මහාසුඤ්ඤත සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මැඳුම් සඟියෙහි 

උපරිපණ්ණාසකයෙහි 

තෙවැනි සුඤ්ඤත වර්ගය

3.3.2

මහා සුඤ්ඤත සූත්‍රය

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැහැජනවියෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩ වසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන කිඹුල්වතට පිඬු පිණිස වැඩි සේක. කිඹුල්වත්හි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලැකි සේක් කාළඛෙමක සැහැරජහුගේ විහාරය කරා දිවා විහරණය පිණිස වැඩියෝ. එසමයෙහි කාළඛෙමක සැහැරජහුගේ වෙහෙර පනවන ලද බොහෝ සෙනසුන් ඇත. භාග්‍යවතුන් වහන්සේ කාළඛෙමක සැහැරජහුගේ වෙහෙරෙහි පනවන ලද බොහෝ සෙනසුන් දුටු සේක. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල සිත් වී. කාළඛෙමක සැහැරජහුගේ වෙහෙර පනවන ලද බොහෝ සෙනසුන් ඇත. මෙ වෙහෙර භික්ෂූහු සම්බහුල වශයෙන් වෙසෙත් ද හෝ යි.

එසමයෙහි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ බොහෝ භික්ෂූන් හා සමග ඝටාය නම් ශාක්‍යයන්ගේ විහාරයෙහි චීවරකර්ම කෙරෙති. එක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස්වේලෙහි පිළිසලණින් නැඟී සිටි සේක් ඝටාය නම් ශාක්‍යයන්ගේ විහාරය කරා වැඩි සේක. වැඩැ පැන්වූ අස්නෙහි හුන් සේක. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ හිඳ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක. “ආනන්දය, කාළඛෙමක ශාක්‍යයන්ගේ විහාරයෙහි සම්බහුල සෙනාසනයෝ පනවන ලද්දාහු වෙති. කිම් මෙහි සම්බහුල භික්ෂූහු වාස කෙරෙත් ද හෝ” යි, පුළුවුත්හ.

වහන්ස, කාළඛෙමක ශාක්‍යයන්ගේ විහාරයෙහි පැන්වූ බොහෝ සෙනසුන් ඇත. මෙහි බොහෝ භික්ෂූහු වාස කෙරෙති. වහන්ස, අපගේ චීවරකාර සමය පවත්නේ යයි පිළිවදන් දුන්හු.

ආනන්දය, සංගණීකාරාම වූ සංගණිකායෙහි ඇලුණු සංගණීකාරාමතායෙහි යෙදුණු ගණාරාම වූ ගණයා කෙරෙහි ඇලුණු ගණයා හා සම්මුදිත වූ මහණ නො හොබනේ ය. ආනන්දය, සංගණීකාරාම වූ සංගණිකායෙහි ඇලුණු සංගණීකාරාමතායෙහි අනුයුක්ත වූ ගණාරාම වූ ගණයා කෙරෙහි ඇලුණු ගණයා කෙරෙහි සම්මුදිත වූ ඒ මහණ යම් ඒ නෛෂ්ක්‍රම්‍යසුඛයෙක් ප්‍රවිවේකසුඛයෙක් උපශමසුඛයෙක් සම්බෝධසුඛයෙක් ඇද්ද, ඒ සුඛය ඒකාන්තයෙන් කැමැති සේ ලබනුයේ නිදුක් ව ලබනුයේ විපුල ව ලබනුයේ වෙයි යන තෙල කරුණ නො වේ. ආනන්දය, යම් මහණෙක් එකලා වූයේ ගණයා කෙරෙන් වෙන් වූයේ වාස කෙරේ ද, ඒ මහණහට තෙල කැමැති විය යුතු ය: “යම් ඒ නෛෂ්ක්‍රම්‍යසුඛයෙක්, ප්‍රවිවේකසුඛයෙක්, උපශමසුඛයෙක්, සම්බොධ සුඛයෙක් ඇද්ද, ඒ සුඛය කැමැති සේ ලබන්නේ නිදුක් ව ලබන්නේ විපුල ව ලබන්නේ වෙයි” යන තෙල කරුණ ඇත.

