චූළකම්මවිභංග සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

සතරවැනි විභඞ්ග (විභංග) වර්ගය

3.4.5

චූළ (චුල්ල) කම්මවිභංග සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජෙතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසනසේක. එසඳ තොදෙය්‍ය බමුණුපුත් සුභ නම් මාණවක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සම්මොදනීය සාරාණීය කථා කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් තොදෙය්‍ය බමුණුපිත් සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ සැල කෙළේ යැ.

භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ මැ හීනප්‍රණීත බව දක්නා ලැබෙයි. ඊට හේතු කවරෙ යැ, ප්‍රත්‍යය කවරෙ යැ: භවත් ගෞතමයන් වහන්ස, අල්පායුෂ්ක මනුෂ්‍යයෝ දක්නා ලැබෙත් මැ යැ, දීර්ඝායුෂ්කයෝ දක්නා ලැබෙති. බොහෝ ආබාධ ඇත්තාහු දක්නා ලැබෙති, අල්පාබාධයෝ දක්නා ලැබෙති. දුර්වර්ණයෝ දක්නා ලැබෙති, වර්ණවත් වූවාහු දක්නා ලැබෙති. අල්පයශස්කයෝ දක්නා ලැබෙති, මහායශස්කයෝ දක්නා ලැබෙති. අල්පභොග ඇත්තාහු දක්නා ලැබෙති, මහාභොග ඇත්තාහු දක්නා ලැබෙති. නීචකුලීනයෝ දක්නා ලැබෙති, උච්චාකුලීනයෝ දක්නා ලැබෙති. දුෂ්ප්‍රාඥයෝ දක්නා ලැබෙති, ප්‍රඥාවත් වූවාහු දක්නා ලැබෙත්. භවත් ගෞතමයන් වහන්ස, යම් කරුණෙකින් මිනිසත් බවට පැමිණි මිනිසුන්ගේ මැ හීනප්‍රණීත බව දක්නා ලැබෙත් ද ඊට හේතු කවරේ ද ප්‍රත්‍ය කවරේ දැ? යි.

මාණවකය, සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ, කර්මය දායාදය කොට ඇත්තාහ, කර්මය කාරණා කොට ඇත්තාහ, කර්මය බන්ධු කොට ඇත්තාහ, කර්මය පිළිසරණ කොට ඇත්තාහ. කර්මය මේ හීනප්‍රණීතභාවය පිණිස සත්ත්වයන් විභාග කෙරේ යයි වදාළහ.

භවත් ගෞතමයන් වහන්ස, මම භවත් ගෞතමයන් විසින් සැකෙවින් ප්‍රකාශ කළ විස්තර විසින් අර්ථය විභාග නො කළ මේ භාෂිතයාගේ විස්තරාර්ථය නො දතහෙමි. භවත් ගෞතමයන් වහන්සේ යම් පරිදි මම භවත් ගෞතමයන් විසින් සැකෙවින් වදාළ විස්තරාර්‍ථය විභාග නො කළ මේ භාෂිතයාගේ විස්තරාර්ථය දතහෙම් ද එපරිද්දෙන් මට ධර්මය දේශනා කෙරෙත්වා’ යි අයදිමි’ යි.

එසේ වී නම්, මාණවකය, අසව මොනොවට මෙනෙහි කරව, ප්‍රකාශ කරන්නෙමි’ යි වදාළහ.

‘එසේ යැ භවත්නි’ යි තෝදෙය්‍යපුත්‍ර සුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දින. භාග්‍යවතුන් වහන්සේ තෙල ‘චූළකම්මවිභඞ්ගය’ වදාළසේක.

