පඤ්චත්තය සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි

 

මජ්ඣිම නිකායේ

 

මැඳුම් සඟියෙහි

 

උපරිපණ්ණාසකයෙහි

 

පලමු වැනි වූ දේවදහ වර්ගය

 

3.1.2

 

පඤ්චත්තය සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ගොදුරුගම් කොට අනේවඩු මහසිටුහුගේ දෙව්රම් නම් අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්ෂූන් ඇමතූ සේක. ‘වහන්සැ’ යි එ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

මහණෙනි, (අපරාන්ත සංඛ්‍යාත අනාගත ස්කන්ධභාග විකල්පනා කොට ගනුයෙන්) අපරාන්තකල්පික වූ (අපරාන්තානුගත දෘෂ්ටි ඇතියෙන්) අපරාන්තානුදෘෂ්ටික වූ අපරාන්තය අරභයා අනෙකප්‍රකාර වූ (යථාර්ථය නො ගෙන වැටෙනුයෙන් අධිවෘත්ති යයි කියන ලද) දෘෂ්ටිදීපක වචනයන් මතු කොට පවසත් ද, එබඳු වූ (ලොකයා විසින්) ශ්‍රමණයහ’යි ද බ්‍රාහ්මණයහ’යි ද සම්මත වූ කිසි වාදී කෙනෙක් ඇත. ‘ආත්මය සංඥා සමන්විත වෙයි, මරණින් මතු නිත්‍ය වෙතී’ මෙසේ කෙනෙක් පවසති. ‘ආත්මය සංඥා සමන්විත නො වෙයි, මරණින් මතු නිත්‍ය වෙතී’ මෙසේ කෙනෙක් පවසති. ‘ආත්මය නෛවසංඥ නාසංඥ වෙයි, මරණින් මතු නිත්‍ය වෙතී’ මෙසේ කෙනෙක් පවසති, විද්‍යමාන වූ මැ සත්ත්වයාගේ උපච්ඡෙදය අදර්ශනය භවවිගමය පනවති. කිසි වාදී කෙනෙක් (මෙ ලොව්හි ම දුඃඛව්‍යපශම වෙතී ගත්) දෘෂ්ටධර්මනිර්‍වාණය පවසත්. මෙසේ (සංඥ ආදී විසින් තුන් අයුරෙකින්) විද්‍යමාන වූ ආත්මයක් මරණින් මතු නිත්‍ය කොට පනවත්. විද්‍යමාන වූ සත්ත්වයාගේ උපච්ඡෙද අදර්ශන භවවිගම පනවත්. කිසි කෙනෙක් දෘෂ්ට ධර්මනිර්‍වාණ හෝ පවසත්. මෙසේ මොහු පසක් ව තිදෙනෙක් වෙති. තුනක් ව පස් දෙනෙක් වෙති. මේ පඤ්චත්‍රිකයා ගේ උද්දෙස යි.

මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ සංඥාවත් ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ (කරජරූපයෙන් හෝ කසිණ රූපයෙන් හෝ) රූපී වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ (අරූපසමාපත්තිනිමිත්ත වූ හෝ සංඥාස්කන්ධය තබා සෙසු අරූපධර්ම සංඛ්‍යාත වූ හෝ) අරූපී වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපී වූත් අරූපී වූත් සංඥාවත් වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නො මැ රූපී වූ අරූපී නො වූ සංඥාවත් වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ එකත්වසංඥ වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නානාත්වසංඥ වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ (කිසුණුපිරියම් විසින්) අල්පමාත්‍ර සංඥා ඇති සංඥාවත් වූ ආත්මය හෝ පනවති. ඒ භවත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍ය වූ (විපුල කසිණ විසින්) අප්‍රමාණ සංඥා ඇති සංඥාවත් වූ ආත්මය හෝ පනවති. යළි තෙල සංඥාසප්තකය (කිසිවෙක් අෂ්ටකය) හෝ ඉක්මවා ගිය කිසි කෙනෙකුන් අතුරෙන් ඇතැම් කෙනෙක් විඥානකසිණය අප්‍රමාණ ය අචල යයි කියති. මහණෙනි, තථාගතයෝ ඒ (දිට්ඨිගත දිට්ඨිපච්චය දිට්ඨාරම්මණ) ද විශිෂ්ටඥානයෙන් දන්නාහ.

