චූළසකුලුදායි සූත්‍රය

2.3.9 චූළසකුලුදායි සූත්‍රය

    

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර නිසා කලන්‍දකනිවාප නම් වූ වේළුවන විහාරයෙහි වැඩ වසන සේක. එසමයෙහි සකුලුදායී පරිව්‍රාජක මහත් වූ පිරිවැජිපිරිස් හා සමග මොරනිවාප නම් පරිව්‍රාජකාරාමයෙහි වෙසෙයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරබත් වේලෙහි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන රජගහ නුවරට පිඬු පිණිස පිවිසියහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේට තෙල සිත විය: “රජගහනුවරට පිඬුසිඟා යන්නට තව ඉතා උදැසන. මම් මොරනිවාප නම් පරිව්‍රාජකාරාමයෙහි සකුලුදායී පරිව්‍රාජක වෙත එළැඹෙන්නෙම් නම් මැනැවැ”යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මොරනිවාප නම් පරිව්‍රාජකාරාමය කරා එළැඹියහ. එසමයෙහි සකුලුදායී පරිව්‍රාජක උද්ගත නාද ඇති උස්හඬින් මහහඬින් අනේකවිධ තිරිසන් කථා කියන මහත් වූ පරිව්‍රාජක පිරිස් හා සමග හුන්නේ වෙයි. ඒ කවර තිරිසන් කථා යැ යත්: රජුන් පිලිබඳ කථා යැ සොරුන් පිලිබඳ කථා යැ මහඇමැතියන් පිලිබඳ කථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ අන්නකථා යැ පානකථා යැ වස්ත්‍රකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්ධකථා යැ ඥාතිකථා යැ යානකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ ශූරකථා යැ වීථි පිලිබඳ කථා යැ කුම්භස්ථානකථා යැ පූර්‍වප්‍රේත කථා යැ නානාත්ව කථා යැ ලෝකාඛ්‍යානකථා යැ සමුද්‍රාඛ්‍යානකථා යැ මෙසේ වෘද්ධිහානි වෙයි යන කථා යි. සකුලුදායී පරිව්‍රාජක දුරින් මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුටුයේ යැ. දැක සිය පිරිස් සන්හුන් කරවී: “භවත්හු නිහඬ වෙත්වා, භවත්නි, තෙපි නහමක් හඬ නගවු. මේ ශ්‍රමණ ගෞතම එයි, එ ආයුෂ්මත් වූකලි නිහඬ බැව් කැමැත්තේ යැ. නිහඬ බැව්හි ගුණ කියන්නේ යැ. නිහඬ පිරිස් දැන එළැඹියයුතු කොට සිතා නම් මැනැවැ” යි. ඉක්බිති ඒ පිරිවැජියෝ නිහඬ වූහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සකුලුදායී පරිව්‍රාජක වෙත එළැඹියහ. ඉක්බිති සකුලුදායී පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කී: “වහන්ස, භාග්‍යවත්හු වඩනා සේක්වා, වහන්ස, භාග්‍යවත්නට ස්වාගත යැ. වහන්ස, භාග්‍යවත්හු මෙහි ඊමෙන් බොහෝ කලෙකින් මෙකරුණ කළසේක. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳුනා සේක්වා, මෙ අස්න පනවන ලදැ” යි. බුදුහූ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. සකුලුදායී පරිව්‍රාජක ද එක්තරා මිටි අස්නක් ගෙන් එකත්පස් වැ හින. එකත්පස් වැ හුන් සකුලුදායී පරිව්‍රාජකහට භාග්‍යවතුන් වහන්සේ තෙල කරුණ වදාළහ:

“උදායී, තෙපි දැන් කවර නම් කථායෙකින් යුක්ත වැ උන්නු ද? තොප විසින් කවර නම් අතුරු කථාවක් අඩාළ කරන ලද දැ?” යි. වහන්ස, ඇපි දැන් යම් කථායෙකින් යුක්ත වැ උනුමෝ නම් තෙල කථාව තිබියේවා. වහන්ස, තෙල කථා භාග්‍යවතුන්ට පසු වැ ද අසන්නට දුර්ලභ නො වන්නේ යැ. වහන්ස, යම් කලෙකැ මම් මෙපිරිසට නො එළැඹෙන්නෙම් වෙම් ද එකල්හි මෙ පිරිස අනේකවිධ තිරිසන් කථා කියමින් හුන්නී වෙයි. වහන්ස, මම් යම් කලෙකැ මේ පිරිසට එළැඹෙන්නෙම් වෙම් ද එකල්හි මේ පිරිස ‘ශ්‍රමණ උදායී අපට යම් දහමක් දෙසන්නේ ද එ දහම ඇපි අසම්හ’යි මාගේ මැ මුහුණ බලමින් හුන්නී වෙයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ යම් කෙලෙක මේ පිරිසට පැමිණිසේක් ද, එතැන් පටන් මමත් මෙ පිරිසත් ‘බුදුහු අපට යම් දහමක් දෙසනසේක් ද, ඇපි ඒ දහම අසම්හ’ යි භාග්‍යවතුන් වහන්සේගේ මැ මුහුණ බලමින් හුන්නමෝ වම්හ.

