චූළසුඤ්ඤත සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

තෙවැනි සුඤ්ඤත වර්ගය

3.3.1

චූළ සුඤ්ඤත සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පුවරම් වෙහෙර මුවරමාපායෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සවස්කාලයෙහි පිළිසලනින් නැඟීසිටියාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට අභිවාදනය කොට එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළහ:

වහන්ස, එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි ශාක්‍යයන්ගේ නාගරක නම් නියම් ගම්හි වැඩ වසන සේක. වහන්ස, එහි දී මා විසින් භාග්‍යවතුන් වහන්සේ හමුයෙහි දී “ආනන්දය, මම දැන් ශුන්‍යතාවිහාරයෙන් බහුල කොට වෙසෙමි” අසන ලදි. හමුයෙහි දී පිළිගන්නා ලදි. ‘වහන්ස, කිම, මාගේ ඒ ඇසීම සුශ්‍රැත වේ ද? සුගෘහිත වේ ද? මනා කොට මෙනෙහි කරන ලද වේ ද? මොනොවට කළ විමසීමෙක් වේ ද?

ආනන්දය, එකාන්තයෙන් තොපගේ තෙල ඇසීම සුශ්‍රැත වෙයි, සුගෘහිත වෙයි, මනා කොට මෙනෙහි කෙරෙන ලද වෙයි, මොනොවට විමසන ලද වෙයි. ආනන්දය, මම පළමුවත් දැනුත් ශුන්‍යතවිහරණයෙන් බහුල කොට වෙසෙමි. ආනන්දය, යම් පරිදි මේ මුවරමා පැහැය ඇත් ගව අස් වෙළඹුන් ගෙන් ශුන්‍ය වේ ද, රන්රිදියෙන් ශුන්‍ය වේ ද, ස්ත්‍රීපුරුෂ සන්නිපාතයෙන් ශුන්‍ය වේ ද, (එතෙකුදු වුව) මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: බික්සඟුන් නිසා වන එකත්වය යි. ආනන්දය, එපරිදි ම මහණ ග්‍රාමසංඥා මෙනෙහි නො කොට මනුෂ්‍යසංඥා මෙනෙහි නො කොට අරණ්‍යසංඥා පිණිස එකත්වයක් මෙනෙහි කෙරේ ද, ඒ මහණහුගේ අරණ්‍යසංඥායෙහි සිත දිවෙයි, පහදියි, මොනොවට සිටී, බැස ගනී. ඒ මහණ මෙසේ නුවණින් දන්නේ ය. ග්‍රාමසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. මනුෂ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. (එතෙකුදු වුව) මේ දරථමාත්‍රයෙක් ඇත, කිමෙක යත්: අරණ්‍යසංඥා නිසා වන එකත්වය යි. ඒ මහණ ග්‍රාමසංඥාව පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දන්නේය. මනුෂ්‍යසංඥා පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දන්නේය. (එතෙකුදු වුව) අශුන්‍යතායෙක් ද ඇත, කිමෙක යත්: අරණ්‍යසංඥා නිසා වන එකත්වය යි (කියා ද දන්නේ ය). මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි මොනොවට නුවණින් දනී. යමෙක් එහි ඉතිරි වේ ද, විද්‍යමාන වන එය ඒ මේ අශුන්‍යතාව ඇතැ’ යි නුවණින් දන්නේ ය. ආනන්දය, මෙසෙයිනුදු ඒ මහණ හට තෙල යථාභූතවූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ ශුන්‍යතාවක්‍රාන්තියෙක් වෙයි.

