මහාකච්චාන භද්දේකරත්ත සූත්‍රය

 

 

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

සතරවැනි විභඞ්ග (විභංග) වර්ගය

3.4.3

මහාකච්චාන භද්දේකරත්ත සූත්‍රය

 

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපොදාවනයෙහි වැඩ වසන සේක. එකල සමිද්ධි තෙරණුවෝ රෑ අලුයම නැඟීසිට ගාත්‍රපරිෂෙකයට තපොද භ්‍රදය කරා එළැඹියහ. තපොද භ්‍රදයෙහි ගාත්‍රපරිෂෙක කොට නැඟී ශරීරාවයව වියළවමින් එක් සිවිරි වැ සිටියහ. එකල එක්තරා දෙව්දුවක් රැය ඉක්මැගිය කල්හි විශිෂ්ට ඡවිවර්ණ ඇත්තී මුළු තපොද දහතලාව බබුළුවා සමිද්ධි තෙරණුවන් කරා එළැඹියා. එළැඹ එකත්පස් වැ සිටගතු. එකත් පස් වැ සිටි ඒ දෙව්දු සමිද්ධි තෙරණුවනට තෙල කියූ:

මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දෙස හා විභාග හා ධරන්නාව?

ඇවත, මම භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දෙස හා විභාග හා නො ධරමි.

ඇවත, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දෙස හා විභාග හා ධරන්නහු?

මහණ, මමත් භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දෙස හා විභාග හා නො ධරමි.

මහණ, තෙපි භද්දෙකරත්තගාථා ධරව?

ඇවැත්නි, මම භද්දෙකරත්තගාථා ද නො ධරමි.

ඇවත, තෙපි භද්දෙකරත්තගාථා ධරහු?

මහණ, මම ද භද්දෙකරත්තගාථා නො ධරමි.

මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දෙස හා විභාග හා උගනුව. මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දෙස හා විභාග හා පුහුණු කරව, මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දෙස හා විභාග හා ධරව, මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දෙස හා විභාග හා අර්ත්ථසංහිත යැ, මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවගේ ආදීභූත පූර්වභාගප්‍රතිපතැ.

ඒ දෙව්දු මේ කියා එහි මැ අතුරුදහන් වූ. එසඳ සමිද්ධි තෙරණුවෝ එරැය ඇවෑමෙන් බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ. වහන්ස, මම රෑ අලුයම නැඟී තපොදදහතල කරා ගාත්‍රපරිෂෙකයට එළැඹියෙමි. තපොදයෙහි ගාත්‍රපරිෂෙක කොට නැඟී ගාත්‍රයන් වියළවමින් එකචීවර වැ සිටියෙමි. වහන්ස, එසඳ එක්තරා දෙව්දුවක් රැය ඉකුත් කල මනා සිවිපැහැ ඇති වැ මුළු තපොදය බබුළුවා මා කරා එළැඹියා, එළැඹ එකත්පස් වැ සිටගතු, එකත්පස් වැ සිටි ඒ දෙව්දූ මට තෙල කියු:

‘මහණ, තෙපි භද්දෙකරත්ත මහණහුගේ උද්දෙස හා විභාග හා ධරව?

වහන්ස, මෙසේ කීකල මම ඒ දෙව්දුවට තෙල කීමි: ඇවත, මම භද්දෙකරත්ත මහණහුගේ උද්දෙස හා විභාග හා නො ධරමි’ යි.

ඇවත, තෙපි භද්දෙකරත්ත මහණහුගේ උද්දෙස හා විභාග හා ධරහු?

මහණ, මම ද භද්දෙකරත්ත මහණහුගේ උද්දෙස හා විභාග හා නො ධරමි.

මහණ, තෙපි භද්දෙකරත්තගාථාවන් ධරව?

ඇවත, මම භද්දෙකරත්තගාථාවන් නො ධරමි.

ඇවත, තෙපි භද්දෙකරත්තගාථාවන් ධරහු?

මහණ, මම ද භද්දෙකරත්තගාථාවන් නො ධරමි.

මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දෙස හා විභාග හා උගනුව, මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දෙස හා විභාග හා පුහුණු කරව, මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දෙස හා විභාග හා ධරව. මහණ, තෙපි භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දෙස හා විභාග හා අර්ත්ථසංහිත යැ, මාර්ගබ්‍රහ්මර්‍ය්‍යයට පූර්වභාග ප්‍රතිපතැ යි.

