චූළ පුණ්ණම සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

 

මජ්ඣිම නිකායේ

 

මැඳුම් සඟියෙහි

 

උපරිපණ්ණාසකයෙහි

 

පලමු වැනි වූ දේවදහ වර්ගය

 

3.1.10

 

චූළ පුණ්ණම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙකැ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්වාරාම නම් මුවරමා පායෙහි වැඩවසන සේක. තවද, එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදවස් පණුරැසි පොහොයෙහි කලා පිරුණු මැදි පොහොයැ රාත්‍රියෙහි භික්ෂු සංඝයා විසින් පිරිවරනලද සේක් නිහඬව වැඩහුන් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිහඬ ව හුන් භික්ෂුසංඝයා බලා භික්ෂූන් ඇමතූ සේක:

මහණෙනි, අසත්පුරුෂ ‘මේ භවත් අසත්පුරුෂයෙකැ’ යි අසත්පුරුෂයා දතහෙන්නේදැ’ යි.

වහන්ස, තෙල නො වේ මැ’ යි.

මැනැව මහණෙනි, යම් කරුණෙකින් අසත්පුරුෂ ‘මේ භවත් අසත්පුරුෂයෙකැ’ යි අසත්පුරුෂයා දතහෙන්නේ ද, මහණෙනි, තෙල අකාරණ යැ, අනවකාශ යි.

යළි මහණෙනි, අසත්පුරුෂ ‘මේ භවත් සත්පුරුෂයෙකැ’ යි සත්පුරුෂයා දතහෙන්නේදැ’ යි.

වහන්ස, තෙල නො වේ මැ’ යි.

මැනැව මහණෙනි, යම් කරුණෙකින් අසත්පුරුෂ ‘මේ භවත් සත්පුරුෂයෙකැ’ යි සත්පුරුෂයා දතහෙන්නේ ද, මහණෙනි, තෙල දු අකාරණ යැ, අනවකාශ යි.

මහණෙනි, අසත්පුරුෂ පාප (අසද්) ධර්මයෙන් යුක්ත වූයේ වෙයි, අසත්පුරුෂයන් සෙවුනේ වෙයි, අසත්පුරුෂචින්තායෙන් සිතන්නේ වෙයි, අසත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි, අසත්පුරුෂ බස් බණන්නේ වෙයි, අසත්පුරුෂකම් කරනුයේ වෙයි, අසත්පුරුෂ දෘෂ්ටි ඇත්තේ වෙයි, අසත්පුරුෂ දන් දෙනුයේ වේ.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂධර්මසමන්වාගත වෙයි යත්: මහණෙනි මෙලොවැ අසත්පුරුෂ ශ්‍රද්ධා නැතියේ වෙයි, (පාපයෙහි) ලජ්ජා නැතියේ වෙයි, භය නැතියේ වෙයි, අල්පශ්‍රත වෙයි, කුසීත වෙයි, මුළාසිහි ඇතියේ වෙයි, දුෂ්ප්‍රාඥ වෙයි. මහණෙනි, මෙසෙයින් අසත්පුරුෂ අසද්ධර්මසමන්වාගත වේ.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂධර්මසමන්වාගත වෙයි යත්: මහණෙනි මෙලොවැ අසත්පුරුෂ ශ්‍රද්ධා නැතියේ වෙයි, (පාපයෙහි) ලජ්ජා නැතියේ වෙයි, භය නැතියේ වෙයි, අල්පශ්‍රැත වෙයි, කුසීත වෙයි, මුළාසිහි ඇතියේ වෙයි, දුෂ්ප්‍රාඥ වෙයි. මහණෙනි, මෙසෙයින් අසත්පුරුෂ අසද්ධර්මසමන්වාගත වේ.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂයන් සෙවුනේ වෙයි යත්: මහණෙනි මෙලොවැ අසත්පුරුෂ හට ශ්‍රද්ධා නැති ලජ්ජා නැති බිය නැති අල්පශ්‍රැත වූ, කුසීත වූ, මූඪස්මෘති ඇති දුෂ්ප්‍රාඥ වූ යම් මහණ බමුණු කෙනෙක් වෙද්ද, ඔවුහු මිත්‍ර වෙති, ඔවුහු සහායයෝ වෙත්. මහණෙනි, මෙසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂයන් සෙවුනේ වේ.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂචින්තී වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ තමහට දුක් පිණිස ද සිතයි. මෙරමාහට දුක් පිණිස ද සිතයි, තමා හා පරහට දුක් පිණිස ද සිතයි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂ සිතුවිලි සිතනුයේ වේ.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ ආත්මපීඩා පිණිස ද මන්ත්‍රණ කෙරෙයි. පරපීඩා පිණිස ද මන්ත්‍රණ කෙරෙයි, උභයපීඩා පිණිස ද මන්ත්‍රණ කෙරෙයි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂ මන්ත්‍රණ ඇත්තේ වේ.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂබස් බණන්නේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ මුසවා ඇතියේ වෙයි, පිසුනු බස් බණන්නේ වෙයි, පරොස් බස් බණනුයේ වෙයි, සිස්බස් බණනුයේ වෙයි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂ බස් බණන්නේ වේ.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂකම් ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ ප්‍රාණවධ කරනුයේ වෙයි, අයිනාදන් ගන්නේ වෙයි, කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂ කර්මාන්ත ඇතියේ වේ.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂදෘෂ්ටි ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: දානයෙහි ඵල නැත, යාගයෙහි ඵල නැත, පුදන ලදුයෙහි ඵල නැත, කුශලාකුශලකර්මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, සැවැ උපදනා සත්ත්ව කෙනෙක් නැත, යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න වූ මහණබමුණු කෙනෙක් ලොව නැතැ’ යි. මෙසෙයින් මහණෙනි, අසත්පුරුෂ අසත්පුරුෂදෘෂ්ටි ඇතියේ වේ.