යම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ සංඥා ඇති ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ (කරජරූපයෙන් හෝ කසිණ රූපයෙන්) රූපී වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අරූපී වූ සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපී වූත් අරූපී වූත් සංඥාවත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ එකත්වසංඥී වූ සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණ බමුණෝ මරණින් මතු නිත්‍ය වූ නානාත්වසංඥී වූ සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අල්පමාත්‍ර සංඥා ඇති සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අප්‍රමාණ සංඥා ඇති සංඥායෙන් යුත් ආත්මය හෝ පනවති. යළි මෙසේ කියන ලද තෙල සංඥාවන් අතුරෙන් යම් සංඥාවක් පරිශුද්ධ (නිරුපක්ලෙශ) යැ උත්තම යැ අග්‍ර යැ අසදෘශ යැයි කියනු ලැබේ ද, ඉදින් රූපසංඥාවන් කෙරෙන් වේව’යි ඉදින් අරූපසංඥාවන් කෙරෙන් වේව’යි ඉදින් ඒකත්වසංඥාවන් කෙරෙන් වේව’යි ඉදින් නානාත්වසංඥාවන් කෙරෙන් වේව’යි ඇතැම් කෙනෙක් කිසිවක් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය අප්‍රමාණ යැ අචල යැයි කියති. එහැම (සංඥාගතය) ප්‍රත්‍යයසමවායෙන් කරන ලද, ඖදාරික යැ, තෙල (සංඛත යයි කියන ලද) සංස්කාරයන් ගේ නිරොධය ඇත් මැ ය. ‘තෙල නිවන ඇතැ’යි මෙසේ දැන එ සංඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සංඛතය ඉක්මවූවාහ.

මහණෙනි, එහි (ඒ අටවැදැරුම් අසංඥවාදයන් කෙරෙහි) යම් මහණ බමුණුකෙනෙක් මරණින් මතු නිත්‍ය වූ අසංඥී වූ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපවත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අරූපවත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු අරූපවත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපීත් අරූපීත් හෝ අසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ අසංඥී වූ ආත්මය පනවති. මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ සංඥී වූ ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන් ගේ දෘෂ්ටිය ප්‍රතිබාහන කෙරෙත්. ඒ කුමක් හෙයින යත්: සංඥාව (ආබාධ අටින්) රොගයෙකැ, සංඥාව (සදොෂ අටින්) ගණ්ඩයෙකැ, සංඥාව (ඇතුළතැ පිවිසෙන අටින්) ශල්‍යයෙකැ, යම් සංඥාඅභාවයෙක් ඇද්ද තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ එහෙයින්. මහණෙනි, එ (දෘෂ්ටිගත ආදිය) ද තථාගතයෝ විශිෂ්ටඥානයෙන් දන්නාහ.

යම් ඒ භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ අසංඥ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපවත් හෝ අසංඥී ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අරූපී වූ හෝ අසංඥී ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපීත් අරූපීත් හෝ අසංඥී ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ අසංඥී ආත්මය පනවති. මහණෙනි, යම් කිසි මහණෙක් වේවයි බමුණෙක් වේවයි මෙසේ කියා නම් මම රූපය හැර වේදනාව හැර සංඥාව හැර සංස්කාරයන් හැර විඥානයාගේ ප්‍රතිසන්ධිය හෝ ගතිය හෝ ච්‍යුතිය හෝ උපප්‍රාප්තිය හෝ වෘද්ධිය හෝ විරූඪ බව හෝ විපුල බව හෝ පනවන්නෙමි’යි. තෙල කරුණ නො වෙයි. ඒ හැම සංඥාගත යැ, ප්‍රත්‍යයන් විසින් සකස් කරනලද, එහෙයින් මැ ඖදාරික වෙයි. යළි සංස්කාරයන්ගේ නිරොධය ඇත් මැ යැ, ‘තෙල නිවන ඇතැ’යි මෙසේ දැන එ සංඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ එ සංඛතය ඉක්මවූහ.

මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ නෛවසංඥීනාසංඥී වූ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ සංඥා ඇති අසංඥ නො වූ රූපී වූ හෝ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ සංඥා ඇති අසංඥ නො වූ අරූපී වූ හෝ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ සංඥා ඇති අසංඥ නො වූ රූපී වූත් අරූපී වූත් හෝ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නෛවසංඥී වූ අසංඥී නො වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ ආත්මය පනවති. මහණෙනි, ඒ අටවැදැරූම් නෙවසංඤ්ඤීනාසඤ්ඤීවාදයන් අතුරෙහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මත්තෙහි නිත්‍ය වූ සංඥාවත් ආත්මය පනවත් ද, ඔවුන්ගේ ලබ්ධිය ඇතැම් කෙනෙක් ප්‍රතිබාහන කෙරෙත්. යම් භවත් මහණබමුණු කෙනෙකුන් මරණින් මතු නිත්‍ය වූ අසංඥී ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන්ගේ ලබ්ධිය පිළිකෙව් කෙරෙති. ඒ කවර හෙයින යත්: සංඥාව රොගයෙකැ, සංඥාව ගණ්ඩයෙකැ, සංඥාව ශල්‍යයෙකැ, අසංඥ භාවය සම්මොහයට කරුණු යැ, යම් නෛවසංඥා නාසංඥ බවෙක් ඇද්ද, තෙල ශාන්ත යැ තෙල ප්‍රණීත යැ, එහෙයින්, මහණෙනි, එ (දෘෂ්ටිගත ආදිය) ද තථාගතයෝ විශිෂ්ට ඥානයෙන් දන්නාහ.

යම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍යවූ නෛවසංඥී වූ නාසංඥී වූ ආත්මය පනවත් ද, ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපවත් හෝ නො මැ සංඥා ඇති අසංඥ නො වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ අරූපී වූ හෝ නො මැ සංඥී වූ අසංඥී නො වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ රූපී වූත් අරූපී වූත් හෝ නෛවසංඥීනාසංඥී වූ ආත්මය පනවති. ඒ භවත් මහණබමුණෝ මරණින් මතු නිත්‍ය වූ නො මැ රූපී වූ අරූපී නො වූ හෝ නෛවසංඥීනාසංඥී වූ ආත්මය පනවති. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දිට්ඨ (රූප) සුත (ශබ්ද) මුත (ගන්ධ රස ස්ප්‍රෂ්ටව්‍ය) සංඥාමාත්‍ර (පඤ්චද්වාරික සංඥා) ඇති තෙල නෙවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ ඖදාරිකසංස්කාරප්‍රවෘත්තියෙන් ප්‍රතිලාභය පනවත් ද, මහණෙනි, තෙල ආයතනයාගේ ප්‍රතිලාභයට මෙය ව්‍යසනයෙකැ’යි කියනු ලැබේ. මහණෙනි, තෙල ආයතනය ඖදාරික සංස්කාර සහිත වූ සමාපත්තියෙන් පැමිණිය යුතු යයි නො මැ කියනු ලැබෙයි. මහණෙනි, තෙල ආයතනය (භාවනා විසින් සුඛුම බවට පමුණුවන ලද බැවින්) අවශෙෂසංස්කාරයන්ගේ ප්‍රවෘත්තියෙන් පැමිණිය යුතු යයි කියනු ලැබේ. ඒ (සියුම් වූ ද) සංඛතය (ප්‍රත්‍යයොත්පන්න වන බැවින්) ඖදාරික වෙයි. සංස්කාරයන්ගේ නිරොධය ඇත් මැ යැ. තෙල නිරොධය ඇතැ’යි මෙසේ දැන ඒ සංඛතයාගේ නිස්සරණය දක්නා වූ තථාගතයෝ ඒ සංඛතය ඉක්මවූහ.

