දේවදූත සූත්‍රය

 

 

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

තෙවැනි සුඤ්ඤත වර්ගය

3.3.10

දේවදූත සූත්‍රය.

 

මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි භික්‍ෂූන් අමතාවදාළහ. ඒ භික්‍ෂූහූ ‘පින්වතුන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ තෙල දෙවදුත සූත්‍රය වදාළ සේක:

මහණෙනි, දොර සහිත වූ ගෘහ දෙකක් යම්සේ ද, එහි ඇස් ඇති පුරුෂයෙක් මැද සිටියේ ගෙට පිවිසෙන්නා වූ ද ගෙන් නික්මෙන්නා වූ ද ගෙහි ඇවිදිනා වූ ද ඔබමොබ හැසිරෙන්නා වූ ද මිනිසුන් යම්සේ දකී ද, එපරිදි මැ මහණෙනි, මම විශුද්ධ වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ව්‍යුත වන උපදනා හීනප්‍රණීත සුවර්ණ දුර්වර්ණ සුගත සුර්ගත සත්ත්වයන් දක්මි. කම් වූ පරිදි මියගිය සත්ත්වයන් දැනගනිමි.

මේ භවත් සත්ත්වයෝ ඒකාන්තයෙන් කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්‍යොපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිකර්ම සමාදාන ඇත්තාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු ශොභන ගති ඇති ස්වර්ගලොකයට පැමිණියාහු ය. යළි මේ භවත් සත්ත්වයෝ කායසුචරිතයෙන් යුක්ත වූවාහු වාක්සුචරිතයෙන් යුක්ත වූවාහු මනඃසුචරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්‍යොපවාද නො කළාහු සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යග්දෘෂ්ටිකර්ම සමාදාන ඇත්තාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු මිනිසුන් කෙරෙහි උපන්නාහු යැ.

මේ භවත් සත්ත්වයෝ ඒකාන්තයෙන් කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනොදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්‍යොපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්මසමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු ප්‍රේත විෂයට පැමිණියාහු යැ. යළි මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනොදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්‍යොපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්මසමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු තිරශ්චීනයොනියට පැමිණියාහු යැ. යළි මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාක්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මනොදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්ය්‍යොපවාද කළාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්මසමාදාන කළාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු අපාය වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට පැමිණියාහු යයි.

මහණෙනි, නිරයපාලයෝ ඒ සත්ත්වයා වෙන වෙන අත් ගෙන යමරජුට දක්වති. ‘දෙවයිනි, මේ පුරුෂ මෑණියන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, පියාණන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, මහණුන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, ක්ෂීණාස්‍රව බමුණන් කෙරෙහි වරදවා පිළිපන්නෙක, කුලදෙටුවන් කෙරෙහි අපචායන නො කළ කෙනෙක, දෙවයන් වහන්සේ මොහුට දඬුවම් පණවත්ව’ යි.

මහණෙනි, යමරජ තුලුන් අතින් පළමු වන දෙවදූතයා අනුයොග වතට නංවා ප්‍රශ්න කරයි. ලබ්ධි පිහිටුවා ප්‍රශ්න කරයි. කරුණු විචාරයි: එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි ප්‍රථම දෙවදූතයා පහළවූවාහු නුදුටුයෙහි? හෙ මෙසේ කියයි: වහන්ස, නුදුටුමි’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි මන්ද වූ උඩුහුරු වැ හෝනා සිය මලමූයෙහි ගැලුණු එහි හෝනා ළදරු කුමරුවකු නුදුටුයෙහි? හේ මෙසේ කියයි: ‘වහන්ස, දිටිමි’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙල සිත් නො වී නු? ‘මයිත් ජාතිස්වභාව ඇතියෙමි, ජාතිය නො ඉක්ම ගියෙමි, එබැවින් මම කයින් වචසින් මනසින් පින් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘වහන්ස, නො හැකි වීමි, වහන්ස, පමාවීමි’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, පමා වූ බැවින් කයින් වචසින් මනසින් පින් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එයින් පමාවුවක්හට කරන්නාක් සෙයින් තට දඬුවම් කෙරෙති. තාගේ තෙල පාප කර්මය මව විසින් නො කරනලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරනලද, බුහුන විසින් නො කරනලද, මිත්‍රාමාත්‍යයන් විසින් නො කරනලද, නෑසහලේනෑයන් විසින් නො කරනලද මහණබමුණන් විසින් නො කරනලද, දෙවියන් විසින් නො කරන ලද, තා විසින් මැ තෙල පාප කර්මය කරන ලද, තො මැ තෙල පාප කර්මයාගේ විපාකය විඳිනෙහි’ යැයි.

