දන්තභූමි සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

තෙවැනි සුඤ්ඤත වර්ගය

3.3.5

දන්තභූමි සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දක නිවාප නම් වූ වෙළුවනයෙහි වැඩවසන සේක. තව ද එසමයෙහි අචිරවත සමණුද්දෙස අරණ්‍යකුටිකායෙක්හි වෙසෙයි. එකල්හි ජයසෙන රාජකුමාර ජංඝාවිහරණයෙන් ඔබැ මොබැ හැසිරෙනුයේ අචිරවත සමණුද්දෙස යම් තැනෙක්හි ද එතැන්හි එළැඹියේ ය. එළැඹ අචිරවත සමණුද්දෙසයන් සමග සතුටු විය, සතුටුවිය යුතු සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් ජයසෙන රාජකුමාර අචිරවත සමණුද්දෙසනට තෙල කී: “භවත ගිනිවෙස්න, මෙ සස්නෙහි මහණ අප්‍රමත්ත වැ ආතාපන වීර්‍ය්‍ය ඇති වැ ප්‍රහිතාත්ම වැ වසනුයේ චිත්තෛකාග්‍රතා ලබන්නේ ය යන මෙ කරුණ මා විසින් අසන ලදැ” යි.

රාජ කුමාරය, තෙල එ සේ මැය, රාජ කුමාරය, තෙල එසේ මැ ය. මෙ සස්නෙහි මහණ අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වාස කරනුයේ චිත්තෛකාග්‍රතා ලබන්නේ යයි ඇසූ සේකි.

භවත් ගිනිවෙස්න, ඇසූ පරිදි පුහුණු කළ පරිදි මට දහම් දෙසාවයි අයැද සිටිමි.

රාජ කුමාරය, මම තොපට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසන්නට නො හැකියෙමි. රාජ කුමාරය, මම තොපට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසන්නෙම් නම් තෙපි ද මබස අරුත් අවබොධ නො කරන්නහු නම් ඒ මට කායක්ලමථුයෙක් වෙයි, ඒ මට විහිංසායෙක් වෙයි.

භවත් අග්ගිවෙස්සනයෝ මට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසත්වා. මම භවත් අග්ගිවෙස්සනයන්ගේ කී අරුත් නුවණින් දන්නෙම් නම් මනා මැ නු.

රාජ කුමාරය, මම තොපට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසමි. ඉදින් තෙපි මබස අරුත් නුවණින් දැනගන්නහු නම් තෙල් මැනැව, ඉදින් තෙපි මබස අරුත් දැන නො ගන්නහු නම් තමා නො දන්නා තන්හි මැ සිටුහු නම්, එහි ලා මතුයෙහි මා නුපුළුවුස්නා බව යයි.

භවත් අග්ගිවෙස්සනයෝ මට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසත්වා, ඉදින් මම භවත් අග්ගිවෙස්සනයන්ගේ බස අරුත් නුවණින් දන්නෙම් නම්, මෙසේ මේ මැනව, ඉදින් මම භවත් අග්ගිවෙස්සනයන්ගේ බස අරුත් නුවණින් නො දන්නෙම් නම් තමන් සතු නො දන්නා තන්හි මැ සිටීම් නම් එහි දී භවත් අග්ගිවෙස්සනයන් මතුයෙහි නො පුළුවුස්මි’ යි.

එසඳ අචිරවත හෙරණ ජයසෙන රජකුමරහට ඇසූ පරිදි පුහුණු කළ පරිදි දහම් දෙසී. මෙසේ දෙසූ කළ ජයසෙන රජකුමර අචිරවත හෙරණහට තෙල කී: “භවත් ගිනිවෙස්න, මහණ නොපමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවනට මෙහෙයූ සිත් ඇති ව වසනුයේ චිත්තෛකාග්‍රතා ලබා යන යමෙක් ඇද්ද, තෙල නො වන්නෙකි. වන්නට අවකාශ ද නැති. එ සඳ ජයසේන රජකුමර අචිරවත හෙරණ හට අස්ථානතා ද අනවකාසතා ද පවසා හුනස්නෙනේ නැගී ගියේ.

එසඳ අචිරවත හෙරණ ජයසෙන රජකුමරු නැඟී යන්නා හා මැ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පස් වැ හින. එකත් පස් වැ හුන් එසඳ අචිරවත හෙරණ ජයසෙන රජකුමරු හා යම් පමණ කථා සංලාපයෙක් වී ද, එ හැම භාග්‍යවතුන් වහන්සේට සැලකෙළේ.

