අනුරුද්ධ සූත්‍රය

 

 

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

තෙවැනි සුඤ්ඤත වර්ගය

3.3.7

අනුරුද්ධ සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජෙතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි පඤ්චකඞ්ග නම් වඩුදෙටුවාණෝ එක්තරා පුරුෂයකු ඇමතූහ: “එම්බා පුරුෂය, තෙපි එව, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් කරා එළැඹ මාගේ බසින් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ පාදයන් හිසින් වඳුව, ‘වහන්ස, පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ පාදයන් හිසින් වඳීයයි. මෙසේත් කියව: “වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ පඤ්චකඞ්ග ථපතිහුගේ සෙට දින බත තමා සතරවනු ව ඉවසන සේක්වා, වහන්ස, පඤ්චකඞ්ග ථපති බොහෝ කිස ඇතියෙක, රාජකරණීයයෙන් බොහෝ කරණී ඇතියෙක, වහන්ස, එයින් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ ඉතා අලුයම වඩනා සේක්වා” යි.

‘එසේ යැ වහන්සැ’ යි එපුරිස් පඤ්චකඞ්ග ථපති හට පිළිවදන් දී, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් කරා එළැඹියේය. එළැඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් එපුරිස් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල සැලකෙළේ: ‘වහන්ස, පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ පා හිසින් වඳී, මෙසේත් සැලකෙරෙයි: ‘වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ පඤ්චකඞ්ග ථපතිහුගේ සෙට බත ආත්මචතුර්ථ ව ඉවසන සේක්වා. වහන්ස, පඤ්චකඞ්ග ථපති බොහෝ කිස ඇතියෙක, රාජකරණීයයෙන් බොහෝ කරණී ඇතියෙක. වහන්ස, එයින් ආයුෂ්මත් අනුරුද්ධස්ථවිරයන් වහන්සේ ඉතා අලුයම වඩනේ මැනැව”යි. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ තුෂ්ණීම්භාවයෙන් ඉවසූහු. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රෑ ගෙවීමෙන් පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන පඤ්චකඞ්ග ථපතිහුගේ නිවෙස්න කරා වැඩියෝ, වැඩැ පැන්වූ අස්නෙහි හුන්හු. එසඳ පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් ප්‍රණීත ඛාද්‍යභොජ්‍යයෙන් සියතින් සැතැපී. මොනොවට පැවරී. ඉක්බිති පඤ්චකඞ්ග ථපති වළඳා නිමවූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් වෙත් අන්‍යතර නිවාසනයක් ගෙන එකත්පස් වැ හින, එකත්පස් වැ හුන් පඤ්චකඞ්ග ථපති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල සැලකළේ.

“වහන්ස, ස්ථවිර භික්ෂූහු මා කරා එළැඹ මෙසේ කීහ: ‘ගැහැවියෙනි, අප්‍රමාණ චෙතෝවිමුක්ති වඩව’ යි. කිසි තෙර කෙනෙක් මෙසේ කීහ: ‘ගැහැවිය, මහද්ගත චෙතොවිමුක්ති වඩව’ යි. වහන්ස, අප්‍රමාණ චෙතොවිමුක්තියෙක් ඇද්ද, යම් මහද්ගතචෙතොවිමුක්තියෙක් ඇද්ද, මේ දහම්හු නානාත‍ර්ථත් වෙත් ද, නානාව්‍යඤ්ජනත් වෙත් ද, නොහොත් එකාර්ථ වෙත් ද, ව්‍යඤ්ජනමාත්‍රය මැ වෙනස් වේ දැ”යි.

ගැහැවිය, එකරුණෙන් මෙහි ලා තොපට මැ වැටහේවා, මෙයින් තොපට අවිරාධිත බවෙක් වෙයි.

වහන්ස, මට මෙසේ සිත් වෙයි: යම් අප්‍රමාණචෙතෝවිමුක්තියක් හා යම් මහද්ගතචෙතොවිමුක්තියක් හා ඇද්ද, මේ දහම්හු එකාර්ථයහ ව්‍යඤ්ජනමාත්‍රය මැ වෙන වෙන යැ කියා යි.