ආනන්දය, එකැතින් ඒ මහණ ස්වකීය පර්ෂත්සමොධානයෙහි නියැලියේ සිය පිරිස් හා එක්වීමෙහි ඇලුණේ සංගණීකාරාමතායෙහි යෙදුණේ ගණයා කෙරෙහි නියැලියේ ගණයා කෙරෙහි ඇලුණේ ගණයා හා සම්මුදිත වූයේ මනාප වූ රූපාරූපාවචර චිත්ත විමුක්තිය හෝ කෙලෙසුන් විසින් අකොප්‍ය වූ අසාමයික හෙවත් ලොකොත්තර අත්‍යන්ත විමුක්තිය හෝ උපයා වෙසෙන්නේ ය යන තෙල කරුණ නො වේ. ආනන්දය, යම් ඒ මහණෙක් එකලා වූයේ ගණයා කෙරෙන් ව්‍යපකර්ෂ වූයේ වෙසේ ද, ඒ මහණ හට තෙල කැමැති විය යුතු ය. කිමෙක් යත්: කාන්ත වූ සාමයික චෙතොවිමුක්තිය හෝ අකොප්‍ය වූ අසාමයික චෙතොවිමුක්තිය හෝ උපයා වෙසෙන්නේ ය යන තෙල කරුණ වෙයි.

ආනන්දය, යම් රූපයෙක රාග වශයෙන් ඇලුණක් හට යම් රූපයෙක අභිරක්ත වූවක්හට ඒ රූපයාගේ විපරිණාම අන්‍යථා භාව හේතුයෙන් ශොක පරිදෙව දුඃඛ දෞර්මනස්‍ය උපායාසයෝ නූපදිත් නම්, මම එබඳු එක ද රූපයක් නුවණැසින් නො දක්මි.

ආනන්දය, තථාගතයන් විසින් මේ විහාරය මොනොවට අවබොධ කරන ලද, කුමක් පිණිස යැ යත්: රූපාදි හැම නිමිති නො මෙනෙහි කිරීමෙන් විෂය අධ්‍යාත්මයෙහි ශූන්‍යත ඵලසමාපත්තිය සපයා වාස කිරීම පිණිස යි. ආනන්දය, ඉදින් මේ විහරණයෙන් වාස කරන ඒ තථාගතයන් කරා මහණ මෙහෙණ උවසු උවැසි රජ රජමහමැති තොටු තොටුසව්වෝ එළඹෙන්නාහු වෙත් ද, ආනන්දය, එ පිරිස්හි තථාගත විවෙක ප්‍රවණ වූ විවෙක ප්‍රාග්භාර වූ ව්‍යපකර්ෂ වූ නිෂ්කාමාභිරත වූ සර්වප්‍රකාරයෙන් ආස්‍රවයනට හෙතුභූත ධර්මයන් කෙරෙන් විසංයුක්ත වූ නිවනට නැඹුරු වූ මැ සිතින් එකැතින් යන්නට මෙහෙයන කථායෙන් යුක්ත කථාවක් ම කරනු වෙයි. ආනන්දය, එහෙයින් ඉදින් මහණ ද ගොචරාධ්‍යාත්මයෙහි ශුන්‍යතාව උපයාගෙන වාසය කරන්නේ නම් මැනැවැ’යි කැමැති වන්නේ ද ආනන්දය, ඒ මහණ විසින් අධ්‍යාත්මයෙහි සිත මොනොවට පිහිටු වියැ යුතු යි, හිඳුවියැ යුතු යි, එකඟ කළ යුතු යි, සමාධාන කළ යුතු යි.

