පෝතලිය සූත්‍රය

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මජ්ඣිමපණ්ණාසකයෙහි 

පලමු වැනි වූ ගහපති වර්ගය 

2.1.4

පෝතලිය සූත්‍රය  

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ අඬ්ගුත්තරාප ජනපදයෙහි ආපණ නම් අඬ්ගුත්තරාප නිගමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරව පාසිවුරු ගෙන ආපණයට පිඬු පිණිස පිවිසිසේක. ආපණයෙහි පිඬු සිඟා වැඩ පසුබත්හි පිණ්ඩපාතයෙන් වැළැකුණාහු දිවා විහරණය සඳහා එක්තරා වන ලැහැබක් කරා එළැඹි සේක. ඒ වන ළැහැබට ඇතුළු වැ අන්‍යතර වෘක්ෂ මූලයෙක්හි දිවාවිහරණයට වැඩහුන්සේක.

පෝතලිය නම් ගැහැවි ද පිරිපුන් සඳහා පෙරොනා ඇතියේ සතක් ගෙන වහන් නැඟී ජඬ්ඝාවිහරණයෙහි ඔබිනොබැ හැසිරෙනුයේ සක්මන් කරනුයේ ඒ වනළැහැබ කරා එළැඹියේ යැ. ඒ වන ළැහැබට ඇතුළු වැ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු විය. සතුටු වියැයුතු සිහිකළයුතු කථාව කොට නිමවා එකත්පස් වැ සිටියේ ය. එකත්පස් වැ සිටි පෝතලිය ගැහැවි හට බුදුහු තෙල වදාළහ: ‘ගැහැවිය අසුන් ඇත. ඉදින් රිසියෙහි නම් හිඳුව’ යි මෙසේ වදාළ කල්හි පෝතිලය ගැහැවි ‘ශ්‍රමණ ගෞතමයෝ මට ‘ගහපති’ යන බසින් වහරති’ කිපියේ නො සතුටු වූයේ තූෂ්නිම්භූත වී. දෙවනවට දු භාග්‍යවත්හු පෝතලිය ගෘහපති හට තෙල වදාළහ: “ගැහැවිය අසුන් ඇත. ඉදින් රිසියෙහි නම් හිඳුව” යි දෙවනවට දු පෝතිලය ගැහැවි ශ්‍රමණ ගෞතමයෝ මා ‘ගහපති’ යන බසින් වහරති’ යි කිපියේ නො සතුටු වූයේ තූෂ්නිම්භූත වී. තෙවනවට දු භාග්‍යවත්හු පෝතලිය ගෘහපති හට තෙල වදාළහ: ‘ගැහැවිය’ අසුන් ඇත. ඉදින් කැමැත හිඳුව’ යි. මෙසේ වදාල කල්හි පෝතිලය ගැහැවි ශ්‍රමණ ගෞතමයෝ මා ‘ගහපති’ යන බසින් වහරති’ යි කිපියේ නො සතුටු වූයේ භාග්‍යවතුන් වහන්සේට තෙල කී: ‘භවත් ගෞතමයෙනි, යම් හෙයකින් තෙපි මට ‘ගහපති’ යන බසින් ව්‍යවහාර කරහු ද, එ බස් නො නිස්ස. එ බස් නො සරුප්යැ’යි.

ගැහැවිය, තොපගේ ඒ ආකාරයෝ ඒ ලිඬ්ගයෝ ඒ නිමිත්තයෝ ගැහැවියක්හු ගේ යම් සේ ද එමෙනි. එසේ වතුදු භවත් ගෞතමයෙනි, මා විසින් හැම කර්මාන්තයෝ බහා තබන ලදහ. හැම ව්‍යවහාරයෝ සමුච්ඡින්න වූහ’යි. ගැහැවිය, තොප විසින් කවරපරිද්දෙකින් සියලු කර්මාන්තයෝ ප්‍රතික්‍ෂිප්ත වූවාහු සියලු ව්‍යවහාරයෝ සමුච්ඡින්න වූවාහ දැ’යි. ‘භවත් ගෞතමයෙනි, මෙහි මට යම් ධනයෙක් හෝ ධාන්‍යයෙක් හෝ රජතයෙක් හෝ ජාත රූපයෙක් හෝ වී ද, ඒ හැම පුතුනට දායාද්‍ය කොට දෙනලද, එහි මම් අවවාද නො කරනුයෙම් උපවාද නො කරනුයෙම් අසන වසන (කෑම් හැඳීම්) මතුවක් පරම කොට ඇතියෙම් වෙසෙමි. භවත් ගෞතමයෙනි, මෙසේ මා විසින් සියලු කර්‍මාන්තයෝ ප්‍රතික්‍ෂිප්තයහ. සියලු ව්‍යවහාරයෝ සමුච්ඡින්න වූහ’යි.

