පොට්ඨපාද සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

දික් සඟිය

සීලස්කන්ධවර්ගය

____________________

ඒ භාග්‍යවත් අර්හත් සම්‍යග්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.

______

9

පොට්ඨපාද සුත්‍රය.

 

1          මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම්වු අනේපිඩු සිටුහු අරමැ වැඩ වසන  සේක. එසමයෙහි පොට්ඨපාද නම් පිරිවැජි තෙම, (බමුණුනිවටු ආදීන් රැස්වැ තමතමන් සමය පවසන හෙයින්) සමය ප්‍රවාදක නම්වු (තිඹිරිරුක් පෙළින් පිරිකෙවුණු හෙයින්) තීන්දුකාවීර නම්වු (පළමු එක් හලක්ම වු තැන බැවින්) එකශාලක නම්වු, මල්ලිකා දේවියගේ උයනෙහි, පිරිවැජියන් තුන්දහසක් පමණවු මහ පිරිවැජි පිරිසක් හා වෙසෙයි.

2          එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලෙහි හැඳැ පෙරෙවැ පිඩු පිණිස සැවැත් නුවර පිවිසිසේක. එවිටැ “සැවතෙහි පිඩු පිණිස හැසිරෙනුවට තවමැ ඉතා උදෑසනයැ. ඉදින් මම් සමයප්‍රවාදක තීන්දුකාචීර එකශාලක නම්වු මල්ලිකාරාමය කරා, පොට්ඨපාද පිරිවැජි වෙත ගියෙම් නම් යෙහෙකැ”යි භාග්‍යවතුන්ට මේ සිත විය. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ මල්ලිකාරාමය කරා වැඩි සේක.

3          එසමයෙහි පොට්ඨපාද පිරිවැජිතෙම - රාජකථා චෝරකථා මහාමාත්‍රකථා සෙනාකථා භයකථා යුද්ධකථා අන්නකථා පානකථා වස්ත්‍රකථා ශයනකථා ගන්ධකථා මාලාකථා ඥාතිකථා යානකථා ග්‍රාමකථා නිගමකථා නගරකථා ජනපදකථා ස්ත්‍රීකථා පුරුෂකථා ශුරකථා විසිඛාකථා කුම්භස්ථානකථා පුර්‍වප්‍රෙතකථා ලොකාඛ්‍යායිකා සමුද්‍රාඛ්‍යායිකා ඉතිභවාභවකථා යන මේ හෝ මෙයින් අන්‍යවු මෙබඳු නොයෙක් වැදෑරුම් තිරිසන්කථා කියන, ඝොෂවත් වු, උස්හඩ මහහඩ ඇති මහපිරිවැජිපිරිස සහ හුන්නේ වෙයි.

4          පොට්ඨපාද පිරිවැජිතෙම දුරින්ම වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක,”භවත්හු නිහඩ වෙත්වා. භවත්නි, හඩ නොකරවු. මේ මහණ ගොයුම් එයි. ඒ ආයුෂ්මත් තෙම නිහඩබව කැමැත්තේය. නිහඩබව්හි ගුණ කියන සුලු ය. පිරිස නිහඩසේ දැන එළැඹියැ යුතුකොට සිතුවොත් යෙහෙකැ”යි සිය පිරිස සංහුන් කෙළේය. මෙසේ ඔහු කී කලැ ඒ පිරිවැජියෝ නිහඩවුහ. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පොට්ඨපාද පිරිවැජියා කරා එළැඹි සේක. එකල්හි පොට්ඨපාද පිරිවැජි තෙම භාග්‍යවතුන් වහන්සේට, “වහන්ස භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩිසේ යහපත. වහන්ස භාග්‍යවතුන් වහන්සේ මෙහි වඩනට කලෙකින් පසු මේ අවස්ථාව ලත් සේක් වන. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ශුභාගමනයෙකි. මේ අස්නෙක් පනවන ලදැ”යි කීය. පනවන ලද අස්නෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් සේක. පොට්ඨපාද පිරිවැජිද එක්තරා මිටි අස්නක් ගෙන එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් පොට්ඨපාද පිරිවැජියාට “පොට්ඨපාදයෙනි මෙහි දැන් තෙපි කවර නම් කථායෙකින් හුන්නහුද? මා එන්නාට පෙර මා එන තෙක් මේ අතර තොපගේ කිනම් කථාවෙක් අඩාල වී දැ?”යි අසා වදාළ සේක.

5          මෙසේ වදාළ කලැ පොට්ඨපාද පිරිවැජි භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “වහන්ස, යම් කථාවෙකින් අපි මෙහි හුන්නමෝ නම්, ඒ කථාව තිබේවා. වහන්ස, ඒ කථාව පසුවද භාග්‍යවතුන් වහන්සේට අසන්නට දුර්ලභ නොවෙයි. පුරිම පුරිමතර දවස්හි (බොහෝ කළකට පෙරැ) කුතුහලශාලායෙහි එක්වැ හුන් එක් රැස්වු මහණ බමුණන් අතරැ ‘භවත්නි, අභිසංඥානිරෝධය (චිත්ත නිරෝධය ක්‍ෂණික නිරෝධය) කෙසේනම් වේදැ?’යි අභිසඤ්ඤා නිරෝධයෙහි කථාවෙක් පහළ විය. 

(1) එහි ඇතැම්හු ‘හේතු නැතිවැ ප්‍රත්‍ය නැතිවැ පුරිස්හට සංඥාවෝ උපදනාහුද නිරුද්ධ වන්නාහුද වෙත්. යම් විටෙක ඔහු උපදනාහුද, එවිට හේ සංඥී (සංඥා ඇත්තේ) වෙයි. යම් විටෙක සංඥාවෝ නිරුද්ධ වන්නාහුද, එවිට හේ අසංඥී වේ’යැ යි මෙසේ කීහ. මේසේ ඇතැම් කෙනෙක් අභිසංඥා නිරෝධය (චිත්ත නිරෝධය ) පණවත්. 

(2)ඔහුට අනෙකෙක්, ‘ භවත , මට මෙය මෙසේ නොවන්නේය. (මගේ දැනීම මෙසේ නොවන්නේය) භවත , සංඥාව පුරුෂයාගේ ආත්මයය. එද එළැඹෙන්නේත් වෙයි. ඉවැත්වැ යන්නේත් වෙයි. යම් කළෙක එය එළැඹේද, එකළැ හේ සංඥී වෙයි. යම් කළෙක පහවැ යේද, එකළැ අසංඥීවේයැ’යි මෙසේ කීය. මෙසේ ඇතැම් කෙනෙක් අභිසඤ්ඤා නිරෝධය පණවත්. 

(3) ඔහුට අනෙකෙක් ‘ භවත , මට මෙය මෙසේ නොවන්නේය. භවත , මහත් සෘද්ධි ඇති මහත් අනුභාව ඇති මහණ බමුණු කෙනෙක් වෙත්මය. ඔහු මේ පුරුෂයාට සංඥාව පමුණු වන්නෝද වෙති. ඔහුගේ සංඥාව ඉවතට අදනෝද වෙති. යම් විටෙක ඔහු කරා සංඥාව පමුණුවත් නම්, එවිටැ හෙතෙම සංඥී වෙයි. යම් විටෙක සංඥාව ඉවතට අදනාහු නම්, එවිට අසංඥීවේයැ’යි කීය. මෙසේ ඇතැම්හු අභිසඤ්ඤා නිරෝධය පණවත්. 

(4) ඔහුට අනෙකෙක් ‘ භවත , මෙය මට මෙසේ නොවන්නේය. භවත , මහත් සෘද්ධි ඇති, මහත් අනුභාව ඇති, දේවතා කෙනෙක් ඇත . ඔහු මේ පුරුෂයා වෙතට සංඥාව පමුණුවන්නෝද, මොහුගෙන් ඉවතට අදනෝද වෙත්. යම් විටෙක සංඥාව මොහු වෙතට පමුණුවත්ද, එවිටැ මෙතෙම සංඥී වෙයි. යම් විටෙක එය මොහුගෙන් ඉවතට අදිත්ද, එවිටැ අසංඥීවෙයි. මෙසේ ඇතැම්හු අභිසංඥානිරෝධය පණවත්’ යැයි කීය. මෙසේ ඇතැම්හු අභිසඤ්ඤා නිරෝධය පණවත්.  

6          වහන්ස ‘යම් කෙනෙක් මේ දහම්හි නිපුනද ඒ භාග්‍යවතුන් වහන්සේ අහෝ මෙය පවසන සේක් නම් ඉතා මැනැව නු. ඒ සුගතයන් වහන්සේ මෙය වදාරන සේක් නම් ඉතා මැනැව නො’ යි (එ වේලෙහි) මට භාග්‍යවතුන් වහන්සේම ඇරැබ සිහිය උපන. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අභිසංඥා නිරෝධයෙහි නිපුණ සේක. ඇති සැටිය (ප්‍රකෘතිය) දන්නා සේක. වහන්ස, අභිසංඥා නිරෝධය කෙසේ වේද?”  

7          “පොට්ඨපාදය එහි යම් බමුණු කෙනෙක් ‘හේතු නැතිවැ ප්‍රත්‍යය නැතිවැ පුරුෂයාට සංඥාවෝ උපදිතියිද නිරුද්ධ වෙති’යිද මෙසේ කීහු නම්, මුලින්ම ඔවුනට වැරැදිණ. ඒ කවර හෙයින? පොට්ඨපාදය, පුරිස්හට හේතු සහිතවම ප්‍රත්‍යය සහිතවම (කරුණු සහිත ව ම)සංඥාවෝ උපදනෝත් නිරුද්ධ වන්නෝත් වෙති. ශික්‍ෂායෙන් ඇතැම් සංඥාවෝ උපදිත්. ශික්‍ෂායෙන් ඇතැම් සංඥාවෝ නිරුද්ධ වෙත්.”  

‘ඒ කවර ශික්‍ෂාවෙක්දැ’යි භාග්‍යවතුන් වහන්සේම (ප්‍රශ්න කොට එය විස්තර කරන සේක් මතු දැක්වෙන ධර්‍ම කථාව) වදාළ සේක.  

“පොට්ඨපාදය, මෙහි රහත්වු සම්මාසම්බුදුවු විද්‍යාචරණ සම්පන්නවු සුගතවු ලෝකඥවු නිරුත්තර පුරුෂදම්‍යසාරතීවු දෙව්මිනිස්නට ශාස්තෘවු සිවුසස් අවබෝධ කලාවු භගවත්වු තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මෙ ලොවද මහණ බමුණන් සහිත දෙව්මිනිසුන් සහිත සත්මුළුවද තෙමේ විශිෂ්ඨ වු නුවණින් ිදැන පසක්කොට ඔවුනට අවබෝධ කරවයි. හේ ආදියෙහි භද්‍ර කොට මධ්‍යයෙහි භද්‍රකොට අවසන්හි භද්‍රකොට අර්‍ථ සහිත කොට ව්‍යංජන සහිතකොට සර්‍වප්‍රකාරයෙන් පරිපුර්ණ කොට පිරිසිදු කොට දහම් දෙසයි. (ඒ දෙසනුයේද) ශාසනබ්‍රහ්මවර්‍ය්‍ය හෙළිකෙරෙයි.  

8          ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයෙකැ උපන්නෙක් හෝ ඒ දහම් අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුහු කෙරෙහි සැදැහැ පිළිලබයි (උපදවයි) හේ ඒ සැදැහැ පිළිලැබීමෙන් යුත් වුයේ ‘ගෘහවාසය සම්බාධකයෙකි. රජස්පථයෙකි. පැවිද්ද අභ්‍යාවකාශය වැන්න. ගිහිගෙයි වසන්නහු විසින් එකාන්තයෙන් පිරිපුන් කොට එකාන්තයෙන් පිරිසිදු කොට ශංඛලිඛිතයක්සේ කොට මේ සසුන් බඹසර පුරන්නට පහසු නොවේ. මම් කෙහෙරවුලු බහවා කසාවත් හැඳපෙරෙවැ ගිහිගෙන් පැවිදි බිම් වදනෙම් වීමි නම් යෙහෙකැ’යි මෙසේ නුවණින් සලකයි.

9          හේ පසු  කලෙක මදවු හෝ මහත්වු හෝ සම්පත් රැස හැරැ, මදවු හෝ මහත්වු හෝ නෑ පිරිස හැරැ, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ පෙරවැ ගිහිගෙන් පැවිදිබිම් වදී. හේ මෙසේ පැවිදි වුයේම ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සමන්විත වුයේ, ආචාරගෝචර දෙකින් යුත් වුයේ, අණු පමණ වුද වරදෙහි බිය දක්නේ, නිවරද කායවාක් කර්‍මයෙන් යුක්ත වුයේ එයින්ම පිරිසිදු ආජීවය ඇත්තේ, සිල්වත් වුයේ, ඉඳුරන්හි වැසු දොරැතියේ, බොජුන්හි පමණ දන්නේ, සිහිනුවණින් යුත්වුයේ, පසයෙහි තුන් සතුටින් සතුටුවුයේ, සිකපද සමාදන් කොට ගෙන හික්මෙයි.

10        පොට්ඨපාදය, මහණ තෙම කෙසේනම් සිල්වත් වේ ද යත්: පොට්ඨපාදය, මෙහි මහණ තෙම පණිවා හැරැ පණිවායෙන් වැළැක්කේ වෙයි. බහාතැබු දඩුමුගුරු ඇත්තේ, බහා තැබු අවි ඇත්තේ අයිනාදන් හැරැ අයිනාදනින් වැළැක්කේ වෙයි. අබ්රම්සර හැරැ බඹසැරි වෙයි. මුසවා හැරැ මුසවායෙන් වැළැක්කේ වෙයි. පිසුණුබස් හැරැ පිසුණු බසින් වැළැක්කේ වෙයි. පරොස් බස් හැරැ පරොස් බසින් වැළැක්කේ වෙයි. බොල් හිස්බස් බිණුම් හැරැ බොල් බසින් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.

