සුත්‍රාන්තපිටකයෙහි
දික් සඟිය
සීලස්කන්ධවර්ගය
_________________
ඒ භාග්‍යවත් අර්හත් සම්‍යග්සම්බුද්ධයන් වහන්සේට නමස්කාර වේවා.
_______
8
සිංහනාදසූත්රය
කාශ්‍යපය, මෙහි මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ දැක්කැ හැකි පිරිසිදු දිවැසින්, කාබුන් මරණින් මතු, සැප නැති නපුරු ගති ඇති, විවස ව පතිත වන තැන වූ නිරයට පැමිණි, මද වු දුක් විහරණ ඇති වැ සිටි එක්තරා තවුසකු මම දකිමි.
කාශ්‍යපය, මෙහි මිනිසුන්ගේ දැකුම් ඉම ඉක්මැ දැක්කැ හැකි පිරිසිදු දිවැසින්, කාබුන් මරණින් මතු මනා ගති ඇති සග ලොවට පැමිණි මඳ දුක් විහරණ ඇති වැ සිටි එක්තරා තවුසකු මම දකිමි.
කාශ්‍යපය, යම්බඳු වු මම් මේ තවුසන්ගේ ආගතියක් (පෙරැ භවයෙහි යම් තැනෙකින් සැව මෙහි උපන්නෝ නම් එ තැනත්), ගතියත් (මෙයින් සැව යෑ යුතු තැනත්), ච්‍යුතියත් (ඒ මතු භවයෙන් ච්‍යුත වීමත්), උප්පත්තියත් (ඒ ච්‍යුතියෙන් පසුව උපදනා තැනත්) මෙසේ තත් වූ පරිදි දනිම් ද, ඒ මම් කුමට සියලු තපසට හෝ ගරහම් ද ? කටුක දිවිපෙවෙත් ඇති හැම තවුසාට හෝ ඒකාන්තයෙන් පරිභව කෙරෙම් ද ? අවඥා කෙරෙම් ද?
කාශ්‍යපය, පණ්ඩිත වූ, තියුණු නුවණැති, මෙරමා හා කළ වාද ඇති, වාලවේධි ධනුර්ධරයන් බඳු වු ඇතැම් මහණ බමුණු කෙනෙක් තමන් ප්‍රඥායෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳැ හෙළන්නන් මෙන් වැ හැසිරෙත්. ඔවුන් හා ද ඇතැම් තන්හි මගේ දහම සම වෙයි. ඇතැම් තන්හි සම නො වෙයි. ඔහු යම් එක්තරා දැයක් ‘මැනවැ’ යි. කියත් ද, අපි දු ඒ එක්තරා දැය ‘මැනැවැ’ යි කියමු. යම් එක්තරා දැයක් නො මැනැවැ යි ඔහු කියත් ද, අපි දු ඒ එක්තරා දැය ‘නොමැනවැ’ යි කියමු. යම් එක්තරා දැයක් මැනවැයි ඔහු කියත් ද, ඒ එක්තරා දැය නො මැනවැ යි අපි කියමු. යම් එක්තරා දැයක් ‘නො මැනවැ’යි ඔහු කියත් ද, ඒ එක්තරා දැය ‘මැනවැ’යි අපි කියමු. යම් එක්තරා දැයක් ‘මැනවැ’යි අපි කියමු ද, අන්හුද ඒ එක්තරා දැය ‘මැනවැ’යි කියත්. යම් එක්තරා දැයක් ‘නො මැනවැ’යි අපි කියමු ද, අන්හුද ඒ එක්තරා දැය ‘නො මැනවැ’යි කියත්. යම් එක්තරා දැයක් ‘නො මැනවැ’යි අපි කියමු ද, අන්හු ද ඒ එක්තරා දැය ‘මැනවැ’යි කියත්. යම් එක්තරා දැයක් ‘මැනවැ’යි අපි කියමු ද, ඒ ඒකතරා දැය ‘නො මැනවැ’යි අන්හු කියත්.
මම් ඔවුන් කරා එළැඹ මෙසේ කියමි: “ඇවැත්නි, අප දහම් යම් තන්හි සම නො වේ ද, ඒ තන්හු සිටිත් වා. යම් තන්හි සම වේ නම් ඒ තන්හි ලා නුවණැත්තෝ ‘අකුසල් වූත් අකුසලසඞ්ඛ්යාත වූත් (අකුසල යැ යි වෙන් කරන ලද්දා වූත්), අසේවිතව්‍ය (නො සෙවියැ යුතු) වූත්, අසේවිතව්‍ය සඞ්ඛ්‍යාත වූත් (නො සෙවිය යුතු යැයි වෙන් කොට තබන ලද්දා වූත්), ආර්යභාවයට නොසමත් වූත්, ආර්යභාවයට නො සමත් සේ වෙන් කොට තබන ලද්දා වූත්, කෘෂ්ණ වූත්, කෘෂ්ණසඞ්ඛ්‍යාත වූත් (කළු යැ යි වෙන් කොට තබන ලද්දා වූත්) මේ භවතුන්ගේ යම් ධර්ම කෙනෙක් වෙත් නම්, කවර කෙනෙක් මෙකී දහම් නිරවශේෂයෙන් බැහැර කොට පවත්නෝ ද? ශ්‍රමණ ගෞතමයෝ ද නැත හොත් අන් භවද් ගණාචාර්යයෝ ද” එක් ශාස්තෘවරයෙකු හා තවත් ශාස්තෘවරයකු ද එක් ශ්රාවකගණයක් හා තවත් ශ්රාවකගණයක් ද සසඳා ලබ්ධිය විචාරත්වා. කරුණු විචාරත් වා. ලබ්ධියත් කරුණුත් දෙක ම විචාරත්වා.
කාශ්‍යපය, නුවණැත්තෝ ලබ්ධිය විචාරන්නාහු, කරුණු විචාරන්නාහු, ලබ්ධිත් කරුණුත් දෙක ම විචාරන්නාහු, “මේ භවතුන්ගේ අකුසල වූත් අකුසලසඞ්ඛ්යාත වූත්, සාවද්‍ය වූත්, සාවද්‍යසඞ්ඛ්‍යාත වූත්, අසේවිතව්‍ය වූත්, අසේවිතව්‍යසඞ්ඛ්‍යාත වූත් ආර්යභාවයට නොසමත් වූත්, ආර්යභාවයට නොසමත් යැ යි වෙන කොට තබන ලද්දා වූත් කෘෂ්ණ වූත්, කෘෂ්ණසඞ්ඛ්‍යාත වූත්, යම් දහම් කෙනෙක් වෙත් නම්, ශ්‍රමණගෞතමයෝ මේ හැම දහම් නිරවශේෂයෙන් බැහැර කොට පවතිත්. අන් භවද් ගණාචාර්යයෝ වනාහි යම් තමක් (අල්පමාත්රයක්) ම බැහැර කොට පවතිත්”යැ යි මෙසේ කියන්නාහු ය. යන මේ කාරණය ඇත්තේ ම ය.
කාශ්‍යපය, මෙසේ නුවණැත්තෝ ලබ්ධි චිවාරන්නාහු කරුණු විචාරන්නාහු ලබ්ධිත් කරුණුත් විචාරණන්නාහු. අප ම එහිලා බෙහෙවින් පසස්නාහ.
අනෙකෙක් ද ඇත. කාශ්‍යපය, මේ භවතුන්ගේ කුසල වූත් කුශලසඞ්ඛ්‍යාත වූත්, අනවද්‍ය වූත් අනවද්‍යසඞ්ඛ්‍යාත වූත්, සේවිතව්‍ය වූත්, සේවිතව්යසඞ්ඛ්යාත වූත්, අලමාර්ය (ආර්යභාවයට සමත්) වූත් අලමාර්යසඞ්ඛ්යාත වූත්, ශුක්ල වූත්, ශුක්ලසඞ්ඛ්‍යාත වූත්, යම් ධර්ම කෙනෙක් වෙත් ද, කවරෙක් නම් මේ දහම් නිරවශේෂයෙන් සමාදන් කොට ගෙන පවත්නෝ ද ? මහණ ගොයුම්හු ද ? නැත හොත් අන් භවත් ගණාචාර්යයෝ ද ? ”යි නුවණැත්තෝ ලබ්ධි වචාරත්වා. කරුණු විචාරත් වා. ලබ්ධිත් කරුණුත් දෙක ම විචාරත් වා.
කාශ්‍යපය, නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු කරුණු විචාරන්නාහු, ලබ්ධිත් කරුණුත් දෙකම විචාරන්නාහු, “මේ භවතුන්ගේ කුශල වූත් කුශලසඞ්ඛ්‍යාත වූත් අනවද්‍ය වූත් අනවද්‍යසඞ්ඛ්‍යාත වූත් සේවිතව්‍ය වූත්, සේවිතව්යසඞ්ඛ්යාත වූත්, අලමාර්ය වූත් අලමාර්යසඞ්ඛ්යාත වූත්, ශුක්ල වූත්, ශුක්ලසඞ්ඛ්‍යාත වූත්, යම් දහම් කෙනෙක් වෙත් නම්, මහණ ගොයුම්හු මේ දහම් නිරවශේෂයෙන් සමාදන් කොට ගෙන පවතියි. අන්‍ය භවත් ගණාචාර්යයෝ වූ කලි යම් තමක් ම හෝ සමාදන් කොට පවතිත් යැ යි මෙසේ කියන්නාහ යන මේ කාරණය ඇත්තේ ම ය.
කාශ්‍යපය, මෙසේ නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු කරුණු විචාරන්නාහු ලබ්ධිත් කරුනුත් විචාරන්නාහු අප ම එහි ලා බෙහෙවින් පසස්නාහ.
අනෙකක් ද ඇත. කාශ්‍යපය, ‘මේ භවතුන්ගේ අකුසල වූත් අකුසලසඞ්ඛ්යාත වූත්, සාවද්‍ය වූත්, සාවද්‍යසඞ්ඛ්‍යාත වූත්, අසේවිතව්‍ය වූත්, අසේවිතව්‍ය සඞ්ඛ්‍යාත වූත්, ආර්යභාවයට නොසමත් වූත් ආර්යභාවයට නොසමත් යැ යි කියන ලද්දා වූත්, කෘෂ්ණ වූත් කෘෂ්ණසඞ්ඛ්‍යාත වූත් යම් ධර්ම කෙනෙක් වෙත් නම්, කවරෙක් මෙකී දෑ නිරවශේෂයෙන් පහ කොට පවතී ද? ගෞතමශ්රාවක සඞ්ගයා ද නැත හොත් අන් භවත් ගණාචාර්යශ්රාවක සමූහයෝ ද? යි නුවණැත්තෝ ශාස්තෘවරයා හා ශාස්තෘවරයා හෝ ශ්‍රාවකගණයා හා ශ්‍රාවකගණයා හා ශ්‍රාවකගණයා හෝ සසඳා ලබ්ධි විචාරත් වා. කරුණු විචාරත් වා. ලබ්ධිත් කරුණුත් විචාරත් වා.
කාශ්‍යපය, නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු, කරුණු විචාරන්නාහු ලබ්ධිත් කරුණුත් දෙක ම විචාරන්නාහු. ‘මේ භවතුන්ගේ අකුසල් වූත් අකුසල යී දන්නා ලද්දා වූත්, සදොස් වූත් සදොස් යී දන්නා ලද්දා වූත්, නොසෙවියැ යුතු වූත් නොසෙවිය යුතු හ යි දන්නා ලද්දා වූත් අරියබව් ලබනුවට නොසමත් වූත් අරියබව් ලබනුවට නොසමත් හ යි දන්නා ලද්දා වුත්, කළු වූත්, කළුයැයි දන්නා ලද්දා වූත් යම් දහම් කෙනෙක් වෙත් නම්, ගොයුම්සවුමුළුව ම මෙකී දෑ නොඉතිරි කොට දුරැලා සිටී. අන් ගණැදුරන්ගේ සවුමුළුහු යම්තමක් ම දුරැලා සිටිත්’ යැ යි මෙසේ කියන්නාහ යන මේ කරුණ ඇත්තේ ම ය.
