සුනක්ඛත්ත සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි

 

මජ්ඣිම නිකායේ

 

මැඳුම් සඟියෙහි

 

උපරිපණ්ණාසකයෙහි

 

පලමු වැනි වූ දේවදහ වර්ගය

 

3.1.5

 

සුනක්ඛත්ත සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වාස කරනසේක. එසමයෙහි බොහෝ මහණුන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි “ජාති ක්ෂය කරනලද, මඟ බඹසරවස් වැස නිමවන ලද, කරණී කරනලද, මේ බවට කළයුතු අන් කිසෙක් නැතැ’ යි දනුම්හ” යි අර්හත්වය ප්‍රකාශ කරන ලද වෙයි. සුනක්‍ඛත්ත ලිච්ඡවිපුත්‍ර “බොහෝ මහණුන් විසින් භාග්‍යවතුන් සමීපයෙහි දී ‘ජාති ක්ෂය කරනලද, මඟබඹසරවස් වැස නිමවනලද, කරණී කරනලද, මෙ බවට කළයුතු අන් කිසෙක් නැතැ’ යි දනුම්හ’ යි අර්හත්වය පවසන ලද වේ” යයි ඇසී.

එසඳ සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර භාග්‍යවතුන් කරා එළඹ භාග්‍යවතුන් වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ:

“වහන්ස, මා විසින් තෙල අසන ලද: ‘බොහෝ භික්ෂූන් විසින් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අර්හත්වය ප්‍රකාශ කරන ලද, ජාතිය ක්ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඉත්ථම්භාවය (කෙලෙසුන් නැසීම) පිණිස මඟබවුන් කිසයෙක් නැතැ’ යි දනුම්හ” යි. කිමෙක වහන්ස, ඒ භික්ෂූහු මැනැවින් ම අර්හත්වය පැවැසූහු ද, නොහොත් ඔවුන් කෙරෙහි ඇතැම් භික්ෂූහු අධිමානයෙන් අර්හත්වය පැවසූහු ඇත් දැ’ යි.

සුනක්ඛත්තය, යම් භික්ෂු කෙනෙක් මා සමීපයෙහි ‘ජාති ක්ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, ඉත්ථම්භාවය පිණිස අන් කිසයෙක් නැතැ’ යි දනුම්හ’ යි රහත්බව පැවැසූහු ද, ඔවුන් කෙරෙහි ඇතැම් භික්ෂූහු මැනැවින් ම අර්හත්වය ප්‍රකාශ කළාහු ඇත. යලි ඇතැම් භික්ෂූහු අධිගතමානයෙනුදු අර්හත්වය ප්‍රකාශ කළාහු ඇත. සුනක්ඛත්තය, ඔවුන් කෙරෙහි යම් භික්ෂු කෙනෙක් මැනැවින් මැ අර්හත්වය ප්‍රකාශ කළාහු ද, ඔවුන්ගේ ඒ ව්‍යාකරණය එසෙයින් මැ වෙයි. යලි යම් භික්ෂු කෙනෙක් අධිගතමානයෙන් අර්හත්වය ප්‍රකාශ කළාහු ද, එහි ලා සුනක්ඛත්තය, තථාගතයනට මෙසේ සිත් වෙයි: ‘ඔවුනට දහම් දෙසන්නෙමැ’ යි. සුනක්ඛත්තය, ඒ භික්ෂූන්ගේ අඤ්ඤව්‍යාකරණයෙහි ලා ‘ඔවුනට දහම් දෙසන්නෙමැ’ යි තථාගතයනට මෙසේත් සිත් වෙයි. එතෙකුදු වත් මෙ සස්නෙහි ඇතැම් මොඝපුරුෂයෝ පැන පුනපුනා සකසා තථාගතයන් කරා එළැඹ පුළුවුස්ති. එහි ලා සුනක්ඛත්තය, යම් කරුණෙකින් ‘ඔවුනට දහම් දෙසන්නෙමැ’ යි තථාගතයනට මෙසේ සිත් වෙයි, ඒ චිත්තයාගේ ද අන්‍යථාත්වය වේ යයි.

‘යම් හෙයෙකින් භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක් ද, භාග්‍යවතුන් වහන්ස, මේ ඊට කලැ, සුගතයන් වහන්ස, මේ ඊට කලැ, භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දෙසුම් අසා ධරන්නාහ’ යි. සුනක්ඛත්තය, එසේ වී නම් අස, මනා කොට මෙනෙහි කර, දෙසන්නෙමි’ යි.