11        බීජසමුහ භුත සමුහ සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ වෙයි. අත් පා ඈ සිඳීමෙන්ද මැරීමෙන්ද රැහැන් ආදියෙන් බැඳීමෙන්ද සැහැසිකම්වලින්ද වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.  

12        යම්සේ වනාහී ඇතැම් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා නැටුම් ගැයුම්..... බලසෙන් ගණිනා තැන් දක්නට යෑම යන මෙබඳු විසුළු දස්නෙහි යෙදී වෙසෙත්ද, හෙතෙමේ මේ හෝ මෙබඳු වු  විසුළුදස්නෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශිලයෙක්වේ.  

13        යම්සේ ඇතැම් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා අටපාකෙළිය දසපාකෙළිය..... විකලාංගාණුකරණය යන මෙබඳුවු පමාවට කරුණුවු දූකෙළියෙහි යෙදී වෙසෙත්ද, හේ මේ හෝ මෙබඳුවු දූකෙළියෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශිලයෙක්වේ.  

14        යම්සේ ඇතැම් භවත් මහණ බමුණෝ .....දික්සඟලා පුටුව ය පළඟ ය.... ඉස්දොරැ පාමුලැ රතු කොට්ට තබා ඇති යහනය යන මෙබඳුවු උස් යහන් මහ යහන් පරිහරණය කිරීමෙහි යෙදී වෙසෙත්ද, හෙතෙමේ මේ හෝ මෙබඳු උස් යහන් මහ යහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශිලයෙක්වේ.  

15        යම්සේ ඇතැම් භවත් මහණ බමුණෝ.... සුවඳ සුණුයෙන් ඇඟ ඉළීම, මනා සටහන් ගන්වනුවට තෙල්ගා මැඩීම..... දික් දහවලු ඇති සුදුරෙදී ඇඳීම යන ආදී ඇඟ අඩුතැන් පිරැවීමටත් ඇඟ සැරසීමටත් කරුණු වන දෑ පරිභෝග කිරීමෙහි යෙදී වෙසෙත්ද, හේ මේ හෝ මෙබඳු දෑ පරිභෝග කිරීමෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශිලයෙක්වේ.  

16        යම්සේ ඇතැම් භවත් මහණ බමුණෝ.... රාජකථා චෝරකථා..... ඉතිභවාභවකථා යන මෙබඳුවු තිරිසන් කථාවල යෙදී වෙසෙත්ද, හේ මේ හෝ මෙයින් අන්‍යවු හෝ මෙබඳු කථාවලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශිලයෙක්වේ.  

17        යම්සේ ඇතැම් භවත් මහණ බමුණො.....් ‘ තෝ මේ දහම් විනය නොදනී.... ඉදින් හැකිනම් එය විසඳව’යි යන මෙබඳු උනුන් බැණ දොඩා ගැනුම්වලැ යෙදී වෙසෙත්ද, ඒ මහණ මේ හෝ අන් මෙබඳු වු හෝ බැණුම්දෙඩුම්වලින් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශිලයෙක්වේ.  

18        යම්සේ ඇතැම් භවත් මහණ බමුණෝ.... ‘අසෝ තැනට මෙය ගෙනෙව’ යි කළ නියෝග පිළිගෙන රජුන්ගේ රජමහමැතියන්ගේ මෙබඳු දූත මෙහෙවරෙහි පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වෙසෙත්ද, ඒ මහණ තෙම  මේ හෝ අන් මෙවැනිවු හෝ දූතමෙහෙවරින් පණිවුඩ ගෙනැ යෑමෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශිලයෙක්වේ.  

19        යම්සේ ඇතැම් භවත් මහණ බමුණෝ........ කුහක කම් කරන්නෝ චාටු බස් දොඩන්නෝ..... ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත්ද, ඒ මහණ මේ හෝ අන් මෙබඳුවු කුහනලපන කෙරෙන්  වැළැකකේ වෙයි. මේද ඔහුගේ ශිලයෙක්වේ.  

20        යම්සේ ඇතැම් භවත් මහණ බමුණෝ...... අංගශාස්ත්‍රය නිමිත්ත ශාස්ත්‍රය මෘගපක්‍ෂය යන මේ හෝ මෙබඳු වු හෝ තිරශ්චීනවිද්‍යායෙන් මිත්‍යාජීවයෙන් දිවිපවත්වත්ද, ඒ මහණ එයින්  වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශිලයෙක්වේ.  

21        යම්සේ ඇතැම් භවත් මහණ බමුණෝ.... මිණිලකුණු කීම වත්ලකුණු කීම..... මුවලකුණු කීම ය යන මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මිත්‍යාජීවයෙන් දිවිපවත්වත්ද, ඒ මහණ මේ හෝ මෙබඳු හෝ තිරශ්චීන විද්‍යාව කෙරෙන් මිත්‍යාජීවය කෙරෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශිලයෙක්වේ.  

22        යම්සේ ඇතැම් භවත් මහණ බමුණෝ.... රජුන්ගේ සිය නුවරින් නික්මීම වන්නේය..... මොහුට පරාජය වන්නේ යැයි කියන්නෝ මෙබඳු තිරශ්චීනවිද්‍යාවෙන් මිත්‍යාජීවයෙන් දිවිපවත්වත්ද, හේ මේ හෝ මෙබඳු හෝ තිරශ්චීන විද්‍යායෙන් මිත්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශිලයෙක්වේ.  

23        යම්සේ ඇතැම් භවත් මහණ බමුණෝ........චන්ද්‍රග්‍රහණය වන්නේය.... සඳහිරු නකත්තරුන්ගේ නැගීම බැසීම කෙලෙසීම පිරිසිදුවීම මෙබඳු විපාක දෙන්නේයැයි කියන්නාහු මෙබඳු තිරශ්චීනවිද්‍යාවෙන් මිත්‍යාජීවයෙන් දිවිපවත්වත්ද, ඒ මහණ මේ හෝ මෙබඳු හෝ තිරශ්චීන විද්‍යාව කෙරෙන් මිත්‍යාජීව කෙරෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශිලයෙක්වේ.  

24        යම්සේ ඇතැම් භවත් මහණ බමුණෝ.... මෙ සමයෙහි මනා වැසි වන්නේයැයි කීම... ලෝකායතශාස්ත්‍ර හැදෑරවීම යන මෙබඳු තිරශ්චීන විද්‍යායෙන් මිත්‍යාජීවයෙන්  දිවිපවත්වත්ද, හේ මේ හෝ මෙබඳු හෝ තිරශ්චීනවිද්‍යායෙන් මිත්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශිලයෙක්වේ.

25        යම්සේ ඇතැම් භවත් මහණ බමුණෝ ආවාහ සඳහා නකත් කීම විවාහ සඳහා නකත් කීම සිරිකත කැඳවීම යන මේහෝ අන් මෙබඳුවු තිරශ්චීන විද්‍යායෙන් මිත්‍යාජීවයෙන්  දිවිපවත්වත්ද, ඒ මහණතෙම මේද අන් මෙබඳු වුද තිරශ්චීනවිද්‍යායෙන් මිත්‍යාජීවයෙන් වැලැක්කේ වෙයි. මේද ඔහුගේ ශිලයක්වේ.  

26        යම්සේ ඇතැම් භවත් මහණ බමුණෝ ශාන්තිකර්‍ම ප්‍රණිධිකර්‍මකාරම් බේත් බැඳ වණ සුවවු පසු ඒ ගලවා දැමීම  යන මෙබඳු තිරශ්චීනවිද්‍යායෙන් මිත්‍යාජීවයෙන්  දිවිපවත්වත්ද, හේ මහණ මේද අන් මෙබඳු වුද තිරශ්චීනවිද්‍යායෙන් මිත්‍යාජීවයෙන් වැලැක්කේ වෙයි. මේද ඔහුගේ ශිලයක්වේ.  

27        පොට්ඨපාදය, ඒ මහණ මෙසේ ශීලසම්පන්නවුයේ, ශීලසංවරය හේතුකොටගෙන කිසිම එකද අසංවරතායෙකින් ඇතිවියහැකි බියක් නොදකී. හේ මේ ආය්‍ර්‍ය ශීලස්කන්ධයෙන් සමන්විත වුයේ සිය සතන්හි නිදොස්වු කායික චෛතසික සුවය විඳී. පොට්ඨපාදය මෙසේ වනාහී මහණතෙම ශීලසම්පන්න වේ.  

28        පොට්ඨපාදය, මහණ කෙසේනම් ඉඳුරන්හි වැසු දොරැත්තේ වේද? පොට්ඨපාදය, මේ සස්නැ මහණ තෙම ඇසින් රුවක් දැක, එහි නිමිති නොගන්නේ වේ. අවයවයන්ගේ ආකාර සිතට නොගන්නේ වේ. මන ඉන්ද්‍රියෙහි සංවරයට පැමිනේ. හේ මේ ආර්‍යයවු ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වුයේ සිත් සතන්හි අව්‍යාසේක සුඛය විඳී. පොට්ඨපාදය, මෙසේ වනාහී මහණතෙම ඉඳුරන්හි වැසු දොරැත්තේ වෙයි.  

29        පොට්ඨපාදය, කෙසේනම් මහණ තෙම සිහිණුවනින් යුක්ත වේද? පොට්ඨපාදය, මෙහි මහණ ඉදිරියට යෑමෙහි පෙරලා ඊමෙහි මනා ණුවනින් දැනම එය කරනුයේ වෙයි. නිශ්ශබ්දභාවයෙහි මනා ණුවනින් දැනම එය කරනුයේ වෙයි. පොට්ඨපාදය, මෙසේ වනාහී මහණ තෙම සිහිණුවනින් යුත් වෙයි.  

30        පොට්ඨපාදය, මහණ තෙම කෙසේනම් සතුටුවේද? පොට්ඨපාදය, මෙහි මහණ තෙම කායපරිහරණයට ප්‍රමාණවු සිවුරින් සතුටු වුයේ වේ. පොට්ඨපාදය, යම්සේ පියා හඹනුවට තරම් අත්තටු ඇති කුරුලුතෙම යන යන තැන පියාපත් බර ඇතිවම පියා හඹා යේද, පොට්ඨපාදය, එසේම මහණතෙම තමා යනයන තැනට පාසිවුරු ඈ (පැවිදි අටපිරිකර) රැගෙනම යෙයි. පොට්ඨපාදය මෙසේම මහණතෙම සතුටුවෙයි.  

31        හේ මේ ආර්‍ය ශීලස්කන්ධයෙන්ද මේ ආර්‍ය ඉන්ද්‍රියසංවරයෙන්ද මේ ආර්‍ය සතිසමපජඤ්ඤයෙන්ද මේ ආර්‍ය සන්තුෂ්ඨියෙන්ද සමන්විත වුයේ අරණ්‍යය පිදුරුලෙනය යන යම්කිසි ජනවිවික්ත සෙනස්නක් බජයි. හේ පසුබත් සෙමෙහි පිණ්ඩපාතයෙන් පෙරලා ආයේ, පළක් බැඳ උඩුකය කෙළින් පිහිටුවා, කමටහනට යොමුකොට සිහිය එලවාහිඳී.  

32        හේ ලොවැ ඇල්ම හැරැ ක්‍රෝධය හැරැ ථීනමිද්ධය හැරැ උදහස් කුකුස් දෙක හැරැ සැකය හැරැ තිණු සැක ඇත්තේ, කුසල් දහම්හි සැක නොකරනුයේ වෙසෙයි.සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.  

පොට්ඨපාදය, යම්සේ මිනිසෙක් ණයක් ගෙන කර්‍මාන්ත කරන්නේද, ඔහුගේ ඒ කර්‍මාන්ත සමෘධවී නම් ඒ කරුණින් හේ සතුට ලබන්නේද, සොම්නසට පැමිණෙන්නේද,  

පොට්ඨපාදය, යම්සේ මිනිසෙක් ගිලන් වන්නේද හේ පසු කළෙක ඒ ගිලන් බැවින් මිදෙන්නේද ඒ කරුණින් හේ සතුට ලබන්නේද, සොම්නසට පැමිණෙන්නේද,  

පොට්ඨපාදය, යම්සේ මිනිසෙක් දඟගෙයි බැඳුණේ වන්නේද හේ පසු කලෙක ඒ දඟගෙයින් ධන නොවිසඳා සුවසේ මිදෙන්නේද හේ ඒ කරුණින් සතුට ලබන්නේද, සොම්නසට පැමිණෙන්නේද,  

පොට්ඨපාදය, යම්සේ දාසයෙක් වන්නේද හේ පසුකලෙක ඒ දාස බව කෙරෙන් මිදෙන්නේද හේ ඒ කරුණින් සතුට ලබන්නේද, සොම්නසට පැමිණෙන්නේද,  

පොට්ඨපාදය, යම්සේ ධනවත්, භෝග ඇති මිනිසෙක් ආහාර දුර්ලභ, උවදුරු ඇති, දිය නැති දික් කතරමගකට බස්නේද, හේ මෑත භාගයෙහි ඒ කතර ඉක්මැ යන්නේද හේ ඒ කරුණින් සතුට ලබන්නේද, සොම්නසට පැමිණෙන්නේද,  

පොට්ඨපාදය, එසේම මහණතෙම ණයක් මෙන්, ලෙඩක් මෙන්, දඟ ගෙයක්, මෙන් වහල්බවක් මෙන්, දුරුකතර මගක් මෙන්, ප්‍රහීණ නොවු මේ නීවරණ පස තමා කෙරෙහි දකී. පොට්ඨපාදය, ණයින් මිදුණු බව, අරෝග බව, සිරබැඳුමෙන් මිදුන බව, නිවහල් බව, උවදුරු නැති බිම යම්සේද, එසේම මහණ තෙම තමා කෙරෙහි ප්‍රහීණවු මේ නීවරණ පස දකී.  