මහණෙනි, යමරජ ඔහුට පළමු වන දෙවදූතයා අනුයොග වශයෙන් ප්‍රශ්න කොට ලබ්ධි පිහිටුවා ප්‍රශ්න කොට කරුණු විචාරා දෙවන දෙවදූතයා අනුයොගවතට නඟා විචාරයි, ලබ්ධි පිහිටුවා විචාරයි, කරුණු විචාරයි. එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි පහළ වූ දෙවැනි දෙවදූතයා නුදුටුයෙහි? යි ‘නුදුටුමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: එම්බා පුරුෂය, මිනිසුන් කෙරෙහි උපතින් අසූවයස් වූ හෝ අනූ වයස් වූ හෝ සියක් වසක් වූ හෝ ජාතියෙන් දිරූ ගොනැස්සක් සෙයින් වක් වූ බිඳුණු සිරුරු ඇති සැරයටිය පිහිට කොට ඇති වෙවුළමින් යන ආතුර වූ ගිය යොවුන්බව් ඇති කඬදත් ඇති පැසුණු කෙසේ ඇති ගිලිහුණු කෙස් ඇති මටතල වූ රැලිහුන් තලකැලැල් හුන් සිරුරු ඇති ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ නුදුටුයෙහි දැ? යි. හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, විඥ වූ මහලු වියපත් තට තෙල සිත නො වී නු? ‘මම් වූ කලි ජරාසැහැවියෙමි, ජරාව නො ඉක්ම වූයෙමි, මම් එබැවින් කයින් වචසින් මනසින් කුසල් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි වහන්ස, පමා වීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ ඔහුට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, ප්‍රමාදවත් බැවින් කයින් වචසින් මනසින් කුසල් නො කෙළෙහි? එම්බා පුරුෂය, ඒකාන්තයෙන් තට ප්‍රමාද වූවකුට යම් සේ ද එපරිද්දෙන් කරන්නාහ. තාගේ තෙල පාපකර්මය මව විසින් නො මැ කරනලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරන ලද, බුහුන විසින් නො කරනලද, සගයහළුවන් විසින් නො කරනලද, නෑසහලේනෑයන් විසින් නො කරනලද, මහණ බමුණන් විසින් නො කරනලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ තෙල පාපකර්මය කරනලද, තො මැ තෙල කර්මයාගේ විපාකය විඳිනෙහි’ යැයි.

මහණෙනි, යමරජ තුලුනු අතින් දෙවන දෙවදූතයා අනුයොග වශයෙන් පිළිවිස ලබ්ධි වශයෙන් පිහිටුවා කරුණු අසා කරුණු බැණ තුන්වන දෙවදූතයා අනුයොග වතට නංවා අසයි, ලබ්ධි පිහිටුවයි. සමනුභාෂණ කම් කෙරෙයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි තුන්වන දෙවදූතයා පහළ වූවහු නො දුටුහි? හේ මෙසේ කියයි: ‘නුදුටුමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ මෙසේ කියයි: එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි හැටි ආබාධ ඇති හටගත් දුක් ඇති දැඩි ගිලන් වූ සිය මලමූයෙහි පිළිපන් එහි හෝනා මෙරමා විසින් නඟාසිටුවන ලබන මෙරමා විසින් හොවනු ලබන මාගමක හෝ පිරිමිනියකු හෝ නුදුටිහි? ‘හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙලසිත් නො වී නු ! මම ද ව්‍යාධි ධර්මයෙමි, ව්‍යාධිය අනතීතයෙමි, එයින් මම කයින් වචසින් මනසින් කලණකම් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි වහන්ස, පමාවීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමා ඇති වූ බැවින් කයින් වචසින් මනසින් කලණකම් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එබැවින් පමා වූවහුට දඬුවම් කරන්නා සෙයින් තට දඬුවම් කෙරෙති. තාගේ තෙල පාපකර්මය මව විසින් නො කරන ලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නොකරනලද, බුහුන විසින් නො කරනලද, මිත්‍රාමාත්‍යයන් විසින් නො කරනලද, නෑසාලේනෑයන් විසින් නො කරනලද, මහණ බමුණන් විසින් නො කරනලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ කරනලද තො මැ තෙල පාප කර්මයාගේ විපාකය විඳුනෙහි” යයි.

