ තෙපුල් ඇත්තෝ ය,  කලණ මිහිරි බස් කියන්නෝ ය,  නිදොස් වු,  කෙලතොලු නොවු,  කී අරුත හඟවනු සමත් සිලිටි බසින් සමන්විතයෝ ය. මහණ ගොයුම්හු වු කලි කලණ තෙපුල් ඇත්තෝ ය,  කලණ මිහිරි බස් කියන්නෝ ය,  නිදොස් වු,  කෙලතොලු නොවු,  කී අරුත හඟවනු සමත් සිලිටි බසින් සමන්විතයෝ ය. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි, මහණ ගොයුම්හු වු කලි බොහෝ දෙනාට ආචාර්‍ය ද ප‍්‍රාචාර්‍ය ද වෙති. භවත්නි, මහණ ගොයුම්හු වු කලි බොහෝ දෙනාට ආචාර්‍ය ද ප‍්‍රාචාර්‍ය ද වෙති.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි,  මහණ ගොයුම්හු වු කලි පහ වු කාමරාග ඇත්තෝ ය, පහ වු චපල බව ඇත්තෝ ය. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි පහ වු කාමරාග ඇත්තෝ ය, පහ වු චපල බව ඇත්තෝ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි,  මහණ ගොයුම්හු වු කලි කර්මවාදි ද ක‍්‍රියාවාදි ද වෙති.  ලොවුතුරා දහම් පුරඃසර කොට පවතිති.  සැරියුත් මුගලන් ඈ බමුණු පිරිසට නායක වැ හැදිරෙති (නොහොත් තමනට විරුද්ධ වු බමුණු පිරිසට පවා අහිතක් නොසිතා හිත සුව ම පතන්නෝ හැසිරෙති). භවත්නි,  මහණ ගොයුම්හු වු කලි කර්මවාදි ද ක‍්‍රියාවාදි ද වෙති.  ලොවුතුරා දහම් පුරඃසර කොට පවතිති.  සැරියුත් මුගලන් ඈ බමුණු පිරිසට නායක වැ හැදිරෙති (නොහොත් තමනට විරුද්ධ වු බමුණු පිරිසට පවා අහිතක් නොසිතා හිත සුව ම පතන්නෝ හැසිරෙති).  යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි, මහණ ගොයුම්හු වු කලි අමිශ‍්‍ර (පිරිසිදු) කැත්කුලය වු උසස් කුලයෙන් නික්මැ පැවිදි වුවෝ ය. භවත්නි, මහණ ගොයුම්හු වු කලි අමිශ‍්‍ර (පිරිසිදු) කැත්කුලය වු උසස් කුලයෙන් නික්මැ පැවිදි වුවෝ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි, මහණ ගොයුම්හු වු කලි මහත් ධන ඇති මහත් භොග ඇති සමෘද්ධ කුලයෙන් නික් මැ පැවිදි වුවෝ ය. භවත්නි, මහණ ගොයුම්හු වු කලි මහත් ධන ඇති මහත් භොග ඇති සමෘද්ධ කුලයෙන් නික් මැ පැවිදි වුවෝ ය.  යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.භවත්නි, මහණ ගොයුමන් කරා පිට රටින් පිට දනවුයෙන් පැණ පුළුවුස්නට එති. මහණ ගොයුමන් කරා පිට රටින් පිට දනවුයෙන් පැණ පුළුවුස්නට එති යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි, නොයෙක් දහස් ගණන් දෙවියෝ මහන ගෙයුමන් දිවිහිමියෙන් සරණ ගියහ. භවත්නි, නොයෙක් දහස් ගණන් දෙවියෝ මහන ගෙයුමන් දිවිහිමියෙන් සරණ ගියහ. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි, මේ මේ කරුණින් ඒ භගවත් තෙමේ අර්හත් ය,  සම්‍යක්සම්බුද්ධ ය,  විජ්ජාචරණසම්පන්න ය, සුගතය, ලොකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව්මිනිසුන්ට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ’ යි මහණ ගොයුමාණන් පිළිබඳ වැ මෙසේ වු යහපත් ගුණඝොෂයෙක් ඉතා උස් වැ නැංගේ ය. භවත්නි, මේ මේ කරුණින් ඒ භගවත් තෙමේ අර්හත් ය,  සම්‍යක්සම්බුද්ධ ය,  විජ්ජාචරණසම්පන්න ය, සුගතය, ලොකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථි ය, දෙව්මිනිසුන්ට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ’ යි මහණ ගොයුමාණන් පිළිබඳ වැ මෙසේ වු යහපත් ගුණඝොෂයෙක් ඉතා උස් වැ නැංගේ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි, මහණ ගොයුම්හු වු කලි දෙතිස් මහපුරිස්ලකුණුවලින් සමන්විත හ. භවත්නි, මහණ ගොයුම්හු වු කලි දෙතිස් මහපුරිස්ලකුණුවලින් සමන්විත හ. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි,  මහණ ගොයුම්හු වු කලි තමන් වෙත පැමිණෙන්නවුන් එන්න, මෙහි ආ සේ මැනැවැ’ යි කියා පිළිගන්නා සුලු හ, කනට සුව එළවන තෙපුල් බණන්නෝ ය,  පිළිසද’රෙහි දක්ෂ හ, බැම නො හකුළුවන්නෝ ය, සුලභ කථා ඇත්තෝ ය,  පැමිණියවුනට තුමු පළමුයෙන් කථා කරන සුලු හ. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි තමන් වෙත පැමිණෙන්නවුන් එන්න, මෙහි ආ සේ මැනැවැ’ යි කියා පිළිගන්නා සුලු හ, කනට සුව එළවන තෙපුල් බණන්නෝ ය,  පිළිසද’රෙහි දක්ෂ හ, බැම නො හකුළුවන්නෝ ය, සුලභ කථා ඇත්තෝ ය,  පැමිණියවුනට තුමු පළමුයෙන් කථා කරන සුලු හ.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි,  මහණ ගොයුම්හු වු කලි (මහණ මෙහෙණි උවසු උවැසි යන) සිවු පිරිස් විසින් සත්කාර කරන ලදුහ, ගුරුකාර කරන ලදු හ,  බුහුමන් කරන ලදුහ,  යටත් පැවැතුම් දක්වන ලදුහ. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි (මහණ මෙහෙණි උවසු උවැසි යන) සිවු පිරිස් විසින් සත්කාර කරන ලදුහ, ගුරුකාර කරන ලදු හ,  බුහුමන් කරන ලදුහ,  යටත් පැවැතුම් දක්වන ලදුහ. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි,  මහණ ගොයුමන් කෙරෙහි වනාහි බොහෝ දෙවියෝත් මිනිස්සුත් වෙසෙසින් පහන් හ. භවත්නි,  මහණ ගොයුමන් කෙරෙහි වනාහි බොහෝ දෙවියෝත් මිනිස්සුත් වෙසෙසින් පහන් හ. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි,  මහණ ගොයුම්හු තුමු යම් ගමෙක් නියම්ගමෙක හෝ වෙසෙත් නම්,  එ ගමැ හෝ නියම්ගමැ හෝ වසන මිනිස්නට යක්කු පීඩා කො කෙරෙත්. භවත්නි,  මහණ ගොයුම්හු තුමු යම් ගමෙක් නියම්ගමෙක හෝ වෙසෙත් නම්,  එ ගමැ හෝ නියම්ගමැ හෝ වසන මිනිස්නට යක්කු පීඩා කො කෙරෙත්. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි,  මහණ ගොයුම්හු වු කලි මහ සග’පිරිස් ඇත්තෝ ය,  ගණනායක හ, ගණාචාර්‍ය,  බොහෝ තීර්ථංකරයන් අතුරෙහි අග‍්‍ර හ යි කියනු ලැබෙති. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි මහ සග’පිරිස් ඇත්තෝ ය,  ගණනායක හ, ගණාචාර්‍ය,  බොහෝ තීර්ථංකරයන් අතුරෙහි අග‍්‍ර හ යි කියනු ලැබෙති. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

යම් සේ වනාහි ඇතැම් මහණබමුණන්ගේ යශස අචේලකතා ආදි පිටතට පෙන්වන යම්තම් ව‍්‍රතමාත‍්‍රයෙකින් වැඩෙතත් මහණ ගොයුමන් ගේ වු කලි යශස එසේ වැඩුණෙක් නො වේ.  වැලි තමන් තුළැ ම වු නිරුත්තර විජ්ජාචරණසම්පතින් වැඩුණේ වෙයි. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි,  මහණ ගොයුම්හු වු කලි මගධාධිපති සෙනිය බිම්බිසාර රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග, දිවි හිමි කොට සරණ ගියේ ය. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි මගධාධිපති සෙනිය බිම්බිසාර රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග, දිවි හිමි කොට සරණ ගියේ ය. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි, මහණ ගොයුම්හු වු කලි කොශලාධිපති පසේනදී රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග,  දිවි හිමි කොට සරණ ගියේ ය. භවත්නි, මහණ ගොයුම්හු වු කලි කොශලාධිපති පසේනදී රජ තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග,  දිවි හිමි කොට සරණ ගියේ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි,  මහණ ගොයුම්හු වු කලි පොකුරුසැත් බමුණු තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග, දිවි හිමි කොට සරණ ගියේ ය. භවත්නි,  මහණ ගොයුම්හු වු කලි පොකුරුසැත් බමුණු තෙමේ දරුවන් හා බිරියන් හා පිරිස් හා ඇමැත්තන් හා සමග, දිවි හිමි කොට සරණ ගියේ ය.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි,  මහණ ගොයුම්හු වු කලි මගධාධිපති සේනීය බිම්බිසාර මහරජුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පුජිත ද අපචිත ද වෙති.  භවත්නි,  මහණ ගොයුම්හු වු කලි මගධාධිපති සේනීය බිම්බිසාර මහරජුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පුජිත ද අපචිත ද වෙති. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි, මහණ ගොයුම්හු වු කලි කොශලාධිපති පසෙනදී රජුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද අපචිත ද වෙති. භවත්නි, මහණ ගොයුම්හු වු කලි කොශලාධිපති පසෙනදී රජුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද අපචිත ද වෙති. යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි, මහණ ගොයුම්හු වු කලි පොකුරුසැත් බමුණුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පුජිත ද අපචිත ද වෙති. භවත්නි, මහණ ගොයුම්හු වු කලි පොකුරුසැත් බමුණුහු විසින් සත්කෘත ද ගුරුකෘත ද මානිත ද පුජිත ද අපචිත ද වෙති.යන යමෙන් ඇද්ද, මේ කරුණිනුදු ඒ භවද්ගෞතමයෝ අප දක්නට එන්නට නො නිස්සහ.  වැළි අපි ම ඔබ දක්නට යනු නිස්සම්හ.

භවත්නි,  මහණ ගොයුම්හු වනාහි (දැන්) චම්පාවට පැමිණියෝ චම්පාවට නොදුරු තන්හි වු ගර්ගරා  පොකුණතෙරැ වෙසෙති.  ‘භවත්නි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ අපේ ගම්කෙතට එත් නම් උහු අපට අමුත්තෝ වෙත්, අමුත්තෝ වනාහි අප විසින් සත්කාර කළ යුත්තෝ ය, ගුරුකාර කළ යුත්තෝ ය, බුහුමන් කළ යුත්තෝ ය, පිදියැ යුත්තෝ ය, යටත් පැවැතුම් දැක්වියැ යුත්තෝ ය.  යම් හෙයෙකින් මහණ ගොයුම්හු චම්පාවට පැමිණියෝ චම්පාව සමීපයේ ගර්ගරා  පොකුණ තෙරැ වෙසෙත් ද, එ හෙයින් ඔබ අපේ අමුත්තෝය. ඒ අමුත්තෝ වනාහි අප විසින් සත්කාර කටයුතු හ, ගරු කටයුතු හ, බුහුමන් කටයුතු හ, පිදියැ යුතු හ, යටත් පැවැතුම් දැක්වියැ යුතුහ.  මේ කරුණිනුත් ඒ භවද්ගෞතමයන් අප දක්නට එනු නො වටී.  වැළි අපි ම ඔබ දක්නට යෑ යුතු වමු.

භවත්නි, ඒ භවද්ගෞතමයන් පිළිබඳ වු මෙ පමණක් ගුණ මම දනිමි.  එහෙත් ඒ භවත් ගෞතමයෝ නම් මෙ පමණක් ම ගුණ ඇත්තෝ නො වෙති. වැළි දු ඔබ පමණ කට නොහැකි ගුණ ඇත්තෝ ”ය යනු යි.

8.         මෙසේ කී කල්හි ඒ බමුණෝ කුළුදත්  බමුණා බණවා, පින්වත් කුළුදත්  ය, පින්වත් කුළුදත් යා මහණ ගොයුමන්ගේ ගුණ කියන සැටියෙන් ඒ භවද්ගෞතමයන් මෙයින් යොදුන් සීයක් දුරැ වසතත්, සැදැහැති කුලපුතුහු විසින් පාථෙය (මග වියදම්) ගෙන ද, ඔබ දක්නට එළැඹෙනු වටී ම ය එ බැවින් භවත්නි, අපි සියල්ලෝ ම ඒ මහණ ගොයුමන් දක්නට යන්නමු”යි කීහ.

9.         ඉක්බිත්තෙන් කුළුදත් බමුණා මහත් බමුණු ගණයා හා අඹයැටියට භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටට කරුණු වූ, සිතැ රැඳවිය යුතු වු කථාව කැරැ නිමවා, පසෙක ඉඳ ගත්තේ ය. ඛාණුමත ගමැ වැසි බමුණෝ ද ගැහැවියෝ ද කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වැඳ පසෙක ඉඳ ගත්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සතුටු වූහ. සතුටු විය යුතු සිතැ රැඳවිය යුතු වූ කථා නිමවා පසෙක ඉඳ ගත්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දසාවට අඳිලි බැඳගෙන පසෙක හුන්හ. කෙනෙක් නම්ගොත් අස්වා පසෙක ඉඳ ගත්හ. කෙනෙක් නිහඬ වැ පසෙක ඉඳ ගත්හ.

10.       එක් පසෙකැ හුන්නා වූ ම කුළුදත් බමුණා, “පින්වත්, ගොයුමාණනි, ‘මහණ ගොයුම්හු තෙවැදෑරුම් යාග සම්පතත් සොළොස් පිරිකරත් දනිති’ යි මෙය මා විසින් අසන ලදි. මම් වූ කලි තෙවැදෑරුම් යාග සම්පතත් සොළොස් පිරිකරත් නොම දනිමි. වැලිදු මහයාගයක් යජනට මම් කැමැතියෙමි. යාච්ඥා කරම්. මට පින්වත් ගොයුම්හු තෙවැදෑරුම් යාග සම්පතුත් සොළොස් පිරිකත් දෙසත්වා ”යි භාග්‍යවතුන් වහන්සේට කීය.

“බමුන, එසේ වී නම් අසන්නැ. මොනවට මෙනෙහි කරන්නැ. කියන්නෙමි”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)

‘එසේ ය පින්වතැ’ යි කුළුදත් බමුණු භාග්‍යවතුන් වහන්සේට පිලිවඳන් ඇස්වී ය. භාග්‍යවතුන් වන්සේ මෙය වදාළ සේක.

11.       “පෙර වූවක් කියමි. බමුණ, ආඩ්‍ය වූ මහත් ධන ඇති, මහත් භෝග ඇති, බොහෝ රන් රිදී ඇති, බොහෝ වස්තූපකරණ ඇති භෝග ධන ධාණ්‍ය ඇති, පිරිපුන් ගබඩා කොටුගුල් ඇති මහා විජිත නම් රජෙක් විය. බමුණු එ කලැ හුදෙකලා වැ චිත්ත විවේකයෙන් හුන් මහා විජිත රජුට ‘මානුෂක වූ මහත් භෝගසම්පත්හු මා විසන් ලබන ලද්දෝ ම ය. ඒ මම් මහත් පොළෝමඬුල්ල වෙසෙසින් දිනා හැමට අධිපතිව වෙසෙමි. මට දික් කලක් හිත සුව පිනිස පවත්නා මහා යඥයක් යදින්නෙම් නම් මැනැවැ” යි මෙසේ චිත්ත සංකල්පනාවෙක් පහළ විය.

බමුණ, ඉක්බිත්තෙන් මහාවිජිත රජ තෙම පෙරවියා අමතා “බමුණ, මෙහි හුදකලා වැ චිත්ත විවේකයෙන් හුන් මට ‘මානුසක වූ මහත් භෝගයෝ මා විසින් ලදහ. ඒ මම් මහත් මිහිමඬල දිනා එයට අධිපති වැ වෙසෙමි. මට දික් කලක් හිත සුව පිණිස පවත්නා මහා යඥයක් කළොත් මැනැවැ යි මේ චිත්තසංකල්පනාවෙක් උපන. බමුණ,මහා යඥයක් කරන්නට කැමැත්තෙමි එහි ලා භවත් තෙමේ මට දික් කලක් හිත සුව පිණිස අනුසාසනා කෙරේ වා”යි මේ බස් පැවැසී ය.