මෙසේ සැල කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ අචිරවත හෙරණ හට තෙල වදාළ සේක: “ගිනිවෙස්න, යම් දහමෙක් කාමයෙන් නික්මැ යෑමෙන් දත යුතු වේ ද, නික්මීමෙන් දැක්ක යුතු වේ ද, නික්මීමෙන් ලැබිය යුතු වේ ද, නික්මීමෙන් පසක්කළ යුතු වේ ද, ඒ දහම මෙහි ලා කොයින් ලැබේ ද? ජයසෙන රජකුමර දෙවැදෑරුම් කාමමධ්‍යයෙහි වසනුයේ කාමයන් වළඳ කරනුයේ කාම විතර්කයන් විසින් කනු ලබනුයේ කාමපරිදාහයෙන් දැවෙනුයේ කාමපර්‍ය්‍යෙෂණයෙහි උත්සුක වූයේ ඒකාන්තයෙන් ඒ දහම දන්නේ වේව’යි දක්නේ වෙව’යි පසක් කරනුයේ වේව’යි යන තෙල කරුණ නො වෙයි. ගිනිවෙස්න, යම් පරිදි හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගොදම්‍යයෝ දෙදෙනෙක් හෝ සුදාන්ත වූවාහු සුවිනීත වූවාහු ඇද්ද, හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගොදම්‍යයෝ දෙදෙනෙක් හෝ අදාන්ත වූවාහු අවිනීත වූවාහු ඇද්ද, ගිනිවෙස්න, ඒ කෙසේ හඟිහි, සුදාන්ත වූ සුවිනීත වූ යම් හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගොදම්‍යයෝ දෙදෙනෙක් හෝ ඇද්ද, ඔහු දැමුණාහු මැ දාන්තකාරණයට යන්නා හු නො වේ ද? දැමුණාහු මැ දාන්ත කාරණයට දාන්තභූමියට යන්නාහු නො වේ ද?

වහන්ස, එසේ යැ.

යම් ඒ හස්තිදම්‍යයෝ දෙදෙනෙක් හෝ අශ්වදම්‍යයෝ දෙදෙනෙක් හෝ ගොදම්‍යයෝ දෙදෙනෙක් හෝ අදාන්ත වූවාහු අවිනීත වූවාහු ඇද්ද, ඔහු අදාන්ත වැ මැ සිට සුදාන්ත සුවිනීත වූ ඒ හස්තිදම්‍යයන් දෙදෙනා සෙයින් අශ්වදම්‍යයන් දෙදෙනා සෙයින් ගොදම්‍යයන් දෙදෙනා සෙයින් දාන්ත කාරණයට යන්නාහු වේ ද, අදාන්ත වැ මැ සිට දාන්ත කාරණයට යන්නාහු වේ ද,

වහන්ස, තෙල නො වන්නේ මැ යි.

ගිනිවෙස්න, එපරිදි මැ යම් දහමෙක් නික්මීමෙන් දත යුතු ව ද නික්මීමෙන් දැක්ක යුතු වේ ද, නික්මීමෙන් ලැබිය යුතු වේ ද, නික්මීමෙන් පසක් කළ යුතු වේ ද, ජයසෙන රජ කුමර කාමමධ්‍යයෙහි වසනුයේ කාමයන් වළඳ කරනුයේ කාමවිතර්කයන් විසින් කනු ලබනුයේ කාමපරිදාහයෙන් දැවෙනුයේ කාමපර්‍ය්‍යෙෂණයෙහි උත්සුක වූයේ එකැතින් ඒ දහම් දන්නේ වේව’යි දක්නේ වේව’යි පසක් කරනුයේ වේව’යි යන තෙල කරුණ නො වේ.

ගිනිවෙස්න, යම් පරිදි ගමකට හෝ නිගමයකට හෝ නුදුරෙහි මහාපර්වතයෙක් වේ ද, යහළුවෝ දෙදෙනෙක් ඒ ගමින් හෝ නියම් ගමින් හෝ නික්මැ අතිනත් ගෙන් ඒ පර්වතය යම් තැනෙක් හි ද එහි එළැඹෙන්නාහු ය. එළැඹ එක් යහළුවෙක් යට පවුපාත්හි සිටිනේ ය. එක් යහළුවෙක් පර්වත මස්තකයට නඟින්නේ ය. යට පවුපාත්හි සිටි යහළු පර්වත මස්තකයෙහි සිටි යහළුහට මෙසේ කියන්නේ ය: ‘යහළුව, තෙපි ගල් මුදුන්හි සිටියහු කුමක් දක්නා ව’යි. හේ මෙසේ කියන්නේ ය: ‘යහළුව මම් ගල් මුදුන්හි සිටියෙම් රමණී අරම් රමණී වන රමණී බිම් පෙදෙස් රමණී පොකුණු දක්මි’යි. හේ මෙසේ කියන්නේ ය: ‘යහළු, යම් හෙයෙකින් තෙපි උපරි පර්වතයෙහි සිටියහු රමණී අරම් රමණී වන රමණී බිම්පෙදෙස් රමණී පොකුණු දක්නහු නම් තෙල අස්ථාන යැ අනවකාශ ය’යි. එසඳ පර්වත මස්තකයෙහි සිටි යහළු යට පවුපාතට බැස ඒ යහළුවා අත ගෙන් උපරි පර්වතයට නඟා මොහොතක් අස්වසා මෙසේ කියන්නේ ය: ‘යහළු, තෙපි උපරි පර්වතයෙහි සිටියහු කුමක් දක්නාව’ යි. හේ මෙසේ කියන්නේ ය: ‘යහළු, මම් උපරි පර්වතයෙහි සිටියෙම් රමණී අරම් රමණී වන රමණී බිම් පෙදෙස් රමණී පොකුණු දක්මි’යි. හේ මෙසේ කියන්නේ ය: ‘යහළු, මෙවිටැ මැ තොප විසින් කියන ලද: ‘ඇපි මෙසේ දනුම් හ: යහළු යම් හෙයෙකින් උපරි පර්වතයෙහි සිටියහු රමණී අරම් ... රමණී පොකුණු දක්නහු ද, තෙල අස්ථාන යැ, අනවකාශ ය’ යි. තව ද යළි මෙවිට මැ තොප විසින් කියන ලද: ඇපි මෙසේ දනුම් හ: යහළු මම් ගල්මුදුන්හි සිටියෙම් රමණී අරම් ... රමණී පොකුණු දක්මි’යි. හේ මෙසේ කියන්නේ ය: ඒ එසේ මැ යැ. යහළු, මම් මේ මහා පර්වතයෙන් අවුරන ලදුයෙම් දැක්ක යුතු දෑ නො දිටි මි’යි.