වහන්ස, ඒ දෙව්දු මේ කියු යැ, මේ කියා එහි මැ අතුරුදහන් වූ, මැනැව වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේ භද්‍රෛකරාත්‍ර මහණහුගේ උද්දෙස හා විභාග හා දෙසනා කරන සේක්ව’යි.

එසේ නම් මහණ, අස, මොනොවට මෙනෙහි කර’ යි වදාළහ.

එසේ යැ වහන්සැ’යි ආයුෂ්මත් සමිද්ධි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වී. බුදුහු තෙල වදාළහ:

අතීත වූ (චක්ෂුරාදි ද්වාදශ) ආයතනධර්මය අනුගමනය නො කරන්නේ යැ, අනාගත වූ ආයතනධර්මය (තෘෂ්ණාදෘෂ්ටින්) නො පතන්නේ ය. යමක් අතීත ද එය ප්‍රහීණ යැ, යමක් අනාගත ද එය නො පැමිණියේ යි.

යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ ආයතනධර්මය අනිත්‍යාදි විසින් ඒ ඒ තැන්හි විදර්ශනා කෙරේ ද, ඒ විද්වත් තෙමේ අසංහීර වූ අසංකොප්‍ය වූ ඒ විදර්ශනාව වඩන්නේ යැ.

අද ම ආතාපන වීර්‍ය්‍යය කර්තව්‍ය යැ, සෙට මරණය ඇත යනු කවරෙක් දතහෙන්නේ ද, (ගිනි විෂ ආදි) මහත් සෙන්බල ඇත මරහු සමග (මිත්‍රසන්ථවාදි) සංගරයෙක් නැත් නු!

මෙබඳු විහරණ ඇති ආතාපන වීර්‍ය්‍ය ඇති අනලස්වූ පුඟුලා ‘භද්දෙකරත්ත’ යැයි බුද්ධ මුනි ප්‍රකාශ කෙරේ යයි.

බුදුහු මෙය වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා හුනස්නෙන් නැඟීසිට විහාරයට පිවිසිසේක.

ඉක්බිති බුදුන් වඩනා හා මැ භික්ෂූන්ට තෙල සිත් වී: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දෙසය වදාරා විස්තරයෙන් අර්ථවිභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසි සේක.

අතීත වූ (චක්ෂුරාදි ද්වාදශ) ආයතනධර්මය අනුගමනය නො කරන්නේ යැ, අනාගත ආයතනධර්මය තෘෂ්ණාදෘෂ්ටියෙන් නො පතන්නේ ය ... ඒ පුඟුල්හු එකාන්තයෙන් භද්දේකරත්ත යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ යයි.

කවරෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්ථය විභාග නො කළ උද්දෙශයාගේ අර්ථය විස්තරයෙන් විභාග කරන්නේ දැ’යි.

ඉක්බිති ඒ භික්ෂූන්ට තෙල සිත් විය. “මේ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රහ්මසරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ බුදුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්ථ විභාග නො කළ මේ උද්දෙසයාගේ අර්ථය විස්තරයෙන් විභාග කරන්නට පොහොනාහු ද වෙති. ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ කරා එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් අතින් තෙල කරුණ පුළුවුස්නමෝ නම් මැනැවැ” යි.

ඉක්බිති ඒ භික්ෂූහු ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ කරා එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහිකළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ භික්ෂූහු ආයුෂ්මත් මහකසයින් තෙරණුවනට තෙල සැලකළහු: ‘ඇවත කාත්‍යායනයෙනි, බුදුහු මේ උද්දෙස සැකෙවින් වදාරා විස්තර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී විහාරයට වන්හ’:

‘අතීත ආයතනධර්මය අනුගමනය නො කරන්නේ ය ... ඒ මහණහු ඒකාන්තයෙන් භද්දෙකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ’ යයි.

ඇවැත කාත්‍යායනයෙනි, බුදුන් නික්ම වඩනා හා මැ අපට තෙල සිත් විය: ‘ඇවැත්නි, අපට භාග්‍යවතුන් වහන්සේ මේ උද්දෙසය සැකෙවින් උදෙසා විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසියහ:

‘අතීත ආයතනධර්මය අනුගමනය නො කරන්නේ ය ... ඒ මහණහු ඒකාන්තයෙන් භද්දෙකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ’ යයි.

