මහා පුණ්ණමා සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

 

මජ්ඣිම නිකායේ

 

මැඳුම් සඟියෙහි

 

උපරිපණ්ණාසකයෙහි

 

පලමු වැනි වූ දේවදහ වර්ගය

 

3.1.9

 

මහා පුණ්ණම සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි මිගාරමාතෘප්‍රසාද නම් වූ පූර්‍වාරාමයෙහි වැඩවාස කරන සේක, තවද එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ එදවස් පණුරැසි පොහොයෙහි මස් පිරුණු රාත්‍රියෙහි භික්ෂුසංඝයා විසින් පිරිවරන ලද්දාහු අභ්‍යාවකාශයෙහි වැඩහුන් සේක.

ඉක්බිති එක්තරා මහණෙක් හුනස්නෙන් නැඟීසිට සිවුර එකස්කොට පෙරෙව භාග්‍යවතුන් වහන්සේ දිසාවට දොහොන් මුදුන් තබා වැඳ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ‘වහන්ස, ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ පැන විසඳනුවට අවකාස කරන සේක් නම්, මම භාග්‍යවතුන් වහන්සේ එකදෙසමාත්‍රයක් පුළුවුස්මී’ කීය.

එසේ වී නම් මහණ තෙපි සිය අස්නෙහි හිඳ යමක් රිසියෙයි නම් පුළුවුස්ව’යි වදාළහ.

එ සඳ එ මහණ සිය අස්නෙහි හිඳ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළේ:

වහන්ස, පඤ්චොපාදානස්කන්ධයෝ මොවුහු නො ද, ඒ මෙසේ යැ: රූපොපාදාන ස්කන්ධය වේදනොපාදානස්කන්ධය සංඥොපාදානස්කන්ධය සංස්කාරොපාදානස්කන්ධය විඥානොපාදානස්කන්ධ යි.

මහණ පඤ්චොපාදානස්කන්ධයෝ මොහු යැ, ඒ මෙසේ යැ: රූපොපාදානස්කන්ධ වේදනොපාදානස්කන්ධ සංඥොපාදානස්කන්ධ සංස්කාරොපාදානස්කන්ධ විඥානොපාදානස්කන්ධ යි.

යළි වහන්සැ, මේ පඤ්චොපාදානස්කන්ධයෝ කුමක් මුල් කොට ඇත්තාහු දැ’යි.

මහණ, මේ පඤ්චොපාදානස්කන්ධයෝ තෘෂ්ණාව මුල් කොට ඇත්තාහ’යි.

වහන්ස, එ මැ උපාදාන ඒ පඤ්චස්කන්ධයෝ වෙත් ද, නොහොත් පඤ්චොපාදානස්කන්ධයෙන් වෙන් වැ උපාදාන වේ දැ’යි.

වහන්ස, යළි පඤ්චොපාදානස්කන්ධයන් විෂයෙහි ඡන්‍දරාගයාගේ වෙනස්බවෙක් ඇද්දැ’යි පිළිවිත්.

මහණ, ‘ඇතැ’ යි බුදුහු වදාළහ: ‘මහණ, මෙලොවැ කිසිවක්හට මෙසේ සිත් වෙයි: අනාගතකාලයෙහි මෙබඳු රූප ඇත්තෙම් වන්නෙමි, අනාගත කාලයෙහි මෙබඳු වෙදනා ඇත්තෙම් වන්නෙමි, අනාගතකාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙම් වන්නෙමි, අනාගත කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙම් වන්නෙමි, අනාගතකාලයෙහි මෙබඳු විඥාන ඇත්තෙම් වන්නෙමි. මෙසේ පඤ්චොපාදානස්කන්ධ විෂයෙහි ඡන්‍දරාගයාගේ විවිධත්වය වන්නේ ය’ යි වදාළහ.

වහන්ස, යළි කොපමණෙකින් ස්කන්ධයන් ගේ ස්කන්ධප්‍රඥප්තිය වේ දැ’යි.

