උපාලි සූත්‍රය

2.1.6 උපාලි සූත්‍රය

   

 

මා විසින් මෙසේ අසන ලද. එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දායෙහි පාවාරික නම් සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි නිගණ්ඨනාතපුත්‍ර මහත් නුවට පිරිස් සමග නාලන්දායෙහි වෙසෙයි. එකල දීර්ඝතපස්වී නුවට නාලන්දායෙහි පිඬු පිණිස හැසිර සවස්වේලෙහි පිණ්ඩපාතයෙන් වැළකුණේ පාවාරික අඹ වෙනෙහි භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ යි. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු කථා කොට නිමවා එක් පසෙක සිටියේ යැ. එක් පසෙක හුන් දීර්ඝතපස්වී නුවටුහට තෙල වදාළහ. ‘තපස්විය, අසුන් ඇත. ඉදින් රිසියෙහි නම් හිඳුව’යි. මෙසේ වදාළ කල්හි දීර්ඝතපස්වී නුවට එක්තරා මිටි අස්නක් ගෙන එක් පසෙක හින. එක් පසෙක හුන් දීර්ඝතපස්වී නුවටුහට බුදුහු තෙල වදාළහ.

තපස්විය, නිගණ්ඨනාථපුත්‍ර පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් කර්‍ම පනවා ද? යි. ඇවැත්නි ගෞතමයෙනි, නිගණ්ඨනාථපුත්‍රහට ‘කර්‍ම යැ කර්‍ම යැ’යි දක්වනු අනාචිර්‍ණ යැ. ඇවැත්නි, ගෞතමයෙනි, නිගණ්ඨනාථපුත්‍රහට ‘දණ්ඩ යැ දණ්ඩ යැ’යි දක්වනු ආචිර්‍ණ යැ යි. තපස්විය, නිගණ්ඨනාථපුත්‍ර පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් දණ්ඩ දක්වා දැ? යි. ඇවැත්නි, ගෞතමයෙනි, නිගණ්ඨනාතපුත්‍ර පව්කම් කිරීමට පව්කම් පැවැත්මට තුන් දණ්ඩයක් දක්වයි. ඒ මෙසේ යැ: කායදණ්ඩ යැ වාග්දණ්ඩ යැ මනෝදණ්ඩ යි. කිමෙක තපස්විය, කායදණ්ඩය අනෙකෙකැ වාග්දණ්ඩය අනෙකෙකැ මනෝදණ්ඩය අනෙකෙකැ’යි. ඇවැත්නි, ගෞතමයෙනි, කායදණ්ඩ අනෙකෙකැ වාග්දණ්ඩ අනෙකෙකැ මනෝදණ්ඩ අනෙකෙකැ’යි.

තවද තපස්විය, මෙසේ බෙදනලද මෙසේ වෙසෙසන ලද තුන් දණ්ඩයන් අතුරෙන් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට නිගණ්ඨනාථපුත්‍ර කවර දණ්ඩයක් මහාසාවද්‍යතර කොට පනවා ද? කායදණ්ඩ හෝ යැ වචීදණ්ඩ හෝ යැ මනෝදණ්ඩ හෝ යැ’යි. ඇවැත්නි, ගෞතමයෙනි, මෙසේ බෙදන ලද මෙසේ වෙසෙසන ලද තුන් දණ්ඩයන් අතුරෙන් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට නිගණ්ඨනාථපුත්‍ර කායදණ්ඩය මහාසාවද්‍යතර කොට පනවයි. වචීදණ්ඩය එසේ නො වෙයි. මනෝදණ්ඩය එසේ නො වේ යයි. තපස්විය, කායදණ්ඩය යි කියෙහි ද? ඇවැත්නි ගෞතමයෙනි, කායදණ්ඩ යයි කියමි. තපස්විය, කායදණ්ඩ යයි කියෙහි ද? ඇවැත්නි ගෞතමයෙනි, කායදණ්ඩ යයි කියමි. තපස්විය, කායදණ්ඩය යි කියෙහි ද? ඇවැත්නි ගෞතමයෙනි, කායදණ්ඩ යයි කියමි. මෙසේ භාග්‍යවත්හු දීර්‍ඝතපස්වි නුවටු මේ කථාවස්තුයෙහි තුන් වර දක්වා පිහිටි වූහ.

මෙසේ වදාළ කලිහි දීර්‍ඝතපස්වි නිගණ්ඨ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ඇවැත්නි, ගෞතමයෙනි, තෙපි වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් දණ්ඩයන් පනවවු දැ? යි. තපස්විය, තථාගතයනට දණ්ඩ යැ දණ්ඩ යැ යි දක්වනු අනාචීර්‍ණ යැ. තපස්විය, තථාගතයනට කර්‍මය යැ කර්‍මය යැ යි දක්වනු ආචීර්‍ණ යැ. ඇවැත්නි, ගෞතමයෙනි, තෙපි වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කෙතෙක් කර්‍මයන් දක්වවු දැ? යි. තපස්විය, මම පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කර්‍ම තුනක් දක්වමි. ඒ මෙසේ යැ: කායකර්‍ම යැ වාක්කර්‍ම යැ මනඃකර්‍ම යැ යි. ඇවැත්නි, ගෞතමයෙනි, කායකර්‍ම අනෙකෙක් ද? වාක්කර්‍ම අනෙනෙක් ද? මනඃකර්‍ම අනෙකෙකැ’යි.

තවද ඇවැත්නි, ගෞතමයෙනි, මෙසේ බෙදනලද මෙසේ වෙසෙසනලද මේ තුන් කර්‍මයන් කෙරෙහි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කවර කර්‍මයක් මහාසාවද්‍යතර කොට පනවවු ද? කායකර්‍ම හෝ යැ වාක්කර්‍ම හෝ යැ මනඃකර්‍ම හෝ යැ යි. තපස්විය, මම මෙසේ බෙදනලද මෙසේ වෙසෙසන ලද තුන් කර්‍මයන් කෙරෙහි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට මනඃකර්‍ම මහාසාවද්‍යතර යයි දක්වමි. කායකර්‍ම එසේ නො වෙයි. වාක්කර්‍ම එසේ නො වෙයි. ඇවැත්නි, ගෞතමයෙනි, මනඃකර්‍මය යි කියවුද? තපස්විය, මනඃකර්‍ම යයි කියමි. ඇවැත්නි, ගෞතමයෙනි, මනඃකර්‍මය යි කියවුද? තපස්විය, මනඃකර්‍ම යයි කියමි. ඇවැත්නි, ගෞතමයෙනි, මනඃකර්‍මය යි කියවුද? තපස්විය, මනඃකර්‍ම යයි කියමි. මෙසේ දීර්‍ඝතපස්වී නිගණ්ඨ භාග්‍යවතුන් මේ කථාවස්තුයෙහි තුන් යළ දක්වා පිහිටුවා හුනස්නෙන් නැඟී නිගණ්ඨනාතපුත්‍රයා කරා එළැඹියේ යි.

