භද්දේකරත්ත සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

සතරවැනි විභඞ්ග (විභංග) වර්ගය

3.4.1

භද්දෙකරත්ත සූත්‍රය

 

මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජෙතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එහි දී භාග්‍යවත්හු ‘මහණෙනි’ යි භික්ෂූන් අඬගාවදාළහ. ‘පින්වතුන් වහන්සැ’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවත්හු තෙල භද්දෙකරත්ත සූත්‍රය වදාළසේක.

‘මහණෙනි, (විදර්ශනානුයොග සමන්වාගත හෙයින්) භද්‍ර වූ එක් රැයක්හුගේ මාතෘකාව ද විස්තරවිභාගය ද දෙසමි. ඒ අසව, මොනොවට මෙනෙහි කරව, කියමි’ යි වදාළසේක.

‘එසේ යැ වහන්ස’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. බුදුහු තෙල වදාළෝ:

‘අතීත පඤ්චස්කන්ධය තෘෂ්ණාදෘෂ්ටීන් අනුගමනය නො කරන්නේ යැ. අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණාදෘෂටීන් නො පතන්නේ යැ. යම් හෙයකින් යමක් අතීත ද එය ප්‍රහීණ යැ. යමක් අනාගත ද එය නො පැමිණියේ යැ.

යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ (යම් ධර්මයෙක් ඇද්ද) ඒ ධර්මය ඒ ඒ තැන්හි අනිත්‍යාදි විසින් විදර්ශනා කෙරේ ද විද්වත් තෙමේ අසංහීර වූ අසංකොප්‍ය වූ ඒ විදර්ශනාව වඩන්නේ ය.

අද මැ ආතාපනවීර්‍ය්‍ය කර්තව්‍ය යි, සෙට මරණය කවරෙක් දතහෙන්නේ ද මහත් වූ (ගිනි විෂ ආදි) සේනා ඇති මරහු සමග (මිත්‍රසන්ථවාදි) සංගරයෙක් නැත් නු!

මෙ බඳු විහරණ ඇති ආතාපනවීර්‍ය්‍ය ඇති රෑදෙවෙහි අනලස් වූ ඒ පුඟුලා ‘භද්දෙකරත්ත යැ’ යි බුද්ධ මුනි ප්‍රකාශ කෙරේ’ යයි.

මහණෙනි, කිසෙයින් අතීත පඤ්චස්කන්ධය අනුගමනය කෙරෙයි යත්: ‘අතීත කාලයෙහි මෙ බඳු රූ ඇතියෙම් වීමි’ යි ඒ අතීත රූපයෙහි තෘෂ්ණාව පිහිටුවයි. ‘අතීතයෙහි මෙ බඳු වේදනා ඇතියෙම් වීමි’ යි ඒ අතීත වේදනායෙහි තෘෂ්ණා එළවයි. ‘අතීතයෙහි මෙ බඳු සංඥා ඇතියෙම් වීමි’ යි ඒ අතීත සංඥායෙහි තෘෂ්ණාව එළවයි. ‘අතීතයෙහි මෙ බඳු සංස්කාර ඇතියෙම් වීමි’ යි ඒ අතීත සංස්කාරයෙහි තෘෂ්ණාව එළවයි. ‘අතීතයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි’ යි ඒ අතීත විඥානයෙහි තෘෂ්ණාව එළවයි. මහණෙනි, මෙසෙයින් අතීත පඤ්චස්කන්ධය අනුගමනය කෙරෙයි.

