බහුවේදනිය සූත්‍රය

2.1.9 බහුවේදනිය සූත්‍රය

  

මා විසින් මෙසේ අසනලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එකල්හි පඤ්චකඞ්ග නම් වඩුදෙටු ආයුෂ්මත් (පණ්ඩිත) උදායි තෙරුන් කරා එළැඹ වැඳ එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් පඤ්චකඞ්ග ආයුෂ්මත් උදායි තෙරුන්ට තෙල සැලකළේ:

ආයුෂ්මත් උදායි තෙරණුවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙක් වේදනා වදාරනලද්දාහු දැ’යි. ථපතිය, භාග්‍යවතුන් විසින් තුන් වේදනා කෙනෙක් වදාරන ලද්දාහ: සුඛවේදනා යැ, දුඃඛවේදනා යැ, අදුක්ඛමසුඛවේදනා යි. ථපතිය, භාග්‍යවතුන් විසින් මේ තුන් වේදනා වදාරන ලදැ යි. වහන්ස, උදායි තෙරණුවෙනි, භාග්‍යවතුන් විසින් වේදනා තුනක් නො වදාරනලදයැ. භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් වදාරන ලද. සුඛවෙදනා යැ, දුක්ඛවේදනා යි. වහන්ස, යම් අදුක්ඛමසුඛවෙදනාවක් ඇද්ද, තෙල භාග්‍යවතුන් විසින් ශාන්ත වූ ප්‍රණීත වූ සුඛයෙහි ලා වදාරන ලද්දී යැ.

දෙවනවට ද ආයුෂ්මත් උදායි තෙරණුවෝ පඤ්චකඞ්ග ථපතිහට තෙල කීහ: ථපතිය, භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් නො වදාරන ලද, භාග්‍යවතුන් විසින් තුන් වේදනා කෙනෙක් වදාරන ලදහ: සුඛවේදනා යැ, දුක්ඛවේදනා යැ, අදුක්ඛමසුඛවෙදනා යි. ථපතිය, භාග්‍යවතුන් විසින් මේ තුන් වේදනාවෝ වදාරනලදහ යි. දෙවනවට ද පඤ‍්චකංග ථපති ආයුෂ්මත් උදායි තෙරණුවනට තෙල කී: ‘වහන්ස, උදායි තෙරණුවෙනි, භාග්‍යවතුන් විසින් වේදනා තුනක් නො වදාරනලදයැ. භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් වදාරන ලදහ: සුඛවේදනා යැ, දුක්ඛවේදනා යි. වහන්ස, යම් අදුක්ඛමසුඛ වේදනාවක් ඇද්ද, තෙල භාග්‍යවතුන් විසින් ශාන්ත වූ ප්‍රණීත වූ සුඛයෙහි ලා වදාරන ලද්දී යි.

තෙවනවට ද ආයුෂ්මත් උදායි තෙරණුවෝ පඤ‍්චකංග ථපතිහට තෙල කීහ: ථපතිය, භාග්‍යවතුන් විසින් වේදනා දෙකක් නො වදාරන ලදයැ, භාග්‍යවතුන් විසින් තුන් වේදනා කෙනෙක් වදාරනලදහ: සුඛවේදනා යැ, දුක්ඛවේදනා යැ, අදුක්ඛමසුඛ වේදනා යි. ථපතිය, භාග්‍යවතුන් විසින් මේ තුන් වේදනාවෝ වදාරන ලදහ යි. තෙවනවට ද පඤ‍්චකංග ථපති ආයුෂ්මත් උදායි තෙරණුවනට තෙල කී: වහන්ස, උදායි තෙරණුවෙනි, භාග්‍යවතුන් විසින් වේදනා තුනක් නො වදාරන ලදයැ. භාග්‍යවතුන් විසින් වෙදනා දෙකක් වදාරන ලදහ: සුඛ වේදනා යැ, දුක්ඛවේදනා යි. වහන්ස, යම් අදුක්ඛමසුඛවේදනාවක් ඇද්ද තෙල භාග්‍යවතුන් විසින් ශාන්ත වූ ප්‍රණීත වූ සුඛවේදනායෙහි ලා වදාරන ලද්දී යි. ආයුෂ්මත් උදායි තෙරණුවෝ පඤ‍්චකංග ථපතිහට හඟවාලන්නට නො හැකි වූහ. යළි පඤ‍්චකංග ථපති ආයුෂ්මත් උදායි තෙරණුවනට හඟවාලන්නට නොහැකි වී.

ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පඤ‍්චකංග ථපති සමග ආයුෂ්මත් උදායි තෙරුන්ගේ මේ කථාසල්ලාපය ඇසූහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹ වැඳ එකත්පස් වැ හුන්හ. එකත්පස් වැ හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පඤ‍්චකංග ථපති සමග ආයුෂ්මත් උදායි තෙරුන්ගේ යම් පමණ කථාසල්ලාපයෙක් වීද ඒ හැම භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. මෙසේ සැලකළ කල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරණුවනට තෙල වදාළහ.

