ඡබ්බිසෝධන සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

උපරිපණ්ණාසකයෙහි

දෙවැනි  වූ අනුපද වර්ගය

3.2.2

ඡබ්බිසෝධන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු ‘වහන්සැ’ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.

මහණෙනි, මෙ සස්නෙහි මහණෙක් ‘ජාතිය ක්ෂය විය, බඹසර වසනලද, කරණී කරන ලද, මේ රහත්බව පිණිස කළ යුතු අන් කිසෙක් නැති යි නුවණින් දන්මි’ කියා අර්හත්ත්‍වය ප්‍රකාශ කෙරෙයි. මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය අභිනන්දන නො කටයුතු ය, පිළිකෙව් නො කටයුතු ය. අභිනන්දන නො කොට පිලිකෙවේ නො කොට ප්‍රශ්නයෙක් විචාළ යුතු ය: ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ සතර වොහාර කෙනෙක් මොනොවට වදාරන ලදහ. කවර සතර කෙනෙක යත්: දක්නා ලද්දෙහි දෘෂ්ටවාදී බව යැ. අසන ලද්දෙහි ශ්‍රැතවාදී බව යැ, ගන්ධ රස ස්ප්‍රෂ්ටව්‍ය සඞ්‍ඛ්‍යාත මුතයෙහි මුතවාදී බව යැ, ධර්මාලම්බන සඞ්‍ඛ්‍යාත විඥානයෙහි විඥානවාදී බව යැ. ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ සතර වෝහාර කෙනෙක් මොනොවට වදාරන ලදහ.

කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ඒ ආයුෂ්මත්හුගේ සිත මේ සතර වෝහාරයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදුණේ වේ ද යත්: මහණෙනි, වැස නිමවූ බඹසර ඇති කළ කරණී ඇති බහා තැබූ කෙලෙස්බර ඇති පැමිණි ස්වාර්ත්ථ සඞ්‍ඛ්‍යාත රහත්ඵල ඇති පරික්ෂීණ වූ භවසංයෝජන ඇති මොනොවට දැන මිදුණු ක්ෂීණාස්‍රව මහණහට පිළිතුරු පවසනු පිණිස මේ ස්වභාවය වෙයි. ‘ඇවැත්නි, මම රූපාලම්බනයෙහි රාගවශයෙන් උපගමන නැතියෙම්, ප්‍රතිඝ වශයෙන් අපගමන නැතියෙම් තෘෂ්ණාදෘෂ්ටි විසින් අනිශ්‍රිත වූයෙම් ඡන්දරාග වශයෙන් ප්‍රතිබද්ධ නො වූයෙම් කාමරාගයෙන් මිදුණෙම් කෙලෙසුන් කෙරෙන් විසංයුක්ත වූයෙම් විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසකරමි. ඇවැත්නි, මම ශබ්දාලම්බනයෙහි ... ඇවැත්නි, මම (ගන්ධ රස ස්ප්‍රෂ්ටව්‍ය) මුතයෙහි ... ඇවැත්නි, මම ධර්මාලම්බනයෙහි රාගවශයෙන් උපගමන නැතියෙම්, ප්‍රතිඝවශයෙන් අපගමන නැතියෙම්, තෘෂ්ණාදෘෂ්ටි විසින් අනිශ්‍රිත වූයෙම් ඡන්දරාග වශයෙන් ප්‍රතිබද්ධ නො වූයෙම් කාමරාගයෙන් මිදුණෙම් කෙලෙසුන් කෙරෙන් විසංයුක්ත වූයෙම් විගතමර්‍ය්‍යාදා කළ සිතින් යුක්ත ව වාසකරමි. ඇවැත්නි, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත මේ සතර වෝහාරයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදිණැ’ යි කියා යි.

මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය ‘මැනැවැ’යි අභිනන්දන කළ යුතු යැ, අනුමොදනා කළ යුතු යැ, මැනැවැ’ යි ඒ භාෂිතය අභිනන්දන කොට අනුමෝදන් ව මතුයෙහි ප්‍රශ්නයෙක් පිලිවිසියැ යුතු: ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ පස්වැදෑරුම් උපාදානසකන්ධයෝ මොනොවට දෙසන ලදහ. කවර පසෙක යත්: ඒ මෙසේ යැ: රූපූපාදානසකන්ධ යැ, වෙදනූපාදානසකන්ධ යැ, සඤ්ඤුපාදානසකන්ධ යැ, සඞ්ඛාරූපාදානසකන්ධ යැ,විඤ්ඤාණූපාදානසකන්ධ යි. ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ පඤේචාපාදාන ස්කන්ධයෝ මොනොවට දෙසන ලදහ. කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ඒ අයුෂ්මත්හුගේ සිත මේ පඤ්චොපාදානස්කන්ධයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදුණේ වේ ද: මහණෙනි, වැස නිමවූ බඹසර ඇති කළ කරණී ඇති බහාතැබූ කෙලෙස්බර ඇති පැමිණි රහත්ඵල ඇති පරික්ෂීණ භවසංයොජන ඇති ක්ෂිණාස්‍රව මහණහුගේ ප්‍රශ්නව්‍යාකරණයට මේ ස්වභාව වෙයි: ඇවැත්නි, මම රූපය අබල ය, විරාග ය, අනස්වාසික යයි දැන රූප යෙහි යම් උපයුපාදාන කෙනෙක් ඇද්ද සිත පිලිබඳ අධිෂ්ඨාන අහිනිවෙශ අනුශය කෙනෙක් ඇද්ද උන්ගේ ක්ෂය හේතුයෙන් විරාගහේතුයෙන් නිරොධ හේතුයෙන් ත්‍යාග හේතුයෙන් හැරැපීම්හේතුයෙන් මාගේ සිත මිදිණැ’යි නුවණින් දනිමි. ඇවැත්නි, මම වේදනාව ... ඇවැත්නි, මම සංඥාව ... ඇවැත්නි, මම සංස්කාරයන් ... ඇවැත්නි, මම විඥානය අබල ය විරාග ය අනාස්වාසික යැ’ යි දැන විඥානයෙහි යම් උපය-උපාදාන කෙනෙක් ඇද්ද සිත පිලිබඳ අධිෂ්ඨාන අහිනිවෙශ අනුශය කෙනෙක් ඇද්ද උන්ගේ ක්ෂය හේතුයෙන් විරාගහේතුයෙන් නිරොධ හේතුයෙන් ත්‍යාග හේතුයෙන් හැරැපීම් හේතුයෙන් ‘මාගේ සිත මිදිණැ’යි නුවණින් දනිමි. ඇවැත්නි, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත පඤේචාපාදානස්කන්ධයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදිණැ’ යි කියා යි.

මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය ‘මැනැවැ’යි අභිනන්දන කළ යුතු යි, අනුමෝදනා කළ යුතු යි. ‘මැනැවැ’ යි ඒ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වැ මතුයෙහි ප්‍රශ්නයෙක් පිලිවිසිය යුතු: ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙ ධාතුහු සදෙනෙක් මොනොවට වදාරන ලදහ. කවර සදෙනෙක යත්: පෘථිවිධාතු යැ, අබ්ධාතු යැ, තේජෝධාතු යැ, වායෝධාතු යැ, ආකාශධාතු යැ, විඥානධාතු යි. ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මෙ ධාතුහු සදෙන මොනවට වදාරන ලදහ. කෙසේ දන්නා වූ කෙසේ දක්නා වූ ආයුෂ්මත්හුගේ සිත මෙ සවැදෑරුම් ධාතුන් කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන ආස්‍රවයන් කෙරෙන් මිදුණේ වේ ද: මහණෙනි, වැසැ නිමවූ බඹසර ඇති, කළ කරණී ඇති, බහා තැබූ කෙලෙස් බර ඇති, පැමිණි රහත්ඵල ඇති, පරික්ෂීණ භවසංයෝජන ඇති, මොනොවට දැන මිදුණු ක්ෂීණාස්‍රව මහණහට ප්‍රශ්නව්‍යාකරණය පිණිස මෙ ස්වභාවය ඇත: ඇවැත්නි, මම පෘථිවිධාතුව ආත්මවශයෙන් නො පැමිණියෙමි. පෘථිවිධාතු නිඃශ්‍රිත වූ සෙසු ධාතු ද ආත්මකොටගෙන නො පැමිණියෙමි. පෘථිවිධාතු නිඃශ්‍රිත වූ (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත) යම් උපය උපාදාන කෙනෙක් ඇද්ද, සිත පිලිබඳ (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත) යම් අධිෂ්ඨාන අභිනිවෙස අනුසය කෙනෙක් ඇද්ද, උන්ගේ ක්ෂය හේතුයෙන් විරාග හේතුයෙන් නිරෝධ හේතුයෙන් ත්‍යාග හේතුයෙන් හැරැපීම් හේතුයෙන් “මා සිත මිදිණැ” යි නුවණින් දන්මි. ඇවැත්නි, මම අබ්ධාතු ... ඇවැත්නි, මම තේජෝධාතු ... ඇවැත්නි, මම වායෝධාතු ... ඇවැත්නි, මම ආකාශධාතු … ඇවැත්නි, මම විඥානධාතු ආත්ම වශයෙන් නො ගතිමි. ආත්මය විඥාන ධාතු නිඃශ්‍රිතකොට ද නො ගතිමි. විඥානධාතු නිඃශ්‍රිත වූ (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත) යම් මැ උපය උපාදාන කෙනෙක් ඇද්ද, සිත පිලිබඳ (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත) යම් අධිෂ්ඨාන අභිනිවේස අනුසය කෙනෙක් ඇද්ද, උන්ගේ ක්‍ෂය හේතුයෙන් විරාග හේතුයෙන් නිරෝධ හේතුයෙන් ත්‍යාග හේතුයෙන් “මා සිත මිදිණැ” යි නුවණින් දනිමි. ඇවැත්නි, මෙසෙයින් දන්නා වූ මෙසෙයින් දක්නා වූ මාගේ සිත් මෙ සවැදෑරුම් ධාතුන් කෙරෙයි උපාදාන වශයෙන් නො ගෙන මිදිණැ යි කියායි.

මහණෙනි, ඒ මහණහුගේ වචනය ‘මැනැවැ’ යි සතුටින් පිළිගත යුතු යැ. අනුමෙවුනි කළ යුතු යැ. වචනය ‘මැනැව’ යි සතුටින් පිළිගෙන අනුමෙවුනි කොට මතුයෙහි ප්‍රශ්නයක් පිළිවිසිය යුතු: ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ, සියල්ල දක්නා වූ, අර්හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ ආධ්‍යාත්මික බාහිර ආයතනයෝ සදෙන මොනොවට වදාරන ලදහ. කවර සදෙනෙක යත්: ඇස හා රූපයෝ යැ, කන හා ශබ්දයෝ යැ, නාසය හා ගන්ධයෝ යැ, දිව හා රසයෝ යැ, කය හා ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, සිත හා ධර්මයෝ යි. ඇවැත්නි, භාග්‍යවත් වූ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ විසින් මේ අධ්‍යාත්මික බාහිර ආයතනයෝ සදෙන මොනොවට වදාරන ලදහ. කිපරිදි දන්නා වූ කිපරිදි දක්නා වූ ආයුෂ්මත්හුගේ සිත මෙ සවැදෑරුම් අධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙරෙහි උපාදාන වශයෙන් නො ගෙන ආස්‍රවයන් කෙරෙන් මිදුණේ වේ ද, මහණෙනි, වැසැ නිම වූ බඹසර ඇති, කළ කරණී ඇති බැහූ කෙලෙස් බර ඇති, ලැබූ රහත් ඵල ඇති, ක්ෂය කළ භව සංයෝජන ඇති මොනොවට දැන මිදුණු ක්‍ෂීණාස්‍රව මහණහට ප්‍රශ්න ව්‍යාකරණ පිණිස මෙ ස්වභාවය ඇත: ඇවැත්නි, චක්ෂුස්හි රූපයෙහි චක්ෂුර්විඥානයෙහි චක්ෂුර්විඥානයෙන් විඥාතව්‍ය ධර්මයෙහි යම් තෘෂ්ණා ඡන්දයෙක් යම් රාගයෙක් යම් නන්දියක් යම් තෘෂ්ණාවක් (තෘෂ්ණා දෘෂ්ටි සංඛ්‍යාත) යම් උපය උපාදාන කෙනෙක් සිත පිලිබඳ තෘෂ්ණා දෘෂ්ටි නම් වන අධිෂ්ඨාන අභිනිවෙස අනුසය කෙනෙක් ඇද්ද, උන්ගේ ක්‍ෂය හේතුයෙන් විරාග හේතුයෙන් නිරොධ හේතුයෙන් ත්‍යාග හේතුයෙන් හැරැපීම් හේතුයෙන් “මා සිත මිදිණැ’ යි නුවණින් දන්මි. ඇවැත්නි, මෙ පරිදි දන්නා වූ මේ පරිදි දක්නා වූ මාගේ සිත මේ සවැදෑරුම් අධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙරෙහි උපාදාන වශයෙන් නොගෙන ආස්‍රවයන් කෙරෙන් මිදිණ කියායි.

