සාමගාම සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

 

මජ්ඣිම නිකායේ

 

මැඳුම් සඟියෙහි

 

උපරිපණ්ණාසකයෙහි

 

පලමු වැනි වූ දේවදහ වර්ගය

 

3.1.4

 

සාමගාම සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි වූ සාමග්‍රාමයෙහි වැඩවාස කරන සේක. එකල්හි නිගණ්ඨනාතපුත්‍ර පාවානුවර කලුරිය කළ නොබෝකල් ඇති වෙයි. ඔහුගේ කාලක්‍රියායෙන් බුන් නුවටහු ද්වීභාග වූවාහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදාපන්න වූවාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙති. කෙසේ යැ: ‘තෝ මේ ධර්මවිනය නො දන්හි, මම මේ දහම්විනය පිළිපැද දන්මි, කිම තෝ මේ දහම්විනය දන්හි ද, තෝ වරදවා පිළිපන්හි, මම මොනොවට පිළිපන්මි, ම බස අර්ථ සංහිත ය, තා බස අර්ථසංහිත නො වෙයි. කැලම කියැයුත්ත පසුවලා කීයෙහි, පසුවලා කියැයුත්ත කැලම කීයෙහි, (චිරකාලාසෙවන වශයෙන්) ආචීර්ණ වූ තාගේ වාදය පෙරැළිණ, තට වාදාරොපණ කරන ලද, නිගන්නා ලද්දෙහි, වාදප්‍රමොක්ෂයට (උත්තර සපයමින්) ඇවිදුව, ඉදින් හැක්කෙහි නම්, නිරවුල් හෝ කරවයි’ කියා යි. නාතපුත්‍රයා සිසු නුවටුන් කෙරෙහි වධයක් සෙයින් වැටෙයි.

නිගණ්ඨනාතපුත්‍රයාගේ සුදු පිළීහඳනා යම් ගිහිසව් කෙනෙක් ඇද්ද ඔහුත් වරදවා කී වරදවා දන්වාලු අනෛර්ය්‍යාණික වූ ක්ලෙශව්‍යුපශම පිණිස නො වැටෙන සම්‍යක් සම්බුද්ධ නො වන්නකු විසින් කියන ලද බුන් පිහිට ඇති පිළිසරණ රහිත ධර්මවිනයෙක යම්සේ කලකිරෙත් ද, එසේ නාතපුත්‍ර අතැවැසි වූ නුවටුන් කෙරෙහි උකැටිසැහැවි ඇත්තාහු නො ඇලුණාහු සත්කෘත්‍යක්‍රියායෙන් වැළැකුණාහු වෙති.

එසඳ චූන්‍දසමණුද්දෙස තෙරණුවෝ පාවානුවර වස්විසුවාහු සාමග්‍රාමයෙහි ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සකසාවැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට තෙල කීහු: ‘ වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර පාවානුවර දී කලුරියකළ නොබෝකල් ඇත්තේ ය, ඔහුගේ කාලක්‍රියායෙන් බුන් නුවටහු දෙබේ වූවාහු හටගත් භණ්ඩන ඇතියාහු හටගත් කලහ ඇතියාහු විවාදාපන්න වූවාහු උනුන් මුවසැතින් විදුනාහු වාස කෙරෙති ’ … බුන් පිහිට ඇති පිළිසරණ නැති (වරදවා කී ධර්මවිනයෙක යම්සේ කලකිරෙත් ද එසෙයින් ... කලකිරෙති.)

මෙසේ කී කල ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ චුන්‍දසමණුද්දෙස තෙරණුවනට තෙල කීහු: ‘ඇවැත් චුන්‍දයෙනි, භාග්‍යවතුන් වහන්සේ දක්නා සඳහා මේ කථාවස්තු පඬුරෙක් ඇත, යම්හ, ඇවත චුන්‍දයෙනි, භාග්‍යවතුන් කරා එළැඹෙම්හ, එළැඹ භාග්‍යවතුන් වහන්සේට තෙල කථාර්ථය සැලකරම්හ’ යි. ‘වහන්ස, එසේ යැ’ යි චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට පිළිවදන් දුන්හු.

