අනුපද සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

දෙවෙනි අනුපද වර්ගය

3.2.1

අනුපද සූත්‍රය

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන්වහන්සේ මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. වහන්සැ’යි ඒ වහන්දැ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන්වහන්සේ තෙල අනුපද සුත වදාළ සේක.

මහණෙනි, ශාරිපුත්‍ර (ධාත්වාදි කුශලතාවෙන්) පණ්ඩිත වූයේ ය, මහණෙනි, ශාරිපුත්‍ර මහාප්‍රඥා ඇත්තේ ය, මහණෙනි, ශාරිපුත්‍ර (නානාස්කන්ධාදියෙහි ප්‍රවෘත්ත වූ) පෘථුප්‍රඥා ඇත්තේ ය, මහණෙනි, ශාරිපුත්‍ර (හර්ෂබහුල ව ශීලස්කන්ධාදිය පුරන) හාසුප්‍රඥා ඇත්තේය, මහණෙනි, ශාරිපුත්‍ර (රූපාදියෙහි අනිත්‍යාදි විසින් වහා දිවෙන) ජවන ප්‍රඥා ඇත්තේ ය, මහණෙනි, ශාරිපුත්‍ර (වහා කෙලෙස් සිඳින) තීක්ෂණ ප්‍රඥා ඇත්තේය. මහණෙනි, ශාරිපුත්‍ර (පෙරැ නොබුන් ලොභස්කන්ධාදිය ප්‍රදාරණ කරන) නිබ්බේධික ප්‍රඥා ඇත්තේය. මහණෙනි, ශාරිපුත්‍ර අඩ මසක් මුළුල්ලෙහි (සමාපත්ති විසින් හෝ ධ්‍යානාංග විසින් හෝ) අනුපිළිවෙළින් ධර්මවිදර්ශනා කෙරෙයි. මහණෙනි, ඒ අනුපද ධර්මවිදර්ශනා විෂයෙහි ශාරිපුත්‍රයන්ගේ මේ (අනුපදධර්ම විදර්ශනාව) වෙයි.

මහණෙනි, මෙ සස්නෙහි ශාරිපුත්‍ර කාමච්ඡන්ද නීවරණයෙන් වෙන් ව (ශෙෂනීවරණ) අකුශල ධර්මයන්ගෙන් වෙන් ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසෙයි. තවද ප්‍රථම ධ්‍යානයෙහි විතර්කය ද, විචාරය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතා ද ඵස්ස වෙදනා සඤ්ඤා චෙතනා චිත්ත ඡන්ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යන යම් ධර්ම කෙනෙක් ඇද්ද, ඔහු විසින් ඒ ධර්මයෝ අනු පිළිවෙළින් පිරිසිඳුනා ලද්දාහු වෙති. ඔහුට ඒ ධර්මයෝ ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසෙයින් දැනගනී: මෙසේ මේ ධර්මයෝ පෙර නොවී උපදිති, ඉපිද වැනැසෙත් යයි. හේ ඒ ධර්මයන්, කෙරෙහි රාග වශයෙන් නො පැමිණෙනුයේ ප්‍රතිඝවශයෙන් අනපගත වූයේ තෘෂ්ණාදෘෂ්ටින් අනිශ්‍රිත වූයේ ඡන්දරාගයෙන් නො බැඳුණේ කාමරාගයෙන් වෙසෙසින් මිදුණේ චතුර්යොගයෙන් නො යෙදුණේ සියලු කෙලෙසුන් කෙරෙන් මිදුණු සිතින් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි අනන්තර විසේස සංඛ්‍යාත නිස්සරණය ඇතැ’යි දැනගනී. ඒ දැනුම බහුලී කාරයෙන් ඇත් මැ යයි ඔහුට දැඩි ව සිත් වේ.