ඇවැත්නි, මම පසු කලෙක අල්ප වූ හෝ භෝගසකන්ධය හැරැ මහත් වූ හෝ භෝගස්කන්ධය හැරැ අල්පවූ හෝ නෑ පිරිවට හැරැ මහත් වූ හෝ නෑ පිරිවට හැරැ කෙහෙමස් බහා කහවත් හැඳ පෙරෙවැ ගිහිගෙන් නික්මැ පැවිද්දට පැමිණියෙමි. මම මෙසේ පැවිදි වූයෙම් භික්ෂූන්ගේ ශික්ෂාසාජීවයට පැමිණියෙම් පණිවා හැරැ පණිවායෙන් වැළැකුණෙම් වීමි. බහා තැබූ දඬු ඇත්තෙම් බහා තැබූ ශස්ත්‍ර ඇත්තෙම්. ලජ්ජා ඇත්තෙම් දයාවට පැමිණියෙම් සර්වප්‍රාණභූත හිතානුකම්පී වූයෙම් වාස කළෙමි. අයිනාදන් හැරැ අයිනාදනින් වැළැකුණෙම් වීමි. දුන්දැය ගන්නා සුලුයෙම් දුන්දැය කැමැති වූයෙම් නොසොර වූ පවිත්‍ර වූ ආත්මයෙන් වාස කෙළෙමි. අබ්‍රහ්මචර්‍ය්‍ය හැර ග්‍රාම ධර්ම සංඛ්‍යාත මෛථුනයෙන් විරත වැ දුරුවූ හැසිරීම් ඇති වැ බ්‍රහ්මචාරී වීමි. මුසවා හැරැ මුසවායෙන් වැළැකුණෙම් වීමි. සත්‍යවාදී වූයෙම් සත්‍ය සන්ධාන ඇත්තෙම් ස්ථිරවචන ඇත්තෙම් විශ්වසනීය වචන ඇත්තෙම් ලොකය විසංවාද නොකරන්නෙම් මුසවායෙන් වැළැකුණෙම් වීමි. පිසුණුබස් හැරැ මොබ අසා මුන්ගේ භෙදය පිණිස එහි නො කියනසුලු වූයෙම් ඔබ හෝ අසා තුලුන්ගේ භෙදය පිණිස මුනට නො කියනසුලු වූයෙම් මෙසේ භින්න වූවන් හෝ සන්ධානකරණසුල්ලෙම් සමඟ වූවන්ට හෝ අනුබල දෙනසුලු වූයෙම් සමග්‍රාරාම වූයෙම් සමග්‍රරත වූයෙම් සමගියෙහි සතුටු වූයෙම් සමග්‍රකරණ වූ තෙපුල් දෙන සුල්ලෙම් වීමි. පරොස්බස් හැරැ පරොස් බසින් වැළැකුණෙම් වීමි. යම් වචනයක් කෙළතොලූ නො වී ද, කර්ණසුඛ වී ද, ප්‍රේමණීය වී ද, හෘදයංගම වී ද, පුරවැසි වී ද, බහුජන කාන්ත වී ද, බහුජන මනාප වී ද, එබඳු බස් කියන සුල්ලෙම් වීමි. පලප් හැරැ පලපින් වැළැකුණෙම් වීමි. කාලවාදී වූයෙම් භූතවාදී වූයෙම් අර්ථවාදී වූයෙම් ධර්මවාදී වූයෙම් විනයවාදී වූයෙම් සුදුසු කල්හි සාපදෙශ වූ පර්‍ය්‍යන්තවත් වූ අර්ථසංහිත වූ ළෙහි නිධන් කළ යුතු වූ තෙපුල් කියනසුලු වූයෙම් වීමි.

