බාලපණ්ඩිත සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

තෙවැනි සුඤ්ඤත වර්ගය

3.3.9

බාලපණ්ඩිත සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහසිටුහු ගේ ජේතවන අරම්හි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල බාලපණ්ඩිත සුත වදාළ සේක.

මහණෙනි, බාලයා පිළිබඳ බාලයා දැනගන්නා ලක්ෂණයේ බාලයා දැනගන්නා කාරණයෝ බාලචරිතාපදානයෝ මොහු තුන්දෙනෙක. කවර තුන්දෙනෙක යත්: මහණෙනි, මෙලොවැ බාල තෙමේ අභිජ්ඣා ආදි නපුරු සිතිවිලි සිතනසුලු වෙයි. මුසවා ආදි නපුරු බස් බණනසුලු ද වෙයි. පණිවා ආදි නපුරුකම් කරනසුලු ද වෙයි. ඉදින් මහණෙනි, බාල තෙමේ නපුරු සිතිවිලි සිතනසුලු වේ ය, නපුරු බස් බණනසුලු ද වේ ය, නපුරු කම් කරනසුලු ද වේ ය යන තෙල නො වී නම් කවර අයුරෙකින් පණ්ඩිත ජනයෝ “මේ භවත් අසත්පුරුෂ බාලයෙකැ”යි ඔහු හඳුනාගනිත් ද, මහණෙනි, යම් හෙයෙකින් බාල තෙමේ නපුරු සිතිවිලි සිතනසුලු වේ ද, නපුරු බස් බණනසුලු වේ ද, නපුරු කම් කරනසුලු වේ ද, එහෙයින් පණ්ඩිත ජනයෝ ‘මේ භවත් අසත්පුරුෂ බාලයෙකැ”යි ඔහු හඳුනාගනිති.

මහණෙනි. ඒ බාල ඉහාත්මයෙහි ම තුන්වැදෑරුම් දුක්දොම්නසක් විදුනේ ය. ඉදින් මහණෙනි, බාල සභායෙක වේව’යි හුන්නේ වේ ද, වීථියෙක වේව’යි හුන්නේ වේ ද, සතරමංසන්ධියෙක වේව’යි හුන්නේ වේ ද, එහිදු ජනයා එයින් උපන් එයට නිසි කථා මන්ත්‍රණ කෙරෙයි. මහණෙනි, ඉදින් බාල පණිවා කරනසුලු වේ ද, අයිනාදන් ගන්නාසුලු වේ ද, කාමයෙහි මිසහසර ඇති වේ ද, මුසවා බණනසුලු වේ ද, මද පමා දෙකට කරුණු වූ රහමෙර බොනසුලු වේ ද, මහණෙනි, එහි දී බාලයා හට මෙසේ සිත් වෙයි: “ජනයා එයින් උපන් එයට නිසි යම් කථාවක් මන්ත්‍රණ කෙරේ ද, ඒ දුසිරිත් දහම්හු මා කෙරෙහි ඇත, මම ද ඒ දහම්හි ලා දැක්වෙමි”. මහණෙනි, බාල තෙමේ ඉහාත්මයෙහි ම මේ පළමුවන දුක්දොම්නස විඳුනේ වෙයි.

තවද මහණෙනි, බාල තෙමේ රජදරුවෝ අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටුලු කෙරෙත් ද, කසයෙනුදු තළනුවන් වේවැලිනුදු තළනුවන් අඩදඬියෙනුදු තළනුවන් අත ද සිඳනුවන් පය ද සිඳිනුවන් අත්පා ද සිඳිනුවන් කනුදු සිඳිනුවන් නැහැදු සිඳිනුවන් කන් නැහැදු සිඳිනුවන් බිලඞ්ගථාලික නම් වධ ද කරනුවන් ශඞ්ඛමුණ්ඩික නම් වධ ද කරනුවන් රාහුමුඛ නම් වධ ද කරනුවන් ජොතිමාලික නම් වධ ද කරනුවන් හත්ථපජ්ජොතික නම් වධ ද කරනුවන් එරකවත්තික නම් වධ ද කරනුවන් චීරකවාසික නම් වධ ද කරනුවන් එණෙය්‍යක නම් වධ ද කරනුවන් බලිසමංසික නම් වධ ද කරනුවන් කහාපණක නම් වධ ද කරනුවන් ඛාරාපතච්ඡික නම් වධ ද කරනුවන් පලිඝපරිවත්තික නම් වධ ද කරනුවන් පලාලපීඨක නම් වධ ද කරනුවන් රත්තෙලිනුදු ඉස්නවුන් ශුනකයන් ලවා කවනුවන් දිවස්හුල හිඳුවනවන් කඩුවෙනුදු හිස සිඳනුවන් දක්නේ වේ ද, මහණෙනි, එහි දී බාලයා හට මෙසේ සිත් වෙයි: යම්බදු පාපකර්ම හෙතු කොටගෙන රජදරුවෝ අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටොලු කෙරෙත් ද, කසයෙනුදු තළත් ද, වේවැළිනුදු තලත් ද අඩදඬියෙනුදු තළත් ද, අතද සිඳිත් ද, පය ද සිඳිත් ද, අත්පාත් සිඳිත් ද, කන ද සිඳිත් ද, නැහැය ද සිඳිත් ද, කන්නැහැ ද සිඳිත් ද, බිලඞ්ගථාලිකවධ ද කෙරෙත් ද, ශඞ්ඛමුණ්ඩිකවධ ද කෙරෙත් ද, රාහුමුඛවධ ද කෙරෙත් ද, ජොතිමාලිකවධ ද කෙරෙත් ද, හත්ථපජ්ජොතික වධ ද කෙරෙත් ද, එරකවත්තිකවධ ද කෙරෙත් ද, චීරකවාසිකවධ ද කෙරෙත් ද, එණෙය්‍යකවධ ද කෙරෙත් ද, බලිසමංසිකවධ ද කෙරෙත් ද, කහාපණකවධ ද කෙරෙත් ද, ඛාරාපතච්ඡිකවධ ද කෙරෙත් ද, පලිඝපරිවත්තිකවධ ද කෙරෙත් ද, පලාලපිට්ඨිකවධ ද කෙරෙත් ද, රත්තෙලිනුදු ඉසිත් ද, ශුනකයන් ලවා කවත් ද, දිවස්හුලෙහි හිඳුවත් ද, කඩුවෙනුදු හිස සිඳිත් ද, එබඳු පාපධර්මයෝ මා කෙරෙහි ඇත, මම ද ඒ දහම්හි දැක්වෙමි. රජදරුවෝ මයිත් දැනගන්නාහු නම් රජදරුවෝ මයිදු ගෙන විවිධ කම්කටොලු කරන්නාහු ය. කසයෙනුදු තළන්නාහු ය, වේවැලිනුදු තළන්නාහු ය, අඩදඬියෙනුදු තළන්නාහු ය, අත ද සිඳින්නාහු ය, පය ද සිඳින්නාහු ය, අත්පා ද සිඳින්නාහු ය, කන ද සිඳින්නාහු ය, නැහැය ද සිඳින්නාහු ය, කන්නැහැ ද සිඳින්නාහු ය, බිලඞ්ගථාලික නම් වධ ද කරන්නාහු ය, ශඞ්ඛමුණ්ඩික නම් වධ ද කරන්නාහු ය, රාහුමුඛ නම් වධ ද කරන්නාහු ය, ජොතිමාලික නම් වධ ද කරන්නාහු ය, හත්ථපජ්ජොතික නම් වධ ද කරන්නාහු ය, එරකවත්තික නම් වධ ද කරන්නාහු ය, චීරකවාසික නම් වධ ද කරන්නාහු ය, එණෙය්‍යක නම් වධ ද කරන්නාහු ය, බලිසමංසික නම් වධ ද කරන්නාහු ය, කහාපණක නම් වධ ද කරන්නාහු ය, බාරාපතච්ඡික නම් වධ ද කරන්නාහු ය, පලිඝපරිවත්තික නම් වධ ද කරන්නාහු ය, රත්වූ තෙලිනුදු ඉස්නාහු ය, ශුනකයන් ලවා ද කවන්නාහු ය, දිවමනුහු දු හුලැ හිඳුවන්නාහු ය, කඩුවෙනුදු හිස සිඳින්නාහු යයි කියා යි. මහණෙනි. බාල තෙමේ ඉහාත්මයෙහි ම මේ දෙවන දුක්දොම්නස විඳුනේ වෙයි.