කාශ්‍යපය, මෙසේ නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු කරුණු විචාරන්නාහු ලබ්ධීත් කරුණුත් විචාරන්නාහු අප ම එහි බෙහෙවින් පසස්නාහ.
කාශ්‍යපය, අනෙකෙක් ද ඇත. මේ භවතුන්ගේ කුසල් වූත් කුසල් යී දන්නා ලද්දාවූත්, නිදොස් වූත්, නිදොස් යී දන්නා ලද්දාවූත්, සෙවියැ යුතු වූත් සෙවිය යුතු හ යී දන්නා ලද්දා වූත්, අරයබව් ලබනුවට සමත් වූත්, අරියබව් ලබනුවට සමත්හ යි දන්නා ලද්දා වූත්, සුදු වූත්, සුදු යැ යි දන්නා ලද්දා වූත් යම් දහම් කෙනෙක් වෙත් නම්, කවරෙක් මේ දෑ මුළුල්ල ම සමාදන් කොට ගෙන පවතී ද? ගොයුම්සවුමුළුව ද නැත හොත් අන් භවත් සවුමුළුහු ද? යී ශාස්තෘහු හා ශාස්තෘහු ද , සවුමුළුව හා සවුමුළුව ද සසඳා නුවණැත්තෝ අප ලබ්ධිය විචාරත් වා, කරුණු විචාරත් වා. ලබ්ධිත් කරුණුත් දෙක ම විචාරත් වා.
කාශ්‍යපය, නුවණැත්තෝ ලබ්ධි විචාරන්නාහු, කරුණු විචාරන්නාහු, ලබ්ධිත් කරුණුත් විචාරන්නාහු, ‘මේ භවතුන්ගේ කුසල් වූත් කුසල් යි දන්නා ලද්දා වූත්. සෙවියැ යුතු වූත් සෙවිය යුතු හ යී දන්නා ලද්දා වූත්, අරයබව් ලබනුවට සමත් වූත්, අරියබව් ලබනුවට සමත්හ යි දන්නා ලද්දා වූත්, සුදු වූත්, සුදුහ යි දන්නා ලද්දා වූත් යම් දහම් කෙනෙක් වෙත් නම්, ගොයුම්සවුමුළුව ම මේ දහම් මුළුල්ල සමාදන කොට ගෙන පවතී. භවත් අන් ගණැදුරුමුළුහු යම්තමක් ම සමාදන් කොට ගෙන පවතිත් යැ’ යි මෙසේ කියන්නාහ යන මේ කරුන විද්‍යාමාන ම ය.
කාශ්‍යපය, මෙසේ නුවනැත්තෝ ලබ්ධි විචාරන්නාහු කරුණු විචාරන්නාහු, ලබ්ධිත් කරුණුත් විචාරන්නාහු, අප ම එහි බෙහෙවින් පසස්නාහ.
කාහ්යපය, යම්සේ පිළිපන් තැනැත්තේ “මහණ ගොයුම්හු ම කල් සලකා කථා කරන සුල්ලෝ ය, ඇත්ත කියන සුල්ලෝ ය, දෙලො වැඩ ඇසිරු කොට ම කියන සුල්ලෝ ය, නවලොවුතුරාදහම් ඇසිරු කොට කියන සුල්ලෝ ය, විනය ඇසිරු කොට ම කියන සුල්ලෝ යැ
”යි තෙමේ ම දන්නේ නම්, තෙමේ ම දක්නේ නම්, ඒ මඟ ඇත. ඒ පිළිවෙත ඇත.
කාශ්‍යපය, යම්සේ පිළිපන් තැනැත්තේ.....තෙමේ ම දන්නේ නම් තෙමේ ම දක්නේ නම්, ඒ කවරේ ද ? ඒ පිළිවෙත කවරේ ද?
සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යන මේ අරී අටැඟි මඟ ම ය.
කාශ්‍යපය, යම්සේ පිළිපන් තැනැත්තේ “මහණ ගොයුම්හු ම කල් සලකා කියන සුලුහ, ඇත්ත ම කියන සුලුහ, වැඩ ඇසිරැ ම කියන සුලුහ, විනය ඇසරැ ම කියන සුලුහ” යි තෙමේ ම දන්නේ නම් තෙමේ ම දක්නේ නම් මේ ඒ මඟ ය, මේ ඒ පිළිවෙත ය.”
මෙසේ වදාළ කල්හි අචේලකාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
“ඇවැත් ගොයුමාණනි, ඇතැම් මහණ බමුණන්ගේ මහණකමැ යි කියන ලද, බමුණුකමැ යි කියන ලද මේ තවකම් (තවුස්දම්) කෙනෙක් ඇත්හ: අචේලක (බහාලු පිළිඇතියේ) වෙයි. මුක්තාචාර (හරනා ලද ආචාර ඇතියේ) වෙයි. හස්තාවලේහනක (බොජුන් කිස නිමි කලැ අත ලෝනෝ) වෙයි. න එහිභදන්තික (වඩින්නැ වහන්සැ යි කැඳවන ලදුයේ නො එන්නේ) වෙයි. න තිට්ඨභදන්තික (වැඩ සිටින්නැ යි කියන ලදුයේ නො සිටුනේ) වෙයි. අභිහට භෝජනය (තමා උදෙසා පිළියෙළ කළ බොජුන්) නො ඉවසයි. නිමන්ත්‍රණය (බොජුන් සඳහා අසෝ තැනට වඩින්නැ යි කළ නිමැතුම) නො ඉවසයි. කුම්භීමුඛයෙන් (කුඹුමුවින් - පිසූ බත් ලූ බඳුනින්) නඟා දුන් ආහර නො පිළිගනී. කලෝපීමුඛයෙන් (ඉකිළි පැස්මුවින්)[ඉකිළී (උක්ඛලි) නම් බත් පිසන වළඳ යි. පැස නම් බත් ලන පසයි] නඟා දුන් අහර නො පිළිගනී. එළිපත අතරැ කොට දුන් අහර නො පිළිගනී. දංඩක් අතරැ කොටැ දුන් අහර නො පිළිගනී. මොහොලක් අතරැ කොට දුන් අහර නො පිළිගනී. වළඳන දෙදෙනකුන්ගෙන් එකකු නැගී සිට දුන් අහර නො පිළිගනී. ගැබින්නක දුන් අහර, (දරුවාට) කිරි පොවන්නියක දුන් අහර, සැමියා අතරට ගිය ස්ත්‍රියක දුන් අහර නො පිළිගනී. දුබික්සෙමෙහි (සමාදන් කොට පිළියෙල කළ බොජුන් අතුරෙන් ගෙන) දුන් අහර නො පිළිගනී. යම් තැනෙක බල්ලෙක් එළැඹ සිටියේ නම් ඌට නොදී ගෙනවුත් දුන් අහර, යම් තැනෙක මැස්සෝ රැස් රැස් වැ හැසිරෙන්නාහු නම් එ තැනින් දුන් අහර නො පිළිගනී. දියමස් ගොඩමස් නො පිළිගනී. රහමෙර නො බොයි. හේ ඒකාගාරික (එක් ගෙයකින් ම අහර ලැබ නවත්නේ) හෝ එකාලෝපික (එක් බත් පිඬෙකින් ම යැපෙන්නේ) වෙයි. ද්වාගාරික (දෙගෙයෙකින් අහර ලැබ නවත්නේ) හෝ ද්වාලෝපික (දෙබත් පිඬුයෙකින් ම යැපෙන්නේ) වෙයි. සත්තාගාරික (සත් ගෙයෙකින් අහර ලැබ නවත්නේ) හෝ සත්තාලෝපික (සත් අහරපිඬෙකින් ම යැපෙන්නේ) වෙයි. එක් දත්තියෙක(කුඩා තලියෙක) බතින් ද යැපෙයි, දත්ති දෙකෙක බතින් ද යැපෙයි, දත්ති සතෙක බතින් ද යැපෙයි, දවසක් හැර දවසක් ද අහර ගනී. දෙදවසක් හැර දවසක් ද අහර ගනී. සත් දවසක් හැර දවසක් ද අහර ගනී. මෙසේ මෙබඳු වු අඩමසක් හැර දවසක් ද වාර බත් වැළැඳීමේ ව්‍රතයේ යෙදුණේ වෙසෙයි.
“කාශ්‍යපය, ඉදින් අචේලකත් වේ ද, මුක්තාචාරත් (හරන ලද ආචාර ඇත්තේත්) වේ ද, හස්තාවලේහනව්රත ඇතියේත් වේ ද .....සත් දවසකට වරක් අහර ගනී ද, මෙසේ මෙබඳු වු අඩමසක් හැර දවසක් ද වාරබත් වැළඳීමේ ව්‍රතයේ යෙදුණේ වෙසේ ද, එහෙත් ඔහු විසින් මේ ශීලසම්පත්තියත් චිත්තසම්පත්තියත් ප්‍රඥාසම්පත්තියත් නො වඩන ලදුයේ පසක් නො කරන ලදුයේ වේ නම්, එසේ කලැ හේ මහණුවම් කෙරෙන් දුරැ ම සිටියේ වෙයි, බමුණුවම් කෙරෙන් දුරැ ම සිටියේ වෙයි.
කාශ්‍යපය, යම් හෙයකින් ම භික්ෂු තෙම ද්වේෂ වෛර රහිත, දොම්නස් ව්‍යාපද රහිත මෙත් සිත වඩා ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තියත් (ඵලසමාධියත්) ප්‍රඥාවිමුක්තියත් (ඵලඥානයත්) මේ අත්බව්හි ම තෙමේ විශිෂ්ට ඥාණයෙන් දැන, පසක් කොට, ලැබැ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්ෂු තෙම මහණ නමුදු බමුණු නමුදු වේ යැ යි කියන ලැබේ.
කාශ්‍යපය, තවුස් තෙමේ ඉදින් අමුපලා බුදිනුයේ වේ ද, බොඩහමු බුදිනුයේ වේද, ................තමන් ම වැටුනු ඵල බුදින සුලු වූයේ වන මුල් පල අහර කොටැත්තේ යැපේ ද, ඔහු විසින් මේ ශීලසම්පත්තියත් චිත්තසම්පත්තියත් ප්‍රඥාසම්පත්තියත් නො වඩන ලදුයේ පසක් නො කරන ලදුයේ වේ නම්, එසේ කලැ හේ මහණකමින් දුරෙහි ම බමුණුකමින් දුරෙහි ම සිටියේ වෙයි.
කාශ්‍යපය, යම් හෙයෙකින් ම භික්ෂු තෙම ද්වේෂරහිත ව්‍යාපාද රහිත මෙත් සිත වඩා ද, ආස්‍රවයන්ගේ ද ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥාණයත් තෙමේ ම මේ අත්බව්හි ම වෙසෙසි නුවණින් දැන, පසක් කොට ලැබ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්ෂු තෙම මහණ නුමුදු බමුණු නමුදු වේ යැ යි කියනු ලැබේ.
කාශ්‍යපය,තවුස් තෙමේ ඉදින් හණවැහැරියත් දරා ද හණනූල් අන් හූ හා මුසු කොට වියූ වස්ත්‍රත් දරා ද ........සවස තෙවැනි කොට දියට බැසීමෙහි යෙදුණේ වෙසේ ද, ඔහු විසින් මේ ශීලසම්පත්තියත් චිත්තසම්පත්තියත් ප්‍රඥාසම්පත්තියත් නො වඩනා ලදුයේ පසක් නො කරන ලදුයේ වේ නම් එසේ කලැ හේ මහණකමින් දුරෙහි ම බමුණු කමින් දුරෙහි ම සිටියේ වෙයි.