එසෙයින් ම ගිනිවෙස්න, තෙල මහාපර්වතයට වඩා ඉතා මහත් වූ අවිද්‍යාස්කන්ධයෙන් ජයසෙන රජකුමර අවුරන ලද වළහන ලද වෙලන ලද හාත්පසින් බඳනා ලදි. හේ ඒකාන්තයෙන් කාමයෙන් නික් මැ යෑමෙන් දත යුතු නික්මීමෙන් දැක්ක යුතු නික්මීමෙන් පැමිණිය යුතු නික්මීමෙන් පසක්කළ යුතු යම් චිත්තෛකාග්‍රතා ධර්මයෙක් ඇද්ද, ජයසෙන රජකුමර වත්කම් කෙලෙස්කම් මැද වසනුයේ කාමයන් වළඳනුයේ කාමවිතර්කයන් විසින්, කනු ලබනුයේ කාමපරිදාහයෙන් දැවෙනුයේ කාමපර්යේෂණයෙහි උත්සුක වූයේ ඒකාන්තයෙන් ඒ දහම දන්නේ යැ හෝ දක්නේ යැ හෝ පසක් කරන්නේ යැ හෝ යන තෙල කරුණ නො වන්නේ ය. ඉදින් ගිනිවෙස්න, ජයසෙන රජකුමර හට මේ උපමාවෝ දෙදෙන තා ලකුණු කොට හෙළි වෙත් නම් තොපට ජයසෙන රජකුමර පහදින්නේ ය යනුදු ප්‍රසන්න ව තොපට සත්කාර කරන්නේ ය යනුදු අසිරි නො වේ.

වහන්ස, භාග්‍යවතුන්වහන්සේ ලකුණු කොට හෙළි වන්නා සෙයින් කෙසේ නම් මා ලකුණු කොට ජයසේන රජකුමරහට පුනපුනා අසිරියට නිසි වූ පෙර නො ඇසූවිරූ මේ උභය උපමාවෝ හෙළි වෙත් ද.

ගිනිවෙස්න, යම් පරිදි මුර්ධාභිෂික්ත ක්ෂත්‍රිය රජ නාගවනික හස්තිගොපයක්හු අමතාද “සගය, නාගවනිකය, තෝ එ රජුගේ ඇතු නැඟී නාගවනයට වැද අරන්වැසි නාගයකු සොයා බලා රජු සතු නාගයාගේ ගෙලෙහි ලා බඳනේ යයි. ගිනිවෙස්න, නාගවනිකයා මූර්ධාභිෂික්ත ක්ෂත්‍රිය රජ හට එසේ යැ දෙවයෙනි, පිළිවදන් දී රජුගේ ඇතු නැඟී නාග වනයට වැද අරන්වැසි නාගයකු සොයා බලා රාජනාගයාගේ ගෙලෙහි බඳනේ ය. රාජනාගයා තෙල ඇතු එලියට නෙරනේ වෙයි. ගිනිවෙස්න, මෙතෙකිනුදු ආරණ්‍යක නාගයා අභ්‍යවකාශ ගත වූයේ වෙයි. ගිනිවෙස්න, යම් නාගවනයෙක් ඇද්ද, ආරණ්‍යක නාගයෝ එහ පැවැති ගෙධ ඇත්තා හු ම ය. නාගවනිකයා මූර්ධාභිෂික්ත ක්ෂත්‍රිය රජ හට දෙවයිනි, ආරණ්‍යක නාගයා එලියට අළැයි සැල කරන්නේ ය.

