අභයරාජ කුමාර සූත්‍රය

2.1.8 අභයරාජ කුමාර සූත්‍රය

    

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි (බිම්බිසාර මහරජහු පිත්) අභය රාජකුමාර නිගණ්ඨ නාතපුත්‍රයා කරා එළැඹ වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් අභය රාජකුමාරයාහට නිගණ්ඨ නාතපුත්‍ර තෙල කී: “එව රාජකුමාරය, තෙපි ශ්‍රමණ ගෞතමයන්හට වාදාරොපණය කරව, අභය රජකුමරහු විසින් මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්හට වාදාරොපණ කරන ලදැ’යි මෙසේ තොප ගේ කල්‍යාණ වූ යසගොස උස් ව නැඟේ” යයි. වහන්ස, මම මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති ශ්‍රමණ ගෞතමයන්හට කිසෙයින් වාදාරොපණය කෙරෙම් දැ’යි.

එව රාජකුමාරය, තෙපි ශ්‍රමණ ගෞතමයා කරා එළැඹ ශ්‍රමණ ගෞතමයන්හට මෙසේ කියව. “වහන්ස, යම් වචනයෙක් අන්‍යයනට අප්‍රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය කියන්නාහු දැ”යි , ඉදින් තොප විසින් ශ්‍රමණ ගෞතම මෙසේ පුළුවුස්නා ලදුයේ ‘රාජකුමාරය, යම් වචනයෙක් අන්‍යයනට අප්‍රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය කියන්නාහ’යි මෙසේ ප්‍රකාශ කෙරේ නම් තෙපි ඔහුට මෙසේ කියව, ‘වහන්ස, එකල්හි පුහුදුන් පුඟුල්හු හා තොප ගේ නානාකරණය කිමෙක් ද? පුහුදුන් පුඟුල් ද යම් වචනයෙක් අන්‍යයනට අප්‍රිය අමනාප වේ ද, ඒ වචනය කියන්නේ යැ’යි යළි ඉදින් ශ්‍රමණ ගෞතම තොප විසින් මෙසේ පුළුවුස්නා ලදුයේ මෙසේ ප්‍රකාශ කෙරේ ද, රාජ කුමාරය, යම් වචනයෙක් අන්‍යයනට අප්‍රිය අමනාප වේ නම්, තථාගතයෝ ඒ වචනය නො කියන්නාහ’යි. තෙපි ඔහුට මෙසේ කියව: “වහන්ස, එකල්හි තොප විසින් ‘දෙව්දත් අපායෙහි උපදිනුයෙක, දෙව්දත් නිරයෙහි උපදිනුයෙක, දෙව්දත් කල්පයක් සිටිනුයෙක, දෙව්දත් (බුදුදහසුන් විසිනුදු) පිළියම් නො කළ හෙනුයෙකැයි කුමක් හෙයින් දෙවදත්ත පවසනලදුයේ ද? තවද තොප ගේ ඒ බසින් දෙව්දත් කිපියේ නො සතුටු වූයේවී” යයි. රාජකුමාරය, තොප විසින් ශ්‍රමණ ගෞතම මේ උභතොකොටික ප්‍රශ්නය පුළුවුසනා ලදුයේ වමාරනට හෝ ගළනට හෝ නො මැ හැකි වෙයි. පුරුෂයකුගේ කණ්ඨයෙහි ලැගුණු යසඟළුවෙක් යම් පරිදි වේ ද හේ එය වමාරන්නට හෝ ගළනට හෝ නො මැ හැකි වන්නේ යැ. එපරිදි රාජකුමාරය, තොප විසින් ශ්‍රමණ ගෞතම මේ උභතොකොටික ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ වමාරන්නට නො මැ හැකි වෙයි. ගළනට නො මැ හැකි වෙයි.