12.       බමුණ, මෙසේ කී කල්හි පෙරෙවි බමුණු මහා විජිත රජුට මෙය කීය: “භවත් රජුහුගේ රට කටු සහිත(සොර උවදුරු සහිත) වෙයි, සොර උවදුරින් මිරිකුණේ වෙයි. ගම් පැහැරුම් දක්නා ලැබේ. නියම් ගම් පැහැරුම් දක්නා ලැබේ. නුවර පැහැරුම් දක්නා ලැබේ. මං පැහැරුම් දක්නා ලැබේ. භවත් රජ තෙමේ ඉදින් මෙසේ සොර උවදුරු ඇති සොර උවදුරින් මිරිකුනු රටෙහි බඳු කරවුවර ගන්නේ නම්, එයින් නොකටයුත්තක් කරන්නේ වන්නේ ය. ‘වධ කිරීමෙන් හෝ බැඳලීමෙන් හෝ දඩ ගැසීමෙන් හෝ හිස මුඬු කැරැවීම් ආදි ගැරැහුමෙන් හෝ රටින් නෙරැපීමෙන් හෝ මේ දෘශ්‍යුකීලය (සොර හුල) මුලින් ම උදුරා ලන්නෙමි’ යි පින්වත් රජුට මෙසේ සිතක් විය හැක්ක. මෙසේ මේ සොර හුල මැනවින් ඉදීරීමක් නොවේ ම ය. නසන ලද්දවුන් ගෙන් ඉතිරි ව යම් සොරසතුරු කෙනෙක් වන්නේ වන්නෝ ද, ඔහු පසු වැ රජුගේ රට පෙළන්නාහ. එතෙකුදු වුවත් මේ මතු දැක්වෙන සංවිධානයට පැමිණ (මතු දැක්වෙන් සේ පිළිපැදීමෙන්) මෙසේ මේ සොර හුල මොනවට ඉදිරි යෑම වේ. එ බැවින් සිය රටෙහි යම් කෙනෙක් ගොවිතැන්හි ගෙරි රැකුම්හි උත්සාහ කෙරෙත් නම්, පින්වත් රජ තෙමේ ඔවුනට ධාන්‍ය බිජුවට ද, බත් ද දේවා. යම් කෙනෙක් පින්වත් රජුහු ගේ රටෙහි වෙළදාම පිණිස උත්සාහ කෙරෙත් ද, ඔවුනට රජ තෙමේ බඩුමිල දේ වා. පින්වත් රජුහුගේ රටෙහි යම් කෙනෙක් රාජකාර්‍යෙයහි උත්සාහ කෙරෙත් ද, ඔවුනට පින්වත් රජ තෙමේ බත් වැටුප් දේ වා. ඒ මිනිස්සුත් තමන්ගේ වැඩපලෙහි යෙදුණෝ රජුගේ රට නො පෙළන්නෝ ය. රජුගේ ධනධාණ්‍ය රැස ද, මහත් වන්නේ ය. ජනපදයෝ සොර උවදුරු නැත්තෝ, නොමිරිකුණෝ, නිරුපද්‍රතවභාවයේ සිටියෝ වන්නාහ. මිනිස්සු ද උනුන් කෙරෙහි සතුටු වන්නෝ, ඔරෙහි දරුවන් නටවන්නෝ, දොර  නොවැ සූ ගෙවල් ඇත්තවුන් මෙන් (බිය සැක නැති ව) වසන්නෝ ය.”

13.       බමුණ ‘භවත එසේ යැ’ යි කියා ම ඒ මහා විජිත රජ පිළිවදන් දී, රජුගේ රටෙහි ගොවිතැන්හි ගෙරිරැකුම්හි උත්සුක වූවනට බිජු ද බත් ද දෙවී ය. වෙළෙඳාමෙහි උත්සුක වූවනට බඩුමිල දෙවී ය. රාජකාර්‍යයෙහි යෙදුනවුනට බත් වැටුප් දෙවී ය. ඒ මිනිස්සු ද මෙසේ රජුගේ රට නො පෙළූහ. රජුගේ ද ධන ධාන්‍ය රාශිය මහත් විය. ජනපදයෝ සොරසතුරු උවදුරින් මිදුණෝ නොමිරිකුණෝ නිරුපද්‍රත බව්හි සිටියෝ වූහ. මිනිස්සු ඔවුනොවුන් හා සතුටු වන්නෝ දරුවන් ඔරෙහි නටවනුවො දොර නොවැසූ ගෙවල් ඇතියන් සේ (බිය සැක නැති වැ) වුසූහ.

 

14.       බමුණ, ඉක්බිත්තෙන් මහාවිජිත රජ තෙමේ පෙරෙවියා අමතා, “භවත, මා විසින් භවත්හුගේ සංවිධානය පිළිපැද ඒ සොරසතුරු හුල මුලින් උදුරන ලද්දේ ය. මගේ ධන ධාන්‍ය රැස ද මහත් ම ය. ජනපදයෝ අකණ්ටක වූවෝ, (සොර සතුරු උවදුරු නැත්තෝ) උවදුරින් නොමිරිකුණෝ, උවදුරු නැති බව්හි සිටියෝ ය. මිනිස්සු ඔවුනොවුන් හා සතුටු වන්නෝ, ඔරෙහි දරුවන් නටවන්නෝ, දොර නොවැසූ ගෙවල් ඇත්තවුන් සේ වෙසෙත්. බමුණ, මට දික් කලක් හිත සුව පිණිස පවත්නා මහා යඥයක් යදනට (මහා දනක් දෙන්නට) මම් කැමෙත්තෙමි. පින්වත් තෙමේ මට අනුශාසන කෙරේ වා” යි මෙ බස් කී ය.

            එ විට පෙරෙවි තෙමේ මෙසේ රජුට අනුශාසන කෙළේ ය: “එසේ නම්, පින්වත් රජුගේ රටෙහි තමා අනුව පවත්නා නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් යම් ක්‍ෂත්‍රිය කෙනෙක් වෙත් නම්, පින්වත් රජ තෙමේ ඔවුන් අමතා, ‘භවත්ති, මට බොහෝ කල් හිත සුව පිණිස මම් මහ දනක් දෙනු කැමෙත්තෙමි. භවත්හු එයට මට අනුදනිත් වා’යි කියා වා. පින්වත් වූ රජුගේ රටෙහි නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් රාජසභාවට අයත් ඇමතියෝ වෙත් ද,...නියම්ගම් වැසි දනවුවැසි බමුණු මහසල්හු වෙත් ද...නියම්ගම්වැසි දනවුවැසි මහා දනවත් ගැහැවි කෙනෙක් වෙත් ද, පින්වත් රජ තෙමේ ඔවුන් අමතා ‘භවන්ති, මට බොහෝ කල් හිත සුව පිණිස මම් මහා දනක් දෙනු රිසියෙමි. භවත්හු එයට මට අනුදනිත්වා’යි කියා වා”.

            “බමුණ, ‘එසේ ය පින්වතැ’යි කියා ම මහාවිජිත රජ තෙමේ පෙරෙවි බමුණාට පිළිවදන් දී, සිය රටෙහි නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් තමා අනුව පවත්නා ක්‍ෂ්ත්‍රිය කෙනෙක් වූහු නම්, ඔවුන් අමතා, ‘පින්වන්ති, යමක් මට බොහෝ කල් හිත සුව පවත්නේ ද, මම් එසේ වූ යඥයක් යජන්නට (මහා දනක් දෙන්නට) කැමැත්තෙමි. පින්වත්හු එයට මට අනුදනිත්වා’යි කී ය.

            ‘පින්වත් රජ තුමෝ යඥය යජත් වා (මහ දන් දෙත් වා). මහ රජාණනි, මේ යඥයට කාලය වේ යැ”යි ඔහු කීහ. සිය රටෙහි නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් රාජසභාසද ඇමති කෙනෙක් වූහු ද... නියම්ගම්වැසි දනවුවැසි බමුණු මහසල් කුල කෙනෙක් වූහු ද,... නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් දන රැස් කරන ගැහැවි මහසල් කුල කෙනෙක් වූහු ද, මහාවිජිත රජ තෙමේ ඔවුන් හැම අමතා, ‘භවන්ති, යමක් මට බොහෝ කල් හිත සුව පිණිස පවත්නේ ද, එසේ වූ මහායඥයක් යජනු රිසියෙමි. පින්වත්හු මට එයට අනුදනිත් වා’යි දැන්වී ය.

            ‘මහරජාණනි, මේ යඥයට කාලය ය. පින්වත් රජ තුමෝ යඥය කෙරෙත් වා’යි ඔහු කීහ.

            මෙසේ මේ අනුමති පක්ෂ සතර (අවසරය දෙන්නන් සතර වගය) එ ම යඥයට පිරිවර වෙත්.

 

15.       මහා විජිත රජ තෙමේ අංග අටෙකින් සමන්විත ය. (කවර  අටගින් ද ? යත්:)

            හේ මාපිය දෙපසින් ම අභිජාත ය, සත්වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස අත්තෙක.

               ජාතිවාදයෙන් නොහෙළන ලද්දෙක, ගැරහුම් නොලද්දෙක.

            විශිෂ්ට රූප ශොභා ඇත්තෙක, දැකුම් කටයුත්තෙක, ප්‍රසාද එලවන සුලු ය.

            උතුම් වර්‍ණසෞන්දර්‍යයෙන් යුක්ත ය, උතුම් රන් පැහැ ඇත්තෙක, උතුම් සිරුරු පැහැ ඇත්තෙක, සිය සිරුර අනුන් විසින් දක්නට නොමඳ අවකාශ ඇත්තෙක.

            ආඪ්‍ය ය, මහද් ධන ඇත්තේ ය, මහද්භොග ඇත්තේ ය, බොහෝ රන් රිදී ඇත්තේ ය, වස්තුපකරණ ඇත්තේ ය, බොහෝ ධන ධාන්‍ය ඇත්තේ ය, පිරිපුන් ගබඩා කොටාර ඇත්තේය.

            බලවත් වුයේ, අණට කන් දෙන, ඔවා පිළිපදනා සිවුරඟ සෙනඟින් සමන්විත වුයේ, පසමිතුරන් සිය යස තෙදින් තවාලන්නාක් මෙන් වේ.

            සැදැහැත්තේ ය, දීමෙහි හුරු ය, දානපති ය, මහණුනට බමුණනට දුගියනට මගියනට පුලනුනට යදියනට නොවැසූ දොර ඇත්තේ ය, සිවුමං හන්දියෙක කැණූ පොකුණක් මෙන් වැ දන් පින් කෙරෙයි.

            ඒ ඒ ඇසු දෑ පිලිබඳ වැ බහුශ්‍රත ය, මේ මෙබසෙහි අරුත ය, මේ මෙබසෙහි අරුත යැ යි ඒ ඒ කී බසෙහි අරුත් දනී.

            නුවනැත්තේ ය, වියත් ය, අයුනා වත්මන් අරුත්හි සමත් ය.

            මහවිජිත රජ තෙමේ මෙ අටඟින් සමන්විත ය. මෙසේ මේ අංග අට ද එම යඥයට පිරිවර වෙත්.             

16.       පෙරෙවි බමුණු ද සතර අංගයෙකින්  යුත් වෙයි. (කවර සතෙරෙකින් ද යත්:) මා පිය දෙපසින් ම අභිජාත ය, සතර වන මීමුතු යුවල තෙක් ම පිරිසිදු මවුකුස ඇත්තේ ය, ජාතිවාදයෙන් නො හෙළන ලද්දේ ය, නො ගරහන ලද්දේ ය. වේද හදාරන්නේ ය, නිඝණ්ඩු ද  කෛටභශාස්ත්‍ර ද සහිත ශික්ෂා හා නිරුක්ති හා සහිත ඉතිහාසය පස්වනු කොටැති තුන් වේදයේ පර තෙරට පැමිණියේ ය, පදපාඨ දන්නේ ය, සෙසු සියලු වියරණ විදි ද දන්නේ ය, ලෝකායත ශාස්ත්‍රයෙහිත් මහපුරුෂලක්ෂණ විද්‍යායෙහිත් නිපුණ ය. සිල්වත් ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. යාග සැන්ද ඔසොවන්නවුන් අතුරෙහි පළමු හෝ දෙවෙනි තැනැත්තේ ය.

            පෙරෙවි බමුණු තෙමේ මේ සතර අංගයෙන් සමන්විත වෙයි. මෙසේ මේ සතර අංගයෝ ද එම යාගයට පිරිවර වෙත්.

17.       බමුණ, ඉක්බිත්තෙන් පෙරෙවි බමුණු තෙමේ යඥයෙන් පෙරාතු ව ම මහාවිජිත රජුට තුන් විධාවන් දැක්වී ය: “මහා යාගයක් යජනු කැමැති පින්වත් රජහට “අහෝ! මා සතු භොග රැසක් මතු නැසෙතැ’යි කිසි විපිළිසරක් විය හැක්ක. පින්වත් රජුහු විසින් එසේ වූ විපිළිසරක් නො කටයුතු ය. මහා යාගයක් යජන පින්වත් රජුට ‘අහෝ මා සතු මහත් භොග රැසක් දන් නැසෙතැ’යි කිසි විපිළිසරක් වියැ හැක්ක. පින්වත් රජු විසින් එසේ වූ විපිළිසරක් නො කටයුත්තේ ය. මහායාගය යැජූ පින්වත් රජුට ‘අහෝ මා සතු මහත් භොග රැසක් නැසී ගියේ වනැ’යි විපිළිසරක් වියැ හැක්ක. පින්වත් රජුහු විසින් එසේ වූ විපිළිසරක් නොකටයුත්තේ ය”.

            බමුණ, පෙරෙවි බමුණු තෙමේ යඥයෙන් පෙරාතු ව ම මහාවිජිත රජුට මේ තුන් විධාවන් දෙසී ය.

18.       බමුණ, ඉක්බිත්තෙන් පෙරෙවි බමුණු තෙම මහාවිජිත රජුට යඥයෙන් පෙරාතු ව ම දන් පිළිගන්නවුන් කෙරෙහි විපිළිසර දස අයුරෙකින් දුරැ  ලී ය. (ඒ මෙසේ ය:) “පින්වත්හුගේ යඥයට පණිවා කරන්නෝ ද පණිවායෙන් වැළැකුනෝ ද එන්නාහු ම ය. ඔවුන් අතුරෙහි යම් කෙනෙක් පණිවා කරන්නෝ නම් එයින් වරද ඔවුනට ම ය. ඔවුන් අතුරෙහි යම් කෙනෙක් පණිවායෙන් වැළැක්කෝ නම් භවත් තෙමේ ඔවුන් ඇරැබැ යජා වා. භවත් තෙමේ ඔවුන් ඇරැබැ පරිත්‍යාග කෙරේවා. භවත් තෙමේ සතුටු වේ වා. භවත් තෙමේ ඇතුලත සිත ම පහදා වා. පින්වත්හුගේ යඥයට අයිනාදන් කරන්නෝ ද අයිනාදනින් වැළැක්කෝ ද,...කාමයන්හි වරදවා හැසිරෙන්නෝ ද එයින් වැළැක්කෝ ද...මුසාවා කියන්නෝ ද එයින් වැළැක්කෝ ද...පෙහෙසුන් තෙපලන්නෝ  ද එයින් වැළැක්කෝ ද...පරොස්බස් බනින්නෝ ද එයින් වැළැක්කෝ ද...බොල් බස් දොඩන්නෝ ද එයින් වැළැක්කෝ ද...දැඩි ලොහොබියෝ ද දැඩිලොහොබි නොවන්නෝ ද...ද්වේෂ සහිත සිතැත්තෝ ද එබඳු සිත් නැත්තෝ ද...මිසදිටුවෝ ද සම්දිටුවෝ ද එන්නහු ම ය. ඔවුනතුරෙහි යම් කෙනෙක් මිසදිටු ගතුවෝ නම් එයින් අවැඩ ඔවුනට ම ය. ඔවුනතුරෙහි යම් කෙනෙක් සම්දිටුහු නම් ඔවුන් අරමුණු කොට පින්වත් තෙමේ යාගය කෙරේ වා. පින්වත් තෙමේ සතුටු වේ වා. ඇතුළත සිත ම පින්වත් තෙමේ පහදා වා”යනු යි.

            බමුණ, පෙරෙවි බමුණු තෙමේ මහාවිජිත රජුට යාගයෙන් පෙරාතු ව ම මේ දසඅයුරින් යාග පිළිගන්නවුන් කෙරේ (වියැ හැකි) විපිළිසර දුරැ ලී ය.

19.       බමුණ, ඉක්බිති පෙරෙවි බමුණු තෙම මහායඥය යජන මහාවිජිත රජුගේ සිතට සොළොස් අයුරෙකින් කරුණු දැක්වී ය, කරුණු ගැන්වී ය, එහි සිත තියුණු කළේ ය, එහි සිත තුටුපහුටු කෙළේ ය. (ඒ මෙසේ ය:) “මහායඥයක් යජන පින්වත් රජහට ‘මහා විජිත රජ වනාහි මහායඥයක් යජයි. එහෙත් ඔහු විසින් නියම්ගම්වැසි වූ ද දනවුවැසි වූ ද අනුයුක්ත ක්‍ෂත්‍රියයෝ නො ම කැඳවන ලද්දාහ. එතෙකුදු වුවත් රජ තෙමේ මෙ බඳු මහායඥයක් යජා’යැ යි මෙසේ කියන්නකු ඇති වියැ හැකි ද, පින්වත් රජුට දහම් තයින් එසේ කියන්නෙක් නම් නැත. (කවර හෙයින? යත්:) පින්වත් රජුහු විසින් නියම්ගම් වැසි වූ ද දනවුවැසි වූ ද අනුයුක්ත  ක්‍ෂත්‍රියයෝ කැඳවන ලද්දාහ. (එ හෙයිනි ).