ගැහැවිය, යම් අප්‍රමාණචෙතෝවිමුක්තියක් හා යම් මහද්ගතචෙතොවිමුක්තියක් හා ඇද්ද, මේ දහම්හු නානාර්ථ ද වෙති, නානාව්‍යඤ්ජන ද වෙත්. යම් පරිදි මේ දහම්හු නානාර්ථත් නානාව්‍යඤ්ජනත් වෙත් ද, ගැහැවිය, මේ ක්‍රමයෙනුදු තෙල දන්නේ මැනැව.

ගැහැවිය, යම් අප්‍රමාණචෙතෝවිමුක්ති නම් කවර: ගැහැවිය, මේ සස්නෙහි මහණ මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වාස කෙරෙයි. දෙවන දිග එපරිදි ම ය, තෙවන දිග එපරිදි මය, සතරවන දිග එපරිදි මැ යි. මෙ සැටියෙන් උඩ ය, යට යැ, සරස යැ, යි හැම තැන සර්‍වාත්මතායෙන් සියලු සතුන් ඇති ලොකය විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ මෛත්‍රීසහගත සිතින් පැතිරැගෙන වාස කෙරෙයි. කරුණාසහගත සිතින් ... මෘදුතාසහගත සිතින් ... උපෙක්ෂාසහගත සිතින් එක් දිගක් පැතිරැගෙන වාස කෙරෙයි. දෙවන දිග ද එසේ යැ ... වාස කෙරෙයි. ගැහැවිය, මේ අප්‍රමාණචෙතොවිමුක්ති වෙයි.

ගැහැවිය, මහද්ගතචෙතොවිමුක්ති කවර: ගැහැවිය, මෙ සස්නෙහි මහණ එක් රුක් මුලක් පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ එක් ගම්කෙතක් පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ ගම්කෙත් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ එක් මහාරාජ්‍යයක් පමණ තැන් මහද්ගත යයි පතුරුවා නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මේ මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ මහාරාජ්‍ය දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොට වාස කෙරෙයි. ගැහැවිය, මෙ ද මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, මෙ සස්නෙහි මහණ සමුද්‍ර පර්‍ය්‍යන්ත පෘථුවිය පමණ තැන් මහත්ගත යයි අරමුණු කොටනිශ්චය කොටගෙන වාසය කෙරෙයි. ගැහැවිය, මෙ ද මහද්ගතචෙතොවිමුක්ති යයි කියනු ලැබේ. ගැහැවිය, යම් පරිදි මේ දහම්හු නනාර්ථත් වෙත් ද නානාව්‍යඤ්ජනත් වෙත් ද, තෙල මෙ කරුණිනුදු දතයුතු වේ.

ගැහැවිය, මේ භවොත්පත්තීහු සතරදෙනෙකි: කවර සතරදෙනෙක යත්: ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘පරිත්තාභ’ යයි අරමුණු කොට, නිශ්චය කොට වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි පරිත්තාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘අප්පමාණාභ’ යයි අරමුණු කොට, අධිමොක්ෂ කොටගෙන වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි අප්පමාණාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘සංකිලිට්ඨාභ’ යයි අරමුණු කොට, අධිමොක්ෂ වශයෙන් බැසගෙන වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි සංකිලිට්ඨාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මෙ සස්නෙහි කිසි මහණෙක් ‘පරිසුද්ධාභ’ යයි අරමුණු කොට, අධිමොක්ෂ වශයෙන් නිශ්චය කොටගෙන වෙසෙයි. හේ කාබුන් මරණින් මතුයෙහි පරිසුද්ධාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ගැහැවිය, මේ සතර භවොත්පත්තීහු යි.

