ආනන්ද භද්දේකරත්ත සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

සතරවැනි විභඞ්ග (විභංග) වර්ගය

3.4.2

ආනන්දභද්දේකරත්ත සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජෙතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල ආනඳ තෙරණුවෝ උපස්ථානශාලායෙහි දී භික්ෂූන් දැහැමි කථායෙන් කරුණු දක්වති. සමාදන් කරවති. තෙද ගන්වති. ප්‍රහර්ෂ කරවති. භද්‍රඑකරාත්‍ර ඇති මහණ හට උද්දෙස හා විභාග හා කියති.

එකල භාග්‍යවතුන් වහන්සේ සවස්වරුයෙහි පලසමවතින් නැඟීසිටි සේක් උපස්ථාන ශාලාව කරා එළැඹියහ. එළැඹ පැන්වු අස්නෙහි වැඩහුන්හු. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ මහණුන් ඇමතූසේක. “මහණෙනි, කවරෙක් නම් උපස්ථානශාලායෙහි ලා මහණුන් දැහැමි කථායෙන් කරුණු දක්වාලී ද, සමාදන් කරවාලී ද, තෙද ගන්වාලී ද, සතුටු කරවාලී ද, භද්‍රෛකරාත්‍ර මහණ හට උද්දෙස හා විහාග හා දෙසී දැ” යි වදාළෝ.

වහන්ස, අනඳ තෙරණුවෝ උපස්ථානශාලායෙහි දී භික්ෂූන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහ, සමාදන් කැරැවූහ, තෙද ගැන්වූහ, සතුටු කැරැවූහ. භද්‍රෛකරාත්‍ර මහණ හට උද්දෙස හා විහාග හා දෙසූහ’ යි.

එකල භාග්‍යවතුන් වහන්සේ අනඳ තෙරණුවන් ඇමතූසේක. “ආනන්දය, තෙපි කිසෙයින් භික්ෂූන් දැහැමි කථායෙන් කරුණු දැක්වූහු ද, සමාදන් කැරැවූහු ද, තෙද ගැන්වූහු ද, පහදවාලූහු ද, භද්‍රෛකරාත්‍ර මහණ හට උද්දෙස හා විහාග හා දෙසූහු දැ” යි.

වහන්ස, මෙසෙයින් මම භික්ෂූන් දැහැමි කථායෙන් කරුණු දැක්වීමි, සමාදන් කැරැවීමි, තෙද ගැන්වීමි, සම්ප්‍රහර්ෂ කැරැවීමි, භද්‍රෛකරාත්‍ර මහණ හට උද්දෙස හා විහාග හා දෙසීමි.

අතීත පඤ්චස්කන්ධය තෘෂ්ණා දෘෂටීන් අනුගමනය නො කරන්නේයැ, අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණාදෘෂටීන් නො පතන්නේ යැ, යම් හෙයකින් යමක් අතීත වේ ද, එය ප්‍රහීණ යැ, යමක් අනාගත වේ ද එය නො පැමිණියේ යි.

යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ පඤ්චස්කන්ධ ධර්මය ඒ ඒ තන්හි අනිත්‍යාදි විසින් විදර්ශනා කෙරේ ද, ඒ විද්වත් තෙමේ අසංහීර වූ අසංකොප්‍ය වූ ඒ විදර්ශනාව වඩන්නේ යැ.

අද ම ආතාපන වීර්‍ය්‍ය කර්තව්‍ය වෙයි. කවරෙක් සෙට මරණය ඇති’ යි දතහෙන්නේ ද, මහත් සෙන්බල ඇති මරහු සමග සංගරයෙක් නැත් නු!

මෙවන් විහරණ ඇති කෙලෙස් තවන වැර ඇති දවරෑ දෙක්හි හළ තන්ද්‍රා ඇති ඒ යොගාවචරයා භද්දෙකරත්ත යයි ශාන්ත වූ බුද්ධ මුනි තෙමේ ප්‍රකාශ කෙරේ.