33        මේ නීවරණ පස තමා කෙරෙහි ප්‍රහීණ වු නියා දක්නා ඔහුට සතුට උපදී. සතුටු වුවහුට ප්‍රීතිය උපදී. ප්‍රීති සිත් ඇත්තහුගේ නාම-රූප කය සංහිඳේ. සංහුන් කයැත්තේ සුව විඳී. සුවපත්හුගේ සිත එකඟ වෙයි. හේ කාමයන්ගෙන් වෙන්වම, අකුසල් දහමුන්ගෙන් වෙන්වම, විතර්‍කසහිත විචාරසහිත , ප්‍රීතිය හා සුඛ වේදනාව හා ඇති, විවේකයෙන් උපන් ප්‍රථමධ්‍යානය ලැබැ වෙසෙයි. ඔහුගේ යම් පළමු කාම සංඥාවෙක් වීද, එය නිරුද්ධ වෙයි. එකල්හි විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ නමැති සියුම් සංඥාව පහළ වුයේ වෙයි. එකල්හි හෙතෙම විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛසංඛ්‍යාත සුඛුමවු සංඥා ඇත්තේම වේ. මෙසේ ශික්‍ෂායෙන් (ප්‍රථමධ්‍යානයෙන්) එක් (ප්‍රථමධ්‍යාන) සංඥාව උපදී. ශික්‍ෂායෙන් එක් (කාම) සංඥාව නිරුද්ධ වෙයි. මේ ශික්‍ෂා යැයි භාග්‍යවතුන් වහන්සේ වදාල සේක.  

“තව ද අනෙකක් කියමි. පොට්ඨපාදය මහණ තෙම විතර්‍කවිචාරයන්ගේ සංහිඳීමෙන් තමා තුළ සිතැ පහන් බව කරන, සිතැ එකඟ බව ඇති, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති, දෙවෙනි ධ්‍යානය ලැබ වෙසෙයි. ඔහුගේ විවේකයෙන් උපන් ප්‍රිතිසුඛසංඛ්‍යාත සත්‍යවු යම් පළමු සංඥාවෙක් වීද එය නිරුද්ධ වෙයි. එසමයෙහි සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ සංඛ්‍යාත සියුම්වු සත්‍ය සංඥාව වෙයි. හෙ තෙම එකල්හි සමාධියෙන් උපන් ප්‍රීතිසුඛසංඛ්‍යාත සියුම් සත්‍ය සංඥා ඇත්තේ ම වෙයි. මෙසේ ශික්‍ෂායෙන් (ද්වීතීයධ්‍යානයෙන්) එක් සංඥාවක් උපදී. එක්  සංඥාවෙක් (හෙවත් ප්‍රථමධ්‍යනසංඥාව) නිරුද්ධ වෙයි. මේ ද ශික්‍ෂාවකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාල සේක.  

“තව ද පොට්ඨපාදය, මහණ තෙම ප්‍රීතිය ද දුරැ ලීමෙන් උපේක්‍ෂක ද වුයේ, සිහි ඇත්තේ, නුවණ ඇත්තේ වෙසෙයි. සුවයද නාමකයින් විඳී. ‘උපේක්‍ෂා ඇති සිහි ඇති සුව විසුම් ඇත්තේ’ යැයි (යමක් කරණකොට ගෙන) ආර්‍ය්‍යයෝ යම් පුඟුලක්හු පවසත්ද, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වෙසෙයි. ඔහුට සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති සියුම්වු යම් පළමු සත්‍ය සංඥාවෙක් වී නම්, එය නිරුද්ධ වෙයි. ධ්‍යානොපෙක්‍ෂා සුඛය ඇති (ඖදාරිකාංග ප්ර්‍‍රහීණ වු බැවින් ) සියුම්වු සත්‍ය සංඥාව එසමයෙහි වෙයි. එකල්හි හේ උපෙක්‍ෂා සුඛය ඇති සියුම්වු සත්‍ය සංඥා ඇත්තෙක්ම වෙයි. මෙසේත් ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් උපදී. ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් නිරුද්ධ වෙයි. මේ ද ශික්‍ෂාවකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාල සේක.  

“තව ද පොට්ඨපාදය මහණතෙම කායික සුඛයාගේ ද ප්‍රහාණයෙන්, කායික දු:ඛයාගේද ප්‍රහාණයෙන්, පෙරම (පළමු දෙවෙනි තෙවෙනි ධ්‍යානයන්ගේ උපචාර අවස්ථායෙහි ම) සොම්නස් දොම්නස් දෙදෙනාගේ  දුරුවීමෙන්, දුක් නොවු, සුවද නොවු, උපෙක්‍ෂායෙන් උපන් සිහියේ පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වෙසේ. ඔහුට උක්‍ෂො සුඛය ඇති සියුම් වු යම් පළමු සංඥාවෙක් වී ද, එය නිරුද්ධ වෙයි. දුක් ද නො වු සුව ද නොවු සියුම් වු සත්‍ය සංඥාව එකල්හි වෙයි. එසමයෙහි හේ අදු:ඛ අසුඛ  සුක්‍ෂමසත්‍ය සංඥී ම වෙයි. මෙසේ ද ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් උපදී. ශික්‍ෂායෙන් එක්  සංඥාවෙක් නිරුද්ධ වෙයි. මේ ද ශික්‍ෂාවකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාල සේක.  

“තව ද පොට්ඨපාදය, මහණ තෙම හැම අයුරින්ම රූපසංඥා ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥා දුරුවීමෙන්, නානත්වසංඥා නොමෙනෙහි කිරීමෙන්, අහස අනන්ත යැයි (කමටහන් වඩා) ආකාසානඤ්චායතන ධ්‍යානය ලැබ වෙසෙයි. ඔහුගේ යම් පළමු රූප සංඥාවෙක් වී නම් එය නිරුද්ධ වෙයි. ආකාසානඤ්චායතන ධ්‍යාන සංඛාත සියුම් සත්‍ය සංඥාව එ සමයෙහි ඔහුට වෙයි. එකල්හි හේ ආකාසානඤ්චායතන සුඛසංඛ්‍යාත  සියුම් සංඥා ඇත්තෙක් ම වෙයි. මෙසේත් ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් උපදී. ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් නිරුද්ධ වෙයි. මේ ද ශික්‍ෂාවකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාල සේක.  

“තව ද පොට්ඨපාදය, මහණ තෙම හැම අයුරින්ම ආකාසානඤ්චායතනය ඉක්මැ, ‘විඥාණය අනන්තයැ’යි (කමටහන් වඩා) විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය ලැබ වෙසෙයි. ඔහුගේ යම් පළමු ආකාසානඤචායතන ධ්‍යානයෙන් යුක්ත සියුම්වු සත්‍ය සංඥාවෙක් වීද එය නිරුද්ධ වෙයි.  විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයෙන් යුක්ත සියුම්වු සත්‍ය සංඥාව එසමයෙහි වෙයි. එකල්හි හේ  විඤ්ඤාණඤ්චායතන ධ්‍යාන යුක්ත සියුම් සංඥා ඇත්තෙක්ම වෙයි. මෙසේ ද ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් උපදී. ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් නිරුද්ධ වෙයි. මේ ද ශික්‍ෂාවකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාල සේක.  

“තවද පොට්ඨපාදය, මහණ තෙම හැම අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මැ, ‘කිසිත් නැතැ’යි (කමටහන් වඩා) ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වෙසෙයි. පළමු යම් විඤ්ඤාණඤ්චායතන සුක්‍ෂම සත්‍ය සංඥාවෙක් වීද එය නිරුද්ධ වෙයි.  එකල්හි ඔහුට  ආකිඤ්චඤ්ඤායතන යුක්ත සුක්‍ෂම සත්‍ය සංඥාව වෙයි. හේ එ කලැ  ආකිඤ්චඤ්ඤායතන සුක්‍ෂම සත්‍ය සංඥීම වෙයි. මෙසේ ද ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් උපදී. ශික්‍ෂායෙන් එක් සංඥාවෙක් නිරුද්ධ වෙයි. මේ ද ශික්‍ෂාවකැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාල සේක.  

“පොට්ඨපාදය, යම් මහණෙක් මෙහි ස්වකසංඥාව ඇත්තේ (තමාගේ ප්‍රථමධ්‍යන සංඥායෙන් සංඥාවත් ) වේ ද, හේ එයින් ඔබ්බෙහි දෙවෙනි ධ්‍යානයට ද, එයිනුත් ඔබ්බෙහි තෙවෙනි ධ්‍යානයට දැ යි මෙසේ පිළිවෙළින් (ගොස්) කෙළවරැ සංඥාග්‍රය  (ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය) ස්පර්‍ශ කෙරෙයි (ලබයි). සංඥාග්‍රයෙහි සිටි ඔහුට “සිතන (දහන් සමවදන) මාගේ ඒ ක්‍රියාව ලාමකය. නොසිතන (දහන් නොසමවදන) මාගේ ඒ නොසම වැදීම උතුමි. මම් වු කලී සිතන්නෙම් නම් (පුන පුනා දහන් සමවදනෙම් නම්), මතු සමවත් පිණිස අභිසංස්කාර කරන්නෙම් නම් (කමටහන් වඩන්නෙම් නම්), මාගේ මේ සංඥාවෝත් නිරුද්ධ වන්නාහු ය. අන් ඖදිරික (භවාංග) සංඥාවෝත් උපදනාහු ය. එබැවින් ‘මම් නො සිතන්නෙම් විම් නම්, අභිසංස්කාර නො කරන්නෙම් වීම් නම් යෙහෙකැ’යි මෙසේ සිතෙක් වෙයි. හේ නො ද සිතයි (දහන් නො සමවදී). අභිසංස්කාර නොකෙරෙයි (මතු සමවත් පිණිස කමටහන් නො වඩයි). නො සිතන අභිසංස්කාර නො කරන ඔහුගේ ඒ සංඥාවෝ ද නිරුද්ධ වෙත්. අන් ඖදාරික සංඥාවෝ ද නො උපදිත්. (එසේ වු හේ නිරෝධය ස්පර්ශ කෙරෙයි (සංඥා වෙදයිත නිරෝධය ලබයි). පොට්ඨපාදය, මෙසේ වනාහී අනුපුබ්බාභිසඤ්ඤානිරෝධසම්පජාන සමාපත්තිය (දන්නහුගේ පිලිවෙලින් සඤ්ඤා නිරෝධයට සමවැදීම) වෙයි.  

පොට්ඨපාදය එය කිමැ යි සිතහි ද? තා විසින් පෙරැ මෙබඳුවු පිළිවෙළින් සංඥා නිරෝධයට සමවැදීම ඇසු විරූ දැ?” යි (භාග්‍යවතුන් වහන්සේ වදාල සේක).  

“වහන්ස, මෙය නැත් ම ය (නො ඇසු විරූ ම ය ). පොට්ඨපාදය, යම් මහණෙක් මෙහි ස්වක සංඥා ඇත්තේ (තමාගේ ප්‍රථමධ්‍යාන සංඥායෙන් සංඥාවත්) වේ ද, හේ එයින් මතුමත්තෙහි දෙවෙනි ධ්‍යානයට ද, එයිනුත් මත්තෙහි තෙවෙනි ධ්‍යානයට දැ යි මෙසේ පිළිවෙළින් (ගොස්) කෙළැවරැ සංඥාග්‍රය (ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය) ලබයි. සංඥාග්‍රයෙහි සිටි ඔහුට ‘සිතන්නාවු (දහන් සමවදනාවු) මාගේ ඒ ක්‍රියාව ලාමකය. නොසිතන (දහම් නොසමවදන) මාගේ ඒ නොසමවැදීම උතුමි. මම් වු කලී සිතන්නෙම් නම් (පුන පුනා දහම් සමවදින්නෙම් නම්) මතු සමවත් පිණිස අභිසංස්කාර කරන්නෙම් නම් (කමටහන් වඩන්නෙම් නම්) මාගේ මේ සංඥාවෝත් නිරුද්ධ වන්නාහ. අන් ඖදාරික (භවාංග) සංඥාවෝත් උපදනාහ. එබැවින් මම් නොසිතන්නෙම් වීම් නම්, අභිසංස්කාර නොකරන්නෙම් වීම් නම්, යෙහෙකැ’යි මෙසේ සිතෙක් වෙයි. හේ නො ද සිතයි (දහන් නො සමවදී). අභිසංස්කාර නො කෙරෙයි (මතු සමවත් පිණිස කමහන් නො වඩයි). නො සිතන අභිසංස්කාර නො කරන ඔහුගේ ඒ සංඥාවෝ ද නිරුද්ධ වෙත්. අන් ඖදාරික සංඥාවෝ ද පහල නො වෙත්.

එසේවු හේ නිරෝධය ස්පර්‍ශ කෙරෙයි, (සංඥාවෙදයිතනිරෝධය ලබයි).පොට්ඨපාදය, මෙසේ වනාහී අනුපුබ්බාභිසඤ්ඤානිරෝධසම්පජානසමාපත්තිය (පිළිවෙළින් සංඥා නිරෝධයට සමවැදීම)වේ’ යැ යි වහන්ස, මෙසේම මම් භාග්‍යවතුන් වහන්සේ වදාළා දනිමි” යි පොට්ඨපාද තෙම කීය.  

“පොට්ඨපාදය, එසේ ම යැ”යි භාග්‍යවතුන් වහන්සේ වදාල සේක.  

[පොට්ඨපාද:] “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ එක ම සංඥාග්‍රයක් පණවන සේක් ද? නැතහොත් බොහෝ සංඥායනුත් පණවන සේක් ද?”  

(භාග්‍යවතුන් වහන්සේ) “පොට්ඨපාදය, මම  එක් සංඥාග්‍රයකුත් පණවමි. බොහෝ සංඥාග්‍රත් පණවමි.”  

[පොට්ඨපාද:] “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් එක ම සංඥාග්‍රයකුත් පණවන සේක්ද? බොහෝ සංඥාග්‍රයනුත් පණවන සේක්ද?”  