මහණෙනි, කිසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂදාන දෙයි යත්: මහණෙනි, මෙලොවැ අසත්පුරුෂ නො සකසා දන් දෙයි, සියතින් දන් නො දෙයි, (දෙය ධර්ම, පුද්ගලයන් කෙරෙහි) බුහුමන් නො කොට දන් දෙයි. බැහැරලන රිසි ඇති වැ (අපවිත්‍ර වැ) දන් දෙයි, විපාක ලැබෙයි යන දෘෂ්ටි නැති ව දන් දෙයි. මහණෙනි, මෙසෙයින් අසත්පුරුෂ අසත්පුරුෂදානය දෙයි.

මහණෙනි, තෙල අසත්පුරුෂ මෙසේ අසද්ධර්මයෙන් සමන්වාගත වූයේ මෙසේ අසත්පුරුෂසේවන ඇතියේ මෙසේ අසත්පුරුෂචින්තා ඇතියේ මෙසේ අසත්පුරුෂමන්ත්‍රණ ඇතියේ මෙසේ අසත්පුරුෂ බස් ඇතියේ මෙසේ අසත්පුරුෂ කම් ඇතියේ මෙසේ අසත්පුරුෂ දෘෂ්ටි ඇතියේ මෙසේ අසත්පුරුෂ දන් දී කාබුණ් මරණින් මත්තෙහි අසත්පුරුෂයන්ගේ යම් ගතියෙක් ඇද්ද, එහි උපදී. මහණෙනි, අසත්පුරුෂයන්ගේ ගති කවර යැ: නිරය හෝ තිරිසන් යොනිය හෝ යි.

මහණෙනි, සත්පුරුෂ ‘මේ භවත් සත්පුරුෂයෙකැ’ යි සත්පුරුෂයා දතහෙන්නේ දැ’ යි.

එසේයැ, වහන්ස,

මැනැව මහණෙනි, යම් කරුණෙකින් සත්පුරුෂ ‘මේ භවත් සත්පුරුෂයෙකැ’ යි සත්පුරුෂයා දතහෙන්නේය යන මෙකරුණ වන්නේ යි.

යළි මහණෙනි, සත්පුරුෂ ‘මේ භවත් අසත්පුරුෂයෙකැ’ යි අසත්පුරුෂයා දතහෙන්නේ දැ’ යි.

එසේයැ, වහන්ස,

මැනැව මහණෙනි, යම් කරුණෙකින් සත්පුරුෂ ‘මේ භවත් අසත්පුරුෂයෙකැ’ යි අසත්පුරුෂයා දතහෙන්නේ යි.

මහණෙනි, සත්පුරුෂ සද්ධර්මයෙන් සමන්වාගත වෙයි. සත්පුරුෂයන් සෙවුනේ වෙයි, සත්පුරුෂ සිතිවිලි සිතන්නේ වෙයි, සත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි. සත්පුරුෂ බස් ඇත්තේ වෙයි, සත්පුරුෂ ක්‍රියා ඇත්තේ වෙයි, සත්පුරුෂදෘෂ්ටි ඇත්තේ වෙයි, සත්පුරුෂදාන දෙයි.

මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සද්ධර්මසමන්වාගත වෙයි යත්: මෙලොවැ සත්පුරුෂහට ශ්‍රද්ධා ඇත්තේ වෙයි, හ්‍රී ඇත්තේ වෙයි, අපත්‍රපා ඇත්තේ වෙයි, බහුශ්‍රැත වූයේ වෙයි. ආරබ්ධවීර්යය වෙයි, එළැඹසිටි සිහි ඇත්තේ වෙයි, ප්‍රඥාවත් වෙයි. මෙසෙයින් මහණෙනි, සත්පුරුෂ සද්ධර්මසමන්වාගත වූයේ වේ.

මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂ සෙවුනේ වෙයි යත්: මෙලොවැ සත්පුරුෂහට යම් මහණ බමුණු කෙනෙක් ශ්‍රද්ධා ඇත්තාහු හ්‍රී ඇත්තාහු අපත්‍රපා ඇත්තාහු බහුශ්‍රැත වූවාහු ආරබ්ධවීර්යය වූවාහු එළැඹසිටි සිහි ඇත්තාහු ප්‍රඥාවත් වූවාහු වෙත්ද ඔවුහු මිත්‍ර වෙති, ඔවුහු සහායයෝ වෙත්. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂයන් සෙවුනේ වේ.

මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂචින්තා ඇත්තේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ ආත්ම පීඩාව පිණිස නො මැ සිතයි, පරපීඩා පිණිස නො මැ සිතයි, උභයපීඩා පිණිස නො සිතයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂචින්තා ඇත්තේ වේ.

මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂමන්ත්‍රණ ඇත්තේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ ආත්මපීඩා පිණිස නො මැ මන්ත්‍රණ කෙරෙයි. පරපීඩා පිණිස මන්ත්‍රණ නො කෙරෙයි, උභයපීඩා පිණිස මන්ත්‍රණ නො කෙරෙයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂ මන්ත්‍රණ ඇත්තේ වේ.

මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂවචන ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ මුසවායෙන් වැළකුණේ වෙයි, පිසුනු බසින් වැළකුණේ වෙයි, පරොස් බසින් වැළකුණේ වෙයි, සිස්බස් බිණිමෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂ වචන ඇත්තේ වේ.

මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂ කර්මාන්ත ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ ප්‍රාණවධයෙන් වැළකුණේ වෙයි, අදත්තාදානයෙන් වැළකුණේ වෙයි, කාමමිථ්‍යාචාරයෙන් වැළකුණේ වෙයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂ කර්මාන්ත ඇතියේ වේ.

මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂ දෘෂ්ටි ඇතියේ වෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂ මෙබඳු දෘෂ්ටි ඇත්තේ වෙයි: දානයෙහි විපාක ඇත, යාගයෙහි විපාක ඇත, පූජායෙහි විපාක ඇත, සුකෘතදුෂ්කෘත කර්මයන්ගේ ඵල විපාක ඇත, (පර ලොවැ සිටියානට) මෙලොව ඇත, (මෙලොව සිටියානට) පරලොව ඇත, මවු (මාතෘ උපස්ථානයෙහි විපාක) ඇත, පියා ඇත, ඕපපාතික ව උපදනා සත්ත්වයෝ ඇත, ලොවැ යම් කෙනෙක් මෙලොවත් පරලොවත් තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, එබඳු සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න වූ මහණබමුණෝ ඇතැ’ යි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂදෘෂ්ටි ඇත්තේ වේ.

මහණෙනි, කිසෙයින් සත්පුරුෂ සත්පුරුෂදාන දෙයි යත්: මහණෙනි, මෙලොවැ සත්පුරුෂයා සකසා දන් දෙයි, සියතින් දන් දෙයි, සිතින් බුහුමන් කොට දන් දෙයි. විපාක ලැබෙයි යන දෘෂ්ටි ඇති ව දන් දෙයි. මහණෙනි, මෙසෙයින් සත්පුරුෂ සත්පුරුෂදාන දෙයි.

මහණෙනි, තෙල සත්පුරුෂ මෙසේ සද්ධර්මසමන්වාගත වූයේ මෙසේ සත්පුරුෂයන් සෙවුනේ මෙසේ සත්පුරුෂචින්තා ඇතියේ මෙසේ සත්පුරුෂමන්ත්‍රණ ඇතියේ මෙසේ සත්පුරුෂ බස් ඇතියේ මෙසේ සත්පුරුෂකර්මාන්ත ඇතියේ මෙසේ සත්පුරුෂදෘෂ්ටි ඇතියේ මෙසේ සත්පුරුෂදාන දී කාබුන් මරණින් මත්තෙහි සත්පුරුෂයන් ගේ යම් ගතියෙක් ඇද්ද, එහි උපදනේය. මහණෙනි, සත්පුරුෂයන්ගේ ගති කවර යත්: ෂට්කාමාවචර දෙව සංඛ්‍යාත දේවමහත්වය හෝ මනුෂ්‍යමහත්වය හෝ යි.

භාග්‍යවතුන් වහන්සේ මේ සුත වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දනා කළාහ ‘යි.

දසවැනිචූළපුණ්ණමසූත්‍රය නිමියේ ය.