ආනෙඤ්ජසප්පාය සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

 

මජ්ඣිම නිකායේ

 

මැඳුම් සඟියෙහි

 

උපරිපණ්ණාසකයෙහි

 

පලමු වැනි වූ දේවදහ වර්ගය

 

3.1.6

 

ආනෙඤ්ජසප්පාය සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුරුදනවියෙහි වූ කල්මාෂදම්‍ය නම් කුරුරට වැසියන් ගේ නියම්ගම්හි වැඩවාස කරන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යී භික්ෂූන් බණවා වදාළ සේක. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක.

මහණෙනි, වත්කම් කෙලෙස්කම්හු ඇතිවැ නැතිවන අටින් අනිත්‍යයහ, (නිත්‍යසාර ධ්‍රැවසාර ආත්මසාර විරහිතයෙන්) සිස්හ, නැසෙනුවහ, නැසෙනසැහැවි ඇතියව්හ. මහණෙනි, මායාවෙන් කරන ලද බාලලාපනයෙක, (බාලයන් ලවා මා ගේ යයි කියවනු යෙක). දෘෂ්ටධාර්මික වූ යම් මානුෂක පඤ්චකාමගුණ කෙනෙක් ඇද්ද, සාම්පරායික වූ යම් තදවශෙෂ කාම කෙනෙකුත් ඇද්ද, දෘෂ්ටධාර්මික වූ යම් කාමසංඥාවකුත් ඇද්ද, සාම්පරායික වූ යම් කාමසංඥාවකුත් ඇද්ද, තෙල කාම කාමසංඥා යන දෙක ම මාරායත්තයෙක (මාරයා ගේ වශයෙහි වැටෙයි) තෙල මාරයාගේ විෂයයෙක, තෙල මාරයා ගේ නිවාපයෙක, තෙල මාරයා ගේ ගොචරයෙක. මේ පස්කම් විෂයෙහි මෙනෙහි උපදනා අභිධ්‍යාව ද ව්‍යාපාදය ද (කරණුත්තරියකරණ ලක්ෂණ) සාරම්භය ද යන තෙල ලාමක අකුශල ධර්මයෝ පවත්නාහ. ඒ තුන් කෙලෙස්හු මෙ සස්නෙහි හික්මෙන ආර්‍ය්‍යශ්‍රාවක හට අන්තරාය පිණිස වෙත්.

මහණෙනි, එහි ලා ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් වෙත් ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥා කෙනෙකුත් යම් සාම්පරායික කාමසංඥා කෙනෙකුත් වෙත්ද, තෙල කාම කාමසංඥා යන දෙක ම මරුට තැන් වෙයි, තෙලෙ මරුට විෂය වෙයි, තෙලෙ මරුගේ නිවාප යැ, තෙල මරුගේ ගොචර යි. මේ කාමගුණ විෂයෙහි මානසික වූ අභිධ්‍යා යැ ව්‍යාපාද යැ සාරම්භ යැ යන තෙල ලාමක අකුශලධර්මයෝ පවත්නාහ. ඒ තුන් කෙලෙස්හු මෙ සස්නෙහි හික්මෙන ආර්‍ය්‍යශ්‍රාවක හට අන්තරාය පිණිස වෙති. මම් කාමගුණලොකය මැඩපියා, දැහැන් අරමුණු සිතින් ඉටා, විපුල වූ මහද්ගත වූ සිතින් යුක්ත ව වෙසෙම් නම් මැනව. යම්හෙයෙකින් කාමගුණලොකය මැඩපියා, දැහැන් අරමුණු සිතින් ඉටා, විපුල වූ මහත්ගත වූ සිතින් යුක්ත ව වෙසෙන මට චිත්තසම්භූත වූ අභිධ්‍යා යැ ව්‍යාපාද යැ සාරම්භ යැ යන යම් ලාමක අකුශල කෙනෙක් වෙත් නම්, ඔහු නො වන්නාහ. ඔවුන්ගේ ප්‍රහාණයෙන් මාගේ සිත (ලොකොත්තර විසින්) මහද්ගත ද අප්‍රමාණ ද සුභාවිත ද වන්නේය’යි. මෙසේ පිළිපන් එ මැ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත (අර්හත්ත්වාදි) කාරණයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. ආනෙඤ්ජ (චතුර්ථධ්‍යාන) සමාපත්තියට හෝ සමවදියි. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි. යම්හෙයෙකින් ඒ භික්ෂූහු ගේ උපදනට නිසි විපාක විඥානය වී ද, එය කුශලානෙඤ්ජස්වභාවයට පැමිණියේ වන්නේ ය. මහණෙනි, මේ පළමුවන ආනෙඤ්ජසප්පාය (චතුර්ථධ්‍යානයට හිත වූ) ප්‍රතිපදාව යයි කියනු ලැබේ.

යළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාම කෙනෙකුත් යම් සාම්පරායිකකාම කෙනෙකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් කිසි රූපයෙක් ඇද්ද, (එ හැම) සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා පවත්නා රුපය දැ’ යි (කියායි). මෙසේ පිළිපන් එ මැ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත (අර්හත්වාදි) කාරණයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. ආනෙඤ්ජසමාපත්තියට හෝ සමවදියි. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහුගේ උපදනට නිසි විපාක විඥානය වී නම්, එය කුශලානෙඤ්ජස්වභාවයට පැමිණියේ වන්නේ ය. මහණෙනි, මේ දෙවැනි චතුර්ථධ්‍යාන සංඛ්‍යාත ආනෙඤ්ජසප්පාය ප්‍රතිපදාව යයි කියනු ලැබේ.

යළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපයෝත් යම් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, තෙල (දිට්ඨධම්මික සාම්පරායික යන) දෙකම අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය තෘෂ්ණා දෘෂ්ටි විසින් අභිනන්‍දනා කරන්නට නො නිසි වෙයි. අභිමානයෙන් කියන්නට නො නිසි වෙයි, බැසැගෙන සිටින්නට නො නිසි වේ ය’ යි. මෙසේ පිළිපන් ඒ කාම-රූපප්‍රතිබාහනයෙන් එමැ පිළිවෙත බහුල කොට වෙසෙන ඒ මහණහු ගේ සිත අර්හත්වාදි කාරණයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි මැ විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. විඤ්ඤාණඤ්චායතන සංඛ්‍යාත ආනෙඤ්ජයට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහු ගේ උපතට නිසි විපාකවිඥානය වී නම්, එය කුශලානෙඤ්ජස්වභාවයට පැමිණියේ වන්නේය. මහණෙනි, මේ තුන්වැනි ආනෙඤ්ජසප්පාය ප්‍රතිපදාව යයි කියනු ලැබේ.

යළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපයෝත් යම් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, යම් විඤ්ඤානඤ්චායතන සංඛ්‍යාත ආනෙඤ්ජසංඥාවකුත් ඇද්ද, යම් ආකිඤ්චඤ්ඤායතනයකට පැමිණ තෙල සියලු සංඥාවෝ නිරවශේෂ කොට නිරුද්ධ වෙත් ද, යම් මේ ආකිඤ්චඤ්ඤායතනයෙක් ඇද්ද, තෙල (අඞ්ගශාන්තතායෙන් ද ආලම්බනශාන්තතායෙන් ද) ශාන්ත යැ තෙල (අතෘප්තකාර්ථයෙන්) ප්‍රණීත යැ’ යි. මෙසේ පිළිපන් (ඒ සංඥා යටපත් කිරීමෙන්) එ මැ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි විදසුන් නුවණින් රහත්බව හෝ පසක් කෙරෙයි. ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහු ගේ උපදනට නිසි විපාකවිඥානය වී නම් එය ආකිඤ්චඤ්ඤායතනකුශල ස්වභාවයට පැමිණියේ වන්නේ යැ. මහණෙනි, මේ පළමු වන ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා යයි කියනු ලැබේ.

යළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක අරණ්‍යසෙනාසනයට ගියේ වේව’ යි වෘක්ෂමූලයට ගියේ වේව’යි ශුන්‍යාගාරයට ගියේ වේව’ යි මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි: ‘මේ පඤ්චස්කන්ධය (මම ය මාගේ ය යන) ආත්මයෙන් ද ආත්මනීයභාවයෙන් ද ශුන්‍ය වේ’ යයි. මෙසේ පිළිපන් (යට කී පිළිවෙත හා) මේ ශුන්‍යතප්‍රතිපදාව බහුල කොට වෙසෙන ඔහුගේ සිත ආයතනයෙහි පහදී. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි රහත්බව හෝ පසක් කෙරෙයි, ආකිඤ්චඤ්ඤායතන සමවතට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහුගේ උපතට නිසි විපාක විඥානය වී නම් ආකිඤ්චඤ්ඤායතන කුශලභාවයට පැමිණියේ වන්නේ යැ. මහණෙනි, දෙවැනි ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා යයි කියනු ලැබේ.

තවද මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි: ‘මම කිසි තැනෙක්හි ආත්මය ඇතියෙම් නො වෙමි, කිසි අනෙකක්හට පළිබොධ ඇතියෙම් නො වෙමි, කිසි තැනෙක්හි (මෙරමාගේ ආත්මය) නො ද දක්මි, කිසි තැනෙක්හි මාගේ පළිබොධබවෙක් නැතැ’ යි. මෙසේ පිළිපන් (යට කී පිළිවෙත හා) මේ චතුකොටික ශුන්‍යතාව බහුල කොට වෙසෙන ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි පහදියි. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි රහත්බව හෝ පසක් කෙරෙයි, ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහුගේ ප්‍රතිසන්ධියට නිසි විපාකවිඥානය වී නම් ආකිඤ්චඤ්ඤායතන කුශලභාවයට පැමිණියේ වන්නේ යැ. මහණෙනි, මේ තුන්වැනි ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්‍රතිපදායයි කියනු ලැබේ.

යළිදු මහණෙනි, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මිකරූපයෝත් යම් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, යම් ආනෙඤ්ජ (චතුර්ථධ්‍යාන) සංඥාවකුත් ඇද්ද, යම් ආකිඤ්චඤ්ඤායතනසංඥාවකුත් ඇද්ද යම් තැනෙක්හි තෙල සියලු සංඥාවෝ නිරවශෙෂ වූවාහු නිරුද්ධ වෙත් ද, යම් මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙක් ඇද්ද තෙල (අංගශාන්තතායෙන් ද ආලම්බන ශාන්තතායෙන් ද) ශාන්ත යැ, තෙල (අතෘප්තකාර්ථයෙන්) ප්‍රණීත යැ’ යි. මෙසේ පිළිපන් (ඒ සංඥා යටපත් කිරීමෙන්) ඒ පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි පහදියි. සම්ප්‍රසාදය ඇති කල්හි ඉහාත්මයෙහි මැ රහත්බව හෝ පසක් කෙරෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට හෝ සමවදී. කාබුන් මරණින් මත්තෙහි තෙල කරුණ විද්‍යමාන වෙයි: ‘යම් කරුණෙකින් ඒ මහණහු ගේ පිළිසඳගන්නට නිසි විපාකවිඥානය වී නම් නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුශලභාවයට පැමිණියේ වන්නේ ය. මහණෙනි, මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා යයි කියනු ලැබේ.

මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද ‘තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහ: “වහන්සැ, මෙ සස්නෙහි මහණෙක් මෙසේ පිළිපන්නේ වෙයි: ‘ඉදින් මා විසින් (පෙර පස්වැදෑරුම්) කම්වට රැස් නො කරන ලද නම්, මට දැන් (පස්වැදෑරුම්) විවාවට නො ද වන්නේ ය. ඉදින් මෙකල්හි කම්වට රැස් නො කරනු වන්නේ නම්, අනායෙහි මට පස්වැදෑරුම් විවාවට නො වන්නේ ය. ඉහාත්මයෙහි යම් කම්වටක් ඇද්ද හටගත් යම් ස්කන්ධපඤ්චකයක් ඇද්ද, එය දුරු කරමි’ යි මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. වහන්ස, ඒ මහණ පිරිනිවෙන්නේ දෝ හෝ නොහොත් නො පිරිනිවෙන්නේ දැ යි.

‘ආනන්‍දය, මෙහි ඇතැම් මහණෙක් පිරිනිවෙන්නේ ද වෙයි, මෙහි ඇතැම් මහණෙක් නො පිරිනිවෙන්නේ ද වේ’ යයි.

වහන්ස, යම්හෙයෙකින් මෙහි ඇතැම් මහණෙක් පිරිනිවෙන්නෙත් වේ ද, මෙහි ඇතැම් මහණෙක් නො පිරිනිවෙන්නේත් වේ ද ඊට හෙතු කවරේ ද? ප්‍රත්‍ය කවරේ දැ’ යි.

ආනන්‍දය, මෙසස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: ‘ඉදින් මා විසින් පෙර පස්වැදෑරුම් කම්වට රැස් නො කරන ලද නම්, මෙකල්හි මට පස්වැදෑරුම් විවාවට නො ද වන්නේය. ඉදින් මෙකල්හි පස්වැදෑරුම් කම්වට අනායූහිත වන්නේ නම් , මට අනායෙහි පස්වැදෑරුම් විවාවට නො වන්නේ ය. ඉහාත්මයෙහි යම් කම්වටෙක් ඇද්ද, භූත වූ යම් පඤ්චස්කන්ධයෙක් ඇද්ද, එය දුරු කෙරෙමි’ යි මෙසේ විදර්ශනාපෙක්ෂාව ලබයි. ඒ මහණ ඒ විදර්ශනාපෙක්ෂාව තෘෂ්ණාදෘෂ්ටිඅභිනන්‍දනායෙන් අභිනන්‍දනා කෙරෙයි. අභිමානයෙන් බෙණෙයි, බැසගෙන සිටී. ඒ උපෙක්ෂාව අභිනන්‍දනා කරන අභිමානයෙන් බණන බැසගෙන සිටුනා ඔහුගේ නිකාන්තිවිඥානය ඒ විදර්ශනාව ඇසුරු කරන ලද වෙයි. ඒ නිකාන්තිවිඥානය ඔහුට උපාදාන වෙයි, ආන‍න්‍දය, උපාදාන (ග්‍රහණ) සහිත වූ මහණ නො පිරිනිවේ’ යයි.

වහන්ස, පිළිසිඳ ගන්නා ඒ මහණ කොහි වැළිත් පිළිසිඳ ගනීදැ’ යි.

ආනන්‍දය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය’ යි.

වහන්ස, ඒ මහණ පිළිසිඳ ගන්නේ ශ්‍රෙෂ්ඨ වූ භවය උපාදානය කෙරෙයි (උත්තම භවයෙහි පිළිසිඳ ගනී සේ යි.)

ආනන්‍දය, පිළිසිඳ ගන්නා ඒ මහණ ශ්‍රෙෂ්ඨ වූ භවය ම උපාදානය කෙරෙයි. ආනන්‍දය, යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙක් ඇද්ද, තෙල ශ්‍රේෂ්ඨ වූ භවය වේ මැ යි.

