සේඛ සූත්‍රය

 

සූත්‍රාන්තපිටකයෙහි 

මජ්ඣිම නිකායේ 

මජ්ඣිමපණ්ණාසකයෙහි 

පලමු වැනි වූ ගහපති වර්ගය 

2.1.3

සේඛ සූත්‍රය  

    

මා විසින් මෙසේ අසන ලදි. එක් සමෙයක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රොධාරාමයෙහි වැඩ වාසය කරනසේක. එසමයෙහි කිඹුල්වත්පුර වැසි ශාක්‍යයන් විසින් අභිනව සන්ථාගාරයෙක් කැරැ වූ නො බොහෝ කල් වෙයි. මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි යම් මැ මිනිසකු විසින් නො වසනලද වෙයි. එසඳ කිඹුල්වත් වැසි සැහැකුල වැසියෝ බුදුන් කරා එළැඹියහ. එළැඹ සකසා බුදුන් වැඳ පසෙක හුන්හු. එකත්පසෙක හුන් කිඹුල්වත්පුර වැසි ශාක්‍යයෝ බුදුන්ට තෙල සැල කොළෝ: ‘වහන්ස, කිඹුල්වත් වැසි සැහැකුල වැසියන් විසින් අභිනව සන්ථාගාරයෙක් කැරැ වූ නො බොහෝ කල් වෙයි. මහණකු විසින් වේවයි බමුණකු විසින් වේවයි මනුෂ්‍ය වූ යම් මැ කෙනකුන් විසින් වාස නො කරනලදි යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඒ මහහල පළමු වැ ලා වළඳ කරන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ විසින් පළමු වැ ලා වළඳ කළ හල පසු වැ ලා කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවෝ වළඳ කෙරෙති. එය කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවනට හිතසුව පිණිස වැටේ’යයි. භාග්‍යවතුන් වහන්සේ තුෂ්නිම්භාවයෙන් ඉවසූසේක.

ඉක්බිති කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවෝ බුදුන්ගේ අධිවාසනා දැන හුනස්නෙන් නැඟී බුදුන් සකසා වැඳ පදැකුණු කොට සන්ථාගාරශාලාව කරා එළැඹියහ. එළැඹැ සන්ථාගාරය හැම තැන් ඇතිරි ලීමෙන් අතුරා අසුන් පන්වා දියසැළ තබා තෙල්පහන් නඟා බුදුන් කරා එළැඹියහ. එළැඹැ බුදුන් සකසා වැඳ එකත්පස් වැ සිටියෝ. එකත්පස් වැ සිටි කිඹුල්වත් වැසි සැහැකුල රජදරුවෝ බුදුන්ට තෙල සැලකොළෝ: ‘වහන්ස සන්ථාගාරය සර්වසංස්තරණ කොට අතුරන ලද. ආසනයෝ පනවන ලදහ. දියසැළ එළවා තබන ලදි. තෙල් පහන් නැංවී. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ එයට දැන් කල් දන්නාසේක්ව’යි. එසඳ භාග්‍යවතුන් වහන්සේ සංවිධානයෙන් හැඳ පා සිවුරු ගෙන බික්සඟුන් සමග වැඩවදාළහ. වැඩ වදාරා පා දෙව සන්ථාගාරයට පිවිස මැඳුම්ටැඹ ඇසිරි කොට පෙරදිගට මුහුණ ලා වැඩහුන්හු. බික්සඟහු ද සන්ථාගාරයට වැද පැසිම්බිත් ඇසිරි කොට පෙරදිගට මුහුණ ලා බුදුන් මැ පෙරටු කොටගෙන හුන්හු. කිඹුල්වත් වැසි සැහැරජදරුවෝ ද පා දොවා සන්ථාගාරයට වැද පෙරදිගබිත් ඇසිරි කොට පැළදික් ලූ මුහුණු ඇති වැ බුදුන් මැ පෙරටු කොට හුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් වැසි සැහැරජුන් රෑ බොහෝ වේලෙහි දැහැමි කථායෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙද ගන්වා පහන් කරවා ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක: ‘ආනන්දය, කිඹුල්වත් වැසි සැහැ රජුනට පිළිපන් සෙඛ මහණ (ගැන දෙසන්නට) තොපට වටහාව’යි. මාගේ පිට මඳක් ගිලන් වෙයි. මම් ඒ මඳක් සන්හිඳුවමි යි. වහන්ස, එසේ යයි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. එසඳ බුදුහු සඟළ සිවුගුණ කොට පනවා දකුණු පයෙහි වම්පය හයා තබා සිහි ඇති වැ සම්ප්‍රඥාන ඇති වැ උත්ථාන සංඥා මෙනෙහි කොට දකුණැළයෙන් සිංහශය්‍යා කළහ.

ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ‘මහානාම’ සැහැරජු ඇමතූහ: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක පිරිපුන් සිල් ඇතියේ වෙයි. ඉඳුරන්හි පියූ දොර ඇතියේ වෙයි, බොජුනෙහි පමණ දන්නේ වෙයි. නිදි වැරීමෙහි යෙදුණේ වෙයි, (ශ්‍රද්ධාදි) සප්ත සද්ධර්ම යෙන් සමන්වාගත වූයේ වෙයි, අධිචිත්තය ඇසිරු කළ ඉහාත්මයෙහි සුඛවිහරණ ඇති සතර ධ්‍යානයෙන් රිසිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල ව ලබනුයේ වෙයි.

මහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක ශීලසම්පන්න වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක සිල්වත් වෙයි, ප්‍රාතිමොක්ෂ සංවරයෙන් සංවෘත වූයේ ආචර ගෝචර දෙකින් යුකුත වූයේ අණුමාත්‍ර වද්‍යයෙහි බිය දක්නාසුලු ව වෙසෙයි, ශික්ෂා කොටසෙහි ඒ ඒ ශික්ෂාපදය දැඩි ව ගෙන හික්මෙයි, මෙසෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක ශීලසම්පන්න වූයේ වේ.

මහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක ඉඳුරන්හි පියූ දොර ඇතියේ වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුර්විඥානයෙන් රූප දැක නිමිත්ත විසින් නො ගන්නේ අනුව්‍යඤ්ජන විසින් නො ගන්නේ වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරින්ද්‍රිය අසංවෘත කොට වාස කරන තුලුහු අභිධ්‍යා දෞර්මනස්‍ය සඬ්ඛ්‍යාත ලාමක අකුශලධර්මයෝ ලුහුබඳනාහු වෙද් ද, ඒ චක්‍ෂුරින්ද්‍රියා ගේ සංවරය පිණිස පිළිපන්නේ වෙයි. චක්‍ෂුරින්ද්‍රියය රකියි, චක්‍ෂුරින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙ යි. ශ්‍රොත විඥානයෙන් ශබ්ද අසා … ඝ්‍රාණවිඥාන යෙන් ගඳ ආඝ්‍රාණය කොට ... ජිහ්වාවිඥානයෙන් රස විඳ … කායවිඥානයෙන් ස්ප්‍රෂටව්‍යය ස්පර්ශ කොට … මනොවිඥානයෙන් ධර්මාලම්බන දැන නිමිත්තග්‍රාහී නො වෙයි. අනුව්‍යඤ්ජනග්‍රාහී නො වෙයි, යම් කරුණෙකින් මනින්ද්‍රිය අසංවෘත කොට වාස කරණ තුලුහු ලාමක අකුශලධර්ම වූ අභිධ්‍යා දෞර්මනස්‍යයෝ ලුහුබඳනාහු ද ඒ මනින්ද්‍රියාගේ සංවරයට පිළිපන්නේ වෙයි, මනින්ද්‍රියය රකී, මනින්ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මෙහෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක ඉඳුරන්හි පියූ දොර ඇත්තේ වෙයි.

මහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක භොජනයෙහි මාත්‍රඥ වෙයි යත්: මහානාමය, මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක නුවණින් ප්‍රත්‍යවේක්‍ෂා කොට ආහාරය ආභරණ කෙරෙයි. කෙළි පිණිස නො මැ වෙයි, මද පිණිස නො වෙයි, සැරසුම් පිණිස නො වෙයි, විභූෂණ පිණිස නො වෙයි. මේ කය සිටීම පිණිස යැපීම පිණිස වෙහෙස සන්සිඳීම පිණිස බඹසරට අනුග්‍රහ පිණිස මතුයෙක් මැ වෙයි. මෙසේ පැරැණි බඩගිනි වේදනා නසමි. අලුත් වේදනා නූපදවමි. මා ගේ ජීවිතයාත්‍රා ද අනවද්‍යභාවය ද පහසු විහරණ ද වන්නේ යැ යි. මෙසෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක භොජනයෙහි මාත්‍රඥ වූයේ වෙයි.

මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක කිසෙයින් නිදිවැරීමෙහි යෙදුණේ වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක දවස සක්මනින් නිෂද්‍යායෙන් යෙදී නීවරණධර්මයන් ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්‍රියෙහි ප්‍රථම යාමය සක්මනින් නිෂද්‍යායෙන් යෙදී ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්‍රියෙහි මධ්‍යම යාමය දකුණුපයෙහි වම්පය මඳක් ඇඳ තබා සිහි නුවණ ඇති ව උත්ථානසංඥා මෙනෙහි කොට දකුණැළයෙන් සිංහ ශය්‍යා කෙරෙයි. රාත්‍රියෙහි පශ්චිම යාමය නැගී සිට සක්මනින් නිෂද්‍යායෙන් යෙදී ආවරණීය ධර්මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.මෙසෙයින් මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක නිදිවැරීමෙහි යෙදුණේ වෙයි.

මහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක සප්ත සද්ධර්‍මයෙන් සමන්වාගත වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක ශ්‍රද්ධා ඇතියේ වෙයි. ඒ භාග්‍යවත්හු මෙ කරුණෙන් අර්හත් වූහ. සම්‍යක් සම්බුද්ධයහ. අෂ්ටවිද්‍යායෙන් පසළොස් චරණ ධර්මයෙන් සමන්වාගතයහ. සුගත වූහ, ලෝකවිද් වූහ, අනුත්තර වූ පුරුෂදම්‍යසාරථි වූහ, දේවමනුෂ්‍යයනට ශාස්තෘ වූහ, බුද්ධ වූහ, භගවත් වූහ යි තථාගතයන් වහන්සේ ගේ බුද්ධත්වය හදහයි. පාපයෙහි ජුගුප්සා ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනොදුශ්චරිතයෙන් ලජ්ජා ඇති වෙයි. ලාමක අකුශල ධර්මයන්ගේ පැමිණීමෙන් ලජ්ජා ඇති වෙයි. අපත්‍රපා ඇතියේ වෙයි. කායදුශ්චරිතයෙන් වාග්දුශ්චරිතයෙන් මනොදුශ්චරිතයෙන් බියපත් වෙයි. ලාමක අකුශල ධර්මයන්ගේ පැමිණීමෙන් බියපත් වෙයි. බහුශ්‍රැත වූයේ ශ්‍රැතය ධරනුයේ ශ්‍රැත සන්නිචය වූයේ වෙයි. ආදිකල්‍යාණ වූ මධ්‍යකල්‍යාණ වූ පර්‍ය්‍යවසාන කල්‍යාණ වූ සාර්ථ වූ සව්‍යඤ්ජන වූ යම් ධර්ම කෙනෙක් කේවල පරිපූර්ණ වූ පරිශුද්ධ වූ මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත් ද එ බඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු වෙති. ධරන ලද්දාහු වචනයෙන් පුරුදු කරන ලද්දාහු සිතින් විමසන ලද්දාහු නුවණින් මොනවට පිළිවිදිනා ලද්දාහු වෙති. අකුසල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස කුශල ධර්‍මයන්ගේ ප්‍රතිලාභය පිණිස දැඩි වැ ගත් වීර්‍ය්‍ය ඇත්තේ වෙයි. කුශල ධර්මයන්හි වීර්‍ය්‍යස්ථාමයෙන් යුක්ත වූයේ ස්ථිර පරාක්‍රම ඇතියේ නො තැබූ වීර්‍ය්‍යධුර ඇතියේ වෙයි. ස්මෘතිමත් වූයේ උතුම් වූ ස්මෘතියෙන් හා ප්‍රඥායෙන් හා සමන්වාගත වෙයි. පෙර කළ දෑ ද පෙර කියූ දෑ ද සිහි කරනුයේ පුනපුනා සිහි කරනුයේ වෙයි. උදයව්‍යය ප්‍රතිවෙධ කිරීමට සමර්ථ ප්‍රඥායෙන් සමන්වාගත වූයේ ආර්‍ය්‍ය වූ නිර්වෙධක වූ මොනවට දුක් කෙළවර කිරීම පිණිස පවත්නා ප්‍රඥායෙන් ප්‍රඥා ඇතියේ වෙයි. මහානාමය, මෙසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක සප්ත සද්ධර්‍මයෙන් සමන්වාගත වූයේ වෙයි.

