ආනාපානසති සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

උපරිපණ්ණාසකයෙහි

දෙවැනි  වූ අනුපද වර්ගය

3.2.8

ආනාපානසති සූත්‍රය

මා විසින් මෙසේ අසන ලද නොහොත් මා ඇසූ හැටි මෙසේ යැ: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුවරම් නම් මුවරමාපායෙහි හැම තැනැ ශීලාදී ගුණයෙන් පළට වූ බොහෝ ස්ථවිර ශ්‍රාවකයන් සමග වැඩවසන සේක. ආයුෂ්මත් සැරියුත් තෙරුන් ද, ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ද, ආයුෂ්මත් මහසුප් තෙරුන් ද, ආයුෂ්මත් මහකසයින් තෙරුන් ද, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරුන් ද, ආයුෂ්මත් මහාකප්පින තෙරුන් ද, ආයුෂ්මත් මහාචුන්ද තෙරුන් ද, ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ද, ආයුෂ්මත් රෙවත තෙරුන් ද, ආයුෂ්මත් අනඳ තෙරුන් ද, අන්‍ය වූ මහත් ගුණයෙන් ප්‍රකට වූ ස්ථවිර ශ්‍රාවක භික්ෂූන් ද සමග පුවරම් මුවරමාපායෙහි වැඩවසන සේක.

තව ද එසමයෙහි ස්ථවිර භික්ෂූහු නවක පැවිද්දනට අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්ෂූහු පැවිද්දන් දසදෙනෙකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්ෂූහු පැවිද්දන් විසි දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්ෂූහු පැවිද්දන් තිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. ඇතැම් ස්ථවිර භික්ෂූහු පැවිද්දන් හතලිස් දෙනෙකුට ද අවවාද අනුශාසනා කෙරෙති. තෙර මහණුන් විසින් අවවාද අනුශාසනා කරනු ලබන ඒ නවක භික්ෂූහු ශීලපරිපූරණාදී පුර්වවිශෙෂයෙන් වැඩි උදාරතර අපර කෘත්ස්න පරිකර්මාදි විශේෂ දනිත්.

එ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදවස් පොහොයැ පණුරැසියෙහි පවුරුණු ඇති සඳ පිරුණු මැදිපොහෝරැය භික්‍ෂුසංඝපරිවෘත ව අභ්‍යවකාශයෙහි වැඩහුන් සේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ නිහඬ නිහඬ ව හුන් මහණුන් බලා ඒ මහණුන් ඇමතු සේක. “මහණෙනි, මේ ප්‍රතිපදායෙන් (මම්) ආරාධිතයෙමි. මහණෙනි, මේ ප්‍රතිපදායෙන් මම ඇරැයු සිතැතියෙමි. එහෙයින් මහණෙනි, නො පත් අර්හත්ඵලයාගේ ප්‍රාප්තිය පිණිස අනධිගත ඵලයා ගේ අධිගමය පිණිස නො පසක් කළ නිවන පසක් කරණු පිණිස වෙසෙසින් වීර්යාරම්භ කරවු. මම මේ සැවතෙහි මැ පිපි කුමුදු ඇති චාතුමාසිනිය හෙවත් පශ්චිමකාර්තික පූර්ණිමාව දක්වා බලමි’යි වදාළහ.

“භාග්‍යවතුන් වහන්සේ එ සැවැත්හි මැ කුමුදු ඇති ඉල්පොහොය දක්වා බලන සේක් ලැ” යි දනව්වැසි සඟහු ඇසූහු මැ ය. ඒ දනව්වැසි භික්ෂූහු බුදුන් දක්නට පැමිණෙත්. ඒ තෙර මහණහු වැඩි පමණින් නවක පැවිද්දන්ට අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් දසදෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් විසි දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් තිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙති. කිසි තෙර මහණ කෙනෙක් පැවිද්දන් සතලිස්දෙනකුට ද අවවාද අනුශාසනා කෙරෙත්. තෙරමහණුන් විසින් අවවාද අනුශාසනා කරනු ලබන ඒ නවක භික්ෂූහු පූර්ව විශෙෂයට වඩා අපර වූ ශ්‍රොතාපත්ති ආදි උදාර විශෙෂය වෙසෙසින් දනිත්.

එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදින පොහොලත් පණුරැස කුමුදු පිපි ඉල් පුණු පොහොදා රැය බික්සඟන විසින් පිරිවරන ලදු ව අබවස හුන් සේක. එසඳ භාග්‍යවතුන් වහන්සේ නිහඬ නිහඬ ව හුන් බික්සඟන දැක ඒ සඟුන් ඇමතු සේක. “මහණෙනි, මේ භික්‍ෂුපර්ෂත් නො සිස් යැ. මහණෙනි, මේ භික්ෂූ පර්ෂත් නිෂ්ප්‍රලාප යැ, ශුද්ධ යැ, අධිගමසාරයෙහි පිහිටි යැ. සම්බුදු පිරිසෙක් ආහුනෙය්‍ය වේ ද, පාහුනය්‍ය වේ ද, දක්ඛිණෙය්‍ය වේ ද, අඤ්ජලිකරණීය වේ ද, ලොවට අනුත්තර පුණ්‍යක්ෂෙත්‍ර වේ ද, මහණෙනි මේ භික්‍ෂු සංඝ තෙමේ එබඳු යැ. මහණෙනි, මේ පිරිස එබඳු යැ යම්බඳු පිරිසක් කෙරෙහි දුන් ඇලුප් දනෙක් බොහෝ වේ ද, දුන් බොහෝ දනෙක් ඉබොහෝ වේ ද, මහණෙනි, මේ භික්ෂූ සඞ්ඝ එබඳු යැ, මහණෙනි, මේ පිරිස එබඳු යැ. යම්බඳු පිරිසෙක් ලොකයා ගේ දර්ශනයට දුර්ලභ වේ ද, මහණෙනි, මේ භික්ෂූසංඝ එබඳු යැ. මහණෙනි, මේ පර්ෂත් එබඳු යැ. යම්බඳු පිරිසක් දක්නට යොදුන් දහසකුදු වුව මාර්ගොපකරණ ගෙනත් යන්නට නිසි වේ ද, මහණෙනි, මේ බික්සඟහු එබන්දහ, මේ පර්ෂත් එබඳු වෙතී’ වදාළෝ.

මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අර්හත් ක්ෂීණාස්‍රව වූ වුසු මඟබඹසර ඇති කළ කරණී ඇති තැබූ කෙලෙස්බර ඇති පැමිණි සදර්ථ ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මොනොවට දැන විමුක්ත වූ මහණහු ඇත. මෙබඳු රහත් මහණහු ද බික්සඟුන් කෙරෙහි ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්වොරම්භාගිය සංයෝජන යන් ක්‍ෂය වීමෙන් ඕපපාතික වූ එහි මැ පිරිනිවෙනසුලු ඒ ශුද්ධාවාසලොකයෙන් පෙරලා නො එන සැහැවි ඇති භික්ෂූහු වෙති. මහණෙනි, බික්සඟුන් කෙරෙහි මෙබඳු වූ අනාගාමී මහණහු ද ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ත්‍රිවිධ සංයොජනයන් ගේ පරික්‍ෂය හෙතුයෙන් රාග ද්වේශ මොහයන් ගේ තානවයෙන් සකෘදාගාමී ව වරෙක මැ මෙලොවට අවුත් දුක් කෙළෙවර කරන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් සකෘදාගාමී මහණහු ද ඇත්තාහ. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ත්‍රිවිධ සංයොජනයන් ගේ පරික්‍ෂය හෙතුයෙන් ශ්‍රොතාපන්න ව අවිනිපාත ස්වභාව ඇති ව නියත ව සම්බොධිපරායණ වූ සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ශ්‍රොතාපන්න භික්ෂූහු ද ඇත්තාහ.

මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර සීවටන් පිළිබඳ භාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් සතිපට්ඨාන භාවනානු යොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර සම්‍යක් ප්‍රධානවීර්ය්‍ය පිළිබඳ භාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මහණහු දු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සතර ඍද්ධිපාදයන් පිළිබඳ භාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ඍද්ධිපාද භාවනානුයොගී මහණහු දු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්චප්‍රකාර ඉන්ද්‍රියභාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් ඉන්ද්‍රිය භාවනානුයොගී මහණහුද වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි පඤ්චප්‍රකාර බලභාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙබඳු බලභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි සප්තබොධ්‍යංග භාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙබඳු බොධ්‍යඞගභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අරිඅටඟිමඟ පිළිබඳ භාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මාර්ගභාවනානුයොගී මහණහුදු වෙත්.

මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙත්තාභාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මෙත්තාභාවනානුයොගී මහණහු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි කරුණාභාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් කරුණානුභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මුදිතාභාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් මුදිතාභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි උපක්ෂා භාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් උපෙක්ෂාභාවනානු යොගී මහණහුදු වෙත්. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් අශුභභාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් අශුභභාවනානුයොගී මහණහුදු වෙති. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි අනිත්‍යසංඥා භාවනානුයොගයෙහි යෙදී වසන සඟහු ඇත. මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි මෙවන් අනිත්‍යභාවනානු යොගී මහණහුදු වෙත්.

මහණෙනි, මේ බික්සඟුන් කෙරෙහි ආනාපන්සී භාවනානුයොගයෙහි යෙදී වසන මහණහු ඇත. මහණෙනි, භාවිත බහුලීකෘත ආනාපන්සී භාවනා මහත්ඵල මහානිශංස වෙයි. මහණෙනි, භාවිත බහුලීකෘත ආනාපන්සී සතර සීවටන් සපුරාලයි. භාවිත බහුලීකෘත සතර සීවටන්හු සප්තබොධ්‍යඞ්යන් සපුරාලති. භාවිත බහුලීකෘත සප්ත බොධ්‍යඞ්ගයෝ විද්‍යාවිමුක්ති සපුරලත්.

මහණෙනි, කිසෙයින් භාවිත කිසෙයින් බහුලීකෘත අනාපන්සී මහත්ඵල මහානිශංස වේය යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණ්‍යගත වේවයි වෘක්‍ෂමූලගත වේවයි ශුන්‍යාගාරගත වේවයි පලක් බැඳ කය ඍජු කොට තබා සිහිය කමටහන් අභිමුඛ කොට එළවා හිඳී. හේ සිහි ඇති ව ම ආශ්වාස කෙරෙයි, සිහි ඇති ව ප්‍රාශ්වාස කෙරෙයි.

දීර්ඝ කොට හෝ ආශ්වාස කරනුයේ ‘දීර්ඝ කොට අසස් කරමී’ නුවණින් දනී. දීර්ඝ කොට හෝ ප්‍රශ්වාස කරනුයේ ‘දීර්ඝ කොට පසස් කරමී’ නුවණින් දනී. හ්‍රස්ව කොට හෝ ආශ්වාස කරනුයේ හ්‍රස්ව කොට අසස් කරමී’ නුවණින් දනී. හ්‍රස්ව කොට හෝ ප්‍රශ්වාස කරනුයේ හ්‍රස්ව කොට පසස් කරමී’ නුවණින් දනී. සර්වකායප්‍රතිසංවෙදී ව අසස් කරමී හික්මෙයි. සර්වකායප්‍රතිසංවෙදී ව පසස් කරමී’ හික්මෙයි. කායසංස්කාර සන්හිඳුවමින් අසස් කරමී හික්මෙයි. කායසංස්කාර සන්හිඳුවමින් පසස් කරමී හික්මෙයි.