එසේ වී නම් උදායී, යම් කරුණෙකින් මට ධර්‍මදේශනාව වටහා නම් එ කරුණෙහි ලා තොපට මැ වැටහෙත්ව’යි. වහන්ස, හීයේ පෙරෙයිදා දිනයන්හි සර්‍වදර්ශී වූ සර්‍වඥ ‘ඇවිදිනා වූ ද සිටුනා වූ ද නිදන්නා වූ ද නිදි වරන්නා වූ ද මට හැමදා හැම කල්හි ඥානදර්‍ශනය එළැඹ සිටයේ යැ’යි නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කරනුයේ, හේ මා විසින් පූර්‍වාන්තය ඇරැබැ පැන පුළුවුස්නා ලද්දේ අනෙකෙකින් අනෙකෙක් වසාලී යැ, කථාව බැහැරට නැමී යැ, කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙළේ යි. වහන්ස, ඒ මට යමෙක් මෙ දහම්හි සමත්වී නම් ‘අහො යහඟ එ බුදුහු. අහො යහඟ එසුගත්හු’ යයි භාග්‍යවතුන් මැ ඇරැබැ ප්‍රීති උපනැ’යි.

උදායී, යමෙක් තොප විසින් පූර්‍වාන්තය ඇරැබැ පැන පුළුවුස්නා ලද්දේ අනෙකෙකින් අනෙකක් වැසී ද කථාව බැහැරට නැමී ද, කෝපයත් ද්වේෂයත් නො සතුටත් පහළ කෙළේ ද, ‘ඇවිදිනා වූ සිටුනා වූ ද නිදන්නා වූ ද නිදිවරන්නා වූ ද මට හැමදා හැම කල්හි ඥානදර්‍ශනය එළැඹසිටියේ යැ’යි නිරවශේෂ ඥානදර්‍ශනය පිළින කෙරෙන තෙල සර්‍වදර්ශී සර්‍වඥ කවරෙක් දැ?යි. වහන්ස, ‘නිගණ්ඨනාත පුත්‍ර යැ’යි.

උදායී, යමෙක් අනෙක්විධ වූ පූර්‍වෙනිවාස සිහි කෙරේ ද, හේ කෙසේ ද යත්: එක් ජාතියකුදු ජාති දෙකකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දෙස සහිත වූ අනේකවිධ පූර්‍වෙනිවාස සිහි කරන්නේ ද, හෙ තෙම හෝ පූර්‍වාන්තය ඇරැබැ මා පැන පුළුවුස්නේ යැ, මම හෝ පූර්‍වාන්තය ඇරැබැ ඔහු පැන පුළුවුස්නෙමි. හේ හෝ පූර්‍වාන්තය ඇරැබැ මාගේ පැන විසඳුමින් සිත් ගන්නේ යැ, මම් හෝ පූර්‍වාන්තය ඇරැබැ ඔහුගේ පැන විසඳුමින් සිත් ගන්නෙමි.

