අට්ඨකනාගර සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ

මැඳුම් සඟියෙහි

මජ්ඣිම පණ්ණාසකයේ

පලමු වැනි

දේවදහ වර්ගය

2.1.2

අට්ඨකනාගර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර බෙලුවගාමයෙහි වැඩ වාස කෙරෙති. එකල අට්ඨකනගර වැසි දසම ගැහැවි කිසියම් කරුණෙකින් පැළලුප් නුවරට පැමිණියේ වෙයි. අට්ඨකනගර වැසි දසම ගැහැවි කුක්කුටාරමයෙහි එක්තරා මහණක්හු කරා එළැඹියේ යැ. එළැඹැ ඒ මහණහු සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අට්ඨකනගර වැසි දසම ගැහැවි ඒ මහණහට තෙල කී: ‘වහන්ස, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දැන් කොහි වෙසෙත් ද? අපි ඒ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ දක්නා කැමත්තම්හ’යි. ‘ගැහැවිය, තෙල ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විශාලා මහනුවර බෙලුවගාමයෙහි වැඩ වාස කෙරෙති’යි. එසඳ අට්ඨකනගර වැසි දසම ගැහැවි පැළලුප් නුවර ඒ කරණී නිමවා විශාලා මහනුවර බෙලුවගාමයෙහි ආනන්ද ස්ථවිරයන් වහන්සේ කරා එළැඹියේ. එළැඹ, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අට්ඨකනගර වැසි දසම ගැහැවි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට තෙල කී:

 ‘වහන්ස, ආනන්දයෙනි, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වූ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හුගේ යම් අරමුණෙක ලා නො මිදුණු හෝ සිත් මිදේ ද, ක්‍ෂය නො වූ හෝ ආස්‍රවයෝ ක්‍ෂයට යෙත් ද, නො ලැබූ හෝ අනුත්තර යොගක්‍ෂෙමය නුවණින් ලබා ද, එබඳු එක් ධර්මයෙක් වදාරන ලද්දේ වේ ද? ගැහැවිය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හුගේ යම් අරමුණෙක්හි ලා නො මිදුණා වූ ද සිත මිදේ ද, ක්‍ෂය නො වූ ආස්‍රවයෝ ක්‍ෂයට යෙත් ද, නො ලැබූ අනුත්තර යොගක්‍ෂෙමයත් නුවණින් ලබා ද එබඳු එක් ධර්මයෙක් වදාරන ලද්දේ වෙයි. වහන්ස, ආනන්දයෙනි, සියල්ල දන්නාවූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හු ගේ යම් අරමුණෙක ලා නො මිදුණා වූත් සිත මිදේ ද, ක්‍ෂය නො වූත් ආස්‍රවයෝ ක්‍ෂයට යෙත් ද, නො ලැබූත් අනුත්තර යොගක්‍ෂෙමය නුවණින් ලබා ද, එබඳුවූ වදාරන ලද එක් ධර්මය කවරේ යැ.

ගැහැවිය, මෙසස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුසල දහමින් වෙන් වැ විතර්ක සහිත විචාර සහිත විවෙකයෙන් උපන් ප්‍රීති සුඛ ඇති පළමු වන දැහැන් උපයා වාස කෙරෙයි. හේ මෙසේ සිතයි: ‘මේ ප්‍රථමධ්‍යානය ද උපදවන ලද්දෙකි. සිතින් නිපදවන ලද්දෙකි. යම් කිසිවක් කරන ලද නම් සිතින් නිපදවන ලද නම් ඒ අනිත්‍ය යැ. නිරුද්ධ වන සැහැවි ඇති’යි නුවණින් දනියි. හේ එහි සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් ඒ ශමථවිදර්ශනාමය ධර්මරාගයෙන් පඤ්චඕරම්භාගිය සංයොජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇති වැ, එහි මැ පිරිනිවෙයි. ගැහැවිය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වාස කරන මහණක්හුගේ අවිමුක්ත චිත්තය විමුක්ත වේ ද, අපරීක්‍ෂීණ ආස්‍රවයෝ පරික්‍ෂයට යෙත් ද නො පැමිණි අනුත්තර යොගක්‍ෂෙමය ලබා ද මෙ එබඳුවූ එක් ධර්මයෙක් ද වදාරන ලද්දේ වෙයි.