ප්‍රීති ප්‍රතිසංවෙදී ව ආශ්වාස කරමී හික්මෙයි. ප්‍රීති ප්‍රතිසංවෙදී ව ප්‍රාශ්වාස කරමී හික්මෙයි. සුඛ ප්‍රතිසංවෙදී ව අසස් කරමී’ හික්මෙයි. සුඛ ප්‍රතිසංවෙදී ව පසස් කරමී, හික්මෙයි. චිත්තසංස්කාර ප්‍රතිසංවෙදී ව අසස් කරමී හික්මෙයි. චිත්තසංස්කාර ප්‍රතිසංවෙදී ව පසස් කරමී හික්මෙයි. චිත්තසංස්කාර සන්හිඳුවමින් අසස් කරමී හික්මෙයි. චිත්තසංස්කාර සන්හිඳුවමින් පසස් කරමී හික්මෙයි. චිත්තප්‍රතිසංවෙදී ව අසස් කරමී හික්මෙයි. චිත්තප්‍රතිසංවේදී ව පසස් කරමී හික්මෙයි. චිත්තය වෙසෙසින් ප්‍රමොද කරමින් අසස් කරමී හික්මෙයි. චිත්තය වෙසෙසින් ප්‍රමොද කරමින් පසස් කරමී හික්මෙයි. චිත්තය සමාධාන කරමින් අසස් කරමී’ හික්මෙයි. චිත්තය සමාධාන කරමින් කරමින් පසස් කරමී’ හික්මෙයි. චිත්තය වීමුඤ්චන කරමින් අසස් කරමී’ හික්මෙයි. චිත්තය වීමුඤ්චන කරමින් පසස් කරමී’ හික්මෙයි.

අනිත්‍ය නුවණින් දක්නෙම් අසස් කරමී හික්මෙයි. අනිත්‍ය නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. විරාගය අනුව නුවණින් අසස් කරමී හික්මෙයි. විරාගය අනුව නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. නිරෝධය නුවණින් දක්නෙම් අසස් කරමී හික්මෙයි. නිරෝධය නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. පටිනිස්සජනය නුවණින් දක්නෙම් අසස් කරමී හික්මෙයි. පටිනිස්සජනය නුවණින් දක්නෙම් පසස් කරමී හික්මෙයි. මහණෙනි, මෙසේ භාවිත බහුලීකෘත වූ ආනාපන්සී භාවනාව මහත් ඵල මහානිශංස වෙයි.

තවද මහණෙනි, කිසෙයින් භාවිත කිසෙයින් බහුලීකෘත ආනාපන්සී සතර සීවටන් පරිපූර්ණ කෙරෙයි යත්: මහණෙනි, යම් කලෙක මහණ දීර්ඝ කොට හෝ අසස් කරනුයේ ‘දීර්ඝ කොට අසස් කරමී’ දැනගනීද, දීර්ඝ කොට හෝ පසස් කරනුයේ ‘දීර්ඝ කොට පසස් කරමී’ දැනගනීද, හ්‍රස්ව කොට හෝ අසස් කරනුයේ ‘හ්‍රස්ව කොට අසස් කරමී’ දැනගනීද, හ්‍රස්ව කොට හෝ පසස් කරනුයේ ‘හ්‍රස්ව කොට පසස් කරමී’ දැනගනීද, ‘සර්වකාය ප්‍රතිසංවේදී ව ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘සර්වකාය ප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමී’ හික්මේ ද, ‘කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රාශ්වාස කරන්නෙමී’ හික්මේ ද, මහණෙනි, එසමයෙහි මහණ කයෙහි කායානුදර්ශී ව කෙලෙස් තවන වැර ඇති ව සම්‍යක්ප්‍රඥා ඇති ව ස්මෘතිමත් ව කායසඞ්ඛ්‍යාත ලොකයෙහි අභිධ්‍යා දෞර්මනස්‍යය දුරු කොට වෙසෙයි. මහණෙනි, යම් ආශ්වාස ප්‍රාශ්වාස කෙනෙක් ඇද්ද, එය පෘථිව්‍යාදී චතුර්විධ කායයන් කෙරෙහි කායාන්‍යතරයක් කොට මම මෙසේ කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා එසමයෙහි මහණ කයෙහි කායානුදර්ශී ව ආතාපී ව සම්‍යක්ප්‍රඥා ඇති ව ස්මෘතිමත් ව කායලොකයෙහි අභිධ්‍යා දෞර්මනස්‍යය දුරු කොට වාසය කෙරෙයි.

