කින්ති සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

 

මජ්ඣිම නිකායේ

 

මැඳුම් සඟියෙහි

 

උපරිපණ්ණාසකයෙහි

 

පලමු වැනි වූ දේවදහ වර්ගය

 

3.1.3

 

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නම් ජනවියෙහි (භූතයනට බිලි එළවනුයෙන්) බලිහරණ නම් වනළැව්හි වැඩ වසනසේක. එතන්හි දී භාග්‍යවත්හු ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූහ. ‘වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙ සුත වදාළහ.

මහණෙනි, තොපට මා කෙරෙහි කුමන සිතෙක් වේ ද: ‘ශ්‍රමණ ගෞතමයෝ චීවරහෙතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ පිණ්ඩපාත හේතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ සෙනාසන හෙතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ (දෙශනාමය පින්කිරියවත් නිසා) ඒ ඒ භවයෙහි ‘සුව විඳිමි ’ යන හේතුයෙන් හෝ දහම් දෙසති’ යි කියා යි.

වහන්ස, අපට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙවන් සිතෙක් නො වෙයි: ‘ශ්‍රමණ ගෞතමයෝ චීවරහෙතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ පිණ්ඩපාත හෙතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ සෙනාසන හෙතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ ‘ඒ ඒ භවයෙහි සුව විඳිමි’ යන හෙතුයෙන් හෝ දහම් දෙසතී’ කියා යි.

මහණෙනි, තොපට මා කෙරෙහි මෙවන් සිතෙක් නො වේ ල: ‘ශ්‍රමණ ගෞතමයෝ චීවරහෙතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ පිණ්ඩපාතහෙතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ සෙනාසනහෙතුයෙන් හෝ දහම් දෙසති. ශ්‍රමණ ගෞතමයෝ ‘ඒ ඒ භවයෙහි සුව විඳිමි ’ යන හේතුයෙන් හෝ දහම් දෙසති’ යි, සිතෙක් නො වේ ල. එසේ වී නම් මහණෙනි, තොපට මා කෙරෙහි කිනම් සිතෙක් වේ දැ? යි.

වහන්ස, අපට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු සිතෙක් වෙයි: ‘භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා ඇතියහ, හිතෛෂීහ, අනුකම්පා පිණිස දහම් දෙසනසේකැ’ යි.

මහණෙනි, තොපට මා කෙරෙහි මෙබඳු සිතෙක් වේ නම්: ‘බුදුහු අනුකම්පා ඇතියහ, හිතෛෂීහ, අනුකම්පා පිණිස දහම් දෙසති’ යි. එහෙයින් මහණෙනි, මෙහිලා තොපට මා විසින් යම් ධර්ම කෙනෙක් ප්‍රත්‍යක්ෂ කොට දෙසනලද්දාහු ද, ඒ මෙසේ යැ: ‘සතර සතිපට්ඨානයෝ යැ සතර සම්‍යක්ප්‍රධානයෝ යැ සතර ඍද්ධිපාදයෝ යැ පඤ්චෙන්ද්‍රියයෝ යැ පඤ්චබලයෝ යැ සප්තබොධ්‍යඞ්ගයෝ යැ ආර්ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්ග යි. ඒ සත්තිස් බොධිපාක්‍ෂිකධර්මයන්හි සියල්ලන් විසින් මැ සමග්‍රවූවන් සතුටු වූවන් විවාද නො කරනුවන් විසින් හික්මියයුතු යැ.