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් හා චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්වැ හුන්හු. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: ‘වහන්ස, මේ චුන්‍දසමණුද්දෙස තෙරණුවෝ මෙසේ කියති: (කිසේ යැ:) ‘වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර පාවානුවර මෙසඳ කලුරිය කළේ යැ, ඔහුගේ කාලක්‍රියායෙන් බුන් නුවටහු දෙබේ වැ භණ්ඩනජාත වැ කලහජාත වැ විවාදාපන්න වැ උනුන් මුවසැතින් විදුමින් වාස කෙරෙති, ... බුන් පිහිට ඇති පිළිසරණ නැති (වරදවා කී ධර්මවිනයෙක කලකිරෙනුවන් සෙයින් උන්ගේ ගිහිසව්වෝ ද උන් කෙරෙහි කලකිරුණහ.) වහන්ස, මට මෙවන් සිතෙක් පහළ වෙයි: භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් සඟුන් කෙරෙහි නහමක් විවාද උපදීවා, (කරව හෙයින?) ඒ විවාද බොහෝ දෙනාට අහිත පිණිස බොහෝදෙනාට නොසුව පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙවිමිනිස්නට අහිත පිණිස දුක් පිණිස වේ ද එහෙයිනි.

ආනන්දය, ඒ කෙසේ හඟිහි, මා විසින් තොපට යම් ධර්ම කෙනෙක් ප්‍රත්‍යක්ෂ කොට දෙසල ලදහු ද, ඔහු කවරහ යත්: සතර සීවටනුහු යැ, සතර සම්‍යක් ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, පඤ්චෙන්ද්‍රියයෝ යැ, පඤ්ච බලයෝ යැ, සප්ත බොධ්‍යඞ්ගයෝ යැ, ආර්ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්ගය යන මොහු යි. ආනන්‍දය, තෙපි මේ ධර්මයන් කෙරෙහි භින්නවාද වූ දෙ මහණ කෙනකුදු දක්නාව? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ ධර්ම කෙනෙක් ප්‍රත්‍යක්ෂ කොට දෙසන ලදහු ද, ඔහු කවරහ යත්: සතර සීවටන් හු යැ, සතර සම්‍යක්ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, පඤ්චෙන්ද්‍රියයෝ යැ, පඤ්ච බලයෝ යැ, සප්ත බොධ්‍යඞ්ගයෝ යැ, ආර්ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්ගය යන මොහු යි. මම මේ ධර්මයන් කෙරෙහි භින්නවාද වූ දෙ මහණ කෙනකුදු නො දක්මි. වහන්ස, යම් මැ පුද්ගල කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ඇසුර කරන්නාහු වාස කෙරෙත් ද, ඔහුද භාග්‍යවතුන් වහන්සේගේ ඇවෑමෙන් ආජීවනිමිත්තෙහි හෝ (තදන්‍ය) ප්‍රාතිමොක්ෂ නිමිත්තෙහි හෝ සඞ්ඝයා කෙරෙහි විවාද දනවන්නාහු නම් ඒ විවාද බොහෝදෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වැටෙතී’ සැලකළෝ.

ආනන්‍දය, ආජීවනිමිත්තෙහි වේවයි, අධිප්‍රාතිමොක්ෂනිමිත්තෙහි වේවයි යම් මැ විවාදයෙක් ඇත්නම් ඒ විවාද අල්පමාත්‍ර විවාදයෙකි, ආනන්දය, මාර්ගය නිමිති කොට හෝ ප්‍රතිපත් නිමිති කොට හෝ උපදනාවිවාදයෙක් වේ නම් ඒ විවාදය බොහෝදෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වැටෙයි.