‘ගැහැවිය, තෙපි අන් පරිද්දෙකින් ව්‍යවහාර සමුච්ඡෙදය කියහු, එතෙකුදු වත් ආය්‍යර්‍ විනයෙහි අන් පරිද්දෙකින් ව්‍යවහාර සමුච්ඡෙදය වේ යැ’යි. ‘වහන්ස, ආය්‍යර්‍ විනයෙහි කිසෙයින් ව්‍යවහාර සමුච්ඡෙදය වේ ද? මැනැව වහන්ස, යම්පරිදි ආය්‍යර්‍ විනයෙහි කිසෙයින් ව්‍යවහාරසමුච්ඡෙදය වේ නම්, මට භාග්‍යවත්හු එපරිදි දහම් දෙසනසේක්ව’යි. එහෙයින් ගැහැවිය, අසව, මනාකොට මෙනෙහි කරව, කියමි’යි. ‘එසේ යැ, වහන්සැ’යි පොතලිය ගෘහපති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දින. භාග්‍යවත්හු තෙල වදාළසේක.

ගැහැවිය, මේ අට දහම් කෙනෙක් ආය්‍යර්‍ විනයෙහි ව්‍යවහාර සමුච්ඡෙදය පිණිස පවත්නාහ. කවර අටදෙනෙකෙ යත්: ප්‍රාණවධ නො කරනු නිසා ප්‍රාණඝාතය හළයුතු යැ, දුන් දෑ ගැනීම නිසා අයිනාදන් හළයුතු යැ, සබසව නිසා මුසාව හළයුතු යැ, නො පිසිනුබස් නිසා පිසුනු බස් හළයුතු යැ, අගිද්ධිලොභය නිසා ගෙධසඞ්ඛ්‍යාතලොභය හළයුතු යැ, අනින්දාරොසය නිසා නින්දා ගැටීම හළයුතු යැ, අකොධූපායාසය නිසා ක්‍රොධ උපායාස හළයුතු යැ, අනතිමානය නිසා අතිමානය හළයුතු යැ, ගැහැවිය, (මා විසින්) සැකෙවින් කියන ලද විස්තර විසින් විභාග නො කළ මේ අටදහම්හු ආය්‍යර්‍ විනයෙහි ව්‍යවහාරසමුච්ඡෙදය පිණිස පවත්නාහ.

වහන්ස, භගවත්හු විසින් සැකෙවින් වදාරනලද විස්තරයෙන් විභාග නො කළ යම් අෂ්ටධර්‍ම කෙනෙක් ආය්‍යර්‍ විනයෙහි ව්‍යවහාරසමුච්ඡෙදය පිණිස පවත්නාහු ද, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ අෂ්ට ධර්‍ම විස්තර විසින් අනුකම්පා පිණිස විභාග කරනසේක්ව’යි. ගැහැවිය, එසේ වී නම් අසව, මොනවට මෙනෙහි කරව. කියන්නෙමි’යි. ‘එසේ යැ වහන්සැ’යි පොතලිය ගෘහපති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්විය. භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළසේක.

‘ප්‍රාණවධ නො කරනු නිසා ප්‍රාණඝාතය හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. මේ කුමක් පිණිස කියනලද ද යත්: ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි: “මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ‘පාණාතිපාතී’ වෙම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡෙදය පිණිස පිළිපන්මි. මම් වැළිත් පාණාතිපාතතී වෙම් නම් තෙමේත් මට ප්‍රාණවධ හේතුයෙන් නුගුණ කියන්නේ යැ. නුවණැත්තාහු දැන ප්‍රාණවධ හේතුයෙන් නිගා කරන්නාහු යැ. ප්‍රාණවධ හේතුයෙන් කාබුන් මරණින් මතු දුගතිය කැමැති වියයුත්තී යැ. යළි යම් ප්‍රාණවධයෙක් වේ ද මෙය මැ සංයෝජන යැ. මෙය නීවරණ යි. ප්‍රාණඝාත ප්‍රත්‍යයෙන් දුඃඛපරිදාහ ඇති යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් ප්‍රණඝාතයෙන් වෙන් වූනහුට මෙසේ ඒ විඝාතපරිදාහ වූ ආස්‍රවයෝ නොවෙති. ‘ප්‍රාණවධ නො කරනු නිසා ප්‍රාණඝාතය හළයුතු’ යයි මෙසේ තෙල සඳහා කියනලදි.

