මහාචත්තාරීසක සූත්‍රය

 

 

 

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

උපරිපණ්ණාසකයෙහි

දෙවැනි  වූ අනුපද වර්ගය

3.2.7

මහාචත්තාරීසක සූත්‍රය

 

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’, කියා භික්ෂුන් අඬගා වදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ වහන්දැ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල මහාචත්තාරීසක සුත වදාළ සේක.

මහණෙනි, තොපට නිර්දෝෂ වූ මාර්ගසමාධිය සප්‍රත්‍ය කොට සපරිවාර කොට දෙසන්නෙමි. ඒ අසව්, මොනොවට මෙනෙහි කරව් ප්‍රකාශ කරන්නෙමි’යි වදාළ සේක.

එසේය වහන්සැ’යි ඒ භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක.

මහණෙනි, ප්‍රත්‍ය සහිත වූ සපරිවාර වූ ආර්‍ය්‍ය සම්‍යක්සමාධිය කවරෙ යැ යත්: ඒ මෙසේ යැ: සම්මාදිට්ඨි, සම්මාසංකප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මාආජීව, සම්මාවායාම, සම්මාසති යන මේ සතඟින් චිත්තයාගේ යම් එකාග්‍ර බවක් පරිවාර බවක් වේ ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය සම්‍යක්සමාධිය සප්‍රත්‍ය යි ද සපරිවාර යි ද කියනු ලැබේ.

මහණෙනි, එහි ලා (විපස්සනා සම්මාදිට්ඨි, මග්ග සම්මාදිට්ඨි යන ද්විවිධ) සම්‍යක්දෘෂ්ටිය පූර්වඞ්ගම වෙයි. කිසෙයින් මහණෙනි, සම්‍යග්දෘෂ්ටිය පූර්වඞ්ගම වෙයි යත්: මිථ්‍යාදෘෂ්ටිය ‘මිථ්‍යාදෘෂ්ටි’ යයි ලක්ෂණ ප්‍රතිවෙධයෙහි ලා ආරම්මණ වශයෙන් දැනගනී. සම්‍යග්දෘෂ්ටිය (කෘත්‍යවශයෙන් අසම්මූඪ හෙයින්) දැනගනී. මෙසේ ඒ දැනුම ඔහුට සම්මාදිට්ඨි නම් වෙයි.

මහණෙනි, මිථ්‍යාදෘෂ්ටි කවර යත්: දුන් දැය විපාක නැත, යජන ලදුයෙහි විපාක නැත. පුදන ලදුයෙහි විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵල විපාක නැත. (පරලොවැ සිටියහුට) මේ ලොව නැත, (මෙලොවැ සිටියහුට) පරලොව නැත, මවු නැත, පියා නැත, (සැවැ උපදනා) ඕපපාතික සත්‍වයෝ නැත, ලොවැ යම් කෙනෙක් මේ ලොවත් පර ලොවත් විශිෂ්ටඥානයෙන් තුමූ මැ ප්‍රත්‍යක්‍ෂ කොට දැන ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නැතැ’යි. මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටි නම් වෙයි.

මහණෙනි, සම්‍යක්දෘෂ්ටි කවර යත්: මහණෙනි, මම සම්‍යග්දෘෂ්ටිත් දෙ පරිදි කොට කියමි. මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්‍යග්දෘෂ්ටියක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඞ්ග වූ සම්‍යග්දෘෂ්ටියක් ඇති.

මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාකය දෙන සම්‍යග්දෘෂ්ටිය කවර යත්: දුන් දැය විපාක ඇත. යජන ලදුයෙහි විපාක ඇත. පුදන ලදුයෙහි විපාක ඇත. සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵල විපාක ඇත. මෙලොව ඇත. පරලොව ඇත. මවු ඇත. පියා ඇත. උපදනා ඔපපාතික සත්‍වයෝ ඇත. ලොවැ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් විශිෂ්ටඥානයෙන් තුමූ මැ ප්‍රත්‍යක්‍ෂ කොට දැන ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇතැ’යි. මහණෙනි, මේ සාස්‍රව පුණ්‍යභාගී වූ උපධි සංඛ්‍යාත විපාකය දෙන සම්මාදිට්ඨි නම් වෙයි.

මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඞ්ග වූ සම්මාදිට්ඨි කවර යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්ගසමඞ්ගී වූ ආර්‍ය්‍යමාර්ගය වඩනුවහු හේ යම් ප්‍රඥාවක් ප්‍රඥෙන්ද්‍රියෙක් ප්‍රඥාබලයෙක් ධර්‍මවිචයසම්බොධ්‍යඞ්ගයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් මාර්ගාඞ්ගයෙක් ඇද්ද, මහණෙනි, මේ ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඞ්ග වූ සම්මාදිට්ඨි යයි කියනු ලැබේ. ඒ මහණ මිථ්‍යාදෘෂ්ටි ප්‍රහාණය පිණිස සම්‍යග්දෘෂ්ටි ප්‍රතිලාභය පිණිස වෑයම් කෙරෙයි. ඒ වෑයම ඔහුට සම්මාවායාම වෙයි. හේ ස්මෘතියෙන් සමන්වාගත ව මිථ්‍යාදෘෂ්ටිය දුරු කෙරෙයි. ස්මෘතිමත් ව සම්‍යග්දෘෂ්ටිය උපදවා වෙසෙයි. ඒ ස්මෘතිය ඔහුට සම්මාසති වෙයි. මෙසේ ඔහුට මේ තුන් ධර්‍මයෝ සම්‍යග්දෘෂ්ටිය අනුපරිධාවන කෙරෙති. (පහජාත ද පුරේජාත ද වී) පරිවාර වෙත්. ඒ කවර තුන් දහම්හ යත්: සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මොහු යි.

මහණෙනි, එහි ලා සම්‍යග්දෘෂ්ටි පූර්වාඞ්ගම වෙයි. මහණෙනි, කි සෙයින් සම්‍යග්දෘෂ්ටි පූර්වාඞ්ගම වෙයි යත්: මිථ්‍යාසඞ්කල්පය ‘මිථ්‍යාසඞ්කල්ප’ යයි (ලක්ෂණ ප්‍රතිවෙධයෙහි ලා අරමුණු විසින්) දැනගනී. සම්‍යක්සඞ්කල්පය ‘සම්‍යක්සඞ්කල්ප’ යයි දැනගනී. ඔහුට ඒ දැනුම සම්මාදිට්ඨි නම් වෙයි.

මහණෙනි, මිථ්‍යාසඞ්කල්ප කවරෙ යත්: කාමසඞ්කල්ප, ව්‍යාපාදසඞ්කල්ප, විහිංසාසඞ්කල්ප යි. මහණෙනි, මේ මිථ්‍යාසඞ්කල්ප නමි.

මහණෙනි, සම්‍යක්සඞ්කල්ප කවරෙ යත්: මහණෙනි, මම සම්‍යක්සඞ්කල්පයත් දෙ පරිදි කොට කියමි. මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාක දෙන සම්‍යක්සඞ්කල්පයෙක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය අනාස්‍රව ලෝකොත්තර මාර්ගාඞ්ග වූ සම්‍යක්සඞ්කල්පයක් ඇති.

මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාකය දෙන සම්‍යක්සඞ්කල්ප කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යසඞ්කල්ප, අව්‍යාපාදසඞ්කල්ප, අවිහිංසාසඞ්කල්ප යි. මහණෙනි, මේ සම්‍යක්සඞ්කල්ප සාස්‍රව යැ පුණ්‍යභාගිය යැ උපධිවිපාක දෙන්නේ යි.

මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඞ්ග වූ සම්‍යක්සඞ්කල්ප කවරෙ යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්ගසමඞ්ගී වූ ආර්‍ය්‍යමාර්ගය වඩනුවහුගේ යම් තර්කයෙක් විතර්කයෙක් සඞ්කල්පයෙක් සිත අරමුණෙහි පිහිටුවීමෙක් වෙසෙසින් පිහිටුවීමෙක් සිත අරමුණට නැංවීමෙක් වාක්‍සංස්කාරයෙක් වේ ද, මහණෙනි, මේ සම්‍යක්සඞ්කල්පය ආර්‍ය්‍ය යැ, අනාස්‍රව යැ, ලෝකොත්තර යැ මාර්ගාඞ්ග යි. ඒ මහණ මිථ්‍යාසඞ්කල්පයාගේ ප්‍රහාණයට වෑයම් කරයි. සම්‍යක්සඞ්කල්පයාගේ ප්‍රතිලාභයට වෑයම් කරයි. ඒ ව්‍යායාමය ඔහුට සම්මාවායාම වෙයි. හේ ස්මෘතිමත් වූයේ මිථ්‍යාසඞ්කල්පය දුරලයි. ස්මෘතිමත් වූයේ සම්‍යක්සඞ්කල්පය උපදවා වෙසෙයි. ඔහුට ඒ ස්මෘතිය සම්මාසති වෙයි. මෙසේ මේ තුන් ධර්‍මයෝ (සහජාත ද පුරේජාත ද වී) සම්‍යක්සඞ්කල්පය අනුව යෙති. අනුව වැටෙත්, ඒ කවර තුන් දහම්හ යත්: සම්මාදිට්ඨි, සම්මාවායාම, සම්මාසති යන මොහු යි.

මහණෙනි, ඒ (ආර්‍ය්‍ය සම්‍යක් සමාධියෙහි) ලා සම්‍යක්දෘෂ්ටි පූර්වාඞ්ගම වෙයි. කිසෙයින්, මහණෙනි, සම්‍යග්දෘෂ්ටි පූර්වාඞ්ගම වෙයි යත්: මිථ්‍යාවචනය ‘මිථ්‍යාවචන’ යයි දැනගනී. සම්‍යග්වචනය ‘සම්‍යග්වචන’ යයි දැනගනී. ඒ දැනුම ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි.

මහණෙනි, මිථ්‍යාවාක්‍ කවර යත්: මෘෂාවාද, පිශුනවාක්‍, පරුෂවාක්, ප්‍රලාප යැ. මහණෙනි, මේ මිථ්‍යාවාක්‍ නමි.

මහණෙනි, සම්‍යග්වචන කවරෙ යත්: මහණෙනි, මම සම්‍යග්වචන ද දෙපරිදි කොට කියමි: මහණෙනි, සාස්‍රව වූ පුණ්‍ය කොටසෙහි වූ උපධිවිපාක දෙන සම්‍යග්වචනයෙක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව ලෝකොත්තර මාර්ගාඞ්ග වූ සම්‍යග්වචනයෙක් ඇති.

මහණෙනි, සාස්‍රව පුණ්‍ය කොටසෙහි වූ උපධිවිපාකය දෙන සම්‍යග්වචන කවරෙ යත්: මුසවායෙන් වෙන්වීම යැ, පිසුනුබසින් වෙන්වීම යැ, පරොස්බසින් වෙන්වීම යැ, ප්‍රලාපයෙන් වෙන්වීම යි. මහණෙනි, මේ සම්‍යග්වචනය සාස්‍රව යැ, පුණ්‍යභාගයෙහි වූයෙ යැ උපධිවිපාක දෙනුයේ යි.

මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව ලෝකොත්තර මාර්ගාඞ්ග වූ සම්‍යග්වචන කවරෙ යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්ගසමඞ්ගී වූ ආර්‍ය්‍ය මාර්ගය වඩනුවහුගේ සිව්වැදෑරුම් වාග්දුශ්චරිතයෙන් ම යම් දුරු වීමෙක් වෙන්වීමෙක්, නැවැත්මෙක්, විරමණයෙක් ඇද්ද, මහණෙනි, මේ සම්‍යග්වචනය ආර්‍ය්‍ය යැ, අනාස්‍රව යැ, ලෝකොත්තර යැ මාර්ගාඞ්ග යි. ඒ මහණ මිථ්‍යාවචනයාගේ ප්‍රහාණයට, සම්‍යග්වචනයාගේ ප්‍රතිලාභයට වෑයම් කෙරෙයි. ඒ වෑයම ඔහුට සම්මාවායාම වෙයි. හේ ස්මෘතිමත් වූයේ මිථ්‍යාවාක්‍ දුරලයි. ස්මෘතිමත් වූයේ සම්‍යග්වචනය උපදවා වෙසෙයි. ඒ ස්මෘතිය ඔහුට සම්මාසති වෙයි. මෙසේ මේ තුන් දහම්හු සම්‍යග්වචනය අනුව යෙති, අනුව වැටෙත්, ඒ කවර තුන් දහම්හ යත්: සම්‍යග්දෘෂ්ටි, සම්‍යග්ව්‍යායාම, සම්‍යග්ස්මෘති යන මොහු යි.

මහණෙනි, ඒ සම්‍යක්සමාධියෙහි ලා සම්‍යග්දෘෂ්ටි පූර්වාඞ්ගම වෙයි. මහණෙනි, කිසෙයින් සම්‍යග්දෘෂ්ටි පූර්වාඞ්ගම වෙයි යත්: මිථ්‍යාකර්මාන්තය මිථ්‍යාකර්මාන්ත යැයි දැනගනී. සම්‍යක්කර්මාන්තය සම්‍යක්කර්මාන්ත යැ යි දැනගනී. ඒ දැනුම ඔහුට සම්මාදිට්ඨි වෙයි.

මහණෙනි, මිථ්‍යා කර්‍මාන්ත කවර යත්: පරපණ නැසුම යැ, අයිනාදන් ගැනුම යැ, කාමයෙහි මිසහසර යි. මහණෙනි, මේ මිථ්‍යා කර්‍මාන්ත යි.

මහණෙනි, සම්‍යක්කර්‍මාන්ත කවරෙ යත්: මහණෙනි, මම සම්‍යක්කර්‍මාන්තයත් දෙපරිදි කොට කියමි: මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගයෙහි වූ උපධිවිපාක දෙන සම්‍යක්කර්‍මාන්තයෙක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව ලෝකොත්තර මාර්ගාඞ්ග වූ සම්‍යක්කර්‍මාන්තයෙක් ඇති.

මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාක දෙන සම්‍යක්කර්‍මාන්ත කවරෙ යත්: පරපණ නැසීමෙන් වැළකීම යැ, අයිනාදනින් වැළකීම යැ, කාමයෙහි මිසහසරින් වැලකීම යැ. මහණෙනි, මේ ආස්‍රව සහිත පුණ්‍යභාගයෙහි වූ උපධිවිපාක දෙන සම්‍යක්කර්‍මාන්ත යි.

මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව ලෝකොත්තර මාර්ගාඞ්ග වූ සම්‍යක්කර්‍මාන්තය කවරෙ යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්ගසමඞ්ගී වූ ආර්‍ය්‍ය මාර්ගය වඩනුවහුගේ තුන් කායදුශ්චරිතයෙන් ම යම් දුරුවීමෙක් වෙන්වීමෙක් නැවැත්මෙක් විරමණයෙක් ඇද්ද, මහණෙනි, මේ සම්‍යක්කර්‍මාන්තය ආර්‍ය්‍ය යැ, අනාස්‍රව යැ, ලෝකොත්තර යැ මාර්ගාඞ්ග යි. ඒ මහණ මිථ්‍යාකර්‍මාන්තයාගේ ප්‍රහාණය පිණිස සම්‍යක්කර්‍මාන්තයාගේ ප්‍රතිලාභය පිණිස වෑයම් කෙරෙයි. ඒ වෑයම ඔහුට සම්මාවායාම වෙයි. හේ ස්මෘතිමත්ව මිථ්‍යාකර්‍මාන්තය දුරලයි. ස්මෘතිමත් ව සම්‍යක්කර්‍මාන්තය උපදවා වෙසෙයි. ඒ ස්මෘතිය ඔහුට සම්මාසති වෙයි. මෙසේ මේ තුන් දහම්හු සම්‍යක්කර්‍මාන්තය අනුව යෙති, අනුව වැටෙත්, ඒ කවරහ යත්: සම්‍යග්දෘෂ්ටි, සම්‍යග්ව්‍යායාම, සම්‍යක්ස්මෘති යන මොහු යි.

මහණෙනි, ඒ ආර්‍ය්‍ය සම්‍යක් සමාධියෙහි ලා සම්‍යග්දෘෂ්ටිය පූර්වාඞ්ගම වෙයි. මහණෙනි, කිසෙයින් සම්‍යග්දෘෂ්ටි පූර්වාඞ්ගම වෙයි යත්: මිථ්‍යාආජීව‍ය මිථ්‍යාආජීව‍ය යි දැනගනී. සම්‍යග්ආජීව‍ය සම්‍යගාජීව‍ය යි දැනගනී. ඔහුට ඒ දැනුම සම්මාදිට්ඨි වෙයි.

මහණෙනි, මිථ්‍යා ආජීව‍ කවර යත්: ත්‍රිවිධ කුහනවස්තුයෙන් ලොව විස්මයපත් කිරීම යැ, ලාභ සත්කාරාශයෙන් බිණීම යැ, නිමිත්ත ශීලී බව යැ, නිෂ්පෙසික බව යැ, ලාභයෙන් ලාභ සොයන බව යැ යන මේ මහණෙනි මිථ්‍යාජීව නම් වෙයි.

මහණෙනි, සම්‍යගාජීව කවරෙ යත්: මහණෙනි, මම සම්‍යගාජීවයත් දෙවැදෑරුම් කොට කියමි: මහණෙනි, සාස්‍රව වූ පුණ්‍යභාගිය වූ උපධිවිපාක උපදවන සම්‍යගාජීවයෙක් ඇත. මහණෙනි, ආර්‍ය්‍ය වූ අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඞ්ග වූ සම්‍යගාජීවයෙක් ඇති

මහණෙනි, සාස්‍රව පුණ්‍යභාගිය වූ උපධිවිපාක දෙන සම්‍යගාජීවය කවරෙ යත්: මහණෙනි මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මිථ්‍යාආජීවය හැරපියා සම්‍යගාජීවයෙන් ජීවිකාව කෙරෙයි. . මහණෙනි, මේ සම්‍යගාජීවය සාස්‍රව යැ, පුණ්‍යභාගිය යැ, උපධිවිපාක දෙනුයේ යි.