ආනන්‍දය, මේ විවාදමූලයෝ සදෙනෙකි, කවර සදෙනෙක යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණෙක් කිපෙනසුලු වූයේ බද්ධවෛර ඇතියේ වේ ද, ආනන්දය, යම් ඒ මහණෙක් කිපෙනසුලු වූයේ බද්ධවෛර ඇතියේ වේ නම්, ඒ මහණ ශාස්තෲන් වහන්සේ කෙරෙහිදු අගෞරව ව යටත් පැවැතුම් නැති ව වාස කෙරෙයි, ධර්මය කෙරෙහි ද ගෞරව නැති ව ප්‍රතිශ්‍රය නැති ව වාස කෙරෙයි, සඞ්ඝයා කෙරෙහි දු ගෞරව නැති ව අප්‍රතිශ්‍රය ව වාස කෙරෙයි, ශික්ෂායෙහි දු පරිපූරකාරී නො වෙයි. ආනන්දය, යම් මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත ව ප්‍රතිශ්‍රය රහිත ව වාස කෙරේ ද, ධර්මය කෙරෙහි … ගෞරව රහිත ව ප්‍රතිශ්‍රය රහිත ව වාස කෙරේ ද, ශික්ෂායෙහි පරිපූරකාරී නො වේ ද, හේ සඞ්ඝයා කෙරෙහි විවාද දනවා ද, ඒ විවාද බොහෝදෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වැටේ. ඉදින් ආනන්දය, තෙපි මෙවන් විවාදමූලයක් තමා තුළ හෝ බැහැර හෝ දක්නහු නම්, ආනන්දය, එහි ලා තෙපි ඒ පාපක වූ විවාදමූලයාගේ මැ ප්‍රහාණය පිණිස ව්‍යායාම කරව, ඉදින් ආනන්‍දය, තෙපි මෙබඳු විවාදමූලයක් තමා කෙරෙහි හෝ මෙරමා කෙරෙහි හෝ නො දක්නහු නම්, ආනන්දය, එහි ලා තෙපි පාපක වූ ඒ විවාදමූලයාගේ මැ මතු නූපදනා පිණිස පිළිපදුව. මෙසේ තෙල පාපක විවාදමූලයාගේ ප්‍රහාණය වෙයි. මෙසේ තෙල විවාදමූලයාගේ මතු නො ඉපැද්ම වෙයි.

තවද ආනන්‍දය, මහණ ගුණමකු වෙයි, යුගග්‍රාහලක්ෂණ ප්‍රදාස ඇති වෙයි, ... ඊර්ෂ්‍යා ඇති වෙයි, මසුරු ඇති වෙයි, ... ශඨ වෙයි, මායාවී වෙයි, ... පාපෙච්ඡ වෙයි, මිත්ථ්‍යා දෘෂ්ටික වෙයි ... යුගග්‍රාහ ඇතියේ මුදවාලියැ නො හෙනුයේ සිය දිටු පරාමර්ශ කරනසුලු වෙයි, ආනන්‍දය, යම් ඒ මහණෙක් ආධානගාහී වැ දුප්පටිනිස්සග්ගී වැ සිය දෘෂ්ටිය ම පරාමර්‍ශ කරනසුලු වේ නම් හේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි දු ගෞරව රහිත වැ ප්‍රතිශය රහිත වැ වාස කෙරෙයි, ධර්මය කෙරෙහිදු අගෞරව වැ ප්‍රතිශ්‍රය රහිත වැ වාස කෙරෙයි, සඞ්ඝයා කෙරෙහි දු ගෞරව රහිත වැ ප්‍රතිශ්‍රය රහිත වැ වාස කෙරෙයි. ශික්ෂාශාසනයෙහිදු පරිපූරකාරී නො වෙයි. ආනන්‍දය, යම් ඒ මහණෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි අගෞරව වැ ප්‍රතිශ්‍රය රහිත වැ වාස කෙරේ ද, ධර්මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... (ප්‍රතිශ්‍රය රහිත වැ වාස කෙරේ ද) ශික්ෂායෙහි පරිපූරකාරී නො වේ ද, හේ සඞ්ඝයා කෙරෙහි විවාද දනවයි, ඒ විවාද බොහෝ දෙනාට අහිත පිණිස බොහෝදෙනාට දුක් පිණිස බොහෝදෙනාට අනර්ථ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස වෙයි. ඉදින් ආනන්‍දය, තෙපි මෙබඳු විවාදමූලයක් තමා කෙරෙහි හෝ මෙරමා කෙරෙහි හෝ නුවණින් දක්නහු නම්, ආනන්‍දය, තෙපි ඒ පාපක විවාදමුලයාගේ මැ ප්‍රහාණය පිණිස වෑයම් කරව. ඉදින් ආනන්‍දය, තෙපි මෙබඳු විවාද මූලයක් තමා කෙරෙහි හෝ මෙරමා කෙරෙහි හෝ නො දක්නහු නම්, ආනන්‍දය, තෙපි එහි ලා ඒ පාපක විවාද මූලයාගේ මැ මතු නො ඉපැද්ම පිණිස පිළිපදව, මෙසේ තෙල පාපක විවාදමූලයාගේ ප්‍රහාණ වෙයි, මෙසේ තෙල පාපක විවාදමූලයාගේ මතු නො ඉපැද්ම වෙයි. ආනන්‍දය, මොහු සවැදෑරුම් විවාදමුලයෝ යි.