එසමයෙහි නිගණ්ඨනාතපුත්‍ර උපාලි ගෘහපති ප්‍රමුඛ කොට ඇති බාලකලොණකාර ගම්වැසි මහත් වූ ගිහිපිරිස් සමග හුන්නේ වෙයි. නිගණ්ඨනාතපුත්‍ර දීර්‍ඝතපස්වී නුවටු දුර දී මැ එන්නහු දිට. දැක දීර්‍ඝතපස්වී නුවටුහට තෙල කී: ‘තපස්විය, තෙපි දෙවෙන් දහවලැ කොහි සිට එවු දැ?’යි. ‘වහන්ස, මම මහණගොයුම්හු සමීපයෙහි සිට එමි’යි කී. තපස්විය, ශ්‍රමණගෞතමයන් සමග තොපගේ කිසියම් කථාසල්ලාපයෙක් වි දැ? යි. ‘වහන්ස, ශ්‍රමණ ගෞතමයන් සමග මාගේ කිසියම් කථාසල්ලාපයෙක් වී යැ’යි. තපස්විය, ශ්‍රමණගෞතමයන් සමග තොපගේ කිසි කථාසල්ලාපයෙක් කිසෙයින් වී දැ? යි. ඉක්බිති දීර්‍ඝතපස්වී නිගණ්ඨ භාග්‍යවතුන් සමග යම් පමණ කථාසල්ලාපයෙක් වී ද, එහැම නිගණ්ඨනාතපුත්‍රහට සැල කෙළේ යැ. මෙසේ කී කල්හි නිගණ්ඨනාතපුත්‍ර දීර්‍ඝතපස්වී නුවටුහට තෙල කී: මැනැව මැනැව තපස්විය, මෙනොවට ශාස්තෘශාසනය දන්නාවූ ශ්‍රැතවත් ශ්‍රාවකයකු යම්සේ ද එසෙයින් දීර්‍ඝතපස්වී නුවටහු විසින් ශ්‍රමණ ගෞතමයනට ප්‍රකාශ කරනලද. කිම මෙසේ මහත් වූ මේ කායදණ්ඩය සඳහා ලාමක වූ මනොදණ්ඩය හොබනේ ද? වැළි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩය මැ මහාසාවද්‍යතර යැ. වාග්දණ්ඩය එසේ නො වෙයි. මනොදණ්ඩය එසේ නො වේ යයි.

මෙසේ කී කල්හි උපාලි ගෘහපති නිගණ්ඨනාතපුත්‍රයාහට තෙල කී: වහන්ස, තපස්වීහු, ඉතා මැනැවැ. මොනොවට ශාස්තෘශාසනය දන්නා ශ්‍රැතවත් ශ්‍රාවකයක්හු විසින් යම්සේ ද එසෙයින් භදන්ත තපස්වීන් විසින් ශ්‍රමණ ගෞතමයන්හට ප්‍රකාශ කරනලද. මෙසේ මහත් වූ කායදණ්ඩය සඳහා ලාමක වූ මනොදණ්ඩය කිම හොබනේ ද? වැළි පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩය මැ මහාසාවද්‍යතර යැ. වාග්දණ්ඩය එසේ නො වෙයි. මනොදණ්ඩය එසේ නො වේ. එයෙයින් යමි. වහන්ස, මම මේ කථාවස්තුව යෙහි ලා ශ්‍රමණ ගෞතමයන්හට වාදාරෝපණ කෙරෙමි. ඉදින් ශ්‍රමණ ගෞතමයෝ භදන්ත තපස්වීන් විසින් යම් පරිදි පිහිටුවනලද ද, එ පරිදි මාගේ කථායෙහි පිහිටා සිටිත් නම්, යම්සේ බල ඇති පුරුෂයෙක් දික් ලොම් ඇති එළුවකු ලොම් ගෙන ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කරන්නේ ද , එසෙයින් මැ මම ශ්‍රමණ ගෞතමයන් වාදයෙන් වාද කොට ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කෙරෙමි. යම්සේ බලඇති සුරාකරුවෙක් මහත් වූ පිටිපැදුරු ගැඹුරු දියවළෙකැ බහාතබා දෙකණ ගෙන ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කෙරේ ද එ පරිදි මම මහණ ගොයුම්හු වාදයෙන් වාද කොට ආකර්‍ෂණ පරිකර්‍ෂණ සම්පරිකර්‍ෂණ කෙරෙමි. යම්සේ බලඇති සුරාධූර්‍තයෙක් මටලුකස්ස දෙකණ ගෙන කිබිසිනි කොට පිඹපියා ද උඩුහුරු කොට පිඹපියා ද පුනපුනා ගසාපියා ද එ පරිදි මම මහණ ගොයුම්හු වාදයෙන් වාද කොට අවධූනන නිර්ධූනන නිෂ්ඵොටන කෙරෙමි. යම්සේ සැටහැවිරිදි (රජුගේ) ඇත් ගැඹුරු පොකුණට වැද සණදොවුන්කෙළි නම් කෙළියක් කෙළී ද, එ පරිදි මම මහණ ගොයුම් හා සණදොවුන්කෙළි බඳු වාදකෙළියක් කෙළිමි’යි. වහන්ස, මම යම් මැ යැ, මහණ ගොයුම් හට මේ කථාවස්තුවෙහි වාද නංවමි’යි කී. ගහපතිය, තෙපි යව. මහණ ගොයුම් හට මේ කථාවස්තුයෙහි වාද නංවව. ගහපතිය, මම හෝ මහණ ගොයුම්හට වාද නංවමි. දීර්‍ඝතපස්වී නුවට හෝ නංවයි. තෝ හෝ නංවහි කී.

මෙසේ කී කලැ දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාතපුත්‍රයාහට තෙල කී: ‘වහන්ස, යම් හෙයකින් උපාලි ගහපති මහණ ගොයුම්හට වාදාරෝපණය කෙරෙයි, යන තෙල මට නුරුස්නේ යැ. වහන්ස, මහණ ගොයුම්හු මායා ඇත්තාහ. යම් මායාවෙකින් අන්තොටුවන්ගේ සව්වන් ආවර්‍තනය කොට ගනී ද, එබඳු ආවර්‍තනමායාවක් දන්නාහ’යි. තපස්විය, උපාලි ගහපති මහණ ගොයුම්හුගේ සවු බවට යන්නේ යැ යන යමෙක් ඇද්ද තෙල වන්නට නො නිසි යැ. එයට අවකාශ ද නැත‍. ‘මහණ ගොයුම්හු උපාලි ගහපතිහුගේ සවු බවට යන්නේ යැ’යි යන යමෙක් ඇද්ද තෙල වන්නට නිසි යැ. ගහපතිය, තෙපි යව. මහණ ගොයුම්හට තෙල කථාවස්තුයෙහි ලා වාදාරෝපණ කරව. ගහපතිය, මම හෝ මහණ ගොයුම්හට වාදාරෝපණ කෙරෙමි. දීර්‍ඝතපස්වී නුවට හෝ කෙරෙයි. තෙපි හෝ කරව’යි කී.

දෙවනවට ද … දීර්‍ඝතපස්වී නුවට හෝ කෙරෙයි.තෙපි හෝ කරව යි. තුන්වනවට ද දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාතපුත්‍රයාට තෙල කී: වහන්ස, උපාලි ගහපති මහණ ගොයුම්හට වාදාරෝපණය කෙරෙයි’ යන යමෙක් ඇද්ද තෙල මට නුරුස්නේ යැ. වහන්ස, මහණ ගොයුම්හු මායාවීහ. යම් මායායෙකින් අන්තොටුවන්ගේ සව්වන් ආවර්‍තනය කෙරේ ද, එබඳු ආවර්‍තනමායාවක්, දන්නාහ’යි කී. තපස්විය, ‘උපාලි ගහපති මහණ ගොයුම්හුගේ සවු බවට යන්නේ යැ’ යන යමෙක් ඇද්ද තෙල වන්නට නො නිසි යැ. එයට අවකාශ ද නැත‍. ‘ මහණ ගොයුම්හු උපාලි ගහපතිහුගේ සවු බවට යන්නේ යැ’යි යන යමෙක් ඇද්ද, තෙල වන්නට නිසි යැ. ගැහැවිය, තෙපි යව. මහණ ගොයුම්හට මේ කථාවස්තුයෙහි ලා වාදාරෝපණ කරව. ගැහැවිය, මම හෝ මහණ ගොයුම්හට වාදාරෝපණ කරන්නට නිස්සෙමි. දීර්‍ඝතපස්වී නුවට හෝ නිස්ස. තෙපි හෝ නිසිව’යි, (නුවට නතපුත් කී.)

