ජීවක සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මජ්ඣිමපණ්ණාසකයෙහි 

පලමු වැනි වූ ගහපති වර්ගය 

2.1.5

ජීවක සූත්‍රය 

මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කෞමාරභෘත්‍ය ජීවකයන්ගේ අඹවන උයන්හි ව වැඩවසනසේක. එකල්හි කෞමාරභෘත්‍ය ජීවක භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ වැඳ එකත්පස්වැ හින. එකත්පස්වැ හුන් කෞමාරභෘත්‍ය ජීවක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කෙළෙ:

වහන්ස, මා විසින් තෙල අසන ලද, ශ්‍රමණ ගෞතමයන් උදෙසා ප්‍රාණවධ කෙරෙති. ශ්‍රමණ ගෞතමයෝ දැන දැන උදෙසා කරනලද තමන් පිණිස කරණලද මාංසය වළඳන්නාහ’ යි. වහන්ස, යම් කෙනෙක් මෙසේ කීහු ද: “ශ්‍රමණ ගෞතමයන් උදෙසා ප්‍රාණවධ කෙරෙති. ශ්‍රමණ ගෞතමයෝ උදෙසා කරනලද තමන් පිණිස කරනලද ඒ මාංසය දැන දැන වළඳන්නාහ’ යි. කිමෙක වහන්ස, ඔවුහු භාග්‍යවතුන් විසින් වදාළ දැය කියන්නාහු ද? භාග්‍යවතුන්, අභූතයෙන්, නො ද අභ්‍යාඛ්‍යාන කෙරෙත් ද? භාග්‍යවතුන් වදාළ කාරණයට අනුව ප්‍රකාශ කෙරෙත් ද? සකාරණ වූ (නුඹ වහන්සේගේ) කිසි වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණකට නො ද පැමිණේ දැ? යි.

ජීවකය, යම් කෙනෙක් මෙසේ කීහු නම්: ශ්‍රමණ ගෞතමයන් උදෙසා ප්‍රාණඝාත කෙරෙති. ශ්‍රමණ ගෞතමයන් උදෙසා කරනලද තමන් පිණිස කරණ ලද ඒ මාංසය දැන දැන වළඳන්නාහ’යි. ඔහු මා විසින් කියන ලද්ද කියන්නාහු නො වෙති. යළි ඔහු මට අසත්‍ය වූ අභුතයෙන් අභ්‍යාඛ්‍යාන කෙරෙති. ජීවකය, මම කරුණු තුනෙකින් මාංසය පරිභොගාර්‍ග නො වේ යයි කියමි. දක්නාලද්දේ යැ අසනාලද්දේ යැ සැක කරනලද්දේ යැ යනුයි. ජීවකය, මම මේ කරුණු තුනින් මාංසය පරිභෝග නො කටයුතු යයි කියමි. ජීවකය, මම කරුණු තුනෙකින් (පරිශුද්ධ වූ) මාංසය වැළඳියයුතු යයි කියමි: නො දක්නාලද්දෙ යැ නො අසන ලද්දෙ යැ සැක නො කරන ලද්දෙ යැ යනු යි. ජීවකය, මම මෙ කරුණු තුනින් (පරිශුද්ධ වූ) මාංසය වැළඳියයුතු යයි කියමි.