තවද ආනන්දය, මහණ මනුෂ්‍යසංඥා සිත්හි නො කොට, අරණ්‍යසංඥා සිත්හි නො කොට, පෘථිවිසංඥා පිණිස එකත්වය සිත්හි කෙරෙයි. ඔහුට පෘථිවිසංඥායෙහි සිත අවතරණ කෙරෙයි. පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට බැසගනී. ආනන්දය, යම් පරිදි ගෙරි සමෙක් සියක්තුලින් මොනවට හිදුවන ලද්දේ පහවගිය රැළි ඇත්තේ වේ ද, ආනන්දය, එපරිදි ම මහණ මේ පොළොවෙහි යම් උස්පහත් තැන් ඇද්ද, නදීන් හා දුර්ගමස්ථාන ඇද්ද, කණුකටු තැන් ඇද්ද, පර්‍වතයෙන් විෂම වූ තැන් ඇද්ද, එ හැම සිත්හි නො කොට පෘථිවිසංඥා නිසා එකත්වය මෙනෙහි කෙරේ ද, ඔහුට පෘථිවිසංඥායෙහි සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චය කොට ගනී. ඒ මහණ මෙසේ නුවණින් දනී: මනුෂ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද ඔහු මෙහි නැත. අරණ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. වැලිත් මේ දරථමාත්‍රයෙක් ඇත. කිමෙක යත්: පෘථිවිසංඥා නිසා වන එකත්වයයි කියා යි. හේ මනුෂ්‍යසංඥා පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී, අරණ්‍යසංඥා පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී, (එහෙත්) මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: පෘථිවිසංඥා නිසා වන එකත්වයයි කියාත් දනී. මෙසේ එහි යමෙක් නැද්ද එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇතැ’ යි නුවණින් දනී. මෙසෙයිනුදු ආනන්දය, ඔහුට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.

තවද ආනන්දය, මහණ අරණසංඥා මෙනෙහි නො කොට, පෘථිවිසංඥා මෙනෙහි නො කොට, ආකාසානඤ්චායතනසංඥා නිසා වන එකභාවය මෙනෙහි කෙරෙයි. ආකාසානඤ්චායතනසංඥා පිණිස ඔහුගේ සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චය කොට ගනී, හේ මෙසේ නුවණින් දනී: අරණ්‍යසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. පෘථිවිසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. (එහෙත්) මේ දරථමාත්‍රයෙක් ඇත. කිමෙක යත්: ආකාසානඤ්චායතනසංඥා නිසා වන ඒකත්වය කියායි. හේ අරණසංඥා පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. පෘථිවිසංඥා පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. එහෙත් මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: ආකාසානඤ්චායතනසංඥා නිසා වන එකත්වය කියාද දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.

තවද ආනන්දය, මහණ පෘථිවිසංඥා මෙනෙහි නො කොට, ආකාසානඤ්චායතනසංඥා මෙනෙහි නො කොට, විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා වන එකභාවය මෙනෙහි කෙරෙයි. විඤ්ඤාණඤ්චායතනසංඥායෙහි ඔහුගේ සිත බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනී: ‘පෘථිවිසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද ඔහු මෙහි නැත. ආකාසානඤ්චායතනසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා වන යම් එකීභාවයෙක් වේ ද, මේ දරථ මාත්‍රා මතුයෙක් ඇත කියා යි. හේ පෘථිවිසංඥා පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. ආකාසානඤ්චායතනසංඥා පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. විඤ්ඤාණඤ්චායතනසංඥා නිසා එකඟභාවයෙක් වේ ද, මේ අශුන්‍යතා ඇති’ යි දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී, එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.

තවද ආනන්දය, මහණ ආකාසානඤ්චායතනසංඥා සිත්හි නො කොට, විඤ්ඤාණඤ්චායතනසංඥා සිත්හි නො කොට, ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා වන එකභාවය මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත ආකිඤ්චඤ්ඤායතනසංඥායෙහි බසී, පහදියි, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනී: ‘ආකාසානඤ්චායතන සංඥාව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. විඤ්ඤාණඤ්චායතනසංඥාව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. එහෙත් මේ දරථ මාත්‍රායෙක් ඇත. කිමෙක යත්: ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා වන එකභාවය යි කියා යි. හේ ආකාසානඤ්චායතනසංඥා පිලිබඳ ශුන්‍ය යයි නුවණින් දනී. විඤ්ඤාණඤ්චායතනසංඥාව පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. (එතෙකුදු වුව) මේ අසුඤ්ඤතායෙක් ද ඇත. කිමෙක යත්: ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා වන එකත්වය වෙතී නුවණින් දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එය ශුන්‍ය යයි නුවණින් දකී, යමෙක් එහි ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්දය, මෙසෙයිනුදු ඒ මහණහට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.

