අග්ගිවච්ඡගොත්ත සූත්‍රය

2.3.2 අග්ගිවච්ඡගොත්ත සූත්‍රය

   

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසනසේක. එකල්හි වත්සගොත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළැඹ සතුටු විය. සතුටු උපදවන සිහිකටයුතු වූ කථාව කොට නිමවා, එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් වත්සගොත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය:

“කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සත්‍ය ය, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.

“කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, ‘ලෝකය අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.

“කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය අන්තවත් යැ, මේ මැ සත්‍ය ය, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘ලෝකය අන්තවත් යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.

“කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය අනන්තවත් (අන්ත නැති) යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘ලෝකය අනන්තවත් යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.

“කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘එ මැ ජීව යැ, එ මැ ශරීර යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.

කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.

කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘සත්ත්‍ව තෙම මරණින් මතු (උපදනේ) වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.

කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.

කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘සත්ත්‍ව තෙම මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.

කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි, නො ද නො වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි. වච්ඡය, මම්: ‘සත්ත්‍ව තෙම මරණින් මතු නො මැ වෙයි, නො ද නො වෙයි, මේ මැ සත්‍ය යැ, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි.

කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ?යි පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම් ලෝකය ශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’යි. කියව. කිම වැළිත් භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ: ‘ලෝකය අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම්: ‘ලෝකය අශාශ්වත යැ, මේ මැ සත්‍ය යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’යි. කියව.

කිම භවත් ගෞතමයෙනි,: ‘ලෝකය අන්තවත් යැ, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම්: ‘ලෝකය අන්තවත් යැ, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. කිම වැළිත් භවත් ගෞතමයෙනි, ‘ලෝකය අනන්තවත් යැ, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ’යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම් ලෝකය අනන්තවත් යැ, මේ මැ සැබැව, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව.

කිම භවත් ගෞතමයෙනි,: ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු වච්ඡය, මම්: එ මැ ජීව යැ, එ මැ ශරීර යැ, මේ මැ සබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. කිම, වැළිත් භවත් ගෞතමයෙනි, ‘ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු වච්ඡය, මම්: ‘ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ, මේ මැ සැබැව, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ’යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව.

‘කිම භවත් ගෞතමයෙනි, සත්ත්‍ව මරණින් මතු (උපදනේ) වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම්: සත්ත්‍ව මරණින් මතු වෙයි, මේ මැ සැබැව, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැයි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. ‘කිම වැළිත් භවත් ගෞතමයෙනි, සත්ත්‍ව මරණින් මතු නො වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු: ‘වච්ඡය, මම් සත්ත්‍ව මරණින් මතු නො වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි යන මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව.

කිම, භවත් ගෞතමයෙනි, සත්ත්‍ව මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම්: ‘සත්ත්‍ව මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සැබැව, අන්‍යයන් ගේ වචන තුච්ඡ යැ, යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. ‘කිම වැළිත් භවත් ගෞතමයෙනි, සත්ත්‍ව මරණින් මතු නො මැ වෙයි නො ද නො වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ, යි භවත් ගෞතමයෝ මෙබඳු දෘෂ්ටි ඇත්තාහු දැ’යි මෙසේ පුළුවුස්නාලදහු ‘වච්ඡය, මම් සත්ත්‍ව මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි, මේ මැ සැබැව, අන්‍යයන්ගේ වචන තුච්ඡ යැ යි මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නො වෙමි’ කියව. භවත් ගෞතමයන් වහන්සේ කවර ආදීනවයක් දක්මින් මෙසේ සර්‍වප්‍රකාරයෙන් මේ දෘෂ්ටිගතයන්ට නො පැමිණියාහු දැ’යි.

