ගණක මොග්ගල්ලාන සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

 

මජ්ඣිම නිකායේ

 

මැඳුම් සඟියෙහි

 

උපරිපණ්ණාසකයෙහි

 

පලමු වැනි වූ දේවදහ වර්ගය

 

3.1.7

ගණක මොග්ගල්ලාන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වෙත පූර්‍වාරාම නම් වූ මිගාරමාතුප්‍රාසාදයෙහි වැඩවසන සේක. එකල්හි ගණකමොග්ගල්ලාන බමුණු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ගණකමොග්ගල්ලාන බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල කී:

භවත් ගෞතමයෙනි, මේ මුවරමා පහය පිළිබඳ කොට යම් පරිදි යම් අනුපූර්‍වශික්ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනේ ද, භවත් ගෞතමයෙනි, මේ බමුණන් ගේ ද මේ අධ්‍යයනයෙහි ද අනුපූර්‍වශික්ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනේ. භවත් ගෞතමයෙනි, මේ ධනුර්ධරයන්ගේ ද මේ ආයුධශිල්පයෙහි අනුපූර්‍වශික්ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනෙයි. භවත් ගෞතමයෙනි, ගණනයෙන් ජීවිකා කරන අප ගණකයනුදු ගේ මේ ගණනායෙහි අනුපූර්‍වශික්ෂායෙක් අනුපූර්‍වක්‍රියායෙක් අනුපූර්‍වප්‍රතිපදායෙක් පැනේ. භවත් ගෞතමයෙනි, අපි අතැවැස්සන් ලැබැ පළමුව ලා මෙසේ ගණනා කරම්හ. එක එකකය, දෙක ද්විකය, තුන ත්‍රිකය, සතර චතුෂ්කය, පස පඤ්චකය, සය ෂට්කය, සත සප්තකය, අට අෂ්ටකය, නවය නවකය, දසය දශකය’ යි. භවත් ගෞතමයෙනි, අපි සියය ද ගණනා කරවම්හ. ඉන් වැඩියකුදු ගණනා කරවම්හ. භවත් ගෞතමයෙනි, මෙ සස්නෙහි දු එපරිදි ම අනුපූර්‍වශික්ෂා අනුපූර්‍ව ක්‍රියා අනුපූර්‍වප්‍රතිපදා පනවා ලන්නට හැක්කාව?

බමුණ, මෙ සස්නෙහි දු අනුපූර්‍වශික්ෂා අනුපූර්‍වක්‍රියා අනුපූර්‍වප්‍රතිපත් පනවන්නට හැක්ක. බමුණ, යම් පරිදි දක්ෂ අස්දම්සැරියෙක් භද්‍ර සෛන්ධවයකු ලැබ පළමු කොට ම මුවවළලුයෙහි කාරණා කෙරේ ද, නැවත මතුයෙහි කාරණා කෙරේ ද බමුණ එපරිදිම තථාගත දැමිය යුතු පුරුෂයකු ලැබැ පළමු කොට මෙසේ විනයන කෙරෙයි: ‘මහණ, තො එ, සිල්වත් ව, ප්‍රාතිමොක්ෂසංවර සංවෘත ව ආචාරගොචර සම්පන්න ව අණුමාත්‍ර වරදහි දු බිය දක්නාසුලු ව වාස කරව. සමාදන්වැ සිකපදයෙහි හික්මෙව’ යි.

