තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍රය

2.3.1 තේවිජ්ජවච්ඡගොත්ත සූත්‍රය

   

 

 

මා විසින් මෙසේ අසන ලද: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර සමීපයෙහි වූ මහාවනයෙහි කූටාගාරශාලායෙහි වැඩ වසනසේක. එසමයෙහි වච්ඡගොත්ත පරිව්‍රාජක තෙමේ (එක් හෙළඹ ගසක්) ඇතියෙන් ඒකපුණ්ඩරීක නම් පිරිවැජි අරම්හි වෙසෙයි. එකල්හි බුදුහු පෙරබත්හි හැඳ පෙරෙවැ පාසිවුරු ගෙන විශාලා නුවරට පිඬුසිඟා වැඩිසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේට මේ සිත විය. විශාල නුවරැ පිඬු සිඟා යන්නට තව උදෑසන වෙයි. මම් ‘ඒකපුණ්ඩරීක’ නම් පරිව්‍රාජකාරාමයෙහි වච්ඡගොත්ත පරිව්‍රාජක යම් තැනෙක්හි ද එහි එළැඹෙම් නම් මැනැවැ යි. එකල්හි බුදුහු ඒකපුණ්ඩරීක නම් පරිව්‍රාජකාරාමයෙහි වච්ඡගොත්ත පරිව්‍රාජක යම් තැනෙක්හි ද එහි එළැඹිසේක.

වච්ඡගොත්ත පරිව්‍රාජක දුරින් මැ වඩනා භාග්‍යවතුන් වහන්සේ දැක භාග්‍යවතුන් වහන්සේට තෙල වදන් කී යැ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ පැමිණෙනසේක්වා වහන්ස, භාග්‍යවතුන් වහන්සේට ස්වාගත යැ, වහන්ස, භාග්‍යවත්හු මෙහි පැමිණීමෙන් බොහෝ කලෙකින් මේ පරියාය (කරුණ) කළසේක. වහන්ස, බුදුහු වැඩහිඳුනා සේක්වා මේ අස්න පනවනලදැ’යි. බුදුහු පැනවූ අස්නෙහි වැඩහුන්සේක. වච්ඡගොත්තපරිව්‍රාජක ද එක්තරා මිටි අස්නක් ගෙන එකත්පස් වැ හුන. එකත්පස් වැ හුන් වච්ඡගොත්ත පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කී යැ: “වහන්ස, මා විසින් තෙල අසනලද: ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සර්‍වඥයහ, සර්‍වදර්ශීහ, නිරවශෙෂ වූ ඥානදර්‍ශනය පිළින කරන්නාහ: ඇවිදිනා වූ ද සිටුනා වූ ද හෝනා වූ ද නිදිවැරූ ද මට හැම කල්හි ඥානදර්‍ශනය එළැඹසිටියේ යැ’යි. වහන්ස, යම් කෙනෙක් මෙසේ කීහු ද: “ශ්‍රමණ ගෞතමයෝ සර්‍වඥයහ, සර්‍වදර්ශීහ, ‘ඇවිදුනා වූ ද සිටුනා වූ ද හෝනා වූ ද නිදිවැරූ ද මට හැම කල්හි ඥානදර්‍ශනය එළැඹසිටියේ වනැ’ යි නිරවශේෂ වූ ඥානදර්‍ශනය ප්‍රතිඥා කෙරෙති’යි කීහු ද කිම වහන්ස, ඔහු භාග්‍යවතුන් විසින් වදාළ දැය කියනසුලු වෙත් ද, නො ද භාග්‍යවතුන් අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කෙරෙත් ද, සර්‍වඥතාඥාන ධර්‍මයට අනුරූප වූවක් ප්‍රකාශ කෙරෙත් ද, සකාරණ වූ කිසි වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණකට නො ද පැමිණේ දැ”යි.

වච්ඡය, යම් කෙනෙක් මෙසේ කීහු ද: “ශ්‍රමණගෞතම සර්‍වඥය යැ සර්‍වදර්ශී යැ, ‘ඇවිදිනා වූ ද සිටුනා වූ ද හෝනා වූ ද නිදිවැරූ ද මට හැම කල්හි ඥානදර්‍ශනය එළැඹසිටියේ වනැ’ යි. නිරවශේෂ කොට ඥානදර්‍ශනය ප්‍රතිඥා කෙරේ” යයි කීහු ද, ඔහු මා විසින් කියන ලද්ද කියන්නාහු නො වෙති, වැලි ඔවුහු මට අසත්‍ය වූ අභූතයෙන් අභ්‍යාඛ්‍යාන ද කෙරෙත්” යයි.

වහන්ස, ඇපි කිසෙයින් ප්‍රකාශ කරන්නමෝ භාග්‍යවතුන් වහන්සේට උක්තවාදීත් වන්නමෝ ද භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කරන්නමෝ ද ධර්‍මයට අනුධර්‍ම වූවක් ප්‍රකාශ කරන්නමෝ ද සකාරණ වූ කිසි වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණකට නො ද පැමිණේ දැ”යි.