‘වහන්ස, එසේ යැ’යි උපාලි ගහපති නිගණ්ඨනාතපුත්‍රයාහට පිළිවදන් දී හුනස්නෙන් නැඟී නිගණ්ඨනාතපුත්‍රයා සකසා වැඳ පැදකුණු කොට පාවාරික අඹවනයට ගොස් බුදුන් කරා එළැඹියේ යැ. එළැඹ බුදුන් සකසා වැඳ එකත්පසවැ හින. එකත්පස්වැ හුන් උපාලි ගැහැවි බුදුන්ට තෙල කී: ‘වහන්ස, දීර්‍ඝතපස්වී නුවට මෙහි ආ යැ හෝ? ගහපතිය, දීර්‍ඝතපස්වී නුවට මෙහි ආ යැ. වහන්ස, දීර්‍ඝතපස්වී නුවටහු හා තොප වහන්සේ කිසියම් කථාසල්ලාපයෙක් ඇත හෝ’යි. ගහපතිය, දීර්‍ඝතපස්වී නුවටහු හා මාගේ කිසියම් කථාසල්ලාපයෙක් ඇත. වහන්ස, දීර්‍ඝතපස්වී නුවටහු හා තොප වහන්සේ කිසියම් කථාසල්ලාපය කෙසේ නම් වී ද? එසඳ බුදුහු දීර්‍ඝතපස්වී නුවටහු හා උපන් කථාසල්ලාපය තාක් එ හැම උපාලි ගහපතිට වදාළහ.

.

මෙසේ වදාළ කල්හි උපාලි ගහපත් බුදුන්ට තෙල කී: වහන්ස, තපස්වී සාධුතර යැ. මෙනොවට ශාස්තෘශාසනය අවබෝධ කොට ගත් ශ්‍රැතවත් ශ්‍රාවකයක්හු විසින් යම් පරිදි පිළිතුරු දියයුතු වී නම් එ පරිදි මැ දීර්‍ඝතපස්වී නුවටහු විසින් භගවත්හට ප්‍රකාශ කරනලද. මෙසේ මහත් වූ කායදණ්ඩය සඳහා ලාමක වූ මනොදණ්ඩය කෙසේ හොබනේ වේ ද? වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩය මැ මහාසාවද්‍යතර යැ. වාග් දණ්ඩ එසේ නො වෙයි. මනෝදණ්ඩත් එසේ නො වෙයි කී. ගහපතිය, ඉදින් තෙපි සත්‍යෙයහි පිහිටා මන්ත්‍රණය කරන්නහු වී නම් මෙහි ලා අපගේ කථාසල්ලාපය වෙයි වදාළෝ. වහන්ස, මම සැබැවැ පිහිටා මන්ත්‍රණ කෙරෙමි. මෙහි ලා අපගේ කථාසල්ලාපය වේව්යි.

ගහපතිය, ඒ කෙසේ හඟිහි? මෙලොව සිහිල්දිය පිළිකෙව් කළ උණුදිය වළඳ කරන නුවටෙක් හටගත් ආබාධ ඇත්තේ හටගත් දුක් ඇතියේ දැඩිගිලන් වූයේ වෙයි. හේ සිහිල් දිය නො ලබනුයේ කලුරිය කෙරෙයි. ගහපතිය, මුහුට නිගණ්ඨනාතපුත්‍ර කොතැන ඉපැත්ම පනවන්නේ දැ? යි. වහන්ස, මනඃසත්ත්ව නම් දෙවි කෙනෙක් ඇත. එහි හේ උපදනේ යැ. එ කවර හෙයින යත්: වහන්ස, තෙල නුවට මනඃප්‍රතිබද්ධ වැ කලුරිය කෙරෙයි. (එහෙයිනැ’යි කී.) ගැහැවිය, ගැහැවිය, මෙනෙහි කොට කියව, තාගේ පළමු කී බස හා පසු වැ කී බස ද පසු වැ කී බස හා පළමු කී බස ද ඝටිත නො වෙයි. ගහපතිය, තා විසින් තෙල බස කියන ලදි: ‘වහන්ස, මම සත්‍යයෙහි පිහිටා මන්ත්‍රණය කරමි. අපගේ කථාසල්ලාපය වේවයි’ කියා යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩ මැ මහාසාවද්‍යතර වෙයි. වාග්දණ්ඩ එසේ නො වෙයි. මනෝදණ්ඩත් එසේ නො වෙයි’ කී.

ගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? මෙලොව්හි චාතුයාමසංවරයෙන් සංවෘත වූ සියලු සිහිල් දිය පිළකෙව් කළ සියලු පව් වැළහීමෙහි යෙදුණු සියලු පාපවාරණයෙන් වැළහූ පව් ඇති සියලු පාපවාරණයෙන් පහස්නාලද නිගණ්ඨායක් වන්නේ යැ. හේ ඉදිරියට යනුයේ පෙරලා නවත්නේ බොහෝ කුඩා පණුවන් වධයට පමුණුවයි. ගැහැවිය, මොහුට වැළිත් නිගණ්ඨනාතපුත්‍ර කවර විපාකයක් පනවා දැ? යි. වහන්ස, නිගණ්ඨනාතපුත්‍ර අසංචේතනික කර්‍මය මහාසාවද්‍ය කොට නො පනවා යයි. වැළි ගැහැවිය, ඉදින් සිතා නම් (කෙබඳු වේ දැ? යි.) වහන්ස, මහාසාවද්‍ය වේ යයි. ගැහැවිය, චේතනාව වැළිත් නිගණ්ඨනාතපුත්‍ර කවර කොටසෙක්හි ලා පනවා දැ? යි. ‘වහන්ස, මනෝදණ්ඩයෙහි ලා පනවා’ යයි. ගැහැවිය, ගැහැවිය, සිහි එළවා කියව. තා පළමු කී බස හා පසු වැ කී බස ඝටිත නො වෙයි. පසු වැ කී බස හා පළමු කී බස ඝටිත නො වෙයි. ගැහැවිය, තොප විසින් තෙල බස් කියනලද වෙයි. ‘වහන්ස, මම සත්‍යයෙහි පිහිටා මන්ත්‍රණය කරමි. අපගේ කථාසල්ලාප වේවයි’ කියා යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩ මැ මහාසාවද්‍යතර වෙයි. වචීදණ්ඩ එසේ නො වෙයි. මනෝදණ්ඩත් එසේ නො වේ යයි.