බමුණ, යම් කලෙක මහණ සිල්වත් වේ ද, ප්‍රාතිමොක්ෂසංවරසංවෘත ව ආචාරගොචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි බිය දක්නාසුලු ව වාස කෙරේ ද, සමාදන් ව සිකපදයෙහි හික්මේ ද, තථාගත තුලුන් මතුයෙහි විනයන කෙරෙයි: ‘මහණ, තො එ ඉන්ද්‍රියෙහි ගුප්තද්වාර වව, ඇසින් රූප දැක නිමිත්තග්‍රාහී නො වව, අනුව්‍යඤ්ජනග්‍රාහී නො වව, යමක් හෙතු කොටගෙන චක්‍ෂුරින්‍ද්‍රියයෙහි අසංවෘත ව වාස කරන තෙල මහණහු අභිධ්‍යා දෞර්මනස්‍යපාපකඅකුශලධර්මයෝ ලුහුබැඳ යෙත් ද, ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදුව, චක්‍ෂුරින්‍ද්‍රිය රක්ව, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙව, කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්ධ ආඝ්‍රාණය කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් පහස් ස්පර්ශ කොට ... සිතින් ධර්ම දැන නිමිත්තග්‍රාහී නො වව, අනුව්‍යඤ්ජනග්‍රාහී නො වව, යමක් හේතු කොටගෙන මනින්ද්‍රිය අසංවෘත කොට වාස කරන තෙල මහණහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය පාපක අකුශලධර්මයෝ ලුහුබැඳ යෙත් ද, ඒ මනින්ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදුව, මනින්ද්‍රිය රක්ව, මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව’ යි.

බමුණ, යම් කලෙක මහණ ඉන්ද්‍රියයෙහි ගුප්තද්වාර වේ ද, තථාගත තෙල මහණහු මතු විනයන කෙරෙයි. ‘මහණ, තො එ, භොජනයෙහි මාත්‍රඥ වව, නුවණින් ප්‍රත්‍යවෙක්ෂා කොට අහර වළඳ කරව, දවය පිණිස නො වෙයි, මදය පිණිස නො වෙයි, මණ්ඩනය පිණිස නො වෙයි, විභූෂණය පිණිස නො වෙයි, හුදෙක් මේ කරජකායයාගේ ස්ථිතිය පිණිස යාපනය පිණිස විහිංසොපරති පිණිස බ්‍රහ්මචරියානුග්‍රහය පිණිස ම වෙයි. මෙසේ පුරාණ වෙදනා ද නස්මි, නවවෙදනා ද නො උපදවමි, මාගේ ජීවිත යාත්‍රා ද වෙයි, අනවද්‍යතා ඵාසුවිහාර ද වෙතී, කියායි.

බමුණ, යම් කලෙක මහණ භොජනයෙහි මාත්‍රඥ වේ ද, තථාගත තෙල මහණහු මතුයෙහි විනයන කෙරෙයි. ‘මහණ, තො ඒ, නිදි වැරීමෙහි අනුයුක්ත ව වාස කරව, දවහල්කල චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යායෙන් සිත් අවුරන දහමින් සිත පිරිසිදු කරව, රෑකල පෙරයම්හි චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යායෙන් සිත් අවුරන දහමින් සිත පිරිසිදු කරව, රෑකල මැදියම පයෙහි පය හයාතබා ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති ව උත්ථානසංඥා මෙනෙහි කොටගෙන දකුණුඇළයෙන් සිංහශය්‍යා කරව, රෑකල පැසුළුයමැ හොත් අස්නෙන් නැගී සිට චඞ්ක්‍රමණයෙන් නිෂද්‍යායෙන් සිත් අවුරන දහමින් සිත පිරිසිදු කරව, කියායි.

බමුණ, යම් කලෙක මහණ නිදි වැරීමෙහි අනුයුක්ත වේ ද, තථාගත තෙල මහණහු මතුයෙහි විනයන කෙරෙයි: ‘මහණ, තො, එ, ස්මෘතිසම්ප්‍රඥානයෙන් සමන්වාගත වව, ඉදිරියට යෑමෙහි පෙරළා ඊමෙහි සම්ප්‍රඥානයෙන් කරනසුලු වව, ඉදිරිපස බැලීමෙහි අනුදික් බැලීමෙහි නුවණින් කරනසුලු වව, (පර්‍වයන්) හැකිළීමෙහි දිගුකිරීමෙහි නුවණින් කරනසුලු වව, සඟළපාසිවුරු ධැරීමෙහි නුවණින් කරනසුලු වව, භොජනයෙහි පානයෙහි කෑමෙහි රස විඳීමෙහි නුවණින් කරනසුලු වව, සුළුවටන් මහවටන් කිරීමෙහි නුවණින් කරනසුලු වව, ගමනෙහි සිටීමෙහි හිඳීමෙහි ශයනයෙහි නිදි වැරීමෙහි බිණීමෙහි නො බිණීමෙහි නුවණින් කරනසුලු වව’ යි කියායි.