මහණෙනි, යමරජ තුලුනු අතින් තුන් වන දෙවදූතයා අනුයොගවතට නඟා ලබ්ධි ගන්වා සමනුභාෂණ කම් කොට සතර වන දෙවදූතයා අනුයොග වතට නංවයි, ලබ්ධි පිහිටුවයි. කරුණු විචාරයි: ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි පහළ වූ සතර වන දෙවදූතයා නොදුටුහි? හේ මෙසේ කියයි: ‘නුදුටුමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, තෝ රජදරුවෝ මිනිසුන් කෙරෙහි අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටොලු කෙරෙද්ද කසවැලිනුදු තළද්ද වේවැලිනුදු තළත් ද, අඩදඬියෙනුදු තළත් ද, අත ද සිඳිත් ද පා ද සිඳිත් ද අත්පාත් සිඳිත් ද, කනුදු සිඳිත් ද, නාසිකාත් සිඳිත් ද, කන්නැහැත් සිඳිත් ද බීලඞ්ගථාලිකවධත් කෙරෙත් ද සංඛමුණ්ඩික වධත් කෙරෙත් ද රාහුමුඛවධත් කෙරෙත් ද ජෝතිමාලිකවධත් කෙරෙත් ද හත්ථපජ්ජොතික වධත් කෙරෙත් ද ඒරකවත්තකවධත් කෙරෙත් ද චීරකවාසිකවධත් කෙරෙත් ද එණෙය්‍යකවධත් කෙරෙත් ද බලිසමංසිකවධත් කෙරෙත් ද කහාපණකවධත් කෙරෙත් ද ඛාරාපතච්ඡිකවධත් කෙරෙත් ද පලිඝපරිවත්තිකවධත් කෙරෙත් ද පලාලපීඨකවධත් කෙරෙත් ද තප්තතෛලයෙනුත් ඉසිත් ද නහවුන් ලවා කවත් ද ජීවත්වන්නහු හුල හිඳුවත් ද කඩුයෙනුදු හිස සිඳිත් ද තෙල අපරාධකාරීහු නුදුටිහි? හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’, මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙලසිත් නො වී නු ! යම් කෙනෙක් පාපකර්ම කෙරෙත් ද ඔහු ඉහාත්මයෙහි මැ මෙබඳු විවිධ කම්කටොලු කරනු ලබති. පරලොව කියනු කිම? එබැවින් මම කයින් වචසින් මනසින් කලණකම් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි, වහන්ස, පමා වීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: එම්බා පුරුෂය, පමා ඇති බැවින් කයින් වචසින් මනසින් කලණකම් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එබැවින් තට පමා වූවහුට යම්සේ ද එසෙයින් දඬුවම් කෙරෙති. තාගේ තෙල පාපකර්මය මව විසින් නො කරනලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරන ලද, බුහුන විසින් නො කරන ලද, මිත්‍රාමාත්‍යයන් විසින් නො කරනලද, නෑසාලේ නෑයන් විසින් නො කරන ලද, මහණ බමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ තෙල පාපකර්මය කරන ලදි’ යි. තෝ මැ තෙල පාප කර්මයාගේ විපාකය විඳුව’ යි.