මහණෙනි, කිසෙයින් අතීත පඤ්චස්කන්ධය තෘෂ්ණාදෘෂ්ටි විසින් අනුගමනය නො කෙරෙයි යත්: ‘අතීතයෙහි මෙ බඳු වූ රූ ඇති වීමි’ යි ඒ අතීත රූපයෙහි තෘෂ්ණාදෘෂ්ටි විසින් අනුගමනය නො කෙරෙයි. ‘අතීතයෙහි මෙ බඳු වේදනා ඇති වීමි’ යි එහි තෘෂ්ණාව නො එළවයි. ‘අතීතයෙහි මෙ බඳු සංඥා ඇති වීමි’ යි එහි තෘෂ්ණාව නො එළවයි. ‘අතීතයෙහි මෙ බඳු සංස්කාර ඇති වීමි’ යි එහි තෘෂ්ණාව නො එළවයි. ‘අතීතයෙහි මෙ බඳු විඥාන ඇති වීමි’ යි එහි තෘෂ්ණාව නො එළවයි. මහණෙනි, මෙ සෙයින් අතීත පඤ්චස්කන්ධය අනුගමනය නො කෙරෙයි.

මහණෙනි, කිසෙයින් අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රාර්ථනා කෙරෙයි යත්: ‘අනාගත කාලයෙහි මෙ බඳු රූ ඇති වෙම්ව’ යි ඒ අනාගත රූපයෙහි තෘෂ්ණාව එළවයි. ‘අනාගතයෙහි මෙ බඳු වෙදනා ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණාව එළවයි. ‘අනාගතයෙහි මෙ බඳු සංඥා ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණාව එළවයි. ‘අනාගතයෙහි මෙ බඳු සංස්කාර ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණාව එළවයි. ‘අනාගතයෙහි මෙ බඳු විඥාන ඇති වෙම්ව’ යි එහි තෘෂ්ණාව එළවයි. මහණෙනි, මෙසෙයින් අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රාර්ථනා කෙරෙයි.

මහණෙනි, කිසෙයින් අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණාදෘෂ්ටි විසින් ප්‍රාර්ථනා නො කෙරෙයි යත්: ‘අනාගත කාලයෙහි මෙ බඳු රූ ඇති වෙම්ව’ යි ඒ අනාගත රූපයෙහි තෘෂ්ණාව නො එළවයි. ‘මෙ බඳු වේදනා ඇති වෙම්ව’ යි … ‘මෙ බඳු සංඥා ඇති වෙම්ව’ යි … ‘මෙ බඳු සංස්කාර ඇති වෙම්ව’ යි … ‘අනාගතයෙහි මෙ බඳු විඥාන ඇති වෙම්ව’ යි ඒ අනාගත විඥානයෙහි තෘෂ්ණාව නො එළවයි. මහණෙනි, මෙසෙයින් අනාගත පඤ්චස්කන්ධය ප්‍රාර්ථනා නො කෙරේ.

මහණෙනි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්මයන්හි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) අදනා ලැබෙයි යත්: ‘මහණෙනි, මෙ ලොවැ අශ්‍රැතවත් පෘථග්ජන ආර්‍ය්‍යන් නො දක්නේ ආර්‍ය්‍යධර්මයට අදක්ෂ වූයේ ආර්‍ය්‍යධර්මයෙහි අවිනීත වූයේ සත්පුරුෂයන් නො දක්නේ සත්පුරුෂධර්මයට අදක්ෂ වූයේ සත්පුරුෂධර්මයෙහි අවිනීත වූයේ රූපය ආත්මහෙයින් තෘෂ්ණා දෘෂ්ටි විසින් දකී. ආත්මය රූපවත් කොට හෝ දකී. ආත්මයෙහි රූපය ඇතැ’ යි හෝ දකී. රූපයෙහි ආත්මය ඇතැ’ යි හෝ දකී. වේදනාව ආත්ම හෙයින් දකී. වේදනාවත් ආත්මය හෝ ආත්මයෙහි වේදනාව හෝ වෙදනායෙහි ආත්මය හෝ දකී. සංඥාව ආත්ම හෙයින් තෘෂ්ණාදෘෂ්ටි විසින් දකී. සංඥාවත් ආත්මය හෝ ආත්මයෙහි සංඥාව හෝ සංඥායෙහි ආත්මය හෝ දකී. සංස්කාරයන් ආත්ම හෙයින් දකී. සංස්කාරවත් ආත්මය හෝ ආත්මයෙහි සංස්කාරයන් හෝ සංස්කාරයන්හි ආත්මය හෝ දකී. විඥානය ආත්ම හෙයින් දකී. විඥානවත් ආත්මය හෝ ආත්මයෙහි විඥානය හෝ විඥානයෙහි ආත්මය හෝ දකී. මහණෙනි, මෙ සෙයින් ප්‍රත්‍යුත්පන්නධර්මයන්හි තෘෂ්ණාදෘෂ්ටි විසින් අදනා ලැබෙයි.

