අපණ්ණක සූත්‍රය


2.1.10 අපණ්ණක සූත්‍රය

  

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනවියෙහි (අතුරිත චාරිකාවෙන්) සැරිසරන සේක. මහත් බික්සඟුන් සමග කොසොල් දනවු වැසියන්ගේ සාලා නම් බමුණුගම කරා වැඩිසේක. සාලා ගම් වැසි බමුණු ගැහැවියෝ (මෙසේ) ඇසුහූ මැ යැ: භවත්නි සැහැකුලයෙන් පැවිදි වූ සැහැකුල පුත් මහණ ගොයුම්හු කොසොල් දනවියෙහි සැරිසරන සේක් මහත් බික් සඟුන් සමග සාලා බමුණුගමට පැමිණියහ. ඒ භගවත් මහණ ගොයුම්හුගේ මෙසේ කල්‍යාණ වූ කීර්තිශබ්දයෙක් උස් වැ නැඟිණ; (කෙසේ යැ:) මේ කරුණිනුදු ඒ භගවත්හු අර්හත්හ, සම්‍යක් සම්බුද්ධයහ, විද්‍යාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝකවිද්හ, අනුත්තර පුරුෂදම්‍යසාරථී දෑ යැ, දෙව්මිනිස්නට ශාස්තෘයහ, බුද්ධයහ, භගවත්හ’යි. ඒ මහණ ගොයුම්හු දෙවියන් සියො මරුන් සියො බඹුන් සියො මෙලොව තදන්‍ය දෙවිමිනිසුන් සියො ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත සත්ත්වාඛ්‍යප්‍රජාව තමන් විසින් විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට දනිත්. ඔබ ආදි කල්‍යාණ වූ මධ්‍ය කල්‍යාණ වූ පර්‍ය්‍යවසානකල්‍යාණ වූ සාර්ථ වූ සව්‍යඤ්ජන වූ කේවල පරිපූර්‍ණ වූ චතුස්සත්‍ය ධර්මය දෙසත්. පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙති’යි කියායි. එබඳු රහතුන්ගේ දර්ශනය මැනැවැ’යි.

එසඳ සාලා ගම්වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පස් වැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සම්මෝදනයට නිසි කාලාන්තරයෙහි සිහි කරනට නිසි කථාව කොට නිමවා එකත්පසෙකැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි නමා එකත්පසෙකැ හුන්හ. කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි නම්ගොත් අස්වා එකත් පසෙක හුන්හ. කෙනෙක් තුෂ්ණීම්භූත වැ එකත් පසෙකැ හුන්හ. භාග්‍යවතුන් වහන්සේ එකත්පසෙකැ හුන් සාලා ගම්වැසි බමුණුගැහැවියනට තෙල වදාළසේක: ගැහැවියෙනි, යම් ශාස්තෘවක්හු කෙරෙහි තොප විසින් ආකාරවත්, (සහෙතුක) ශ්‍රද්ධා ලබන ලද ද එබඳු මනාප වූ යම් මැ ශාස්තෘ කෙනෙක් ඇද්දැ’යි. වහන්ස, යම් ශාස්තෘවක්හු කෙරෙහි අප විසින් ආකාරවත් ශ්‍රද්ධා ලබන ලද ද එබඳු මනවඩන යම් මැ ශාස්තෘ කෙනෙක් අපට නැතැ’යි. ගැහැවියෙනි, මනවඩන ශාස්තෘ කෙනකුන් නො ලබන තොප විසින් මේ අපණ්ණක ධර්මය මොනොවට ගන්නා ලද්දේ මොනොවට සමාදන් කරන ලද්දේ වේ ද, හේ තොපට දීර්ඝරාත්‍රයෙහි හිතසුඛ පිණිස වේ යයි.

ගැහැවියෙනි, අපණ්ණක දහම කවරේ යැ යත්: ගැහැවියෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ බමුණු කෙනෙක් ඇත: ‘දුන් දැයෙහි විපාක නැත. යාග විපාක නැත. හොමයෙහි විපාක නැත. සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵල විපාක නැත, මෙලොවෙක් නැත, පරලොවෙක් නැත, මවු නැත, පියා නැත, ඔපපාතික සත්ත්‍වයෝ නැත. යම් කෙනෙක් මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න එබඳු මහණ-බමුණු කෙනෙක් නැත කියා යි. ගැහැවියෙනි, ඒ මහණ-බමුණන් අතුරෙන් ඇතැම් මහණ-බමුණු කෙනෙක් ඍජු විරුද්ධවාද ඇත්තාහු ද ඔහු මෙසේ කියත්: දානවිපාක ඇත, යාග විපාක ඇත, හොමවිපාක ඇත, සුකෘතදුෂ්කෘත කර්‍මයන්ගේ ඵල විපාක ඇත, මෙලෝ පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, ඔපපාතික සත්ත්‍වයෝ ඇත, මෙලෝ පරලෝ තමන් විසින් විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න මහණ-බමුණෝ ඇත’ කියායි. ගහවියෙනි, ඒ කෙසේ හඟනාව? මේ මහණ-බමුණෝ උනුනට ඍජු විරුද්ධවාද ඇත්තාහු නො? වහන්ස එසේ යැ.

ගැහැවියෙනි, එහිලා මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති මහණ-බමුණු කෙනෙක් ඇද්ද (කෙබඳු වාද යැ යත්:) දානවිපාක නැත, යාග විපාක නැත, හෝම විපාක නැත, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵල විපාක නැත, මෙලෝ නැත, පරලෝ නැත, මවු නැත, පියා නැත, ඔපපාතික සත්ත්‍වයෝ නැත, මෙලොව හා පරලොව තමන් විසින් විශිෂ්ටඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන සම්‍යග්ගත සම්‍යක්ප්‍රතිපන්න මහණ-බමුණෝ නැත යන වාද යි. උනට තෙල කැමැති වියයුතු යි: යම් මේ කාය සුචරිතයෙක්, වාක් සුචරිතයෙක් මනඃසුචරිතයෙක් ඇද්ද මෙ තුන් කුසල් දහම් හැරපියා යම් මේ කාය දුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනඃදුශ්චරිතයෙක් ඇද්ද මෙ තුන් අකුසල් දහම් සමාදාන වශයෙන් ගෙන පවත්නාහ, යනු යි. ඒ කවර හෙයින යත්: ඒ භවත් මහණබමුණෝ අකුශලධර්මයන්ගේ ආදීනව ලමු බව කෙලෙසීම නො දක්නාහ කුශලධර්මයන්ගේ ද අකුශලයෙන් නික්මීමෙහි අනුසස් ද එහි ව්‍යවදාන පක්ෂය ද නො දක්නාහ. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි ඔහුට දෘෂ්ටියෙක් වෙයි. ඒ දෘෂ්ටිය ඔහුගේ මිථ්‍යාදෘෂ්ටි වෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි සංකල්පනා කෙරෙයි. ඒ ඔහුගේ මිථ්‍යා සංකල්පයෙක. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි බෙණෙයි. ඒ ඔහුගේ මිථ්‍යාවාචා යැ. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි කියා ද (එහෙයින්) පරලොව දන්නා යම් රහත් කෙනෙක් ඇද්ද උනට මෙ තෙම විරුද්ධවාද කෙරෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලොව නැති’යි මෙරමා හඟවා ද, එහෙයින් ඒ මොහුගේ අභූතධර්මසංඥාප්ති වෙයි. ඒ අභූත ධර්මසංඥාපනයෙන් තමා ඔසවයි, මෙරමා හෙලා දකී. මෙසේ කැලැ මැ ඔහුගේ සුශීලභාවය ප්‍රහීණ වෙයි, දුශ්ශීලභාවය තුළම සිටියේ වෙයි. මෙ මිථ්‍යාදෘෂ්ටි ද මිථ්‍යාසංකල්ප මිථ්‍යාවාචා ආර්ය්‍යයනට ප්‍රත්‍යනීක හා අභූතධර්ම සංඥාපන ආත්මොත්කර්ෂණ පරවම්භන දැ යි මෙසේ මොහුට මිථ්‍යාදෘෂ්ටි හේතුයෙන් මේ අනෙක පාපක අකුශලධර්මයෝ පහළ වෙත්.