ආනන්දය, කෙසේ නම් මහණ අධ්‍යාත්මයෙහි ම සිත මොනොවට පිහිටුවන්නේ මොනොවට හිඳුවන්නේ එකඟ කරන්නේ සමාධාන කරන්නේ වේ ද යත්: ආනන්දය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන්ව මැ අකුසල දහමින් වෙන් ව සවිතර්ක සවිචාර විවේකජ ප්‍රීතිසුඛ ඇති පළමු දැහැන් උපයා වාස කෙරෙයි. විතර්ක විචාරයන්ගේ ව්‍යපශම හෙතුයෙන් සිත්හි පැහැදීම් කරන සිත පිලිබඳ එකඟ බව ඇති අවිතර්ක අවිචාර සමාධිජ ප්‍රීතිසුඛ ඇති දෙවන දැහැන් ... තෙවන දැහැන් ... සිව්වන දැහැන් උපයාගෙන වාස කෙරෙයි. ආනන්දය, මෙසේ මහණ අධ්‍යාත්මයෙහි සිත මොනවට පිහිටුවයි, මොනොවට හිඳුවයි, එකඟ කෙරෙයි, සමාධාන කෙරෙයි. හේ සිය පස්කඳෙහි උපන් ශුන්‍යතාව මෙනෙහි කෙරෙයි. අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන ඔහුට ශුන්‍යතායෙහි සිත නො බසී, නො පහදී, මොනොවට නො පිහිටයි, නො මිදේ. ආනන්දය, මහණ මෙසේ වූ තෙල සිත මෙසේ නුවණින් දනී: අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන මාගේ අධ්‍යාත්මයෙහි ශුන්‍යතාවට සිත නොබස්නේ ය, නො පහදනේ ය, නො පිහිටන්නේ ය, නො මිදේ ය කියා යි. මෙසේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි. හේ පරපඤ්චස්කන්ධයෙහි ශුන්‍යතා මෙනෙහි කරයි. ... හේ ස්ව පර උභය පඤ්චස්කන්ධයෙහි ශුන්‍යතා මෙනෙහි කරයි. ... හේ ආනෙඤ්ජ අරූපසමාපත්ති මෙනෙහි කෙරෙයි. අරූප සමාපත්ති මෙනෙහි කරන ඔහුට ආනෙඤ්ජ අරූප සමාපත්තියට සිත නො බසී, නො පහ දී, මොනොවට නො පිහිටයි. නො මිදේ. ආනන්දය, මහණ මෙසේ විද්‍යමාන වූ තෙල සිත මෙසේ නුවණින් දැනගනී: ආනෙඤ්ජය මෙනෙහි කරන මට ආනෙඤ්ජය පිණිස සිත නො බස්නේ ය. නො පහදන්නේ ය. මොනොවට නො පිහිටන්නේ ය. නො බිඳෙන්නේ ය කියා යි. මෙ සේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි.

ආනන්දය, ඒ මහණ විසින් එ මැ පූර්වසමාධිනිමිත්තයෙහි අධ්‍යාත්මයෙහි ම සිත මොනොවට පිහිටුවිය යුතු යැ, මොනොවට හිදුවියැ යුතු යැ, එකඟ කළ යුතු යැ, සමාධාන කළ කළ යුතු යි. හේ අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරයි. අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන ඔහුගේ සිත අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව පිණිස බැසගනී, පහදී, මොනොවට පිහිටයි, මිදේ. ආනන්දය, ඒ මහණ මෙසේ ඇති තෙල සිත මෙසේ නුවණින් දනී: අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව මෙනෙහි කරන මාගේ සිත අධ්‍යාත්මයෙහි ශුන්‍යතාව පිණිස බැසගනී, පහදියි, මොනොවට පිහිටයි, වෙසෙසින් මිදේ යයි කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ඒ මහණ පර පඤ්චස්කන්ධයෙහි ශුන්‍යතාව මෙනෙහි කෙරෙයි ... හේ ස්ව පර උභය පඤ්චස්කන්ධයෙහි ශුන්‍යතාව මෙනෙහි කෙරෙයි. ආනෙඤ්ජය මෙනෙහි කරන ඔහුගේ සිත ආනෙඤ්ජය පිණිස බැසගනී, පහදී, මොනොවට පිහිටයි, මිදේ. ආනන්දය, ඒ මහණ මෙසේ ඇති තෙල සිත මෙසේ නුවණින් දනී: ආනෙඤ්ජය මෙනෙහි කරන මාගේ සිත ආනෙඤ්ජය පිණිස බැසගනී, පහදී, මොනොවට පිහිටයි, වෙසෙසින් මිදේ ය යි කියා යි.

ආනන්දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට සක්මන පිණිස සිත නැමේ නම් හේ සක්මන් කෙරෙයි. මෙසේ සක්මන් කරන මා අභිධ්‍යා දෞර්මනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයෝ ලුහු නො බඳනාහ යි කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට සිටිනු පිණිස සිත නැමේ නම් හේ සිටී. මෙසේ සිටුනා මා අභිධ්‍යා දෞර්මනස්‍ය සංඛ්‍යාත ලාමක අකුශල ධර්මයෝ නො ලුහුබඳනාහ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.