වහන්ස, එසේ යැ’යි අභයරාජකුමාර නුවට නතපුත්හට පිළිවදන් දී හුනස්නෙන් නැඟී නුවට නතපුත්හු සකසා වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යැ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙකැ හින. එකත්පසෙක හුන් අභය රාජකුමාරහට හිරු බලා තෙල සිත් වී: අද භාග්‍යවතුන් වහන්සේට වාදාරොපණ පිණිස කල් නො වෙයි. දැන් මම සෙට සිය නිවෙසෙහි දී භාග්‍යවතුන් වහන්සේට වාදාරොපණ කෙරෙමි’යි. භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ, වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සෙට තමා සිවු වැනි වැ මාගේ බත ඉවසන සේක්වා’යි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණීම්භාවයෙන් ඉවසූසේක. එසඳ අභයරාජකුමාර භාග්‍යවතුන් වහන්සේගේ ඉවසුම් දැන හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට ගියේ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එරැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරෙව පාසිවුරු ගෙන අභයරාජකුමාරයාගේ නිවෙස්න කරා වැඩියහ. වැඩ, පැන්වූ අස්නෙහි හුන්හ. එසඳ අභයරාජකුමාර භාග්‍යවතුන් වහන්සේ ප්‍රණීත ඛාද්‍යභෝජ්‍යයෙන් සියතින් සතපාලී යැ. මොනොවට පවරාලී යැ. එසඳ අභයරාජකුමාර වළඳා නිමවූ පත්‍රයෙන් ඉවත් කළ අත් ඇති භාග්‍යවතුන් වහන්සේ වෙතැ එක්තරා මිටිඅස් නක් ගෙන එකත්පසෙක හින. එකත්පසෙක හුන් අභයරාජකුමාර භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේ.

වහන්ස, තථාගතයන් වහන්සේ යම් බඳු වචනයෙක් මෙරමාහට අප්‍රිය අමනාප වේ, නම් ඒ වචන වදාරනසේක් ද? රාජකුමාරය, මෙ කරුණෙහි ලා ඒකාන්තයෙන් විසඳුම් නැති. වහන්ස, මෙ කරුණෙහි ලා නුවටහු නටහ යි. රාජ කුමාරය, කවර හෙයෙකින් තෝ මෙසේ කියහි? ‘වහන්ස, නුවටහු මෙහි දී නටහ’යි. වහන්ස, මම නුවට නතපුත් කරා එළැඹියෙමි. එළැඹ නුවට නතපුත්හු සකසා වැඳ එකත්පසෙකැ හිනිමි. වහන්ස, එකත්පසෙකැ හුන් මට නුවට නතපුත් තෙල කී: රාජකුමාරය, තෝ එව. මහණ ගොයුම් හට වාදාරෝපණ කරව. එසේ කළ කල ‘අභයරාජකුමාරයා විසින් මෙ බඳු මහ ඉදුහ ඇති මෙ බඳු මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට වාදාරෝපණ කරන ලදැ’යි තාගේ කල්‍යාණ කීර්තිඝෝෂා උස් වැ නැඟී යයි. වහන්ස, මෙසේ කී කලැ මම නුවට නතපුත්හට තෙල කීමි: ‘වහන්ස, මම මෙ බඳු මහත් ඍද්ධි ඇති මෙ බඳු මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට කිසෙයින් නම් වාදාරෝපණ කෙරෙම් දැ?’යි රාජකුමාරය, තෝ එව. මහණ ගොයුම්හු කරා එළැඹෙව. එළැඹ මෙසේ කියව: ‘වහන්ස, තථාගතයන් වහන්සේ මෙරමාහට අප්‍රිය අමනාප වූ යම් වචනයෙක් වේ නම් ඒ වචන වදාරන දෑ දැ’යි. ඉදින් තා විසින් මහණ ගොයුම් මෙසේ පුළුවුස්නා ලදුයේ මෙසේ ප්‍රකාශ කෙරේ ද: රාජකුමාරය, මෙරමාහට අප්‍රිය අමනාප වූ යම් වචනයෙක් වේ නම් ඒ වචන තථාගතයන් වහන්සේ වදාරන දෑ යයි. ප්‍රකාශ කෙරේ ද, තෝ එ මහණගොයුම්හට මෙසේ කියන්නෙහි: ‘වහන්ස, එසේ වී නම් පෘතග්ජනයා හා තොප වහන්සේගේ නානාත්ව කිම? යම් හෙයෙකින් පෘතග්ජන තෙමේත් යම් වචනයෙක් මෙරමාහට අප්‍රිය අමනාප වේ නම්, ඒ වචන කියන්නේ ද’ එහෙයිනැයි. ඉදින් වැළිත් මහණ ගොයුම් තා විසින් මෙසේ පුළුවුස්නා ලදුයේ මෙසේ ප්‍රකාශ කෙරේ ද: ‘රාජකුමාරය, යම් වචනයෙක් මෙරමාහට අප්‍රිය අමනාප වේ නම් තථාගතයන් වහන්සේ ඒ වචන නො වදාරන දෑ යැ’යි. එ මහණ ගොයුම්හට තෝ මෙසේ කියනෙහි: “වහන්ස, එසේ වී නම් තොප වහන්සේ විසින් ‘දෙව්දත් අපායෙහි උපදිනුයෙක, දෙව්දත් නිරයෙහි උපදිනුයෙක, දෙව්දත් කල්පයක් සිටිනුයෙක, දෙව්දත් (දහසක් බුදුන් විසිනුදු) පිළියම් නො කළ හෙනුයෙකැ’යි කුමක් හෙයින් දෙවදත්ත පවසන ලදුයේ ද? තවද තොප වහන්සේගේ ඒ බසින් දෙව්දත් කිපියේ නො සතුටු වූයේ වී” යයි. රාජකුමාරය, තොප විසින් ශ්‍රමණ ගෞතම මේ උභතොකොටික ප්‍රශ්නය පුළුවුසනා ලදුයේ වමාරන්නට හෝ ගළනට හෝ නො වැ හැකි වෙයි. පුරුෂයකුගේ කණ්ඨයෙහි ලැගුණු අයොසිඞ‍්ඝාටකයෙක් (යසඟළුවෙක්) යම් පරිදි වේ ද හේ එය වමාරන්නට හෝ ගළනට නො මැ හැකි වන්නේ යැ. එපරිදි රාජකුමාරය, තොප විසින් ශ්‍රමණ ගෞතම මේ උභතෝකෝටික ප්‍රශ්න පුළුවුස්නා ලදුයේ වමාරන්නට නො මැ හැකි වෙයි, ගළනට නො මැ හැකි වේ” යයි.