බමුණ, යම් කලෙක මහණ ස්මෘතිසම්ප්‍රඥානයෙන් සමන්වාගත වේ ද, තථාගත තෙල මහණ මතුයෙහි විනයන කෙරෙයි: ‘මහණ, තො එ, ජනශුන්‍ය සෙනසුන් භජනය කරව, අරණ්‍ය ය වෘක්ෂමූල ය පර්‍වත ය කන්‍දර ය ගිරිගුහා ය ශ්මසාන ය වානප්‍රස්ථ ය අභ්‍යවකාශ ය පලාලපුඤ්ජය යන මේ යි. හේ අරණ්‍ය වෘක්ෂමූල පර්‍වත කන්‍දර ගිරිගුහා ශ්මසාන වානප්‍රස්ථ අභ්‍යවකාශ පලාලපුඤ්ජ යන විවික්ත ශයනාසන භජන කෙරෙයි.

හේ පසුබත පිඬුවායෙන් වැළැකියේ පලක් බැඳ උඩුකය සෘජු කොට තබා කර්මස්ථානාභිමුඛ කොට සිහි එළවා තබාගෙන හිඳුනේ ය. හේ පඤ්චස්කන්ධලොකයෙහි අභිධ්‍යා හැරපියා පැහූ අභිධ්‍යා ඇති සිතින් වාස කෙරෙයි. අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාදප්‍රදෙවෂ හැරපියා අව්‍යාපන්නචිත්ත ව සර්‍වසත්ව හිතානුකම්පී ව වාස කෙරෙයි. ව්‍යාපාදප්‍රද්වෙෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. සත්‍යානමිද්ධය පියා පැහූ ස්ත්‍යානමිද්ධ ඇති ව ආලොකසංඥා ඇති ව ස්මෘතිමත් ව නුවණින් දන්මින් වාස කෙරෙයි. ස්ත්‍යානමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චය හා කුක්කුච්චය හැරපියා අනුද්ධත ව අධ්‍යාත්මයෙහි උපශාන්ත සිත් ඇති ව වාස කෙරෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත් පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡා පියා තරණය කළ විචිකිත්සා ඇති ව කුසල්දහම්හි කථංකථා රහිත ව වාස කෙරෙයි. විචිකිත්සායෙන් සිත පිරිසිදු කෙරෙයි.

ඒ මහණ චිත්තොපක්ලෙශ වන ප්‍රඥාව දුර්වල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා කාමයෙන් වෙන්ව මැ අකුශල ධර්මයෙන් වෙන්ව සවිතර්ක සවිචාර වූ විවෙකයෙන් හටගත් ප්‍රිතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. විතර්කවිචාරයන් සන්හිඳීමෙන් සිය සතන්හි පැහැදීම් කරන සිත පිළිබඳ එකොදිහාව ඇති අවිතර්ක අවිචාර වූ සමාධියෙන් හටගත් ප්‍රිතිසුඛ ඇති ද්විතීයධ්‍යාන උපයාගෙන වාස කෙරෙයි. ප්‍රිතිවිරාගයෙනුදු උපෙක්ෂක ව ස්මෘතිමත් ව නුවණින් දන්මින් වාස කෙරෙයි, නාමකයින් සුඛය ද විඳියි. ආර්ය්‍යයෝ ‘උපෙක්ෂක යැ ස්මෘතිමත් යැ සුඛවිහාරී යයි යම් තෘතීයධ්‍යානයක් ගෙන කියත් ද, ඒ තුන්වන දැහැන උපයා වාස කෙරෙයි. සුඛයාගේ ප්‍රහාණයෙනුදු දුඃඛයාගේ ප්‍රහාණයෙනුදු කැලම සෞමනස්‍ය දෞර්මනස්‍යයන් අස්තයට යෑමෙන් අදුඃඛ අසුඛ වූ උපෙක්ෂායෙන් ජනිත ස්මෘතිපරිශුද්ධභාව ඇති චතුර්ථධ්‍යාන උපයා වාස කෙරෙයි.