යළිදු මහණෙයි, බාලයා පීඨයෙහි නැඟී හුන්නහුට වේව’යි මඤ්චයෙහි නැඟී හුන්නහුට වේ ව’යි බිමැ හෝනහුට වේව’යි ඔහු විසින් පෙර කරන ලද කායදුශ්චරිත වූ වාග්දුශ්චරිත වූ මනොදුශ්චරිත වූ යම් ලාමක කර්ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කර්මයෝ එළැඹ සිටිති, (අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්.) මහණෙනි, යම් පරිදි සවස් කාලයෙහි මහත් පර්වතකූටයන් ගේ සෙවණැලි පොළොවෙහි පැතිරේ ද, එපරිදි මැ මහණෙනි, පීඨයෙහි නැඟී හුන්නහු වේව’යි මඤ්චයෙහි නැඟී හුන්නහු වේව’යි බිමැ හෝනහු වේව’යි බාල හට ඔහු විසින් කළ කායදුශ්චරිත වූ හෝ වාග්දුශ්චරිත වූ හෝ මනොදුශ්චරිත වූ හෝ යම් පූර්ව පාපකර්ම කෙනෙක් ඇද්ද එකල්හි එ කර්මයෝ එළැබ සිටිත්. මහණෙනි, ඒ වැටැහීම් ආපාතගත කල්හි බාලයා හට මෙසේ සිත් වෙයි: ‘මා විසින් කල්‍යණයෙක් නො කරන ලද මැ ය, කුශලයෙක් නො කරන ලද මැ ය, බියට පිහිටෙක් නො කරන ලද මැ ය, පව් කරන ලද, කැකුළුකම් කරන ලද, කිලුටු කම් කරන ලද, කලණ කම් නොකළ කුසල් නො කළ බියට පිහිට නො කළ පව් කළ කැකුළුකම් කළ කිලුටුකම් කළ ඇත්තනට යම් ගතියෙක් ඇද්ද, පරලොවැ එ ගතියට යෙමි’යි කියා යි. හේ ශෝක කෙරෙයි, හේ ක්ලාන්ත වෙයි, පරිදේවනා කෙරෙයි, ළෙහි අත් පැහැර හඬයි, සම්මොහයට පැමිණෙයි. මහණෙනි, බාල තෙමේ ඉහාත්මයෙහි ම මේ තුන්වන දුක්දොම්නස ද විඳුනේ වෙයි.

මහණෙනි, ඒ බාල කයින් දුශ්චරිත කොට බසින් දුශ්චරිත කොට සිතින් දුශ්චරිත කොට කාබුන් මරණින් මතුයෙහි සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට එළැබෙයි, මහණෙනි, මොනොවට බණනුයෙක් එකාන්ත අනිෂ්ට යයි එකාන්ත අකාන්ත යයි එකාන්ත අමනාප යයි යමක් ගෙන බෙණේ නම් මොනොවට බණනුයේ එකාන්ත අනිෂ්ට යයි එකාන්ත අමනාප යයි තෙල නිරය මැ ගෙන භණන්නේ ය, මහණෙනි, නිරයයෝ අතිශය දුක් ඇතියහ’යි දක්වන්නට උපමාවකුදු නො වේ යයි වදාළෝ.

මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළේ: ‘වහන්ස, උපමාවක් කරන්නට හැකි දැ’යි.

භාග්‍යවතුන් වහන්සේ ‘මහණ, හැක්කැ’යි වදාළ සේක: “මහණ, යම් පරිදි ‘දෙවයෙනි, මේ අපරාධකාරි සොරෙක, මුහුට යම් දඬුවමක් කැමැත්තහු නම් ඒ දඬුවම එළවාලව’යි පාපකාරී සොරකු ගෙන රජුට දක්වත් ද, රජ ඔහුට මෙසේ කියන්නේ ය: ‘භවත, යා, මේ පුරුෂයා පෙරවරුයෙහි සියක් සිරිපහරින් හිංසා කරව’යි. පෙරවරුයෙහි තුලුන් ගෙන සියක් සිරියෙන් හිංසා කෙරෙයි. ඉක්බිති රජ මධ්‍යාහ්නයෙහි මෙසේ කියන්නේ ය: ‘එම්බා පුරුෂය, ඒ වධ්‍යමාන පුරුෂයා කෙසේ වේ දැ’යි. දෙවයන් වහන්ස, එසේ ම ජීවත් වේ ය’යි. රජ තුලුන්ට මෙසේ කියන්නේ ය: ‘භවත, යා, ඒ පුරුෂයා මධ්‍යාහ්න සමයෙහි සියක් සිරියෙන් හිංසා කරව’යි. මධ්‍යාහ්න සමයෙහි තුලුන් ගෙන සියක් සිරියෙන් හිංසා කරන්නාහු ය. ඉක්බිති රජ සවස්වරුයෙහි මෙසේ කියන්නේ ය: එම්බා පුරුෂය, ඒ වධ්‍යමාන පුරුෂයා කෙසේ වේ දැ’යි. දෙවයෙනි, එසේ ම ජීවත් වේ යැ’යි. රජ තුලුන්ට මෙසේ කියන්නේ ය: ‘භවත, යා, ඒ පුරුෂයා සවස්වරුයෙහි සියක් සිරියෙන් හිංසා කරව’යි, සවස්වරුයෙහි තුලුන් ගෙන සියක් සිරියෙන් නස්නාහුය. මහණෙනි, කෙසේ හඟව, ඒ පුරුෂ සියක් සිරියෙන් නැස්නේ ඒ හෙතුයෙන් දුක් දොම්නස් විඳුනේ වේ දැ”යි.

වහන්ස, එක් සිරිපහරකිනුදු හන්‍යමාන පුරුෂ ඒ හෙතුයෙන් දුක්දොම්නස් විඳුනේ ය. තුන්සියක් සිරියෙන් නැස්නේ කවර කථා යැ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඇතුළුමිටැ සිටුනා කුඩා කැටක් ගෙන මහණුන් ඇමැතූ සේක: ’මහණෙනි, ඒ කිසේ හඟව, මා විසින් ඇතුළුමිටැ සිටුනා පමණ ඇලුප් කැටෙක් ගන්නා ලද ද, යම් හිමාලය පර්වතරාජයෙක් ඇද්ද, මුන් කෙරෙහි කිමෙක් මහත්තර වේ ද?