එසමයෙහි උඩුහුරු වැ හෝනා ළදරු කුමරෙක් අභය රාජකුමාරයාගේ ඇකයෙහි හුන්නේ වෙයි. එසඳ බුදුහු අභය රාජකුමාරහට තෙල වදාළහ: “රාජකුමාරයෙනි, ඒ කිමැයි හඟනාව. ඉදින් මෙ කුමර තොපගේ හෝ ප්‍රමාදය නිසා කිරිමවගේ හෝ ප්‍රමාදය නිසා කාෂ්ටයක් හෝ කැබිලිත්තක් හෝ මුවෙහි තබන්නේ නම් ඕහට කුමක් කරන්නෙහි දැ? යි. වහන්ස, ඔහුගේ එය බැහැර ලන්නෙමි. ඉදින් වහන්ස, මම පළමු පියොවින් මැ බැහැර ලන්නට නො හැකි වීම් නම් වමතින් හිස දැඩි කොට ගෙන දකුණතින් ඇඟිලි වක් කොටගෙන ලෙහෙ සහිත වැ ද බැහැර ලන්නෙමි. ඒ කවර හෙයින යත්: වහන්ස, මට කුමරු කෙරෙහි අනුකම්පයෙක් ඇත. එහෙයිනැ’යි. එසෙයින් මැ රාජකුමාරයෙනි, තථාගතයෝ යම් වචනයක් ‘අභූත’ යැ ‘අතථ්‍ය,’ යැ ‘අනර්ථසංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට අප්‍රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය නො කියති. තථාගතයෝ යම් වචනයකුත් ‘භූත,’ යැ ‘තථ්‍ය,’ යැ ‘අනර්ථසංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට අප්‍රිය අමනාප වේ ද, තථාගතයෝ ඒ වචනය ද නො කියති. තථාගතයෝ වැළිත් යම් වචනයකුත් ‘භූත’ යැ ‘තථ්‍ය’ යැ ‘අර්ථ සංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට අප්‍රිය අමනාප වේ ද එහිලා තථාගතයෝ ඒ වදන් විවරණ කරන්නට කල්දන්නාහු වෙති. තථාගතයෝ යම් වචනයක් ‘අභූත’ යැ ‘අතථ්‍ය’ යැ ‘අනර්ථසංහිත’ යැ යි දනිත් ද එ ද මෙරමාහට ප්‍රිය මනාප වී ද තථාගතයෝ ඒ වචනය නො වදාරති. තථාගතයෝ යම් වචනයකුත් ‘භූත’ යැ ‘තථ්‍ය’ යැ ‘අනර්ථසංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට ප්‍රිය මනාප වී ද, තථාගතයෝ ඒ වචනය ද නො කියති. තවද තථාගතයෝ යම් වචනයකුත් ‘භූත’ යැ ‘තථ්‍ය’ යැ ‘අර්ථසංහිත’ යැ යි දනිත් ද, එ ද මෙරමාහට ප්‍රිය මනාප වී ද එහි ලා තථාගතයෝ ඒ වචනය විවරණකරන්නට කල් දන්නාහු වෙති. ඒ කවර හෙයින යත්: රාජකුමාරය, තථාගතයනට සත්ත්වයන් කෙරෙහි අනුකම්පා ඇති හෙයිනි.