ජීවකය, මෙ සස්නෙහි මහණෙක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වාස කෙරෙයි. හේ මෙත් සහගිය සිතින් එක් දිගක් පැහැස විහරණ කෙරෙයි. එසෙයින් මැ දෙවැනි දිග ද එසෙයින් මැ තෙවනි දිග ද එසෙයින් මැ හතරවන දිග දැයි මෙසේ උඩ යට සරස හැම තැන සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාපාද වූ මෙත් සහගිය සිතින් පැහැසැගෙන විහාර කෙරෙයි. තුලුන් කරා ගැහැවියෙක් හෝ ගැහැවිදරුවෙක් හෝ එළඹ සෙට බතින් නිමන්ත්‍රණ කෙරෙයි. ජීවකය, ඒ මහණ කැමැත්තේ මැ අධිවාසනා කෙරෙයි. හෙ එ රැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන එ ගැහැවියාගේ හෝ ගැහැවි දරුවාගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැනවූ අස්නෙහි හිඳියි. එ ගැහැවියා හෝ ගැහැවිදරුවා හෝ තුලුන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් වළඳවයි. උහුට මෙවන් සිතෙක් නො වෙයි: ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවා නම් මැනැවැ.’ ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ මතුයෙහි මෙවන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් මනා මැ නු’ යි. මෙ බඳු සිතෙකුදු නො වෙයි. හේ ඒ පිණඩපාතය ග්‍රථිත නො වී මූර්ඡිත නො වී නො ගිජු වී ආදීනව දක්නාසුලු වැ නිස්සරණ ප්‍රඥා ඇති වැ වළඳ කෙරෙයි. ජීවකය, එ කිමැ’යි හඟිහි එ මහණ එ සමයෙහි ආත්මව්‍යාබාධය පිණිස හෝ සිතන්නේවේ ද? පරව්‍යාබාධය පිණිස හෝ සිතන්නේ වේ ද? (මෙසේ ) උභයව්‍යබාධය පිණිස හෝ සිතන්නේ වේ ද? වහන්ස, තෙල නො වේ මැ යැ. ජීවකය, මහණ එ සමයෙහි අනවද්‍ය වූ මැ අහර වළඳන්නේ නො1 වහන්ස, එසේ යැ. වහන්ස, බ්‍රහ්ම තෙම මෛත්‍රීවිහාර ඇතියෙකැ’යි තෙල මා විසින් අසනලදි. වහන්ස, ඒ ශ්‍රැතය නම් මා විසින් භාග්‍යවතුන් වහන්සේ සාක්ෂ්‍යවශයෙන් දක්නාලදහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි මෛත්‍රීවිහරණ ඇතිසේක. ජීවකය, යම් රාගයෙකින් යම් ද්වෙෂයකින් යම් මෝහයෙකින් ව්‍යාපාද ඇතියෙක් වේ ද එ රාගය එ ද්වෙෂය එ මෝහය තථාගතයන්හට පුහුන් වේ, උසුන්මුල් වේ, මුදුන්සුන් තලක් සෙයින් අවස්තුක කරන ලද වේ. කළ අභාව ඇති වේ. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියනලද නම් තාගේ තෙල බස් අනුදනිමි’යි. වහන්ස, තෙල සඳහා මැ මා විසින් කියනලදැ’යි.