මාණවකය, මෙලොව ඇතැම් ස්ත්‍රියක් වේවයි, පුරුෂයෙක් වේවයි, රෞද්‍ර වූ ලෙහෙ වැකුණු අත් ඇති සතුන් වැනැසීමෙහි යෙදුණේ සියලු සත්ත්වයන් කෙරෙහි නිෂ්කාරුණික බවට පැමිණියේ, ප්‍රාණවධ කරනසුලු වූයේ වේ ද, හේ මෙසේ රැස් කළ මෙසේ සමාදන් කළ ඒ කර්මය හේතු කොට ගෙන කාබුන් මරණින් මත්තෙහි සුවයෙන් පහ වූ දුකට ගති වූ විවස වැ පතිත වන නිරයට ප්‍රතිසන්ධි විසින් පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මත්තෙහි අපාය වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට නො පැමිණේ ද ඉදින් මිනිස් බවට පැමිණේ නම් යම් යම් තැනෙක උපදනේ නම් අල්පායුෂ්ක වෙයි. මාණවකය, යම් ප්‍රාණවධ කරනසුලු බවෙක් වේ ද, රෞද්‍ර වූයේ ලෙහෙ වැකුණු අත් ඇතියේ, ප්‍රාණවධයෙහි යෙදුණේ සියලු ප්‍රාණීන් කෙරෙහි නිෂ්කාරුණික වූයේ වේ ද, මේ ප්‍රතිපදාව අල්පායුෂ්කභාවය පිණිස පවත්නේ වේ.

තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ප්‍රාණවධ හැරපියා ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි. බහාතැබූ දඬුවම් ඇතියේ බහාතැබූ ශස්ත්‍ර ඇතියේ (අකුශලයෙහි) ලජ්ජා ඇතියේ දයාවට පැමිණියේ සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පී වැ වෙසේ ද, හේ මෙසේ සම්පූර්ණ කරනලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතුයෙහි සොභනගති ඇති සුවයෙන් අග්‍ර වූ ලොකයට (පිළිසිඳ විසින්) පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතුයෙහි සුගති ස්වර්ගලොකයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට පැමිණේ නම් යම් යම් තැනෙක උපදනේ නම් දීර්ඝායුෂ්ක වෙයි. මාණවකය, ප්‍රාණවධ හැරපියා ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, බහා තැබූ දඬුවම් ඇති වැ බහා තැබූ ශස්ත්‍ර ඇති වැ ලජ්ජා ඇති වැ දයාවට පැමිණ සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පී වැ වාසය කෙරෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව දීර්ඝායුෂ්ක බව පිණිස පවත්නී වේ.

තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්නට වෙහෙස කරන පියවි ඇති වේ ද, හේ මෙසේ සුපුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්ගති විනිපාත වූ නිරයට පැමිණෙයි. කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට ඉදින් නො පැමිණේ නම්, මිනිස් බවට ඉදින් ඒ නම් යම් යම් තැනෙක උපදනේ නම්, බොහෝ ආබාධ ඇතියේ වෙයි. මාණවකය, අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්ත්වයන් වෙහෙසන පියවි ඇති වෙයි යන යමක් ඇත්ද, තෙල ප්‍රතිපදාව බොහෝ ආබාධ බව පිණිස පවත්නී වේ.

තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්ත්වයනට වෙහෙස නො කරන පියවි ඇත්තේ වේ ද? හේ මෙසේ පුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්ගලොකයට (පිළිසිඳ විසින්) පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්ගලොකයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට ඒ නම් යම් යම් තැනෙක උපදනේ ද අල්පාබාධ වෙයි. මාණවකය, අතින් වේවයි කැටින් වේවයි දඬින් වේවයි සැතින් වේවයි සත්ත්වයන් නො වෙහෙසන පියවි ඇති වෙයි යන යමක් ඇත් ද, තෙල ප්‍රතිපදාව බොහෝ අල්පාබාධ බව පිණිස පවත්නී වේ.

තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් කිපෙන සුලු වූයේ දැඩි ආයාස බහුලකොට ඇත්තේ වේ ද, මඳ බසකුදු කියන ලදුයේ (කෝපයෙන්) ගැටේ ද කිපේ ද විරෝධයට පැමිණේ ද තද බවට පැමිණේ ද කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරේ ද, ඒ පුද්ගල මෙසේ පුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්ගති විනිපාත වූ නිරයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට ඒ නම්, යම් යම් තැනෙක උපදනේ ද දුර්වර්ණ වූයේ වෙයි. මාණවකය, ක්‍රොධ කරනසුලු වූයේ උපායාස බහුල කොට ඇතියේ මඳ බසකුදු කියන් ලදුයේ (කෝපයෙන්) ගැටෙයි, කිපෙයි, ව්‍යාපාදයට පැමිණෙයි, තද බවට පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙරෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව දුර්වර්ණ බවට වැටෙන්නී වේ.

තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ක්‍රොධ නො කරනසුලු වූයේ දැඩි ආයාස බහුලකොට නැතියේ වේ ද, බොහෝ කොටත් කියන ලදුයේ ක්‍රොධයෙන් නො ගැටෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද බවට නො පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙරෙයි. හේ මෙසේ පුරන ලද සමාදන් කොට ගන්නා ලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්ගලොකයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්ගලොකයට නො පැමිණේ ද ඉදින් මිනිස් බවට ඒ ද යම් යම් තැනෙක උපදනේ නම්, ප්‍රසාද එළවන්නේ වෙයි. මාණවකය, ක්‍රොධ නො කරන්නේ වෙයි, උපායාස බහුල කොට නැති වෙයි. බොහෝ කොටත් කියන ලදුයේ නො ගැටෙයි, නො කිපෙයි, ව්‍යාපාදයට නො පැමිණෙයි, තද බවට නො පැමිණෙයි. කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ නො කෙරෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව ප්‍රසාද එළවන බවට වැටෙන්නී වේ.

තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ කිසිවෙක් ඊර්ෂ්‍යා සහගත සිත් ඇති වෙයි. මෙරමාගේ ලාභසත්කාර ගරුකාර මානන වන්දනා පූජනායෙහි ඊර්ෂ්‍යා කෙරෙයි, ද්වෙෂ කෙරෙයි, ඊර්ෂ්‍යාව බඳියි. හේ මෙසේ රැස් කළ මෙසේ සමාදන් කොට ගත් ඒ කර්මය හේතු කොට ගෙන කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට නො පැමිණේ නම් ඉදින් මිනිස් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද අල්පෙශාක්‍ය වෙයි. මාණවකය, ඊර්ෂ්‍යා සහගත සිත් ඇති වෙයි, පරලාභ සත්කාර ගරුකාර මානන වන්දන පූජනායෙහි ඊර්ෂ්‍යා කෙරෙයි, ද්වෙෂ කෙරෙයි, ඊර්ෂ්‍යාව බඳියි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව අල්පෙශාක්‍ය බව පිණිස පවත්නී වේ.

තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ඊර්ෂ්‍යා සහගත සිත් නැති වේ ද මෙරමාගේ ලාභ සත්කාර ගරුකාර මානන වන්දන පූජනායෙහි ඊර්ෂ්‍යා නො කෙරෙයි, ද්වෙෂ නො කෙරෙයි, ඊර්ෂ්‍යාව නො බඳියි. හේ මෙසේ රැස් කරන ලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්මය හෙතු කොට ගෙන කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්ගලොකයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති වූ ස්වර්ගලොකයට නො පැමිණේ නම් ඉදින් මිනිස් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද, (එකල්හි) මහෙශාක්‍ය වෙයි. මාණවකය, ඊර්ෂ්‍යා සහගත සිත් නැති වෙයි, මෙරෙමා හට ලාභ සත්කාර ගරුකාර මානන වන්දන පූජනායෙහි ඊර්ෂ්‍යා නො කෙරෙයි, ද්වෙෂ නො කෙරෙයි, ඊර්ෂ්‍යා නො බඳී යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව මහෙශාක්‍ය බව පිණිස පවත්නී වේ.

තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශයන වාසාගාර පහන්තෙල් නො දෙන්නේ වෙයි. හේ මෙසේ පුරනලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත සංඛ්‍යාත නිරයට පැමිණෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට නො පැමිණේ නම් ඉදින් මිනිස්බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ ද (එතැන්හි) අල්පභොග වෙයි. මාණවකය, මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යාන මල් ගඳ විලෙවුන් ශයනාගාර පහන්තෙල් නො දෙනු වෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව අල්පභොග ඇති බවට වැටෙන්නී වෙයි.

තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යානා මාලා ගන්ධ විලෙපන ශයනාගාර පහන්තෙල් දෙන්නේ වෙයි. හේ මෙසේ පුරනලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්මයෙන් කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගලොකයට එළැඹෙයි. ඉදින් කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගලොකයට නො එළැඹේ නම් ඉදින් මිනිස් බවට පැමිණේ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද එකල්හි මහාභෝග ඇත්තේ වෙයි. මාණවකය, මහණක්හට හෝ බමුණක්හට හෝ ආහාර පාන වස්ත්‍ර යානා මාලා ගන්ධ විලෙපන ශයනාගාර පහන්තෙල් දෙන්නේ වෙයි යන යමක් ඇද්ද තෙල ප්‍රතිපදාව මහාභොග ඇති බවට වැටෙන්නී වේ.

තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් ස්තබ්ධ වූයේ අධිකමාන ඇත්තේ වෙයි. අභිවාදනාර්හයාට අභිවාදන නො කෙරෙයි. දැක හුනස්නෙන් නැඟීසිටියයුතුවහුට දැක හුනස්නෙන් නො නැඟෙයි. අසුන් දීමට නිසි වූවහුට අසුන් නො දෙයි. මාර්ගර්හයාහට මාර්ගය නො දෙයි. සත්කාර කළයුත්තහුට සත්කාර නො කෙරෙයි. ගරු කළයුත්තහුට ගරු නො කෙරෙයි. බුහුමන් කළ යුත්තහුට බුහුමන් නො කෙරෙයි. පූජාර්හයාහට පූජා නො කෙරෙයි. හේ මෙසේ රැස් කරනලද මෙසේ සමාදන් කොට ගන්නාලද ඒ කර්මය හෙතු කොට කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත සංඛ්‍යාත නිරයට එළැඹෙයි. ඉදින් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත සංඛ්‍යාත නිරයට නො පැමිණේ නම්, ඉදින් මිනිස් බවට ඒ නම්, යම් යම් තැනෙක උපදනේ වේ ද (එකල්හි) නීචකුල ඇත්තේ වෙයි. මාණවකය, ස්තබ්ධ වූයේ අධිකමාන ඇති වෙයි, අභිවාදනාර්හයාට අභිවාදනය නො කෙරෙයි, හුනස්නෙන් නැඟීසිටියයුත්තහු දැක හුනස්නෙන් නැඟී නො සිටියි, ආසනර්හයාහට අසුන් නො දෙයි, මාර්ගර්හයාහට මඟ නො දෙයි, සත්කාර කළයුත්තහුට සත්කාර නො කෙරෙයි, ගරු කළයුත්තහුට ගරු නො කෙරෙයි, බුහුමන් කළ යුත්තහුට බුහුමන් නො කෙරෙයි, පූජාර්හයාහට පූජා නො කෙරෙයි යන යමක් ඇද්ද තෙල ප්‍රතිපදාව නීචකුල බවට පවත්නී වේ.

තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් අස්තබ්ධ වූයේ අධිකමාන නැත්තේ වෙයි. අභිවාදනාර්හයාට අභිවාදන කෙරෙයි. හුනස්නෙන් නැඟීසිටියයුත්තහුට දැක හුනස්නෙන් නැඟී සිටියි. ආසනර්හයාහට ආසනය දෙයි. මාර්ගර්හයාහට මඟ දෙයි. සත්කාර කළයුත්තහුට සත්කාර කෙරෙයි. ගරු කළයුත්තහුට ගරු කෙරෙයි. බුහුමන් කළයුතුවහුට බුහුමන් කෙරෙයි. පූජාර්හයාහට පූජා කෙරෙයි. හේ මෙසේ සපුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මය හෙතු කොට ගෙන උසස්කුල ඇත්තේ වෙයි. මාණවකය, අස්තබ්ධ වූයේ අධිකමාන නැති වෙයි, අභිවාදනාර්හයාට අභිවාදනය කෙරෙයි, හුනස්නෙන් නැඟීසිටියයුත්තහු දැක හුනස්නෙන් නැඟෙයි. ආසනර්හයාහට අසුන් දෙයි, මාර්ගාර්හයාහට මඟ දෙයි, සත්කාර කළයුත්තහුට සත්කාර කෙරෙයි, ගරු කළයුත්තහුට ගරු කෙරෙයි, බුහුමන් කළයුත්තහුට බුහුමන් කෙරෙයි, පූජාර්හයාහට පූජා කෙරෙයි යන යමක් ඇද්ද තෙල ප්‍රතිපදාව උසස්කුල බව පිණිස පවත්නී වේ.

තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණකු හෝ බමුණකු හෝ වෙත එළඹ “වහන්ස, කුසල් කිම? අකුසල් කිම? සාවද්‍යය කිම? අනවද්‍යය කිම? සෙවියයුත්ත කිම? නො සෙවියයුත්ත කිම? මා විසින් කුමක් කරනු ලබන්නේ දීර්ඝරාත්‍රයෙහි අහිතයට දුඃඛයට වැටේ ද? යළි මා විසින් කුමක් කරනු ලබන්නේ හිත පිණිස සුව පිණිස වේ දැ?” යි නො පුළුවුස්නේ වෙයි. හේ මෙසේ සපුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මය හේතු කොට ගෙන ... දුෂ්ප්‍රාඥ වෙයි. මාණවකය, මහණකු කරා හෝ බමුණකු කරා හෝ එළඹ “වහන්ස, කුසල් කිම? අකුසල් කිම? සාවද්‍යය කිම? අනවද්‍යය කිම? සෙවිතව්‍යය කිම? නසෙවිතව්‍යය කිම? මා විසින් කුමක් කරනු ලබන්නේ දීර්ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වේ ද? යළි මා විසින් කුමක් කරනු ලබන්නේ හිත පිණිස සුව පිණිස වේ දැ?” යි නො පුළුවුස්නේ වෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව දුෂ්ප්‍රාඥ බව පිණිස පවත්නී වෙයි.

තවද මාණවකය, මෙලොව ස්ත්‍රියක් වේවයි පුරුෂයෙක් වේවයි කිසිවෙක් මහණකු කරා හෝ බමුණකු කරා හෝ වෙත එළඹ “වහන්ස, කුසල් කිම? අකුසල් කිම? සාවද්‍යය කිම? අනවද්‍යය කිම? සෙවිතව්‍යය කිම? නසෙවිතව්‍යය කිම? මා විසින් කුමක් කරනු ලබන්නේ දීර්ඝරාත්‍රයෙහි අහිත පිණිස දුක් පිණිස වේ ද, යළි මා විසින් කුමක් කරනු ලබන්නේ හිත පිණිස සුව පිණිස වේ දැ?”යි විචාරනුයේ වෙයි. හේ මෙසේ පුරන ලද මෙසේ සමාදන් කොට ගන්නා ලද ඒ කර්මය හේතු කොට ගෙන ... මහාප්‍රාඥ වෙයි. මාණවකය, මහණකු වෙත හෝ බමුණකු වෙත හෝ එළඹ “වහන්ස, කුසල් කිම? අකුසල් කිම? සාවද්‍යය කිම? අනවද්‍යය කිම? සෙවිතව්‍යය කිම? නසෙවිතව්‍යය කිම? මා විසින් කුමක් කරනු ලබන්නේ දීර්ඝරාත්‍රයෙහි අහිතයට දුකට වැටේ ද? යළි මා විසින් කුමක් කරනු ලබන්නේ හිතයට සුවයට වැටේ දැ?යි” විචාරනුයේ වෙයි යන යමක් ඇද්ද, තෙල ප්‍රතිපදාව මහාප්‍රාඥ බව පිණිස පවත්නී වේ.