මහණෙනි, යමරජ තුලුනු අතින් සතර වන දෙවදූතයා ගෙන අනුයොග විසින් පිළිවිස ලබ්ධි විසින් ගන්වා සමනුභාෂණකර්ම කොට පස් වන දෙවදූතයා ගෙන අනුයොග වතට නංවයි, ලබ්ධි විසින් ගන්වයි, කරුණු පිළිවිසී. ‘එම්බා පුරුෂය, තෝ මිනිසුන් කෙරෙහි පස් වන දේවදූතයා පහළ වූවහු නො දිටිහි? හේ මෙසේ කියයි: ‘නො දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: තෝ මිනිසුන් කෙරෙහි මළ එක් දින වූ හෝ මළ දෙදින වූ හෝ මළ තුන් දින වූ හෝ ඉදිමීගිය නිල්වන් වූ හටගත් පූයා ඇති ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ නොදුටිහි? හේ මෙසේ කියයි: ‘දිටිමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, විඥ වූ වෘද්ධ වූ තට තෙල සිත් නො වී නු ! මම ද මරණධර්මයෙමි, අනතීත මරණ ඇතියෙමි, එහෙයින් කයින් වචසින් මනසින් කලණකම් කෙරෙමි’යි කියා යි. හේ මෙසේ කියයි: ‘නො හැකි වීමි වහන්ස, පමා වීමි වහන්සැ’ යි. මහණෙනි, යමරජ තුලුනට මෙසේ කියයි: ‘එම්බා පුරුෂය, පමා ඇති වූ බැවින් කයින් වචසින් මනසින් කලණකම් නො කෙළෙහි යැ. එම්බා පුරුෂය, එබැවින් තට පමා වූවකුට යම්සේ ද එසෙයින් කෙරෙති. තාගේ තෙල පව්කම මව විසින් නො කරන ලද, පියා විසින් නො කරනලද, බෑයා විසින් නො කරන ලද, බුහුන විසින් නො කරන ලද, සගයහළුවන් විසින් නො කරනලද, නෑසාලේ නෑයන් විසින් නො කරනලද, මහණබමුණන් විසින් නො කරන ලද, දෙවියන් විසින් නො කරනලද, තා විසින් මැ තෙල පව්කම කරන ලදි. තෝ මැ තෙල කර්මයාගේ විපාක විඳුනෙහි’ යයි.

මහණෙනි, යමරජ තුලුන් පස් වන දෙවදූතයා ගෙන අනුයොග කොට ලබ්ධි පිහිටුවා කරුණු පිළිවිය තුෂ්ණීම්භූත වෙයි.

මහණෙනි, නිරයපාලයෝ තුලුනට පඤ්චවිධබන්ධන නම් කම්කටොලු කෙරෙත්: තප්ත වූ යහුලක් එක් අතෙකැ ගසත්, තප්ත වූ යහුලක් දෙවන අතෙහි ගසත්, තප්ත වූ යහුලක් පළමු පයැ ගසත්, තප්ත වූ යහුලක් දෙවන පයැ ගසත්, තප්ත වූ යහුලක් ළමැඩියෙහි ගසත්. හේ එහි දුඃඛ වූ ත්‍රීව වූ කටුක වූ වේදනාවන් විඳි. ඒ පාපකර්මය ක්ෂය නො වූ තාක් කාලක්‍රියා නො කෙරේ. මහණෙනි, නිරයපාලයෝ ඔහු හොවා කූඨාරියෙන් සසති. හේ එහි දුඃඛ වූ ... මහණෙනි, නිරයපාලයෝ ඔහු ඌර්ධ්වපාද කොට අධඃශිරස්ක කොට ගෙන් වැයෙන් සසිත්. හේ එහි දුඃඛ වූ ... මහණෙනි, නිරයපාලයෝ ඔහු රථ යෙහි යොදා ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ හටගත් ගිනි ඇති පොළොවෙහි ඇවිදුවති. පෙරළාත් ඇවිදුවති. හේ එහි දුඃඛ වූ ... මහණෙනි, නිරයපාලයෝ ඔහු ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ හටගත් ගිනි ඇති අඟුරුපවියට නංවත්, බස්වත්. හේ එහි දුඃඛ වූ ... මහණෙනි, නිරයපාලයෝ ඔහු ඌර්ධ්වපාද කොට හිස් බිම්බල්වාලීම් කොට ගෙන රත් වූ ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ගිනිගෙන දිලෙන ඇවිලගත් ගිනි සහිත ලොහොකුඹු නිරයෙහි බහත්, හේ එහි පෙනබඳු කොට පැසෙත්. හේ එහි පෙන බඳු කොට පස්නේ වරක් උඩ එයි, වරක් යට බස්සී, වරක සරස යෙයි. හේ එහි දුඃඛ වූ කටුක වූ ත්‍රීව වූ වේදනාවන් විඳී. යම් තාක් ඒ පව්කම් ක්ෂය නො වේ ද ඒ තාක් කලුරිය නො කෙරේ.

