භූමිජ සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

තෙවැනි සුඤ්ඤත වර්ගය

3.3.6

භූමිජ සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වෙළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ පෙරවරු කාලයෙහි හැඳපෙරෙව පාසිවුරු ගෙන ජයසෙන රාජකුමරහුගේ නිවෙස්න යම් තැනෙක්හි ද එතැන්හි එළැඹියහ. එළැඹ පැන්වු අස්නෙහි වැඩහුන්හ.

එසඳ ජයසෙන රාජකුමාර ආයුෂ්මත් භූමිජ තෙරණුවන් කරා එළැඹ, ආයුෂ්මත් භූමිජ තෙරණුවන් සමග සතුටු විය. සම්මොදනයට නිසි සිහි කරන්නට නිසි කථාව කොට නිමවා එකත්පස් වැ හින. එකත්පස් ව හුන් ජයසෙන රාජකුමර ආයුෂ්මත් භූමිජ තෙරණුවන්ට තෙල කී: “භවත් භූමිජයෙනි, මෙවන් වාද ඇති මෙවන් දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණු කෙනෙක් ඇත්තාහ: “ඉදින් ආශා කොට බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභව්‍යයෝ යැ, අනාශා කොට බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභව්‍යයෝ යැ, කලෙක ආශා කොටත් කලෙක අනාෂා කොටත් බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභාව්‍යයෝ යැ, නො මැ ආශා කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නමුදු ඵලාධිගමයට අභව්‍යයෝ වෙති” යි. මෙහි ලා භවත් භූමිජ තෙරුන්ගේ ශාස්තෘන් වහන්සේ කුමන වාද ඇති සේක් ද? කුමක් ප්‍රකාශ කරන සේක් දැ” යි.

රාජකුමාරය, මා විසින් තෙල කරුණ බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද, “බුදුහු මෙසේ වදාරති” යන තෙල කරුණ ඇත. “ආශා කොටත් නුනුවණින් බඹසර වසත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් නුනුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා ද අනාශා ද කොටත් නුනුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් නුනුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා කොටත් නුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, අනාශා කොටත් නුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, ආශා ද අනාශා ද කොටත් නුවණින් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් නුවණින් බඹසර හැසිරෙත් නම්, ඵලාධිගමයට භව්‍යයහ” යන තෙල කරුණ යි. රාජකුමාරය, මා විසින් තෙල කරුණ බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද, “බුදුහු මෙසේ වදාරති” යන තෙල කී කරුණ විය හෙයි.

ඉදින් භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ මෙසේ වදාරන සේක් නම්, මෙසේ බණන සේක් නම්, භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ හැම මහණ බමුණන්ගේ මුදුන් පැහැර සිටුනා සේක් වැන්න. එසඳ ජයසෙන රාජකුමාර ආයුෂ්මත් භූමිජ තෙරණුවන් තමන් සතු වූ මැ මුළුබතින් පිරිවිසි.

ඉක්බිති ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ පසුබතැ පිඬුවායෙන් වැළැක්කාහු බුදුන් කරා එළැඹියහ. එළැඹ බුදුන් සකසා වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකළෝ. “වහන්ස, මම පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙන ජයසෙන රජකුමරුන් නිවෙසට ගියෙමි. ගොස් පැනවූ අස්නෙහි හිනිමි. වහන්ස, එසඳ ජයසෙන රජකුමර මා කරා එළැඹියේය, එළැඹ මා සමග සතුටු වී. සම්මොදනයට නිසි කලාතුරුහි සිහි කළයුතු කථාව කොට නිමවා, එකත්පස් ව හින. වහන්ස, එකත්පස් ව හුන් ජයසෙන රජකුමර මට තෙල සැලකෙළේ: “භවත් භූමිජයෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණබමුණු කෙනෙක් ඇත. ‘ආශා කොටත් බ්‍රම්සර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් බඹසර පුරත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ” යි. මෙහි ලා භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ කෙබඳු වාද ඇති සේක් ද? කුමක් ප්‍රකාශ කරන සේක් දැ” යි.