තවද මහණෙනි, සමග්‍ර ව සතුටු වෙමින් විවාද නො කෙරෙමින් හික්මෙන එ තොප අතුරෙන් භික්ෂූහු දෙදෙනෙක් ඒ (සත්තිස් බොධිපාක්ෂිකධර්ම සඞ්ඛ්‍යාත) අභිධර්මයෙහි නානාවාද ඇත්තාහු වෙති. ඉදින් තොපට එහි ලා ‘මේ ආයුෂ්මතුන් ගේ (වාදයෙහි) අර්ථ හෙයින් ද නානාත්වය ඇත. ව්‍යඤ්ජන හෙයින් ද නානාත්වය ඇතැ’යි මෙබඳු සිතෙක් වී නම්, ඔවුනතුරෙහි යම් මහණක්හු ඉතා සුවච යයි හඟනවු ද, (ඔහු කරා) එළැඹ හේ මෙසේ කියැයුතු වන්නේ ය: ‘ආයුෂ්මතුන් ගේ (වාදය) අර්ථ හෙයින් ද විවිධ යැ, ව්‍යඤ්ජන හෙයින් ද විවිධ යැ, යම් පරිදි අර්ථ හෙයිනුදු නානාත්වය ඇද්ද ව්‍යඤ්ජන හෙයිනුදු නානාත්වය ඇද්ද, මෙ කරුණෙනුදු ආයුෂ්මත්හු තෙල දැනගන්නහුය. නහමක් ආයුෂ්මත්හු විවාදයට පැමිණෙව’ යි. යළි සමාන පක්‍ෂ ඇති අන්‍ය භික්ෂූන් අතුරෙන් යම් මහණකු ‘ඉතා සුවච’ යයි හඟනවු ද, (ඔහු වෙත) එළඹ හේ මෙසේ කියයුතු වන්නේ ය: ආයුෂ්මතුන්ගේ වාදය අර්ථ හෙයිනුදු වෙනසි, ව්‍යඤ්ජන හෙයිනුදු වෙනසි, යම් පරිදි අර්‍ථ හෙයිනුදු නානාත්වය ඇද්ද, ව්‍යඤ්ජන හෙයිනුදු නානාත්වය ඇද්ද, මෙ කරුණෙනුදු ආයුෂ්මත්නි, තෙපි තෙල දැනගන්නහු ය. නහමක් ආයුෂ්මත්හු විවාදයට පැමිණෙත්ව’ යි. මෙසේ නපුරු කොට ගන්නා ලද්ද නපුරු කොට ගන්නා ලද හෙයින් ධැරියයුතු ය. මනාකොට ගන්නාලද්ද මනාකොට ගන්නාලද හෙයින් ධැරියයුතු ය. දුග්ගහීතය දුග්ගහීත හෙයින් ධරා සුග්ගහීතය සුග්ගහීත හෙයින් ධරා යම් ධර්මයෙක් යම් විනයෙක් වේ ද, ඒ (ධර්මවිනය) කියයුත්තේ යි.

ඉදින් තොපට එහි ලා මෙබඳු සිතෙක් වේ නම්: මේ ආයුෂ්මතුන් ගේ වැලිත් අර්ථ හෙයින් ම නානාත්වය ඇත, ව්‍යඤ්ජන හෙයින් සම වේ ය’ යි. ඔවුනතුරෙහි යම් මහණක්හු සුවචතර යයි හඟනවු නම්, (ඔහු) කරා එළඹැ එ මහණ මෙසේ කියයුතු වන්නේ ය. ආයුෂ්මතුන් ගේ (වාදයෙහි) අර්ථ හෙයින් මැ නානාත්වය ඇත, ව්‍යඤ්ජන හෙයින් සම වෙයි. යම් පරිදි අර්ථ හෙයින් මැ නනාත්වය ඇද්ද, ව්‍යඤ්ජන හෙයින් සම වේ ද, එහෙයින් මෙ කරුණෙනුදු ආයුෂ්මත්නි, තෙපි තෙල දැනැගන්නහු යැ. නහමක් ආයුෂ්මත්හු විවාදයට පැමිණෙත්ව යි. යලි සමාන පක්ෂ ඇති අන්‍ය භික්ෂූන් අතුරෙන් යම් මහණක්හු සුවචතර යයි හඟනවු ද, (ඔහු කරා) එළැබ හේ මෙසේ කිය යුතු වන්නේය: ආයුෂ්මතුන් ගේ (වාදය) අර්ථ හෙයින් ම නානාත්වය ඇත, ව්‍යඤ්ජන හෙයින් සම වෙයි. යම් පරිදි අර්ථ හෙයින් ම නානාත්වය ඇද්ද ව්‍යඤ්ජන හෙයින් සම වේ ද, එහෙයින් මෙ කරුණෙනුදු ආයුෂ්මත් වූ තෙපි තෙල දැනගන්නහු ය. නහමක් ආයුෂ්මත්හු විවාදයට පැමිණෙත්වයි, මෙසෙයින් දුග්ගහීතය දුග්ගහීත හෙයින් ධැරිය යුතු යැ. සුග්ගහීතය සුග්ගහීත හෙයින් ධැරිය යුතු යැ. දුග්ගහීතය දුග්ගහීත හෙයින් ධරා සුග්ගහීතය සුග්ගහීත හෙයින් ධරා යම් ධර්මයෙක් යම් විනයෙක් වේ ද, ඒ (ධර්මවිනය) කියයුත්තේ යි.