ඇවැත්නි, කෙසේ නම් අතීත ස්කන්ධධර්මය තෘෂ්ණාදෘෂ්ටීන් අනුගමනය කෙරේ යැ යත්: අතීත කාලයෙහි මෙබඳු රූ ඇතියෙම් වීමි’ යි එහි නන්දිය එළවයි. අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇතියෙම් වීමි’ යි එහි නන්දිය එළවයි ... ඇවැත්නි, මෙසෙයින් අතීත ස්කන්ධධර්මය අනුගමනය කෙරෙයි.

ඇවැත්නි, කෙසෙයින් අතීත ස්කන්ධධර්මය අනුගමනය නො කෙරේ යැ යත්: අතීත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි’ යි එහි නන්දිය නො එළවයි, අතීත කාලයෙහි මෙබඳු වේදනා ඇතියෙම් වීමි’ යි එහි නන්දිය නො එළවයි, අතීත කාලයෙහි මෙබඳු සංඥා ඇතියෙම් වීමි’ යි එහි නන්දිය නො එළවයි, අතීත කාලයෙහි මෙබඳු සංස්කාර ඇතියෙම් වීමි’ යි එහි නන්දිය නො එළවයි, අතීත කාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි’ යි එහි නන්දිය නො එළවයි. ඇවැත්නි, මෙසෙයින් අතීත ස්කන්ධධර්මය අනුගමනය නො කෙරේ.

ඇවැත්නි, කිසෙයින් අනාගත ස්කන්ධධර්මය තෘෂ්ණාදෘෂ්ටීන් විසින් ප්‍රර්ථනා කෙරේ යැ යත්: අනාගත කාලයෙහි මෙබඳු රූ ඇති වෙම්ව’ යි එහි නන්දිය එළවයි, මෙබඳු වේදනා ඇති වෙම්ව’ යි ... මෙබඳු සංඥා ඇති වෙම්ව’ යි ... මෙබඳු සංස්කාර ඇති වෙම්ව’ යි ... අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇති වෙම්ව’ යි එහි නන්දිය එළවයි. ඇවැත්නි, මෙසෙයින් අනාගත ස්කන්ධධර්මය ප්‍රර්ථනා කෙරෙයි.

ඇවැත්නි, කිසෙයින් අනාගත ස්කන්ධධර්මය ප්‍රර්ථනා නො කෙරේ යැ යත්: අනාගත කාලයෙහි මෙබඳු රූ ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණා නො පිහිටුවයි, මෙබඳු වේදනා ඇති වෙම්ව’ යි ... මෙබඳු සංඥා ඇති වෙම්ව’ යි ... මෙබඳු සංස්කාර ඇති වෙම්ව’ යි ... අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණා නො පිහිටුවයි. ඇවැත්නි, මෙසෙයින් අනාගත ස්කන්ධධර්මය ප්‍රර්ථනා නො කෙරෙයි.

ඇවැත්නි, කෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්ම කෙරෙහි අදනා ලැබේ යැ යත්: ඇවැත්නි, මෙලොවැ බුද්ධාදි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්මය පිලිබඳ අදක්ෂ ආර්‍ය්‍යධර්මයෙහි අවිනීත බුද්ධාදි සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්මය පිලිබඳ අදක්ෂ සත්පුරුෂධර්මයෙහි අවිනීත අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම විසින් තෘෂ්ණාදෘෂටීන් දකී, ආත්මය රූපවත් කොට ද, ආත්මයෙහි රූප කොට ද රූපයෙහි ආත්ම කොට ද දකී. වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන ආත්ම විසින් දකී. ආත්මය විඥාන වත් කොට ද, ආත්මයෙහි විඥාන කොට ද විඥාන යෙහි ආත්ම කොට ද දකී. ඇවැත්නි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මයෙහි අදනා ලැබේ.