එසඳ ගිනිවෙස්න, මුර්ධාභිෂික්ත ක්ෂත්‍රිය රජ හස්තිදමකයකු ඇමතී: සගය හස්තිදමකය, තෝ ඒ ආරණ්‍යක වූ මැ සැහැවි සන්හිඳුවීම සඳහා අරණ්‍යක වූ මැ ස්වරසංකල්ප සන්හිඳුවනු සඳහා ආරණ්‍යක වූ මැ පීඩා ක්ලමථු පරිදාහයන් සන්හිඳුවනු සඳහා ග්‍රාමාන්තයෙහි සිත් අලවාලනු සඳහා මිනිසුනට කල් වූ සැහැවියෙහි පිහිටුවාලනු සඳහා ආරණ්‍යක නාගයා දමනය කරව’යි. ගිනිවෙස්න, දෙවයෙනි, එසේ යැයි හස්තිදමක මුදුනෙහි බිසෙස් කළ කැත් රජහට පිළිවදන් දී, මහත් ටැඹක් පොළොවෙහි පිහිටුවා ආරණ්‍යක නාගයාගේ ගල ඊමත බඳී. ආරණ්‍යක වූ මැ සැහැවි සන්හිඳුවනු සඳහා ආරණ්‍යක් වූ මැ ස්වර සංකල්ප සන්හිඳුවනු සඳහා ආරණ්‍යක වූ මැ පීඩා ක්ලමථු පරිදාහයන් සන්හිඳුවනු සඳහා, ග්‍රාමාන්තයෙහි සිත් අලවාලනු සඳහා, මිනිස්නට කල් වූ සැහැවියෙහි පිහිටුවාලනු සඳහා වෙයි. හස්තිදමක නිර්දොෂ වූ කර්ණ සුඛ වූ ප්‍රෙමණීය වූ හෘදයංගම වූ පුරවැසි වූ බහුජනකාන්ත වූ බහුජන මනාප වූ යම් වචන කෙනෙක් ඇද්ද, එබඳු වචනයෙන් බෙණෙයි. ගිනිවෙස්න, යම් කලෙක ආරණ්‍යක නාගයා හස්තිදමකයාගේ නිදොස් වූ කන්කලු වූ පෙම් කළ යුතු ළගන්නා වූ පුරවැසි වූ බහුජන කාන්ත වූ බහුජන මනාප වූ යම් බස්හු ඇද්ද, එවන් බසින් බණනු ලබනුයේ අසනු කැමැති වේ ද, කන් නතු කෙරේ ද, දැනගන්නට සිත් එළවා ද, උහුට හස්තිදමක මත්තෙහි තණ කබල හා දිය එළවයි.

ගිනිවෙස්න, යම් තැනෙක පටන් ආරණ්‍යක නාග හස්තිදමකයාගේ තණ කබල හා දිය පිළිගනීද, එහිදී හස්තිදමකහට මෙ සිත් වෙයි: ආරණ්‍යකනාග දැන් ජීවත් වන්නේය’යි. ඔහුට හස්තිදමක මත්තෙහි කර්මකාරණ කෙරෙයි: නඟාගන භවත, බහාතබ භවත යි. ගිනිවෙස්න, යම් තැනෙක පටන් ආරණ්‍යකනාග හස්තිදමකයාගේ නඟා ගැනුම් බහා තැබුම් හි වචනකරු වූයේ අවවාද පිලිගෙන කරනුයේ වේ ද, හස්තිදමක තුලුන් මතුයෙහි කර්මකාරණ කෙරෙයි: ‘භවත, ඉදිරියටම යා, වටාලා ඒ’යි කියා යි. ගිනිවෙස්න, යම් කලෙක ආරණ්‍යකනාගයා හස්තිදමකයාගේ අභික්‍රම ප්‍රතික්‍රම වචනකරු වේ ද, අවවාද පිලිගෙන කරන්නේ වේ ද, හස්තිදමක තුලුන් මතුයෙහි දු කාරණ කෙරෙයි: ‘භවත, නැඟී සිටුව, භවත හිඳුව’යි. ගිනිවෙස්න, යම් කලෙක ආරණ්‍යකනාගයා හස්තිදමකයාගේ උත්ථාන නිෂද්‍යාවිධානයෙහි වචනකරු වේ ද, අවවාද ප්‍රතිකර වේ ද, හස්තිදමක තුලුන් මතුයෙහි අනිඤ්ජන කාරණ කෙරෙයි: ඔහුගේ සොඬෙහි මහත් ඵලකයක් බඳියි, තෙබගත් අත් ඇති පුරුෂයෙක් ග්‍රීවාමතුයෙහි හිඳුනේ වෙයි. තෙබගත් අත් ඇති පුරුෂයෝ වටාගෙන පිරිවරා සිටිත්: හස්තිදමක ද දිගු තෙබයටත් ගෙන පෙරට සිටියේ වෙයි. උයිත් අනිඤ්ජන කාරණ කැරනුයේ ඉදිරි පා නොසලයි. පසු පා නො සලයි, පෙරට කය නො සලයි, පසු කය නො සලයි, හිස නො සලයි, කන් නොසලයි, දත් නො සලයි, නඟුට නො සලයි, සොඬ නො සලයි. ඒ ආරණ්‍යකනාග සිරිපහර කඩුපහර හීපහර පරශස්ත්‍රප්‍රහාර බෙර පණා බෙර වස්දඬු සක් දෙණ්ඩිම හඬ සහනු වෙයි. හළ සර්වවක්‍රදෝෂ ඇතියේ හළ කසට ඇතියේ රාජාර්හ වූයේ රාජාවයවයෙක යන පරිගණනාවට යෙයි.

