සාමඤ්ඤඵල සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

දික් සඟිය

සීලස්කන්ධවර්ගය

____________________

ඒ භාග්‍යවත් අර්හත් සම්‍යග්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.

______

2

සාමඤ්ඤඵල සූත්‍රය.

 

1. මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ එක් දහස් දෙසියපණසක් පමණ වු මහත් භික්ෂුසඞ්ඝයා සමඟ රජගහ නුවර සමිපයේ කෝමාරභච්ච ජීවකයාගේ අඹවෙනෙහි වසන සේක. එ සමයෙහි වනාහි මගධ රටට අධිපති වු, වෛදේහීපුත්‍ර වු අජාසත් රජ තෙමේ එ දවසට පැමිණි පුණු පොහෝ දිනයෙහි සිවු මසක්හුගේ අවසන් වු සුපිපි කුමුදු ඇති පුරා සඳ කැල්මෙන් බබළන රැයෙහි (ඉල්මස පසොළොස්වක් දා රැයෙහි) රජපහයෙහි මතු මහල්තලයට නැඟුණේ, රජ ඇමැතියන් විසින් පිරිවැරුණේ (එසැවුණු සේසත් ඇති මහඟු කසුන් අස්නෙහි) හුන්නේ වෙයි. ඉක්බිති වෛදේහීපුත්‍ර  අජාසත් රජ ඒ පුණුපොහෝ දිනැ මෙසේ උදන් ඇනී ය:

‘‘ භවත්නි, ආශ්චර්‍ය යි! රාත්‍රිය සඳ රැසින් සිත්කළු වෙයි (අභ්‍රම්භිකාදිදෝෂයන්ගේ පහ වු රාත්‍රිය රමණී ය)! භවත්නි, රාත්‍රිය සඳරැසින් විශේෂයෙන් ශෝභන ය.! භවත්නි, රාත්‍රිය සඳරැසින් දැකුම් කළු ය! භවත්නි, රාත්‍රිය සඳ රැසින් ප්‍රසාදජනකය! භවත්නි, රාත්‍රිය සඳ රැස කරණ කොට ගෙන ලක්ෂණීය ය!  යමක්හු ඇසුරු කරන අපගේ සිත පහදනේ නම් එසේ වු කවර නම් මහණකු බමුණකු අද ඇපි එළැඹ ඇසුරු කරන්න මෝ ද ! ” යනු යි.

2. රජහු මෙසේ කී කල්හි, එක්තරා රජ ඇමැතියෙක් වෛදේහීපුත්‍ර වු මගධාධිපති අජාසත් රජහට  “දේවයන් වහන්ස, මේ කාශ්‍යප ගෝත්‍රික පූරණයෝ පැවිදි මුළුවක් ඇත්තෝ ද, පැවිදි ගණයා ඇත්තෝ   ද වෙති. ගණාචාර්‍ය ද වෙති. ප්‍රකටයහ. කීර්තිමත්හ. බොහෝ දෙනා විසින් සත්පුරුෂයෙකැ යි සම්මත වූ තීර්ථංකර කෙනෙක. චිරරාත්‍රඥ හ. පැවිදි වූ බොහෝ කල් ඇත්තෝ ය. දෙතුන් රජ පරපුරක් තරම් කල් ඉක්මවා සිටියෝ ය. මහළු වියට පැමිණියෝ ය. දේවයන් වහන්සේ ඒ කාශ්‍යපගෝත්‍රික පූරණයන් වෙත එලැඹ ඇසුරු කරණ සේක්වා.  කාශ්‍යපීය පූරණයන් වෙත එලැඹ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදනේ නම් ඉතා යෙහෙකැ” යි මේ වචනය කීය. මෙසේ කී කල්හි වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ තුෂ්ණීම්භූත විය.

3. අන් කිසි රජ ඇමැත්තෙක් ද වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජු හට “දේවයන් වහන්ස, මේ ගෝසාල මක්ඛලීහු පැවිදි පිරිසක් ඇත්තෝ ද, පැවිදි ගණයා ඇත්තෝ ද, ගණාචාර්‍ය ද වෙති. ප්‍රකට යහ. කීර්ථිමත් හ. තීර්ථංකර කෙනෙක. බොහෝ දෙනා විසින් සාධු යැ යි සම්මත හ. රාත්‍රඥ හ. පැවිදිවූ බොහෝ කල් ඇත්තෝ ය. රජපරපුර දෙක තුනක් ඉක්මැ යන තරම් දික් කලක් ගෙවුවෝ ය. පැසිම් වයසට පැමිණියෝ ය. දේවයන් වහන්සේ ඒ ගෝසාල මක්ඛලීන් ඇසුරු කරන සේක් වා. ගෝසාල මක්ඛලීන් වෙත එලැඹ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදනේ නම් , ඒ ඉතා යෙහෙකැ” යි මේ බස් කීය. මෙසේ කී කල්හි වෛදේහිපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ තූෂ්ණීම්භූත විය.

4. අන් එක්තරා රජඇමැත්තෙක් ද වෛදේහිපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජුට “  දේවයන් වහන්ස, මේ කේශකම්බල අජිතයො සංඝී ද, ගණී ද, ගණාචාර්‍ය ද වෙති. ප්‍රකට වූ කීර්තිමත් වු බොහෝ දෙනා විසින් සාධුසම්මත වු, රාත්‍රඥ වු, දික් වයස් ගිය, මහළු විය පැමිණි තීර්ථංකර කෙනෙක. දේවයන් වහන්සේ  ඒ කේශකම්බල අජිතයන් ඇසුරු කරන සේක් වා. කේශකම්බල අජිතයන් වෙත එලැඹ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදින්නේ නම් ඉතා යෙහෙකැ” යි. මෙසේ බස් කීය. මෙසේ කී කලැ වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ මුවෙන් කිසිත් නො බැණ හුන්නේ ය.

5. අන් එක් ඇමැතියෙක් ද  වෛදේහීපුත්‍ර  මගධේශ්වර අජාතශත්‍රැ රජුට “දේවයන් වහන්ස, කෘත්‍යායනගෝත්‍රික මේ පකුධයෝ සංඝී ද, ගණී ද, ගණාචාර්‍ය ද, වෙති. ප්‍රකට වූ, කීර්ථිමත් වු, බොහෝ දෙනා විසින් සාධුසම්මත වූ, රාත්‍රඥ වු, පැවිදි වූ බොහෝ කල් ඇති, දික්වයස් ගිය, මහළු වියට පැමිණි, තීර්ථංකර කෙනෙක. දේවයන් වහන්සේ ඒ කෘත්‍යායන පකුධයන් වෙත එලැඹ ඇසුරු කරන සේක් වා. කෘත්‍යායනපකුධයන් ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදනේ නම් ඉතා යෙහෙකැ” යි මේ බස් කීය. මෙසේ කී කල්හී වෛදේහිපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ කිසිත් නො බැණ හුන්නේ ය.

6. අන් රජ ඇමැත්තෙක් ද  වෛදේහිපුත්‍ර මගධාධිපති අජාතශත්‍රැ රජුට “දේවයන් වහන්ස, මේ වෛරාටිපුත්‍ර සංජයෝ සංඝී ද ගණී ද ගණාචාර්‍ය ද වෙති. බොහෝ දෙනා විසින් සාධු සම්මත වූ, රාත්‍රඥ වු, පැවිදි වු බොහෝ කල් ඇති, දික් වයස් ගිය, පැසීම් වයසට පැමිණි, ප්‍රකට වු, කීර්තිමත් වූ තීර්ථංකර කෙනෙක. දේවයන් වහන්සේ ඒ වෛරාටිපුත්‍ර සංජයයන් ඇසුරු කරන සේක් වා. වෛරාටිපුත්‍ර සංජයන් ඇසුරු කරන දේවහන් වහන්සේගේ සිත පැහැදෙන්නේ නම් ඒ ඉතා යෙහෙකැ” යි මේ බස් කීය. මෙසේ කී කල්හී වෛදේහීපුත්‍ර  මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ කිසිත් නොබැණ හුන්නේ ය.

7. අන් රජ ඇමැත්තෙක් ද වෛදේහිපුත්‍ර වූ මගධාධිපති අජාතශත්‍රැ රජුට “ දේවයන් වහන්ස,  මේ ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයෝ සංඝී ද ගණී ද ගණාචාර්‍ය ද වෙති. බොහෝ දෙනා විසින් සාධුසම්මත වූ, රාත්‍රඥ වූ, පැවිදි වු බොහෝ කල් ඇති, දික් වයස් ගත කළ, මහළු විය පත්, ප්‍රකට වූ, කීර්තිමත් තීර්ථංකර කෙනෙකි. දේවයන් වහන්සේ ඒ ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයන් ඇසුරු කරන සේක් වා. ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයන් ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදින්නේ නම් ඒ ඉතා යෙහෙකැ” යි. කීය මෙසේ කී කල්හී වෛදේහිපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ කිසිත් නො බැණ හුන්නේ ය.

8. ඒ වේලෙහි වනාහි කෝමාරභච්ච ජීවක තෙමේ වෛදේහි පුත්‍ර මගධාධිපති අජාතශත්‍රැ රජුට නොදුරෙහි නිහඬ වැ හුණ්නේ වෙයි. ඉක්බිත්තේන් වෛදේහීපුත්‍ර මගධාධිපති අජාතශත්‍රැ රජ තෙමේ කෝමාරභච්ච ජිවිකයා අමතා,  “යහළු ජීවකය, යුෂ්මතා වූ කලී කවර හෙයින් කිසිත් නොබැණ ඉදින්නේ හි ද ?” යි කී ය.

එ විට කෝමාරභචච ජීවක කියුයේ, “දේවයන් වහන්ස, මේ භාග්‍යවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ එක් දහස් දෙසිය පණසක් පමණ භික්ෂුන් ඇති මහත් භික්ෂුසමූහයක් හා අපේ අඹවනයෙහි වැඩ වසන සේක. ‘ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අර්හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිත් ය, නිරුත්තර පුරුෂදම්‍යසාරථී ය, දෙවිමිනිස්නට ශාස්තෘ ය, බුද්ධ ය, භගවත් යැ‘යි ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ වැ මෙසේ කල්‍යාණ වූ කීර්තිශබ්දයෙක් උස් වැ නංඟේ ය. මහරජ තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ ඇසුරු කෙරේ වා. ඒ භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරණ මහරජුගේ සිත පැහැදෙන්නේ නම් ඒ ඉතා යෙහෙකකි” යි කීයේ ය.

  “ යහළු, ජීවකය, එසේ නම් හස්තියාණයන් සරසව”යි රජ කී ය.

9. ‘දේවයිනි, එසේ යැයි කියා, කෝමාරභච්ච ජීවක තෙමේ වෛදීහපුත්‍ර වූ මගධේශ්වර අජාතශත්‍රැ රජුට පිළිවදන් දී (පිරිවර ස්ත්‍රීන් සඳහා) පන්සියයක් පමණ ඇතින්නන් සරසවා, රජුට ද නැගීමට සුදුසු ඇතකු සදවා, වෛදේහීපුත්‍ර වූ මගධේශ්වර අජාතශත්‍රැ රජුට ‘‘දේවයිනි, ඔබට හස්ථියාන සරසවන ලදි. යම් ගමනකට දැන් කැලැ යි ඔබ සිතත් නම් එය කරනැනැ”යි දැන් වීය.

 

එ විට වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ පන්සියයක් ඇතින්නන් මතැ එක් එක් ස්ත්‍රිය බැගින් නංවා, තෙමේ තමාට නැඟීමට සුදුසු ඇතු පිට නැඟ, දඬුවැට පහන් දරනු ලබන කල්හී, මහත් රාජර්ද්ධියෙන් රජගහ නුවරින් නික්මුණේ ය. නික්මැ කෝමාරභච්ච ජීවකයාගේ අඹවනය කරා ගියේ ය.

10.     ඉක්බිත්තෙන් අඹවනයට නොදුරෙහිදී වෛදේහීපුත්‍ර වු මගධාධිපති අජාතශත්‍රැ රජුට බියෙක් වූයේ ම ය, ඇඟ වෙවුලුමෙක් වූයේ ම ය, ලොමුදැහැ ගැන්මෙක් වූයේ ම ය, එවිට .....අජාතශත්‍රැ රජතෙමේ බිය ගත්තේ, තැතිගත්තේ, හටගත් ලොමුදහ ගැනුම් ඇත්තේ, කෝමාරභච්ච ජීවකයා අමතා “ කිමෙක් ද? යහළු ජීවකය, මට වංචා නොකෙරෙයි ද, කිමෙක් ද යහළු ජීවකය, මා නො රවටයි ද? කිමෙක් ද, යහළු ජීවකය මා සතුරනට පාවා නොදෙයි ද? භික්ෂුන් එක්දහස් දෙසිය පණහක් පමණ වූ ඒ සා මහත් භික්ෂුසමූහයකගේ කිවිසුම් හඬෙක් කෙසේ නම් නො වන්නේ ද ? උකැසි හඬෙක් හෝ කෙසේ නම් නොවන්නේ ද ? කටහඬෙක් හෝ කෙසේ නම් නොවන්නේ දැ ? ” යි ඇසී ය.

එ විට  “මහ රජාණෙනි, බිය නො ගන්නැ. දේවයිනි, ඔබට වංචා නොකරමි. දේවයිනි, ඔබ නො රවටමී. දේවයිනි, ඔබ සතුරනට පාවා නොදෙමි. මහරජාණනි, ඉදිරියට වඩින්නැ. මහරජාණෙනි, ඉදිරියට වඩින්නැ. තෙල, මණ්ඩලමාළයෙහි (වට හලෙහි හෙවත් හිඳුනා හලෙහි) පහන් දැල්වේ.” යැ යි කෝමාරභච්ච ජීවක කීය.

11. එක්බිති වෛදේහීපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ ඇතුපිටින් යා හැකි තෙක් දුරැ ඇතුපිටින් ගොස්, ඇතුගෙන් බැස, පාගමන් ඇතියේ ම (පයින් ම) මණ්ඩලමාලද්වාරය (වට හල් දොර) කරා එළැඹීයේ ය. එලැඹැ කෝමාරභච්ච ජීවකයාගෙන් ‘යහළු ජීවකය, භාග්‍යවත් තෙමේ කොහි දැ? ’යි ඇසී ය.

“ මහ රජාණෙනි, තෙල භාග්‍යවතුන් වහන්සේ ය. මැදුම් ටැඹ නිසා (මැද කණුවට පිටු දී) පෙර දිගට මුහුණ ලා, භික්ෂුසමූහයා විසින් පෙරටු කරන ලදු වැ තෙල වැඩ ඉන්නෝ භාග්‍යවතුන් වහන්සේ යැ” යි කෝමාරභච්ච ජීවක කීය.

12. එ විට වෛදේහිපුත්‍ර වු මගධේශ්වර වු අජාතශත්‍රැ රජ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ පසෙක සිටියේ ය. එසේ සිටි රජ තෙමේ වෙසෙසින් පහන් වූ, කැළැඹුම් නැති විලක් සේ බැලූ බැලූ පැත්තෙහි තුෂ්ණීම්භූත වැ හුන් භික්ෂු සංඝයා දෙස නැවත නැවත බලා,  “දැන් මේ භික්ෂුසංඝයා යම් සංහුන්බවෙකින් යුක්ත ද මගේ උදායිභද්‍ර කුමාර තෙමේ ද මෙබඳු වූ ම සංහුන්බැවින් සමන්විත වේ වා” යි උදන් ඇනී ය.

එවිට, භාග්‍යවතුන් වහන්සේ “ මහරජ , තොප සිත ප්‍රේමය ඇති දෙසට ගියේ වේදැ” යි වදාළ සේක.

“වහන්ස, උදායිභද්‍ර කුමාර තෙමේ මට ප්‍රිය ය. වහන්ස, භික්ෂුසංඝයා දැන් යම් බඳු සංහිදීමෙකින් සමන්විත ද, මගේ උදායිභද්‍ර කුමාර තෙමේ මේ බඳු වූ සංහිඳීමෙන් සමන්විත වේවා” යි රජ කීය.

13.     එක්බිති  වෛදේහිපුත්‍ර මගධාධිපති අජාතශත්‍රැ රජ භාග්‍යවතුන් වහන්සේ  ආදරයෙන් වැඳ, භික්ෂුසංඝයා ද ඇඳිලි බැඳ, පසෙක ඉඳ ගත්තේ ය. පසෙක හිඳගත් රජ තෙමේ “වහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ පැණයක් විසඳන්නට කිසි ලේශමාත්‍ර අවකාශයක් ගන්නා සේක් නම්, මම විචාරන්නෙමි” යි භාග්‍යවතුන් වහන්සේට කීය.

“ මහරජ, ඉඳින් කැමැත්තෙහි නම් විචාරන්නැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

14. “වහන්ස, යම්සේ අතැරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැන වදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබ‍ළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය, යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද,  මෙබඳු වු යම් අන්‍ය බොහෝ ශිල්පයෝ හෝ වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්, ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත් පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු වු සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා  දන් මහණ බමුණු කෙරෙහි පිහිටුවත්. වහන්ස, මෙසේ ම මහණ දමෙහි සාන්ද්‍රෘෂ්ටික (මෙහි ම අත්දැකිය හැකි) ඵලවිපාකයක් පණවන්නට (දක්වන්නට) හැකිදැ” යි රජ විචාළේ ය.

15. “මහරජ, ඔබ මේ පැණය අන් මහණබමුණන් අතින් විචාළා දන්නෝ ද (මතෙක ඇද්දැ)?” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“ වහන්ස, මේ පැණය අන් මහණබමුණන් අතින් විචාළා දනිමි (මතෙක ඇතැ)”යි රජ කීය.