මහණෙනි, ආර්‍ය්‍ය අනාස්‍රව වූ ලෝකොත්තර මාර්ගාඞ්ග වූ සම්‍යගාජීවය කවරෙ යත්: මහණෙනි, ආර්‍ය්‍ය සිත් ඇති අනාස්‍රව සිත් ඇති ආර්‍ය්‍යමාර්ගසමඞ්ගී වූ ආර්‍ය්‍යමාර්ගය වඩනුවහුගේ මිථ්‍යාආජීවයෙන් යම් දුරු වීමෙක්, වෙන්වීමෙක්, නැවැත්මෙක්, විරමණයෙක් වේද, මහණෙනි, මේ සම්‍යගාජීවය ආර්‍ය්‍ය යැ, අනාස්‍රව යැ, ලෝකොත්තර යැ මාර්ගාඞ්ග යි. ඒ මහණ මිථ්‍යාආජීවයාගේ ප්‍රහාණයට සම්‍යගාජීවයාගේ ප්‍රතිලාභය වෑයම් කෙරෙයි. ඔහුගේ ඒ වෑයම සම්මාවායාම වෙයි. හේ ස්මෘතිමත්ව මිථ්‍යාජීවය දුරු කෙරෙයි. ස්මෘතිමත් ව සම්‍යගාජීවයට පැමිණ වෙසෙයි. ඒ ස්මෘතිය ඔහුට සම්මාසති වෙයි. මෙසේ මේ තුන් දහම්හු සම්‍යගාජීවය අනුව යෙති, අනුව වැටෙත්, ඒ කවරහ යත්: සම්‍යග්දෘෂ්ටි, සම්‍යග්ව්‍යායාම, සම්‍යක්ස්මෘති යන මොහු යි.

මහණෙනි, ඒ ආර්‍ය්‍ය සම්‍යක්සමාධියෙහි ලා සම්‍යග්දෘෂ්ටිය පූර්වාඞ්ගම වෙයි. කිසෙයින් මහණෙනි, සම්‍යග්දෘෂ්ටි පූර්වාඞ්ගම වෙයි යත්: මහණෙනි, මාර්ගසම්‍යග් දෘෂ්ටියෙහි සිටි පුඟුල් හට මාර්ගසම්‍යක්සඞ්කල්පය පොහොනේ වෙයි. සම්‍යක්සඞ්කල්පයෙහි සිටියහුට සම්‍යග්වාචා පොහොනේ වෙයි. සම්‍යග්වචනයෙහි සිටියහුට සම්‍යක්කර්මාන්තය පොහොයි. සම්‍යක්කර්මාන්තයෙහි සිටියහුට සම්‍යගාජීවය පොහොයි. සම්‍යගාජීවයෙහි සිටියහුට සම්‍යග්ව්‍යායාමය පොහොනේ වෙයි. සම්‍යග්ව්‍යායාමයෙහි සිටියහුට සම්‍යක්සතිය පොහොනේ වෙයි. සම්‍යක්සතියෙහි සිටියහුට සම්‍යක්සමාධිය පොහොනේ වෙයි. සම්‍යක්සමාධියෙහි සිටි පුඟුල් හට ප්‍රත්‍යවේක්ෂණ සංඛ්‍යාත සම්‍යක්ඥානය පොහොයි. ප්‍රත්‍යවේක්ෂණ සම්‍යග්ඥානයෙහි සිටි පුඟුල් හට සම්‍යග්විමුක්තිය පොහොනේ වෙයි. මහණෙනි, මෙසෙයින් ශෛක්ෂ අෂ්ටාඞ්ග සමන්වාගත වෙයි. රහත්හු දශාඞ්ග සමන්වාගත වෙත්.

මහණෙනි, ඒ ආර්‍ය්‍ය සම්‍යක්සමාධියෙහි ලා සම්‍යග්දෘෂ්ටිය පූර්වාඞ්ගම වෙයි. මහණෙනි, කෙසෙයින් සම්‍යග්දෘෂ්ටිය පූර්වාඞ්ගම වෙයි යත්: මහණෙනි සම්‍යග්දෘෂ්ටියෙහි සිටි පුඟුල් හට මිථ්‍යාදෘෂ්ටි නිර්ජීර්ණ වෙයි. මිථ්‍යාදෘෂ්ටි හේතුයෙන් යම් ලාමක වූ අනෙක අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු නිර්ජීර්ණ වෙත්. යලි සම්‍යග්දෘෂ්ටි හේතුයෙන් නොයෙක් කුශල ධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.