මහණ, අධ්‍යාත්ම වේවයි බාහ්‍ය වේවයි ඖදාරික වේවයි සූක්ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ යම් කිසි රූපයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් රූපයෙක් ඇද්ද, මේ රූපස්කන්ධ යැ, අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ අධ්‍යාත්මයෙහි වේවයි බාහ්‍යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් වේදනාවක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි යම් වෙදනාවක් ඇද්ද, මේ වෙදනාස්කන්ධ යැ, අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ අධ්‍යාත්මයෙහි වේවයි බාහ්‍යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි සංඥාවක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි යම් සංඥාවක් ඇද්ද, මේ සංඥාස්කන්ධ යැ. අතීතානාගතප්‍රත‍්‍යුත්‍යන්න වූ අධ්‍යාත්මයෙහි වේවයි බාහ්‍යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් සංස්කාර කෙනෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් සංස්කාර කෙනෙක් ඇද්ද, මේ සංස්කාරස්කන්ධ යැ. අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ අධ්‍යාත්මයෙහි වේවයි බාහ්‍යයෙහි වේවයි ඖදාරික වේවයි සූක්ෂම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම් කිසි විඥානයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් විඥානයෙක් ඇද්ද, මේ විඥානස්කන්ධ යැ. මහණ, මෙතෙකින් ස්කන්ධයන් ගේ ස්කන්ධප්‍රඥප්තිය වේයයි වදාළහ.

වහන්ස, රූපස්කන්ධයාගේ පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, වෙදනා ස්කන්ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, සංඥාස්කන්ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, සංස්කාරස්කන්ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍යය කවරේ ද, විඥානස්කන්ධය පැනැවීමට හේතු කවරේ ද, ප්‍රත්‍ය කවරේ දැ’ යි.

මහණ, රූපස්කන්ධය පැනැවීමට සතර මහාභූතයෝ හේතු වෙති, සතර මහාභූතයෝ ප්‍රත්‍යය වෙති. වේදනාස්කන්ධය පැනැවීමට ස්පර්ශය හේතු වෙයි, ස්පර්ශය ප්‍රත්‍යය වෙයි. සංඥාස්කන්ධය පැනැවීමට ස්පර්ශය හේතු වෙයි, ස්පර්ශය ප්‍රත්‍ය වෙයි. සංස්කාරස්කන්ධය පැනැවීමට ස්පර්ශය හේතු වෙයි, ස්පර්ශය ප්‍රත්‍ය වෙයි. මහණ, විඥානස්කන්ධය පැනැවීමට නාමරූපය හේතු වෙයි, නාමරූප ප්‍රත්‍යය වේ යයි වදාළසේක.

වහන්ස, යළි කිසෙයින් සත්කායදෘෂ්ටි වේ දැයි පිළිවිත්.

මහණ, මෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යයන් නුදුටුයේ ආර්‍ය්‍යධර්මයෙහි අකෝවිද වූයේ ආර්‍ය්‍යධර්මයෙහි අවිනීත වූයේ, සත් පුරුෂයන් නුදුටුයේ සත්පුරුෂධර්‍මයෙහි අකෝවිද වූයේ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූයේ රූපය ආත්ම වශයෙන් දකී, රූපවත් ආත්මය හෝ ආත්මයෙහි රූපය හෝ රූපයෙහි ආත්මය හෝ දකී. වේදනාව ආත්මවශයෙන් දකී, වේදනාවත් ආත්මය හෝ ආත්මයෙහි වෙදනාව හෝ වේදනාවෙහි ආත්මය හෝ දකී. සංඥාව ආත්මවශයෙන් දකී, සංඥාවත් ආත්මය හෝ ආත්මයෙහි සංඥාව හෝ සංඥායෙහි ආත්මය හෝ දකී. සංස්කාරයන් ආත්මවශයෙන් දකී, සංස්කාරවත් ආත්මය හෝ ආත්මයෙහි සංස්කාරයන් හෝ සංස්කාරයන්හි ආත්මය හෝ දකී. විඥානය ආත්මවශයෙන් දකී, විඥානවත් ආත්මය හෝ ආත්මයෙහි විඥානය හෝ විඥානයෙහි ආත්මය හෝ දකී. මහණ, මෙසෙයින් සක්කායදෘෂ්ටි වේ යයි වදාළහ.

වහන්ස, යළි කිසෙයින් සක්කායදෘෂ්ටි නො වේ දැ’ යි පිළිවිත්.