වහන්ස, මුබ වහන්සේ විසින් යම් ඇතුළුමිටැ සිටුනා පමණ අල්ප පාෂාණයෙක් ගන්නා ලද ද, මෙය හිමවත් පර්වතරාජයා පිණිස අල්පමාත්‍ර වෙයි, ගණනාවට ද නො යෙයි. කලභාගයට ද නො යෙයි, වෙතැ තැබීමට ද නො යෙයි.

එසෙයින් මැ මහණෙනි, ඒ පුරුෂ තුන් අඩයටි සියෙන් පෙළනු ලබනුයේ ඒ හෙතුයෙන් යම් දුකක් දොම්නසක් විඳි ද, එය නිරයදුක සඳහා ගණනාවට ද නො යෙයි, කලභාගයට ද නො යෙයි, වෙතැ තැබීමට ද නො යෙයි.

මහණෙනි, ඔහුට නිරයපාලයෝ පඤ්ඤවිධබන්ධන නම් වධයක් කෙරෙති: රත්වූ යහුලක් දකුණතෙහි ගසති, රත් යහුලක් දෙවැනි අතෙහි ගසති, රත් යහුලක් දකුණු පයෙහි ගසති, රත් යහුලක් දෙවැනි පයෙහි ගසති, රත් යහුලක් ළමැද ගසති, හේ එහි දුඃඛ තීව්‍ර කටුක වේදනා විඳී, යම් තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.

මහණෙනි, නිරයපාලයෝ ඔහු යපොළො වැ හොවා කෙටේරියෙන් සසිති, හේ එහි දුඃඛ ත්‍රව්‍ර වේදනා විඳී. යම් තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.

මහණෙනි, නිරයපාලයෝ ඔහු ඌර්ධ්වපාද කොට අධඃශීර්ෂ කොට ගෙන වෑයෙන් සසති. හේ එහි ... යම්තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.

මහණෙනි, නිරයපාලයෝ ඔහු සම්ප්‍රජ්වලිත වූ රථයෙහි යොදා ප්‍රදීප්ත වූ හාත්පසින් ප්‍රජ්වලිත වූ සප්‍රභ වූ අයොමය පෘථිවියෙහි සාරණය ද ප්‍රත්‍යාසාරණය ද කරවත්. (ඔබ මොබැ ඇවිදුවත්.) හේ එහි ... යම්තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.

මහණෙනි, නිරයපාලයේ ඔහු ගෙන ප්‍රදීප්ත වූ හාත්පසින් ප්‍රජ්වලිත වූ ඇවිළගත් ගිනි ඇති මහත් අඞ්ගාරපර්වතයකට නැංවීම ද බැස්වීම ද කෙරෙති. හේ එහි තීව්‍ර වූ කටුක වූ දුක් වෙදනා විඳී, යම්තාක් ඒ පාපකර්මය නො ගෙවේ ද, ඒ තාක් නො ද කලුරිය කෙරෙයි.

මහණෙනි, නිරයපාලයෝ ඔහු උඩුපා කොට හිස් යටිහුරු කොට ගෙන ආදීප්ත වූ සම්ප්‍රජ්වලිත වූ ගිනි ඇවිළගත් ප්‍රතප්ත ලොහොකුඹුනිරයෙහි බහාලති, හේ එහි පෙණ පිඬක් බඳු දෙහ ඇති ව පැසෙයි. හේ එහි පෙණපිඬක් බඳු දෙහ ඇති ව පස්නේ එක්වට උඩ නැඟෙ යි: එක්වට යටට බස්සි, එක්වට සරස ඇවිදී, හේ එහි තීව්‍ර වූ කටුක වූ දුඃඛ වෙදනා විඳී. යම් තාක් ඒ පාපක්‍රියා නො ගෙ වේ ද, ඒ තාක් කලුරිය නො කෙරේ.

මහණෙනි, නිරයපාලයෝ ඔහු ගෙන මහානිරයෙහි බහාලති. මහණෙනි, ඒ මහානිරය නම්:

(ඒ මහානිරය) චතුෂ්කර්ණ යැ, චතුර්ද්වාර යැ, වෙන වෙන ම කොටස් වශයෙන් බෙදන ලද, අයස්ප්‍රාකාරයෙන් පරික්ෂිප්ත යැ, යපියනින් පිළිසොයන ලද.

ඒ නරකයා ගේ අයෞමය වූ භූමියැ, එ ද ජ්වලිත යැ, ගිනිදල සහිත යැ, හැමදාම අවට සියක් යොදුන් තන්හි පැතිරැ සිටුනේ යි.

මහණෙනි, මම නන් අයුරින් නිරයකථා කියමි, මහණෙනි, නිරයයෝ මෙතෙක් දුක් ඇතියහ’යි කීමෙකින් මස්තකප්‍රාප්ත කොට කියන්නට සුකර නො වේ මැයි.

මහණෙනි, තණපතක් බුදිනා තිරිසන්ගිය ප්‍රාණීහු ඇත. ඔහු තෙත් වූත් වියැළි වූත් තණ දතින් සිඳිමින් කති. මහණෙනි, තණ බුදිනා තිරිසන්ගිය සත්හු කවරහ යත්: අශ්වයෝ යැ, ගොන්නු හැ, ගද්‍රභයෝ යැ, එළුවෝ යැ, මෘගයෝ යි, තෘණභක්ෂ්‍ය වූ මෙයින් අන්‍ය තිරිසන්ගිය කිසි ප්‍රාණි කෙනෙක් හෝ ඇද්ද, මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ රස බුදිනේ මෙලොවැ පව්කම් කොට කාබුන් මරණින් මතු තණ බුදිනා සත්හු වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.

මහණෙනි, අසුචි බුදිනා තිරිසන්ගිය ප්‍රාණීහු ඇත, ඔහු දුරින් මැ අසුචිගඳ අසා “මෙහි දී කම්හ, මෙහි දී කම්හ”යි දිවෙති. යම් සේ බමුණෝ “මෙහි දී වළඳම්හ, මෙහි දී වළඳම්හ”යි යාගගන්ධයෙන් දිවෙත් ද, මහණෙනි, එපරිදි මැ අසුචි කන තිරිසන්ගිය ප්‍රාණී කෙනෙක් ඇත, ඔහු දුරින් මැ ගූථගන්ධය අසා මෙහි කම්හ, මෙහි කම්හ’යි දිවෙත්. මහණෙනි, අසුචි කන තිරිසන්ගිය ප්‍රාණීහු කවරහ යත්: කුකුළෝ යැ, ඌරෝ යැ, බල්ලෝ යැ, සිවල්හු යි, අසුචි බුදිනා මෙයින් අන්‍ය යම් කිසි තිරිසන්ගිය ප්‍රාණීහු ඇද්ද, මහණෙනි, ඒ බාල මෙලොවැ පෙර ගෙධයෙන් රස වලඳනේ මෙලොවැ පව්කම් කොට කායභෙදයෙන් මරණින් මතු අසුචි බුදිනා යම් සත්ත්ව කෙනෙක් වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.

මහණෙනි, අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන තිරිසන් ගිය ප්‍රාණීහු ඇත. මහණෙනි, අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන තිරිසන්ගිය ප්‍රාණීහු කවරහ යත්: කීටයෝ යැ, පණුවෝ යැ, ගඩවිල්හු යි. අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන මෙයින් අන්‍ය යම් කිසි තිරිසන්ගිය ප්‍රාණීහු හෝ ඇද්ද, මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ රස වළඳනේ මෙලොවැ පව්කම් කොට කාබුන් මරණින් මතු අඳුරෙහි උපදනා අඳුරෙහි දිරන අඳුරෙහි මියන යම් සත්හු වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.