තවද, ගැහැවිය, මහණ විතර්කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් සිය සතන්හි සම්ප්‍රසාද ඇති කරන දෙවන දැහැන් උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි: මේ දෙවන දැහැන ද උත්පාදිත යැ ප්‍රකල්පිත යැ. යම් කිසිවක් උත්පාදිත වේ නම් ප්‍රකල්පිත වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇත්තේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ආස්‍රවයන්ගේ ක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම් ඒ ශමථවිදර්ශනා ඡන්දරාගයෙන් මැ පඤ්ච ඕරම්භාගිය සංයොජනයන් ක්‍ෂය වැ යෑමෙන් ඔපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇති වැ පිරිනිවන් පානේ යැ. ගැහැවිය, සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ විසින් අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ විහරණ කරන මහණක්හුගේ යම් අරමුණෙක්හි ලා අවිමුක්ත වූත් සිත විමුක්ත වේ ද අපරීක්‍ෂීණ වූත් ආස්‍රවයෝ පරීක්‍ෂයට යෙත් ද අප්‍රාප්ත වූත් අනුත්තර යෝගක්‍ෂේමය ලබා ද මෙ එබඳු වූ එක් ධර්මයෙක් ද වදාරන ලද්දේ වෙයි.

තවද, ගැහැවිය, මහණ … ප්‍රීතිවිරාගයෙනුදු තුන්වන දැහැන උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කෙරෙයි: මේ තුන්වන දැහැන ද සිතින් නිපදවන ලද්දෙකි. සිතින් කරන ලද්දෙකි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යොගක්‍ෂෙමයට පැමිණෙයි.

තවද, ගැහැවිය, මහණ සුඛප්‍රහාණයෙනුදු … සියුවන දැහැන උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කෙරෙයි: මේ සියුවන දැහැන ද කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂෙමයට පැමිණෙයි.

තවද, ගැහැවිය, මහණ මෛත්‍රී සහගත සිතින් එක් දිගක් පැහැස වාස කෙරෙයි. එ සෙයින් මැ දෙවන දිග ද එසෙයින් මැ තුන්වන දිග ද එසෙයින් මැ සතර වන දිග දැ යි මෙසේ උඩ, යට සරස හැම තන්හි සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යබාධ වූ මෛත්‍රී සහගත සිතින් පැහැස වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවවෙක්ෂා කෙරෙයි: මේ මෙත්තාචෙතොවිමුක්තිය ද කරන ලද්දක. සිතින් නිපදවන ලද්දකි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂෙමයට පැමිණෙයි.

තවද, ගැහැවිය, මහණ කරුණා සහගත සිතින් ... මුදිතා සහගත සිතින් ... උපෙක්ඛා සහගත සිතින් එක් දිගක් අරමුණු කොට වාස කෙරෙයි. ඒසේ මැ දෙවන දිග ද එසෙයින් මැ තුන්වන දිග ද එසෙයින් මැ සතරවන දිග දැ යි මෙසේ උඩ, යට සරස හැම තන්හි සර්වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යබාධ වූ උපේක්ෂා සහගත සිතින් අරමුණු කොට වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කෙරෙයි: මේ උපේක්ෂා චෙතොවිමුක්තිය ද සිතින් කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂෙමයට පැමිණෙයි.

තවද, ගැහැවිය, මහණ සර්වප්‍රකාරයෙන් රුපසංඥාවන්ගේ සමතික්‍රමණයෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්වසංඥාවන්ගේ අමනසිකාරයෙන් ‘අහස අනන්තයැ’යි ආකාසානඤ්චායතනය උපදවා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි: මේ ආකාසානඤ්චායතන සමාපත්තිය ද කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයෙක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යෝගක්‍ෂේමයට පැමිණෙයි.

තවද, ගැහැවිය, මහණ සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්තයැ’යි විඤ්ඤාණඤ්චායතනය උපයා වාස කෙරෙයි. හේ මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි: මේ විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ද කරන ලද වෙයි. සිතින් නිපදවන ලද වෙයි. යම් මැ දැයෙක් කරන ලද වේ නම් සිතින් නිපදවන ලද වේ නම් ඒ අනිත්‍ය වේ යැයි නිරුද්ධ වන සැහැවි ඇති වේ යැයි නුවණින් දනියි. හේ එහි සිටියේ ... අනුත්තර යොගක්‍ෂේමයට පැමිණෙයි.