ආනන්දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට හිඳිනු පිණිස සිත නැමේ නම් හේ හිඳියි. මෙසේ හිඳුනා මා අභිධ්‍යා දෞර්මනස්‍ය සංඛ්‍යාත පාපක අකුශල ධර්මයෝ නො ලුහුබඳනාහ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට හෝනා පිණිස සිත නැමේ නම් හේ හොනේ වෙයි. ‘මෙසේ හෝනා මා අභිධ්‍යා දෞර්මනස්‍ය සංඛ්‍යාත පාපක අකුශල ධර්මයෝ නො ලුහුබඳනාහ’ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.

ආනන්දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට භාෂ්‍යකථා පිණිස සිත නැමේ නම්, හේ යම් කථායෙක් හීන ග්‍රාම්‍ය පුහුදුනන් කෙරෙහි වැටෙන අනාර්‍ය්‍ය අනර්ථ සංහිත වේ ද, නිර්‍වෙදය පිණිස නො වැටේ ද, විරාග ය පිණිස නො වැටේ ද, නිරෝධය පිණිස නො වැටේ ද, උපශමය පිණිස නො වැටේ ද, අභිඥා පිණිස නො වැටේ ද, සම්බෝධය පිණිස නො වැටේ ද, නිර්වාණය පිණිස නො වැටේ ද, ඒ කෙබඳු කථා යැ යත්: රාජකථා, චෞරකථා, මහාමාත්‍රකථා, සෙනාකථා, භයකථා, යුද්ධකථා, ආහාරකථා, පානකථා, වස්ත්‍රකථා, ශයනකථා, මාලාකථා, ගන්ධකථා, ඥාතිකථා, යානකථා, ග්‍රාමකථා, නිගමකථා, නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා, පුරුෂකථා, සුරාකථා, වීථිකථා, කුම්භස්ථානකථා, පූර්‍වප්‍රෙතකථා, නානාත්වකථා, ලොකායතකථා, සාමුද්‍රිකකථා, ඉතිභාවභවකථා යයි මෙසේ හෝ මෙසේ මෙබඳු වූ හෝ කථා නො කියමි’ කියා මෙසෙයින් එහි සමප්‍රඥාන ඇති වෙයි. ආනන්දය, යම් කථායෙක් ක්ලේශයෙන්ගේ තුනුබව කරන්නේ චිත්තයාගේ විනීවරණයට සත්ප්‍රාය වූයේ ඒකාන්ත නිර්‍වෙදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශමය පිණිස අභිඥා පිණිස සම්බොධය පිණිස නිර්‍වාණය පිණිස වැටේ ද, කෙබඳු කථා යැ යත්: අල්පෙච්ඡකථා, සන්තුෂ්ඪිකථා, ප්‍රවිවෙකකථා, අසංසර්ගකථා, වීර්‍ය්‍යාරම්භකථා, ශීලකථා, සමාධිකථා, ප්‍රඥාකථා, විමුක්තිකථා, විමුක්ති ඥානදර්ශනකථා යයි’ මෙසේ මෙබඳු කථා කියමි’ යි කියා මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.

ආනන්දය, ඉදින් මේ විහාරයෙන් විහරණ කරන ඒ මහණහට විතර්කය පිණිස සිත නැමේ නම්, ඒ මහණ යම් ඒ විතර්ක කෙනෙක් හීන වූවාහු ග්‍රාම්‍ය වූවාහු පුහුදුනන් කෙරෙහි පවත්නාහු අනාර්‍ය්‍ය වූවාහු අනර්ථසංහිත වූවාහු නිර්‍වෙදයට නො වැටෙන්නාහු විරාගයට නො වැටෙන්නාහු නිරොධයට නො වැටෙන්නාහු උපශමයට නො වැටෙන්නාහු අභිඥාවට නො වැටෙන්නාහු සම්බෝධියට නො වැටෙන්නාහු නිවනට නො වැටෙන්නාහු වෙත් ද, කෙබඳු විතර්කයෝ යැ යත්: ‘කාමවිතර්ක යැ, ව්‍යාපාද විතර්ක යැ, විහිංසාවිතර්ක යි. මෙසේ මෙබඳු විතර්කයන් විතර්කණය නො කෙරෙමි’ යි කියා මෙසේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්දය, යම් විතර්ක කෙනෙක් ආර්‍ය්‍ය වූවාහු නෛර්‍ය්‍යාණික වූවාහු ඒ විතර්කණ කරනුවන් මොනොවට දුක් කෙළවර කරනු පිණිස පමුණුවත් ද, කෙබඳු විතර්කයෝ යැ යත්: ‘නිෂ්කාමවිතර්ක යැ, අව්‍යාපාදවිතර්ක යැ, අවිහිංසාවිතර්ක යි. මෙසේ මෙබඳු විතර්කයන් විතර්කණ කෙරෙමි’ යි කියා මෙසෙයින් මෙහි සම්ප්‍රඥාන ඇති වෙයි.