මහණෙනි, නිරයපාලයෝ ඔහු මහනිරෑහි බහත්. මහණෙනි, ඒ මහනිරය වනාහි:

චතුස්කර්‍ණ යැ, චතුර්ද්වාරය, කොටස් විසින් බෙදන ලද, යපවුරින් වටකරන ලද, යදැලින් පිළිසොයන ලද,

ඒ මහානිරයයා ගේ අයෝමය භූමිය ඇවිළැගත් ගිනිදැලින් යුක්ත ය, හැමදා හාත්පස සියක්යොදුන් තැන් පැතිරැසිටී.

මහණෙනි, ඒ මහානිරයයා ගේ පෙරදිග බිතින් ගිනිසිළි නැඟී පැසුළු බිතෙහි හැනෙයි, පැසුළු බිතින් ගිනිසිළි නැඟී පෙරදිග බිතෙහි හැනෙයි, උතුරු බිතින් ගිනිසිළි නැඟී දකුණු බිතෙහි හැනෙයි, දකුණු බිතින් ගිනිසිළි නැඟී උතුරු බිතෙහි හැනෙයි, යට ගිනිසිළි නැඟී උඩුතල හැනෙයි, උඩතින් ගිනිසිළි නැඟී යට හැනේ. හේ එහි දුඃඛ වූ කටුක වූ ත්‍රීව වෙදනා විඳි. යම්තාක් පාපකර්මය ක්ෂය නො වේ ද ඒ තාක් නො මියෙයි.

මහණෙනි, යම් හෙයෙකින් කිසිකලෙක දීර්ඝකාලයක්හුගේ ඇවෑමෙන් ඒ මහානරකයා ගේ පූර්වද්වාරය විවෘත වේ ද එබඳු කලෙක් වෙයි. ඒ නිරිසත් එහි ශීඝ්‍ර වූ නහර ද දැවෙයි, ජවයෙන් දුවයි. ශීඝ්‍රජවයෙන් දුවන ඔහුගේ සිවිය ද දැවෙයි, සම ද දැවෙයි, මස් ද දැවෙයි, ඇට දු දුමයි, නඟනලදුයේ එබඳු මැ වෙයි. මහණෙනි, යම් කලෙක හෙතෙම බොහෝ වර්ෂසහස්‍රයෙන් සමීපයට පැමිණියේ වේ ද එකල්හි ඒ ද්වාරය වැසෙයි. හේ එහි දුඃඛ වූ ත්‍රීව වූ කටුක වෙදනා විඳියි. යම් තාක් පාපකර්මය නො ගෙවේ ද ඒ තාක් කල් නො මියෙයි.

මහණෙනි, යම් හෙයෙකින් කිසිවිටක දීර්ඝකාලයක්හුගේ ඇවෑමෙන් ඒ මහානරකයා ගේ පශ්චිමද්වාරය විවෘත වේ ද එබඳු කාලයෙක් වෙයි. ... උතුරු දොර විවර වේ ද ... දකුණු දොර විවර වේ ද එබඳු කාලයෙක් වෙයි. හේ එහි ශීඝ්‍රජවයෙන් දිවෙයි. ශීඝ්‍ රජවයෙන් දුවන ඔහුගේ සිවි ද දැවෙයි, සම් ද දැවෙයි, මස් ද දැවෙයි, නහර ද දැවෙයි, ඇටදු දුමයි, නඟනලදුයේ එබඳු මැ වෙයි. මහණෙනි, හෙතෙම යම් කලෙක බොහෝ වර්ෂ සහස්‍රයෙන් සමීපයට පැමිණියේ වේ ද එකල්හි ඒ දොර වැසෙයි. හේ එහි දුඃඛ ත්‍රීව කටුක වේදනා විඳියි. යම්තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද ඒතාක් නො මියෙයි.