එසේ යැ වහන්සැ’ යි සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී, භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:

සුනක්ඛත්තය, මේ කාමගුණයෝ පස්දෙනෙක, කවර පස්දෙනෙක යත්: චක්ෂුර් විඥානයෙන් දතයුතු වූ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව වූ (අරමුණු කොට උපදනා) කාමයෙන් යුත් රාග ඉපදීමට කරුණු වූ රූපයෝ යැ, ශ්‍රොත්‍රවිඥානයෙන් දතයුතු ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්ධයෝ යැ ... ජිහ්වාවිඥානයෙන් දතයුතු රසයෝ යැ ... කායවිඥානයෙන් දතයුතු ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව වූ කාමොත්පාදක වූ රාගයට කරුණු වූ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ, සුනක්ඛත්තය, මොහු පඤ්චකාමගුණයෝ යි.

තවද සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි: මෙලොවැ ඇතැම් පුරුෂ පුද්ගලයෙක් යම්හෙයෙකින් (වට්ට-කාම-ලොකාමිසසංඛ්‍යාත) පස්කම්ගුණයෙහි ඇලුණේ වේ නම්, සුනක්ඛත්තය, එකාන්තයෙන් පඤ්චකාමගුණයෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගල හට ඒ කාමගුණ සභාග වූ මැ කථාව පවතී, ඊට අනුරූප ධර්ම වූ විතර්කය ද විතර්ක කෙරෙයි, විචාරණය කෙරෙයි, ඒ (කාමගුණ කථා කරන) පුරුෂයා ද භජනය කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි, යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි කථාව කරනු ලබන කල්හි නො අසනු කැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද බෙජෙයි, ඔහු ගෙන් නො ද සතුටට පැමිණෙයි.

යම්සේ සුනක්ඛත්තය, පුරුෂයෙක් සිය ගමින් හෝ නිගමයෙන් හෝ බොහෝ කල් වෙන් වැ වසන්නේ ද, හේ ඒ ගමින් හෝ නිගමයෙන් හෝ පැමිණි නො බෝකල් ඇති අන්‍යතර පුරුෂයකු දක්නේ නම්, හේ ඒ පුරුෂයා අතින් ඒ ගම හෝ නිගමය හෝ පිළිබඳ ක්‍ෂෙම බව ද සුභික්ෂ බව ද නිරාබාධ බව ද පුළුවුස්නේ ය, ඔහට ඒ පුරුෂ ඒ ගම හෝ නියම්ගම හෝ පිළිබඳ ක්‍ෂෙම බව ද සුභික්ෂ බව ද නිරාබාධ බව ද පවසන්නේය. සුනක්ඛත්ත, එ කිමැයි සිතයි ද? ඒ පුරුෂ ඒ (පැමිණි) පුරුෂයාගේ බස් අසනු කැමැතිවන්නේ නො ද, ඇසීමට කන නමන්නේ නො ද, දැනුමට සිත එළවන්නේ නො ද, ඒ පුරුෂයාත් සෙවුනේ නො ද, ඔහුගෙනුදු සතුටට පැමිණෙන්නේ නො වේ දැ?’ යි.

එසේ යැ වහන්ස,

එසෙයින් මැ සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි: යම් හෙයෙකින් මෙලොව ඇතැම් පුරුෂපුද්ගලයෙක් (වට්ට-කාම-ලොකාමිෂ සංඛ්‍යාත) පඤ්චකාමගුණයෙහි ඇලුණේ වන්නේ ද, සුනක්ඛත්තය, ලොකාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලහට ඊට අනුරූප වූ මැ කථාව පවති, ඊට අනුරූප වූ ධර්මය මැ විතර්ක කෙරෙයි, විචාරණය කෙරෙයි, ඒ පස්කම් ගුණයෙහි ඇලුණු පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි, යළි ආනෙඤ්ජසමාපත්ති පිළිබැදි වූ කථාව කරන ලබන කල්හි අසන්නට නොරිසි වෙයි. ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද භජනය කෙරෙයි, එයින් සතුටට නො ද පැමිණෙයි. හේ මෙසේ දතයුතු වන්නේ ය. ආනෙඤ්ජ සමාපත්තිසංයොජනයෙන් යුක්ත නො වූ පඤ්චකාමගුණාමිෂයෙහි ඇලුණු පුරුෂපුද්ගලයෙකැ’ යි කියා යි.

සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි: මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක් ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණේ වේ ද, සුනක්ඛත්තය, ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගලහට ඊට අනුරූප වූ කථාව පවතී, ඊට අනුරූප වූ ධර්මය විතර්කවිචාර ද කෙරෙයි, ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි. යළි පඤ්චකාමගුණාමිෂයෙන් යුක්ත වූ කථාව කරනුලබන කල්හි නො අසනු කැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද ඇසුරු කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටු වෙයි.

යම්සේ සුනක්ඛත්තය, නටුයෙන් ගිලිහුණු පඬුවන් වූ පත්‍රයෙක් හරිද්වර්ණය පිණිස අභව්‍ය වේ ද, එසෙයින් මැ සුනක්ඛත්තය, ආනෙඤ්ජසමාපත්තියෙහි ඇලුණු පුරුෂපුද්ගල හට යම් ලොකාමිෂසංයොජනයෙක් ඇද්ද, එය ගිලිහුණේ වෙයි. හේ මෙසේ දතයුතු වන්නේ ය: ලොකමිෂසංයොජනයෙන් විසංයුක්ත වූ ආනෙඤ්ජසමාපත්තියෙහි අධිමුක්ත ඇති පුරුෂපුද්ගලයෙකැ’ යි කියා යි.