            මේ කරුණින් ද, මෙය පින්වත් රජ තෙමේ දැන ගනී වා. පින්වත් තෙමේ යාගය කෙරේ වා, පින්වත් තෙමේ දන් දේ වා, පින්වත් තෙමේ යාගයට සතුටු වේ වා, පින්වත් තෙමේ ඇතුලත සිත පහදා වා.

20.       මහාවිජිත රජ මහායාගයක් කරයි. එහෙත් එහු විසින් නියම්ගම්වැසි, දනවුවැසි පොහොසත් බමුණෝත් නො දන්වන ලදුහ. නියම්ගම්වැසි, දනවුවැසි පොහොසත් ගැහැවියෝත් නො දන්වන ලදුහ. එතෙකුදු වුවත් ‘පින්වත් රජු මෙබඳු මහායාගයක් කරතැ යි මහායාගයක් කරනු කැමති පින්වත් රජුට කියන කිසිවෙක් ඇති විය හැක්කේ ද, පින්වත් රජුට කරැණු සහිත ව එසේ කියන්නෙක් නැත. පින්වත් රජුහු විසින් වනාහි නියම්ගම්වැසි දනවුවැසි සිය යහළුවෝත් අණ පිළිපදනා සෙස්සෝත් දන්වන ලදහ...පොහොසත් බමුණෝත්...පොහොසත් ගැහැවියෝත් දන්වන ලදුහ. මේ කාරණයෙනුත්, මෙය භවත් මහරජ තෙමේ දැනැ ගනී වා. පින්වත් තෙමේ යාගය කෙරේ වා, පින්වත් තෙමේ දානය දේ වා, පින්වත් තෙමේ සතුටු වේ වා, පින්වත් තෙමේ ඇතුළත සිත ම පහදා වා.

21.       මහාවිජිත රජ මහායාගයක් කරයි. එහෙත් හේ මාපිය දෙපසින් අභිජාත නො වේ. සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තේ නො වේ. ජාතිවාදියෙන් නො හෙලන ලද්දේ නො වේ. නොගරහන ලද්දේ නො වේ. එහෙත් භවත් මහරජු මෙ බඳු මහායාගයක් කරතැ,යි මහායාගය කරන භවත් රජුට කියන කිසිවෙක් ඇති විය හැක්ක. එහෙත් භවත් රජහට කරුණු සහිත වැ එසේත් කියන්නෙක් නැත. පින්වත් රජ තෙමේ වූ කලි මාපිය දෙපසින් අභිජාත ය, සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇත්තේ ය, ජාතිවාදියෙන් නො හෙලන ලද්දේ ය, නොගරහන ලද්දේ ය. මේ කාරුණිනුත් මෙය භවත් රජ තෙමේ දැනගනී වා. භවත් තෙමේ යාගය කෙරේ වා, භවත් තෙමේ දානය දේ වා, භවත් තෙමේ සතුටු වේ වා, භවත් තෙමේ ඇතුළත සිත ම පහදා වා.

22.       මහා යාගයක් යජනා පින්වත් රජහට “මහාවිජිත රජ වූ කලි මහා යාගයක් යදී. එහෙත් හේ මනා රූ ඇත්තේ නො වේ, දැකුම්කලු නො වේ. උතුම් පැහැ ඇත්තේ නො වේ. බඹහු වැනි කය ඇත්තේ නො වේ. දැක්මට මහත් ඹවස් ඇත්තේ නො වේ...ආඨ්‍ය ද නො වේ.  මහත් ධන ඇත්තේ නො වේ. මහත් භොග ඇතේ නො වේ. බොහෝ රන් රිදී ඇත්තේ නො වේ. බොහෝ වස්තූපකරණ ඇත්තේ නො වේ. බොහෝ ධනධාන්‍ය ඇත්තේ නො වේ. පිරිපුන් බඩුගුල් හා කොටුගුල් ඇත්තේ නො වේ. ...බසට කන් දෙන, ඔවා පිළිපදනා, බලවත් සිවුරඟ සෙනගින් සමන්විත නො වේ. සතුරන් සිය යසසින් තවතැ යි නොසිත ම්...සැදැහැවත් දායකයෙක් දානපතියෙක් හළ දොරැත්තෙක් නො වෙයි. මහණ බමුණනට දුගියනට මගියනට යදිනට පුලනුනට සිවුමංහන්දියෙකැ පිහිටි ළිඳක් මෙන් වැ දන් පින් නො කෙරෙයි...ඒ ඒ ඇසූ දෑ පිළිබඳ ඇසූ පිරූ තැන් ඇත්තේ නො වෙයි...මේ මෙ කියන ලද්දෙහි අරුත් ය, මේ මෙ කියන ලද්දෙහි අරුත් යැ යි ඒ ඒ භාෂිතයේ අරුත් නො දනී...පණ්ඩිත ද ව්‍යක්ත ද නුවණැති ද අයුනාවත්මන් දෑ සිතනු සමත් ද නොවේ...එහෙත් භවත් රජු මෙ බඳු මහා යඥයක් යජතැ”යි මෙසේ දොස් කියන්නෙකු වියැ හැක්කේ ද, පින්වත් රජුහට එසේ කරැණු සහිත වැ කියන්නෙක් නම් නැත.

             පින්වත් රජ තෙමේ වනාහි...පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. අයුනාවත්මන්හි අරුත් සිතන්නට සමත් ය. මෙ කරුණින් ද පින්වත් රජ තෙමේ (යඥයට කලැ යි) මෙය දනී වා. පින්වත් තෙමේ යඥය කෙරේ වා. පින්වත් තෙමේ දානය දේවා. පින්වත් තෙමේ (ස්වකීය යඥයෙහි) සතුටු වේවා, පින්වත් තෙමේ සිත ඇතුළත පැහැදැවීම ම කෙරේ වා.

23.       මහා යඥයක් යජනා පින්වත් රජුට “මහාවිජිත රජ වනාහි මහා යඥයක් කරයි. එහෙත් ඔහු පෙරෙවි බමුණු තෙමේ මාපිය දෙපසින් පිරිසිදු උපත ඇතියෙක් නො වේ. සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවුකුස ඇතියෙක් නො වේ. ජාතිවාදියෙන් බැහැර නොකරන ලදුයෙක්, නොගරහන ලදුයෙක් නො වේ. එතෙකුදු වුවත් පින්වත් රජු මෙ බඳු මහායඥයක් කරතැ”යි කියන කිසිවකු ඇති වියැ හැකි වතොත්, පින්වත් රජුට කරුණු සහිත වැ එසේ කියන්නෙක් නම් නැත. පින්වත් රජුහුගේ පෙරෙවි බමුණු තෙමේ මවු පසින් ද පිය පසින් ද යන දෙ පසින් ම පිරිසිදු උපත ඇතියෙක් ය. සත් වන මීමුතු යුවල තෙක් පිරිසිදු මවු කුස ඇතියෙක් ය. ජාතිවාදයෙන් බැහැරැ නො කැරු‍‍ණෙක් ය. ගැරහුම් නොලදුයෙක් ය. මේ කරුණින් ද පින්වත් රජ තෙමේ (යඥයට කලැ යි) මෙය දනී වා. පින්වත් තෙමේ යඥය කෙරේ වා. පින්වත් තෙමේ යාගය කෙරේ වා. පින්වත් තෙමේ ස්වකීය යඥයෙහි සතුටු වේ වා. පින්වත් තෙමේ සිත ඇතුළත පැහැදීම ම කෙරේ වා.

24.       මහා යඥයක් කරන පින්වත් රජුට, “මහාවිජිත රජ වනාහි මහා යඥයක් කෙරෙයි. එහෙත් ඔහු පෙරෙවි බමුණු තෙමේ වේද හදාරන්නෙක්, වේදය සිතැ දරන්නෙක්, නිඝණ්ටු කෙටුභශාස්ත්‍ර සහිත, අක්ෂරප්‍රභේද සහිත, ඉතිහාසය පස්වනු කොටැති තුන් වේදයන්හි පරතෙරට ගියෙක් නො වේ යැ යි ද, පද දන්නෙක්, වියරණෙහි නිපුනයෙක්, ලොකායන ශාස්ත්‍රයෙහිත් මහාපුරුෂලක්ෂණ ශාස්ත්‍රයෙහිත් අනූනයෙක් නො වේ යැ යි ද...

            ඔහු පෙරෙවි බමුණා සිල්වතෙක්, වැඩුණු සිල් ඇත්තෙක්, වැඩුණු ශීලයෙන් සමන්විතයෙක් නො වේ යැ යි ද...

            ඔහු පෙරෙවි බමුණා පණ්ඩිත ද නො වේ යැ යි, ව්‍යක්ත ද නො වේ යැ යි, නුවණැති ද නො වේ යැ යි, හෝම සැන්ද ඔසොවන්නවුන් ගෙන් පළමු වැන්නා හෝ දෙවැන්නා හෝ නො වේ යැ යි, එතෙකුදු වුවත් පින්වත් මහරජ මෙ බඳු මහා යඥයක් කෙරේ යැ’ යි ද කියන කිසිවකු ඇති වියැ හැක්ක. එහෙත් කරුණු සහිත වැ එසේ කියන්නෙක් නම් නැත.

            පින්වත් රජුගේ පෙරෙවි බමුණා වනාහි පණ්ඩිත ය, ව්‍යක්ත ය, නුවණැත්තේ ය. හෝම සැන්ද ඔසොවන්නවුන් ගෙන් පළමු වැන්නා හෝ දෙවැන්නා ය. පින්වත් රජ තෙමේ මෙයිනුත් (යඥයට කාලය යැ යි) මෙය දනී වා. පින්වත් තෙමේ යාගය කෙරේ වා. පින්වත් තෙමේ යාගයෙහි සතුටු වේ වා. පින්වත් තෙමේ සිත ඇතුළත පැහැදීම ම කෙරේ වා”.

            බමුණ, ඒ පෙරෙවි බමුණා මහා යාගයක් කරන්නට සැරසෙන මහාවිජිත රජුහුගේ සිත මේ සොළොස් අයුරින් කරුණු දක්වා මෙහෙයී ය, සිතට ගැන්වී ය, සිත උනන්දු කළේ ය, පැසැසීමෙන් සිත සතුටු කෙ‍ළේ ය.

25.       ඒ යාගයෙහි වු කලි ගෙරිහු නො මරණ ලදහ. එළුතිරෙළුවෝ නො මරණ ලදහ. කුකුළෝ හූරෝ නො මරණ ලදහ. නොයෙක් ලිහිණි ඈ සත්තු වනසට නො පැමිණියහ. යාග කණු පිණිස රුක්හූ නො සිඳින ලදහ. යාගශාලාව පිරිකෙවීම පිණිස හෝ යාග බිමැ ඇතිරීම පිණිස කුස තණ නො සිඳින ලද්දේ ය. ඔහුගේ දාසයෝ යි හෝ මෙහෙකරුවෝ යි හෝ කම්නරුවෝ යි කියන ලද යම් කෙනෙක් වූහු නම්, ඔහුත් දඬු ගැන්මෙන් නො තෙජනු ලදුවෝ, බිය දැනැවීමෙන් නො තෙජනු ලදුවෝ, කඳුළෙන් තෙමුණු මුහුනු ඇති වැ නොම හඬනුවෝ, (පිය බසින් ම මෙහෙයුණෝ) කටයුතු දෑ කළහ. වැලි දු යම් කෙනෙක් කැමැත්තෝ නම්, ඔහු එහි කටයුතු දැය කළහ. යම් කෙනෙක් නොකැමැත්තෝ නම්, ඔහු එය නොකළහ... ගිතෙල් තලතෙල් වෙඬරු දිහි මී සකුරින් මුසු වූ කැඳ බත් ආදියෙන් ම ඒ යඥය නිමාවට පැමිණියේ ය.

26.       එ කල්හි නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් එ රජුගේ කටයුතුවලැ යෙදී වසන බමුණෝ ද ක්ෂත්‍රියයෝද, නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් ඇමැත්තෝ ද පිරිස්වැස්සෝ ද, නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් බමුණු මහසල්කුල වැස්සෝ ද නියම්ගම්වැසි වූත් දනවුවැසි වූත් ගැහැවි මහසල්කුල වැස්සෝ ද බොහෝ ධනය (ගැල් පුරා) නඟා ගෙන මහා විජිත රජු කරා එළැඹැ, “දේවයන් වහන්ස, මේ බොහෝ ධනය දේවයන් වහන්සේ ම උදෙසා ගෙනෙන ලද්දේය. එය දේවයන් වහන්සේ පිළිගන්නා සේක් වා” යි මෙසේ කීහ.

(එයසා,) “පින්වත්නි,(තොප ධනයෙන්) කම් නැත. මගේ ද දැහැමි කරවුවරින් රැස් කළ මේ බොහෝ ධනය ඇත්තේය. (එබැවින් තොප ගෙනා) ඒ ධනයත් තොපට ම වේ වා. මොබිනුත් තවත් ගෙන යවු” යි රජ කී ය.

27.       ඔහු රජු විසින් නොගිවිස්නා ලද්දෝ එක් පැත්තකට ගොස්, “මේ ධන නැවැත අප ගෙවලට ගෙනැ යෑම අපට නො  හොබනේ ය. මහාවිජිත රජු වූ කලී මහා යාගයක් කෙ‍රෙයි. එ බැවින් අපි ඔහුට අනුයාග කරන්නමෝ වමු යි” මෙසේ කතා කැරැ ගත්හ.

බමුණ, ඉක්බිති (රජුගේ) දන්හලට පැදුම් දිගැ නිගම්වැසි වූත් දනවුවැසි වූත් රාජසේවක ක්ෂත්‍රියයෝ දන් (හල්) පිහිටුවූහ. රජුගේ දන්හලට දකුණු දිගැ නිගම්වැසි වූත් ජනවුවැසි වූත් ඇමැත්තෝත් පිරිස්වැස්සෝත් දන් (හල්) පිහිටුවූහ. (රජුගේ) දන්හලට ජැසිම් දිගැ නිගම්වැසි වූත් ජනවුවැසි වූත් බමුණුමහසල්වැසියෝ දන් (හල්) පිහිටුවූහ. (රජුගේ) දන්හලට උතුරු දිගැ නිගම්වැසිවූත් ජනවුවැසි වූත් ගැහැවි මහසල් වැසියෝ දන් (හල්) පිහිටුවූහ.

බමුණ, ඒ යාගයන්හි (දානයන්හි) ද ගෙරිහු නො ම මරන ලදහ. එළුතිරෙළුවෝ නො ම මරණ ලදහ. කුකුළොත් නො ම මරණ ලදහ. නන් සත්තු මරණයට නො පැමිණියහ. යාග සඳහා රුක්හු නො ම සිඳුනා ලදහ. වනමල් අවුණා මල් දම් කොටැ දන්හල වටා ලනු පිණිසත් හිඳ ගන්නට යාග බිමැ අතුරනු පිණිසත් කුස තණ නො ම සිඳුනා ලද්දේය. ඔවුන්ගේ දාසයෝ යි හෝ මෙහෙකරුවෝ යි හෝ කම්කරුවෝ යි කියන ලද යම් කෙනෙක් වූහු නම්, ඔහු දු දඬුයෙන් තෙජනා ලදුවෝ හෝ බිය දැනැවීමෙන් තෙජනා ලදුවෝ හෝ කඳුළු මුසු මුහුනැති වැ හඬන්නෝ හෝ එහි කටයුතු නොකළහ. වැලි කටයුතු කරනු කැමැතියෝ ම කටයුතු  කළහ. නොකැමැතියෝ නො ම කළහ. ඒ යඥයෝ (දානයෝ) ගිතෙල් තලෙතල් වෙඬරු දිහි මී සකුරෙන් හා කැඳ බත් ආදියෙන් ම නිමාවට ගියහ.

28.       බමුණ, මෙසේ යාගය කිරීමට අනුමතිය දුන් පක්ෂ සතර ද , අටඟින් යුත් මහා විජිත රජ ද, සිවුරඟින් යුත් පෙරවි බමුණා ද, තර ව පිහිටි යැ යුතු තුන් තැන් ද යන මොහු තුන් වැදැරුම් යාග සම්පතුත් සොළොස් යාග පිරිකරත් ය.

 

29.       භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි, ඒ බමුණෝ “යාග නම් මෙසේ වුව මැනව, යාගසම්පත් නම් මේ මැ යැ”යි ගුගුරන්නෝ උස් හඬ ඇත්තෝ, මහ හඬ ඇත්තෝ වූහ. කුළුදත් බමුණු වනාහි නිහඬ ව ම උන්නේ වෙයි. එ කලැ ඒ බමුණෝ කුළුදත් බමුණාට “පින්වත් කුළුදත් තෙමේ කවර හෙයින් මහණ ගොයුමාණන්ගේ සුබැසිය සුබැසි විසින් නො අනුමොවී දැ?” යි කීහ.