ආනන්‍දය, මෙ සස්නෙහි මහණෙක් මෙසේ පිළිපන්නේ වෙයි: ‘ඉදින් මා විසින් පෙර පස්වැදෑරුම් කම්වට රැස් නො කරන ලද නම්, මෙ කල්හි, මට පස්වැදෑරුම් විවාවට නො ද වන්නේය. ඉදින් මෙකල්හි පස්වැදෑරුම් කම්වට ආයූහිත නො වන්නේ නම්, මට අනායෙහි පස්වැදෑරුම් විවාවට නො වන්නේ ය. ඉහාත්මයෙහි යම් කම්වටෙක් ඇද්ද, භූත වූ යම් පඤ්චස්කන්ධයෙක් ඇද්ද, එය දුරු කෙරෙමි’ යි මෙසේ විදර්ශනාපේක්ෂාව ප්‍රතිලාභ කෙරෙයි. හේ උපේක්ෂාව තෘෂ්ණාදෘෂ්ටි අභිනන්‍දනායෙන් අභිනන්‍දනා නො කෙරෙයි. අභිමාන වශයෙන් නො බෙණෙයි, බැසගෙන නො සිටී. ඒ උපෙක්ෂාව අභිනන්‍දනා නො කරන අභිමානයෙන් නො බණන නො බැසගෙන සිටුනා ඔහුගේ නිකාන්තිවිඥානය ඒ විදර්ශනාව ඇසුරු නො කරන ලද වෙයි. ඒ විඥානය ඔහුට උපාදාන නො වෙයි. ආන‍න්‍දය, උපාදාන රහිත වූ මහණ පිරිනිවේ යයි.

වහන්ස, ආශ්චර්‍ය්‍ය යැ, වහන්ස, අද්භූත යැ වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අපට ඒ ඒ සමවත් නිසා ඕඝතරණය වදාරන ලද. වහන්ස, යළි ආර්‍ය්‍යවිමොක්ෂය කවරේදැ’ යි.

ආනන්‍දය, මෙ සස්නෙහි (ශුෂ්කවිදර්ශක වූ) ආර්‍ය්‍යශ්‍රාවක මහණ මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි: ‘යම් දෘෂ්ටධාර්මික කාමයෝත් යම් සාම්පරායික කාමයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික කාමසංඥාවකුත් යම් සාම්පරායික කාමසංඥාවකුත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මිකරූපයෝත් සාම්පරායික රූපයෝත් ඇද්ද, යම් දෘෂ්ටධාර්මික රූපසංඥාවකුත් යම් සාම්පරායික රූපසංඥාවකුත් ඇද්ද, යම් ආනෙඤ්ජසංඥාවකුත් යම් ආකිඤ්චඤ්ඤායතනසංඥාවකුත් යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥාවකුත් ඇද්ද, යම් පමණ (වට්ට සංඛ්‍යාත) සත්කායයෙක් ඇද්ද, තෙල හැම සත්කාය වෙයි. චිත්තයා ගේ යම් අනුපාදා විමොක්ෂයෙක් ඇද්ද තෙල අමෘතයයි (ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි.)

මෙසෙයින් ආනන්‍දය, මා විසින් ආනෙඤ්ජසප්පාය ප්‍රතිපදා දෙසන ලද, ආකිඤ්චඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා දෙසන ලද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසප්පාය ප්‍රතිපදා දෙසනලද. ඒ ඒ සමවත් නිසා චතුරෝඝ නිස්තරණ දෙසන ලද, ආර්‍ය්‍යවිමොක්ෂය දෙසන ලද. ආනන්‍දය, ශ්‍රාවකයනට හිතෛෂී වූ අනුකම්පා කරන ශාස්තෘහු විසින් අනුකම්පා පිණිස යමක් කටයුතු ද, එය තොපට මා විසින් කරන ලද, ආනන්‍දය, තෙල රුක්මුල් සෙනසුනැ, තෙල ශුන්‍යාගාර සෙනසුනැ, ආනන්‍දය, (තෙපි) ධ්‍යාන වඩවු, නහමක් පමා වවු, පසු වැ නහමක් විපිළිසර ඇත්තාහු වවු, මේ තොපට අප ගේ අනුසසුන් වේ යයි.

භාග්‍යවතුන් වහන්සේ මේ සුත දෙශනා කළ සේක, සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය සතුටින් පිළිගත්හ’ යි.

සවැනිආනෙඤ්ජසප්පායසූත්‍රය නිමියේ ය.