තවද සුනක්ඛත්තය, මෙකරුණ විද්‍යමාන වෙයි: යම් හෙයෙකින් මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක් ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ති ඇත්තේ වේ ද, සුනක්ඛත්තය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ති ඇති පුරුෂපුද්ගලහට ඊට අනුරූ වූ මැ කථාව පවතී, ඊට අනුරූප වූ ධර්මය ද විතර්ක විචාර කෙරෙයි, ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි. යළි ආනෙඤ්ජසමාපත්තිපටිසංයුක්ත කථාව කරනු ලබන කල්හි නො අසනුකැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද භජනය කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටට පැමිණෙයි.

යම්සේ සුනක්ඛත්තය, මහගලක් දෙකඩ වැ බිඳුණේ ප්‍රතිසන්ධානයට නො නිසි වේ ද, එසෙයින් මැ සුනක්ඛත්තය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි ඇලුණු පුරුෂපුද්ගලහට යම් ආනෙඤ්ජසමාපත්තිසංයොජනයෙක් ඇද්ද, එය බිඳුණේ’ වෙයි. හේ මෙසේ දතයුතු වන්නේ යැ: “ආනෙඤ්ජසමාපත්තිසංයොජනයෙන් විසංයුක්ත වූ ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ත වූ පුරුෂපුද්ගලයෙකැ” යි කියා යි.

තවද සුනක්ඛත්තය, මෙ කරුණ විද්‍යමාන වෙයි: යම් හෙයෙකින් මෙලොවැ ඇතැම් පුරුෂපුද්ගලයෙක් නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ති ඇත්තේ වේද සුනක්ඛත්තය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි අධිමුක්ත වූ පුරුෂපුද්ගලහට ඊට අනුරූප වූ මැ කථාව පවතී, ඊට අනුරූප වූ මැ ධර්මය ද විතර්කවිචාර කෙරෙයි, ඒ පුරුෂයා භජනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි. යළි ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති ප්‍රතිසංයුක්ත කථාව කරනුලබන කල්හි නො අසනුකැමැති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, එ පුරුෂයා නො ද භජනය කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටට පැමිණෙයි.

යම්සේ සුනක්ඛත්තය, පුරුෂයෙක් බත්කිස නිමවූයේ මනොඥ භොජනය බැහැර ලන්නේ යැ. සුනක්ඛත්තය, ඒ කෙසේ හඟිහි? කිමෙක් ද ඒ පුරුෂයාහට එ බත වටාලා බුදිනුකැමැත්තක් වන්නේ දැ? යි.

වහන්ස, තෙල නො වේ මැ යැ. ඒ කවර හෙයින යත්: වහන්ස, තෙල බත පිළිකුලැ’ යි සම්මත හෙයිනි.

එසෙයින් මැ සුනක්ඛත්තය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමවත්හි ඇලුණු පුරුෂපුද්ගලහට යම් ආකිඤ්චඤ්ඤායතන සමාපත්ති සංයොජනයෙක් ඇද්ද, එය ඔහු විසින් වමාළේ වෙයි. හේ මෙසේ දතයුතු වන්නේ යැ. නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි ඇලුණු පුරුෂපුද්ගල ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති සංයොජනයෙන් විසංයුක්ත වූයේ මැ යැ කියා යි.

සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි: යම්හෙයෙකින් මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් මනාකොට නිර්වාණයෙහි අධිමුක්ති ඇත්තේ වේ ද, සුනක්ඛත්තය, මනාකොට නිර්වාණයෙහි අධිමුක්ත වූ ඊට අනුරූප වූ මැ කථාව පවතී, ඊට අනුගත වූ ධර්මය ද විතර්ක විචාර කෙරෙයි, ඒ පුරුෂයා සේවනය ද කෙරෙයි, ඔහුගෙන් සතුටට ද පැමිණෙයි, යළි නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති ප්‍රතිසංයුක්ත වූ කථාව කරනුලබන කල්හි නො අසනු කැමති වෙයි, ඇසීමට කන නො නමයි, දැනුමට සිත නො එළවයි, ඒ පුරුෂයා නො ද භජනය කෙරෙයි, ඔහුගෙන් නො ද සතුටට පැමිණෙයි.