ආනන්‍දය, මේ අධිකරණයෝ සතරදෙනෙකි. කවර සතරදෙනෙක යත්: විවාදාධිකරණ යැ, අනුවාදාධිකරණ යැ, ආපත්තාධිකරණ යැ, කිච්චාධිකරණ යි. ආනන්‍දය, මොහු සතර අධිකරණයෝ යි.

යළි ආනන්‍දය, මේ අධිකරණසමථයෝ සත්දෙනෙක් වෙති: ‘උපනුපන් අධිකරණයන්ගේ ශමථය පිණිස ව්‍යුපශමය පිණිස (චතුර්විධ සම්මුඛතායෙන්) සම්මුඛාවිනය දිය යුතු ය. (රහත් මහණහට චොදනා නො කරනු සඳහා) සතිවිනය දියයුතු යැ (උමතු ව සිටි මහණහට චොදනා නො කරනු සඳහා) අමූළ්හවිනය දියයුතු යැ, (ඇවත පිළිගන්නහුට) ප්‍රතිඥායෙන් කටයුතු යැ, (ධර්මවාදීන්ගේ බාහුල්‍යයෙන් කරන) යෙභුය්‍යසිකා යැ, (පාපොත්සද පුද්ගල හට කරන) තස්සපාපිය්‍යසිකා යැ, තිණ්වත්ථාරකකර්ම යැ යන මොහු යි.

ආනන්‍දය, කිසෙයින් සම්මුඛවිනය වෙයි යත්: ආනන්‍දය, මෙහි භික්ෂු කෙනෙක් ධර්ම යැ කියා හෝ අධර්ම යැ කියා හෝ විනය යැ කියා හෝ අවිනය යැ කියා හෝ විවාද කෙරෙති. ආනන්‍දය, සමඟ වූ එ හැම භික්ෂූහු රැස්විය යුතු වෙති. රැස් වැ ධර්මනීතිය විමසියැ යුත්තී යැ, ධර්මනීතිය විමසා ඒ ධර්මන්‍යායයෙහි යම්සේ සම වේ ද, එසෙයින් ඒ අධිකරණය සන්හිඳුවිය යුතු. ආනන්‍දය, මෙසේ සම්මුඛාවිනය වෙයි. යම් අධිකරණයෙක් යම් සම්මුඛාවිනයෙකින් සන්හිඳේ ද, මෙසෙයිනුදු මෙහි ඇතැම් විවාදාධිකරණයන්ගේ සන්හිඳීම වේ.

කිසෙයින් ආනන්‍දය යෙභුය්‍යසිකා වෙයි යත්: ඉදින් ආනන්‍දය, ඒ භික්ෂූහු ඒ අධිකරණය ඒ ආවාසයෙහි (හිඳ) සන්හිඳුවාලන්නට නො හැකි වෙත් ද, ආනන්‍දය, ඒ භික්ෂූන් විසින් යම් ආවාසයෙක බහුතර භික්ෂූහු වෙසෙත් ද, ඒ ආවාසය ගන්තව්‍ය වෙයි. (ඒ ආවාසයට යායුතුයි) එහි සමඟ වූ හැම භික්ෂූහු මැ රැස්විය යුත්තාහ. රැස්වැ ධර්මන්‍යාය විමසියැ යුතු ය. ධර්මන්‍යාය විමසා එහි යම්සේ සම් වේ ද, එසෙයින් ඒ අධිකරණය සන්හිඳුවිය යුතු. ආනන්‍දය, මෙසේ යෙභුය්‍යසිකා වෙයි. යම් අධිකරණයෙක් යම් යෙභුය්‍යසිකායෙකින් සන්හිඳේ ද, මෙසෙයිනුදු මේ ශාසනයෙහි කිසි අධිකරණ කෙනකුන් ගේ ව්‍යුපශම වෙයි.