‘දුන් දැය ගනු නිසා අයිනාදන් හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. තෙල කුමක් කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: “මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ‘අදින්නාදායී’ වෙම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡෙදය පිණිස පිළිපන්මි. මම් වැළිත් අදින්නාදායී වෙම් නම් අදින්නාදාන ප්‍රත්‍යයෙන් තෙමේත් මට දොස් කියන්නේ යැ. නුවණැත්තාහු දැන අදින්නාදාන ප්‍රත්‍යයෙන් නිගා කරන්නාහ. අදින්නාදාන ප්‍රත්‍යයෙන් කාබුන් මරණින් මතු දුගතිය කැමැති වියයුත්තී යැ. යළි යම් අදින්නාදානයෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. අදින්නාදාන ප්‍රත්‍යයෙන් දුක්තැවුලි උපදවන යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් අදින්නාදානයෙන් වෙන් වූවහුට මෙසේ ඒ දුක්තැවුලි උපදවන ඒ ආස්‍රවයෝ නො වෙත්, ‘දුන් දැය ගනු නිසා අයිනාදන් හළයුතු’ යයි මෙසේ යමක් කියනලද ද මේ තෙල සඳහා කියනලදි.

‘සබසව නිසා මුසාව හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ‘ගැහැවිය’ මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ‘මුසාවාදී’ වෙම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡෙදය පිණිස පිළිපන්මි. මම් වැළිත් මුසාවාදී වෙම් නම් මුසවා හේතුයෙන් තෙමේත් මට දොස් කියන්නේ යැ. මුසවා හේතුයෙන් විඥයෝ දැන නිගා කරන්නාහ. මුසවා හේතුයෙන් කාබුන් මරණින් මතු දුගතිය කැමැති වියයුත්තී යැ. යළි යම් මුසවායෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. මුසාවාද ප්‍රත්‍යයෙන් විඝාත පරිදාහකර යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් මුසාවාදයෙන් වෙන් වූවහුට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්, ‘සබසව නිසා මුසවා හළයුතු’ යයි මෙසේ යම් කරුණක් කියනලද ද මේ තෙල සඳහා කියනලදි.

 ‘නො පිසිනුබස් නිසා පිසුනුබස් හළයුතු’ යයි මෙසේ තෙල කියනලද. තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට පිසුනුබස් ඇතියෙම් වීම් ද මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡෙදය පිණිස පිළිපන්මි. යළිදු මම පිසුනුබස් ඇතියෙම් නම් පිසුනුබස් හේතුයෙන් තෙමේත් මට දොස් කියන්නේ යැ. විඥයෝ දැන පිසුනුබස් හේතුයෙන් ගරහන්නාහු යැ. පිසුනුබස් හේතුයෙන් කාබුන් මරණින් මතු දුර්ගති කැමැති වියයුත්තී යැ. යළි යම්, පිසුනුබසෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ. මෙය මැ නීවරණ යි. පිසුනුබස් හේතුයෙන් විඝාතපරිළාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් පිසුනුබසින් වැළකුණහුට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්, ‘නො පිසිනුබස් නිසා පිසුනු බස්හළයුතු’ යයි යම් කරුණක් කියනලද නම් මේ තෙල කරුණු සඳහා කියනලදි.

‘අගිද්ධිලෝභය නිසා ගෙධ සඞ්ඛ්‍යාත ලෝභය හළයුතු’ යයි, මෙසේ තෙල කියනලද ද, තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට ගෙධ සඞ්ඛ්‍යාත ලෝභ ඇති වීම් නම් මම ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡෙදය පිණිස පිළිපන්මි. යළි මම ගෙධ ලෝභ ඇති වීම් නම් ගිද්ධිලෝභ හේතුයෙන් තෙමේත් මට දොස් කියන්නේ යැ. විඥයෝ දැන ගිද්ධිලෝභ හේතුයෙන් ගරහන්නාහු යැ. කාබුන් මරණින් මතුයෙහි ගිද්ධිලෝභ හේතුයෙන් දුර්ගති කැමැති වියයුත්තී යැ. තවද යම්, ගිද්ධිලෝභයෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. ගිද්ධිලෝභ හේතුයෙන් විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු නම් ගිද්ධිලෝභ රහිත වූවහුට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්, ‘ගිද්ධිලෝභය නිසා ගෙධසඞ්ඛ්‍යාත ලෝභය හළයුතු’ යයි යමක් කියනලද ද, මේ තෙල කරුණ පිණිස කියනලදි.