(භාග්‍යවතුන් වහන්සේ) “පොට්ඨපාදය, යම් යම් පරිද්දෙකින් (යම් යම් කසිණාදී අරමුණෙකින් හෝ යම් යම් ප්‍රථමධ්‍යානාදී ධ්‍යානයෙකින්) මහණ තෙම නිරෝධය ස්පර්‍ශ කෙරේ ද, එසේ එසේ (ඒ ඒ කසිණාදියෙන් ඒ ඒ ධ්‍යානයෙන්) මම  එක් සංඥාග්‍රයක් පණවමි. බොහෝ සංඥාග්‍රත් පණවමි.”  

[පොට්ඨපාද:] “වහන්ස, (නිරෝධයෙන් නැගී සිටුනාහට) අර්හත්වඵල සංඥාව පළමුවත් ප්‍රත්‍යවෙක්‍ෂාඥාණය පසු වත් උපදී ද? නැතහොත් ප්‍රත්‍යවෙක්‍ෂාඥාණය පළමුවත් අර්හත්වඵල සංඥාව පසුවත් උපදී ද? නොහොත් අර්හත්වඵල සංඥාවත් ප්‍රත්‍යවෙක්‍ෂාඥාණයත් යන දෙකම ඉදිරි පසු නොව එක්විටම උපදී ද?”  

[භාග්‍යවතුන් වහන්සේ:] පොට්ඨපාදය, අර්හත්වඵල සංඥාව වනාහී පළමුව උපදී. ප්‍රත්‍යවෙක්‍ෂාඥාණය පසුව උපදී. අර්හත්වඵල සංඥාවගේ ද ඉපැද්මෙන් ප්‍රත්‍යවෙක්‍ෂාඥාණයාගේ ඉපැද්ම වේ. හෙ තෙම මේ අරහත්ඵලසමාධිසංඥා හෙතුයෙන් ‘මට ප්‍රත්‍යවෙක්‍ෂාඥාණය උපනැ’යි දැන ගනී. පොට්ඨපාදය, ‘සංඥාව පළමුවද ඥාණය පසුවද උපදී. සංඥාවගේ ඉපැද්මෙන් වනාහී ඥාණයාගේ ඉපැද්ම වේ’ය යනු මෙසේ මෙ කරුණෙන් දත යුතු.  

[පොට්ඨපාද:] “වහන්ස, සංඥාව පුරුෂයාගේ ආත්මය ද? නැතහොත් සංඥාව අනෙකෙකුත් ආත්මය වෙන එකකුත් වේ ද?”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, තෝ තුමක් නම් ආත්මය කොට සලකයිද?”  

[පොට්ඨපාද:] “වහන්ස, සතර මහා භුතයන්ගෙන් නිපන් කබලීකාර ආහාරය බුදිනා රූපවත් වු ඖදාරික දැයක් ආත්ම කොට සළකමි.”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, තාගේ ආත්මය සතර මහා භුතයන් ගෙන් නිපන් කබලීකාර ආහාරය බුදිනා රූපවත් ඖදාරික දැයෙක් වන්නේ නම්, මෙසේ ඇති කල්හි තොපට සංඥාව අනෙකකුත් ආත්මය වෙන එකෙකුත් වන්නේ ය. පොට්ඨපාදය, මෙ කරුණිනුත් ‘සංඥාව අනිකකුත් ආත්මය වෙන එකකුත් වන්නේ ය’ යන මෙය දත යුතු.”  

“පොට්ඨපාදය, සතර මහා භුතයන්ගෙන් උපන් රූපවත්වු කබලීකාර ආහාරය බුදිනා ඒ මේ ආත්මය සිටීවා වැලි පුරුෂයාට අන්‍ය වු ම සංඥාවෝ උපදිත්. අන්‍ය වු ම සංඥාවෝ නිරුද්ධ වෙත්. පොට්ඨපාදයෙනි, ‘සංඥාව අනෙකක්ම වන්නේ ය. ආත්මය වෙන එකක්ම වන්නේ ය.’ යන මෙය මෙ කරුණින් දත යුතු.”  

[පොට්ඨපාද:] “වහන්ස, මම් ආත්මය සියලු අඟපසඟ ඇති, නොපිරිහුණු ඉඳුරන් ඇති මනොමය දැයක් කොට සළකමි.”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, තාගේ ආත්මය සියලු අඟපසඟ ඇති, නොපිරිහුණු ඉඳුරන් ඇති මනොමය දැයෙක් වන්නේ නම්, එසේ ඇති කල්හි ද තා හට සංඥාව අනෙකෙක් ම ආත්මය වෙන එකෙක් ම වන්නේය. පොට්ඨපාදය, මෙ කරුණිනුත් ‘සංඥාව අනෙකෙකුත් ආත්මය වෙන එකෙකුත් වන්නේ ය’ යන මෙය දත යුතු.”  

“පොට්ඨපාදය, සියලු අඟපසඟ ඇති, නොපිරිහුණු ඉඳුරන් ඇති මේ මනොමය ආත්මය සිටීවා. වැලි මේ පුරුෂයාට අන්‍ය වු ම සංඥාවෝ උපදිත්. අන්‍ය වු ම සංඥාවෝ නිරුද්ධ වෙත්. පොට්ඨපාදයෙනි, ‘සංඥාව අනෙකෙක් ම ද ආත්මය වෙන එකෙක් ම ද වන්නේ ය’ යන මෙය මෙ කරුණිනුත් දත යුතු.”  

[පොට්ඨපාද:] “වහන්ස, මම් ආත්මය සංඥාමය වු අරූපී දැයක් කොට සළකමි.”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, තාහට ආත්මය සංඥාමයවු අරූපී දැයක් වන්නේ නම්, මෙසේ ඇති කල්හි ද සංඥාව අනෙකෙක් ම ද, ආත්මය වෙන එකෙක් ම වන්නේ ය. පොට්ඨපාදය, ‘සංඥාව අනෙකෙක්ම වන්නේ ය, ආත්මය වෙන එකෙකුත් වන්නේ ය’ යන මෙය මේ කාරණයෙනුත් දත යුතු.”පොට්ඨපාදය මේ සංඥාමය වු අරූපී ආත්මය සිටීවා. එසේ කළැ මේ පුරුෂයාට අන්‍ය ම සංඥාවෝ උපදිත්. අන්‍ය ම සංඥාවෝ නිරුද්ධ වෙත්. පොට්ඨපාදය, ‘සංඥාව අන් එකෙක් ම ද ආත්මය වෙන එකෙක් ම ද වන්නේය’ යන මෙය මේ කාරණයෙනුත් මෙසේ දත යුතු .  

[පොට්ඨපාද:] “වහන්ස, ‘සංඥාව පුරුෂයාගේ ආත්මය ද, නොහොත් සංඥාව එකකුත් ආත්මය අනෙකෙකුත්  වේ ද’ යන මෙය මා විසින් දැන ගන්නට හැකිද?”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, අන්‍ය දෘෂ්ඨික වු අන්‍ය ලබ්ධික වු අන්‍ය රුචික වු, අන්‍ය ප්‍රතිපත්තියෙක යෙදුණු අන්‍ය තීර්‍ථායතනයක ආචාර්‍ය්‍ය වු තා විසින් ‘සංඥාව පුරුෂයාගේ ආත්මය දැ’යි හෝ ‘සංඥාව අනෙකෙක, ආත්මය අනෙකෙකැ’යි හෝ මෙය දත නො හැක්ක.”  

[පොට්ඨපාද:] “වහන්ස. ඉදින් අන්‍ය දෘෂ්ඨික වු අන්‍ය ලබ්ධික වු අන්‍ය රුචික වු, අන්‍ය ප්‍රතිපත්තියෙක යෙදුණු අන්‍ය තීර්‍ථායතනයක ආචාර්‍ය්‍ය වු මා විසින් ‘සංඥාව පුරුෂයාගේ ආත්මය ද? නැතහොත්  සංඥාව අනෙකෙක ආත්මය වෙන එකෙකුත් වේදැ’යි හෝ මෙය නො දත හැකි නම්, කිමෙක් ද වහන්ස, ‘ලොකය (ආත්මය) ශාශ්වතය’ යන මේ කීම සත්‍ය ද (මෙයට වෙනස්) සෙසු කීම් හිස් (අසත්‍ය) ද?”  

[භාග්‍යවතුන් වහන්සේ:] පොට්ඨපාදය, ‘ලොකය ශාශ්වතය’ යන මෙය ම සත්‍යය, ‘සෙස්ස හිස් යැ’යි  මෙය මා විසින් නො පවසන ලදී .  

[පොට්ඨපාද:] “වහන්ස, කිම? ‘ලොකය (ආත්මය) අශාශ්වත ය’ යන මෙය ම සත්‍ය ද මෙයින් අන්‍ය සෙසු කීම් හිස් ද?”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, ලොකය අශාශ්වත ය යන මෙය ම සත්‍ය ය සෙස්ස හිස් යැ’යි  මෙයද මා විසින් නොපවසන ලදී .”  

[පොට්ඨපාද:] “වහන්ස, කිමෙක්ද? ලොව (ආත්මය) අනන්තවත් ද? මෙය ම සත්‍ය ද? සෙස්ස හිස් ද?”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, ලොව (ආත්මය) අනන්තවත් ය මෙය ම සත්‍ය ය සෙස්ස හිස් යැ’යි  මෙයද මා විසින් නොපවසන ලදී.”  

[පොට්ඨපාද:] “වහන්ස, කිම ලොව (ආත්මය) අනන්ත ද? මෙය ම (මේ ලොව අනන්තය යන්න ම) සත්‍ය ද? සෙස්ස හිස් ද?”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, ලොව අනන්ත ය, මෙය ම සත්‍ය ය සෙස්ස හිස් යැ’ යන මෙයද මා විසින් නොපවසන ලදී.”  

[පොට්ඨපාද:] “වහන්ස, කිමෙක් ද? ජිවයත් ශරීරයත් එකක් ම ද?මෙය ම  සත්‍ය ද? සෙස්ස මිත්‍යා ද?”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, ජිවයත් ශරීරයත් එකක් ම ය, මෙය ම සත්‍ය ය සෙසු සියල්ල මිත්‍යා ය’ යන මෙය ද මා විසින් නො පවසන ලදී.”  

[පොට්ඨපාද:] “වහන්ස, කිමෙක් ද? ජිවයත් ශරීරයත් වෙන් වෙන් වු දෙදෙනෙක් ද? මෙය ම  සත්‍ය ද? සෙසු සියල්ල මිත්‍යා ද?”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, ‘ජිවයත් ශරීරයත් වෙන් වෙන් වු දෙදෙනෙකැ යි, මෙය ම සත්‍යයැ යි, අන් සියල්ල මිත්‍යා යැ’යි මෙය ද මා විසින් නො පවසන ලදී.”  

[පොට්ඨපාද:]”වහන්ස, සත්ත්ව (ආත්ම) තෙම මරණින් මත්තෙහි වේ ද? මෙය ම  සත්‍ය ද? (මෙයට විරුද්ධ) සෙසු සියල්ල මිත්‍යා ද?”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, සත්ත්ව (ආත්ම) තෙම මරණින් මත්තෙහි වේ යැ යි,  මෙය ම සත්‍ය යැ යි, සෙසු සියල්ල මිත්‍යා’ යි මෙයද මා විසින් නො පවසන ලදී.”  

[පොට්ඨපාද:] “වහන්ස, කිමෙක් ද? සත්ත්ව (ආත්ම) තෙම මරණින් මතු නො වේද? මෙය ම  සත්‍ය ද? සෙසු සියල්ල මිත්‍යා ද?”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, සත්ත්ව (ආත්ම) තෙම මරණින් මතු නො වේ ය, මෙය ම සත්‍ය ය, සෙසු සියල්ල මිත්‍යාය’ යන මෙය ද මා විසින් නො පවසන ලදී.”  

[පොට්ඨපාද:] “වහන්ස, කිම, තථාගත (සත්ත්ව) තෙම මරණින් මතු වන්නේත් නොවන්නේත් වේ ද? මෙය ම  සත්‍ය ද? සෙසු සියල්ල මිත්‍යා ද?”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, තථාගත (සත්ත්ව) තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වේ, මෙය ම සත්‍ය ය, සෙස්ස මිත්‍යා ය’ යන මෙය ද මා විසින් නො පවසන ලදී.”  

[පොට්ඨපාද:] “වහන්ස, කිමෙක් ද? තථාගත (සත්ත්ව) තෙම මරණින් මතු නො ම වන්නේත් නො ම නොවන්නේත් වේ ද? මෙය ම  සත්‍ය ද? සෙස්ස මිත්‍යා ද?”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, තථාගත තෙම මරණින් මතු නො ම වන්නේත් නො ම නොවන්නේත් වේ යැ යි ද, මෙය ම සත්‍ය යැ යි සෙස්ස මිත්‍යා යැ යි ද යන මෙයත් මා විසින් නො පවසන ලදී.”  

[පොට්ඨපාද:] “වහන්ස, කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය නො පවසන ලද ද?”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදයෙනි, මේ (ලොව ශාශ්වතය යන ආදී) දෘෂඨි දෙලෝ වැඩ හෝ අත්වැඩ පරවැඩ අසලේ නො වෙයි. ලොවුතුරු දහම් අසලේ නො වෙයි. සසුන් බඹසරේහි ආදිය වු අධිශීල ශික්‍ෂා මාත්‍රයෙකුත් නො වෙයි. සසරැ කලකිරෙනු පිණිස, සසරැ නො ඇලෙනු පිණිස, සසර ගමන නවත්වනු පිණිස, සසර වට සංහිඳුවනු පිණිස, සසරැ වට පසක් කරනු පිණිස, සසර වට අවබෝධ කරනු පිණිස, අමා මහ නිවන් පසක් කරනු පිණිස නො පවතී. එහෙයින් එය මා විසින් නො පවසන ලදී.”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදයෙනි, දුක් නම් මේ මැ යි මා විසින් කියන ලදී. දු:ඛසමුදය නම් මේ මැ යි  දු:ඛනිරෝධය නම් මේ මැ යි දු:ඛනිරෝධයට යන පිළිවෙත නම් මේ මැයි මා විසින් කියන ලදී.”  