යම්සේ සුනක්ඛත්තය, මුදුන සුන් තලෙක් යලි වැඞීමට නො නිසි වේද, එසෙයින් ම සුනක්ඛත්තය, මනාකොට නිර්වාණාධිමුක්ත වූ පුරුෂපුද්ගලහට යම් නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිසංයොජනයෙක් ඇද්ද, එය උසුන් මුල් ඇතියේ තාලවස්තුවක් සෙයින් කරන ලදුයේ අනුඅභාවය කරන ලදුයේ මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ වෙයි. හේ මෙසේ දතයුත්තේ වන්නේ ය: මනාකොට නිර්වාණාධිමුක්ත වූ පුරුෂපුද්ගල නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තිසංයොජනයෙන් විසංයුක්ත වූයේ මැ යැ කියා යි.

තවද සුනක්ඛත්තය, මෙ කරුණ විද්‍යමාන වෙයි. කිමෙක යත්: මෙ සස්නෙහි ඇතැම් මහණක් හට මෙසේ සිත් වෙයි: ‘තෘෂ්ණාව වනාහි ශල්‍යයෙකැ’ යි බුද්ධශ්‍රමණයන් විසින් වදාරන ලද, අවිද්‍යා සංඛ්‍යාත විෂදෝෂය ඡන්‍දරාගයෙන් හා ව්‍යාපාදයෙන් කොප්‍ය වෙයි. මට ඒ තෘෂ්ණාශල්‍යය ප්‍රහීණ යැ, අවිද්‍යා සංඛ්‍යාත විෂදොෂය බැහැර කරන ලද, මම මනාකොට නිර්වාණයෙහි අධිමුක්ත වූයෙම් වෙමි’ යි. (අධිගත) මාන ඇතියේ වෙයි. ඔහුගේ මානය අතථ්‍ය (හිස්) වෙයි. හේ මනාකොට නිර්වාණයෙහි බැසගත් සිත් ඇත්තහුට අහිත වූ යම් අරමුණු කෙනෙක් ඇද්ද, එහි යෙදෙන්නේ ය, ඇසින් අහිත වූ රූ දැක්මෙහි යෙදෙන්නේ ය, කනින් අහිත වූ ශබ්දයෙහි යෙදෙන්නේ ය, නැහැයෙන් අහිත වූ ගන්ධයෙහි යෙදෙන්නේ ය, දිවින් අහිත වූ රසයෙහි යෙදෙන්නේ ය, කයින් අහිත වූ පැහැසියයුත්තෙහි යෙදෙන්නේ ය, සිතින් අහිත වූ දහම්හි යෙදෙන්නේ ය. ඇසින් අහිත වූ රූදැක්මෙහි යෙදුණු, කනින් අහිත වූ ශබ්දයෙහි යෙදුණු, නැහැයෙන් අහිත වූ ගන්ධයෙහි යෙදුණු, දිවින් අහිත වූ රසයෙහි යෙදුණු, කයින් අහිත වූ පැහැසියයුත්තෙහි යෙදුණු, සිතින් අහිත වූ දහම්හි යෙදුණු ඔහුගේ සිත රාගය විසුරුවාලන්නේ ය. හේ රාගයෙන් මඩනා ලද සිතින් යුක්ත ව මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙන්නේ ය.