උදායී, යමෙක් වනාහි මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන උපදනා හීන වූ ප්‍රණීත වූ මනා පැහැසටහන් ඇති නො මනා පැහැසටහන් ඇති සුන්‍දර ගති ඇති නපුරු ගති ඇති සත්ත්වයන් දක්නේ ද ... කර්‍මානුරූප වැ ගිය සත්ත්‍වයන් දැනගන්නේ ද, හෙතෙම් හෝ අපරාන්තය ඇරැබැ මා පැන පුළුවුස්නේ යැ, මම් හෝ අපරාන්තය ඇරැබැ ඔහු පැන පුළුවුස්නෙමි. හේ හෝ අපරාන්තය ඇරැබැ මාගේ පැන විසඳුමින් සිත් ගන්නේ යැ, මම් හෝ අපරාන්තය ඇරැබැ ඔහුගේ පැන විසඳුමින් සිත් ගන්නෙමි. (පහදනෙමි) එතෙකුදු වත් උදායී, පූර්‍වාන්තය සිටීවා, අපරාන්තය සිටීවා. තොපට දහම් දෙසනෙමි. “මේ (අවිද්‍යාදි ප්‍රත්‍යය) ඇති කල්හි මේ (සංස්කාරාදි ඵල) වෙයි, මේ (අවිද්‍යාදි ප්‍රත්‍යයාගේ) උපැත්මෙන් මේ (සංස්කාරාදි ඵලය) උපදි. මේ (අවිද්‍යාදි ප්‍රත්‍යය) නැති කල්හි මේ (සංස්කාරාදි ඵල) නො වෙයි. මේ (අවිද්‍යාදි ප්‍රත්‍යයාගේ) නිරෝධයෙන් මේ (සංස්කාරාදි ඵල) නිරුද්ධ වේ” යයි. වහන්ස, මම් මාගේ මේ අත්බැවින් යම් පමණ (අරමුණු) විඳුනාලද ද, එ ද මෙසේ ආකාර සහිත කොට උද්දෙස සහිත කොට සමරන්නට නො පොහොනෙමි. වැළිත් කොයින් මම් අනෙකවිධ පූර්‍වෙනිවාසයන් සමරන්නෙම් ද? හේ කෙසේ යැ යත්: එක් දැයකුදු දෙදැයකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දෙස සහිත වූ අනෙකවිධ පූර්‍වෙනිවාසය භාග්‍යවතුන් සෙයින් සිහි කරන්නෙම් ද? වහන්ස, මම මේ කල්හි පාංශුපිශාචයකුදු නො දක්මි. වැළිත් කොයින් මම මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිවැසින් ච්‍යුත වන උපදනා හීන වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුවර්‍ණ වූ සුන්‍දර ගති ඇති දුගති ඇති සත්ත්‍වයන් දක්නෙම් ද, යථාකර්‍මොපග සත්ත්‍වයන් භාග්‍යවතුන් සෙයින් දන්නෙම් ද වහන්ස, වැළිත් භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ: “එතෙකුදු වත් උදායී, පූර්‍වාන්තය සිටීවා, අපරාන්ත සිටීවා, තොපට දහමක් දෙසමි: “මේ (ප්‍රත්‍යය) ඇති කල්හි මේ (ඵලය) වෙයි, මේ (ප්‍රත්‍යය) උපැත්මෙන් මේ (ඵලය) උපදි, මේ (ප්‍රත්‍යය) නැති කල්හි මේ (ඵලය) නො වෙයි, මේ (ප්‍රත්‍යයාගේ) නිරෝධයෙන් මේ (ඵලය) නිරුද්ධ වේ” යයි යමක් කියා ද, එ ද මට බෙහෙවින් නො වැටහෙයි, වහන්ස මම් සිය ඇදුරොල්හි ප්‍රශ්නව්‍යාකරණයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිත පහදනෙම් නම් මැනැවැ’ යි.

උදායී, වැළිත් තොපට සිය ඇදුරොල්හි කෙසේ වේ දැ? යි.

වහන්ස, අපට සිය ඇදුරොල්හි මෙසේ වෙයි: “මේ පරමවර්‍ණ යැ මේ පරමවර්‍ණ යැ”යි.

උදායී, වැළිත් තොපටතෙල සිය ඇදුරොල්හි “මේ පරමවර්‍ණ යැ මේ පරමවර්‍ණ යැ’යි මෙසේ යමක් වේ ද, ඒ පරමවර්‍ණය කවරෙ ද?

වහන්ස, යම් වර්‍ණයකට වඩා උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍යවර්‍ණයෙක් නැද්ද, ‘ඒ පරමවර්‍ණ නම් වේ’ යයි.

උදායී, යම් වර්‍ණයකට වඩා උත්තරිතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍යවර්‍ණයෙක් නැද්ද, ඒ වර්‍ණය කවරේ ද?

වහන්ස, යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍ය වර්‍ණයෙක් නැද්ද, ඒ පරමවර්‍ණ වේ’යයි.