වච්ඡය, ‘ලෝකය ශාශ්වත යැ යන තෙල දෘෂ්ටිගතයෙකි, දෘෂ්ටිගහනයෙකි, දෘෂ්ටි කාන්තාරයෙකි, දෘෂ්ටිවිසූකයෙකි, දෘෂ්ටිවිෂ්පන්දිතයෙකි, දෘෂ්ටිසංයෝජනයෙකි, (ක්ලේශ දුඃඛයෙන් හා විපාකදුඃඛයෙන්) දුක් සහිත යැ, (එයින් මැ) පීඩා සහිත යැ, දැඩි ආයාස සහිත යැ, පරිදාහ සහිත යැ (වට්ටයෙහි) නිර්‍වෙදය පිණිස නො වෙයි, විරාගය පිණිස නො වෙයි, (රාගාදීන්ගේ) නිරෝධය පිණිස නො වෙයි, කෙලෙස් සන්හිඳීම පිණිස නො වෙයි, (අනිත්‍යාදි වශයෙන්) අභිඥාව පිණිස නො වෙයි, සත්‍යාවබෝධය පිණිස නො වෙයි, නිවන් පසක් කිරීම පිණිස නො පවතී. වත්සය, ‘ලෝකය අශාශ්වත යැ යන ... ලෝකය අන්තවත් යැ යන ... ලෝකය අනන්තවත් යැ යන ... එ මැ ජීව යැ එ මැ ශරීර යැ යන ... ජීවය අනෙකෙකැ, ශරීරය අනෙකෙකැ යන ... සත්ත්‍ව මරණින් මතු වෙයි යන ... සත්ත්‍ව මරණින් මතු නො වෙයි යන ... සත්ත්‍ව මරණින් මතු වන්නේත් නො වන්නේත් වෙයි යන ... වත්සය, සත්ත්‍ව මරණින් මතු නො මැ වෙයි, නො ද නො වෙයි යන තෙල දිට්ඨිගතයෙකැ දෘෂ්ටිගහනයෙකැ දෘෂ්ටිකාන්තාරයෙකැ දෘෂ්ටිවිසූකයෙකැ දෘෂ්ටිවිෂ්පන්දිතයෙකැ දෘෂ්ටිසංයොජනයෙකැ (කෙලෙස් විවා දුකින්) දුක් සහිත යැ විඝාත සහිත යැ උපායාස සහිත යැ පරිදාහ සහිත යැ (වට්ටයෙහි) නිර්‍වෙදයට නො වැටෙයි, විරාගයට නො වැටෙයි, නිරෝධයට නො වැටෙයි, කෙලෙස් සන්හිඳීමට නො වැටෙයි, සත්‍යාවබෝධයට නො වැටෙයි, නිර්‍වාණය පිණිස නොවැටෙයි: වත්සය, මම් මේ ආදීනව දක්නෙම් මෙසේ සර්‍වප්‍රකාරයෙන් මේ දෘෂ්ටිගතයන්ට නො පැමිණියෙම් වෙමි’යි.

වැළිත් භවත් ගෞතමයන් වහන්සේට කිසි දෘෂ්ටිගතයෙක් ඇද්දැ’යි. වත්සය, ‘දෘෂ්ටිගත’ යැ යන තෙල කරුණ තථාගතයන් විසින් බැහැර කරන ලද යැ. වත්සය, තථාගතයන් විසින් තෙල දක්නාලද මැ යැ. මෙතෙක් රූප යැ, මෙසේ රූපසමුදය වෙයි, මෙසේ රූපයාගේ අස්තඞ්ගමය වෙයි. මෙතෙක් වේදනාව වෙයි, මෙසේ වේදනාසමුදය වෙයි, මෙසේ වෙදනානිරෝධය වෙයි, මෙතෙක් සංඥාව යැ, මෙසේ සංඥාසමුදය වෙයි, මෙසේ සංඥාවගේ නිරෝධය වෙයි, මෙතෙක් සංස්කාරයෝ යැ, මෙසේ සංස්කාරසමුදය වෙයි, මෙසේ සංස්කාරනිරෝධය වෙයි, මෙතෙක් විඥාන යැ, මෙසේ විඥානසමුදය වෙයි, මෙසේ විඥානනිරෝධය වේ යැ යි. එහෙයින් තථාගතයෝ සියලු දෘෂ්ටි-තෘෂ්ණා-මාන මඤ්ඤිතයන්ගේ සියලු මථිතයන්ගේ සියලු දෘෂ්ටිතෘෂ්ණාමානානුසයන්ගේ ක්ෂය වීමෙන් විරාගයෙන් නිරෝධයෙන් ත්‍යාගයෙන් දුරැලීමෙන් උපාදාන රහිත වැ විමුක්ත වූහ’යි කියමි.