ගිනිවෙස්න, එපරිදි මැ මෙලො වැ අර්හත් සම්‍යක් සම්බුද්ධ විද්‍යාචරණයෙන් යුත් සුගත වූ ලොකය දන්නා වූ නිරුත්තර පුරුෂදම්‍යසාරථි වූ දෙවිමිනිස්නට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ පහළ වෙති. ඔබ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ මේ ලොකය ද මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාව ද තුමූ විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට ප්‍රකාශ කෙරෙති. ඔබ ආදි කල්‍යාණ කොට, මධ්‍යකල්‍යාණ කොට පර්‍ය්‍යවසානකල්‍යාණ කොට, අර්ථ සහිත කොට, බ්‍යඤ්ජන සහිත කොට, කෙවල පරිපූර්ණ කොට, දහම් දෙසති. පරිශුද්ධ කොට බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති.

ඒ ධර්මය ගැහැවියෙක් හෝ ගැහැවි පුතෙක් හෝ එක්තරා කුලයෙක උපන්නෙක් හෝ අසයි. හෙතෙම ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවයි. හේ ඒ ශ්‍රද්ධාව ලැබීමෙන් යුක්ත වූයේ මෙසේ සිතයි: “ගෘහවාසය සම්බාධ ය, රාගාදි රජසුන්ට මාර්ගයෙකි, පැවිද්ද එලිමහණක් වැන්න, ඒකාන්තයෙන් පරිපුර්ණ වූ ඒකාන්තයෙන් පරිශුද්ධ වූ මේ සංඛලිඛිත බ්‍රහ්මචර්‍ය්‍යය පුරන්නට ගිහිගෙයි වසන්නහු විසින් පහසු නො වේ. මම කෙහෙ රවුළු බහා කහවත් හැඳ පෙරෙව ගිහිගෙන් නික්මැ අනගාර්‍ය්‍ය සංඛ්‍යාත පැවිද්දට පැමිණෙන්නෙම් නම් යෙහෙකැ”යි. හෙතෙම පසු කාලයෙක ස්වල්පවූ හෝ භොගරාශිය හැර මහත් වූ හෝ භොගරාශිය හැර ස්වල්ප වූ හෝ නෑ පිරිවර හැර මහත් වූ හෝ නෑ පිරිවර හැර කෙසේ රැවුළු බහා කහවත් හැඳ පෙරෙව, ගිහිගෙන් නික් මැ අනගාර්‍ය්‍ය සංඛ්‍යාත පැවිද්දට පැමිණෙයි.

ගිනිවෙස්න, මෙතෙකින් ආර්‍ය්‍යශ්‍රාවක අභ්‍යවකාශගත වූයේ වෙයි. ගිනිවෙස්න, දෙවිමිනිස්හු පඤ්චකාම ගුණයෙහි ගෙධ වෙති. තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ තෝ එම සිල්වත් ව, ප්‍රාතිමෝක්ෂ සංවර සංවෘත ව වාස කර ආචාර ගොචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි බිය දක්නා සුලු ව සිකපද සමාදන් ව හික්මෙව”යි.

ගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක සිල්වත් වේ ද, ප්‍රාතිමොක්ෂසංවර සංවෘත ව වාස කෙරේ ද, ආචාරගොචර සම්පන්න ව අණුමාත්‍ර වරදෙහි බිය දක්නාසුලු ව සිකපද සමාදන් ව හික්මේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති. “මහණ, තෝ එම ඉන්ද්‍රියෙහි ගුප්තද්වාර වව, ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී නො වව, අණුව්‍යඤ්ජනග්‍රාහී නො වව, යම් කරුණෙකින් චක්ෂුරින්ද්‍රියයෙහි අසංවෘත ව වාස කරන තෙල මහණ අභිධ්‍යාදෞර්‍මනස්‍ය සංඛ්‍යාත පාපක අකුශලධර්මයෝ ලුහුබැඳගනිත් ද, එහි සංවරය පිණිස පිළිපදුව, චක්ෂුරින්ද්‍රිය රක්ව, චක්ෂුරින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව, කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගඳ ආඝ්‍රාණය කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍ය පැහැස ... මනසින් දහම් දැන නිමිත්තග්‍රාහී නො වව, අණුව්‍යඤ්ජනග්‍රාහී නො වව, යම් හෙයෙකින් මනින්ද්‍රියයෙහි අසංවෘත ව වාස කරන තෙල මහණහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සංඛ්‍යාත පාපක අකුශලධර්මයෝ ලුහුබැඳගනිත් ද, එහි සංවරය පිණිස පිළිපදුව, මනින්ද්‍රිය රක්ව, මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙව” යි.

ගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක ඉන්ද්‍රියෙහි ගුප්තද්වාර වේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ, තෝ ඒ, භෝජනයෙහි මාත්‍රඥ වව, නුවණින් ප්‍රත්‍යවේක්ෂා කොට ආහාර වළඳ කරව, (කිසේ යැ යත්) දවයට නො මැ වෙයි, මද වඩන්නට නො වෙයි, උනුතැන් පුරවන්නට නො වෙයි, විභුෂණයට නො වෙයි. මේ කය සිටිනු පිණිස යැපෙනු පිණිස මැ වෙයි. විහිංසා සන්හිඳුවනු පිණිස බ්‍රහ්මචර්යයට අනුග්‍රහ පිණිස මැ වෙයි. මෙසේ පැරණි වේදනා නස්මි, නව වේදනා නූපදවමි, මාගේ ජීවිතයාත්‍රා ද වෙයි. අනවද්‍යතා ඵාසුවිහාර හා වෙතී” කියා යි.

ගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක භොජනයෙහි මාත්‍රඥ වේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ තෝ ඒ, නිදි වැරීමෙහි යෙදී වාස කර, දහවලැ සක්මනිනුදු හිඳුමිනුදු ආවරණීය දහමින් සිත පිරිසිදු කර, රැයැ පළමුයමැ චඞ්ක්‍රමනයෙනුදු නිෂද්‍යායෙනුදු ආවරණීය දහමින් සිත පිරිසුදු කර, රැයැ මැදුම්යමැ දකුණු ඇලයෙන් ගෙන පය මත පය මඳක් හයාතබා, ස්මෘතිමත් ව සම්ප්‍රඥාන ඇති වැ ‘නැඟීගන්මි’ යන සන් මෙනෙහි කොට සිංහශය්‍යා කර, රැයැ පැසුළුයමැ නැඟීසිට චඞ්ක්‍රමනයෙනුදු නිෂද්‍යායෙනුදු ආවරණීය දහමින් සිත පිරිසුදු කර” යි.

ගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක නිදි වැරීමෙහි යෙදුණේ වේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ, තෝ ඒ, සතිසම්පජඤ්ඤයෙන් සමන්වාගත වව, ඉදිරිගමන්හි දු පෙරළාඊම්හි දු සම්පජානකාරී වව, අලොකන විලොකන යෙහි සම්පජානකාරී වව, සමිඤ්ජන ප්‍රසාරණයෙහි සම්පජානකාරී වව, සඞ්ඝාටි පාත්‍රචීවර ධාරණයෙහි සම්පජානකාරී වව, ඛාද්‍යභොජ්‍යලෙයපෙය සඞ්ඛ්‍යාත සියුඅහරෙහි සම්පජානකාරී වව, අස්පස්කිසෙහි සම්පජානකාරී වව, ගමන-ස්ථාන-නිෂිදන-ස්වප්න-ජාගර්‍ය්‍යා-භාෂණ-තුෂ්ණීම්භාව යන් මෙහි සම්පජානකාරී වව”යි.

ගිනිවෙස්න, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවක සතිසම්පජඤ්ඤයෙන් සමන්වාගත වේ ද, තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ, තෝ ඒ, ජනශුන්‍ය සෙනසුන් ඇසුරු කර, අරණැ, රුක්මුලැ, පවි යැ, කඳුරැ, ගිරිලෙනැ, සොහොනැ, වන පෙතැ, අබවස, පිදුරුකිළියැ” යි. හේ අරණ්‍ය යැ වෘක්ෂමූල යැ පර්‍වත යැ කන්දර යැ ගිරිගුහා යැ ශ්මශාන යැ වනප්‍රස්ත යැ, අභ්‍යවකාශ යැ පලාලපුඤ්ජ යැ යන ජනශුන්‍ය ශයනාසන භජන කෙරෙයි. හේ පසුබත්හි පිඬුවායෙන් වැළැකුණේ පලක් අවුළුවා උඩුකය ඍජු කොට තබා කර්මස්ථානාභිමුඛ කොට සිහි එළවා හිඳී. හේ පඤ්චස්කන්ධලොකයෙහි අභිධ්‍යාව දැහැ විගතාභිධ්‍ය සිතින් වාස කෙරෙයි. අභිධ්‍යායෙන් සිත පරිශොධන කෙරෙයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය දැහැ අව්‍යාපන්නචිත්ත වැ සර්වප්‍රාණහිතානුකම්පීව වැ වාස කෙරෙයි. ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂයෙන් සිත පරිශොධන කෙරෙයි. ස්ත්‍යානමිද්ධය දැහැ ආලොකසංඥා ඇති වැ ස්මෘතිමත් වැ සම්ප්‍රඥාන ඇති වැ පැහූ ථිනමිද්ධ ඇති වැ වාස කෙරෙයි. ථිනමිද්ධයෙන් සිත පරිශොධන කෙරෙයි. ඖද්ධත්‍යකෞකෘත්‍යයෙන් සිත පරිශෝධන කෙරෙයි. විචිකිත්සා දැහැ කුසල් දහම්හි කථඞ්කථා රහිත වැ තුනු විසිකිස් ඇති වැ වාස කෙරෙයි. විමතියෙන් සිත පිරිසිදු කෙරෙයි.