ආනන්‍දය, කිසෙයින් සතිවිනය වෙයි යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ මෙබඳු ගරුකාපත්තියෙකින් මහණක්හු සොයයි: පරාජිකයෙන් වේවයි ඇවත් අවන් ආයුෂ්මත් පරිජි හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් සිහි කෙරේදැයි. ඒ මහණ මෙසේ කියයි: ‘ඇවත, ඇවත් අවන් මම පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් සිහි නො කරමි’, ආනන්‍දය, ඒ මහණහට සතිවිනය දියයුතු. ආනන්‍දය මෙසේ සතිවිනය වෙයි. සතිවිනයෙන් යම් අධිකරණයෙක් ව්‍යුපශම වේ ද, ආනන්‍දය, මෙසෙයිනුදු මෙ සස්නෙහි කිසි අනුවාදාධිකරණ කෙනකුන්ගේ ව්‍යුපශම වෙයි.

ආනන්‍දය, කිසෙයින් අමූළ්හවිනය වෙයි යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ පාරාජිකයෙන් වේවයි පාරාජිකසාමන්තයෙන් වේවයි මෙබඳු ගරුකාපත්තියකින් මහණකු සොයයි: ‘ඇවැත් අවන් ආයුෂ්මත් පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් සිහි කෙරේ දැ’ යි. හේ මෙසේ කියයි: ‘ඇවත, ඇවැත් අවන් මම පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් සිහි නො කරමි, ඒ චොදක මහණ ඇවැත්වෙළුම් හරන තෙල චුදික මහණහු තර කොට ඇවතින් වෙළයි: ‘ඇවැත් අවන් ආයුෂ්මත් පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙබඳු ගරුකාපත්තියක් ඉදින් සිහි කරහි නම්, එයින් ආයුෂ්මත් මනාකොට මැ දනුව’ යි. (එසඳ) ඒ චුදිත මහණ මෙසේ කියයි: ‘ඇවත මම් වූ කලි චිත්තවිපර්ය්‍යාස වූ උන්මාදයට පැමිණියෙමි, උමතු වූ මා විසින් බසින් බිණු කයින් කළ බොහෝ නො සරුප් දැ ආචාර බිඳ කරන ලද. මම් ඒ නො සිහි කරමි, සමුමූඪ වූ මා විසින් තෙල කැරුණේ ය’ යි. ආනන්‍දය, ඒ මහණ හට අමූළ්හවිනය දියයුතු. ආනන්‍දය, මෙසේ අමූළ්හවිනය වෙයි. යම් අධිකරණයෙක් යම් අමූළ්හවිනයෙකින් සන්හිඳේ ද, මෙසෙයින් මෙ සස්නෙහි කිසි අනුවාදාධිකරණ කෙනකුන්ගේ සන්හිඳීම වෙයි.

කිසෙයින් ආනන්‍දය, පටිඤ්ඤාතරකණ වෙයි යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ චොදිත වූයේ හෝ අචෝදිත වූයේ හෝ ඇවැත් සිහි කෙරෙයි, විවර කෙරෙයි, පාළ කෙරෙයි. ආනන්‍දය, ඒ මහණහු විසින් වෘද්ධතර මහණ වෙත එළැඹ සිවුරු එකස් කොට පාසඟුළුවන් වැඳ උළුලුයෙන් හිඳ ඇඳිලි බැඳ මෙසේ කියයුතු වෙයි: ‘වහන්ස, මම් මෙනම් ඇවැත් අවන්මි, එ ඇවැත් දෙසමී’, හේ මෙසේ කියයි: ‘දක්නෙහි දැ’ යි, ‘දක්මී’. ‘මතුයෙහි සංවරයට පැමිණෙහි’ යයි. ‘සංවරයට පැමිණෙමි’යි. ආනන්‍දයෙනි, මෙසේ පටිඤ්ඤාතකරණ වෙයි. යම් අධිකරණයෙක් යම් පටිඤ්ඤාතකරණ නම් සමථයෙකින් සන්හිඳේ ද, මෙසේත් මෙ සස්නෙහි ඇතැම් ආපත්තාධිකරණ කෙනකුන්ගේ ව්‍යුපශම වෙයි.