භවත් ගෞතමයන් වහන්ස, මෙසේ විමුක්ත වූ සිත් ඇති මහණ කොහි උපදනේ වේ දැ?යි. වත්සය, ‘උපදී’ යනු නො යෙදෙයි. එසේ නම් භවත් ගෞතමයෙනි, නූපදනේ වේ දැ?යි. වත්සය, ‘නූපදී’ යනු නො යෙදෙයි. එසේ නම් භවත් ගෞතමයෙනි, උපදනේත් නො උපදනේත් වේ දැ?යි. වත්සය, ‘උපදනේත් නූපදනේත් වෙයි’ යනු නො යෙදෙයි. එසේ නම් භවත් ගෞතමයෙනි, නො මැ උපදනේ නො ද නූපදනේ වේ දැ?යි. වත්සය, ‘නො මැ උපදනේ නො ද නූපදනේ වෙයි’ යනු නො යෙදේ යයි.

භවත් ගෞතමයෙනි, මෙසේ විමුක්ත වූ සිත් ඇති මහණ කොහි උපදනේ දැ?යි. මෙසේ පුළුවුස්නා ලදහු ‘වත්සය, උපදී යනු නො යෙදේ යැ’යි කියව. එසේ නම් භවත් ගෞතමයෙනි, නූපදනේ දැ?යි මෙසේ පුළුවුස්නාලදහු ‘වත්සය, නූපදී’ යනු නො යෙදේ යැ’යි කියව. එසේ නම් භවත් ගෞතමයෙනි, ‘උපදනේත් නො උපදනේත් වේ දැ? යි මෙසේ පුළුවුස්නාලදහු වත්සය, ‘උපදනේත් නො ද උපදනේත් වෙයි යනු නො යෙදේ යැ’යි කියව, එසේ නම් භවත් ගෞතමයෙනි, නො මැ උපදනේ නො ද නූපදනේ වේ දැ? යි මෙසේ පුළුවුස්නා ලදහු වත්සය, නො මැ උපදනේ වෙයි නො ද නූපදනේ වෙයි යනු නො යෙදේ යැ’ යි කියව. භවත් ගෞතමයෙනි, මෙහි ලා මම් නො දැනීමට පැමිණියෙමි. මෙහි ලා සම්මොහයට පැමිණියෙමි ... භවත් ගෞතමයන්ගේ පූර්‍වකථා සංලාපයෙක් මා ගේ යම් ප්‍රසාදමාත්‍රයෙක් වී නම් දැන් එ ද අතුරුදහන් වී යැ’ යි.

වත්සය, තොපගේ නො දැන්මට පමණ මැ යි. මුළාවට පමණි. වත්සය, යම් හෙයෙකින් මේ ප්‍රත්‍යයාකාරධර්‍මය ගම්භීර යැ එහෙයින් මැ දුදීර්‍ශ යැ අවබෝධ නො කළ හැක්ක. ශාන්ත යැ ප්‍රණීත යැ තර්‍කයෙන් නො පැමිණිය හැකි යැ සිලිටි යැ (සම්‍යක්ප්‍රතිපන්න) පණ්ඩිතයන් විසින් දැක්ක යුතු යැ. ඒ දහම අන්‍යදෘෂ්ටික වූ අන්‍යමතික වූ අන්‍යරුචික වූ අන් දහමෙකැ යෙදීම ඇති අන්‍ය ආචාර්‍ය්‍යයන් කෙරෙහි වසන තොප විසින් නො දතහැක්ක, එහෙයින් වත්සය මෙහි ලා තොප මැ පුළුවුස්මි. යම්සේ තොපට වැටහේ නම් එසේ එය ප්‍රකාශ කරව.