“මම් මහණ ගොයුමන් වහන්සේගේ සුබැසිය සුබැසි විසින් නොඅනුමෙවුනෙම් නො වෙමි. යමෙක් මහණ ගොයුමන් වහන්සේගේ සුබැසිය සුබැසි විසින් නො අනුමෙවුනේ වී නම්, ඔහු හිස ගිලි හෙන්නේය. වැලි ‘මා විසින් මෙය ඇසිණැ’යි හෝ ‘මෙසේ වියැ යුතු යැ’ යි හෝ මහණ ගොයුමන් වහන්සේ මෙසේ නො වදාළ සේක‍. එහෙත් උන් වහන්සේ ‘එදා මෙසේ වීය. ඒදා මෙ පරිද්දෙන් වී යැ’ යි ම වදාරන සේක. භවත්නි, ඒ මට ‘ඒකාන්තයෙන් මහණ ගොයුමන් වහන්සේ එ කලැ යාගස්වාමි’ වූ මහාවිජිත රජ හෝ වුව මැනව, ඔහු යාගය කැරැවූ පෙරවි බමුණා හෝ වුව මැනැවැ’යි මෙසේ සිතෙක් වෙයි. පින්වත් ගොයුමාණන් වහන්සේ ‘මෙ බඳු යඥයක් යැදැ හෝ යදවා (දනක් දී හෝ දෙවා) කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණෙන්නේ යැ’යි පිළින කරන සේක් දැ?”යි කුළුදත් බමුණු කීය.

“බමුණ මෙ බඳු යාගයක් කොට හෝ කරවා කාබුන්මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිනෙන්නේ යැ’යි පිළින කෙරෙමි. එ සමයෙහි ඒ යාගය කරවූ පෙරෙවි බමුණා මම් වීමි”යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

30.       “පින්වත් ගෞතමයන් වහන්ස, සොළොස් පිරිකරක් ඇති මේ තුන් වැදෑරුම් යාග සම්පතට

වඩා අල්ප කටයුතු ඇති, අල්ප උත්සාහයෙන් සිදු කට හැකි (එහෙත්) වඩා මහත් පල ඇති, වඩා මහත්

අනුසස් ඇති අන් යාගයෙක් ඇත්තේ දැ?”යි කුළුදත් බමුණා විචාළේය.

“බමුණ, සොළොස් පිරිකරක් ඇති මේ තුන් යාග සම්පතට වඩා අල්ප කටයුතු ඇති, අල්ප උත්සාහයෙන් සිදු කට හැකි, වඩා මහත් පල ඇති, වඩා මහත් අනුසස් ඇති අන් යාගයෙක් ඇත්තේ යැ”යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)

31.       “පින්වත් ගෞතමයන් වහන්ස, සොළොස් පිරිකරක් ඇති මේ තුන් යාග සම්පතට වඩා අල්ප කෘත්‍ය ඇති, වඩා අල්ප උත්සාහයෙන් සිදු කට හැකි, එහෙත් එයට වඩා මහත් පල ඇති, වඩා මහත් අනුසස් ඇති ඒ යාගය කවරේ දැ?”යී (කුළුදත් ඇසී ය.)

“බමුණ, සිල්වත් පැවිද්දන් උදෙසා කුලපරපුරෙහි දෙන යම් නිති දන් (හැම දා ම දෙන දන්) කෙනෙක් වෙත් නම්, බමුණ, ඒ මේ යාගය මෙ කී සොළොස් පිරිකරක් ඇති තුන් යාග සම්පතට වඩා අල්ප කෘත්‍ය ඇති අල්ප උත්සාහයෙන් සිදු කට හැකි, එහෙත් එයට වඩා මහත් පලත් මහත් අනුසසුත් ඇති එකෙකැ”යී (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක).

32.       “පින්වත් ගෞතමයන් වහන්ස, ඒ නිති දෙන අනුකූල යඥය යමෙකින් සොළොස් පිරිකරක් ඇති මේ ත්‍රිවිධ යඥසම්පතට වඩා අල්ප කෘත්‍ය ඇතියෙක්, වඩා අල්පොත්සාහයෙන් සිදු කට හැකියෙක්, එහෙත් එයට වඩා මහත් පලක් මහත් අනුසසුත් ඇතියෙක් වන්නේ නම්, ඒ හේතුව ඒ ප්‍රත්‍යයය කවරේ දැ?” (යී කුළුදත් පුළුවුත.)

“බමුණ, එ බඳු යාගයකට (දානයකට) රහත්හු හෝ රහත්මඟ පිළිපන්නෝ හෝ නො ම එළැඹෙත්. ඒ කවර හෙයින් ද? යත්: බමුණ, එ බඳු මහා යඥයෙහි ‘පිළිවෙළින් සිටිවු’ යන ආදීන් කියා දන් ලබන්නවුනට දඬුයෙන් පැහැරුම් ද ගෙල ගැනුම් ද දක්නා ලැබේ. එහෙයින් එබඳු යඥයට රහත්හු හෝ රහත්මඟට පිළිපන්නෝ හෝ නො එළැඹෙත්. බමුණ, සිල්වත් පැවිද්දන් උදෙසා කුලපරපුරෙහි දෙන යම් නිතිදන් කෙනෙක් වෙත් නම්, එබඳු යඥයට රහත්හු ද රහත්මඟට පිළිපන්නෝ ද එළැඹෙත්. ඒ කවර හෙයින? යත්: බමුණ, මෙ බඳු යඥයෙහි දඬුයෙන් පැහැරුම් හෝ ගෙල ගැනුම් හෝ දක්නා නො ලැබේ එහෙයින් මෙබඳු යඥයට රහත්හු ද රහත්මඟ වන්නෝ ද එළැඹෙත්. බමුණ, ඒ කුලපරපුරැ දෙන නිති දන යමෙකින් මෙ කී සොළොස් පිරිකරක් ඇති ත්‍රිවිධ යඥසම්පතට, වඩා අල්ප කටයුතු ඇති, අල්ප උත්සාහයෙන් සිදු කට හැකි, එහෙත් වඩා අල්ප මහත්පල ද මහත් අනුසස් ද ඇති එකෙක් වේ නම්, මේ එයට හේතුව ය, මේ ප්‍රත්‍යය ය.’

33.       (කුළුදත්:) “පින්වත් ‍ගෞතමයන් වහන්ස, මේ සොළොස් පිරිකරක් ඇති තුන් වැදැරුම් යාගසම්පතටත් මේ කුලපරපුරෙහි දෙන නිති දනටත් වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ උත්සාහයෙකින් සිදු කට හැකි, එහෙත් මේ හැමට වඩා මහත් පලත් මහත් අනුසසුත් ඇති අන් යඥයෙක් ඇත් ද ?”

(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, මේ සොළොස් පිරිකරක් තුන් වැදැරුම් යාගසම්පතටත් කුලපරපුරෙහි දෙන නිති දනටත් වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ උත්සාහයෙකින් සිදු කට හැකි, එහෙත් ඒ හැමට වඩා මහත් පලත් මහත් අනුසසුත් ඇති අන් යඥයෙක් ඇත.”

(කුළුදත්:) “පින්වත් ‍ගෞතමයන් වහන්ස, මේ සොළොස් පිරිකරක් ඇති තුන්වැදැරුම් යාගසම්පතටත්...නිති දනටත් වඩා මඳ කටයුතු ඇති...වඩා මහත් අනුසස් ඇති ඒ යඥය කවරේ ද? ”

(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, යමෙක් වනාහි සතර දිගින් වඩනා භික්ෂුසංඝයා උදෙසා වෙහෙරක් කෙරේ නම්, ඒ මේ යඥය මෙහි පළමු කී ... තුන්වැදැරුම්යාග සම්පතටත්...නිති දනටත් වඩා මද කටයුතු ඇති, වඩා මද උත්සාහයෙකින් සිදු කට හැකි, එහෙත් වඩා මහත් පල හා අනුසස් හා ඇති යඥයෙකි.”

34.       (කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ...ත්‍රිවිධ යඥසම්පතයත්...මේ විහාරදානයටත් වඩා මඳ කටයුතු ඇති...වඩා මහත් පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත් ද ?”

(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, මේ...ත්‍රිවිධ යඥසම්පතයත්...මේ විහාරදානයටත් වඩා මඳ කටයුතු ඇති... වඩා මහත්ඵල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත.”

 (කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ...ත්‍රිවිධ යඥසම්පතටත්...මේ විහාරදානයටත් වඩා මඳ කටයුතු ඇති... වඩා මහත් පල හා අනුසස් හා ඇති අන් යඥය කවරේ ද  ?”

(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, යමෙක් පහන් සිතැත්තේ බුදුන් සරණ හේ ද, දහම් සරණ යේ ද, සඟ සරණ යේ ද, බමුණ, ඒ මේ යඥය වූ කලී මේ පළමු කී...ත්‍රිවිධ යඥසම්පතටත්...විහාරදානයටත් වඩා මඳ කටයුතු ඇති...වඩා මහත් පල හා අනුසස් හා ඇති එකෙකි.”

35.       (කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ ත්‍රිවිධ යඥසම්පතටත්...මේ සරණ ගමනයටත් වඩා මඳ කටයුතු ඇති...වඩා මහත් පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත්තේ ද?”

(භාග්‍යවතුන් වහන්සේ:) “මේ ත්‍රිවිධ යඥසම්පතටත්...මේ සරණගමනයටත් වඩා මඳ කටයුතු ඇති...වඩා මහත් පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත.”

(කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ...ත්‍රිවිධ යඥසම්පතටත්...මේ සරණ ගමනයටත් වඩා මඳ කටයුතු ඇති...වඩා මහත් පල හා අනුසස් හා ඇති ඒ අන් යඥය කවරේ ද?”

(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ යමෙක් පහන් සිතැති වැ (තිසරණයෙහි පිහිටා) පණිවායෙන් වැළැක්ම, අයිනාදනින් වැළැක්ම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළැක්ම, මුසවායෙන් වැළැක්ම, මදට පමාවට කරුණු වූ රහමෙරින් වැළැක්ම යන මේ සික කොටස් සමාදන් කොට ගන්නේ නම්, බමුණ මෙය මේ පළමු කී ත්‍රිවිධ යඥසම්පතටත්...මේ සරණගමනයටත් වඩා මඳ කටයුතු ඇති, ...වඩා මහත් පල හා අනුසස් හා ඇති යඥයෙක.”

36.       (කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස,  මේ ත්‍රිවිධ යඥසම්පතටත්...මේ සික කොටස් සමාදන් කොට ගැන්මටත් වඩා මද කටයුතු ඇති...වඩා මහත්පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත් ද ?”

(භාග්‍යවතුන් වහන්සේ:) “බමුණ, මේ...ත්‍රිවිධ යඥසම්පතටත්...මේ සිල් කොටස් සමාදන් කොට ගැන්මටත් වඩා මද කටයුතු ඇති...මහත්පල හා අනුසස් හා ඇති අන් යඥයෙක් ඇත.”

(කුළුදත්:) “පින්වත් ගෞතමයන් වහන්ස, මේ ත්‍රිවිධ යඥසම්පතටත්...මේ සිල් කොටස් සමාදන් කොට ගැන්මටත් වඩා මද කටයුත් ඇති...වඩා මහත්පල හා අනුසස් හා ඇති ඒ  අන් යඥය කවරේද ?”

37.       (භාග්‍යවතුන් වහන්සේ) “බමුණ, අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ, සුගත වූ, ලෝකවිත් වූ, නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙව්මිනිසුන්හට ශාස්තෘ වූ, සිවුසස් අවබෝධ කළ, භාග්‍යවත් වූ, තථාගත තෙමේ මෙ ලොවැ උපදී. හේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත මේ ලොව, - මහණබමුණන් සහිත, දෙව්මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව - තෙමේ ම විශිෂ්ට නුවණින් දැනැ පසක් කොට (ලොවට) දන්වයි. හේ මුල යහපත් මැද යහපත් අග යහපත්, අරුත් සහිත, ව්‍යංජනයෙන් නොඅඩු, හැම අතින් ම පිරිපුන් දහම් දෙසයි. පිරිසිදු සසුන් බඹසර හෙළි කෙරෙයි.

38.       ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයෙකැ උපන්නෙක් හෝ ඒ දහම අසයි. හේ එ දහම අසා තථාගතයන් කෙරෙහි සැදැහැව ලබයි. හේ ඒ සැදැහැ ලැබීමෙන් යුත් වැ “ගිහි ගෙයි විසීම හිරිහැර සහිතය. ‍කෙලෙස් දූලි ගැවැසි මගෙක. පැවිද්ද වූ කලී (කිසි අවහිර නැති) එළි මහනෙක. ගිහි ගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරිසිදු කොට, මේ සංඛලිඛිතක බ්‍රහ්මචර්‍යය පුරන්නට පහසු නොවේ. එ බැවින් මම් කෙහෙ රවුලු බහා කාසාවත් හැඳ, ගිහි ගෙන් නික්ම පැවිද්දට වදනෙම් නම් යෙහෙකැ”යි මෙසේ නුවණින් සලකයි.

හේ පසු කලෙකැ මඳ වූ හෝ ධනසම්පත් හැරැ, බොහෝ වූ හෝ ධනසම්පත් හැරැ, මඳ වු හෝ නෑපිරිස හැරැ, මහත් වූ හෝ නෑ පිරිස හැරැ, කෙහෙ රවුලු බා, කසාවත් හැඳ, ගිහි ගෙන් පැවිදි බිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම, පාතිමොක්ඛසංවරයෙන් ඇවුරුණේ, ආචාරයෙන් හා ගෝචරයෙන් හා සම්පූර්‍ණ වූයේ, මඳ වූ ද වරදෙහි බිය දක්නා සුලු වූයේ, සිකකොටස්හි සමාදන් කොටැ ගෙන හික්මෙයි. නිවැරැදි වූ කාවිසිකමින් යුත් වෙයි. පිරිසිදු දිවෙල ඇත්තේ වෙයි. සිල්වත් වෙයි. ඉඳුරන්හි වැසූ දොරැත්තේ වෙයි. බොජුනෙහි පමණ දන්නේ වෙයි. සිහිනුවණින් යුත් වෙයි. ලද පමණින් සතුටු වෙයි.

39.       බමුණ. කෙසේ නම් මහණ තෙමේ ශීලසම්පන්න වේ ද ? යත්: බමුණ, මෙහි  මහණ තෙමේ පණිවා හැරැ පණිවායෙන් වැළැක්කේ, ඉවතැ ලූ දඬු ඇත්තේ, ඉවත ලූ අවි ඇත්තේ, ලජ්ජා ඇත්තේ, මෙත් සිතින් යුත් වූයේ, සියලු සතුන් කෙරෙහි ඉත සිතැති වැ වෙසෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.

අයිනාදන් හැරැ අයිනාදනින් වැළැක්කේ වෙයි. දුන් දැය ම ගන්නේ, දුන් දැය ම කැමැති වන්නේ, නොසොර වූ පිරිසිදු වූ සිතින් වෙසෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.

නොබඹසර හැරැ බඹසර රක්නේ, නොබඹසරින් දුරැවැ වසනුයේ, ගැමිදහම් වූ මෙවුන්දමින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙකි.

මුසවා හැරැ මුසවායෙන් වැළැක්කේ,ඇත්ත කියන සුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපනුයේ, තහවුරු කතා ඇත්තේ, හැදැහියැ යුතු බස් ඇත්තේ, ලොව නො රවටනුයේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.

පෙහෙසුන් බස් හැරැ, පෙහෙසුන් බසින් වැළැක්කේ වෙයි. මොවුන් ඔවුන්ගෙන් බි‍‍‍‍ඳෙනු පිණිස මොබින් අසා ඔබ්බෙහි නො කියන්නේ වෙයි. ඔවුන් මොවුන්ගෙන් බි‍ඳෙනු පිණිස ඔබින් අසා මොබ්බෙහි කියන්නේ හෝ නො වෙයි. මෙසේ බිඳුණවුන් ගළපන්නේ ද ගැළැපුණවුනට අනුබල දෙන්නේ ද වෙයි. සමගියෙන් වසන්නවුන් කෙරෙහි වසන්නට කැමැත්තේ, සමගියෙන් වසන්නවුන් කෙරෙහි ඇලුණේ, සමගියෙන් වසන්නවුනට සතුටු වූයේ, සමගියේ ගුණ දක්වන වචන කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.

පරොස් බස් හැරැ, පරොස් බසින් වැළැක්කේ වෙයි. යම් බසෙක් නිදොස් ද, කන්කලු ද, පෙම් උපදවා ද, සුවසේ ළෙහි වදනේ ද, සියුමැලි ද, බොහෝ දෙනාට ප්‍රිය ද, බෙහෝ දෙනාට මනාප ද, එ බඳු බස් තෙපලන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.

බොල් දෙඩැවිලි හැරැ, බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වෙයි. කල් දැනැ කියනුයේ, සබ වස් ම කියනුයේ, වැඩ ඇති බස් ම කියනුයේ, දහම් අසළ බස් ම කියනුයේ, විනය අසළ බසු ම කියනුයේ, සුදුසු කලැ කරුණු සහිත, සීමා සහිත, අරුත් සහිත, සිතැ ලා දැරියැ යුතු බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.

