උපක්කිලේස සූත්‍රය

 

 

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

තෙවැනි සුඤ්ඤත වර්ගය

3.3.8

උපක්කිලේස සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර ඝොෂිතාරාමයෙහි වැඩවසන සේක. එකල කොසඹෑනුවර මහණහු හටගත් භණ්ඩන ඇත්තාහු හටගත් කලහ ඇත්තාහු විවාදාපන්න වූවාහු උනුන් මුවසැතින් පෙළන්නාහු වෙසෙති. ඉක්බිති අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේය. එළැඹැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ සිටියේය. එකත්පස් වැ සිටි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, මේ කොසඹෑනුවර මහණහු හටගත් භණ්ඩන ඇති වැ හටගත් කලහ ඇති වැ විවාදයට පැමිණ, උනුන් මුවසැතින් පෙළමින් වෙසෙති. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන් කරා අනුකම්පා පිණිස වඩනේ මැනැව’යි ඇයැද සිටිමි” යි, භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් අධිවාසනා කළෝ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන් කරා එළැඹි සේක. එළඹ ඒ මහණුනට තෙල වදාළෝ: “මහණෙනි, කම් නැත, නහමක් භණ්ඩන කරව, නහමක් කලහ කරව, නහමක් විග්‍රහකරව, නහමක් විරුද්ධවාද කරව” යි.

මෙසේ වදාළ කල අන්‍යතර මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, ධර්මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ බලන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අල්පොත්සුක ව දෘෂ්ටධර්මසුඛවිහරණයෙහි අනුයුක්ත ව වැඩවසන සේක්වා. අපි තෙල භණ්ඩන කලහ විග්‍රහ විවාදයෙන් පැනෙම්හ” යි.

දෙවනුවටත් භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුනට තෙල වදාළෝ: “මහණෙනි, කම් නැත, භණ්ඩන නො කරව, කලහ නො කරව, විග්‍රහ නො කරව, විවාද නො කරව” යි.

දෙවනවටත් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, ධර්මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ ඉවසන සේක්වා, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අල්පොත්සාහ ව ඉහාත්මසුඛවිහාරයෙහි අනුයුක්ත ව වසන සේක්වා. තෙල භණ්ඩනයෙන් කලහයෙන් විරුද්ධග්‍රහණයෙන් විරුද්ධවාදයෙන් අපි පැනෙම්හ” යි.

තෙවනවටත් භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුනට තෙල වදාළෝ: “මහණෙනි, කම් නැත, භණ්ඩන නො කරන්නේ මැනැව, කලහ නො කරන්නේ මැනැව, විග්‍රහ නො කරන්නේ මැනැව, විවාද නො කරන්නේ මැනැව” යි.

තෙවනවටත් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: “වහන්ස, නවත්නේ මැනැව, වහන්ස, ධර්මස්වාමි වූ භාග්‍යවතුන් වහන්සේ නිරුත්සුක ව මෙලො වැ සුඛ විහරණයෙහි යෙදුණාහු වැඩවසන සේක්වා. අපි තෙල භණ්ඩන කලහ විග්‍රහ විවාදයෙන් පැනෙම්හ” යි.

එසඳ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පාසිවුරු ගෙන කොසඹෑනුවර පිඬු පිණිස වැඩිසේක. කොසඹෑයෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළැකුණාහු සෙනසුන් සඟවාතබා, පාසිවුරු ගෙන සිටිවන සිටිසේක් ම මේ ගාථා වදාළ සේක:

සමානස්වරූප වූ මේ භණ්ඩනකාරක ජන තෙමේ මහාශබ්ද ඇතියේ යැ, කිසිවෙක් ‘මම බාලයෙමි’ නො සිතී, සංඝයා බිඳෙන කල්හි වැඩි පමණ වූ (මා නිසා සහසු බිඳෙති යන) අන් කරුණ නො සිතී.

යම් කලහයෙකින් මේ නිර්ලජ්ජභාවයට එළවන ලද්දාහු (මෙසේ මේ ආදීනව සහිතය යන) එ කරුණ නො දනිත් ද, ඔහු මුළාවූ සිහි ඇතියාහු පණ්ඩිතාභාස ඇතියාහු වාග්ගෝචර කොට ඇත්තාහු යම් තාක් මුව ඇයුම් කැමැති වෙත් ද, එතෙක් බණනාහු වෙති.