යළිදු අනෙකෙකි, මහණෙනි, ශාරිපුත්‍ර විතර්ක විචාරයන්ගේ සන්හිදීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති අවිතර්ක අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති දෙවෙනි දැහැනට පැමිණ වෙසෙයි. ද්වීතිය ධ්‍යානයෙහි අධ්‍යාත්මයෙහි සම්ප්‍රසාදය ද ප්‍රීතිය ද සුඛය ද චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වෙදනා සඤ්ඤා චෙතනා චිත්ත ඡන්ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්ම කෙනෙක් ඇද්ද, උන් විසින් ඒ ධර්මයෝ අනු පිළිවෙළින්, පිරිසිඳුනා ලදහු වෙති. ඔහුට ඒ දහම්හු ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: මෙසේ මේ ධර්මයෝ පෙර නොවී උපදිති, ඉපද වැනැසෙත් යයි. හේ ඒ දහම්හි රාග විසින් නො පැමිණෙනුයේ ප්‍රතිඝ විසින් අනපගත වූයේ තෘෂ්ණා දෘෂ්ටින් අනිශ්‍රිත වූයේ ඡන්දරාගයෙන් නො බැඳුණේ (කාමරාගයෙන්) වෙසෙසින් මිදුණේ චතුර්යොගයෙන් නො යෙදුණේ කෙලෙසුන් කෙරෙන් මිදුණු සිතින් යුක්ත ව වෙසෙයි. හේ මත්තෙහි නිස්සරණය ඇතැ යි දැනගනී. ඒ දැනුම බිහිලි කිරීමෙන් ඇතැයි කියා ඔහුට සිත වේ.

යළිදු මහණෙනි, ශාරිපුත්‍ර ප්‍රීතියගේ ද විරාගයෙන් ධ්‍යානෝපෙක්ෂා ඇති ව වෙසෙයි. ස්මෘති ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව කයින් සුවය ද විඳී, යම් ධ්‍යානයක් හේතු කොටගෙන ආර්‍ය්‍යයෝ ඒ ධ්‍යාන සමඞ්ගී පුඟුල්හු උපේක්ෂා ඇත්තෙක ස්මෘතිමත් යැ සුඛ විහරණ ඇත්තෙකැ යි පවසත් ද, ඒ තුන්වැනි දැහැනට පැමිණ වෙසෙයි. තවද තෘතිය ධ්‍යානයෙහි සුඛය ද ස්මෘතිය ද සම්ප්‍රජන්‍යය ද චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වෙදනා සඤ්ඤා චෙතනා චිත්ත ඡන්ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්ම කෙනෙක් ඇද්ද, උන් විසින් ඒ ධර්මයෝ අනුපරිපාටියෙන් ව්‍යවස්‌ථිත වූවාහු වෙති, ඔහුට ඒ ධරමයෝ ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම්හු පෙර නොවී උපදිති, ඉපද වැනැසෙත් යයි. හේ ඒ ධර්මයන්හි රාග විසින් නො පැමිණෙනුයේ ප්‍රතිඝ විසින් අනපගත වනුයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විගත මර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාස කෙරෙයි. හේ මතුයෙහි නිස්සරණයෙක් ඇතැයි දැනගනී. ඒ දැනුම බහුලීකරණයෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.

යළිදු මහණෙනි, ශාරිපුත්‍ර කායිකසුඛයාගේ ද ප්‍රහාණයෙන් කායික දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පෙර මැ සොම්නස්, දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් දුක් නො වූ සුව නො වූ උපේක්ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති සිවුවන දැහැනට පැමිණ වෙසෙයි. චතුර්ථ ධ්‍යානයෙහි වෙදනුපෙක්ඛා (සංඛ්‍යාත) නො දුක් නො සුව වෙදනාව ද ප්‍රශ්‍රබද්ධ හෙයින් චිත්තයාගේ අනාභොග යැ ස්මෘතිපාරිශුද්ධි යැ (එයින්) චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වෙදනා සඤ්ඤා චෙතනා චිත්ත ඡන්ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්ම කෙනෙක් ඇද්ද ඔහු විසින් ඒ ධර්මයෝ අනු පිළිවෙළින් පිරිසිඳුනා ලදහු වෙති. ඔහුට ඒ ධර්මයෝ ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු ය, ප්‍රකට ව නිරුද්ධ වෙත්, හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම් හු පෙර නොවී උපදිති, ඉපද වැනසෙත්’ යයි. හේ ඒ දහම්හි රාග විසින් නො ගන්නේ ප්‍රතිඝ විසින් අපගත නො වනුයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ කාමරාගයෙන් වෙසෙසින් මිදුණේ චතුර්යොගයෙන් නො යෙදුණේ සියලු කෙලෙසුන් කෙරෙහි මිදුණු සිතින් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි නිස්සරණයෙක් ඇතැ’යි දැනගනී. ඒ දැනුම බහුලීකාරයෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.