ගැහැවියෙනි, එහිලා විඥ පුරුෂ තෙමේ මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි. ඉදින් පරලොව නැත් නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගල කායභේදයෙන් මතු තමා ස්වස්ති කෙරෙයි. ඉදින් පරලොව ඇත් නම් මෙසේ මේ පුරුෂ පුද්ගල කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි. පරලෝ වේවයි කීහු නම් ඒ භවත් මහණ බමුණන්ගේ වචන සබා වෙයි. වැළිත් මේ භවත් පුරුෂ පුද්ගල ඉහාත්මයෙහි මැ ගර්හණීය වෙයි. පුරුෂ පුද්ගල දුශ්ශීල යැ මිථ්‍යාදෘෂ්ටික යැ නාස්තිකවාද ඇතියෙක කියා යි. ඉදින් පරලෝ ඇත්තේ මැ නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලහට දෙලොව මැ පරාජයග්‍රාහ වෙයි: යම් හෙයෙකින් ඉහාත්මයෙහි මැ විඥයන් විසින් ගර්හණීය වේ ද, යම් හෙයෙකින් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට පැමිණේ ද එහෙයිනි. මෙසේ ඔහු විසින් මේ අපණ්ණක ධර්මය වරදවා ගන්නා ලද්දේ නපුරු කොට ගන්නා ලද්දේ සමාදින්න වූයේ එක් කොටසක් සිය වාදය බැසගෙන සිටී. කුසල් කරුණ හැරපිය යි.

ගැහැවියෙනි, ඒ දෘෂ්ටි අතර යම් මැ මහණ-බමුණු කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු නම්: ‘දානයෙහි විපාක ඇත, යාගයෙහි විපාක ඇත. හොම විපාක ඇත, සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාක ඇත, මෙලෝ ඇත පරලෝ ඇත, මවු ඇත, පියා ඇත, මැරී උපදින සත්ත්වයෝ ඇත, මෙලෝ පරලෝ තමන් විසින් මොනොවට දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රකාශ කරන සම්‍යග්ගත සම්‍යක් ප්‍රතිපන්න මහණ-බමුණෝ ඇතැ’යි. ඔවුන් විසින් තෙලෙ කැමැති වියැයුතු: ‘යම් කායදුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනොදුශ්චරිතයෙක් ඇද්ද මේ තුන් අකුසල් දහම් හැරපියා යම් කායසුචරිතයෙක් වාක්සුචරිතයෙක් මනඃසුචරිතයෙක් ඇද්ද මේ තුන් කුසල් දහම් සමාදාන වශයෙන් ගෙන වැටෙති’ කියා යි. ඒ කවර හෙයින යත්: ඒ භවත් මහණ බමුණෝ අකුශලධර්මයන්ගේ ආදීනවය ලාමක භාවය සංක්ලේශය, කුශලධර්මයන්ගේ අකුශලයෙන් නික්මීමෙහි අනිසංසය ව්‍යවදානපක්ෂය දකිත් මැ යි, විද්‍යමාන වූ මැ පරලොව ගෙන පරලෝ ඇති’යි ඕහට දෘෂ්ටි වෙයි. ඒ දෘෂ්ටිය ඕහට සම්‍යග්දෘෂ්ටි වෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලෝ ඇති’යි සංකල්පනා කෙරෙයි. ඒ ඕහට සම්‍යක් සංකල්පනා වෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලෝ ඇති’යි බස් බෙණෙ ද ඒ බස ඕහට සම්‍යග් වාචා වෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන ‘පරලෝ ඇති’යි කියා ද පරලොව දන්නා යම් රහත් කෙනෙක් ඇත් නම් ඔවුනට මෙ තෙම විරුද්ධවාද නො කෙරෙයි. විද්‍යමාන වූ මැ පරලොව ගෙන මෙරමා හඟවා ද ඒ සංඥප්තිය ඕහට භූතධර්ම සංඥාපනා වෙයි. ඒ භූතධර්මසංඥාපනායෙන් තමා මැ හුවයි. මෙරමා නො හෙළයි. මෙසේ කැලැ මැ ඔහුගේ දුශ්ශීලභාවය ප්‍රහීණ වෙයි. සුශීලභාවය එළැඹ සිටියේ වෙයි. මේ සම්‍යග්දෘෂ්ටිය සම්‍යක් සංකල්පය සම්‍යග් වචනය ආර්‍ය්‍යයන්ගේ අප්ච්චනීකතා සංඛ්‍යාත භූතධර්ම සංඥප්ති වෙයි. ආත්මොත්කර්‍ෂණා නො වෙයි. පරවම්භනා නො වෙයි. මෙසේ ඕහට සම්‍යග්දෘෂ්ටි හේතුයෙන් මේ අනේක කුශල ධර්මයෝ පහළ වෙත්.

ගැහැවියෙනි, ඒ ලබ්ධීන් අතුරෙහි ලා විඥ පුරුෂ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කෙරෙයි. ඉදින් පරලෝ ඇත් නම් මෙසේ මේ භවත් පුරුෂපුද්ගල කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගලොකයට එළැඹෙයි, පරලොව වේවායි කියත් නම් ඒ භවත් මහණ බමුණන්ගේ වචන සබා වෙයි. තවද මේ භවත් පුරුෂ පුද්ගල විඥයන් විසින් පැසැසියයුතු වෙයි: සිල්වත් පුරුෂ පුද්ගලයෙක, සම්‍යග් දෘෂ්ටිකයෙක, ඉදින් පරලෝ ඇත්තේ මැ වේ නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලයාහට දෙලොව මැ ජයග්‍රාහ වෙයි. යම් හෙයෙකින් මෙලොව මැ විඥයන් විසින් පැසැසියයුතු වේ ද, යම් හෙයෙකින් කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගලෝකයට පැමිණේ ද එහෙයිනි. මෙසේ ඔහු විසින් මේ අවිරුද්ධ ධර්මය මොනොවට ගන්නා ලද්දේ මොනොවට සමාදන් කෙළේ (සකවාද පරවාද සංඛ්‍යාත) උභයාන්ත බැසගෙන සිටුනේ යැ අකුශල ස්ථානය හරනේ යි.

ගැහැවියෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත: “(සියතින්) කරන්නාහට මෙරමා ලවා කරවන්නාහට මෙරමාගේ අත්පා ආදිය සිඳින්නාහට සිඳුවන්නාහට දඬින් පෙළන්නාහට පෙළවන්නාහට ශොක කරන්නාහට ශෝක කරවන්නාහට ක්ලාන්ත කරන්නාහට ක්ලාන්ත කරවන්නාහට කම්පන කරන්නාහට කම්පන කරවන්නාහට ප්‍රාණවධ කරන්නාහට කරවන්නාහට අයිනාදන් කරන්නාහට ගෘහසන්ධි සිඳුනාහට මහාවිලොප කරන්නාහට එකාගාරික (එක් ගෙයක් වොලොගන්නා) කම් කරන්නාහට කඬපලා සොරකම් කරන්නාහට වීරඹුසොරකම් කරන්නාහට මුසවා බණනුවහට පාපයෙක් නැත. ‘පව් කරමි’ යන සංඥා ඇති වැ කරන්නාහට ද පව් නො කෙරෙයි. ඉදින් යමෙක් කර බඳු නිම්වළලු ඇති චක්‍රයෙකින් මෙ පොළෝතෙලෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංසපූඤ්ජයක් කරන්නේ නමුදු එ හේතුවින් පාපයෙක් නැත. පාපයාගේ ඊමෙක් නැත. ඉදින් මරමින් මරවමින් අත්පාආදිය සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ගඞ්ගායෙහි දකුණුතෙරට යේ නම් ඒ හේතුවින් පාපයෙක් නැත. පාපයාගේ ඊමෙක් නැත. ඉදින් දන් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් ගඞ්ගායෙහි උතුරු තෙරට යේ නම් ඒ හේතුවින් පුණ්‍යයෙක් නැත පුණ්‍යයාගේ ඊමෙක් නැත. දානයෙන් ඉන්ද්‍රියදමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පුණ්‍යයෙක් නැත. පුණ්‍යයාගේ ඊමෙක් නැත. ගැහැවියෙනි, ඒ මහණබමුණන් අතුරෙහි මැ ඇතැම් මහණ බමුණු කෙනෙක් ඍජුවිරුද්ධවාද ඇත්තාහ. ඔහු මෙසේ කීහ: කරන්නාහට කරවන්නාහට අත්පා ආදිය සිඳින්නාට සිඳුවන්නාට සිඳුවන්නාහට පෙළන්නාට පෙළවන්නාට ශෝක කරන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරන්නාට ක්ලාන්ත කරවන්නාට කම්පන කරන්නාට කම්පන කරවන්නාට ප්‍රාණවධ කරන්නාට අයිනාදන් කරන්නාට ගෘහසන්ධි සිඳින්නාට මහාවිලොප කරන්නාට එකාගාරිකකම් කරන්නාට කඬපලාසොරකම් සිටුනාහට වීරඹුසොරකම් කරන්නාට මුසවා කියන්නාට පව් ඇත. කරන්නාට පව් කෙරෙයි. ඉදින් යමෙක් කර බඳු නිම්වළලු ඇති චක්‍රයෙකින් මෙ පොළෝතෙලෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංසපූඤ්ජයක් කරන්නේ නම් එ හේතුවින් පව් ඇත. පාපයාගේ ඊමෙක් ඇත. ඉදින් ප්‍රාණීන් නසමින් නස්වමින් අත්පා ආදිය සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ගඞ්ගායෙහි දකුණුතෙරට යේ නම් ඒ හේතුවින් පව් ඇත. පාපයාගේ ඊමෙක් ඇත. ඉදින් දන් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් ගඞ්ගායෙහි උතුරු තෙරට යේ නම් ඒ හේතුවින් පින් ඇත. පුණ්‍යාගම ඇත. දානයෙන් ඉන්ද්‍රිය දමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පින් ඇත. පුණ්‍යාගම ඇතැ’යි. ගැහැවියෙනි, ඒ කිමැ’යි හඟනාව? මෙ මහණබමුණෝ උනුනට ඍජු විරුද්ධවාද ඇත්තාහු නො? යි. එසේ යැ වහන්ස.

ගැහැවියෙනි, එහි යම් මහණබමුණු කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු ද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද: “කරන්නාට කරවන්නාට (අත්පා ආදිය) සිඳින්නාට සිඳුවන්නාට පෙළන්නාට පෙළවන්නාට ශෝක කරන්නාට කරවන්නාට ක්ලාන්ත කරන්නාට ක්ලාන්ත කරවන්නාහට කම්පන කරන්නාට කම්පන කරවන්නාහට ප්‍රාණවධ කරන්නාට කරවන්නාහට අයිනාදන් කරන්නාට කරවන්නාහට ගෘහසන්ධි සිඳින්නාට මහාවිලෝප කරන්නාට ඒකාගාරික කම් කරන්නාට කඬපලාසොරකම්හි සිටුනාහට පරඹුවන් කරා යන්නාට මුසවා බණන්නාට පව් නැත. කරන්නාට පව් නො කෙරෙයි. ඉදින් යමෙක් කර බඳු නිම්වළලු ඇති චක්‍රයෙකින් මෙ පොළෝතෙලෙහි ප්‍රාණීන් එක් මස්රැසක් එක් මාංසපූඤ්ජයක් කරන්නේ නමුදු එ හේතුවින් පව් නැත. පාපගමයෙක් නැත. ඉදින් ප්‍රාණ වධ කරමින් කරවමින් අත්පා සිඳිමින් සිඳුවමින් (දඬින්) පෙළෙමින් පෙළවමින් ගඞ්ගායෙහි දකුණුතෙරට යන්නේ නමුදු ඒ හේතුවින් පව් නැත. පාපගම නැත. ඉදින් දන් දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් එ ගඞ්ගායෙහි උතුරුතෙරට යන්නේ නමුදු ඒ හේතුවින් පින් නැත පුණ්‍යාගම නැත. දානයෙන් ඉන්ද්‍රියදමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පින් නැත. පුණ්‍යාගම නැතැ’යි. ඔවුන් විසින් තෙල කැමැති වියැයුතු: “යම් කායසුචරිතයෙක් වාක්සුචරිතයෙක් මනඃසුචරිතයෙක් ඇද්ද, මෙ තුන් කුශලධර්මයන් තබා යම් කායදුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනොදුශ්චරිතයෙක් ඇද්ද, මෙ තුන් අකුශලධර්මයන් සමාදාන වශයෙන් ගෙන වැටෙති’යි කියා යි. කවර හෙයින යත්: භවත් මහණබමුණෝ අකුශලධර්මයන්ගේ ආදීනවය ලමු බව කෙලෙසීම නො දක්නාහ. කුශල ධර්මයන්ගේ අනුසස්ද අකුශලයෙන් නිෂ්ක්‍රමණයෙහි අනුසස් ද ව්‍යවදාන පක්ෂය ද, නො දක්නාහ. එහෙයිනි. ඇත්තා වූ ම ක්‍රියාව ‘ක්‍රියා නැති’ යි ඔහුට දෘෂ්ටි වෙයි. ඔහුගේ එ දෘෂ්ටිය ඔහුට මිථ්‍යාදෘෂ්ටි වෙයි. ඇත්තා වූ මැ ක්‍රියා ‘ක්‍රියා නැති’යි සංකල්පනා කෙරෙයි. හේ ඔහුට මිථ්‍යාසංකල්ප වෙයි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා නැති’යි තෙපුල් බෙණෙයි. ඒ ඔහුට මිථ්‍යාවාචා වෙයි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා නැති’යි කියයි. යම් රහත් කෙනෙක් ක්‍රියාවාද ඇති වෙත් ද ඔවුනට මෙ තෙම විරුද්ධකම් කෙරෙයි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා නැති’යි මෙරමා ලවා හඟවයි. හේ, මොහුගේ අසද්ධර්මසංඥප්ති වෙයි. එ අසද්ධර්මසංඥප්තියෙන් තමා හුවයි. මෙරමා හෙළයි. මෙසේ කැලැ මැ ඔහුගේ සුශීලභාවය ප්‍රහීණ වෙයි. දුශ්ශීලභාවය එළඹසිටියේ වෙයි. මේ මිථ්‍යාදෘෂ්ටිය ද මිථ්‍යාසංකල්පය ද මිථ්‍යාවාචා ද ආර්ය්‍යයනට ප්‍රත්‍යනීක බව ද අසද්ධර්මසංඥප්ති ය ද ආත්මොත්කර්ෂණය ද පරවම්භනාව දැ යි මේ අනෙක පාපධර්මයෝ මිථ්‍යාදෘෂ්ටි හේතුයෙන් ඔහුට පහළ වෙති.