මම බීජගාම භූතගාමයන්ගේ නැස්මෙන් විරත වීමි. එක්වේලෙහි බත වළඳ කරන සුලු වීමි. විකල් බොජුනෙන් වැළැකුණෙම් වීමි. නටනු ගයනු වයනු විසුළු දස්නෙන් වැළැකුණෙම් වීමි. මල්ගඳවිලෙවුන් පිලිබඳ ධාරණය, මණ්ඩන යැ, විභූෂණ යැ යන මෙයින් වැළැකුණෙම් වීමි. උසසුන් මහඅස්නෙන් වැළැකුණෙම් වීමි. රන්රිදී පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. අමුධාන්‍ය පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. අමුමස් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. ස්ත්‍රීකුමාරිකාවන් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. දැසිදස් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. එළු තිරෙළු පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. කුකුළන් හා හූරන් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. ඇත්ගව අස්වෙළඹුන් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. කෙත්වත් පිළිගැන්මෙන් වැළැකුණෙම් වීමි. දූතකම් හා මෙහෙයුම් ගමන්හි යෙදීමෙන් වැළැකුණෙම් වීමි. ක්‍රය වික්‍රය දෙකින් වැළකුනෙම් වීමි. තුලාකූට කසංකූට මානකූටයෙන් වැළකුනෙම් වීමි. උක්කොටන-වඤ්චන-නිකති-යන කුටිලයෝගයෙන් වැළැකුණෙම් වීමි. ඡේදන යැ, වධ යැ, බන්ධන යැ, විපරාමොෂ යැ, වොලොගැන්ම යැ, සහසාකාර යැ යන මෙයින් වැළැකුණෙම් වීමි.

මම කායපරිහරණයට නිසි සිවුරින් කුක්‍ෂිපරිහරණයට නිසි පිඬුවායෙන් සතුටු වීමි. මම යම් යම් තැනෙකැ ගියෙම් නම්, සිවුරුආදිය රැගෙනැ මැ ගියෙමි. යම් පිරිදි ලිහිණිපක්ෂි යම් යම් තැනෙකැ පියා පහරා යන්නේ පත්‍රභාර සහිත වැ මැ පියඹා යේ ද එසෙයිනි. ඇවැත්නි, මෙ පරිදි මැ මම කායපරිහරණයට නිසි සිවුරින් කුක්‍ෂිපරිහරණයට නිසි පිඬුවායෙන් සතුටු වීමි. මම් යම් යම් තැනෙකැ යෙම් ද, (පිරිකර) රැගෙන මැ ගියෙමි. මම මේ ආර්‍ය්‍ය ශීලසකන්ධයෙන් සමන්වාගත වූයෙම් සිත් තුළ අනවද්‍යසුඛය වින්දෙමි.

මම ඇසින් රූ දැකැ නිමිති නොගන්නාසුලු වූයෙම් අනුවියඳුන් නොගන්නාසුලුයෙම් වීමි. යම් හෙතුයෙකින් චක්ෂුරින්ද්‍රිය අසංවෘත කොට වසන තෙල මා කරා ලාමක අකුශල ධර්ම වන අභිධ්‍යාදෞර්මනස්‍යයෝ ලුහුබඳනාහු නම්, අවුරනුවට පිළිපන්මි. චක්ෂුරින්ද්‍රිය රැක්කෙමි. චක්ෂුරින්ද්‍රියෙහි සංවරයට පැමිණියෙමි. ශ්‍රෝතයෙන් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්ධය අසා ... ජිහ්වායෙන් රස විඳ ... කයින් ස්ප්‍රෂ්ටව්‍යයන් පැහැසැ ... මනසින් ධර්මයන් දැනැ නිමිති නොගන්නාසුලුයෙම් අනුවියඳුන් නොගන්නාසුලුයෙම් වීමි. යම් කරුණෙකින් මනින්ද්‍රිය අසංවෘත කොට වසන තෙල මා කරා අභිධ්‍යාදෞමනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශලධර්මයෝ ලුහුබඳනාහු නම්, ඒ අවුරනුවට පිළිපන්මි. මනින්ද්‍රිය රැකියෙමි. මනින්ද්‍රියෙහි සංවරයට පැමිණියෙමි. මම මේ ආර්‍ය්‍ය ඉන්ද්‍රියසංවරයෙන් සමන්වාගත වූයෙම් අධ්‍යාත්මයෙහි (කෙලෙසුන් විසින් අනාෂික්ත වූ) අව්‍යාසෙක සුඛය විඳියෙමි.