[පොට්ඨපාද:] “වහන්ස, කවර හෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලද ද?”  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදයෙනි, මෙය ම දෙලෝ වැඩ ද අත්වැඩ පරවැඩ ද අසලේ වෙයි. මේ ම ලොවුතුරු දහම් අසලේ වෙයි. මෙය (දැනුම) සසුන්බඹසරට ආදි වු අධිශීලශික්‍ෂාව වැඩීම පිණිස පවත්නේ වෙයි. මෙය ම සසරැ කලකිරීම පිණිස, සසරැ නොඇල්ම පිණිස,  දුක් නසනු පිණිස, දුක් සංහිඳුවනු පිණිස, දුක් පසක් කරනු පිණිස,  සසර වට දැන ගනු පිණිස, අමා මහ නිවන් පසක් කරනු පිණිස පවතී. එහෙයින් මෙය මා විසින් කියන ලදී.”  

[පොට්ඨපාද:] “භාග්‍යවතුන් වහන්ස, ඒ එසේය. සුගතයන් වහන්ස, ඒ එසේය. භාග්‍යවතුන් වහන්සේ යම් පිණ්ඩපාත ගමනකට කලැ යි හඟිනා සේක් ද, දැන් එයට කාලය ය.”  

ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගී නික්මි සේක.  

එකල්හි ඒ පිරිවැජියෝ භාග්‍යවතුන් වහන්සේ නික්මැ වැඩි නොබෝ වේලායෙහි පොට්ඨපාද පිරිවැජියාට හාත්පසින් වචන නැමැති අඩයටියෙන් මතුමත්තෙහි අනින්නාහු ‘මහණ ගොයුම් යමක් කියා නම්, ඒ එසේය, භාග්‍යවතුන් වහන්ස, ඒ එසේය, සුගතයන් වහන්සැ’ යි ඔහුගේ ඒ හැම වචනයක්ම සතුටින් පිළිගනී. ‘ලෝකය(ආත්මය) ශාශ්වතයැ’යි කියා හෝ, ‘ලොකය අශාශ්වතයැ’යි කියා හෝ’ ලෝකය(ආත්මය) අන්තවත් යැ’යි කියා හෝ ‘ලොකය අනන්ත යැ’යි කියා හෝ, ශරීරයත් ජීවයත් එකක් මැ යැ’ යි කියා හෝ, ඒ වෙන් වෙන් දෙකෙක් මැ යැ’ යි කියා හෝ, සත්වයා (ආත්මය) මරණින් මතු වෙතැ’යි කියා හෝ ‘නො වෙතැ යි’ කියා හෝ ‘වන්නේත් නොවන්නේත් ඇතැ’යි කියා හෝ ‘නො ම වන්නේත් නො ම නො වන්නේත් ඇතැ’යි කියා හෝ මහණ ගොයුම්හු ඒකාන්ත කොට දෙසු කිසි දහමක් අපි නොදනිමු” යි කීහ.  

මෙසේ කී කල්හි පොට්ඨපාද පිරිවැජි තෙම “භවත්නි ලෝකය ශාශ්වත යැ’යි හෝ ‘ලොකය අශාශ්වත යැ’යි හෝ... ‘සත්ව (ආත්ම) තෙම මරණින් මතු නොමවන්නේත් වේ, නොම නෙවන්නේත් වේ යැ’යි හෝ මහණ ගොයුම් වහන්සේ විසින් ඒකාන්ත කොට දෙසන ලද කිසි දහමක් මමත්  නො දනිමි. එතෙකුදු වුවත් මහණ ගොයුම් වහන්සේ ධර්‍මස්ථිත වු ලොවුතුරා දහම් (උපදවන,) ඒකාන්තයෙන් ලොවුතුරා දහම් සපයන, එකාන්තයෙන් විද්‍යාමාන, සත්‍ය වු අවිපරීත පිලිවෙතක් (මඟක්) පණවන සේක, ලොවුතුරා දහම් උපදවන, ඒකාන්තයෙන් ලොවුතුරා දහම් සපයන, ඒකාන්තයෙන් විද්‍යාමාන සත්‍ය සැබෑ පිළිවෙතක් පණවන මහණ ගොයුම් වහන්සේගේ සුභාෂිත වචනය සුභාෂිත විසින් මා වැනි සිහිනුවණැතියෙක් කෙසේ නම් සතුටින් පිළිගත නො හෙන්නේ දැ?”යි ඒ පිරිවැජියනට කී ය.  

ඉක්බිත්තෙන් දෙතුන් දිනක් ඇවෑමෙන් ඇත්සැරිපුත් චිත්‍ර නමැත්තෙක් ද පොට්ඨපාද පරිව්‍රාජක ද භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹුනහ. එළැඹ ඇත්සැරිපුත් චිත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් වැ හුන්නේ ය. පොට්ඨපාද පිරිවැජි තෙම භාග්‍යවතුන් වහන්සේ හා සතුටු විය. සතුටට කරුණු වු සිත රැඳවිය යුතු වු (සිහි කටයුතුවු) කථාව කොට නිමවා, එකත්පස් වැ හුන්නේ ය. එකත්පස් වැ හුන් පොට්ඨපාද පිරිවැජි තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. “වහන්ස, එදා භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නොබෝ වේලායෙහි ඒ පිරිවැජියෝ මට “මේ භවත් පොට්ඨපාද තෙම මහණ ගොයුමන් කියන දැය එසේ ය, භාග්‍යවතුන් වහන්ස,  එසේය, සුගතයන් වහන්සැ’ යි කියමින් සතුටින් පිළිගනී: ‘ලොව (ආත්මය) ශාශ්වත යැ යි හෝ ලොව අශාශ්වත යැ’ යි හෝ ‘ලොව අන්තවත් යැ’ යි හෝ අනන්ත යැ’යි හෝ ජීවයත් ශරීරයත් එකෙක් ම යැ යි හෝ ජීවයත් ශරීරයත් වෙන් වෙන් දෙකෙකැ යි හෝ ආත්මය මරණින් මතු වෙතැ යි හෝ සත්ත්වයා (ආත්මය) මරණින් මතු නො වෙතැ යි හෝ ආත්මය මරණින් මතු වන්නේත් නොවන්නේත් වේ යැ යි හෝ ආත්මය මරණින් මතු නො ම වන්නේත් නො ම  නොවන්නේත් වෙයි හෝ මහණ ගොයුම්හු ඒකාන්ත කොට දෙසු කිසි දහමක් අපි නො දනුම්හ’ යි කියමින් වචන නමැති අඩයටියෙන් හාත්පසින් මට පුන පුනා ඇන්නාහ. වහන්ස, ඔවුන් විසින් එසේ කියනු ලැබු මම් ඒ පිරිවැජියනට ‘භවත්නි, ලොව ශාශ්වත යැ යි හෝ... ආත්මය මරණින් මතු නො ම වන්නේත් නො ම  නො වන්නේත් වේ යැ යි හෝ මහණ ගොයුමන් වහන්සේ ඒකාන්ත කොට දෙසු කිසි දහමක් මමත් නො දනිමි.  එහෙත් මහණ ගොයුමන් වහන්සේ ලොවුතුරා දහම් උපදවන, ඒකාන්තයෙන් ලොවුතුරා දහම් සපයන, එකාන්තයෙන් විද්‍යාමාන, සත්‍යවු අවිපරීත පිලිවෙතක් පණවන සේක. එකාන්තයෙන් ලොවුතුරා දහම් උපදවන එකාන්තයෙන් ලොවුතුරා දහම් සපයන, එකාන්තයෙන් විද්‍යාමාන, සත්‍ය වු අවිපරීත පිලිවෙතක් පණවන මහණ ගොයුමන් වහන්සේගේ සුභාෂිත වචනය සුභාෂිත විසින් සිහි නුවණැති මා වැන්නෙක් කෙසේ නම් සතුටින් නො පිළිගනු හැකි වන්නේදැ’යි කීමි.”  

(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාල සේක.)

“පොට්ඨපාදය, ඒ සියලු පිරිවැජියෝ නුවණැස් නැතියෝ ය. අන්ධයෝ ය. ඔවුන් අතුරින් සුභාෂිත දුර්භාෂිත දන්නා නුවණැස් ඇතියේ තො ම ය. පොට්ඨපාදය, එකාන්ත කොට මා විසින් දෙසුණු පැණැවු දහම් ද ඇත. පොට්ඨපාදය, එකාන්ත නො කොට මා විසින් දෙසුණු පැණැවු දහම් ද ඇත.  

පොට්ඨපාදය, මා විසින් එකාන්ත නොකොට දෙසුණු පැණැවු ඒ දහම් කවරහ? පොට්ඨපාදය, ලොව (ආත්මය) ශාශ්වත යැ යි හෝ එකාන්ත නො කොට මා විසින් දහම් දෙසන ලදී. පණවන ලදී. පොට්ඨපාදය, ලොව (ආත්මය) අශාශ්වත යැ යි හෝ  එකාන්ත නො කොට දහම් දෙසන ලදී. පණවන ලදී. පොට්ඨපාදය, ලොව (ආත්මය) අනන්තවත් යැ යි කියා හෝ... ජිවයත් ශරීරයත් එකක් මැ යැ කියා හෝ... අනන්ත යැ යි කියා හෝ... ලොව (ආත්මය) ජිවයත් ශරීරයත් වෙන් වෙන් දෙකෙක් මැ යි කියා හෝ... තථාගතයා (ආත්මය) මරණින් මතු වෙයි කියා හෝ... තථාගතයා (ආත්මය) මරණින් මතු නො වෙයි කියා හෝ...තථාගතයා(ආත්මය) මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි කියා හෝ... තථාගතයා (ආත්මය) මරණින් මතු නො ම වන්නේත් නො ම නොවන්නේත් වෙයි කියා හෝ මා විසින් ඒකාන්ත නො කොට දහම් දෙසන ලද්දේ, පණවන ලද්දේ වෙයි.

 

පොට්ඨපාදය, කවර හෙයින් මා විසින් ඒ දහම්හු ඒකාන්ත කොට නො දෙසන ලද්දාහු ද, නො පනවන ලද්දාහු ද? යත්: පොට්ඨපාදය, මේ (ලොව ශාශ්වතය යන ආදී වු) දෘෂඨිහු දෙලෝ වැඩ හෝ අත්වැඩ පරවැඩ හෝ අසලෝ නො වෙති. ලොවුතුරා දහම් අසලෝ නොවෙති. සසුන් බඹසරට ආදිය වු අධිශීල ශික්‍ෂාමාත්‍රද නො වෙති. සසරවටැ කලකිරෙනු පිණිස සසරැ නො ඇලෙනු පිණිස, දුක් නසනු පිණිස, දුක් සංහිඳුවනු පිණිස, සසර දුක් පසක් කරනු පිණිස, සසරවට අවබෝධ කරනු පිණිස, අමා මහ නිවන් සාක්‍ෂාත් කරනු පිණිස නො පවත්නාහ. එ හෙයින් මා විසින් ඒ දහම්හු ඒකාන්ත කොට නො දෙසන ලදහ. නො පනවන ලදහ.

පොට්ඨපාදය, මා විසින් එකාන්ත කොට දෙසන ලද පණවන ලද ඒ දහම්හු කවරහු ද? පොට්ඨපාදය, ‘මේ

දුකැ’යි කියා ම මා විසින් එකාන්ත කොට ධර්‍මය දෙසන ලද්දේ ය. පණවන ලද්දේ ය. ‘මේ දුක් හටගැන්මේ හේතු යැ’ යි කියා ම මා විසින් එකාන්ත කොට ධර්‍මය දෙසන ලද්දේය. පණවන ලද්දේය. පොට්ඨපාදය, ‘මේ දුක් නැස්ම යැ’ යි කියා ම මා විසින් එකාන්ත කොට ධර්‍මය දෙසන ලද්දේය. පණවන ලද්දේය. පොට්ඨපාදය, ‘මේ දුක් නැස්මට යන පිළිවෙතැ’යි කියා ම මා විසින් එකාන්ත කොට ධර්‍මය දෙසන ලද්දේය. පණවන ලද්දේය.  

පොට්ඨපාදය, කවර හෙයින් මා විසින් ඒ ධර්‍මයෝ ඒකාන්ත කොට දෙසන ලදහු ද, පනවන ලදහු ද යත්: පොට්ඨපාදය, මොහු තමන් අනුන් දෙපසගේ ම අභිවෘධිය ඇසුරු කළාහු වෙත් මොහු ලොවුතුරා දහම් ඇසුරු කළාහු වෙත් මොහු ආදීබ්‍රහ්මචර්‍යක (මාර්‍ග බ්‍රහ්මචර්‍යාගේ පුර්‍ව භාග ප්‍රතිපත්තීහු) වෙති. මොහු සසර කලකිරෙනු පිණිස, සසරැ නොඇල්ම පිණිස, සසර දුක් නසනු පිණිස, සසර දුක් සංහිඳෙනු පිණිස, විෂිශ්ට ඥාණය පිණිස සත්‍යාවබෝධය පිණිස නිවන් පසක් කරනු පිණිස පවතිත්. එහෙයින් මා විසින් ඒ ධර්‍මයෝ ඒකාන්ත කොට දෙසන ලදහ. පනවන ලදහ.  