මහානාමය, කිසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක ආභිචෙතසික වූ ඉහාත්ම සුඛවිහරණ ඇති සතර ධ්‍යානයන් කැමති සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වෙයි යත්: මහානාමය, මෙ සස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක කාමච්ඡන්දයෙන් වෙන් වැ අකුශල ධර්මයන් ගෙන් වෙන් වැ විතර්ක සහිත වූ විචාර සහිත වූ විවෙකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානය උපයා වෙසෙයි. විතර්ක සහිත වූ විචාරයන්ගේ සන්හිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ එකඟ බව ඇති අවිතර්ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්වීතීයධ්‍යානය … තෘතීයධ්‍යානය … චතුර්ථධ්‍යානය උපයා වෙසෙයි. මහානාමය, මෙසෙයින් ආර්‍ය්‍යශ්‍රාවක අභිචිත්තයෙහි උපන් ඉහාත්ම සුඛ විහරණ ඇති සතර ධ්‍යානයන් රිසි සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වෙයි.

මහානාමය, යම් තැනෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ ශීල සම්පන්න වේද, මෙසේ ඉන්ද්‍රියයන්හි ගුප්තද්වාර වේ ද, මෙසේ භෝජනයෙහි මාත්‍රඥ වේ ද, මෙසේ නිදිවැරීමෙහි යෙදුණේ වේ ද, මෙසේ සප්ත සද්ධර්මයෙන් සමන්වාගත වේ ද, මෙසේ අභිචිත්තය ඇසිරු කළ ඉහාත්ම සුඛවිහරණ ඇති සතර ධ්‍යානයන් කැමති සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වේ ද, මහානාමය, මේ ආර්‍ය්‍යශ්‍රාවක ශෛක්ෂ්‍ය ප්‍රතිපත් ඇත්තේ යැ, කුණු නො වූ බිජුවට ඇති බවට පිළිපන්නේ ය. ඥානප්‍රභේදයට භව්‍ය යැ ආර්‍ය්‍යමාර්ගයට භව්‍ය යැ අර්හත්ත්වප්‍රාප්තියට භව්‍ය යැ යි කියනු ලැබේ.