කවරෙක් භාග්‍යවතුන් විසින් සැකෙවින් උදෙසනලද විතර විසින් අරුත් නො බෙදනලද මේ උද්දෙසයාගේ විතර විසින් අරුත් විභාග කරන්නේ දැ? යි. ඇවැත කච්චානයෙනි, ඒ අපට තෙල සිත් විය: ‘මේ ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ බුදුන් විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනුදු සම්භාවිතයහ. ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ බුදුන් විසින් සැකෙවින් උදෙසනලද විතර විසින් අරුත් නො බෙදනලද මෙ උද්දෙසයාගේ විතර විසින් අරුත් බෙදා දක්වන්නට පොහොසත් ද වෙති. ඇපි ඇවැත් මහාකච්චාන් තෙරුන් කරා එළඹෙන්නමෝ නම් එළැඹ ආයුෂ්මත් මහාකච්චානයන් අතින් තෙල කරුණ පුළුවුස්නමෝ නම් මැනැවැ’යි කියා යි. ඇවැත් මහකසයින් තෙරණුවෝ විභාග කෙරෙත්ව’ යි.

ඇවැත්නි, යම් පරිදි සාරයෙන් අර්ථ ඇති හර සෙවීමෙහි හැසිරෙන පුරුෂයෙක් තර වැ පිහිටි හරවත් වූ මහත් රුකක්හුගේ මුල ඉක්මවාපියා කඳ ඉක්මවාපියා කොළඅතුයෙහි හර සෙවියයුතු කොට සිතන්නේ නම් මේ එබඳු යැ. අයුෂ්මත්නට ශාස්තෘන් වහන්සේ හමුව සිටි කල්හි ඒ භාග්‍යවතුන් ඉක්මවාපියා තෙල කරුණ අප පිළිවිස්සයුතු කොට සිතවු. ඇවැත්නි, යම් හෙයෙකින් ඒ බුදුහු දතයුතු ඥෙයධර්මය වූවහ, ශ්‍රේෂ්ඨ වූවහ, වක්තෘහය, ප්‍රවක්තෘහය, අර්ථය නඟා දක්වනුවහ, නිවන් අමා දෙනුවහ, ධර්ම ස්වාමීහ, තථාගතයහ. යම් හෙයෙකින් තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේ මැ පුළුවුස්නවු නම් තෙල කරුණට ඒ කල් විය. තොපට යම්සේ බුදුහු ප්‍රකාශ කරනසේක් නම් එය එපරිද්දෙන් දරව’යි.

ඇවැත කච්චායෙනි, ඒකාන්තයෙන් බුදුහු දතයුත්ත දන්නාහ, දැක්කයුත්ත දක්නාහ, ඇසක් මෙන් වූහ, ඥානමය වූහ, බ්‍රහ්ම වැනියහ, වක්තෘයහ, ප්‍රවක්තෘහය, අර්ථ එළවා දක්වනුහ, අමෘතය එළවනුවහ, ධර්මේශ්වරයහ, තථාගතයහ. යම් හෙහෙකින් තෙල කරුණ භාග්‍යවතුන් වහන්සේ අතින් මැ පුළුවුස්නමෝ නම්, ඊට ඒ කල් මැ විය. යම්සේ අපට බුදුහු ප්‍රකාශ කරනසේක් ද එපරිදි ඒ ධරම්හ. වැළි එකෙක් ඇත. ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතය, විඥ වූ සබ්‍රම්සරුන් උදෙසනලද විතර විසින් අරුත් නො බෙදන ලද මේ උද්දෙසයාගේ අර්ථය විස්තර විසින් විභාග කරන්නට පොහොනාහු ද වෙති, ආයුෂ්මත් මහාකාත්‍යායනයෝ නො බර කොට විභාග කෙරෙත්ව’යි.

ඇවැත්නි, එසේ නම් අසව, මොනොවට මෙනෙහි කරව, ප්‍රකාශ කරන්නෙමි’යි.

‘එසේ යැ ඇවැත්නි’යි ඒ භික්ෂූහු ඇවැත් මහකසයින් තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහාකච්චාන තෙරණුවෝ තෙල වදාළහ.