වහන්ස, මෙසේ කී කල මම ජයසෙන රජකුමරහට තෙල කීමි: “රාජකුමාරය, තෙල කරුණ මා විසින් බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද, ‘බුදුහු මෙසේ වදාරති’ යන් තෙල කරුණ ඇත: ‘ආශා කොට ද නුනුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ... ආශා නො කොට ද අනාශා නො කොට ද නුනුවණින් බඹසර පුරත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා කොට ද නුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට භව්‍යයහ, අනාශා කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද නුවණින් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට භව්‍යයහ” යි. රජකුමර, මෙසේ තෙල කරුණ මා විසින් බුදුන් හමුයෙහි නො අසන ලද, හමුයෙහි නො පිළිගන්නා ලද. ‘බුදුහු මෙසේ වදාරති’ යන තෙල කරුණ ඇතැ’ යි කීමි. ඉදින් භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ මෙබඳු වාද ඇති සේක් නම්, මෙබඳු දෘෂ්ටි ඇති සේක් නම්, භවත් භූමිජයන්ගේ ශාස්තෲන් වහන්සේ හැම මහණබමුණන්ගේ මුදුන් පැහැරගෙන සිටුනාක් වැන්නහ” යි, හේ කී.

වහන්ස, කිම මෙසේ පුළුවුස්නා ලද්දෙම් මෙසේ පිළිතුරු විසින් පවසන්නෙම්, භගවත් හට උක්තවාදී වෙම් දෝ, භාග්‍යවතුන් වහන්සේ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කෙරෙම් දෝ, ධර්මානුධර්මය ප්‍රකාශකෙරෙම් දෝ, කිසියම් සකාරණ වාදානුවාදයෙක් ගර්හණීය තැනට නොද ඒ දෝ හෝ’ යි, (දන්නට රිසියෙමි).

භූමිජය, ඒකාන්තයෙන් තෙපි මෙසේ විචාරන ලදුවහු මෙසේ ප්‍රකාශ කරන්නහු මා පිළිබඳ ව උක්තවාදී වව, මට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කරන්නහු වව, ධර්මයට අනුධර්මය ද ප්‍රකාශ කරන්නහු වව, කිසි යම් සහෙතුක වාදානුවාදයෙක් ගර්හණීයස්ථානයට ද නො එයි.

භූමිජය, මිථ්‍යාදෘෂ්ටික වූ මිථ්‍යාසංකල්ප ඇති මිථ්‍යාවාක් ඇති මිථ්‍යාකර්මාන්ත ඇති මිථ්‍යාආජීව ඇති මිථ්‍යාව්‍යායාම ඇති මිථ්‍යාස්මෘති ඇති මිථ්‍යාසමාධි ඇති යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඇද්ද, ඔහු ආශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා කොටත් අනාශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ. එ කවර හෙයින් යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වේ ද එහෙයිනි.

යම්සේ භූමිජය, තෙල් කැමැති තෙල් සොයන තෙල් සෙවීමෙහි හැසිරෙන පුරුෂයෙක් පැසෙහි වැලි එව දිය ඉස ඉස පෙළන්නේ නම්, ආශා කොට නමුදු පැසෙහි වැලි එව දිය ඉස ඉස මිරිකනුයේ නමුදු තෙල් ලැබීමට අභව්‍ය ය. ආශා නො කොටපියාත් පැසෙහි වැලි එව දිය ඉස ඉස පෙළා නමුදු තෙල් ලැබීමට අභව්‍ය ය, ආශා කොටත් අනාශා කොටත් පැසෙහි වැලි එව ඉස ඉස පෙළා නමුදු තෙල් ලැබීමට අභාව්‍ය ය, නො මැ ආශා කොට ද අනාශා නො කොට ද පැසෙහි වැලි එව දියෙන් තෙම තෙමා පෙළන්නේ නමුදු තෙල් ලබාගැනීමට අභව්‍ය ය. එ කවර හෙයින යත්: භූමිජය, තෙල් මිරිකා ගැනීමට ඒ අකාරණ හෙයිනි. එසෙයින් ම භූමිජය, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මිථ්‍යාදෘෂ්ටික වූවාහු මිථ්‍යාසංකල්ප ඇත්තාහු මිථ්‍යාවචන ඇත්තාහු මිථ්‍යාකර්මාන්ත ඇත්තාහු මිථ්‍යාආජීව ඇත්තාහු මිථ්‍යාව්‍යායාම ඇත්තාහු මිථ්‍යාස්මෘති ඇත්තාහු මිථ්‍යාසමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා හා අනාශා හා කොටත් බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට අභව්‍යයහ. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වෙයි, එහෙයිනි.