ගැහැවියෙනි, එහි ලා විඥ පුරුෂ මෙසේ සලකයි: ඉදින් ක්‍රියා නැත් නම් මෙසේ මෙ භවත් පුරුෂ පුද්ගල කාබුන් මරණින් මතු තමා ස්වස්ථ කෙරෙයි. ඉදින් ක්‍රියා ඇත් නම් මෙසේ මෙ භවත් පුරුෂ පුද්ගල කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරුගති ඇති නිරයට පැමිණෙයි. ක්‍රියාව නො වූයේ නමුදු එ භවත් මහණ බමුණන්ගේ වචන සත්‍ය හෝ වේවා වැළිත් මේ භවත් පුරුෂ පුද්ගල ඉහාත්මයෙහි මැ විඥයන් විසින් ගැරැහියැයුතු වෙයි. ‘පුරුෂ පුද්ගල දුශ්ශීල යැ මිථ්‍යාදෘෂ්ටික යැ අක්‍රියවාද ඇතියෙකැ’ යි කියා යි. ඉදින් ක්‍රියා ඇත් නම් මෙසේ මෙ භවත් පුරුෂ පුද්ගලයාහට මෙලෝ පරලෝ දෙක්හි මැ පරාජයග්‍රාහය වෙයි. යම් හෙයෙකින් ඉහාත්මයෙහි මැ විඥයන් විසින් ගැරැහියැ යුතු වේ ද යම් හෙයෙකින් කාබුන් මරණින් මතු අපාය දුර්ගති විනිපාත වූ නිරයට පැමිණියේ ද, එහෙයිනි. මෙසේ මොහු විසින් මෙ අපණ්ණක ධර්මය වරදවා ගන්නා ලද්දේ සමාදාන වශයෙන් ගන්නා ලද්දේ එක් කොටසක් පැතිරැ ගෙන සිටී. කුශලය හැර පියයි.

ගැහැවියෙනි, ඔවුනතුරෙහි යම් මහණබමුණු කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු ද, මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද: “(ප්‍රාණඝාතදිය) කරන්නාට කරවන්නාට (අත්පා ආදිය) සිඳින්නාට සිඳුවන්නාට පෙළන්නාට පෙළවන්නාට ශෝක කරන්නාට ශෝක කරවන්නාට ක්ලාන්ත කරන්නාට ක්ලාන්ත කරවන්නාට කම්පන කරන්නාට කම්පන කරවන්නාට ප්‍රාණවධ කරන්නාට කරවන්නාට අයිනාදන් කරන්නාට කරවන්නාට ගෘහසන්ධි සිඳින්නාට සිඳුවන්නාට මහාවිලෝප කරන්නාට කරවන්නාට ඒකාගාරික කම් කරන්නාට කරවන්නාහට කඬපලාසොරකම්හි සිටුනාහට පරඹුවන් කරා යන්නාට මුසවා බණන්නාට පව් ඇත. කරන්නාට පව් කෙරෙයි. ඉදින් යමෙක් කර බඳු නිම්වළලු ඇති චක්‍රයෙකින් මෙ පොළෝතෙලෙහි ප්‍රාණීන් එක් මස් රැසක් එක් මාංසපූඤ්ජයක් කරන්නේ නම් එ හේතුවින් පව් ඇත. පාපාගම ඇත. ඉදින් මරමින් මරවමින් (අත්පා ආදිය) සිඳිමින් සිඳුවමින් පෙළමින් පෙළවමින් ගඞ්ගායෙහි දකුණුතෙරට යේ නම් ඒ හේතුවින් පව් ඇත. පාපාගම ඇත. ඉදින් (දන්) දෙමින් දෙවමින් යාග කරමින් යාග කරවමින් ගඞ්ගායෙහි උතුරු තෙරට යේ නම් ඒ හේතුවින් පින් ඇත. පුණ්‍යාගම ඇත. දානයෙන් ඉන්ද්‍රිය දමනයෙන් ශීලසංයමයෙන් සත්‍යවචනයෙන් පින් ඇත. පුණ්‍යාගම ඇතැ” යි. ඔවුනට තෙල කැමැති වියැයුතු: යම් කායදුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනෝදුශ්චරිතයෙක් ඇද්ද මෙ තුන් අකුශලධර්මයන් හැරපියා යම් කායසුචරිතයෙක් වාක්සුචරිතයෙක් මනඃ සුචරිතයෙක් ඇද්ද මෙ තුන් කුශලධර්මයන් සමාදන් වැ වැටෙති’යි කියා යි. එ කවර හෙයින යත්: එ භවත් මහණබමුණෝ අකුශලධර්මයන්ගේ ආදීනවය ලමුබව කෙලෙසීම දක්නාහ. කුශලධර්මයන්ගේ අනුසස් ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද ව්‍යවදාන (විශුද්ධි) පක්ෂය ද දක්නාහ. එහයිනි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා ඇති’යි ඔහුට දෘෂ්ටි වෙයි. එ ඔහුගේ සම්‍යග් දෘෂ්ටි වෙයි, ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා ඇති’ යි සංකල්පනා කෙරෙයි. එ ඔහුගේ සම්‍යක්සංකල්ප වෙයි. ඇත්තා වූ මැ ‘ක්‍රියා ඇති’ යි තෙපුල් බෙණෙයි. ඒ ඔහුගේ සම්‍යග්වචන වෙයි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා ඇති’යි කියයි. යම් රහත් කෙනෙක් ක්‍රියාවා ද ඇති වෙත් ද ඔවුනට මෙ පුද්ගල විරුද්ධ කම් නො කෙරෙයි. ඇත්තා වූ මැ ක්‍රියාව ‘ක්‍රියා ඇති’ යි මෙරමා ලවා හඟවයි ඒ ඔහුගේ සද්ධර්මසංඥප්ති වෙයි. ඒ සද්ධර්මසංඥප්තියෙනුදු තමා නො හුවයි. මෙරමා නො හෙළයි. මෙසෙයින් කැලැ මැ ඔහුගේ දුසිල්බව ප්‍රහීණ වෙයි. සුසිල් බව එළඹසිටියේ වෙයි. මෙ සම්‍යග්දෘෂ්ටි ද සම්‍යක්සංකල්ප ද සම්‍යග්වචන ද ආර්ය්‍යයනට අවිරුද්ධභාවය ද සද්ධර්මසංඥප්ති ද ආත්මොත්කර්ෂණ රහිත බව ද පරවම්භනා රහිත බව දැ යි මෙසේ මේ අනෙක කුශල ධර්මයෝ සම්‍යග්දෘෂ්ටි හේතුයෙන් ඔහුට පහළ වෙත්.