මහණෙනි, දියෙහි උපදනා දියෙහි දිරන දියෙහි මියන ප්‍රාණිහු ඇත, මහණෙනි, දියෙහි උපදනා දියෙහි දිරන දියෙහි මියන ප්‍රාණීහු කවරහ යත්: මස් හ, කසුබුවෝ යැ, කිඹුල්හු යි. දියෙහි උපදනා දියෙහි දිරන දියෙහි මියන මෙයින් අන්‍ය යම් කිසි ප්‍රාණී කෙනෙක් හෝ ඇද්ද, මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ ගෙධයෙන් රස වළඳනේ මෙලොවැ පව් කම් කොට කාබුන් මරණින් මතු දියෙහි දනන දියෙහි දිරන දියෙහි මියන යම් සත්හු වෙත් නම් ඒ සතුන් ගේ සහවාසයට එළැඹෙයි.

මහණෙනි, අසුචියෙහි උපදනා අසුචියෙහි දිරන අසුචියෙහි මියන තිරිසන්ගිය ප්‍රාණී කෙනෙක් ඇත. මහණෙනි, අසුචියෙහි දනන අසුචියෙහි දිරන අසුචියෙහි මියන ප්‍රාණීහු කවරහ යත්: මහණෙනි, යම් සත්ත්ව කෙනෙක් කුණුමසෙයි හෝ උපදිත් ද, කුණුමසෙහි හෝ දිරත් ද, කුණුමසෙහි හෝ මියත් ද, පූතිකුණපයෙහි හෝ ... කුණු කොමුයෙහි හෝ ... මොහොළෙහි හෝ ... ගවරවළැ හෝ උපදනා ... සත්ත්වයෝ ඇද්ද .... මහණෙනි, ඒ බාල පෙර මෙලොවැ ගෙධයෙන් රස වළඳනේ මෙලොවැ පව්කම් කොට කාබුන් මරණින් මතුයෙහි අසුචියෙහි දනන අසුචියෙහි දිරන අසුචියෙහි මියන යම් සත්ත්ව කෙනෙක් ඇද්ද, ඒ සතුන් ගේ සහ වාසයට එළැබෙයි.

මහණෙනි, මම නන්අයුරින් තිරශ්චීනයොනිකථා කියමි. මහණෙනි, තිරශ්චීනයොනිය ඉමහත් දුකැ’යි වචනයෙන් කියා නිමහම් පැමිණෙන්නට සුකර නොවෙයි.

මහණෙනි, යම්සේ පුරුෂයෙක් එක් සිදුරැති වියදඬක් මහමුහුදෙහි බහාලන්නේ වේ ද, තෙල වියදඬ පෙරදිගින් හමන සුළඟ පැසුළු කරා ගෙන යන්නේ වේ ද, පැසුළු දිගින් හමන සුළඟ පෙරදිග කරා ගෙනයන්නේ වේ ද, උතුරුදිගින් හමන සුළඟ දකුණුදික්හි ගෙනයන්නේ වේ ද, දකුණුදිගින් හමන සුළඟ උතුරුදිග්හි ගෙනයන්නේ වේ ද, ඒ මුහුදෙහි කණකැස්බෙක් ඇද්ද, ඒ කසුබු වර්ෂශතයක් වර්ෂශතයක් ඇවෑමෙන් වරක් ඉල්පෙන්නේ වේ ද, මහණෙනි, ඒ කෙසේ හඟිව් ද, ඒ කණකැස්බා තෙල එක් සිදුරැති වියදඬියෙහි ගෙල බහන්නේ වේ දැ’යි.

වහන්ස, දීර්ඝකාලයක් ඇවෑමෙන් යම් මැ දිනෙක වියැහෙන්නේ යැ’යි.

මහණෙනි, ඒ කණකැස්බා තෙල එක් සිදුරැති වියදඬියෙහි ඉතා ශීඝ්‍ර ව ගෙල බහන්නේය. මහණෙනි, මම වරක් විනිපාතගත බාලයා විසින් මනුෂ්‍යත්වය එයට වඩා දුර්ලභතර යයි කියමි. එ කවර හෙයින යත්: මහණෙනි, මෙහි ධර්මචර්‍ය්‍යා සමචර්‍ය්‍යා, කුශලක්‍රියා පුණ්‍යක්‍රියා නැත් ම ය, මහණෙනි, මෙහි උනුන් කෑම දුර්වලයන් කෑම ඇත.

මහණෙනි, ඒ බාල ඉදින් කිසි කලෙස දීර්ඝකාලයක්හු ගේ ඇවෑමෙන් සැඬල්කුලය වේව’යි වැදිකුලය වේව’යි කුලුපොතු කුලය වේව’යි රියකරු කුලය වේව’යි පුප්සඬුකුලය වේව’යි යම් නීචකුල කෙනෙක් ඇද්ද, යම් කුලයෙක්හි දුකසේ බත් වත් ලැබේ ද, දිළිඳු වූ අල්ප ආහාරපාන භොජන ඇති දුකසේ දිවිවැටුම් ඇති එබඳු කුලයෙහි උපදනේය. හේ වැලිත් දුර්වර්ණ වූයේ බිය එළවන දැකුම් ඇතියේ ලකුණුටක (අඟුටුමිටි) වූයේ බොහෝ ආබාධ ඇතියේ වෙයි, කණ හෝ කොර හෝ කුදු හෝ පිළු හෝ වෙයි, ආහාර පැන වස්ත්‍ර යාන මල්ගඳවිලෙවුන් ශයන අගාර හා පහන්තෙල් දුකසේ ලබනසුලු වෙයි. හේ කයින් දුසිරිත් කෙරෙයි, බසින් දුසිරිත් කෙරෙයි, සිතින් දුසිරිත් කෙරෙයි, හේ කයින් දුසිරිත් පුරා බසින් දුසිරිත් පුරා සිතින් දුසිරිත් පුරා කාබුන් මරණින් මතු සැපයෙන් පහවැගිය දුර්ගති ඇති විවස ව පතිත වන නිරයට එළැඹෙයි.

මහණෙනි, යම් පිරිදි අක්ෂධූර්ත තෙමේ පළමු පරාජයෙන් ම පුතුගෙනුදු පිරිහෙන්නේ යැ, අඹුවන්ගෙනුදු පිරිහෙන්නේ යැ, හැම වස්තුවෙනුදු පිරිහෙන්නේ යැ, මතුයෙහි දු බන්ධනටය පැමිණෙන්නේ යැ. මහණෙනි, යම් හෙයකින් ඒ අක්ෂධූර්ත පළමු පරාජයෙන් මැ පුතුගෙනුදු පිරිහේ ද, අඹුවන්ගෙනුදු පිරිහේ ද, සියලු වස්තුවෙනුදු පිරිහේ ද, මතුයෙහිත් බන්ධනයට පැමිණේ ද, ඒ පරාජය අල්පමාත්‍ර වූයෙක, වැළි යම් හෙයකින් ඒ බාල කයින් දුසිරිත් කොට බසින් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතුයෙහි අපාය දුර්ගති විනිපාත වූ නිරයට පැමිණේ ද මෙය මැ ඊට වඩා ඉතා මහත් පරාජයෙකි. මෙ ද මහණෙනි, සර්වපරිපූර්ණ වූ බාලභූමි වේ” යයි.