භූමිජය, යම් පරිදි කිරැටි වූ කිරි සොයන ක්ෂීරපර්‍ය්‍යෙෂණ කරන පුරුෂයෙක් තුරුණු වසුපැටකු ඇති දෙනක් ගෙන අඟ අදනේ වේ ද, ආශා කොටත් තරුණ වසුපැටකු ඇති දෙන අඟ අදනේ වේ ද, කිරිලබන්නට අභව්‍ය වෙයි, අනාශා කොටත් ... ආශාත් අනාශාත් කොටත් ... ආශා ද නො කොට අනාශා ද නො කොටත් තුරුණු වසුපැටකු ඇති දෙන ගෙන අඟ අදනේ වේ ද, කිරි ලබන්නට නො නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, කිරි ලබන්නට තෙල අනුපාය වෙයි, එහෙයිනි. භූමිජය, එපරිදි ම යම් මැ මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’ යි මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු ... මිථ්‍යාසමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොට ද බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට නො නිස්සහ, අනාශා කොට ද ... ආශා හා අනාශා හා කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට නො නිස්සහ. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වේ ද, එහෙයිනි.

භූමිජය, යම් පරිදි වෙඬරු කැමැති වෙඬරු ඉලියන වෙඬරු පිරියෙස්ලි කරන පුරුෂයෙක් දියත්තක් ගෙන කලසයෙකැ එවැ මථනදඬියෙන් කලබන්නේ වේ ද, ආශා කොට ද කෙළෙහි දිය එව මන්ථනදණ්ඩකින් කලබන්නේ වේ ද, වෙඬරු ලබන්නට නො නිස්ස. අනාශා කොට ද ... ආශා හා අනාශා හා කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද දිය කළයෙක්හි එව මන්ථනයෙන් කලබන්නේ වේ ද, වෙඬරු ලබන්නට නො නිස්ස, භූමිජය, වෙඬරුවට තෙල අනුපාය වේ ද, එහෙයිනි. භූමිජය, එපරිදි මැ යම් කිසිමහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’ යි මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු ... මිථ්‍යාසමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොට ද බඹසර වසත් නම්, ඵලාධිගමයට අභව්‍යයහ, අනාශා කොට ද ... බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට නො නිස්සහ. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වේ ද, එහෙයිනි.

භූමිජය, යම් පරිදි ගිනි කැමැති ගිනි සොයන අග්නිපර්‍ය්‍යෙෂණ කරන පුරුෂයෙක් සස්නේහ වූ තෙත් දඬුකඩක් ගෙන උතුරුරිණි ගෙන මථනය කරන්නේ වේ ද, ආශා කොට ද, සස්නේහ තෙත් දඬුකඩ ගිනිගානා උතුරු දඬු ගෙන මඩනේ වේ ද, ගිනි ලබන්නට නො නිස්ස. අනාශා කොට ද ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොට ද අනාශා නො කොට ද සස්නේහ ආර්ද්‍ර කාෂ්ටය ගිනිගානා උතුරුදඬු ගෙන මඩනේ වේ ද, ගිනි ලබන්නට නො නිස්සය. ඒ කවර හෙයින යත්: භූමිජය, ගිනි ලබන්නට තෙල අනුපාය වේ ද, එහෙයිනි. භූමිජය, එපරිදි මැ යම් මැ මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’ යි මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු ... මිථ්‍යාසමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොට ද බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට අභව්‍ය වෙති, අනාශා කොට ද ... ආශාත් අනාශාත් කොට ද ... ආශා නො කොට ද අනාශා නො කොට ද බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට අභව්‍ය වෙති. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල අනුපාය වෙයි, එහෙයිනි.