මහණෙනි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්ධධර්මයෙහි තෘෂ්ණාදෘෂටි විසින් නො අදනා ලැබේ යැ යත්: මහණෙනි, මෙලොවැ බුද්ධාදී ආර්‍ය්‍යන් දක්නාසුලු ආර්‍ය්‍යධර්මයෙහි දක්ෂ වූ ආර්‍ය්‍යධර්මයෙහි සුවිනීත වූ බුද්ධාදි සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂධර්මයෙහි කොවිද වූ සත්පුරුෂධර්මයෙහි සුවිනීත වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ රූපය ආත්මවශයෙන් නො දක්නේ යැ, ආත්මය රූපවත් කොට හෝ ආත්මයෙහි ලා රූපය හෝ රූපයෙහි ලා ආත්මය හෝ නො දක්නේ ය. වේදනා ආත්මවශයෙන් නො දක්නේ යැ … සංඥා ආත්මවශයෙන් නො දක්නේ යැ … සංස්කාර ආත්මවශයෙන් නො දක්නේ යැ … විඥාන ආත්මවශයෙන් නො දක්නේ යැ. ආත්මය විඥානවත් කොට හෝ ආත්මයෙහි ලා විඥානය හෝ විඥානයෙහි ලා ආත්මය හෝ නො දක්නේ යැ. මහණෙනි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්ධධර්මයෙහි (විදර්ශනා ඇතියෙන්) තෘෂ්ණාදෘෂ්ටීන් නො අදනා ලැබේ.

අතීත පඤ්චස්කන්ධය තෘෂ්ණාදෘෂ්ටීන් අනුගමනය නො කරන්නේ යැ, අනාගත පඤ්චස්කන්ධය තෘෂ්ණාදෘෂ්ටීන් නො පතන්නේ යැ, යම්හෙයෙකින් යමක් අතීත ද, එය ප්‍රහීණ යැ, යමක් අනාගත ද එය නො පැමිණියේ යැ. (එහෙයින් අනුගමන හා ප්‍රාර්ථනා නො කරන්නේ යයි සේ යි).

යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ (යම් පඤ්චස්කන්ධධර්මයෙක් ඇද්ද,) ඒ ධර්මය ඒ ඒ තන්හි අනිත්‍යාදි විසින් විදර්ශනා කෙරේ ද, විද්වත් තෙමේ අසංහීර වූ අසංකොප්‍ය වූ ඒ විදර්ශනාව වඩන්නේ ය.

අද ම අතාපන වීර්‍ය්‍ය කර්තව්‍ය යි, සෙට මරණය කවරෙක් දතහෙන්නේ ද, මහත් වූ සේනා ඇති මරහු සමග සඞ්ගරයෙක් නැත් නු!

මෙබඳු විහරණ ඇති අතාපන වීර්‍ය්‍ය ඇති දවරෑ තන්ද්‍රා නැති ඒ පුඟුලා එකාන්තයෙන් ‘භද්දෙකරත්ත’ යයි බුද්ධ මුනි ප්‍රකාශ කෙරේ.

මහණෙනි, භද්‍ර වූ එකරාත්‍ර විහරණ ඇති තොපට උද්දෙසය හා විභාගය හා දෙසමි’ යි යමක් කියන ලද ද, මෙ බස් තෙල සඳහා කියන ලදි.

භාග්‍යවතුන් වහන්සේ මේ භද්දෙකරත්ත සූත්‍රය වදාළහ. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

පළමුවැනිභද්දෙකරත්තසූත්‍රය නිමියේ ය.