ඉදින් තොපට එහි ලා මෙබඳු සිතෙක් වේ නම්: මේ ආයුෂ්මතුන් ගේ (වාදය) වැලිත් අර්ථ හෙයින් ම සම සම වෙයි. ව්‍යඤ්ජන හෙයින් නානාත්වය ඇතැ’ යි. ඔවුනතුරෙහි යම් මහණකු ඉතා සුවච යයි හඟනවු නම්, (ඔහු කරා) එළැඹ හේ මෙසේ කියැයුතු වන්නේ ය: ආයුෂ්මතුන් ගේ (වාදය) වැලිත් අර්ථ හෙයින් මැ සම වෙයි. ව්‍යඤ්ජන හෙයින් නානාත්වය ඇත. යම් පරිදි අර්ථ හෙයින් මැ සම වේ ද, ව්‍යඤ්ජන හෙයින් නානාත්වය ඇද්ද, එහෙයින් මෙ කරුණෙනුදු ආයුෂ්මත්නි, තෙපි දැනගන්නහු ය: ‘යම් මේ ව්‍යඤ්ජනයෙක් ඇද්ද, තෙල අල්පමාත්‍ර මැ ය. ආයුෂ්මත්හු අල්පමාත්‍ර කරුණෙහි නහමක් විවාදයට පැමිණෙත්ව’ යි. ඉක්බිති සපක්ෂ වූ අන්‍ය භික්ෂූන් අතුරින් යම් මහණකු සුවචතර කොට හඟනවු ද, වෙත එළැඹ හේ මෙසේ කියැයුතු වෙයි: ආයුෂ්මතුන් ගේ වාදය වැලිත් අර්ථ හෙයින් සම වෙයි. බ්‍යඤ්ජන හෙයින් භින්න වෙයි. යම් පරිදි අර්ථ හෙයින් සම වේ ද බ්‍යඤ්ජන හෙයින් භින්න වේ ද තෙල බ්‍යඤ්ජනය අල්පමාත්‍ර වෙයි. ආයුෂ්මත් වූ තෙපි අල්පමාත්‍ර බ්‍යඤ්ජනයෙහි විවාදයට නහමක් වදුව යන තෙල කරුණ ආයුෂ්මත් වූ තෙපි මෙයිනුදු දන්නේ මැනැව. මෙසෙයින් මොනොවට ගත් දැය මොනොවට ගත් සෙයින් ධැරිය යුතු ය. වරදවා ගත් දැය වරදවා ගත් සෙයින් ධැරිය යුතු ය. මොනොවට ගත් දැය මොනොවට ගත් සෙයින් ධරා, වරදවා ගත් දැය වරදවා ගත් සෙයින් ධරා, යම් ධර්මයෙක් යම් විනයෙක් ඇද්ද ඒ දෙසිය යුතු ය.