භූමිජය, යම් කිසි මහණ කෙනෙක් වෙත්ව’යි බමුණු කෙනෙක් වෙත්ව’යි සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්සංකල්ප ඇත්තාහු සම්‍යග්වචන ඇත්තාහු සම්‍යක්කර්මාන්ත ඇත්තාහු සම්‍යග්ආජීව ඇත්තාහු සම්‍යග්ව්‍යායාම ඇත්තාහු සම්‍යක්ස්මෘති ඇත්තාහු සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොට ද බ්‍රහ්මචර්‍ය්‍ය පුරත් නම්, ඵලාධිගමයට භව්‍යයහ, අනාශා කොට ද බ්‍රහ්මචර්‍ය්‍ය කෙරෙත් නම්, ඵලාධිගමයට යොග්‍යයහ. ආශා ද අනාශා ද කොටත් බ්‍රහ්මචර්‍ය්‍ය කෙරෙත් නම්, ඵලාධිගමයට යුතුවහ. ආශා නො කොට ද අනාශා නො කොට ද බඹසර සෙරෙත් නම්, ඵලාධිගමයට සුදුසුයහ. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල උපාය වෙයි, එහෙයිනි.

යම්සේ භූමිජය, තෙල් කැමැති තෙල් සොයන තෛලපර්යෙෂණ කරන පුරුෂයෙක් තලපිටි පැසෙහි එව දිය ඉස ඉස පෙළන්නේ වේ ද, ආශා කොටත් තලපිටි පැස එව දිය ඉස ඉස පෙළන්නේ වේ ද, තෙල් ලබන්නට නිස්ස, අනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් තලපිටි පැස එව දිය ඉස ඉස පෙළන්නේ වේ ද, තෙල් ලබන්නට නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, තෙල් ලබන්නට තෙල උපාය වේ ද එහෙයිනි. භූමිජය, එපරිදි මැ යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු ... සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් බ්‍රම්සර සෙරෙත් නම්, ඵලාධිගමයට නිසි වෙති, ආශා නො කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර වෙසෙත් නම් ඵලාධිගමයට භව්‍ය වෙති. එ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල උපාය වේ ද, එහෙයිනි.

භූමිජය, යම් පරිදි කිරි කැමැති කිරි සොයන ක්ෂීරපර්‍ය්‍යෙෂණ කරන පුරුෂයෙක් තුරුණු වස්සකු ඇති දෙනක් තන ගෙන අදනේ වේ ද, ආශා කොටත් තුරුණු වසු ඇති දෙන තෙනෙහි ගෙන අදනේ වේ ද, කිරි ලබන්නට නිස්ස. ආශා නො කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් තුරුණු වසු ඇති දෙන තන ගෙන අදනේ වේ ද, කිරි ලබන්නට නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, කිරි ලබන්නට තෙල උපාය වේ ද එහෙයිනි. එසෙයින් ම භූමිජය, යම් කිසි මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’යි සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු ... සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් ... බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට යුතුවහ, ආනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් බ්‍රම්සර සෙරෙත් නම් ඵලාධිගමයට භව්‍යයහ. ඒ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල උපාය වෙයි, එහෙයිනි.