පොට්ඨපාදය, ‘ආත්මය මරණින් මතු ඒකාන්තයෙන් සුවපත් වේ යැ යි, නිත්‍ය වේ යැයි, මෙබඳු වාද ඇති, මෙබඳු දෘෂ්ඨි ඇති, ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. මම ඔවුන් කරා එළැඹ ‘ආයුෂ්මත්නි, ආත්මය මරණින් මතු ඒකාන්තයෙන් සුවපත් වේ, නිත්‍ය වේ යැ’යි තෙපි මෙබඳු වාද ඇත්තෝ ය. මෙබඳු දෘෂ්ඨි ඇත්තෝ ය යනු සැබෑ දැ?යි මෙසේ විචාරමි. මෙසේ විචාරන ලද ඔහු මට ‘එසේයැ’ යි පිළිණ කෙරෙත් නම්, ‘ආයුෂ්මත්නි, තෙපි ඒකාන්ත සුව ඇති ලොකය (අසෝ දෙස ඇතැ යි) දන්නාහු දක්නාහු වසවු දැ? යි ඔවුන් පිළිවිසීමි. මෙසේ පුළුවස්නා ලද්දාහු ‘නැතැ’යි කියත්. ඔවුනට මම ‘ආයුෂ්මත්නි’ තෙපි එක් රැයක් හෝ එක් දහවලක් හෝ අඩ රැයක් හෝ අඩ දහවලක් හෝ ඒකාන්තයෙන් සුවපත් වු ආත්මයක් දනිවු දැ? යි මෙසේ කියමි. මෙසේ විචාරන ලද ඔහු ‘නැතැ’ යි කියත්. ඔවුනට මම් ‘ආයුෂ්මත්නි, එකාන්ත සුව ඇති ලොව පසක් කිරීමට මේ මඟය, මේ පිළිවෙත යැ යි තෙපි දනිවු දැ? යි මම කියමි. මෙසේ විචාරන ලද්දාහු ‘නොදනිමු’යි ඔහු කියත්. ඔවුනට මම ‘ආයුෂ්මත්නි, ඒකාන්ත සුව ඇති ලොවැ උපන් යම් දෙවතා කෙනෙක් වෙත් නම්, ඔවුන් ‘නිදුකානනි, ඒකාන්ත සුව ඇති ලොව පසක් කරනු පිණිස, සුපිළිපන්නහු වවු නිදුකාණනි , සෘජු ව පිළිපන්නහු වවු අපිදු මෙසේ පිළිපන්නමෝ ඒකාන්ත සුව ඇති ලොවට පැමිණියම්හ’ යි කියන්නවුන්ගේ වචනය අසවු දැ? යි මෙසේ පිළිවිසීමි. මෙසේ මා විසින් විචාරන ලද ඔහු ‘එවැන්නක් නො ඇසුමු’ යි  කියත්.

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, ඒ කිමැයි සිතයිද? මෙසේ ඇති කල්හි ඒ මහණබමුණන්ගේ වචනය ප්‍රතිහරණ නැති එකෙක් (ප්‍රතිපාක්‍ෂිකයන්ගේ නිග්‍රහයට ගොදුරු එකෙක්) නො වේ ද?”

[පොට්ඨපාද:] “වහන්ස, මෙසේ ඇති කල්හි ඒ මහණ බමුනන්ගේ වචනය ප්‍රතිහරණ නැති එකෙක් ය.”

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් ‘මේ දනවුවෙහි යම් දනවුකැලණක් වේ නම් ඇය පතමි ඇය කැමැත්තෙමි’ යි කියන්නේද, ඔහුට අන්‍යයෝ ‘එමබා පුරුෂය, තෝ යම් දනවු කැලණක පතයි නම්, කැමැත්තෙහි නම්, ඕ කැත්කතන් නොහොත් බමුණුකතක් හෝ වෙස්කතක් හෝ සුදුරුකතක් යැ යි ඇය දන්නෙහිදැ”යි මෙසේ කියන්නාහුද, මෙසේ පුළුවස්නා ලැබු හෙ තෙමේ ‘නොදනිමි’යි කියන්නේය අන්හු ඔහුට ‘එම්බා පුරුෂය, තෝ යමු දනවු තැලණක පතයි නම්, කැමැත්තෙහි නම්, ‘ඒ දනවුකැලණ මේ නමැත්තී යැ යි මේ ගොත් ඇත්තී යැ යි හෝ කළු හෝ හෙළලු හෝ පඩුවන් සිවිය ඇත්තී යැ යි හෝ, අසෝ ගමැ හෝ නියම්ගමැ හෝ නුවරැ හෝ වෙසෙන්නී යැ යි දනුදැ’යි මෙසේ කියන්නාහු නම්, මෙසේ විචාරන ලද හේ ‘එය නොදනිමි’යි කියන්නේය. ඔහුට අන්හු ‘ එම්බා පුරුෂය, යම් ස්ත්‍රියක තෝ නො දන්නෙහි නම්, නො දක්නෙහි නම්, තෝ ඇය පතයි ද? ඇය කැමැත්තෙහි දැ’යි කියන්නාහු නම්, මෙසේ චිචාරණ ලද්දේ හේ ‘එසේ’යැ යි කියන්නේ ය.

 

“පොට්ඨපාදය, එය කිමැ යි සිතයි ද? මෙසේ ඇති කලැ ඒ පුරුෂයාගේ වචනය ප්‍රතිහරණ නැතියෙක් නො වන්නේද?”

[පොට්ඨපාද:] ‘වහන්ස, මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ වචනය එකාන්තයෙන් ප්‍රතිහරණ නැතියෙක් වෙයි.

 

“පොට්ඨපාදය, එසේම යම් මහණ කෙනෙක් යම් බමුණු කෙනෙක් ආත්මය මරණින් මත්තෙහි ඒකාන්ත සුව ඇත්තේ සදාභාවී වේ යැ යි මෙබඳු වාද ඇතියෝ  මෙබඳු දෘෂ්ඨි ඇතියෝ වෙත් ද,  මම ඔවුන් කරා එළැඹ, ‘ආයුෂ්මත්නි, තෙපි ආත්මය මරණින් මත්තෙහි ඒකාන්තයෙන් සුව ඇත්තේ සදාභාවී වේ යැ යි මෙබඳු වාද ඇතියහු ද? මෙබඳු දෘෂ්ඨි ඇතියහු දැ?යි මෙසේ අසමි. මා විසින් මෙසේ විචාරන ලද ඔහු  ‘එසේයැ’ යි ඉදින් පිළින කරන්නාහු නම්, ‘ආයුෂ්මත්නි, තෙපි ඒකාන්ත සුව ඇති ලෝකයක් දන්නාහු දක්නාහු වසවු දැ?’ යි ඔවුන් පුළුවිසීමි එසේ විචාරන ලද ඔහු ‘නැතැ’යි කියත්.

 

‘ආයුෂ්මත්නි තෙපි එක් රැයක් හෝ එක් දහවලක් හෝ අඩ රැයක් හෝ අඩ දහවලක් හෝ ඒකාන්තයෙන් සුව ඇති ආත්මයක් දනිවු දැ”යි මෙසේ ඔවුන් විචාරමි. මෙසේ විචාරන ලද ඔහු ‘නො දනුම්හ’ යි කියත්

 

ආයුෂ්මත්නි, එකාන්ත සුව ඇති ලොව පසක් කරනුවට මඟ මේ යැ, පිළිවෙත මේ යැ’යි තෙපි දනිවු දැ? යි මෙසේ ඔවුන් විචාරමි  මෙසේ විචාරන ලද ඔහු ‘නො දනුම්හ’ යි කියත්.

 

“ආයුෂ්මත්නි, ඒකාන්ත සුව ඇති ලොවට උත්පත්ති විසින් පැමිණි යම් දෙවතා කෙනෙක් වෙත් නම්, ඔවුන් ‘නිදුකාණනි, ඒකාන්ත සුව ඇති ලොව පසක් කරනුවට සුපිළිපන්නහු  වවු,  සෘජු ව පිළිපන්නහු වවු නිදුකාණන,ි අපි දු මෙසේ පිළිපන්නමෝ ඒකාන්ත සුව ඇති ලොවට උත්පත්ති විසින් පැමිණියම්හ’ යි කියන්නවුන්ගේ හඩ අසවු දැ?” යි මෙසේ ඔවුන් විචාරමි. මෙසේ විචාරන ලද්දාහු (එසේ වු හඩක්) නො අසම්හ යි “ ඔහු කියත්.

 

“පොට්ඨපාදය, ඒ කිමැයි සිතයි ද? ඒ මහණබමුණුවරුන්ගේ වචනය ප්‍රතිහරණ නැතියෙක් නො වෙයි ද?”

 

[පොට්ඨපාද:] “වහන්ස, මෙසේ ඇති කල්හි ඒ මහණ බමුනන්ගේ වචනය ඒකාන්තයෙන් ප්‍රතිහරණ නැතියෙක් වෙයි.”

 

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් පහයකට නගිනු වස් සිවුමං හන්දියෙකැ හිණක් බඳින්නේ ද, අන්හු ඔහුට ‘ එම්බා පුරුෂය, තෝ යම් පහයකට නගිනු වස් හිණක් කෙරෙහි නම්, ඒ පහය පෙර දිගැ හෝ පැසිම් දිගැ හෝ දකුණු දිගැ හෝ උතුරු දිගැ හෝ වේ යැ යි දනිහි දැ?’ යි කියන්නාහු ද, මෙසේ විචාරන ලද හෙ තෙම නො දනිමි’යි කියන්නනේය. (එවිට) ඔහු ‘එම්බා පුරුෂය, තෝ යමක් නොදන්නෙහි නම්, නොදක්නෙහි නම්, එසේවු පහයකට නගිනුවට හිණක් කෙරෙයි දැ?’ යි මෙසේ ඒ පුරුෂයා පුළුවස්නාහ. මෙසේ විචාරන ලද හේ තෙමේ ‘එසේ යැ’යි කියන්නේය.

 

පොට්ඨපාදය, ඒ කිමැ යි සිතයි ද? මෙසේ ඇති කලැ ඒ පුරුෂයාගේ වචනය ප්‍රතිහරණ නැතියෙක් නො වේ ද?”

 

[පොට්ඨපාද:] “වහන්ස, මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ් වචනය ප්‍රතිහරණ නැතියෙක් වෙයි.  

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, එසේම ‘ආත්මය මරණින් මත්තෙහි ඒකාන්ත සුව ඇත්තේ සදාභාවී වේ යැ’ යි මෙබඳු වාද ඇති  මෙබඳු දෘෂ්ඨි ඇති යම් මහණබමුණු කෙනෙක් ඇත් ද, ඔවුන් කරා එළැඹ ‘ආයුෂ්මත්නි, තෙපි ආත්මය මරණින් මතු ඒකාන්ත් සුවැත්තේ සදාභාවී වේ යැ යි මෙබඳු වාද ඇත්තහුය යනු සැබෑවෙක් දැ?’යි මෙසේ විචාරමි මෙසේ මා විසින් විචාරන ලද ඔහු  ‘එසේයැ’ යි පිළින කෙරෙත් ‘ආයුෂ්මත්නි, තෙපි ඒකාන්ත සුව ඇති ලොවක් දන්නාහු දක්නාහු වෙසෙවු දැ? යි මෙසේ ඔවුන් පුළුවස්වමි මෙසේ පුළුවස්නා ලද ඔහු ‘එසේ දන්නමෝ දක්නමෝ නො වසමු’යි කියත්. ‘ආයුෂ්මත්නි, තෙපි එක් රැයක් හෝ එක් දහවලක් හෝ අඩරැයක් හෝ අඩ දාවලක් හෝ ඒකාන්ත සුව ඇති ආත්මයක් දනිවු දැ?’යි මෙසේ ඔවුන් පුළුවුස්මි. මෙසේ පුළුවස්නා ලද ඔහු ‘නො දනුම්හ’ යි කියත්. ‘ආයුෂ්මත්නි, එකාන්ත සුව ඇති ලොව පසක් කරනුවට මඟ මේ යැ, පිළිවෙත මේ යැ යි තෙපි දනිවු දැ?’ යි මෙසේ ඔවුන් පුළුවුස්මි.  මෙසේ පුළුවුස්නා ලද්දාහු ‘නො දනුම්හ’ යි ඔහු කියත්. ‘ආයුෂ්මත්නි, ඒකාන්ත සුව ඇති ලොවකට උත්පත්ති විසින් පැමිණි යම් දෙවතා කෙනෙක් වෙත් නම්, ‘නිදුකානනි, ඒකාන්ත සුව ඇති ලොව පසක් කරනුවට සුපිළිපන්නහු  වවු, සෘජුව පිළිපන්නහු වවු නිදුකාණනි, අපිදු මෙසේ පිළිපන්නමෝ ඒකාන්ත සුව ඇති ලොවට පැමිණියම්හ’ යි මෙසේ කියන්නවුන් හඩ අසවු දැ’ යි මෙසේ ඔවුන් පුළුවුස්මි. මෙසේ මා විසින් පුළුවස්නා ලද ඔහු ‘එවැන්නක් නො අසම්හ’ යි ‘ කියත්.  

‘පොට්ඨපාදය, ඒ කිමැ යි සිතයි ද? මෙසේ ඇති කලැ ඒ මහණබමුණන්ගේ වචනය ප්‍රතිහරණ නැතියෙක් වනුයේ නො වේ ද?”  

[පොට්ඨපාද:] “වහන්ස, මෙසේ ඇති කලැ ඒකාන්තයෙන් ඒ මහණබමුණන්ගේ වචනය ප්‍රතිහරණ නැතියෙක් වෙයි.”

[භාග්‍යවතුන් වහන්සේ:] “පොට්ඨපාදය, ඖදාරික වු ආත්ම ප්‍රතිලාභය, මනොමයවු ආත්ම ප්‍රතිලාභය, අරූප ආත්ම ප්‍රතිලාභය යැ යි මේ ආත්මභාව ප්‍රතිලාභ තුනෙකි.  

‘පොට්ඨපාදය, ඖදාරික ආත්ම ප්‍රතිලාභය කවරේ යැ? රුපවත් වු සතර මහා භුතයන්ගෙන් පහළ වු කබලීකාරාහාරය අනුභව කරන යමෙක් වෙි ද මෙය ඖදාරික වු ආත්මභාවප්‍රතිලාභය යැ.  