අනින්දාරෝෂය නිසා නින්දාගැටුම හළයුතු යයි මෙසේ තෙල කියනලද ද. තෙල කුමක් සඳහා කියනලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: ‘මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට නින්දාරෝෂ ඇති වීම් නම් මම ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡෙදය පිණිස පිළිපන්මි. යළිදු මම නින්දාරෝෂ ඇති වීම් නම් තෙමේත් මට නින්දාරෝෂ ප්‍රත්‍යෙයන් උපවාද කරන්නේ යැ. විඥයෝ දැන නින්දාරෝෂ හේතුයෙන් ගරහන්නාහු යැ. නින්දාරෝෂ හේතුයෙන් කාබුන් මරණින් මතු දුර්ගති කැමැති වියයුත්තී යැ. යළි යම් නින්දාරෝෂයෙක් ඇද්ද, මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. නින්දාරෝෂ හේතුයෙන් විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු ද නින්දාරෝෂ නැත්තහුට මෙසේ ඒ විඝාතපරිදාහකර වූ ආස්‍රවයෝ නො වෙත්. ‘අනින්දාරෝෂය නිසා නින්දාරෝෂය හළයුතු යයි මෙසේ යමක් කියනලද ද, මෙය තෙල කරුණ සඳහා කියන ලද.

‘අකෝධූපායාසය නිසා කෝධූපායාසය හළයුතු යයි මෙසේ තෙල කරුණ කියනලද. තෙල කුමක් සඳහා කියන ලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: ‘මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට කෝධූපායාසය ඇති වීම් නම් මම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡෙදය පිණිස පිළිපන්මි. මම් වැළිත් කෝධූපායාස ඇති වීම් නම් තෙමේත් මට කෝධූපායාස හේතුයෙන් උපවාද කරන්නේ යැ. විඥයෝ දැන කෝධූපායාස හේතුයෙන් නිගා කරන්නාහු යැ. කෝධූපායාසය හේතුයෙන් කාබුන් මරණින් මතු දුර්ගති කැමැති වියයුත්තී යැ. වැළිදු යම් කෝධූපායාසයෙක් ඇද්ද මෙය මැ සංයෝජන යැ මෙ නීවරණ යි. ‘කෝධූපායාසය හේතුයෙන් විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු ද කෝධූපායාසය රහිත වූවහුට මෙසේ ඒ විඝාතපරිදාහකර වූ ආස්‍රවයෝ නො වෙත්. අකෝධූපායාසය නිසා කෝධූපායාසය හළයුතු’ යයි මෙසේ යමක් කියනලද ද, මෙ කරුණ තෙල සඳහා කියන ලදි.

‘අනතිමානය නිසා අතිමානය හළයුතු යයි යමක් මෙසේ කියන ලද ද. තෙල කුමක් සඳහා කියන ලද යැ යත්: ‘ගැහැවිය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: ‘මම් යම් සංයෝජන කෙනෙකුන් හේතු කොට අතිමාන ඇති වීම් නම් ඒ සංයෝජනයන්ගේ ප්‍රහාණය පිණිස සමුච්ඡෙදය පිණිස පිළිපන්මි. මම වැළිත් අතිමාන ඇති වීම් නම් තෙමේත් මට අතිමාන හේතුයෙන් උපවාද කරන්නේ යැ. විඥයෝ දැන අතිමානය හේතුයෙන් ගරහන්නාහු, යැ. අතිමානය හේතුයෙන් කාබුන් මරණින් මතු දුර්ගති කැමැති වියයුත්තී යැ. වැළිදු යම් අතිමානයයෙක් ඇද්ද, මෙය මැ සංයෝජන යැ. මෙ නීවරණ යි. අතිමාන හේතුයෙන් විඝාතපරිදාහකර වූ යම් ආස්‍රව කෙනෙක් උපදනාහු ද අතිමාන නැත්තහුට මෙසේ ඒ විඝාතපරිදාහකර ආස්‍රවයෝ නො වෙත්. අනතිමානය නිසා අතිමානය හළයුතු යයි මෙසේ යමක් කියනලද ද, මෙ කරුණ තෙල සඳහා කියන ලදි.