මම ඉදිරි බලා ගමන්හි දු වටාලා ගමන්හි දු සම්ප්‍රඥානකාරී වීමි. ඉදිරිබැලුම් හා දිගනුදික් බැලුම්හි සම්ප්‍රඥානකාරී වීමි. අත්පා හැකුළුම හා දිගු කිරීමෙහි සම්ප්‍රඥානකාරී වීමි. සඟළපාසිවුරු දෑරුම්හි සම්ප්‍රඥානකාරී වීමි. අසිත පීත ඛායිත සායිතයෙහි සම්ප්‍රඥානකාරී වීමි. සුලුවටන්මහවටන්කම්හි සම්ප්‍රඥානකාරී වීමි. ගමනෙහි සිටුමෙහි හිඳුමෙහි නිදියෙහි නිදිවරුම්හි කථායෙහි තුෂ්ණීම්භාවයෙහි සම්ප්‍රඥානකාරී වීමි.

මම මේ ආර්යශීලස්කන්ධයෙන් ස්මන්වාගත වූයෙම්, මේ ආර්යඉන්ද්‍රියසංවරයෙන් සමන්වාගත වූයෙම්, මේ ආර්යස්මෘතිසම්ප්‍රජන්‍යයෙන් සමන්වාගත වූයෙම්, අරණ්‍ය යැ, වෘක්ෂමූල යැ, පර්වත යැ, කඳුරු යැ, ගිරිගුහා යැ, සොහොන යැ, වනපෙත යැ, අබවස් යැ, පිදුරුකිළි යැ යන විචික්තශයනාසන භජනය කෙළෙමි. මම පසුබත්හි පිඬුවායෙන් පෙරළා ආයෙම්, පලක් බැඳ උඩුකය ඍජු කොට පිහිටුවා සිහි පරිමුඛ කොට එළවාගෙන හින්දෙමි.

මම පඤ්චොපාදානසකන්ධලොකයෙහි අභිධ්‍යාව දුරු කොට පහවූ අභිධ්‍යා ඇති සිතින් වාස කෙළෙමි. අභිධ්‍යානන් සිත පිරිසිදු කෙළෙමි. ව්‍යාපාද සංඛ්‍යාත ප්‍රද්වෙෂය දුරු කොට ව්‍යාපාදයෙන් තොරවූ සිතැත්තෙම් සර්‍වප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පා ඇතියෙම් වාස කෙළෙමි. ව්‍යාපාදප්‍රද්වෙෂයෙන් සිත පිරිසිදු කෙළෙමි. ස්ත්‍යානමිද්ධය දුරු කොට පහ වූ ස්ත්‍යානමිද්ධ ඇතියෙම්, (විගතනීවරණයෙන්) අලොකසංඥා ඇතියෙම්, ස්මෘති ඇතියෙම්, සම්‍යක්ප්‍රඥා ඇතියෙම්, වාස කෙළෙමි. ස්ත්‍යානමිද්ධයෙන් සිත පිරිසිදු කෙළෙමි. ඖද්ධත්‍යය හා කෞකෘත්‍යය දුරු කොට උද්ධතභාව නැතියෙම්, අධ්‍යාත්මයෙහි මොනොවට සන්හුන් සිත් ඇතියෙම් වාස කෙළෙමි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙළෙමි. විචිකිත්සා දුරු කොට තරණය කළ විචිකිත්සා ඇතියෙම්, කුශලධර්මයෙහි කථංකථිභාව නැතියෙම් වාස කෙළෙමි. විචිකිත්සායෙන් සිත පිරිසිදු කෙළෙමි.