“මහරජ, කෙසේ නම් ඔබට ඔහු මෙය විසැඳුවෝ ද ? ඉදින් ඔබට බරෙක් නොවේ නම් එය කියන්නැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“වහන්ස, භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේ වැන්නකු හෝ ඉන්නා තැනෙක එය කීම මට බරෙක් නොවේ” යැ යි රජ කීය.

“ මහරජ, එසේ නම් කියන්නැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

16.     (එවිට රජ මේසේ කී ය:) “වහන්ස, මම් එක් වරෙක කාශ්‍යපපූර්ණයන් කරා එළඹියෙමි. එළැඹ ඔහු හා සතුටු වීමි. සතුට උපදවන සිතැ රැඳවිය යුතු කතාබස් අවසන් කොට පසෙක ඉඳ ගතිමි. වහන්ස, එසේ පසෙක ඉදැගත් මම් කාශ්‍යප පූර්ණයන් අමතා ‘ භවත කාශ්‍යපයිනි, යම්සේ අතැරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැන වදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබ‍ළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය, යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්, ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත් පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු වු සුඛ විපාක ඇති සවර්ගය පිණිස පවත්නා දන් මහණ බමුණු කෙරෙහි දන් පිහිටුවත් ද, භවත් කාශ්‍යපයිනි, එසේ ම මහණදමෙහි මෙහි ම අත් දැක්කැ හැකි ඵල විපාකයක් දක්වන්නට හැකිදැ” යි  විචාළෙමි.

17.     ‘වහන්ස, මෙසේ කී කල්හි කාශ්‍යප පූරණයෝ මට මෙය කීහ:

“මහරජ, තමා ම කරන්නහුට අනුන් ලවා කරවන්නහුට ද, අනුන්ගේ අත් ආදිය සිඳිනහුට ද, සිඳුවන්නහුට ද, අනුන් දඬු ආදියෙන් පෙළන්නහුට ද, පෙළවන්නහුට ද, පරා සතු දෑ පැහැරැ ගැනුම් ආදියෙන් මෙරමා තවන්නහුට ද, අනුන් ලවා තවවන්නහුට ද, අහර වැළැක්වීම් ආදියෙන් අනුන් වෙහෙසන්නහුට ද, මෙරමා ලවා වෙහෙසන්නහුට ද, මෙරමා කම්පිත කරන්නහුට ද, අනුන් ලවා කම්පිත කරවන්නහුට ද, පණ නසන්නහුට ද, නසවන්නහුට ද, නොදුන් දෑ ගන්නහුට ද,  ගෙවල් බිඳින්නහුට ද, බිඳුවන්නහුට ද, කිසිත් නො ඉතිරි කොට සියල්ල පැහැරැ ගන්නහුට ද, පැහැර ගන්වන්නහුට ද, එක් ගෙයක් වටා සිට එහි ඇති බඩුමූට්ටු පැහැර ගන්නහුට ද ගන්වන්නහුට ද, මඟැ රැක සිට එහි යනෙනුවන්ගේ බඩු පැහැරැ ගන්නහුට ද, පරඹුවන් කරා යන්නහුට ද, මුසවා තෙපලන්නහුට ද, පවක් කරමි යි සිතා කරන්නහුට ද, පවක් නොකැරෙයි. යමෙක් කරකැත්තක් සේ තියුණු නිම්වලල්ලක් ඇති චක්‍රයකින් මේ පොළොවෙහි සතුන් මරා එක් මස්ගොඩක් එක් මස්රැසක් කරන්නේ නම්, ඒ හේතුවෙන් වන පවක් නැත, පාපයාගේ පැමිණීමක් නැත. සතුන් මරමින් මරවමින්, සිඳිමින් සිඳුවමින්, පෙළමින් පෙළවමින්, ගංගා නදියේ උතුරු තෙරට නමුදු යන්නේ නම් , ඒ හේතුවෙන් පවෙක් නැත. පවේ පැමිණිමෙක් නැත. දෙමින් දෙවමින්, යාග කරවමින්, ගංගා නම් නිදියේ උතුරු තෙරට නමුදු යන්නේ නම් ඒ හේතුයෙන් පිනෙක් හෝ පින් පැමිණීමෙක් නැත. දීමේන් ඉඳුරන් දැමීමෙන් (හෝ පෙහෙවස් වීසීමෙන්) ශිලසංයමයෙන්, සබවස් රැකීමෙන් පිනෙක් නැත. පින් පැමිණිමෙක් නැත ” යනු යි.

වහන්ස, මෙසේ කෘශ්‍යප පූර්ණයෝ මා විසින් සන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලය විචාරන ලදුවෝ ම අක්‍රියවාදය දැක්වූහ. වහන්ස, අඹ කෙබඳු දැ ? යි විචාරණ ලදුයේ දෙල් මෙබඳු යැ යි කියන්නේ දෙල් විචාරණ ලදුවැ අඹ මෙබඳු යැ යි කියන්නේත් යම් සේ ද, එසේ ම වහන්ස, කාශ්‍යප පූර්ණයෝ මා විසින් සන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලදුවෝ ම අක්‍රියවාදය පැවැසූහ.

වහන්ස, ඒ මට ‘මා වැන්නෙක් සිය රටෙහි වසන මහණකු හෝ බමුණකු පෙළිය යුතු කොට කෙසේ නම් සිතනු හැක්කේ දැ? ‘ යි මේ සිත විය. වහන්ස, ඒ මම් කාශ්‍යප පූර්ණයන්ගේ වචනය නො පැසසීමි. විරුද්ධ බසකුදු නො කීමි. නො පසසා විරුදු බසක් ද නො කියා, නො සතුටු සිතැත්තෙම්, නොසතුටු බසක් නොනික්මවා, ඔවුන් බස සාරවශයෙන් නොගන්නෙම්, සාර වශයෙන් සිතැ නො තබන්නෙම්, උනස්නෙන් නැගී නික්මිණිමි.

18. වහන්ස, අන් එක් වරෙක මම් ගෝසාල මක්ඛලී වෙත එළෑඹියෙමි. එලැඹ ඔහුන් හා සතුටු වීමි. සතුටට කරුණු වු සිතැ රැඳැවිය යුතු වු කතා බස් කොට අවසනැ පසෙක ඉඳ ගතිමි. පසෙක ඉඳ ගත්තෙම් වහන්ස, මම ගෝසාල මක්ඛලීහු අමතා ‘ භවත් ගෝසාලයිනි, යම්සේ අතැරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැන වදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබ‍ළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය, යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්, ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත් පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු වු සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා  දන් මහණ බමුණු කෙරෙහි පිහිටුවත්. භවත් ගෝසාලයිනි, මෙසේ ම මහණ දමෙහි මෙහි ම අත්දැකිය හැකි ඵලවිපාකයක් දක්වන්නට හැකිදැ” යි මෙය  විචාළෙමි.

19. වහන්ස, මෙසේ විචාළ කල්හි ගෝසාල මක්ඛලීහු මට මෙය කීහ: “  මහරජ, සත්ත්වයන්ගේ කෙලෙසීමට හේතුවක් ප්‍රත්‍යයයෙක් නැත. හේතුවක් නැති වැ ප්‍රත්‍යයක් නැතිවැ (ඉබේ ම) සත්ත්වයෝ කෙලෙසෙත්. සත්ත්වයන්ගේ පිරිසිදු වීමට ද  හේතුවෙක් නැත., ප්‍රත්‍යයයෙක් නැත. හේතුව නැති වැ ප්‍රත්‍යය නැති වැ සත්ත්වයෝ පිරිසිදු වෙත්, තමාගේ යහපත  සඳහා කළයුතු අවවාදානුශාසනාදී කර්මයෙක් ද නැත. සැපත් ලබනුවට ඉවහල් වන බලය කියා එකෙක් නැත. පුරුෂ පරාක්‍රමය කියා එකෙක් නැත. හැම සත්තුම හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවයෝ තමන්ගේ ශක්තියක් බලයක් වීර්‍යයක් නැත්තෝ ම නියමය, සංගතිය (තම තමා අයත් වර්ගයට පැමිණීම), ස්වභාවය යන මේ තුනින් පරිණාමයට පැමිණීයෝ අභිජාති සයෙක්හිම සැප දුක් විඳිත්.

 

මේ ප්‍රමුඛ යෝනීහු තුදුස් ලක්ෂ හදහස් හසියෙකි. කර්ම පන්සීයෙකි.(අන් සැටියෙකින් ) කර්ම පසෙක් ද කර්ම තුනෙක් ද වෙත් (කායවාක්කර්ම වූ) පූර්ණ කර්ම ද, (මනක්කර්ම වූ) අර්ධ කර්ම ද වේ. ප්‍රතිපත්ති දෙසැටෙකි. අන්තක්කල්ප දෙසැටෙකි. අභිජාති සයෙකි. පුරුෂභූමි අටෙකි. ජිවිකාවෘත්ති සාරදහස් නවසියෙකි. පරිබ්‍රාජකයන් පිළිබඳ ප්‍රව්‍රජ්‍යා සාරදහස් නවයෙකි. නාගමණ්ඩල සාරදහස් නවයෙකි. ඉන්ද්‍රියයො දෙදහසෙකි. නිරයයො තුන්දහසෙකි. අත්පිටු පාපිටු ආදි ධුලි තැවැරෙන තැන් සතිසෙකි. සංඥී ගර්භ සතෙකි. නිර්ග්‍රන්ථගර්භ සතෙකි. (පුරුකින් පැල වෙන උක් හුණු ආදී ගර්භ සතෙකි.) දේව වර්ග සතෙකි. මනුෂ්‍ය වර්ග සතෙකි. පිශාච ජාති සතෙකි. මහවිල් සතෙකි. මහ පර්වත සතෙකි. කුඩා පර්වත සත්සියෙයකි. මහා ප්‍රපාත සතෙකි. කුඩා ප්‍රපාත සත්සියෙයකි. මහා ස්වප්න සතෙකි. කුඩා ස්වප්න සත්සියෙයකි. අනුවණයනුත් නුවණැත්තනුත් සසරැ දිවැ හැවිදැ දුක් කෙළෙවර කිරීමට ගෙවියැ යුතු කල්ප අසූහාර ලක්ෂයකි.

එහි මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ නොමුසු කළ කර්මය මුහුකුරුවන්නෙමි යි කියා කළ යුත්තක් නැත. මුහුකළ කර්මය විඳ විඳ ක්ෂීණ කරන්නෙමි යි කියා හෝ මෙසේ කළයුතු දැයෙක් නැත. ද්‍රෝණයක් මැන ප්‍රමාණවත් කරන ලද්දක් සේ  සුව දුක් දෙක (කියන ලද කාලසීමාව ගෙවුනු කල්හි) කෙළවර කෙරුණේ වෙයි. සසර ගමනෙහි අඩුවීමෙක් වැඩීවීමෙක් නැත. නැගීමෙක් බැසීමෙක් නැත. යම් සේ දමාලූ හූවටෙක් ලිහෙමින් දිග ඇති තෙක් යේ ද, එයින් මතු නොයේ ද , එ පරදිමි අනුවණයෝත් නුවණැත්තොත් (සසරැ) දිව හැවිද දුක් කෙළෙවර කරන්නාහ’ යනු යි.

 

වහන්ස, මෙසේ ගෝසාල මක්ඛලීහූ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරණ ලදුවෝ ම සංසාර ශුද්ධිවාදය පැවසූහ.

 

වහන්ස, ඒ මට ‘මා වැන්නෙක් සිය රටැ වසන මහණකු හෝ බමුණෙකු පෙළිය යුතු කොට කෙසේ නම් සිතියැ හැකිදැ’ යි මේ සිත විය. වහන්ස, ඒ මම ගෝසාල මක්ඛලීගේ වචනය නොපැසැසිමි, එයට විරුද්ධ බසකුත් නො කීමි. මෙසේ නො පසසා, නොද විරුදු බසක් කියා, නො සතුටු සිතැත්තෙම් නුමුදු, නො සතුටු බසක් නො නික්මවා,  එ ම බස සාර වශයෙන් නො ගන්නෙම්, සාර වශයෙන් සිතැ ද නො තබන්නෙම්, හුනස්නෙන් නැඟී නික්මිණිමි.

 

20.     වහන්ස, මම් එක් විටෙක කේශකම්බල අජිතයන් කරා එළැඹියෙමි. එලැඹ ඔහු හා සතුටු විමි. සතුටට කරුණු වු සිතැ රැඳවිය යුතු කතා බස් නිමවා එක් පසෙක හිඳගතිමි. එසේ හිඳ ගත්තෙම්, ඔහු අමතා ‘භවත් අජිතයෙනි, යම්සේ අතැරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැන වදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබ‍ළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය, යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්, ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත් පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු වු සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා  දන් මහණ බමුණු කෙරෙහි පිහිටුවත්. වහන්ස, මෙසේ ම මහණ දමෙහි සාන්ද්‍රෘෂ්ටික (මෙහි ම අත්දැකිය හැකි) ඵලවිපාකයක් පණවන්නට (දක්වන්නට) හැකිදැ” යි  විචාළෙමි.

 

 වහන්ස, මෙසේ මා විචාළ කල්හී, කේශකම්බල අජිතයො මට මෙය කීහ: “ මහරජ, දුන් දැයෙහි පල නැත. කල මහායාගයෙහි පල නැත. කුශලාකුශල කර්මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත. පරලොවැ සිටියා හට මෙ ලොව නැත. මෙලොව සිටියා හට පරලොවෙක් නැත. මවට උපකාර අපකාර කිරිමෙහි ඵල විපාක නැත. පියාට උපකාර අපකාර කිරීමෙහි ඵල විපාක නැත. උප්පාදුක(මෙයින් සැව නැවත උපදනා ) සත්ත්වයෝ නැත. සම්‍යග් (නිවැරදි මඟින් ගිය) සම්‍යග් ප්‍රතිපන්න, (නිසි මඟ පිළිපන්,) මේ ලොවත් පරලොවත් තුමු ම වෙසෙසින් දැන පසක් කොට (ලොවට ) හෙළි කරන මහණබමුණු කෙනෙක් නැත. සතර මහාභූතයන්ගෙන් නිපන් මේ පුරුෂ තෙමෙ යම් විටෙක කළුරිය කෙරේ නම්, එ විටැ (මොහුගේ කයෙහි වු) පෘථවිධාතුව බාහිර පෘථුවිධාතු රැස කරා යයි. එය අනුගමනය කරයි. ආපෝධාතුව බාහිර ආපෝධාතු රැස කරා යයි, එය අනුගමනය කරයි. තේජොධාතුව බාහිර තේජොධාතු රැස කරා යයි, එය අනුගමනය කරයි. වායොධාතුව බාහිර වායෝධාතුව කරා යයි, එය අනුගමනය  කරයි. ඇස් ආදී ඉන්ද්‍රිෙයා් අහසට පැන යෙත්. වැදහොත් ඇඳ පස්වනු කොටැති පුරුෂයෝ මළ සිරුර ගෙන යෙත්. සොහොන තෙක් පමණක් පදයො (ගුණාගුණ වචනයෝ) පැණෙත්. ඇට පරෙවිවන් වේ. ආගන්තුකසත්කාරාදී වශයෙන් දුන් දන් මළ සිරිරෙහි අළු කිස නිමහම් තෙක්ම වේ. (එයින් පසු එහි කිසිත් ඉතිරි නොවේ) දාන යනු අඥයන් විසින් පණවන ලද්දකි. යම් කෙනෙක් ආස්තික වාදය (පරලොවක් ඇතැයි කර්ම විපාක ඇතැයි යන ආදි වූ වාදය ) කියත් නම්, එය ඔවුන්ගේ හිස් බොරුවොකි, ප්‍රලාපයෙකි. අනුවණයෝ ද නුවණැත්තෝ ද යන හැම කය බිඳීමෙන් මුල සුන් වෙත්, වැනසෙත්, මරණින් මතු ඇති නොවෙත්” යනුයි.

 

වහන්ස, මෙසේ කේශකම්බල අජිතයො මා විසින් සන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරණ ලදුවෝ ම උච්ඡේදවාදය පැවැසූහ. වහන්ස, යම්සේ අඹ විචාරණ ලද්දේ දෙල් කියන්නේ ද, දෙල් හෝ විචාරණ ලද්දේ අඹ හෝ කියන්නේ ද, එසේ ම, වහන්ස, කේශකම්බල අජිතයෝ සන්දෘෂ්ටික සාමාණ්‍යඵලය විචාරණ ලදුවෝ ම උච්ඡේදවාදය පැවසූහ.

වහන්ස, ඒ මට ‘ මා වැන්නෙක් සිය රටෙහි වසන මහණ හෝ බමුණකු වෙහෙසිය යුතු කොට කෙසේ සිතිය හෙන්නේදැ? ’ යි මේ සිත විය. වහන්ස, ඒ මම් කේශකම්බල අජිතයන්ගේ බස නොම පැසැසීමි, එයට විරුද්ධ බසක් ද නො කීමි. එය නොම පසසා, විරුදු බසකුත් නො නික්මවා, ඔවුන්ගේ ඒ වචන සාර වශයෙන් නො ගන්නෙම්, සාර වශයෙන් සිතැ නො පිහිටුවන්නෙම්, හුනස්නෙන් නැගී නික්මිණීමි.

21.  වහන්ස, අන් එක් වරෙක මම් කාත්‍යායනග්‍රෝත්‍රික පකුධයන් වෙත ගියෙමි. ගොස් ඔවුන් හා සතුටු විමි. සතුටට කරුණු වූ සිතැ රැදවිය යුතු වු කතාබස් නිමවා පසෙක ඉඳගතිමි.  එසේ ඉඳගත් මම් කාත්‍යායන පකුධයන් අමතා  “ භවත් කාත්‍යායනයිනි, යම්සේ අතැරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැන වදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබ‍ළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය, යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්, ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත් පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු වු සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා දන් මහණ බමුණු කෙරෙහි පිහිටුවත්. වහන්ස, මෙසේ ම මහණ දමෙහි සාන්ද්‍රෘෂ්ටික (මෙහි ම අත්දැකිය හැකි) ඵලවිපාකයක් පණවන්නට (දක්වන්නට) හැකිදැ” යි  විචාළෙමි.