කාශ්‍යපය, යම් හෙයෙකින් ම භික්ෂු තෙම ද්වේෂ රහිත ව්‍යාපාද රහිත මෙත් සිත වඩා ද, ආස්‍රවයන්ගේ ද ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵළඥානයත් තෙමේ ම මේ අත්බව්හි ම වෙසෙසි නුවණින් දැන පසක් කොට ලැබ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්සු තෙම මහණ නමුදු බමුනු නමුදු වේ යැ යි කියනු ලැබේ.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි, කාශ්‍යප තෙම “භවද් ගෞතමයිනි, මහණකම දුෂ්කර ය. බමුණුකම දුෂ්කර යැ” යි භාග්‍යවතුන් වහන්සේට කීය.
“කාශ්‍යපය, ‘මහණකම දුෂ්කරය, බමුණුකම දුෂ්කර යැ’යි යන මෙය ලොවැ ප්‍රකෘති කථාව ය.”
කාශ්‍යපය, තවුස් තෙම අචේලකත් වේ ද, මුක්තාචාරත් වේද.....මෙසේ අඩමසකට වරක් (අඩමසක් හැර දවසක්) මෙබඳු වාර බත් වැළඳීමේ යෙදුණේ වෙසේ ද, කාශ්‍යපය, මේ පමණින් ම මේ (සුව තවකමින් ම) මහණකම හෝ බමුණුකම දුෂ්කරත් ඉතා දුෂ්කරත් වන්නේ නම් ‘මහණකම දුෂ්කරයැ යි, බමණුකම දුෂ්කර යැ’ යන්න කීමට යෝග්‍ය නො වන්නේ ය.
කාශ්‍යපය ගැහැවියක්හු විසින් හෝ ගැහැවිපුතක්හු විසින් හෝ යටත් පිරිසෙයින් කළදැස්සක විසින් නමුදු “මම දැන් අචේලක වෙමි, මුක්තාචාර වෙමි. ................‘’””මෙසේ අඩමසක් හැර දවසක් දැ යි මෙබඳු වාර බත් වැළඳීමේ යෙදුණෙම් වෙසෙමි”යි මේ තවකම් කරන්නට හැක්කේ වන්නේ ය. කාශ්‍යපය, යම් හෙයෙකින් මේ පමණින් (මේ මද පිළිවෙතින්) වෙන් ව ම, මේ තවකමින් වෙන් ව ම මහණකම හෝ බමුණුකම දුෂ්කරත් සුදුෂ්කරත් වේ නම්, එහෙයින් ‘මහණකම දුෂ්කර ය, බමුණුකම දුෂ්කර යැ’ යි මෙය කියන්නට යෝග්‍ය ය.
කාශ්‍යපය, යම් කලෙක පටන් භික්ෂු තෙම රෛ නැති ව්‍යාපාද නැති මෙත්සිත වඩා නම් ආස්‍රවයන්ගේ කෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥාණයත් මේ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණීන් දැන පසක් කොට ලැබ වෙසේ නම්, කාශ්‍යපය, මේ භික්ෂු තෙම මහණ යැ යි දු බමුණු යැ යි දු කියනු ලැබේ.
කාශ්‍යපය, ඉඳින් තවුස් තෙම අමු පලා කන්නේ වේ ද .............තමන්ම වැටුණු පල බුදින සුලු වූයේ වෙනෙහි මුල් පල අහර කොට යැපේ ද, කාශ්‍යපය මේ පමණින් ම මේ තවකමින් ම මහණකම හෝ බමුණුකම දුෂ්කරත් සුදුෂ්කරත් වන්නේ නම් ‘මහණකම දුෂ්කර යැ, බමුණුකම දුෂ්කර යැ’ යි කියන්නට යෝග්‍ය නොවන්නේ ය.
කාශ්‍යපය, ගැහැවියෙකු හෝ ගැහැවිපුතක්හු විසින් හෝ යටත් පිරිකළදැස්සක විසින් නමුදු “මම දැන් අමුපලා කන්නෙම් වෙමි....... ස්වයම්පතිත ඵලභෝජි ව වනමුල්ඵලාහාර ඇත්තෙම් යැපෙමි’ මේ තවකර්ම කරන්නට හැකි වන්නේ ය. කාශ්‍යප ය, යම් හෙයෙකින් ම මේ මද පිළිවෙතින් වෙන් ව ම මේ තව කමින් වෙන් ව ම මහණ කම හෝ බමුණුකම දුෂ්කරත් සුදුෂ්කරත් වේ ද, එ හෙයින් ‘මහණකම දුෂ්කර ය, බමුණුකම දුෂ්කර යැ’ යි මෙය කියනුවට යෝග්‍ය ය.
කාශ්‍යපය, යම් කලෙක පටන් භික්ෂු තෙම වෛර නැති ව්‍යාපාද නැති මෙත්සිත වඩා නම් ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥාණයත් මේ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණීන් දැන පසක් කොට ලැබ වෙසේ නම්, කාශ්‍යපය, මේ භික්ෂු තෙම මහණ නමුදු බමුණු නමුදු වේ යැ යි කියනු ලැබේ.
කාශ්‍යප ය, ඉදින් තවුස් තෙම හණවැහැරි දරා ද, හණනූල් මුසු අන්හුයින් වියූ වස්ත්‍ර දරා ද.......සවස තෙවෙනි කොට දියේ බැසීමෙහි යෙදුණේ වෙසේ ද, කාශ්‍යපය, මේ මඳ පිළිවෙතින් මේ තවකමින් දුෂ්කරත් සුදුෂ්කරත් වූ මහණකමෙක් බමුණු කමෙක් වන්නේ නම් ‘මණකම දුෂ්තර යැ බමුණුකම දුෂ්කර යැ’ යි මෙය කියන්නට යෝග්‍ය නො වන්නේ ය.
‘මම දැන් හණවැහැරි දරමි, හණනූල් අන්නූල් හා මුසු කොට වියූ වස්ත්‍ර දරමි.....සවස තෙවෙනි කොටැති ව දියෙහි ගැලීමෙහි යෙදුණෙම් වෙසෙමි’ යි ගැහැවියකු විසින් හෝ ගැහැවිපුතක්හු විසින් හෝ යටත් පිරිසෙහින් කුළදැස්සක විසිනුද මෙය කරන්නට හැකි වන්නේ ය. කාශ්‍යපය, යම් හෙයකින් මේ මඳ පිළිවෙල හැර ම මේ තවකම් හැර ම, මහණකම හෝ බමුණුකම දුෂ්කරත් සුදුෂ්කරත් වේ ද, එහෙයින් ‘මහණකම දුෂ්කර ය, බමුණුකම දුෂ්කර යැ’ යි මෙය කියන්නට යෝග්‍ය ය.
කාශ්‍යපය, යම් කලෙක පටන් භික්ෂු තෙම වෛර නැති ව්‍යාපාද නැති මෙත්සිත වඩා ද ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵළසමාධියත් ඵලඥානයත් මේ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණීන් දැන, පසක් කොට ලැබ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්ෂු තෙම මහණ නමුදු බමුණු නමුදු වේ යැ යි කියනු ලැබේ.
මෙසේ වදාළ කල්හී අචේලකාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේට, “භවද් ගෞතමයිනි, මහණ තෙම දුකසේ දත යුතු ය, බමුණු තෙම දුකසේ දත යුතු යැ” යි මේ වචනය කී ය.
“කාශ්‍යපය, ‘මහණ තෙමේ දුකසේ දත යුතු ය, බමුණු තෙම දුකසේ දත යුතු ය’ යන මෙය ලොවැ ප්‍රකෘති කථාව ම ය.”
කාශ්‍යපය, ඉදින් තවුස් තෙම අචේලක වේ ද,..............මෙසේ මෙබඳු වූ අර්ධමාසික පර්යායභක්තභෝජනව්රතයෙහි යෙදුණේ වෙසේ ද, කාශ්‍යපය, මේ මඳ පිළිවෙතින්, මේ තවකමින් දුකසේ දතයුතු ඉතා දුක්සේ දතයුතු මහණෙක් බමුණෙක් වන්නේ නම් ‘මහණ තෙම දුක සේ දත යුත්තේ ය, බමුණු තෙම දුකසේ දත යුත්තේ යැ’ යන මෙය කියන්නට යෝග්‍ය නො වන්නේ ය.
ගැහැවියකු හෝ ගැහැවිපුතක්හු හෝ යටත් පිරිසෙයින් කළදැස්සක හෝ විසිනුදු ‘මේ තෙමේ අචේලක වෙයි, මුක්තාචාර වෙයි....මෙසේ මෙබඳු අර්ධමාසික වූ ද පර්යායභක්තභෝජනව්රතයෙහි යෙදුණේ වෙසේ යැ’ යි ඔහු දත හැකි වන්නේ ය. කාශ්‍යපය, යම් හෙයෙකින් මේ මඳ පිළිවෙත හැර ම මේ මේ තවකම් හැර ම මහණ තෙමේ හෝ බමුනු තෙමේ හෝ දුකසේ දත යුතු වේ ද, ඉතා දුකසේ දත යුතු වේ ද, එහෙයින් ‘මහණ තෙම දුකසේ දත යුතු ය, බමුණු තෙම දුකසේ දත යුතු යැ ’ යි මෙය කියන්නට යෝග්‍ය ය.
කාශ්‍යපය, යම් කලෙක පටන් භික්ෂු තෙම වෛර නැති, ව්‍යාපාද නැති, මෙත්සිත වඩා ද, අස්රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධිය ද ඵලඥාණය ද මෙ අත්බව්හි ම තෙමේ වෙසෙසි නුවණීන් දැන පසක් කොට ලැබ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්ෂු තෙම මහණ යැ යි ද බමුණු යැ යි ද කියනු ලැබේ.
කාශ්‍යපය, තවුස් තෙම ඉදින් අමු පලා කන්නේ වේ ද, බොඩහමු කන්නේ වේද, ......ස්වයංපතිතඵල වළඳන සුලු වූයේ වනමුල් පල ආහාර කොටැත්තේ යැපේ ද, කාශ්‍යපය, මේ මඳ පිළිවෙතින් මේ තවකමින් දුක්සේ දතයුතු ඉතා දුකසේ දත යුතු මහණෙක් හෝ බමුණෙක් වන්නේ නම් ‘මහණා දුකසේ දත යුතු ය, බමුණා දුකසේ දත යුතු ය’ යන මෙය කියන්නට යෝග්‍ය නො වන්නේ ය.
මෙ තෙම අමුපලා කන්නේ හෝ වෙයි, බොඩහමු කන්නේ හෝ වෙයි. ...........ස්වයම්පතිතඵලභෝජි වූයේ වනමුල් පල ආහාර කොටැත්තේ යැපේ යැ’ යි ගැහැවියකු විසිනුදු ගැහැවිපුතකු විසිනුදු යටත් පිරිසෙයින් කළදැස්සක විසිනුදු ඔහු දත හැකි වන්නේ ය. (එහෙයිනි.) කාශ්‍යපය, යම් හෙයකින් මේ මඳ පිළිවෙතින් අන් තන්හි ම , මේ තවකමින් අන් තන්හි ම, දුකසේ දත යුතු වූ ඉතා දුකසේ දත යුතු වූ මහණ තෙමේ හෝ බමුණු තෙමේ වේ ද, එහෙයින් මහණ දුකසේ දත යුතු ය. බමුණා දුකසේ දත යුතු ය. යන මෙය කියන්නට යෝග්‍ය ය.
කාශ්‍යපය, යම් කලෙක පටන් වනාහි භික්ෂු තෙම වෛර නැති ව්‍යාපාද නැති මෙත්සිත වඩා ද, ආස්‍රවයන්ගේ ක්‍ෂයයෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලඥානයත් මේ අත්බව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට ලැබ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්ෂු තෙම මහණ යැ යි ද බමුණු යැ යි ද කියනු ලැබේ.