ගැහැවියෙනි, එහි ලා විඥ පුරුෂ මෙසේ සලකයි: ඉදින් ක්‍රියා ඇත් නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගල කාබුන් මරණින් මතු සුන්දරගති ඇති ස්වර්ගලෝකයට උපපත්ති විසින් පැමිණෙන්නේ යැ. එකත්නෙත් ක්‍රියා නො වේවා. ඒ භවත් මහණ බමුණන්ගේ වචන සත්‍ය වේවා. එතෙකුදු වත් මෙ භවත් පුරුෂපුද්ගල මෙ අත්බැව්හි මැ සිල්වත් පුරුෂපුද්ගලයෙකැ සම්‍යග්දෘෂ්ටි ඇතියෙකැ ක්‍රියාවාද ඇතියෙකැ’ යි නුවණැතියන් ගේ පැසැසුමට නිසි වෙයි. ඉදින් ක්‍රියා ඇත්තේ මැ වී නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගලහට දෙලොව්හි මැ ජයග්‍රාහ වෙයි: ‘මෙලෙව්හි මැ නුවණැතියන්ගේ පැසැසුමට නිසි වෙයි’ යන යමෙකුත් ඇද්ද, කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගලොකයට පැමිණෙන්නේ යැ’ යන යමෙකුත් ඇද්ද ඒ දෙකයි. මෙසේ ඔහුගේ මෙ අපණ්ණකධර්මය ගන්නා ලද්දේ සමාදන් කරන ලද්දේ (සකවාද යැ පරවාද යැ යන) උභයාන්තය පැතිරැගෙන සිටියි. අකුශල කාරණ හැරපියයි.

ගැහැවියෙනි, මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණෝ ඇත: “සත්ත්වයන්ගේ සංක්ලේශයට (කෙලෙසීමට) හේතු නැත, ප්‍රත්‍ය නැත. අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්වයෝ කෙලෙසෙති. සත්ත්වයන්ගේ විශුද්ධියට හෙතු නැත. ප්‍රත්‍ය නැත, අහේතු අප්‍රත්‍යයෙන් සත්ත්වයෝ විශුද්ධ වෙති. බලයෙක් නැත, වීර්‍ය්‍යයෙක් නැත, පුරුෂථාමයෙක් නැත පුරුෂපරාක්‍රමයෙක් නැත, හැම සත්හු හැම (එකින්ද්‍රියාදි) ප්‍රාණීහු හැම (අන්ඩකෝෂ වස්තිකෝෂගත) භූතයෝ හැම ජීවයෝ අවස වූවාහු අබල වූවාහු වීර්‍ය්‍ය නැත්තාහු නියතියෙන් සඞ්ගතියෙන් ස්වභාවයෙන් පරිණාමයට පැමිණියාහු අභිජාති සයෙකැ මැ සිට සුවදුක් විඳුති” යි. ගැහැවියෙනි, එ මහණබමුණන් අතුරෙහි මැ ඇතැම් මහණබමුණෝ ඍජු විරුද්ධවාද ඇත්තාහ. ඔහු මෙසේ කීහු: “සත්ත්වයන්ගේ සංක්ලේශයට හේතු ඇත, ප්‍රත්‍යය ඇත. හේතු ප්‍රත්‍යය ඇති වැ සත්ත්වයෝ කෙලෙසෙති. සත්ත්වයන්ගේ විශුද්ධියට හේතු ඇත, ප්‍රත්‍ය ඇත, හේතු ප්‍රත්‍ය ඇති වැ සත්ත්වයෝ විශුද්ධ වෙති. බල ඇත, වීර්‍ය්‍යය ඇත, පුරුෂ ස්ථාම ඇත, පුරුෂපරාක්‍රම ඇති. හැම සත්හු හැම ප්‍රාණීහු හැම භූතයෝ හැම ජීවයෝ අවස වූවාහු අබල වූවාහු වීර්‍ය්‍ය නැතියාහු නියතියෙන් සඞ්ගතියෙන් ස්වභාවයෙන් පරිණාමයට පැමිණියාහු අභිජාති සයෙකැ මැ සුවදුක් විඳුනාහු නො වෙති යි. ගැහැවියෙනි, ඒ කිමැයි හඟනාව: මෙ මහණ බමුණෝ උනුනට ඍජු විරුද්ධවාද ඇත්තාහු නො? යි. එසේ යැ වහන්ස.

ගැහැවියෙනි, ඔවුනතුරෙහි යම් මහණ බමුණු කෙනෙක් මෙබඳු වාද, මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද: “(සත්ත්වයන්ගේ කෙලෙසීමට) හෙතු නැත, ප්‍රත්‍ය නැත ... සුවදුක් විඳුති” යි. ඔවුනට තෙල කැමැති වියැයුතු: ‘යම් කායසුචරිතයෙක් වාක්සුචරිතයෙක් මනඃසුචරිතයෙක් ඇද්ද මෙ තුන් කුශලධර්මයන් හැරපියා යම් කායදුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනෝදුශ්චරිතයෙක් ඇද්ද මෙ තුන් අකුශලධර්මයන් සමාදන් වැ ගෙන වැටෙති’ යි. එ කවර හෙයින යත්: ඒ භවත් මහණබමුණෝ අකුශල ධර්මයන්ගේ ආදීනවය ලමුබව කෙලෙසීම කුශලධර්මයන් ගේ අනුසස් ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද ව්‍යවදාන පක්ෂය ද නො දක්නාහ. ඇත්තා වූ මැ හේතුව ‘හෙතු නැතැ’ යි ඔහුට දෘෂ්ටිවෙයි. ඒ ඔහුගේ මිථ්‍යාදෘෂ්ටි වෙයි. ඇත්තා වූ මැ හේතුව ‘හෙතු නැතැ’ යි සංකල්පනා කෙරෙයි. ඒ ඔහුගේ මිථ්‍යාසංකල්ප වෙයි. ඇත්තා වූ මැ හේතුව ‘හෙතු නැතැ’ යි තෙපුල් බෙණෙයි. ඒ ඔහුගේ මිථ්‍යාවචන වෙයි. ඇත්තා වූ මැ හේතුව ‘හෙතු නැතැ’ යි කියයි. යම් රහත් කෙනෙක් හේතුවාද ඇති වෙත් ද ඔවුනට මේ පුද්ගල විරුද්ධ කම් කෙරෙයි. ඇත්තා වූ මැ හේතුව ‘හෙතු නැතැ’ යි මෙරමා හඟවයි. එ ඔහුගේ අසද්ධර්ම සංඥප්ති වෙයි. ඒ අසද්ධර්ම සංඥප්තියෙනුදු තමා හුවයි, මෙරමා හෙළයි. මෙසෙයින් කැලැ මැ ඔහුගේ සුශීලභාවය ප්‍රහීණ වූයේ වෙයි. දුශ්ශීලභාවය එළැඹැ සිටියේ වෙයි. මෙ මිථ්‍යාදෘෂ්ටි ද මිථ්‍යාසංකල්ප ද මිථ්‍යාවචන ද ආර්ය්‍යයනට විරුද්ධභාවය ද අසද්ධර්මසංඥප්ති ද ආත්මොත්කර්‍ෂණ ද පරවම්භන දැ යි මෙසේ මෙ නොයෙක් අකුශලධර්මයෝ මිථ්‍යාදෘෂ්ටි හේතුයෙන් ඔහුට පහළ වෙත්.