ආනන්‍දය, කිසෙයින් ‘තස්සපාපිය්‍යසිකා’ වෙයි යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණ මහණක්හට පරිජි ඇවතින් වේවයි පාරාජිකසාමන්තයෙකින් වේවයි ‘ආයුෂ්මත් පරිජි හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවතකට පැමිණියේ සිහි කෙරේව’ යි. මෙ බඳු ගරු ඇවැතෙකින් චොදනා කෙරෙයි. හේ මෙසේ කියයි: ‘ඇවැත්නි, මම් පරිජි හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට නොපැමිණයෙම් නො මැ සිහි කෙරෙමි’ යි. ඒ චොදක මහණ නිර්වෙෂ්ඨන කරන (තමා මුදන) තෙල චුදිතයා අතිවෙඨන කෙරෙයි: ‘ඉදින් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙහි සිහි කෙරෙහි නම් ආයුෂ්මත් එකාත්නයෙන් මනාකොට මැ දනුව’ යි. හේ මෙසේ කියයි: ‘ඇවැත්නි, මම් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙම් නො මැ සිහි කෙරෙමි. ඇවැත්නි, මම් මෙ බඳු වූ අල්පමාත්‍ර ඇවැතකට පැමිණියෙම් සිහි කෙරෙමි’ යි. ඒ චොදක මහණ නිර්වෙෂ්ඨන කරන තෙල චුදිත මහණහු අතිවෙඨන කෙරෙයි: ‘එකාන්තයෙන් ආයුෂ්මත් මනාකොට මැ දන්හි. ඉදින් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙහි සිහි කරව’ යි. හේ මෙසේ කියයි: ‘ඇවැත්නි, මම් යම් හෙයෙකින් මේ අල්පමාත්‍ර වූ ඇවැතකට පැමිණ නො පුළුවුස්නා ලදුයෙම් ප්‍රතිඥා කෙරෙම් නම් කිමෙක් ද මම් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණ පුළුවුස්නාලදුයෙම් පිළින නො කෙරෙම් දැ’ යි. ඒ චොදක මහණ මෙසේ කියයි: ‘ඇවැත්නි, යම් හෙයෙකින් තෝ මේ අල්පමාත්‍ර වූ ඇවැතකට පැමිණ නො පුළුවුස්නා ලද්දෙහි ප්‍රතිඥා නො කරව. කිමෙක තෝ පාරාජික හෝ පාරාජිකසාමන්ත හේ මෙ බඳු ගරු ඇවැතකට පැමිණ පුළුවුස්නා ලදුයෙහි ප්‍රතිඥා කරන්නෙහි ද? එකාන්තයෙන් ආයුෂ්මත් මනාකොට මැ දන්හි. ඉදින් පාරාජික හෝ පාරාජිකසාමන්ත හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියහු සිහි කරව’ යි. ඒ චුදිත මහණ කියයි. ඇවැත්නි, මම් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙම් සිහි කෙරෙම් මැ යැ. ‘මා විසින් සැහැසි වැ මෙසේ කියන ලද. මා විසින් අනෙකක් කියනු කැමැති වැ මෙසේ කියන ලද. මම් පාරාජික හෝ පාරාජිකසාමන්ත වූ හෝ මෙ බඳු ගරු ඇවැතකට පැමිණියෙම් එය නො සිහි කෙරෙමි’ යි. ආනන්‍දය, මෙසේ ‘තස්සපාපිය්‍යසිකා’ වෙයි. මෙ සස්නෙහි ‘තස්සපාපිය්‍යසිකා’ නම් සමථයෙකින් යම් අධිකරණයෙක් සන්හිදේ ද, මෙසේත් මෙ සස්නෙහි ඇතැම් ආපත්තාධිකරණ කෙනකුන්ගේ ව්‍යුපශම වෙයි.