කාශ්‍යපය, තවුස් තෙම ඉදින් හණවැහැරි දරා ද, හණනූල් මුසු හුයින් වියූ වස්ත්‍ර දරා ද......සවස තෙවෙනි කොට දියේ ගැලීමේ යෙදුණේ වෙසේ ද, කාශ්‍යපය, මේ මඳ පිළිවෙතිනුත් මේ තවකමිනුත් දුකසේ දතයුතු, ඉතා දුකසේ දතයුතු මහණෙක් හෝ බමුණෙක් වන්නේ නම් ‘මහණා දුකසේ දත යුතු ය. බමුණා දුකසේ දත යුතු යැ’ යන මෙය කියන්නට නො නිසි වන්නේ ය.
‘මෙ තෙම හණවැහැරි ද දරයි, මිශ්‍රක වස්ත්‍ර ද දරයි. .......සවස තෙවෙනි කොට ද (ත්රිසන්ධ්යායෙහි ද) දියේ ගැලීමේ යෙදුණේ වෙසේ’ යැ යි ගැහැවියකු විසිනුදු ගැහැවිපුතක්හු විසිනුදු යටත් පිරිසෙහින් කළදැස්සක විසිනුදු මොහු දත හැකි ද වන්නේ ය. කාශ්‍යපය, යම් යෙකින් ම මේ මඳ පිළිවෙතින් අන් තන්හි ම, මේ තවකමින් අන් තන්හි ම, දුකසේ දත යුතු වූ, ඉතා දුකසේ දත යුතු මහණ තෙමේ හෝ බමුණු තෙමේ වේ ද, එහෙයින් ‘මහණා දුකසේ දැන ගත යුතු ය, බමුණා දුකසේ දැන ගත යුතු ය.’ යන මෙය කියන්නට නිසි ය.
කාශ්‍යපය, යම් කලෙක පටන් භික්ෂු තෙම ද්වේෂ නැති ව ව්‍යාපාද නැතිව මෙත් සිත වඩා ද, අස්රවයන්ගේ ක්‍ෂයයෙන් ආස්‍රව නැති ඵලසමාධියත් ඵලඥාණයත් මේ අත්බව්හි ම තෙමේ විශිෂ්ට නුවණීන් දැන පසක් කොට ලැබ වෙසේ ද, කාශ්‍යපය, මේ භික්ෂු තෙම ශ්‍රමණ නමුදු බ්‍රාහ්මණ නමුදු වේ යැ යි කියනු ලැබේ.
මෙසේ වදාළ කල්හී අචේලකාශ්‍යප තෙමේ “භවද් ගෞතමයිනි, ඒ ශිලසම්පත් කවරේ ද? ඒ චිත්ත සම්පත් කවරේ ද? ඒ ප්‍රඥාසම්පත් කවරේ ද?”යි මෙය භාග්‍යවතුන් වහන්සේ වෙතිනි විචාළේ ය. (භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:)
කාශ්‍යපය, මේ ලොවැ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ විද්‍යාචරණසම්පන්න වූ සුගත වූ ලෝකවිත් වූ නිරුත්තරපුරුෂදම්මසාරථී වු දෙව්මිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භගවත් වූ තථාගත තෙමේ ලොවැ පහළ වෙයි. හේ දෙවියන් සහිත මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලෝකය ද, මහණබමුණන් සහිත, සම්මත දෙවියන්(රජුන්) හා සෙසු මිනිසුන් හා සහිත සත්ත්වප්රජාව ද තෙමේ විශිෂ්ට නුවණින් දැන ප්රත්යක්ෂ කොට ඔවුනට අවබෝධ කරවයි. හේ දහම් දෙසනුයේ ආදියෙහි භද්‍රක (නිවරද)කොට, මධ්‍යෙයහි භද්‍රක( නිවරද)කොට, අවසන භද්‍රක (නිවරද) කොට අර්ථ සහිත කොට, ව්‍යඤ්ජනයෙන් සහිත කොට, සර්වප්රකාරයෙන් පූර්ණ කොට, පිරිසිදු කොට, දහම් දෙසයි. (එසේ දෙසනුයේ ශික්ෂාත්රයයෙන් සංගෘහීත වූ සියලු) ශාසනබ්රහ්මචර්යය ප්‍රකාශ කෙරෙයි.
ගැහැවියෙක් හෝ ගැහැවිපුතෙක් හෝ අන් එක්තරා කුලයක උපන්නෙක් හෝ ඒ ධර්මය අසයි. හේ ඒ දහම් අසා තථාගත බුදුහු කෙරෙහි සැදැහැ ඇති කෙරෙයි. හේ ඒ ශ්‍රද්ධාලාභයෙන් මන්විත වූයේ, ‘ගිහිගෙයි විසීම් සම්බාධයෙකි (අවහිරයෙකි). (රාගාදී රජස් නැගෙන) රජස් පථයකි. පැවිද්ද (සම්බාධ නැති) අභ්‍යවකාශය (එළි මහන) වැන්න. ගිහිගෙයි වසන්නහු විසින් ඒකාන්තයෙන් පිරිපුන් කොට, ඒකාන්තයෙන් පිරසිදු කොට, ශංඛලිඛිතයක් සේ මේ බඹසර සරන්නට පහසු නොවේ. (එබැවින්) මම කෙහෙරවුලු බහවා කසාවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් පැවිදිබිමට වදනෙම් නම් යෙහෙකැ’ යි මෙසේ නුවණින් සලකයි.
හේ පසු කලෙක අල්ප වූ හෝ සම්පත් රැස හැර, මහත් වූ හෝ සම්පත් රැස හැර, මඳ වු හෝ නෑ පිරිස හැර, මහත් වූ හෝ නෑ පිරිසි හැර, කෙහෙරැවුලු බහවා, කසාවත් හැඳ පෙරෙවැ, ගිහිගෙන් පැවිදිබිමට වදී. හේ මෙසේ පැවිදි වූයේ ම ප්‍රාතිමෝක්ඛසංවරයෙන් සමන්විත වූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්ත වූයේ, ස්වල්පමාත්‍ර වූද වරදෙහි බිය දක්නේ, නිවැරද වූ කායවාග්කර්මයෙන් සමන්විත වූයේ, එහෙයින් ම පිරිසිදු ආජීව ඇතියේ, සිල්වත් වූයේ ඉන්ද්රියයන්හි වැසූ දොර ඇතියේ, බොජුන්හි පමණ දන්නේ( සත් තන්හි) සිහියෙන් හා නුවණීන් හා යුක්ත වූයේ සිව්පසයෙහි තුන්වැදෑරුම් සතුටින් සතුටු වූයේ. ශික්ෂාපදයන්හී සමාදන් වැ හික්මෙයි.
කාශ්‍යපය, මහණ තෙමේ කෙසේ නම් සිල්වත් වේද ? යත්: කාශ්‍යපය, මෙහි මහණ තෙමේ ප්‍රණඝාතය හැරැ දමා, ප්‍රාණඝාතයෙන් වෙසෙසින් වැළැක්කේ වෙයි. බහා තැබූ දඬුමුගුරු ඇත්තේ (දඬුමුගුරු නොදරන්නේ), බහා තැබූ ආයුධ ඇත්තේ (ආයුධ නොදරන්නේ) පවට පිළිකුල් කරන්නේ, මෛත්‍රියට පැමිණියේ (මෛත්‍රියෙන් යුක්ත වූයේ), සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති වැ වෙසේ. මේ ද ඔහුගේ සීලසම්පතකි..
හේ අදත්තාදානය දුරැ ලා බඹසර සරන්නේ වෙයි. ගැමිදහමක් වූ මෙවුන්දමින් දුරු වැ හැසිරෙන්නේ, එයින් වැළැක්කේ වෙයි. මේ ද ඔහුගේ සීලසම්පතකි.
හේ අබ්රම්සර දුරැලා බඹසර සරන්නේ වෙයි. ගැමිදහමක් වූ මෙවුන්දමින් දුරු වැ ඉවසනසුලු වූයේ, නොසොර වූ පිරිසිදුසිතින් යුතු වැ වෙසේ. මේ ද ඔහුගේ සීල සම්පත් වේ.
හේ බොරු කීම දුරැ ලා, බොරු කීමෙන් වැළැක්කේ වෙයි. ඇත්ත කියනසුලු වූයේ, ඇත්තෙන් ඇත්ත ගළපා කියන්නේ, තහවුරු වැ පිහිටි කථා ඇත්තේ, ඇදහිය යුතු කථා ඇත්තේ, ලොව නො රවටන්නේ වෙයි. මේ ද ඔහුගේ සීලසම්පතකි.
හේ කේළාම් කීම් දුරැ ලා, කේලාම් කීමෙන් වැළැක්කේ වේ. මේ තැනින් අසා මොවුන් (ඔවුන් ගෙන්) බිඳවනු පිණිස එතැන්හි නො කියනසුලු වූයේ, එ තැනින් අසා ඔවුන් (මොවුන්ගෙන්) බිඳුවනු පිණිස මෙතන්හි නො කියන සුලු වූයේ, මෙසේ බිඳුනවුන් ගළපන්නේ (සමඟකරන්නේ) ද, එකට ගැළැපුනවුන් (සමඟියටපැමිණියවුන්) හට රුකුල් දෙන්නේ ද වෙයි. සමඟිය ඇති කරන බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ සීලසම්පතකි.
හේ රළු බිණුම් දුරැ ලා, රළු බස් දෙඩුමෙන් වැළැක්කේ වෙයි. නිදොස්, කන්කලු, පෙම් උපදවන, පහසුවෙන් සිතැ වැදැගන්නා, නො ගැමි, බොහෝ දෙනාට ප්‍රිය, බොහෝ දෙනාගේ මන වඩන යම් බසෙක් වේද, එබඳු වූ බස් කියන්නේ වෙයි. මේ ද ඔහුගේ සීලසම්පතකි.
හේ බොල් හිස් දෙඩැවිලි හැරැදමා, බොල් දෙඩැවිල්ලෙන් වැළැක්කේ වෙයි. සුදුසු කාල වේලායෙහි කථා කරන සුලු වූයේ, ඇත්තම කියන සුලු වූයේ, වැඩ සලසන බසක් ම කියන සුලු වූයේ, නව ලොවුතුරුදහම් ඇසුරු කොට ම කියනසුලු වූයේ, හික්මීම ඇති කරන බසක්ම කියනසුලු වූයේ, සිතැ තබා ගන්නට සුදුසු වූ, කරුණු සහිත වූ, ඉමක් කොනක් ඇති (ප්‍රමාණවත් වූ), දෙලෝ වැඩ හා සම්බද්ධ වූ ම බසක් සුදුසු කාලයෙහි කියන්නේ වෙයි. මේ ද ඔහුගේ සීලසම්පතකි.
කාශ්‍යපය, මහණ තෙමේ කෙසේ නම් ඉඳුරන්හී වැසූ දොර ඇත්තේ වේ ද? යත්: කාශ්‍යපය, මේ සස්නෙහි මහණ තෙමේ ඇසින් රූපයක් දැක ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශූභාදිවශයෙන් අත් පා ආදී අවයවයන්ගේ ආකාර සිතට නොගන්නේ වේ. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ චක්ෂුරින්ද්රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී. ඒ චක්ෂුරින්ද්රියය රකී. ඒ චක්ෂුරින්ද්රියයෙහි සංවරයට පැමිණේ.
කනින් හඬ අසා ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශූභාදිවශයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් සෝතඉන්ද්‍රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ සෝතඉන්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී. ඒ සෝතඉන්ද්‍රිය රකී. ඒ සෝතඉන්ද්‍රියයෙහි සංවරයට පැමිණේ.
නාසායෙන් ගඳ ආඝ්‍රාණය කොට ශුභාදීවශයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවශයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් ඝාණඉන්ද්‍රිය වසා නොගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද) එහි (ඒ ඝාණඉන්ද්‍රියයාගේ) සංවරය පිණිස හේ පිළිපදී. ඒ ඝාණඉන්ද්රියය රකී. ඒ ඝාණඉන්ද්රියයෙහි සංවරයට පැමිණේ.