තවද, ගැහැවිය, මහණ සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා පියා ‘කිසිත් නැතැ’යි ආකිඤ්චඤ්ඤායතනය උපයා වෙසෙයි. හේ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කෙරෙයි: “මේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ද හේතුයෙන් කරන ලද වෙයි. සිතින් සිතන ලද වෙයි. වැලි යම් මැ දැයෙක් අභිසඞ්ඛත අභිසඤ්චෙතයිත වේ නම්, එය අනිත්‍ය වෙයි, නිරුද්ධ වන සැහැවි ඇතැ’යි දැනගනී. හේ ඒ ශමථවිදර්ශනාධර්මයෙහි සිටියේ ආස්‍රවක්‍ෂයට පැමිණෙයි. ඉදින් ආස්‍රවක්‍ෂයට නො පැමිණේ නම්, ඒ මැ ශමථ විදර්ශනා ධර්ම රාගයෙන් ඒ ධර්මනන්දියෙන් පඤ්චොරම්භාගිය සංයෝජනයන්ගේ ක්‍ෂය වීමෙන් ඔපපාතික වෙයි. ඒ බඹලොවින් වටාලා නො එන සැහැවි ඇතියේ එහි මැ පිරිනිවෙයි. ගැහැවිය, (ඒ ඒ සත්ත්වයන්ගේ ආශයානුශය) දන්නා වූ (හැම ඥෙයධර්මය) දක්නා වූ අර්හත් වූ ඒ සම්‍යක් සම්බුද්ධයන් විසින් යම් අරමුණෙක අප්‍රමත්ත වැ කෙලෙස් තවන වැර ඇති වැ නිවනට මෙහෙයූ සිත් ඇති වැ වෙසෙන භික්‍ෂුහු ගේ අවිමුක්ත චිත්තයත් මිදේ ද, අපරික්‍ෂීණ ආස්‍රවයෝ ක්‍ෂයවීමට යෙත් ද, අනනුප්‍රාප්ත අනුත්තර යෝගක්ක්‍ෂෙම යත් ප්‍රතිලාභ කෙරේ ද එබඳු වූ මේ ඒකධර්මය වදාරන ලද්දේ යයි.

මෙසේ වදාළ කල්හි අට්ඨකනගර වැසි දශම ගෘහපති ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල සැල කළේ: “වහන්ස, ආනන්දයෙනි, එක නිධානයක් සොයන පුරුෂයෙක් එක් මැ පියොවින් එකොළොස් නිධාන කෙනකුන් යම්සේ ලබා ද, එසෙයින් මැ වහන්ස, මම එක් අමාදොරක් සොයනුයෙම් එක් මැ පියොවින් එකොළොස් අමෘතද්වාර කෙනකුන් අසන්නට ලත්මි. වහන්ස, යම් පරිදි මිනිසක්හට එකොළොස් දොරක් ඇති ගෙයක් වේ ද, ඒ ගෙය ඇවිළැගත් සඳ එක් එක් මැ දොරෙකින් තමහට සුව කරන්නට හැකි වේ ද, එසෙයින් මැ වහන්ස, මම් මේ එකොළොස් අමාදොර අතුරෙන් එක් එක් මැ අමාදොරෙකින් තමහට සුව කරන්නට හැකිවන්නෙමි. වහන්ස, යම්හෙයෙකින් මේ අන්‍යතීර්ථකයෝ ආචාර්ය්‍ය හට ආචාර්ය්‍යධනය සොයත් නම්, වැලි කුමක්හෙයින් මම ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවනට පුජාවක් නො කෙරෙම් දැ”යි.

ඉක්බිති අට්ඨක නගර වැසි දශම ගෘහපති පැළලුප් නුවර වූ ද විසාලා නුවර වූ ද භික්‍ෂු සඞ්ඝයා රැස්කරවා ප්‍රණීත ඛාද්‍යභොජ්‍යයෙන් සියතින් සන්තර්පණ සම්ප්‍රවාරණ කැරැවී. යළි එකෙකි භික්‍ෂුවට එකෙකි වස්ත්‍ර යුග්මයක් දුන්නේ ය. ආයුෂ්මත් ආනන්ද තෙරණුවනට තුන්සිවුරු දුන්නේ ය. තවද ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට පඤ්චසතික විහාරයක් කැරැවී යයි.

දෙවැනි වූ  අට්ඨකනාගර සූත්‍රය නිමියේ ය.