මහණෙනි, යම් කලෙක මහණ ‘ප්‍රීතිප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී’ හික්මේද, ‘ප්‍රීතිප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘සුඛප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී’ හික්මෙයි. ‘ප්‍රීතිප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘සුඛප්‍රතිසංවේදීව ප්‍රශ්වාස කරමී’ හික්මෙ ද, ‘චිත්තසංස්කාර ප්‍රතිසංවේදී ව ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තසංස්කාර ප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තසංස්කාර සන්හිඳුවමින් ප්‍රාශ්වාස කරමී’ හික්මේද, මහණෙනි, එසමයෙහි මහණ වේදනායෙහි වේදනා නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘතිමත් ව ස්කන්ධ සංඛ්‍යාත ලොකයෙහි අභිධ්‍යා දෞර්මනස්‍ය දුරු කොට වාසය කෙරෙයි. යම් ආශ්වාස ප්‍රාශ්වාසයන් පිළිබඳ සුන්දර මනසිකාරයෙක් වේ ද, මම මෙසේ වේදනාවන් කෙරෙහි එය අන්‍යතරයෙකි’යි කියමි. මහණෙනි, එහෙයින් එසමයෙහි මහණ වේදනායෙහි වේදනා නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘතිමත් ව ස්කන්ධ ලොකයෙහි අභිධ්‍යා දෞර්මනස්‍ය දුරු කොට වාස කරන්නේ වෙයි.

මහණෙනි, යම් කලෙක මහණ ‘චිත්තප්‍රතිසංවේදී ව ආශ්වාස කෙරෙමී’ හික්මේද, ‘චිත්තප්‍රතිසංවේදී ව ප්‍රාශ්වාස කෙරෙමී’ හික්මේද, ‘චිත්තය ප්‍රමොද කරමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය ප්‍රමොද කරමින් ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය සමාධාන කරමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය සමාධාන කරමින් කරමින් ප්‍රාශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය විමුඤ්චන කරමින් ආශ්වාස කරමී’ හික්මේද, ‘චිත්තය විමුඤ්චන කරමින් ප්‍රාශ්වාස කරමී’ හික්මේද, මහණෙනි, එසමයෙහි මහණ චිත්තයෙහි චිත්තය නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘතිමත් ව ස්කන්ධ ලොකයෙහි අභිධ්‍යාදෞර්මනස්‍ය පහා වාස කෙරෙයි. මහණෙනි, මම මුෂිත ස්මෘති ඇති සම්ප්‍රඥාන නැතියහුට අනාපන්සී භවුන් නො වදාරමි. මහණෙනි, එහෙයින් එසමයෙහි මහණ චිත්තයෙහි චිත්තය නුවණින් දක්නේ ආතාප ඇති වැ සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති වැ ස්කන්ධලොකයෙහි අභිධ්‍යාදෞර්මනස්‍ය පහා වාස කරන්නේ වෙයි.