මහණෙනි, ඒ සත්වැදැරුම් උච්ඡෙදවාදයන් කෙරෙහි යම් මහණබමුණු කෙනෙක් විද්‍යමාන වූ සත්ත්වයාගේ සිඳීම නො දැක්ම භවවිගමය පනවත් ද, මහණෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ සංඥී වූ ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන්ගේ දෘෂ්ටිය ප්‍රතිබාහන කෙරෙති. යම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ අසංඥී වූ ආත්මය පනවත් ද ඇතැම් කෙනෙක් ඔවුන්ගේ දෘෂ්ටිය ප්‍රතිෂෙධ කෙරෙති. යම් භවත් මහණබමුණු කෙනෙක් මරණින් මතු නිත්‍ය වූ නෛවසංඥීනාසංඥී වූ ආත්මය පනවත් ද, ඇතැම් කෙනෙක් ඔවුන්ගේ දෘෂ්ටිය ප්‍රතික්ෂේප කෙරෙති. ඊට කරුණු කිම යත්: මෙ හැම භවත් මහණබමුණෝ උද්ධංසර (අනාගතයෙහි සංසාරයෙන් ශුද්ධිය වේ යයි) වාද ඇත්තාහු ‘පරලොවැ මෙසේ වම්හ’ ‘පරලොව මෙසේ වම්හ’යි ඇලීම මැ ප්‍රකාශ කෙරෙති. යම් පරිදි වෙණෙඳහම් සඳහා යන වෙණෙඳහුට මෙබඳු සිතෙක් වේ ද: තිලින් මට මේ ලාභය වෙයි. මෙයින් මෙ වත් ලබමි’යි. එසෙයින් මැ මේ භවත් මහණබමුණෝ ‘මෙසේ පරලොවැ (ක්ෂත්‍රිය) වෙමි. මෙසේ පරලොවැ (බමුණු) වෙමි’යි වෙළෙඳුන් මෙන් වූවාහු (මට) වටහති. මහණෙනි, ඒ උච්ඡෙද දෘෂ්ටිය තථාගතයෝ විශිෂ්ටඥානයෙන් දන්නාහ.

යම් භවත් මහණබමුණු කෙනෙක් විද්‍යමාන වූ සත්ත්වයාගේ උච්ඡෙදය විනාශය භවවිගමය පනවත් ද, ඔහු (ත්‍රෛභූමකධර්ම සංඛ්‍යාත) සත්කායට බියෙන් සත්කාය ජුගුප්සා කිරීමෙන් සත්කාය මැ අනුධාවනය කෙරෙති. අනුපරිවර්තන කෙරෙති. යම්සේ බලුබැඳුමෙන් බැඳුණු ශුනකයෙක් දැඩි වූ ටැඹෙක හෝ කණුවෙක හෝ බඳනා ලදුයේ එ මැ ටැඹ හෝ කණුව හෝ අනුපරිධාවන අනුපරිවර්තන කෙරේ ද, එසෙයින් මැ මේ භවත් බමණබමුණෝ සත්කායභීතිය හේතු කොට ගෙන සත්කාය ජුගුප්සාව හේතු කොට ගෙන සත්කාය මැ අනුධාවන අනුපරිවර්තන කෙරෙත්. එ සත්කාය ප්‍රත්‍යයොත්පන්නයෙක. (එහෙයින් මැ) ඖදාරික යැ. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ. තෙල ‘නිරෝධය ඇතැ’යි මෙසේ දැන ඒ සංඛතයාගේ නිස්සරණය දක්නා වූ තථාගතයෝ ඒ සංඛතය ඉක්මවූහ.

මහණෙනි, යම්කිසි ශ්‍රමණ කෙනෙක් වේවයි බ්‍රාහ්මණ කෙනෙක් වේවයි අපරාන්තය විකල්පනා කොට ගත් අපරාන්තදෘෂ්ටි ඇත්තාහු අපරාන්තය අරභයා අනේකප්‍රකාර වූ දෘෂ්ටිදීපකවචනයන් ප්‍රකාශ කෙරෙත් ද, ඔහු සියල්ලෝ මේ පඤ්චකාරණයන් මැ ප්‍රකාශ කෙරෙති. මොවුනතුරෙන් අන්‍යතරයක් හෝ ප්‍රකාශ කෙරෙත්.

