සප්පුරිස සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

උපරිපණ්ණාසකයෙහි

දෙවැනි  වූ අනුපද වර්ගය

3.2.3

සප්පුරිස සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූන් ‘වහන්සැ’ යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහු. භාග්‍යවතුන් වහන්සේ තෙල සත්පුරුෂ සූත්‍රය වදාළ සේක:

මහණෙනි, තොපට සත්පුරුෂධර්මය හා අසත්පුරුෂධර්මය හා දෙසමි. එය අසව. මනා කොට මෙනෙහි කරව, කියමි’ යි.

වහන්ස, එසේ යයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙලවදාළ සේක:

මහණෙනි, අසත්පුරුෂධර්ම නම් කවරෙ යත්: මහණෙනි, මෙලොවැ පාපපුරුෂ (කැත් බමුණු) උසස් කුලයෙන් පැවිදි වූයේ වෙයි. හේ මෙසේ සලකයි: ‘මම් වනාහි උසස් කුලෙන් නික්ම පැවිදි වූයෙමි. මේ තෙසු භික්ෂූහු උසස් කුලෙන් පැවිදි නො වූහ’ කියා යි, හේ ඒ උසස් කුල ඇති බැවින් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්මයෙක. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘උච්චාකුලීන භාවයෙන් ලොභ ධර්මයෝ හෝ පරීක්ෂයට නොයෙති, ද්වෙෂධර්මයෝ හෝ පරීක්ෂයට නොයෙති, මොහධර්මයෝ හෝ පරීක්ෂයට නොයෙති. ඉදින් උසස් කුලයෙන් පැවිදි නොවූයේ නමුදු හේ ද ධර්මානුධර්මප්‍රතිපන්න වී නම්, සාමීචිප්‍රතිපන්න වී නම්, අනුධර්මයෙහි හැසිරෙන සුලු වී නම්, හේ ඒ මහණුන් කෙරෙහි පුජාර්හ වෙයි, හේ ඒ මහණුන් කෙරෙහි ප්‍රශංසාර්හ වෙයි කියා’ යි. හේ ප්‍රතිපදාව ම අභ්‍යන්තර කොට තබා ඒ උච්චා කුලීනතාහේතුයෙන් තමා හුවන්නේ නො වෙයි, මෙරමා හෙළාදක්නේ නො වෙයි. මහණෙනි, මේ සත්පුරුෂධර්මයි.

තවද මහණෙනි, අසත්පුරුෂ (කැත් බමුණු ගැහැවි යන) මහාකුලයෙන් නික්ම පැවිදි වූයේ වෙයි ... මහාභොග ඇති කුලයෙන් නික්ම පැවිදි වූයේ වෙයි ... උදාරභොගකුල සංඛ්‍යාත සතරකුලයෙන් නික්ම පැවිදි වූයේ වෙයි. හේ මෙසේ සලකයි: ‘මම් වනාහි උදාර භොග ඇති කුලයෙන් නික්ම පැවිදි වූයෙම් වෙමි. මේ සෙසු භික්ෂූහු උදාරභොග කුලයෙන් නික්ම පැවිදි වූවාහු නො වෙති කියා’ යි. හෙ ඒ උදාරභොගතායෙන් තමාහුවන්නේ වෙයි. මෙරමා හෙළාදක්නේ වෙයි. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘උදාරභොගතායෙන් ලොභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වෙෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මොහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. උදාර භොග ඇති කුලයෙන් නික්ම පැවිදි නො වූයේ නමුදු හේ ධර්මානුධර්මයෙහි පිළිපන්නේ වේ ද, සාමීචිධර්මයෙහි පිළිපන්නේ වේ ද, අනුධර්මය පුරනසුලු වේ ද, හේ ඒ භික්ෂූන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ භික්ෂූන් කෙරෙහි ප්‍රශංසාර්හ වෙයි කියා’ යි. හේ පිළිවෙත ම අභ්‍යන්තර කොට තබා ඒ උදාරභොගතාහෙතුයෙන් තමා හුවන්නේ නො වෙයි, මෙරමා හෙළාදක්නේ නො වෙයි. මෙ ද මහණෙනි, සත්පුරුෂධර්ම යි.