වහන්ස, යම් ක්ෂත්‍රිය පණ්ඩිත කෙනෙක් ද බ්‍රාහ්මණ පණ්ඩිත කෙනෙක් ද ගෘහපති පණ්ඩිත කෙනෙක් ද ශ්‍රමණ පණ්ඩිත කෙනෙක් ද ප්‍රශ්න ගොතාගෙන තථාගතයන් කරා එළඹ පුළුවුස්නාහු ද, වහන්ස, යම් කෙනෙක් මා කරා එළඹ මෙසේ පුළුවුස්නාහු නම් ඔවුනට මම මෙසේ පුළුවුස්නා ලද්දෙම් මෙසේ විසඳන්නෙමි’යි භාග්‍යවතුන් විසින් පෙර මැ තෙල කරුණ සිතින් සලකන ලද්දේ වේ ද නොහොත් තැනට උපන් නුවණින් තෙල තථාගතයනට වටහා දැ? යි: රාජකුමාරය, එසේ වී නම් මෙහි ලා තොප මැ පුළුවුස්මි. තොපට යම්සේ හැඟේ නම් ඒ පරිද්දෙන් එය පවසව. රාජකුමාරය, එ කිමැ’යි හඟනාව. තෙපි රථයාගේ අවයවයන් පිළිබඳ වැ නිපුණ වූවහු නො? යි. එසේ යැ වහන්ස, මම් රථයාගේ අවයව පිළිබඳ වැ නිපුණයෙමි යි. රාජකුමාරය, එ කිමැ’යි හඟනාව. යම් කෙනෙක් තොප කරා එළඹ මෙසේ පුළුවුස්නාහු නම් මේ රථයාගේ කිනම් අවයවයෙක් දැ? යි. යම් කෙනෙක් මා කරා එළඹ මෙසේ පුළුවුස්නාහු නම් ඔවුනට මම් මෙසේ පුළුවුස්නා ලද්දෙම් මෙසේ පවසන්නෙමි’යි තොප විසින් තෙල පෙර මැ සිතින් විමසන ලද වන්නේ ද, නොහොත් තෙල තැනට උපන් නුවණින් මැ එය තොපට වැටහෙන්නේ දැ? යි. වහන්ස, මම් වනාහි ‘රථිකයෙකැ’ යි ප්‍රකටයෙමි. රථයාගේ අංගප්‍රත්‍යංග පිළිබඳ වැ නිපුණයෙමි. මා විසින් රථයාගේ සියලු අවයව මොනොවට දන්නා ලද. තැනට උපන් නුවණින් මැ තෙල මට වැටහෙන්නේ යයි.

රාජකුමාරය, එසෙයින් මැ යම් ක්ෂිත්‍රිය පණ්ඩිතයෝ ද බ්‍රාහ්මණ පණ්ඩිතයෝ ද ගෘහපති පණ්ඩිතයෝ ද ශ්‍රමණ පණ්ඩිතයෝ ද ප්‍රශ්න ගොතාගෙන තථාගතයන් කරා එළඹ පුළුවුස්නාහු නම් තෙල ස්ථානොත්පත්තිඥානයෙන් මැ තථාගතයනට වටහයි. එ කවර හෙයින යත්: රාජකුමාරය, යම් ධර්ම ධාතුවක් මොනොවට ප්‍රතිවෙධ කළ හෙයින් තෙල එක් ස්ථානොත්පත්තිඥානයෙන් මැ තථාගතයනට වටහා ද තථාගතයන් විසින් ඒ ධර්මස්වභාවය මොනොවට ප්‍රතිවෙධ කරන ලදැ යි.

මෙසේ වදාල කල්හි අභය රාජකුමාර භාග්‍යවතුන් වහන්සේ ට තෙල කී: ‘වහන්ස, ඉතා මැනැවැ ! ‘වහන්ස, ඉතා මැනැවැ ... අද පටන් කොට දිවිහිම් වැ සරණ ගිය උපාසකයකු කොට මා ධරනසේක් ව’ යි.

                                                               අට වැනි අභයරාජකුමාර සුත්‍රය නිමියේය.