ඒ ආර්‍ය්‍යශ්‍රාවක චිත්තොපක්ලෙශ වූ ප්‍රඥාව දුබල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා කෙලෙස් තවන වැර ඇති ව නුවණින් දන්නේ සිහි ඇති වැ පඤ්චස්කන්ධලොකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය හැරපියා කයෙහි කය නුවණින් දක්නාසුලු ව වාස කෙරෙයි. වේදනායහි ... චිත්තයෙහි ... කෙලෙස් තවන වැර ඇතිව නුවණින් දන්නේ පඤ්චස්කන්ධලොකයෙහි අභිධ්‍යාදෞර්‍මනස්‍ය හැරපියා ධර්මයෙහි ධර්මය නුවණින් දක්නාසුලු ව වාස කෙරෙයි. ගිනිවෙස්න, යම් පරිදි හස්තිදමක මහත් ටැඹක් පොළොවෙහි සිටුවා ආරණ්‍යකනාගයාගේ ගෙලෙහි බඳනේ වේ ද, ආරණ්‍යක ස්වභාවයන් මඩනු පිණිස ය, ආරණ්‍යක වාක්සඞ්කල්ප මඩනු පිණිස ය, ආරණ්‍යක වූ මැ පීඩා ක්ලමථු පරිදාහ මඩනු පිණිස යැ, ග්‍රාමාන්තයෙහි අලවනු පිණිස යැ, මිනිස්නට කල් වූ සැහැවියෙහි සමාදන් කරවනු පිණිස යි. ගිනිවෙස්න, එපරිදි මැ ආර්‍ය්‍යශ්‍රාවකයාහට මේ සතර සීවටන්හු චිත්තොපනිබන්ධන වෙති. ගෘහශ්‍රිත වූ මැ සැහැවි මඩනු පිණිස යැ, ගෘහශ්‍රිත වූ මැ ස්වරසඞ්කල්ප මඩනු පිණිස යැ, ගෘහශ්‍රිත වූ මැ පීඩා ක්ලමථු පරිදාහ මඩනු පිණිස යැ, න්‍යායධර්මයාගේ අධිගමය පිණිස යැ, නිර්‍වාණයාගේ ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස යි.

තථාගතයන් වහන්සේ තුලුන් මතුයෙහි විනයන කෙරෙති: “මහණ, තෝ ඒ, කයෙහි කය නුවණින් දක්නාසුලු ව වාස කර, කාමොපසංහිත විතර්ක නහමක් විතර්කණ කර, වේදනායෙහි ... චිත්තයෙහි ... ධර්මයහි ධර්මය නුවණින් දක්නාසුලු ව වාස කර, කාමූපසංහිත විතර්ක නහමක් විතර්කණ කර”යි, හේ විතර්කවිචාරයන් සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ලකුණු කොට ඇති චිත්තයාගේ එකඟබව ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ද්විතීයධ්‍යානය ... තෘතියධ්‍යානය ... චතුර්ථධ්‍යානය උපයා වාස කෙරෙයි.

ඒ මහණ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ ව පර්‍ය්‍යවදාත ව අනඞ්ගණ ව විගතොපක්ලෙශ ව මෘදු ව කර්මණ්‍ය ව ස්ථිත ව අනිඤ්ජනප්‍රාප්ත ව සිටි කල්හි පූර්‍වනිවාසනුස්මෘති ඥානඥාන පිණිස සිත නතු කෙරෙයි, හේ අනෙකවිධ පූර්‍වනිවාසය සිහි කෙරෙයි. කිසේ යැ යත්: එක් ජාතියකුදු දෙ ජාතියකුදු ... මෙසේ සාකාර සොද්දෙශ අනෙකප්‍රකාර පූර්‍වනිවාසය සිහි කරයි.

ඒ මහණ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ ව පර්‍ය්‍යවදාත ව අනඞ්ගණ ව විගතොපක්ලෙශ ව මෘදු ව කර්මණ්‍ය ව ස්ථිත ව අනිඤ්ජනප්‍රාප්ත ව සිටි කල්හි සත්ත්වයන්ගේ චුතූපපාත ඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ විශුද්ධ වූ මිනිසැස ඉක්මැ සිටි දිවැසින් ච්‍යුත වන උපදනා හීන ප්‍රණීත සුවර්ණ දුර්වර්ණ සුගත දුර්ගත සත්ත්වයන් දකී. කම් වූ පරිදි පරලොව ගිය සතුන් දනී. මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් සමන්වාගත යහ ... මෙසේ යථාකර්‍මොපග සත්ත්වයන් නුවණින් දනී.