තවද මහණෙනි, අසත්පුරුෂ ප්‍රසිද්ධ වූයේ පරිවාර සම්පන්න වූයේ වෙයි. හේ මෙසේ ප්‍රත්‍යවෙක්ෂණ කෙරෙයි: ‘මම වනාහි ප්‍රසිද්ධ වූයෙම් වෙමි, පරිවාරසම්පන්න වූයෙම් වෙමි. මේ සෙසු භික්ෂූහු වනාහි අප්‍රසිද්ධයහ, අල්පපරිවාර ඇතියහ කියා’ යි. හේ ඒ ඥාතභාවහෙතුයෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ ප්‍රත්‍යවෙක්ෂණ කෙරෙයි: ‘ඥාතභාවහෙතුයෙන් ලොභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වෙෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මොහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. ප්‍රසිද්ධ නො වූයේ නමුදු පරිවාරසම්පන්න නො වූයේ නමුදු හේ ධර්මානුධර්මයෙහි පිළිපන්නේ වේ ද, සාමීචිධර්මයෙහි පිළිපන්නේ වේ ද, අනුධර්මය පුරනසුලු වේ ද, හේ ඒ භික්ෂූන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ භික්ෂූන් කෙරෙහි ප්‍රශංසාර්හ වෙයි කියා’ යි. හේ පිළිවෙත ම අභ්‍යන්තර කොට තබා ඒ ඥාතභාවහෙතුයෙන් තමා හුවන්නේ නො වෙයි, මෙරමා හෙළාදක්නේ නො වෙයි. මහණෙනි මෙ ද සත්පුරුෂ ධර්ම යි.

තවද මහණෙනි, අසත්පුරුෂ සිවුරුපිඬුවාසෙනසුන්ගිලන්පසබෙහෙත්පිරිකර ලබන සුලු වෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි සිවුරුපිඬුවාසෙනසුන්ගිලන්පසබෙහෙත්පිරිකර ලබනසුලුයෙම් වෙමි. මේ සෙසු භික්ෂූහු සිවුරුපිඬුවාසෙනසුන්ගිලන්පසබෙහෙත්පිරිකර නොලබනසුලු වෙති කියා’ යි. හේ ඒ ලාභහෙතුයෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘ලාභ හෙතුයෙන් ලොභධර්මයෝ හෝ පරික්ෂයට නොයෙති, ද්වේෂධර්‍මයෝ හෝ පරික්ෂයට නො යෙති, මොහධර්මයෝ හෝ පරික්ෂයට නොයෙති. සිවුරුපිඬුවාසෙනසුන්ගිලන්පසබෙහෙත්පිරිකර නොලබනසුලු වුව ද, හේ ධර්මානුධර්මයෙහි පිළිපන්නේ වේ නම්, සාමීචිධර්මයෙහි පිළිපන්නේ වේ නම්, අනුධර්මය පුරනසුලු වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ මහණුන් කෙරෙහි ප්‍රශංසාර්හ වෙයි කියා’ යි. හේ පිළිවෙත මැ අභ්‍යන්තර කොට ගෙන ඒ ලාභහෙතුයෙන් තමා හුවාගන්නේ නො වෙයි, මෙරමා හෙළාදක්නේ හෝ නො වෙයි. මහණෙනි මෙ ද සත්පුරුෂ ධර්ම යි.