මහණ, මෙලොවැ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ආර්‍ය්‍යයන් දුටුයේ ආර්‍ය්‍යධර්මයට නිපුණ වූයේ ආර්‍ය්‍යධර්මයෙහි සුවිනීත වූයේ, සත්පුරුෂයන් දුටුයේ සත්පුරුෂධර්‍මයට නිපුණ වූයේ සත්පුරුෂධර්මයෙහි සුවිනීත වූයේ රූපය ආත්මවශයෙන් නො දකී, රූපවත් ආත්මය හෝ ආත්මයෙහි රූපය හෝ රූපයෙහි ආත්මය හෝ නො දකී. වේදනාව ආත්මවශයෙන් නො දකී, වේදනාවත් ආත්මය හෝ ආත්මයෙහි වේදනාව හෝ වේදනායෙහි ආත්මය හෝ නො දකී. සංඥාව ආත්මවශයෙන් නො දකී, සංඥාවත් ආත්මය හෝ ආත්මයෙහි සංඥාව හෝ සංඥායෙහි ආත්මය හෝ නො දකී. සංස්කාරයන් ආත්මවශයෙන් නො දකී. සංස්කාරවත් ආත්මය හෝ ආත්මයෙහි සංස්කාරයන් හෝ නො දකී. විඥානය ආත්ම වශයෙන් නො දකී, විඥානවත් ආත්මය හෝ ආත්මයෙහි විඥානය හෝ විඥානයෙහි ආත්මය හෝ නො දකී. මහණ, මෙසෙයින් සක්කායදෘෂ්ටි නො වේ යයි වදාළහ.

වහන්ස, රූපයෙහි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිම? වේදානයෙහි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිම? සංඥායෙහි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිම? සංස්කාරයන්හි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිම? විඥානයෙහි ආස්වාද කවර, ආදීනව කවර, නිස්සරණ කිමැ’ පිළිවිත්.

මහණෙනි, රූපය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ රූපයෙහි ආස්වාද යැ. යම්හෙයෙකින් රූපය අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ ද, මේ රූපයෙහි ආදීනව යැ. රූපයෙහි යම් ඡන්‍දරාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ රූපයෙහි නිස්සරණ යි. මහණ, වේදනාව නිසා යම් ... සංඥාව නිසා ... සංස්කාරයන් නිසා ... විඥානය නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී ද, මේ විඥානයෙහි ආස්වාද යැ, යම් හෙයෙකින් විඥානය අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ ද, මේ විඥානයෙහි ආදීනව යැ. විඥානයෙහි යම් ඡන්‍ද රාගවිනයෙක් ඡන්‍දරාගප්‍රහාණයෙක් වේ ද, මේ විඥානයෙහි නිස්සරණැ’ යි වදාළහ.

වහන්ස, යළි කිසෙයින් දන්නාහට කිසෙයින් දක්නාහට මේ සවිඥානක කයෙහි ද මෙරමාගේ සවිඥානක කයෙහි හා අතින්ද්‍රියබද්ධයෙහි ද අහංකාර මාන යැ මමංකාර තෘෂ්ණා යැ යන අනුශයධර්මයෝ නො වෙත් දැ’යි.

මහණ, අධ්‍යාත්ම වූ ද බාහ්‍ය වූ ද ඖදාරික වූ ද සූක්ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ යම් රූපයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් රූපයෙක් ඇද්ද, එ හැම රූපය මාගේ නො වෙයි, තෙල මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ යැ’යි මෙසේ තෙල රූපය යථාස්වභාවයෙන් විදර්ශනාප්‍රඥායෙන් දකී. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද ඖදාරික වූ ද සූක්ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ යම් කිසි විඥානයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් විඥානයෙක් ඇද්ද, තෙල හැම විඥානය මාගේ නො වෙයි, තෙල මම් නො වෙමි, තෙලෙ මාගේ ආත්මය නො වේ යැ’යි මෙසේ තෙල විඥානය තත්වූ පරිදි විදර්ශනාප්‍රඥායෙන් දකී. මහණ, මෙසේ දන්නහුට මෙසේ දක්නහුට මේ සවිඥානක කයෙහි ද බාහ්‍ය වූ සවිඥානක කයෙහි හා අතින්ද්‍රියබද්ධයෙහි ද අහංකාර මාන යැ මමංකාර තෘෂ්ණා යැ යන අනුශය ධර්මයෝ නො වෙත් යයි වදාළහ.

එකල්හි එක්තරා මහණක්හට මෙබඳු චිත්තපරිවිතර්කයෙක් උපන: ‘භවත්නි, මෙසේ කලි රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාරයෝ අනාත්මයෝ යැ, විඥානය අනාත්ම යැ, අනාත්මයෙහි සිට කළ කර්මයෝ කවර ආත්මයෙකැ සිට විපාක දෙන්නාහුදැ’යි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහුගේ චිත්තපරිවිතර්කය තමන් වහන්සේගේ සිතින් දැන භික්ෂූන් ඇමැතූ සේක: ‘මහණෙනි, තෙල කරුණ වැලිත් විද්‍යමාන වෙයි, යම් කරුණෙකින් මෙලොවැ ඇතැම් මෝඝපුරුෂයෙක් අවිද්වද් වූයේ අවිද්‍යාවට පැමිණියේ තෘෂ්ණාව අධිපති කොට ඇති සිතින් යුක්ත වැ ශාස්තෘශාසනය ඉක්මැයායුතු කොට සිතන්නේ ය: ‘භවත්නි, මෙසේ කලි රූපය අනාත්ම යැ, වේදනාව අනාත්ම යැ, සංඥාව අනාත්ම යැ, සංස්කාරයෝ අනාත්මයෝ යැ, විඥානය අනාත්ම යැ, අනාත්මයෙහි සිට කළ කර්මයෝ කවර ආත්මයෙකැ සිට විපාක දෙන්නාහුදැ’යි. මහණෙනි, මා විසින් තෙපි ඒ ඒ දහම්හි (දහම්) පිණිස විනීතයහ. මහණෙනි, ඒ කිමැයි සිතවු ද, රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේ දැ’යි.