මහණෙනි, පණ්ඩිතයාගේ මේ පණ්ඩිතලක්ෂණයෝ පණ්ඩිත නිමිති හා පණ්ඩිත අපදානයෝ තුන්දෙනෙක් වෙති. කවර තුන්දෙනෙකැ යත්: මහණෙනි, මෙලොව පණ්ඩිත මනා සිතිවිලි සිතනුයේ ද වෙයි, මනා බස් බණනුයේ ද වෙයි, මනා ක්‍රියා කරනුයේ ද වෙයි. මහණෙනි, ඉදින් පණ්ඩිත මනා සිතිවිලි සිතනුයේත් නොවී නම් මනා බස් බණනු නො වී නම්, සුකෘත කර්ම නො කරනු වී නම් මේ භවත් පුරුෂ පණ්ඩිතයෙකැ යි පණ්ඩිතයෝ කවර ලකුණෙකින් ඔහු හඳුනත් ද, යම් හෙයකින් මහණෙනි, පණ්ඩිත මනා සිතිවිලි සිතනුයේත් වේ ද, සුභාෂිත බණනුයේත් වේ ද, සුකෘතකර්ම කරනුයේත් වේ ද, එහෙයින් පණ්ඩිතයෝ ‘මේ භවත් සත්පුරුෂ පණ්ඩිතයෙකැ’යි ඔහු දැන ගනිති.

මහණෙනි, මේ පණ්ඩිතපුරුෂ ඉහාත්මයෙහි මැ තුන් වැදෑරුම් සුවසොම්නස් විඳුනේ යැ. මහණෙනි, ඉදින් මේ පණ්ඩිත තෙමේ සභායෙකැ හුන්නේ හෝ වේ ද, වීථියෙකැ හුන්නේ හෝ වේ ද, සතර මංසන්ධියෙකැ හුන්නේ හෝ වේ ද, එහිලා ජනයා එයින් උපන් එයට නිසි කථා මන්ත්‍රණ කෙරේ. මහණෙනි, ඉදින් පණ්ඩිත තෙමේ පණිවායෙන් දුරු වූයේ වේ ද, අයිනාදනින් දුරු වූයේ වේ ද, කාමයෙහි මිසහසරින් දුරු වූයේ වේ ද, මුසාවයෙන් දුරු වූයේ වේ ද, මදපමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වේ ද, මහණෙනි, එහි දී ඒ පණ්ඩිතහට මෙබඳු සිත් වෙයි: ජනයා එයින් උපන් එයට නිසි යම් කථාවක් මන්ත්‍රණ කෙරේ ද, ඒ පණ්ඩිතධර්මයෝ මා වෙත ඇත. මම ද ඒ පණ්ඩිතධර්මයෙහි මොනොවට පැනෙමි’යි. මහණෙනි, පණ්ඩිත තෙමේ ඉහාත්මයෙහි මැ මේ පළමු වන සුඛ සෞමනස්‍ය විඳුනේ යැ.

යළිදු මහණෙනි, පණ්ඩිත තෙමේ අපරාධකාරී සොරු ගෙන විවිධ කම්කටොලු කරන රජුන් දකී. කසයෙනුදු තළනුවන් වේවැලිනුදු තළනුවන් . . . . කඩුයෙනුදු හිස සිඳුනුවන් දකී. මහණෙනි, එහි දී පණ්ඩිත පුරුෂහට මෙ සිත වෙයි. ‘යම්බඳු ලාමක අකුශල කර්මයන් හෙතුකොටගෙන අපරාධකාරී සොරු ගෙන රජදරුවෝ විවිධ කම්කටොලු කරද්ද: කසයෙනුදු තළද්ද, වේවැලිනුදු තළද්ද . . . කඩුයෙනුදු හිස සිඳිද්ද, ඒ අකුශල ධර්මයෝ මා කෙරෙහි විද්‍යමාන නො වෙති, මම ද ඒ අකුශලධර්මයන්හි නො පැනෙමි’යි. මහණෙනි, පණ්ඩිත තෙම ඉහාත්මයෙහි මේ දෙවැනි සුවසොම්නස වි ඳී.

යළිදු මහණෙනි, පණ්ඩිතයා පීඨයෙහි නැඟී සිටියහුට වේවයි මඤ්චයෙහි නැගී සිටියහුට වේවයි බිම හෝනහුට වේවයි ඔහු විසින් පෙර කරනලද කායසුචරිත වූ වාක්සුචරිත වූ මනඃසුචරිත වූ යම් කුශල කර්ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කුශලකර්මයෝ එළැඹසිටිති අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වෙත්, යම්පරිදි මහණෙනි, මහත් වූ පර්වත කූටයන්ගේ සෙවණැළි සවස් කාලයෙහි පොළොවෙහි අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වශයෙන් පැතිරෙත් ද එපරිදි ම මහණෙනි, පණ්ඩිතයා පීඨයෙහි නැඟීසිටියහු වේවයි මඤ්චයෙහි නැඟීසිටියහු වේවයි බිමැ හෝනහු වේවයි ඔහු විසින් පෙර කරනලද කායසුචරිත වූ වාක්සුචරිත වූ මනස්සුචරිත වූ යම් කුශලකර්ම කෙනෙක් ඇද්ද, එසමයෙහි ඔහුට ඒ කර්මයෝ අවලම්බන අධ්‍යවලම්බන අභිප්‍රලම්බන වශයෙන් එළැඹ සිටිත්. මහණෙනි, එහි දී පණ්ඩිතහට මෙබඳු සිත් වෙයි, ‘එකාන්තයෙන් මා විසින් පව් නො කරනලද, රෞද්‍රකර්ම නො කරනලද, කිල්විෂ නො කරනලද, කල්‍යණය කරනලද, කුශලය කරනලද, භයපරිත්‍රාණය කරනලද, නො කළ පව් ඇති නො කළ රෞද්‍රකර්ම ඇති නො කළ කිල්විෂ ඇති කළ කල්‍යාණ ඇති, කළ කුසල් ඇති කළ භයපරිත්‍රාණ ඇති සත්නට යම්බඳු ගතියක් ඇද්ද, ඒ ගතියට පරලොවැ යෙමි’යි හේ ශොක නො කෙරෙයි, වෙහෙස නො වෙයි, පරිදෙවනා නො කෙරෙයි, ළෙහි අත් පැහැර නො හඬයි, සම්මොහයට නො පැමිණෙයි. මහණෙනි, පණ්ඩිත තෙමේ ඉහාත්මයෙහි මැ මේ තුන්වැනි සුවසොම්නස විඳී.

මහණෙනි, ඒ පණ්ඩිත තෙමේ කයින් සුචරිතය කොට බසින් සුචරිතය කොට සිතින් සුචරිතය කොට කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්ගලොකයට පැමිණෙයි. මහණෙනි, මනාකොට කියනුයෙක් යම්ගතියක් සඳහා එකාන්තයෙන් ඉෂ්ට යැ එකාන්තයෙන් කාන්ත යැ ඒකාන්තයෙන් මනාප යැයි කියා නම් මනාකොට කියනුයෙක් ඒ ස්වර්ගය මැ එකාන්තයෙන් ඉෂ්ට යැ එකාන්තයෙන් කාන්ත යැ එකාන්තයෙන් මනාප යැ’යි කියන්නේ යැ. මහණෙනි, ඒ ස්වර්ගයෝ අතිශය සුව ඇත්තාහ’යි දක්වන්නට උපමාවකුදු සුකර නො වේ’යයි වදාළහ.

මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: වහන්ස, උපමාවක් එළවන්ට හැකි දැ? යි.