තවද මහණෙනි, අසත්පුරුෂ බහුශ්‍රැත වෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි බහුශ්‍රැතයෙමි. මෙ සෙසු භික්ෂූහු බහුශ්‍රැතයෝ නො වෙති’ කියායි. හේ ඒ බහුශ්‍රැතභාවයෙන් තමා හුවාදකී, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘බහුශ්‍රැතභාවයෙන් ලොභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මොහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. බහුශ්‍රැත නො වුව ද, හේ ධර්මානුධර්මයෙහි පිළිපන්නේ නම්, සාමීචිධර්මයෙහිත් පිළිපන්නේ වේ නම්, අනුධර්මය පුරන සුලු වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ මහණුන් කෙරෙහි ප්‍රශංසාර්හ වෙයි’ කියා යි. හේ ප්‍රතිපත් ම කරුණු කොට ගෙන ඒ බහුශ්‍රැතභාවයෙන් තමා නොහුවන්නේ යැ, මෙරමා නො හෙළාදක්නේ යැ. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්මයි.

තවද මහණෙනි, අසත්පුරුෂ විනයධර වෙයි. හේ මෙසේ ප්‍රත්‍යවෙක්ෂණ කෙරෙයි: ‘මම වනාහි විනයධර වෙමි. මෙ සෙසු භික්ෂූහු විනයධර නො වෙති’ කියායි. හේ ඒ විනයධරභාවයෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ ප්‍රත්‍යවෙක්ෂණ කෙරෙයි: ‘විනයධරභාවයෙන් ලොභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මොහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. විනයධර නො වුව ද, හේ ධර්මානුධර්මයට පැමිණියේ වේ නම්, සාමීචිධර්මයට පැමිණියේ වේ නම්, අනුධර්මචාරී වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ මහණුන් කෙරෙහි ප්‍රශංසාර්හ වෙයි’ කියා යි. හේ පිළිවෙත ම කරුණු කොට ගෙන ඒ විනයධරභාවයෙන් තමා නො හුවයි. මෙරමා නොහෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්මයි.

තවද මහණෙනි, අසත්පුරුෂ ධර්මකථික වෙයි. හේ මෙසේ සිතයි: ‘මම ධර්මකථිකයෙමි. මෙ සෙසු භික්ෂූහු ධර්මකථිකයෝ නො වෙති’ කියායි. හේ ඒ ධර්මකථිකභාවයෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙද අසත්පුරුෂ ධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සිතයි: ‘ධර්මකථිකභාවයෙන් ලොභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මොහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. ධර්මකථික නො වුව ද, හේ ධර්මානුධර්මය පිළිපදනේ වේ නම්, සාමීචිධර්මය පිළිපදනේ වේ නම්, අනුධර්මචාරී වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හෙ මහණුන් කෙරෙහි ප්‍රශංසාර්හ වෙයි’ කියා යි. හේ පිළිවෙත ම කරුණු කොට ගෙන ඒ ධර්මකථිකභාවයෙන් තමා නො හුවයි. මෙරමා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්මයි.

තවද මහණෙනි, අසත්පුරුෂ ආරණ්‍යක වෙයි. හේ මෙසේ සලකයි: ‘මම ආරණ්‍යක යෙමි. මේ සෙසු භික්ෂූහු ආරණ්‍යක නො වෙති’ කියායි. හේ ඒ ආරණ්‍යක භාවයෙන් තමා හුවාගනී. පරා හෙළාදකී. මහණෙනි, මෙද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘ආරණ්‍යකභාවයෙන් ලොභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මොහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. ආරණ්‍යක නො වුව ද, හේ ධර්මානුධර්මප්‍රතිපන්න වේ නම්, සාමීචිධර්ම ප්‍රතිපන්න වේ නම්, අනුධර්මචාරී වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හෙ ඒ මහණුන් කෙරෙහි ප්‍රශංසාර්හ වෙයි’ කියා යි. හේ පිළිවෙත ම කරුණු කොට ගෙන ඒ ආරණ්‍යක භාවයෙන් තමා නො හුවයි. පරා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්මයි.