වච්ඡය, ශ්‍රමණගෞතම ත්‍රිවිද්‍යා ඇත්තේ යැ යි ප්‍රකාශ කරනුයේ මා විසින් කියනලද්ද කියන්නේත් වන්නේ යැ, නො ද මා අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කරන්නේ යැ. ධර්‍මයට ද අනුධර්‍ම වූවක් ප්‍රකාශ කරන්නේ යැ. සකාරණ වූ කිසි වාදානුවාදයෙක් ගැරහියයුතු කරුණකට නො ද පැමිණෙන්නේ යැ. වච්ඡය, මම් වූකලි යම් පමණ රිසියෙම් නම් අනේකප්‍රකාර වූ පෙරවිසූ කඳ පිළිවෙළ සිහි කරමි. ඒ මෙසේ යැ: එක් ජාතියකුදු ජාති දෙකකුදු ... මෙසේ ආකාර සහිත වූ උද්දේස සහිත වූ අනෙකප්‍රකාර වූ පූර්‍වනිවාස සිහි කරමි. වච්ඡය, මම් වූකලි යම් පමණ රිසියෙම් ද, විශුද්ධ වූ මිනිසැස ඉක්ම සිටි දිවැසින් ච්‍යුත වන උපදනා හීන් වූ ප්‍රණීත වූ සුවර්‍ණ වූ දුර්‍වර්‍ණ වූ ශෝභන ගති ඇති දුගති ඇති සත්ත්‍වයන් දක්මි ... කම් වූ පරිදි මියැපරලොව ගිය සත්ත්‍වයන් දැනගනිමි. වච්ඡය, මම් වූකලි ආස්‍රවයන් ගේ ක්ෂය වීමෙන් අනාස්‍රව වූ චිත්තවිමුක්තිය ප්‍රඥාවිමුක්තිය ඉහාත්මයෙහි මැ තමා විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වෙසෙමි. වච්ඡය, ශ්‍රමණ ගෞතම ත්‍රිවිද්‍යා ඇත්තේ යයි. ප්‍රකාශ කරනුයේ මට උක්තවාදීත් වන්නේ යැ, නො ද මා අභූතයෙන් අභ්‍යාඛ්‍යාන කරන්නේ යැ. ධර්‍මයට ද අනුධර්‍ම කොට ප්‍රකාශ කරන්නේ යැ. නො ද කිසි සකාරණ වූ වාදානුවාදයෙක් ගැරහියයුතු තැනට පැමිණේ”යයි.

මෙසේ වදාළ කල්හි වච්ඡගොත්ත පරිව්‍රාජක භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකෙළේ ය: “භවත් ගෞතමයන් වහන්ස, ගිහිබැඳුම් නොපියා කය බිඳීමෙන් පසු දුක් කෙළවර කළ ගිහිගේවැසියෙක් ඇද්දැ”යි. “වච්ඡය, ගිහිබැඳුම් නොපියා කය බිඳීමෙන් පසු දුක් කෙළවර කළ කිසි ගිහිගේ වැසියෙක් නැතැ”යි.

“යළි භවත් ගෞතමයන් වහන්ස, ගිහිබැඳුම් නොපියා කය බිඳීමෙන් පසු ස්වර්‍ගයට පැමිණි කිසිගිහිගේවැසියෙක් ඇද්දැ”යි. “වච්ඡය, යම් ගිහිගේවැසි කෙනෙක් හිගිබැඳුම් නොපියා කය බිඳීමෙන් පසු ස්වර්‍ගයට පැමිණියාහු ද, ඔහු, එක් සියෙක් නො මැ වෙයි, දෙසියෙක් නො වෙයි, තුන්සියෙක් නො වෙයි, සිව්සියෙක් නො වෙයි, පන්සියෙක් නො වෙයි, වැලි බොහෝ වෙත් මැ”යි.

“භවත් ගෞතමයන් වහන්ස, කය බිඳීමෙන් පසු දුක් කෙළවර කළ කිසි ආජීවකයෙක් ඇද්දැ”යි. “වච්ඡය, කය බිඳීමෙන් පසු දුක් කෙළවර කළ කිසි ආජීවකයෙක් නැතැ”යි.

“යළි භවත් ගෞතමයන් වහන්ස, කිසි ආජීවකයෙක් කය බිඳීමෙන් පසු ස්වර්‍ගයට ගියේ ඇද්දැ”යි. “වච්ඡය, මම් යම් තැනක් සිහි කෙරෙම් ද, එ මෙයින් එක්අනූවන කල්ප යයි. (එකල් තුළ) එක් ආජීවකයක්හු තබා ස්වර්‍ගයට පැමිණි කිසි ආජීවකයකු නො දන්මි. හෙ ද කර්‍මවාදී ක්‍රියාවාදී වී යයි වදාළහ.

මෙසේ ඇති කල්හි භවත් ගෞතමයන් වහන්ස, තෙල තීර්ත්ථායතනය යටත්පිරිසෙයින් ස්වර්‍ගයට පැමිණෙනුවක්හුගෙනුදු සිස් වනැ”යි. “මෙසේ කල්හි වච්ඡය, තෙල තීර්ත්ථායතනය යටත්පිරිසෙයින් ස්වර්‍ගයට පැමිණෙනුවක්හුගෙනුදු සිස් යැ”යි වදාළහ.

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළසේක. සතුටු සිත්ඇති වත්සගොත්‍ර පරිව්‍රාජ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය පිළිගත්තේ යයි.

පළමුවැනි තේවිජ්ජවච්ඡගොත්ත සුත්‍රය නිමියේය.