කුක්කුරවතිය සූත්‍රය

2.1.7 කුක්කුරවතිය සූත්‍රය

    

 

මා විසින් මෙසේ අසන ලද. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි හලිද්දවසන නම් කෝලිය නියම්ගම්හි වැඩවසනසේක. එකල ගෝව්‍රත සමාදාන කළ කෝලිය පුත්‍ර පුණ්ණ හා ශුනකව්‍රත සමාදාන කළ සේනිය නම් නුවට හා දෙදෙන භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ ගෝව්‍රත ගත් කෝලියපුත් පුණ්ණ බුදුන් සකසා වැඳ එකත්පස් වැ හින. බලුතව ගත් සේනිය නුවට බුදුන් හා සමග සතුටු විය. සම්මොදනයට නිසි කලතුරුහි සිහි කළයුතු කථා කොට නිමවා කුකුරකු සෙයින් හැකිළීගෙන එකත්පසෙක හින. එකත්පසෙක පසෙක හුන් ගෝවතික කෝලියපුත් පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ. වහන්ස, බලුතව ගත් මේ සේනිය නුවට දුෂ්කරක්‍රියා කරන්නෙක. බිමලූවක් වළඳ කෙරෙයි. ඔහු විසින් ඒ බලුතව දීර්‍ඝරාත්‍රයෙහි පිරිපුන් කොට ගන්නාලදි. ඔහුගේ ගති කවර? පරලොව උපත් කවරෙ? යි. ‘පුණ්ණය, කම් නැත, තෙල පැන තිබියේවා. තෙල පැන මා නො පුළුවුස යි. දෙවන වට ද … තුන්වනවට ද ගෝවතික කෝලියපුත් පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළ: ‘වහන්ස, බලුතව ගත් මේ සේනිය නුවට දුෂ්කරක්‍රියා කරන්නෙක, බිම ලූවක් වළඳ කෙරෙයි. ඔහු විසින් ඒ බලුතව දීර්‍ඝරාත්‍රියෙහි පිරිපුන් කොට සමාදන් කරන ලදි. ඔහු ගේ ගති කවර? පරලොව කවරෙ? යි. ‘පුණ්ණය, කම් නැත, තෙල තිබියේවා. තෙල පැන මා අතින් නො පුළුවුස’ යි, (කිව ද) පුණ්ණය, මම තොප බස් එකැතින් නො ලැබෙමි. වැළිත් තොපට මම ප්‍රකාශ කරමි.

පුණ්ණය, මෙලොව එකෙක් බලුතව අනූන කොට නිරතුරු කොට වඩයි. බලුසිල් අනූන කොට නරතුරු කොට වඩයි. බලුසිත් අනූන කොට නරතුරු කොට වඩයි. බලු වෙස් අනූන කොට නරතුරු කොට වඩයි. හේ බලුතව අනූන කොට නරතුරු කොට වඩා බලුසිල් අනූන කොට නරතුරු කොට වඩා බලුසිත් අනූන කොට නරතුරු කොට වඩා ශුනකාකල්ප අනූන කොට නරතුරු කොට වඩා කාබුන් මරණින්මතු ශුනකයන්ගේ සහභාවයට පැමිණෙයි. ඉදින් ඔහුට මෙවන් දෘෂ්ටියෙක් වේ ද: ‘මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රම්සරින් හො දෙවි හෝ වෙම්වා අන්‍යතර දෙවියෙකිම් හෝ වෙම්වා’ යි. ඒ දෘෂ්ටිය ඔහුගේ මිසදිටු වෙයි. පුණ්ණය, මම මිථ්‍යාදෘෂ්ටිකයාහට දෙගතීන් අතුරින් එක්තරා ගතියක් කියමි. එනම්: ‘නිරෑ හෝ තිරිසන් යොන හෝ’ යි. පුණ්ණය, මෙසේ (දෘෂ්ටියෙන් අසම්මිශ්‍ර වැ) සැපයෙන බලුතව බල්ලන්ගේ සහභාවයට එළවයි. වරදවාගත් දිටු නිරෑ එළවතී වදාළෝ.