ඉදින් එහි ලා තොපට මෙබඳු සිතෙක් වේ නම්: ‘මේ ආයුෂ්මතුන් ගේ වාදය අර්ථ විසිනුදු සම වෙයි, බ්‍යඤ්ජන විසිනුදු සම වෙති’ යි කියායි. එහි ලා යම් මහණකු සුවචතර කොට හඟනවු ද, වෙත පැමිණ ඒ මහණ මෙසේ කියැයුතු වෙයි: ආයුෂ්මතුන් ගේ (වාදය) අර්ථ විසිනුදු සම වෙයි, බ්‍යඤ්ජන විසිනුදු සම වෙයි, ‘යම් පරිදි අර්ථ විසිනුදු සම වේ ද, බ්‍යඤ්ජන විසිනුදු සම වේ ද තෙල කරුණ මෙසෙයිනුදු ආයුෂ්මතුන් දන්නේ මැනැව, එහෙයින් ආයුෂ්මත්හු විවාදයට නහමක් වදුව’ යි. යළි සපක්ෂ වූ අන්‍ය භික්ෂූන් අතුරෙන් යම් මහණක සුවචතර කොට හඟනවු ද, වෙත එළැඹ ඒ මහණ මෙසේ කියැයුතු වෙයි: ‘ආයුෂ්මතුන් ගේ වාදය අර්ථ විසිනුදු සම වෙයි. බ්‍යඤ්ජන විසිනුදු සම වෙයි. යම් පරිදි අර්ථ විසිනුදු සම වේ ද, බ්‍යඤ්ජන විසිනුදු සම වේ ද, තෙල කරුණ ආයුෂ්මත්නි, තෙපි මෙයිනුදු දනුව, ආයුෂ්මත්නි, විවාදයට නහමක් වදුව’ යි. මෙසේ මොනොවට ගත් දැය මොනොවට ගත් සෙයින් ධැරිය යුතු, මොනොවට ගත් දැය මොනොවට ධරා ගෙන යම් ධර්මයෙක් යම් විනයයෙක් ඇද්ද එය දෙසිය යුතු.

මහණෙනි, සමඟ වූ සමඟ සතුටුවන විවාද නො කරන (ශික්ෂාශාසනයෙහි) හික්මෙන තොප අතුරෙන් අන්‍යතර මහණක් හට ඇවතෙක් වෙයි. අධ්‍යාචාරයෙක් වෙයි, චොදනා පිණිස නො යා යුතු ය. සාපත්තික පුද්ගලයා පරීක්ෂා කළ යුතු ය. (කිසේ යැ යත්:) මෙසේ පරීක්ෂා කරත් ම මට ද වෙහෙස නො වෙයි, මෙරමා හට ද උපඝාත නො වෙයි, යම් හෙයෙකින් අනෙක් පුඟුලා නො කිපෙනසුලු බද්ධවෛර නැති තර කොට ගත් දෘෂ්ටි නැති සුවසේ ඇවතින් මුදාලියහෙනසුලුයෙක් වේ ද, මම වැලිත් තෙල පුඟුලා අකුසලින් නංවා කුසල්හි පිහිටුවාලන්නට හැකියෙම් දැ’ යි කියායි. ඉදින් මහණෙනි, මෙසේ වේ නම්, (චොදනා නඟා) කියන්නට නිසි වෙයි.

ඉදින් මහණෙනි, මෙබඳු සිත් වේ නම්: ‘මට වැලිත් වෙහෙසෙක් නො වෙයි, පරපුඟුල්හට දුක් උපදනේ වෙයි, අනෙක් පුඟුලා කිපෙනසුලු බද්ධවෛර ඇති තර කොට නො ගත් දෘෂ්ටි ඇති වහා ඇවතින් නඟාලියැහෙන්නෙක් වේ ද, තවද මම තෙල පුඟුලා ඇවතින් නඟා නිරාපත්තියෙහි පිහිටුවාලන්නට හැකියෙමි. පරපුඟුලාහට දුකෙක් වේ ය යන තෙල කරුණ අල්පමාත්‍ර වෙයි. වැලිත් (මම තෙල පුඟුලා ඇවතින් නඟා නිරාපත්තියෙහි පිහිටුවාලන්නට හැක්කෙමි ’ යන) තෙල කරුණ ම බහුතර වෙයි කියා යි. ඉදින් මහණෙනි, මෙසේ වේ නම් චොදනා නඟා බණන්නට නිසි වෙයි.