ගැහැවිය, ආය්‍යර්‍ විනයෙහි යම් ධර්‍ම කෙනෙක් ව්‍යවහාර සමුච්ඡෙදය පිණිස පවත්නාහු ද මේ අෂ්ට ධර්‍මයෝ සැකවින් කියන ලද්දහු විස්තරයෙන් විභක්ත වූවාහු වෙති. එතෙකුදු වත් ආය්‍යර්‍ විනයෙහි සියල්ලෙන් සියල්ල සර්වථායෙන් සියල්ල ව්‍යවහාරසමුච්ඡෙදය නො මැ වේ යයි. වහන්ස, ආය්‍යර්‍ විනයෙහි සියල්ලෙන් සියල්ල සර්වථායෙන් සියල්ල කවර පරිද්දෙකින් ව්‍යවහාරසමුච්ඡෙදය වේ ද: මැනැව වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි ආය්‍යර්‍ විනයෙහි සියල්ලෙන් සියල්ල සර්වථායෙන් සියල්ල ව්‍යවහාරසමුච්ඡෙදය වේ ද එ පරිද්දෙන් දහම් දෙසනසේක්වා යි, එසේ නම් ගැහැවිය, අසව මොනවට මෙනෙහි කරව. කියන්නෙමි යි. ‘එසේ යැ වහන්සැ’ යි පොතලිය ගෘහපති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්විය. භාග්‍යවත්හු තෙල වදාළ සේක.

යම් පරිදි ගැහැවිය, බඩසා දුබල බැවින් පෙළුණු සුනඛයෙක් ගවයන් නසන වධස්ථායට පැමිණියේ වෙයි. ඔහුට දක්ෂ වූ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක අතවැසියෙක් හෝ මොනවට මස් ලියන ලද, මස් රහිත වූ ලෙහෙයෙන් වැකුණු ඇටසැකිල්ලක් දමන්නේ යැ. ගැහැවිය, ඒ කිමැයි සිතව. ඒ කුක්කුරයා මොනවට ලියන ලද මස් රහිත වූ ලෙහෙයෙන් වැකුණු ඇටසැකිල්ල ‍ලෙවකන්නේ බඩසා දුබල බැව් නසන්නේදැ යි, වහන්ස, තෙල නො වේ මැ යි. එ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයකින් තෙල ඇටසැකිල්ල මොනවට මස් ලියන ලද මස් රහිත වූ යේ ද ලෙහෙයෙන් වැකුණේ ද එහෙයිනි. යළි ඒ කුක්කුරයා ක්ලමථයට මැ වෙහෙසට මැ හිමි වන්නේ යයි. එසෙයින් මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, දැඩි ආයාස ඇත්තාහ. මෙහි බොහෝ ආදීනව ඇතැ’යි වදාරන ලද. මෙසේ තෙල කාමය යථාභූත වැ සම්‍යග්ඥානයෙන් දැක යම් මේ උපේක්‍ෂාවක් නානා ස්වභාව වූ ද නානා අරමුණු ඇසුරු කළා ද ඒ උපෙක්‍ෂාව දුරු කොට යම් චතුර්ථධ්‍යානෝපෙක්ෂාවක් එකස්වභාව වූ ද එක් අරමුණක් ඇසුරුකොට ඇත්තී ද, යම් ධ්‍යානෝපෙක්ෂායෙක සර්වප්‍රකාරයෙන් පඤ්චකාමගුණාමිසයෝ අපරිශේෂ වැ නිරුද්ධ වෙත් ද ඒ ධ්‍යානෝපෙක්ෂාව මැ වඩයි.

යම් පරිදි ගැහැවිය, ගිජුළිහිණියෙක් වේවයි ලොහොතුඩුවෙක් වේවයි උකුසෙක් වේවයි මස්වැදැල්ලක් ගෙන අහසට පියාඹා යන්නේ ද, ඔහු ගිජුළිහිණියෝ ද ලොහොතුඩුවෝ ද උකුස්සෝ ද ලුහුබඳිමින් කොටන්නාහු ද ( මස් වැදැල්ල) හෙළන්නා හු ද, ගැහැවිය, ඒ කුමැ යි සිතව. ඉදින් ඒ ගිජුළිහිණියා හෝ ලෝතුඩුවා හෝ උකුස්සා හෝ ඒ මස්වැදැල්ල වහා මැ නො හරන්නේ නම් හේ එ කරුණින් මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ පැමිණෙන්නේ යයි. එසේ යැ වහන්ස, එ පරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ මස්වැදැල්ලකට උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලද, මෙසේ තෙල ඇතිසැටියෙන් සම්‍යග්ඥානයෙන් දැක යම් උපේක්‍ෂාවක් නානාස්වභාව ඇද්ද නානාලම්බන ඇසුරු කළා ද ඒ කාමගුණාලම්බන උපේක්‍ෂාව හැරපියා යම් ධ්‍යානොපෙක්‍ෂායෙක්හි සරවප්‍රකාරයෙන් ලෝකාමිෂ සඞ්ඛ්‍යාත පඤ්චකාමගුණොපාදානයෝ, අපරිශෙෂ වැ නිරුද්ධ වෙත් ද ඒ චතුර්ථධ්‍යානෝපෙක්ෂාව මැ වඩයි.