මනොමය ආත්ම ප්‍රතිලාභය කවරේ යැ? රූපවත් වු ධ්‍යාන සිතින් නිපන්, සියලු අඟපසඟින් යුත්, නොපිරිහුණු ඉඳුරන් ඇති යමෙක් වේ ද, මෙය මනොමය ආත්මප්‍රතිලාභ යැ.  

අරූපාත්මප්‍රතිලාභය කවරේ යැ? රූපවත් නොවු සංඥාමය වු යම් අත්බවෙක් වේ ද, මේ අරූපාත්මප්‍රතිලාභ යැ.  

පොට්ඨපාදය, යම්සේ පිළිපන් තොපගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු ද, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නෙහු ද, මාර්ගඵලප්‍රඥාවන්ගේ පිරීමත් විපුල බවත් මේ අත් බව්හිම තෙපි තුමු පසක් කොට ලැබ වසන්නහු ද, ඒ ඖදාරික ආත්මභාවප්‍රතිලාභයාගේ ද ප්‍රහාණය පිණිස දහම් දෙසමි.

 

පොට්ඨපාදය, සිත කෙලෙසන දහම්හු පහ වන්නාහ, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහ,  ප්‍රඥාවගේ පිරීම ද විපුලබව ද තුමු ම මේ අත්බබදහි ම පසක් කොට ලැබ වසන්නෙමු. එහෙත් එසේ වු (තොපගේ) විහරණය දුක් වේ’යැ යි කිසි විටක තට මෙ බඳු සිතෙක් විය හැකිය.  

පොට්ඨපාදය, මෙය වනාහී එසේ නො දත යුතු.  සිත කෙලෙසන දහම්හු පහ වන්නාහ සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහ.  ප්‍රඥාවගේ පිරීපුන්බව ද විපුලබව ද මේ අත්බබදහි ම තොපි තුමු වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වසන්නහු සිතැ සතුට ද වන්නේ ය. ප්‍රීතිය ද සංහුන්බව ද සිහිය ද නුවණ ද වන්නේ ය. විහරණය ද සැප වන්නේය.  

‘පොට්ඨපාදය, යම්සේ පිළිපන්නවුන්ගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු ද, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහු ද, ප්‍රඥාවගේ පිරීම ද විපුල බව ද මේ අත්බබදහි ම තෙපි තුමු ම වෙසෙසි නුවණින් දැන පසක් කොට වසන්නහු ද, එසේ වු මනෝමය ආත්මප්‍රතිලාභයාගේ ද ප්‍රහාණය පිණිස මම දහම් දෙසමි.  

පොට්ඨපාදය, සිත කෙලෙසන දහම්හු පහ වන්නාහ, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහ,  ප්‍රඥාවගේ පිරීම ද විපුල බව ද මේ අත්බබදහි ම තුමුම පසක් කොට ලැබ වසන්නෙමු, එහෙත් ඒ විහරණය වු කලී දුක් සහිත යැ’යි තට මෙසේ සිතෙක් විය හැකි ය.  

පොට්ඨපාදය, මෙය එසේ නො දත යුතු.  සිත කෙලෙසන දහම්හු ද පහ වන්නාහ, සිත පිරිසිදු කරන දහම්හු ද වෙසෙසින් වැඩෙන්නාහ.  ප්‍රඥාවගේ පිරීම ද විපුල බව ද මේ අත්බබදහි ම  තුමු ම දැන පසක් කොට ලැබ වසන්නාහ. සතුට ද ප්‍රීතිය ද සිතැ සංහුන් බව ද සිහිය ද නුවණ ද වන්නේය. විහරණය ද සැප වන්නේය.  

පොට්ඨපාදය, යම්සේ පිළිපන් තොපගේ් සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු ද, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නෙහු ද, ප්‍රඥාවගේ පිරීම ද විපුල බව ද මේ අත්බබදහි ම තුමු ම දැන වසන්නහු ද, එසේ අරූපවු ආත්මභාවප්‍රතිලාභයාගේද ප්‍රහාණය පිණිස දහම් දෙසමි.

පොට්ඨපාදය, සිත කෙලෙසන දහම්හු පහ වන්නාහ, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහ,  ප්‍රඥාවගේ පිරීම ද විපුල බව ද මේ අත් බව්හි තුමු ම වෙසෙසින් දැන පසක් කොට ලැබ වසන්නෙමු. එහෙත් විහරණය දුක් සහිත යැ’යි තට මෙසේ සිතක් වියැ හැකි ය.  

පොට්ඨපාදය, මෙය එසේ නො දත යුතු , සිත කෙලෙසන දහම්හු ද පහ වන්නාහ. සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහ, ප්‍රඥාවගේ පිරීම ද විපුල බව ද මේ අත්බව්හිම  තුමු ම වෙසෙසින් දැන පසක් කොට ලැබ වසන්නහු සතුට ද ප්‍රීතිය ද සංහුන් බව ද සිහිය ද නුවණ ද වන්නේය. විහරණය ද සැප වන්නේ ය.  

පොට්ඨපාදය, ‘යම්සේ පිළිපන්නාවු තොපගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු ද, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නෙහු ද, ප්‍රඥාවගේ පිරීමත් විපුල බවත් මේ අත්බව්හි ම තෙපි තුමු ම වෙසෙසින් දැන පසක් කොට ලැබ වසන්නහු ද, එසේ යමක්හුගේ ප්‍රහාණය පිණිස භවත්හු දහම් දෙසත් නම්, ඇවැත්නි, ඒ ඖදාරික ආත්ම ප්‍රතිලාභය කවරේ දැ’යි අන්හු මෙසේ අප විචාරන්නාහු නම්, මෙසේ ඔවුන් විසින් චිචාරන ලද අපි ‘ඇවැත්නි, අපි යමක්හුගේ ප්‍රහාණය පිණිස දහම් දෙසමෝ ද යම්සේ පිළිපන්නාවු තොපගේ සිත කෙළෙසන දහම්හු පහ වන්නාහු ද, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහු ද, ප්‍රඥාවගේ පිරීමත් විපුල බවත් මේ අත්බව්හි ම තෙපි තුමු ම වෙසෙසින් දැන පසක් කොට ලැබ වසන්නහු ද, ඇවැත්නි, ඒ ඖදාරික ආත්ම ප්‍රතිලාභය මේ යැ’යි මෙසේ හෙළි කොට කියන්නෙමු.

‘පොට්ඨපාදය ‘යම්සේ පිළිපන්නාවු තොපගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු ද, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නොහු ද, ප්‍රඥාවගේ පිරීමත් විපුල බවත් මේ අත්බව්හි ම  තුමු ම වෙසෙසින් දැන පසක් කොට ලැබ වසන්නහු ද, ඇවැත්නි, එසේ යමක්හුගේ ප්‍රහාණය පිණිස භවත්හු දහම් දෙසත් නම්, ඒ මනෝමය ආත්ම ප්‍රතිලාභය කවරේදැ’යි අන්හු අප මෙසේ විචාරන්නාහු නම්, එසේ ඔවුන් විසින් පුළුවස්නා ලද අපි “ඇවැත්නි, අපි යමක්හුගේ ප්‍රහාණය පිණිස දහම් දෙසමෝ නම්, යම්සේ පිළිපන්නාවු තොපගේ සිත කෙළෙසන දහම්හු ප්‍රහීණවන්නාහු නම්, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහු නම්, ප්‍රඥාවගේ පිරීමත් විපුල බවත් මේ අත්බව්හි ම තුමු ම වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වසන්නහු නම්, මේ ඒ මනෝමයආත්මප්‍රතිලාභය වේ යැ’යි මෙසේ හෙළි කොට කියන්නෙමු.  

ඉදින් පොට්ඨපාදය, ‘යම්සේ පිළිපන්නාවු තොපගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු නම්, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නෙහු නම්, ප්‍රඥාවගේ පිරීමත් විපුල බවත් මේ අත්බව්හි ම  තුමු  වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වසන්නහු නම්, ඇවැත්නි, එසේ යමක්හුගේ ප්‍රහාණය පිණිස දහම් දෙසවු නම්, ඒ අරූප ආත්ම ප්‍රතිලාභය කවරේ දැ’යි මෙසේ අන්හු අප විචාරන්නාහු නම්, එසේ ඔවුන් විසින් පුළුවස්නා ලද අපි ‘ඇවැත්නි, අපි යමක්හුගේ ප්‍රහාණය පිණිස දහම් දෙසමෝද, යම් බඳුව පිළිපන්නවුන්ගේ සිත කෙළෙසන දහම්හු පහ වන්නාහු නම්, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහු නම්, ප්‍රඥාවගේ පිරීමත් විපුල බවත් මේ අත්බව්හි ම තුමු ම වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වසන්නහු ද, මේ ඒ අරූප ආත්මප්‍රතිලාභය වේ යැ”යි මෙසේ හෙළි කොට කියන්නෙමු.

 

පොට්ඨපාදය, එය කිමැ යි සිතහි ද, මෙසේ ඇති කල්හි අප වචනය ප්‍රතිහරණ සහිතයෙක් වන්නේ නො වේද?’  

[පොට්ඨපාද:] වහන්ස, මෙසේ ඇති කල්හි ඔබ වචනය ඒකාන්තයෙන් ප්‍රතිහරණ සහිතයෙක් වේ.  

[භාග්‍යවතුන් වහන්සේ:] පොට්ඨපාදය, යම්සේ පුරුෂයෙක් පහයකට නගිනුවට එම පහය යටැ හිණක් බඳනේ ද, එසේ වු ඔහු බණවා අන්හු ‘හෙම්බා පුරුෂය, තෝ යම් පහයකට නගිනුවට හිණක් කෙරෙහි නම්, ඒ පහය පෙර දිගැ හෝ දකුණු දිගැ හෝ පැසිම් දිගැ හෝ උතුරු දිගැ හෝ ඇතැ යි දනු ද? උස් වු හෝ මිටි වු හෝ මැදුම් පමණ වු හෝ එකෙකැ යි දනු දැ?’යි විචාරන්නාහු නම්, ඒ පුරුෂ තෙම, ‘ඇවැත්නි, යම් පහයකට නගිනුවට ඒ පහය යට මම් යම් හිණක් කෙරෙම් නම්, මේ ඒ පහය යැ’යි කියන්නේය.  

‘පොට්ඨපාදය, මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ වචනය ප්‍රතිහරණ සහිත වන්නේ නො වේද?’  

[පොට්ඨපාද:] වහන්ස, මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ වචනය ප්‍රතිහරණ සහිත වේ.  

[භාග්‍යවතුන් වහන්සේ:] පොට්ඨපාදය, යම්සේ (යමක් සඳහා) පිළිපන් තොපගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු නම්, සිත පිරිසිදු කරන දහම්හු වෙසෙසින් වැඩෙන්නාහු නම්,  ප්‍රඥාවගේ පිරීමත් විපුල බවත් මේ අත්බව්හි ම තුමු ම දැන පසක් කොට ලැබ වසන්නහු නම්, ඇවැත්නි, ඒ ඖදාරික ආත්ම ප්‍රතිලාභය කවරේ යැ?... ඇවැත්නි, එසේ යමක්හුගේ ප්‍රහාණය පිණිස දහම් දෙසවු නම්, ඒ මනෝමය ආත්ම ප්‍රතිලාභය කවරේයැ?... ඒ අරූප ආත්ම ප්‍රතිලාභය කවරේ යැ? යි අප විචාරන්නාහු ද, ඔවුන් විසින් මෙසේ විචාරන ලද අපි මේ (මතු දැක්වෙන) පරිදි විසඳන්නෙමු.  

“ඇවැත්නි,  යමක්හුගේ ප්‍රහාණය පිණිස දහම් දෙසමෝ නම්, යම්සේ (යමක් ප්‍රහීණ කරනු සඳහා) පිළිපන් තොපගේ සිත කෙලෙසන දහම්හු පහ වන්නාහු නම්, සිත පිරිසිදු කරන දහම්හු වැඩෙන්නාහු නම්,  යමෙක ප්‍රහාණයෙන් ප්‍රඥාවගේ පිරීමත් විපුල බවත් මේ අත්බව්හි ම තුමු ම වෙසෙසි නුවණින්  දැන පසක් කොට ලැබ වසන්නහු නම්, මේ ඒ ඖදාරික ආත්ම ප්‍රතිලාභයය....මේ ඒ මනෝමය ආත්මප්‍රතිලාභය ය....මේ  ඒ අරූපආත්මප්‍රතිලාභය යැ” යනු යි.  

පොට්ඨපාදය, ඒ කිමැයි සිතයි ද? මෙසේ ඇති කලැ අප වචනය ප්‍රතිහරණ නැතියක් (ප්‍රතිවිරුද්ධ කථා ඉදිරිපත් නො කළ හැක්කක්) වනුයේ නො වේ ද?’.  

[පොට්ඨපාද:] “වහන්ස මෙසේ ඇති කලැ ඔබ වචනය ප්‍රතිහරණ නැතියෙක් වෙයි.  

මෙසේ කී කල්හි ඇත් සැරිපුත් චිත්‍ර තෙම භාග්‍යවතුන්ට මෙ බස් පැවසීය. “වහන්ස යම් කලෙක්හි ඖදාරික ආත්මප්‍රතිලාභය වේ නම්, එ සමයෙහි ඔහුගේ  මනොමය ආත්මප්‍රතිලාභය හිස් වෙයිද? (අභාවයට යෙයි ද?) ඔහුගේ අරූප ආත්මප්‍රතිලාභයත් හිස් වෙයි ද? එ කලැ ඔහුගේ ඖදාරික ආත්මප්‍රතිලාභය ම සත්‍ය වෙයිද?  

වහන්ස, යම් කලෙක මනොමය ආත්මප්‍රතිලාභය වේ නම්, එ කලැ ඔහුගේ  ඖදාරික ආත්මප්‍රතිලාභය නැති වෙයිද? අරූප ආත්මප්‍රතිලාභයත් නැති වෙයි ද? එ කල්හි ඔහුගේ මනොමය ආත්මප්‍රතිලාභය ම ඇති වෙයි ද?  