ඉදින් මහණෙනි, මෙබඳු සිත් වේ නම්: ‘මට වැලිත් වෙහෙස වෙයි, පරපුඟුල්හට දුක් නො වෙයි, පරපුඟුල් නො කිපෙනසුලු උපනාහ නැති තර කොට ගත් දෘෂ්ටි නැති දුක සේ ඇවැතින් මුදාලියහෙනුයෙක් වෙයි. මම තෙල පුඟුල් ඇවතින් නඟා නිරාපත්තික භාවයෙහි පිහිටුවාලන්නට හැකියෙමි, මට වෙහෙසක් වෙයි යන තෙල කරුණ අල්පමාත්‍ර ය, මම තෙල පුඟුල් ඇවතින් මුදා නිරාපත්තික භාවයෙහි පිහිටුවාලන්නට හැකියෙමි යන තෙල කරුණ ම වැඩිතරම් වෙයි කියා යි. මහණෙනි, ඉදින් මෙසේ සිත් වේ නම්, චොදනා නඟා බණන්නට නිසි වෙයි.

ඉදින් මහණෙනි, මෙබඳු සිතෙක් වේ නම්: ‘මට ද වෙහෙසෙක් වෙයි, පරපුඟුල්හට ද දුකෙක් වෙයි, පරපුඟුල් කිපෙනසුලු උපනාහ ඇති තර කොට ගත් දිටු නැති ඇවතින් දුකසේ නඟාලියැ හෙනුයෙක් වෙයි. මම් වැලිත් තෙල පුඟුල් ඇවතින් මුදා නිරාපත්තික භාවයෙහි පිහිටුවාලන්නට හැකියෙමි, ‘මට වෙහෙසෙක් වෙයි, පරපුඟුල්හට දුකෙක් වෙයි යන තෙල අල්පමාත්‍ර කාරණයෙකි, වැලිත් ‘මම තෙල පුඟුල් ඇවතින් මුදා නිරාපත්තිකභාවයෙහි පිහිටුවාලන්නට හැකියෙමි යන තෙල ම බහුතර කාරණ වෙයි’ කියා යි. මහණෙනි, ඉදින් මෙබඳු සිත් වේ නම්, චොදනා නඟා බණන්නට නිසි වෙයි.

ඉදින් මහණෙනි, මෙසේ සිත් වේ නම්, ‘මට ද වෙහෙසෙක් වෙයි, අනෙකාහට ද දුකෙක් වෙයි, අනෙක් පුඟුල් කොපනසීලී වූ උපනාහී වූ තර කොටගත් දෘෂ්ටිගති ඇති ඇවතින් දුකසේ මුදාලියැ හෙනුයෙක් වෙයි, මම වැලිත් තුලුන් ඇවතින් මුදා නිරාපත්තික භාවයෙහි පිහිටුවාලන්නට නො හැකියෙමි’ කියා යි. මහණෙනි, මෙබඳු පුඟුල් කෙරෙහි මධ්‍යස්ථතා කළ යුතු.

මහණෙනි, සමඟ වූ සමඟ සතුටු වන උනුන් විවාද නො කරන ශික්ෂාශාසනයෙහි හික්මෙන තොප පිළිබඳ උනුනට දෘෂ්ටිවිපර්ය්‍යාස වූ චිත්තාඝාත වූ සිතට නො සතුටු වූ සිත් නො අලවන වචනයෙක් උපදනේ ද, එහි දී සපක්ෂ භික්ෂූන් අතුරින් යම් මහණකු සුවචතර කොට හඟනහු ද, වෙත පැමිණ හේ මෙසේ කියැයුතු වෙයි: ‘ඇවත, සමඟ වූ සමඟ සතුටු වන උනුන් විවාද නො කරන අප පිළිබඳ උනුනට දෘෂ්ටිවිපර්ය්‍යාස වූ චිත්තාඝාත වූ නො සතුටට කරුණු වූ සිත් නො අලවන බසෙක් උපන. එය දනිමින් ගර්භා කරන්නේ යයි’ කියා යි. මහණෙනි, මොනොවට පවසන මහණ මෙසේ පවසන්නේ ය: (කෙසේ යැ:) ‘ඇවත, සමඟි වූ සමඟ සතුටු වන උනුන් විවාද නො කරන ශික්ෂාශාසනයෙහි හික්මෙන අප පිළිබඳ උනුනට දෘෂ්ටිවිපර්ය්‍යාස වූ චිත්තාඝාත වූ නො සතුටට කරුණු වූ ව්‍යාපාද ජනක වූ යම් බසෙක් උපන් ද, එබස දන්මින් බුදුහු ගරහිති, ඇවත, තෙල කලහ භණ්ඩනධර්මය නො පියා නිවන් පසක් නො කරන්නේ ය’ කියා යි. මහණෙනි, මොනොවට බණන මහණ මෙසේ බණන්නේ ය: (කෙසේ යැ:) ‘ඇවත, තෙල කලහ භණ්ඩනධර්මය නො පියා නිර්‍වාණධර්මය ප්‍රත්‍යක්ෂ නො කරන්නේ ය’ යි.