ගැහැවියෙනි, එහි ලා විඥ පුරුෂ මෙසේ සලකයි: ඉදින් හේතු නැත් නම් මෙසේ මෙ භවත් පුරුෂ පුද්ගල කායභේදයෙන් මතු තමා ස්වස්ථ කෙරෙයි. ඉදින් හේතු ඇත් නම් මෙසේ මෙ භවත් පුරුෂපුද්ගල කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට පැමිණෙයි. වැළිත් එකත්නෙන් හෙතු නො වේවා. එ භවත් මහණබමුණන්ගේ වචන සත්‍ය වේවා, එතෙකුදු වත් මේ භවත් පුරුෂපුද්ගල ඉහාත්මයෙහි මැ නුවණැතියන් විසින් ගර්හාකළයුතුබවට නිසි වෙයි: ‘දුශ්ශීල පුරුෂපුද්ගලයෙක, මිථ්‍යාදෘෂ්ටි ඇතියෙක අහේතුවාද ඇතියෙක’ කියා යි. ඉදින් හේතු ඇත්තේ මැ වී නම් මෙසේ මේ භවත් පුරුෂපුද්ගලයාහට දෙලොව්හි මැ පරාජයග්‍රාහ වෙයි. ‘ඉහාත්මයෙහි මැ නුවණැතියන්ගේ ගර්හාවට නිසි වෙයි’ යන යමෙකුත් ඇද්ද, ‘කාබුන් මරණින් මතු අපාය වූ දුර්ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි’ යන යමෙකුත් ඇද්ද, එ දෙකයි. මෙසේ ඔහුගේ මෙ අපණ්ණකධර්මය වරදවා ගන්නා ලද්දේ සමාදන් කරනලද්දේ එක් දෙසක් පැතිරැගෙන් සිටියි. කුශල කාරණ හැරපියයි.

ගැහැවියෙනි, ඔවුනතුරෙහි යම් මහණ බමුණු කෙනෙක් මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද: “හේතු ඇත, ප්‍රත්‍ය ඇත ... සුවදුක් විඳිති” යි. ඔවුනට තෙල කැමැති වියැයුතු: ‘යම් කායදුශ්චරිතයෙක් වාග්දුශ්චරිතයෙක් මනෝදුශ්චරිතයෙක් ඇද්ද, මෙ තුන් අකුශලධර්මයන් හැරපියා යම් කායසුචරිතයෙක් වාක්සුචරිතයෙක් මනඃසුචරිතයෙක් ඇද්ද, මෙ තුන් කුශලධර්මයන් සමාදන් කොට ගෙන වැටෙති ‘ යි. එ කවර හෙයින යත්: ඒ භවත් මහණබමුණෝ අකුශල ධර්මයන්ගේ ආදීනවය ලමුබව කෙලෙසීම දක්නාහ. කුශලධර්මයන් ගේ අනුසස් ද නෛෂ්ක්‍රම්‍යයෙහි අනුසස් ද ව්‍යවදානපක්ෂය ද දක්නාහ. ඇත්තා වූ මැ හෙතු ‘හෙතු ඇතැ’ යි ඔහුට දෘෂ්ටිවෙයි. ඒ ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. ඇත්තා වූ මැ හේතු ‘හේතු ඇතැ’ යි සංකල්පනා කෙරෙයි. ඒ ඔහුගේ සම්‍යක්සංකල්ප වෙයි. ඇත්තා වූ මැ හේතු ‘හේතු ඇතැ’ යි තෙපුල් බෙණෙයි. ඒ ඔහුට සම්‍යග් වචන වෙයි. ඇත්තා වූ මැ හේතු ‘හෙතු ඇතැ’ යි කියයි. යම් රහත් කෙනෙක් හේතුවාද ඇත්තාහු ද ඔවුනට මේ පුද්ගල විරුද්ධ කම් නො කෙරෙයි. ඇත්තා වූ මැ හේතු ‘හේතු ඇතැ’ යි මෙරමා හඟවයි. එ ඔහුට සද්ධර්මසංඥප්ති වෙයි. ඒ සද්ධර්ම සංඥප්තියෙනුදු තමා නො මැ හුවයි, මෙරමා නො හෙළයි. මෙසෙයින් කැලැ මැ ඔහුගේ දුසිල් බව ප්‍රහීණ වූයේ වෙයි. සුසිල්බව එළැඹැ සිටියේ වෙයි. මෙ සම්‍යග්දෘෂ්ටි ද සම්‍යක් සංකල්ප ද සම්‍යග් වචන ද ආර්ය්‍යයනට අවිරුද්ධභාවය ද සද්ධර්මසංඥප්තිය ද ආත්මොත්කර්‍ෂණ රහිත බව ද පරවම්භන රහිත බව දැ යි මෙසේ ඔහුට මෙ නොයෙක් කුශලධර්මයෝ සම්‍යග්දෘෂ්ටි හේතුයෙන් පහළ වෙත්.

ගැහැවියෙනි, එහි ලා විඥ පුරුෂ මෙසේ සලකයි: ඉදින් හේතු ඇත් නම් මෙසේ මේ භවත් පුරුෂ පුද්ගල කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගලෝකයට පැමිණෙන්නෙ යැ. වැළිත් එකත්නෙත් හේතු නො වේවා. එ භවත් මහණ බමුණන්ගේ වචන සත්‍ය වේවා, එතෙකුදු වත් මෙ භවත් පුරුෂපුද්ගල ඉහාත්මයෙහි මැ නුවණැතියන්ගේ පැසැසුමට නිසි වෙයි: ‘සිල්වත් පුරුෂපුද්ගලයෙක, සම්‍යග් දෘෂ්ටි ඇතියෙක, හේතුවාද ඇතියෙක’ කියා යි. ඉදින් හෙතු ඇත්තේ මැ වී නම් මෙසේ මේ භවත් පුරුෂපුද්ගලහට දෙලොව්හි මැ ජයග්‍රාහ වෙයි. ඉහාත්මයෙහි මැ නුවණැතියන්ගේ පැසැසුමට නිසි වෙයි’ යන යමෙකුත් ඇද්ද, කාබුන් මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ගයට පැමිණෙන්නේ යැ යන යමෙකුත් ඇද්ද, එ දෙක යි. මෙසේ ඔහුගේ මෙ අපණ්ණක ධර්මය මොනොවට ගන්නා ලද්දේ සමාදන් කරන ලද්දේ උභයාන්ත පැතිරැ ගෙන සිටියි. අකුශලකාරණ හැරපියයි.

ගැහැවියෙනි, ‘අරූප බ්‍රහ්මලෝකය සර්වප්‍රකාරයෙන් නැතැ’යි මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති ඇතැම් මහණබමුණෝ ඇත. ගැහැවියෙනි, ඒ මහණබමුණන් අතුරෙහි මැ ඇතැම් මහණ බමුණෝ ඍජු විරුද්ධවාද ඇත්තාහු වෙති. ඔහු මෙසේ කීහු: ‘අරූප බ්‍රහ්මලෝකය සර්වප්‍රකාරයෙන් ඇත’ කියා යි. ගැහැවියෙනි, ඒ කිමැ යි හඟනාව. මේ මහණබමුණෝ උනුනට ඍජු විරුද්ධ වාද ඇත්තාහු නො? යි. එසේ ය වහන්ස.