මෙසෙයින් මාණවකය, අල්පායුෂ්ක බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පායුෂ්ක බවට පමුණුවයි. දීර්ඝායුෂ්ක බව පිණිස පවත්නා ප්‍රතිපදාව දීර්ඝායුෂ්ක බවට පමුණුවයි. බොහෝ ආබාධ ඇති බව පිණිස පවත්නා ප්‍රතිපදාව බොහෝ ආබාධ ඇති බවට පමුණුවයි. අල්පාබාධ බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පාබාධ ඇති බවට පමුණුවයි. දුර්වර්ණ බව පිණිස පවත්නා ප්‍රතිපදාව දුර්වර්ණ බවට පමුණුවයි. ප්‍රසාද එළවන බව පිණිස පවත්නා ප්‍රතිපදාව ප්‍රසාද එළවන බවට පමුණුවයි. අල්පෙශාක්‍ය බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පෙශාක්‍ය බවට පමුණුවයි. මහේශාක්‍ය බව පිණිස පවත්නා ප්‍රතිපදාව මහේශාක්‍ය බවට පමුණුවයි. අල්පභොග බව පිණිස පවත්නා ප්‍රතිපදාව අල්පභොග ඇති බවට පමුණුවයි. මහාභොග බව පිණිස පවත්නා ප්‍රතිපදාව මහාභොග ඇති බවට පමුණුවයි. නීචකුලීන බව පිණිස පවත්නා ප්‍රතිපදාව නීචකුල ඇති බවට පමුණුවයි. උච්චකුලීන භාවය පිණිස පවත්නා ප්‍රතිපදාව උසස්කුල ඇති බවට පමුණුවයි. දුෂ්ප්‍රාඥ බව පිණිස පවත්නා ප්‍රතිපදාව දුෂ්ප්‍රාඥ බවට පමුණුවයි. මහාප්‍රාඥ භාවය පිණිස පවත්නා ප්‍රතිපදාව මහාප්‍රාඥ භාවයට පමුණුවා.

මාණවකය, සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ, කර්මය දායාදය කොට ඇත්තාහ, කර්මය යොනි කොට ඇත්තාහ, කර්මය බන්ධු කොට ඇත්තාහ, කර්මය පිළිසරණ කොට ඇත්තාහ. කර්මය තෙමේ සත්ත්වයන් හීනප්‍රණීත බවට විභාග කෙරේ යයි.

මෙසේ වදාළ කල්හි තොදෙය්‍යපුත්‍ර ශුභ මාණවක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යැ භවත් ගෞතමයන් වහන්ස, ඉතා කාන්ත යැ. භවත් ගෞතමයන් වහන්ස, යම් පරිදි යටිහුරු කොට තබන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, පිළිසන් වුවක් විවෘත කරන්නේ හෝ වේ ද, මංමුළා වූ එකක්හට මාර්ගය ප්‍රකාශ කරන්නේ හෝ වේ ද, අන්ධකාරයෙහි ‘ඇස් ඇත්තාහු රූපයන් දක්නාහ’ යි තෙල් පහනක් දල්වන්නේ හෝ වේ ද එපරිද්දෙන් මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් පර්‍ය්‍යායෙන් ධර්මය ප්‍රකාශ කරන ලද්දේ වන, තෙලෙ මම් භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යෙමි. ධර්මය ද භික්ෂු සංඝයා ද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට මා ධරන සේක්ව’ යි.

පස්වැනිචූළකම්මවිභඞ්ග සූත්‍රය නිමියේ ය.