ඉක්බිති සපක්ෂ වූ අන්‍ය භික්ෂූන් අතුරින් යම් මහණකු සුවචතර කොට හඟනවු ද, වෙත එළැඹ ඒ මහණ මෙසේ කියැයුතු වෙයි: ‘ඇවත, සමඟි වූ සමඟ සතුටු වූ උනුන් විවාද නො කරන ශික්ෂාශාසනයෙහි හික්මෙන අප පිළිබඳ උනුනට යම් හෙයෙකින් දෘෂ්ටි ප්‍රදාස වූ චෙතාඝාත වූ අප්‍රත්‍යය වූ ව්‍යාපාදජනක වචනයෙක් උපන් ද, එය දන්මින් ගරහතී’ යි. මහණෙනි, මොනොවට පවසන මහණ මෙසේ පවසන්නේ ය: (කිසේ යැ:) ‘ඇවත, සමඟ වූ සමඟ සතුටු වන උනුන් විවාද නො කරන ශික්ෂාශාසනයෙහි හික්මෙන අප පිළිබඳ අන්‍යොන්‍යයනට දෘෂ්ටිප්‍රදාස වූ චෙතාඝාත වූ අප්‍රත්‍යය වූ ව්‍යාපාදකර වූ වාක්සංස්කාරයෙක් යම් හෙයකින් උපන් ද, එය දන්මින් ශාස්තෲන් වහන්සේ ගර්හා කරති. ‘ඇවත, තෙල කලහ භණ්ඩනධර්මය හැරපියා මුත් නිවන් පසක් නො කළහෙන්නේ ය’යි කියා යි. මහණෙනි, මොනොවට බණන මහණ මෙසේ බණන්නේ ය: (කිසේ ය යත්) ‘ඇවත, තෙල දහම නො පියා නිවන පසක් නො කළහෙන්නේ ය’ යි.

මහණෙනි, ඉදින් අන්‍යයෝ ඒ මහණ මෙසේ පුළුවුස්නාහු නම්: ආයුෂ්මතුන් විසින් තෙල භික්ෂූහු ඇවතින් මුදා කුසල්හි පිහිටුවන ලද්දාහු නො වේ දැ’ යි. මහණෙනි, මොනොවට බණන මහණ මෙසේ බණන්නේ ය: ‘ඇවත, මම භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියෙමි, භාග්‍යවතුන් වහන්සේ මට දහම් දෙසූසේක. මම ඒ දහම අසා එ මහණුනට කීමි, ඒ මහණහු එ දහම අසා අකුසලින් නැඟීසිටියහ, මහණෙනි, මෙසේ බණන ඒ මහණ ආත්මොත්කර්‍ෂ නො ද කරන්නේ ය, පරිපරිභවත් නො කරන්නේ ය, ධර්මානුධර්මත් පවසන්නේ ය, සහෙතුක වූ කිසිත් වාදානුවාදයෙක් ගර්හනීය තැනට නො ද එන්නේ ය’ යි.

භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ ගේ ඒ භාෂිතය අභිමුඛ ව ගෙන සතුටුවූහු.

තුන්වැනිකින්තිසූත්‍රය නිමියේ ය.