මහණෙනි, යම් හෙයෙකින් කිසිවිටක දීර්ඝකාලයක්හුගේ ඇවෑමෙන් ඒ මහානරකයාගේ පූර්වද්වාරය විවෘත වේ ද එබඳු කලෙක් වෙයි. හේ එහි ශීඝ්‍රජවයෙන් දුවයි, ශීඝ්‍රජවයෙන් දුවන ඔහුගේ සිවිදු දැවෙයි, සමුදු දැවෙයි, මසුදු දැවෙයි, නහරදු දැවෙයි, ඇටදු දුමයි, නැඟූ පිය එබඳු මැ වෙයි. හේ ඒ දොරින් නික්මයෙයි.

තවද මහණෙනි, ඒ මහානිරයට සමනන්තර වැ ඝටිත වැ මැ මහත් වූ ගූථනිරය වෙයි. හේ එහි වැටෙයි. මහණෙනි, ඒ ගූථනිරයෙහි ගැලෙයි. මහණෙනි, ඒ ගූථනිරයෙහි වැළිත් හිදි බඳු තුඩ ඇති පණුවෝ සිවිය සිඳිති, සිවිය සිඳ සම් සිඳිති, සම් සිඳ මස් සිඳිති, මස් සිඳ නහර සිඳිති, නහර සිඳ ඇට සිඳිති, ඇට සිඳ ඇටමිදුළු කත්. හේ එහි දුඃඛ තිව්‍ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.

තවද මහණෙනි, ඒ ගූථනරකයට සමනන්තර වැ එක්ව මැ මහත් වූ උණු අළු නිරය වෙයි. හේ එහි වැටෙයි, හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳීයි. යම්තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.

තවද මහණෙනි, ඒ කුක්කුල නිරයට සමනන්තර වැ එක් වැ මැ සියක්යොදුන් උස නැඟුණු සොළොසඟුල් කටු ඇති ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ගිනිදැල් සහිත වූ මහත් හිඹුල්වනය වෙයි. (ඔහු) එහි නංවති, බස්වති. හේ එහි දුඃඛ තීව්‍ර කටුක වෙදනා විඳී. යම්තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද ,ඒතාක් නො ද කලුරිය කෙරෙයි.

තවද මහණෙනි, ඒ හිඹුල්වනයට අනතුරු වැ එක් වැ මැ මහත් වූ අසිපත්‍රවනය වෙයි. හේ එහි පිවිසෙයි, වාතයෙන් සැලී වැටුණු පත්‍රයෝ ඔහුගේ අත ද සිඳුති පය ද සිඳුති අත්පා ද සිඳුති කන ද සිඳුති නැහැය ද සිඳුති. කන්නාසා ද සිඳුති හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.

තවද මහණෙනි, ඒ අසිපත්‍රවනයට සමනන්තර වැ එක් වැ මැ මහත් වූ වෙතරණී නම් ක්ෂාරොදකනදිය වෙයි. හේ එහි වැටෙයි, හේ එහි අනුශ්‍රොතසට ද ගෙනයෙයි, ප්‍රතිශ්‍රොතසට ද ගෙනයෙයි, අනුශ්‍රොතප්‍රතිශ්‍රොතසට ද ගෙනයෙයි, හේ එහි දුඃඛ තීව්‍ර කටුක වෙදනා විඳී. යම්තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.

මහණෙනි, නිරයපාලයෝ ඔහු බිලියෙන් නඟා ස්ථලයෙහි හොවා මෙසේ කියති: ‘එම්බා පුරුෂය, කුමක් රිසියෙයි දැ? යි. හේ මෙසේ කියා: ‘සාමි’ වහන්සැ’ යි. මහණෙනි, යමපල්හු ඔහු ගෙන ගිනිගෙන දිලියෙන යහඬුවෙන් මුව විවෘත කොට ගිනි ගෙන දිලියෙන ලොහොගුලා මුඛයෙහි ප්‍රක්ෂෙප කෙරෙත්. ඒ ලොහොගුලා ඔහුගේ දෙතොල ද දවයි, මුව ද දවයි, උගුර ද දවයි, උදරය ද දවයි, අතුණුදු අතුණුබහනුදු ගෙන අධොභාගයෙන් නික්මයේ. හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී. යම්තාක් ඒ පාප කර්මය ක්ෂය නො වේ ද ඒ තාක් නො ද මියෙයි.