මහණෙනි, යම් කලෙක මහණ අනිත්‍යානුදර්ශී වූයේ ආශ්වාස කෙරෙමී හික්මේද, අනිත්‍යානුදර්ශී වූයේ ප්‍රාශ්වාස කෙරෙමී හික්මේද, විරාගය නුවණින් දක්නේ ආශ්වාස කෙරෙමී හික්මේද, විරාගය නුවණින් දක්නේ ප්‍රාශ්වාස කෙරෙමී හික්මේද, නිරෝධය නුවණින් දක්නේ ආශ්වාස කෙරෙමී හික්මේද, නිරෝධය නුවණින් දක්නෙම් ප්‍රාශ්වාස කෙරෙමී හික්මේද, පටිනිස්සජනය නුවණින් දක්නේ ආශ්වාස කෙරෙමී හික්මේද, පටිනිස්සජනය නුවණින් දක්නේ ප්‍රාශ්වාස කෙරෙමී හික්මේද, මහණෙනි, එසමයෙහි මහණ ධර්මයෙහි ධර්මය නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්ධ ලොකයෙහි අභිධ්‍යාදෞර්මනස්‍ය පහා වාස කෙරෙයි. හේ අභිධ්‍යා දෞර්මනස්‍යයන් පිලිබඳ යම් ඒ ප්‍රහාණයෙක් වේ ද, ඒ ප්‍රඥායෙන් දැක මනා කොට එහි ආලම්බනඅධ්‍යූපෙක්‍ෂායෙන් උපෙක්‍ෂණ කරනුයේ වෙයි. මහණෙනි, එහෙයින් එසමයෙහි මහණ ධර්මයෙහි ධර්මය අනුව නුවණින් දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්ධලොකයෙහි අභිධ්‍යා දෞර්මනස්‍ය දුරු කොට වාස කරනුයේ නම් වෙයි. මහණෙනි, මෙසේ භාවිත බහුලීකෘත අනාපන්සී සතර සීවටන් සපුරනු වේ.

මහණෙනි, කෙසේ භාවිත වූ කෙසේ බහුලීකෘත වූ සතර සීවටන්හු සප්ත බොධ්‍යඞ්ගයන් සපුරාලත් ද යත්: මහණෙනි, යම් කලෙක මහණ කයෙහි කය නුවණින් දක්නේ ආතාප ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්ධලොකයෙහි අභිධ්‍යා දෞර්මනස්‍ය දුරු කොට වාසය කෙරේ ද, එසමයෙහි ඔහුට ස්මෘතිය එළඹ සිටියා වෙයි, මුෂිත නො වෙයි. මහණෙනි, යම් කලෙක මහණහට ස්මෘතිය එළඹ සිටියා මුෂිත නො වූවා වේ ද, එසමයෙහි මහණහට ස්මෘති සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණහට ස්මෘති සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

ඒ මහණ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් (අනිත්‍යාදි වශයෙන්) විචින්වන කෙරෙයි, ප්‍රවිචය කෙරෙයි, ප්‍රකර්ෂ මීමාංසාවට එළඹෙයි. මහණෙනි, යම් කලෙක මහණ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් විචින්වන කෙරේද, ප්‍රවිචය කෙරේද, මීමාංසාවට එළඹේ ද, එසමයෙහි ඒ මහණහට ධර්මවිචය සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ධර්මවිචය සම්බොධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහට ධර්මවිචය සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

ඒ දහම ප්‍රඥායෙන් ප්‍රවිචින්වන කරන ප්‍රවිචය කරන පරිවිමාංසාවට පැමිණෙන ඒ මහණ හට අසංලීන වීර්යය ආරබ්ධ වෙයි. මහණෙනි, යම් කලෙක ඒ දහම ප්‍රඥායෙන් ප්‍රවිචින්වන ප්‍රවිචය කරන වීමසීමට පැමිණෙන ඒ මහණහට අසංලීන වීර්යය ආරබ්ධ වේ ද, එසමයෙහි ඒ මහණහු විසින් වීර්ය සම්බොධ්‍යඞ්ගය පටන්ගන්නා ලද වෙයි. එසමයෙහි ඒ මහණ වීර්ය සම්බොධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහට වීර්ය සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

රුකුළු වැර ඇති ඒ මහණහට නිරාමිස ප්‍රීති උපදී. මහණෙනි, යම් කලෙක රුකුළු වැර ඇති ඒ මහණහට නිරාමිස ප්‍රීති උපදී ද, එසමයෙහි ඒ මහණහට ප්‍රීති සම්බොධ්‍යඞ්ග ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ප්‍රීති සම්බොධ්‍යඞ්ග වඩයි. එසමයෙහි ඒ මහණහු ගේ ප්‍රීති සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