මහණෙනි, ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත. ඔහු පූර්‍වාන්තය විකල්පන කොට ගත්තාහු පූර්‍වාන්තදෘෂ්ටි ඇතියාහු පූර්‍වාන්තය අරභයා අනේකවිධ දෘෂ්ටිදීපකවචනයන් ප්‍රකාශ කෙරෙත්: ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත්, ලෝකයත් අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත ද අශාශ්වත ද වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් නො මැ ශාශ්වත වූයේ නො ද අශාශ්වත වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේ නො වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් අන්ත ඇත්තේත් අන්ත නැත්තේත් වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් නො මැ අන්තවත් වූයේ අනන්තවත් නො වෙයි, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් එකත්වසංඥා ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් නානාත්වසංඥා ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් පරිත්ත (අල්ප) සංඥා ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් අප්‍රමාණසංඥා ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලොකයත් ඒකාන්තසුඛ ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’, යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් ඒකාන්ත දුංඛ ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් සුඛදුඃඛ ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙති. ‘ආත්මයත් ලෝකයත් නොදුක් නොසුව ඇත්තේ යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි මෙසේ ඇතැම් කෙනෙක් ප්‍රකාශ කෙරෙත්.

මහණෙනි, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක් ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය සිස් යැ’ යන මෙවන් වාද ඇත්තාහු මෙවන් දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඔවුනට ඒකාන්තයෙන් ශ්‍රද්ධාව මිස රුචිය මිස අනුශ්‍රවය මිස ආකාරපරිවිතර්කය මිස දෘෂ්ටියෙන් සිතා රුස්වාගැනීම මිස ‘පරිශුද්ධ (නිරුපක්ලෙශ) පර්ය්‍යවදාත (ප්‍රභාස්වර) ප්‍රත්‍යක්ෂඥානයෙක් වන්නේ යැ’ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි. මහණෙනි, වැලිත් ‘පරිශුද්ධ පර්ය්‍යවදාත ප්‍රත්‍යක්ෂඥානය නැති කල්හි ඒ භවත් මහණබමුණෝ එහි යම් මැ ඥානභාගයක් පිරිසිදු කෙරෙත් ද, එ ද ඒ භවත් ශ්‍රමණබ්‍රාහ්මණයන්ගේ (දෘෂ්ටි) උපාදානයෙකැ’ යි කියනු ලැබේ. ඒ දෘෂ්ටිගතය ප්‍රත්‍යයොත්පන්න යැ, (එහෙයින් මැ) ඖදාරික වෙයි. සංස්කාරයන්ගේ නිරෝධය ඇත් මැ යැ, ‘තෙල නිවන ඇතැ’ යි මෙසේ දැක ඒ සඞ්ඛතයාගේ නිස්සරණය (නිවන) දක්නා තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මවූහ.

මහණෙනි, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ‘ආත්මයත් ලෝකයත් අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, තදන්‍යය තුච්ඡ යැ’ යි . . . ‘ආත්මයත් ලෝකයත් ශාශ්වත ද අශාශ්වත ද වෙයි’ . . . ‘ආත්මයත් ලෝකයත් නො මැ ශාශ්වත යැ, අශාශ්වත නො වෙයි’ . . . ‘ආත්මයත් ලෝකයත් අන්තවත් යැ’ . . . ‘ආත්මයත් ලෝකයත් අනන්තවත් වෙයි’ . . . ‘ආත්මයත් ලෝකයත් අන්තවත් ද අනන්තවත් ද වෙයි’ . . . ‘ආත්මයත් ලෝකයත් නො මැ අන්තවත් යැ, අනන්තවත් නො වෙයි’ . . . ‘ආත්මයත් ලෝකයත් එකත්වසංඥී වෙයි’ . . . ‘ආත්මයත් ලෝකයත් නානාත්වසංඥී වෙයි’ . . . ‘ආත්මයත් ලෝකයත් පරිත්තසංඥී වෙයි’ . . . ‘ආත්මයත් ලෝකයත් අප්‍රමාණසංඥී වෙයි’ . . . ‘ආත්මයත් ලෝකයත් එකාන්තසුඛ ඇති වෙයි’ . . . ‘ආත්මයත් ලෝකයත් ඒකාන්ත දුක් ඇති වෙයි’ . . . ‘ආත්මයත් ලෝකයත් සුවදුක් ඇති වෙයි’ . . . ‘ආත්මයත් ලෝකයත් නොදුක්නොසුව ඇති වෙයි’ මේ මැ සැබව, තදන්‍යය තුච්ඡ යැ’ යි ඔවුනට ඒකාන්තයෙන් ශ්‍රද්ධාව තබා රුචිය තබා අනුශ්‍රවය තබා ආකාරපරිවිතර්කය තබා දෘෂ්ටියෙන් සිතා රුස්වාගැනීම තබා ‘පරිශුද්ධ ප්‍රභාස්වර ප්‍රත්‍යක්ෂඥානයෙක් වන්නේ යැ’ යන තෙල කරුණ විද්‍යමාන නො වෙයි, මහණෙනි, වැලිත් පරිශුද්ධ ප්‍රභාස්වර ප්‍රත්‍යක්ෂඥානය නැති කල්හි ඒ භවත් මහණබමුණෝ එහි යම් මැ ඥානභාගයකට බැසගනිත් ද, එ ද ඒ භවත් මහණබමුණන්ගේ (දෘෂ්ටි) ‘උපාදානයෙකැ’ යි කියනු ලැබේ. ඒ දෘෂ්ටිගතය ප්‍රත්‍යයෝත්පන්න යැ, (එහෙයින් මැ) ඖදාරික වෙයි, සංස්කාරයන්ගේ නිරොධය ඇත් මැ යැ, ‘තෙල නිවන ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ දෘෂ්ටිය ඉක්මවූහ.

මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන්ගේ දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන්ගේද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් පඤ්චකාමගුණික සංයොජනයන්ගේ බැහැර කිරීමෙන් (සප්‍රීතිකධ්‍යානද්වය, සඞ්ඛ්‍යාත) ප්‍රවිවේකප්‍රීතියට පැමිණ වෙසෙයි. යම් ප්‍රවිවේක ප්‍රීතියකට පැමිණ වෙසෙම් ද ‘තෙල ප්‍රීතිය ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුගේ ඒ ප්‍රවිවේක ප්‍රීතිය (ධ්‍යාන නිරොධයෙන්) නිරුද්ධ වෙයි. ප්‍රවිවේක ප්‍රීතිය නිරුද්ධ වීමෙන් දොම්නස උපදී. දොම්නස්හුගේ නිරොධයෙන් ප්‍රවිවෙක ප්‍රීතිය උපදී. මහණෙනි, යම්සේ සෙවණ යම් තැනක් හැරපියා ද ආතපය එතැන පැතිරෙයි. ආතපය යම් තැනක් හැරපියා ද සෙවණ එතැන පැතිරෙයි. එසෙයින් මැ මහණෙනි, ප්‍රවිවෙක ප්‍රීතිය නිරුද්ධ වීමෙන් දොම්නස උපදී‍. දොම්නස නිරුද්ධ වීමෙන් ප්‍රවිවේක ප්‍රීතිය උපදී. මහණෙනි ඒ ධ්‍යානද්වය ප්‍රීතිය තථාගතයෝ විශිෂ්ටඥානයෙන් දන්නාහ: “මේ භවත් මහණ හෝ බමුණු හෝ පූර්‍වාන්තානුදෘෂ්ටිය ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටිය ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයෝජනයන් බැහැර කිරීමෙන් ‘යම් ප්‍රවිවෙක ප්‍රීතියකට පැමිණ වෙසෙම් නම් තෙල ප්‍රීතිය ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි ප්‍රවිවේක ප්‍රීතියට පැමිණ වෙසෙයි.” ඔහුගේ ඒ ප්‍රවිවේක ප්‍රීතිය නිරුද්ධ වෙයි. ප්‍රවිවේක ප්‍රීතිය නිරුද්ධ වීමෙන් දොම්නස උපදී. දොම්නස නිරුද්ධ වීමෙන් ප්‍රවිවෙක ප්‍රීතිය උපදී. ඒ ධ්‍යානද්වය ප්‍රීතිය ප්‍රත්‍යයොත්පන්න යැ, (එහෙයින් මැ) ඖදාරික යැ, සංස්කාරයන්ගේ නිරොධය ඇත් මැ යැ, තෙල ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයා ගේ නිස්සරණය දක්නා වූ තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මවූහ.