වත්සය, ඒ කිමැයි සිතව, ඉදින් තොප ඉදිරියෙහි ගින්නක් දිලියේ නම් ‘මා හමුයෙහි මේ ගින්න දිලේ යැ’යි තෙපි දන්නහු දැ’යි ඉදින් භවත් ගෞතමයෙනි, ගිනි දිලියේ නම් ‘මේ ගින්න මා හමුයෙහි දිලියේ’ යයි මම් දත හෙමි, ඉදින් වච්ඡය, තොප මෙසේ පුළුවුස්නේ නම්: ‘තොප ඉදිරියෙහි යම් ගින්නක් දිලියේ ද, මේ ගින්න කුමක් නිසා දිලියේ දැ’යි වච්ඡය මෙසේ පුළුවුස්නාලද තෙපි කුමකැ’යි ප්‍රකාශ කරන්නාහු ද? ඉදින් භවත් ගෞතමයෙනි, මා මෙසේ විචාරා නම්: ‘තොප ඉදිරියෙහි යම් ගින්නක් දිලියේ ද, ඒ ගින්න කුමක් නිසා දිලියේ දැ’යි. භවත් ගෞතමයෙනි, මම් මෙසේ විචාරන ලද්දෙම් මෙසේ ප්‍රකාශ කරන්නෙමි: ‘මා හමියෙහි යම් ගින්නක් දිලියේ ද, මේ ගින්න තෘෂ්ණකාෂ්ටොපාදානය නිසා දිලේ’යයි. මෙසේ ප්‍රකාශ කරමි. ඉදින් වත්සය, ඒ ගින්න තොප හමියෙහි නිවේ නම් මේ ගින්න මා හමුවෙහි නිවිණැ’යි දන්නහු ද? ඉදින් භවත් ගෞතමයෙනි, ඒ ගින්න මා හමුවෙහි නිවියේ නම්, මම් මේ ගින්න මා හමුවෙහි නිවිණැයි දැනගනිමි. යළි වත්සය, ඉදින් තොප පුළුවුස්නේ නම්: ‘තොප හමියෙහි යම් ගින්නක් නිවියේ නම් ඒ ගින්න මෙයින් කවර දිගකට ගියේ ද පෙරදිගට හෝ අවරදිගට හෝ උතුරුදිගට හෝ දකුණු දිගට හෝ යැ’යි. වච්ඡය මෙසේ පුළුවුස්නාලද තෙපි කිමැ යි ප්‍රකාශ කරහු දැ’යි. භවත් ගෞතමයෙනි නො යෙදෙයි. යම් හෙයෙකින් භවත් ගෞතමයෙනි, ඒ ගින්න යම් තෘෂ්ණකාෂ්ටොපාදානයක් නිසා දිලිණි ද ඒ උපාදානයාගේ ක්ෂය වීමෙන් ද අන්‍ය උපාදානයක්හුගේ නො එළැවීමෙන් ද, අප්‍රත්‍ය වැ නිවිණැ යි කියා මැ ගණනට යේ යැ’යි.