වහන්ස, මෙසේ මා විචාළ කල්හි කාත්‍යායන පකුධයෝ මට මෙය කීහ:

 “මහරජ, කිසිවෙකු විසින් නො කරන ලද, නො කළ විධාන ඇති ඉඳු බෙලෙනුදු නො මවන ලද, අන් කිසිදු ලෙසෙකින් නොම මවන ලද වඳ වු (කිසිවෙක් නො උපදවන), පවුකුළක් සේ ස්ථීර (හෙවත් පරිණාම රහිත) ඉන්ද්‍රඛීලයක් සේ තරැ වැ සිටිනුයෙන් තහවුරු වූ, කය (සමූහ) සතෙක් වෙත්. කවර සතෙක් ද?  යත්:  පඨවිකාය, ආපෝකාය, තෙජෝකාය, වායොකාය, සුඛ දුක්ඛ සත්වන ජීවය ද වෙත්. ඔහු නො සැලෙත්. නො පෙරැළෙත්. උනුනට බාධක නො වෙත්. උනුනට සුවය හෝ දුක හෝ සුව දුක් දෙකම හො දීමට සමත් නො වෙත්. ඒ කාය සතෙහි නසන්නෙක් හෝ නස්වන්නෙක් හෝ, අසන්නෙක් හෝ අස්වන්නෙක් හෝ දැන ගන්නෙක් හෝ දන්වන්නෙක් හෝ නැත. යමෙක් තියුණු සැතෙකින් හිස සිඳින්නේ නම්, එහි කිසිවෙක කිසිවකු දිවියෙන් තොර නොකරයි. වැලි, සප්තකායයන් අතරින් ආයුධය විවරයට වැද ගනී” යනුයි.

 

වහන්ස, මෙසේ මා විසින් සන්දෘෂ්ඨික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලද කාත්‍යායන පකුධයෝ අනෙකකින් අනෙකක් (ඉඳුරාම  එයට විරුද්ධ දැයක්) පැවසූහ. වහන්ස, අඹ විචාරන ලද්දේ දෙල් ගැන කරුණු කියන්නේත් දෙල් විචාරණ ලද්දේ අඹ ගැන කරුණු කියන්නේත් යම් සේ ද, එසේම, වහන්ස කාත්‍යායන පකුධයෝ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලදුවෝ ම අනෙකෙන් අනෙකක් (ඉඳුරාම වෙනස් දැයක්) පැවසී ය.

 

වහන්ස, ඒ මට “ සිය රටෙහි වසන මහණෙකු හෝ බමුණෙකු වෙහෙසිය යුතු කොට මා වැන්නෙක් කෙසේ නම් සිතන්නේ දැ? ” යි මේ සිත විය. වහන්ස, ඒ මම් කාත්‍යායන පකුධයන්ගේ වචනය නො පැසසිමි. නොද විරුද්ධ බසක් කීමි. නො පසසා, විරුද්ධ බසක් ද නො කියා, නොසතුටු සිතැත්තෙම්, නො සතුටු හඟවන බසක් නො කියා, ඒ ඔවුන්ගේ බස සාර වශයෙන් නොගන්නෙම්, සාර වශයෙන් සිතැ නො තබා ගන්නෙම්, හුනස්නෙන් නැගී නික්මිණිමි.

22.  වහන්ස, තවත් එක් විටෙක මම ඥාතපුත්‍රනිර්ග්‍රන්ථයන් කරා එළැමුණෙමි. එලැඹ ඔවුන් හා සතුටු වීමි. සතුටට කරුණු වු සිත රැඳවිය යුතු වු කතාබස් නිමවා එක් පසෙක හුන්නෙමි. වහන්ස, පසෙක හුන් මම් ඔවුන් අමතා

“ භවත් අග්නිවෙශ්‍යායනයෙනි, යම්සේ අතැරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැන වදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබ‍ළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය, මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය, යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්, ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත් පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු වු සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා  දන් මහණ බමුණු කෙරෙහි පිහිටුවත්. වහන්ස, මෙසේ ම මහණ දමෙහි සාන්ද්‍රෘෂ්ටික (මෙහි ම අත්දැකිය හැකි) ඵලවිපාකයක් පණවන්නට (දක්වන්නට) හැකිදැ” යි  විචාළෙමි.

 

වහන්ස, මෙසේ මා විචාළ කල්හි ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයෝ මට මෙය කීය:

“ මහරජ, මේ නිර්ග්‍රන්ථශාසනයෙහි නිර්ග්‍රන්ථ තෙමේ යාම (භාග) සතරක් ඇති ශීලසංවරයෙන් වැසුණේ වේ. මහරජ කෙසේ නම් නිර්ග්‍රන්ථ තෙමේ යාම සතරක් ඇති සංවරයෙන් සංවෘත වේ ද ? යත්:  මහරජ, මෙහි නිර්ග්‍රන්ථ තෙමේ වැළැකුනු සියලු සිසිල් දිය ඇත්තේ වේ. සර්වප්‍රකාර සංවරලක්ෂණයෙන් සමන්විත වේ. පිඹ හළ සියලු චාර්‍යයන් (හෙවත් පව්) ඇත්තේ වේ. (කර්මක්ෂය ලක්ෂණ වු ) සියලු පාපවාරණයෙන් (මෝක්ෂය) ස්පර්ශ කොට සිටියේ වේ. මහරජ, මෙසේ නිර්ග්‍රන්ථ තෙමේ චාතුර්යාමසංවරයෙන් සංවෘත වූයේ වේ. මහරජ, යම් හෙයෙකින් නිර්ග්‍රන්ථ තෙමේ මෙසේ චාතුර්යාමසංවරයෙන් සංවෘත වේ ද, එහෙයින් (මෝක්ෂාධිගමයෙන් ම කෙළෙවරට ) පත් සිතැත්තේ ද, (කායාදි ඉන්ද්‍රියයන්හි තව දුරටත් සංයම කළ යුත්තක් නැති බැවින්) සංයත ආත්ම ඇත්තේ ද, (මොනවට) පිහිටි සිතැත්තේ ද වේ යැ යි කියනු ලැබේ.”

වහන්ස, මෙසේ ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයන් තෙමේ මා විසින් සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලද්දේ ම චාතුර්යාමසංවරය පැවසී ය. යම්සේ අඹ විචාරණ ලද්දේ දෙල් දක්වන්නේ ද, දෙල් විචාරණ ලද්දේ අඹ දක්වන්නේ ද, එසේ ම, වහන්ස, ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵල විචාරන ලදුවෝ ම චාතුර්යාමසංවරය පැවසූහ.

වහන්ස, ඒ මට “ කෙසේ නම් මා වැන්නෙකු සිය රටෙහි වසන මහණකු හෝ බමුණෙකු වෙහෙසියැ යුතු කොට සිතන්නේ දැ” යි මේ සිත විය. වහන්ස, ඒ මම් වනාහි ඥාතපුත්‍ර නිර්ග්‍රන්ථයන්ගේ වචනය මැනැවැයි නො පැසසිමි, විරුද්ධ බසකුදු නො කීමි. නොම පසසා, නො ද විරුදු බසක් කියා, නො සතුටු සිතැතියෙම්, නොසතුට හඟවන වචනයක් ද නොකියා, ඔවුන් කී ඒ බස් සාරවශයෙන් ද නො පිළිගත්තෙම්, සිතැ ද නො ම තබා ගත්තෙම්, හුනස්නෙන් නැඟී නික්මැ ගියෙමි.

23.  නැවත ද වහන්ස, එක් වරෙක මම් වෛරාටිපුත්‍ර සංජයන් කරා ගියෙමි. ගොස් ඔවුන් හා සතුටු වීමි. සතුටට කරුණු වූ සිතැ රැඳැවිය යුතු  වු කථාව නිමවා පසෙක ඉඳ ගතිමි. වහන්ස, එසේ ඉඳගත්තෙම් ඔවුන් අමාතා, “භවත් සංජයයෙනි, යම්සේ අතැරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැන වදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබ‍ළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය, යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්, ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත් පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු වු සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා  දන් මහණ බමුණු කෙරෙහි පිහිටුවත්. වහන්ස, මෙසේ ම මහණ දමෙහි සාන්ද්‍රෘෂ්ටික (මෙහි ම අත්දැකිය හැකි) ඵලවිපාකයක් පණවන්නට (දක්වන්නට) හැකිදැ” යි  මෙය කීමි.

වහන්ස, මෙසේ මා කී කල්හී වෛරට්ටීපුත්‍ර සංජයෝ මට මෙය කීහ:

පරලොවක් ඇත්දැ යි ඉඳින් මා විචාරයි නම්, පරලොවෙක් ඇතැයි මට අදහස් වී නම්, පරලොවෙක් ඇතැ යි යුෂ්මත්හට එය විසඳන්නෙමි. එහෙත් මෙසේත් මගේ අදහසෙක් නැත. පරලොවක් ඇතැයි එ පරිදි වු අදහසෙකුත් මට නැත. අන් පරිද්දෙකිනුත් මගෙ අදහසෙක් නැත. පරලොවක් නොමැත්තේ නොවේ  කියාත් මගෙ අදහසෙක් නැත.

‘පරලොවක් නැත්දැ’යි ඉඳින් මා විචාරයි නම්, ........

‘පරලොවක් ඇත්තේත් නැත්තේත් වේ දැ’ යි මා විචාරයි නම්,....................

‘පරලොවෙක් නො ම ඇත්තේත් නැත්තේත් වේ දැ’ යි  මා විචාරයි නම්,......................

‘පරලොවෙක් නො ම ඇත්තේ නැත්තේත් නො ම වේ දැ’ යිත් මා විචාරයි නම්, ..........

 

‘මෙයින් සැව පරලොවැ උපදනා සත්තු ඇත්දැ’යි,.............

‘මෙයින් සැව පෙරලොවැ උපදනා සත්තු නැත් දැ’ යි ,...........................

‘මෙයින් සැව පරලොවැ උපදනා සත්තු ඇත්තේත් නැත්තේත් වෙත් දැ’ යි...................

‘මෙයින් සැව පෙරලොවැ උපදනා සත්තු ඇත්තෝත් නොම වෙත් ද , නැත්තෝත් නො ම වෙත් දැ’ යි................

 

‘කුශලාකුශලකර්මයන්ගේ ඵල විපාක ඇද්දැ’යි ........................

‘කුශලාකුශලකර්මයන්ගේ ඵල විපාක නැත්දැ’යි.................................

‘කුශලාකුශලකර්මයන්ගේ ඵල විපාක ඇත්තේත් නැත්තේත් වේ දැ’යි.....................

‘කුශලාකුශලකර්මයන්ගේ ඵල විපාක ඇත්තේත් නැත්තේත් නොවේ දැ’යි...........................

 

‘සත්ත්වයා මරණීන් මත්තෙහි වන්නේ දැ’ යි..................

‘සත්ත්වයා මරණීන් මත්තෙහි නො වන්නේ දැ’ යි.......................

‘සත්ත්වයා මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් වේ දැ’ යි...........

‘සත්ත්වයා මරණින් මත්තෙහි  වන්නේත් නොවන්නේත් නො වේ දැ’ යි මෙසේ මා විචාරයි නම් සත්ත්වයා මරණින් මත්තෙහි නො ම වන්නේ ය නො වන්නේ නොවේ’ යි කියා යුෂ්මත්හට එය විසඳන්නෙමි. ‘මේ කාරණය මෙසේ ම යැ’ යිත් මට අදහසක් නොවේ. එසේම ‘මේ කාරණය වෙතැ’යිත් මට අදහසක් නොවේ. අන් සැටියකින් ‘මේ කාරණය වෙතැ’යිත් මට අදහසක් නොවේ ‘මේ කාරණය මෙසේ නො වෙතැ’යිත් මට අදහසක් නොවේ ‘මෙය මෙසේ නො වන්නේ නැතැ’ යි ද මට අදහසක් නොවේ යනු යි.

 

වහන්ස, මා විසින් වෛරට්ටීපුත්‍ර සංජයෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය විචාරන ලදුවෝ ම අපර්‍යන්තවික්ෂේපය (ඉමක් කොණක් නැති සේ වචනයන්ගෙන් ප්‍රශ්ණය ඉවත් කිරීම) පැවසූහ. වහන්ස, අඹ විචාරණ ලද්දේ දෙල් ගැන කියනුයේත් දෙල් විචාරන ලදුයේ අඹ ගැන කියනුයේත් යම් සේ ද, එසේ ම, වහන්ස, වෛරට්ටීපුත්‍ර සංජයෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵල විචාරන ලදුවෝ ම වික්ෂේපය පැවසූහ.

වහන්ස, ඒ මට ‘‘මේ තෙමේ මහණබමුණන් අතුරෙන් හැම ගෙන් ම බාලතම ය, මූඩතම ය, සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵල විචාරන ලදුයේ ම කෙසේ නම් වික්ෂේපය කියා පාන්නේදැ?’’  යි මේ අදහස විය. වහන්ස, ඒ මට ‘‘ කෙසේ නම් මා වැන්නෙක් මා රටවැසි මහණකු හෝ බමුණකු හෝ වෙහෙසිය යුතු කොට සිතන්නේ දැ?’’ යි මේ සිත විය. වහන්ස, ඒ මම වෛරට්ටීපුත්‍ර සංජයයන්ගේ වචනය නො ම පැසැසීමි. එයට විරුද්ධ බසකුත් නො කීමි. නො පසසා, විරුදු බසකුත් නො කියා, නො සතුටු වූයෙම් නමුදු නො සතුට හඟවන බසක් නො නික්මවා, ඒ ඔහුගේ සාර විසිනුත් නො පිළිගනුයෙම්, සිතැ ද නො තබනුයෙම්, හුනස්නෙන් නැගී නික් මැ ගියෙමි.

24. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද විචාරමි. වහන්ස, යම්සේ අතැරුවෝ ය, අසරුවෝ ය, රියරුවෝ ය, දුනුවායෝ ය, දියදද දරනුවෝ ය, සෙන් විදහනුවෝ ය, සැහැසි මහ සෙබළෝ ය, යුද වදිනා උසස් රජපුත්තු ය, යුද මැදට පැන වදුනා යෝධයෝ ය, ඇතුන් බඳු මහ සෙබ‍ළෝ ය, හුදෙකලා වැ යුද වදිනා සෙබළෝ ය, සම්සැට්ටයෙන් වැසී හෝ පලිහත් දරා යුද කරන්නෝ ය, ගෙහි ම වූ ගෘහදාස යෝධයෝ ය මේ වඩන්නෝ ය, ඇම්බැට්ටයෝ ය, නාවන්නෝ ය, සූපකාරයෝ ය, මලාකාරයෝ ය, රජකයෝ ය, පෙහෙරු ය, කුලුපොත්තෝ ය, කුඹල්ලු ය, අච්ඡිද්‍ර ගණකයෝ ය, හස්තමුද්‍රා ගණකයෝ ය, යන මොවුන් පුරුදු පුහුණු කරන ශිල්ප කෙනෙක් වෙත් ද, ඔහු හැම මේ අත්බව්හි ම තම තමන් විසින් ම දැක්කැ හැකි ඵල ඇති ශිල්ප නිසා දිවි රකිත්, ඔහු එයින් තමන් සුවපත් කෙරෙත්, පිනවත්. මාපියන් සුවපත් කෙරෙත්, පිනවත්. අඹුදරුවන් සුවපත් කෙරෙත්, පිනවත්. මිත්‍රාමාත්‍යයන් (සග යහළුවන් ) සුවපත් කෙරෙත් පිනවත්. මත්තෙහි පල දෙන සග සැපතට සුදුසු වු සුඛ විපාක ඇති ස්වර්ගය පිණිස පවත්නා  දන් මහණ බමුණු කෙරෙහි පිහිටුවත්. වහන්ස, මෙසේ ම මහණ දමෙහි සාන්ද්‍රෘෂ්ටික (මෙහි ම අත්දැකිය හැකි) ඵලවිපාකයක් පණවන්නට (දක්වන්නට) හැකිදැ” යි  රජ විචාළේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: මහරජාණෙනි, හැක්කේ ය. එසේ නම් තොප පිළිවිසමි. තොප රිසි ලෙසකින් උත්තර දෙන්නැ.

25. මහරජාණෙනි, මතු දැක්වෙන කරුණු තෙපි කිමැ යි (කෙසේ) සිතන්නහු ද? මෙහි තොපගේ වැඩ පල කරන, පලමුවෙන් නැගී සිටින ස්වාමීයාට කළයුතු වතාවත් හැම කොට නිමවා පසු වැ හෝනා සුලු, කීකරු වැ හැසිරෙන, තොප මනාප දෑ ම කරන, ප්‍රිය කථා ඇති, තොපගේ තුටුපහටු මුහුණ ම බලමින් හැසිරෙන(=මුහුණ සතුටු කරන්නට ම උත්සාහ කරන) දාසයෙක් ඇත්තේ නම්, ඔහුට ‘‘පිනෙහිගතිය, පිනෙහි ඵල විපාක අහෝ ආශ්චර්‍ය යි! අහෝ පුදුම යි! මේ වෛදේහීයපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ වනාහි මිනිසෙකි. මම් ද මිනිසෙක්මි. මේ රජ වූ කලී පස්කම්ගුණයෙන් යුක්ත වූයේ සමන්විත වූයේ දෙවියකු මෙන් ඉඳුරන් පිණවයි. මම් වු කලී ඔහුගේ වැඩ පල කරන, පලමුවෙන් නැඟී සිටින, සියළු කටයුතු නිමවා හැමට ම පසුව වැදැ හෝනා, කීකරු වැ පවත්නා, ඔහුට මනාප සේ හැසිරෙන, ප්‍රිය වචන කියන, ඔහු සතුටු මුහුණ දක්නට බලා සිටින දාසයෙක්මි. පින් කෙළම් වීම් නම්, ඒ මමත් මොහු සේ වන්නෙමි. එබැවින් කෙහෙරවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිදිබිමට වදින්නෙම් නම්, ඉතා යෙහෙකැ’’ යි මෙසේ සිතෙක් වෙයි.