ගැහැවියෙනි, එහි ලා නුවණැති පුරුෂ මෙසේ සලකයි: යම් ඒ භවත් මහණ බමුණු කෙනෙක් ‘අරූප බ්‍රහ්මලෝකය සර්වප්‍රකාරයෙන් නැතැ’යි මෙසේ කියන්නාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද මෙ කරුණ මා විසින් නො දක්නා ලද. යම් ඒ භවත් මහණ බමුණු කෙනෙකුන් ‘අරූප බ්‍රහ්මලෝකය සර්වප්‍රකාරයෙන් ඇතැ’යි මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, මෙ කරුණ ද මා විසින් නො දන්නා ලද. වැළිත් මම් වූ කලි නො දන්නෙම් නො දක්නෙම් ‘මේ මැ සත්‍ය යැ අන්‍ය තුච්ඡ යැ’යි ඒකාන්ත කොටගෙන ව්‍යවහාර කරන්නෙමි. තෙල මට නො නිස්ස. යම් ඒ භවත් මහණ බමුණු කෙනෙක් ‘අරූප බ්‍රහ්මලෝකය සර්වප්‍රකාරයෙන් නැතැ’යි මෙබඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද, ඉදින් එ භවත් මහණ බමුණන්ගේ වචන සබා වේ නම් තෙල කරුණ විද්‍යමාන වෙයි.: රූපී වූ මනෝමය වූ යම් ඒ දෙවි කෙනෙක් ඇද්ද මාගේ එහි ඉපැත්ම නො සිස් වෙයි. යම් එ භවත් මහණ බමුණු කෙනෙක් ‘අරූප බ්‍රහ්මලෝකය සර්වප්‍රකාරයෙන් ඇතැ’යි මේ බඳු වාද ඇත්තාහු මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ද ඉදින් එ භවත් මහණ බමුණන්ගේ වචන සත්‍ය වේ නම් තෙල කරුණ විද්‍යමාන වෙයි: අරූපී වූ සංඥාමය වූ යම් එ දෙවි කෙනෙක් ඇද්ද, මාගේ එහි ඉපැත්ම නො සිස් වෙයි. රූපය හෙතු කොට දඬු ගැනුම යැ සැත් ගැනුම යැ කලහ යැ විග්‍රහ යැ විවාද යැ ‘තෝ තෝ’ යැ යි බිණුම යැ පිසුනු බස යැ මුසවා යැ යන මොහු දක්නා ලැබෙත් මැ යැ. සර්වප්‍රකාරයෙන් අරූපභවයෙහි තෙල නැත් මැ යයි. හෙ මෙසේ ප්‍රත්‍යවේක්ෂා කොට රූපයන්ගේ මැ නිර්වේදය පිණිස විරාගය පිණිස නිරොධය පිණිස පිළිපන්නෙ වෙයි.

ගැහැවියෙනි, ‘සර්ව ප්‍රකාරයෙන් භවනිරෝධයෙක් නැතැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ගැහැවියෙනි, එ මහණ බමුණන්ට මැ ඍජු විරුද්ධවාද ඇති ඇතැම් මහණ බමුණු කෙනෙක් ඇත. ඔහු මෙසේ කීහු: ‘සර්ව ප්‍රකාරයෙන් භවනිරෝධය ඇතැ’යි. ගැහැවියෙනි, එ කිමැ යි හඟනාව. මේ මහණ බමුණෝ ඔවුනොවුනට ඍජුවිරුද්ධවාද ඇත්තාහු නො වෙත් දැ? යි. එසේ යැ වහන්ස.

ගැහැවියෙනි, එහි ලා නුවණැති පුරුෂ මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කෙරෙයි: ‘සර්ව ප්‍රකාරයෙන් භවනිරෝධයෙක් නැතැ’යි මෙසේ වාද ඇති මෙසේ දෘෂ්ටි ඇති යම් භවත් මහණ බමුණු කෙනෙක් ඇද්ද මා විසින් මෙ නොදක්නා ලද, ‘සර්ව ප්‍රකාරයෙන් භවනිරෝධය ඇතැ’යි මෙබඳු වාද ඇති මෙබඳු දෘෂ්ටි ඇති යම් භවත් මහණ බමුණු කෙනෙක් ඇද්ද, මෙ මා විසින් නො දක්නා ලද, මම වැළිත් මෙය මැ සැබව, අන්‍යය තුච්ඡ යැ යි නො දන් නම් නො දක්නෙම් ඒකාන්තයෙන් ගෙන ව්‍යවහාර කෙරෙම් නම් තෙල මට නො නිසි වෙයි. ‘සර්ව ප්‍රකාරයෙන් භවනිරෝධයෙක් නැතැ’යි මෙසේ වාද ඇති මෙසේ දෘෂ්ටි ඇති යම් භවත් මහණ බමුණු කෙනෙක් ඇද්ද, ඉදින් එ භවත් මහණ බමුණන්ගේ බස සබා වී නම් තෙල කරුණ වන්නේ යැ. අරූපී වූ (අරූපධ්‍යාන සංඥායෙන්) සංඥාමය වූ යම් දෙවි කෙනෙක් ඇද්ද මාගේ එහි උපත අවිරුද්ධ වන්නේ යැ. වැළි ‘සර්ව ප්‍රකාරයෙන් භවනිරෝධය ඇතැ’යි මෙසේ කියන මෙසේ දෘෂ්ටි ඇති යම් භවත් මහණබමුණු කෙනෙක් ඇද්ද ඉදින් භවත් මහණ බමුණන්ගේ බස සැබෑ වී නම්, ‘ඉහාත්මයෙහි මැ පිරිනිවෙන්නෙමි’ යන යමක් ඇද්ද තෙල කරුණ වන්නේ යැ. ‘සර්ව ප්‍රකාරයෙන් භවනිරෝධයෙක් නැතැ’යි මෙසේ වාද ඇති මෙසේ ලබ්ධි ඇති යම් භවත් මහණබමුණු කෙනෙක් ඇද්ද ඔවුන්ගේ මෙ දෘෂ්ටිය රාග වශයෙන් සසරැ ඇලීමට ළං වෙයි. සංයෝජනයට සමීප වෙයි. (තෘෂ්ණා දෘෂ්ටි විසින්) අභිනන්දනයට සමීප වෙයි. බැසගැනීමට සමීප වෙයි. දෘඪග්‍රහණයට සමීප වෙයි, යළි ‘සර්ව ප්‍රකාරයෙන් භවනිරෝධය ඇතැ’යි මෙසේ වාද ඇති මෙසේ දෘෂ්ටි ඇති යම් භවත් මහණ බමුණු කෙනෙක් ඇද්ද ඔවුන්ගේ මෙ දෘෂ්ටිය සසරැ නො ඇලීමට සමීප වෙයි. අසංයෝජනයට සමීප වෙයි. අභිනන්දනයට සමීප වෙයි, අනුපාදානයට සමීප වේ යයි” හේ මෙසේ ප්‍රත්‍යවෙක්ෂා කොට භවයන්ගේ මැ නිර්වේද පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස පිළිපන්නෙ වේ.

ගැහැවියෙනි, ලොවැ මේ පුද්ගලයෝ සතර දෙනෙක් ඇත්තාහු (විද්‍යමාන) වෙති. කවර සතර දෙනෙක යත්: ගැහැවියෙනි, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් ආත්මය තවනුයේ ආත්මය තවන යෝගයෙහි යෙදුණේ වෙයි. ගැහැවියෙනි, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් මෙරමා තවනුයේ මෙරමා තවන යෝගයෙහි යෙදුණේ වෙයි. ගැහැවියෙනි, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් තමා තවනුයේ තමා තවන යෝගයෙහි යෙදුණේත් මෙරමා තවනුයේ මෙරමා තවන යෝගයෙහි යෙදුණේත් වෙයි. ගැහැවියෙනි, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් තමා නොමැ තවනුයේ තමා තවන යෝගයෙහි නො යෙදුණේ මෙරමා නො තවනුයේ මෙරමා තවන යෝගයෙහි නො යෙදුණේ වෙයි. හේ තමා නො තවනුයේ මෙරමා නො තවනුයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වූයේ නිවුණේ සිහිල් වූයේ සුව විඳිනසුලු වූයේ ශ්‍රෙෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරෙයි.