තවද මහණෙනි, අසත්පුරුෂ පංසකුලික වෙයි. හේ මෙසේ සලකයි: ‘මම පංසකුලිකයෙමි. මේ සෙසු භික්ෂූහු පංසකුලික නො වෙති’ කියායි. හේ ඒ පංසකුලික භාවයෙන් තමා හුවාගනී. පරා හෙළාදකී. මහණෙනි, මෙද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ ද වනාහි මෙසේ සිතයි: ‘පංසකුලික භාවයෙන් ලොභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මොහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙත්. පංසකුලික නො වුවද, හේ ධර්මානුධර්ම ප්‍රතිපන්න වේ නම්, සාමීචිධර්මප්‍රතිපන්න වේ නම්, අනුධර්මචාරී වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හෙ මහණුන් කෙරෙහි ප්‍රශංසාර්හ වෙයි’ කියා යි. හෙ පිළිවෙත ම කරුණු කොටගෙන ඒ පසුකුලික භාවයෙන් තමා නො හුවයි. පරා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්ම යි.

තවද මහණෙනි, අසත්පුරුෂ පිණ්ඩපාතික වෙයි. හේ මෙසේ සිතයි: ‘මම වනාහි පිණ්ඩපාතිකයෙමි. මේ සෙසු භික්ෂූහු පිණ්ඩපාතිකයෝ නො වෙති’ කියායි. හේ ඒ පිණ්ඩපාතික භාවයෙන් තමා හුවයි. පරා හෙළාදකී. මහණෙනි, මෙද අසත්පුරුෂ ධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සිතයි: ‘පිණ්ඩපාතිකභාවයෙන් ලොභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. පිණ්ඩපාතික නො වුව ද ධර්මානුධර්ම ප්‍රතිපන්න වේ නම්, සාමීචිධර්මප්‍රතිපන්න වේ නම්, අනුධර්මචාරී වේ නම්, හේ ඒ මහණුන් කෙරෙහි පූජාර්හ වෙයි, හෙ මහණුන් කෙරෙහි ප්‍රශංසාර්හ වෙයි’ කියා යි. හේ පිළිවෙත ම කරුණු කොටගෙන ඒ පිණ්ඩපාතිකභාවයෙන් තමා නො හුවයි. පරා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්මයි.

තවද මහණෙනි, අසත්පුරුෂ රුක්ඛමූලික වෙයි. හේ මෙසේ ප්‍රත්‍යවෙක්ෂණ කෙරෙයි: ‘මම වනාහි රුක්ඛමූලිකයෙමි. මේ සෙසු භික්ෂූහු රුක්ඛමූලිකයෝ නො වෙති’ කියායි. හේ ඒ රුක්ඛමූලිකභාවයෙන් තමා හුවයි. පරා හෙළාදකී. මහණෙනි, මෙද අසත්පුරුෂ ධර්ම යි. මහණෙනි, සත්පුරුෂ මෙසේ ප්‍රත්‍යවෙක්ෂණ කෙරෙයි: ‘රුක්ඛමූලිකභාවයෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. රුක්ඛමූලික නො වුව ද ධර්මානුධර්මප්‍රතිපන්න වේ නම්, සාමීචිප්‍රතිපන්න වේ නම්, අනුධර්මචාරී වේ නම්, හේ ඒ භික්ෂූන් කෙරෙහි පූජාර්හ වෙයි, හෙ ඒ භික්ෂූන් කෙරෙහි ප්‍රශංසාර්හ වෙයි’ කියා යි. හේ පිළිවෙත ම කරුණු කොටගෙන ඒ රුක්ඛමූලිකභාවයෙන් තමා නො හුවන්නේ වෙයි. පරා නො හෙළාදක්නේ යැ. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්මයි.