ගැහැවිය, ඒ කිමැ’යි හඟනෙහි? මේ නාලන්දා නුවර සමෘද්ධ වූයේ ඉතා සමෘද්ධ වූයේ බොහෝ මිනිසුන් විසින් ගැවැසිගතැ’යි. එසේ යැ වහන්ස, මේ නාලන්දා නුවර සමෘද්ධ වූයේ ඉතා සමෘද්ධ වූයේ බොහෝ ජනයන් ඇති වැ මිනිසුන් විසින් ආකීර්‍ණ වී යයි. ගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? මෙහි ඔසවාගත් කඩු ඇති පුරුෂයෙක් එන්නේ යැ, හේ මෙසේ කියන්නේ නම් මේ නාලන්දායෙහි යම් තාක් සත්ත්වයෝ ඇද්ද, ඔවුන් එකෙණෙහි එක් මෙහොතෙහි එක් මස් රැසක් එක් මාංසපුඤ්ජයක් කරන්නෙමි’යි කියා නම් ගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? ඒ පුරුෂ මේ නාලන්දායෛහි යම්තාක් ප්‍රාණීහු ඇද්ද, ඔවුන් එක් ඇසිල්ලෙකින් එක් මොහොතකින් එක් මස් රැසක් එක් මාංසපුඤ්ජයක් කරන්නට පෙහොනේ වේ දැ? යි. වහන්ස, පුරුෂයෝ දසදෙනෙකුදු විසිදෙනෙකුදු තිස්දෙනෙකුදු සතලිස්දෙනෙකුදු පුරුෂයෝ පනස්දෙනෙකුදු මේ නාලන්දායෛහි යම් පමණ සත්ත්වයෝ ඇද්ද, ඔවුන් එක් ඇසිල්ලෙකින් එක් මොහොතකින් එක් මස් රැසක් එක් මාංසපුඤ්ජයක් කරන්නට නො පොහොනාහ. එක් ලාමක පුරුෂයෙක් කිම නිසි වේ දැ? යි.

ගැහැවිය, ඒ කිමැ’යි හඟිහි? මෙලොවැ සෘද්ධි ඇති චිත්තවශීභාවයට පැමිණි මහණෙක් හෝ බමුණෙක් හො එන්නේ යැ. හේ මෙසේ කියන්නේ නම්, මම මේ නාලන්දාව එක් චිත්තප්‍රදොෂයෙකින් හළු කරන්නෙමි’යි. ගැහැවිය, ඒ කිමැ’යි හඟනෙහි? සෘද්ධි ඇති චෙතොවශීප්‍රාප්ත ඒ මහණ හෝ බමුණු හෝ මේ නාලන්දාව එක් චිත්තප්‍රදොෂයෙකින් හළු කරන්නට පොහොනේ දැ? යි. වහන්ස, නාලන්දා දසයකුදු විස්සකුදු තිසකුදු සතලිසකුදු නාලන්දා පනසකුදු සෘද්ධිමත් චෙතොවශීප්‍රාප්ත ඒ මහණ හෝ බමුණු හෝ මේ නාලන්දාව එක් චිත්තප්‍රදොෂයෙකින් හළු කරන්නට පොහොනේ යැ. එක් ලාමක වූ නාලන්දාව කිම? ගැහැවිය, ගැහැවිය, සිහි එළවා කියහි? තාගේ පළමු කී බස හා පසු වැ කී බස ද පසු වැ කී බස හා පළමු කී බස ද නො ගැළපෙයි. ගැහැවිය, තොප විසින් තෙල බස් කියනලද වෙයි. ‘වහන්ස, මම සත්‍යයෙහි පිහිටා මන්ත්‍රණය කරන්නෙමි. මෙහි අපගේ කථාසල්ලාප වේවයි’ කියා යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මෙසේ කියතුදු වැළිත් පව්කම් කිරීමට පව්කම් පැවැත්මට කායදණ්ඩ මැ මහාසාවද්‍යතර යැ. වාග්දණ්ඩ එසේ නො වෙයි. මනෝදණ්ඩත් එසේ නො වේ යයි.

ගැහැවිය, ඒ කිමැ’යි සිතහි? තොප විසින් දණ්ඩකාරණ්‍ය, කාලිඞ්ගාකරණ්‍යය, මෙධ්‍යාරණ්‍යය, මාතඞ්ගාරණ්‍යය නො ගම් වැ වල් වූ පරිදි ඇසූවිරූ දැ? යි. එසේ යැ වහන්ස, දණ්ඩකාරණ්‍ය, කාලිඞ්ගාකරණ්‍යය, මෙධ්‍යාරණ්‍යය, මාතඞ්ගාරණ්‍යය නො ගම් වැ වල් වූ පරිදි මා විසින් ඇසූවිරූ යයි. ගැහැවිය, ඒ කිමැ’යි සිතහි? ඒ දණ්ඩකාරණ්‍ය, කාලිඞ්ගාකරණ්‍යය, මෙධ්‍යාරණ්‍යය, මාතඞ්ගාරණ්‍යය තොප විසින් කිමෙකින් නො ගම් වැ වල් වී යයි අසනලද ද? වහන්ස, දණ්ඩකාරණ්‍ය, කාලිඞ්ගාකරණ්‍යය, මෙධ්‍යාරණ්‍යය, මාතඞ්ගාරණ්‍යය සෘෂීන්ගේ දැහැවිලින් නො ගම් වැ වල් වී යයි පරිදි මා විසින් අසනලදැ’යි. ගැහැවිය, ගැහැවිය, සිහි එළවා කියව. තාගේ පළමු කී බස හා පසු වැ කී බස ද පසු වැ කී බස හා පළමු කී බස ද ඝටිත නො වෙයි. ගැහැවිය, තොප විසින් තෙල බස් කියනලද: ‘වහන්ස, මම සත්‍යයෙහි පිහිටා මන්ත්‍රණය කරන්නෙමි. මෙහි අපගේ කථාසල්ලාප වේවයි’ කියා යි.

වහන්ස, මම පළමු උපමායෙන් මැ භාග්‍යවතුන් වහන්සේගේ (ප්‍රශ්නව්‍යාකරණයෙහි) සතුටුසිත් ඇතියෙම් ප්‍රසන්න වීමි. එතෙකුදු වත් මම භාග්‍යවතුන් වහන්සේගේ විසිතුරු ප්‍රශ්නව්‍යාකරණයන් අසනු කැමැති වැ මෙසේ මම් භාග්‍යවතුන් වහන්සේට විරුද්ධ බස් කියයුතු යයි සිතීමි. වහන්ස, ඉතා මැනැවැ. වහන්ස, ඉතා මැනැවැ. වහන්ස, යම් පරිදි යටිහුරු කරන ලද්දක් උඩුහුරු කරන්නේ හෝ වේද, පිළිසන්වූවක් විවර කරන්නේ හෝ වේ ද, මුළා වූවකුට මඟ කියන්නේ හෝ වේ ද, අඳුරෙහි ඇස් ඇත්තාහු රූපයන් දකිත්ව යි තෙල්පහනක් දරන්නේ හෝ වේද, එපරිදි මැ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් දහම් දෙසනලද. වහන්ස, මම් බුදුන් සරණ කොට යමි. ධර්‍මය ද සඬ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයෙකු කොට ධරණ සේක්ව’ යි.

ගැහැවිය, විමසා කරව. විමසා කිරීම තොප වැනි ප්‍රසිද්ධ පුරුෂයනට සුන්දර වේ යයි. වහන්ස, මම මෙ කරුණෙනුදු භාග්‍යවතුන් වහන්සේට වෙසෙසින් සතුටු වූයෙම් ඇලුණෙම් වෙමි. භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් මට මෙසේ ‘ගැහැවිය, විමසා කරව. විමසා කිරීම තොප වැනි ප්‍රසිද්ධ පුරුෂයනට සුන්දර වේ’ යයි, වදාළසේක් ද එහෙයිනි. වහන්ස, අන්‍යතීර්ථකයෝ මා ශ්‍රාවක කොට ලැබ ‘උපාලි ගැහැවි අපගේ ශ්‍රාවක බවට පැමිණියේ යැ’යි සියලු නාලන්දාව වටා දද නඟා ඇවිදුති. එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාළහ: ‘ගැහැවිය, විමසා කරව. විමසා කිරීම තොප වැනි ප්‍රසිද්ධ පුරුෂයනට සුන්දර වේ’ යයි. වහන්ස, මම දෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඬ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයෙකු කොට මා ධරනසේක්ව’ යි.