ගැහැවිය, යම් කලෙක ඒ දෙවියෝ එක්රැස් වෙත් ද, එබඳු කලෙක් වෙයි. එක්රැස් වූ ඒ දෙවියන්ගේ වර්ණනානාත්වය මැ පැනෙයි, අලොකනානාත්වයෙක් නො ද පැනෙයි. යම්සේ ගැහැවිය, පුරුෂයෙක් බොහෝ තෙල්පහන් එක් ගෙයකට ප්‍රවේශ කරන්නේ නම්, ඒ එක් ගෙයකට ප්‍රවේශ කළ ප්‍රදීපයන්ගේ ගිනිසිළු වෙනස මැ පැනෙයි, අලොකනානාත්වයෙක් නො ද පැනෙයි. එසෙයින් මැ ගැහැවිය, ඒ දෙවියෝ යම් කලෙක එක්රැස් වෙත් ද, එබඳු කලෙක් වෙයි. එක්රැස් වූ ඒ දෙවියන්ගේ වර්ණනානාත්වය මැ පැනෙයි, අලොකනානාත්වයෙක් නො ද පැනේ. ගැහැවිය, යම් කලෙක ඒ දෙවියෝ එතැනින් නික්මයෙත් ද, එබඳු කලෙක් වෙයි. එයින් නික්මයන ඒ දෙවියන්ගේ ශරීරවර්ණයාගේ නානාත්වය ද ආලොකයෙහි නානාත්වය ද පැනෙයි. යම් පරිදි ගැහැවිය, පුරුෂයෙක් ඒ බොහෝ වූ තෙල් පහන් එ ගෙයින් බැහැර කරන්නේ නම්, එයින් බැහැර කරන ඒ ප්‍රදීපයන්ගේ සිළුනානාත්වයක් ආලොකයෙහි නානාත්වයත් පැනෙයි. එපරිදි ම ගැහැවිය, යම් කලෙක ඒ දෙවියෝ එතැනින් නික්මයෙත් ද, එබඳු කලෙක් වෙයි. ඉන් නික්මයන ඒ දෙවියන්ගේ ශරීරවර්ණනානාත්වය ද ආලොකයෙහි නානාත්වය ද පැනේ. ගැහැවිය, ඒ දෙවියනට මෙබඳු සිතෙක් නො මැ වෙයි: ‘මේ අපට නිත්‍ය යැයි හෝ ධ්‍රැව යැයි හෝ ශාශ්වත හෝ වේ යැ’යි කියා යි. තවද ඒ දෙවියෝ උයන් විමන් කප්රුක් ඈ යම් යම් තැනෙක්හි මැ වෙසෙත් ද, ඒ ඒ තැන්හි ඒ දෙවියෝ රමණය කෙරෙත්. ගැහැවිය, යම් පරිදි කදෙකින් හෝ පැසෙකින් හෝ ගෙනයනු ලබන මැස්සනට, “මේ අපගේ නිත්‍ය ස්ථාන යයි හෝ ධ්‍රැවස්ථාන යයි හෝ ශාශ්වතස්ථාන” යයි හෝ මෙබඳු සිත් නො වන්නේ වේ ද, වැලිත් යම් යම් තැනෙක ඒ මැස්සෝ වැදගනිත් ද, ඒ ඒ තැන්හි මැ ඒ මැස්සෝ රමණය කෙරෙත් ද, ගැහැවිය, එපරිදි ම ඒ දෙවියනට “මේ අප ගේ නිත්‍යස්ථාන යයි හෝ ධ්‍රැවස්ථාන යයි හෝ ශාශ්වතස්ථාන” යයි හෝ මෙබඳු සිත් නො වේ. වැලිත් යම් යම් තැනෙක්හි මැ ඒ දෙවියෝ වෙසෙත් ද, ඒ ඒ තැන්හි මැ ඒ දෙවියෝ රමණය කෙරෙත්.

මෙසේ කී කල ආයුෂ්මත් සහිය කච්චායන තෙර ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල සැලකෙළේ: “වහන්ස, අනුරුද්ධයෙනි, මැනැව, මෙහි ලා මා විසින් මතුයෙහි පිළිවිසියැ යුතු දැයෙක් ඇත්තේ ද වෙයි. වහන්ස, යම් ආභ දෙවි කෙනෙක් ඇද්ද, එ හැම දෙවියෝ පරිත්තාභ වෙත් ද, නොහොත් අප්පමාණභ වූ කිසි දෙවි කෙනෙක් ඇද්ද?