හේ පසු කලෙක කෙහෙ රවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිදි බිමට වදනේ නම්, මෙසේ පැවිදි වුයේ දැහැමින් ලබන කන බොන දෑ හා හඳනා පොරෝනා සිවුරු ම පරම කොටැති බැවින් (එයින් මත්තෙහි අන්කිසි ආමිසයක් නොසොයන බැවින්) තෘප්ත වූයේ, කායචිත්තවිවේක දෙක්හි ඇලුණේ, කායද්වාරයෙන් සංවෘත වැ (අකුසල් නො කැරෙන සේ කය රැක ගෙන) වසන්නේ නම්, වාග්ද්වාරයෙන් සංවෘත වැ (වාග්ද්වාරයෙන් අකුසල් නො කැරෙන සේ වචනය රැක ගෙන) වසන්නේ නම්, මනෝද්වාරයෙන් සංවෘත වැ (සිතෙන් අකුසල් නො කැරෙන සේ සිත රැක ගෙන) වසන්නේ නම් -

ඉඳින් තොපගේ රාජපුරුෂයෝ තොපට ‘අවසර! දේවයන් වහන්ස, දැනගන්න: ඔබ වහන්සේගේ වැඩ කටයුතු කරන, කලින් නැගී සිටින, හැමට ම පසුවැ සැතැපෙන, කීකරු වැ හැසිරෙන, ඔබ වහන්සේට මනාප දෑ ම කරන, පිය බස් ඇති, ඔබ වහන්සේගේ තුටු පහටු මුහුණ ම බලමින් හැසිරෙන, ඔබ වහන්සේගේ  යම් දාසපුරුෂයෙක් වී නම්, දේවයන් වහන්ස, හෙ තෙමේ කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ ගිහිගෙන් පැවිදිබිමට වන්නේ ය. හේ මෙසේ පැවිදි වූයේ, දැහැමින් ලැබෙන ආහාර පාන වස්ත්‍ර ම පරම කොටැති බැවින් තෘප්ත වැ වෙසෙයි. ප්‍රවිවේකයෙහි ඇලුණේ, කයින් සංවෘත වැ වෙසෙයි. වචනයෙන් සංවෘත වැ වෙසෙයි. සිතින් සංවෘත වැ, වෙසේ යැ’ යි දන්වන්නෝ නම් - ‘භවත්නි ඒ මගේ පුරුෂ තෙමේ ඒවා. නැවත ද මගේ වැඩපල කරන, පලමුවෙන් නැගී සිටින, හැමට ම පසු වැ සැතපෙන, කීකරු වැ හැසිරෙන, මනාපචාරී ප්‍රියවාදී, මා මුහුණ සතුටු කරන්නට බලා සිටින, මගේ දාසයෙක් වේවා  යි තෙපි මෙසේ කියන්නහුදැ?’’  යි. (භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක.)

වහන්ස, එය එසේ නොවෙයි. වැලි, අපි ම ඔහු ආදරයෙන් වඳින්නමෝ ද වමු. දැක හුනස්නෙන් නැඟී සිටින්නමෝ ද වමු. අස්නෙන් නිමතන්නමෝ ද වමු. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් ආදරයෙන් නිමතන්නමෝ ද, වමු ඔහුට ධාර්මික රක්ෂාවරණ ගුප්තිය (දැහැමි රකවල) ද සලසන්නමු’’ යි රජ කීය.

“ මහරජාණෙනි, එය කිමැයි සිතන්නවු ද? ඉඳින් මෙසේ ඇති කල්හී මහණදම් පිරීමේ සාන්දෘෂ්ටිඵලයෙක් ඇත්තේ වේද? නොවේ ද?”යි (භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.)

“ වහන්ස, මෙසේ ඇති කලැ ඒකාන්තයෙන් සාන්දෘෂ්ටිකශ්‍රාමණ්‍යඵලය වේ” යි (රජ කීය.)

“ මහරජ මේ වනාහී තොපට මා විසින් පණවන ලද මේ අත්බව්හි ම ලැබෙන පලමු වන සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය වේ.” යි (භාග්‍යවතුන් වහන්සේ වාදළ සේක.)

26. “ වහන්ස, මෙසේ ම අනෙකුදු මේ අත්බව්හි වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයක් පණවන්නට හැක්කේදැ?” යි (රජ පුළුවුත.)

හැක්කේ ය, මහරජාණෙනි, එසේ වී නම්, මහරජාණෙනි, තොප ම මෙහි ලා පිළිවිසිමි. තොපට රිසියෙන පරිදි එය කියන්නැ. මහරජාණෙනි, ඒ කිමැයි හඟනාහු ද? මෙහි ගොවිතැන් කරන, එක් ගෙයකට අධිපති වූ, තොප අයබදු සපයන ධනධාන්‍ය වඩාලන, තොපගේ පුරුෂයෙක් ඇත්තේ නම්, ඔහුට ‘පින්වත්නි, පිනෙහි ගතිය, පිනෙහි ඵලය ආශ්චර්‍ය ය!අද්භූතය! මේ වෛදේහීයපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ වනාහි මිනිසෙකි. මම් ද මිනිසෙක්මි. මේ...... රජ වූ කලී පස්කම්ගුණයෙන් යුක්ත වූයේ සමන්විත වූයේ දෙවියකු මෙන් ඉඳුරන් පිණවයි. මම් වු කලී  එක් ගෙයකට ම අධිපති, අයබදු පසයන, ධනධාන්‍ය වඩා ලන, ඔහුගේ ගොවියෙක් වෙමි.  ඒ මම් ඉඳින් පින් කරන්නෙම් නම්, ඒකාන්තයෙන් මොහු බඳු වන්නෙමි. ඒ මම් කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ, ගිහිගෙන් පැවිද්දට වදනෙම් නම්, ඉතා යෙහෙකැ’ යි මෙසේ සිතෙක් වන්නේ නම් -

හේ පසු කලෙක මඳ වූ හෝ සම්පත්රැස හැර දමා, මහත් වූ හෝ සම්පත් රැස හැරදමා මඳ වූ හෝ ඥාතිවර්ගයා හැර දමා, මහත් වූ හෝ ඥාතිවර්ගයා හැරදමා, කෙහෙරවුලු බහවා, කසාවත් හැඳ, ගිහිගෙන් පැවිද්දට වදින්නේ නම්, මෙසේ පැවිදි වූ ම හේ දැහැමින් ලත් ආහාර පාන චීවර පමණෙකින් ම සතුටු වැ, කයචිත්ත විවේකයෙහි ඇලුණෙක් වැ, කයින් සංවෘත වැ වචනයෙන් සංවෘත වැ මනසින් සංවෘත වැ වෙසෙන්නේ නම්-

තොපගේ පුරුෂයෝ තොපට  “ අවසර! දේවයන් වහන්ස, කාරණයක් දැන ගන්න. ගෘහපතික වූ, අයබදු සපයන, ධනධාන්‍ය වඩාලන, ඔබ වහන්සේගේ ගොවියෙක් වූ යම් පුරුෂයෙක් වී ද, හේ කෙහෙරවුලු බහවා කසාවත් හැඳ ගිහිගෙන් පැවිද්දට වන්නේ ය. හේ  මෙසේ පැවිදි වූයේ ම, දැහැමින් ලත් ආහාරපානචීවර පමණෙකින් තෘප්ත වැ ප්‍රවිවේකයෙහි ඇලුණේ, කයින්......වචසින්.......මනසින් සංවෘත වැ වෙසේ යැ’යි  මෙසේ දන්වන්නෝ නම් - ‘ භවත්නි ඒ මගේ පුරුෂ තෙමේ ඒවා. නැවැතත් ගෘහපතික වූ, අයබදු සපයන, ධනධාන්‍ය වඩාලන මගේ ගොවියෙක් වේවා’යි තෙපි කියන්නහු දැ?” යි (භාග්‍යවතුන් වහන්සේ පුළුවුත් සේක.)

“වහන්ස, එය එසේ නො වන්නේ ය. වැලි, අපිම ඔහු ආදරයෙන් වඳින්නමෝ ද වමු. දැක හුනස්නෙන් නැගී සිටින්නමෝ ද වමු. අස්නෙන් නිමතන්නමෝද වමු. සිවුරු බොජුන් සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකරින් ආදරයෙන් නිමතන්නමෝ ද වමු. ඔහුට ධාර්මික රක්ෂාවරණ ගුත්තිය (දැහැමි රැකවල) ද සලසන්නෙමු”යි රජ කීය.

“ මහරජාණෙනි,  එය කිමැයි සිතන්නවු ද? ඉඳීන් මෙසේ ඇති කල්හි මහණදම් පිරීමේ සාන්දෘෂ්ටිකඵලයෙක් ඇත්තේ වේද? නොවේ ද?”යි (භාග්‍යවතුන් වහන්සේ අසා වදාළ සේක.)

 

“ වහන්ස, මෙසේ ඇති කලැ ඒකාන්තයෙන් සාන්දෘෂ්ටිකශ්‍රාමණ්‍යඵලය වේ” යි (රජ කීය.)

“මහරජ, මේ වනාහී තොපට මා විසින් පණවන ලද මේ අත්බව්හි ම ලැබෙන දෙවෙනි සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය යැ” යි(භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)

27. “ වහන්ස, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයට වඩා මනාප වූ, වඩා උතුම් වූ මේ අත්බව්හි ම ලැබෙන අනෙකුදු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙක් පැනවිය හැක්කේ දැ” යි (රජ පුළුවුත.)

“හැකි යි මහරජාණෙනි. එසේ නම් අසන්නැ. මොනවට සිත යොමු කරන්නැ. කියන්නෙමි ” යි (භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.)

“ එසේ ය වහන්සැ” යි කියා වෛදේහිපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ පිළිවදන් දුන්නේ ය.

28. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:

“ මහරජාණෙනි, මෙහි අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ නිරුත්තරපුරුෂදම්මසාරථී වු දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණබමුණන් සහිත, සම්මත දෙවියන්(රජුන්) හා සෙසු මිනිසුන් හා සහිත සත්ත්වප්‍රජාව ද තෙමේ විශිෂ්ට නුවණින් දැන ප්‍රත්‍යක්ෂ කොට ඔවුනට අවබෝධ කරවයි. හේ දහම් දෙසනුයේ ආදියෙහි භද්‍රක (නිවරද)කොට, මධ්‍යෙයහි භද්‍රක( නිවරද)කොට, අවසන භද්‍රක (නිවරද) කොට  අර්ථ සහිත කොට, ව්‍යඤ්ජනයෙන් සහිත කොට, සර්වප්‍රකාරයෙන් පූර්ණ කොට, පිරිසිදු කොට, දහම් දෙසයි. (එසේ දෙසනුයේ ශික්ෂාත්‍රයයෙන් සංගෘහීත වූ සියලු) ශාසනබ්‍රහ්මචර්‍යය ප්‍රකාශ කෙරෙයි.

ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයක උපන්නෙක් හෝ ඒ ධර්මය අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුහු කෙරෙහි සැදැහැ ඇති කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධාලාභයෙන් මන්විත වූයේ,  ‘ගිහිගෙයි විසීම් සම්බාධයෙකි (අවහිරයෙකි). (රාගාදී රජස් නැගෙන) රජස් පථයකි. පැවිද්ද (සම්බාධ නැති) අභ්‍යවකාශය (එළි මහන) වැන්න. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරසිදු කොට, ශංඛලිඛිතයක් සේ මේ බඹසර සරන්නට පහසු නොවේ. (එබැවින්) මම කෙහෙරවුලු බහවා කසාවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් පැවිදිබිමට වදනෙම් නම් යෙහෙකැ’ යි මෙසේ නුවණින් සලකයි.

හේ පසු කලෙක අල්ප වූ හෝ සම්පත් රැස හැර, මහත් වූ හෝ සම්පත් රැස හැර, මඳ වු හෝ නෑ පිරිස හැර, මහත් වූ හෝ නෑ පිරිසි හැර, කෙහෙරැවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම ප්‍රාතිමෝක්ඛසංවරයෙන් සමන්විත වූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ, ස්වල්පමාත්‍ර වූද වරදෙහි බිය දක්නේ, නිවැරද වූ කායවාග්කර්මයෙන් සමන්විත වූයේ, එහෙයින් ම පිරිසිදු ආජීව ඇතියේ, සිල්වත් වූයේ ඉන්ද්‍රියයන්හි වැසූ දොර ඇතියේ, බොජුන්හි පමණ දන්නේ( සත් තන්හි) සිහියෙන් හා නුවණීන් හා යුක්ත වූයේ සිව්පසයෙහි තුන්වැදෑරුම් සතුටින් සතුටු වූයේ. ශික්ෂාපදයන්හී සමාදන් වැ හික්මෙයි.

29. මහරජ, මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේද ? යත්: මහරජ, මෙහි මහණ තෙමේ ප්‍රණඝාතය හැරැ දමා, ප්‍රාණඝාතයෙන් වෙසෙසින් වැළැක්කේ වෙයි. බහා තැබූ දඬුමුගුරු ඇත්තේ (දඬුමුගුරු නොදරන්නේ), බහා තැබූ ආයුධ ඇත්තේ (ආයුධ නොදරන්නේ) පවට පිළිකුල් කරන්නේ, මෛත්‍රියට පැමිණියේ (මෛත්‍රියෙන් යුක්ත වූයේ), සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ එක් ශීලයෙක් වේ.

හේ අදත්තාදානය දුරැ ලා බඹසර සරන්නේ වෙයි. ගැමිදහමක් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ, එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

හේ අබ්රම්සර දුරැලා බඹසර සරන්නේ වෙයි. ගැමිදහමක් වූ මෙවුන්දමින් දුරු වැ ඉවසනසුලු වූයේ, නොසොර වූ පිරිසිදුසිතින් යුතු වැ වෙසේ. මේ ද ඔහුගේ ශිලයෙක් වේ.

හේ බොරු කීම දුරැ ලා, බොරු කීමෙන් වැළැක්කේ වෙයි. ඇත්ත කියනසුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ, තහවුරු වැ පිහිටි කථා ඇත්තේ, ඇදහිය යුතු කථා ඇත්තේ, ලොව නො රවටන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

හේ කේළාම් කීම් දුරැ ලා, කේලාම් කීමෙන් වැළැක්කේ වේ. මේ තැනින් අසා මොවුන් (ඔවුන් ගෙන්) බිඳවනු පිණිස එතැන්හි නො කියනසුලු වූයේ, එ තැනින් අසා ඔවුන් (මොවුන්ගෙන්) බිඳුවනු පිණිස මෙතන්හි නො කියන සුලු වූයේ,  මෙසේ බිඳුනවුන් ගළපන්නේ (සමඟකරන්නේ) ද, එකට ගැළැපුනවුන් (සමඟියටපැමිණියවුන්) හට රුකුල් දෙන්නේ ද වෙයි. සමඟිය ඇති කරන බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

හේ රළු බිණුම් දුරැ ලා, රළු බස් දෙඩුමෙන් වැළැක්කේ වෙයි. නිදොස්, කන්කලු, පෙම් උපදවන, පහසුවෙන් සිතැ වැදැගන්නා, නො ගැමි, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාගේ මන වඩන යම් බසෙක් වේද, එබඳු වූ බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ සීලයෙක් වේ.

හේ බොල් හිස් දෙඩැවිලි හැරැදමා, බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වෙයි. සුදුසු කාල වේලායෙහි කථා කරන සුලු වූයේ, ඇත්තම කියන සුලු වූයේ, වැඩ සලසන බසක් ම කියන සුලු වූයේ,  නව ලොවුතුරුදහම් ඇසුරු කොට ම කියනසුලු වූයේ, හික්මීම ඇති කරන බසක්ම කියනසුලු වූයේ, සිතැ තබා ගන්නට සුදුසු වූ, කරුණු සහිත වූ, ඉමක් කොනක් ඇති (ප්‍රමාණවත් වූ), දෙලෝ වැඩ හා සම්බද්ධ වූ ම බසක් සුදුසු කාලයෙහි කියන්නේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

30. හේ බීජසමූහ(=පැළ වන දෑ) ද, භූතසමූහ (පැළ වුණු දෑ) ද, සිඳුමෙන් බිඳුමෙන් වැළැක්කේ වෙයි. රෑ බොජුනෙන් වැළැක්කේ, එක් වේලේ වළඳන බත් ඇත්තේ, නොකල් බොජුනෙන් වැළැක්කේ වෙයි. නටනු ගනු වයනු විසුළුදසුන් යන මෙයින් වැළැක්කේ වෙයි. ඇඟැ සැරැසීමට කරුණු වන මල්ගඳවිලෙවුන් දැරීමෙන් වැළැක්කේ වෙයි. පමණ ඉක්මැවූ උසසුන් ද, නොකැප වූ මහසුන් ද යන දෙකින් ම වැළැක්කේ වෙයි. රන් රිදී මසු කහවණු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු ධාන්‍ය පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. අමු මස් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ස්ත්‍රීන් කුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. දැසිදසුන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. එළුවන් බැටෙළුවන් පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. කුකුළන් හූරන් පිළිගැන්මෙන් වැළෑක්කේ වෙයි. කෙත්වතු පිළිගැන්මෙන් වැළැක්කේ වෙයි. ගිහියනට දූතමෙහෙවර කිරීමෙහි ද ගෙන් ගෙට පණිවිඩ පණත් ගෙන යෑමෙහි ද යෙදීමෙන් වැළැක්කේ වෙයි. වෙළෙඳ ගනුදෙනුයෙන් වැළැක්කේ වෙයි. හොරතරාදියෙන් කිරුමෙන්, බොරු රන් පෑමෙන්, හොර මිනුම්වලින් මිනුමෙන් වැළැක්කේ වෙයි. අල්ලස් ගෙන හිමියන් නොහිමි කිරීමෙන්, නානා උපායෙන් අනුන් රැවැටුමෙන්, අගනා දැයට හුරු නො අගනා දැයක් පෙන්නා කරන මායායෙන්, මේ කී නොකී හැම කෛරාටිකකම්වලින් ම වැළැක්කේ වෙයි. අත් පා ආදිය සිඳීමෙන් ද, මැරීමෙන් ද, රැහැන් ආදියෙන් බැඳීමෙන් ද, සැහැසිකම්වලින් ද වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.