මහණෙනි, යමපල්හු ඔහුට මෙසේ කියති: ‘එම්බා පුරුෂය, කුමක් රුස්වහි?’ හේ මෙසේ කියා: ‘පිපාසිතයෙමි, වහන්සැ’ යි. මහණෙනි, යමපල්හු ඔහු ගෙන ගිනිගෙන දිලියෙන යහඬුවෙන් මුව විවෘත කොට ගිනිගෙන දිලියෙන ලොහොදිය මුඛයෙහි ප්‍රක්ෂෙප කෙරෙත්, ඒ ලොහොදිය ඔහුගේ තොල් ද දවයි, මුව ද දවයි, උගුර ද දවයි, ළය ද දවයි, අතුණුදු අතුණුබහනුදු ගෙන අධොභාගයෙන් නික්මෙයි. හේ එහි තීව්‍ර කටුක දුඃඛ වෙදනා විඳී. යම්තාක් ඒ පාපකර්මය ක්ෂය නො වේ ද ඒතාක් නො ද කලුරිය කෙරෙයි.

මහණෙනි, යමපල්හු නැවත ඔහු මහානිරයෙහි ප්‍රක්ෂෙප කෙරෙත්.

මහණෙනි, පෙර යමරජුට තෙල සිත් වී. ‘ලොවැ යම් කෙනෙක් ලමු අකුශලකර්ම කෙරෙත් ද ඔහු මෙබඳු විවිධ කම්කටොලු කරනු ලැබෙති. මම් මිනිසත්බව ලබම් නම් අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයෝත් ලොවැ උපදනාහු නම් මම් ඒ භාග්‍යවතුන් වහන්සේ පර්ය්‍යුපාසනය කෙරෙම් නම් ඒ භාග්‍යවත්හු මට දහම් දෙසනසේක් නම් මම් ඒ භාග්‍යවත්හුගේ ධර්මය අවබොධ කෙරෙම් නම් ඉතා මැනැවැ’ යි.

තවද මහණෙනි, මම එකරුණ අන් ශ්‍රමණයක්හුගේ වේවයි බ්‍රාහ්මණයක්හුගේ වේවයි සමීපයෙන් අසා නො කියමි. වැළි යමක් මැ මා විසින් තමා මැ දන්නාලද තමා මැ දක්නාලද තමා මැ ප්‍රකට කොට දක්නාලද ද මම් එය මැ කියමි’යි.

භාග්‍යවතුන් වහන්සේ මේ දෙවදූතසුත වදාළහ. මේ වදාරා සුගත වූ ශාස්තෲන් වහන්සේ යළි අනෙකුදු තෙල ගාථා වදාළසේක:

“යම් මිනිස් කෙනෙක් දෙවදූතයන් විසින් චොදනා කරන ලද්දාහු ප්‍රමාද වෙත්” ද, හීන වූ නරකයට පැමිණි ඒ නරයෝ දීර්ඝකාලයක් ශොක කෙරෙත්.

මෙලොවැ දෙවදූතයන් විසින් චොදිත වූ යම් සාධුපුරුෂ කෙනෙක් කිසිකලෙක ආර්‍ය්‍ය ධර්මයෙහි ප්‍රමාද නො වෙත් ද,

ජාතිමරණ දෙකට කාරණ වූ තෘෂ්ණාදෘෂ්ටි සංඛ්‍යාත උපාදානයෙහි බිය දැක ජාතිමරණ සඞ්ඛය සංඛ්‍යාත නිර්වාණයෙහි චතුරුපාදානයෙන් උපාදාන නො කොට විමුක්ත වෙත් ද,

ඒ සත්ත්වයෝ ක්ෂෙමයට පැමිණියාහු සුඛිත වූවාහු දෘෂ්ටධර්ම සංඛ්‍යාත ඉහාත්මයෙහි ක්ලෙශපරිනිර්වාණයෙන් නිවුණාහු සියලු වෛරභය ඉක්මවූවාහු සියලු සසරදුක් ඉක්මැගියාහු යයි.

දසවැනිදෙවදුත සූත්‍රය නිමියේ ය.