මෙසේ වදාළ කල බලුතව ගත් සෙනිය නුවට හැඬි. කඳුළු හෙළී. එසඳ භාග්‍යවතුන් වහන්සේ ගොව්‍රත ගත් කොලිය පුත් පුණ්නහට තෙල වදාළෝ: ‘පුණ්ණය, කම් නැත. තෙල පැන තිබියේවා, මා අතින් තෙල පැන නො පුළුවුස’ යි යන තෙල පුණ්ණය, මම නො ලත්මි. භාග්‍යවතුන් වහන්සේ යම් ව්‍යාකරණයක් මා ගෙන මෙසේ වදාළසේක් ද: වහන්ස, මම තෙල ව්‍යාකරණයට නො හඬමි. වහන්ස, වැළිත් මා විසින් මේ බලුතව අනූන කොට සමාදාන වශයෙන් ගන්නා ලදි. වහන්ස, ගොව්‍රත සමාදාන කළ කොලියපුතු මේ පුණ්ණ වේ ද ඔහු විසින් ඒ ගෝව්‍රතය දීර්‍ඝරාත්‍රියෙහි අනූන කොට සමාදාන වශයෙන් ගන්නා ලදි. ඔහු ගේ ගති කවර? පරලෝ කවරෙ? සේනිය කම් නැත, තෙල තිබියේවා. තෙල මා නො පුළුවුස’ යි. දෙවන වට ද … තුන්වන වට ද බලුතව ගත් සේනිය නුවට භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කෙළේ: ‘වහන්ස, කොලියපුත් මේ පුණ්ණ ගෝව්‍රත ඇත්තෙක. ඔහු විසින් ඒ ගෝව්‍රතය දීර්‍ඝරාත්‍රියෙහි අනූන කොට මොනොවට ගන්නාලදි. ඔහුගේ ගති කවර? පරලෝ කවරෙ? යි. ‘සේනිය, කම් නැත, තෙල තිබියේවා. තෙල මා නො පුළුවුස’ (කිව ද) යනු සේනිය මම තොප බස් එකාන්තයෙන් නො ලබමි. වැළිත් මම තොපට ප්‍රකාශ කරමි.

සේනිය, මෙලොව කිසිවෙක් ගෝව්‍රතය අනූන කොට නරතුරු කොට වඩයි. ගෝශීලය අනූන කොට නරතුරු කොට වඩයි. ගෝචිත්තය අනූන කොට නරතුරු කොට වඩයි. ගවාකල්පය අනූන කොට නරතුරු කොට වඩයි. හේ ගෝව්‍රතය අනූන කොට නරතුරු කොට වඩා ගෝශීලය අනූන කොට නරතුරු කොට වඩා ගෝචිත්තය අනූන කොට නරතුරු කොට වඩා ගවාකල්පය අනූන කොට නරතුරු කොට වඩා කාබුන් මරණින් මතු ගෙරින්ගේ සහභාවයට පැමිණෙයි. ඉදින් වනාහි ඕහට මෙබඳු දෘෂ්ටියෙක් වේ ද: ‘මම මේ ආචාරයෙන් හෝ ව්‍රත සමාදානයෙන් හෝ තපසින් හෝ බ්‍රහ්මචර්‍ය්‍යෙයන් හෝ දෙව් හෝ වෙමි, දෙවාන්‍යතර හෝ වෙමි’ යි. ඒ දෘෂ්ටි ඔහුගේ මිථ්‍යාදෘෂ්ටි වෙයි. සේනිය, මම මිථ්‍යාදෘෂ්ටිකයාහට නිරයගතිය හෝ තිරිසන් යෝනිය හෝ දෙගතීන් අතුරින් එක්තරා ගතියක් කියමි.‍ සේනිය, මෙසේ සම්පජ්ජමාන ගෝව්‍රතය ගවයන්ගේ සහභාවයට එළවයි. විපද්‍යමාන ගෝව්‍රතය නිරයට එළවයි.