ගැහැවිය, තොපගේ ගෙය බොහෝ දවස් නුවටනට පැන්පොකුණක් මෙන් සිටියේ යැ. එහෙයින් එළැඹියා වූ ඔවුනට පිණ්ඩපාතය දියයුතු කොට සිතව යි. වහන්ස, මම මෙ කරුණෙනුදු භාග්‍යවතුන් වහන්සේට වෙසෙසින් සතුටු වූයෙම් ඇලුණෙම් වෙමි. යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ ‘ගැහැවිය, තොපගේ ගෙය බොහෝ දවස් නුවටනට පැන්පොකුණක් මෙන් සිටියේ යැ. එහෙයින් උපගත වූ ඔවුනට පිණ්ඩපාතය දියයුතු කොට සිතව’ යි වදාළසේක් ද එහෙයිනි. වහන්ස, මා විසින් තෙල අසනලද: ‘මහණ ගොයුම්හු මෙසේ කියති: මට මැ දන් දියයුත්තේ යැ. අන්‍යයනට දන් නො දියයුත්තේ යැ, මාගේ සවුවනට මැ දන් දියයුත්තේ යැ, අනුන්ගේ සවුවනට දන් නො දියයුත්තේ යැ, මට මැ දෙනලද්ද මහත්ඵල යැ. අනුනට දෙන ලද්ද මහත්ඵල නො වෙයි, මාගේ සවුවනට මැ දෙනලද්ද මහත්ඵල යැ. අනුනගේ සවුවනට මැ දෙනලද්ද මහත්ඵල නො වේ’යයි. එතෙකුදු වුවත් භාග්‍යවතුන් වහන්සේ නුවටුන් කෙරෙහි දු දානයෙහි මා සමාදන් කරවන සේක. තවද වහන්ස, මෙහි ලා අපි මැ කල් දනුම්හ. වහන්ස, මම තෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද භික්‍ෂුසඬ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවිහිම් වැ සරණ ගිය උපාසකයෙකු කොට මා ධරනසේක්ව’ යි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උපාලි ගැහැවිහට පිළිවෙළ කථා වදාළසේක. ඒ මෙසේ යැ: දානකථා යැ, ශීලකථා යැ, ස්වර්‍ගකථා යැ, කාමයන්ගේ ආදීනව යැ, ලමු බව යැ, කෙලෙසිලි බව යැ, නෛෂ්ක්‍රම්‍යෙයහි ආනිසංස යැ යන මේ වදාළසේක. යම් විටෙක භාග්‍යවතුන් වහන්සේ උපාලි ගහපතිහු කල්‍ය සිත් ඇත්තහු මෘදු සිත් ඇත්තහු විනීවරණ සිත් ඇත්තහු උදග්‍ර සිත් ඇත්තහු ප්‍රසන්න සිත් ඇත්තහු දැනගත්සේක ද එකල්හි බුදුවරුන් ගේ යම් සාමුක්කංසික දේශනාවක් ඇද්ද ඒ දුඃඛසත්‍ය සමුදය සත්‍යය නිරොධසත්‍යය මාර්‍ගසත්‍යය වදාළසේක. යම්සේ පහ වූ කිලුටු ඇති ශුද්ධ වස්ත්‍රෙයක් මොනොවට රජන් ගන්නෙ ද එසෙයින් මැ උපාලි ගහපතිහට ඒ අස්නෙහි මැ විගතරජස් ඇති විගතමල ඇති ධර්‍මචක්‍ෂුස පහළ විය: ‘යම්කිසි සමුදයධර්‍මයෙක් ඇද්ද එ හැම නිරුද්ධ වන ස්වභාව ඇතැ’යි. ඉක්බිති උපාලි ගහපති දුටු (සිව්සස්) දහම් ඇතියේ පැමිණි දහම් ඇතියේ දත් දහම් ඇතියේ බැසගත් දහම් ඇතියේ තරණය කළ විචිකිත්සා ඇතියේ පහවූ සැක ඇතියේ විශාරද බවට පැමිණියේ ශාස්තෘශාසනයෙහි පරප්‍රත්‍ය රහිත වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ‘වහන්ස, අපි දැන් යම්හ. අපි බොහෝ කිස ඇතියම්හ. බොහෝ කරණී ඇතියම්හ’යි. ගැහැවි, තෙපි දැන් එයට කල් දනුව’යි.

ඉක්බිති උපාලි ගැහැවි භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට සිය නිවෙස්න කරා එළැඹියේ යැ. එළඹ ද්වාරපාලයා කැඳවී යැ. ‘සගය, දොවාරිකය, අද පටන් කොට නුවට නුවටු දෙපසට දොර වසමි. අප බුදුන්ගේ මහණ මෙහෙණ උවසු උවැසියනට දොර විවෘත වෙයි. ඉදින් යම් මැ නුව‍ටෙක් ආ නම් තුලුන්ට තෙපි මෙසේ කියව. වහන්ස, සිටිනු මැනැවැ, නො පිවිසෙනු මැනැවැ, අද පටන් කොට උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ. නුවට නුවටුනට දොර ඇවිරිණි. බුදුන්ගේ මහණ මෙහෙණ උවසු උවැසියනට දොර නො ඇවිරිණි. වහන්ස, ඉදින් තොපට පිණ්ඩයෙන් වැඩ වේ නම් මෙහි මැ සිටිනු මැනවැ. තොපට මෙහි ලා මැ ගෙන එති’යි. (කියා ගෙට වන.) වහන්ස, එසේ යයි දොරටු ගොවු උපාලි ගැහැවිහට පිළිවදන් දිනි.

දීර්‍ඝතපස්වී නුවටහු ‘උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට පැමැණියේ යැ’යි ඇසි. එකල්හි දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාථපුත්‍රයා කරා ගියෙ, ගොස් නිගණ්ඨනාථපුත්‍රට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ ලැ’යි තෙල මා විසින් අසනලදැ’යි. තපස්විය, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට යන්නෙ යැ යන යමෙක් ඇද්ද, තෙල වන්නට නො නිසි යැ. අවකාශ ද නැත. ‘මහණ ගොයුම් උපාලි ගැහැවිහුගේ සවු බවට යන්නෙ යැ’ යන යමෙක් ඇද්ද, තෙල වන්නට නිසි යැ යි කී. දෙවනවට ද ... තෙවනවට ද දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාථපුත්‍රයාහට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට පැමිණියේ ලැ’යි තෙල මා විසින් අසනලදි. තපස්විය, ‘උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට යන්නෙ යැ’ යන යමෙක් ඇද්ද, තෙල වන්නට නො නිසි යැ. ‘මහණ ගොයුම් උපාලි ගැහැවිහුගේ සවු බවට යන්නෙ යැ’ යන යමෙක් ඇද්ද, තෙල කරුණ ඇතැ’යි කී. වහන්ස, දැන් මම යමි. උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියෙ හෝ නොහොත් නො ගියෙ හෝ’යි දනිම් මැ යැ. තපස්විය, තෙපි යව. උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ හෝ නොහොත් නොගියෙ හො’යි දන්ව යි.