බමුණ, යම් මහණ කෙනෙක් ශෛක්ෂ ව අර්හත්වයට නො පැමිණි සිත් ඇති ව අනුත්තර යොගක්‍ෂෙමය පතමින් වාස කෙරෙත් ද, උන් කෙරෙහි මාගේ මේ මෙබඳු අනුශාසනා වෙයි: ‘අර්හත් වූ ක්‍ෂීණාස්‍රව වූ වැස නිමකළ බඹසර ඇති කළ කරණී ඇති බහාතැබූ කෙලෙස්බර ඇති ලැබූ ස්වාර්ථ ඇති පරික්‍ෂීණ භවසංයොජන ඇති මොනොවට දැන කෙලෙසුන් කෙරෙන් මිදුණු යම් මහණ කෙනෙක් ඇද්ද, ඔවුනට මේ දහම්හු ඉහාත්ම සුඛවිහාර පිණිසත් ස්මෘති සම්ප්‍රජන්‍යය පිණිසත් වැටෙතී’ වදාළ සේක.

මෙසේ වදාළ කල ගණකමුගලන් බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ: ‘කිමෙක! භවත් ගෞතමයන්ගේ සව්වෝ භවත් ගෞතමයන් විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු හැම දෙනම අත්‍යන්ත නිෂ්ඨා සංඛ්‍යාත නිර්‍වාණය ආරාධනා කෙරෙත් ද? නොහොත් නො එසේ වුව, කෙනෙක් ආරාධනා නො කෙරෙත් දැ’ යි.

බමුණ, මා විසින් මෙසේ අවවාද කරනු ලබන මෙසේ අනුශාසනා කරනු ලබන මාගේ ඇතැම් සව්වෝ අත්‍යන්තනිෂ්ඨා සංඛ්‍යාත නිර්‍වාණය ආරාධනා කෙරෙත්, කෙනෙක් ආරාධනා නො කෙරෙත් යයි වදාළෝ.

භවත් ගෞතමයෙනි, යම්හෙයෙකින් නිවන් ඇත්තේ ම වේ ද, නිවන්මග ඇද්ද, සමාදන් කරවන භවත් ගෞතමයෝ ඇද්ද, වැලිත් භවත් ගෞතමයන් විසින් මෙසේ අවවාද කරනු ලබන මෙසේ අනුශාසනා කරනු ලබන භවත් ගෞතමයන්ගේ ඇතැම් සව්වෝ අත්‍යන්තනිෂ්ඨා සංඛ්‍යාත නිර්‍වාණය ආරාධනා කෙරෙත් නම්, කෙනෙක් ආරාධනා නො කෙරෙත් නම් එයට හෙතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ?

බමුණ, එකරුණෙන් මෙහි ලා තා මැ පුළුවුස්මි: යම් පරිදි තට රුස්නේ නම් එපරිදි එය පවසාලව. බමුණ, ඒ කෙසේ හඟනාව, තෝ රජගහනුවර කරා යන මඟ කියන්නට දක්ෂයෙහි? යී වදාළෝ.

භවත්නි, එසේ යැ, මම රජගහ කරා යන මඟට දක්ෂයෙමි’ කී.

බමුණ, එ කෙසේ හඟිහි, පුරුෂයෙක් රජගහ යනු කැමැති ව එන්නේ ය, හේ තා කරා එළැඹැ මෙසේ බෙණෙයි: ‘වහන්ස, මම රජගහ වදනට කැමැතියෙමි, මට රජගහනුවරට මං දක්වයි, තෝ තෙල පුරුෂ හට මෙසේ කියන්නෙහි, එම්බා පුරුෂය, එ, මෙ මග රජගහ නුවරට යේ, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙ නම් ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙනම් නියම්ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් රජගහනුවර අරම්රමණිය වනරමණිය බිම්රමණිය පොකුණුරමණිය දක්නෙහි’ යි. ඒ පුරුෂ තා විසින් මෙසේ අවවාද කරනු ලබනුයේ මෙසේ අනුශාසනා කරනු ලබනුයේ උන්මාර්ගයක් ගෙන් පශ්චාත්-මුඛ ව යන්නේ ය.