භාග්‍යවතුන් වහන්සේ මහණ, හැකි යයි වදාළසේක. ‘මහණ, යම්සේ සප්තරත්නයෙන් ද චතුර්විධ සෘද්ධියෙන් ද සමන්වාගත වූ සක්විති රජ ඒ හේතුයෙන් සුවසොම්නස් විඳී. කවර සතෙකින් ද යත්:

මහණ මෙලොවැ මූර්ධාභිෂික්ත වූ එදවස් පණුරැසි පොහොයෙහි ස්නානය කළ පෙහෙවස් වූ මතුමහල්තලයට නැඟී සිටි කැත්රජුහට දහසක් අර ඇති නිම්වළලු සහිත වූ නැබ සහිත වූ සර්වාකාරයෙන් පරිපූර්ණ වූ දිව්‍ය චක්‍රරත්නය පහළ වෙයි. මූර්ධාභිෂික්ත වූ ඒ ක්ෂත්‍රියරජුට එදැක මෙසිත වෙයි: ‘මා විසින් තෙල අසන ලද, මුර්ධාභිෂික්ත වූ එදවස් පෙහොයැ පණුරැසියෙහි ස්නානය කළ පෙහෙවස් වූ මතුමහල් තලයට පැමිණි කැත් රජක්හට දහසක් අර ඇති නිම්වළලු සහිත වූ නැබ සහිත වූ සර්වාකාරයෙන් පරිපූර්ණ වූ දිව්‍ය චක්‍රරත්නය පහළ වේ ද, ඒ රජ සක්විති වෙයි. මම් සක්විති රජ විම් දෝ හො’යි.

මහණෙනි, ඉක්බිති මූර්ධාභිෂික්ත වූ ක්ෂත්‍රිය රජ හුනස්නෙන් නැගී වමතින් කෙණ්ඩිය ගෙන දකුණතින් චක්‍රරත්නයට පැන් වඩයි. භවත් චක්‍රරත්නය ප්‍රවර්තන කෙරේවා, භවත් චක්‍රරත්නය දිනාව’යි කියා යි. එසඳ මහණෙනි, ඒ චක්‍රරත්නය පෙරදිගට ප්‍රවර්තන කෙරෙයි. තදනු කොට සක්විති රජ ද සිවුරඟ සෙනඟ සමග ප්‍රපර්තන කෙරෙයි. මහණෙනි, යම් පෙදෙසකැ චක්‍රරත්නය පිහිටා ද එහි සක්විති රජ සිවුරඟ සෙනඟ සමග වාසයට පැමිණෙයි.

මහණෙනි, පෙරදිග යම් ප්‍රතිපක්ෂ රජ කෙනෙක් ඇද්ද ඔහු සක්විති රජු කරා එළැඹ මෙසේ කියති: ‘එව මහරජ, මහරජ ස්වාගත යැ, මහරජ තොප අයති යැ, මහරජ අනුශාසනා කරව’යි.

සක්විතිරජ මෙසේ කියා: ප්‍රාණවධ නො කටයුතු යැ, අයිනාදන් නො ගතයුතු යැ, කාමයෙහි මිසහසර නො කටයුතු යැ, මෘෂා නො බිණියයුතු යැ, මද්‍ය නො පියයුතු යැ වැළඳූ පරිදි මැ වළඳව’යි කියා යි. යළි මහණෙනි, පූර්වදිශායෙහි යම් ප්‍රතිපක්ෂ රජ කෙනෙක් වෙද්ද, ඔහු සක්විති රජුට අනුයුක්ත වූවාහු වෙති. ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය පූර්ව සාගරයට වැදගෙන නැඟී දකුණුදිගට ප්‍රවර්තන කෙරෙයි . . . . දක්ෂිණ සාගරයට බැසගෙන නැඟී පශ්චිමදිශාවට ප්‍රවර්තන කෙරෙයි . . . . පශ්චිමසාගරයට බැසගෙන නැඟී උතුරුදිගට ප්‍රවර්තන කෙරෙයි. සක්විතිරජ සියුරඟ සෙනඟ සමග අනුප්‍රවර්තන කෙරෙයි.

තවද මහණෙනි, යම් පෙදෙසක චක්‍රරත්නය පිහිටා ද එහි සක්විතිරජ සියුරඟ සෙනඟ සමග වාසයට පැමිණෙයි. තවද මහණෙනි, උතුරු දිශායෙහි යම් ප්‍රතිපක්ෂ රජ කෙනෙක් ඇද්ද, ඔහු සක්විති රජු කරා එළඹ මෙසේ කියති: එව මහරජ, ස්වාගත යැ මහරජ, මහරජ තොපගේ අයතියැ වෙයි, අනුශාසනා කරව මහරජ’යි.

සක්විතිරජ මෙසේ කියයි: ප්‍රාණවධ නො කටයුතු යැ, අයිනාදන් නො ගතයුතු යැ, කාමයෙහි මිසහසර නො කටයුතු යැ, මෘෂා නො බිණියයුතු යැ, මද්‍ය නො පියයුතු යැ, වැළඳූ පරිදි මැ වළඳව’යි, තවද මහණෙනි, උතුරු දිශායෙහි යම් ප්‍රතිපක්ෂ රජ කෙනෙක් ඇද්ද, ඔහු සක්විති රජුට අනුයුක්ත වූවාහු වෙති.

ඉක්බිති මහණෙනි, ඒ චක්‍රරත්නය සමුද්‍රපර්‍ය්‍යන්ත කොට ඇති පෘථිවිය දිනා ඒ රාජධානියට ම පෙරළා අවුත් සක්විති රජුගේ අන්තඃපුරද්වාරය හොබවමින් අකුරැ ගැසූ කලක් මෙන් සිටී. මහණෙනි, සක්විති රජුට මෙබඳු වූ චක්‍රරත්නය පහළ වෙයි:

තවද මහණෙනි, සක්විති රජුට හස්තිරත්නය පහළ වෙයි. සව්සුදු සතඟින් පොළොව පහස්නා ඉදුහ ඇති අහසැ යන උපොසථකුලයෙහි ඇත්රජෙකි. එ දැක සක්විති රජුගේ සිත පහදී. ‘භවත්නි, ඉදින් දමනයට පැමිණේ නම් එකාන්තයෙන් භද්‍ර වූ හස්තියානයෙකැ, යි. ඉක්බිති මහණෙනි, ඒ හස්තිරත්නය දීර්ඝරාත්‍රයෙහි මොනොවට දමනය කළ භද්‍ර වූ ආජානීය හස්තියකු යම්සේ නම් එපරිදි මැ දමනයට පැමිණෙයි. මහණෙනි, පෙර වූවකි: සක්විති රජ එ මැ හස්තිරත්නය විමසනුයේ පෙරවරුයෙහි නැඟී සමුද්‍රපර්‍ය්‍යන්ත වූ පෘථිවිය වටා ගොස් එ මැ රාජධානියට පෙරළා අවුත් පෙරබත්කිස කෙළේ යැ. මහණෙනි, සක්විති රජුට මෙබඳු වූ හස්තිරත්නය පහළ වෙයි.