ආනන්දය, මේ කාමගුණයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වභාව අරමුණු කොට උපදනා කාමයෙන් යුක්ත වූ රාගොත්පත්තියට කාරණ වූ චක්ෂුර්විඥානයෙන් දැක්ක යුතු රූපයෝ යැ ... ශ්‍රොතවිඥානයෙන් දතයුතු ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥානයෙන් දතයුතු ගන්ධයෝ යැ ... ජිහ්වාවිඥානයෙන් වින්දයුතු රසයෝ යැ ... ඉෂ්ටාලම්බන වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාව අරමුණු කොට උපදනා කාමයෙන් යුක්ත වූ රාගොත්පත්තියට කාරණ වූ කායවිඥානයෙන් දත යුතු ස්ප්‍රෂ්ටව්‍යයෝ යි. යම් කාමගුණයෙක මහණහු විසින් ‘මේ පස්කම් ගුණයෙහි යම් යම් කාමගුණයෙක උපදනා චිත්තසමුදාවාරයෙක් ඇද්දෝ’යි නිතර තම සිත ප්‍රත්‍යවේක්ෂා කළ යුතු වේ ද, ආනන්දය, මේ ඒ පස්කම්ගුණයෝ යි. ආනන්දය, ඉදින් මහණ ප්‍රත්‍යවේක්ෂා කරනුයේ මෙසේ නුවණින් දන්නේ වේ ද, කිසේ යැ යත්: ‘මේ පස්කම්ගුණයෙහි අන්‍යතර අන්‍යතර ගුණයෙක මාගේ චිත්තසමුදාවාරයෙක් උපදනේ ඇද්ද කියා යි. ආනන්දය, මහණ මෙසේ විද්‍යමාන වූ තෙල කරුණ මෙසේ නුවණින් දන්නේ යැ. කිසේ යැ යත්: ‘මේ පස්කම් ගුණයෙහි යම් ඡන්‍දරාගයෙක් වී නම් මට ඒ ප්‍රහීණ යයි කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇත වෙයි. ආනන්දය, ඉදින් මහණ ප්‍රත්‍යවේක්ෂා කරනුයේ මෙසේ නුවණින් දන්නේ වේ ද, කිසේ යැ යත්: ‘මේ පස්කම් ගුණයෙහි අන්‍යතර අන්‍යතර ආයතනයෙක් මාගේ චිත්තසමුදාවාරයෙක් නැත’ කියා යි. ආනන්දය, ඒ මහණ මෙසේ විද්‍යමාන වූ තෙල කරුණ මෙසේ නුවණින් දන්නේ ය: මේ පඤ්චකාමගුණයන් කෙරෙහි යම් ඡන්දරාගයෙක් වී නම්, ඒ මට ප්‍රහීණය කියා යි. මෙසෙයින් එහි සම්ප්‍රඥාන ඇති වෙයි.

ආනන්දය, මහණ යම් උපාදාන ස්කන්ධයෙක උදයව්‍යය නුවණින් දක්නාහු විසින් විසිය යුතු වේ ද, එබඳු මේ උපාදාන ස්කන්ධයෝ පස්දෙනෙකි. රූපය මෙසේ යැ, රූපසමුදය මෙසේ යැ, රූපයාගේ අස්තඞ්‍ගමය මෙසේ යැ, වේදනා මෙසේ යැ, වේදනා සමුදය මෙසේ යැ, වේදනාවගේ අස්තඞ්‍ගමය මෙසේ යැ, සංඥා මෙසේ යැ ... සංස්කාර මෙසේ යැ ... විඥාන මෙසේ යැ, විඥානසමුදය මෙසේ යැ, විඥානයාගේ අස්තංගමය මෙසේ යැ’ යි කියා යි. මේ පඤ්චොපාදානස්කන්ධයෙහි උදයව්‍යය නුවණින් දක්මින් වාස කරන ඒ මහණහට පඤ්චොපාදාන ස්කන්ධයෙහි යම් අස්මිමානයෙක් ඇද්ද, ඒ පහ වෙයි. ආනන්දය, මෙසේ විද්‍යමාන වූ තෙල කරුණ ඒ මහණ මෙසේ නුවණින් දනී: මේ පඤ්චොපාදානස්කන්ධයෙහි යම් අස්මිමානයෙක් වී ද, ඒ මට ප්‍රහීණය කියා යි. මෙසේ එහි සම්ප්‍රඥාන ඇති වෙයි. ආනන්දය, ඒකාන්ත කුශලයෙන් පැමිණි නිකෙලෙස් වූ ලොකයෙහි විශිෂ්ට වූ මරහු විසින් නො ඇක්මුණු ඒ දම්හු නම් මොහු ය:

ආනන්දය, ඒ කෙසේ හඟනෙහි ද ශ්‍රාවකයා කිනම් අර්ථයක් දක්මින් නෙරතුදු ශාස්තෘන් නුහුබඳනට නිසි වේ ද?

වහන්ස, දහම්හු භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත. භාග්‍යවතුන් වහන්සේ නෙතෘ කොට ඇත. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත. වහන්ස තෙල භාෂිතයාගේ අර්ථ නුබ වහන්සේට මැ වැටහේ නම් මනාමැනු, භාග්‍යවතුන් වහන්සේගේ බස් අසා භික්ෂූහු ධරති’යි සැල කළෝ.

ආනන්දය, ශ්‍රාවකයා සූත්‍ර ය, ගෙය ය, වෙය්‍යාකරණ ය යන ඒ හෙතු කොට ශාස්තෘන් වහන්සේ නුහුබඳනට නිසි වෙයි. ඒ කවර හෙයින යත්: ආනන්දය, පැවිදි ව බොහෝ කල් ඇත්තහු විසින් පර්‍ය්‍යාප්තිධර්මයෝ අසන ලදහ, ධරන ලදහ, බසින් පුරුදු කරන ලදහ, සිතින් දක්නා ලදහ, ප්‍රඥායෙන් අවබොධ කරන ලදහ. ආනන්දය, යම් ක්ලේශයන්ගේ තුනුබව කරන්නාහු චෙතොවිනීවරණයට සත්ප්‍රාය වූවාහු එකාන්ත නිර්‍වෙදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස උපශම පිණිස අභිඥා පිණිස සම්බොධය පිණිස නිර්‍වාණය පිණිස වැටෙත් ද, ඔහු කවරහ යත්: අල්පෙච්ඡකථා යැ, සන්තුෂ්ටිකථා යැ, ප්‍රවිවෙකකථා යැ, අසංසර්ගකථා යැ, වීර්‍ය්‍යාරම්භකථා යැ, ශීලකථා යැ, සමාධිකථා යැ, ප්‍රඥාකථා යැ, විමුක්තිකථා යැ, විමුක්තිඥානදර්ශනකථා යැ යන මොහු යි. ආනන්දය, ශ්‍රාවකයා නෙරතුදු මෙවන් කථාහෙතුයෙන් ශාස්තෘන් වහන්සේ නුහුබැඳ යන්නට නිසි වෙයි.

ආනන්දය, මෙසේ ආචාර්‍ය්‍යොපද්‍රව වෙයි, මෙසේ වත් ම අන්තෙවාසිකොපද්‍රව වෙයි. මෙසේ වත් ම බ්‍රහ්මචාරූපද්‍රව වේ.

ආනන්දය, කෙසේ ආචාර්‍ය්‍යොපද්‍රව වේ යැ යත්: ආනන්දය, මෙලො වැ ඇතැම් ශාස්තෘවරයෙක් අරණ්‍ය ය, වෘක්ෂමූල ය, පර්‍වත ය, කඳුරැලි ය, ගිරිගුහා ය, ශ්මසාන ය, වන ප්‍රස්ථ ය, අභ්‍යවකාශ ය, පලාලපුඤ්ජ යයි විවික්ත ශායනාසන ඇසුරු කෙරෙයි. එසේ එකලා වැ වාස කරන ඔහු වෙත බමුණු ගැහැවියෝ ද නියම්ගම්වැස්සෝ ද දනව්වැස්සෝ ද එළැඹෙත්. හේ බමුණු ගැහැවියනුදු නියම්ගම්වැස්සනුදු දනව්වැස්සනුදු එළැඹෙන කල තෘෂ්ණායෙන් මූර්චඡිත වෙයි නිකාම කෙරෙයි, ගිජුබවට පැමිණෙයි, ප්‍රත්‍යයබාහුල්‍යයට වැටෙයි. ආනන්දය, මේ ආචාර්‍ය්‍යොපද්‍රව යයි කියනු ලැබේ. ආචාර්‍ය්‍යොපද්‍රව හෙතුයෙන් සංක්ලෙශයට හිත වූ පුනර්භවය පිණිස පවත්නා දරථ සහිත දුඃඛවිපාක ඇති මතුයෙහි ජාතිජරාමරණයට හිත වූ පාපක අකුශලධර්මයෝ ඒ ආචාර්‍ය්‍යවරයා ගුණ මරණයෙන් මැරූහ. ආනන්දය, මෙසේ ආචාර්‍ය්‍යයාහට උපද්‍රව වෙයි.