ආනන්‍දය, කිසෙයින් ‘තිණවත්ථාරක’ වෙයි යත්: ආනන්‍දය, මෙ සස්නෙහි උපන් ඩබර ඇති උපන් කලහ ඇති විවාදයට පැමිණ වෙසෙන භික්ෂූන් විසින් බසින් කී කයින් වෑයම් කොට කළ බොහෝ නොසරුප් දැ කරන ලද වෙයි. ආනන්‍දය, ඒ භික්ෂූන් හැම සමඟ වූවන් රැස්විය යුතු, රැස්වැ සපක්ෂ භික්ෂූන් අතුරෙන් ව්‍යක්තතර මහණක්හු විසින් හුනස්නෙන් නැඟීසිට සිවුර එකස් කොට පෙරෙව ඇඳිලි බැඳ සඞ්ඝයා මෙසේ දන්විය යුතු:

‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, උපන් ඩබර ඇති උපන් කලහ ඇති විවාදාපන්න වැ වෙසෙන අප විසින් බසින් කී කයින් කළ මේ බොහෝ නො සරුප් දැ කරන ලද, ඉදින් සඟනට පැමිණි කල් වී නම්, මේ ආයුෂ්මතුන්ගේ යම් මැ ඇවැතකුත් වේ ද, තමාගේ යම් ඇවැතකුත් වේ ද, (එය) මේ ආයුෂ්මතුන් සඳහාත් තමා සඳහාත් ස්ථුලවද්‍ය (පරිජි සඟවෙසෙස්) ඇවැත් තබා ගෘහීප්‍රතිසංයුක්ත ඇවැත් තබා, සඟමැද තිණ්වත්ථාරකයෙන් දෙසන්නෙමැ’ යි.

ඉක්බිති සපක්ෂ වූ අන්‍ය භික්ෂූන් අතුරෙන් ව්‍යක්තර මහණක්හු විසින් හුනස්නෙන් නැඟීසිට සිවුරු එකස් කොට පෙරෙව ඇඳිලි බැඳ සඞ්ඝ තෙමේ ඥාතව්‍ය වෙයි:

‘වහන්ස, සඞ්ඝ තෙමේ මා කියන්නක් අසාවා, උපන් ඩබර ඇති උපන් කලහ ඇති විවාදාපන්න වැ වෙසෙන අප විසින් බසින් කී කයින් කළ මේ බොහෝ නො සරුප් දැ වෙයි, ඉදින් සඟනට පැමිණි කල් වී නම්, මම මේ ආයුෂ්මතුන්ගේ යම් මැ ඇවැතකුත් ඇද්ද තමාගේ යම් ඇවැතකුත් ඇද්ද, (එය) මේ ආයුෂ්මතුන් සඳහාත් තමා සඳහාත් (පරිජි සඟවෙසෙස් යන) ස්ථුලවද්‍ය ඇවැත් තබා ගෘහීප්‍රතිසංයුක්ත ඇවැත් තබා, සඟමැද තිණවත්ථාරකයෙන් දෙසන්නෙමැ’ යි.

ආනන්‍දය, මෙසේ තිණවත්ථාරක සමථ වෙයි. මෙසේ වැලිත් සස්නෙහි යම් ‘තිණවත්ථාරක’ නම් ශමථයෙක් ඇද්ද එයින් ඇතැම් අපත්තාධිකරණ කෙනකුන්ගේ සන්හිඳීම වෙයි.

ආනන්‍දය, සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන සබ්‍රම්සරුන් ගරු කරන මේ ධර්මයෝ සදෙනෙක් සබ්‍රම්සරුන් විසින් සංග්‍රහ කළයුතු බවට අවිවාදයට සමඟ බවට එකීභාවයට වැටෙති. කවර සදෙනෙක යත්: ආනන්‍දය, මෙ සස්නෙහි මහණහට සබ්‍රම්සරුන් කෙරෙහි සම්මුඛයෙහි ද පරාම්මුඛයෙහි ද මෛත්‍රී කායකර්මය එළඹසිටියේ වෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මේ ධර්මය ද සබ්‍රම්සරුන් විසින් සඞ්ග්‍රහ පිණිස (ඔවුන් හා) අවිවාද පිණිස සාමග්‍රිය පිණිස එකීභාවය පිණිස වැටෙයි.