ඇවැත්නි, බුදුහු යම් උද්දෙසයක් කෙවින් උදෙසා විස්තර විසින් අර්ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට පිවිසිසේක් ද,

අතීත වූ ආයතනධර්මය අනුගමනය නො කරන්නේ ය ... ඒ මහණහු ‘භද්දෙකරත්ත’ නමැ යි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ යයි.

ඇවැත්නි, මම බුදුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තර විසින් අර්ථය විභාග නො කළ මේ උද්දෙසයාගේ අර්ථය මෙසේ විස්තර විසින් දැනගනිමි.

ඇවැත්නි, කිසෙයින් අතීත වූ ද්වාදශායතනධර්මය අනුගමනය කෙරෙයි යත්: අතීත කාලයෙහි මාගේ ඇස විය, මෙසේ රූපයෝ වූහයි ඒ අතීත චක්ෂුරූපයන්හි විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ වෙයි. විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ හෙයින් එය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ අතීත ආයතනධර්මය අනුගමනය කෙරෙයි. අතීතයෙහි මෙසේ මාගේ ශ්‍රොත්‍රය විය, මෙසේ ශබ්දය වී යයි එහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ විඥානය වෙයි ... අතීතයෙහි මෙසේ මාගේ ඝ්‍රාණය විය මෙසේ ගන්ධයෝ වූහ යි ... මෙසේ අතීතයෙහි මාගේ ජිහ්වායතනය විය, මෙසේ රසයෝ වූහ’ යි ... අතීතයෙහි මෙසේ මාගේ කායායතනය විය, මෙසේ මාගේ ස්ප්‍රෂ්ටව්‍යායතනය වී’ යයි ... අතීතයෙහි මෙසේ මාගේ මනායතනය විය, මෙසේ ධර්මයෝ වූහ’ යි එහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ වූ විඥානය වෙයි. විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ හෙයින් එය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ අතීත ආයතනධර්මය අනුගමනය කෙරෙයි. ඇවැත්නි, මෙසේ අතීත ආයතන ධර්මය අනුගමනය කෙරෙයි.

ඇවැත්නි, කිසෙයින් අතීතය අනුගමනය නො කෙරෙයි යත්: අතීතයෙහි මෙසේ මාගේ චක්ෂුරායතනය විය මෙසේ රූපයෝ වූහ’යි ඒ අතීත චක්ෂුරූපයන්හි විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වෙයි, විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වූ හෙයින් එය අභිනන්‍දනා නො කෙරෙයි. එය අභිනන්‍දනා නො කරනුයේ අතීත ආයතනධර්මය අනුගමනය නො කෙරෙයි. අතීත කාලයෙහි මෙසේ මාගේ ශ්‍රොතායතනය විය, මෙසේ මාගේ ශබ්දයෝ වූහ’ යි ... අතීතයෙහි මෙසේ මාගේ ඝ්‍රාණායතනය විය, මෙසේ ගන්ධයෝ වූහ’යි ... අතීතයෙහි මෙසේ මාගේ ජිහ්වායතනය විය, මෙසේ රසයෝ වූහ’යි ... අතීතයෙහි මෙසේ මාගේ කායායතනය විය, මෙසේ ස්ප්‍රෂ්ටව්‍යයෝ වූහ’යි අතීතයෙහි මෙසේ මාගේ මනායතනය විය. මෙසේ ධර්මයෝ වූහ’ යි එහි විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වෙයි. විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වූ හෙයින් එය අභිනන්‍දනා නො කෙරෙයි. එය අභිනන්‍දනා නො කරනුයේ අතීතය අනුගමනය නො කෙරෙයි, ඇවැත්නි, මෙසේ අතීත ආයතනධර්මය අනුගමනය නො කෙරෙයි.