ප්‍රීති සිත් ඇති ඒ මහණහු ගේ නාමකය ද සන්හිඳෙයි, සිතද සන්හිඳෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති ඒ මහණහුගේ නාමකයත් සන්හිඳේද, සිතත් සන්හිඳේද, එසමයෙහි ඒ මහණහු විසින් ප්‍රශ්‍රබ්ධි සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ප්‍රශ්‍රබ්ධි සම්බොධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහට ප්‍රශ්‍රබ්ධි සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

සන්හුන් නාමකය ඇති සුඛිත මහණහු ගේ චිත්තය සමාධි ගත වෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රශ්‍රබ්ධ කාය ඇති සුඛිත මහණහු ගේ චිත්තය සමාධි ගත වේ ද, එසමයෙහි ඒ මහණහට සමාධි සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ සමාධි සම්බොධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහු ගේ සමාධි සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

හේ එසේ සමාධිගත චිත්තය මනා කොට (ආලම්බනඅධ්‍යුපෙක්‍ෂායෙන්) අධ්‍යුපෙක්‍ෂණ කරනු වෙයි. මහණෙනි, යම් කලෙක ඒ මහණ සමාධිගත චිත්තය මනාකොට අධ්‍යුපෙක්‍ෂණ කරනු වේ ද, එසමයෙහි ඒ මහණහට උපෙක්ෂා සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ උපෙක්ෂා සම්බොධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහු ගේ උපෙක්ෂා සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

මහණෙනි, යම් කලෙක මහණ වේදනායෙහි ...චිත්තයෙහි ...ධර්මයෙහි ධර්මය දක්නේ කෙලෙස් තවන වැර ඇති ව සම්ප්‍රඥාන ඇති ව ස්මෘති ඇති ව ස්කන්ධ ලොකයෙහි අභිධ්‍යා දෞර්මනස්‍ය දුරු කොට වාසය කෙරේ ද, එසමයෙහි ඔහුගේ සිහිය එළැඹ සිටියා වෙයි, නුමුලා වෙයි. මහණෙනි, යම් කලෙක මහණහට ස්මෘතිය එළැඹ සිටියා වේ ද, නුමුළා වේ ද එසමයෙහි ඒ මහණහට ස්මෘති සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණහට ස්මෘති සම්බොධ්‍යඞ්ගය භවයි. එසමයෙහි මහණහු ගේ ස්මෘති සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණ භාවයට යෙයි.

හේ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් සොයයි, වෙසෙසින් සොයයි, විමසීමට පැමිණෙයි. මහණෙනි, යම් කලෙක මහණ එසේ ස්මෘතිමත් ව වසනුයේ ඒ දහම ප්‍රඥායෙන් සොයාද, වෙසෙසින් සොයාද, හැමසේ විමසීමට පැමිණේ ද, එසමයෙහි ඒ මහණහට ධර්මවිචය සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ ධර්මවිචය සම්බොධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහු ගේ ධර්මවිචය සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

ඒ දහම ප්‍රඥායෙන් සොයන වෙසෙසින් සොයන හැමසේ විමසීමට පැමිණි ඒ මහණ විසින් වීර්යය ආරබ්ධ වෙයි. වැර අසංලීන වෙයි. මහණෙනි, යම් කලෙක ඒ දහම ප්‍රඥායෙන් සොයන ප්‍රවිචය කරන මීමාංසාවට පැමිණෙන ඒ මහණහට වීර්යය ආරබ්ධ වේ ද, ඒ වැර වැර අසංලීන වේද, එසමයෙහි ඒ මහණහට වීර්ය සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ වීර්ය සම්බොධ්‍යඞ්ගය භවයි. එසමයෙහි ඒ මහණහට වීර්ය සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

ආරබ්ධ වීර්ය ඇති මහණහට නිරාමිස ප්‍රීතිය උපදී. මහණෙනි, යම් කලෙක ආරබ්ධ වීර්ය ඇති ඒ මහණහට නිරාමිස ප්‍රීතිය උපදී ද, එසමයෙහි ඒ මහණහට ප්‍රීති සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි මහණ ප්‍රීති සම්බොධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහු ගේ ප්‍රීති සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් වැඩීමට යෙයි.