දිවෙන් රස ආස්වාද කොට ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවසයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් ජිව්හින්ද්රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ ජිව්හින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී. ඒ ජිව්හින්ද්රියය රකී. ඒ ජිව්හින්ද්රියයෙහි සංවරයට පැමිණේ.
කයින් ස්ප්‍රෂ්ටව්‍යය (ඇඟට හැපෙන දෑ) ස්පර්ශ කොට ශුභාදීවසයෙන් එහි ලකුණු නො ගන්නේ වේ. ශුභාදීවසයෙන් ආකාර නොගන්නේ වේ. යම් කරුණෙකින් කායින්ද්රිය වසා නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ කායින්ද්‍රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී. ඒ කායින්ද්රියය රකී. ඒ කායින්ද්රියයෙහි සංවරයට පැමිණේ.
සිතින් ධර්මාලම්බන දැන, ශුභාදී වසයෙන් එහි ලකුණු ගන්නේ නො වේ. ශුභාදීවසයෙන් ආකාර ගන්නේ නො වේ. යම් ආකාරයෙන් මනින්‍ද්‍රිය සංවර කර නො ගෙන වසන්නහුගේ චිත්තසන්තානයට විෂම ලෝභ දොම්නස් ආදී ලාමක අකුශල ස්වභාවයෝ නැවත නැවත වෑස්සෙන්නාහු ද (නො හොත් චිත්තසන්තානය ලුහුබඳනාහු ද)එහි (ඒ මනින්ද්රියයාගේ ) සංවරය පිණිස හේ පිළිපදී. ඒ මනින්ද්රියය රකී. ඒ මනින්ද්රියයෙහි සංවරයට පැමිණේ.
හේ මේ ආර්ය වූ ඉන්ද්රියසංවරයෙන් සමන්විත වූයේ සිය සතන්හි අව්‍යාසේක සුඛය (කෙලෙසුන් ගෙන් තෙත් නොවීමෙන් වූ පිරිසිදු අධිචිත්ත සුඛය) විඳී. කාශ්‍යපය, මෙසේ වනාහී මහණ තෙමේ ඉන්ද්‍රියයන්හී වැසූ දොර ඇත්තේ වේ.
කාශ්‍යපය, මහණ තෙමේ කෙසේ නම් ස්මෘතිසම්ප්‍රජානනයෙන් (සිහිනුවණින්) සමන්විත වේ ද? යත්:
කාශ්‍යපය, මේ සස්නෙහි මහණ තෙමේ ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි (ආපසු හැරීමෙහි) මනා නුවණින් දැන ම (එය) කරනුයේ වෙයි. ඉදිරි බැලීමෙහි, අනුදික් බැලීමෙහි, (වටපිට බැලීමෙහි) මනා නුවණින් දැනම (එය) කරනුයේ වෙයි. අත් පා ආදිය හැකිලීමෙහි, දිගු කිරීමෙහි නුවණීන් දැන ම (එය) කරනුයේ වෙයි. සඟළසිවුර ද පාත්‍රය ද සෙසු සිවුරු ද දැරීමෙහි නුවණින් දැන ම කරන්නේ වෙයි. ආහාර ගැන්මෙහි, පැන් පීමෙහි, පිටි කැවිලි ආදිය කෑමෙහි, මී ආදිය රස විඳීමෙහි, නුවණීන් දැන ම කරනුයේ වෙයි. මල මූ පහ කිරීමෙහි නුවණීන් දැන ම කරනුයේ වෙයි. ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි කථා කිරීමෙහි, නො බිණීමෙහි නුවණින් දැන කරනුයේ වෙයි. කාශ්‍යපය, මෙසේ වනාහී මහණ තෙමේ සිහි නුවණින් සමන්විත වෙයි.
කාශ්‍යපය, කෙසේ නම් මහණ තෙමේ ලද පමණෙහි සතුටු වේද ? යත්:
කාශ්‍යපය, මේ සස්නෙහි මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට නික් මැ යේ ද, අට පිරිකර පමණක් ගෙන ම නික්මෙයි. කාශ්‍යපය, (පියා හඹනුවට තරම්) අත්තටු ඇති කුරුලු තෙමේ යම් යම් තැනක පියා හඹා යේ නම්, පියාපත්බර සහිත ව ම යම් සේ පියාහඹා යේ ද, එසේ ම, කාශ්‍යපය, ඒ මහණ තෙමේ කායපරිහරණයට ප්‍රමාණ වූ සිවුරින් ද කුක්ෂිපරිහරණයට ප්‍රමාණ වූ ආහාරයෙන් ද සතුටු වෙයි. හේ යම් යම් තැනකට යේ ද පා සිවුරු (ආදී අට පිරිකර පමණක්) රැගෙන ම යෙයි. කාශ්‍යපය,, මෙසේ වනාහි තෙමේ ලද පසයෙහි සතුටු වේ.
66. හේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු කල්හි, දීප්තිමත් වූ කල්හි කෙලෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණය වූ (=සෘද්ධියට යෝග්‍ය වු) කල්හී, සිටි කල්හී, නිශ්චලත්වයට පැමිණි කල්හී, සෘද්ධිවිධඥාණය පිණිස (අභිඥාපාදක) පරිකර්ම සිත මෙහෙයයි, නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ සෘද්ධිවිධය (සෘද්ධි කොට්ටාසය) නැවත නැවත අනුභව කෙරෙයි. (හෙවත් නාම කයින් ස්පර්ශ කෙරෙයි, ප්රත්යක්ෂ කෙරෙයි ලබයි.) පියෙවියෙන් එකෙක් වැ සිටැ ද (සෘද්ධිබලයෙන්) බහු ප්‍රකාර ද වි යලිදු එකෙක් වෙයි. තමාගේ ප්‍රකට බව කෙරෙයි (පෙනීසිටී) අප්‍රකට බව කෙරෙයි. (=නොපෙනී සිටියි) බිත්තියේ පිටතට, පවුරෙන් පිටතට, පර්වතයෙන් පිටතට අහසෙහි මෙන් කිසිවෙක නොගැටෙනුයේ මැදින් විනිවිද ගෙන යෙයි. දියෙහි මෙන් පොළොවෙහි ද යටට බැසීම(=ගිලී) උඩට නැගීම (=මතුවීම) කෙරෙයි. නො බිඳෙන (යට නො බස්නා) දියෙහි පොළොවෙහි සේ යෙයි. පක්ෂ ඇති සකුණයෙකු මෙන් අහසෙහි ද පළඟින් (=ඌරුබද්ධාසනයෙන්)යෙයි. මේ සා මහර්ද්ධි ඇති මහත් අනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද, අතින් පරාමර්ශනය කෙරෙයි(=අල්ලයි) (ඔබමොබ අත යවා) පිරිමදියි. බඹලොව තෙක් ද (සියල්ල) කයින් වශයෙහි පවත්ව යි.
67. කාශ්‍යපය, යම්සේ දක්ෂ කුඹලෙක් හෝ කුඹලක්හුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=සකස් කළ) මැට්ටෙන් යම් යම් භාජන විශේෂයක් කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, මොනවට නිපදවන්නේ ද-
කාශ්‍යපය යම්සේ දක්ෂ දන්තකාරයෙක් (ඇත්දත් ආදීයෙන් විසිතුරු කම් කරන්නෙක්) හෝ දන්තකාරයකුගේ අතැවැස්සෙක් හෝ මොනවට පිරියම් කළ (=දොස් ඉවත් කොට මොනවට සකස් කළ)දතෙක්හි යම් යම් දන්තවිකෘතියත් (දතෙහි කළ විසිතුරු රූපාදියක්) කැමැති වන්නේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද, වෙසෙසින් නිපදවන්නේ -
කාශ්‍යපය, යම්සේ හෝ දක්ෂ රන්කරුවෙක් හෝ රන්කරුවෙකුගේ අතැවැස්සෙක් හෝ මොනවට සකස් කළ රනෙහි යම් යම ස්වර්ණ විකෘත්තියක් (ආභරණ ආදියක්) කැමැත්තේ නම්, ඒ ඒ දැය ම කරන්නේ ද , නිපදවන්නේ ද,
කාශ්‍යපය එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හී කෙළෙස් රහිත වූ කල්හි, උපක්ලේශයන් පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, සෘද්ධිවිධඥාණය පිණිස සිත මෙහෙයවයි නැඹුරු කෙරෙයි. හේ අනේකවිධ වූ සෘද්ධි කොට්ඨාසය නැවත නැවත විඳී. පියෙවියෙන් එකෙක් වැ සිට බොහෝ දෙනෙක් වෙයි. බොහෝ දෙනෙක් වැ සිට එකෙක් වෙයි. තෙමේ පෙනී සිටී, නො පෙනී ද සිටී. බිත්තියෙන් පිටතට, පව්වෙන් පිටතට, විනිවිදැ අහසෙහි මෙන් කිසිවකැ නො ලැගී යෙයි. දියෙහි මෙන් පොළොවෙහිත් ගිලීම් ද මතුවීම් ද කෙරෙයි. පොළව මතු පිටැ සේ නොබිඳෙන දියෙහි යෙයි. පක්ෂියෙකු සේ පළඟින් අහසෙහි යෙයි. මේ සා මහර්ද්ධිමත් මහත් අනුභාව ඇති සඳ හිරු දෙදෙනා පවා අල්ලයි, පිරිමදියි. බඹලොව තෙක් ද කයින් තමා වශයෙහි පවත්වයි. කාශ්‍යපය, මේ ද ඔහුගේ ප්රඥාසම්පත්තියකි.
68. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි, දීප්තිමත් කල්හි, කෙලෙස් රහිත වූ කල්හී, උපක්ක්ලේශ පහ වැ ගිය කල්හි මෘදු වූ කල්හි, කර්මණ්ය වූ කල්හී සිටි කල්හි නිශ්චල බවට පැමිණි කල්හි, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස (දිවකන් නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වූ, මිනිසුන්ගේ ශ්‍රාවණෝපචාරය ඉක්මවා සිටි දිව කනින් දිව්‍ය වූද මානුසික වූ ද, දුරැ වූ ද, ළං වූ ද, යන ද්විවිධ ශබ්ද ම අසයි.
69. කාශ්‍යපය, යමසේ මිනිසෙක් දික් මඟකට පිළිපන්නේ ද, හේ බෙරහඬක් මිහිඟු බෙර හඬත් පණාබෙර හඬත්, ගැටබෙර හඬත් යම්සේ අසන්නේ ද, ඒ අසන ඔහුට ‘මේ බෙර හඬැයි කියාත්, මේ මිහිඟු බෙර හඬයි කියාත්, මේ සක්පණාබෙර ගැටබෙර හඬයි කියාත්, මෙසේ සිතෙක් වන්නේ ද, කාශ්‍යපය එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වූ කල්හි, දීප්තිමත් වූ කල්හී කෙලෙස් රහිත වූ කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මණය (කර්මක්ෂම) වූ කල්හී, සිටි කල්හි, නිශ්චල බවට පැමිණි කල්හී, දිව්‍ය ශ්‍රෝත්‍රධාතුව පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි. හේ පිරිසිදු වූ මිනිසුන්ගේ ශ්‍රවණෝපචාරය, ඉක්ම වූ දිව කන් නුවණීන් දිව්‍ය වූත් මානුසික වූත් දුරැ වූත් ළඟැ වූත් ද්විවිධ ශබ්ද අසයි. කාශ්‍යපය, මේ ද ඔහුගේ ප්රඥාසම්පත්තියකි.