තවද මහණෙනි, අසත්පුරුෂ සෝසානික වෙයි, .... අබ්භොකාසික වෙයි, ... නෙසජ්ජික වෙයි, ... යථාසන්ථතික වෙයි, ... එකාසනික වෙයි, හේ මෙසේ සලකයි: ‘මම එකාසනික වෙමි. මේ සෙසු භික්ෂූහු එකාසනික නො වෙති’ කියා යි. හේ ඒ එකාසනිකභාවයෙන් තමා හුවයි. මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි: ‘ඒකාසනික භාවයෙන් ලෝභධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, ද්වේෂධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති, මෝහධර්මයෝ හෝ පරික්ෂයට නො යෙති. ඒකාසනික නො වුව ද ධර්මානුධර්ම ප්‍රතිපන්න වෙ යි, සාමීචිප්‍රතිපන්න වෙයි, අනුධර්මචාරී වෙයි, හේ ඒ භික්ෂූන් කෙරෙහි පූජාර්හ වෙයි, හේ ඒ භික්ෂූන් කෙරෙහි ප්‍රශංසාර්හ වෙයි. හේ ප්‍රතිපදාව ම කරුණු කොටගෙන ඒ ඒකාසනිකභාවයෙන් තමා නො හුවයි. මෙරමා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්ම යි.

තවද මහණෙනි, අසත්පුරුෂ කාමයෙන් වෙන් වැ මැ අකුසල්දහමින් වෙන් වැ විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි ප්‍රථමධ්‍යානසමාපත්තිලාභී වෙමි. මේ සෙසු භික්ෂූහු ප්‍රථමධ්‍යානසමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ ප්‍රථමධ්‍යාන සමාපත්තියෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මේ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රථමධ්‍යාන සමාපත්තියෙනුදු තෘෂ්ණා රහිතබව වදාරන ලදි. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, එහෙයින් එය අන් පරිද්දෙකින් වෙයි කියා යි. හේ තෘෂ්ණා රහිතබව මැ කරුණු කොට ගෙන් ඒ ප්‍රථමධ්‍යානසමාපත්තියෙන් තමා නො මැ හුවයි, මෙරමා නො හෙළා දකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්ම යි.

තවද මහණෙනි, අසත්පුරුෂ විතර්ක විචාරයන් සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිත පිලිබඳ එකඟ බව ඇති විතර්ක රහිත විචාර රහිත ප්‍රීති සුඛ ඇති ද්වීතිය ධ්‍යානය ... තෘතීය ධ්‍යානය ... චතුර්ත්ථ ධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි චතුර්ත්ථධ්‍යානසමාපත්තිලාභී වෙමි. මේ සෙසු භික්ෂූහු චතුර්ත්ථධ්‍යානසමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ චතුර්ත්ථ ධ්‍යානසමාපත්තියෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂ ධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් චතුර්ත්ථධ්‍යානසමාපත්තියෙනුදු තෘෂ්ණා රහිත බව වදාරන ලදි. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, ඒ හේතුයෙන් එය අන් පරිදි වෙයි’ කියා යි. හේ තෘෂ්ණා රහිතබව ම කරුණු කොට ගෙන ඒ චතුර්ත්ථධ්‍යානසමාපත්තියෙන් තමා නො හුවයි, මෙරමා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්ම යි.

තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ සර්වප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තංගමයෙන් නානාත්වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත යයි ආකාසානඤ්චායතන සමවතට පැමිණ වෙසෙයි. හේ මෙසේ සලකයි: ‘මම් වනාහි ආකාසානඤ්චායතනසමාපත්ති ලාභී වෙමි, මේ සෙසු භික්ෂූහු ආකාසානඤ්චායතනසමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ ආකාසානඤ්චායතනසමාපත්තියෙන් තමා හුවයි, මෙරමා හෙළාදකියි. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ආකාසානඤ්චායතනසමාපත්තියෙනුදු නිස්තෘෂ්ණා වදාරන ලදු. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, ඒ හේතුයෙන් අන් පරිදි වෙයි කියා යි. හේ නිස්තෘෂ්ණා බව මැ කරුණු කොට ගෙන ඒ ආකාසානඤ්චායතනසමාපත්තියෙන් තමා නො හුවයි, මෙරමා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්ම යි.