යළිදු ආනන්‍දය, මහණහට සබ්‍රම්සරුන් කෙරෙහි මෛත්‍රී වාක්කර්මය හමුයෙහි දු නො හමුයෙහි දු එළැඹසිටියේ වෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහ පිණිස අවිවාද පිණිස සාමග්‍රිය පිණිස එකීභාවය පිණිස වැටෙයි.

යළිදු ආනන්‍දය, මහණහට සබ්‍රම්සරුන් කෙරෙහි මෛත්‍රීමනඃකර්මය හමුයෙහි දු නො හමුයෙහි දු එළැඹසිටියේ වෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහයට අවිවාදයට සමගියට එකඟ බවට වැටෙයි.

යළිදු ආනන්‍දය, දැහැමි වූ දැහැමින් ලද යම් ලාභ කෙනෙක් වෙත් ද, යටත්පිරිසෙයින් පාත්‍රපර්ය්‍යාපන්නමාත්‍රයෙකුදු වේ නම් එබඳු ලාභයෙන් සිල්වත් සබ්‍රම්සරුන් සමග (ආමිෂය හෝ පුද්ගලයා) වෙන් කොට නො වළඳනුයේ සාධාරණභොගී වෙයි. සිහි කටයුතු වූ ප්‍රිය කරන ගරු කරන මේ දහම ද සඞ්ග්‍රහයට අවිවාදයට සමගියට එකඟ බවට වැටෙයි.

යළිදු ආනන්‍දය, නො කඩ වූ නො සිදුරු වූ නො සබල වූ කල්මාෂ නො වූ නිදස් වූ නුවණැත්තන් විසින් පසස්නාලද (තෘෂ්ණාදෘෂ්ටියෙන්) නො පහස්නාලද, සමාධි පිණිස පවත්නා වූ යම් ශීල කෙනෙක් වෙත් ද, එබඳු ශීලයෙහි හමුයෙහි දු නො හමුයෙහි දු සබ්‍රම්සරුන් සමග ශීලයෙන් සමාන බවට පැමිණ වෙසෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මෙ දහම ද සඞ්ග්‍රහයට අවිවාදයට සාමග්‍රියට එකීභාවයට වැටෙයි.

යළිදු ආනන්‍දය, මහණ ආර්ය්‍ය වූ නෛර්ය්‍යාණික වූ යම් දෘෂ්ටියක් එලෙසින් කරනුවහට මැනැවින් දුක් කෙළවර කිරීමට පැමිණේ ද, එබඳු වූ දෘෂ්ටියෙන් හමුයෙහි දු නො හමුයෙහි දු සබ්‍රම්සරුන් සමග දෘෂ්ටියෙන් සමාන බවට පැමිණියේ වෙසෙයි. සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මෙ දහම ද සඞ්ග්‍රහයට අවිවාදයට සාමග්‍රියට එකීභාවයට වැටෙයි.

ආනන්‍දය, සිහි කටයුතු වූ සබ්‍රම්සරුන් ප්‍රිය කරන ගරු කරන මේ ධර්මයෝ සදෙන සඞ්ග්‍රහයට අවිවාදයට සාමග්‍රියට එකීභාවයට වැටෙත්.

ආනන්‍දය, ඉදින් තෙපි සිහි කටයුතු වූ මේ ධර්මයන් සදෙන මොනොවට ගෙන වැටෙන්නහු නම්, ආනන්‍දය, තෙපි අල්පසාවද්‍ය හෝ මහාසාවද්‍ය හෝ යම් වචනපථයක් නො ඉවසන්නහු ද එ වචනපථය තෙපි දක්නහු ද?

වහන්ස, තෙල නො වේ මැ යැ.

එහෙයින් ආනන්‍දය, මෙ කරුණෙහි ලා මේ ෂට්සාරාණීයධර්මයන් මොනොවට ගෙන වැටෙවු. එය තොපට දීර්ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වන්නේ යයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්තාහ’ යි.

සිව්වැනිසාමගාමසූත්‍රය නිමියේ ය.