මෙසේ වදාළ කල ගොව්‍රත සමාදාන කළ කොලියපුත් පුණ්ණ හැඬී. කඳුළු හෙළී, එසඳ බුදුහු බලුතව ගත් සෙනිය අචෙලකයාහට තෙල වදාළහ: ‘සෙනිය, කම් නැත. තෙල තිබියේවා, තෙල කරුණ මා නො පුළුවුස්ව’ යි සෙනිය, මම තෙල කරුණ තා අතින් නො ලත්මි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට යම් කරුණක් මෙසේ වදාළ සේක් ද , මම තෙල ව්‍යාකරණයට නො හඬමි. වැළිත් වහන්ස, මේ ගොව්‍රතය මා විසින් දීර්‍ඝරාත්‍රියෙහි මොනොවට ගන්නා ලදි, මොනොවට සමාදාන කරන ලදි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙසේ ප්‍රසන්නයෙමි. යම් පරිදි මමත් මේ ගෝව්‍රතය හරනෙම් ද, කුකුරුවත ගත් මේ සේනිය අචෙළකත් ඒ කුකුරවත හරනේ වේ ද, එසේ දහම් දෙසන්නට භාග්‍යවතුන් වහන්සේ සමත්හ’ යි. පුණ්ණය, එ කරුණින් අසව, මනාකොට මෙනෙහි කරව, කියමි යි. ‘වහන්ස, එසේ යැ’ යි ගෝවත ගත් කෝලියපුත් පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට පිළිවඳන් ඇස්වි. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක:

‘පුණ්ණය, මෙ සතර කර්ම කෙනෙක් මා විසින් තමා මැ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ප්‍රවිදිත වැ ඇත. කවර සතර කෙනෙක යත්: පුණ්ණය, කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක වූ කර්මයෙක් ඇත. පුණ්ණය, ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්මයෙක් ඇත. පුණ්ණය, කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති කර්මයෙක් ඇත. පුණ්ණය, අකෘෂ්ණ අශුක්ල වූ අකෘෂ්ණ අශුක්ල විපාක ඇති කර්මක්ෂයට වැටෙන කර්මයෙක් ද ඇති’ යි.

පුණ්ණය, කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක ඇති කර්ම කවරෙ යැ යත්: පුණ්ණය, මෙලොව එකෙක් සදුඃඛ වූ කායසංස්කාර අභිසංස්කරණ කෙරෙයි. සදුඃඛ වූ වාක් සංසංකාර අභිසංස්කරණ කෙරෙයි. සදුඃඛ වූ මනඃසංස්කාර අභිසංස්කරණ කෙරෙයි. හෙ සදුඃඛ වූ කායසංස්කාර රැස් කොට සදුඃඛ වූ වාක් සංසංකාර රැස් කොට සදුඃඛ වූ මනඃසංස්කාර රැස් කොට සදුඃඛ ලොකයට එළැඹෙයි. සදුඃඛ ලෝකයට එළැඹි තුලුහු සදුඃඛ විපාක ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. හෙ සදුඃඛ විපාක ස්පර්ශයෙන් පහස්නාලද්දේ එකාන්ත දුඃඛ වූ සදුඃඛ වෙදනා විඳී. නිරෑ උපන් සත්ත්වයන් සෙයිනි. පුණ්ණය, මෙසේ යථාභූත කර්ම හේතුයෙන් සත්ත්වයාගේ උපප්‍රාප්තිය වෙයි. යමක් කෙරේ ද එයින් පරලොව එළැඹෙයි. එළැඹි තුලුහු ස්පර්ශයෝ පැහැසැගනිති’යි. පුණ්ණය, මම මෙසෙයිනුදු ‘සත්ත්වයෝ කර්මය දායාද කොට ඇතියහ’යි කියමි. පුණ්ණය, මෙය ‘කෘෂ්ණ වූ කෘෂ්ණ විපාක ඇති කර්මයැ’යි කියනු ලැබේ.