තවද මහණෙනි, අසත්පුරුෂ තෙමේ සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මැ විඥානය අනන්ත යයි විඤ්ඤාණඤ්චායතන සමවතට පැමිණ විහරණ කෙරෙයි. හේ මෙසේ සලකයි: ‘මම් වනාහි විඤ්ඤාණඤ්චායතනසමාපත්තිලාභී වෙමි. මේ සෙසු භික්ෂූහු විඤ්ඤාණඤ්චායතන සමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් තමා හුවයි, මෙරමා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන්වහන්සේ විසින් විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙනුදු නිස්තෘෂ්ණතාව වදාරන ලදු. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, එයින් එය අන් පරිදි වෙයි’ කියා යි. හේ නිස්තෘෂ්ණාව ම කරුණු කොට ගෙන ඒ විඤ්ඤාණඤ්චායතන සමාපත්තියෙන් තමා නො හුවයි, මෙරමා නො හෙළාදකී. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්ම යි.

තවද මහණෙනි, අසත්පුරුෂ සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය සමතික්‍රමණය කොට ‘කිසිදු නැති’යි ගෙනැ ආකිඤ්චඤ්ඤායතන සමවතට සම වැද විහාර කෙරෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිලාභී වෙමි. මේ සෙසු භික්ෂූහු ආකිඤ්චඤ්ඤායතනසමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් තමා හුවයි, පරා හෙළාදකී. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්මයි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙනුදු නිස්තෘෂ්ණාව වදාරන ලදු. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, එයින් එය අන් පරිදි වෙයි කියා යි. හේ නිස්තෘෂ්ණතාව මැ කරුණු කොට ගෙන ඒ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙන් තමා නො මැ හුවයි. පරා නො හෙළයි. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්ම යි.

තවද මහණෙනි, අසත්පුරුෂ සර්වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමවත උපයාගෙන විහාර කෙරෙයි. හේ මෙසේ සලකයි: ‘මම වනාහි නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිලාභී වෙමි. මේ සෙසු භික්ෂූහු නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිලාභීහු නො වෙති’ කියා යි. හේ ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිලාභයෙන් තමා හුවයි, පරා හෙළාදකියි. මහණෙනි, මෙ ද අසත්පුරුෂධර්ම යි. මහණෙනි, සත්පුරුෂ වනාහි මෙසේ සලකයි: ‘භාග්‍යවතුන් වහන්සේ විසින් නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙනුදු නිස්තෘෂ්ණතාව වදාරන ලදු. යම් යම් මඤ්ඤනායෙකින් මඤ්ඤනා කෙරෙත් ද, එයින් එය අන් පරිදි වෙයි’ කියා යි. හේ නිස්තෘෂ්ණතාව මැ කරුණු කොට ගෙන ඒ නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියෙන් තමා නො මැ හුවයි. පරා නො හෙළයි. මහණෙනි, මෙ ද සත්පුරුෂධර්ම යි.

තවද මහණෙනි, අසතපුරුෂ සර්වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය සමතික්‍රම කොට සඤ්ඤාවේදයිතනිරොධය උපයාගෙන විහරණ කෙරෙයි. ප්‍රඥායෙන් දැකීම් හෙතු කොට ගෙන් ඔහුගේ ආස්‍රවයෝ පරික්ෂීණ වෙති. මහණෙනි, මේ මහණ වනාහි කිසිදු පුඟුලකු ත්‍රිවිධ මඤ්ඤනායෙන් නො හඟනේ යැ. කිසිදු අවකාශයෙක ලා නො හඟනේ යැ. කිසිදු වස්තුයෙකිනුදු නො හඟනේ යැ යි වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළහ. ප්‍රීතිසෞමනස්‍ය විසින් ගන්නා ලද සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේ ගේ දෙශනා අභිනන්දයෙන් පිළිගත්හු.

තුන්වැනිසප්පුරිසසූත්‍රය නිමියේ ය.