සුත්රාන්තපිටකයෙහි
සංයුත්තනිකාය
ද්විතීය භාගය
නිදානවර්ගය
1. අභිසමය සංයුත්තය
5.ගහපති වර්ගය
1.5.10
දෙවැනි අරියසාවක සූත්රය
50. සැවැත්නුවර -
මහණෙනි, ශ්රැතවත් ආර්ය්යශ්රාවකයාහට “කිම, කුමක් ඇති කල්හි කිමෙක් වේ ද, කුමක් ඉපදීමෙන් කිමෙක් උපදී ද, කුමක් ඇති කල්හි සංස්කාරයෝ වෙත් ද, කුමක් ඇති කල්හි විඥානය වේ ද, කුමක් ඇති කල්හි නාමරූප වේ ද, කුමක් ඇති කල්හි ෂඩායතන වේ ද, කුමක් ඇති කල්හි ස්පර්ශය වේ ද, කුමක් ඇති කල්හි වේදනාව වේ ද, කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද, කුමක් ඇති කල්හි උපාදාන වේ ද, කුමක් ඇති කල්හි භවය වේ ද, කුමක් ඇති කල්හි ජාතිය වේ ද, කුමක් ඇති කල්හි ජරාමරණ වේ දැ”යි මෙබඳු සිතෙක් නො වේ.
වැලිදු මහණෙනි, ශ්රැතවත් ආර්ය්යශ්රාවකයාහට “මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. අවිද්යාව ඇති කල්හි සංස්කාරයෝ වෙති. සංස්කාර ඇති කල්හි විඥානය වේ. විඥානය ඇති කල්හි නාමරූප වේ. නාමරූප ඇති කල්හි ෂඩායතන වේ. ෂඩායතන ඇති කල්හි ස්පර්ශය වේ. ස්පර්ශය ඇති කල්හි වේදනාව වේ. වේදනාව ඇති කල්හි තෘෂ්ණාව වේ. තෘෂණාව ඇති කල්හි උපාදාන වේ. උපාදාන ඇති කල්හි භවය වේ. භවය ඇති කල්හි ජාතිය වේ. ජාතිය ඇති කල්හි ජරාමරණ වෙයි” යන මෙහි ලා පරප්රත්යය රහිත ව ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙලෙසින් හටගණී ය”යි මෙසේ දැන ගණී.
මහණෙනි, ශ්රැතවත් ආර්ය්යශ්රාවකයාහට “කිමෙක් ද, කුමක් නැති කල්හි කිමෙක් නො වේ ද, කුමක් නිරුද්ධවීමෙන් කිමෙක් නිරුද්ධ වේ ද, කුමක් නැති කල්හි සංස්කාරයෝ නො වෙත් ද, කුමක් නැති කල්හි විඥානය නො වේ ද, කුමක් නැති කල්හි ජරාමරණ නො වේ දැ”යි මෙබඳු සිතෙක් නො වේ.
මහණෙනි, වැලිදු ශ්රැතවත් ආර්ය්යශ්රාවකයාහට “මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ. අවිද්යාව නැති කල්හි සංස්කාරයෝ නො වෙත්. සංස්කාර නැති කල්හි විඥානය නො වේ. විඥානය නැති කල්හි නාමරූප නො වේ ... ජාතිය නැති කල්හි ජරාමරණ නො වේ”යි යන මෙහි ලා පරප්රත්යය රහිත ව ම දැනීම වෙයි. හෙතෙමේ “මේ ලෝකය මෙලෙසින් නිරුද්ධ වේ ය” යි මෙසේ දැන ගණී.
මහණෙනි, යම් කලෙක ආර්ය්යශ්රාවක තෙමේ මෙසේ ලෝකයේ හටගැණීමත් නැතිවීමත් තතු සේ දැන ගණී ද, මහණෙනි, මේ ආර්ය්යශ්රාවක තෙමේ දෘෂ්ටිසම්පන්නයයි ද, දර්ශනසම්පන්න යයි ද, මේ සද්ධර්මයට පැමිණියේ යයි ද, මේ සද්ධර්මය දකී යයි ද, ශෛක්ෂඥානයෙන් සමන්වාගත යයි ද, ශෛක්ෂවිද්යාවෙන් සමන්වාගත ය යි ද, ධර්මෙස්රොතසට පැමිණියේ ය යි ද, ආර්ය්ය වු නිර්වෙධකප්රඥා ඇත්තේ ය යි ද, අමාදොරට හැපී සිටී ය යි ද කියනු ලැබේ.
දස වැනි වූදෙවැනි අරියසාවක සූත්රය නිමියේය.
ගහපති වර්ගය පස්වැනි යි.
එහි උද්දානය:
පඤ්චවෙරභය සූත්ර දෙකක් කියන ලදී. දුක්ඛ, ලෝක, ඤාතික, අඤ්ඤතර, ජානුස්සොණි සූත්ර ද, අටවැනි ලොකායතික සූත්රය ද, අරියසාවක සූත්ර දෙක ද කියන ලදහ. එයින් වර්ග ය කියනු ලැබේ.