චූල්ලසීලය නිමියේ ය.

31. යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මූලබීජ, (හිඟුරු ආදී පැළ වන මුල් ද), ස්කන්ධබීජ ද(නුග ආදී පැළ වන කඳ ද), පරුවීජ ද (උක් උණ බට ආදී පැළ වන පුරුක් ද), අග්‍රවීජ (ඉරිවේරිය හා පැළවන දළු ද), පස් වනු වීජ වීජ ද(වී ආදී පැළ වෙන ඇට ද) යන මේ කී වීජසමූහ ද (පැළ වන දෑ ද) භූතසමූහ ද (පැළැවුණ දෑ ද) පෙළීමෙහි (සිඳුම් බිඳුම් තැලුම් තැවුම් යැ යි)කියන ලද සමාරම්භයෙහි යෙදුණෝ වෙසෙත් ද, හෙ තෙමේ මේ බඳු වීජග්‍රාම භූතග්‍රාම සමාරම්භයෙන් වැළැක්කේ වෙයි.  මේ ද ඔහු ගේ ශීලයෙක් වේ.

32. යම්සේ වනාහී ඇතැම් භවත් මහණබමුණු කෙනෙක් සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, කෑම රැස් කොට තබා ගැන්ම, බොන දෑ රැස් කර තබා ගැන්ම,  වස්ත්‍ර රැස්කොට තබා ගැන්ම, රිය ගැල් ආදිය ද පාවහන් ආදිය ද යන යාන රැස් කොට තබා ගැන්ම, ඉහතැ කී දෑ හැර තවත් තල සහල් ඈ වුවමනා පසය රැස් කොට තබා ගැන්ම යන මෙසේ වූ සන්නිධිකාරපරිභොගයෙහි (පසය රැස් කොට තබාගෙන වැළඳීමෙහි) යෙදී වෙසෙත් ද, හෙ තෙමේ මේ හෝ මෙබඳු වූ හෝ සන්නිධිකාර පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

33. යම්සේ සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා නැටුම් ගැයුම් වැයුම්, නටසමජ්ජා (නළුවන් සමූහයක් එක්ව ජන සමූහයා ඉදිරියේ දක්වන නැටුම්), ආඛ්‍යාන (මහාභාරතාදිය කීම හෝ ඇසීම), පාණිස්වර (අතින් ලොහොබෙර ගැයුම් හෝ අත්තල ගැසීම), වේතාල (දඬුමුවා තාළම්පට ගැසීම හෝ මතුරු දපා මළසිරුරු නැගිටුවීම), කුම්භථූන (සිව්රස් බෙර වැයුම්), ශෝභනක (රංගබලිකරණය හෙවත් රඟමඩුල්ලෙහි දී දේවතාවනට ස්තෝත්‍ර වශයෙන් නාන්දීගීත ගායනය හෝ ප්‍රතිභානචිත්‍ර කිරීම), සනදොවුන් කෙළිය (හෝ ආයොගුඩක්‍රීඩාව), උණගස් ඔසොවා ගෙන කරන ක්‍රීඩාව, අස්ථිධොවනය (මලවුන්ගේ ඇට සුවඳ කවා තබා නකත්සෙමෙහි ඊ වටා සිට උත්සව කිරීම), ඇත්පොර, අශ්පොර, මියුපොර, ගොන්පොර, එළුපොර, බැටෙළුපොර, කුකුළුපොර, වටුපොර, පොලුහරඹ, මිටුයුද, මල්ලපොර, යුද පවත්නා තැන් දක්නට යෑම, බළසෙන් ගණිනා තැන් දක්නට යෑම යන මෙබඳු විසුළු දස්නෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයක් වේ.

34. යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සදැහැයෙන් දුන් බොජුන් වළඳා, අටපාකෙළිය, දසපාකෙළිය, අහස්දූකෙළිය, මඩුලු පැනුම, සන්තිකාක්‍රිඩාව, දාදුකෙළිය, කල්ලි ගැසුම, සලාඅත්කෙළිය, ගුළකෙළිය, කොළ නළා පිඹුම, කෙළිනගුලින් හෑම, කරණම් ගැසුම, කන්නංගුරුවා කෙළිය, කොළ නැළියෙන් වැලි ඈ මැනුම, ක්‍රිඩාරථ පැදැවීම, කුඩා දුන්නෙන් විදීම, ඇකිරිකෙළිය, (පිටේ හෝ අහසේ අකුරු ඇඳ කියැවීම), සිතු දැය කීමේ ක්‍රීඩාව, විකලාංගානුකරණය (කනුන් කොරුන්  ආදීන් සේ ඉරියව් පැවැත්වීම.)  යන මෙබඳු වූ පමාවට කරුණු වූ දූ කෙළියෙහි යෙදී වෙසෙත් ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ පමාවට කරුණු වූ දූකෙළියෙහි යෙදීමෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.

35.  යම්සේ වනාහී ඇතැම් භවත් මහනබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, දික්සඟලා පුටුය, මහ කොඳුපලසය, වියමනෙන් විසිතුරු කළ එළුලොම්මුවා ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම් ඇතිරිය, ගනමල් යෙදූ එළුලොම් ඇතිරිය. තිලිය(පුළුන් මෙත්තය), සිංහාදිරූපවලින් විසිතුරු කළ එළුලොම් ඇතිරිය, දෙපැත්තේ ම ලොම් ඇති එළුලොම් ඇතිරිය එක් පැත්තේ පමණක් ලොම් ඇති එළුලොම් මුවා ඇතිරිය, අසු පිටැ එලන ඇතිරිය, රිය එලන ඇතිරිය, ඇඳට සරලන සේ අදුන් දිවිසමින් මසා කළ ඇතිරිය, කෙහෙල්මුවසමින් කළ මහඟු පසතුරුණ, ඉස්දොර පාමුල රතු කොට්ට තබා ඇති රතු උඩුවියන් සහිත මහඟු යහන යන බෙමඳු වූ උස් යහන් මහ යහන් පරිහරණය කිරීමෙහි යෙදී වෙසෙද්ද, හේ තෙමේ මේ හෝ මේ බඳු වූ උස් යහන් මහ යහන් පරිභෝගයෙන් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.

36. යම්සේ වනාහි සමහර භවත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, සුවඳ සුණුයෙන් ඇඟ ඉලීම්, අත්පා ඇහි මනා සටහන් ගන්වනුවට තෙල් ගා මැඩීම, සුවඳ දියෙන් නෑවීම, උරහිසඈහි මස් වැඩෙනුවට මුඟුරින් තැළීම, කැඩපතින් මුහුණ බැලීම, අලංකාර වශයෙන් අඳුන් ගෑම, මල් පැලැඳීම හා විලෙවුන් දැරීම, මුවසුණු මුවවිළෙවුන් දැරීම, හස්තාභරණ දැරීම, හිසැ කුඩුම්බිය බැදීම, විසිතුරු සැරයටි දැරීම, විසිතුරු බෙහෙත්නළ දැරීම, කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නලල්පට බැඳීම, සිළුමිණ පැලැඳීම, විසිතුරු සෙමෙර විදුනා දැරීම, දික් දාවලු ඇති සුදු රෙදි හැදීම යන ආදී ඇඟ අඩු තැන් පිරවීමටත් ඇග සැරසීමටත්, කරුණු වන දෑ පරිභෝගකිරීමෙහි යෙදී වෙසෙත් ද, හේ මහණ තෙමේ මේ හෝ මේ බඳු දෑ පරිභෝග කිරීමෙන් වැළෑක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

37. යම්සේ වනාහී සමහර භවත් මහණබමුණෝ සැදැහෙන් දුන් බොජුන් වළඳා, රාජකථා, චෝරකථා, මහාමත්‍ය කථා, සේනා කථා, භය කථා, යුද්ධ කථා, ආහාර කථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලා කථා, ගන්ධකථා, ඥාති කථා, යාන කථා, ග්‍රාම කථා, නිගම කථා, නගර කථා, ජනපද කථා, ස්ත්‍රී කථා, පුරුෂ කථා, කුමාර කථා, කුමාරී කථා, ශූර කථා, වීථි කථා, කුම්භස්ථාන කථා, නානාත්ව කථා, ලෝකාඛ්‍යායිකා කථා, සමුද්‍රාඛ්‍යායිකා කථා, ඉතිභවාභව කථා යන මේ බඳු වූ තිරශ්චින කථාවල යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙයින් අන්‍ය වූ හෝ මේ බඳු කථාවලින් වැළැකකේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

38. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “තෝ මේ දහම් විනය නො දනිහි. මම ම මේ දහම් විනය දනිමි. ‘මේ දහම් විනය කිමැය‘යි  තෝ දනිහි ද? තෝ වරදවා පිළිපන්නෙහි. මම් මැනවින් පිළිපන්නෙම් වෙමි. මා බස කරුණු සහිත ය. තා බස කරුණු රහිත ය. තෝ පලමුයෙන් කියැ යුත්ත පසු වැ කීයෙහි ය. පසු වැ කියැ යුත්ත පළමුයෙන් කීයෙහි ය. තා කලක් ම පුහුණු කළ දැය මගේ එක වචනයෙන් ම පෙරැළී ගියේ ය. මා විසින් තට දොස් නැගිණ. මා විසින් නිගන්නා ලද්දෙහි. මා නැගු දොසින් මිදෙන්නට හැසිරෙව (ඒ ඒ තැන ගොස් උගනුව). හැකි නම් එය විසඳව” යන ආදීන් මේ බඳු වූ උනුන් බැණ දොඩා ගැනුම්හි යෙදෙත් ද, ඒ මහණ තෙමේ මෙකී හෝ අන් මෙබඳු වූ හෝ බැණුම්දෙඩුම්වලින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

39. යම්සේ සමහර භවත් මහණබමුණෝ “මෙහි යන්නැ, අසෝ තැනට එන්නැ, මෙය ගෙනැ යන්න, අසෝ තැනට මෙය ගෙනෙන්නැ” යි කළ නියෝග පිළිගෙන, රජුන්ගේ රජමහඇමතියන්ගේ ක්ෂත්‍රියයන්ගේ පණිවුඩ ගෙන යෑමෙහි යෙදී වෙසෙත් ද, ඒ මහණ තෙමේ මේ කී හෝ අන් මේ වැනි වූ දූත මෙහෙවරින්, පණිවිඩ ගෙන යෑමෙන් වැළෑක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.

40. යම්සේ සමහර පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා, කුහකකම් කරන්නෝ වෙත් ද, ලාභසත්කාර පතා අනුන් සිත් ඇදෙන සේ වූ චාටු බස් දොඩන්නෝ වෙත් ද, සිවු පසය ලබනු සඳහා කයින් හෝ බසින් ඇඟැවීම් කරන්නෝ වෙත් ද, ලාභාපේක්ෂායෙන් අනුනට ගරහන්නෝ වෙත් ද, ලාභයෙන් ලාභය සොයන්නෝ වෙත් ද, ඒ මහණ තෙමේ මෙ කී හෝ මෙබඳු වූ හෝ කුහනලපනවලින් වැළැක්කේ වෙයි. මේද ඔහුගේ ශීලයෙක් වේ.

මධ්‍යමශීලය නිමියේ ය.

41. යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්ෂණය, ස්වප්නශාස්ත්‍රය, ලක්ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්ෂය යන මෙකී හෝ මෙබඳු වූ හෝ තීරශ්චීනවිද්‍යායෙන්, මිත්‍යාජීවයෙන් දිවි පවත්වත්ද, ඒ මහණ තෙමේ එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වෙයි.

42.  යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, මිණිලකුණුය, වත්ලකුණුය, දඬුලකුණුය, කඩුලකුණුය, ඊලකුණුය, දුනුලකුණුය, අවිලකුණුය, ඉතිරිලකුණුය, පුරිස්ලකුණුය, කුමරලකුණුය, කුමරිලකුණුය, දස් ලකුණු ය, දැසිලකුණුය, ඇත්ලකුණුය, අස් ලකුණුය, මියුලකුණුය, වහප්ලකුණුය, ගොන්ලකුණුය, එළුලකුණුය, බැටෙළුලකුණුය, කුකුළුලකුණුය, වටුලකුණුය, ගොය්ලකුණුය, කැණිලකුණුය, කසුබුලකුණුය, මුවලකුණුය, යන ආදී මෙබඳු තිරශ්චීන විද්‍යායෙන්,  මෙබඳු මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ එයින් වැළෑක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

43..  යම්සේ වනාහි ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “අසෝ දිනැ අසෝ නැකැතින් (යුද සඳහා) සිය නුවරින් අසෝ රජුන්ගේ නික්මීම වන්නේ ය, අසෝ නැකැතින් පෙරළා සිය නුවරට ඊම වන්නේ ය, අසෝ නැකතින් පිටතැ සිටින සතුරු රජුන් හමුවන්නට රට තුල සිටින සතුරු රජුන්ගේ යෑම වන්නේ ය, අසෝ නැකැතින් පිටතැ සිටින සතුරු රජුන්ගේ ඉවත් වැ යෑම වන්නේ ය, අසෝ නැකතින් රට තුළැ සිටින රජුන් කරා පිටතැ සිටින සතුරු රජුන්ගේ පැමිණීම වන්නේ ය, අසෝ නැකතින් ඇතුළතැ සිටින රජුන්ගේ ඉවත් ව යෑම වන්නේ ය, රට ඇතුළතැ සිටන රජුනට ජය වන්නේ ය, පිටතැ සිටින සතුරු රජුනට ජය වන්නේ ය, රට තුළ සිටින රජුනට පරාජය වන්නේ යැ” යි මෙසේ ‘මොහුට ජය වන්නේ ය, මොහුට පරාජය වන්නේ යැ’යි කියමින් මේ බඳු වූ තිරශ්චීනවිද්‍යායෙන්, මෙබඳු වු මිත්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ මේ මෙබඳු වූ තිරශ්චීනවිද්‍යායෙන් මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

44. යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළදා “අසෝ දිනැ චන්ද්‍රග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සූර්‍යග්‍රහණය වන්නේ ය. අසෝ දිනැ සඳ හිරු දෙදෙනා නිසි මඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දිනැ නකත් තරුන් නිසිමඟින් යෑම වන්නේ ය. අසෝ දින ඔවුන් නොමඟින් යෑම වන්නේ ය. අසෝ දින උල්කාපතනය වන්නේ ය. දිග්දාහය වන්නේ ය. භූමිකම්පනය වන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් වන්නේ ය. සඳහිරුන්ගේ ද, නකත් තරුන්ගේ ද, උදාව බැසීම කෙලෙසීම පිරිසිදුබව වන්නේ ය.චන්ද්‍රග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සුර්‍යග්‍රහණය ලොවට මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නක්ෂත්‍රග්‍රහණය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරුන් නිසි මඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. සඳ හිරු දෙදෙනාගේ නොමඟින් යෑම මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. නකත්තරුවල පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. ඔවුන්ගේ උප්පථගමනය මෙබඳු පල ගෙනැ දෙන්නේ ය. උල්කාපතනය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. දිග්දාහය මෙ බඳු පල ගෙනැ දෙන්නේ ය. භූමිකම්පනය මෙබදු පල ගෙන දෙන්නේ ය. වැසි නැති වැ අහස් ගෙරැවුම් මෙබඳු පල දෙන්නේ ය. සඳහිරුන්ගේ ද නකත් තරුවලද උදාවත් බැසීමත් කෙළෙසීමත් පිරිසිදු වීමත් මෙ බඳු මේ බඳු පල දෙන්නේ යැ” යි කියනුවෝ මෙ බඳු තිරශ්චීන විද්‍යායෙන්, මෙ බඳු මිථ්‍යාජීවයෙන් දිවි පවත්වත් ද, ඒ මහන තෙමේ මේ හෝ මෙ බඳු තිරශ්චින විද්‍යායෙන්, මිථ්‍යාජීවිකායෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

45.  යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණ බමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා “මේ සමයෙහි වැසි වස්නේ ය. මේ සමයෙහි නියං වන්නේ ය. මේ සමයෙහි රට සුභික්ෂ වන්නේ ය. මේ සමයෙහි රට දුර්භික්ෂ වන්නේ ය. මේ සමයෙහි රටට උවදුරු වන්නේ ය. මේ සමයෙහි රටට බිය වන්නේ ය. මේ කලැ රෝග වන්නේ, මෙ කලැ රෝග නැති බව වන්නේ යැ” යි පලාපල කීම ද, මුද්‍රාව(ඇඟිලි පුරුක්හී සංඥා තබා ගිණීම )ද, ගණනාව (එක දෙක යන ආදීන් ගිණීම) ද, කාව්‍යශාස්ත්‍රය, ලෝකායත ශාස්ත්‍රය යන මේ හෝ මේබඳු තිරශ්චීන විද්‍යායෙන්, මිථ්‍යාආජිවයෙන් දිවි පවත්වත් ද, ඒ මහණ තෙමේ මේ හෝ අන් මෙ බඳු වු හෝ තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාආජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

46.  යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ආවාහ සඳහා නකත් කීම, විවාහ සඳහා නකත් කීම, වෙන් වූ අඹුසැමියන් එක් වන්නට නකත් කීම, අඹුසැමියන් වෙන් වන්නට නකත් කීම, දුන් ණය රැස් කිරීමට නකත් කීම, මුදල් ණයට පොලියට දීමට නකත් කීම, සෞභාග්‍ය ඇති වනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කැරැ දීම, බිම් පාලු වන්නට හදි හූනියම් කිරීම, නැසෙන්නට යන දරු ගබ් රැකෙන්නට පිළියම් කිරීම, දිවගුලු බැඳිම, මන්ත්‍රාදියේ බලයෙන් හනු තද කිරීම, අත් පෙරැළෙන්නට මතුරු දැපීම, හනු පෙරැළෙන්නට මතුරු දැපීම, කන් අගුලු වැටෙන්නට මතුරු දැපීම, කැඩපතෙහි දේවතාවේශය කොට ප්‍රශ්න ඇසීම, කුමරියක ලවා පේන කියැවීම, දෙව්දැස්සක ලවා පේන කියැවීම, ජිවිකා පිණිස හිරු පිදීම, මහබඹු පිදීම, මතුරු දපා මුවින් ගිනිජල් විහිදුවීම, මතුරු දපා සිරිකත කැඳවීම, යන මේ හෝ අන් මේ බඳු  වූ තිරශ්චීනවිද්‍යයෙන්, මිථ්‍යාජීවයෙන් දිවිපවත්වත් ද, ඒ මහණ තෙමේ මේ ද, අන් මෙබඳු වූ ද තිරශ්චීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශීලයෙක් වේ.