නැවත රජගහ යනු කැමැති දෙවන පුරුෂයෙක් එන්නේ ය, හේ තා වෙත එළැඹැ මෙසේ බෙණෙයි: ‘වහන්ස, මම රජගහ යන්නට කැමැතියෙමි, මට රජගහනුවරට මං කියව’යි, තෝ තෙල පුරුෂ හට මෙසේ කියහි, ‘එම්බා පුරුෂය, එ, මේ මග රජගහ නුවරට යෙයි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙනම් ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් මෙනම් නියම්ගම දක්නෙහි, එයින් මොහොතක් යා, එයින් මොහොතක් ගොස් රජගහනුවර අරම්රමණිය වනරමණිය බිම්රමණිය පොකුණුරමණිය දක්නෙහි’ යි. හේ තා විසින් මෙසේ අවවාද කරනු ලබනුයේ මෙසේ අනුශාසනා කරනු ලබනුයේ සුවසේ රජගහනුවරට යන්නේ ය.

බමුණ, රජගහනුවර ඇත් මැ යැ, රජගහනුවර යන මඟ ඇත් මැ යැ, සමාදන් කරවන තොයිත් ඇත් මැ යැ, වැලි තා විසින් මෙසේ අවවාද කරනු ලබන මෙසේ අනුශාසනා කරනු ලබන එක් පුරුෂයෙක් උන්මාර්ග ගෙන පශ්චාත්මුඛ ව යන්නේ යැ. එකෙක් සුවසේ රජගහනුවර යන්නේයැ, ඊට හෙතු කිම? ප්‍රත්‍ය කිමැ’ යි.

භවත් ගෞතමයෙනි, මෙහි ලා මම කුම් කෙරෙම් ද? භවත් ගෞතමයෙනි, මම මඟ කියන සුල්ලෙමි.

එසෙයින් මැ බමුණ, නිවන් ඇත් මැ යැ, නිවන් යන් මඟ ඇත් මැ යැ, සමාදන් කරවන මම් සිටිම් මැ යැ. එතෙකුදුවත් මාගේ සව්වෝ මා විසින් මෙසේ අවවාද කරනු ලබන්නාහු මෙසේ අනුශාසනා කරනු ලබන්නාහු ඇතැම් කෙනෙක් අත්‍යන්තනිෂ්ඨා වූ නිර්‍වාණය සම්පාදනය කෙරෙති, ඇතැම් කෙනෙක් සම්පාදනය නො කෙරෙත්. බමුණ, මෙහි ලා මම් කුම් කෙරෙම් ද? බමුණ, මම් මඟ පවසන තථාගතයෙමී.

මෙසේ වදාළ කල්හි ගණකමොග්ගල්ලාන් බ්‍රාහ්මණ භාග්‍යවතුන් වහන්සෙට තෙල කී: “භවත්ගෞතමයෙනි, යම් පුද්ගල කෙනෙක් ශ්‍රද්ධා නැත්තාහු ජීවිකාව ප්‍රයොජන කොට ඇති ව ගිහිගෙන් නික්ම සස්නට පැමිණියාහු ශඪ වූවාහු මායා ඇත්තාහු වඤ්චක වූවාහු උඬගු වූවාහු නැඟුණු මානනළ ඇත්තාහු චපල වූවාහු දොඩමලු වූවාහු විසුරුණු වචන ඇත්තාහු ඉඳුරන්හි නො පියූ දොර ඇත්තාහු භෝජනයෙහි අමාත්‍ර වූවාහු ජාගර්‍ය්‍යායෙහි නොයෙදුණාහු ශ්‍රාමණ්‍යයෙහි අපේක්ෂා නැත්තාහු ශික්ෂායෙහි ත්‍රීවගෞරව නැත්තාහු ප්‍රත්‍යය බහුල කොට ඇත්තාහු සස්න ලිහිල් කොට ගත්තාහු පඤ්චනීවරණයෙහි පෙරදැරි වූවාහු ප්‍රවිවෙකයෙහි හළ වීර්‍ය්‍ය ඇත්තාහු කුසීත වූවාහු හීන වීර්‍ය්‍ය ඇත්තාහු මූඪස්මෘති ඇත්තාහු සම්‍යග්ඥාන නැත්තාහු අසමාහිත වූවාහු විභ්‍රාන්ත සිත් ඇත්තාහු දුෂ්ප්‍රාඥ වූවාහු කෙළතොලු වූවාහු වෙත් ද, භවත් ගෞතමයෝ ඔවුන් සමග සංවාස නො කෙරෙති.

