ලොමසකඞ්ගිය භද්දේකරත්ත සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

සතරවැනි විභඞ්ග (විභංග) වර්ගය

3.4.4

ලොමසකඞ්ගිය භද්දේකරත්ත සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේවඩු මහසිටුගේ දෙව්රම් වෙහෙර වැඩ වාස කරන සේක. එකල ආයුෂ්මත් ලොමසකඞ්ගිය තෙරණුවෝ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රොධාරාමයෙහි විහරණ කෙරෙති. එසඳ චන්දන දෙවපුත්‍ර මධ්‍යම රාත්‍රියෙහි විශිෂ්ට ඡවිවර්ණ ඇති වැ සියලු නිග්‍රොධාරාමය බබුළුවා ලොමසකඞ්ගිය තෙරණුවන් කරා එළැඹියේ යි. එළඹ එකත්පස් වැ සිටියේ. එකත්පස් වැ සිටි චන්දන දෙව්පුත් ආයුෂ්මත් ලොමසකඞ්ගිය තෙරණුවනට තෙල කී.

මහණ, තෙපි භද්දේකරත්තයා පිලිබඳ උද්දෙස හා විභාග හා ධරව? යි.

ඇවත, මම භද්දේකරත්තයා පිලිබඳ උද්දෙස හා විභාග හා නො ධරමි.

ඇවැත්නි, තෙපි වනාහි භද්දේකරත්තයා පිලිබඳ උද්දෙස හා විභාග හා ධරවු යැ?

මහණ, මමත් භද්දේකරත්තයා පිලිබඳ උද්දෙස හා විභාග හා නො ධරමි.

මහණ, තෙපි භද්දෙකරත්ති ගාථා ධරව?

ඇවැත්නි, මම භද්දෙකරත්ති ගාථා නො ධරමි.

ඇවත, තෙපි භද්දෙකරත්ති ගාථා ධරවූ යැ?

මහණ, මම භද්දෙකරත්ති ගාථා ධරමි.

ඇවැත්නි, තෙපි කෙසෙයින් භද්දෙකරත්ති ගාථා ධරන්නාව?

මහණ, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ තව්තිසාවැසි දෙවියන් කෙරෙහි වූ පරසතු මුල පඬුඇඹුල්සලස්නෙහි වැඩවාස කරනසේක. එකල භාග්‍යවතුන්වහන්සේ තව්තිසා වැසි දෙවියනට භදේදකරත්තයා පිලිබඳ උද්දෙස හා විභාග හා දෙසූසේක.

අතීතය අනුගමනය නො කරන්නේ යැ, අනාගතය තෘෂ්ණාදෘෂ්ටින් නො ඉස්නේ යැ, යමෙක් ඉක්මිණි ද ඒ පුහුන් වෙයි. යමෙක් නො පැමිණි ද ඒ නො එළඹියේ වෙයි.

යමෙක් ප්‍රත්‍යුත්පන්න වූ ධර්මය ඒ ඒ තැන අනිත්‍යාදි විසින් විදර්ශනා කෙරේ ද, ඒ විද්වත් තෙමේ අසංහීර වූ අසංකොප්‍ය වූ ඒ විදර්ශනාව වඩන්නේ යැ.

අද මැ ආතාපනවීර්‍ය්‍යය කර්තව්‍ය වෙයි. ‘සෙට යැ මරණ ය’යි කවරෙක් දන්නේ යැ, මහසෙන් ඇති මරහු හා මිත්‍රසංස්තවාදිසංගරයෙක් (ගිවිසුමෙක්) නැත්හු!

මෙවන් විහරණ ඇති කෙලෙස් තවන වැර ඇති දවරෑ තන්ද්‍රා නැති ඒ යොගාවචරයා ශාන්ත වූ ‘භද්‍රෛකරාත්‍ර’ යයි ශාන්ත වූ බුද්ධමුනි වදාරයි.

මහණ, මෙසෙයින් මම භද්දෙකරත්ති ගාථා ධරමි. මහණ තෙපි භද්දෙකරත්තයා පිළිබඳ උද්දෙස හා විභාග හා උගනුව. මහණ තෙපි භද්දෙකරත්තයා පිළිබඳ උද්දෙස හා විභාග හා බසින් පුහුණු කරව. මහණ, භද්දෙකරත්තයා පිළිබඳ උද්දෙස හා විභාග හා වාචනායෙන් ධරව. මහණ, භද්දෙකරත්තයා පිළිබඳ උද්දෙස හා විභාග හා අර්ථසංහිත යැ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යයට මුඛ ද වෙයි. චන්දන දෙව්පුත් මෙය කී. මෙය කියා අතුරුදහන් කෙළේ.