උදායී (තෙපි) “වහන්ස, යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍යවර්‍ණයෙක් නැද්ද, ‘ඒ පරමවර්‍ණ යැ’ යි කියව, ඒ වර්‍ණය ද නො පනවව, තොපගේ තෙල කථාව දික්වන්නේ යැ. යම්සේ උදායී, පුරුෂයෙක් මෙසේ කියයි: “මම් මෙ දනවියෙහි යම් දනවුකලණක් ඇත නම් ඇය රුස්නෙමි, ඇය කැමැත්තෙමි” යි. ඒ මොහුට කිසි කෙනෙක් මෙසේ කියන්නාහ: “එම්බා පුරුෂය, තෙපි යම් දනවුකලණක රුස්නහු ද කැමැත්තහු ද තෙපි දනවුකලණ ක්ෂත්‍රියාවක හෝ බ්‍රාහ්මණියක හෝ වෛශ්‍යාවක හෝ ශුද්‍රියක් හෝ යි දනිවු දැ? යි. මෙසේ පුළුවුස්නා ලද්දේ නො දනිමි’ කියන්නේ යැ. ඒ මොහුට මෙසේ කියන්නාහ: එම්බා පුරුෂය, තෙපි යම් දනවුකලණක රුස්නහු ද කැමැත්තහු ද, තෙපි දනවුකලණ මෙ නම් ඇත මෙවන් ගෝත්‍ර ඇතැ යි හෝ ... දික් යැ හෝ මිටි යැ හෝ මැදුම් යැ හො’ යි ... කැළි යැ හෝ සම්වනැ හෝ මඟුරුසිවි ඇත්තී යැ හො’යි, අසුවල් ගම්හි යැ හෝ නියම්ගම්හි යැ හෝ නුවරෙහි යැ හෝ’යි දනිවු දැ?”යි. මෙසේ පුළුවුස්නාලද්දේ ‘නො දනිමී’ කියන්නේ යැ. ඒ මොහුට මෙසේ කියන්නාහ: “එම්බා පුරුෂය, තෙපි යම් තැනැත්තියක නො දන්නහු ද නො දක්නහු ද, තෙපි ඇය රුස්නහු ද කැමැත්තහු දැ?”යි. මෙසේ පුළුවුස්නාලද්දේ ‘එසේ යැ’යි කියන්නේ යැ. උදායී, එය කුමකැයි හඟී ද? මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ භාෂිතය නිරර්‍ථක වන්නේ නො වේ දැ?යි.

වහන්ස, ඒකාන්තයෙන් මැ මෙසේ ඇති කල්හි ඒ පුරුෂයාගේ භාෂිතය නිරර්‍ථක වන්නේ මැ යි.

එසෙයින් මැ උදායී තෙපි: “වහන්ස, යම් වර්‍ණයකට වඩා උත්තරීතර හෝ ප්‍රණීතතර හෝ අන්‍යවර්‍ණයෙක් නැද්ද, ඒ පරමවර්‍ණ යැ යි කියව, ඒ වර්‍ණය ද නො පනව” යි.

වහන්ස, යම්සේ සුන්‍දර වූ ජාතිමත් වූ අටැස් ඇති වෙරළුමිණක් මැනවින් පිරියම් කරන ලද්දේ පඬුඇඹුලෙකැ බහාලන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් වේ ද, මෙබඳු වර්‍ණ ඇති ආත්මය මරණින් මතු ආරොග වේ යයි.

උදායී, ඒ කිමැයි හඟිවු ද? සුන්‍දර වූ ජාතිමත් වූ අටැස් ඇති මොනොවට පිරියම් කළ වෙරළුමිණක් පඬුඇඹුලෙකැ බහාලන ලද්දේ බබළන්නේත් දීප්ත වන්නේත් වෙසෙසින් දීප්ත වන්නේත් වේ ද, රාත්‍රි බහලාන්ධකාරයෙහි යම් කදෝපැණි කෘමියෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ?යි.

වහන්ස, රැය බොල්අඳුරෙහි යම් කදෝපැණි කෘමියෙක් වේ ද, මේ තෙමේ මේ වර්‍ණ දෙක අතුරින් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

උදායී, ඒ කිමැයි හඟිවු ද? රැය බොල් අඳුරෙහි කදෝපැණි කෘමියෙක් වේ ද, රැය බොල්අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ? යි.

වහන්ස, රැය බොල්අඳුරෙහි යම් තෙල් පහනෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිසුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

උදායී, ඒ කිමැයි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් තෙල්පහනෙක් හෝ වේ ද, රැය බොල්අඳුරෙහි යම් මහගිනිකඳෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතර ත් ප්‍රණීතතර ත් වේ දැ? යි.

වහන්ස, රැය බොල්අඳුරෙහි යම් මහගිනිකඳෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් අතිසුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

උදායී, ඒ කිමැයි හඟිවු ද? රැය බොල් අඳුරෙහි යම් මහගිනිකඳෙක් හෝ වේ ද, රැය අලුයම් වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිශයින් සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ? යි.

වහන්ස, රැය අලුයම වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

උදායී, ඒ කිමැයි හඟිවු ද? රැය අලුයම වේලෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි යම් ඕසධීතාරකාවක් හෝ වේ ද, ඒ පණුරැසිපොහෝ දවස්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්ද්‍රයෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ? යි.