තවද මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ පූර්‍වාන්තානුදෘෂ්ටිය ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටිය ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයොජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවෙකප්‍රීතිය ඉක්මවීමෙන් (තෘතීයධ්‍යාන සඞ්ඛ්‍යාත) නිරාමිෂසුඛයට පැමිණ වෙසෙයි: ‘යම් නිරාමිෂසුඛයකට පැමිණ වෙසෙම් නම් තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි කියා යි. ඔහුගේ ඒ නිරාමිෂසුඛය නිරුද්ධ වෙයි, නිරාමිෂසුඛයාගේ නිරොධයෙන් ප්‍රවිවෙකප්‍රීතිය උපදී. ප්‍රවිවෙකප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂසුඛය උපදී. මහණෙනි, යම්සේ සෙවණ යම් තැනක් හැරපියා ද ආතපය එතැන පැතිරෙයි, ආතපය යම් තැනක් හැරපියා ද සෙවණ එතැන පැතිරෙයි, එසෙයින් මැ මහණෙනි, නිරාමිෂ සුඛයාගේ නිරොධයෙන් ප්‍රවිවෙකප්‍රීතිය උපදී. ප්‍රවිවෙකප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂ සුඛය උපදී. මහණෙනි, තථාගතයෝ එකරුණ විශිෂ්ටඥානයෙන් දන්නාහ: ‘මේ භවත් ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයොජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවෙකප්‍රීතිය ඉක්මවීමෙන් යම් නිරාමිෂසුඛයකට පැමිණ වෙසෙම් නම් ‘තෙල ශාන්ත යැ, තෙල ප්‍රණීත යැ’ යි නිරාමිෂ (තෘතීයධ්‍යාන) සුඛයට පැමිණ වෙසෙයි. ඔහුගේ ඒ නිරාමිෂසුඛය නිරුද්ධ වෙයි. නිරාමිෂසුඛයාගේ නිරොධයෙන් ප්‍රවිවෙකප්‍රීතිය උපදී. ප්‍රවිවෙකප්‍රීතිය නිරුද්ධ වීමෙන් නිරාමිෂසුඛය උපදී. ඒ සුඛය ප්‍රත්‍යයොත්පන්න යැ (එහෙයින් මැ) ඖදාරික යි. සංස්කාරයන්ගේ නිරොධය ඇත් මැ යැ. ‘තෙල නිරොධය ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මසිටියහ.

මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයොජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවෙකප්‍රීතිය ඉක්මැවීමෙන් නිරාමිෂසුඛය ඉක්මැවීමෙන් නොදුක්නොසුව වෙදනා උපයා වෙසෙයි: ‘යම් මේ නොදුක්නොසුව වෙදනාවක් උපයා වෙසෙම් නම් තෙල චතුර්‍ථධ්‍යාන වෙදනා ශාන්ත යැ තෙල ප්‍රණීත යැ කියා යි. ඔහුගේ ඒ නොදුක් නොසුව වෙදනා නිරුද්ධ වෙයි. නොදුක්නොසුව වෙදනා නිරෝධයෙන් නිරාමිෂසුඛය උපදී. නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් නොදුක්නොසුව වෙදනා උපදී. මහණෙනි, යම්සේ ඡායාව යම් තැනක් හැරපියා ද ආතපය එතැන පැතිරෙයි. ආතපය යම් තැනක් හැරපියා ද සෙවණ එතැන පැතිරෙයි. එසෙයින් මැ මහණෙනි, අදුක්ඛමසුඛවෙදනාවගේ නිරොධයෙන් නිරාමිෂසුඛය උපදී. නිරාමිෂසුඛයාගේ නිරොධයෙන් අදුක්ඛමසුඛ වෙදනාව උපදී. මහණෙනි, ඒ මේ චතුර්‍ථධ්‍යානවෙදනාව තථාගතයෝ දනිති: මේ භවත් මහණ හෝ බමුණු හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයොජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවෙකප්‍රීතිය ඉක්මැවීමෙන් නිරාමිෂසුඛය ඉක්මැවීමෙන් ‘යම් මේ අදුක්ඛමසුඛවෙදනාවක් උපයා වෙසෙම් ද, තෙල චතුර්‍ථධ්‍යානවෙදනාව ශාන්ත යැ තෙල ප්‍රණීත යැ’ යි අදුක්ඛමසුඛවෙදනාව උපයා වෙසෙයි. ඔහුගේ ඒ අදුක්ඛමසුඛවෙදනාව නිරුද්ධ වෙයි. අදුක්ඛමසුඛවෙදනාවගේ නිරොධයෙන් නිරාමිෂසුඛය උපදී. නිරාමිෂසුඛයාගේ නිරෝධයෙන් අදුක්ඛමසුඛවේදනාව උපදී. ඒ මේ චතුර්ථධ්‍යානවෙදනාව ප්‍රත්‍යයොත්පන්න යැ, (එහෙයින් මැ) ඖදාරික යි. සංස්කාරයන්ගේ නිරොධය ඇත් මැ යැ. ‘තෙල නිරොධය ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මසිටියහ.