පුණ්ණය, ‘ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්ම ඇති කර්මය’ කවරෙ යැ යත්: පුණ්ණය, මෙලොව එකෙක් නිදුක් වූ කායසංස්කාර රැස් කෙරෙයි, නිදුක් වූ වාක්සංසංකාර රැස් කෙරෙයි, නිදුක් වූ මනඃසංස්කාර රැස් කෙරෙයි. හේ නිදුක් වූ කායසංස්කාර රැස් කොට නිදුක් වූ වාක්සංසංකාර රැස් කොට නිදුක් වූ මනඃසංස්කාර රැස්කොට නිදුක් ලොවට එළැඹෙයි. නිදුක් ලොවට එළැඹියා වූ තුලුහු නිදුක් විපාක ඇති ස්පර්ශයෝ පැහැසැගනිත්. හේ නිදුක් විපාක ඇති පහසින් පහස්නා ලද්දේ මැ ඒකාන්ත සුඛ වූ නිදුක් වේදනා විඳී. සුභකිණ්හ දෙවියන් සෙයිනි. පුණ්ණය, මෙසේ යථාභූත කර්ම හේතුයෙන් සත්ත්වයාගේ උප්පත්ති වෙයි. යමක් කෙරේ ද එ කර්ම හේතුයෙන් පරලොව එළැඹීම වෙයි. එළැඹුණු තුලුහු ස්පර්ශයෝ පැහැසැගනිත්. පුණ්ණය, මම මෙසෙයිනුදු ‘සත්ත්වයෝ කර්මය දායාද කොට ඇතියහ’ යි කියමි. පුණ්ණය, මෙය ශුක්ල වූ ශුක්ලවිපාක ඇති කර්මයැ’ යි කියනු ලැබේ.

පුණ්ණය, කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ලවිපාක ඇති කර්ම කවරෙ යැ යත්: පුණ්ණය, මෙලොව එකෙක් සදුඃඛ වූත් අදුඃඛ වූත් කායසංස්කාර රැස් කෙරෙයි. සදුඃඛ වූත් අදුඃඛ වූත් වාක්සංසංකාර රැස් කෙරෙයි, සදුඃඛ වූත් අදුඃඛ වූත් මනඃසංස්කාර රැස් කෙරෙයි. හෙ සදුඃඛ වූත් අදුඃඛ වූත් කායසංස්කාර රැස් කොට සදුඃඛ වූත් අදුඃඛ වූත් වාක් සංකාර රැස් කොට සදුඃඛ වූත් අදුඃඛ වූත් මනඃසංස්කාර රැස්කොට සදුඃඛ වූත් අදුඃඛ වූත් ලෝකයට එළැඹෙයි. සදුඃඛ වූත් අදුඃඛ වූත් ලෝකයට එළැඹියා වූ තුලුහු සදුඃඛ වූත් අදුඃඛ වූත් ස්පර්ශයෝ පැහැසැගනිත්. හෙ සදුඃඛ වූත් අදුඃඛ වූත් පහසින් පුස්නාලද්දේ මැ සුඛදුඃඛ මිශ්‍ර වූ සදුඃඛ වූත් අදුඃඛ වූත් වෙදනා විඳී. මිනිසුන් සෙයිනි. ඇතැම් දෙවියනුදු සෙයිනි. ඇතැම් විනිපාතිකයනුදු සෙයිනි. පුණ්ණය, මෙසේ යථාභූත කර්ම හෙතුයෙන් සත්ත්වයාගේ උපපත්ති වෙයි. යමක් කෙරේ ද ඒ කර්ම හෙතුයෙන් උපපත්ති වෙයි. උපපන්න වූ තුලුහු පහස්හු පැහැසැගනිත්. පුණ්ණය, මම මෙසෙයිනුදු ‘සත්ත්වයෝ කර්මය දායාද කොට ඇතියහ’ යි කියමි. පුණ්ණය, මෙය ‘කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති කර්ම යැ’ යි කියනු ලැබේ.

පුණ්ණය, කෘෂ්ණශුක්ල නො වූ අකෘෂ්ණශුක්ල විපාක ඇති කර්මක්ෂය පිණිස වැටෙන කර්ම කවරෙ යැ යත්: පුණ්ණය, එ ත්‍රිවිධ කර්මයන් කෙරෙහි කෘෂ්ණ වූ කෘෂ්ණවිපාක ඇති යම් කර්මයෙක් ඇද්ද ඒ කර්මයාගේ ප්‍රහාණය සඳහා යම් මාර්ගචෙතනායෙක් වී නම්, ශුක්ල වූ ශුක්ලවිපාක ඇති යම් කර්මයෙක් ඇද්ද ඒ කර්මයාගේ ප්‍රහාණය සඳහා යම් මාර්ගචෙතනායෙක් වී නම්, කෘෂ්ණශුක්ල වූ කෘෂ්ණශුක්ල විපාක ඇති යම් කර්මයෙක් ඇද්ද, ඒ කර්මයාගේ ප්‍රහාණය සඳහා යම් මාර්ගචේතනායෙක් වී නම්, පුණ්ණය, මෙය ‘කෘෂ්ණශුක්ල නො වූ අකෘෂ්ණශුක්ලවිපාක ඇති කර්මක්ෂය පිණිස වැටෙන කර්ම යැ’යි කියනු ලැබේ. පුණ්ණය, මේ සතර කර්මයෝ තමා විසින් මැ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට මා විසින් සුවිදිතයහ’යි වදාළෝ.