මට ආක්‍රොශ කෙළේය, මා පෙළී ය, මා දිනී ය, මා අයත් වස්තු පැහැර ගතැ’ යි යම් කෙනෙක් ඒ වෛරය සිතැ බඳිත් ද, උන්ගේ වෛරය නො සන්හිඳෙයි.

මට ආක්‍රොශ කෙළේය, මා පහළේ ය, මා දිනී ය, මා සතු දෑ පැහැර ගතැ’ යි යම් කෙනෙක් ඒ අයුරු වෛරය සිතැ නො බඳිත් ද, උන්ගේ වෛරය සන්හිඳේ.

මෙ ලොවැ කිසිදු කලෙක වෛරයෝ වෛරයෙන් නොසන්හිඳෙති. අවෛරයෙන් ම සන්හිඳෙත්, මෙය පුරාතන වූ (බුදු පසේබුදු මහරහතන් විසින් පුරුදු කළ) ධර්මයෙකි.

මේ කලහයෙහි දී ‘අපි නැසෙම්හ’ යි (කලහකාර) අන්‍යජනයෝ නො දන්නාහ. යම් කෙනෙක් ඒ කලහයෙහි දී (ඇපි නැසෙම්හ’ යි) දනිත් ද, ඒ හේතුයෙන් කලහයෝ සන්හිඳෙත්.

ඇට බිඳුනා පණ නස්නා ගෙරි අස් ධන පැහැරගන්නා යම් කෙනෙක් ඇත් ද, රට වොලොගන්නා ඔවුනුදුගේ සඞ්ගති වෙයි. තොපගේ සඞ්ගති කවර හෙයින් නො වේ ද?

ඉදින් සම්ප්‍රඥාන ඇති තමා හා වසන්නට නිසි සත් විහරණ ඇති, ධීර වූ කල්‍යාණ මිත්‍රයකු ලබන්නේ නම්, (ප්‍රකට වූත් අප්‍රකට වූත්) හැම උවදුරු තාක් මැඩ ඔහු හා සතුටු සිත් ඇති ව ස්මෘතිමත් ව හැසිරෙන්නේ ය.

ඉදින් සම්ප්‍රඥාන ඇති තමා හා වසන්නට නිසි සත් විහරණ ඇති, ධීර වූ කල්‍යාණ මිත්‍රයකු නො ලබන්නේ නම්, දිනන ලද රට හැරපියා එකලා වූ (මහාජනක) රජු සෙයින් ද, රක්ෂිතවනයෙහි එකලා වූ මාතඞ්ග නාගයා මෙන් ද එකලා වැ වසන්නේ ය.

එකලා වූවහුගේ හැසිරීම ශ්‍රේෂ්ඨ වෙයි. බාලයා කෙරෙහි සහායභාවයෙක් නැත. අල්පොත්සුක වූ අරණ්‍යයෙහි වාසයට පැමිණි ශ්‍රේෂ්ඨ මාතඞ්ගයා සෙයින් එකලා වැ හැසිරෙන්නේ ය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සිටිසේක් ම මේ ගාථා වදාරා (උපාලි ගැහැවිහුගේ භොගග්‍රාම වූ) බාලකලොණකාර ග්‍රාමයට වැඩිසේක. එකල ආයුෂ්මත් භගු තෙරණුවෝ බාලකලොණකාර ගම්හි වෙසෙති. ආයුෂ්මත් භගු තෙරණුවෝ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුර දී මැ දුටහ, දැක අසුන් පැන්වී, පා දෝනා දිය ද එළැවී. භාග්‍යවතුන් වහන්සේ පැන්වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ පා දෙවූහ. ආයුෂ්මත් භගු තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් ව හුන්හු. එකත්පස්ව හුන් ආයුෂ්මත් භගු තෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:

“මහණ, කිම සිහියැ හැකි ද? කිම් යැපියැ හේ ද? කිම පිඬුවායෙන් ක්ලාන්ත නො වන්නෙහි ද?”

භාග්‍යවතුන් වහන්ස, සිහියැ හැකි යැ, භාග්‍යවතුන් වහන්ස, යැපියැ හැකි යැ, වහන්ස, මම පිඬුවායෙන් ක්ලාන්ත නො වෙමි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් භගු තෙරණුවනට දැහැමිකථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා පහදවා හුනස්නෙන් නැඟී පාචීනවංසදාය කරා වැඩි සේක.

එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද පාචීනවංසදායයෙහි වෙසෙති. උයන්පලු වඩනා බුදුරදුන් දුරදී මැ දිට, දැක භාග්‍යවතුන් වහන්සේට තෙල කී: “මහමහණ, තෙල වනයට නො වදු, මෙහි තමන් කැමැති සේ වැඩවසන කුලපුත්‍රයෝ තුන් දෙනෙක් ඇත. ඔවුනට නහමක් නො පහසු කරව” යි. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ බුදුන් හා මන්ත්‍රණ කරන දායපාලයාගේ බස් ඇසූහ. අසා දායපාලයාට තෙල කී:

“ඇවැත දායපාලයෙනි, භාග්‍යවතුන් වහන්සේ නො වළහව, අපගේ ශාස්තෘ වූ බුදුහු වැඩියහ” යි.

ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ආයුෂ්මත් නන්දිය තෙරණුවන් හා ආයුෂ්මත් කිම්බිල තෙරණුවන් කරා ගියහ. ගොස් ආයුෂ්මත් නන්දිය තෙරණුවන් හා ආයුෂ්මත් කිම්බිල තෙරණුවනට තෙල කී: ‘අයුෂ්මත්නි, වහා එව, ආයුෂ්මත්නි වහා එව. අපගේ ශාස්තෘ වූ බුදුහු වැඩියහ” යි. එසඳ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ ද ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ ද ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද බුදුන්ට පෙර ගමන් කොට, එක් නමෙක් භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු පිළිගති, එක් නමෙක් අසුන් පැන්වී, එක් නමෙක් පා දෝනා දිය එළැවී. බුදුහු පැන්වූ අස්නෙහි වැඩහුන්හ. හිඳ පා දෙවූහ. ඒ ආයුෂ්මත්හු දු භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස්ව හුන්හු. එකත්පස්ව හුන් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළෝ:

“කිම අනුරුද්ධයෙනි, තොප විසින් සිහියැ හැකි ද? කිමැ යැපියැ හේ ද? කිම පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නො වවු දැ” යි.

භාග්‍යවතුන් වහන්ස, සිහියැ හැකි ය, භාග්‍යවතුන් වහන්ස, යැපියැ හැකි ය, වහන්ස, අපි පිණ්ඩපාතයෙන් ක්ලාන්ත නො වම්හ’ යි.

කිම අනුරුද්ධයෙනි, තෙපි සමගි ව සම්මොදමාන ව විවාද නො කරනු ව කිරඹ වැනි ව උනුන් පිය ඇසින් දක්නහු වාස කරවු ද?

වහන්ස, ඒකාන්තයෙන් අපි සමගි ව සම්මොදමාන ව විවාද නො කරනු ව කිරඹ වැනි ව උනුන් පිය ඇසින් දක්නමෝ වසම්හ’ යි.

අනුරුද්ධයෙනි, කෙසේ නම් තෙපි සමගි ව සම්මොදමාන ව විවාද නො කරනු ව කිරඹ වැනි ව උනුන් පිය ඇසින් දක්මින් වාස කරව් ද?

වහන්ස, මෙහි වසන මට මෙබඳු සිත් වෙයි: “මම මෙබඳු සබ්‍රම්සරුන් සමග වාස කෙරෙම් ද, මට ඒකාන්තයෙන් ලාභයෙක, මට ඒකාන්තයෙන් මනා ලැබීමෙක, වහන්ස, මේ ආයුෂ්මතුන් කෙරෙහි හමුයෙහිත් නො හමුයෙහිත් මෛත්‍රීසහගත කායකර්ම එළැඹ සිටියේ ය, මෛත්‍රීසහගත වාක්කර්ම ... හමුයෙහිත් නො හමුයෙහිත් මෛත්‍රීසහගත මනඃකර්ම එළැඹ සිටියේ ය. වහන්ස, ‘මම සිය සිත තබා මේ ආයුෂ්මතුන්ගෙ චිත්ත වශයෙන් වැටෙම් නම් මැනැව’ යි මට මෙබඳු සිත් විය. වහන්ස, මම සිය සිත් පියා මේ ආයුෂ්මතුන්ගේ සිත් විසින් වැටෙමි. වහන්ස, අපගේ ශරීරයෝ වෙන වෙන වෙති, සිත එකක් මෙනි.