තවද ආනන්දය, මහණ විඤ්ඤාණඤ්චායතනසංඥා මෙනෙහි නො කොට, ආකිඤ්චඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, නෙවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා නිසා එකත්වය මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි බැසගෙන සිටී, පහදියි, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනී: ‘විඤ්ඤාණඤ්චායතන සංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. ආකිඤ්චඤ්ඤායතනසංඥාව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. වැලිත් මේ දරථ මාත්‍රායෙක් ද ඇත. කිමෙක යත්: නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නිසා වන එකත්වය වෙති’ යි දනී, හේ විඤ්ඤාණඤ්චායතන සංඥාව පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. ආකිඤ්චඤ්ඤායතනසංඥාව පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. වැලිත් මේ අශුන්‍යත්වයෙක් ද ඇත, කිමෙක යත්: නෙවසඤ්ඤානාසඤ්ඤායතනය පිලිබඳ එකත්වය වෙති’යි දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී. යමෙක් එහි ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්දය, මෙසෙයිනුදු ඒ මහණ හට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්තිය වෙයි.

තවද ආනන්දය, මහණ ආකිඤ්චඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, අනිමිත්තචෙතොසමාධිය (විදර්ශනාචිත්ත ස්මධිය) නිසා එකභාවය මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත අනිමිත්තචෙතොසමාධියයෙහි බැසගෙන සිටී, පහදියි, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනියි: ‘ආකිඤ්චඤ්ඤායතනසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මෙහි නැත. වැලිත් මේ දරථමාත්‍රායෙක් ද ඇත. කිමෙක යත්: ‘මේ කය ම නිසා යම් ෂඩායතනප්‍රතිසංයුක්ත වූ ජීවිතයට ප්‍රත්‍යය වූ ප්‍රවෘත්ත දරථමාත්‍රයෙක් ඇති’ යි දනී. හේ ආකිඤ්චඤ්ඤායතනසංඥා පිලිබඳ මේ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා පිලිබඳ සංඥාගතය ශුන්‍ය යයි නුවණින් දනී. වැලිත් මේ අශුන්‍යතායෙක් ද ඇත. කිමෙක යත්: මේ කය ම නිසා වූ ෂඩායතනප්‍රතිසංයුක්ත වූ ජීවිතප්‍රත්‍යය දරථමාත්‍රායෙක් ඇති’ යි දනී. මෙසේ යමෙක් එහි නැද්ද, එයින් එය ශුන්‍ය යයි නුවණින් දකී. යමෙක් එහි ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි නුවණින් දනී. ආනන්දය, මෙසෙයිනුදු ඒ මහණ හට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ පරිශුද්ධ වූ තෙල ශුන්‍යතාවක්‍රාන්ති වෙයි.