ඉක්බිති දීර්‍ඝතපස්වී නුවට උපාලි ගැහැවිහුගේ නිවෙස්න කරා ගියෙ, දොරටුගොවු දීර්‍ඝතපස්වී නුවට එන්නහු දුරැ ලා මැ දිට. දැක දීර්‍ඝතපස්වී නුවටහට තෙල කී: ‘වහන්ස, සිටුව. නො වදිනු මැනැවැ. අද පටන් කොට උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ. නුවට නුවටුනට දොර වැසිණ, බුදුන්ගේ මහණ මෙහෙණ උවසු උවැසියනට දොර නො වැසිණ. වහන්ස, ඉදින් තොපට බතින් අර්‍ථ ඇත් නම් මෙහි මැ සිටුව. මෙහි ලා මැ තොපට ගෙන එති’යි කී. ‘ඇවැත, මට බතින් වැඩෙක් නැතැ’යි කියා එයින් පෙරලා නිගණ්ඨනාථපුත්‍රයා කරා ගියෙ, ගොස් නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ’ යනු සැබෑ මැ යි. වහන්ස, මම තොපගේ තෙල සවු වළහනු නො ලත්මි. වහන්ස, ‘උපාලි ගැහැවි මහණගොයුම්හට වාදාරෝපණය කරන්නෙ යැ’ යන යමෙක් ඇද්ද තෙල මට නො රිසුණේ යැ. වහන්ස, මහණ ගොයුම්හු මායා ඇත්තාහ. යම් මායායෙකින් අන්තොටු වන්ගේ සවුවන් ආවර්‍තනය කොට ගනිත් ද, එබඳු ආවර්‍තනී මායාවක් දන්නාහ. වහන්ස, තොපගේ උපාලි ගැහැවි මහණ ගොයුම්හු විසින් අවර්‍තනී මායායෙන් ආවර්තිත වැ ඇති’යි. තපස්විය, ‘උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ’ යන යමෙක් වේ ද තෙල වන්නට නො නිසි යැ. අවකාශ ද නැත‍. ‘මහණ ගොයුම්හු උපාලි ගැහැවිහුගේ සවු බවට යන්න යැ’ යන යමෙක් වේද තෙල කරුණ ඇතැ’යි. දෙවනවට දු ... තුන්වනවට ද දීර්‍ඝතපස්වී නුවට නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියේ යැ’ යන යමෙක් වේ ද තෙල සැබෑ මැ යැ. වහන්ස, මම තොපගේ තෙල සවු වළහන්නට නො ලත්මි. වහන්ස, ‘උපාලි ගැහැවි මහණගොයුම්හට වාදාරෝපණය කරන්නෙ යැ’ යන යමෙක් වේ ද තෙල මට නො රිසුණේ යැ. වහන්ස, මහණ ගොයුම්හු මායාවීහ. යම් මායායෙකින් අන්තොටුවන්ගේ සවුවන් ආවර්‍තනය කොට ගනිත් ද, එබඳු ආවර්‍තනී මායාවක් දන්නාහ. වහන්ස, තොපගේ උපාලි ගැහැවි මහණ ගොයුම්හු විසින් ආවර්තිත වැ ඇතැ’යි කී. තපස්විය, ‘උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට යන්නේ යැ’ යන යමෙක් ඇද්ද, තෙල වන්නට නො නිසි යැ. ‘මහණ ගොයුම්හු උපාලි ගැහැවිහුගේ සවු බවට යන්නාහ’යන යමෙක් වේද තෙල කරුණ විද්‍යාමාන වෙයි. තපස්විය, එබැවින් මම යමි. උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියෙ හෝ නොහොත් නො ගියෙ යැ හො’යි මම් මැ දනිමි’යි.

ඉක්බිති නිගණ්ඨනාථපුත්‍ර මහත් නුවට පිරිස් හා සමග උපාලි ගැහැවිහුගේ නිවෙස්න කරා ගියෙ යැ. දොරටුගොවු නිගණ්ඨනාථපුත්‍රයා එන්නහු දුර දී මැ දිටි. දැක නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, සිටුව. නො වදුව. අද පටන් කොට උපාලි ගැහැවි මහණ ගොයුම්හුගේ සවු බවට ගියෙ වෙයි. නුවට-නුවටුනට දොර ඇවිරිණි. බුදුන්ගේ මහණ මෙහෙණ උවසු උවැසියනට දොර නො ඇවිරිණි. වහන්ස, ඉදින් තොපට බතින් වැඩ ඇත් නම් මෙහි මැ සිටුව. මෙහි ලා මැ තොපට ගෙන එති’යි. සගය, දොවාරිකය, එ‍හෙයින් උපාලි ගැහැවිහු කරා එළැඹෙව. එළැඹැ උපාලි ගැහැවිහට මෙසේ කියව: ‘වහන්ස, නිගණ්ඨනාථපුත්‍ර මහත් නුවටපිරිස් හා සමඟ බිහි දොරකොටුයෙහි සිටියෙ යැ. හෙ තොප දක්නා කැමැතියේ යැ’යි. ‘වහන්ස, එසේ යැ’යි දොවාරික නුවටනතපුත්තහට පිළිවදන් දී උපාලි ගැහැවිහු කරා එළැඹියෙ යැ. එළැඹ උපාලි ගැහැවිහට තෙල කී: ‘වහන්ස, නුවටනතපුත් මහන් නුවටපිරිස් හා සමග බිහි දොරකොටුයෙහි සිටියෙ යැ. හෙ තොප දක්නා කැමැත්තැ’යි. සගය දොවාරිකය, එහෙයින් මධ්‍යම ද්වාරශාලායෙහි අසුන් පනවාලව යි. ‘වහන්ස, එසේ යැ’යි දොවාරිකයා උපාලි ගැහැවිහට පිළිවදන් දී මධ්‍යම ද්වාරශාලායෙහි අසුන් පනවා උපාලි ගැහැවිහු කරා ඔළැඹියෙ යැ. එළැඹ උපාලි ගැහැවිහට තෙල කී: ‘ වහන්ස, මධ්‍යම ද්වාරශාලායෙහි තොපට අසුන් පනවනලද. දැන් එයට කල් දනුව’යි කී.

ඉක්බිති උපාලි ගැහැවිහු මධ්‍යම ද්වාරශාලාව කරා එළැඹියෙ යැ. එළැඹ එහි අග්‍ර වූත් ශ්‍රෙෂ්ඨ වූත් උත්තම වූත් ප්‍රණිත වූත් යම් අස්නෙක් වී ද එහි හිඳ දොවාරිකයා කැඳවී. සගය, දොවාරිකය, එහෙයින් නිගණ්ඨනාථපුත්‍රයා කරා එළැඹෙව. එළැඹ නිගණ්ඨනාථපුත්‍රයාට මෙසේ කියව: ‘වහන්ස, උපාලි ගැහැවි මෙසේ කියයි’: ’වහන්ස, ඉදින් කැමැත්තෙහි නම් වදුව’යි. ‘වහන්ස, එසේ යැ’යි දොවාරිකයා උපාලි ගැහැවිට පිළිවදන් දී නිගණ්ඨනාථපුත්‍රයා කරා එළැඹියෙ යැ. එළැඹ නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, උපාලි ගැහැවි මෙසේ කියයි’: ‘වහන්ස, ඉදින් කැමැත්තෙහි නම් වදුව’යි. එකල්හි නිගණ්ඨනාථපුත්‍ර මහත් නුවටපිරිස් හා සමග මධ්‍යම ද්වාරශාලාව කරා එළැඹියේ යැ. ඉක්බිති උපාලි ගැහැවි යම් තැනෙකැ සිට පෙර යම් නිගණ්ඨනාථපුත්‍රයකු එන්නාහු දුරදීම දැක එතැන සිට පෙරගමන් කොට එහි අග්‍ර වූත් ශ්‍රෙෂ්ඨ වූත් උත්තම වූත් ප්‍රණිත වූත් යම් අස්නෙක් වී නම් එය උත්තරාසඞ්ගයෙන් පිස පරිග්‍රහ කොට බලා හිඳුවාලයි. හෙ දැන් එහි අග්‍ර වූත් ශ්‍රෙෂ්ඨ වූත් උත්තම වූත් ප්‍රණිත වූත් යම් අස්නෙක් වී ද එහි තෙමේ හිඳ නිගණ්ඨනාථපුත්‍රයාට තෙල කී: ‘වහන්ස, අසුන් ඇත. ඉදින් කැමැත්තහු නම් හිඳුව’යි. මෙසේ කී කලැ නුවට නතපුත් උපාලි ගැහැවිහට තෙල කී: ගැහැවිය, තෙපි ඇළල ගියහු? ගැහැවිය තෙපි ජඩ වැ ගියහු? ‘වහන්ස, මම යමි. මහණ ගොයුම්හට වාදාරොපණ කෙරෙමි යි ගොස් මහත් වාදබන්ධනයෙන් තිර වැ ආව? ගැහැවිය, යම් පරිදි පුරුෂයෙක් අණ්ඩහාරක වැ ගොස් උපුටා හළ අණ්ඩයෙන් යුතු වැ එන්නේ වේ ද, ගැහැවිය, යම් සේ පුරුෂයෙක් අක්ඛිහාරකවැ ගොස් උපුටාහළ ඇසින් යුතු වැ එන්නේ වේ ද, ගැහැවිය, එසේ මැ තෙපි ‘වහන්ස, මම යමි. මහණ ගොයුම්හට වාදාරොපණ කෙරෙමි’යි ගොස් මහත් වාදබන්ධනයෙන් ප්‍රතිමුක්ත වැ ආව. ගැහැවිය, තෙපි මහණ ගොයුම්හු විසින් ආවර්තනී මායායෙන් ආවර්තිත ව? යි.