භූමිජය, යම් පරිදි වෙඬරු කැමැති වෙඬරු ඉලියන වෙඬරු පිරියෙස්ලි කරන පුරුෂයෙක් කළයෙහි දිහි එවගෙන මතින් කලබන්නේ වේ ද, ආශා කොටත් කළයෙහි දිහි එවගෙන මතින් අලළන්නේ වේ ද, වෙඬරු ලබන්නට නිස්ස. ආනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් කළයෙහි දිහි එවගෙන මතින් අලළන්නේ වේ ද, වෙඬරු ලබන්නට නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, වෙඬරු ලබන්නට තෙල උපාය වෙයි, එහෙයිනි. භූමිජය, එපරිදි ම යම් කිසි මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’යි සම්‍යග්දෘෂ්ටි ඇත්තාහු ... සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට භව්‍ය වෙති. ආනාශා කොටත් ... ආශා ද අනාශා ද කොටත් ... ආශා නො කොටත් අනාශා නො කොටත් බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට භව්‍ය වෙති, ඒ කවර හෙයින යත්: භූමිජය, තෙල ඵලාධිගමයට උපාය වෙයි, එහෙයිනි.

භූමිජය, යම් පරිදි ගිනි කැමැති ගිනි සොයන අග්නිපර්‍ය්‍යෙෂණ කරන පුරුෂයෙක් කොළපු වූ ශුෂ්කකාෂ්ටයක් ගෙන උතුරුරිණි ගෙන මඩනේ නම්, ගිනි ලබන්නට නිස්ස. ආශා කොටත් ... ආනාශා කොටත් කොළපු වූ වියළි දඬක් ගෙන ගිනිගානා උතුරු දඬු ගෙන මඩනේ නම්, ගිනි ලබන්නට නිස්ස. ආශා ද අනාශා ද කොටත් කොළපු වූ වියළි කට ගෙන උතුරුරිණි ගෙන මඩනේ නම්, ගිනි ලබන්නට නිස්ස. ආශා නො කොටත් අනාශා නො කොටත් වියළි කට හා උතුරුරිණි ගෙන මඩනේ නම්, ගිනි ලබන්නට නිස්ස. එ කවර හෙයින යත්: භූමිජය, ගිනි ලබන්නට තෙල උපාය වෙයි, එහෙයිනි. භූමිජය, එපරිදි ම යම් කිසි මහණ කෙනෙක් වෙත්ව’ යි බමුණු කෙනෙක් වෙත්ව’යි සම්දිටු ඇත්තාහු ... සම්‍යක්සමාධි ඇත්තාහු වෙත් ද, ඔහු ආශා කොටත් බ්‍රම්සර පුරත් නම්, ඵලාධිගමයට නිස්සහ. ආනාශා කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට නිස්සහ. ආශා ද අනාශා ද කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට නිස්සහ. ආශා නො කොටත් අනාශා නො කොටත් බඹසර සෙරෙත් නම් ඵලාධිගමයට නිස්සහ. ඒ කවර හෙයින යත්: භූමිජය, ඵලාධිගමයට තෙල උපාය වෙයි, එහෙයිනි.

භූමිජය, ඉදින් ජයසෙන් කුමර හට මේ සතර උපමාවෝ වැටහුණාහු නම්, “ජයසෙන් කුමර තොපට පහදනේ ය” යනු අසිරි නො වෙයි. “පහන් ව තොපට පහන් අයුරු කරන්නේ ය” යනුත් අසිරි නො වෙයි.

වහන්ස, ජයසෙන් කුමරහු පිළිබඳ කොට මේ සතර උපමාවෝ මා ලකුණු කොට එළිවෙත් ද ඔහු නැවත නැවත අසිරියට නිසියහ. පූර්‍වයෙහි නො ඇසූ විරූහ. භාග්‍යවතුන් වහන්සේට එළිදරව් වූවා සෙයිනැ’යි.

භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් භූමිජ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය අභිමුඛ ව සතුටින් පිළිගත්හ.

සවැනිභුමිජසූත්‍රය නිමියේ ය.