ආනන්දය, පඤ‍්චකංග ථපති උදායි මහණහුගේ විද්‍යමාන වූ මැ පර්‍ය්‍යායදේශනාව සතුටින් නො පිළිගත්තේ යැ. උදායි මහණ පඤ‍්චකංග ථපතිහුගේ විද්‍යමාන වූ මැ පර්‍ය්‍යායදේශනාව සතුටින් නො පිළිගති. ආනන්දය, මා විසින් පර්‍ය්‍යායවශයෙන් වේදනාවෝ දෙදෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වෙදනාවෝ තුන් දෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වෙදනාවෝ පස් දෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වෙදනාවෝ සදෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වෙදනාවෝ අටළොස් දෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වෙදනාවෝ සතිස් දෙනෙක් ද දෙසන ලදහ. මා විසින් පර්‍ය්‍යායවශයෙන් වෙදනාවෝ එකසිය අට දෙනෙක් ද දෙසන ලදහ. ආනන්දය, මෙසේ මා විසින් ධර්මය පර්‍ය්‍යාය දේශිත වෙයි. ආනන්දය, මා විසින් ධර්මය මෙසේ පර්‍ය්‍යාය දේශිත කල්හි යම් කෙනෙක් උනුන්ගේ සුභාෂිතය මනා වචනය නොඅනුදනිත් ද, මොනොවට නො හඟිත් ද අනුමෙවෙනි නො කෙරෙත් ද ඔවුනට තෙල කැමැති වියැයුතු ‘හටගත් භණ්ඩන ඇති වැ හටගත් කලහ ඇති වැ හටගත් විවාද ඇති වැ උනුන් මුවසැතින් විදුනාහු වාස කෙරෙතී’ කියා යි. ආනන්දය, මා විසින් මෙසේ ධර්මය මෙසේ පර්‍ය්‍යායදේශිත වෙයි. ආනන්දය, මා විසින් ධර්මය මෙසේ පර්‍ය්‍යායදේශිත කල්හි යම් කෙනෙක් උනුන්ගේ සුභාෂිතය උනුන්ගේ මනා වචනය මොනොවට අනුදනිත් ද, මොනොවට හඟිත් ද මොනොවට අනුමෙවෙනි කෙරෙත් ද ඔවුනට තෙල කැමැති වියැයුතු: ‘සමඟ වැ සම්මොදමාන වැ විවාද රහිත වැ ක්‍ෂීරොදක වැනි වැ උනුන් ප්‍රිය ඇසින් මොනොවට බලන්නාහු වාස කෙරෙතී’ කියා යි.

ආනන්දය, මේ කාමගුණයෝ පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප වූ කාමොපසංහිත වූ සිත් ඇලවියයුතු වූ චක්‍ෂුර්විඥෙය රූපයෝ යැ ... ශ්‍රොත්‍රවිඥෙය වූ ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥෙය වූ ගන්ධයෝ යැ ... ජිහ්වාවිඥෙය ... වූ රසයෝ යැ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය ස්වරූප වූ කාමොපසංහිත වූ සිත් ඇලවියයුතු වූ කායවිඥෙය ස්පර්ශයෝ යි. ආනන්දය, මේ පඤ‍චකාමගුණයෝ යි. ආනන්දය, මේ පස්කම්ගුණ පිණිස යම් සුඛයෙක් සෞමනස්‍යයෙක් උපදනේ වේ ද මේ ‘කාමසුඛ’ යැ යි කියනු ලැබේ.

ආනන්දය, යමෙක් ‘සත්ත්වයෝ තෙල පරම කොට සිටුනා සුඛ සෞමනස්‍යය විඳිති’යි මෙසේ බෙණේ ද ඔහුගේ මේ වචනය නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූ ද ප්‍රණීතතර වූ ද අන්‍ය සුඛයෙක් ඇත. ආනන්දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූ ද ප්‍රණීතතර වූ ද අන්‍ය සුඛය කවරේ යැ යත්: ආනන්දය, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ අකුශලධර්මයෙන් වෙන් වැ විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථමධ්‍යානය උපයාගෙන වාස කෙරේ. ආනන්දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූ ද ප්‍රණීතතර වූ ද ඒ අන්‍ය සුඛය නම් මේ යැ.

ආනන්දය, යමෙක් මෙසේ බෙණේ ද ‘සත්ත්වයෝ තෙල පරම කොට සිටුනා සුඛ සෞමනස්‍යය විඳිති’යි. ඔහුගේ මෙ බස නො අනුදන්මි. ඒ කවර හෙයින යත්: ආනන්දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූ ද ප්‍රණීතතර වූ ද අන්‍ය සුඛයෙක් ඇත. ආනන්දය, තෙල සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය කවරේ යැ යත්: ආනන්දය, මෙ සස්නෙහි මහණ විතර්කවිචාරයන්ගේ සංහිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති සිත පිලිබඳ එකඟ බව ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සුඛ ඇති ද්වීතීයධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ආනන්දය, මෙ වනාහි තෙල සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.