මහණෙනි, සම්‍යක්සඞ්කල්පයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාසඞ්කල්පය නිර්ජීර්ණ වෙයි. මිථ්‍යාසඞ්කල්ප හේතුයෙන් නොයෙක් ලාමක වූ අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු නිර්ජීර්ණවෙත්. සම්‍යක්සඞ්කල්ප හෙතුයෙනුදු නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.

මහණෙනි, සම්‍යග්වචනයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාවාක්‍ නිර්ජීර්ණ වෙයි. මිථ්‍යාවාක්‍ හේතුයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු නිර්ජීර්ණවෙත්. යලි සම්‍යග්වාචා හෙතුයෙන් නොයෙක් කුශලධර්‍මයෝ වැඩීමෙන් පිරීමට යෙත්.

මහණෙනි, සම්‍යක්කර්මාන්තයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාකර්මාන්තය නිර්ජීර්ණ වෙයි. මිථ්‍යාකර්මාන්තප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු නිර්ජීර්ණවෙත්. යලි සම්‍යක්කර්මාන්තප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.

මහණෙනි, සම්‍යගාජීව‍යෙහි සිටි පුඟුල් හට මිථ්‍යාජීව‍ය නිර්ජීර්ණ වෙයි. මිථ්‍යාජීව‍ප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ සම්භව වෙත් ද, ඔහුදු නිර්ජීර්ණ වූවාහු වෙත්. සම්‍යගාජීව‍ප්‍රත්‍යයෙනුදු නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.

මහණෙනි, සම්‍යග්ව්‍යායාමයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාව්‍යායාමය නිර්ජීර්ණ වූයේ වෙයි. මිථ්‍යාව්‍යායාමප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුශලධර්‍මයෝ සම්භව වෙත් ද, ඔහුදු නිර්ජීර්ණ වූවාහු වෙත්. යලි සම්‍යග්ව්‍යායාමප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.

මහණෙනි, සම්‍යක්ස්මෘතියෙහි සිටි පුඟුල් හට මිථ්‍යාස්මෘතිය නිර්ජීර්ණ වෙයි. මිථ්‍යාස්මෘතිප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුශලධර්‍මයෝ සම්භව වෙත් ද, ඒ අකුශලයෝ ද ඔහුට නිර්ජීර්ණ වූවාහු වෙත්. යලි සම්‍යක්ස්මෘතිප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.

මහණෙනි, සම්‍යක්සමාධියෙහි සිටි පුඟුල් හට මිථ්‍යාසමාධිය නිර්ජීර්ණ වෙයි. මිථ්‍යාසමාධි හේතුයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු ඔහුට නිර්ජීර්ණ වූවාහු වෙත්. යලි සම්‍යක්සමාධි හේතුයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.

මහණෙනි, සම්‍යග්ඥානයෙහි සිටි පුඟුල් හට මිථ්‍යාඥානය නිර්ජීර්ණ වෙයි. මිථ්‍යාඥානප්‍රත්‍යයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ වෙත් ද, ඔහුදු ඔහුට නිර්ජීර්ණවෙත්. යලි සම්‍යග්ඥාන හේතුයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.

මහණෙනි, සම්‍යග්විමුක්තියෙහි සිටි පුඟුල් හට මිථ්‍යාවිමුක්තිය නිර්ජීර්ණ වෙයි. මිථ්‍යාවිමුක්ති හේතුයෙන් යම් නොයෙක් පාපක අකුශල ධර්‍මයෝ සම්භව වෙත් ද, ඔහුදු ඔහුට නිර්ජීර්ණ වූවාහු වෙත්. යලි සම්‍යග්විමුක්ති හේතුයෙන් නොයෙක් කුශලධර්‍මයෝ භාවනායෙන් පිරීමට යෙත්.