ගැහැවියෙනි, තමා තවන තමා තවන යෝගයෙහි යෙදුණු පුද්ගල කවරෙ යත්: ගැහැවියෙනි, මෙලොවැ ඇතැම් පුද්ගලයෙක් සෙලු වෙයි, හළ ආචාර ඇති වෙයි, අත ලෝනේ වෙයි ... මෙසේ මෙබඳු අනේකප්‍රකාර වූ කය තවන හාත්පසින් තවන යෝගයෙහි යෙදුණේ වෙසෙයි. ගැහැවියෙනි, මෙතෙම ආත්ම පරිතාපානුයොගයෙහි යෙදුණු ‘අත්තන්තප පුද්ගල’ යයි කියනු ලැබේ.

ගැහැවියෙනි, පරපරිතාපානුයොගයෙහි යෙදුණු ‘පරන්තප පුද්ගල’ කවරෙ යත්: ගැහැවියෙනි, මෙලොවැ කිසි පුද්ගලයෙක් එළුවන් නසා ජීවත් වනුයේ හූරන් නසා ජීවත් වනුයේ ... මෙයින් අන්‍ය වූත් යම්කිසි කැකුළු කම් ඇත්තාහු වෙත්. ගැහැවියෙනි, මෙ පරපරිතාපානුයොගයෙහි යෙදුණු ‘පරන්තප පුද්ගල’ යයි කියනු ලැබේ.

ගැහැවියෙනි, ආත්මපරිතාපානුයෝගයෙහි නො යෙදුණු නො මැ අත්තන්තප වූ ද පරපරිතාපානුයෝගයෙහි නො යෙදුණු පරන්තප නො වූ ද පුද්ගල කවරෙ යත්: හේ ‘අත්තන්තප’ නොවූයේ ‘පරන්තප’ නො වූයේ ඉහාත්මයෙහි මැ තෘෂ්ණා රහිත වූයේ කෙලෙස් පිරිනිවනින් නිවියේ එහෙයින් මැ සිහිල් වූයේ මඟපල නිවන්සුව විඳිනුයේ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් යුක්ත වැ වාස කෙරෙයි. ගැහැවියෙනි, අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ... තථාගතයන් වහන්සේ මෙලොව උපදනාහ ... හේ සිතට උපක්ලෙශ වූ, ප්‍රඥාව දුර්වල කරන මේ පඤ්චනීවරණයන් හැරපියා කාමයෙන් වෙන් වැ මැ අකුශල ධර්මයෙන් වෙන් වැ මැ විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය ... ද්විතීය ධ්‍යානය … තෘතීය ධ්‍යානය ... චතුර්ත්ථ ධ්‍යානය උපයා ගෙන වාස කෙරෙයි.

හේ මෙසෙයින් සමාධිගත වූ සිත පිරිසිදු වූ කල්හි පර්ය්‍යවදාත වත් මැ අංගණ රහිත වත් මැ පහවූ උපක්ලේශ ඇති වත් මැ මෘදු වත් මැ කර්මණ්‍ය වත් මැ ස්ථිත වත් මැ නො සැලෙන බවට පත් වත් මැ පූර්වනිවාසානුස්මෘතිඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ අනෙක ප්‍රකාර පූර්වනිවාසය සිහි කෙරෙයි. ඒ මෙසේයැ: එක් ජාතියක, ජාති දෙකක ... මෙසේ ආකාර සහිත උද්දෙස සහිත අනේකවිධ පූර්වනිවාසය නුවණින් සිහි කෙරෙයි.

හේ මෙසේ සමාහිත සිත පිරිසිදු කල්හි පර්ය්‍යවදාත කල්හි අඞ්ගණ රහිත කල්හි පහවගිය උපක්ලෙශ ඇති කල්හි මෘදු වැ සිටි කල්හි කර්මණ්‍ය වැ සිටි කල්හි ස්ථිත කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි සත්ත්වයන්ගේ ච්‍යුති උපප්‍රාප්ති දන්නා ඥානය පිණිස සිත නතු කෙරෙයි. හේ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන උපදනා සත්ත්වයන් දකියි. හීන ප්‍රණීත වූ මනා පැහැසටහන් ඇති සුන්දර ගති ඇති කර්මානුරූප වැ ගිය සත්ත්වයන් නුවණින් දැන ගනී.

හේ මෙසේ සමාහිත චිත්තය පරිශුද්ධ වත් මැ පර්ය්‍යවදාත වත් මැ නිරඞ්ගණ වත් මැ මෘදු වත් මැ කර්මාර්හ වත් මැ තර වැ සිටුත් මැ නිසල බවට පත් බවට වත් මැ ආස්‍රවයන්ගේ ක්ෂය ඥානය සඳහා සිත නතු කෙරෙයි. හේ ‘මේ දුකැ’ යි ඇති සැටියෙන් දැනගනී ... ‘මේ ආස්‍රවනිරෝධගාමිනී ප්‍රතිපත්තියයි ඇති සැටියෙන් දැනගනී. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි, භවාස්‍රවයෙනුදු මිදෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු මිදෙයි. (සිත) මිදුණු කල්හි ‘විමුක්ත යැ’යි නුවණ වෙයි. ජාතිය ක්ෂීණ විය. මඟ බඹසර වැස නිමවන ලදී. කරණී කරන ලදී. මේ අර්හත්ත්වය සඳහා කළමනා අන් කිසෙක් නැති’යි නුවණින් දැනගනී.

ගැහැවියෙනි, මෙ පුද්ගල ආත්මපරිතාපානුයෝගයෙහි නො යෙදුණු ‘අත්තන්තප’ නො වූ පරපරිතාපානුයෝගයෙහි නො යෙදුණු ‘පරන්තප’ නො වූ පුද්ගල යයි කියනු ලැබේ. හේ ‘අත්තන්තප’ නො වූයේ ‘පරන්තප’ නො වූයේ මේ අත්බැව්හි මැ තෘෂ්ණා රහිත වූයේ නිවියේ සිහිල් වූයේ සුව විඳුනා සුලු වැ ශ්‍රේෂ්ඨ වූ ආත්මයෙන් විහරණ කෙරේ යයි.

මෙසේ වදාළ කල්හි ‘සාලා’ ගම්වැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කළහ: ඉතා මැනැවැ භවත් ගෞතමයෙනි, ඉතා මැනැවැ භවත් ගෞතමයෙනි, යම්සේ භවත් ගෞතමයෙනි, යටිහුරු කරනලදුවක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් දැයක් හෝ විවෘත කරන්නේ ද, මංමුළා වැ ගිය එකකුට හෝ මග කියන්නේ ද, ‘ඇස් ඇත්තෝ රූ දකිත්ව’ යි අඳුරෙහි හෝ තෙල් පහනක් දරන්නේ ද, එසෙයින් මැ භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් දහම් පවසන ලද. තෙල අපි භවත් ගෞතමයන් වහන්සේ සරණ කොට යම්හ. ධර්මය ද භික්‍ෂුසඞ්ගයා ද සරණ කොට යම්හ. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයන් කොට අප ධරනසේක් ව’යි.

දස වැනි අපණ්ණක සුත්‍රය නිමියේය.