47.   යම්සේ වනාහී ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, ශාන්තිකර්ම, ප්‍රණිධිකර්ම, භූරිකර්ම, පණ්ඩකයා පිරිමියෙකු කිරීම, පිරිමියා පණ්ඩකයෙකු කිරීම, වාස්තුකර්ම, වාස්තු පරිකිරණ, මතුරු දපා මුව දෙවුම, මතුරු දපා අනුන් නෑවිම, සෙත් පතා ගිනිපිදීම, ගිහියනට වමන කරවීම, බඩ විරේක කරවීම, ළය විරේකයට බේත් දීම, වස්ති කිරීම, ශිර්ෂවිරේචන බේත් දීම, කන් ලෙඩට තෙල් පිසැදීම, ගිහියන් සඳහා ඇස පටලයට සිහිල ගන්වන නෙත් තෙල් පිසීම, ගිහියනට නස්‍ය දීම, කාරම් අඳුන් සාදා දීම,  ඇස සිසිල ගන්වන අඳුන් සාදා දීම, ගිහියන්ගේ ඇසැ උල්ඇන ලෙඩට පිළියම් කිරීම, මුල් බෙහෙත් දීම( කාය චිකිත්සාව) , කාරම් බේත් බැඳ වණ සුව වූ පසු ඒවා ගවා දැමීම යැ” යි මේ ආදී වූ හෝ මෙබඳු වූ තිර්ශචීනවිද්‍යායෙන්, මිථ්‍යාජීවයෙන්, දිවි පවත් වත් ද, ඒ මහණ තෙමේ ඒ සියල්ලෙන් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ ශිලයෙක් වේ.

48.  මහරජාණෙනි, ඒ මහණ තෙමේ මෙසේ ශීලසම්පන්න වූයේ ශීලසංවරහෙතුයෙන් කිසිම එක ද අසංවරතායෙකින් පහළ වියැ හැකි බියක් නො දකී. මහරජාණෙනි, කෂ්ත්‍රියාභිෂේකයෙන් අභිෂේක ලත්, වැනසූ සතුරන් ඇති ක්ෂ්ත්‍රියයෙක් කිසි ම එකද සතුරෙකුගෙන් වියැ හැකි කිසිදු බියකුත් යම්සේ නොදක්නේ ද, මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ මේ පරිද්දෙන් ශීලසම්පන්න වූයේ ශීලසංවරහේතුයෙන් කිසිම එක ද අසංවරයෙකින් ඉපැදිය හැකි බියක් නොදකී.  හේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් සමන්විත වූයේ, සිය සතන්හි නිදොස් වූ කායික චෛතසික සුවය විඳී. මහරජ, මෙසේ වනාහී මහණ තෙමේ ශීලසම්පන්න වේ.

___________________

 

49.   මහරජාණෙනි, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හී වැසූ දොර ඇත්තේ වේ ද? යත්: මහරජාණෙනි, මේ  සස්නෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශූභාදිවශයෙන් අත් පා ආදී අවයවයන්ගේ ආකාර සිතට නොගන්නේ වේ. යම් කරුණෙකින් චක්ෂුරින්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ චක්ෂුරින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ චක්ෂුරින්ද්‍රියය රකී. ඒ චක්ෂුරින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

කනින් හඬ අසා ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශූභාදිවශයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් සෝතඉන්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ සෝතඉන්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ සෝතඉන්ද්‍රිය රකී. ඒ සෝතඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

නාසායෙන් ගඳ ආඝ්‍රාණය කොට ශුභාදීවශයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවශයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් ඝාණඉන්ද්‍රිය වසා නොගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද) එහි (ඒ ඝාණඉන්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ ඝාණඉන්ද්‍රියය රකී. ඒ ඝාණඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

දිවෙන් රස ආස්වාද කොට ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවසයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් ජිව්හින්ද්‍රිය වසා  නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ ජිව්හින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ ජිව්හින්ද්‍රියය රකී. ඒ ජිව්හින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

කයින් ස්ප්‍රෂ්ටව්‍යය (ඇඟට හැපෙන දෑ) ස්පර්ශ කොට ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවසයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් කායින්ද්‍රිය වසා  නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ කායින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ කායින්ද්‍රියය රකී. ඒ කායින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

සිතින් ධර්මාලම්බන දැන, ශුභාදී වසයෙන් එහි ලකුණු ගන්නේ නො වේ. ශුභාදීවසයෙන් ආකාර ගන්නේ නො වේ. යම් ආකාරයෙන් මනින්ද්‍රිය සංවර කර නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ මනින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී.  ඒ මනින්ද්‍රියය රකී. ඒ මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.

හේ මේ ආර්‍ය වූ ඉන්ද්‍රියසංවරයෙන් සමන්විත වූයේ සිය සතන්හි අව්‍යාසේක සුඛය (කෙලෙසුන් ගෙන් තෙත් නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්ත සුඛය) විඳී. මහරජාණෙනි,  මෙසේ වනාහී මහණ තෙමේ ඉන්ද්‍රියයන්හී වැසූ දොර ඇත්තේ වේ.

50.   මහරජාණෙනි, මහණ තෙමේ කෙසේ නම් ස්මෘතිසම්ප්‍රජානනයෙන් (සිහිනුවණින්) සමන්විත වේ ද? යත්:

මහරජාණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි (ආපසු හැරීමෙහි) මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. ඉදිරි බැලීමෙහි, අනුදික් බැලීමෙහි, (වටපිට බැලීමෙහි) මනා නුවණින් දැනම (එය) කරනුයේ වෙයි. අත් පා ආදිය හැකිලීමෙහි, දිගු කිරීමෙහි නුවණීන් දැන ම (එය) කරනුයේ වෙයි.  සඟළසිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. ආහාර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටි කැවිලි ආදිය කෑමෙහි, මී ආදිය රස විඳීමෙහි, නුවණීන් දැන ම කරනුයේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණීන් දැන ම කරනුයේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි කථා කිරීමෙහි, නො බිණීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි. මහරජාණෙනි, මෙසේ වනාහී මහණ තෙමේ සිහි නුවණින් සමන්විත වෙයි.

51. මහජරාණෙනි, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේද ? යත්:

මහරජාණෙනි, මේ සස්නෙහි මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට නික් මැ යේ ද, අට පිරිකර පමණක් ගෙන ම නික්මෙයි. මහරජාණෙනි, (පියා හඹනුවට තරම්) අත්තටු ඇති කුරුලු තෙමේ යම් යම් තැනක පියා හඹා යේ නම්, පියාපත්බර සහිත ව ම යම් සේ පියාහඹා යේ ද, එසේ ම, මහරජාණෙනි, ඒ මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට යේ ද පා සිවුරු (ආදී අට පිරිකර පමණක්) රැගෙන ම යෙයි. මහරජාණනි, මෙසේ වනාහි තෙමේ ලද පසයෙහි සතුටු වේ.

52.  මහරජාණෙනි, ඒ මහණ තෙමේ මේ ආර්‍ය ශීලස්ඛන්ධයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය ඉන්ද්‍රියසංවරයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය ස්මෘතිසම්ප්‍රජන්නයෙන් ද සමන්විත වූයේ, මේ ආර්‍ය සන්තුෂ්ටියෙන් ද සමන්විත වූයේ, අරණ්‍ය වෘක්ෂමූල පර්වත කඳුරැලි ගිරිගුහා සොහොන් වනපෙත් (වනප්‍රස්ථ) අභ්‍යවකාශ (එළිමහන්) පිදුරුලෙන් යන මෙ කී ජනශූන්‍ය කිසි සෙනස්නක් භජනය කෙරෙයි. හේ පිඬු  සෙවීමෙන් පෙරළා ආයේ, පසුබත් සෙමෙහි, පලක් බැඳ උඩු කය කෙළින් පිහිටුවා, කමටහනට අභිමුඛ කොට සිහිය එළවා හිඳී.

53. හේ ලොවැ (පඤ්ච උපාදානස්කන්ධය කෙරෙහි) ඇල් ම හැර, විෂ්කම්භණප්‍රහාණයෙන් (යට පත් කිරීමෙන්) පහ වූ අභිජඣායෙන් යුත් සිතින් වෙසෙයි.  අභිජ්ඣාව කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වේෂය (ක්‍රෝධය) හැර, ව්‍යාපාද රහිත සිතැත්තේ, සියලු පණ ඇති සතුන් කෙරේ හිතානුකම්පා ඇති වැ වෙසෙයි. ක්‍රෝධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. ස්ත්‍යානමිද්ධය  හැර, පහ වූ ස්ත්‍යානමිද්ධය ඇත්තේ දිව රෑ දෙක්හි ම දුටු එළිය හඳුනනු හැකි පිරිසිදු සංඥාව ඇත්තේ, සිහියෙනුත් නුවණිනුත් යුක්ත වූයේ වෙසෙයි. ස්ත්‍යානමිද්ධය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. උදහසත් (සිතැ නොසංහුන් බවත්) කුකුසත්(කළ නො කළ දැයෙහි පසුතැවිල්ලත්) සිතින් දුරැ ලා, අනුද්ධත වැ (නොසංහුන් බැවින් තොර වැ) සංසිඳුනු ස්වකීය චිත්තසන්තානය ඇත්තේ, උදහස් කුකුස් දෙක කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි. සැකය දුරැ ලා, පහ වූ සැක ඇත්තේ, කුසල් දහම්හි සැක  නො කරනුයේ, සැකය කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.

54. යම්සේ පුරුෂයෙක් (පොලියට)ණය මුදලක් ගෙනැ කර්මාන්ත කරන්නේ ද, ඔහුගේ ඒ කර්මාන්ත සමෘද්ධ වන්නේ නම්, හේ යම් පරණ ණය මුදල් වී නම්, ඒ සියල්ල ගෙවා අවසන් කරන්නේ ද, මත්තෙහි ඉතිරි වූ යමක් ඇත් නම් එය අඹුදරුවන් රක්නා පිණිස වන්නේ ද, එසේ වූ ඔහුට “මම් පලමුයෙන් ණයට මුදල් ගෙන කර්මාන්ත කළෙමි. ඒ මගේ කර්මාන්ත සමෘද්ධ විය. ඒ මම්, යම් පරණ ණය මුදල් වී නම් එය ගෙවා අවසන් කෙළෙමි. අඹුදරුවන් රක්නට වැඩිපුර ඉතිරි වූ මුදලෙක් ද මට ඇතැ” යි. මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ ණයනැතිබව කරණ කොට ගෙන සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද-

55. මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් රෝගී වූයේ, දුකට පැමිණියේ, දැඩි ලෙස ගිලන් වන්නේ ද, ඔහුට බතුත් නො රිසියෙන්නේ ද, ඔහුගේ ඇඟපත ශක්ති පමණකුත් නො වන්නේ ද, හේ මෑත කාලයෙහි ඒ ආබාධයෙන් මිදෙන්නේ නම්, ඔහුට බතුත් රිසියේ නම්, ඔහු ඇඟපත ශක්තිය ද වන්නේ නම්, “මම් වූ කලී පෙරැ දුකට පත්, දැඩිව ගිලන් බව් ඇති ලෙඩෙක් වීමි. මට ආහාර ද රිසි නොවී ය. මා ඇඟපත ශක්තිය ද නො වී ය. ඒ මම් දැන් ඒ ලෙඩින් මිදුනෙම් වෙමි. ඒ මට ආහර ද රිසියෙයි. මා ඇඟ පත ශක්තිය ද ඇතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ නම්, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -

56. මහරජාණෙනි, යම් සේ පුරුෂයෙක් හිර ගෙහි බැඳුණේ වන්නේ ද, හේ පසු කලෙක ධනය වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදෙන්නේ ද, (ඒ හේතුයෙන්) ඔහුගේ කිසි භෝග විනාශයෙක් නො වන්නේ ද, “මම් වූ කලී පෙරැ හිර ගෙහි බැඳුණෙම් වීමි. ඒ මම් දැන් ධන වියදම් නො කොට පහසුවෙන් ඒ හිර ගෙන් මිදුණෙම් වෙමි. මගේ භෝගයනට කිසි විනාශයෙක් ද නැතැ” යි ඔහුට මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද -

57. මහරජාණෙනි, යම්සේ තමා අයත් පැවැතුම් නැති, අනුන් අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යන්නට අවසර නැති දාස පුරුෂයෙක් වන්නේ ද, හේ මෑත භාගයෙහි තමා අයත් පැවැතුම් ඇතියේ, පරා අයත් පැවැතුම් නැත්තේ, නිදහස් වූයේ , කැමැති අතෙක යා හැකි වූයේ ඒ දාසභාවයෙන් මිදෙන්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙරැ තමා අයත් පැවැතුම් නැති, පරා අයත් පැවැතුම් ඇති, කැමැති අතෙක යා නොහැකි නොහැකි දාසයෙක් විමී. ඒ මම් දැන් ඒ දාසභාවයෙන් මිදුණෙම්, මා අයත්. පැවැතුම් ඇතියෙම්, පරා අයත් පැවැතුම් නැතියෙම්, නිදහස් වූයෙම් කැමැති අතෙක යා හැකියෙම් වෙමි” යි මෙසේ සිතෙක් වන්නේ ද, හේ ඒ කරුණින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද-

58.  මහරජාණෙනි, යම්සේ ධනවත් වූ භෝගසම්පත් ඇති පුරුෂයෙක් දුර්ලභ වූ ආහාර ඇති, උවදුරු ඇති, දිය නැති දික් කතරමඟකට බස්නේ ද, හේ පසු කෙලක සුවසේ ඒ නිරුදක පෙදෙස ඉක් මැ යන්නේ ද, උවදුරු නැති විපත් නැති ගම්මානයකට බස්නේ ද, එසේ වූ ඔහුට “මම් වූ කලී පෙර ධන ඇතියෙම්, භෝග සම්පත් ඇතියෙම්, දිය නැති, ආහාර දුර්ලභ, ප්‍රතිභය සහිත දික් මඟකට බටුයෙමි. ඒ මම් දැන් සුවසේ ඒ කාන්තාරය තරණය කෙළමි. නිරුපද්‍රැත භය රහිත ගමකට පැමිණෙයෙම් වෙමි” යි සිතෙක් වන්නේ ද, හේ ඒ කරුනින් සතුට ලබන්නේ ද, සොම්නසට පැමිණෙන්නේ ද-

59.  මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ ණයක් මෙන් ලෙඩක් මෙන් හිරගෙයක් මෙන් වහල් බවක් මෙන් දිය නැති දික් මඟක් මෙන් (පිළිවෙලින්) මේ පහ නොවූ නීවරණ පස තමා කෙරෙහි දකී. මහරජ ණය නැති බව යම්සේද, ලෙඩ නැති බව යම්සේ ද, උවදුරු නැති බිම යම්සේ ද, එසේම (පිළිවෙලින්) මේ පහ වූ නිරවණ පස(හෙවත් නීවරණ පසේ දුරු වීම) තමා කෙරෙහි දකී.

60. තමා කෙරෙහි පහවු මේ නීවරණ පස දක්නා ඔහුට සතුට උපදී.  සතුටු වූවහුට ප්‍රීතිය උපදී. සිතැ ප්‍රීතිය ඇත්තහුගේ නාම කය සංහිඳේ. සංහුන් නාම කය ඇත්තේ සුව විඳී. සුවැතියහු සිත සමාධිගත වේ. (එකඟ වේ.)

61. හේ කාමයන්ගෙන් වෙන් ව ම, සෙසු අකුසල දහමුන් ගෙන් ද වෙන් ව ම, විතර්කසහිත, විචාරසහිත, විවේකයෙන් (නීවරණ පහවීමෙන්) උපන් ප්‍රීතියත් සුවයත් ඇති පලමු ධ්‍යානය ලැබ වෙසේ, හේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීති සුඛයෙන් තෙමයි. මුළුල්ල ම තෙමයි. පුරා ලයි, මුළුල්ල ම ස්පර්ශ කෙරෙයි සියලු අඟ පසඟ ඇති ඔහුගේ මුළු කයෙහි ඒ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් පැතිරැ වැද නොගත් (නොපහස්නා ලද) කිසි ද තැනෙක් නො වෙයි.