වහන්ස, ඒ පණුරැසිපොහෝ දවස්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්ද්‍රයෙක් හෝ වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතුරින් ඉතා සුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ යයි.

උදායී, ඒ කිමැයි හඟිවු ද? ඒ පණුරැසිපොහෝ දවස්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් අර්‍ධරාත්‍රිසමයෙහි යම් චන්ද්‍රයෙක් හෝ වේ ද, වර්‍ෂාඍතුව පිලිබඳ පශ්චිමමාසයෙහි සරා කල්හි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් මධ්‍යාහ්න සමයෙහි යම් සූර්‍ය්‍යයෙක් හෝ වේ ද, මේ වර්‍ණ දෙක අතුරින් කවර වර්‍ණයෙක් අතිසුන්‍දරතරත් ප්‍රණීතතරත් වේ දැ? යි.

වහන්ස, වර්‍ෂාඍතුව පිලිබඳ පශ්චිමමාසයෙහි සරත්කාලයෙහි පහ වැ ගිය වලා ඇති දුරු වූ වලා ඇති අහස්හි නුබුන් මධ්‍යාහ්න සමයෙහි යම් සූර්‍ය්‍යයෙක් වේ ද, මේ මෙ වර්‍ණ දෙක අතිකාන්තතරත් ප්‍රණීතතරත් වේ යයි.

උදායී, යම් කෙනෙක් මේ සඳහිරු දෙදනාගේ අවභාසය නො විඳිත් ද ඒ දෙවියෝ සඳහිරු දෙදෙනාගේ අවභාසය විඳිනවුනට වඩා බොහෝ යැ, බහුතරයහ. මම් ඔවුන් දනිමි. එතෙකුදු වත් මම “යම් වර්‍ණයකට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ අන්‍ය වර්‍ණයෙක් නැතැ”යි නො කියමි. එතෙකුදු වත් උදායී, තෙපි කදෝපැණි කිමියකුටත් වඩා හීනතර වූ ලාමකතර වූ යම් වර්‍ණයෙක් වේ ද, ඒ පරම වර්‍ණ යයි කියව, එ වර්‍ණය ද නො පනව’ යි.

“බුදුහු කථාව සිඳලූහ, සුගත්හු කථාව සිඳලූහ” යි.

උදායී, තෙපි “බුදුහු කථාව සිඳලූහ, සුගත්හු කථාව සිඳලූහ” යි මෙසේ කුමට කියව?

වහන්ස, අපට සිය ඇදුරොල්හි මේ පරමවර්‍ණ යැ, මේ පරමවර්‍ණ යැ’ යි මෙසේ වෙයි. වහන්ස, ඒ ඇපි භාග්‍යවතුන් විසින් ස්වකීය ආචාර්‍ය්‍යසමයෙහි අනුයොග වතට නගනු ලබන්නමෝ කරුණු ගන්වනු ලබන්නමෝ කරුණු විචාරනු ලබන්නමෝ සිස් වූම්හ, තුච්ඡ් වූම්හ, වැරදුණම්හ’ යි.

කිමෙක් ද උදායී, ඒකාන්තසුඛ ඇති ලෝකයෙක් ඇද්දැ?යි. ඒකාන්තසුඛ ඇති ලෝකය ප්‍රත්‍යක්ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදායෙක් ඇද්දැ?යි.

වහන්ස, සිය ඇදුරොල්හි මෙසේ වෙයි: “ඒකාන්තසුඛ ඇති ලොවෙක් ඇත, ඒකාන්තසුඛ ඇති ලෝකය ප්‍රත්‍යක්ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදායෙක් ඇතැ”යි.

උදායී, ඒකාන්තසුඛ ඇති ලෝකය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වූ ඒ ආකාරවත් ප්‍රතිපදා කවරැ? යි.

වහන්ස, මෙලොව කිසිවෙක් පණිවා හැරපියා පණිවායෙන් වෙන් වූයේ වෙයි, අයිනාදන් හැරපියා අයිනාදනින් වෙන් වූයේ වෙයි, කාමයෙහි මිසහසර හැරපියා කාමයෙහි මිසහසරින් වෙන් වූයේ වෙයි, මුසවා හැරපියා මුසවායෙන් වෙන් වූයේ වෙයි, එක්තරා තපෝගුණයක් හෝ සමාදන් වැ වැටෙයි. වහන්ස, මේ වූකලි ඒකාන්තසුඛ ඇති ලෝකය සාක්ෂාත් කිරීම පිණිස වූ ඒ ආකාරවත් ප්‍රතිපදා වේ යයි.

උදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ පණිවා හැරපියා පණිවායෙන් වෙන් වූයේ වේ ද, එකල්හි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද , සුවදුක් මුසු වූයේ හෝ වේ දැ? යි.

වහන්ස, සුවදුක් මුසු වූයේ වෙයි.

උදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ අයිනාදන් හැරපියා අයිනාදනින් වෙන් වූයේ වේ ද, එකල්හි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද , සුවදුක් ඇත්තේ හෝ වේ දැ? යි.

වහන්ස, සුවදුක් ඇත්තේ වෙයි.

උදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ කාමයෙහි මිසහසර හැරපියා කාමයෙහි මිසහසරින් වෙන් වූයේ වේ ද, එසමයෙහි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද , සුවදුක් ඇත්තේ හෝ වේ දැ? යි.

වහන්ස, සුවදුක් ඇත්තේ වෙයි.

උදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ මුසවා හැරපියා මුසවායෙන් වෙන් වූයේ වේ ද, එකල්හි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද , සුවදුක් ඇත්තේ හෝ වේ දැ? යි.

වහන්ස, සුවදුක් ඇත්තේ වෙයි.

උදායී, ඒ කිමැයි හඟිවු ද? යම් කලෙකැ එක්තරා තපෝගුණයක් සමාදන් වැ වැටේ ද, එකල්හි තෙමේ ඒකාන්තසුඛ ඇත්තේ හෝ වේ ද, සුවදුක් ඇත්තේ හෝ වේ දැ? යි.

වහන්ස, සුවදුක් ඇත්තේ වෙයි.

උදායී, ඒ කිමැයි හඟිවු ද? මුසු වූ සුවදුක් ඇති පිළිවෙතකට පැමිණ ඒකාන්තසුඛ ඇති ලෝකය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වේ යැ නු? යි.

“බුදුහු කථාව සිඳලූහ, සුගත්හු කථාව සිඳලූහ” යි.

උදායී, තෙපි “බුදුහු කථාව සිඳලූහ, සුගත්හු කථාව සිඳලූහ” යි මෙසේ කුමට කියව?

වහන්ස, අපට සිය ඇදුරොල්හි මෙසේ වෙයි: “ඒකාන්තසුඛ ඇති ලොවෙක් ඇත, ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදා ඇතැ”යි. වහන්ස, එ අපි භාග්‍යවතුන් විසින් සිය ඇදුරොල්හි අනුයෝග වතට නගනු ලබන්නමෝ කරුණු ගන්නවනු ලබන්නමෝ කරුණු විචාරනු ලබන්නමෝ සිස් වූම්හ, තුච්ඡ් වූම්හ, වැරදුණම්හ’ යි.

කිම වහන්ස, ඒකාන්තසුඛ ඇති ලොවෙක් ඇද්ද, ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදා ඇද්දැ? යි.

“උදායී, ඒකාන්තසුඛ ලෝකයෙක් ඇත, ඒකාන්ත සුඛ ලෝකය ප්‍රත්‍යක්ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදා ඇතැ”යි.

වහන්ස, ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්ෂ කිරීමට යම් ආකාරවත් ප්‍රතිපදායෙක් ඇත් නම් ඒ ප්‍රතිපදා කවරැ? යි.

උදායී, මෙ සස්නෙහි මහණ කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතියධ්‍යානයට පැමිණ වෙසේ ද, උදායී, මේ වූකලි ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්ෂ කිරීමට ඒ කාරණවත් ප්‍රතිපදා යි.

“වහන්ස, ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්ෂ කිරීමට කාරණවත් ප්‍රතිපදා මතු නො වෙයි, ඔහු විසින් මෙතෙකින් ඒකාන්තසුඛ ලෝකය සාක්ෂාත් කරනලද මැ වේ” යයි.

උදායී, මෙතෙකින් ඒකාන්තසුඛ ලෝකය සාක්ෂාත් කරනලද නො වෙයි. ඒ ඒකාන්තසුඛ ලෝකය සාක්ෂාත් කාරණවත් ප්‍රතිපදා මැ වේ යයි.

මෙසේ වදාල කල්හි සකුලුදායී පරිව්‍රාජකගේ පිරිස උද්ගතනාද ඇති උස්හඬ මහහඬ ඇති විය: “මෙ කරුණෙහි ලා ඇපි ඇදුරන් සහිත වැ නැසෙම්හ. මෙ කරුණෙහි ලා අපි ඇදුරන් සහිත වැ වැනැසෙම්හ. අපි මෙයින් වැඩියක් නො දනුම්හ” යි.