ඉක්බිති ආයුෂ්මත් ලොමසකඞ්ගිය තෙරණුවෝ එරැය ඇවෑමෙන් සෙනසුන් සඟවා තබා පාසිවුරු ගෙන සැවැත්නුවර කරා චාරිකා කළෝ. චාරිකා කරන්නේ සැවැත්නුවර අනේවඩු සිටුහුගේ දෙව්රම්වෙහෙර බුදුන් කරා ගියෝ, ගොස් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ලොමසකඞ්ගිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළෝ:

වහන්ස, එක් කලෙක සැහැදනවියෙහි කිඹුල්වත නිග්‍රොධාරාමයෙහි මම වාස කෙරෙමි. වහන්ස, එකල අන්‍යතර දෙවපුත්‍රයෙක් මධ්‍යම රාත්‍රියෙහි විශිෂ්ට ඡවිවර්ණ ඇති වැ නිග්‍රොධාරාමය හාත්පස බබුළුවා මා කරා එළැඹියේ. එළඹ එකත්පස් වැ සිටියේ. වහන්ස, එකත්පස් වැ සිටි ඒ දෙව්පුත් මට තෙල කී: ‘මහණ, තෙපි භද්දෙකරත්තයා පිලිබඳ උද්දෙස හා විභාග හා ධරව යි? වහන්ස, මෙසේ කී කල මම ඒ දෙව්පුත්හට තෙල කීමි: ‘ඇවත මම භද්දෙකරත්තයා පිලිබඳ උද්දෙස හා විභාග හා නො ධරමි’ යි. ‘ඇවත, තෙපි භද්දෙකරත්තයා පිලිබඳ උද්දෙස හා විභාග හා ධරන්නා’ යි පිලිවිත්මි. ‘මහණ මමත් භද්දෙකරත්තයා පිලිබඳ උද්දෙස හා විභාග හා නො ධරමි’ යි කී. ‘මහණ තෙපි භද්දෙකරත්ත ගාථා ධරන්නාව?’ කී, (පිළිවිත්). ‘ඇවැත්නි, මම භද්දෙකරත්ති ගාථා නො ධරමි’ යි (කියා), ‘ඇවත, තෙපි භද්දෙකරත්ති ගාථා ධරන්නාව?’ යි (පිළිවිත්මි). ‘මහණ මම භද්දෙකරත්ති ගාථා ධරමි’ යි කී. ඇවැත්නි, තෙපි කිසෙයින් භද්දෙකරත්ති ගාථා ධරව! යි ඇසීමි.

මහණ එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙවියන් කෙරෙහි වූ පරසතුමුල පඬුඇඹුල් සලස්නෙහි විහාර කරනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙවියනට භද්දෙකරත්තයා පිළිබඳ උද්දෙස හා විභාග හා දෙසූ සේක.

අතීතය අනුගමනය නො කරන්නේ යැ ... ඒ යොගාවචරයා ‘භද්දෙකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි තෙමේ වදාරයි.

මහණ, මෙසෙයින් මම භද්දෙකරත්ති ගාථා ධරමි. මහණ තෙපි භද්දෙකරත්තයා පිළිබඳ උද්දෙස හා විභාග හා අසා උගනුව. මහණ, තෙපි භද්දෙකරත්තයා පිළිබඳ උද්දෙස හා විභාග හා බසින් පුහුණු කරව. මහණ තෙපි භද්දෙකරත්තයා පිළිබඳ උද්දෙස හා විභාග හා අර්ථ වාචනා වශයෙන් ධරව. මහණ භද්දෙකරත්තයා පිළිබඳ උද්දෙස හා විභාග හා අර්ථ සංහිත යැ, ආදිබ්‍රහ්මචර්‍ය්‍යක ද වෙයි. වහන්ස, ඒ දෙව්පුත් මෙය කී, මෙය කියා එහි මැ අතුරුදහන් විහි. වහන්ස, යදිමි. භාග්‍යවතුන් වහන්සේ මට භද්දෙකරත්තයා පිළිබඳ උද්දෙස හා විභාග හා දෙසන සේක්වා.

මහණ, තෝ එ දෙව්පුත් දන්නෙහි?

වහන්ස, මම එ දෙව්පුත් නො දන්මි.

මහණ, එදෙව්පුත් චන්දන නමි. මහණ, චන්දන දෙව්පුත් අර්ථ කොට මෙනෙහි කොට මුළු හිතින් එළවා බැහූ කන් ඇති වැ දහම් අසයි. මහණ, එයින් අස, මනා කොට මෙනෙහිකර කියමි’ යි. වහන්ස, එසේ යයි ලොමසකඞ්ගිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහු. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.

අතීතය අනුගමනය නො කරන්නේ යැ, අනාගතය තෘෂ්ණාදෘෂ්ටින් නො ඉස්නේ යැ ... ඒ යොගාවචරයා එකැතින් ‘භද්දෙකරත්ත’ යයි ශාන්ත වූ බුද්ධමුනි තෙමේ වදාරයි.

මහණෙනි, කිසෙයින් අතීතය අනුව යේ ද යත්: අතීතයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි’ යි, එහි තෘෂ්ණා එළවයි. මෙබඳු වෙදනා ඇතියෙම් වීමි ... මෙබඳු සංඥා ඇතියෙම් වීමි ... මෙබඳු සංස්කාර ඇතියෙම් වීමි ... අතීතකාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි යි, එහි තෘෂ්ණා එළවයි. මහණ මෙසෙයින් අතීත ස්කන්ධධර්මය අනුගමනය කෙරෙයි.