යම් පරිදි ගැහැවිය, පුරුෂයෙක් ඇවිළැගත් තණහුලක් ගෙන ප්‍රතිවාතයට යන්නේ යැ. ගැහැවි, ඒ කිමැ යි සිතහි? ඉදින් ඒ පුරුෂ ඒ ඇවිළගත් තණහුල වහා මැ නො හරන්නේ නම් ඒ ඇවිළගත් තණහුල ඔහුගේ අත හෝ දවන්නේ යැ. බාහුව හෝ දවන්නේ යැ. අන්‍යතර අඟපසඟ හෝ දවන්නේ යැ. ඒ හේතුයෙන් මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ පැමිණෙන්නේ යැ යි. එසේ යැ වහන්ස, එපරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ තණහුලකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලද’ යි. තෙල මෙසේ සම්‍යග්ඥානයෙන් යථාභූත කොට දැක ... ඒ ධ්‍යානෝපෙක්‍ෂාව මැ වඩයි.

යම් පරිදි ගැහැවිය, පුරුෂ ප්‍රමාණයෙන් අධික වූ සිළු රහිත දුම් රහිත අඟුරු පිරැණු අඬ්ගාරකර්ෂූයෙක් වෙයි. එකලැ ජීවත් වනු කැමැති නො මැරෙනු කැමැති සුව කැමුති දුකට ප්‍රතිකූල වූ පුරුෂයෙක් එන්නේ යැ. බලවත් පුරුෂයෝ දෙදෙනෙක් වෙන වෙන අත් ගෙන තෙල පුඟුල්හු අඬ්ගාරකර්ෂූවට අදනාහු යැ. ගැහැවිය, ඒ කිමැ යි සිතහි? ඒ පුරුෂ ඔබ මොබ කය නමන්නේ නො වේ ද? එසේ යැ වහන්ස, එ කවර හෙයින යත්: වහන්ස, යම් හෙයකින් එ පුරුෂයා විසින් ‘ඉදින් මම් මේ අඬ්ගාරකර්ෂූවට වැටෙම් නම් එ හේතුයෙන් මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ පැමිණෙමි’යි දන්නා ලද ද, එහෙයිනි. එ පරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ අඬ්ගාරකර්ෂූපම වූහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලදැ’ යි. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක ... ඒ චතුර්ථධ්‍යානෝපෙක්ෂාව මැ වඩයි.

යම් පරිදි ගැහැවිය, පුරුෂයෙක් ආරාමයෙන් රමණී වූ වනයෙන් රමණී වූ භූමි විසින් රමණී වූ පුෂ්කරණින් රමණී වූ සිහින දක්නේ යැ. හේ පිබිදයේ කිසිවක් නො දකී. එ පරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ ස්වප්නයකට බඳු උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලදැ’ යි. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක ... එ මැ චතුර්ථධ්‍යානෝපෙක්ෂාව වඩා.

යම් පරිදි ගැහැවිය, පුරුෂයෙක් පුරුෂයනට නිසි වූ යානයක් හෝ උතුම් මිණිකොඬොල් හෝ පිරුළු කොටගත් භෝගයක් අයැද ගෙන හේ එ පිරුළු කොටගත් භෝගයෙන් පෙරටු කොට ඇතියේ පිරිවරන ලදුයේ අතුරු අවුණට පිළිපදනේ යැ. තෙල පුරුෂයා දැක ජනයා මෙසේ කියන්නේ යැ, භවත, භෝග ඇති පුරුෂයෙක් මැ යැ. භෝග ඇත්තාහු මෙසේ භෝගයන් වළඳ කෙරෙති යි. ස්වාමීහු තෙල පුරුෂයා යම් යම් තැ‍නෙක්හි මැ දක්නාහු ද එ එ තැන්හි දී මැ තමන්ගේ භාණ්ඩයන් හැරගන්නාහු යැ. ගැහැවි, එ කිමැ? යි හඟිහි. එ පුරුෂයාගේ අන්‍යථාත්වයට නිසි වූයේ නු? යි. එසේ යැ වහන්ස, එ කුමක් හෙයින යත්: වහන්ස, යම් හෙයකින් ස්වාමීහු ස්වකීය භාණ්ඩයන් හැරගනිත් ද එහෙයිනි. එ පරිදි මැ ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ පිරුළුගත් භාණ්ඩයකට උපමා ඇත්තාහ, බොහෝ දුක් ඇත්තාහ, බොහෝ පීඩා ඇත්තාහ, මෙහි ආදීනව බොහෝ යයි වදාරන ලදැ’ යි. තෙල මෙසේ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක ... එ මැ චතුර්ථධ්‍යානෝපෙක්ෂාව මැ වඩයි.