මම චිත්තයාගේ උපක්ලේශ වූ ප්‍රඥාවගේ දුර්‍වල කරණ වූ මේ පඤ්චනීවරණයන් දුරු කොට කාමයෙන් වෙන් වැ මැ අකුසල දහමින් වෙන් වැ සවිතර්ක වූ සවිචාර වූ විවෙකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යාන උපයා වාස කෙළෙමි. විතර්කවිචාර සන්හිදීමෙන් තමා තුළ සම්ප්‍රසාදන කරන චිත්තයාගේ එකඟබව ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්වීතියධ්‍යාන උපයා වාස කෙළෙමි. ප්‍රීතිවිරාගයෙනුදු උපෙක්ෂක වැ වාස කෙළෙමි. ස්මෘතිමත් වූයෙම්, සම්ප්‍රඥාන ඇතියෙම්, නාමකයින් සුඛය ද වින්දෙමි. ආර්යයෝ යම් ධ්‍යානයක් ‘උපෙක්ෂකයැ, ස්මෘතිමත් යැ, සුඛවිහාරි යැ’ යි (වෙන් කොට) කියත් ද, ඒ තෘතියධ්‍යානය උපයා වාස කෙළෙමි. සුඛප්‍රහාණයෙනුදු දුඃඛප්‍රහාණයෙනුදු සොම්නස්දොම්නස් කැලැ මැ අස්තංගම්යෙනුදු අදුඃඛ වූ අසුඛ වූ උපෙක්ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධි ඇති චතුර්ථධ්‍යාන උපයා වාස කෙළෙමි.

මම මෙසෙයින් සමාධිගත සිත පිරිසිදු වූ කල්හි පර්‍ය්‍යවදාත වත් මැ අංගණ රහිත වත් මැ උපක්ලෙශවිගත වත් මැ මෘදු වත් මැ කර්මණ්‍ය වත් මැ ස්ථිත වත් මැ නොසැලෙනබවට පත් වත් මැ ආස්‍රවක්ෂයඥානය සඳහා සිත නතු කෙළෙමි. මම ‘මේ දුකැ’යි යථාභූතය දත්මි, ‘මේ දුඃඛසමුදය’ යැයි යථාභූතය දත්මි. ‘මේ දුඃඛනිරොධ යැ’ යි යථාභූතය දත්මි, ‘දුඃඛනිරොධගාමිනීප්‍රතිපදා යැ’ යි යථාභූතය දත්මි. ‘මුහු ආස්‍රවයහ’ යි යථාභූතය දත්මි, ‘මේ ආස්‍රවසමුදය’ යැ යි යථාභූතය දත්මි, ‘මේ ආස්‍රවනිරොධ යැ’ යි යථාභූතය දත්මි, ‘මේ ආස්‍රවනිරොධගාමිනීප්‍රතිපදා යැ’ යි යථාභූතය දත්මි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මාගේ සිත කාමාස්‍රවයෙනුදු මිදිණ, භවාස්‍රවයෙනුදු සිත මිදිණ, අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදිණ. විමුක්ත කල්හි ‘විමුක්ත යැ’ යන ඥානය වී. ‘ජාතිය ක්ෂීණ විය. බ්‍රහ්මචර්‍ය්‍යය වසන ලදී. සිවුමඟකරණී කරනලදී.’ ‘මේ රහත්ඵලය සඳහා’ කළයුතු අන් කිසෙක් නැතියි දත්මි. ඇවැත්නි, මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ මා විසින් මේ සවිඥානක කයෙහි දු බැහැර හැම නිමිත්හි දු අහිංකාර මමිංකාරමානානුසයෝ නස්නා ලදහයි කියා යි.

මහණෙනි, ඒ මහණහුගේ භාෂිතය මැනැවැ’ යි සතුටින් පිළිගතයුතු යැ. අනුමෙවුනි කළ යුතු යැ, ‘මැනැවැ’ යි ඒ භාෂිතය අභිමුඛ වැ පිළිගෙන අනුමෝදන් වැ මෙසේ කියයුතු වෙයි. ‘යම් අපි එබඳු බ්‍රහ්මචාරියකු වන ආයුෂ්මතුන් දක්නමෝ ද, ඇවැත්නි, ඒ අපට ලාභයෙකැ, ඇවැත්නි, ඒ අපට මනාලැබීමෙකැයි.’

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

දෙවැනිඡබ්බිසොධනසූත්‍රය නිමියේ ය.