ඇවැත්නි, කිසෙයින් අනාගත ආයතනධර්මය ප්‍රර්ථනා කෙරෙයි යත්: අනාගතයෙහි මෙසේ මාගේ චක්ෂුරායතන වන්නේ යැ, මෙසේ රූපයෝ වන්නාහ’ යි. නො ලත් ආයතනධර්මයාගේ ප්‍රතිලාභය පිණිස සිත පිහිටුවාලයි. චිත්තයාගේ ප්‍රණිධානප්‍රත්‍යයෙන් එය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ අනාගත ආයතනධර්මය ප්‍රර්ථනා කෙරෙයි. අනාගත කාලයෙහි මෙසේ මාගේ ශ්‍රොතායතනය වන්නේ යැ, මෙසේ ශබ්දයෝ වන්නාහ’ යි ... අනාගත කාලයෙහි මෙසේ මාගේ ඝ්‍රාණායතනය වන්නේ යැ, මෙසේ ගන්ධයෝ වන්නාහ’ යි ... අනාගත කාලයෙහි මෙසේ මාගේ ජිහ්වායතනය වන්නේ ය, මෙසේ රසයෝ වන්නාහ’ යි ... අනාගත කාලයෙහි මෙසේ මාගේ කායායතනය වන්නේ යැ, මෙසේ ස්ප්‍රෂ්ටව්‍යායතනය වන්නේය’ යි ... අනාගත කාලයෙහි මෙසේ මාගේ මනායතනය වන්නේ යැ, මෙසේ ධර්මයෝ වන්නාහ’ යි. අප්‍රතිලබ්ධ වූ ධර්මායතනයාගේ ප්‍රතිලාභය පිණිස සිත පිහිටුවයි. ප්‍රණිධානප්‍රත්‍යයෙන් එය අභිනන්‍දනා කෙරෙයි. එය ප්‍රර්ථනා කරනුයේ අනාගත ආයතනය ප්‍රර්ථනා කෙරෙයි. ඇවැත්නි, මෙසේ අනාගතය ප්‍රර්ථනා කෙරෙයි.

ඇවැත්නි, කිසෙයින් අනාගත ආයතනධර්මය ප්‍රර්ථනා නො කෙරෙයි යත්: අනාගතයෙහි මෙසේ මාගේ චක්ෂුරායතන වන්නේ යැ, මෙසේ රූපයෝ වන්නාහ’ යි. නො ලත් ආයතනධර්මයාගේ ප්‍රතිලාභය පිණිස සිත නො පිහිටුවයි. සිත නො පිහිටුවීම් පසයෙන් එය අභිනන්‍දනා නො කෙරෙයි, එය අභිනන්‍දනා නො කරනුයේ අනාගත ආයතනධර්ම ප්‍රාර්ථනා නො කෙරෙයි. අනාගතයෙහි මෙසේ මාගේ ශ්‍රොතායතනය වන්නේ යැ, මෙසේ ශබ්දයෝ වන්නාහ’ යි ... අනාගතයෙහි මෙසේ මාගේ ඝ්‍රාණායතනය වන්නේ යැ, මෙසේ ගන්ධයෝ වන්නාහ’ යි ... අනාගතයෙහි මෙසේ මාගේ ජිහ්වායතනය වන්නේ ය. මෙසේ රසයෝ වන්නාහ’ යි ... අනාගතයෙහි මෙසේ මාගේ කායායතනය වන්නේ යැ, මෙසේ ස්පර්ශ වන්නාහ’ යි ... අනාගතයෙහි මෙසේ මාගේ මනායතනය වන්නේ යැ, මෙසේ ධර්මයෝ වන්නාහ ’ යි නො ලත් ධර්‍මායතනයාගේ ප්‍රතිලාභය පිණිස සිත නො පිහිටුවයි. සිත නො පිහිටුවීම පසයෙන් එය අභිනන්‍දනා නො කෙරෙයි. එය අභිනන්‍දනා නො කරනුයේ අනාගත ආයතනය ප්‍රර්ථනා නො කෙරෙයි. ඇවැත්නි, මෙසෙයින් අනාගත ආයතනය ප්‍රර්ථනා නො කෙරේ.