සුනක්ඛත්තය, යම්සේ පුරුෂයෙක් විෂ සහිත වූ පුනපුනා විෂ පෙවූ හීයෙකින් විදුනා ලද්දේ වන්නේ ද, ඔහුගේ මිත්‍රාමාත්‍යයෝ නෑ සහලේනෑයෝ සැත්කම් කරන වෙදකු එළවන්නාහු ය, ඒ සැත්කම් කරන වෛද්‍ය සැතින් ඔහුගේ ව්‍රණමුඛය සිඳින්නේ ය, සැතින් ව්‍රණමුඛය සිඳ එෂණිසලාකායෙන් ශල්‍යය සොයන්නේ ය, එෂණියෙන් ශල්‍යය සොයා ශල්‍යය උදුරන්නේ ය ග්‍රහණශෙෂ සහිත කොට විෂදොෂය බැහැර කරන්නේ ය. ග්‍රහණ ශෙෂ සහිත යයි හඟනා වූ හෙතෙම මෙසේ කියන්නේ ය: “එම්බා පුරුෂය, තාගේ ශල්‍යය උදුරන ලද මැ ය, ග්‍රහණශෙෂ සහිත වූ විෂදොෂය බැහැර කරන ලද, එතෙකුදු වත් තට අන්තරාය පිණිස අසමර්ථ ය. පථ්‍ය වූ භොජන ම වළඳන්නෙහි ය, අහිත බොදුන් වළඳන තාගේ ව්‍රණය නහමක් පූයා වැහෙනසුලු වේවා, කලින් කල ව්‍රණය ධොවනය කරන්නෙහි, කලින් කල ව්‍රණමුඛය ආලිම්පන කරන්නෙහි, කලින් කල ව්‍රණය ධොවනය නො කරන කලින් කල ව්‍රණමුඛය ආලිම්පනය නො කරන තාගේ ව්‍රණමුඛය නහමක් ලේසැරව බඳීවා, අව්සුළංහි හැසිරීමෙහි ද නහමක් යෙදෙව, අව්සුළංහි හැසිරීමෙහි යෙදුණු තාගේ ව්‍රණමුඛය දුලි හා නණ්ඩු නහමක් පෙළාවා, එම්බා පුරුෂය, ව්‍රණය රක්නාසුලුව ව්‍රණ රොපණය කරනසුලුව වාසය කරන්නෙහි යයි.” එ පුරුෂහට මෙබඳු සිතෙක් වන්නේ ය: ‘එකාන්තයෙන් මාගේ ශල්‍යය උදුරන ලද, විෂදොෂය බැහැර කරන ලද, ග්‍රහණශෙෂ රහිත යැ, මට අන්තරාය පිණිස ද අසමර්ථ වේ ය’ යි. හේ අපථ්‍ය වූ භොජන ද වළඳන්නේ ය, අපථ්‍යභොජනයන් වළඳකරන ඔහුගේ ව්‍රණය පූයා වැහෙනසුලු වන්නේ ය, කලින් කල වණය නො ද ධොවනය කරන්නේ ය, කලින් කල වණමුඛය නො ද ආලෙපනය කරන්නේ ය, ඔහු කලින් කල වණය නො දොවුනා හට කලින් කල වණමුඛය ආලෙපන නො කරනු වහුට ලේසැරව වණමුඛය අවටින් බඳනේය, අව්සුළංහි හැසිරීමෙහිදු යෙදෙන්නේය, අව්සුළංහි හැසිරීමෙහි යෙදුණු ඔහුගේ ව්‍රණමුඛය දූලි හා නණ්ඩු පෙළන්නේ ය, වණය රක්නාසුලු ව ව්‍රණරොපණය කරනසුලු ව නො ද වෙසෙන්නේ ය. ඔහුගේ මේ අපථ්‍ය ක්‍රියාහෙතුයෙනුදු ඒ බැහැර කළ විෂදොෂයත් ග්‍රහණශෙෂ සහිත විය, එ දෙකින් වණය මහත් බවට යන්නේ ය, හේ මහත් බවට ගිය වණයෙන් මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙන්නේ යි.

එසෙයින් මැ සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි. කිමෙක යත්: “මේ සස්නෙහි මැනැවින් නිර්වාණයෙහි අධිමුක්ත වූ මැ ඇතැම් මහණක් හට මෙසේ සිත් වෙයි: ‘තෘෂ්ණාව වනාහි ශල්‍යයෙකැ’ යි බුද්ධශ්‍රමණයන් විසින් වදාරන ලද, අවිද්‍යා සංඛ්‍යාත විෂදොෂ්‍ය ඡන්‍දරාගයෙන් හා ව්‍යාපාදයෙන් කොප්‍ය වෙයි. මා විසින් ඒ තෘෂ්ණාශල්‍යය ප්‍රහීන යැ, අවිද්‍යා සංඛ්‍යාත විෂදොෂය බැහැර කරන ලද, මම් මැනැවින් නිර්වාණයෙහි අධිමුක්ත වූයෙම් වෙමි” යි. (අධිගත) මාන ඇතියේ වෙයි. ඔහුගේ මානය අතථ්‍ය (සිස්) වෙයි. හේ මැනවින් නිර්වාණයෙහි අධිමුක්ත වූවහුට අහිත වූ යම් ධර්ම කෙනෙක් ඇද්ද, ඒ ධර්මයන්හි යෙදෙන්නේ ය. ඇසින් අහිත වූ රූපදර්ශනයෙහි යෙදෙන්නේ ය, කනින් අහිත වූ ශබ්ද ඇසීමෙහි යෙදෙන්නේ ය, නැහැයෙන් අහිත වූ ගඳ ගැන්මෙහි යෙදෙන්නේ ය, දිවින් අහිත වූ රස විඳුමෙහි යෙදෙන්නේ ය, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි යෙදෙන්නේ ය, සිතින් අහිත වූ ධර්මයෙහි යෙදෙන්නේ ය, ඇසින් අපථ්‍ය වූ රූපදර්ශනයෙහි යෙදුණු, කනින් අහිත වූ ශබ්දශ්‍රවණයෙහි යෙදුණු, නැහැයෙන් අපථ්‍ය වූ ගඳගැන්මෙහි යෙදුණු, දිවින් අපථ්‍ය වූ රසාස්වාදනයෙහි යෙදුණු, කයින් අපථ්‍ය වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි යෙදුණු, සිතින් අපථ්‍ය වූ ධර්මයෙහි යෙදුණු ඔහුගේ සිත රාගය තෙමේ වියළන්නේ ය, හේ රාගයෙන් අනුධ්වස්ත වූ සිතින් මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙන්නේ ය. සුනක්ඛත්තය, යමෙක් ශික්ෂාව හැරැපියා ලාමක වූ ගිහිබවට වැටේ ද, තෙල ආර්ය්‍යවිනයෙහි (සස්නෙහි) මරණය මැ වෙයි. සුනක්ඛත්තය, යමෙක් සංක්ලිෂ්ට වූ අන්‍යතර ආපත්තියකට පැමිණේ ද, තෙල මරණමාත්‍ර වූ මැ දුක වේ.