මෙසේ වදාළ කලැ ගෝවත ගත් කෝලියපුත් පුණ්ණ භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: වහන්ස, ඉමැනැවි, වහන්ස, ඉමැනැවි. වහන්ස, යම්සේ … භාග්‍යවතුන් වහන්සේ අද පටන් ඉදිරියෙහි දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට මා ධරණ සේක්වා. බලුතව ගත් සේනිය අචෙළක භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ: ‘වහන්ස, ඉතා මැනැවැ වහන්ස, ඉතා මැනැවැ, වහන්ස, යම් පරිදි … දෙසනලද ද. වහන්ස, තෙල මම භාග්‍යවතුන්වහන්සේ සරණ යෙමි. ධර්මය හා බික්සඟුනුදු සරණ යෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිද්ද ලැබෙම්වා. උපසම්පත් ලැබෙම්ව’යි කී.

සේනිය, අන්‍යතීර්ථක වූ යමෙක් මෙ සස්නෙහි පැවිදි උපසම්පත් රුස්නේ නම් හෙ සාරමසක් මුළුල්ලෙහි පිරිවෙස් පුරයි. සාරමසක්හුගේ ඇවෑමෙන් තුටුසිත් ඇති භික්‍ෂූහු (ඔහු) භික්‍ෂුභාවයට පැවැදි උපසපන් කෙරෙති. එතෙකුදු වත් මෙහි ලා මා විසින් පුද්ගලනානාත්වය දන්නා ලදැ’යි. වහන්ස, ඉදින් අන්‍යතීර්ථක වූවාහු මෙ සස්නෙහි පැවිදි උපසම්පත් කැමැති වැ සාරමසක් කල් පිරිවෙස් පුරත් ද, සාරමසක්හුගේ ඇවෑමෙන් සිත්ගත් භික්‍ෂූහු (ඔහු) භික්‍ෂුභාව පිණිස පැවිදි උපසපන් කෙරෙත් ද, මම සතර හවුරුද්දක් පිරිවෙස් පුරන්නෙමි. සතර හවුරුද්දක් ඇවෑමෙන් සිත්ගත් භික්‍ෂූහු (මා) භික්‍ෂුභාවය පිණිස පැවිදි උපසපන් කෙරෙත් වා’යි. කුක්කුරවතික සේනිය නුවට භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි ලද, උපසම්පත් ලදි. උපසම්පත් ලද නොබෝකල් ඇති ආයුෂ්මත් සේනිය එකලා වූයේ (වස්තු කාම ක්ලෙශකාමයෙන් ) වෙන් වූයේ (කමටහන්හි සිහි එළවමින්) අප්‍රමත්ත වූයේ කෙලෙස් තවන වැර ඇති වැ (කායජීවිත නිරපෙක්ෂ වැ) හරනලද ආත්මභාව ඇති වැ වාස කෙරෙමින් නොබෝකලෙකින් මැ යමක් සඳහා ආචාර කුලපුත්‍රයෝ මෙනොවට ගිහිගෙන් නික්ම සසුන් වදිත් ද, එ අනුත්තර වූ, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාගේ පර්‍ය්‍යවසානය වූ අර්හත්ඵලය ඉහාත්මයෙහි මැ තෙමේ අභිඥායෙන් සාක්ෂාත් කොට උපයා වාස කෙළේ යි. ජාතිය ක්ෂය වූ, බඹසර වැස නිමවන ලදි, කරණී කරන ලද, මෙ අර්‍හත්ඵලය පිණිස කළයුතු අන් කිසෙක් නැතැ’යි දත්තේ ය. ආයුෂ්මත් සෙනිය වැළිත් රහතුන් කෙරෙහි අන්‍යතරයෙක් වී.

සත්වැනි කුක්කුරවතිය සූත්‍රය නිමියේය.