හේ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ ව පර්‍ය්‍යවදාත ව අනඞ්ගණ ව විගතොපක්ලෙශ ව මෘදු ව කර්මණ්‍ය ව ස්ථිත ව අනිඤ්ජනප්‍රාප්ත ව සිටි කල්හි ආස්‍රවක්ෂයඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ ‘මේ දුමේ දුකැ’යි යථාභූත ව නුවණින් දනී. ‘මේ දුඃඛසමුදයැ’ යි යථාභූත ව නුවණින් දනී. ‘මේ දුඃඛනිරොධ යැ’යි යථාභූත ව නුවණින් දනී. ‘මේ දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාව යැ’ යි යථාභූත ව නුවණින් දනී. ‘මොහු ආස්‍රවයහ’යි යථාභූත ව නුවණින් දනී. ‘මේ ආස්‍රවසමුදය යැ’යි සමුදය යැ’යි යථාභූත ව නුවණින් දනී. ‘මේ ආස්‍රවනිරොධ යැ’ යි යථාභූත ව නුවණින් දනී. ‘මේ ආස්‍රවනිරොධගාමිනීප්‍රතිපදා යැ’ යි යථාභූත ව නුවණින් දනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුට කාමාස්‍රවයෙනුදු සිත මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මුත් සඳ විමුක්ත යයි ප්‍රත්‍යවෙක්ෂාඥානය වෙයි. ජාතිය ක්ෂය විය. බඹසර වැස නිමවන ලද, කරණී කරන ලද. මේ රහත්බවට අන් කිසෙක් නැති’ යි නුවණින් දනී.

ඒ මහණ ශීත ය උෂ්ණ ය බඩසය පවස මැසි මදුරු අව් සුළං දික්දෑපහස යන මේ සහනුයේ දුරුක්ත දුරාගත වචනපථ හා උපන් දුඃඛ ත්‍රීව ඛර කටුක අසාත අමනාප ප්‍රාණහර ශාරීරික වේදනා හා සහනසැහැවි ඇති වෙයි. පැහූ සියලු රාගද්වෙෂමොහ ඇතියේ නෙරැලූ කසට ඇතියේ වෙයි. දෙන්නට නිසි අන්නපානප්‍රතිග්‍රහණයට අර්හ වෙයි. ප්‍රාඝුණ සඞ්ඛ්‍යාත ආගන්තුකසත්කාරයට නිසි වෙයි. දක්ෂිණාවට නිසි වෙයි. ඇඳිලි කළයුතු වෙයි. ලොකයට අනුත්තර පුණ්‍යක්‍ෂෙත්‍රත් වේ.

ගිනිවෙස්න, රාජනාගයා මහලුවත් අදාන්ත වැ අවිනීත ව කලුරියකෙරේ, රාජනාගයා මහලු වුව අදාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි ගණනට යෙයි. ගිනිවෙස්න, රාජනාගයා මධ්‍යමවයස්කවත් ... ගිනිවෙස්න, රාජනාගයා දහරවත් අදාන්ත ව අවිනීත ව කාලක්‍රියා කෙරේ නම්, රාජනාගයා දහර ව අදාන්තමරණයෙන් කාලක්‍රියා කෙළේ යයි ගණනට යෙයි. ගිනිවෙස්න, එපරිදි ම මහණ ස්ථවිර ව සිට ද ක්ෂීණාස්‍රව නො වූයේ කාලක්‍රියා කෙරේ ද, මහණ ස්ථවිර ව සිට අදාන්තමරණයෙන් කාලක්‍රියා කෙළේ යයි සඞ්ඛ්‍යානයට යෙයි. ගිනිවෙස්න, මහණ මධ්‍යම වයස්ක ව සිටත් ... ගිනිවෙස්න, මහණ නවක ව සිටත් ක්ෂීණාස්‍රව නො වූයේ කලුරිය කෙරේ ද නවක මහණ අදාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි සඞ්ඛ්‍යානයට යෙයි.

ගිනිවෙස්න, රාජනාගයා මහලුව සිටත් සුදාන්ත ව සුවිනීත ව කලුරිය කෙරේ ද, රාජනාගයා මහලු ව දාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි ගණනට යෙයි. ගිනිවෙස්න, රාජනාගයා මධ්‍යම වයස්ක ව සිටත් ... ගිනිවෙස්න, රාජනාගයා දහර ව සිටත් සුදාන්ත ව සුවිනීත ව කාලක්‍රියා කෙරේ ද, රාජනාගයා දහර ව සිට දාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි ගණනට යෙයි. ගිනිවෙස්න, එපරිදි ම ස්ථවිර ව සිටත් ක්ෂීණාස්‍රව ව කාලක්‍රියා කෙරේ ද, මහණ ස්ථවිර ව සිට දාන්තමරණයෙන් කාලක්‍රියා කෙළේ යයි පරිගණනාවට යෙයි. ගිනිවෙස්න, මහණ මධ්‍යම වයස්ක ව සිටත් ... ගිනිවෙස්න, මහණ නවක ව සිටත් ක්ෂීණාස්‍රව ව කලුරිය කෙරේ ද, මහණ නවක ව සිටත් දාන්තමරණ කාලක්‍රියා කෙළේ යයි පරිගණනාවට යෙයි.

භාග්‍යවතුන් වහන්සේ මේ දන්තභූමි සූත්‍රය වදාළ සේක. ප්‍රීතිසෞමනස්‍යයන් විසින් ගත් සිත් ඇති අචිරවත හෙරණ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිනන්දන කළේ යි.

පස්වැනිදන්තභුමිසූත්‍රය නිමියේ ය.