යලි සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි, කිමෙක යත්: මෙ සස්නෙහි මැනැවින් නිර්වාණයෙහි අධිමුක්ත වූ මැ ඇතැම් මහණක්හට මෙසේ සිත් වෙයි: ‘තෘෂ්ණාව වනාහි ශල්‍යයෙකැයි බුද්ධශ්‍රමණයන් විසින් වදාරන ලද, අවිද්‍යා සංඛ්‍යාත විෂදොෂය ඡන්‍දරාගයෙන් හා ව්‍යාපාදයෙන් කොප්‍ය වෙයි. මට ඒ තෘෂ්ණාශල්‍යය ප්‍රහීණ යැ, අවිද්‍යා සංඛ්‍යාත විෂදොෂය බැහැර කරන ලද, මම් මැනැවින් නිර්වාණයෙහි අධිමුක්තයෙම් වෙමි’ යි. හේ මැනවින් නිර්වාණාධිමුක්ති ඇත්තකුට අහිත වූ යම් ධර්ම කෙනෙක් ඇද්ද, ඒ ධර්මයන්හි නො යෙදෙන්නේ ය. ඇසින් අහිත වූ රූපදර්ශනයෙහි නො යෙදෙන්නේ ය, කනින් අහිත වූ ශබ්ද ඇසීමෙහි නො යෙදෙන්නේ යැ, නැහැයෙන් අහිත වූ ගඳ ගැන්මෙහි නො යෙදෙන්නේ යැ, දිවින් අහිත වූ රස විඳීමෙහි නො යෙදෙන්නේ යැ, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො යෙදෙන්නේ යැ, සිතින් අහිත වූ දහම්හි නො යෙදෙන්නේ යැ, ඇසින් අහිත වූ රූපදර්ශනයෙහි නො යෙදුණු, කනින් අහිත වූ ශබ්ද ඇසීමෙහි නො යෙදුණු, නැහැයෙන් අහිත වූ ගඳ ගැන්මෙහි නො යෙදුණු, දිවෙන් අහිත වූ රස විඳීමෙහි නො යෙදුණු, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො යෙදුණු, සිතින් අහිත වූ දහම්හි නො යෙදුණු ඔහුගේ සිත රාගය තෙමේ නො වියළන්නේ ය, (නොමැඩපියන්නේ ය.) හෙතෙම රාගය විසින් නො මඩනා ලද සිතින් යුක්ත ව මරණයට හෝ නො මැ පැමිණෙන්නේ ය, මරණමාත්‍ර දුකට හෝ නො පැමිණෙන්නේ යි.