යළිදු මහණෙනි, ශාරිපුත්‍ර සර්වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මැවීමෙන් ප්‍රතිඝ සංඥාවන්ගේ අස්තංගමයෙන් නානාත්වසසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාසය අනන්ත යැ’යි ආකාසානඤ්චායතන සමාපත්තියට පැමිණ වෙසෙයි. ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනසංඥා ව ද චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වෙදනා සඤ්ඤා චෙතනා චිත්ත ඡන්ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්ම කෙනෙක් ඇද්ද, ඔහු විසින් ඒ ධර්මයෝ අනුපිළිවෙළින් පිරිසිඳුනා ලදහු වෙති, ඔහුට ඒ දහම්හු ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම්හු පෙර නො වී උපදිති, ඉපද වැනැසෙති’ යි, හේ ඒ දහම්හි රාග විසින් අනුපගතවූයේ ප්‍රතිඝ විසින් අනපගත වූයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විගත මර්‍ය්‍යාදා කළ සිතින් යුක්තව වෙසෙයි. හේ මත්තෙහි නිස්සරණ ඇතැයි දැනගනී. ඒ දැනුම බිහිලි කිරීමෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.

යළිදු මහණෙනි, ශාරිපුත්‍ර සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඥානය අනන්ත යයි විඤ්ඤාණඤ්චායතන සමාපත්තියට පැමිණ වෙසෙයි. විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතන සංඥා ව ද චිත්තෛකාග්‍රතාව ද ඵස්ස වෙදනා සඤ්ඤා චෙතනා චිත්ත අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්ම කෙනෙක් ඇද්ද, ඔහු විසින් ඒ ධර්මයෝ අනුපිළිවෙළින් පිරිසිඳුනා ලදහු වෙති, ඔහුට ඒ දහම්හු ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම්හු පෙර නො වී උපදිති, ඉපද වැනැසෙති’ යි, හේ ඒ දහම්හි අනුපගතවූයේ අනපගත වූයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත චිත්තයෙන් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි නිස්සරණ ඇතැයි දැනගනී. ඒ දැනුම බිහිලි කිරීමෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.

යළිදු මහණෙනි, ශාරිපුත්‍ර විඤ්ඤාණඤ්චායතනය ඉක්මැවීමෙන් නත්ථි කිඤ්චි යි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය උපදවා වෙසෙයි. ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතන සංඥා ව ද චිත්තෛකාග්‍රතා ද ඵස්ස වෙදනා සඤ්ඤා චෙතනා චිත්ත ඡන්ද අධිමොක්ඛ විරිය සති උපෙක්ඛා මනසිකාර යැ යන යම් ධර්ම කෙනෙක් ඇද්ද, ඔහු විසින් ඒ දහම්හු අනුපිළිවෙළින් පිරිසිඳුනා ලදහු වෙති, ඔහුට ඒ දහම්හු ප්‍රකට ව උපදිති, ප්‍රකට ව පවත්නාහු වෙති, ප්‍රකට ව නිරුද්ධ වෙත්. හේ මෙසේ දැනගනී: ‘මෙසේ මේ දහම්හු පෙර නො වී උපදිති, ඉපද වැනැසෙති’ යි, හේ ඒ දහම්හි අනුපගත වූයේ අනපගත වූයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත චිත්තයෙන් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි නිස්සරණ ඇතැයි දැනගනී. ඒ දැනුම බිහිලි කිරීමෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.

යළිදු මහණෙනි, ශාරිපුත්‍ර සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වෙසෙයි, හේ ඒ සමවතින් සිහි ඇති ව නැඟී සිටි, හේ ඒ සමවතින් සිති ඇති ව නැඟී සිට යම් ධර්ම කෙනෙක් ඉක්මැ ගියාහු නිරුද්ධ වූවාහු විපරිණත වූවාහු ද ඒ ධර්මයන් විදසුන් නුවණින් දකී: ‘මෙසේ මේ දහම්හු පෙර නො වී උපදිති, ඉපද වැනැසෙත්’ යයි, හේ ඒ දහම්හි අනුපගතවූයේ අනපගත වූයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත චිත්තයෙන් යුක්ත ව වෙසෙයි. හේ මත්තෙහි නිස්සරණ ඇතැයි දැනගනී. ඒ දැනුම බහුල කිරීමෙන් ඇතැයි කියා මැ ඔහුට සිත් වේ.