තවද ආනන්දය, මහණ ආකිඤ්චඤ්ඤායතසංඥා මෙනෙහි නො කොට, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා මෙනෙහි නො කොට, අනිමිත්තචේතොසමාධිය සඳහා එකත්වයක් මෙනෙහි කෙරෙයි. ඔහුගේ සිත අනිමිත්තචේතොසමාධියයෙහි බසී, පහදී, මොනොවට පිහිටයි, නිශ්චයට යෙයි. හේ මෙසේ නුවණින් දනියි: ‘අනිමිත්තචෙතොසමාධිය ද අභිසංස්කෘත ය, ආභිසංචෙතසික ය, යම් කිසිවක් අභිසංස්කෘතත්, ආභිසංචෙතසිත් වේ නම් ඒ අනිත්‍ය ය, නිරොධස්භාව ඇති’ යි නුවණින් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයන් කෙරෙනුදු වෙසෙසින් මිදෙයි, භවාස්‍රවයන් කෙරෙනුදු සිත මිදෙයි, අවිද්‍යාස්‍රවයන් කෙරෙනුදු සිත මිදෙයි. විමුක්ත වත් මැ විමුක්ත යැ යන ඥානය වෙයි. ජාතිය ක්ෂීණ ය, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමවන ලද, කරණී කරන ලද, මේඅර්හත්වය පිණිස මතුයෙහි කිසිදු නැති’ යි නුවණින් දනී. හේ මෙසේ නුවණින් දනී: කාමස්‍රව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මේ ආර්‍ය්‍යමාර්ග-ඵලයෙහි නැත. භවාස්‍රව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මේ ආර්‍ය්‍යමාර්ග-ඵලයෙහි නැත. අවිද්‍යාස්‍රව නිසා යම් දරථ කෙනෙක් ඇද්ද, ඔහු මේ ආර්‍ය්‍යමාර්ග-ඵලයෙහි නැත. වැලිත් මේ දරථමාත්‍රයෙක් ද ඇති. කිමෙක යත්: මේ කය ම නිසා ෂඩායතනසම්ප්‍රයුක්ත ජීවිතප්‍රත්‍යය වූ දරථමාත්‍ර යයි දනී. හේ කාමාස්‍රවයෙන් මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. භවාස්‍රවයෙන් මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. අවිද්‍යාස්‍රවයෙන් මේ සංඥාගතය ශුන්‍ය යයි දනී. වැලිත් මේ අශුන්‍යතායෙක් ද ඇති. කිමෙක යත්: ‘මේ කය ම නිසා ෂඩායතනප්‍රතිසංයුක්ත වූ ජීවිතප්‍රත්‍යය වූ දරථමාත්‍ර සංඛ්‍යාත අශුන්‍යතා යයි දනී. මෙසේ එහි යමෙක් නැද්ද, එයින් ඒ ශුන්‍ය යයි නුවණින් දකී. එහි යමෙක් ඉතිරි වැ ඇද්ද, විද්‍යමාන වූ එය ඇති’ යි දනී. ආනන්දය, මෙසේ ඒ මහණ හට යථාභූත වූ අවිපර්‍ය්‍යස්ත වූ නිරුපක්ලෙශ වූ තෙල පරමානුත්තර ශුන්‍යතාවක්‍රාන්ති වේ.

ආනන්දය, අතීත කාලයෙහි යම් මැ ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රහ්මණ කෙනෙක් හෝ නිරුපක්ලෙශ පරමානුත්තර ශුන්‍යතාඵලසමාපත්තියට පැමිණ විසූහු ද, ඒ හැම මහණ බමුණෝ පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්‍යතාවට ම පැමිණ විසුහු. ආනන්දය, අනාගත කාලයෙහි යම් මැ ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ කෙනෙක් වෙත් ද, ඔහු පරමානුත්තර පරිශුද්ධ ශුන්‍යතාව උපයා වාස කෙරෙත් ද, එ හැම පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්‍යතාව ම උපයා ගෙන වෙසෙත්. ආනන්දය, දැන් යම් මැ ශ්‍රමණ හෝ බ්‍රාහ්මණ කෙනෙක් පරිශුද්ධ පරමානුත්තර ශුන්‍යතාවට පැමිණ වෙසෙත් ද, එ හැම පරිශුද්ධ පරමානුත්තර මේ ශුන්‍යතාවට මැ පැමිණ වෙසෙති. ආනන්දය, එහෙයින් පරිශුද්ධ පරමානුත්තර ශුන්‍යතාව උපයාගෙන වසම්හ’ යි ආනන්දය, මෙසේ තොප හික්මෙන්නේ ය.

භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බුදුවදන් සතුටින් පිළිගත්හ.

පළමුවැනිචූළසුඤ්ඤතසූත්‍රය නිමියේ ය.