40.       හේ පැල වන දෑ ද පැල වුණු දෑ ද සිඳුම ඈ විකොවුනෙන් වැළැක්කේ වෙයි.  රෑ බොජුනෙන් වැළැක්කේ, විකල් බොජුනෙන් වෙන් වූයේ, එක් බතක් ඇත්තේ වෙයි. නටනු ගනු වයනු විසුළුදස්නෙන් වැළැක්කේ වෙයි. සැරැසීමටත් උනු තැන් පිරැවුමටත් කරුණු වූ මල් ගඳ විලෙවුන් දැරුමෙන් වැළැක්කේ වෙයි. උසස්නෙන් මහ අස්නෙන් වැළැක්කේ වෙයි. රන් රිදී පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගැහැණුන් දැරියන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් තිරෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ඇතුන් ගෙරින් අසුන් වෙළෙඹුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කෙත් වත් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහිනට දූත මෙහෙවර කිරීමෙන් ගෙන් ගෙට යන කුඩා මෙහෙවරින් යන දෙකෙන් ම වැළැක්කේ වෙයි. ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. උක්කොටන වංචන නිකති සාචියොගයෙන් වැළැක්කේ වෙයි. ඡෙදන වධ බන්ධන විපරාමොස ආලොප සහසාකාර යන මෙයින් වැළැක්කේ වෙයි. ඡෙදන වධ බන්ධන විපරාමොස ආලොප සහසාකාර යන මෙයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.

(සුළු සිල් නිමියේ ය.)

41.       යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා, පැල වන මුල්, පැල වන කඳ, පැල වන පුරුක්, පැළ වන කොළිස්, පස් වනු පැල වන ඇට යන මෙබඳු පැල වන දැයත් පැල වුණු දැයත් සිඳුම් බිඳුම් ආදියෙහි යෙදී වෙසෙත් ද, මෙසේ මේ හෝ මෙබඳු වූ පැල වන දැය පැල වුණු දැය සිඳුම් බිඳුම් ඈ විකොපනයෙන් හේ වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

42.       යම් සේ වනාහි ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා, අන්නසන්නිධි පාතසන්නිධි වස්ත්‍රසන්නිධි යානසන්නි ධි ශයනසන්නිධි ගන්ධසන්නිධි ආමිෂසන්නිධි යන මෙබඳු වූ සන්නිධිකාර පරිභොගයෙහි යෙදුණෝ වෙසෙත් ද, හේ මේ ආදි වූ හෝ අන් මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.

43.       යම්සේ වනාහි ඇතැම් භවත් මහනබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා, නැටුම් ගැයුම්, නට සමජ්ජා, ආඛ්‍යාන, පාණිස්වර, වෙතාල, කුම්භථූන, ශොභනක, සණදොවුන්කෙළි, උන ගස් ඔසොවා ගෙන කැරෙන ක්‍රීඩා, අස්ථිධාවන, ඇත්පොර, අස්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ල පොර, යුද පවත්නා තැන් දක්නට යැම, බලසෙන් ගණිනා තැන් දක්නට යැම, බලසෙන් බෙදන තැනට යැම, බල ඇණි දක්නට යැම  යන විසුළු දසුන්හි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ ආදි වූ හෝ මෙබඳු වූ විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.

44.       යම් සේ වනාහි ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළදා අටපාකෙළිය, දසපාකෙළිය, අහස් දූකෙළිය, මඬුලු පැනුම්, සන්තිකාක්‍රීඩාව, දාදු කෙළිය, කල්ලි ගැසුම්, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළනලා පිඹීම, කෙළිනගුලින් හැම, කරනම් ගැසුම්, කන්නන්ගුරුවා කෙළිය, කොළනැලියෙන් වැලි ඇ මැනුම්, කෙළිරිය පැදැවීම, කුඩා දුන්නේන් විදීම, ඇකිරිකෙළිය, සිතූ දැ කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය යන මේ ආදී වූ හෝ මෙබඳු වූ, පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ ආදි හෝ මෙබඳු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැකියේ වෙයි.

මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

45.       යම් සේ වනාහි ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළදා, දික්සඟලාපුටු ය, පලඟ ය, මහකොඳුපලස ය, වියම්නෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, රන්කසුකම් කළ පසතුරුණය, කොසෙය්ය හුයින් වියු ඇතිරිය, අසු පිටැ එළන ඇතිරිය, රියැ එළන ඇතිරිය, ඇඳට සරිලන සේ අඳුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොරැ පාමුලැ රතු කොට්ට තබා ඇති රතු උඩු වියන් සහිත මහඟු යහන යන මේ ආදි වූ හෝ මෙබඳු වූ උස්යහන් මහයහන් පරිහරණය කැරුමෙහි යෙදී වෙසෙද්ද හෙ තෙමේ මේ ආදි වූ හෝ මෙ බඳු වූ උස් යහන් මහ යහන් පරිභොගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.

46.       යම් සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදහැයෙන් දුන් බොජුන් වළදා කුඩා දරුවන් කිරි සුවඳ හරනට සුවඳ සුණුයෙන් ඉළීම, මනා සටහන් ගන්වනුවට අත් පා ඈහි තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නැවීම, මස් වැඩෙනුවට මුගුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, සැරැසුම් විසින් අඳුන් ගෑම, මල් හා විලෙවුන් හා දැරීම, මුව සුණු හා මුවවිලෙවින් හා දැරීම, අත්බරණ දැරීම, හිසැ කුඩුම්බිය බැඳීම, විසිතුරු සැරයැටි දැරීම, විසිතුරු බෙහෙත් නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නළල්පට බැඳීම, සිළුමිණි පැලැඳීම, විසිතුරු සෙමෙර වල්විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැඳීම යන ආදි ඇඟ අඩු තැන් පිරැවීමටත් ඇඟ සැරැසීමටත් කරුණු වූ දෑ පරිභොග කැරුමෙහි යෙදී වෙසෙද්ද, හේ මහණ එබඳු දැය පරිභොග කිරීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

47.  යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, රාජකථා චොරකථා මහාමාත්‍රකථා සෙනාකථා භයකථා යුද්ධකථා ආහාරකථා පානකථා වස්ත්‍රකථා ශයනකථා ගන්ධකථා ඥාතිකථා යානකථා ග්‍රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්‍රීකථා පුරුෂකථා කුමාරකථා කුමාරිකථා ශූරකථා කුම්භස්ථානකථා පූර්‍වප්‍රේතකථා නානාත්වකථා ලොකාඛ්‍යායිකාකථා සමුද්‍රාඛ්‍යායිකාකථා ඉතිභවාභවකථා යන මේ හෝ මෙබඳු වූ තිරිසන් කතාවලැ යෙදී වෙසෙත් ද, ඒ මහණ මේ ආදි හෝ මෙයින් අන්‍ය වූ හෝ මෙබඳු කථාවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.

48.       යම්සේ වනාහි ඇතැම් භවත් මහණ බමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, “තෝ මේ දහම් විනය නො දනිහි. මම ම මේ දහම් විනය දනිමි. ‘කිමැ යි මේ දහම් විනය තෝ දනිහි ද ? තෝ වරදවා පිළිපන්නෙහි. මම් මැනැවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පළමුයෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක් වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් තෝ නිගැනුණෙහි‍. මා නැගූ දොසින් මිදෙන්නට හැසිරෙව. හැකි නම් එය විසඳව” යන ආදීන් මෙ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදී වෙසෙත් ද, එ මහණ තෙමේ මෙ කී හෝ අන් මෙබඳු වූ හෝ බැණ දොඩා ගැනුම්වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වෙයි.

49.       යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළදා, “මෙහි යන්නැ, අසෝ තැනට එන්නැ. මෙය ගෙන යන්නැ. අසෝ තැනට මෙය ගෙනෙන්නැ” යි කළ නියොග පිළිගෙන, රජුන්ගේ රජමහමැතියන්ගේ ක්ෂත්‍රියයන්ගේ බමුණන්ගේ ගැහැවියන්ගේ රජකුමරුවන්ගේ මෙබඳු දූත මෙහෙවරෙහි පණිවුඩ ගෙනැ යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ අන් මෙ වැනි හෝ දූත මෙහෙවරින් පණිවුඩ ගෙනැ යෑමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.

50.       යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා කුහක කම් කරන්නෝ වෙත් ද, ලාභ සත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපෙක්ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙබඳු වූ හෝ කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.

(මැදුම් සිල් නිමියේ ය.)

51.       යම්සේ වනාහි සමහර මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා අංගශාස්ත්‍රය, නිමිත්ත ශාස්ත්‍රය, උත්පාතලක්ෂණය, ස්වප්නශාස්ත්‍රය, පුරුෂලක්ෂණශාස්ත්‍රය, මුෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහොමය, දර්විහොමය, තුෂහොමය, කණහොමය, තණ්ඩුලහොමය, සර්පිෂ්හොමය, තෛලහොමය, මුඛහොමය, ලොහිතහොමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අභිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්ෂය යන මෙකී හෝ මෙබඳු වූ හෝ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වේ. මේ ද ඔහුගේ ශීලය වේ.

52.       යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණුය. දඬුලකුණුය, වත්ලකුණුය, කඩුලකුණුය, ඊලකුණුය, දුනුලකුණුය, අවිලකුණුය, ඉතිරිලකුණුය, පුරිස්ලකුණුය, කුමරලකුණුය, කුමරිලකුණුය, දස්ලකුණුය, දැසිලකුණුය, ඇත්ලකුණුය, අස්ලකුණුය, මියුලකුණුය, වහප්ලකුණුය, ගොන්ලකුණුය, එළුලකුණුය, බැටෙළුලකුණුය, කුකුළුලකුණුය, වටුලකුණුය, ගොය්ලකුණුය, කැණිලකුණුය, කසුබුලකුණුය, මුවලකුණුය යන ආදි මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙබඳු දැයින්  වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

53.       යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ‘අසෝ දිනැ අසෝ නැකැතින් අසෝ රජුන් (යුද සඳහා) සිය නුවරින් නික්මීම වන්නේ ය, අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය. අසෝ නැකැතින් රට තුළැ හුන් රජුන් පිටතැ සිටින සතුරු රජුන් හමු වන්නට යෑම වන්නේ ය. අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන් ඉවත් වැ යෑම වන්නේ ය. අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන් රට තුළැ සිටින රජුන් කරා පැමිණීම වන්නේ ය. අසෝ නැකැතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ‍ය...රට තුළැ රජුනට ජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට පරාජය වන්නේ ය. පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය. ඇතුළතැ සිටින රජුනට පරාජය වන්නේ යැ”යී මෙසේ ‘මොහුට ජය වන්නේ ය, මොහුට පරාජය වන්නේයැ’යී  කියමින් මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙබඳු වූ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.

54.       යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැ‍හෙන් දුන් බොජුන් වළඳා, “අසෝ දිනැ චන්ද්‍රග්‍රහණය වන්නේ ය, අසෝ දිනැ සූර්යග්‍රහණය වන්නේ ය, අසෝ දිනැ නක්ෂත්‍රග්‍රහණය වන්නේ ය, අසෝ දිනැ සඳහිරුන් නිසි මඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ නකත්තරුන් සුමඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය, අසෝ දිනැ උල්කාපතනය වන්නේ ය,...දිග්දාහය වන්නේ ය,...භූමිකම්පා වන්නේ ‍ය,... වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය,...සඳහිරුන් නකත්තරුන් උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදු බව වන්නේ ය, සූර්‍යග්‍රහණය ලොවට මෙබදු පල දෙන්නේ ය, චන්ද්‍රග්‍රහණය මෙබඳු පල දෙන්නේ ය, සඳුහිරුන් සුමඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ‍ය, ඔවුන් නොමඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ‍ය, උල්කාපතනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, දිග්දාහය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, භූමිකම්පනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය, වැසි නැති වැ අහස් ගෙරැවුම මෙබඳු පල ගෙන දෙන්නේ ය, සඳහිරුන්ගේ ද නකත්තරුන්ගේ ද උදාවත් බැසීමත් කෙලෙසීමත් පිරිසිදු වීමත් මෙබඳු මෙබඳු පල ගෙන දෙන්නේ යැ” යි කියනුවෝ, මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මෙබඳු මිථ්‍යා ආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යා ආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.

55.       යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළදා,“මෙ සමයෙහි වැසි වන්නේ ය, මෙ සමයෙහි නියං වන්නේ ය, මෙ සමයෙහි රට සුභික්ෂ වන්නේ ය. මෙ සමයෙහි රට දුර්භික්ෂ වන්නේ ය, මෙ සමයෙහි රටට උවදුරු නැති වන්නේ ය, මෙ සමයෙහි රටට උවදුරු ඇති වන්නේ ය, මෙ කලැ රොග වන්නේ ය, මෙ කලැ රොග නැති බව වන්නේ යැ යී පලාපල කීම ද, මුද්‍රාව (ඇඟිලි පුරුක්හි සංඛ්‍යා තබා ගිණීම) ද, ගණනාව (එක දෙක යන ආදීන් ගණන් කිරීම) ද, සංඛ්‍යානය (පිණ්ඩගණනාව) ද, කවි සතර ද, ලොකායත ශාස්ත්‍රය ද යන මේ හෝ අන් මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.

56.       යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹු සැමියන් එක් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍යය ඇති වනුවට යන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරු ගබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුළු බැදීම, මන්ත්‍රාදි බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුළු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතැ දෙවතාවෙශය කොටැ ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියවීම, ජීවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනි ජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳැවීම යන මේ හෝ අන් මෙ බඳු වූ හෝ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ ආදි වූ ද, අන් මෙබඳු වූ ද ඒ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහු ගේ ශීලය වේ.

57.       යම්සේ වනාහි ඇතැම් භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා ශාන්තිකර්ම, වාස්තුපරිකිරණ, මතුරු දපා අනුන් නෑවීම, සෙත්පතා ගිනි පිදීම, ගිහියනට වමන කැරැවීම, ළය විරේක කැරැවීම, වස්ති කිරීම, ශීර්‍ෂ විරෙචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැ දීම, ගිහිනට ඇසැ සිසිල ගන්වන බේත් තෙල් පිසීම, ගිහියනට නශ්‍ය දීම, ගිහියනට ඇස පටලයට කාරම් අඳුන් සාදා දීම, ඇසට සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට බේත් දීම, ගිහියනට ශල්‍යකර්ම කිරීම, ළදරුවන්ගේ ලෙඩවලට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම, කාරම් බෙහෙත් දීම, කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගලවා දැමීම යැ’යි මේ ආදි අන් හෝ මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාආජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ ඒ සියල්ලෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලය වේ.

58.       බමුණ, මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ, ශීලසංවර හේතුයෙන් කිසි ම එක ද අසංවරතායෙකින් ඇති වියැ හැකි බියක් නො දකී. බමුණ, කැත් අබිසෙස්නෙන් මුදුනැ අබිසෙස් ලත්, වැනැසූ සතුරන් ඇති කැත් රජෙක් කිසි ම එක ද සතුරකුගෙන් වියැ හැකි මොන ම බියකුත් යම් සේ නො දක්නේ ද, බමුණ, එසේ ම මහණ තෙමේ මෙ පරිද්දෙන් ශීල සම්පන්න වූයේ, ශීලසංවර හෙතුයෙන් කිසි ම එක ද අසංවරයෙකින් ඉපදියැ හැකි බියක් නො දකී. හේ මේ ආර්‍ය ශීලසක්කන්ධයෙන් සමන්විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුව විඳී. බමුණ, මෙසේ වනාහි මහණ තෙමේ ශීල සම්පන්න වේ.

(මහ සිල් නිමියේ ය.)

59.       බමුණ, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හි වැසූ දොරැත්තේ වේ ද? යත්: බමුණ, මෙ සස්නැ මහණ තෙමේ ඇසින් රුවක් දැක සුබ ඈ විසින් එහි ලකුණු නොගන්නේ වේ. සුබ ඈ විසින් අත් පා ඈ අවයවවල අයුරු සිතට නො ගන්නේ වේ. යම් කරුණෙකින් චක්ෂුරින්ද්‍රියය නොවසාගෙන වසන්නහුගේ සිත්සතනට විසම ලොබ දොම්නස් ඈ ලාමක අකුසල් දහම්හු පුන පුනා වෑස්සෙත් ද, එහි ඒ චක්ෂුරින්ද්‍රියයාගේ සංවරය පිණිස හේ පිළිපදී. එය රැක ගනී එහි සංවරයට පැමිණේ. කනින් හඬ අසා ...නැහැයෙන් ගඳ ආඝ්‍රාණය කොට...දිවෙන් රස ආස්වාද කොට...කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්ශ කොට...සිතින් දහම් අරමුණු දැන...සුබ ඈ විසින් එහි ලකුණු ගන්නේ නොවේ. යම් කරුණෙකින් ශ්‍රොත්‍රෙන්ද්‍රියය... ඝ්‍රාණන්ද්‍රියය... ජිහ්වෙන්ද්‍රියය... කායෙන්ද්‍රියය... මනඉන්ද්‍රියය සංවර කොට නොගෙන වසන්නහුගේ සිත්සතනට විසම ලොබ දොම්නස ආදි ලාමක අකුසල්දහම්හු පුන පුනා වෑස්සෙන්නෝ ද, ඒ ඉන්ද්‍රියයන්ගේ සංවරය පිණිස පිළිපදී. ශ්‍රොත්‍ර...ඝ්‍රාණ ජිහ්වා...කාය... මන ඉන්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදී.... ඒ මනින්ද්‍රියය රැකැ ගනී. එහි සංවරයට පැමිණේ. හේ මේ ආර්‍ය වූ ඉන්ද්‍රියසංවරයෙන් සමන්විත වූයේ සිය සතන්හි කෙලෙසුන්ගෙන් තෙත් නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්තසුඛය විඳී. බමුණ, මෙසේ වනාහි මහණ තෙම ඉන්ද්‍රියයන්හි වැසූ දොරැතියේ වේ.