ඇවැත්නි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්මයෙහි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) අදනා ලැබෙයි යත්: ඇවැත්නි, යම් චක්ෂුරින්ද්‍රියයෙකුත් යම් රූපාලම්බන කෙනෙකුත් ඇද්ද, තෙල චක්ෂුරූප දෙක ප්‍රත්‍යුත්පන්න වෙයි. ඉදින් ඒ ප්‍රත්‍යුත්පන්නයෙහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ විඥානය වේද, විඥානය තමා ඡන්‍දරාග ප්‍රතිබද්ධ බැවින් ඒ ප්‍රත්‍යුත්පන්නය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ ප්‍රත්‍යුත්පන්නධර්මයෙහි අදනාලැබෙයි. ඇවැත්නි, යම් ශ්‍රොත්‍රෙන්ද්‍රියයෙකුත් යම් ශබ්දාලම්බන කෙනෙකුත් ඇද්ද ... ඇවැත්නි, යම් ඝ්‍රාණෙන්ද්‍රියයෙකුත් යම් ගන්ධාලම්බන කෙනෙකුත් ඇද්ද ... ඇවැත්නි, යම් ජිහ්වෙන්ද්‍රියයෙකුත් යම් රසාලම්බන කෙනෙකුත් ඇද්ද ... ඇවැත්නි, යම් කායෙන්ද්‍රියයෙකුත් යම් ස්ප්‍රෂ්ටව්‍යාලම්බන කෙනෙකුත් ඇද්ද ... ඇවැත්නි, යම් මනින්ද්‍රියයෙකුත් යම් ධර්මාලම්බන කෙනෙකුත් ඇද්ද මෙදෙක ප්‍රත්‍යුත්පන්න වෙයි. ඉදින් ඒ ප්‍රත්‍යුත්පන්නයෙහි ඡන්‍දරාග ප්‍රතිබද්ධ විඥානය වේ ද, විඥානය තමා ඡන්‍දරාග ප්‍රතිබද්ධ බැවින් ඒ ප්‍රත්‍යුත්පන්නය අභිනන්‍දනා කෙරෙයි. එය අභිනන්‍දනා කරනුයේ ප්‍රත්‍යුත්පන්න ධර්මයෙහි අදනා ලැබෙයි. ඇවැත්නි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්නධර්මයෙහි අදනා ලැබේ.

ඇවැත්නි, කිසෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්මයෙහි නො අදනා ලැබේ යැ යත්: ඇවැත්නි, යම් චක්ෂුසෙක් යම් රූප කෙනෙක් ඇද්ද මෙ දෙක ප්‍රත්‍යුත්පන්න වෙයි. ඒ ප්‍රත්‍යුත්පන්නයෙහි මැ විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වේ ද, විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වනුයෙන් එය අභිනන්‍දනා නො කෙරෙයි ඒ අභිනන්‍දනා නො කරනුයේ ප්‍රත්‍යුත්පන්න ධර්මයෙහි නො අදනා ලැබෙයි. ඇවත, යම් ශ්‍රොතයෙකුත් යම් ශබ්ද කෙනෙකුත් ඇද්ද ... ඇවත, යම් ඝ්‍රාණයෙකුත් යම් ගන්ධ කෙනෙකුත් ඇද්ද ... ඇවත, යම් ජිහ්වාවකුත් යම් රස කෙනෙකුත් ඇද්ද ... ඇවත, යම් කයෙකුත් යම් ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙකුත් ඇද්ද ... ඇවත, යම් මනසකුත් යම් ධර්ම කෙනෙකුත් ඇද්ද මෙදෙක ප්‍රත්‍යුත්පන්න යැ. ඉදින් ඒ ප්‍රත්‍යුත්පන්නයෙහි විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වේ ද, විඥානය ඡන්‍දරාග ප්‍රතිබද්ධ නො වනුයේ ඒ අභිනන්‍දනා නො කෙරෙයි. ඒ අභිනන්‍දනා නො කරනුයේ ප්‍රත්‍යුත්පන්න ධර්මයෙහි නො අදනා ලැබේ. ඇවැත්නි, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ධර්මයෙහි නො අදනා ලැබේ.

ඇවැත්නි, අපගේ බුදුහු යම් උද්දෙසයක් සැකෙවින් උදෙසා විතර විසින් අරුත් නො බෙදා හුනස්නෙන් නැඟී විහාරයට පිවිසියෝ ද,

අතීත ආයතනධර්මය අනුගමනය නො කරන්නේ යැ ... ඒ මහණහු ඒකාන්තයෙන් ‘භද්‍රෛකරාත්‍ර’ යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ යයි.