62. මහරජාණෙනි, යම් සේ කපුවෙක් (කිලිඟෙක්) හෝ කපුවකුගේ (කිලිඟකුගේ) අතැවැස්සෙක් හෝ ලොහොතලියෙක නාන සුණු බහා දිය ඉස ඉස පිඬු කරන්නේ ද, ඒ නාන සුණු පිඬ කාවැදුණු දිය ඇත්තේ හැම තැන ම දියෙන් යුක්ත වූයේ, ඇතුලත පිටත මුළුල්ල ම දියෙන් පැතිරැ ගියේ දිය නො වගුරුවන්නේත් වේද -

63.  මහරජාණෙනි, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම විවේකයෙන් උපන් ප්‍රීතිසුඛයෙන් තෙමයි. මුළුවල්ලම තෙමයි. පුරාලයි. මුළුල්ලම ස්පර්ශ කෙරෙයි. ඔහුගේ සියලු අඟ පසඟ ඇති මුළු කයෙහි විවේකජ ප්‍රීති සුඛයෙන් පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි. මහරජ, මේ ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යපලයනට වඩා මනෝඥ වූ ද වඩා උතුම් වූ ද සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.

64.  මහරජාණෙනි, නැවැත ද (අනෙකක් කියමි.) මහණ තෙමේ විතර්ක විචාරයන්ගේ සංහිඳීමෙන්, සිය සතන්හි උපන්, සිය සතන් පහදවන, (ශ්‍රද්ධාව හා එක් වැ යෙදුණු) සිතැ එකඟ බව ඇති, විතර්කය නැති විචාරය නැති, සමාධියෙන් උපන්, ප්‍රීතියත් සුවයත් ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසෙයි හේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීතියෙන් තෙමයි. මුළුල්ල ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම සපර්ශ කෙරෙයි. ඔහුගේ මුළුකයේ විවේකයෙන් උපන් ප්‍රීති සුවයෙන් පැතිරැ නොගත් කිසි ද තැනෙක් නො වෙයි.

65.  මහරජ, යම් සේ යටැ උල්පතින් මතු වන දිය ඇති ගැඹුරු විලෙක් වේද , එයට පෙර දිගින් දිය ඇතුළු වන මඟෙක් නො වන්නේ ද, දකුණු දෙසින් දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, පැසිම් දිගින් ද දිය ඇතුළු වන මඟෙක් නොවන්නේ ද, උතුරු දෙසින් ද දිය වැද ගන්නා මඟෙක් නොවන්නේ ද, වැස්ස ද, කලින් කලැ සුදුසු පරිදි නො වසින්නේ ද, එතෙකුදු වුවත් ඒ විලෙන් සිහිල් දියදහර මතු වී  ඒ විලම සිහිල් දියෙන් තෙමන්නේ ද, හැම පරිදි තෙමන්නේ ද, පුරා ලන්නේ ද, හැම තැනම වැද ගෙන පැතිර සිටින්නේ ද, ඒ මුළු විලෙහි සිසිල් දිය පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො මැත් ද-

මහරජ, එසේ ම මහණ තෙමේ මේ කරජ කය ම සමාධියෙන් උපන් ප්‍රීති සුවයෙන් තෙමයි, හැම තැන ම තෙත් කෙරෙයි, පුරා ලයි, හැම තැන ම පැතිරැ වැද ගනී. ඔහුගේ ඒ සියලු කයේ සමාධියෙන් උපන් ප්‍රීති සුවය පැතිර වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.

මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යපලය ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ ද වඩා උතුම් ද වේ.

66.   නැවත ද (අනෙකක් කියමි:) මහරජ, මහණ තෙමේ ප්‍රීතියාගේ ද විරාගයෙන් (පහවීමෙන්, සංසිඳීමෙන්), උපෙක්ෂායෙන් ද යුක්ත වැ, සිහියෙන් හා නුවණින් හා යුක්ත වැ වෙසෙයි. සුවය ද කයින් විඳී. ආර්‍යයෝ යම් ධ්‍යානයක් හේතු කොට ගෙන ධ්‍යානලාභියා ඇරැබැ ‘උපෙක්ෂාව ඇත්තේ ය සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ යැ‘යි කියත් ද, හේ (එසේ වූ) ඒ තෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේ.

හේ මේ කයම නිෂ්ප්‍රීතික සුවයෙන් තෙමයි, හැම පරිදි තෙත් කෙරෙයි, පුරාලයි, හැම තැන ම පැතිර වැද ගනී. ඔහුගේ කයෙහි ඒ නිෂ්ප්‍රීතික සුඛයෙන්  පැතිර නොගත් කිසි ද තැනෙක් නොවෙයි.

67. මහරජ, යම්සේ උපුල් විලෙක හෝ පියුම් විලෙක හෝ පඬෙර විලෙක හෝ ඇතැම් උපුල් හෝ පියුම් හෝ පඬෙර හෝ දියෙහි උපන්නේ දියෙහි වැඩුණේ, දියෙන් නොනැගුණේ, දිය තුළෑම ගිලී වැඩුනුයේ ද, ඒ හැම අග දක්වාත් මුල් දක්වාත් සිහිල් දියෙන් තෙමුණේ, හැමපරිදි තෙත් වූයේ, පිරී ගියේ, හැම තැන් ම පැතිරැ වැද ගත්තේ වේ ද, ඒ විලෙහි සියලු උපුල්වල හෝ පියුම්වලැ හෝ පඬෙරවලැ හෝ සිසිල් දිය පැතිරැ නොගත් තැනෙක් නො වන්නේ ද-

මහරජ, එසේ ම මහණ තෙමේ මේ කය ම නිශ්ප්‍රීතික සුඛයෙන් තෙමයි, හාත්පසින් තෙමයි. පුරා ලයි, හැමපරිදි පැතිරැ වැද ගනී. ඔහුගේ සියලු කයෙහි නිෂ්ප්‍රීතික සුඛයෙන් පැතිරැ වැද නොගත් කිසි ද තැනෙක් නො වෙයි.

මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය ද පළමු කී සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූත් වඩා ප්‍රණීත වූත් එකකි.

68. මහරජ, නැවත ද (අනෙකක් කියමි:) මහණ තෙමේ සුඛ වේදනාව ද දුරැ ලීමෙන්, දුක්ඛ වේදනාව ද දුරැලීමෙන්, පලමු කොට ම සොම්නස් දොම්නස් දෙදෙනාගේ පහවීමෙන් දුක් ද නොවූ, සුව ද නොවූ, උපේක්ෂා ස්මෘති යන මොවුන්ගේ පිරිසිදු වූ ප්‍රභාස්ර සිතින් පැතිරැ වැදගෙන හුන්නේ වෙයි. ඔහුගේ සියලු කයෙහි පිරිසිදු වූ ප්‍රභාස්වර වූ සිතින් පැතිර වැද නො ගෙන සිටි කිසි ද තැනෙක් නො වෙයි.

මහරජ, යම්සේ පුරුෂයෙක් සුදු වතින් හිසින් වටා පෙරෙව හුන්නේ වේ නම් ඔහුගේ කයෙහි සුදු වතින් වැද නොගත් (නො වැසුණ) කිසි ද තැනෙක් නොවන්නේ ද, මහරජ එසේම මහණ තෙම මේ කය ම පිරිසිදු වූ ප්‍රභාස්වර වූ සිතින් පැහැර වැද ගෙන නොසිටි කිසිද තැනෙක් නොවෙයි.

මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලය ද පලමු දැක්වුණ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා ප්‍රණීත වූ එකෙක.

69.  තව ද (අනෙකක් කියමි:) මහරජ ඒ මහණ තෙමේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හී දීප්තිමත් වූ කල්හී, කිලිටි නැති වූ කල්හී, පහ වූ චිත්තෝපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හී, විදර්ශණා භාවනාවට යෝග්‍යවූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි විදර්ශනාඥාණය පිණිස (පරිකර්ම ) සිත එයට අඹිමුඛ කෙරෙයි, ඒ අතට නමා හරියි හේ “මගේ මේ කය වූ කලී රූපවත් ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මව්පියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිස බව ද දුගඳ බවද, හරනුවට සුවඳ විලෙවුන් ඉළියැ යුත් බව ද, ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද, එසේ කළ ද බිඳෙන බව ද, විසිරෙන බව ද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග්ගේ ය, මෙහි බැඳුණේ යැ” යි මෙසේ දැනගනී.

70. මහරජ, යම්සේ සොඳුරු වූ, පිරිසිදු ආකරයෙක පහළ වූ ඇටැස් වූ මොනවට පිරයම් කළ, සියුම් වූ වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, ධෝවනාදී සියලු අකාරයෙන් යුත් වෙරළුමිණෙක් වන්නේ ද, එහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් හෝ සුදුවන් හෝ පඬුවන් හෝ හුයෙක් අමුනන ලද්දේ වන්නේ ද, එය ඇස් ඇති පුරුෂයෙක් අතෙහි කොට “මේ වූ කලි සොඳුරු වූ, පිරිසිදු ආකරයෙහි උපන් ඇටැස් වූ මොනවට පිරියම් කැරුණු, සියුම් වූ, වෙසෙසින් පහන් වූ, පිවිතුරු වූ, සියලු ධෝවනාදී ආකාරයෙන් සම්පූර්ණ වූ වෙරළු මිණෙක. මෙහි නිල් වූ හෝ රන්වන් වූ හෝ රත්වන් වූ හෝ සුදුවන් වූ හෝ යම් හුයෙක් අවුනන ලදුයේ වේ යැ”යි සලකා බලන්නේ ද-

මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු වූ ක්ලහී දීප්තිමත් වූ කල්හී, කෙලෙස් යටපත් වූ ක්ල්හී, උපක්ලේශයන් පහ වූ කල්හී මෘදු වූ කල්හී, කර්මණ්‍ය වූ කල්හී සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි, විදර්ශනාඥානය පිණිස සිත අභිමුඛ කෙරෙයි, එය අතට නමා හරියි. හෙ තෙම “මගේ මේ කය වූ කලී රූපී ය, සතර මහාභූතයන්ගෙන් හැදුණේ ය, මාපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් නිපන්නේ ය, බත් කොමු ආදී අහරින් වැඩුණේ ය, අනිසි බව ද, දුගඳ හරනට සුවඳ විලෙවුන් ඉළියැ යුතු බව ද ලෙඩ දුරැලනුවට පිරිමැදුම් ඈ කළ යුතු බව ද ඒ කළත් බිඳෙන බව ද විසිරෙන බවද යන මේ දෑ ස්වභාව කොටැත්තේ ය. මගේ මේ සිත ද මෙහි ලැග ගත්තේ ය, මෙහි බැඳුණේ යැ”යි මෙසේ දැන ගනී.

මහරජ, මේ ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයෙකි.

71. හේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වු කල්හී, දීප්තිමත් කල්හී, කෙලෙස් නොමැති වූ කල්හී, උපක්ලේශ පහ වූ කල්හී, මෘදු වූ කල්හී, කර්මණ්‍ය වූ (සෘද්ධි ඉපදීවීමට යෝග්‍ය වූ) කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හී මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි.  නැඹුරු කෙරෙයි. හේ මේ සිරුරෙන් රූපී වු, සියලු අඟපසඟින් යුත්, විකල නොවූ ඉඳුරන් ඇති මනෝමය ශරීරයක් මවා පායි.

මහරජ, යම්සේ පුරුෂයෙක් මුදුතණ ගසෙකින් තණකූර(තණබඩය)ඇද මෑත් කරන්නේ ද, ඔහුට “මේ මුදුතණගස ය, මේ එහි තණ බඩ ය, තණ ගස එකෙකි, එහි බඩය අනෙකෙකි. මුදු තණ කෙරෙන් ම එහි කූර (බඩය) මෑත් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද,

මහරජ, යම්සේ වනාහී පුරුෂයෙක් කඩුවක් කොපුවෙන් ඇද මෑත් කරන්නේ ද,  ඔහුට “ මේ කඩුවය, මේ කොපුව ය, කඩුව එකෙක, කොපුව අනෙකක, කොපුයෙන් ම කඩුව ඇද මෑත් කරන ලද්දේ යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද,

මහරජ, යම්සේ වනාහී පුරුෂයෙක් නයකු සැවයෙන් ඇද වෙන කරන්නේ ද, ඔහුට “මේ නායා ය, මේ සැවය ය. නයා එකෙක, සැවය අනෙකක. සැවය කෙරෙන් ම නයා ඇද වෙන් කරන ලද්දේ යැ”යි මෙසේ සිතෙක් වන්නේ ද,

මහරජ එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාධිගත සිත පිරිසිදු කල්හී, දීප්තිමත් වූ කල්හී කෙලෙස් රහිත වූ කල්හී, උපක්ලේශයන් පහ වැ ගිය කල්හී, කර්මණ්‍ය වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පත් කල්හී, මනෝමය ශරීරයක් මවා පානු පිණිස සිත යොමු කෙරෙයි, නුඹුරු කෙරෙයි. හේ මේ ශරීරයෙන් රූපී වූ මනෝමය වූ සියලු  අඟපසඟින් යුක්ත වූ අවිකල ඉඳුරන් ඇති අන් සිරුරක් මවා පායි. මහරජ මෙය ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයට වඩා මනෝඥ වූ ද වඩා උතුම් වූ ද සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.

72. හේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණය වූ (=සෘද්ධියට යෝග්‍ය වු) කල්හී, සිටි කල්හී, නිශ්චලත්වයට පැමිණි කල්හී, සෘද්ධිවිධඥාණය පිණිස (අභිඥාපාදක) පරිකර්ම සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ සෘද්ධිවිධය (සෘද්ධි කොට්ටාසය) නැවත නැවත අනුභව කෙරෙයි. (හෙවත් නාම කයින් ස්පර්ශ කෙරෙයි, ප්‍රත්‍යක්ෂ කෙරෙයි ලබයි.) පියෙවියෙන් එකෙක් වැ සිටැ ද (සෘද්ධිබලයෙන්) බහු ප්‍රකාර ද වි යලිදු එකෙක් වෙයි. තමාගේ ප්‍රකට බව කෙරෙයි (පෙනීසිටී) අප්‍රකට බව කෙරෙයි. (=නොපෙනී සිටියි) බිත්තියේ පිටතට, පවුරෙන් පිටතට, පර්වතයෙන් පිටතට අහසෙහි මෙන් කිසිවෙක නොගැටෙනුයේ මැදින් විනිවිද ගෙන යෙයි. දියෙහි මෙන් පොළොවෙහි ද යටට බැසීම(=ගිලී) උඩට නැගීම (=මතුවීම) කෙරෙයි. නො බිඳෙන (යට නො බස්නා) දියෙහි පොළොවෙහි සේ යෙයි. පක්ෂ ඇති සකුණයෙකු මෙන් අහසෙහි ද පළඟින් (=ඌරුබද්ධාසනයෙන්)යෙයි. මේ සා මහර්ද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද, අතින් පරාමර්ශනය කෙරෙයි(=අල්ලයි) (ඔබමොබ අත යවා) පිරිමදියි. බඹලොව තෙක් ද (සියල්ල) කයින් වශයෙහි පවත්ව යි.

73. මහරජ, යම්සේ දක්ෂ කුඹලෙක් හෝ කුඹලක්හුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=සකස් කළ) මැට්ටෙන් යම් යම් භාජන විශේෂයක් කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, මොනවට නිපදවන්නේ ද-

මහරජ යම්සේ දක්ෂ දන්තකාරයෙක් (ඇත්දත් ආදීයෙන් විසිතුරු කම් කරන්නෙක්) හෝ දන්තකාරයකුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=දොස් ඉවත් කොට මොනවට සකස් කළ)දතෙක්හි යම් යම් දන්තවිකෘතියත් (දතෙහි කළ විසිතුරු රූපාදියක්) කැමැති වන්නේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, වෙසෙසින් නිපදවන්නේ -

මහරජ, යම්සේ හෝ දක්ෂ රන්කරුවෙක් හෝ රන්කරුවෙකුගේ අතැවැස්සෙක් හෝ මොනවට සකස් කළ රනෙහි යම් යම ස්වර්ණ විකෘත්තියක් (ආභරණ ආදියක්) කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද , නිපදවන්නේ ද,

මහරජ එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හී කෙළෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, සෘද්ධිවිධඥාණය පිණිස සිත මෙහෙයවයි නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ සෘද්ධි කොට්ඨාසය නැවත නැවත විඳී. පියෙවියෙන් එකෙක් වැ සිට බොහෝ දෙනෙක් වෙයි. බොහෝ දෙනෙක් වැ සිට එකෙක් වෙයි. තෙමේ පෙනී සිටී, නො පෙනී ද සිටී. බිත්තියෙන් පිටතට, පව්වෙන් පිටතට, විනිවිදැ අහසෙහි මෙන් කිසිවකැ නො ලැගී යෙයි. දියෙහි මෙන් පොළොවෙහිත් ගිලීම් ද මතුවීම් ද කෙරෙයි. පොළව මතු පිටැ සේ නොබිඳෙන දියෙහි යෙයි. පක්ෂියෙකු සේ පළඟින් අහසෙහි යෙයි. මේ සා මහර්ද්ධිමත් මහත් අනුභාව ඇති සඳ හිරු දෙදෙනා පවා අල්ලයි, පිරිමදියි. බඹලොව තෙක් ද කයින් තමා වශයෙහි පවත්වයි.

මහරජ, මෙය ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සන්දෘෂ්ටික ශ්‍රාමණය ඵලයෙකි.

74. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, දීප්තිමත් කල්හි, කෙලෙස් රහිත වූ කල්හී, උපක්ක්ලේශ පහ වැ ගිය කල්හි මෘදු වූ කල්හි, කර්මණ්‍ය වූ කල්හී සිටි කල්හි නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස (දිවකන් නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ශ්‍රාවණෝපචාරය ඉක්මවා සිටි දිව කනින් දිව්‍ය වූද මානුසික වූ ද, දුරැ වූ ද, ළං වූ ද, යන ද්විවිධ ශබ්ද ම අසයි.

75. මහරජ, යමසේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ ද, හේ බෙරහඬක් මිහිඟු බෙර හඬත් පණාබෙර හඬත්, ගැටබෙර හඬත් යම්සේ අසන්නේ ද, ඒ අසන ඔහුට ‘මේ බෙර හඬැයි කියාත්, මේ මිහිඟු බෙර හඬයි කියාත්, මේ සක්පණාබෙර ගැටබෙර හඬයි කියාත්, මෙසේ සිතෙක් වන්නේ ද, මහරජ එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හී කෙලෙස් රහිත වූ කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණය (කර්මක්ෂම) වූ කල්හී, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හී, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය, ඉක්ම වූ දිව කන් නුවණීන් දිව්‍ය වූත් මානුසික වූත් දුරැ වූත් ළඟැ වූත් ද්විවිධ ශබ්ද අසයි.

මහරජ, මේ ද පලමු කී සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍ය ඵලයෙකි.

76. හේ තෙමේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හී, දීප්තිමත් වූ කල්හී, කෙලෙස් රහිත වූ කල්හී, උපක්කිලේශ පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හී, කර්මක්ෂම වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි, චේතස්පර්‍යායඥානය පිණිස (අනුන්ගේ සිත් පිරිසිඳ දක්නා නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ අන් සත්ත්වයන්ගේ අන් පුද්ගලයන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සහිත සිතැ යි ද දනියි. රාග රහිත සිත රාග රහිත සිතැ යි ද දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතැ යි ද දනී. මෝහ සහිත සිත මෝහ සහිත සිතැයි ද දනී. මෝහ රහිත සිත මෝහ රහිත සිතැයි ද දනී. සංක්ෂිප්ත (=හැකුළුණු) සිත හැකුළුණු සිතැ යි ද දනී. වික්ෂිප්ත (=විසිරුණු) සිත විසුරුණු සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනී. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී.  සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත (=මිදුණු) සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත (=නොමිදුණු) සිත අවිමුක්ත සිතැ යි ද දනී.

77.  මහරජ, යම්සේ සැරැසෙන සුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ළදරුවෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු දීප්තිමත් කැඩ පතෙක හෝ පහන් දිය බඳුනෙක හෝ සිය මුව සටහන පිරික්සා බලන්නේ තලකැලැල් ආදී දොස් ඇති තැන් සදෝස් තැනැයි දන්නේ ද, එ කී දොස් නැති තැන දොස් නැතැයි දන්නේ ද-

මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වු කල්හී, කෙලෙස් නැති කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හී, කර්මක්ෂම වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හී, පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි.

හේ අන් සතුන්ගේ, අන් පුඟුලන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනී. සරාග සිත සරාග සිතැයි ද දනී. වීතරාග සිත වීතරාග සිතැයි ද දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද දනී. වීත දෝෂ සිත වීත දෝෂ සිතැ යි ද දනී. සංක්ෂිප්ත සිත සංක්ෂිප්ත සිතැ යි ද දනී. අමහග්ගත සිත අමහග්ගත සිතැ යි ද දනී. මහග්ගත සිත මහග්ගත සිතැයි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී. සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි ද දනී.

මහරජ, මේ ද පළමු දැකුවුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ, වඩා උතුම්, සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.

78. හෙ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හී, දීප්ත වූ කල්හී, කෙලෙස් නැති වූ කල්හී, උපක්කිලේශ පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හී, කර්මක්ෂම වු කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පත් කල්හී, පුර්වේනිවාසානුස්මෘති ඥාණය (=පෙර වුසු කඳ පිළිවෙළ දක්නා නුවණ) ලබනු පිණිස සිත යොමු කෙරෙයි. හේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පහක් ද ජාති දසයක් ද  ජාති විස්සක් ද ජාති තිහක් ද ජාති සතළිහක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද බොහෝ සංවර්ත කල්ප ද බොහෝ විවර්ත කල්ප ද බොහෝ සංවර්ත විවර්ත කල්ප ද “ අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිද මෙ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි” යි. මෙසේ අනේකවිධ වු පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ වර්ණාදි වශයෙන් ආකාර සහිත වූ නම් ගොත් විසින් උද්දේශ සහිත වු බහුවිධ වු පුර්වේනිවාසය සිහි කෙරෙයි. 

79. මහරජ, යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේ ද, (නැවත ) හේ ඒ ගමින් සිය ගමට ම පෙරළා එන්නේ ද, එසේ වු ඔහුට “මම් වූ කලී සිය ගමින් අසෝ ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙමි, මෙසේ උපන්නේමි, මෙසේ කීමි, මෙසේ නිහඩ විමි. ඒ ගමිනුත් අසෝ ගමට ගියෙමි. එහි ද මෙසේ සිටියෙමි, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඩව සිටියෙමි, ඒ මම ඒ ගමින් සිය ගමට පෙරළා ආයම් වෙමි” යි මේ බඳු සිතෙක් වන්නේ ද -

මහරජ, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හී, දීප්ත කල්හී, කෙලෙස් රහිත කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මක්ෂම වු කල්හී, සිටි කල්හී නිශ්චල බවට පැමිණි කල්හී, පෙර වුසු කඳ පිළිවෙළ සිහි කරණ නුවණ පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි, හේ “ අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිද මෙ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි” යි. මෙසේ  එක් ජාතියක් ද , ජාති දෙකක් ද , ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සුවහසක් ද, බොහෝ සංවර්ථ කල්ප ද, බොහෝ විවර්ත කල්ප ද, බොහෝ සංවර්ත විවර්ත කල්ප ද, මෙසේ අනේකවිධ වු පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මේ පරිද්දෙන් ආකාර සහිත වූ උද්දේස සහිත වූ පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි.  

මහරජ, මේ ද පළමු දැකුවණු සාන්දෘෂ්ක ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රමණ්‍යඵලයෙකි.

80. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වු, මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක් මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනෝදුෂ්චරිතයෙන් සමන්විතයහ, ආර්යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාවෘත ඇතියහ, ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්මයට තමන් පරවශ බැවින්) තමනට අවශ වැ වැටෙන තැන වු නිරයට වන්නාහ. මේ භවත් සත්ත්වයෝ වූ කලී කාය සුචරිතයෙන් සමන්විතයහ, වාක්සුචරිතයෙන් සමන්විතයහ, මනෝසුචරිතයෙන් සමන්විතයහ, ආර්‍යයනට උපවාද නො කළහ, සමදිටු ගත්තහ, සමදිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ, ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පළිසිඳ, ගත්තා වූද , හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද , සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්ණ දුර්වර්ණ, සුගත දුර්ගත, සත්ත්වයන් දකී. කර්මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්වයන් දකී.

81. මහරජ. යම්සේ සතර මං හන්දියෙක මහල් සහිත ගෙයෙක් වන්නේ ද, එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට පිවිසෙන්නවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යන එනවුනුත්, සිව්මං හන්දියෙ මැද හුන්නුවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙට පිවිසෙත්, මේ මිනිස්සු ගෙන් නික්මෙත්, මේ මිනිස්සු වීදියෙහි ඈත මෑත යෙත්, මොහු සිවුමංහන්දිය මැද උන්නෝ වෙත් යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද-

මහරජ, එපරිදි ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පරිසිදු වු, මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක් මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනෝදුෂ්චරිතයෙන් සමන්විතයහ, ආර්යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාවෘත ඇතියහ, ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්මයට තමන් පරවශ බැවින්) තමනට අවශග වැ වැටෙන තැන වු නිරයට වන්නහ. මේ භවත් සත්ත්වයෝ වූ කලී කාය සුචරිතයෙන් සමන්විතයහ, වාක්සුචරිතයෙන් සමන්විතයහ, මනෝසුචරිතයෙන් සමන්විතයහ, ආර්‍යයනට උපවාද නො කළහ, සමදිටු ගත්තහ, සමදිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ, ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පළිසිඳ, ගත්තා වූද , හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද , සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්ණ දුර්වර්ණ, සුගත දුර්ගත, සත්ත්වයන් දකී. කර්මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්වයන් දකී.

මහරජ, මේ ද පලමු දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ, වඩා උතුම් වූ, සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.

82. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ නිකෙලෙස් වැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, ආස්‍රවයන්ගේ ක්ෂයය(විනාශය) පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි. (එසේ වූ ) හෙ තෙමේ   ‘මේ දුකැ ’ යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් ඉපැත්මට කාරණයැ’යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් වැනැස්මැ’.(=දුක් නැස්මට අරමුනු වන නවනැ) යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටි ලෙස දනී. ‘ මොහු ආස්‍රවයෝ යැ’ යි ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’ ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රව නිරෝධ යැ’යි(ආස්‍රවයන් වැනැස්මට ප්‍රත්‍ය වන නිවනැ)යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ ’යි ඇතිසැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නවා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන්ද මිදෙ. (ඔහු)සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. (එසේ සිත මිදුණු කල්හී ‘ මා සිත ආස්‍රව කෙරෙන )මිදුණේ යැ’යි (ප්‍රත්‍යෙවක්ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්ෂීන විය(හෙවත් නැවත භවයෙහි නොඋපදනා ස්භාවයට පැමිණියෙමි),  ‘ මඟ බඹසර වැස නිමැවිණි. මේ බව පිණිස (සිවු සස්හි සතර මඟින් කළයුතු සොළෝස් වැදෑරුම්)  කිස කොට නැමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්ෂය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’ යි හේ දනී.

83. මහරජ, යම්සේ කඳු මුදුනකැ වූ පහන් වු, වෙසෙසින් පහන් වූ, නොකැලැඹුණු (=බොර නොවූ) දිය විලෙක් වන්නේ ද, එහි ඉවුරෙහි ඇස් ඇති මිනිසෙක් සිටියේ, එහි තුල හැසිරෙන්නා වූත් සිටුනා වූත් ස්ප්පිබෙල්ලනුත්, සක්බෙල්ලනුත්, කැටකැබිලිතිත් මත්ස්‍යසමූහයාත් දක්නේ ද, (එසේ දක්නා) ඔහුට “මේ දියවිල පහන් ය, වෙසෙසින් පහන් ය, නොකැලැඹුණේ ය. මෙහි මේ සිප්පිහුත්, සක්බෙල්ලෝත්, කැට කැබිලිතිත් මත්ස්‍ය සමූහයෝත් හැසිරෙන්නොත් සිටින්නෝත් වෙති” යි මෙසේ සිතෙක් වන්නේ ද,

මහරජ, එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ, නිකෙලෙස් වැ, උපක්කිලේශ පහ වැ, මෘදු වැ, කර්මණ්‍ය වැ, ස්ථිත වැ, නිශ්චලතාවට පැමිණි කල්හි ආස්‍රවක්ෂයඥානය පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි. හේ ‘මේ දුකැ ’ යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් ඉපැත්මට කාරණයැ’යි ඇති සැටි ලෙස දනී.  ‘ මේ දුක් වැනැස්මැ’.(=දුක් නැස්මට අරමුනු වන නවනැ) යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටි ලෙස දනී. ‘ මොහු ආස්‍රවයෝ යැ’ යි ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’ ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රව නිරෝධ යැ’යි(ආස්‍රවයන් වැනැස්මට ප්‍රත්‍ය වන නිවනැ)යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ ’යි ඇතිසැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නවා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන්ද මිදෙ. (ඔහු)සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. (එසේ සිත මිදුණු කල්හී ‘ මා සිත ආස්‍රව කෙරෙන )මිදුණේ යැ’යි (ප්‍රත්‍යෙවක්ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්ෂීන විය(හෙවත් නැවත භවයෙහි නොඋපදනා ස්භාවයට පැමිණියෙමි),  ‘ මඟ බඹසර වැස නිමැවිණි. මේ බව පිණිස (සිවු සස්හි සතර මඟින් කළයුතු සොළෝස් වැදෑරුම්)  කිස කොට නිමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්ෂය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’ යි හේ දනී.

මහරජ, මේ වූ කලි පළමුවෙන් දැක්වුණු සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයනට වඩා මනෝඥ වූ , වඩා උතුම් වූ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙකි.  “මහරජ, මේ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයන් අන්‍ය වූ, මෙයට වඩා මනෝඥ වූ හෝ මෙයට වඩා උතුම් වූ හෝ සාන්දෘෂ්ටික ශ්‍රාමණ්‍යඵලයෙක් නැතැ” යි. (වදාළ සේක.)

84. මෙසේ වදාළ කල්හී මගධේශ්වර වෛදේහීපුත්‍ර අජාතශත්‍රැ රජ තෙම, “වහන්ස, ධර්ම දේශනාව අභිකාන්ත ය,(අතිමනෝඥ ය) වහන්ස, ධර්මදේශනාව අභිකාන්තය. වහන්සේ යම්සේ යටිකුරු කොට තැබූ (මුහුණින් නැමූ) බඳුනක් උඩුකුරු කරන්නේ හෝ වේ ද, වැසුණු දැයෙක් වැසුම් හැර දක්වන්නේ හෝ වේ ද. මං මූළා වූවකුට මග කියන්නේ හෝ වේ ද, ඇස් ඇතියෝ රූප දකිතැ යි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ හෝ වේ ද, වහන්ස, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් මට නොයෙක් අයුරින් ධර්මය පැවැසිණි. වහන්සේ, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්මය ද භික්ෂු සංඝයා ද සරණ යෙමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවි හිමි කොට සරණ ගිය උපාසකයකු කොට දන්නා සේක් වා. වහන්ස, යම් බඳු මම් සිය පිය වූ දැහැමි දැමිටු රජහු ඉසුරු කරුණින් දිවියෙන් තොර කෙළම් වෙම් ද වහන්ස, ඒ අපරාධය බාලබවට ගැළපෙනසේ මූඩ බවට අනුරූපසේ අදක්ෂ බවට නිසිසේ මා මැඩගෙන ගියේ ය. වහන්ස, මත්තෙහි මා මෙබඳු වරද නො කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ මගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා ” යි භාග්‍යවතුන් වහන්සේට මෙබස් පැවැසී ය.

85. (එවිට භාග්‍යවතුන් වහන්සේ වදාරණ සේක්:) “මහරජ, යම්බඳු තෝ පිය වූ දැහැමි රජහු දිවියෙන් තොර කෙළෙහි වෙයි ද, ඒකාන්තයෙන් ඒ වරද බාල බවට, අනුරිවින් මූඩබවට අනුරිවින් අකුසලයට අනුරිවින් තා ඉක්මැ ගියේ යැ. (මැඩ ගෙන පැවැත්තේ ය.) මහරජ, යම් හෙයකින් යුෂ්මත් තෙමේ වරද වරද වශයෙන් දැක ධර්මය වූ පරිදි පිළියම් කෙරෙහි නම්, යුෂ්මත්හුගේ ඒ වරද අපි පිළිගනුම්හ (=ඉවසමු) මහරජ, යමෙක් වරද වරද විසින් දැක දහම් වූ පරිදි පිළියම් කරන්නේ නම් මත්තෙහි ඒ වැන්නක් නොකරනුවට සංවරයට පැමිණෙන්නේ නම්, (ආයතිසංවරයෙහි පිහිටන්නේ නම්) මෙය ආර්‍ය විනයයෙහි (බුදු සසුනෙහි) වෘද්ධිය (=වැඩීම) නම් වේ” යැ යි වදාළ සේක.

86.  මෙසේ වදාළ කල්හි වෛදේහිපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට “වහන්සේ, දැන් අපි යම්හ. අපි බොහෝ කෘත්‍ය ඇත්තමෝ බොහෝ කටයුතු ඇත්තමෝ වම්හ” යි කී ය.

 “මහරජ, යුෂ්මත් තෙමේ යම් ගමනකට කල් දනිහි ද එය යුෂ්මත් ම කල් දැන ගන්නැ ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

ඉක්බිත්තෙන් වෛදේහිපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙන අනුමෝදන් වැ උනස්නෙන් නැඟිට පැදකුණු කොට නික්මැ ගියේ ය.

87. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ වෛදේහිපුත්‍ර මගධේශ්වර අජාතශත්‍රැ රජ නික්මැ ගිය නොබෝ වේලායෙහි භික්ෂුන් අමතා “මහණෙනි, මේ රජ සිය පියා නැසීමෙන් කළ කර්මාපරාධයෙන් උදුරාලු උපනික්ශ්‍රය සම්පත් නැමැති මුල් ඇත්තේ ඉදුරුණේ වෙයි. එහෙයින් ම (නටුවා වූ ප්‍රතිෂ්ඨා ඇත්තෙන්) නටුයේ වෙයි. මහණෙනි, ඉදින් මේ රජ දැහැමි වූ, දැහැමෙන් රජ බවට පැමිණි පියා ජිවිතයෙන් තොර නො කෙළේ වී නම්, මේ අස්නෙහි ම (මෙතන්හි දි ම) රාගාදි කෙලෙස් රජස් රහිත, පහ වූ කෙලෙස් මල ඇති දහම් ඇස (සෝවාන්මඟනැණ) මොහුට පහළ වූයේ වනැ”යි වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එ මහණහු සතුටු සිතැත්තෝ උන්වහන්සේගේ වචන පිළිගත්හ.

දෙවෙනි වූ ශ්‍රාමණ්‍යඵල සුත්‍රය නිමියේ ය.