ආනන්දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්දය, මෙ සස්නෙහි මහණ ප්‍රීති විරාගයෙනුදු උපේක්ෂක වැ ද සිහි ඇති වැ ද සම්ප්‍රඥාන ඇති වැ ද වාස කෙරෙයි. නාම කයින් සුඛය ද විඳි. ආර්ය්‍යයෝ යම් ඒ සුඛයක් ගෙන ‘උපෙක්ෂක යැ ස්මෘතිමත් යැ සුඛ විහරණ ඇතියෙකැ’ යි කියත් ද ඒ තෘතීයධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ආනන්දය, මේ සුඛය තෙල සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වේ.

ආනන්දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්දය, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ප්‍රහාණයෙනුදු දුඃඛයාගේ ප්‍රහාණයෙනුදු කැල මැ සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ‍්ගමයෙන් අදුඃඛ වූ අසුඛ වූ උපේක්ෂායෙන් ජනිත සිහි පිරිසුදු බව ඇති චතුර්ථධ්‍යානය උපයාගෙන වාස කෙරෙයි. ආනන්දය, මේ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.

ආනන්දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්දය, මෙසස්නෙහි මහණ සර්වප්‍රකාරයෙන් රූපසංඥා සමතික්‍රම හේතුවින් ප්‍රතිඝසංඥා අස්තඞ‍්ගම හේතුවින් නානාත්වසංඥා අමනසිකාර හේතුවින් ‘ආකාශය අනන්තය යැ’ යි ආකාසානඤ්‍චායතන උපයාගෙන වාස කෙරෙයි. ආනන්දය, මේ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.

ආනන්දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්දය, මෙ සස්නෙහි මහණ සර්වප්‍රකාරයෙන් ආකාසානඤ්‍චායතනය සමතික්‍රමණය කොට ‘විඥානය අනන්තය යැ’ යි විඤ්ඤාණඤ්‍චායතනය උපයාගෙන වාස කෙරෙයි. ආනන්දය, මෙ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.

ආනන්දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්දය, මෙ සස්නෙහි මහණ සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්‍චායතනය සමතික්‍රමණය කොට ‘කිසිත් නැති’ යි ආකිඤ්‍චඤ්ඤායතන උපයාගෙන වාස කෙරෙයි. ආනන්දය, මෙ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.

ආනන්දය, යමෙක් මෙසේ බෙණේ ද ... ප්‍රණීතතර වූත් (අන්‍ය සුඛයෙක් ඇත.) ආනන්දය, මෙ සස්නෙහි මහණ ආකිඤ්‍චඤ්ඤායතනය සමතික්‍රමණය කොට නේවසඤ්ඤා නාසඤා්ඤායතන උපයාගෙන වාස කෙරෙයි. ආනන්දය, මෙ සුඛය තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් සුඛය වෙයි.

ආනන්දය, යමෙක් මෙසේ බෙණේ ද ‘සත්ත්වයෝ තෙල නේවසඤ්ඤානාසඤ්ඤායතනය සුඛ පරම කොට සුඛසෞමනස්‍ය විඳිති’යි ඔහුගේ මෙ බස නො අනුදන්මි. ඒකවර හෙයින? ආනන්දය, තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛයෙක් ඇත. ආනන්දය, තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය කවරේ යැ යත්: ආනන්දය, මෙ සස්නෙහි මහණ සර්වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය සමතික්‍රමණය කොට සඤ්ඤාවෙදයිත නිරොධය උපයා වාස කෙරෙයි. ආනන්දය, මේ සුඛය වනාහි තෙල කී සුඛයට වඩා අභිකාන්තතර වූත් ප්‍රණීතතර වූත් අන්‍ය සුඛය වෙයි.

ආනන්දය, තෙල කරුණෙක් ඇත. යම් හෙයකින් අන්තොටු පිරිවැජියෝ මෙසේ බෙණෙත් ද: ‘මහණ ගොයුම් සඤ්ඤාවෙදයිත නිරෝධය කියයි. එ ද සුඛයෙහි ලා පනවයි. ඒ මේ කරුණ කිම වේ ද? ඒ මේ කරුණ කෙසේ වේ දැ? යි. ආනන්දය, මෙසේ බණන අන්තොටු පිරිවැජියෝ මෙසේ කියැයුතු වෙති: ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ සුඛවෙදනාවන් සඳහා සුඛයෙහි ලා නො පනවත්. ඇවැත්නි, වැළිත් යම් යම් තැනෙක සුඛය ලැබේ ද යම් යම් තැනෙක ඒ ඒ සුඛය වේ ද ඒ ඒ සුඛය තථාගතයන් වහන්සේ නිදුක් සුඛයෙහි ලා පනවති. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

නව වැනි බහුවේදනිය සූත්‍රය නිමියේය.