යම්සේ සුනක්ඛත්තය, පුරුෂයෙක් විෂ සහිත වූ පුනපුනා විෂ පෙවූ හීයෙකින් විදුනා ලද්දේ වේ ද, ඔහුගේ මිත්‍රාමාත්‍යයෝ නෑසහලේනෑයෝ සැත්කම් කරන වෙදකු එළවන්නාහු ය, ඒ ශල්‍යවෛද්‍යයා සැතින් ඔහුගේ ව්‍රණමුඛය සිඳින්නේ ය, සැතින් ව්‍රණමුඛය සිඳපියා එෂණියෙන් ශල්‍යය සොයන්නේය, එෂණියෙන් ශල්‍යය සොයා ශල්‍යය උදුරන්නේ ය, ග්‍රහණශෙෂ රහිත කොට විෂදොෂය බැහැර කරන්නේ ය, ග්‍රහණශෙෂ රහිත වී යයි දන්නා ඒ විෂවෛද්‍ය මෙසේ කියන්නේ ය: “එම්බා පුරුෂය, තොපගේ ශල්‍යය උදුරන ලද්දේ මැ ය, විෂදොෂය බැහැර කරන ලද, ග්‍රහණශෙෂ රහිත විය, තොපට අන්තරාය පිණිස අසමර්ථ ද වෙයි. යළි පථ්‍ය වූ භොජනයන් වළඳනනෙහි ය, අපථ්‍ය වූ භොජන වළඳකරන්නා වූ තාගේ වණය නහමක් ලේසැරව ගලනසුලු වන්නේ ය, යළි කලින් කල වණය ධොවනය කරන්නෙහි ය. කලින් කල ව්‍රණමුඛය ආලෙප කරන්නෙහි, කලින් කල වණය නො දොවුනා, කලින් කල වණමුඛය අලෙව් නො දෙන තාගේ වණ මුඛය නහමක් ලේසැරව බැඳේවා, අව්සුළංහි හැසිරෙන බැව්හි නහමක් යෙදෙව, අව් සුළංහි හැසිරීමෙහි යෙදෙන තාගේ ව්‍රණමුඛය දූලි හා නණ්ඩු නහමක් පෙළාවා, එම්බා පුරුෂය, වණය රක්නෙහි ව්‍රණරොපණය කරන සුල්ලෙහි වාසය කරන්නෙහි ය” යි. ඔහුට මෙවන් සිතෙක් වෙයි: ‘මාගේ ශල්‍යය උදුරන ලද්දේ මැ යැ විෂදොෂ බැහැර කරන ලදුයේ ග්‍රහණශෙෂ රහිත යැ, මට අන්තරාය පිණිස අසමර්ථ ද වේ ය’ යි. හේ පථ්‍ය වූ බොදුනුදු බුදින්නේ ය, පථ්‍ය වූ බොදුන් වළඳ කරන ඔහුගේ වණය ලේපූයා වැහෙන සුලු නො වෙයි, යළි කලින් කල වණය දෝනේ ය, කලින් කල වණය අලෙව් දෙන්නේ ය, කලින් කල වණය දෝනා කලින් කල වණමුඛය අලෙව්දෙන ඔහුගේ වණමුඛය ලේසැරව හාත්පසින් නො බඳනේ ය, අව්සුළංහි හැසිරීමෙහි නො ද යෙදෙන්නේ ය. අව්සුළංහි හැසිරීමෙහි නො යෙදුණු ඔහුගේ වණමුඛය රජස් හා නණ්ඩු නො පෙළන්නේ ය, යළි වණය රක්නාසුලු වූයේ ව්‍රණරොපණය කරනසුලු වූයේ වෙසෙන්නේ ය, ඔහුගේ මේ පථ්‍යක්‍රියාහෙතුයෙනුදු, ඒ විෂදොෂයත් බැහැර කරන ලදුයේ ග්‍රහණශෙෂ රහිත විය. එ දෙකින් වණය (මස්) වැඩෙන්නේ ය. හේ වැඩුණු වණයෙන් හටගත් සිවියෙන් යුක්ත ව මරණයට හෝ නො පැමිණෙන්නේ ය, මරණමාත්‍ර දුකට හෝ නො පැමිණෙන්නේ යි.

එසෙයින් මැ සුනක්ඛත්තය, තෙල කරුණ විද්‍යමාන වෙයි, කිමෙක යත්: මෙ සස්නෙහි මැනැවින් නිර්වාණාධිමුක්ත වූ මැ ඇතැම් මහණක් හට මෙවන් සිතෙක් වෙයි: ‘තෘෂ්ණාව වනාහි ශල්‍යයෙකැයි බුද්ධශ්‍රමණයන් විසින් වදාරන ලද, අවිද්‍යා සංඛ්‍යාත විෂදොෂය ඡන්‍දරාගයෙන් හා ව්‍යාපාදයෙන් කොප්‍ය වෙයි. මා විසින් ඒ තෘෂ්ණාශල්‍යය ප්‍රහීණ කරන ලද, අවිද්‍යාවිෂදොෂය බැහැර කරන ලද, මම් මැනැවින් නිර්වාණයෙහි අධිමුක්ත වූයෙම් වෙමි’ යි. හේ මැනැවින් නිර්වාණයෙහි අධිමුක්ත වූවහුට අහිත වූ යම් ධර්ම කෙනෙක් ඇද්ද ඒ ධර්මයන්හි නො යෙදෙන්නේ ය, ඇසින් අහිත වූ රූපදර්ශනයෙහි නො යෙදෙන්නේ ය, කනින් අහිත වූ ශබ්දශ්‍රවණයෙහි නො යෙදෙන්නේ ය, ඝ්‍රාණයෙන් අහිත වූ ගන්ධාඝ්‍රාණයෙහි නො යෙදෙන්නේ ය, දිවින් අහිත වූ රසාස්වාදනයෙහි නො යෙදෙන්නේ ය, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො යෙදෙන්නේ ය, සිතින් අහිත වූ දහම් දැනුමෙහි නො යෙදෙන්නේ ය. ඇසින් අහිත වූ රූ දැක්මෙහි නො යෙදුණු, කනින් අහිත වූ ශබ්ද ඇසීමෙහි නො යෙදුණු, නැහැයෙන් අහිත වු ගඳ ගැන්මෙහි නො යෙදුණු, දිවින් අහිත වූ රස විඳීමෙහි නො යෙදුණු, කයින් අහිත වූ ස්ප්‍රෂ්ටව්‍යයෙහි නො යෙදුණු, සිතින් අහිත වූ දහම්හි නො යෙදුණු ඔහුගේ සිත රාගය තෙමේ නො මඩනේ ය. හේ රාගය විසින් නො මඩනා ලද සිතින් යුක්ත ව මරණයට හෝ නො මැ පැමිණෙන්නේ ය, මරණමාත්‍ර වූ දුකට හෝ නො පැමිණෙන්නේ යි.

