ඉසිගිලි සූත්‍රය

 

 

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

උපරිපණ්ණාසකයෙහි

දෙවැනි  වූ අනුපද වර්ගය

3.2.6‍

ඉසිගිලි සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඉසිගිලි පව්වෙහි වැඩවසන සේක. එකල්හි එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යී භික්ෂූන් අඬගාවදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල ඉසිගිලි සුත වදාළ සේක:

මහණෙනි, තෙපි තෙල වෙහාර පර්වතය දක්නාහු නො දැ’ යි.

එසේ යැ වහන්ස,

මහණෙනි තෙල පෙනෙන වෙහාර පර්වතයට ද අන් මැ සංඥාවක් විය. අන් ප්‍රඥප්තියක් වී. මහණෙනි, තෙපි තෙල පාණ්ඩව පර්වතය දක්නාහු නො දැ’ යි.

එසේ යැ වහන්ස.

මහණෙනි, තෙල පෙනෙන පාණ්ඩව පර්වතයට ද අන් මැ සංඥාවක් විය. අන් ප්‍රඥප්තියක් වී. මහණෙනි, තෙපි තෙල වෛපුල්‍ය පර්වතය දක්නාහු නො දැ’ යි.

එසේ යැ වහන්ස.

මහණෙනි, තෙල පෙනෙන වෛපුල්‍ය පර්වතයට ද අන් මැ සංඥාවක් විය. අන් ප්‍රඥප්තියක් වී. මහණෙනි, තෙපි තෙල ගෘධ්‍රකූට පර්වතය දක්නාහු නො දැ’ යි.

එසේ යැ වහන්ස.

මහණෙනි, තෙල පෙනෙන ගෘධ්‍රකූට පර්වතයට ද අන් මැ සංඥාවක් විය. අන් ප්‍රඥප්තියක් වී. මහණෙනි, තෙපි මේ ඉසිගිලි පර්වතය දක්නාහු නො දැ’ යි.

එසේ යැ වහන්ස.

මහණෙනි, මේ ඉසිගිලි පර්වතයට තෙල සංඥාව මැ විය, තෙල ප්‍රඥප්තිය වී.

මහණෙනි, භූත පූර්වයෙකි: මේ ඉසිගිලි පර්වතයෙහි පන්සියක් පසේබුදුහු බොහෝ කලක් වාසය කළාහුය. ඔහු මේ පර්වතයට පිවිසෙන්නාහු දක්නා ලැබෙති, පිවිසියාහු නො දක්නා ලැබෙත්. එ දැක මනුෂ්‍යයෝ මෙසේ කීහු: ‘මේ පර්වත මේ ප්‍රත්‍යෙක බුද්ධ ඍෂීන් ගිලගනී’ යයි. එහෙයින් ‘ඉසිගිලි ඉසිගිලි’ යි කියා මැ නම් උපන. මහණෙනි, පසේබුදුවරුන්ගේ නම් පවසන්නෙමි. මහණෙනි, පසේ බුදුවරුන්ගේ නම් කීර්තනය, කරන්නෙමි. මහණෙනි, පසේ බුදුවරයන්ගේ නම් දෙසන්නෙමි. ඒ අසව්, මොනොවට මෙනෙහි කරව්, කියන්නෙමි’ යි.

එසේ යැ වහන්සැයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.

මහණෙනි, අරිට්ඨ නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි බොහෝ කල් විසූහ. මහණෙනි, උපරිට්ඨ නම් පසේ බුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, තගරසිඛී නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, යසස්සී නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, සුදස්සන නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, පියදස්සී නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, ගන්ධාර නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, පිණ්ඩොල නම් පසේ බුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, උපාසභ නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, නීත නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, තථ නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ. මහණෙනි, සුතවන්තු නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි බොහෝ කල් විසූහ. මහණෙනි, භාවිතත්ත නම් පසේබුදුහු මේ ඉසිගිලි පවියෙහි චිරනිවාසී වූහ’යි.

සත්ත්වයන් කෙරෙහි සාර වූ හෙවත් උත්තම සත්ත්ව වූ නිදුක් වූ නිස්තෘෂ්ණ වූ යම් පසේබුදු කෙනක් වෙන වෙන මැ සතර මාර්ගඥාන බොධිය අවබොධ කළාහු ද විගත වූ රාගාදී ශල්‍ය ඇති ඒ නරොත්තමයන් ගේ නාමයන් කීර්තනය කරන්නාවූ මාගේ බසින් අසව්.