මහණ, කෙසේ අතීත ස්කන්ධධර්ම අනුගමනය නො කෙරේ ය යත්: අතීත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වීමි’ යි එහි තෘෂ්ණා නො එළවයි. මෙබඳු වෙදනා ඇතියෙම් වීමි’ යි ... මෙබඳු සංඥා ඇතියෙම් වීමි’යි ... මෙබඳු සංස්කාර ඇතියෙම් වී මි’යි ... අතීතකාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වීමි’ යි, එහි තෘෂ්ණා නො එළවයි. මහණ මෙසෙයින් අතීත ස්කන්ධධර්ම අනුගමනය නො කරන්නේ නම් වෙයි.

මහණෙනි, කෙසේ අනාගත ස්කන්ධධර්ම පතන්නේ යැ යත්: අනාගතයෙහි මෙබඳු රූප ඇතියෙම් වෙම්ව’ යි එහි තෘෂ්ණා එළවයි. මෙබඳු වෙදනා ඇතියෙම් වෙම්වා ... මෙබඳු සංඥා ඇතියෙම් වෙම්වා ... මෙබඳු සංස්කාර ඇතියෙම් වෙම්වා ... අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වෙම්ව’ යි එහි තෘෂ්ණා එළවයි. මහණ, මෙසෙයින් අනාගත ස්කන්ධධර්ම පතන්නේ වෙයි.

මහණ, කෙසේ අනාගත ස්කන්ධධර්ම නො පතන්නේ යැ යත්: අනාගත කාලයෙහි මෙබඳු රූප ඇතියෙම් වෙම්ව’ යි එහි තෘෂ්ණා නො එළවයි. මෙබඳු වෙදනා ඇතියෙම් වෙම්වා ... මෙබඳු සංස්කාර ඇතියෙම් වෙම්වා ... අනාගත කාලයෙහි මෙබඳු විඥාන ඇතියෙම් වෙම්ව’ යි එහි තෘෂ්ණා නො එළවයි. මහණ, මෙසේ අනාගත ස්කන්ධධර්ම නො ඉස්නේ නම් වෙයි.

මහණ, කෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මයෙහි අදනා ලැබේ යැ යත්: මහණ, මෙලොව බුද්ධාදි ආර්‍ය්‍යයන් නො දක්නාසුලු ආර්‍ය්‍යධර්මයට අදක්ෂ වූ ආර්‍ය්‍යධර්මයෙහි අවිනීත වූ බුද්ධාදි සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂධර්මයට අකොවිද වූ සත්පුරුෂ ධර්මයෙහි අවිනීත වූ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්ම වශයෙන් තෘෂ්ණාදීන් දකී. ආත්මය රූපවත් කොට ද ආත්මයෙහි රූපය ද රූපයෙහි ආත්මය ද දකී. වෙදනා ... සංඥා ... සංස්කාර ... විඥානය ආත්ම වශයෙන් දකී. විඥානවත් ආත්මය ද ආත්මයෙහි විඥානය ද විඥානයෙහි ආත්මය ද දකී. මහණ, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මයෙහි අදනා ලැබෙයි.

මහණ, කෙසේ ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මයෙහි නො අදනාලැබේ යැ යත්: මහණ, මෙලොව ආර්‍ය්‍යයන් දක්නාසුලු ආර්‍ය්‍යධර්මයට කොවිද වූ ආර්‍ය්‍යධර්මයෙහි සුවිනීත වූ සත්පුරුෂයන් දක්නාසුලු සත්පුරුෂධර්මයට දක්ෂ වූ සත්පුරුෂධර්මයෙහි සුවිනීත වූ ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙමෙ රූපය ආත්ම විසින් නො දක්නේ යැ. රූපවත් ආත්මය, ආත්මයෙහි රූපය, රූපයෙහි ආත්මය නො දක්නේ යැ. වෙදනා ... සංඥා ... සංස්කාර ... විඥානය ආත්ම විසින් නො දක්නේ යැ. විඥානවත් ආත්මය ද ආත්මයෙහි විඥානය ද විඥානයෙහි ආත්මය ද නො දක්නේ යැ. මහණ, මෙසෙයින් ප්‍රත්‍යුත්පන්න ස්කන්ධධර්මයෙහි නො අදනා ලබන්නේ නම් වෙයි.

‘අතීත ස්කන්ධධර්මය අනුගමනය නො කරන්නේ යැ ... ඒකාන්තයෙන් ඒ යොගාවචරයා ‘භද්‍රෛකරාත්‍ර’ යයි ශාන්ත බුද්ධමුනි තෙමේ කියයි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති ලොමසකඞ්ගික තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දන කළහ.

සතරවැනිලොමසකඞ්ගියභදේදකරත්තසූත්‍රය නිමියේ ය.