ප්‍රීති සිත් ඇත්තහුගේ කය ද සන්හිඳෙයි, සිතද සන්හිඳෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති මහණහුගේ කයත් සන් හිඳේ ද, සිතත් සන් හිඳේ ද, මහණෙනි, එසමයෙහි මහණහු විසින් ප්‍රශ්‍රබ්ධි සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි මහණ ප්‍රශ්‍රබ්ධි සම්බොධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි මහණහට ප්‍රශ්‍රබ්ධි සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණ භාවයට යෙයි.

සන්හුන් කය ඇති එහෙයින්ම සුඛිත වූවහු ගේ සිත සමාධි ගත වෙයි. මහණෙනි, යම් කලෙක ප්‍රශ්‍රබ්ධ කය ඇති සුඛිත වූ මහණහු ගේ සිත එකඟ වේ ද, එසමයෙහි ඒ මහණහු විසින් සමාධි සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වෙයි. එසමයෙහි ඒ මහණ සමාධි සම්බොධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහට සමාධි සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

හේ එසේ සමාහිත චිත්තය මනා කොට අධ්‍යුපෙක්‍ෂණ කරනු වෙයි. මහණෙනි, යම් කලෙක මහණ එසේ සමාධිගත වූ චිත්තය අධ්‍යුපෙක්‍ෂණ කරනු වේ ද, එසමයෙහි ඒ මහණහු විසින් උපෙක්ෂා සම්බොධ්‍යඞ්ගය ආරබ්ධ වූයේ වෙයි. එසමයෙහි මහණ උපෙක්ෂා සම්බොධ්‍යඞ්ගය වඩයි. එසමයෙහි ඒ මහණහට උපෙක්ෂා සම්බොධ්‍යඞ්ගය භාවනායෙන් පරිපූර්ණභාවයට යෙයි.

මහණෙනි, මෙපරිද්දෙන් වඩන ලද මෙපරිද්දෙන් බහුලීකෘත වූ සතර සීවටන්හු සප්ත බොධ්‍යඞ්ගයන් පරිපූර්ණ කෙරෙත්.

තවද මහණෙනි, කිසෙයින් වඩන ලද කිසෙයින් බහුලීකෘත සප්ත බොධ්‍යඞ්ගයෝ විද්‍යාවිමුක්ති පරිපූර්ණ කෙරෙති යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිශ්ශ්‍රිත විරාගනිශ්ශ්‍රිත නිරෝධනිශ්ශ්‍රිත වොසග්ගයට පිරිනැමුණු ස්මෘති සම්බොධ්‍යඞ්ගය වඩයි.......ධර්මවිචය සම්බොධ්‍යඞ්ගය වඩයි....... වීර්ය සම්බොධ්‍යඞ්ගය වඩයි....... ප්‍රීති සම්බොධ්‍යඞ්ගය වඩයි....... විවේකනිශ්ශ්‍රිත විරාගනිශ්ශ්‍රිත නිරෝධනිශ්ශ්‍රිත වොසග්ගයට පිරිනැමුණු උපේක්ෂා සම්බොධ්‍යඞ්ගය වඩයි.

මහණෙනි, මෙසේ භාවිත වූ බහුලීකෘත වූ සප්ත බොධ්‍යඞ්ගයෝ විද්‍යාවිමුක්ති පරිපූර්ණ කෙරෙත්.

භාග්‍යවතුන් වහන්සේ මේ ආනාපානසති සුත වදාළ සේක. ආත්තමනසක් වූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු යයි.

අටවැනිආනාපානසතිසූත්‍රයි.