යම් පරිදි ගැහැවිය, ගමට හෝ නිගමයට හෝ නුදුරෙහි ගහන වූ වනලැහැබෙක් වෙයි. එහි මධුර ඵල ඇති බොහෝ ඵල ඇති රුකෙක් වන්නේ යැ. බිම වැටුණු කිසි ඵල කෙනෙක් නො ද වූවාහ. එකල්හි ඵල අර්ථ ‍කොට ඇති ඵල සොයන ඵල සෙවීමට හැසිරෙන පුරුෂයෙක් එන්නේ යැ. හෙ එ වනළැහැබට පිවිස මධුර වූ ඵල ඇති බොහෝ හටගත් ඵල ඇති එ රුක් දක්නේ යැ. ඔහුට මෙ බඳු සිතෙක් වෙයි. මෙ රුක මධුර ඵල ඇත්තේ ද බොහෝ ඵල ඇත්තේ ද වෙයි. බිමැ වැටුණු කිසි ඵලයෙක් නැත. මම් රුකට නඟින්නට දනිමි. මම් මෙ රුකට නැඟී යැපෙන පමණ කන්නෙම් නම් හිඟැ පුරාලන්නෙම් නම් මැනැවැ යි. හෙ එ රුකට නැඟී යැපෙන පමණ කන්නේ යැ. හිඟ ද පුරාලන්නේ යැ. ඉක්බිති ඵලාර්ථී වූ ඵල ගවේෂණය කරන ඵල පර්යේෂණයෙහි හැසිරෙන දෙවැනි පුරුෂයෙක් තිහිණි කෙටේරියක් ගෙන එන්නේ යැ. හෙ එ වනළැහැබට පිවිස මධුර වූ ඵල ඇත්තා වූ ද බොහෝ ඵල ඇත්තා වූ ද එ රුක දක්නේ යැ. ඔහුට මෙ සිත වෙයි. මෙ රුක මධුර ඵල ඇත්තේ ද බොහෝ ඵල ඇත්තේ ද වෙයි. බිමැ වැටුණු කිසි ඵලයෙක් නැත්තේ ද වෙයි. මම් වැළිත් රුකට නැඟින්නට නො දනිමි. මම් මේ රුක මුලින් සිඳ යැපෙන පමණ කන්නෙම් නම් හිඟ ද පුරාලන්නෙම් නම් මැනැවැ’ යි. හෙ එ රුකමුලින් සිඳිනේ යැ. ගැහැවිය, එ කිමැ යි හඟිහි? පළමු රුකට නැඟුණු ඒ පුරුෂයෙක් වේ ද, ඉදින් හෙතෙම වහා මැ නො බස්නේ නම් වැටෙන එ රුක ඔහුගේ අත හෝ බිඳින්නේ යැ. පය හෝ බිඳින්නේ යැ. අන්‍යතර අඬ්ග ප්‍රත්‍යඬගයක් හෝ බිඳින්නේ යැ. හේ ඒ හේතුයෙන් මරණයට හෝ මරණමාත්‍ර වූ දුකට හෝ පැමිණේ යයි? එසේ යැ වහන්ස. එසෙයින්ම ගැහැවිය, ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සලකයි: භාග්‍යවතුන් විසින් කාමයෝ වෘක‍්ෂඵලෝපම වූහ, බොහෝ දුක් ඇත්තාහ, දැඩි පීඩා ඇත්තාහ’යි වදාරන ලද. මෙහි ආදීනව බොහෝ යයි මෙසෙයින් කරුණ යථාභූත කොට සම්‍යග්ඥානයෙන් දැක නානා ස්වභාව වූ නානාලම්බන ඇසුරු කළ යම් පඤ්චකාමගුණ උපෙක්ෂායෙක් ඇද්ද එය දුරු කොට එක ස්වභාව වූ එකාලම්බන වූ යම් චතුර්ථධ්‍යානෝපෙක්ෂායෙක් ඇද්ද, යම් උපේක්ෂායෙක්හි සර්වප්‍රකාර ලෝකාමිස සඞ්ඛ්‍යාත වූ පඤ්චකාම ගුණොපාදානයෝ අපරිශෙෂ වැ නිරුද්ධ වෙත් ද, ඒ ධ්‍යානෝපෙක්ෂාව මැ වඩයි.

ගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක නිරුත්තර වූ මෙ මැ උපේක්‍ෂාස්මෘති පාරිශුද්ධියට නන් වැදෑරුම් වූ පූර්වනිවාසය සිහි කරයි. ඒ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු ජාති තුනකුදු .. .මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්වනිවාසය සිහි කරයි.

ගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර උපේක්‍ෂාස්මෘතිපාරිශුද්ධියට පැමිණ විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්ණ දුර්වර්ණ සුගතිගත දුර්ගතිගත සත්වයන් දකියි. කම් වූ පරිදි මියැ පරලොව ගිය සත්ත්වයන් දකියි. කම් වූ පරිදි මියැ පරලොව ගිය සත්ත්වයන් දැනගනියි.

ගැහැවිය, ඒ ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර වූ උපේක්‍ෂාස්මෘති පාරිශුද්ධියට පැමිණ ආස්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥා විමුක්තිය ඉහාත්මයෙහි මැ තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට උපයා වාස කෙරෙයි.

ගැහැවිය, මෙතෙකින් ආය්‍යර්‍ විනයෙහි සර්වථායෙන් ව්‍යවහාර සමුච්ඡෙදය වෙයි. ගැහැවිය, ඒ කිමැයි සිතහි? යම් පරිදි ආය්‍යර්‍ විනයෙහි සර්වථායෙන් ව්‍යවහාර සමුච්ඡෙදය වේ ද, කිම තෙපි මෙබඳු වූ ව්‍යවහාර සමුච්ඡෙදය තමා කෙරෙහි ලා දක්නාව? යි. වහන්ස, මම කවරෙකිම් ද? ආය්‍යර්‍ විනයෙහි සර්වථායෙන් ව්‍යවහාර සමුච්ඡෙදය කවරේ ද? වහන්ස, මම සර්වථායෙන් ආය්‍යර්‍ විනයෙහි ව්‍යවහාර සමුච්ඡෙදයෙන් (අහසට පොළොව මෙන්) දුරු වෙමි. වහන්ස, අපි පෙර අන්තොටු පිරිවැජියන් (ගිහි ව්‍යවහාර සමුච්ඡෙදයට කාරණා) නො දන්නවුන් ‘දන්නාහ’ යි සිතුම්හ. නො දන්නවුනට මැ කරුණු දන්නවුන් විසින් වැළැඳියයුතු භෝජනය වැළඳවූම්හ. කාරණ නො දන්නාවුන් මැ කාරණ දන්නවුන්ගේ තන්හි තැබුම්හ. තවද වහන්ස, අපි භික්‍ෂූන් (ව්‍යවහාර සමුච්ඡෙද) කාරණ දන්නාවුන් මැ ‘නොදන්නාහ’යි සිතුම්හ. කාරණ දන්නාවුන් මැ කාරණ නො දනුවනට නිසි භෝජනය වැළඳ වූම්හ. කාරණ දන්නාවුන් මැ අනාජානීය ස්ථානයෙහි තැබූම්හ. දැන් වූකලී වහන්ස, අපි අන්තොටු පිරිවැජියන් කාරණා නො දන්නවුන් මැ ‘නො දන්නාහ’යි දනුම්හ.නො දන්නවුන් මැ නො දන්නාවුනට නිසි භෝජනය වළඳවම්හ. අනාජානීය වූවන් මැ අනාජානීය ස්ථානයෙහි තබම්හ. යළි වහන්ස, අපි භික්‍ෂූන් කාරණ දන්නාවුන් මැ ‘අජානීය වූහ’යි දනුම්හ. අජානීය වූවන් මැ අජානීයනට නිසි භෝජනය වළඳවම්හ. අජානීය වූවන් මැ අජානීය ස්ථානයෙහි තබම්හ. වහන්ස, බුදුහු ඒකාන්තයෙන් මට ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රේමය දැනවූසේක. ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රසාදය ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ගෞරවය දැනවූ සේක.

වහන්ස, ඉතා මැනව. වහන්ස, ඉතා කාන්ත යි. වහන්ස, යම් පරිදි යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වේද, පිළිසන් වූවක් විවර කරන්නේ හෝ වේ ද, මුළා වූවකුට මග පවසන්නේ හෝ වේ ද, අඳුරෙහි ඇස් ඇත්තාහු රූපයන් දක්නාහ’යි තෙල් පහනක් ධරන්නේ හෝ වේද, එසෙයින් මැ භාග්‍යවතුන් විසින් දහම් පවසන ලද්දේ යැ. වහන්ස, තෙල මම් භාග්‍යවත්හු ද ධර්මය ද භික්‍ෂූසඬ්ඝයා ද සරණ කොට යමි. භාග්‍යවතුන් වහන්සේ අද ආදී කොට දිවිහිම් වැ සරණ ගිය උපාසකයෙකු කොට මා ධරණ සේක්ව යි.

සතර වැනි වූපෝතලිය සූත්‍රය නිමියනිමියේ ය.