60.       බමුණ, මහණ තෙම කෙසේ නම් සතිසම්පජඤඤයෙන් සමන්විත වේ ද ? යත්: බමුණ, මේ සස්නැ මහණ ඉදිරි ගමනෙහි, පෙරළා ඊමෙහි, අත්පා ඈ හැකිළීමෙහි, දික් කිරීමෙහි, නුවණින් දැන ම එය කරනුයේ වෙයි. සඟළ සිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. අහර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටි කැවිලි ඈ කෑමෙහි, රස විඳීමෙහි, මල මූ පහ කිරීමෙහි, යැමෙහි, සිටුමෙහි, හිඳුමෙහි, පිබිදුමෙහි, බිණුමෙහි, නොබිණුමෙහි නුවණින් දැන කරනුයේ වෙයි. බමුණ, මෙසේ වනාහි මහණ තෙම සිහි නුවණින් සමන්විත වෙයි.

61.       බමුණ, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේ ද ? බමුණ, මෙහි මහණ තෙමේ කය වසා රක්නට පමණ වූ සිවුරෙන් ද, කුස ගිනි නිවන්නට පමණ වූ අහරින් ද සතුටු වෙයි. හේ යන යන අතැ අටපිරිකර පමණක් ගෙන ම නික්මෙයි. බමුණ, යම් සේ පියා හඹන කුරුළු තෙමේ යන යන තැනට පියාපත් බර ඇති ව ම පියා හඹා ද, එසේ ම මහණ තෙමේ කය වසා රක්නට පමණ වූ සිවුරින් ද කුස ගිනි නිවන්නට පමණ වූ අහරින් ද සතුටු වෙයි. හේ තමා යන තැනට පාසිවුරු ඈ අටපිරිකර පමණක් ගෙන ම යෙයි. බමුණ, මෙසේ මහණ තෙමේ ලත් පසයෙහි සතුටු වේ.

62.       බමුණ, ඒ මහණ මේ ආර්‍ය ශීලස්කන්ධයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය ඉන්ද්‍රියසංවරයෙන් ද...මේ ආර්යස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් ද...මේ ආර්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්විත වූයේ, අරන් පවු කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් එළිමහන් පිදුරුලෙන් යන මෙකී මිනිසුන්ගෙන් හිස් කිසි සෙනස්නක් බජයි. හේ පිඬු සෙවීමෙන් පෙරළා ආයේ පසුබතැ පලක් බැඳ උඩු කය කෙළින් තබා සිහිය කමටහනට යොමු කොට එළවා හිඳී.

63.       හේ ලොවැ ඇල්ම හැර, පහ වූ අභිජ්ඣා‍යෙන් යුත් සිතින් වෙසෙයි. අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ප්‍රද්වේෂය හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ හැම පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රොධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ, දව රැ දෙක්හි ම දුටු එළිය අඳුනනු හැකි පිරිසිදු සංඥාව ඇත්තේ සිහියෙනුත් යුතුව වෙසෙයි. මිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් කුකුසත් සිතින් දුරැ ලා, නො උදහස් ව, සංහුන් සිය සිත් සතන් ඇත්තේ, උසහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක නොකරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.

64.       බමුණ, යම්සේ මිනිසෙක් පොලියට ණය මුදලක් ගෙන කර්‍මාන්ත කරන්නේ ද, ඔහු ගේ ඒ කර්‍මාන්ත සමෘද්ධ වන්නේ නම් හේ වූ තාක් හැම පරණ ණය ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇතොත් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම් පළමුවෙන් ණයට මුදල් ගෙන කර්‍මාන්ත කෙළෙමි. ඒ මාගේ කර්‍මාන්ත සමෘද්ධ විය. ඒ මම් වූ තාක් සියලු පරණ ණය ගෙවා අවසන් කෙළෙමි. අඹුදරුවන් රක්නා පිණිස ඉතිරි වූ මුදලෙක් ද මට ඇත්තේ යැ”යි මෙසේ සිතෙක් වන්නේය. හේ ඒ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.

65.       බමුණ, යම්සේ මිනිසෙක් රොගී වුයේ, දුකට පැමිණියේ, දැඩි ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟපත සවි පමණකුත් නො වන්නේ ද, හේ මෑත කලැ ඒ ලෙඩින් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියේ නම්, ඔහු ඇඟ පත සවිය ද වන්නේ නම්, ඔහුට “මම් වූ කලි පෙරැ දුකට පත්, දැඩි ගිලන් ලෙඩෙක් වීමි. මට අහරත් නොරිසි වී ය. ඇඟපතත් සවිය නො වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුණෙම් වෙමි. ඒ මට අහරත් රිසියෙයි. ඇඟපතැ සවියත් ඇත්තේ යැ”යී මෙසේ සිතක් වතොත්, හේ එ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.

66.       බමුණ, යම්සේ මිනිසෙක් හිරගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය නො විසදා පහසුයෙන් එයින් මිදෙන්නේ ද, එයින් ඔහුගේ කිසි භොග විනාශයෙක් නො වන්නේ ද, ඔහුට “මම් වූ කලි පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි. ඒ මම් දැන් ධන නො විසදා පහසුයෙන් එයින් මිදුණෙම් වෙමි. මාගේ භොගයනට කිසි විනාශයෙකුත් නැතැ’යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ එ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.

67.       බමුණ, තමා අයත් පැවැතුම් නැති, මෙරමා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති, දාස පුරුෂයෙක් යම්සේ වන්නේ ද, හේ පසු කලෙක තමා අයත් පැවතුම් ඇතියේ, මෙරමා අයත් පැවතුම් නැතියේ, නිදහස් වූයේ, කැමති අතෙකැ යෑ හැකි වූයේ, ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි පෙරැ තමා අයත් පැවැතුම් නැති, මෙරමා අයත් පැවතුම් ඇති, කැමැති අතෙක යෑ නොහැකි, දාසයෙකිම් වීමි. ඒ මම් දැන් ඒ දාස භාවයෙන් මිදුණෙම්, තමා අයත් පැවැතුම් ඇතියෙම්, මෙරමා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම්, කැමැති අතෙක යෑ හැකියෙම් වෙමි”යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ එ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.

68.       බමුණ, යම්සේ ධනවත්  භොගසම්පත් ඇති පුරුෂයෙක් අහර හිඟ, උවදුරැති, දිය නැති දික් මඟකට බස්නේ ද, හේ පසු කලෙක සුව සේ ඒ නිරුදක පෙදෙස ඉක්මැ යන්නේ ද, උවදුරු නැති ගම්මානකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි පෙරැ ධන ඇතියෙම්, භොගසම්පත් ඇතියෙම්, දිය නැති අහර හිඟ බිය ඇති දික් මගකට බටිමි. ඒ මම් දැන් සුවසේ ඒ කතර තිණූයෙමි. උවදුරු නැති බිය නැති ගමකට බටුයෙම් වෙමි’යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ එ කරුණින් සතුට ලබන්නේ ය, සොම්නසට පැමිණෙන්නේ ය.

69.       බමුණ, එසේ ම මහණ තෙමේ ණයක් මෙන්, ලෙඩක් මෙන්, හිර ගෙයක් මෙන්, වහල් බවක් මෙන්, දිය නැති දික් මඟක් මෙන් (පිළිවෙළින්) මේ නොපහවූ නීවරණ පස තමා කෙරෙහි දකී. ණය නැති බව සේ, නො ලෙඩ බව සේ, හිරෙන් මිදුණු බව සේ, උවදුරු නැති සේ (පිළිවෙළින්) මේ පහ වූ නීවරණ පස (හෙවත් මේ නීවරණ පසේ දුරු වූ අවස්ථාව) තමා කෙරෙහි දකී.

70.       මේ නීවරණ පස තමා කෙරෙහි පහ වූවා දක්නා ඔහුට සතුට උපදී. සතුටු වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිය සිතැ ඇත්තහුගේ නම්කය සංහි‍‍ඳේ. සංහුන් නම්කය ඇත්තේ සුව විඳී. සුවැත්තහු සිත අරමුණෙහි එකඟ වේ.

71.       හේ කාමයන්ගෙන් වෙන් ව ම සෙසු අකුසල් දහමුන්ගෙන් ද වෙන් ව ම, විතර්‍ක සහිත, විචාරසහිත, විවෙකයෙන් (නීවරණ පහ වීමෙන්) ප්‍රීතියත් සුවයත් ඇති, පළමු දහන ලැබ වෙසෙයි. හේ මේ කරජ කය ම විවෙකයෙන් උපන් පීති සුවයෙන් තෙමයි, මුළුල්ල ම තෙමයි. පුරාලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි. සියලු අඟ පසඟ ඇති ඔහු මුළු කයෙහි (ඒ පීති සුවයෙන් පැතිර නොගත් කිසි ද තැනෙක් නො වෙයි.

72.       බමුණ, යම්සේ දක්ෂ කිලි‍ඟෙක් හෝ කිලිඟකුගේ අතැවැස්සෙක් හෝ ලොහො තලියෙක නාන සුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නාන සුණු පිඩ කාවැදුණු දියැත්තේ, හැම තැන ම දියෙන් යුත් වූයේ, ඇතුළත පිටත සහිත ව මුළුල්ල ම දියෙන් පැතිරැ ගියේ, දියත් නො වගුරුවන්නේ වේ ද,

බමුණ, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම විවේකයෙන් උපන් පීතිසුවයෙන් තෙමයි. මුළුල්ල ම තෙමයි, පුරා ලයි, මුළුල්ල ම ස්පර්‍ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟ ඇති කයෙහි විවෙකජ ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැදැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි. බමුණ, මේ වූ කලි පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ  තැනින් සිදු කට හැකි, එහෙත් වඩා මහත් පල ඇති වූත් වඩා මහත් අනුසස් ඇති වූත් යඥයෙකි.

73.       බමුණ, නැවැත ද (අනෙකක් කියම්.) මහණ තෙමේ විතර්‍ක විචාර දෙකේ සංහිඳීමෙන් සිය සතන්හි උපන්, සිය සතන් පහදවන, සිතැ එකඟ බව ඇති, විතර්‍කය නැති, විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති දෙවෙනි දහනට පැමිණ වෙසෙයි. හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි, මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පහසී. විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ නොගත් ඔහු සියලු කයේ කිසි ද තැනෙක් නො වෙයි.

74.       බමුණ, යම් සේ උල්පතින් මතුවන දිය ඇති විලෙක් වේ ද, එයට පෙර දිගින් දිය ඇතුළු වන මගක් නොවතත්, දකුණු දිගිනුත් දිය වදිනා මඟක් නොවතත්, පැසිම් දිගිනුත් දිය වදිනා මඟක් නොවතත්, උතුරු දිගිනුත් දිය වදිනා මඟක් නොවතත්, වැස්සත් කලින් කලැ සුදුසු පරිදි නො වසිතත්, එහෙත් ඒ විලෙන් සිහිල් දිය දහර මතු වී ඒ විල ම සිහිල් දියෙන් තෙමන්නේ ද, මුළුල්ල තෙමන්නේ ද, පුරාලන්නේ ද, හැම තැන ම වැද ගෙන සිටී ද, එයින් පැතිරැ වැද නොගත් තැනෙක් නො වන්නේ ද, එසේ ම, බමුණ, මහණ තෙමේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීති සුවයෙන් තෙමයි. හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිරැ වැද ගනී. ඔහුගේ කයේ සමාධියෙන් උපන් පීති සුවය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.

     බමුණ, මේ වූ කලි පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැනින් සිදු කට හැකි, එහෙත් එ හැමට වඩා මහත් පල ද මහත් අනුහස් ද ඇති යඥයෙක.

75.       තව ද බමුණ, මහණ තෙමේ ප්‍රීතිය සංහිඳීමෙන් උපෙක්ෂායෙන් යුතු ව, සිහියෙන් හා නුවණින් හා යුතු වැ වෙසෙයි. සුවය ද කයින් විඳී. අරී පුඟුලෝ යම් දහනක් හෙතු කොට ගෙන දහන් ලැබුවහු ඇරැබ ‘මෙ තෙමේ උපෙක්ෂාව ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුව විසුම් ඇත්තේ යැ’යි කියත් ද. හේ (එසේ වූ) ඒ තෙවෙනි දහන්  පැමිණ (ලැබ) වෙසෙයි. හේ මේ කය ම ප්‍රීති රහිත සුවයෙන් තෙමයි, මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිර වැද ගනී. ඔහුගේ කයෙහි ඒ ප්‍රීතිරහිත සුවයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.

76.       බමුණ, යම් සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ ප‍ඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ ප‍ඬෙර හෝ දියෙහි වැඩුණේ දියෙන් නොනැඟුණේ, දිය තුළැ ම ගිලී වැඩෙනුයේ ද, ඒ සියල්ල අග තෙක් ද මුල් තෙක් ද සිසිල් දියෙන් තෙමුණේ, මුළුල්ල ම තෙමුණේ පිරී ගියේ, හැම තැන ම පැතිරැ වැද ගත්තේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වලැ හෝ පියුම්වලැ හෝ ප‍ඬෙරවලැ හෝ සිසිල් දිය පැතිරැ වැදැ නොගත් තැනෙක් නො වන්නේ ද, බමුණ, මහණ තෙමේ එසේ ම මේ කය ම නිෂ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි, පුරා ලයි, මුළුල්ල ම පැතිරැ වැදැ ගනී. ඔහුගේ සියලු කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැදැ නොගත් කිසි ද තැනෙක් නො වන්නේ ය.

බමුණ, මේ වනාහි පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කට‍යුතු ඇති, වඩා මඳ තැනින් සිදු කට හැකි, එහෙත් ඒ හැමට වඩා මහත් පල ද මහත් අනුසස් ද ඇති යඥයෙක.

77.       තව ද බමුණ, මහණ තෙමේ සුව විඳුමත් දුරැලීමෙන්, දුක් විඳුමත් දුරැ ලීමෙන්, පළමු කොට ම සොම්නස් දොම්නස් දෙක දුරු වීමෙන්, නොදුක් ද නොසුව ද වූ, උපෙක්ෂා ස්මෘති දෙකේ පිරිසිදු බව ඇති, සිවුවන දහන  ලැබ වෙසෙයි. හේ මේ කය ම පිරිසිදු පබසර සිතින් පැතිරැ වැද ගෙන හුන්නේ වෙයි. ඔහුගේ සියලු කයෙහි පිරිසිදු පබසර සිතින් පැතිරැ වැදැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.

78.       යම්සේ, බමුණ, මිනිසෙක් හිස සහිත මුළු කය ම සුදු වතින් වසා ගෙන හුන්නේ වී නම්, ඔහුගේ ඒ මුළු කයෙහි සුදු වතින් වැදැ නොගත් (නොවැසුණු) කිසිදු තැනෙක් නො වන්නේ ද, බමුණ, එසේ ම මහණ තෙම මේ කය ම පිරිසිදු පබසර සිතින් පැතිරැ වැදැ ගෙන නොසිටි කිසි දු තැනෙක් නො වෙයි.

බමුණ, මේ වූ කලි පළමු කී යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැනින් සිදු කට හැකි, එහෙත් එ හැමට වඩා මහත් පල ද මහත් අනුහස් ද ඇති යඥයෙක.

79.       (බමුණ) ඒ මහණ තෙමේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්ත වූ කල්හි, කිලිටි පහ වූ කල්හි, පහ වැ ගිය චිත්තොපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, විවසුන් වඩනුවට යුහු වැ සිටි කල්හි, නිසල බවට පැමිණි කල්හි, විවසුන් නුව ණ පිණිස (පිරියම්) සිත එයට යොමු කෙරෙයි, එයට නතු කෙරෙයි. (එසේ වූ) හේ ‘මා කය වූ කලි රූපවත් ය, සිවු මහාභූතයන්ගෙන් නිපන්නේ ය, මාපියන්ගේ ශුක්‍රශොනිතයෙන් උපන්නේ ය. බත් කොමු ඈ අහරින් වැඩුණේ ය. අනිසබව ද දුගඳ හරනුවට සුවඳ විලෙවුන් ඉළියැ යුතු බව ද, ලෙඩ දුරැ ලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළත් බි‍ඳෙන බව ද, විසිරෙන බව ද යන මෙ කී දැය ස්වභාව කොට ඇත්තේ ය. මා සිත ද මේ කයෙහි ලැග්ගේ ය. මෙහි බැඳුණේ ය”යි මෙසේ දැනැ ගනී.