තවද මහණෙනි, සක්විතිරජුට අශ්වරත්නය පහළ වෙයි. සව්සුදු කළුවන්හිස් ඇති මුදුතණ බඳු කෙස් ඇති ඉදුහ ඇති අහසැ යන වලාහක කුලයෙහි අස්රජෙකි. එ දැක සක්විතිරජුගේ සිත පහදී: ‘භවත්නි, ඉදින් දමනයට පැමිණේ නම් එකැතින් භද්‍ර වූ අශ්වයානයෙකැ’යි. ඉක්බිති මහණෙනි, ඒ අශ්වරත්නය දීර්ඝරාත්‍රයෙහි මොනොවට දැමූ භද්‍ර වූ ආජානීය අශ්වයෙක් යම්සේ නම්, එපරිදි මැ දමනයට පැමිණෙයි. මහණෙනි, පෙර වූවකි: සක්විති රජ එ මැ අශ්වරත්නය විමසනුයේ පෙරවරුයෙහි නැඟී සමුද්‍රපර්‍ය්‍යන්ත වූ පෘථිවිය වටා ගොස් එමැ රාජධානියට පෙරළා අවුත් පාතරාසය කෙළේ යැ. මහණෙනි, සක්විති රජුට මෙ බඳු වූ අශ්වරත්නය පහළ වෙයි.

තවද මහණෙනි, සක්විති රජුට මණිරත්නය පහළ වෙයි. හේ ශොභන වූ ජාතිමත් වූ අටැස් වූ මොනවට පිරියම් කළ වෙරළුමිණෙක් වෙයි. මහණෙනි, ඒ මාණික්‍යරත්නයාගේ වැළිත් ආලොකය හාත්පසැ යොදුනක් පැතිරැ සිටියේ වෙයි. මහණෙනි, පෙර වූවකි: සත්විතිරජ එ මැ මිණිරුවන විමසනුයේ සියුරඟ සෙනඟ සන්නද්ධ කොට මිණිරුවන ධ්වජාග්‍රයට නඟා රැය ගනඅඳුරෙහි නික්ම ගියේ යැ. මහණෙනි, හාත්පසැ යම් ගම්වැසි කෙනෙක් වූවාහු ද ඔහු ඒ ආලොකයෙන් ‘දහවලැ’යි සිතමින් කර්මාන්තයන් කළහ. මහණෙනි, සක්විති රජුට මෙ බඳු මිණිරුවන පහළ වෙයි.

තවද මහණෙනි, සක්විති රජුට ස්ත්‍රීරත්නය පහළ වෙයි. විශිෂ්ට රූප ඇත්තී යැ දැකුම්කලු යැ ප්‍රසාද ඵළවන්නී යැ උතුම් වූ වර්ණ සෞන්දර්‍ය්‍යයෙන් යුක්ත යැ. ඉතා නො උස් යැ ඉතා නො මිටි යැ ඉතා සිඟු නො වූ යැ ඉතා මහත් නො යූ යැ, ඉතා කැළි නො වූ යැ ඉතා සුදු නො වූ යැ මිනිස් පැහැ ඉක්ම සිටියේ යැ දිව්‍යවර්ණයට නො පැමිණියා වෙයි. මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ මෙ බඳු කායසංස්පර්ශයෙක් වෙයි. හිඹුල්පුළුන් හෝ කපු පුළුන් හෝ යම්සේ නම් එමෙනි. යළි මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ ගාත්‍රයෝ සිහිලෙහි උණුසුම් වෙති, උණුසුමෙහි සිහිලුවූ ගාත්‍රයෝ වෙත්, මහණෙනි, ඒ ස්ත්‍රීරත්නයාගේ වැළිත් සිරිරින් සඳුන්සුවඳ හමයි, මුවින් උපුල්සුවඳ හමයි. තවද මහණෙනි, ඒ ස්ත්‍රීරත්නය සක්විති රජුට පළමු නැඟීසිටින්නී පසුව නිදන්නී ‘කුම් කෙරෙම් දැ’ යි (උපස්ථායිකා වශයෙන්) පිළිවිස කරන්නී මනවඩනා දෑ කරන්නී ප්‍රිය තෙපුල් බණන්නී වෙයි. ඒ ස්ත්‍රිරත්නය වැළිත් සක්විතිරජු සිතිනුදු නො ඉක්මවයි, කයින් ඉක්මවයි යනු කිම? මහණෙනි, සක්විති රජුට මෙබඳු වූ ස්ත්‍රීරත්නය පහළ වෙයි.

තවද මහණෙනි, සක්විති රජුට ගෘහපති රත්නයෙක් පහළ වෙයි. ඔහුට කර්මවිපාකජ වූ දිව ඇස පහළ වෙයි. යම් ඇසෙකින් සස්වාමික වූ ද අස්වාමික වූ ද නිධාන දකී ද එ බඳු ඇසෙකි. හේ සක්විතිරජු කරා එළැඹ මෙසේ කියයි: ‘දේවයන් වහන්ස, තෙපි අල්පොත්සුක වා. මම් තොපට ධනයෙන් ධනකරණී කෙරෙමි’යි. මහණෙනි, පෙර වූවකි: සක්විති රජ එ මැ ගෘහපතිරත්නය විමසනුයේ නැවකට නැඟී ගංඟානදී මැද ශ්‍රොතසට වැද ගෘහපතිරත්නයට තෙල කී: ‘ගෘහපතිය, මට හිරණ්‍යස්වරණයෙන් ප්‍රයොජන ඇතැ’යි. ‘මහරජ, එසේ වී නම් නැව එක් ඉවුරකට පැමිණෙව’යි. ‘ගෘහපතිය, මට මෙහි දී ම, හිරණ්‍යස්වර්ණයෙන් ප්‍රයොජන ඇතැ’යි. ඉක්බිති මහණෙනි, ඒ ගෘහපතිරත්නය දෑතින් දිය ස්පර්ශ කොට රත්රන් අමුරනු පිරූ කළයක් නඟාගෙන සක්විති රජුට මෙසේ කී: ‘මහරජ මෙතෙකින් පමණ, මහරජ මෙතෙකින් කළකිස ඇත. මහරජ මෙතෙකින් පුදනලදැ’යි. සක්විතිරජ මෙසේ කී: ගෘහපතිය මෙතෙකින් පමණ. ගැහැවිය මෙතෙකින් කළකිස ඇත. ගැහැවිය මෙතෙකින් පුදනලදැ‘යි. මහණෙනි, සක්විතිරජුට මෙ බඳු වූ ගෘහපතිරත්නය පහළ වෙයි.

තවද මහණෙනි, සක්විති රජුට පරිනායක රත්නය පහළ වෙයි. හේ පණ්ඩිත යැ ව්‍යක්ත යැ විශිෂ්ටබුද්ධි ඇත්තේ යැ සක්විතිරජු කරා එළවියයුත්තහු එළවාලන්නට ද නෙරවා ලියයුත්තහු නෙරවාලන්නට ද ප්‍රතිබල වෙයි, තනතුරෙහි තැබියයුත්තහු තනතුරෙහි තබන්නට ද ප්‍රතිබල වෙයි. හේ සක්විතිරජු කරා එළැඹ මෙසේ කියයි: ‘දෙවයන් වහන්ස, තෙපි අල්පොත්සුක වා. මම අනුශාසනා කෙරෙමි’යි. මහණෙනි, සක්විති රජහට මෙබඳු පුත්‍රරත්නය පහළ වෙයි.

මහණෙනි, සක්විතිරජ මේ සප්තරත්නයෙන් සමන්වාගත වෙයි.

කවර සතර සෘද්ධියකින් සමන්විත වේ ද යත්:

මහණෙනි, මොලොව සක්විතිරජ අභිරූප වූයේ දර්ශනීය වූයේ ප්‍රසාද ඵළවනු වූයේ වෙයි. අන් මිනිසුන්ට වඩා උතුම් වර්ණසෞන්දර්‍ය්‍යයෙන් අතිශයින් සමන්වාගත වෙයි. මහණෙනි, සක්විතිරජ මේ පළමු වන සෘද්ධියෙන් සමන්විත වෙයි.