ආයුෂ්මත් නන්දිය තෙරණුවෝ ද ... ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ: ‘වහන්ස, මට ද මෙබඳු සිත් වෙයි: ඒකාන්තයෙන් මට ලාභයෙක, ඒකාන්තයෙන් මට මනා ලාභයෙක, මම ... සිත එක්බඳු වෙතී.

වහන්ස, මෙසේ අපි සමගිව සතුටු ව විවාද නො කරනු ව කිරි හා දිය වැනි ව උනුන් පියඇසින් දක්නමෝ වසම්හ’ යි.

මැනැව මැනැව අනුරුද්ධයෙනි, කිමෙක අනුරුද්ධයෙනි, තෙපි නො පමාව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයු සිත් ඇති ව වාස කරව් ද?

‘වහන්ස, අපි ඒකාන්තයෙන් අප්‍රමත්ත ව ආතාපන වීර්යය ඇතිව ප්‍රහිතාත්ම ව වසම්හ’ යි.

අනුරුද්ධයෙනි, තෙපි කෙසේ නම් නොපමා ව කෙලෙස් තැවුලි වැර ඇති ව නිවනට මෙහෙයු සිත් ඇති ව වාස කරව් ද?

වහන්ස, මේ වන වසන අප අතුරින් යමෙක් පළමු ව ගමින් පිඬු පිණිස හැසිර වටාලා එන්නේද, හේ අසුන් පන්වයි, පියයුතු පැන් පරිභොග කළයුතු පැන් එළවයි. අවකරතලිය එළවාතබයි. යමෙක් පසුව ගමින් පිඬු සිඟා වටාලා ඒ ද, ඉදින් වළඳා ඉතිරි අහරෙක් වේ නම්, ඉදින් රිසි වී නම්, වළඳ කෙරෙයි. ඉදින් නො රිසි වී නම්, නිල් තණ රහිත බිමෙකැ හෝ දමයි, (එයින් නැසෙන) ප්‍රාණීන් නැති දියෙක හෝ බහාලයි. හේ අසුන් සඟවා තබයි, පානීය පරිභොජනීය දිය සඟවා තබයි, අවකර තලි සෝදා සඟවයි, භක්තග්‍රය හමදී. යමෙක් පැන්කළය හෝ පිරිබෝදියකළය හෝ හිස් වූවා දක්නේ ද, හේ එ ද එළවාතබයි. ඉදින් ඔහුට නො සැහියැ හැකි වී නම්, හස්තවිකාරයෙන් දෙවැන්නා අමතා අතිනත් ගැනීමෙන් වටම්හ. වහන්ස, අපි ඒ හේතුයෙන් වාග්භෙදයක් නො කරම්හ. වහන්ස, අපි පස්දවසකට වරක් කොට මුළු රැය දැහැමි කථායෙන් මුළු දී හිඳුම්හ. වහන්ස, මෙසේ අපි නො පමාව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරම්හ’ යි.

මැනැව මැනැව අනුරුද්ධයෙනි, යළි අනුරුද්ධයෙනි, මෙසේ අප්‍රමත්ත ව ආතාප ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරන තොපට මනුෂ්‍යධර්මයෙන් මතුයෙහි ආර්‍ය්‍ය භාවකරණයට සමර්ථ ඥානදර්ශනවිශේෂයෙක් අධිගත ව ඵාසුවිහාර ව ඇද්ද?

වහන්ස, අපි මේ වෙනෙහි නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව කායජීවිත නිරපේක්ෂක ව වසන්නමෝ අවභාසය හා (දිවැසින්) රූපදර්ශනය හඳුනම්හ, අපගේ ඒ අවභාසය හා රූපදර්ශනය නො බෝකල්හි මැ අන්තර්හිත වෙයි. ඒ කරුණ ද නො පිළිවිදුම්හ’ යි.