ඇවැත් කාත්‍යායනයෙනි, ඒ භාවොප්පත්ති කාරණයෙන් මෙහි පරිත්තාභ වූ කිසි දෙවි කෙනෙක් ඇත. මෙහි අප්පමාණාභ වූ කිසි දෙවි කෙනෙක් ද ඇත.

වහන්ස, අනුරුද්ධයෙනි, යම් හෙයකින් එක් මැ දෙවනිකායට වැදගෙන සිටුනා ඒ දෙවියන් අතුරින් මෙහි ලා පරිත්තාභ වූ කිසි දෙවි කෙනෙක් ඇද්ද, මෙහි ලා අප්පමාණාභ වූ කිසි දෙවි කෙනෙක් ඇද්ද, එයට කවර හෙතු යැ? කවර ප්‍රත්‍යය යැ?

ඇවැත් කාත්‍යායනයෙනි, එකරුණින් මෙහි ලා තොප ම පුළුවුස්මි: යම් පරිදි තොපට රුස්නේ නම් එපරිදි එය ප්‍රකාශ කරව, ඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් එක් රුක්මුලක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොටගෙන අධිමොක්ෂ වශයෙන් බැසගෙන වෙසේ ද, යම් මහණෙක් රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමොක්ෂ වශයෙන් නිශ්චය කොටගෙන වෙසේ ද, මේ උභය චිත්තභාවනා අතුරින් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ ද?

වහන්ස, යම් මහණෙක් රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමොක්ෂ වශයෙන් බැසගෙන වාස කෙරේ නම්, මේ භාවනාව මේ උභය චිත්තභාවනාවන් අතුරෙන් මහද්ගතතර වේ යයි.

ඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් රුක්මුල් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොට වෙසෙත් ද, තවද යම් මහණෙක් එක් ගම්කෙතක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොට ගෙන වෙසෙත් ද, මේ උභයචිත්තභාවනාවන් අතුරෙන් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි.

වහන්ස, යම් මහණෙක් එක් ගම්කෙතක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, මේ භාවනාව මේ උභයචිත්තභාවනාවන් අතුරෙන් මහද්ගතතර වේ යයි.

ඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් එක් ගම්කෙතක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට දැනගෙන වෙසේ ද, තවද යම් මහණෙක් ගම්කෙත් දෙකක් තුනක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට දැනගෙන වෙසේ ද, මේ උභයචිත්තභාවනාවන් අතුරෙන් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි.

වහන්ස, යම් මහණෙක් ගම්කෙත් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් අරමුණු කොට අධිමොක්ෂ කොට වාස කෙරේ ද, මේ චිත්තභාවනාව මේ උභයචිත්තභාවනාවන් අතුරින් මහද්ගතතර වෙයි.

ඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් ගම්කෙත් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, යම් මහණෙක් එක් මහරජයක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, මේ උභයචිත්තභාවනාවන් අතුරින් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි.

වහන්ස, යම් මහණෙක් එක් මහරජයක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමොක්ෂ කොට වෙසේ ද, මේ චිත්තභාවනාව මේ උභයචිත්තභාවනාවන් අතුරින් මහද්ගතතර වෙයි.

ඇවැත් කාත්‍යායනයෙනි, යම් මහණෙක් එක් මහරජයක් පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, යම් මහණෙක් මහරජයන් දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් අරමුණු කොට නිශ්චය කොටගෙන වෙසේ ද, මේ උභය චිත්තභාවනාවන් අතුරින් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි..

වහන්ස, යම් මහණෙක් මහරජ දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමොක්ෂ කොට වෙසේ ද, මේ චිත්තභාවනාව මේ උභයචිත්තභාවනාවන් අතුරින් මහද්ගතතර වෙයි.