ආනන්දය, කිසෙයින් අන්තෙවාසිකොපද්‍රව වේ යැ යත්: ආනන්දය, ඒ ශාස්තෘහුගේ මැ සව්වෙක් ඒ ශාස්තෘහුගේ විවේකය අනුව වඩනුයේ අරණ්‍ය ය, වෘක්ෂමූල ය, පර්‍වත ය, කඳුරු ය, ගිරිලෙන, සොහොන, වනපෙත, අභ්‍යවකාශ ය, පිදුරුකිළිය යන සෙනසුන් ඇසුරු සෙවෙයි. එසෙයින් එකලා වැ වාස කරන ඔහු වෙත බමුණු ගැහැවියන් හා නියම්ගම් වැස්සෝ ද දනව්වැස්සෝ ද එළැඹෙති. හේ බමුණු ගැහැවියන් හා නියම්ගම් වැස්සනුදු දනව්වැස්සනුදු එළැඹෙත් ම තෘෂ්ණාමුර්චඡායෙන් මුසපත් වෙයි, නිකාම කෙරෙයි, ගිජුබවට පැමිණෙයි, බාහුල්‍යයට වැටෙයි. ආනන්දය, මේ අන්තෙවාසිකොපද්‍රව යයි කියනු ලැබේ. අන්තෙවාසිකොපද්‍රව හෙතුයෙන් කෙලෙසන පුනර්භවය කරන දරථ සහිත දුඃඛවිපාක දෙන මතුයෙහි ජාතිජරාමරණ උදාකරන ලාමක අකුසලදහම්හු ඒ අතවැස්සා ගුණමරණයෙන් මැරූහ. ආනන්දය, මෙසේ අන්තෙවාසිකොපද්‍රව වෙයි.

ආනන්දය, කෙසේ බ්‍රහ්මචාරී උපද්‍රව වේ යැ යත්: ආනන්දය, මෙලොවැ අර්හත්, සම්‍යක්සම්බුද්ධ, විද්‍යාචරණසම්පන්න, සුගත වූ, ලොකවිද්, අනුත්තර පුරුෂදම්‍යසාරථි වූ, දෙව්මිනිසුන්ට ශාස්තෘ වූ, චතුස්සත්‍යාවබොධ කළ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ උපදනා සේක. ඔබ අරණ්‍ය ය, වෘක්ෂමූල ය, පර්‍වත ය, කන්‍දර ය, ගහ්වර ය, ශ්මසාන ය, වනප්‍රස්ථ ය, අභ්‍යවකාශ ය, පලාලපුඤ්ජ යයි විවික්ත ශායනාසන සෙවුති. එසේ එකලා ව වාස කරන ඔබ වෙත බමුණුගැහැවියෝ ද නියම්ගම්වැස්සෝ ද දනව්වැස්සෝ ද පැමිණෙති. ඔබ බමුණු ගැහැවියනුදු නියම්ගම් වැසියනුදු දනව්වැසියනුදු පැමිණෙන කල මුර්චඡිත නො වෙති, නිකාම නො කෙරෙති, ගෙධයට නො පැමිණෙති, බාහුල්‍යයට නො වැටෙත්. ආනන්දය, ඒ තථාගත ශාස්තෘන්ගේ මැ සව්වෙක් ඒ ශාස්තෘන්ගේ විවේකය වඩන්නේ අරණ, රුක්මුල, පව්, කඳුරු, ලෙන, සොහොන, වනපෙත, එළිමහන, පිදුරුකිළි යයි ජනසුන් සෙනසුන් සෙවී. එසේ එකලා වැ වාස කරන ඔහු වෙත බ්‍රාහ්මණ ගෘහපතියෝ ද නිගමවාසීහු ද ජනපදවාසීහු ද පැමිණෙති. හේ බ්‍රාහ්මණ ගෘහපතියනුදු නිගමවාසීනුදු ජනපදවාසීනුදු පැමිණෙත් ම තෘෂ්ණාමුර්චඡායෙන් මුර්චඡිත වෙයි, නිකාම කෙරෙයි, ගෙධයට පැමිණෙයි, බාහුල්‍යයට වැටෙයි. ආනන්දය, මේ බ්‍රහ්මචාරීඋපද්‍රව යයි කියනු ලැබේ. බ්‍රහ්මචාරී උපද්‍රව හෙතුයෙන් සංක්ලේශයට හිත වූ පුනර්භවයට වැටෙන සදර වූ දුඃඛවිපාක වූ මතු ජාතිජරාමරණයට කරුණු වූ ලමු අකුසලදහම්හු ඒ බ්‍රම්සරහු ගුණමරණයෙන් මැරූහ.