වහන්ස, ආවර්තනී මායා භද්‍ර යැ. වහන්ස, ආවර්‍තනී මායා කල්‍යාණි යැ. වහන්ස, මාගේ ප්‍රිය නෑසාලේ නෑයෝ මෙ ආවර්‍තනී මායායෙන් ආවර්තිත වෙද්ද මාගේ ප්‍රිය වූ නෑසාලේ නෑයනට ද බොහෝ කල් හිතයට සුඛයට වැටෙයි. වහන්ස, හැම ක්ෂත්‍රියයෝ ද මේ ආවර්‍තනීමායායෙන් ආවර්තිත වෙද්ද, හැම ක්ෂත්‍රියයනට ද බොහෝ කල් හිතයට සුඛයට වැටෙයි. වහන්ස, හැම බමුණෝ ද … හැම වෛශ්‍යෙයෝ ද ... හැම ශුද්‍රෙයෝ ද මෙ ආවර්‍තනී මායායෙන් ආවර්තිත වෙද්ද එ හැම ශුද්‍රයනට ද බොහෝ කල් හිතයට සුඛයට වැටෙයි. වහන්ස, මරුන් සියො බඹුන් සියො සදේවක ලෝකයා ද මහණබමුණන් සියො දෙව් මිනිසුන් සියො ප්‍රජාව ද මෙ ආවර්‍තනී මායායෙන් ආවර්තිත වේ ද, මරුන් සියො බඹුන් සියො සදේවක ලෝකයාහට ද මහණබමුණන් සියො දෙව්මිනිසුන් සියො ප්‍රජාවට ද බොහෝ කල් හිතයට සුඛයට වැටෙයි. වහන්ස, එ කරුණින් තොපට උපමාවක් කරමි. කිසි විඥපුරුෂ කෙනෙක්, උපමායෙනුදු භාෂිතයාගේ අර්‍ථය නුවණ එළවා දනිත්.

වහන්ස, වූවිරි දැයෙකි. ජීර්‍ණ වූ වෘද්ධ වූ මහලු වූ එක්තරා බමුණක්හට ළදරු මෙණෙවියක් භාර්යා වූ යැ. ගැබ් ඇත්තී වදන වර ළං වැ ඇත්තී වූ යැ. වහන්ස, ඉක්බිති එ මෙණෙවි එ බම්ණුට තෙල කිවු: ‘බමුණ, තෙපි යව. යම් වඳුරු පැටෙක් මාගේ කුමරහට කෙළි බඩු වේ ද, එ බඳු වඳුරු පැටකු අවුණුදොරින්, මිල දී ගෙන එව’යි. වහන්ස, මෙසේ කී කලැ එ බමුණු එ මෙණෙවියට තෙල කී: ‘සොඳුර, වදන තාක් බලව. සොඳුර ඉදින් තෙපි කුමරකු වදන්නවු නම් තොපට මම අවුණුදොරින් තොපගේ එ කුමරුට කෙළි බඩු වන වඳුරු පැටකු මිල දී ගෙන එමි. ඉදින් තෙපි කුමරියක වදන්නවු නම් ‍තොපගේ එ කුමරියට කෙළි බඩු වන වඳුරු පැටියක අවුණුදොරින්ගෙන එමි. වහන්ස, දෙවනවට ද … තෙවනවට ද වහන්ස, එ මෙණෙවි එ බමුණුහට තෙල කිවු: බමුණ, තෙපි යව. යම් වඳුරුපැටෙක් මාගේ කුමරහට කෙළිබඩු වේ ද, එ බඳු වඳුරු පැටකු මිල දී ගෙන එව’යි. වහන්ස, ඉක්බිත් එ බමුණු එ මෙණෙවිය කෙරෙහි ඇලුණෙ, පිළිබඳ සිත් ඇතියේ අවුණුදොරින් වඳුරුපැටකු මිල දී ගෙනවුත් එ මෙණෙවියට තෙල කී: ‘භවතිය, තොපට වඳුරුපැටකු මිල දී ගෙන එන ලද. එ තොපගේ කුමරහට කෙළෙනට නිසි වන්නේ’ යයි. වහන්ස, මෙසේ කී කල්හි එ මෙණෙවි එ බමුණුහට තෙල කිවු ය: බමුණ තෙපි මෙ වඳුරුපැටහු ගෙන රඟ පොවන රදාදරු කරා එළඹ රඟ පොවන රදාදරුහට මෙසේ කියව. ‘යහළු රක්තපාණීය, මම මේ වඳුරු පැටහු රන්වන් රඳනින් රඳනලදහු කොළන පිළිකොළන ලදහු දෙපස මට කරනලදහු කැමැත්තෙමි’ යි වහන්ස, එසඳ එ බමුණු එ මෙණෙවිය කෙරෙහි ඇලුණේ පිළිබඳසිත් ඇත්තේ එ වඳුරුපැටහු ගෙන රක්තපාණී රදාදරු කරා එළැඹියෙ. එළැඹ රක්තපාණී රදාදරුහට තෙල කී: ‘යහළු රක්තපාණීය, මම මේ වඳුරු පැටහු රන්වන් රඳනින් රඳනලදහු කොළන පිළිකොළන ලදහු දෙපස මට කරනලදහු කැමැත්තෙමි’යි. වහන්ස, මෙසේ කී කල්හි රක්තපාණී රදාදරු එ බමුණුහට තෙල කී: හිමි, තොපගෙ මෙ වඳුරුපොවු රඬ්ගක්ෂම මැ වෙයි. ආකොටනක්ෂම නො වෙයි, විමාර්ජනක්ෂම නො ද වේ යයි. වහන්ස, ඉක්බිති එසෙයින් මැ බාල නුවටුන්ගේ වාද පණ්ඩිතයනට නො වැ බාලයනට රඬ්ගක්ෂම මැ වෙයි. අනුයොගක්ෂම නො වෙයි, විමාර්ජනක්ෂම නො ද වෙයි. වහන්ස, එසෙයින් මැ බාල නුවටුන්ගේ වාද පණ්ඩිතයනට නො වැ බාලයනට රඬ්ගක්ෂම මැ වෙයි. අනුයොගක්ෂම නො වෙයි, විමාර්ජනක්ෂම නො ද වෙයි. වහන්ස, ඉක්බිති එ බමුණු මෑතභාගයෙහි අළුත් පිළිසඟලක් ගෙන රක්තපාණී රදාදරු කරා එළැඹියෙ. එළැඹ රක්තපාණී රදාදරුහට තෙල කී: යහළු රක්තපාණීය, මම මේ අළුත් පිළීසඟල රන්වන් රඳනින් රඳනා ලදහු කොළන පිළිකොළන ලදහු දෙපස මට කරනලදහු කැමැත්තෙමි’යි. වහන්ස, මෙසේ කී කල්හි රක්තපාණී රජකපුත්‍ර එ බමුණුහට තෙල කී: හිමි, තොපගෙ මෙ අළුත් පිළීසඟල රඬ්ගක්ෂම ද ආකොටනක්ෂම ද විමාර්ජනක්ෂම ද වේ යයි. වහන්ස එහෙයින් මැ එ භගවත් අර්හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ කථා බාලයනට නො ව පණ්ඩිතයනට රඬ්ගක්ෂම ද අනුයොගක්ෂම ද විමාර්ජනක්ෂම ද වේ යයි.