ඇවැත්නි, මම බුදුන් විසින් සැකෙවින් උදෙසනලද විස්තරයෙන් අර්ථය විභාග නො කළ මේ උද්දෙසයාගේ විස්තරාර්ථය මෙසේ දැනගනිමි. අයුෂ්මත්නි, තෙපි ඉදින් කැමැත්තාහු නම් බුදුන් කරා මැ එළඹ තෙල කරුණ පුළුවුස්වූ යැ. යම්සේ බුදුහු ප්‍රකාශ කෙරෙත් ද එපරිද්දෙන් එය ධරව යි.

ඉක්බිති ඒ වහන්දෑ ආයුෂ්මත් මහකසයින් තෙරණුවන්ගේ භාෂිත අභිනන්‍දනා කොට අනුමොදනා කොට හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියාහු යැ. එළඹ භාග්‍යවතුන් වහන්සේ අභිවාදනය කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ඒ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට යම් උද්දෙසයක් සැකෙවින් උදෙසා විස්තර විසින් අර්ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක් ද,

‘අතීත ආයතනධර්මය අනුගමනය නො කරන්නේ යැ ... ඒකාන්තයෙන් ඒ මහණහු ‘භද්‍රෛකරාත්‍ර’ යැයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ’ යයි.”

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නික්ම යත් මැ අපට තෙල සිත් විය: ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට සැකෙවින් මේ උද්දෙසය උදෙසා විස්තරාර්ථය විභාග නො කොට හුනස්නෙන් නැඟී විහාරයට වැඩිසේක.

‘අතීත ආයතනධර්මය අනුගමනය නො කරන්නේ යැ, නො පත් ආයතනධර්මය තෘෂ්ණාදෘෂ්ටීන් ප්‍රර්ථනා නො කරන්නේ යැ ... ඒකාන්තයෙන් ඒ මහණ ‘භද්‍රෛකරාත්‍ර’ යයි ශාන්ත වූ බුද්ධමුනි ප්‍රකාශ කෙරේ’ යයි.

භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසන ලද විස්තර විසින් විභාග නො කළ මේ උද්දෙසයාගේ අර්ථය කවරෙක් විස්තරයෙන් විභාග කරන්නේ දැ’යි. වහන්ස, අපට තෙල සිත් විය: මේ ආයුෂ්මත් මහාකාත්‍යායන තෙරණුවෝ ශාස්තෘන් වහන්සේ විසිනුදු සංවර්ණිතයහ. විඥ වූ සබ්‍රම්සරුන් විසිනිදු සම්භාවිතයහ. ආයුෂ්මත් කච්චායන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් උදෙසනලද විස්තරාර්ථය විභාග නො කළ මේ උද්දෙසයාගේ අර්ථය විස්තර විසින් විභාග කරන්නට පොහොසත් වන්නාහ. ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායනයන් කරා එළඹෙන්නමෝ නම් එළඹ ආයුෂ්මත් මහාකාත්‍යායනයන් අතින් තෙල කරුණු පුළුවුස්නමෝ නම් මැනැවැයි. වහන්ස, එකල්හි ඇපි ආයුෂ්මත් මහාකාත්‍යායනයන් කරා එළැඹියම්හ. එළඹ ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් අතින් පුළුවුසුම්හ. වහන්ස, ආයුෂ්මත් මහාකාත්‍යායනයන් විසින් අපට මේ අයුරින් මේ පදයෙන් මේ ව්‍යඤ්ජනයෙන් අර්ථය විභාග කරන ලදැ’යි.

මහණෙනි, මහාකාත්‍යායනයෝ පණ්ඩිතයහ, මහණෙනි, මහාකාත්‍යායනයෝ මහාප්‍රඥයහ. මහණෙනි, ඉදින් තෙපි මයිදු අතින් තෙල කරුණ පුළුවුස්නවු නම් මම් ද එය ‘යම්සේ එය මහාකාත්‍යායනයන් විසින් ප්‍රකාශ කරන ලද ද, එපරිදි මැ ප්‍රකාශ කරන්නෙමි. තවද ඒ උද්දෙසයාගේ තෙලෙ මැ අර්ථ වෙයි. එපරිද්දෙන් එය ධරව’යි.

භාග්‍යවතුන් වහන්සේ මේ සුත්‍රය වදාළ සේක, සතුටු සිත් ඇති ඒ වහන්දෑ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්හ යි.

තුන්වැනිමහාකච්චානභදේදකරත්තසූත්‍රය නිමියේ ය.