සුනක්ඛත්තය, මා විසින් තොපට අරුත් හඟවනු සඳහා මේ උපමා කරන ලදු. තෙල උපමායෙහි මෙ මැ අර්ථ වෙයි: ‘වණ’යී සුනක්ඛත්තය, සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයට තෙල නමෙක, ‘විසදොස’ යී සුනක්ඛත්තය, අවිද්‍යාවට තෙල නමෙක, ‘සල්ල’ යී සුනක්ඛත්තය, තෘෂ්ණාවට තෙල නමෙක, ‘එසණී’ යී සුනක්ඛත්තය, ස්මෘතියට තෙල නමෙක, ‘සත්ථ’ යී සුනක්ඛත්තය, ආර්ය්‍යප්‍රඥාවට තෙල නමෙක, ‘හිස්සක සල්ලකත්ත’ යී සුනක්ඛත්තය, අර්හත් සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයනට තෙල නමෙකි. සුනක්ඛත්තය, ඒකාන්තයෙන් ඒ මහණ සවැදෑරුම් ස්පර්ශායතනයෙහි සංවෘතකාරී වෙයි. පඤ්චස්කන්ධොපධිය දුකට මුලැයි මෙසේ දැන (ක්ලෙශොපධීන්) උපධි රහිත වූයේ, උපධිසංඛ්‍යය සංඛ්‍යාත නිවනෙහි විමුක්ත වූයේ කාමෝපධියෙහි කය හෝ එළවන්නේ ය, සිත හෝ උපදවන්නේ ය යන තෙල කරුණ විද්‍යමාන නො වේ.

සුනක්ඛත්තය, යම්සේ වර්ණසම්පන්න වූ ගන්ධසම්පන්න වූ රසසම්පන්න වූ මිහිරි පැන් පිරූ කස්තලියෙක් වේ ද, හෙ ද වනාහි හලාහලවිෂයෙන් මුසු කරන ලදුයේ වෙයි, එකල්හි ජීවත්වනු කැමැති සුව කැමැති නො මැරෙනු කැමැති දුකට පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ යැ, සුනක්ඛත්තය, එ කිමැයි සිතයි ද? ඒ පුරුෂ යම්හෙයෙකින් ‘මම් මෙය පානය කොට මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙමැ’ යි දන්නේ නම්, ඒ මිහිරි පැන් පිරූ කස්තලිය පානය කරන්නේ දැ?’ යි.

වහන්සැ, තෙල නො වේ මැ ය.

එසෙයින් මැ සුනක්ඛත්තය, ඒකාන්තයෙන් ඒ මහණ ෂට් ස්පර්ශායතනයන්හි සංවෘතකාරී වූයේ (පස්වැදෑරුම්) ස්කන්ධොපධිය දුකට මුලැ’ යි මෙසේ දැන උපධි රහිත වූයේ, උපධික්ෂය සංඛ්‍යාත නිර්වාණයෙහි විමුක්ත වූයේ කාමොපධියෙහි කය හේ එළවන්නේ යැ, සිත හෝ උපදවන්නේ යැ යන තෙල කරුණ නො වන්නේ යි.

යම්සේ සුනක්ඛත්තය, ක්‍රෑර විෂ ඇති ආශීර්විෂයෙක් වේ ද, එකල්හි ජීවත්වනු කැමැති නො මැරෙනු කැමැති සුව කැමැති දුකට පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ යැ, සුනක්ඛත්තය, ඒ කිමැයි සිතයි ද? ඒ පුරුෂ ‘යම්හෙයෙකින් මම මොහු විසින් දෂ්ට කරන ලද්දෙම් නම්, මරණයට හෝ මරණමාත්‍ර දුකට හෝ පැමිණෙමැ’ යි දන්නේ නම්, ඒ ඝෝරවිෂ වූ ආශීර්විෂයහට අතක් හෝ ඇඟිල්ලක් හෝ මෙහෙයන්නේ දැ?’ යි.

වහන්ස, තෙල නො වේ මැ ය.

එසෙයින් මැ සුනක්ඛත්තය, එකාන්තයෙන් ඒ මහණ ෂට්ස්පර්ශායතනයන්හි සංවෘතකාරී වූයේ, ස්කන්ධොපධිය දුකට මුලැ’ යි මෙසේ දැන ක්ලෙශෝපධි රහිත වූයේ, උපධික්ෂය සංඛ්‍යාත නිර්වාණයෙහි විමුක්ත වූයේ කාමොපධියෙහි කය හෝ එළවන්නේ යැ, සිත හෝ උපදවන්නේ යැ යන තෙල කරුණ නො වන්නේ යි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති සුනක්ඛත්ත ලිච්ඡවිපුත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනය කෙළේ යි.

පස්වැනිසුනක්ඛත්තසූත්‍රය නිමියේ ය.