වහන්ස, යම් කලෙක අරූප ආත්මප්‍රතිලාභය වේ නම්, එ කල්හි ඔහුගේ  ඖදාරික ආත්මප්‍රතිලාභය හිස් වේ ද? මනොමය ආත්මප්‍රතිලාභයත් හිස් වේ ද? එ කල්හි ඔහුගේ අරූප ආත්මප්‍රතිලාභය ම ඇති වෙයි ද?  

[භාග්‍යවතුන් වහන්සේ:] “චිත්‍රය, යම් කලෙක ඖදාරික ආත්මප්‍රතිලාභය වේ ද, එකල්හි ‘මනොමය ආත්ම ප්‍රතිලාභය’ යි ව්‍යවහාරයට නො යෙයි ‘අරූප ආත්මප්‍රතිලාභය’ යි ද ව්‍යවහාරයට නො යෙයි. එ කල්හි ‘ඖදාරික ආත්ම ප්‍රතිලාභය’ යි ම ව්‍යවහාරයට යෙයි.  

චිත්‍රය, යම් කලෙක මනොමය ආත්මප්‍රතිලාභය වේ ද, එකලැ ‘ඖදාරික ආත්මප්‍රතිලාභයැ’ යි ද ව්‍යවහාරයට නො යෙයි ‘අරූප ආත්මප්‍රතිලාභයැ’ යි ද ව්‍යවහාරයට නො යෙයි. එ කල්හි ‘මනොමය ආත්මප්‍රතිලාභය’ යි ම ව්‍යවහාරයට යෙයි.  

චිත්‍රය, යම් කලෙක අරූප ආත්මප්‍රතිලාභය වේ ද, එකලැ ‘ඖදාරික ආත්මප්‍රතිලාභයැ’ යි ව්‍යවහාරයට නො යෙයි ‘මනොමය ආත්මප්‍රතිලාභය’ යි  ව්‍යවහාරයට නො යෙයි. ‘අරූප ආත්මප්‍රතිලාභය’ යි ම එ කලැ ව්‍යවහාරයට යෙයි.  

චිත්‍රය, තෝ අතීත කාලයෙහි වුයෙහි ද? තෝ නො ම නො වුයෙහි ද? තෝ අනාගත කාලයෙහි වන්නෙහි ද? තෝ නොම නො වන්නෙහිද? තෝ දැන් ඇත් ද? නො ම නැද්දැ’යි ඉදින් මෙසේ තා චිවාරන්නාහු නම්, චිත්‍රය, මෙපරිද්දෙන් විචාරන ලද තෝ කෙසේ නම් විසඳන්නෙහි ද?” 3

(චිත්‍ර)”වහන්ස, ඉදින් අන්හු ‘තෝ අතීත කාලයෙහි වුයෙහි ද? තෝ නො ම නො වුයෙහි ද? තෝ අනාගත කාලයෙහි වන්නෙහි ද? තෝ නො ම නො වන්නෙහි ද? තෝ දැන් ඇද්ද? නො ම නැද්දැ”යි මෙසේ චිවාරන්නාහු නම්, මෙපරිද්දෙන් විචාරන ලද මම් මෙසේ විසඳන්නෙමි. “අතීත කාලයෙහි මම වීමි. නො ම නො වීමි. අනාගත කාලයෙහි වන්නෙමි. නො ම නො වන්නෙමි. දැන් මම් ඇත . නො ම නැතැ”යි මෙසේ පුළුවස්නා ලද මම් මෙ පරිද්දෙන් විසඳන්නෙමි.”  

[භාග්‍යවතුන් වහන්සේ:] “චිත්‍රය, තට යම් අතීත ආත්මප්‍රතිලාභයක් වී නම්, තගේ ඒ ආත්ම ප්‍රතිලාභය ම සත්‍ය ද? අනාගත ආත්මප්‍රතිලාභය අසත්‍ය (හිස්) ද? වර්‍තමාන ආත්මප්‍රතිලාභයත් අසත්‍ය ද? තට යම් අනාගත ආත්ම ප්‍රතිලාභයෙක් වන්නේ නම් තගේ ඒ ආත්ම ප්‍රතිලාභයම සත්‍ය ද? අතීත ආත්මප්‍රතිලාභය හිස් ද? වර්‍තමාන ආත්මප්‍රතිලාභයත් හිස් ද? තගේ දැන් යම් ආත්මප්‍රතිලාභයක් ඇත් නම්, තගේ ඒ ආත්ම ප්‍රතිලාභය ම සත්‍ය ද? අතීත ආත්මප්‍රතිලාභය හිස් ද? අනාගත ආත්මප්‍රතිලාභයත් හිස් දැ?”යි මෙසේ අන්‍යයෝ තා චිවාරන්නාහු නම්, මෙසේ පුළුවස්නා ලද තෝ කෙසේ නම් විසඳන්නෙහිද?”  

( චිත්‍ර) “වහන්ස, අන්‍යයෝ මා බණවා ‘තට යම් අතීත ආත්මප්‍රතිලාභයක් වී නම්, තගේ ඒ ආත්ම ප්‍රතිලාභය ම සත්‍ය ද? අනාගත ආත්ම ප්‍රතිලාභය හිස් ද? වර්‍තමාන ආත්මප්‍රතිලාභයත් හිස්ද? තගේ යම් අනාගත ආත්මප්‍රතිලාභයෙක් වන්නේ් නම්, තගේ ඒ අනාගත ආත්මප්‍රතිලාභය ම සත්‍ය ද? අතීත ආත්ම ප්‍රතිලාභය හිස් ද? වර්‍තමාන ආත්මප්‍රතිලාභයත් හිස් ද? තගේ දැන් යම් ආත්මප්‍රතිලාභයක් ඇත් නම් තගේ ඒ ආත්මප්‍රතිලාභය ම සත්‍ය ද? අතීත ආත්මප්‍රතිලාභය හිස් ද? අනාගත ආත්මප්‍රතිලාභයත් හිස් දැ?’යි  මෙසේ චිවාරන්නාහු නම්, මෙසේ විචාරන ලද මම ‘මගේ යම් අතීත ආත්මප්‍රතිලාභයක් වී නම් එය ම එ සමයෙහි සත්‍ය ය අනාගත ආත්මප්‍රතිලාභය හිස් ය. වර්‍තමාන ආත්මප්‍රතිලාභය ද හිස් ය. මගේ යම් අනාගත ආත්මප්‍රතිලාභයෙක් වන්නේ් නම් එ කල්හි මගේ එ අත්බව ම සත්‍ය වන්නේය. අතීත ආත්ම ප්‍රතිලාභය හිස් වන්නේය. වර්‍තමාන ආත්මප්‍රතිලාභය ද හිස් වන්නේය. මගේ දැන් යම් වර්‍තමාන ආත්ම ප්‍රතිලාභයෙක් ඇද්ද, එය ම සත්‍ය ය. අතීත ආත්මප්‍රතිලාභය හිස් ය. අනාගත ආත්ම ප්‍රතිලාභයත් හිස් යැ’යි මෙසේ විසඳන්නෙමි. වහන්ස, මේ යටකී පරිදි විචාරන ලදුයෙම් මෙ පරිද්දෙන් විසඳන්නෙමි.”  

(භාග්‍යවත්හු )  “චිත්‍රය, එසේම යම් කලෙක ඖදාරික ආත්මප්‍රතිලාභය වේ නම්, එක්ල්හි ‘මනොමය ආත්ම ප්‍රතිලාභයැ’ යි ව්‍යවහාරයට නො යෙයි. අරූප ආත්මප්‍රතිලාභයැ යි ද ව්‍යවහාරයට නො යෙයි. ඖදාරික ආත්මප්‍රතිලාභයැ යි ම එකල්හි ව්‍යවහාරයට යෙයි. චිත්‍රය, යම් කලෙක මනොමය ආත්මප්‍රතිලාභය වේ ද චිත්‍රය, එ කල්හි ඖදාරික ආත්ම ප්‍රතිලාභයැ යි ව්‍යවහාරයට නො යෙයි. අරූප ආත්ම ප්‍රතිලාභයැ යි ද ව්‍යවහාරයට නො යෙයි. මනොමය ආත්ම ප්‍රතිලාභයැ යි ම එ සමයෙහි ව්‍යවහාරයට යෙයි. චිත්‍රය, යම් කලෙක අරූප ආත්මප්‍රතිලාභය වේ ද, එකල්හි ඖදාරික ආත්ම ප්‍රතිලාභයැ යි ව්‍යවහාරයට නො යෙයි. මනොමය ආත්ම ප්‍රතිලාභයැ යි ද ව්‍යවහාරයට නො යෙයි. අරූප ආත්ම ප්‍රතිලාභයැ යි ම එ කලැ ව්‍යවහාරයට යෙයි.  

චිත්‍රය, දෙන ගෙන් කිරිත්, කිරෙන් දිහිත්, දිහියෙන් වෙඩරුත්, වෙඩරුයෙන් ගිතෙලුත්, ගිතෙලින් ගීමඩත් යම්සේ වේ ද, යම් කලෙක කිරි වෙි නම් එකල්හි දිහි යැ යි ව්‍යවහාරයට නො යේ ද, වෙඩරැ යි ව්‍යවහාරයට නො යේ ද, ගිතෙලැ යි ව්‍යවහාරයට නො යේ ද, ගීමඩැ යි ව්‍යවහාරයට නො යේ ද කිරි යැ යි ම එකලැ ව්‍යවහාරයට යේ ද, යම් කලෙක දිහි වේ නම්.... වෙඩරු වේ නම්.... ගිතෙල් වේ නම්.... යම් කලෙක ගීමඩ වේ නම්, එකලැ කිරැ යි වහරට නො යේ ද, දිහි යැයි වහරට නො යේ ද, වෙඩරැ යි වහරට නො යේ ද, ගිතෙලැ යි වහරට නො යේ ද, ගීමඩැ යි ම එකල වහරට යේ ද, චිත්‍රය, එසේම යම් කලෙක ඖදාරික ආත්මප්‍රතිලාභය වේද....චිත්‍රය, යම් කලෙක මනොමය ආත්මප්‍රතිලාභය වේද.... යම් කලෙක අරූප ආත්මප්‍රතිලාභය වේද, එ සමයෙහි ඖදාරික ආත්මප්‍රතිලාභ යැ යි වහරට නො යෙයි  මනොමය ආත්ම ප්‍රතිලාභයැයි වහරට නොයෙයි අරූප ආත්ම ප්‍රතිලාභයැයි වහරට නොයෙයි අරූප ආත්ම ප්‍රතිලාභයැ යි ම එකල්හි වහරට යෙයි.  

චිත්‍රය, තථාගත තෙමේ තෘෂ්ණාමානදෘෂ්ඨීන් පරාමර්‍ශන නො කරනුයේ “ඔළාරිකෝ අත්ථපටිලාභො” යන ආදී යම් සංඥාවන්ගෙන් ව්‍යවහාර කෙරේද, ඒ ඖදාරික ආත්මප්‍රතිලාභාදීහු ලොවැ සංඥාමාත්‍රයෝය. ලොවැ වචනපථමාත්‍රයෝ ය, ලොවැ නාමප්‍රඥප්ති මාත්‍රයෝ ය.  

65.       භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාල කල්හි පොට්ඨපාද පිරිවැජි තෙම “වහන්ස, අභිකාන්තයැ. වහන්ස, අභික්කාන්තය. වහන්ස, යම්සේ යැටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු දැයක් විවෘත කරන්නේ හෝ වේ ද, මංමුලාවුවකුට මග කියන්නේ හෝ වේ ද,’ඇස් ඇතියන් රූප දකිති’යි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද,එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පැවසිණ. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේද ධර්‍මයද භික්‍ෂු සංඝයාද සරණ යෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උවසකු කොට සලකන සේක් වා”යි භාග්‍යවතුන්ට සැළ කළේය.

ඇත්සැරිපුත් චිත්‍ර වු කලී ‘වහන්ස, අභිකාන්තයැ. වහන්ස, අභික්කාන්තය. වහන්ස, යම්සේ යැටිකුරු කොට තබන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු දැයක් විවෘත කරන්නේ හෝ වේ ද, මංමුලාවුවකුට මග කියන්නේ හෝ වේ ද,’ඇස් ඇතියන් රූප දකිති’යි අඳුරෙහි තෙල්පානක් දරන්නේ හෝ වේ ද , එ පරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පැවසිණ. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේද ධර්‍මයද භික්‍ෂු සංඝයාද සරණ යෙමි වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිද්දත් උපසපුවත් ලබම්වා” යි කීය.

ඇත්සැරිපුත් චිත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිද්ද ලදුයේ ම ය. උපසපුවත් ලදුයේ ම ය. ඇත්සැරිපුත් ආයුෂ්මත් චිත්‍ර තෙම උපසපුව ලත් නොබෝ කල් ඇත්තේ ම, එකලා වුයේ, ගණයා කෙරෙන් වෙන් වුයේ, නොපමා වුයේ, කෙලෙස් තවන වැරැත්තේ, නිවන් කරා මෙහෙයු සිතැතිව වසනුයේ, යමක් පිණිස කුලපුත්හු මොනොවට ම ගිහිගෙන් නික්මැ සසුන් වදිත් ද, ඒ නිරුත්තරවු මාර්‍ගබ්‍රහ්මචර්‍යාවසානය (රහත්පලය) මේ අත්බැව්හි මැ තෙමේ ම වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබැ විසී ය.’පුනර්ජන්මය ක්‍ෂීණ විය, මගබඹසර වැසැ නිමැවිණ, කටයුතු දෑ කරනු ලැබීය. මේ පිණිස තවත් කළයුත්තෙක් නැතැ’යි වෙසෙසින් දැනගත්තේය. ආයුෂ්මත් හස්තිශාරිපුත්‍ර චිත්‍ර ද රහතුන්ගෙන් එක්තරා නමෙක් වී ය. 

නවවනු පොට්ඨපාද සුත්‍රය නිමියේය.         ,