70. හේ තෙමේ මෙසේ එකඟ වූ සිත පිරිසිදු වූ කල්හී, දීප්තිමත් වූ කල්හී, කෙලෙස් රහිත වූ කල්හී, උපක්කිලේශ පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හී, කර්මක්ෂම වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හි, චේතස්පර්‍යායඥානය පිණිස (අනුන්ගේ සිත් පිරිසිඳ දක්නා නුවණ පිණිස) සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි. හේ අන් සත්ත්වයන්ගේ අන් පුද්ගලයන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනියි. රාග සහිත සිත රාග සහිත සිතැ යි ද දනියි. රාග රහිත සිත රාග රහිත සිතැ යි ද දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතැ යි ද දනී. මෝහ සහිත සිත මෝහ සහිත සිතැයි ද දනී. මෝහ රහිත සිත මෝහ රහිත සිතැයි ද දනී. සංක්ෂිප්ත (=හැකුළුණු) සිත හැකුළුණු සිතැ යි ද දනී. වික්ෂිප්ත (=විසිරුණු) සිත විසුරුණු සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනී. මහද්ගත සිත මහද්ගත සිතැ යි ද දනී. අමහද්ගත සිත අමහද්ගත සිතැ යි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී. සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත (=මිදුණු) සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත (=නොමිදුණු) සිත අවිමුක්ත සිතැ යි ද දනී.
71. කාශ්‍යපය, යම්සේ සැරැසෙන සුලු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ළදරුවෙක් හෝ තරුණයෙක් හෝ පිරිසිදු දීප්තිමත් කැඩ පතෙක හෝ පහන් දිය බඳුනෙක හෝ සිය මුව සටහන පිරික්සා බලන්නේ තලකැලැල් ආදී දොස් ඇති තැන් සදෝස් තැනැයි දන්නේ ද, එ කී දොස් නැති තැන දොස් නැතැයි දන්නේ ද-
කාශ්‍යපය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත වූ සිත පිරිසිදු වු කල්හී, කෙලෙස් නැති කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හී, කර්මක්ෂම වූ කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පැමිණි කල්හී, පරසිත් දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි.
හේ අන් සතුන්ගේ, අන් පුඟුලන්ගේ සිත සියසිතින් පිරිසිඳ දනී. සරාග සිත සරාග සිතැයි ද දනී. වීතරාග සිත වීතරාග සිතැයි ද දනී. සද්වේෂ සිත සද්වේෂ සිතැ යි ද දනී. වීත දෝෂ සිත වීත දෝෂ සිතැ යි ද දනී. සංක්ෂිප්ත සිත සංක්ෂිප්ත සිතැ යි ද දනී. අමහග්ගත සිත අමහග්ගත සිතැ යි ද දනී. මහග්ගත සිත මහග්ගත සිතැයි ද දනී. සෝත්තර සිත සෝත්තර සිතැ යි ද දනී. අනුත්තර සිත අනුත්තර සිතැ යි ද දනී. සමාහිත සිත සමාහිත සිතැ යි ද දනී. අසමාහිත සිත අසමාහිත සිතැ යි ද දනී. විමුක්ත සිත විමුක්ත සිතැ යි ද දනී. අවිමුක්ත සිත අවිමුක්ත සිතැ යි ද දනී. කාශ්‍යපය, මේ ද ඔහුගේ ප්රඥාසම්පත්තියකි.
72. හෙ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හී, දීප්ත වූ කල්හී, කෙලෙස් නැති වූ කල්හී, උපක්කිලේශ පහ වැ ගිය කල්හී, මෘදු වූ කල්හී, කර්මක්ෂම වු කල්හී, සිටි කල්හී, නිශ්චල බවට පත් කල්හී, පුර්වේනිවාසානුස්මෘති ඥාණය (=පෙර වුසු කඳ පිළිවෙළ දක්නා නුවණ) ලබනු පිණිස සිත යොමු කෙරෙයි. හේ එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පහක් ද ජාති දසයක් ද ජාති විස්සක් ද ජාති තිහක් ද ජාති සතළිහක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සුවහසක් ද බොහෝ සංවර්ත කල්ප ද බොහෝ විවර්ත කල්ප ද බොහෝ සංවර්ත විවර්ත කල්ප ද “ අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිද මෙ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි” යි. මෙසේ අනේකවිධ වු පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මෙසේ වර්ණාදි වශයෙන් ආකාර සහිත වූ නම් ගොත් විසින් උද්දේශ සහිත වු බහුවිධ වු පුර්වේනිවාසය සිහි කෙරෙයි.
73. කාශ්‍යපය, යම්සේ පුරුෂයෙක් සිය ගමින් අන් ගමකට යන්නේ ද, ඒ ගමිනුත් අන් ගමකට යන්නේ ද, (නැවත ) හේ ඒ ගමින් සිය ගමට ම පෙරළා එන්නේ ද, එසේ වු ඔහුට “මම් වූ කලී සිය ගමින් අසෝ ගමට ගියෙමි. එහි මෙසේ සිටියෙමි, මෙසේ උපන්නේමි, මෙසේ කීමි, මෙසේ නිහඩ විමි. ඒ ගමිනුත් අසෝ ගමට ගියෙමි. එහි ද මෙසේ සිටියෙමි, මෙසේ උන්නෙමි, මෙසේ කීමි, මෙසේ නිහඩව සිටියෙමි, ඒ මම ඒ ගමින් සිය ගමට පෙරළා ආයම් වෙමි” යි මේ බඳු සිතෙක් වන්නේ ද -
කාශ්‍යපය, එපරිද්දෙන් ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හී, දීප්ත කල්හී, කෙලෙස් රහිත කල්හි, උපක්කිලේශ පහ වැ ගිය කල්හි, මෘදු වූ කල්හි, කර්මක්ෂම වු කල්හී, සිටි කල්හී නිශ්චල බවට පැමිණි කල්හී, පෙර වුසු කඳ පිළිවෙළ සිහි කරණ නුවණ පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි, හේ “ අසෝ තන්හි මේ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව අසෝ තැන උපනිමි. එහිද මෙ නම් ඇතියෙම් විමි. මේ ගොත් ඇතියෙම් විමි. මේ බඳු පැහැ ඇතියෙම් විමි. මේ බඳු ආහාර ඇතියෙම් විමි. මේ බඳු මේ බඳු සුවදුක් විඳින්නෙම් විමි. මේ බඳු (මෙතෙක්) ආයු කෙළෙවර කොටැතියෙම් විමි. ඒ මම එයින් සැව මෙහි උපනිමි” යි. මෙසේ එක් ජාතියක් ද , ජාති දෙකක් ද , ජාති තුනක් ද, ජාති සතරක් ද, ජාති පසක් ද, ජාති දසයක් ද, ජාති විස්සක් ද, ජාති තිසක් ද, ජාති සතළිසක් ද, ජාති පනසක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති සුවහසක් ද, බොහෝ සංවර්ථ කල්ප ද, බොහෝ විවර්ත කල්ප ද, බොහෝ සංවර්ත විවර්ත කල්ප ද, මෙසේ අනේකවිධ වු පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි. මේ පරිද්දෙන් ආකාර සහිත වූ උද්දේස සහිත වූ පෙරැ වුසු කඳ පිළිවෙළ සිහි කෙරෙයි. කාශ්‍යපය, මේ ද ඔහුගේ ප්රඥාසම්පත්තියෙකි.
74. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පිරිසිදු වු, මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක් මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනෝදුෂ්චරිතයෙන් සමන්විතයහ, ආර්යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාවෘත ඇතියහ, ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්මයට තමන් පරවශ බැවින්) තමනට අවශ වැ වැටෙන තැන වු නිරයට වන්නාහ. මේ භවත් සත්ත්වයෝ වූ කලී කාය සුචරිතයෙන් සමන්විතයහ, වාක්සුචරිතයෙන් සමන්විතයහ, මනෝසුචරිතයෙන් සමන්විතයහ, ආර්යයනට උපවාද නො කළහ, සමදිටු ගත්තහ, සමදිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ, ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පළිසිඳ, ගත්තා වූද , හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද , සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්ණ දුර්වර්ණ, සුගත දුර්ගත, සත්ත්වයන් දකී. කර්මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්වයන් දකී.
75. කාශ්‍යපය, යම්සේ සතර මං හන්දියෙක මහල් සහිත ගෙයෙක් වන්නේ ද, එහි උඩු මහලෙහි ඇස් ඇති පුරුෂයෙක් සිටියේ ගෙට පිවිසෙන්නවුනුත් ගෙන් නික්මෙනවුනුත් වීථියෙහි ඈත මෑත යන එනවුනුත්, සිව්මං හන්දියෙ මැද හුන්නුවුනුත් දක්නේ ද, ඒ දක්නා ඔහුට “මේ මිනිස්සු ගෙට පිවිසෙත්, මේ මිනිස්සු ගෙන් නික්මෙත්, මේ මිනිස්සු වීදියෙහි ඈත මෑත යෙත්, මොහු සිවුමංහන්දිය මැද උන්නෝ වෙත් යැ” යි මෙසේ සිතෙක් වන්නේ ද-
කාශ්‍යපය, එපරිදි ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්ත වැ කෙලෙස් නැතිවැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, සත්ත්වයන්ගේ ච්‍යුති උප්පත්ති දන්නා නුවණ පිණිස සිත යොමු කෙරෙයි, නැඹුරු කෙරෙයි, හේ පරිසිදු වු, මිනිසුන්ගේ දර්ශනෝපචාරය ඉක් මැ දැක්කැ හැකි දිවැසිනින්, “අහෝ! මේ භවත් සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් සමන්විතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්විතයහ, මනෝදුෂ්චරිතයෙන් සමන්විතයහ, ආර්යෝපවාද කළහ, මිසදිටු ගතුවහ, මිසදිටු වශයෙන් ගත් මිත්‍යාවෘත ඇතියහ, ඒ මොහු කරජ කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහ වූ, දුෂ්ටකර්ම හේතුයෙන් හටගත් ගතිය වු, (කර්මයට තමන් පරවශ බැවින්) තමනට අවශග වැ වැටෙන තැන වු නිරයට වන්නහ. මේ භවත් සත්ත්වයෝ වූ කලී කාය සුචරිතයෙන් සමන්විතයහ, වාක්සුචරිතයෙන් සමන්විතයහ, මනෝසුචරිතයෙන් සමන්විතයහ, ආර්යයනට උපවාද නො කළහ, සමදිටු ගත්තහ, සමදිටු වශයෙන් ගත් ශීලාදිය ඇත්තහ, ඒ මොහු කාබුන් මරණින් මතු ශෝභන වූ ගති ඇති සග ලොවට වන්නාහ” යි මරණාසන්න වූ ද, එකෙණෙහි පළිසිඳ, ගත්තා වූද , හීන වූද , උසස් වූ ද, මනා පැහැ සටහන් ඇති වූ ද, නොමනා පැහැ සටහන් ඇති වු ද , සුගතියට පැමිණියා වූ ද, දුගතියට පැමිණියා වූ ද, කර්මය වූ පරිදි ඒ ඒ භවයට ගියා වූ සත්ත්වයන් දකී. මෙසේ හේ පිරිසිදු වූ මානුෂක විෂය ඉක්මැ පැවැති දිවැසින් හීන ප්‍රණීත, සුවර්ණ දුර්වර්ණ, සුගත දුර්ගත, සත්ත්වයන් දකී. කර්මය වූ පරිදි ඒ ඒ භවය කරා එළැඹැ සිටි සත්ත්වයන් දකී. කාශ්‍යපය, මේ ද ඔහුගේ ප්රඥාසම්පත්තියෙකි.
76. හේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ නිකෙලෙස් වැ උපක්කිලේශ පහ වැ මෘදු වැ කර්මක්ෂම වැ ස්ථිත වැ නිශ්චල බවට පැමිණි කල්හි, ආස්‍රවයන්ගේ ක්ෂයය(විනාශය) පිණිස සිත මොනවට යොමු කෙරෙයි, මොනවට නැඹුරු කෙරෙයි. (එසේ වූ ) හෙ තෙමේ ‘මේ දුකැ ’ යි ඇති සැටි ලෙස දනී. ‘ මේ දුක් ඉපැත්මට කාරණයැ’යි ඇති සැටි ලෙස දනී. ‘ මේ දුක් වැනැස්මැ’.(=දුක් නැස්මට අරමුනු වන නවනැ) යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටි ලෙස දනී. ‘ මොහු ආස්‍රවයෝ යැ’ යි ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’ ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රව නිරෝධ යැ’යි(ආස්‍රවයන් වැනැස්මට ප්‍රත්‍ය වන නිවනැ)යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ ’යි ඇතිසැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නවා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන්ද මිදෙ. (ඔහු)සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. (එසේ සිත මිදුණු කල්හී ‘ මා සිත ආස්‍රව කෙරෙන )මිදුණේ යැ’යි (ප්‍රත්‍යෙවක්ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්ෂීන විය(හෙවත් නැවත භවයෙහි නොඋපදනා ස්භාවයට පැමිණියෙමි), ‘ මඟ බඹසර වැස නිමැවිණි. මේ බව පිණිස (සිවු සස්හි සතර මඟින් කළයුතු සොළෝස් වැදෑරුම්) කිස කොට නිමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්ෂය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’ යි හේ දනී.
කාශ්‍යපය, යම්සේ කඳු මුදුනකැ වූ පහන් වු, වෙසෙසින් පහන් වූ, නොකැලැඹුණු (=බොර නොවූ) දිය විලෙක් වන්නේ ද, එහි ඉවුරෙහි ඇස් ඇති මිනිසෙක් සිටියේ, එහි තුල හැසිරෙන්නා වූත් සිටුනා වූත් ස්ප්පිබෙල්ලනුත්, සක්බෙල්ලනුත්, කැටකැබිලිතිත් මත්ස්‍යසමූහයාත් දක්නේ ද, (එසේ දක්නා) ඔහුට “මේ දියවිල පහන් ය, වෙසෙසින් පහන් ය, නොකැලැඹුණේ ය. මෙහි මේ සිප්පිහුත්, සක්බෙල්ලෝත්, කැට කැබිලිතිත් මත්ස්‍ය සමූහයෝත් හැසිරෙන්නොත් සිටින්නෝත් වෙති” යි මෙසේ සිතෙක් වන්නේ ද,
77. කාශ්‍යපය, එපරිද්දෙන්ම මහණ තෙමේ මෙසේ සමාහිත සිත පිරිසිදු වැ දීප්තිමත් වැ, නිකෙලෙස් වැ, උපක්කිලේශ පහ වැ, මෘදු වැ, කර්මණ්ය වැ, ස්ථිත වැ, නිශ්චලතාවට පැමිණි කල්හි ආස්රවක්ෂයඥානය පිණිස සිත යොමු කෙරෙයි. නැඹුරු කෙරෙයි. හේ ‘මේ දුකැ ’ යි ඇති සැටි ලෙස දනී. ‘ මේ දුක් ඉපැත්මට කාරණයැ’යි ඇති සැටි ලෙස දනී. ‘ මේ දුක් වැනැස්මැ’.(=දුක් නැස්මට අරමුනු වන නවනැ) යි ඇති සැටි ලෙස දනී. ‘මේ දුක් වැනැස්මට පමුණුවන පිළිවෙතැ’යි ඇති සැටි ලෙස දනී. ‘ මොහු ආස්‍රවයෝ යැ’ යි ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රවයන් ඉපැද්මට කරුණැ’ ඇති සැටියෙන් දනී. ‘ මේ ආස්‍රව නිරෝධ යැ’යි(ආස්‍රවයන් වැනැස්මට ප්‍රත්‍ය වන නිවනැ)යි ඇති සැටියෙන් දනී. ‘මේ ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපත්තිය යැ ’යි ඇතිසැටියෙන් දනී. මෙසේ දන්නා මෙසේ දක්නවා ඔහුගේ සිත කාමාස්‍රවය කෙරෙන් ද මිදේ. ඔහු සිත භවාස්‍රවය කෙරෙන්ද මිදෙ. (ඔහු)සිත අවිද්‍යාස්‍රවය කෙරෙන් ද මිදේ. (එසේ සිත මිදුණු කල්හී ‘ මා සිත ආස්‍රව කෙරෙන )මිදුණේ යැ’යි (ප්‍රත්‍යෙවක්ෂණ) ඥානය වේ. භවෝත්පත්තිය ක්ෂීන විය(හෙවත් නැවත භවයෙහි නොඋපදනා ස්භාවයට පැමිණියෙමි), ‘ මඟ බඹසර වැස නිමැවිණි. මේ බව පිණිස (සිවු සස්හි සතර මඟින් කළයුතු සොළෝස් වැදෑරුම්) කිස කොට නැමැවිණි. මේ බව පිණිස (=මේ ක්ලේශක්ෂය පිණිස) යලි දු කටයුතු දැයෙක් නැතැ’ යි හේ දනී. කාශ්‍යපය, මේය ද ඔහුගේ ප්රඥාසම්පත්තියෙකි. කාශ්‍යපය මේ ඒ ප්‍රඥාසම්පත් ය.
78. කාශ්‍යපය, මේ ශීලසම්පත්තියට, මේ චිත්තසම්පත්තියට, මේ ප්රඥාසම්පත්තියට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ අන් සීලසම්පතෙක්, චිත්තසම්පතෙක්, ප්රඥාසම්පතෙක් නැත.
79. කාශ්‍යපය, ශීලවාදී වූ ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. ඔහු නොයෙක් කරුණින් ශීලයේ ගුණ කියත්. කාශ්‍යපය, යම් පමණ ආර්ය වූ (නොකිලිටි) උතුම් ශීලයෙක් ඇද්ද, එහි තමාට සමසම වූ(මගේ ශීලයට සම ශීලයෙක් මා හා සම වූ) කිසිවකු මම් නො දකිමි. වැඩිතරම් එකකු කොයින් දකිම් ද? වැලි මම ම යම් උතුම් ශීලයෙක් වේ නම් එහි හැමට වඩැඩි තරම් (උතුම්) වෙමි.
80. කාශ්‍යපය, තපොජුගුප්සාවාදී වූ ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. ඔහු නොයෙක් කරුණින් තපෝජුගුප්සාවේ (කෙලෙසුන් තවන කෙලෙස්නට පිළිකුල් කරන වීර්යයේ) ගුණ කියත්. කාශ්‍යපය, යම් පමණ ආර්ය වූ පරම තපෝජුගුප්සාවෙක් වේ ද, එහි මම් තමාට සමසමයකු නො දකිමි. වැඩිතරම් එකෙකු කොයින් දකිම් ද? වැලිදු යම් අධිජුගුප්සාවෙක්(මාර්‍ගඵලසම්ප්‍රයුක්ත වීර්යයෙක්) වේ නම් එහි මම ම හැමට වැඩිතරම් වෙමි.
81. කාශ්‍යපය, ප්රඥාවාදී වු ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. ඔහු නොයෙක් කරුණින් ප්‍රඥාවේ ගුණ කියත්, කාශ්‍යපය, යම් පමණ ආර්ය වූ පරම ප්‍රඥාවෙක් වේ ද, එහි මම් තමාට සමසමයකු නො දකිමි. වැඩිතරම් එකෙකු කොයින් දකිම් ද ? වැලිදු යම් අධිප්රඥාවෙක් (මාර්‍ගඵලසම්ප්‍රයුක්ත ප්‍රඥාවෙක්) වේ ද මම ම එහි හැමට වැඩිතරම් වෙමි.
82. කාශ්‍යපය, විමුක්තිවාදී වූ ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. ඔහු නොයෙක් කරුණින් විමුක්තියේ ගුණ කියත්, කාශ්‍යපය, යම් පමණ ආර්ය වූ විමුක්තියක් වේ ද, එහි මම් තමාට සමසමයකු නොදකිමි. වැඩිතරම් එකකු කොයින් දකිම් ද? වැලිදු යම් අධිවිමුක්තියෙක් (සමුච්ඡේද ප්‍රතිප්‍රශ්‍රබ්ධි නිස්සරණ යන ත්‍රිවිධ පරම විමුක්තියෙක් )වේ ද, මම ම හැමට වැඩිතරම් වෙමි.
83. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. එ ද පිරිස්හි කෙරෙයි. එහෙත් විශාරද ව නොකෙරේ” යැ යි අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කියන්නාහ” යන මේ කාරණය විද්‍යාමාන ම ය. “එසේ නො කියැ යුතු” යැ යි ඔහු කියැ යුතු වන්නාහ. “මහණ ගොයුම් සිංහනාදත් කෙරේ. ඒ ද පිරිස් හි කෙරේ විශාරද ව ද කෙරේ” යැ යි, කාශ්‍යපය ඔහු මෙසේ කියැ යුතු වන්නාහ.
84. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. ඒ ද පිරිස්හි කෙරෙයි. විශාරද ව ද කෙරෙයි එහෙත් අන්හු ඔහු පැණ නො විචාරති”යි මෙසේ අන්තොටු පිරිවැජියෝ කියන්නාහ” යන යමක් ඇද්ද, මේ කාරණය විද්‍යාමාන ම ය. ඔහු “එසේ නොකියැ යුතු” යැ යි කියැ යුතු වන්නාහ. මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. පිරිස්හි ද එය කෙරෙයි. විශාරද ව ද කෙරෙයි. ප්‍රශ්න ද (ඔබෙන්) විචාරත් යැ යි මෙසේ ඔහු කියැ යුතු වන්නාහ.
85. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. එය පිරිස්හි ද කෙරෙයි. විශාරද ව ද කෙරෙයි. ප්‍රශ්න ද ඔහු විචාරත්. එහෙත් ඔවුන්ගේ ප්‍රශ්න විචාරන ලද්දේ නො විසඳා යැ යි අන්තොටු පිරිවැජියෝ මෙසේ කියන්නාහ.”යන යමෙක් ඇද්ද, මේ කාරණය විද්‍යාමාන ම ය. ඔහු “එසේ නොකියැ යුතු” යැ යි කිය යුතු වන්නාහ. මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. පිරිස්හි ද එය කෙරෙයි. විශාරද ව ද කෙරෙයි ප්‍රශ්න ද ඔහු විචාරත්. ඔහු විසින් පැණ විචාරන ලද්දේ විසඳා” යැ යි කාශ්‍යපය, මෙසේ ඔහු කියැ යුතු වන්නාහ.
86. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. එය පිරිස්හි ද කෙරෙයි. විශාරද ව ද කෙරෙයි. ප්‍රශ්න ද ඔහු විචාරත්. ඔවුන් විසින් ප්‍රශ්න විචාරන ලදුයේ විසඳයි. එහෙත් පැණ විසඳීමෙන් ඔවුන් සිත් නොම ගනී යැ යි මෙසේ අන්තොටු පිරිවැජියෝ කියන්නාහු ය.”යන යමෙක් ඇද්ද, මේ කාරණය විද්‍යාමාන ම ය. “එසේ නොකියැ යුතු” යැ යි ඔහු කිය යුතු වන්නාහ. මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. පිරිස්හි ද එය කෙරෙයි. විශාරද ව ද කෙරෙයි ප්‍රශ්න ද ඔහු විචාරත්. ඔහු විසින් පැණ විචාරන ලද්දේ විසඳයි. පැණ විසැඳිමෙන් ඔවුන් සිත් ගැනී” යැ යි කාශ්‍යපය, මෙසේ ඔහු කියැ යුතු වන්නාහ.
87. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. එය පිරිස්හි ද කෙරෙයි. විශාරද ව ද කෙරෙයි. ප්‍රශ්න ද ඔහු විචාරත්. ඔවුන් විසින් ප්‍රශ්න විචාරන ලදුයේ විසඳයි. පැණ විසඳීමෙන් ඔහුන්ගේ සිත් ගනී. එහෙත් අන්හු ඔහු බස් ඇසිය යුතු කොට නො සිතත්”යැ යි මෙසේ අන්තොටු පිරිවැජියෝ කියන්නාහු ය.”යන යමෙක් ඇද්ද, මේ කාරණය විද්‍යාමාන ම ය. ඔහු “එසේ නොකියැ යුතු” යැ යි කිය යුතු වන්නාහ. මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. පිරිස්හි ද එය කෙරෙයි. විශාරද ව ද කෙරෙයි ප්‍රශ්න ද ඔහු විචාරත්. ඔවුන් විසින් පැණ විචාරන ලද්දේ විසඳයි. පැණ විසැඳිමෙන් ඔවුන් සිත් ගැනී. ඔහු බස් ඇතිය යුතු කොට අන්හුද සිතත්” යැ යි කාශ්‍යපය, මෙසේ ඔහු කියැ යුතු වන්නාහ.
88. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. එය පිරිස්හි ද කෙරෙයි. විශාරද ව ද කෙරෙයි. ප්‍රශ්න ද ඔහු විචාරත්. ඔවුන් විසින් ප්‍රශ්න විචාරන ලදුයේ විසඳයි. පැණ විසඳීමෙන් ඔහුන්ගේ සිත් ගනී. අන්හු ඔහු බස් ඇසිය යුතු කොට සිතත් එහෙත් ඔහු බස් අසා අන්හු නො පහදිත්”යැ යි මෙසේ අන්තොටු පිරිවැජියෝ කියන්නාහු ය.”යන යමෙක් ඇද්ද, මේ කාරණය විද්‍යාමාන ම ය. “එසේ නොකියැ යුතු” යැ යි ඔහු කිය යුතු වන්නාහ. මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. පිරිස්හි ද එය කෙරෙයි. විශාරද ව ද කෙරෙයි. ප්‍රශ්න ද ඔහු විචාරත්. ඔවුන් විසින් පැණ විචාරන ලද්දේ විසඳයි. පැණ විසැඳිමෙන් ඔවුන් සිත් ගැනී. ඔහු බස් ඇදහිය යුතු කොට අන්හුද සිතත්. ඔහු බස් අසා ද පහදිති” යි කාශ්‍යපය, මෙසේ ඔහු කියැ යුතු වන්නාහ.
89. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. එය පිරිස්හි ද කෙරෙයි. විශාරද ව ද කෙරෙයි. ප්‍රශ්න ද ඔහු විචාරත්. ඔවුන් විසින් ප්‍රශ්න විචාරන ලදුයේ විසඳයි. පැණ විසඳීමෙන් ඔහුන්ගේ සිත් ගනී. අන්හු ඔහු බස් ඇසිය යුතු කොට සිතත්. ඔහු බස් අසා අන්හු පහදිත්. එහෙත් පැහැදුණෝ පැහැදුණු අයුරක් නො කෙරෙත්”යැ යි මෙසේ අන්තොටු පිරිවැජියෝ කියන්නාහු ය.”යන යමෙක් ඇද්ද, මේ කාරණය විද්‍යාමාන ම ය. “එසේ නොකියැ යුතු” යැ යි ඔහු කිය යුතු වන්නාහ. මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. පිරිස්හි ද එය කෙරෙයි. විශාරද ව ද කෙරෙයි. ප්‍රශ්න ද ඔහු විචාරත්. ඔවුන් විසින් පැණ විචාරන ලද්දේ විසඳයි. පැණ විසැඳිමෙන් ඔවුන් සිත් ගැනී. ඔහු බස් ඇදහිය යුතු කොට අන්හුද සිතත්. ඔහු බස් අසා ද පහදිත්. පැහැදුණෝ පැහැදුනු අයුරක් කෙරෙත් යැ” යි කාශ්‍යපය, මෙසේ ඔහු කියැ යුතු වන්නාහ.
90. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. එය පිරිස්හි ද කෙරෙයි. විශාරද ව ද කෙරෙයි. ප්‍රශ්න ද ඔහු විචාරත්. ඔවුන් විසින් ප්‍රශ්න විචාරන ලදුයේ විසඳයි. පැණ විසඳීමෙන් ඔහුන්ගේ සිත් ගනී. අන්හු ඔහු බස් ඇසිය යුතු කොට සිතත්. ඔහු බස් අසා අන්හු පහදිත්. පැහැදුණෝ පැහැදුණු අයුරක් කෙරෙත්. එහෙත් තථාභාවය පිණිස(ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති පුරනු පිණිස) නො ම පිළිපදිත්”යැ යි මෙසේ අන්තොටු පිරිවැජියෝ කියන්නාහු ය.”යන යමෙක් ඇද්ද, මේ කාරණය විද්‍යාමාන ම ය. “එසේ නොකියැ යුතු” යැ යි ඔහු කිය යුතු වන්නාහ. මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. පිරිස්හි ද එය කෙරෙයි. විශාරද ව ද කෙරෙයි. ප්‍රශ්න ද ඔහු විචාරත්. ඔවුන් විසින් පැණ විචාරන ලද්දේ විසඳයි. පැණ විසැඳිමෙන් ඔවුන් සිත් ගැනී. ඔහු බස් ඇදහිය යුතු කොට අන්හුද සිතත්. ඔහු බස් අසා ද පහදිත්. පැහැදුණෝ පැහැදුනු අයුරක් කෙරෙත්. ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති පුරනු පිණිස ද පිළිපදිතැ” යි කාශ්‍යපය, මෙසේ ඔහු කියැ යුතු වන්නාහ.
100. කාශ්‍යපය, “මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. එය පිරිස්හි ද කෙරෙයි. විශාරද ව ද කෙරෙයි. ප්‍රශ්න ද ඔහු විචාරත්. ඔවුන් විසින් ප්‍රශ්න විචාරන ලදුයේ විසඳයි. පැණ විසඳීමෙන් ඔහුන්ගේ සිත් ගනී. අන්හු ඔහු බස් ඇසිය යුතු කොට සිතත්. ඔහු බස් අසා අන්හු පහදිත්. පැහැදුණෝ පැහැදුණු අයුරක් කෙරෙත්. එහෙත් තථාභාවය පිණිස(ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති පුරනු පිණිස) පිළිපදිත්. එසේ පිළිපන්නෝ ද (එයින් ඒ ගොයුම්හුගේ) සිත් නොගනිත්”යැ යි මෙසේ අන්තොටු පිරිවැජියෝ කියන්නාහු ය.”යන යමෙක් ඇද්ද, මේ කාරණය විද්‍යාමාන ම ය. “එසේ නොකියැ යුතු” යැ යි ඔහු කිය යුතු වන්නාහ. මහණ ගොයුම් සිංහනාද ද කෙරෙයි. පිරිස්හි ද එය කෙරෙයි. විශාරද ව ද කෙරෙයි. ප්‍රශ්න ද ඔහු විචාරත්. ඔවුන් විසින් පැණ විචාරන ලද්දේ විසඳයි. පැණ විසැඳිමෙන් ඔවුන් සිත් ගැනී. ඔහු බස් ඇදහිය යුතු කොට අන්හුද සිතත්. ඔහු බස් අසා ද පහදිත්. පැහැදුණෝ පැහැදුනු අයුරක් කෙරෙත්. ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති පුරනු පිණිස ද පිළිපදිත්. එසේ පිළිපන්නාහු ඒ මහණ ගොයුම්හු සිත් ගනිත් යැ” යි කාශ්‍යපය, මෙසේ ඔහු කියැ යුතු වන්නාහ.
101. කාශ්‍යපය, මම එක් සමයෙක රජගහ නුවරැ ගිජුකුළු පව්වෙහි වෙසෙමි. ඒ සමයෙහි න්‍යග්‍රෝධ නම් එක්තරා තපොබ්රහ්මචාරි (උතුම් තපස් කරන) පිරිවැජියෙක් අධිජුගුප්සායෙහි පැණයක් මා විචාළේ ය. අධිජුගුප්සායෙහි පැණ විචාරන ලද මම් ඔහුට එය විසඳා කියෙමි. මා විසින් එසේ විසඳන ලද කල්හි හේ ඉතා මහත් සේ සතුටු විය.
102. (එවිට අචෙලකාශ්‍යප මෙය කීය:) “වහන්ස, කවරෙක් නම් භාග්‍යවතුන් වහන්සේගේ දහම් අසා ඉතා මහත් සේ සතුටු නො වන්නේ ද, වහන්ස, දෙශනාව අභික්කාන්තය. වහන්ස, යම්සේ යටිකුරු කොට තැබූවක් උඩුකුරු කරන්නේ ද, පිළිසන් දැයක් හෝ විවෘත කරන්නේ ද, මං මූළා වූවකුට මඟ කියන්නේ ද, ඇස් ඇතියෝ රූප දක්නාහ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ ද, එ පරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් කරුණින් දහම් පැවැසිණ. වහන්ස, ඒ මම් භාග්‍යවතුන් වහන්සේ ද ධර්මයද, භික්ෂුසංඝයා ද සරණ යෙමි. වහන්ස, මම් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබම්වා. උපසපුව ලබම්වා.”
103. “කාශ්‍යපය, පෙරැ අන්තොටු වූ යමෙක් මේ සස්නෙහි පැවිද්ද කැමැත්තේ නම්, උපසපුව කැමැත්තේ නම්,හේ සිවු මසක් පිරිවෙස් වසයි. සිවුමස ඇවෑමෙන් ආරාධිත සිතැති භික්ෂුහු ඔහු පැවිදි කෙරෙත්. භික්ෂුභාවය පිණිස උපසපන් කෙරෙත්. එහෙත් මෙහි මා විසින් පුද්ගලනානාත්වය දන්නා ලදැ” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
104. එවිට පිරිවැජි තෙම “වහන්ස, ඉදින් පෙර අන්තොටු වූවෝ මේ සස්නැ පැවිද්ද කැමැති වන්නාහු උපසපුව කැමැති වන්නාහු සිවු මසක් පිරිවෙස් වසත් නම්, සිවු මස ඇවෑමෙන් ආරාධිත සිත් ඇති භික්ෂූහු ඔහු පැවිදි කෙරෙත් නම්, භික්ෂු බව පිණිස උපසපන් කෙරෙත් නම්, මම් සිවු වසක් පිරිවෙස් වසන්නෙමි. සිව් වස ඇවෑමෙන් සතුටු වූ සිතැති භික්ෂුහු මා පැවිදි කෙරෙත් වා. භික්ෂුභාවය පිණිස මා උපසපන් කෙරෙත්වා” යි කී ය.
105. අචෙලකාශ්‍යප තෙම භාග්‍යවතුන් වහන්සේ වෙතැ පැවිද්ද ලදුයේ ම ය. උපසපුව ලදුයේ ම ය. ආයුෂ්මත් කාශ්‍යප තෙමේ උපසපන් වූ නොබෝ කල් ඇතියේ ම හුදෙකලා වූයේ, විවික්ත වූයේ, නොපමා වූයේ කෙලෙස් තවන වැර ඇතියේ, නිවන් කරා මෙහෙයූ සිතැති ව වසනුයේ, යමක් සඳහා කුලපුත්‍රයෝ මොනවට ම ගිහිගෙන් නික්මැ සසුන් වදිත් ද, ඒ නිරුත්තර වූ බ්රහ්මචර්යාවසානය (රහත් පලය) නොබෝ කලෙකින් ම මේ අත්බව්හි ම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන, පසක් කොට, පැමිණ (ලැබ) විසී ය. (එසේ වසනුයේ) “භවොත්පත්තිය ක්ෂීණ විය, මගබඹසර වැස නිමැවිණ, එය සඳහා කටයුතු දෑ කරන ලද, මේ රහත්බව පිණිස තවත් කටයුතු දැයෙක් නැතැ” යි (පස්විකුම් නුවණීන්) දැන ගත්තේ ය. ආයුෂ්මත් කාශ්‍යපයෝ රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් වූහ.
අට වන සිංහනාදසූත්රය නිමියේ ය.