මහණෙනි, මෙලොව ඇතැම් මහණෙක් හෝ බමුණෙක් හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයොජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවේකප්‍රීතිය ඉක්මවීමෙන් නිරාමිෂසුඛය ඉක්මවීමෙන් අදුක්ඛමසුඛ වෙදනාව ඉක්මවීමෙන් ‘මම ශාන්තයෙමි, මම නිවියෙමි, මම උපාදාන නැතියෙමි’ නුවණින් දකී. මහණෙනි, මෙය තථාගතයෝ දනිති: “මේ භවත් මහණ හෝ බමුණු හෝ පූර්‍වාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් අපරාන්තානුදෘෂ්ටීන් ද දුරැලීමෙන් සර්‍වප්‍රකාරයෙන් කාමසංයොජනයන් බැහැර කිරීමෙන් ප්‍රවිවෙකප්‍රීතිය ඉක්මවීමෙන් නිරාමිෂසුඛය ඉක්මවීමෙන් අදුක්ඛමසුඛවෙදනාව ඉක්මවීමෙන් ‘මම ශාන්තයෙමි, මම නිවියෙමි, මම උපාදාන නැතියෙමී’ නුවණින් දකී, එකාන්තයෙන් මේ ආයුෂ්මත් නිවනට සත්ප්‍රාය වූ මැ ප්‍රතිපදාව කියයි, එතෙකුදු වත් මේ භවත් මහණ හෝ බමුණු හෝ දැඩි කොට ගන්නේ පූර්‍වාන්තානුදෘෂ්ටිය හෝ දැඩි කොට ගනියි. දැඩි කොට ගන්නේ අපරාන්තානුදෘෂ්ටිය හෝ දැඩි කොට ගනියි, දැඩි කොට ගන්නේ කාමසංයොජනය හෝ දැඩි කොට ගනියි, දැඩි කොට ගන්නේ ප්‍රවිවෙකප්‍රීතිය හෝ දැඩි කොට ගනියි, දැඩි කොට ගන්නේ නිරාමිෂසුඛය හෝ දැඩි කොට ගනියි, දැඩි කොට ගන්නේ අදුක්ඛමසුඛවේදනාව හෝ දැඩි කොට ගනියි, මෙ ආයුෂ්මත් යමක් ගෙන ‘මම සන්හුන්මි, මම නිවියෙමි, මම උපාදාන නැතියෙමි’ සමනුපස්සනා කෙරේ ද, එ ද මෙ භවත් මහණහුගේ බමුණුගේ ‘උපාදානයෙකැ’ යි කියනු ලැබේ. ඒ මෙය ප්‍රත්‍යයොත්පන්න යැ, (එහෙයින් මැ,) ඖදාරික යි, සංස්කාරයන්ගේ නිරොධය ඇත් මැ යැ. ‘තෙල නිරොධය ඇතැ’ යි මෙසේ දැන ඒ සඞ්ඛතයාගේ නිස්සරණය දක්නා තථාගතයෝ ඒ සඞ්ඛතය ඉක්මවූහ.

මහණෙනි, සවැදෑරුම් ස්පර්ශායතනයන්ගේ සමුදය ද අස්තඞ්ගමය ද ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද තතුසේ දැන යම් අනුපාදාවිමොක්ෂ සඞ්ඛ්‍යාත අර්හත්ඵලසමාප්තියෙක් ඇද්ද, තථාගතයන් විසින් අනුත්තර වූ මේ ශාන්ත වූ උත්තමපදය අවබොධ කරන ලද්දේ යයි.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රදෙශනාව වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවත්හු ගේ භාෂිතය අභිනන්‍දන කළාහ’යි.

දෙවැනිපඤ්චත්තය සූත්‍රය නිමියේ ය.