අරිට්ඨ යැ, උපරිට්ඨ යැ, තගරසිඛී යැ, යසස්සී යැ, සුදස්සන යැ, පියදස්සී බුද්ධ යැ, ගන්ධාර යැ, පිණ්ඩොල යැ, උපාසභ යැ, නීත යැ, තථ යැ, සුතවන්තු යැ, භාවිතත්ත යැ, යන පසේබුදුහු ද,

සුම්භ යැ, සුභ යැ, මෙථුල යැ, අට්ඨම යැ, යළි සුමෙඝ යැ, අනීඝ යැ, සුදාඨ යැ, හිඞ්ග යැ, යන මහත් අනුභාව ඇති භවනෙත්ති සඞ්ඛ්‍යාත තෘෂ්ණා ක්ෂය කළ පසේ බුදුහු යැ-

චුල්ලජාලී මහාජාලී යැයි ජාලී නම් ඇති දෙ මුනිහු යැ, අරිට්ඨක බුදුහු යැ. නැවත කොසල බුද්ධ යැ. යළි සුබාහු යැ, උපනෙමිස යැ, නෙමිස යැ, සන්ත චිත්ත යැ, සච්ච යැ, තථ යැ, විරජ යැ, පණ්ඩිත යැ, යන පසේබුදුහු ද-

කාල උපකාල යන දෙ බුදුහු යැ, විජිත යැ, ජිත යැ, අඞ්ග යැ, පඞ්ග යැ, ගුතිජ්ජිත යැ, පස්සී නම් ඒ පසේබුදුහු ස්කන්ධ දුඃඛයට මුල වූ උපධි හළය. අපරාජිත නම් පසේබුදුහු මාරබල දිනූය.

සත්ථු, පවත්තු, සරභඞ්ග, ලොමහංස, උච්චඞ්ගමාය, යන නම් ඇති පස් පසේබුදුහු යැ, අසිත, අනාසව, මනොමය, යන තුන් පසේබුදුහු යැ, නවවිධ මාන පසුන් කළ බන්ධුමන්තු නම් පසේබුදුහු යැ, තදාධිමුත්ත යැ, විමල යැ, කෙතුමන්තු යැ, යන පසේ බුදුහු ද-

කෙතුම්බරාග යැ, මාතඞ්ග යැ, අරිය යැ, යන තුන් පසේ බුදුහු යැ, යළි අච්චුත යැ, අච්චුතගාමබ්‍යාමක යැ, යන පසේබුදුහු දෙදෙන යැ, සුමංගල, දබ්බිල, සුප්පතිට්ඨිත, අසය්හ යන පසේබුදුහු යැ, ඛෙමාභීරත යැ, සොරත යැ, යන පසේ බුදුහු දෙදෙන ද-

දුරන්නය, සඞ්ඝ, යන පසේ බුදුහු යැ, යළිදු උච්ච යැ, අලාමක වීර්‍ය්‍ය ඇති සය්හ නම් අන්‍යත් පසේබුදු මුනිවරයෙකැ, ආනන්ද, නන්ද, උපනන්ද, සියු දෙනකුන් බැගින් දොළොස් පසේබුදු කෙනෙකැ, අන්තිම ශරීරය ධරන භාරද්වාජ නම් පසේ බුදුහු ද-

බොධි, මහානාම යන පසේ බුහු යැ, යළිදු උත්තර, කෙසී, සිඛී, සුන්දර, භාරද්වාජ යන පස් පසේබුදුහු යැ. බවබැඳුම් පසුන් කළ තිස්ස, උපතිස්ස යන පසේබුදුහු දෙදෙන යැ, උපසීදරී නම් පසේබුදුහු යැ, තෘෂ්ණා පසුන් කළ සීදරී නම් පසේබුදුහු ද-

වීතරාග වූ මංගල පසේබුදුහු ද වූහ. උසභ නම් පසේබුදුහු පස්කඳදුකට මුල් වූ තෘෂ්ණාජාලිනිය සුන් කළය. උපනීත නම් පසේබුදුහු ශාන්ත නිර්වාණපදය අධිගම කළය. උපොසථ සුන්දර සච්චනාම යන තුන් පසේ බුදුහු ද-

ජෙත ජයන්ත, පදුම, උප්පල, යන සියු පසේබුදුහු ද, පදුමුත්තර, රක්ඛිත, පබ්බත, යන තුන් පසේබුදුහු ද, මානත්ථද්ධ, සොභිත, වීතරාග, යන පසේබුදුහු ද, මොනොවට කෙළෙසුන් කෙරෙන් මිදුණු සිත් ඇති කණ්හ නම් පසේබුදුහු ද යන-

නාම විසින් පෙළ ආ තෙල පසේබුදුහු ද, ගුණු භාවතෘෂ්ණා ඇති මහත් අනුභාව ඇති (පසේ බුදුන් පන්සීයක් කෙරෙහිපෙළ නො ආ) අන්‍ය වූත් යම් පසේබුදු කෙනෙක් ඇද්ද, සියලු ක්ලේශසඞ්ගයන් ඉක්මවා ගිය ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවන් වන් ගුණ විසින් අප්‍රමෙය වූ ඒ ප්‍රත්‍යෙකබුද්ධ මහර්ෂින්හට නමස්කාර කරව’යි.

සවැනිඉසිගිලිසූත්‍රය නිමියේ ය.