80.       බමුණ, යම්සේ සොඳුරු පිරිසිදු ආකරයෙක පහළ වූ, අටැස් වූ, මොනොවට පිරියම් කළ, සියුම් වූ, වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, දෙවුම් විදුම් ඈ හැම අයුරින් යුත් වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල්වන් හෝ රන්වන් හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අවුනන ලද්දේ වන්නේ නම් ඇස් ඇති පුරුෂයෙක් එය අතෙහි කොට, “මේ වූ කලි සොඳුරු, පිරිසිදු ආරෙක උපන්, අටැස්, මෙනොවට පිරියම් කළ, සියුම්, වෙසෙසින් පහන්, පිවිතුරු, දෙවුම් විදුම් ඈ සියලු අයුරින් යුත් වෙරෙළු මිණෙක. මෙහි නිල්වන් හෝ රන්වන් හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ මේ හුයෙක් අවුනන ලදුයේ වේ” ය යි සලකා බලන්නේ ද,

බමුණ, එසේ ම මහණ තෙමේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දිමුත් වූ කල්හි, කෙලෙස් යට පත් වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මොළොක් වූ කල්හි, (විවසුන් බවුනට) යුහු වැ සිටි කල්හි, නිසල බවට පැමිණි කල්හි, විවසුන් නුවණ පිණිස සිත යොමු කෙරෙයි. එයට නතු කෙරෙයි. (එසේ වූ) හෙ තෙම ‘මේ මා කය වූ කලි රූපවත් ය, සිවු මහාභූතයන්ගෙන් නිපන්නේ ය, මා පියන්ගේ ශුක්‍රශොනිතයෙන් උපන්නේය, බත් කොමු අහරින් වැඩුණේ ය, අනිසබව ද, දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉළිය යුතු බව ද, ලෙඩ දුරැ ලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එය කළත් බි‍ඳෙන බව ද, විසිරෙන බව ද යන මෙකී දෑ ස්වභාව කොටැත්තේ ය. මා සිත ද මේ කයෙහි ලැග්ගේ ය. මෙහි බැඳුණේ යැ’යි දැන ගනී.

බමුණ,මේ වූ කලි පළමු කී යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැනින් සිදු කට හැකි, (එහෙත්) වඩා මහත් පල හා අනුසස් හා ඇති යඥයෙක.

81.       හේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දිමුත් වූ කල්හි, කෙලෙස් රහිත කල්හි, දුරු වූ උපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, ඉදුහු ඉපැදැවීමට යුහු වැ සිටි කල්හි, නිසල බව් පත් කල්හි, මන්මුවා (මනොමය) සිරිරක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නතු කෙරෙයි. හේ (මෙසේ) මේ සිරිරින් රූමත්, හැම අඟ පසඟ ඇති, නොවිකළ ඉඳුරන් ඇති මන්මුවා සිරුරක් මවා පියයි.

බමුණ, යම්සේ පුරුෂයෙක් මුදුතණ ගසෙකින් මුදුකිලිල ඇද මෑත් කරන්නේ නම්, ඔහුට “මේ මුදුතණ ගස ය, මේ එහි මුදුකිලිල ය, තණ ගස එකෙක, එහි මුදු කිලිල අනෙකෙක, මුදු තණ ගසින් එහි කිලිල මෑත් කරනලදැ”යි මෙසේ සිතෙක් වන්නේ ද,

බමුණ, යම්සේ හෝ පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇදැ මෑත් කරන්නේ නම්, ඔහුට “මේ කඩුව ‍ය, මේ කොපුව ය, කඩුව එකෙක, කොපුව අනෙකෙක, කොපුයෙන් ම කඩුව ඇද මෑත් කරන ලදැ”යි මෙසේ සිතෙක් වන්නේ ද,

    බමුණ, යම්සේ වනාහි පුරුෂයෙක් නයකු සැවෙන් (සිතින්) ඇද නඟා ගන්නේ ද, ඔහුට “මේ නයා ය, මේ සැව ය, නයා එකෙක, සැවය අනෙකෙක, සැවයෙන් ම නයා ඉදිරිණැ”යී මෙසේ සිතෙක් වන්නේ ද,

බමුණ, එසේ ම මහණ තෙමේ මේ උඩ කී පරිදි සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි දීප්ත වූ කල්හි, කෙලෙස් රහිත කල්හි, පහ වූ උපක්ලෙශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, ඉදුහු වඩනුවට යුහු වැ සිටි කල්හි, නිසල බව් පත් කල්හි මන්මුවා සිරුරක් මවා පානුවට සිත යොමු කෙරෙයි. නමා හරියි. (එසේ වූ) හේ මේ සිරිරින් රූපවත් වූ, සියලු අඟපසඟින් යුත්, නොවිකළ ඉඳුරන් ඇති, මන්මුවා අන් සිරුරක් මවා පියයි.

බමුණ, මේ වනාහි උඩ දැක්වුණු යඥයනට වඩා මද කටයුතු ඇති, වඩා මඳ තැනින් සිදු කට හැකි, (එහෙත්) එයට වඩා මහත් පල ද වඩා මහත් අනුසස් ද ඇති යඥයෙක.

82.       හේ උඩ කී පරිදි සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දිමුත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වූ කල්හි, (ඉදුහු වඩනුවට) යුහු වැ සිටි කල්හි, නිසල බව් පත් කල්හි, ඉදුවිද නුවණ පිණිස පිරියම් සිත මෙහෙයයි, නතු කෙ‍රෙයි. (එසේ) හේ නොයෙක් වැදෑරුම් ඉදු කොටස් පුන පුනා පසක් කෙරෙයි. පියෙවියෙන් එකෙක් වැ සිට ද ඉදුබෙලෙන් බොහෝ වැදෑරුම් වෙයි. බොහෝ වැදෑරුම් විත් යලි එ‍කෙක් ම වෙයි. තමාගේ පෙහෙළි බව කෙරෙයි, යලි නොපෙහෙළි බව කෙරෙයි. බිතුයෙන් පිටතට පවුරින් පිටතට පව්වෙන් පිටතට අහසෙහි මෙන් කිසිවෙකත් නොගැටෙනුයේ  විනිවිදැ ගෙන යෙයි. දියෙහි මෙන්  පොළොව්හි ද ගිලීම ස මතු වීම ද කෙරෙයි. නොබි‍ඳෙන දියෙහි පොළොව්හි සේ යෙයි. පියාපත් ඇති සකුනයකු සේ අහස්හි ද පලඟින් යෙයි. මේ සා මහත් ඉදු ඇති, මහත් තෙද ඇති මේ සඳ හිරු දෙදෙනා ද අල්ලයි. අත යවා ඔබ මොබ පිරිමදී. බඹලොව දක්වා ද (මුළු ලොව) කයින් විසී කෙරෙයි.

බමුණ, යම් සේ කුඹලෙක් හෝ කුඹලක්හු අතැවැස්සෙක් හෝ මොනොවට පිරියම් කළ මැටියෙන් යම් යම් බදුන් වෙසෙසක් තෙමේ කැමැත්තේ නම් එය එය ම කරන්නේ ද, මෙනොවට නිපදවන්නේ ද;

බමුණ, යම් සේ හෝ සමත් දත්වඩුවෙක් හෝ ඔහු අතැවැස්සෙක් හෝ මෙනොවට සකස් කළ දතෙක්හි යම් යම් විසිතුරු රූපාදියක් (දන්තවිකෘතියක්) කැමැත්තේ නම් එය එය ම කරන්නේ ද, මොනොවට නිපදවන්නේ ද;

බමුණ, යම්සේ හෝ සමත් රන්කරුවෙක් හෝ ඔහු අතැවැස්සෙක් හෝ මොනොවට සකස් කළ රනෙහි යම් යම් අබරණ ආදියක් (ස්වර්‍ණවිකෘතියක්) කැමැත්තේ නම් එය එය ම කරන්නේ ද, නිපදවන්නේ ද;

බමුණ, එ පරිද්දෙන් ම මෙසේ (උඩ කී පරිදි) සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, පබසර වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, පහ වූ උපක්ලේශ ඇති කල්හි, මොළොක් වූ කල්හි, ඉදුහ වඩනුවට යුහු වූ කල්හි, ස්ථිත කල්හි, නිසලබව් පත් කල්හි ඉදුවිද නුවණ පිණිස සිත මෙහෙයයි, මොනොවට නතු කෙරෙයි. (එසේ වූ) හේ නොයෙක් වැදෑරුම් ඉදු කොටස් පුන පුනා විඳී (ලබයි, පසක් කෙරෙයි). පියෙවියෙන් එකක් වැ ම සිට  බොහෝ දෙනෙක් වෙයි. බෙහෝ දෙනක් වැ යලි එකෙක් ම වෙයි. තෙමේ පෙනී සිටී, නොපෙනී ද සිටී. බිතුයෙන් පිටතට පවුරින් පිටතට පව්වෙන් පිටතට විනිවිදැ කිසිවෙක නොලැගී අහසෙහි සෙයින් යෙයි. පොළොව්හි ද දියෙහි මෙන් ගිලීමත් මතු වීමත් කෙරෙයි. පොළොව මතු පිටැ සේ නොබි‍ඳෙන දියෙහි යෙයි. ඉගිලෙන පක්ෂියකු සේ පලඟින් අහසැ යෙයි. මේ සා මහත් ඉදුහ ඇති මේසා මහත් තෙද ඇති සඳ හිරුන් පවා අල්ලයි, පිරිමදියි. බඹලොව දක්වා ද කයින් තමා වසයෙහි පවත්වයි.

බමුණ, මේ වනාහි මෙයින් පළමු කී සියලු යඥයනට වඩා මඳ කටයුතු ඇති ද වඩා මඳ තැනින් සිදු කට හැකි ද වූ, එහෙත් ඒ හැමට වඩා මහ පල ද වඩා මහ අනුසස් ද ඇති යඥයෙක.

83.       හේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වූ කල්හි, (දිවකන් නුවණ වඩනුවට) යුහු වූ කල්හි, ස්ථිත කල්හි, නිසල බව් පත් කල්හි, දිවකන් නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. (එසේ වූ) හේ පිරිසිදු වූ මිනිසුන්ගේ ඇසුම් ඉම ඉක්මැ සිටි දිව කනින් දෙවියන් අයත් වූ ද මිනිසුන් අයත් වූ ද දුරැ වූ ද ළඟැ වූ ද යන දෙවැදැරුම් හැම හඬ ම අසයි.

84.       බමුණ, යම්සේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ නම්, හේ බෙර හඬත් මිහිඟු බෙර හඬත් සක් පණා ගැටබෙර හඬත් අසන්නේ නම්, එය අසන ඔහුට ‘මේ බෙර හඬැ’යිත් ‘මේ මිහිඟු බෙර හඬැ’ යි ත් මේ සක් පණා ගැටබෙර හඬැ’යිත් මෙසේ සිතෙක් වන්නේ නම්, බමුණ, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙ ලෙස සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වු කල්හි, කර්‍මක්ෂම වැ සිටි කල්හි, නිසල බව පත් කල්හි, දිවකන් නුවණ පිණිස සිත ‍යොමු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ වූ දිවකන් නුවණින් දිව්‍ය වූත් මානුෂ වූත් දුරැ වුත් ළඟැ වූත් දැයි මෙසේ දෙවැදැරුම් වූ සියලු හඬ අසයි.

බමුණ, මෙය පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැනෙකින් සිදු කට හැකි, ඒ හැමට වඩා මහත් පල ද ඇති මහත් අනුසස් ද ඇති යාගයෙකි.

85.       හේ මෙසේ සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හි, නිකෙලෙස් වූ කල්හි, උපක්ලේශ පහ වූ කල්හි, මොළොක් වු කල්හි, කර්‍මක්ෂම කල්හි, ස්ථිත කල්හි, නිසල බව් පත් කල්හි, පර සිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි. (එසේ වූ) හේ අන් සතුන්ගේ අන් පුගුලන්ගේ සිත සිය සිතින් පිරිසිඳැ දනියි. සරාග සිත සරාග සිතැ යි දනි. රාගරහිත සිත රාගරහිත සිතැ යි ද දනියි. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද දනී. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතැ යි ද දනියි. සමොහ සිත සමොහ සිතැ යි දනී. මොහරහිත සිත මොහරහිත සිතැ යි ද දනියි. හැකිළුණු සිත හැකිළුණු සිතැ යි ද දනියි. විසිරුණු සිත විසිරුණු සිතැ යි ද දනියි. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනියි. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද දනියි. සොත්තර සිත සොත්තර සිතැ යි ද දනියි. නිරුත්තර සිත නිරුත්තර සිතැ යි ද දනියි. එකඟ සිත එකඟ සිතැ යි ද දනී. නොඑකඟ සිත නොඑකඟ සිතැ යි ද දනියි. මිදුණු සිත මිදුණු සිතැ යි ද දනී. නොමිදුණු සිත නොමිදුණු සිතැ යි ද දනියි.

86.       බමුණ, ළදරු වේවයි තරුණ වේවයි සැරැසෙන සුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ පිරිසිදු පිවිතුරු කැඩපතෙක හෝ පහන් දියැති බඳුනෙක හෝ සිය මුව සටහන පිරික්සා බලන්නේ තලකැලැල් ඈ දොස් ඇති තැන් දොස් ඇති තැනැ යි දන්නේ ද, ඒ දොස් නැති තැන් දොස් නැති තැනැ යි දන්නේ ද ,

      බමුණ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ (උඩ කී පරිදි) සිත එකඟ වූ කල්හි, පිරිසිදු වූ කල්හි, නිකෙලෙස් වු කල්හි, උපක්ලේශ පහ වැ ගිය කල්හි, මොළොක් වූ කල්හි, කර්‍මක්ෂම කල්හි, ස්ථිත කල්හි, නිසලබව් පත් කල්හි, පරසිත් දන්නා නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මෙනොවට නතු කෙරෙයි.

හේ අන් සතුන්ගේ අන් පුගුලන්ගේ සිත සිය සිතින් පිරිසිඳැ දනී:  සරාග සිත සරාග සිතැ යි දනී. වීතරාග සිත වීතරාග සිතැ යි ද දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද ... වීතද්වේෂ  සිත වීතද්වේෂ  සිතැ යි ද ... සමොහ සිත සමොහ සිතැ යි ... වීතමොහ සිත වීතමොහ සිතැ යි ද ... සංක්ෂිප්ත සිත  සංක්ෂිප්ත සිතැ යි ද ... වික්ෂිප්ත සිත විසක්ෂිප්ත සිතැ යි ද ... මහද්ගත සිතැ මහද්ගත සිතැ යි ද ... අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද ... සොත්තර සිත සොත්තර සිතැ යි ද ... නිරුත්තර සිත නිරුත්තර සිතැ යි ද ... සමාහිත සිත සමාහිත සිතැ යි ද ..., අසමාහිත සිත අසමාහිත සිතැ යි ද ..., විමුක්ත සිත විමුක්ත සිතැ යි ද ..., අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි ද  දනී.

බමුණ, මේ වනාහි පළමු කී යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැනෙකින් සිදු කට හැකි ඒ හැමට වඩා මහත් පල ද ඇති, වඩා මහත් අනුසස් ද ඇති යාගයෙක.

87.       හේ මෙසේ සිත එකඟ වු කල පිරිසිදු වැ දිප්ත වැ නිකෙලෙස් වැ, උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්ෂම වැ නිසලබව් පත් වැ තහවුරු වැ සිටි කලැ පෙරැ වුසු කඳ පිළිවෙළ දක්නා නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නතු කෙරෙයි. (එසේ වූ) හේ “අසෝ තැනැ මෙ නම් ඇතියෙම් වීමි, මෙ ගොත් ඇතියෙම් වීම්, මෙබඳු පැහැසටහන් ඇතියෙම් වීමි, මෙබඳු අහරැතියෙම් වීමි, මෙබඳු සුව දුක් විදිනුයෙම් විම්, මෙබඳු ආයු කෙළවර ඇතියෙම් වීමි, ඒ මම් එයින් සැවැ අසෝ තැනැ උපනිමි. එහි දු මෙ නම් ඇතියෙම් වීමි. මෙ ගොත් ඇතියෙම් වීමි. මෙබඳු පැහැ සටහන් ඇතියෙම් වීමි, මෙබඳු අහරැතියෙම් වීමි, මෙ බඳු සුව දුක් විඳිනුයෙම් වීමි. මෙබඳු ආයු සීමා ඇතියෙම් වීමි. ඒ මම් එයින් සැවැ මෙහි උපනිමි” යි මෙසේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පසක් ද ජාති දසයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතළිහක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද, බොහෝ සංවර්‍ත කල්ප ද බොහෝ විවර්‍ත කල්ප ද බොහෝ සංවර්‍ත විවර්‍ත කල්ප ද මෙසේ නෙයෙක් වැදැරුම් කඳපිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ පැහැ සටහන් ඈ විසින් අයුරු සහිත, නම් ගොත් විසින් උදෙසුම් සහිත බොහෝ වැදැරුම් පෙර වුසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි‍.