යම්සේ මහානාමය, කිකිළියගේ බිජුවට අටෙක් හෝ දසයෙක් හෝ දෙළොසෙක් හෝ වේ ද, එ බිජුවටහු, කිකිළිය විසින් (අධිශයනයෙන්) මොනොවට රක්නා ලද්දාහු, මොනොවට හුණු ගන්වන ලද්දාහු, මොනොවට පරිභාවනා කරන ලද්දාහු වෙත් ද, එතෙකුදු වත් එ කිකිළියට මෙවන් ඉච්ඡායෙක් නූපදනේ යැ: ‘මේ කුකුළු පොව්වෝ පානියඅගින් හෝ මුවතුඬින් හෝ බිජුවට පළාගෙන සුවසේ පිටතට නික්මෙන්නාහු නම් මැනැවැ’යි ඉච්ඡායෙක් නූපදනේ යැ. වැළිත් එ කුකුළුපොව්වෝ පානියඅගින් හෝ මුවතුඬින් හෝ බිජුවට පළාගෙන සුවසේ බැහැරට නික්මෙන්නට භව්‍ය මැ වෙති. එසෙයින් මැ මහානාමය, යම් තැනෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක මෙසේ සිල්සපන් වේ ද, මෙසේ ඉඳුරන්හි පියූ දොර ඇති වේ ද, මෙසේ භෝජනයෙහි මාත්‍රඥ වේ ද, මෙසේ නිදිවැරීමෙහි යෙදුණේ වේ ද, මෙසේ සප්ත සද්ධර්මයෙන් සමන්වාගත වේ ද, මෙසේ අභිචිත්තය ඇසිරු කළ ඉහාත්මසුඛවිහරණ ඇති චතුර්ථධ්‍යානයන් රිසි සේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වේ ද, මහානාමය, මේ ආර්‍ය්‍යශ්‍රාවක ශෛක්ෂ්‍යප්‍රතිපදා ඇත්තේ යැ, අපූත්‍යණ්ඩ භාවයට පැමිණියේ යැ, ඥානප්‍රභේදයට භව්‍ය යැ, ආර්‍ය්‍යමාර්ගාවබෝධයට භව්‍ය යැ, අනුත්තර යෝගක්‍ෂේමයා ගේ අධිගමයට භව්‍ය යි කියනු ලැබේ.

මහානාමය, තෙල ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර වූ උපෙක්ෂාස්මෘතිපාරිශුද්ධියට පැමිණ අනෙකප්‍රකාර වූ පූර්වනිවාසය සිහි කෙරෙයි. එ මෙසේ යැ: එක් ජාතියකුදු දෙජාතියකුදු … මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනෙකප්‍රකාර පූර්වනිවාසය සිහි කෙරෙයි. අණ්ඩකොෂයෙන් කුකුළුපැටවා ගේ මෙන් මේ ඔහුගේ පළමුවන ඥාන ප්‍රභේදය වෙයි.

මහානාමය, තෙල ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර වූ උපෙක්ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධියට පැමිණ විශුද්ධ වූ මිනිසැස ඉක්මැසිටි දිව්‍ය චක්‍ෂුසින් ව්‍යවමාන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්ණ දුර්වර්ණ සුගතිගත දුර්‍ගතිගත සත්ත්වයන් දකී, … කම් වූ පරිදි පැමිණි සත්ත්වයන් දැනගනී. අණ්ඩකෝෂයෙන් කුකුළුපැටවක්හුගේ සෙයින් මේ ඔහුගේ දෙවැනි ඥානප්‍රභේදය වෙයි.

මහානාමය, ඒ තෙල ආර්‍ය්‍යශ්‍රාවක මෙ මැ අනුත්තර වූ උපෙක්ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධියට පැමිණ ආස්‍රරවයන්ගේ ක්‍ෂයවීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියට ඵලප්‍රඥාව ඉහාත්මයෙහි මැ තෙමේ නුවණින් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙයි. අණ්ඩකෝෂයෙන් කුකුළු පැටවක්හුගේ (නික්මීම) සෙයින් මේ ඔහුගේ තුන්වන ඥානප්‍රභේදය වෙයි.

මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක ශීලසම්පන්න වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක ඉන්ද්‍රියයන්හි ගුප්තද්වාර වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක භෝජනයෙහි මාත්‍රඥ වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක නිදිවැරීමෙහි යෙදුණේ වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක සප්ත සද්ධර්මයෙන් සමන්වාගත වේ ද, මෙ ද ඔහුට චරණ නම් වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක ආභිචෙතසික වූ දිට්ඨධම්මසුඛවිහාර වූ චතුර්‍ථධ්‍යානයන් රිසිසේ ලබනුයේ නිදුකින් ලබනුයේ විපුල වැ ලබනුයේ වේ ද මෙ ද ඔහුට චරණ නම් වේ.

මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක අනේකවිධ වූ පූර්වනිවාසය සිහි කෙරේ ද ඒ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු … මෙසෙයින් ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේක විධ පූර්වනිවාසය නුවණින් සිහි කෙරෙයි. මෙ ද ඔහුට විද්‍යා වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක විශුද්ධ වූ මිනිසැස ඉකමැසිටි දිවැසින් ව්‍යවමාන උපපද්‍යමාන හීන ප්‍රණීත සුවර්ණ දුර්වර්ණ සුගතිගත දුර්‍ගතිගත වූ ද සත්ත්වයන් දක්නේ වේ ද, කම් වූ පරිදි මියගිය සත්ත්වයන් දන්නේ වේ ද, මෙ ද ඔහුට විද්‍යා වෙයි. මහානාමය, යම්හෙයකින් ආර්‍ය්‍යශ්‍රාවක ආස්‍රවක්‍ෂය වීමෙන් අනාස්‍රව වූ චෙතෝවිමුක්ති ප්‍රඥා විමුක්ති ඉහාත්මයෙහි මැ තෙමේ මැ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට උපයා විහරණ කෙරේ ද, මෙ ද ඔහුට විද්‍යා වේ. මහානාමය, මේ ආර්‍ය්‍යශ්‍රාවක විද්‍යා සම්පන්න යයි ද කියනු ලැබේ. මහානාමය, සනත්කුමාර මහබඹු විසින් තෙල ගාථා කියන ලදු:

“යම් ජන කෙනෙක් (ජනිත) ප්‍රජායෙහි (කසුබු ආදී) ගොත් සිහිකරනසුලු වෙත් ද, ඔවුන් කෙරෙහි ක්‍ෂත්‍රිය ශ්‍රේෂඨ වෙයි. විද්‍යාචරණ සම්පන්න වූ යමෙක් ඇද්ද, දේවමනුෂ්‍යයන් කෙරෙහි හේ ශ්‍රේෂඨ වේ.

මහානාමය, සනත්කුමාර මහබඹු විසින් තෙල ගාථාව මොනවට ගයන ලදු, දුර්ගීත නො වෙයි. සුභාෂිත වෙයි, දුර්භාෂිත නොවෙයි, අර්ථ සංහිත වෙයි, අනර්ථ සංහිත නොවෙයි, භගවත්හු විසිනුදු අනුමත යි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැඟී ආයුෂ්මත් අනඳ තෙරණුවන් ඇමතූ සේක: ආනන්දය. මැනැව මැනැව. ආනන්දය, තෙපි කපිලවාස්තු වාසත්ව්‍ය වූ සැහැකුලනට ශෛක්‍ෂ ප්‍රතිපදා කීවහු යයි.

ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ මෙ සුත් දෙසූ හ. ශාස්තෲන් වහන්සේ අනුදත් සේක. (ප්‍රීතිසෞමනස්‍යයන් විසින්) ගත් සිත් ඇති කිඔුල්වත් වාසි සැහැකුලයෝ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ගේ භාෂිතය අභිනන්දනය කළහ.

තෙවැනි සෙඛ සූත්‍ර යි.