ඇවැත් කාත්‍යායනයෙනි, ඒ කිමැයි හඟනාව? යම් මහණෙක් මහරජ දෙකක් හෝ තුනක් හෝ පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමොක්ෂ කොට වෙසේ ද, යම් මහණෙක් සමුද්‍රපර්‍ය්‍යන්ත පෘථිවිය පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමොක්ෂ කොට වාස කෙරේ ද, මේ උභයචිත්තභාවනාවන් අතුරින් කවර චිත්තභාවනායෙක් මහද්ගතතර වේ දැ’ යි.

වහන්ස, යම් මහණෙක් සමුද්‍රපර්‍ය්‍යන්ත පෘථිවිය පමණ තැන් මහද්ගත යයි අරමුණු කොට අධිමොක්ෂ කොට වාස කෙරේ ද, මේ චිත්තභාවනාව මේ උභයචිත්තභාවනාවන් අතුරින් මහද්ගතතර වෙයි.

ඇවැත් කාත්‍යායනයෙනි, යම් කරුණෙකින් එක් දෙවනිකායකට පැමිණි ඒ දෙවියන් අතුරින් මෙහි කිසි පරිත්තාභ දෙවි කෙනෙක් ඇද්ද, මෙහි අප්පමාණභ කිසි දෙවිකෙනෙක් ඇද්ද, මේ එයට හෙතු යැ, මේ එයට ප්‍රත්‍යයැ’යි.

වහන්ස, අනුරුද්ධයෙනි, මනා මැ ය, මෙහි දී මා විසින් මතුයෙහි ඇසියයුතු පැනයෙක් ද ඇත. වහන්ස, යම් පමණ ආභ දෙවියෝ ඇද්ද, එ හැම දෙවියෝ සඞ්කිලිට්ඨාභ වෙත් ද, නොහොත් මෙහි කිසි දෙවිකෙනෙක් පරිසුද්ධාභ වූවාහු ඇද්ද?

ඇවැත් කාත්‍යායනයෙනි, තදඞ්ගවශයෙන් මෙහි සඞ්කිලිට්ඨාභ කිසි දෙවි කෙනෙක් ඇත, මෙහි පරිසුද්ධාභ කිසි දෙවි කෙනෙක් ද ඇත.

වහන්ස, අනුරුද්ධයෙනි, යම් කරුණෙකින් එක් දෙවනිකායකට පැමිණි ඒ දෙවියන් අතර සඞ්කිලිට්ඨාභ කිසි දෙවි කෙනෙක් ඇද්ද, පරිසුද්ධාභ කිසි දෙවි කෙනෙක් ඇද්ද, ඊට හේතු කවරේ ය? ඊට ප්‍රත්‍යය කවරේ යැ’ යි.