යළි යම් කුලපුත්‍ර කෙනෙක් සැදැහැති ව ගිහිගෙන් නික්ම සස්නට පැමිණියාහු ශඪ නොවූවාහු මායාවී නො වූවාහු වඤ්චක නො වූවාහු අනුද්ධත වූවාහු උද්ගත මානනළ නැත්තාහු චපල නො වූවාහු මුඛර නො වූවාහු අවිකීර්ණ වචන ඇත්තාහු ඉඳුරන් හි පියූ දොර ඇත්තාහු භොජනයෙහි මාත්‍රඥ වූවාහු ජාගර්‍ය්‍යායෙහි යෙදුණාහු ශ්‍රාමණ්‍යයෙහි අපෙක්ෂා වත් වූවාහු ශික්ෂායෙහි ත්‍රීවගෞරව ඇත්තාහු බාහුලික නොවූවාහු සාථලික නො වූවාහු පඤ්චනීවරණයෙහි නික්ෂිප්තධුර ඇත්තාහු ප්‍රවිවේකයෙහි පූර්‍වඞ‍්ගම වූවාහු ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තාහු නිවනට මෙහෙයූ සිත් ඇත්තාහු එළඹසිටි සිහි ඇත්තාහු සම්‍යග්ඥාන ඇත්තාහු සමාහිත වූවාහු එකඟ සිත් ඇත්තාහු ප්‍රඥාවත් වූවාහු එළමුග නො වූවාහු වෙත් ද, භවත් ගෞතමයෝ ඔවුන් සමග සංවාස කෙරෙත්.

යම්සේ භවත් ගෞතමයෙනි, යම් කිසි මූලගන්ධ කෙනෙක් ඇද්ද, ඔවුනතුරෙන් කළුඅගිල් අග්‍ර යයි කියනු ලැබෙයි. යම් කිසි සාරගන්ධ කෙනෙක් ඇද්ද, ඔවුනතුරෙන් ලොහිත චන්‍දන අග්‍ර යයි කියනු ලැබෙයි, යම් කිසි පුෂ්පගන්ධ කෙනෙක් ඇද්ද ඔවුනතුරෙන් දෑසමන් අග්‍රයයි කියනු ලැබෙයි. එසෙයින් ම ෂට්ශාස්තෘධර්මයන් කෙරෙහි භවත් ගෞතමයන් ගේ (අව) වාදය උත්තම වෙයි.

භවත් ගෞතමයෙනි, ඉතා කාන්තය, භවත් ගෞතමයෙනි, ඉතා කාන්තය, යම්සේ භවත් ගෞතමයෙනි, යටිහුරු කරන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, ප්‍රතිච්ඡන්න වූවක් විවර කරන්නේ හෝ වේ ද, මුළාවූවක්හට මඟ කියන්නේ හෝ වේ ද, ‘ඇස් ඇත්තෝ රූප දකිත් ව’ යි අඳුරෙහි තෙල්පහනක් දල්වන්නේ හෝ වේද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේකප්‍රකාරයෙන් දහම් පවසන ලද, තෙල මම් භවත් ගෞතමයන් වහන්සේ ද ධර්මය ද භික්ෂුසංඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා අද ආදි කොට දිවිහිම් ව සරණ ගිය උපාසකයකු කොට ධරන සේක්ව’ යි.

සත්වැනිගණකමොග්ගල්ලානසූත්‍රය නිමියේ ය.