යළිදු මහණෙනි, ශාරිපුත්‍ර සර්වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ඉක්මවා සංඥාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙයි. යළි ඔහු විසින් මඟනුවණින් සිව්සස් දැක චතුරාස්‍රවයෝ ක්‍ෂය කරන ලද්දාහු වෙති. හේ ඒ පලසමවතින්, සිහි ඇති වැ නැඟී සිටී, හේ ඒ සමවතින් සිහි ඇති ව නැඟී සිට යම් ධර්ම කෙනෙක් ඉක්මැගියාහු නිරුද්ධ වූවාහු විපරිණත වූවාහු ද, ඒ (ඇතුළුසමවතැ පැවැති තිසමුට්ඨානික) රූපධර්මයන් (නොහොත් යට නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙහි පැවැති ධර්මයන්) නුවණින් දකී. මෙසේ මේ ධරමයෝ පෙර නො වී උපදිති, ඉපද වැනැසෙත් යයි. හේ ඒ ධර්මයන්හි අනුපගතවූයේ අනපගත වූයේ අනිශ්‍රිත වූයේ අප්‍රතිබද්ධ වූයේ විප්‍රමුක්ත වූයේ විසංයුක්ත වූයේ විමර්‍ය්‍යාදීකෘත චිත්තයෙන් යුක්ත ව වෙසෙයි. හේ මතුයෙහි නිස්සරණයෙක් නැතැයි දැනගනී. ඒ දැනුම බහුලීකරණයෙන් නැතැ යි කියා මැ ඔහුට සිත් වේ.

මහණෙනි, මනා කොට කියනුයෙක් ආර්‍ය්‍යශීලයෙහි විර්‍ණවශීබවට පැමිණියේ නිෂ්පත්තියට පැමිණියේ යැ. ආර්‍ය්‍ය සමාධියෙහි වශීප්‍රාප්ත යැ ආර්‍ය්‍ය ප්‍රඥායෙහි වශීප්‍රාප්ත යැ, පාරමී ප්‍රාප්ත යැ, ආර්‍ය්‍ය විමුක්තියෙහි වශීප්‍රාප්තයැ පාරමී ප්‍රාප්ත යැ’යි යම් බසක් කියා නම් ශාරිපුත්‍රයන් මැ ගෙන මනා කොට කියනුයෙක් ආර්‍ය්‍යශීලයෙහි වශීප්‍රාප්ත යැ පාරමීප්‍රාප්ත යැ, ආර්‍ය්‍ය සමාධියෙහි වශීප්‍රාප්ත යැ පාරමීප්‍රප්ත යැ, ආර්‍ය්‍යප්‍රඥායෙහි වශීප්‍රාප්ත යැ පාරමීප්‍රාප්ත යැ ආර්‍ය්‍යවිමුක්තියෙහි වීර්ණවශී බවට පැමිණියේ ය. නිෂ්පත්තියට පැමිණියේ යැ යන ඒ බස කියන්නේ යි.

මහණෙනි, මනා කොට කියනුයෙක් භාග්‍යවතුන් වහන්සේගේ (ළෙහි නිපන් ශබ්දය අසා ජාත නුයි) ඖරස වූ මුවින් පහළ වූ ශබ්ද අසා ජාත වූ ධර්මයෙන් නිර්මිත වූ ධර්මය දායාද්‍ය කොට ගත් ආමිෂ දායාද්‍ය කොට නො ගත් පුත්‍ර යැයි යමක් කියා නම් මනා කොට කියනුයෙක් ඖරස වූ මුඛයෙන් උපන් ධර්මජ වූ ධර්ම නිර්මිත වූ ධර්මය දායාද්‍ය කොට ගත් ආමිෂ දායාද්‍ය කොට නො ගත් භාග්‍යවතුන් වහන්සේ ගේ පුත්‍රයා යැ යන ඒ බස ශාරිපුත්‍රයන් මැ ගෙන කියන්නේ යි.

මහණෙනි, ශාරිපුත්‍ර තථාගතයන් විසින් පවත්වන ලද අනුත්තර ධර්මචක්‍රය මනා කොට මැ අනුප්‍රවර්තන කෙරේ යයි.

භාග්‍යවතුන් වහන්සේ මේ අනුපද සුත වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

පළමුවනඅනුපදනිමියේ ය.