ගැහැවිය, සරජිකපර්‍ෂද් තොප මෙසෙ දනි: ‘උපාලි ගැහැවි නිගණ්ඨනාථපුත්‍රයාගේ ශ්‍රාවක යැ’ කියා යි. ගැහැවිය, තොප කවරක්හුගේ ශ්‍රාවක කොට ධරම්හ? යි. මෙසේ කී කල්හි උපාලි ගැහැවි හුනස්නෙන් නැගී උතුරුසළු එකස් කොට බුදුන් වසන දසට ඇඳිලි පනවා නිගණ්ඨනාථපුත්‍රයාහට තෙල කී: ‘ වහන්ස, එසේ වී නම් මම් යම් කෙනෙකුගේ ශ්‍රාවකයෙම් ද උන් වහන්සේගේ ගුණ අසව:

 (1) ධීර වු හෙවත් පාණ්ඩිත්‍යයෙන් සමන්වාගත වූ, විගත වූ මොහ ඇති, බිඳුනා ලද පඤ්චචෙතොඛිල ඇති, දිනන ලද මෘත්‍යුමාරාදි මාරවිජය ඇති, ක්ලේශදුඃඛයෙන් හා විපාකදුඃඛයෙන් නිදුක් වූ, දෙව්මිනිසුන් කෙරෙහි මෙනොවට සමමෙත් ඇති, වැඩූ ආචාර ශීල ඇති, සුන්දරප්‍රඥා ඇති, රාගාදි විෂමය තැරැසිටි, විගතවූ රාගාදි මල ඇති, ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි. (‘ඔබ මාගේ ශ්‍රාස්තෘ වූහ’යි යූ සේ යි.)

(2) අකථංකථී වූ, තුටුසිත් ඇති, වමාළ කාමගුණ ඇති, මුදිතාවිහාරවශයෙන් සතුටු වූ, කරනලද මහණදම් ඇති, මනුජ වූ අන්තිමදේහධාරී වු, උත්තම නර වූ අනූපගම වූ, විගත කෙලෙස්රජස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

(3) ශංසය රහිත වූ නිපුණ වූ සත්වයන් විනයනය කරනු වූ උත්තම සාරථි වූ අනුත්තර වූ පවිත්‍රධර්ම ඇති නිශ්ශඬ්ක වූ ඔභාසකර වූ සිඳින ලද මාන ඇති වීර වූ ඒ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

(4) අප්‍රතිසමාර්ථයෙන් නිසඟ වූ අප්‍රමේය වූ ගම්භීර වූ මෝන සඬ්ඛ්‍යාත ඥානයට පැමිණි ක්‍ෂේමකර වූ වේද සඬ්ඛ්‍යාත ඥානයෙන් සමන්වාගත වූ ධර්මයෙහි පිහිටා සිටි සංවෘත වූ සිත් ඇති ක්ලෙශසඬ්ගයන් ඉක්මැ සිටි වීර වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

(5) සියුකරුණෙන් නාග වූ ප්‍රාන්තශයනාසන ඇති ක්ෂීණ වූ සංයෝජන ඇති කෙලෙසුන් කෙරෙන් මිදුණු ප්‍රතිමන්ත්‍රණ ප්‍රඥායෙන් සමන්වාගත වූ ධොන සඬ්ඛ්‍යාත ඥානයෙන් සමන්වාගත වූ පතිත මානධවජ ඇති වීතරාග වූ නිර්විශෙවන වූ ක්ලේශ ප්‍රපඤ්ච රහිත වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

(6) සප්තමර්ෂී වූ කුහන නො වූ ත්‍රිවිද්‍යා ඇති ශ්‍රේෂ්ඨස්ථානයට පැමැණි දෙවූ කෙලෙස් ඇති ගාථාපද කරණයෙහි කුශල වූ සන්හුන් කායචිත්ත ඇති විදිත වූ ඥාන ඇති හැමට පළමු කොට ධර්මදාන දායක වූ ශක්‍ය වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

(7) ආර්යය වූ වැඩූ සිත් ඇති පැමැණියයුතු ගුණයට පැමිණි විස්තර කොට අර්ථ දක්වන ස්මෘතිමත් වූ විදර්‍ශක වූ අර්හත් වූ අදුෂ්ට වූ තෘෂ්ණා රහිත වූ වශීප්‍රාප්ත වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

(8) සම්‍යග්ගත වූ ධ්‍යායී වූ කෙලෙසුන් විසින් අනුගත නො වූ සිත් ඇති ශුද්ධ වූ අබද්ධ වූ අප්‍රහීන වූ ප්‍රවිවේක ඇති අග්‍රප්‍රාප්ත වූ තරණය කළ චතුරොඝ ඇති අනුන් තරණය කරවන ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

(9) ශාන්ත වූ, පොළොව සෙයින් පතළ ප්‍රඥා ඇති මහාප්‍රඥායෙන් යුක්ත වූ පහ කළ ලොභ ඇති තථාගත වූ අප්‍රතිපුද්ගල වූ අසම වූ විශාරද වූ නිපුණ වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

(10) බිඳලූ තෘෂ්ණා ඇති චතුස්සත්‍යාවබොධ කළ පහ කළ කෙලෙස්දුම් ඇති කෙලෙසුන් විසින් උපලිප්ත නො වූ ආහුති පිළිගන්නට නිසි (අනුභාව වශයෙන්) යක්ෂ වූ උත්තම පුද්ගල වූ අතුල වූ මහත් වූ අගපත් යශස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේට මම ශ්‍රාවක වෙමි.

ගැහැවිය, මහණ ගොයුම්හුගේ මේ ගුණයෝ තොප විසින් කවර කලෙක එක්රැස් කරනලද්දාහු ද? වහන්ස, යම් පරිදි නානා පුෂ්පයන් පිළිබඳ පුෂ්පරාශියෙක් ඇද්ද තෙල මල්රැස දක්ෂ මාලාකාරයෙක් වේවයි මල්කරු අතැවැසියෙක් වේවයි විසිතුරු මල්දමක් ගොතන්නේ වේ ද, වහන්ස, එපරිදි භාග්‍යවතුන් වහන්සේ අනේකවර්‍ණයහ, අනේකශත වර්‍ණයහ. වහන්ස, කවරෙක් නම් වර්‍ණාභියාගේ ගුණවැනුම් නො කරන්නේ වේ ද?

එසඳ බුදුනට සත්කාර නො සහන නුවටනතපුත්හට එ අසුන්හි දී මැ හුණුලේ මුවින් නැඟිණි.

සවැනි උපාලිසූත්‍ර ය නිමියේය.