ඉක්බිති සකුලුදායී පරිව්‍රාජක ඒ පරිව්‍රාජකයන් නිහඬ කොට භාග්‍යවතුන්වහන්සේට මෙ පවත් කී: “වහන්ස, වැළිත් කිපමණෙකින් ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්ෂ කරනලද වේ දැ?”යි.

උදායී, මෙ සස්නෙහි මහණ සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, යම් පමණ දෙවියෝ ඒකාන්තසුඛ ලෝකයට පැමිණියාහු නම්, ඒ දෙවියන් හා සමග එක්වැ සිටී ද, සල්ලාප කෙරේ ද, සාකච්ඡාවට පැමිණේ ද, මෙපමණෙකින් උදායී, ඔහු විසින් ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්ෂ කරන ලද වේ” යයි.

‘වහන්ස, තෙල ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්ෂ කිරීම කරුණු කොට භික්‍ෂූහු භාග්‍යවතුන් කෙරෙහි බඹසර වසන්නාහු වනැ’යි.

උදායී, තෙල ඒකාන්තසුඛ ලෝකය ප්‍රත්‍යක්ෂ කිරීම කරුණු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර නො වෙසෙති. උදායී, යම් ධර්‍ම කෙනකුන් ප්‍රත්‍යක්ෂ කිරීම කරුණු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙත් නම්, එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූ ත් අන්‍යධර්‍මයෝ ඇතැ’යි.

වහන්ස, යම් ධර්‍ම කෙනකුන් ප්‍රත්‍යක්ෂ කිරීම කරුණු කොට භික්‍ෂූහු භාග්‍යවතුන් කෙරෙහි බඹසර වෙසෙත් නම්, උත්තරීතර වූ ත් ප්‍රණීතතර වූ ත් ඒ ධර්‍මයෝ කවරහ? යි.

උදායී, මෙලොවැ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ (අෂ්ට) විද්‍යා (පසළොස්) චරණ ධර්‍මයෙන් යුක්ත වූ සුගත වූ ලෝකය දන්නා වූ අනුත්තර පුරුෂදම්‍යසාරථී වූ දෙවිමිනිසුනට ශාස්තෘ වූ (චතුස්සත්‍යාවබොධයෙන්) බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගත උපදි ... හෙ චිත්තයට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්‍වල කරන මේ පඤ්‍චනීවරණයන් හැරපියා කාමයෙන් වෙන් වැ මැ ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. උදායී, යම් ධර්‍මයක් ප්‍රත්‍යක්ෂ කිරීම හේතු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර සරත් නම් මෙ ද උත්තරීතර වූ ත් ප්‍රණීතතර වූ ත් ධර්‍මයෙකි.

තවද උදායී, මහණ විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතියධ්‍යානයට ... චතුර්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, උදායී, යම් ධර්‍මයක් ප්‍රත්‍යක්ෂ කිරීම හේතු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙද්ද, මෙ ද එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් ධර්‍මයෙකි.

හේ මෙසේ සිත සමාහිත (එකඟ) කල්හි පිරිසුදු කල්හි හාත්පසින් පිරිසුදු කල්හි ක්ලේශාඞ්ගණ රහිත කල්හි පහ වැ ගිය උපක්ලේශ ඇති කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙන බවට පැමිණි කල්හි පූර්‍වෙනිවාසානුස්මෘතිඥානයට සිත නමයි. හේ අනේකවිධ පූර්‍වෙනිවාස සිහි කෙරෙයි, හෙ මෙසේ යැ: එක් දැයකුදු දෙ දැයකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනේකවිධ පූර්‍වෙනිවාස සිහි කෙරෙයි. උදායී, යම් දහමක් ප්‍රත්‍යක්‍ෂ කිරීම හේතු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර සෙරෙත් ද, මෙ ද එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් දහමෙකි.

හේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙන බවට පත් කල්හි සත්ත්‍වයන්ගේ ච්‍යුති උපප්‍රාප්ති ඥානයට සිත නමයි. හේ මිනිසැස ඉක්ම සිටි විශුද්ධ වූ දිවැසින් ච්‍යුතවන උපදනා හීන වූ ප්‍රණීත වූ මනා පැහැසටහන් ඇති නොමනා පැහැසටහන් ඇති සුන්‍දර ගති ඇති දුගති ඇති සත්ත්‍වයන් දකි. ... කර්‍මානුකූල වැ ගිය සත්ත්‍වයන් දනි. උදායී, යම් දහමක් ප්‍රත්‍යක්‍ෂ කිරීම හේතු කොට භික්‍ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙත් ද, මෙ ද එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් දහමෙකි.