ඇවැත්නි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මයෙහි නො අදනා ලැබේ යැ යත්: ඇවැත්නි, මෙලොවැ ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්මයට දක්ෂ ආර්‍ය්‍යධර්මයෙහි සුශික්ෂිත සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂධර්මයට දක්ෂ සත්පුරුෂධර්මයෙහි සුශික්ෂිත ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්ම විසින් නො දක්නේ යැ, ආත්මය රූපවත් කොට ද නො දක්නේ යැ, ආත්මයෙහි රූපය ද නො දක්නේ යැ, රූපයෙහි ආත්මය ද නො දක්නේ යැ, වේදනා ආත්ම විසින් නො දක්නේ යැ ... සංඥා ආත්ම විසින් නො දක්නේ යැ ... සංස්කාර ආත්ම විසින් නො දක්නේ යැ ... විඥාන ආත්ම විසින් නො දක්නේ යැ, ආත්මය විඥානවත් කොට ද නො දක්නේ යැ, ආත්මයෙහි ලා විඥාන ද නො දක්නේ යැ, විඥානයෙහි ලා ආත්ම ද නො දක්නේ යැ. ඇවැත්නි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මයෙහි නො අදනා ලැබේ.

අතීත ස්කන්ධධර්ම අනුගමනය නො කරන්නේ යැ, අනාගත ස්කන්ධධර්මය නො පතන්නේ යැ ... ඒ යොගාවචරයා ඒකාන්තයෙන් ශාන්ත වූ භදේදකරත්ත යයි බුද්ධ මුනි තෙමේ කියා.

වහන්ස, මෙසෙයින් මම භික්ෂූන් දැහැමි කථායෙන් කරුණු දැක්වීමි, සමාදන් කරවීමි, තෙද ගැන්වීමි, සම්ප්‍රහර්ෂ කැරැවීමි, භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දෙස හා විහාග හා පැවැසීමි’ යි.

මැනැව මැනැව ආනන්දයෙනි, ආනන්දයෙනි, තෙපි මනා කොට භික්ෂූන් ට දැහැමි කථායෙන් කරුණු දැක්වූවහු යැ, සමාදන් කැරැවූහු යැ, තෙද ගන්වාලූහු යැ, සතුටු කරවා ලූහු යැ, භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දෙස හා විහාග හා ප්‍රකාශ කළහු යැ.

අතීත ස්කන්ධධර්මය අනුගමනය නො කරන්නේ යැ ... ඒ යොගාවචරයා ඒකාන්තයෙන් සන්හුන් භදේදකරත්ත යයි බුද්ධ මුනි වදාරති’ යි කියා යි.

ආනන්දයෙනි කිසෙයින් අතීත ස්කන්ධධර්මය අනුගමනය කෙරේ යැ යත් ... ආනන්දයෙනි, මෙසෙයින් අතීත ස්කන්ධධර්මය අනුගමනය කෙරෙයි. ආනන්දයෙනි, කිසෙයින් අතීත ස්කන්ධධර්මය අනුගමනය නො කෙරේ යැ යත් ... ආනන්දයෙනි, මෙසෙයින් අතීත ස්කන්ධධර්මය අනුගමනය නො කෙරෙයි. ආනන්දයෙනි, කිසෙයින් අනාගත ස්කන්ධධර්ම පතන්නේ යැ යත් ... ආනන්දයෙනි, මෙසෙයින් අනාගත ස්කන්ධධර්ම පතන්නේ යැ. ආනන්දයෙනි, කිසෙයින් අනාගත ස්කන්ධධර්ම නො පතන්නේ යැ යත් ... ආනන්දයෙනි, මෙසෙයින් අනාගත ස්කන්ධධර්ම නො පතන්නේ යැ. ආනන්දයෙනි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මය කෙරෙහි අදනා ලැබේ යැ යත් … ආනන්දයෙනි, මෙසේ ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මය කෙරෙහි අදනා ලැබේ. ආනන්දයෙනි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මය කෙරෙහි නො අදනා ලැබේ යැ යත් ... ආනන්දයෙනි, මෙසේ ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මය කෙරෙහි නො අදනා ලැබේ.

අතීත ස්කන්ධධර්මය අනුගමනය නො කරන්නේ යැ ... ඒ යොගාවචරයා ඒකාන්තයෙන් සන්හුන් භදේදකරත්ත යයි බුද්ධ මුනි වදාරති’ යි කියා යි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දනය කළහ.

දෙවැනිආනන්දභද්දේකරත්තසූත්‍රය නිමියේ ය.