ජීවකය, මෙ සස්නෙහි මහණෙක් ගමක් හෝ නියම්ගමක් හෝ ඇසිරි කොට වාස කෙරේ ද, හේ එ කරුණා සහගත සිතින් … මුදිතා සහගත සිතින් … උපේක්ෂා සහගත සිතින් එක් දිගක් පැහැසැගෙන විහරණ කෙරෙයි. එසෙයින් මැ දෙවැනි දිග ද එසෙයින් මැ තෙවනි දිග ද එසෙයින් මැ සතරවන දිග දැ’යි මෙසේ උඩ යට සරස හැමතැන සර්‍වාත්මතායෙන් සකල ලෝකය විපුල මහද්ගත අප්‍රමාණ අවෛර අව්‍යාබාධ වූ උපෙක්ෂා සහගත සිතින් පැහැසැගෙන විහරණය කෙරෙයි. ගැහැවියෙක් හෝ ගැහැවිදරුවෙක් හෝ තුලුන් කරා එළඹ සෙට බතින් නිමන්ත්‍රණ කෙරෙයි. ජීවකය, ඒ මහණ කැමැතියේ මැ අධිවාසනා කෙරෙයි. හෙ එ රැය ඇවෑමෙන් පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන එ ගැහැවිහුගේ හෝ ගැහැවිදරුහුගේ ගේ හෝ නිවෙස්න කරා එළඹෙයි. එළඹ පැනවූ අස්නෙහි හිඳියි. එ ගැහැවි හෝ ගැහැවිදරු හෝ තුලුන් ප්‍රණීත පිණ්ඩපාතයෙන් වළඳවයි. එ මහණහට මෙ බඳු සිතෙක් නො වෙයි. ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවා නම් මැනැවැ’ කියායි. ‘මෙ ගැහැවි හෝ ගැහැවිදරු හෝ මතුයෙහි මෙ බඳු ප්‍රණීත පිණ්ඩපාතයෙන් මා වළඳවන්නේ නම් මනා මැ නු’ යි. උහුට මෙ බඳු සිතෙක් ද නො වෙයි. හෙ එ පිණ්ඩපාතය තෘෂ්ණායෙන් ග්‍රථිත නො වී තෘෂ්ණාමූර්ජායෙන් මුර්ජිත නො වී (එකවට ගලනු කැමැතියක්හු සෙයින්) නො ගිජු වී දොෂ දක්නාසුලු වී (මේ සඳහා යැ ආහාරපරිභෝගය යි ප්‍රඥායෙන් පිරිසිඳීමෙන්) නිස්සරණ ප්‍රඥා ඇති වැ වළඳ කෙරෙයි. ජීවකය, එ කිමැ’යි හඟිහි එ මහණ එ සමයෙහි ආතමව්‍යාබෝධය පිණිස හෝ සිතන්නේ වේ ද, පරව්‍යාබෝධය පිණිස හෝ සිතන්නේ වේ ද, උභයව්‍යබෝධය පිණිස හෝ සිතන්නේ වේ ද’යි. වහන්ස, තෙල නො වේ මැ යි. ජීවකය, එ මහණ එ සමයෙහි අනවද්‍ය වූ මැ අහර වළඳන්නේ නො? වහන්ස, එසේ යැ. වහන්ස, තෙල මා විසින් අසනලද: ‘බ්‍රහ්ම උපෙක්ෂාවිහරණ ඇතියෙකැ’යි. වහන්ස, ඒ ශ්‍රැතය නම් මාවිසින් භාග්‍යවතුන් වහන්සේ සාක්ෂ්‍යවශයෙන් දක්නාලදහ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි උපෙක්ෂාවිහරණ ඇති සේකැ’යි ජීවකය, යම් රාගයෙකින් යම් ද්වෙෂයකින් යම් මොහයෙකින් විහෙස ඇති හෝ වේ ද, අරති ඇති හෝ වේ ද, ප්‍රතිඝ ඇති හෝ වේ ද එ රාගය එ ද්වේෂය එ මොහය තථාගතයන්හට ප්‍රහීණ වෙයි. උසුන්මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක භාව ඇති වෙයි. කළ අභාව ඇති වෙයි. මතුයෙහි නූපදනා සැහැවි ඇති වේ. ජීවකය, ඉදින් තා විසින් මේ සඳහා කියනලද නම් තාගේ තෙල බස් අනුදන්මි’යි. වහන්ස, මා විසින් තෙල සඳහා මැ කියනලදි.

ජීවකය, තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු හෝ උදෙසා පණ නසා ද හේ කරුණු පසෙකින් බොහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයකින් හේ මෙසේ බෙණේ ද: ‘යව. අසෝ නම් ප්‍රාණියා ගෙනෙව’යි. මේ (ආණත්ති සඞ්ඛ්‍යාත) පළමුවන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයකින් එ ප්‍රාණියා වෙවුළන ගෙලෙන් ගෙනඑනු ලබනුයේ දුක්දොම්නස් විඳුනේ වේ ද, මෙ දෙවන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයෙකින් හේ මෙසේ බෙණේ ද: යව ‘මේ ප්‍රාණියා නසව’යි. මෙ තුන්වන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයෙකින් ඒ ප්‍රාණියා මරනුලබනුයේ දුක්දොම්නස් විඳුනේ වේ ද, මෙ සතරවන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. යම් හෙයෙකින් හෙ තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු හෝ නො කැප මසින් ඝටා බෙණේ ද මෙ පස්වන කරුණින් බෙහෝ පව් රැස් කෙරෙයි. ජීවකය, යමෙක් තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකයකු උදෙසා පණ නසා ද හේ මෙ පස් කරුණින් බෙහෝ පව් රැස් කෙරෙ යයි.

මෙසේ වදාළ කල්හි කෝමාරභච්ච ජීවක තෙල සැල කෙළෙ: වහන්ස, අසිරි යැ. වහන්ස, අද්භූත යැ. වහන්ස, භික්ෂූහු ඒකාන්තයෙන් කැප අහර වළඳ කෙරෙති. වහන්ස, භික්ෂූහු ඒකාන්තයෙන් අනවද්‍ය අහර වළඳ කෙරෙති. වහන්ස, ඉතා මැනැවැ … භාග්‍යවතුන් වහන්ස, මා අද පටන් කොට දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු කොට ධරනසේක්ව’යි.

 

පස් වැනි වූ ජීවක  සූත්‍රය නිමියේ ය.