හේ මෙසේ සිත සමාහිත කල්හි පරිශුද්ධ පර්‍ය්‍යවදාත අනඞ්ගණ විගතෝපක්ලේශ කල්හි මෘදු වූ කල්හි කර්‍මණ්‍ය වැ සිටි කල්හි නො සැලෙන බවට පත් කල්හි ආස්‍රවයන්ගේ ක්ෂයඥානයට සිත නමයි. හෙ මේ (පස්කඳ) දුකැ’ යි ඇති සැටියෙන් දැනගනි. මෙ (තෘෂ්ණාසමුදය) දුක් උපදනා හේතුව යයි ඇති සැටියෙන් දැනගනි, ... මෙ ‘දුක්ඛනිරොධ’ යයි ... මෙ ‘දුක් නැති කරන පිලිවෙතැ’යි ඇති සැටියෙන් දැනගනි. මොහු ‘ආස්‍රවහ’යි ඇති සැටියෙන් දැනගනි. මේ ‘ආස්‍රවසමුදය’ යි ... මේ ‘ආස්‍රවනිරෝධය’ යි ... මේ ‘ආස්‍රවනිරොධගාමිනීප්‍රතිපදා’ යයි ඇති සැටියෙන් දැනගනි. මෙසේ දන්නා මෙසේ දක්නා ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු විමුක්ත වෙයි, භවාස්‍රවයෙනුදු සිත විමුක්ත වෙයි, අවිද්‍යාස්‍රවයෙනුදු සිත විමුක්ත වෙයි. විමුක්ත කල්හි විමුක්ත ය යන ඥානය වෙයි. ජාතිය ක්ෂය වූ යැ, මඟබඹසර වැස නිමවන ලදි. කරණී කරනලද, මෙ බව පිණිස අන් කිසෙක් නැතැ’යි දැනගනි. උදායී, යම් දහමක් ප්‍රත්‍යක්ෂ කිරීම හේතුයෙන් භික්‍ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙත් ද, මෙ වූ කලි එබඳු උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් දහමෙකි. උදායී, යම් ධර්‍මකෙනකුන්ගේ ප්‍රත්‍යක්ෂ කිරීම හේතුයෙන් භික්‍ෂූහු මා කෙරෙහි බඹසර වෙසෙත් ද නම් මොහු එ උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් ධර්‍මයෝ යයි.

මෙසේ වදාළ කල්හි සකුලුදායී පරිව්‍රාජක් භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කී: ඉතා මැනැව වහන්ස, ඉතා මැනැවැ වහන්ස. වහන්ස, යම්සේ යටිහුරු කරන ලද්දක් හෝ උඩුහුරු කරන්නේ ද, පිළිසන් වූවක් හෝ විවර කරන්නේ ද, මුළා වූවකුට හෝ මඟ කියන්නේ ද, අඳුරෙහි හෝ ‘ඇස් ඇත්තාහු රූප දකිත්ව’ යි තෙල්පහනක් දරන්නේ ද, එසෙයින් මැ භාග්‍යවතුන් විසින් නොයෙක් අයුරින් දහම් පවසන ලද. වහන්ස, තෙල මම් බුදුනුද දහමුදු සඟුනුදු සරණ කොට යෙමි. වහන්ස, මම් භාග්‍යවතුන් වෙත පැවිදි ලබන්නෙම් නම් මැනැව, උපසපුව ලබන්නෙම් මැනැවැ’යි.

මෙසේ කී කල්හි සකුලුදායී පරිව්‍රාජකගේ පිරිස සකුලුදායී පරිව්‍රාජකහට තෙල වදන් කී: භවත් උදායී, ශ්‍රමණ ගෞතම කෙරෙහි නහමක් බඹසර වසව, භවත් උදායී ආචාර්‍ය්‍ය වැ (සිට) අතැවැසිවස් නො වසව, යම්සේ නම් දියසැළක් වැ සිට ළුවක් වන්නේ ද තෙල භවත් උදායීහට මෙබඳු උපමා සම්පත් වන්නේ යැ. භවත් උදායී, ශ්‍රමණ ගෞතම කෙරෙහි නහමක් බඹසර වසව, භවත් උදායී, ආචාර්‍ය්‍ය වැ සිට අතැවැසි වාස නො කරව’ යි. මෙසේ සකුලුදායී පරිව්‍රාජකගේ පිරිස සකුලුදායී පරිව්‍රාජක හට භාග්‍යවතුන් කෙරෙහි බඹසරවස්හි අන්තරාය කළා.

නව වැනි චූළ සකුලුදායී සුත්‍රය නිමියේය.