ආනන්දය, එහි යම් ආචාර්‍ය්‍යොපද්‍රවයෙක් ඇද්ද, යම් අන්තෙවාසිකොපද්‍රවයෙක් ඇද්ද, ඒ උපද්‍රවයනට වඩා මේ බ්‍රහ්මචාරීඋපද්‍රවය දුඃඛවිපාකතර වෙයි. කටුකවිපාකතර ද වෙයි. තවද විනිපාතයට වැටෙයි.

ආනන්දය, එකරුණෙන් මා මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කරව, වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කරව, එය තොපට දීර්ඝරාත්‍රියෙහි හිත පිණිස සුව පිණිස වෙයි.

ආනන්දය, කෙසේ සව්වෝ ශාස්තෘන් වහන්සේ වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති යත්: මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙතී යත්: ‘ආනන්දය, මෙලොවැ ශාස්තෘන් වහන්සේ අනුකම්පා ඇති වැ හිතෛෂී වැ අනුකම්පා පිණිස සව්වනට දහම් දෙසති. ‘මෙය තොපට හිතපිණිස ය, මෙය තොපට සුව පිණිස ය කියා යි. සව්වෝ ඔබගේ වචනය නො අසනු කැමැති වෙති, කන් නො නතු කෙරෙති, දැනගනුවට සිත නො එළවති, ශාස්තෘශාසනයෙන් ඉවත් වැ වැටෙත්. ආනන්දය, මෙසේ සව්වෝ ශාස්තෘන් වහන්සේ වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති. මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙත්.

ආනන්දය, කෙසේ සව්වෝ ශාස්තෘන් වහන්සේ මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති යත්: වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙතී යත්: ‘ආනන්දය, මෙලොවැ ශාස්තෘන් වහන්සේ අනුකම්පක ව හිතෛෂී ව අනුකම්පා පිණිස සව්වනට දහම් දෙසති. ‘මෙය තොපට හිත පිණිස ය, මෙය තොපට සුව පිණිස ය කියා’ යි. සව්වෝ ඔබගේ වචනය අසනු කැමැති වෙති, කන් නතු කෙරෙති, දැනගන්නට සිත එළවති, ශාස්තෘශාසනයෙන් ඉවත් ව නො ද වැටෙත්. ආනන්දය, මෙසෙයින් සව්වෝ ශාස්තෘන් වහන්සේ මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කෙරෙති, වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කෙරෙත්. ආනන්දය, එකරුණෙන් මා මෙත්තාප්‍රතිපත්තියෙන් ව්‍යවහාර කරව, වෙරප්‍රතිපත්තියෙන් ව්‍යවහාර නො කරව, එය තොපට දීර්ඝරාත්‍රයෙහි හිත පිණිස සුව පිණිස වෙයි. ආනන්දය, යම් පරිදි කුම්භකාරයෙක් අපක්ව වූ අමු මැටිබඳුනෙහි ක්‍රියා කෙරේ ද, මම එපරිදි නො පිළිපදිමි. ආනන්දය, මම පුනපුනා නිග්‍රහ කොට කියමි. ආනන්දය, දොස් පුනපුනා නෙර කියමි. යම් සාරයෙක් ඇද්ද, ඒ සිටුනේය කියා යි.

භාග්‍යවතුන් වහන්සේ මේ මහාසුඤ්ඤත සුත වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

දෙවැනිමහාසුඤ්ඤත සූත්‍රය නිමියේ ය.