අනුරුද්ධයෙනි, තොප විසින් ඒ කරුණ පිළිවිදිය යුතු ය. අනුරුද්ධයෙනි, මම ද සම්බොධියෙන් පෙර මැ අනභිසම්බුද්ධ බොධිසත්ත්ව වූයෙම් මැ පරිකර්මාවභාසය හා රූපදර්ශන හැඳිනීමි. මාගේ ඒ පරිකර්මාවභාසය ද දිවැසින් කළ රූපදර්ශනය ද නො නො බෝකල්හි මැ අන්තර්හිත වී, අනුරුද්ධයෙනි මට තෙල සිත් වී: ‘යම් හෙයෙකින් මාගේ අවභාසයත් රූපදර්ශනත් අන්තර්හිත වේද, ඊට හේතු කවරේ යැ, ඊට ප්‍රත්‍යය කවරේ යැ’ යි. අනුරුද්ධයෙනි, එසඳ මට තෙල සිත් වී මට විචිකිච්ඡා උපන. විචිකිච්ඡා හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ. සමාධි ගිලිහුණු කල්හි අවභාසයත් රූපදර්ශනත් අන්තර්හිත වී, යම්පරිදි මට විචිකිච්ඡා නූපදනේ ද, මම එසේ කරමි, කියා යි. අනුරුද්ධයෙනි, මම නො පමා ව වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරන්නෙම් අවභාසයත් රූපදර්ශනයත් හැඳිනීමි. මාගේ ඒ අවභාසය හා රූපදර්ශන නො බෝ කල්හි මැ අන්තර්හිත වී, අනුරුද්ධයෙනි, මට මෙ සිත් වී: ‘යම් හෙයෙකින් මගේ අවභාසය හා රූපදර්ශන අන්තර් හිත වී ද, එයට හේතු කවරෙ යැ, ඊට ප්‍රත්‍යය කවරේ යැ’ යි, අනුරුද්ධයෙනි මට මෙ සිත් වී: ‘මට අමනසිකාරය උපන, අමනසිකාර හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල අවභාස හා රූපදර්ශන අන්තර්හිත වී. යම්පරිදි මට යළි විචිකිච්ඡා නූපදනේ ද, අමනසිකාර නූපදනේ ද, මම එසේ කරමි’ යි කියා යි.

අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට ථීනමිද්ධය උපන, ථීනමිද්ධ හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ, සමාධිය ගිලිහුණ කල අවභාසය හා රූපදර්ශන අන්තර්හිත වෙයි. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ ද, අමනසිකාර නූපදනේ ද, ථිනමිද්ධ නූපදනේ ද, මම එසේ කරමි’ යි කියා යි.

අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට තැතිගැනුම් උපන, තැතිගැනුම් හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ, සමාධිය ගිලිහුණ කල අවභාසය හා රූපදර්ශන අන්තර්හිත වෙයි. අනුරුද්ධයෙනි, යම් පරිදි අදන්මගට පිළිපන් පුරුෂයෙක් ඇද්ද, ඔහු දෙපස වධකයෝ නැඟීසිටිත් ද, ඔහුට ඒ හේතුවෙන් තැතිගැනුම් උපදනේ වේ ද, අනුරුද්ධයෙනි, එපරිදි ම තැතිගැනුම් උපන. තැතිගැනුම් හේතුයෙන් මාගේ සමාධි ගිලිහිණ, සමාධිය ගිලිහුණු කල අවභාසය හා රූපදර්ශන අන්තර්හිත වෙයි. යම්පරිදි මට විචිකිච්ඡා, අමනසිකාර ථීනමිද්ධ තැතිගැනුම් නූපදනේ වේ ද, එසේ කරමි’ යි කියා යි.

අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට ඉපිලීම් උපන, ඉපිලීම් හේතුයෙනුදු මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණ කල අවභාසය හා රූපදර්ශන අන්තර්හිත වී. අනුරුද්ධයෙනි, යම් පරිදි පුරුෂයෙක් එක් නිධිමුඛයක් සොයනුයේ එක්වරම නිධිමුඛ පසක් ලබා ද, ඔහුට ඒ හේතුයෙන් ඉල්පීම් උපදනේ වේ ද, අනුරුද්ධයෙනි එපරිදි ම මට ඉල්පීම් උපන. ඉල්පීම් හේතුයෙනුදු මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණු කල අවභාසය හා රූපදර්ශන අන්තර්හිත වෙයි. යම් පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ වේ ද, අමනසිකාර නූපදනේ වේ ද, ථීනමිද්ධ නූපදනේ වේ ද, තැතිගැනුම් නූපදනේ වේ ද, ඉල්පීම් නූපදනේ වේ ද, මම එසේ කරමි’ යි කියා යි.

අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට කායදරථ උපන, කායදරථ හේතුයෙනුදු මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණ කල අවභාසය හා රූපදර්ශන අන්තර්හිත වෙයි. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ වේ ද, අමනසිකාර නූපදනේ වේ ද, ථීනමිද්ධ නූපදනේ වේ ද, තැතිගැනුම් නූපදනේ වේ ද, ඉල්පීම් නූපදනේ වේ ද, කායදරථ නූපදනේ වේ ද, මම එසේ කරමි’ යි කියා යි.

අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට මෙ සිත් විය: මට අත්‍යාරබ්ධ වීර්‍ය්‍ය උපන. යළි අත්‍යාරබ්ධ වීර්‍ය්‍ය හේතුයෙනුදු මාගේ සමාධි ගිලිහිණ, සමාධි ගිලිහුණ කල්හි අවභාසය ද රූපදර්ශනය ද අන්තර්හිත වෙයි. යම් පරිදි අනුරුද්ධයෙනි, පුරුෂයෙක් දෑතින් වටුවකු දැඩි කොට ගන්නේ ද, ඌ එහි මරුමුවට පැමිණේ ද, එපරිදි මැ අනුරුද්ධයෙනි, මට අත්‍යාරබ්ධවීර්‍ය්‍ය උපන. අත්‍යාරබ්ධවීර්‍ය්‍ය හේතුයෙනුදු ... රූපදර්ශනය ද අන්තර්හිත වී. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ ද අමනසිකාර නූපදනේ ද ථීනමිද්ධ නූපදනේ ද තැතිගැනුම් නූපදනේ ද ඉල්පීම් නූපදනේ ද කායදරථ නූපදනේ ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදනේ ද මම එපරිදි කරමි.

අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට මෙ සිත් විය: මට අතිලීනවීර්‍ය්‍ය උපන. අතිලීන වීර්‍ය්‍ය හේතුයෙනුදු ... රූපදර්ශනය අන්තර්හිත වී. අනුරුද්ධයෙනි, යම්පරිදි පුරුෂයෙක් වටුවකු ලිහිල් කොට ගන්නේ වේ ද, එ වටු ඔහු අතින් පිය හඹා නඟී ද, අනුරුද්ධයෙනි, එපරිදි ම මට අතිලීන වීර්‍ය්‍ය උපන. අතිලීන වීර්‍ය්‍ය හේතුයෙනුදු ... රූපදර්ශනය ද අන්තර්හිත වී. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදී ද අමනසිකාර නූපදී ද ථීනමිද්ධ නූපදී ද තැතිගැනුම් නූපදී ද ඉල්පීම් නූපදී ද කායදරථ නූපදී ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදී ද අතිලීනවීර්‍ය්‍ය නූපදී ද මම එසේ කරමි.

අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට තෘෂ්ණා උපන. තෘෂ්ණා හේතුයෙනුදු ... රූපදර්ශනය ද අන්තර්හිත වී. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදී ද අමනසිකාර නූපදී ද ථීනමිද්ධ නූපදී ද තැතිගැනුම් නූපදී ද ඉල්පීම් නූපදී ද කායදරථ නූපදී ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදී ද අතිලීනවීර්‍ය්‍ය නූපදී ද තෘෂ්ණා නූපදී ද මම එසේ කරමි.

අනුරුද්ධයෙනි, මම ... අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට නානත්තසඤ්ඤා උපන. නානත්තසඤ්ඤා හේතුයෙනුදු ... රූපදර්ශන අන්තර්හිත වී. යම් පරිදි මට නැවත විචිකිච්ඡා නූපදී ද අමනසිකාර නූපදී ද ථීනමිද්ධ නූපදී ද තැතිගැනුම් නූපදී ද ඉල්පීම් නූපදී ද කායදරථ නූපදී ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදී ද අතිලීනවීර්‍ය්‍ය නූපදී ද තෘෂ්ණා නූපදී ද නානත්තසඤ්ඤා නූපදී ද, මම එසේ කරමි.