තවද මහණෙනි, සක්විතිරජ අන් මිනිසුනට වඩා අතිශයින් දීර්ඝායුෂ්ක වූයේ චිරස්ථායි වූයේ වෙයි. මහණෙනි, සක්විතිරජ මේ දෙවන සෘද්ධියෙන් සමන්විත වෙයි.

තවද මහණෙනි, සක්විතිරජ අන් මිනිසුනට වඩා අල්පාබාධ වූයේ අල්පාතඞ්ක වූයේ ඉතා සිහිල් නො වූ ඉතා උණුසුම් නො වූ සමව පැසෙන ග්‍රහණියෙන් සමන්විත වූයේ වෙයි. මහණෙනි, සක්විතිරජ මේ තුන්වැනි සෘද්ධියෙන් සමන්විත වෙයි.

තවද මහණෙනි, සක්විතිරජ බමුණු ගැහැවියනට ප්‍රිය මනාප වෙයි. මහණෙනි, යම්සේ පිය තෙම පුතුනට ප්‍රිය මනාප වේ ද, මහණෙනි, එපරිදි මැ සක්විතිරජ බමුණු ගැහැවියනට ප්‍රිය මනාප වේ. මහණෙනි, බමුණුගැහැවියෝ සක්විතිරජට ද ප්‍රිය මනාප වෙති. මහණෙනි, යම්සේ පුත්‍රයෝ පියාට ප්‍රියමනාප වෙත් ද, මහණෙනි, එපරිදි මැ බමුණුගැහැවියෝ සක්විතිරජුට ද ප්‍රිය මනාප වෙත්. මහණෙනි, පෙර සක්විතිරජ සියුරඟ සෙනඟ සමග උයන්බිමට නික්මිණ. මහණෙනි, එකල්හි බමුණුගැහැවියෝ සක්විතිරජු කරා එළඹ මෙසේ කීහ: ‘දේවයෙනි, යම්සේ ඇපි තොප බොහෝ වෙලාවක් දක්නමෝ ද එසෙයින් ලැසි වැ ගියමැනැවැ’යි, මහණෙනි, සක්විතිරජ ද රියැදුරා ඇමැතී: ‘සාරථිය, යම් පරිදි බමුණුගැහැවියෝ මා බොහෝ වේලාවක් දක්නාහු නම් එපරිදි ලැසි වැ (අසුන්) මෙහෙයාලව’යි. මහණෙනි, සක්විතිරජ මේ සතර වැනි සෘද්ධියෙන් සමන්වාගත වෙයි.

මහණෙනි, සක්විතිරජ මේ සතර සෘද්ධියෙන් සමන්වාගත වේ.

මහණෙනි, ඒ කිමායි සිතවු ද, මේ සප්තරත්නයෙන් ද මේ චතුර්විධ සෘද්ධියෙන් ද සමන්වාගත වූ සක්විතිරජ කිම ඒ හේතුයෙන් සුවසොම්නස් විඳිනේ දැ?යි.

වහන්ස, ඒ එකෙකි රත්නයෙකිනුදු සමන්වාගත සක්විතිරජ ඒ හෙතුයෙන් සුවසොම්නස් විඳිනේ යැ, සත්රුවනින් ද සතර ඉදුහයෙන් ද යුක්ත වූයේ කියනු කිමැ’යි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මිට පමණ වූ පුරුතු පහණක් ගෙන භික්ෂූන් ඇමැතූ සේක. මහණෙනි, ඒ කිමැයි සිතවු ද? මා විසින් ගන්නාලද අතුල් පමණ වූ යම් පුරුතු පහණෙක් ඇද්ද, යම් හිමවත් පර්වතරාජයෙකුත් ඇද්ද, මෙයින් කවරෙක් අතිශයින් මහත් වේ දැ? යි.

වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අල්ප වූ පාණිමාත්‍ර වූ ගන්නාලද මේ පාෂාණය අල්පමාත්‍ර යැ හිමවත් පර්වතරාජයා නිසා සඞ්ඛ්‍යාවට ද නො පැමිණෙයි. කලභාගයට ද නො පැමිණෙයි. උපනික්ෂෙපයට ද නො පැමිණෙයි.

එපරිදි මැ මහණෙනි, සක්විතිරජ සත්රුවනින් ද සතර ඉදුහයෙන් ද සමන්වාගත වූයේ එකරුණෙන් යම් සුවයක් සොම්නසක් විඳී ද එය දිව්‍ය සුඛය නිසා සඞ්ඛ්‍යාවට ද නො පැමිණෙයි, කාලභාගයට ද නො පැමිණෙයි, උපනික්ෂෙපයට ද නො පැමිණෙයි.

මහණෙනි, ඒ පණ්ඩිත ඉදින් කිසි කලෙක දීර්ඝකාලයක්හුගේ ඇවෑමෙන් මිනිසත් බවට පැමිණේ ද කැත්මහසල්කුල වේවයි බමුණු මහසල් කුල වේවයි ගැහැවිමහසල්කුල වේවයි යම් ඒ කුල කෙනෙක් ඇද්ද, ආඪ්‍ය වූ මහත්ධන ඇති මහාභොග ඇති බොහෝ රන්රිදී ඇති බොහෝ පරිභොග උපකරණ ඇති බොහෝ ධනධාන්‍ය ඇති එබඳු කුලයෙහි උපදනේ වෙයි. හෙ ද අභිරූප වූයේ දර්ශනීය වූයේ ප්‍රසාද එළවනුයේ උතුම් වර්ණ සෞන්දර්‍ය්‍යයෙන් යුක්ත වූයේ වෙයි. ආහාර පාන වස්ත්‍ර යාන මල්ගඳවිලෙවුන් වාසාගාර හා පහන්තෙල් ලබනසුලු වෙයි. හේ කයින් සුචරිතය පුරයි. බසින් සුචරිතය පුරයි, සිතින් සුචරිතය පුරයි. හේ කයින් සුචරිතය පුරා බසින් සුචරිතය පුරා සිතින් සුචරිතය පුරා කාබුන් මරණින් මතුයෙහි සුගති වූ ස්වර්ගලොකයට පැමිණෙයි. මහණෙනි, යම් පරිදි අක්ෂධූර්තයෙක් පළමු වන ජයග්‍රහණයෙන් මැ මහත් වූ භෞගස්කන්ධය ලබා ද මහණෙනි, යම් හෙයෙකින් ඒ අක්ෂධූර්ත පළමු වන ජයග්‍රහණයෙන් මැ මහත් වූ භොග ස්කන්ධය ලබා නම් ඒ ජයග්‍රහණය අල්පමාත්‍ර යැ. වැළි යම් හෙයෙකින් ඒ පණ්ඩිත කයින් සුචරිතය පුරා බසින් සුචරිතය පුරා සිතින් සුචරිතය පුරා කාබුන් මරණින් මතුයෙහි සුගති ස්වර්ගලොකයට පැමිණේ ද මේ ජයග්‍රහණය මැ ඊට වඩා අතිශයින් මහත් වෙයි. මහණෙනි, මේ සර්වපරිපූර්ණ වූ පණ්ඩිතභූමි වේ යයි.

භාග්‍යවතුන් වහන්සේ මේ බාලපණ්ඩිත සුත වදාළසේක. සතුටුසිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු යි.

නවවැනිබාලපණ්ඩිතසූත්‍රය නිමියේ ය