මහණෙනි, මෙපරිද්දෙන් (සම්මාදිට්ඨි ආදි දස යැ, යළි සම්මාදිට්ඨි ප්‍රත්‍යයෙන් අනෙක කුශලධර්මයෝ වෙති’ යි ආදීන් වදාළ දස යැයි) කුශලපක්‍ෂයෙහි වූ විසි ධර්‍මයෝ යැ, (‘මිච්ඡාදිට්ඨි නිජ්ජිණ්ණා හොති’ යනාදීන් වදාළ මිච්ඡාදිට්ඨි ආදි දස යැ, ‘මිච්ඡාදිට්ඨි පපච්චයා අනෙකෙ’ යනාදීන් වදාළ දස යැයි) අකුශලපක්‍ෂයෙහි වූ විසි ධර්‍මයෝ යැ යන ශ්‍රමණයක්හු විසින් හෝ බ්‍රාහ්මණයක්හු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවක්හු විසින් හෝ නො පවත්වාලිය හැකි මහාචත්තාරීසක ධර්‍මපර්යාය පවත්වන ලද්දේ යි.

මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි මේ මහාචත්තාරීසක ධර්‍මපර්යාය ගැරහිය යුතු යැ, බැහැර කළ යුතු යයි සිතන්නේ නම්, දිටුදැමියෙහි මැ (පරා විසින් කී කරුණෙන්) සකාරණ ව ඔහුගේ වාදානුවාදයෝ දස දෙනෙක් විඥයන් විසින් ගැරහිය යුතු තැනට පැමිණෙත්. ඉදින් භවත් සම්‍යග්දෘෂ්ටිය ගරහා නම් යම් මැ මිසදුටු ගත් මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍යයෝ වෙති. ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙති. ඉදින් භවත් සම්‍යක්සඞ්කල්ප ගරහා නම්, මිථ්‍යාසඞ්කල්ප ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යග්වචන ගරහා නම්, මිථ්‍යාවචන ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යක්කර්මාන්ත ගරහා නම්, මිථ්‍යාකර්මාන්ත ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යගාජීව ගරහා නම් මිථ්‍යාජීව ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යග්ව්‍යායාම ගරහා නම්, මිථ්‍යාව්‍යායාම ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍යයෝ වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යක්ස්මෘති ගරහා නම්, මිථ්‍යාස්මෘති ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යක්සමාධි ගරහා නම්, මිථ්‍යාසමාධි ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යග්ඥානය ගරහා නම්, මිථ්‍යාඥාන ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්. ඉදින් භවත් සම්‍යග්විමුක්ති ගරහා නම්, මිථ්‍යාවිමුක්ති ඇති යම් මැ මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඔහු භවතුන් විසින් පුජ්‍ය වෙති, ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙත්.

මහණෙනි, යම කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි මේ මහාචත්තාරීසක ධර්‍ම ක්‍රමය ගැරහියැ යුතු කොට, පිළිකෙව් කළ යුතු කොට හඟනේ නම්, මෙලොව්හි මැ ඔහුගේ මේ දස වාදානුවාදයෝ සකාරණ ව ගැරහිය යුතු තැනට එත්.

මහණෙනි, උක්කල දනව්වැසි අහෙතුකවාද, අක්‍රියවාද, නාස්තිකවාද ඇති වස්සභඤ්ඤ නම් වාදී කෙනෙක් වුහු ද, ඔහුදු මහාචත්තාරීසක ධර්‍මපරියාය නොගැරහියැ යුතු සේ පිළිකෙව් නො කළයුතු සේ සිතුහු. ඒ කවර හෙයින යත්? තමහට නින්දාභය හා ගැටුම් බිය හා පරිභාෂණ බියෙනැ’ යි වදාළහ.

භාග්‍යවතුන් වහන්සේ මේ මහාචත්තාරීසක සූත්‍රය වදාළ සේක. ප්‍රීතිසෞම්නස්‍යන් විසින් ගත් සිත් ඇති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව පිලිගත්හු.

සත්වැනිමහාචත්තාරීසකසූත්‍රය නිමියේ ය.