අනුරුද්ධයෙනි, මම නොපමාව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයු සිත් ඇති ව වාස කරන්නම් ඔභාසය ද හා රූපදර්ශනය ද හඳුනමි. මාගේ ඒ ඔභාසය හා රූපදර්ශනය නොබෝ වේලෙහි අතුරුදහන් කෙරෙයි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී. යම් හේතුයෙකින් මාගේ ඔභාසය හා රූපදර්ශන අතුරුදහන් කෙරේ ද, ඊට හේතු කවරේ යැ? ප්‍රත්‍යය කවරේ යැ? අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මට රූපයන් පිලිබඳ අධික නිජ්ඣායනා ඇති බව උපන. මාගේ රූපයන් පිලිබඳ අතිනිජ්ඣායනා ඇති බව හේතු කොටගෙන සමාධි බුන. සමාධිය බුන් කල ඔභාස හා රූපදර්ශන අතුරුදහන් කැරෙයි. යම්පරිදි මට නැවත විචිකිච්ඡා නූපදනේ ද අමනසිකාර නූපදනේ ද ථීනමිද්ධ නූපදනේ ද තැතිගැනුම් නූපදනේ ද ඉල්පීම් නූපදනේ ද කායදරථ නූපදනේ ද අත්‍යාරබ්ධවීර්‍ය්‍ය නූපදනේ ද අතිලීනවීර්‍ය්‍ය නූපදනේ ද තෘෂ්ණා නූපදනේ ද නානත්තසඤ්ඤා නූපදනේ ද රූපයන් පිලිබඳ අතිනිජ්ඣායනා නූපදනේ ද මම එසේ කරමි.

අනුරුද්ධයෙනි, මම විචිකිච්ඡාව චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ විචිකිච්ඡාව හළෙමි. අමනසිකාරය චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ අමනසිකාරය හළෙමි. ථීනමිද්ධය චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ ථීනමිද්ධය හළෙමි. තැතිගැනුම චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ තැතිගැනුම හළෙමි. ඉල්පීම චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ ඉල්පීම හළෙමි. කායදරථය චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ කායදරථය හළෙමි. අත්‍යාරබ්ධවීර්‍ය්‍යය චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ අත්‍යාරබ්ධවීර්‍ය්‍යය හළෙමි. අතිලීනවීර්‍ය්‍යය චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ අතිලීනවීර්‍ය්‍යය හළෙමි. තෘෂ්ණාව චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ තෘෂ්ණාව හළෙමි. නානත්තසඤ්ඤාව චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ නානත්තසඤ්ඤාව හළෙමි. රූපයන් පිලිබඳ අතිනිජ්ඣායනාව චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ රූපයන් පිලිබඳ අතිනිජ්ඣායනාව හළෙමි.

අනුරුද්ධයෙනි, මම අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසන්නෙම් මුළු රැය ද මුළු දවස ද මුළු දවරෑ දෙක ද ඔභාසය දනිමි. රූප නො දක්මි. රූප දක්මි, එතෙකුදු ඔභාස නො දනිමි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මුළු රැය ද මුළු දවස ද මුළු දවරෑ දෙක ද ඔභාසය දනිම් ද රූප නො දකිම් ද, එසමයෙහි රූප දකිම් ද ඔභාස නො ද දනිම් ද, ඊට හේතු කවරෙ යැ, ප්‍රත්‍යය කවරෙ යැ යි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් වී: මුළු රැය ද මුළු දවස ද මුළු දවරෑ දෙකම දැයි මෙසේ යම් සමයෙක මම රූප නිමිති මෙනෙහි නො කොට ඔභාසය නිමිති මෙනෙහි කෙරෙම් ද, එ සමයෙහි ඔභාස දනිමි. රූප නො දක්මි. යම් කලෙක මම ඔභාසය නිමිති මෙනෙහි නො කොට රූපනිමිති මෙනෙහි කෙරෙම් ද, එ සමයෙහි රූප දක්මි, ඔභාස නො ද දනිමි.

අනුරුද්ධයෙනි, මම අප්‍රමත්ත ව ආතාපන වීර්‍ය්‍ය ඇති ව ප්‍රහිතාත්ම ව වසනුයෙම් මුළුරැය ද මුළු දාවල ද මුළු දවරෑ දෙක ද පරිත්ත වූ කර්මස්ථානයෙහි ඔභාසයක් දැනගනිමි, පරිත්ත වූ කර්මස්ථානයෙහි රූපයනුදු දක්මි. අප්‍රමාණ කර්මස්ථානයෙහි ඔභාසයත් දැනගනිමි, අප්‍රමාණ කර්මස්ථානයෙහි රූප ද දක්මි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් විය: ‘මුළු රැය ද මුළු දාවල ද මුළු දවරෑ දෙක ද මම පරිත්ත ඔභාස හඳුනමි, පරිත්ත රූප දක්මි. අප්‍රමාණොභාස හඳුනමි, අප්‍රමාණ රූප දක්මි. ඊට හේතු කවරෙ යැ, ඊට ප්‍රත්‍යය කවරෙ යැ’ යි. අනුරුද්ධයෙනි, මට තෙල සිත් විය: ‘යම් කලෙක පරිත්ත පරිකර්මොභාස වේ ද, ඒ සමයෙහි මට පරිත්ත වූ දිවැස් වෙයි, මම පරිත්ත වූ දිවැසින් පරිත්ත වූ ඔභාස හඳුනමි, පරිත්තරූප දක්මි. යම් කලෙක මට අප්‍රමාණ සමාධි වේ ද, එසමයෙහි මට අප්‍රමාණ වූ දිවැස වෙයි, මම අප්‍රමාණ වූ දිවැසින් අප්‍රමාණ වූ ඔභාස හඳුනමි, අප්‍රමාණ වූ රූප ද දක්මි. මුළු රැය ද මුළු දාවල ද මුළු දවරෑ දෙක ද ගෙනය කියා යි.