88.       බමුණ, යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, එ ගමිනුත් අන් ගමකට යන්නේ ද, යලි ඒ ගමින් සිය ගමට පෙරළා එන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලි සිය ගමින් අසෝ ගමට ගියෙමි, එහි මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි. එ ගමිනුත් අසෝ ගමට ගියෙමි, එහි දු මෙසේ සිටියෙමි, මෙසේ හුන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඬ වීමි, ඒ මම් එ ගමින් සිය ගමට ම පෙරළා ආයෙම් වෙමි” යි ඔහුට මෙබඳු සිතෙක් වන්නේ ද,

බමුණ, එ පරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු වැ දීප්ත වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මොළොක් වැ කර්‍මක්ෂම වැ නිසල බව් පත් වැ තහවුරු වැ සිටි කල්හි පෙරැ වුසු කඳපිළිවෙළ සිහි කරන නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි. මොනොවට නතු කෙරෙයි. හේ “අසෝ තැනැ මෙ බඳු නම් ඇතියෙම් වීමි, මෙ බඳු ගොත් ඇතියෙම් වීමි. මෙ බඳු පැහැ සටහන් ඇතියෙම් වීමි, මෙ බඳු අහර ඇතියෙම් වීමි, මෙ බඳු සුව දුක් විඳුනෙම් වීමි, මෙ බඳු ආයු සීමා ඇතියෙම් වීමි. ඒ මම් එයින් සැවැ අසෝ තැනැ උපනිමි, එහි ද මෙබඳු නම් ඇතියෙම් වීමි, මෙබඳු ගොත් ඇතියෙම් වීමි, මෙබඳු  පැහැ සටහන් ඇතියෙම් වීමි, මෙ බඳු අහර ඇතියෙම් වීමි, මෙ බඳු සුවදුක් විඳුනෙම් වීමි. මෙතෙක් ආයු සීමා ඇතියෙම් වීමි. ඒ මම් එයින් සැවැ මෙහි උපනිමි”යී මෙසේ එක් දැයක් ද දෙ දැයක් ද තෙ දැයක් ද සිවු දැයක් ද පස් දැයක් ද දස දැයක් ද විසි දැයක් ද තිස් දැයක් ද සාළිස් දැයක් ද පනස් දැයක් ද සිය දැයක් ද දහස් දැයක් ද සුවහස් දැයක් ද බොහෝ පිරිහෙන කප් ද ‍බොහෝ වැඩෙන කප් ද බොහෝ පිරිහෙන වැඩෙන කප් දැ යී මෙසේ නොයෙක් වැදෑරුම් පෙරැ වුසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මෙ පරිද්දෙන් අයුරු සහිත උදෙසුම් සහිත පෙරැ වුසූ නොයෙක් වැදෑරුම් කඳපිළිවෙළ සිහි කෙරෙයි.

බමුණ, මේ පළමු දැක්වුණු යඥයනට වඩා මඳ ක‍ටයුතු ඇති වඩා මඳ තැනින් සිදු කට හැකි, වඩා මහත් පල ද වඩා මහත් අනුහස් ද ඇති යඥයෙක.

89.       ඒ මහණ මෙසේ සිත සමාහිත වැ පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැති වැ උපක්ලේශ පහ වැ මෘදු වැ කර්‍මක්ෂම වැ නිසල බව් පත් වැ තහවුරු වැ සිටි කල්හි සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දක්නා නුවණ පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ දැක්කැ හැකි දිවැසින්, ‘අහෝ මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනොදුශ්චරිතයෙන් සමන්විතයහ, ආර්‍යොපවාද කළෝ  ය. මිසදිට් ගතුවහ, මිසදිට් විසින් ගත් මිථ්‍යාව්‍රත ඇතියහ. ඔහු කා බුන් මරණින් මතු සුවින් තොර, නපුරු කමින් උපන් ගති වූ (කර්‍මයට තමන් යටත් බැවින්) තමනට අවශ්‍ය වැ වැටෙන තැන් වූ නිරයට වන්නෝ ය. මේ භවත් සත්ත්වයෝ වූ කලි කායසුචරිතයෙන් වාක්සුචරිතයෙන් මනස්සුචරිතයෙන් සමන්විතයහ. ආර්‍යයනට උපවාද නො කොළෝ ය. සම්දිටු ගතුවහ. සම්දිට් විසින් ගත් සිල් ඈ ඇතියහ. ඔහු කාබුන් මරණින් මතු හොබනා ගති ඇති සග ලොව් වන්නෝ යැ”යී මරණාසන්න වූ ද එ කෙ‍ණෙහි පිළිසඳ ගතුවන් වූ ද හීන වූ ද උසස් වූ ද මනා පැහැසටහන් ඇති වූ ද නොමනා පැහැසටහන් ඇති වූ ද සුගතියට පැමිණි ද දුගතියට පැමිණි ද කම් වූ පරිදි ඒ ඒ භවයට ගිය සතුන් දකී. මෙසේ හේ පිරිසිදු වූ, මිනිස් විසා ඉක්මැ සිටි දිවැසින් පහත් උසස් සුවන් දුවන් සුගී දුගී සතුන් දකී. කම් වු පරිදි ඒ ඒ බව කරා එළඹැ  සිටි සතුන් දකී.

90.       බමුණ, යම්සේ සිවුමං හන්දියෙකැ මහල් ඇති ගෙයෙක් වන්නේ ද. එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ, ගෙ වදිනාවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යන එනවුනුත් සිවුමංහන්දිය මැදැ හුන්නවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙ වදිත්, මොහු ගෙන් නික්මෙත්. මොහු වෙයෙහි ඈත මෑතයෙත්. මොහු සිවුමංහන්දිය මැදැ හුන්නාහැ’යි මෙසේ සිතෙක් වන්නේ ද,

බමුණ, එසේ ම මහණ තෙමේ සිත මෙ පරිද්දෙන් එකඟ වැ පිරිසිදු වැ දිමුත් වැ නිකෙලෙස් වැ උපක්ලේශ නැති වැ මොළොක් වැ කර්‍මක්ෂම වැ නිසල බව් පත් වැ තහවුරු වැ සිටි කල්හි, සතුන් ගේ මැරුම් දිනුම් දක්නා නුවණ ලබනුවට සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නැඹුරු කෙරෙයි. හේ මිනිස් විසා ඉක්මැවූ පිරිසිදු දිවැසින් ‘අහෝ මේ භවත් සත්ත්වයෝ කාදුසිරියෙන් විසීදුසිරියෙන් මන්දුසිරියෙන් යුතුහ. අරීපුඟුලනට දොස් නැඟුහ. මිසදිට් ගතුවහ. මිසදිට් විසින් ගත් සදොස් වත් ඇතියහ. ඒ මොහු කාබුන් මරණින් මතු සුවෙන් පහ වූ නපුරු කමින් උපන් තමනට තමන් අවශග වැ වැටෙන තැන් වූ නිරා වන්නහ. -

එහෙත් මේ භවත් සත්ත්වයෝ වූ කලි කාසුසිරියෙන් විසීසුසිරියෙන් මන්සුසිරියෙන් යුතුවහ, අරීනට දොස් නොනැඟුවහ, සම්දිටුහ, සම්දිටු විසින් ගත් සිල් ඈ ඇතියහ. මොහු කා බුන් මරණින් මතු මනා ගති ඇති සග ලොව් වන්නහැ’යි මෙසේ මැරෙනු ළං වූ ද , පිළිසඳ ගත් කෙණෙහි වූ ද, පහත් වූ ද, උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වූ ද, සුගති පැමිණි ද, දුගති පැමිණි ද, කම් වූ පරිදි ඒ ඒ භවයට ගිය සතුන් දකී. මෙසේ පිරිසිදු වූ මිනිස් විසා ඉක්මැ පැවැති දිවැසින් උස් පහත් මනා පැහැති නොමනා පැහැති සුගී දුගී සතුන් දකී. කම් වු පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සතුන් දකී.

බමුණ, මේ වූ කලි පළමු දැක්වුණු යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැනින් සිදු කට හැකි, එහෙත් වඩා මහත් පල ද ඇති වඩා අනුහස් ද ඇති යඥයෙක.

91.       හේ මෙසේ සිත එකඟ වැ පිරිසිදු වැ දිමුත් වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මොළොක් වැ කර්‍මක්ෂම වැ නිසලබව් පත් වැ තහවුරු වැ සිටි කල්හි, ආස්‍රවයන්ගේ වැනැස්ම පිණිස සිත මොනොවට යොමු කෙරෙයි, මොනොවට නතු කෙරෙයි. එසේ වූ හෙ තෙමේ ‘මේ දුකැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් උපදනා කරුණු යැ’යී ඇති සැටියෙන් දනී. මේ (දුක් වැනැස්මට අරමුණු වන) නිවනැ’යි ඇති සැටියෙන් දනී. මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දනී. මොහු ආස්‍රවහ යී ඇති සැටියෙන් දනී, මේ ආස්‍රව ඉපැත්මට කරුණු යැ යි ඇති සැටියෙන් දනී. මේ ආස්‍රවනිරොධයට අරමුණු වන නිවනැ යි ඇති සැටියෙන් දනී. මේ ආස්‍රවනිරොධයට පමුණුවන පිළිවෙතැ යි ඇති සැටියෙන් දනියි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහු ගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ, භවාස්‍රවය කෙරෙන් ද මිදේ, අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. එසේ මිදුණු කල්හි ‘මා සිත ආස්‍රව කෙරෙන් මිදිණැ’යී පස්විකුම් නුවණ වේ. බව උපත නැවැතිණ. මඟ බඹසර වැසැ නිමැවිණ. සිවු සස්හි සිවු මඟින් කළ යුතු සොළොස් වැදෑරුම් කිස කොටැ නිමැවිණ. මේ කොලස් නසනු පිණිස තවත් කළ යුතු දැයෙක් නැතැ’යි හේ දනී.

92.       බමුණ, යම්සේ කඳු මුදුනෙක වූ, පහන්, වෙසෙසින් පහන්, නොබොර විලෙක් වන්නේ නම්, එහි ඉවුරැ ඇස් ඇති මිනිසෙක් සිටියේ, එය තුළැ හැසිරෙන ද සිටුනා ද සිප්පිබෙල්ලනුත් සක් බෙල්ලනුත් කැට කැබලිතිත් මස්කැලත් දක්නේ ද, (එසේ දක්නා) ඔහුට මේ විල පහන් ය, වෙසෙසින් පහන් ය, නොබොර ය. මෙහි “මේ සිප්පිහුත් සක්බෙල්ලෝත් කැටකැබැලිතිත් මස් කැලත් හැසිරෙන්නෝත් සිටින්නෝත් වෙති”යී මෙසේ සිතෙක් වන්නේ ද,

බමුණ, එසේ ම මහණ තෙමේ මෙසේ සිත එකඟ වැ පිරිසිදු වැ දිමුත් වැ නිකෙලෙස් වැ උපක්ලේශ පහ වැ මොළොක් වැ කර්‍මක්ෂම වැ නිසලබව් පත් වැ තහවුරු වැ සිටි කල්හි ආස්‍රවක්ෂයඥානය පිණිස සිත මෙනොවට යොමු කෙරෙයි, මෙනොවට නැඹුරු කෙරෙයි. හේ ‘මේ දුකැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුකට කරුණැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක් වැනැස්මැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ දුක්වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවහ’ යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවසමුදය යැ’යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරොධය යැ’යී ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රවනිරොධගාමිනී පිළිවෙතැ’යී ඇති සැටියෙන් දනී.

මෙසේ දන්නා මෙසේ දක්නා ඔහු සිත කාමාස්‍රවයෙන් ද මිදෙයි. භවාස්‍රවයෙන් ද මිදෙයි. අවිද්‍යාස්‍රවයෙන් ද මිදෙයි. මිදුණු කල්හි ‘මිදුණේ ය’යී දැනීම වේ. “භවෝත්පත්තිය ක්ෂීණ විය. මගබඹසර වැස නිමැවිණ. සිවුමඟින් කළ යුතු සොළොස් කිස කොටැ නිමැවිණ. මේ බව් පිණිස කළ යුතු තව කිසිත් නැතැ”යී හේ දනී.

“බමුණ, මේ පළමු දැකුවුණු(සියලු)යඥයනට වඩා මඳ කටයුතු ඇති, වඩා මඳ තැනින් සිදු කට හැකි, (එහෙත්) වඩා මහත් පල ද ඇති, වඩා මහත් අනුසස් ද ඇති යඥය ය. බමුණ, මේ යාග සම්පතට වඩා මනොඥවූ උතුම් වූ අන් යාගසම්පතෙක් නැත.”

93.       භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි කුළුදත් බමුණු තෙමේ, “වහන්ස, දෙසුම මනා ම ය. වහන්ස, දෙසුම මනා ම ය. වහන්ස, යම්සේ යැටිකුරු කොට තැබුණූ බඳුනක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු යමක් වැසුම් හැර දක්වන්නේ හෝ වේ ද, මං මුළාවූවකුට මඟ කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇතියත් රූප දකිතැ’යි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ හෝ වේ ද, වහන්ස, එසේ ම භාග්‍යවතුන් වහන්සේ විසින් මට නොයෙක් අයුරින් දහම පැවැසිණ, වහන්ස, ඒ මම් භාග්‍යවත් ගෞතමයන් වහන්සේ ද දහම ද බික් සඟන ද සරණ යෙමි. වහන්ස, අද පටන් දිව්හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවද් ගෞතමයන් වහන්සේ මා දැන වදාරණ සේක් වා. භවද් ගෞතමයන් වහන්ස, ඒ මම් සත්සියක් ගොනුන් ද සත්සියක් තරුණ නාඹු වස්සන් ද සත්සියක් නාඹු වැස්සියන් ද සත් සියක් එළුවන් ද සත්සියක් තරුණ බැටළුවන් ද මුදා ලමි. ඔවුනට දිවි දෙමි. නිල්තණ බුදිත්ව යි ද, සිහිල් පැන් බොත්ව යි ද, ඔවුනට සිහිල් පවන ද හමත්ව’යි කියායි.

94.        ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කුළුදත් බමුණුහට දානකථා, ශීලකථා, ස්වර්‍ගකථා, කාමාදීනව, කාමයන්ගේ ලාමකබව, කාමයන්ගේ කෙලෙසීම, නෙක්ඛම්මයෙහි අනුසස් පැවසූ සේක. භාග්‍යවකුන් වහන්සේ යම් විටෙක කුළුදත් බමුණහු (ඒ දහම් ඇසීමෙන්) නීරොග සිතැති වූවහු, මොළොක් සිතැති වූවහු, නීවරණයන්ගෙන් පහ වූ සිතැත්තහු, ඔදවැඩීගිය පහන් සිතැත්තහු දත් සේක් ද, එකල්හි දුක්ඛ සමුදය නිරොධ මාර්‍ග යන බුදුවරුන්ගේ යම් සාමුත්කර්ෂකී ධර්‍මදේශනාවක් වේ නම් එය පැවසූ සේක.

යම් සේ පිරිසිදු  වූ පහ වූ කළු බව් ඇති වතෙක් මොනොවට ම රඳන් පිළිගන්නේ ද, එසේ ම කුළුදත් බමුණුහට එ අස්නෙහි ම, යමෙක් උපදනා සුලු නම් ඒ සියල්ල නැසෙන සුලු වේ යැ යි කෙලෙස් රජස් රහිත, කෙලෙස් මල රහිත දහම් ඇස පහළ විය.

95.       ඉක්බිති (මෙසේ) දුටු අරීසස් දහම් ඇති, පැමිණි අරීසස් දහම ඇති, ප්‍රකට වූ අරීසස් දහම් ඇති, බැසැ ගත් අරීසස්  දහම් ඇති, තිණු විසිකිස් ඇති, පහ වූ සැක ඇති, බුදුසස්නැ විසාරද බවට පැමිණි, පරප්‍රත්‍යය රහිත වූ කුළුදත් බමුණු තෙමේ ‘පින්වත් ගෞතම තෙමේ සෙට දිනට මගේ බත බික් සඟන හා ඉවසා වා’යි භාග්‍යවතුන් වහන්සේට කී ය. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් එය ඉවැසූ සේක.

97.       ඉක්බිති කුළුදත් බමුණු භාග්‍යවතුන් වහන්සේ ඉවැසූ නියා දැනැ හුනස්නෙන් නැගී ඔබ වැඳැ පැදැකුණු කොට නික්මුණේ ය. ඉන් පසු කුළුදත් බමුණු ඒ රැය ඇවෑමෙන් සිය යාගශාලායෙහි ප්‍රණීත ඛාද්‍ය භොජ්‍ය පිළියෙල කරවා, ‘පින්වත් ගෞතමයිනි, දැන් කල් ය. බත නිමියේ යැ”යි භාග්‍යවතුන් වහන්සේය කල් දැන්වීය.

98.       ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳැ පෙරෙවැ පා සිවුරු ගෙනැ බික් සඟන කැටුව කුළුදත් බමූණුගේ යාගාවාටය කරා එළැඹි සේක. එළැඹැ පැනැවූ අස්නැ වැඩැහුන් සේක. එකල්හි කුළුදත් බමුණු බුදුපාමොක් බික්සඟන ප්‍රණීත ඛාද්‍ය භොජ්‍යයෙන් සියතින් සැතැප්වී ය. පැවැරැවීය. ඉන් පසු කුළුදත් බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් අත්ඇත්තවුන් දැනැ, මිටි අස්නක් ගෙන එක් පසෙක හිඳැගත්තේ ය. එසේ හුන් කුළුදත් බමුණුට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතායෙන් කරුණු දක්වා ගුණදහම් ගන්වා ගුණදහම් වැඩීමෙහි උනන්දු කොට ගුණ වදාරා සිත සතුටු කොට හුනස්නෙන් නැගී නික්මි සේක.

 

පස්වනු කුළුදත් සුතුර නිමියේ ය.