එසෙයින් මැ වත්සය, යම් රූපයෙකින් සත්ත්ව සඞ්ඛ්‍යාත තථාගත පනවනුයේ රුපී යැ යි පනවා නම් තථාගතයන්හට ඒ රූපය ප්‍රහීණ යැ, උසුන්මුල් ඇත්තෙ යැ, තාලවස්තුවක් මෙන් කරන ලද, අනභාවය කරනලද, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තේ යැ. වත්සය, රූපය නුවණින් දැන විමුක්ත වූ තථාගත ගුණ හෙයින් ගැඹුරු යැ ප්‍රමාණ කළ නො හැක්ක, නො දත හැක්ක, මහාසමුද්‍රය මෙනි, ‘උපදනේ යැ’යි නො යෙදෙයි, ‘නූපදනේ යැ’යි නො යෙදෙයි, ‘උපදනේත් වෙයි නූපදනේත් වේ යැ’යි නො යෙදෙයි. ‘නො මැ උපදී පනවානූපදනේ නො වේ යැ’යි නොයෙදෙයි. යම් වේදනායෙකින් සත්ත්‍වයා පනවනුයෙක් පනවා නම් ඒ වේදනාව තථාගතයන්හට ප්‍රහීණ යැ උසුන්මුල් ඇත්තී යැ, තාලවස්තුවක් මෙන් කරනලද, අනභාවය කරනලද මත්තෙහි නූපදනා සැහැවි ඇත්තීයැ, වත්සය, වේදනාව නුවණින් දැන විමුක්ත වූ තථාගත ගුණයෙන් ගැඹුරු යැ ප්‍රමාණ කළ නො හැක්ක, නො දත හැක්ක, මහසමුදුර වැන්න, ‘උපදී යැ’යි නො යෙදේ, ‘නූපදී යැ’යි නො යෙදෙයි, ‘උපදනේත් නො ද උපදනේත් වේ යැ’යි නො යෙදෙයි. ‘නො මැ උපදී නූපදනේ නො වේ යැ”යි නො යෙදෙයි. යම් සංඥාවකින් සත්ත්වයා පනවනුයෙක් පනවා නම් ඒ සංඥාව තථාගතයන්ට ප්‍රහීණ යැ, උසුන්මුල් ඇත්තී යැ, තාලවස්තුවක් මෙන් කරනලද, අනභාවය කරනලද, මත්තෙහි නූපදනා සැහැවි ඇත්තී යැ, වත්සය, සංඥාව නුවණින් දැන විමුක්ත වූ තථාගත ගැඹුරු යැ ප්‍රමාණ නො කට හැක්කේ යැ, නො දත හැක්කේ යැ, මහසමුදුර මෙනි, ‘උපදී යැ’ යනු නොයෙදෙයි, ‘නූපදී යැ’ යනු නො යෙදෙයි, ‘උපදනේත් නූපදනේත් වෙයි’ යනු නො යෙදෙයි. ‘නො මැ උපදී නො ද නූපදී’ යනු නො යෙදේ. යම් සංස්කාර කෙනකුන් කරණ කොට සත්ත්වයා පනවනුයේ පනවා නම් ඒ සංස්කාරයෝ තථාගතයන්ට ප්‍රහීණයහ, උසුන්මුල් ඇතියහ, තාලවස්තුවක් මෙන් කරනලදහ, අනභාවය කරනලදහ. මත්තෙහි නූපදනා ස්වභාව ඇතියහ. වත්සය, සංස්කාරයන් නුවණින් දැන විමුක්ත වූ තථාගත ගම්භීර යැ, ප්‍රමාණ නො කට හැක්කේ යැ, නො දත හැක්කේ යැ, මහසමුදුර වැන්න, ‘උපදී’ යනු නො යෙදෙයි, ‘නූපදී’ යනු නො යෙදෙයි, ‘උපදනේත් නූපදනේත් වෙයි’ යනු නො යෙදෙයි. ‘නො මැ උපදී නො ද නූපදී’ යනු නො යෙදේ. යම් විඥානයෙකින් සත්ත්වයා පනවනුයේ පනවා නම් ඒ විඥානය තථාගතයන්ට ප්‍රහීණ යැ, උසුන්මුල් ඇත්තේ යැ, තාලවස්තුවක් මෙන් කරනලද, අනභාවය කරනලද. මත්තෙහි නූපදනා සැහැවි ඇත්තේ යැ. වත්සය, විඥානය නුවණින් දැන විමුක්ත වූ තථාගත ගැඹුරු යැ, ප්‍රමාණ නො කට හැක්කේ යැ, නො දත හැක්කේ යැ, මහසමුදුර මෙනි, ‘උපදී’ යනු නො යෙදෙයි, ‘නූපදී’ යනු නො යෙදෙයි, ‘උපදනේත් නූපදනේත් වෙයි’ යනු නො යෙදෙයි. ‘නො මැ උපදී නො ද නූපදී’ යනු නො යෙදේ යයි.

මෙසේ වදාළ කල්හි වත්සගොත්‍ර පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ යැ යම්සේ භවත් ගෞතමයන් වහන්ස, ගමකට හෝ නියම්ගමකට හෝ නුදුරෙහි මහසල්රුකෙක් වේ ද, අනිත්‍ය බැවින් එහි අතුකොළ නස්නේ යැ සිවිපතුරු නස්නේ යැ බොරුදු නස්නේ යැ එරුක මෑතභාගයෙහි පහ වූ අතුකොළ ඇත්තේ පහවූ සිවිපොතු ඇත්තේ පහවූ බොරුදු ඇත්තේ ශුද්ධ වූයේ හර මතුයෙහි සිටියේ වෙයි. එහෙයින් මැ භවත් ගෞතමයන් වහන්සේගේ ප්‍රවචනය අපගත වූ කොළ අතු ඇතියේ අපගත වූ ත්‍වක්පපටිකා ඇතියේ අපගත වූ ඵල්ගු ඇතියේ ශුද්ධ වූයේ ලෝකෝත්තර ධර්‍ම සාරයෙහි පිහිටියේ වේ. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර යැ, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහර යැ ... භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිම් වැ සරණ ගිය උපාසකයකු කොට මා ධරනසේක්ව’යි.

දෙවැනි අග්ගිවච්ඡගොත්ත සුත්‍රය නිමියේය.