අනුරුද්ධයෙනි, යම් කලෙක විචිකිච්ඡාව චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ විචිකිච්ඡාව ප්‍රහීණ වී ද, අමනසිකාරය චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ අමනසිකාරය ප්‍රහීණ වී ද, ථීනමිද්ධය චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ ථිනමිද්ධය ප්‍රහීණ වී ද, තැතිගැන්ම චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ තැතිගැන්ම ප්‍රහීණ වී ද, ඉල්පීම චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ ඉල්පීම ප්‍රහීණ වී ද, කායදරථ චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ කායදරථය ප්‍රහීණ වී ද, අත්‍යාරබ්ධවීර්‍ය්‍යය චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ අත්‍යාරබ්ධවීර්‍ය්‍යය ප්‍රහීණ වී ද, අතිලීනවීර්‍ය්‍යය චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ අතිලීනවීර්‍ය්‍යය ප්‍රහීණ වී ද, තෘෂ්ණාව චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ තෘෂ්ණාව ප්‍රහීණ වී ද, නානාත්වසංඥාව චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ නානාත්වසංඥාව ප්‍රහීණ වී ද, රූපයන් පිලිබඳ අතිනිජ්ඣායනාව චිත්තොපක්ලෙශයෙකැ’ යි මෙසේ දැන චිත්තොපක්ලෙශ වූ රූපයන් පිලිබඳ අතිනිජ්ඣායනාව ප්‍රහීණ වී ද, අනුරුද්ධයෙනි, මට තෙල සිත් විය: මාගේ යම් චිත්තොපක්ලෙශයෝ ඇද්ද, ඔහු මට ප්‍රහීණයහ, එයින් දැන් මම තුන් අයුරෙකින් සමාධිය වඩමි. අනුරුද්ධයෙනි, මම සවිතර්ක වූ ද සවිචාර වූ ද සමාධිය වැඩුවෙමි, අවිතර්ක වූ ද විචාරමාත්‍ර වූ ද සමාධිය වැඩීමි. අවිතර්ක වූ ද අවිචාරසමාධිය වැඩීමි, සප්‍රීතික සමාධිය වැඩීමි, නිෂ්ප්‍රීතික වූ ද සමාධිය වැඩීමි, සුඛසහගත වූ ද සමාධිය වැඩීමි, උපෙක්ෂා සහගත වූ ද සමාධිය වැඩීමි. අනුරුද්ධයෙනි, යම් කලෙක මා විසින් සවිතර්ක වූ ද සවිචාර වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, අවිතර්ක වූ ද විචාරමාත්‍ර සමාධිය වඩන ලදුයේ වී ද අවිතර්ක වූ ද අවිචාර සමාධිය වඩන ලදුයේ වී ද, සප්‍රීතික වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, නිෂ්ප්‍රීතික වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, සුඛසහගත වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, උපෙක්ෂා සහගත වූ ද සමාධිය වඩන ලදුයේ වී ද, (එකල්හි) මට සියල්ල දක්නා සර්වඥතාඥානය ද උපන: ‘මාගේ චිත්තවිමුක්තිය අකොප්‍ය ය, මේ අන්තිම ජාතිය යි, මෙවිට පුනර්භවයෙක් නැතැ’ යි.

භාග්‍යවතුන් වහන්සේ මේ උපක්ලෙශ සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්‍දනා කළහ.

අටවැනිඋපක්කිලෙසසූත්‍රය නිමියේ ය.