 ‘වහන්ස, අනිත්‍ය යැ.’

 ‘යළි යමක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ’යි.

 ‘වහන්ස, දුක් වෙයි.’

 ‘යළි යම් රූපයෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වී නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්මයැ’යි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) දක්නට නිසි වේ දැ’යි.

 ‘වහන්ස, තෙල නො වේ මැ යි.’

 ‘මහණෙනි, ඒ කිමැයි සිතව් ද, වේදනාව... සංඥාව ... සංස්කාරයෝ ... විඥානය නිත්‍ය හෝ වේ දැ’යි.

 ‘වහන්ස, අනිත්‍ය වෙයි.’

 ‘යළි යම් විඥානයක් අනිත්‍ය නම් එය දුක් හෝ සුව හෝ වේ දැ’යි.

 ‘වහන්ස, දුක් වෙයි.’

 ‘යළි යම් විඥානයක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වී නම් එය ‘තෙලෙ මාගේ යැ, තෙලෙ මම් වෙමි, තෙලෙ මාගේ ආත්ම වී යැ’යි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) දක්නට නිසි වේ දැ’යි.

 ‘වහන්ස, තෙල නො වේ මැ යි.’

 ‘එහෙයින් මහණෙනි, මෙහි ලා අධ්‍යාත්ම වූ ද බාහ්‍ය වූ ද ඖදාරික වූ ද සූක්ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අතීතානාගතප්‍රත‍්‍යුත්පන්න වූ යම් කිසි රූපයෙක් ඇද්ද, දුරැ හෝ සමීපයෙහි හෝ යම් රූපයෙක් ඇද්ද, තෙල හැම රූපය මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ යැයි මෙසේ තෙල රූපය යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්ක යුතු. යම් කිසි වේදනාවක් ... යම් කිසි සංඥාවක් ... යම් කිසි සංස්කාර කෙනෙක් ... අධ්‍යාත්ම වූ ද බාහ්‍ය වූ ද ඖදාරික වූ ද සූක්ෂ්ම වූ ද හීන වූ ද ප්‍රණීත වූ ද අතීතානාගප්‍රත‍්‍යුත්පන්න වූ යම් කිසි විඥානයෙක් ඇද්ද දුරැ හෝ සමීපයෙහි හෝ යම් විඥානයෙක් ඇද්ද තෙල හැම විඥානය මාගේ නො වෙයි, තෙලෙ මම නො වෙමි, තෙලෙ මාගේ ආත්ම නො වේ’ යයි මෙසේ තෙල යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක්ක යුතු.

මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක රූපයෙහි කලකිරෙයි, වේදනායෙහිදු කලකිරෙයි, සංඥායෙහිදු කලකිරෙයි, සංස්කාරයන්හිදු කලකිරෙයි, විඥානයෙහි කලකිරෙයි, කලකිරෙනුයේ විරාගයට පැමිණෙයි, විරාගයෙන් විමුක්ත වෙයි, විමුක්ත කල්හි විමුක්ත යයි ප්‍රත්‍යවෙක්ෂාඥානය වෙයි: ‘ජාතිය ක්ෂීණ යැ, බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඉත්ථමභාවය පිණිස අන් කිසෙක් නැතැයි දැනගනී.

භාග්‍යවතුන් වහන්සේ මේ වදාළහ. සතුටුසිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ ගේ භාෂිතය අභිනන්‍දනා කළහ’යි.

තවද මේ වෙය්‍යාකරණය වදාරන කල්හි සැටක් පමණ භික්ෂූන්ගේ සිත් උපාදාන රහිත කොට ආශ්‍රවයන් කෙරෙන් මිදුණාහ’ යි.

නවවැනිමහාපුණ්ණමසූත්‍රය නිමියේ ය.