ඇවැත් කාත්‍යායනයෙනි, එකරුණින් තොපට උපමාවක් කරමි: මෙ ලො වැ කිසි විඥපුරුෂ කෙනෙක් උපමායෙනුදු භාෂිතයාගේ අර්ථය අවබොධ කොට දනිත්. ඇවැත් කාත්‍යායනයෙනි, යම් පරිදි දැල්වෙන තෙල්පහනක්හුගේ තෙලුදු නො පිරිසිදු වේ නම්, වැටිදු නො පිරිසිදු වේ නම්, ඒ පහන තෙල් නො පිරිසිදු හෙයිනුදු වැටි නො පිරිසිදු හෙයිනුදු අතිශයින් අඳුරු වූවක් සෙයින් දිලෙයි. ඇවැත් කාත්‍යායනයෙනි, එපරිදි ම මේ සස්නෙහි කිසි මහණෙක් සංකිලිට්ඨාභ යයි අරමුණු කොට අධිමොක්ෂ කොට වාස කෙරේ ද, ඔහුගේ දොෂනිශ්ශ්‍රිත කයත් නොසන්හිඳුණේ වේ ද, ථිනමිද්ධයත් නොනැසුණේ වේ ද, උද්ධචච් කුක්කුච්චයත් මොනොවට විනීත නො වේ ද, හේ කායදුට්ඨුල්ලය නො සන්හුන් බැවිනුදු ථිනමිද්ධ නො නට බැවිනුදු උද්ධචච්කුක්කුච්චය අවිනීත බැවිනුදු වැඩිපමණ අඳුරු වූවාක් සෙයින් දිලෙයි. හේ කාබුන් මරණින් මතු සඞ්කිලිට්ඨාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි. ඇවැත් කාත්‍යායනයෙනි, යම් පරිදි දැල්වෙන තෙල්පහනක්හුගේ තෙලත් පිරිසිදු වේ ද, වැටිත් පිරිසිදු වේ ද, ඒ පහන තෙලත් පිරිසිදු හෙයිනුදු වැටිත් පිරිසිදු හෙයිනුදු වැඩිපමණ අඳුරු වූවාක් සෙයින් නො දිලේ ද, ඇවැත් කාත්‍යායනයෙනි, එපරිදි ම මෙසස්නෙහි කිසි මහණෙක් පරිසුද්ධාභ යයි අරමුණු කොට නිශ්චය කොට වෙසේ ද, ඔහුගේ කායදුට්ඨුල්ලයත් සන්හුන් වේ ද, ථිනමිද්ධයත් නටුයේ වේ ද, උද්ධචච්කුක්කුච්චයත් විනීත වේ ද, ඒ මහණ කායදුට්ඨුල්ලයත් සන්හුන් හෙයින් ථිනමිද්ධයත් නටහෙයින් උද්ධචච්කුක්කුච්චයත් විනීත හෙයින් අතිශයින් අඳුරු වූවාක් සෙයින් නො දිලෙයි. හේ කාබුන් මරණින් මතු පරිසුද්ධාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙයි.

ඇවැත් කාත්‍යායනයෙනි, එක් දෙවනිකායකට පැමිණි ඒ දෙවියන් අතර සඞ්කිලිට්ඨාභ වූ කිසි දෙවි කෙනෙක් ඇද්ද, පරිසුද්ධාභ කිසි දෙවි කෙනෙක් ඇද්ද, මේ ඊට හේතු යැ, මේ ඊට ප්‍රත්‍යය යි.

මෙසේ කී කල්හි ආයුෂ්මත් සහිය කාත්‍යායන ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට තෙල කී: “වහන්ස, අනුරුද්ධයෙනි, මැනැව. වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මෙසේ නො කියති. කිසේ යැ යත්: ‘මා විසින් මෙසේ අසන ලදැ’ යි කියා හෝ ‘මෙසේ වන්නට නිස්සැ’ යි කියා හෝ” යි.

තවද වහන්ස, ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ “ඒ දෙවියෝ මෙසේත් වෙති, ඒ දෙවියෝ මේ අයුරු වෙති” යි කියා ම කියති. වහන්ස, මට මෙබඳු සිතෙක් වෙයි: එකැතින් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ඒ දෙවියන් හා එක්ව විසූවිරූහ, සල්ලාප කළ විරූහ, සාකච්ඡා කළවිරූහ, කියා යි.

ඇවැත් කාත්‍යායනයෙනි, තොප විසින් ඝටා නිගා එළවා බස් පැවැසිණ, වැලිත් මම තොපට කියමි: ‘ඇවැත් කාත්‍යායනයෙනි, මා දීර්ඝරාත්‍රයෙහි ඒ දෙවියන් හා විසූවිරූ ඇත, සල්ලාප කළවිරූ ඇත, සාකච්ඡා කළවිරූ ඇතැ’ යි.

මෙසේ කී කල ආයුෂ්මත් සහිය කාත්‍යායන පඤ්චකඞ්ග ථපති හට තෙල කී: ‘ගැහැවිය, තොපට ලාභයෙක, ගැහැවිය, තොපට සුලද්ධයෙකි, යම් හෙයකින් තෙපිදු ඒ සැක දහම හැරපියව් ද, අපිත් මේ ධර්මපර්යාය අසන්නට ලදුමෝ ද එහෙයිනි.’

සත්වැනිඅනුරුද්ධසූත්‍රය නිමියේ ය.